1107. වීරයන් වහන්ස, මුඹ වහන්සේගේ වදන් කැමැති වූ නොයෙක් ජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස්වූහු ය.. උනට මුඹ වහන්සේ දහම් දෙසුව මැනැවැ’යි යදිම්. යම් හෙයෙකින් මුඹ වහන්සේ විසින් තෙල ලෝකෝත්තරධර්‍මය දන්නාලද ද එහෙයිනි.
1108. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: භද්‍රාවුධයෙනි,) අතීතානාගතවර්‍තමානයෙහි වූ හැම ආදාන තෘෂ්ණාව දුරු කරව්. යම් හෙයකින් ලෝකයෙහි (අතීතරූපාදී) යම් යම් වස්තුවක් දැඩි කොට ගණිත් ද, එහෙයින් මැ ස්කන්‍ධමාර තෙම සත්ත්‍වයා නොදන්නේය.
1109. එහෙයින් ස්මෘතිමත් වූ (සර්‍වසංස්කාරයන් අනිත්‍යාදිවශයෙන්) දන්නා වූ මහණ තෙම මෙ ප්‍රජාව මෘත්‍යුධෙයයෙහි ඇලුනැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි සියලු ලොවැ (රූපාදි) කිසිවක් ගන්නේ යි.
භද්‍රාවුධමාණවක පෘච්ඡා නිමි.
5. 13.
උදයමාණවක පෘච්ඡා
1110. (උදය මාණවක මෙසේ ඇසීය) ධ්‍යාන කරනසුලු විගත රජස් ඇති වැ වැඩහුන් සිවුමගින් කළ (සොළොස් ) කිස ඇති අනාස්‍රව වූ සර්‍වධර්‍මයන්ගේ පරතෙර පත් වූ භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රශ්නාර්ත්‍ථී වැ ආයෙමි, අවිද්‍යාව බිඳුනා වූ අඤ්ඤා විමොක්ඛ සංඛ්‍යාත නිර්‍වාණය වදාළ මැනැවි.
1111. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: උදයමාණවයෙනි,) කාමච්ඡන්‍දයන්ගේ ද දොම්නසුන්ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය ද ථින මිද්ධයාගේ දුරැලීම ද කෞකෘත්‍යයාගේ වැළැහීම ද ඇති -
1112. චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂා ස්මෘති යන දෙකින් සංශුද්ධිය ඇති ධර්‍මතර්‍ක සංඛ්‍යාත සම්‍යක් සංකල්පය පෙරටුකොට ඇති අර්‍හත්ඵල විමෝක්‍ෂය අවිද්‍යාවගේ බිඳුමැයි කියමි.
1113. (ආයුෂ්මත් උදයමාණවක මෙසේ අසයි:) ලෝක සත්ත්‍වයා කුමක් සංයෝජන (බන්‍ධන) කොට ඇත්තේ ද? එ සත්ත්‍වයාගේ විචාරණය (හැසිරීමට කරුණ ) කිම? කවර දහමක් හුගේ විශේෂ ප්‍රහාණයෙන් නිවනැ ‘යි කියනු ලැබේ ද?
1114. ලෝකසත්ත්‍වයා තෘෂ්ණාව සංයෝජන කොට ඇතියේ ය. විතර්‍කය ඔහට විචාරණය වේ. ඒ තෘෂ්ණාවගේ විප්‍රහාණයෙන් නිර්‍වාණ යැ’යි කියනු ලැබේ.
1115. (ආයුෂ්මත් උදයමාණව මෙසේ ඇසීය:) ස්මෘති සම්පන්න ව වාසය කරන්නහුගේ විඥානය කි සෙයින් නිරුද්ධ වේ ද? භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නට පැමිණියම්හ. මුඹ වහන්සේගේ ඒ බස් අසම්හ.
1116. අධ්‍යාත්මාලම්බනයෙහි ද බාහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන, ස්මෘතිමත් වැ හැසිරෙණුවහුගේ විඥානය මෙසේ නිරුද්ධවේ යයි.
උදයමාණව පෘච්ඡා නිමි.
5. 14.
පෝසාලමාණවක පෘච්ඡා
1117. (ආයුෂ්මත් පෝසාල මාණවක මෙසේ විචාරයි:) එජා සංඛ්‍යාත තෘෂ්ණා රහිත වූ සිඳුනා ලද සැක ඇති, යම් සර්‍වඥ කෙනෙක් ස්වකීයවූ ද පරකීය වූ ද අතීතය (පූර්‍වනිවානුස්මෘති ඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්‍මයන්ගේ පාරිමතිරප්‍රාප්ත වූ එ සර්‍වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථීව පැමිණියෙම් වෙමි.
1118. ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, මොනොවට ඉක්මවන ලද රූපසංඥා ඇති, තදංග - විෂ්කම්භණ වශයෙන් හැම රූපකාය ප්‍රහාණය කරනසුලු අධ්‍යාත්මයෙහිත්, බාහිරයෙහිත් කිසිවක් නැතැ’යි දක්නාහු (ආකිඤ්චඤ්ඤායතනලාභීහු) ගේ ඥානය පුලුවුස්මි. ඒ බඳු වූ පුද්ගල තෙම කිසෙයින් මත්තෙහි ඥානයට පැමිණවිය යුත්තේ ද?
1119. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: පෝසාලයෙනි), තථාගතයෝ හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නාහු ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය මැ පරායණ කොට ඇති මෙ පුඟුලා දන්නාහ.
1120. ආකිඤ්චඤ්ඤායතනයෙහි උපදවන අරූපරාග සංඛ්‍යාත නන්‍දිය සංයෝජනයෙකැ’යි මෙසේ විශිෂ්ට ඥානයෙන් දැන ඉක්බිති එහි අනිත්‍යාදි විසින් විදර්‍ශනා (භාවනා) කරන්නේ ය. වැස නිම වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යවාසය ඇති බාහිතතාපී වූ එ රහත්හුගේ තෙල අර්‍හත්‍ව ඥානය අවිපරීත වේ යයි.
පෝසාලමාණව පෘච්ඡා නිමි.
5. 15.
මෝඝරාජ පෘච්ඡා
1121. (ආයුෂ්මත් මෝඝරාජ මෙසේ ඇසීය:) මම දෙවටක් ශාක්‍ය මුනිහු විචාළෙමි, පසැස් ඇති මුනිහු මට නො දෙසූහ. දෙවර්ෂීහු තෙවනුවට දක්වා විචාරන ලද්දාහු ප්‍රකාශ කරන්නාහ’යි මා විසින් අසන ලද.
1122. මෙ මිනිස්ලෝ වැසි තෙමේ ද, අන්ලෝ වැසි තෙමේ ද දෙවියන් සහිත බඹලෝ වැසි තෙමේ ද යශස්වී වු ගෞතම ගෝත්‍ර ඇති මුඹ වහන්සේගේ දෘෂ්ටිය නොදන්නේ ය.
1123. මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් වහන්සේ කරා පැන පුළුවුස්නෙන් අර්ත්‍ථී ව ආයෙමි. ලොව කිසෙයින් බලන්නාහු මෘත්‍යුරාජ තෙමේ නො දක්නේ ද?
1124. මෝඝරාජය හැමකල්හි ස්මෘතිමත් වැ සත්කාය දෘෂ්ටිය දුරු කොට ලෝකය ශූන්‍ය හෙයින් බලව, මෙ සෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි මෙසෙයින් ලොව දක්නහු මෘත්‍යුරාජ තෙම නොදක්නේ යයි,
මෝඝරාජ මාණව පෘච්ඡා නිමි.
5. 16.
පිඞ්ගියමාණව පෘච්ඡා
1125. (ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි) මම ජීර්‍ණයෙමි, දුර්‍වලයෙමි, විවර්‍ණයෙමි, (මාගේ) නේත්‍රයෝ ශුද්ධ නො වෙති, ශ්‍රවණය ද පහසු නැත, මම (මුඹ වහන්සේගේ දහම් පසක් නොකොට) අතුරෙහි මැ මුළා වූ යෙම් නහමක් මියෙම්වා. මේ පහණසෑවෙහෙරෙහි මැ ජාති ජරාවන්ගේ ප්‍රහාණය වූ යම් දහමක් අසා මම දැනගන්නෙම් නම්, එ දහම වදාළ මැනැව.
1126. (බුදුහු මෙසේ වදාළහ: පිඞගියෙනි,) රූප නිමිතින් නැසෙන වුන් දැක (කුශලධර්‍මයන්හි) ප්‍රමත්ත වූ ජනයෝ රූපයන් නිමිති කොට පෙළෙති. පිඞ්ගිය, තෙපි (කුශලධර්‍මයෙහි) අප්‍රමත්තව පුනර්‍භවය නො වනු පිණිස රූපය දුරු කරව.
1127. සතර දිග ය, සතර අනු දිග ය උඩ ය යට ය යන මේ දස දික් කෙනෙක් වෙත් ද, ලොව් හි මෙ හැම තන් හි මුඹ වහන්සේ විසින් නො දක්නා ලද, නො අසන ලද ආඝ්‍රාණ, ස්වාදන, ස්පර්‍ශන නොකරන ලද යළි නො දක්නා ලද කිසිවක් නැති මේ පහණසෑ වෙහෙරෙහි දී මැ ජාති ජරාවන්ගේ ප්‍රහාණය වූ යම් (නිර්‍වාණ) දහමක් මම් දැනගන්නෙම් නම්, එ දහම වදාළ මැනව.
1128. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: පිඞ්ගියෙනි, යම් හෙයකින් තෙපි) තෘෂ්ණායෙහි ගැලී සිටි සත්ත්‍වයන් හටගත් සිත් තැවුලි ඇතියන් ජරායෙන් මඬනා ලද්දවුන් සේ දක්නවු ද එ හෙයින් පිඞ්ගියෙනි, තෙපි අප්‍රමත්ත වැ පුනර්‍භවය නො වනු පිණිස තෘෂ්ණාව දුරු කරවයි.
පිඞ්ගියමාණව පෘච්ඡා නිමි.
භාග්‍යවතුන් වහන්සේ මගධ දනවුයෙහි පාසාණක චේතිය නම් වෙහෙරෙහි වැඩ වසනසේක, මෙය දෙසූ සේක. බාවරීහුගේ අතැවැසි සොළොස් බමුණන් විසින් අයදනා ලද්දාහු පුළුවුත්පුළුවුත් පැන විසඳූ සේක. ඉදින් යමෙක් එකෙකි පැනයෙකැ පෙළ දැන අරුත් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියෙහි පිළිපදනේ නම් හේ ජරාමරණයන්ගේ පරතෙරට යන්නේ මැ ය, යම් හෙයෙකින් මේ ධර්‍මයෝ (නිර්‍වාණ) පාර ගමනාර්‍හ වෙත් ද එ හෙයින් මේ ධර්‍ම පර්‍ය්‍යායට ‘පරායන’ යනු මැ නම් වී ය.
1129. අජිතය, තිස්සමෙත්තෙය්‍ය ය, පූර්‍ණක ය, යළි මෙත්තගූ ය,ධෝතක ය. උපසීව ය, නන්‍ද ය, යළි හේමක ය,
1130. තෝදෙය්‍ය කප්ප යන දෙදෙනාය, පණ්ඩිත වු ජතුකණ්ණී ය, භද්‍රාවුධ ය, උදය, පෝසාල බ්‍රාහ්මණ ය, පණ්ඩිත වූ මෝඝරාජ ය, මහාර්ෂී වූ පිඞ්ගී ය ද යන.
1131. මොහු සමෘද්ධ වූ පසළොස් චරණධර්‍ම ඇති මහර්ෂී වූ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. සියුම් පැන පුළුවුස්නාහු බුද්ධශ්‍රේෂ්ඨයන් කරා පැමිණියහ.
1132. පැන පුළුවුස්නා ලද බුදුහු ඔවුනට ඇතිසැටිය ප්‍රකාශ කළහ. සර්‍වඥ මුනිහු පැන විසඳීමෙන් බමුණන් තුටු කළහ.
1133. පසැස් ඇති ආදිත්‍ය බන්‍ධු වූ බුදුරජානන් වහන්සේ විසින් තුටුකරන ලද්දාහු ඔහු උත්තම ප්‍රාඥ වූ සර්‍වඥයන් වහන්සේ වෙත මගබඹසරවස් වුසූහ.
1134. එකෙකි, පැනයට යම්සේ බුදුරදුන් විසින් වදාළ විසැඳුම් වේ ද, එසේ යමෙක් පිළිපදනේ නම් හේ අපාර සංඛ්‍යාත සංසාරයෙන් පාරසංඛ්‍යාත නිර්‍වාණයට යන්නේ ය.
1135. උතුම් වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුයේ අපාර සංඛ්‍යාත සසරින් පරතෙරට යන්නේ ය. පාරගමනයට හේ මාර්‍ග වෙයි. එ හෙයින් ‘පාරායන’ නම් වෙයි.
පාරායනානුගීතිගාථා
1136. (ආයුෂ්මත් පිඞ්ගිය බාවරීහට මෙසේ පැවසී:) බුදුරදුන් විසින් ගැයූ පරිද්දෙන් පාරායනය අනුගායනා කරන්නෙමි. බුදුරජානන් වහන්සේ යම් පරිද්දෙන් (සත්‍යාභිසම්බෝධයෙන්) දුටුසේක් නම්, එ පරිද්දෙන් වදාළසේක. නිර්‍මල වූ විපුලප්‍රඥා ඇති ප්‍රහීණ කළ කාම ඇති කෙලෙස්වල් හෝ තෘෂ්ණා විරහිත ලෝකනාථයන් වහන්සේ කුමක් හෙයින් මුසවා බණනසේක් ද?
1137. ප්‍රහීණ වූ රාගාදිමල හා මෝහ හා ඇති, මානය හා මකුබව හා දුරැලූ බුදුරජුන්ගේ ගුණෝපසංහිත වචනය මම එකත්නෙන් කීර්‍තනය කරන්නෙමි.
1138. බ්‍රාහ්මණය, අවිදුඅඳුර දුරැලූ, සමතැස් ඇති ලෝකාන්තයට ගිය, හැම භවයන් ඉක්ම වූ, ආස්‍රව රහිත වූ, සියලු දුක් ප්‍රහීණ කළ, සත්‍යනාම ඇති බුදුහු මා විසින් උපාශ්‍රිතයහ.
1139. පක්‍ෂියෙක් කුඩා වනය හැර පියා බොහෝ පලතුරු ඇති වනයකට පැමිණ වසන්නා සේ, මම ද (බාවරී ආදි) මඳ නුවණැතියන් හැරපියා (අනවතප්තාදි) මහවිලකට හංසයකු සෙයින් පැමිණියෙමි.
1140. පෙර (බාවරීආදි) යම් කෙනෙක් ගෞතමබුද්ධශාසනයෙන් පළමු ‘මෙසේ වීල, මෙසේ වන්නේ ල’යි යම් දහමක් මට ප්‍රකාශ කළාහු ද, එ හැම ‘මෙසේ, මෙසේ යැ ‘යි උපන් කථායෙක, එ හැම (කාමවිතර්‍කාදි) තර්‍ක වඩනා සුලු ය.
1141-1142. යම් සම්බුදු කෙනෙක් මට සාන්දෘෂ්ටිකඵල ඇති කල් නො යා දී දෙන පල ඇති, තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති, දහම් දෙසුසේක් ද, යම් බුදුකෙනෙකුන්ට කිසි තැනෙක්හි දු උපමායෙක් නැත් ද, භූරිප්‍රාඥ වූ එ ගෞතමයන් වහන්සේ අසහාය වැ අවිදුඅඳුර දුරැලා වැඩහුන් සේක. ජාතිමත්හ. ප්‍රභඞ්කරයහ. ගෞතමසර්‍වඥයන් වහන්සේ ඥානධ්වජ ඇතිසේක.
1143-1144. පිඞ්ගියබ්‍රාහ්මණයෙනි, තට යම් සම්බුදු කෙනෙක් සාන්‍ද්‍රෘෂ්ටික වූ අකාලික වූ තෘෂ්ණාක්‍ෂය වූ, කෙලෙස් උවදුරු නැති ධර්‍මය දෙසූසේක් නම්, යම් බුදුකෙනෙකුට කිසි තැනෙක්හි දු උපමායෙක් නැත් නම්, විපුල ප්‍රඥාධවජ ඇති එ ගෞතමයන් වහන්සේ කෙරෙන් ඒ මහාප්‍රාඥගෞතමයන් කෙරෙන් කිම, මොහොතකුදු වියෝව වෙසෙවුදැ’යි (බාවරී කී යැ.)
1145-1146. බමුණානෙනි, යම් සම්බුදු කෙනෙක් මට සාන්දෘෂ්ටික වූ අකාලික වූ තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද, යම් කෙනෙකුන්ට කිසි තැනෙක්හි දු උපමා නැද්ද, එ ඥානධ්වජ ඇති ගෞතමයන් වහන්සේ කෙරෙන් එ විපුලප්‍රඥා ඇති ගෞතමයන් වහන්සේ කෙරෙන් මම් මොහොතකුදු වෙන් වැ නො වසමි.
1147. බ්‍රාහ්මණයෙනි, අප්‍රමත්ත වූ (මම්) දවරෑහි මනසින් හා ඇසින් හා එ ගෞතමබුදුන් දක්මි. නමස්කාර කරමින් මැ රැය ඉක්වමි. එහෙයින් මැ අවිප්‍රවාසය හඟිමි.
1148. මාගේ ශ්‍රද්ධාව හා ප්‍රීතිය හා මනස හා ස්මෘතිය හා ගෞතම ශාසනයෙන් පහ වැ නොයෙයි. මහාප්‍රාඥයන් වහන්සේ යම් මැ දෙසකට වඩනාසේක් නම්, එ මම් එ දික්හි මැ නතුයෙම් වෙමි.
1149. ජීර්‍ණ වූ (එහෙයින් මැ) අල්පවීර්‍ය්‍ය ඇති මාගේ මේ කය, එ හෙයින් මැ එහි නො යෙයි. සංකල්පගමනින් එක්වන් යෙමි. බ්‍රාහ්මණය, එහෙයින් මැ මාගේ සිත එබුදුන් ඇති තන්හි මැ යෙදුනේ වෙයි.
1150. කාමපඩ්කයෙගි හෝනෙම් හාත්පසින් සැලෙනුයෙම් ශාස්තෘ සඞ්ඛ්‍යාත ද්වීපයෙන් ද්වීපයට පාවැ ගියෙමි. එක්බිති, (පහණසෑවෙහෙරෙහි දී) චතුරෝඝතරණය කළ ආස්‍රව රහිත වූ සම්බුදුන් දිටිමි.
1151. ශ්‍රද්ධාධිමුක්ත වක්කලී මහණය, භද්‍රාවුධ ය, ආළවිගෝතම ය, යන මොහු යම් බඳු වූහු නම්. එ සෙයින් මැ තෙපි දූ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වව. පිඞ්ගියෙනි, තො ද මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සංසාරයාගේ පාරයට යව.
1152. මුනීන්‍ද්‍රයන් වහන්සේගේ තෙල බස අසා මම් බෙහෙවින් පහදිම්. සම්බුදුහු පෙරළු (රාගාදි) සියන් ඇතියහ. (රාගාදි) ඛිල රහිතයහ. ප්‍රතිභානප්‍රතිසංවිද් ඇතියහ.
1153. අධිදේවකර ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන, හීන - ප්‍රණීත වූ හෝ (තමාත් මෙරමාත් පිළිබඳ වු) අධිදේවත්‍වකර ධර්‍මජාතය දතුවහ. ශාස්තෘන් වහන්සේ සැක ඇතිව මැ ‘සැක නැතියම්හ’යි පිළින කරණුවන්ගේ ප්‍රශ්න කෙළවර කරන්නාහ.
1154. යම් නිවනකට කිසි දු තැනෙක්හි උපමා නැද්ද, (රාගාදියෙන්) ගෙණ යා නො හැකි, අකෝප්‍ය වූ නිවන එකත්නෙන් අධිගම කරණෙම් මෙහිලා මට සැකයෙක් නැත. මෙසෙයින් (පිඞ්ගිය තෙපි) මා නිවනෙහි අධිමුක්තචිත්තයකු කොට ධරව“යි.
පාරායනවර්‍ගය නිමි.
සූත්‍රනිපාතය සමාප්ත යි.