Sutta Nipāta

Collection of Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1562 segments

පෙන්වන කොටස් 1401-1500 න් 1562

1040. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) නිදුකානන් වහන්ස, ප්‍රඥාව ද ස්මෘතිය ද (තදවශේෂ) නාමරූපය ද යන තෙල සියල්ල කොහි නිරුද්ධ වේ ද? මා විසින් පුළුවුස්නාලද මුඹ වහන්සේ තෙල කරුණ මට වදාළමැනව.
1041. අජිතයෙනි, තෙපි යම් පැනයක් විචාළවු ද, එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයත් රූපයත් නිරවෂේශයෙන් නිරුද්ධ වේ ද, (පශ්චිම) විඥානයාගේ නිරෝධය හාමැ (පෙර පසු නැතිව) තෙල විඥාන නිරෝධයෙහි මැ තෙල නාමරූපය උපරුද්ධ වෙයි. (විඥානනිරෝධය ඉක්මැ නො යෙයි).
1042. නිදුකානන් වහන්ස, මේ ලෝකයෙහි (අනිත්‍යාදි විසින්) විමසන ලද දහම් ඇති යම් (අශෛක්‍ෂ) කෙනෙක් වෙත් නම් යම් බොහෝ වූ ශෛක්‍ෂ කෙනෙකුත් වෙත් නම්, මා විසින් පුළුවුස්නා ලද සේක් (ශෛක්‍ෂාශෛක්‍ෂධර්‍මයෙහි) පණ්ඩිත වූ මුඹ වහන්සේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය වදාළ මැනැව.
1043. කාමයෙහි ගිජු නොවන්නේ ය. සිතින් නොකැළැඹුනෙක් වන්නේ ය. මහණ සකලධර්‍මයන්හි කුශල වූයේ ස්මෘතිමත් වැ හැසිරෙන්නේ යැ යි.
අජිතමාණව පෘච්ඡා නිමි.
තිස්සමෙත්තෙය්‍ය මාණව පෘච්ඡා
1044. (ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය මෙසේ පිළිවිත්:) කවරෙක් මෙලොව සන්තුෂ්ට වේ ද? කවරක්හට (තෘෂ්ණා දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද? කවරෙක් අන්තද්වය විශිෂ්ට ඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද? කවරක්හු මහාපුරුෂයයි කියන සේක් ද? මෙහි කවරෙක් තෘෂ්ණා සිබ්බනිය ඉක්මැගියේ දැයි?
1045. (මෙත්තෙය්‍යයෙනි, යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:) කාමයෙහි (ආදීනව දැක) මගබඹසර ඇති, පහ වූ තෘෂ්ණා ඇති හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින් දහම්) විමසා රාගාදිය (නිවීමෙන්) නිවුනු යම් මහණෙක් වේ නම්, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.
1046. හේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැන මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලෙයි. ඔහු මහාපුරුෂයයි කියමි. හේ මේ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මැ ගියේ යි.
තිස්සමෙත්තෙය්‍ය මාණව පෘච්ඡා නිමි.
පුණ්ණකමාණව පෘච්ඡා
1047. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ, (එහෙයින්) අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශල මූලාදිය දක්නා සුලු වූ භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇත්තමෝ ආම්හ. මෙලොවැ ඍෂීහු ය, මනුෂය්‍යයෝ ය, ක්‍ෂත්‍රියෝ ය, බ්‍රාහ්මණයෝ ය යන බොහෝ යාගකරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දේයධර්‍මය පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්‍යවතුන් වහන්ස, ඒ කරුණ මුඹවහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනවි.
1048. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය, ) මේ ලෝකයෙහි ඍෂීහු ය, මනුෂය්‍යයෝ ය, ක්‍ෂත්‍රියයෝ ය, බ්‍රාහ්මණයෝ ය යන මෙබඳු යම් බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, පුණ්ණකය, ඔහු ජරාව (සසර දුක්) නිසා මේ මනුෂ්‍යාදි භාවය පතන්නාහු (දෙවියනට) යාග කෙරෙත්.
1049. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) මෙ ලෝකයෙහි ඍෂීහු ය, මනුෂය්‍යයෝ ය, ක්‍ෂත්‍රියයෝ ය, බ්‍රාහ්මණයෝ ය, යන මෙබඳු බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්ස, කිම, ඔහු යාගයෙහි අප්‍රමත්ත වූවාහු ජාතියත් ජරාවත් තරණය කළාහු ද? නිදුකාණන් වහන්ස එය මුඹවහන්සේ විචාරමි. භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ මට වදාළ මැනවි,
1050. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:) පුණ්ණකය, ඔහු රූපප්‍රතිලාභාදිය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති. (යාගාදිය) පසසත්. (රූපාදි) ප්‍රතිලාභය පිණිස වාග්භේද කෙරෙත්. පූජා කරත්. රූපාදි ප්‍රතිලාභය සඳහා පුනපුනා කාමයන් මැ (අපට වුව මැනවැයි) කියත්. යාගයෙහි යෙදුනු, භවරාගයෙන් රැඳුනු ඔහු ජාතිජරාදි (සසර දුක) තරණය නො කළහ යි කියමි.
1051. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) නිදුකානන් වහන්ස, යාජයෝග වූ ඔහු ඉදින් යාගයන් කරණ කොට ජාතියක් ජරාවත් තරණය නො කළාහු නම්, නිදුකානන් වහන්ස, එකල්හි දෙව්මිනිස් ලොව කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? එ කරුණ පුළුවුස්මි භාග්‍යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැව.
1052. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: පුණ්ණකය,) සත්ත්‍ව ලෝකයෙහි (පරාත්මභාව ස්වාත්මභාවාදි) පරාවරයන් නුවණින් විමසා (දත්) යම් ක්‍ෂීණාස්‍රවයක්හට ලොවැ කිසි තැනෙක්හි ඉඤ්ජිතයෙක් නැද්ද, (සන්හුන් කෙලෙස් ඇති හෙයින්) ශාන්ත වූ කාය දුශ්චරිතාදි ධූම විරහිත වූ (රාගාදි) උපද්‍රව රහිත වූ ආශා රහිත වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම ජාතිජරා තරණය කෙළේයයි කියමි.
පුණ්ණකමාණව පෘච්ඡා නිමි.
මෙත්තගූමාණව පෘච්ඡා
1053. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ පිළිවිත්:) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ තෙල කරුණ පුළුවුස්මි. වදාළ මැනව. මුබ වහන්සේ ඥානවේදයාගේ පරතෙරට පැමිණි කෙනෙකුන් කොට වැඩූ සිත් ඇති කෙනෙකුන් කොට හඟිමි. ලෝකයෙහි අනේකස්වභාව වූ යම් කිසි දුක් කෙනෙක් වෙත් ද, මෙ දුඃඛයෝ කොයින් උපන්නාහු ද?
1054. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: මෙත්තගූ මාණවයෙනි, ) ඉදින් තෝ ජාත්‍යාදි දුකට කාරණය විචාරහි නම්, එය පසක් කොට දතුවකු සෙයින් තොපට පවසම්හ. ලෝකයෙහි අනේකස්වරූප වූ යම් දුඃඛයෝ වෙත් නම්, ඒ හැම දුඃඛයෝ (තෘෂ්ණාදි) උපධි හේතුයෙන් උපදනාහ.
1055. අපණ්ඩිත වූ යමෙක් (තෘෂ්ණාදි) උපධිය කෙරේ ද, මන්‍දප්‍රාඥ වූ හෙතෙම පුනපුනා සසර දුකට පැමිණෙයි. එහෙයින් (සංස්කාරයන් අනිත්‍යාදි විසින්) දන්නේ සංසාර දුඃඛය ජාතිය ප්‍රභවය කොට ඇතැ’යි දක්නේ (තෘෂ්ණාදි) උපධිය නොකරන්නේ යි.
1056. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ පිළිවිත්:) අපි යමක් විචාළමෝ නම්, එය මුඹ වහන්සේ අපට වදාළසේක. අනෙක් කරුණකුදු මුඹ වෙතින් විචාරමි. ඒකාන්තයෙන් එය දැන් වදාළමැනව. ධීරයෝ (කාමාදි චතුර්විධ) ඕඝයත් ජාති ජරා ශෝකපරිදේවදුකත් කෙසේ තරණය කෙරෙත් ද? සර්‍වඥමුනි වූ මුඹ වහන්සේ අයදිමි. එය මට විසඳා වදාළ මැනවි. යම් හෙයෙකින් මුඹ වහන්සේ විසින් තෙල දහම (සත්ත්‍වයන් විසින් අවබෝධ කරණ සේ පැනවීම් වශයෙන්) දන්නාලද ද, එහෙයිනි,
1057. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය, ) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදිධර්‍මයෙහි නොහොත් මේ අත්බැව්හි මැ ආත්මප්‍රත්‍යක්‍ෂ වූ යම් ධර්‍මයක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කෙරේ නම්, ඒ නිර්‍වාණධර්‍මයත් (නිර්‍වාණගාමිනීප්‍රතිපද්ධර්‍මයත්) තොපට ප්‍රකාශ කරන්නෙමි.
1058. මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් ව හැසිරෙනුයේ යම් ධර්‍මයක් දැන ලොව්හි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කරන්නේ නම් මම මුඹ වහන්සේගේ ඒ (ධර්‍මද්‍යොතක) භාෂිතය ද ඒ උත්තම ධර්‍මය ද පතමි.
1059. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය, ) අනාගතකාලාදි උඩ ද අතීතකාලාදි යට ද (වර්‍තමානකාලාදි ) මැද සරස ද වූ යම් කිසි ධර්‍මජාතයක් තෙපි දනිවු නම් තෙල ඌර්‍ධවාදි ධර්‍මයෙහි තෘෂ්ණා හා දෘෂ්ටිනිවේසනය ද අභිසංස්කාරවිඥානය ද දුරු කරව, දුරු කොට (උභය) භවයෙහි නො සිටිනේ යි.
1060. මෙසේ වසන සුලු ස්මෘතිමත් වූ අප්‍රමත්ත වූ මහණ තෘෂ්ණාදෘෂ්ටිමමායිතයන් හැරපියා හැසිරෙන්නේ විද්වද් වූයේ මෙ සස්නෙහි මැ නොහොත් මෙ අත්බව්හි මැ ජාතිය ද ජරාව ද, ශෝකපරිදේවදුක ද දුරැ ලන්නේ යි.
1061. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) මහර්ෂී වූ මුඹවහන්සේගේ තෙල වචනය සතුටින් පිළිගණිමි. ගෞතමයන් වහන්ස, මුඹ වහන්සේ විසින් නිරුපධි වූ නිර්‍වාණය මොනොවට ප්‍රකට කරණලද. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම වර්‍තදුඃඛය දුරැලුහු ද. එහෙයින්ම මැ මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නාලද,
1062. මුනි වූ මුඹවහන්සේ යමකුන්ට සකසා ඔවාදෙනසේක් ද, ඔහුදු ඒකාන්තයෙන් දුක් දුරලන්නාහ’යි හඟිම්. බුද්ධනාගයන් වහන්ස, එහෙයින් වෙත පැමිණ මුඹ වහන්සේ නමදිමි. භාග්‍යවතුන් වහන්සේ මට එක්වන් අවවාද කරන සේක් නම් මැනවි.
1063. ( බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) තෝ බාහිතපාප බ්‍රාහ්මණ වූ යමක්හු, සිවුමග නැණින් නිවනට පැමිණියකු කොට රාගාදි කිඤ්චන රහිතයකු කොට කාමයෙහි දු භවයෙහි දු නො ඇලුනක්හු කොට දනිහි නම්, ඒකාන්තයෙන් හෙ (කාමාදි වූ) මේ චතුරෝඝය තරණය කෙළේය. ඕඝතරණ කළ (රාගාදි) ඛිල රහිත වූ (දුඃඛාදියෙහි) කාඞ්ක්‍ෂා රහිත වූ හේ නිර්‍වාණ පාරයට ගියේ යි.
1064. තවද මෙ සස්නෙහි (මෙ අත්බැව්හි හෝ) යම් පුද්ගලයෙක් විද්වද් වූ ඥානවේදයෙන් නිවණට පත්වූයේ කුදුමහත් භවයෙහි රාගාදි වූ සඞ්ගය දුරැලා සිටියේ ද, විගතතෘෂ්ණා ඇති හේ උපද්‍රව නැතියේ ආශා රහිත වූයේ ය. හෙ ජාති ජරා (මරණ) තරණය කෙළේ යයි කියමි යි.
මෙත්තගූමාණව පෘච්ඡා නිමි.
ධොතකමාණව පෘච්ඡා
1065. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ මට වදාළ මැනව. මුඹ වහන්සේගේ වචනය රුස්නෙමි, මුඹ වහන්සේගේ ධර්‍මනිර්ඝෝෂය අසා රාගාදිය නිවනු සඳහා අධිශීලාදියෙහි හික්මෙන්නෙමි.
1066. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: ධෝතකය,) එසේ වී නම් මෙහි මැ නුවණැති වැ ස්මෘතිමත් වැ වැර වඩව. මාගේ වදන් අසා මෙ සස්නෙහි තමාගේ නිවන් පිණිසි හික්මෙන්නේය.
1067. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) මම දෙව්මිනිස්ලොව්හි හැසිරෙන, රාගාදිකිඤ්චන රහිත වූ බාහිතපාප හෙයින් බ්‍රාහ්මණ වූ දේවාතිදේවයන් දැන් දක්මි. සමතැස් ඇතියානෙනි, එබඳු වූ මුඹ වහන්සේ නමදිමි. ශාක්‍යයන් වහන්ස, විචිකිත්සායෙන් මා මුදනු මැනව.
1068. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ දෙසූහ: ධෝතකය,) මම ලෝකයෙහි විචිකිත්සා ඇති කිසිවකු මුදන්නට නො හැක්කෙමි. (උත්සාහ නොකරමි.) තෙපි ශ්‍රේෂ්ඨ ධර්‍මය ද දැන ගණිමින් මෙසේ මේ කාමාදිචතුරෝඝ තරණය කරව.
1069. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) ශ්‍රේෂ්ඨයන් වහන්ස, සියලු සංස්කාරයන්ගෙන් විවික්ත වූ යම් නිර්‍වාණධර්‍මයක් මම දැනගන්නෙම් නම්, ආකාශය සෙයින් මම යම්සේ නානා ප්‍රකාරභාවයට නො යන්නෙම් නම්, මේ අස්නෙහි මැ හුන්නෙම් නොහොත් නිවුණෙමි, (තෘෂ්ණාදෘෂ්ටි) නිඃශ්‍රය රහිත වැ හැසිරෙන්නෙම් නම්, එසෙයින් අනුකම්පා කරණසේක් (මට) අනුශාසනා කළ මැනව.
1070. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ධෝතකය,) ස්මෘතිමත්‍ව හැසිරෙනුයේ දක්නාලද දුඃඛාදිධර්‍මයෙහි නොහොත් මේ අත්බැව්හි මැ තමාට පසක් වූ යම් දහමක් දැන ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කෙරේ නම්, ඒ නිර්‍වාණධර්‍මය ද (නිර්‍වාණගාමිනී ප්‍රතිපද්ධර්‍මය ද) තොපට ප්‍රකාශ කරන්නෙමි.
1071. (ආයුෂ්මත් ධෝතක මෙසේ කීය:) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලෝකයෙහි විසත්තිකා නම් (තෘෂ්ණාව) තරණය කෙරේ නම් මම මුඹ වහන්සේගේ ඒ ධර්‍මයද්‍යොතකවචනය ද රුස්මි. ඒ උත්තම ශාන්තිය ද පිළිගන්මි.
1072. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ධෝතකය,) (අනාගතාදි) උඩ ය, (අතීතාදි) යට ය (වර්‍තමානකාලනම් වූ) මධ්‍යය වූ සරස දැ’යි යම් කිසි ධර්‍මජාතයක් තෝ දනිහි නම් තෙල ධර්‍මජාතය ලෝකයෙහි සඞ්ග යයි දැන කුදුමහත්භවය සඳහා තෘෂ්ණා නො කරව යි.
ධොතකමාණව පෘච්ඡා නිමි.
උපසීවමාණව පෘච්ඡා
1073. (ආයුෂ්මත් උපසීව මෙසේ ඇසී:) ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, එකලා වූ මම (කිසි පුඟුලකු හෝ දහමක් හෝ) ඇසුරු නො කෙළෙම් (කාමාදි) මහත් ඕඝතරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, යම් කිසි දහමක් හෝ පුඟුලකු ඇසුරු කෙළෙම් මේ කෙලෙස්වතුරු තරණය කෙරෙම් නම් ඒ නිඃශ්‍රය වදාරණසේක්වා.
1074. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: උපසීවය,) සිහි ඇතියෙහි ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය (අනිත්‍යාදි විසින්) දක්මින් ‘නත්‍ථි කිඤ්චි’යි පැවැති. එ සමවත ඇසුරු කොට මේ චතුරෝඝය තරණය කර වස්තුකාම ක්ලේශකාමයන් හැරපියා, කථංකථා සඞ්ඛ්‍යාත විචිකිත්සායෙන් වෙන් වූයෙහි දවරෑහි තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන විභූත කොට දක්නෙහි.
1075. (උපසීව ආයුෂ්මත් මෙසේ ඇසී:) යමෙක් සියලු කාමයන්හි පහවූ රාග ඇත්තේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ඇසුරු කෙළේ නම් උත්තම සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුනේ නම්, හේ ඒ ආකිඤ්චඤ්ඤායතන බඹලොව්හි වියෝගයට නොයනසුලු වැ සිටිනේ ද?
1076. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: උපසීවය,) යමෙක් හැම කාමයන්හි වීතරාග වූයේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ඇසුරු කෙළේ ඒ උත්තමසංඥාවිමෝක්‍ෂයෙහි ඇලුනේ නම් හෙතෙම (එයින්) නො පිරිහෙමින් ඒ ආකිඤ්චඤ්ඤායතන බ්‍රහ්මලෝකයෙහි (කප්සැටදහසක්) සිටුනේ යි.
1077. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, ඉදින් හේ එයින් නොපිරිහෙන සුලු වැ නොයෙක් හවුරුදු සියදහස් ගණන් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටිනේ නම්, හෙතෙම එහි මැ දුකින් මිදුනේ ශීතීභාවයට පැමිණියේ එහි මැ සිටිනේ ද? එ බඳු වූ වහුගේ විඥානය එහි ම පිරිනිවේ ද?
1078. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: උපසීවය,) වාතවේගයෙන් බැහැර කරණ (නිවන) ලද ගිනිසිලෙක් යම්සේ අස්තයට යේ නම්, (අසෝ දිගට ගියේ යැයි) ව්‍යවහාරයට නො යේ නම්, එසෙයින් මැ (එහි උපන්) ශෛක්‍ෂමුනි තෙම නාම කයින් මිදුනේ අස්තයට යෙයි. ක්‍ෂත්‍රියාදි ව්‍යාවහාරයට නො යෙයි.
1079. (ආයුෂ්මත් උපසීව මෙසේ ඇසීය:) මුනීන්‍ද්‍රයන් වහන්ස, ඒ අරූපී ආර්‍ය්‍ය පුද්ගල අස්තයට ගියේ නොහොත් අවිද්‍යාමාන වූයේ ද? නොහොත් හේ ඒකාන්තයෙන් ශාශ්වත භාවයෙන් අරෝග වූයේ (අවිපරිණාම ස්වභාවයෙන්) සිටිනේ ද? මුනීන්‍ද්‍රයන් වහන්ස, එය මට මැනැවින් ප්‍රකාශ කොට වදාළ මැනැව. යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දන්නාලද ද, එහෙයිනි.
1080. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: උපසීවය,) අනුපාදාපරිනිර්‍වාණයෙන් පිරිනිවියාහට (රූපාදි) ප්‍රමාණයෙක් නැත. රාගාදි යම් ප්‍රමාණයෙකින් ඔහට කියත් නම්, ඒ ප්‍රමාණය ඔහට නැත (ස්කන්‍ධාදි) සියලු ධර්‍මයන් නැසූ කල්හි හැම වාදපථයෝ ද නසනලද වෙතියි.
උපසීවමාණව පෘච්ඡා නිමි.
නන්‍දමාණව පෘච්ඡා
1081. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) ලොව්හි ක්‍ෂත්‍රියාදි ජනයෝ (ආජීවක නිගණ්ඨාදි) මුනිහු ඇතැයි කියත්. එය කෙසේ ද? (සමාපත්ති, අභිඥා) ඥානයෙන් සමුපේත වූවහු මුනි යයි කියත් ද? නොහොත් රූක්‍ෂජීවිතයෙන් සමුපේත වූවහු මුනි යයි කියත් ද?
1082. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:) නන්‍දයෙනි, මෙසස්නෙහි ස්කන්‍ධාදියෙහි හෝ) දක්‍ෂයෝ දෘෂ්ටියෙන්, ශ්‍රැතියෙන් ඥානයෙන් මුනි යයි නො කියත්. යම් කෙනෙක් කෙලෙස් ස්නේහ නසා (රාගාදි) ව්‍යසන රහිත වැ නිරාශ වැ හැසිරෙත් නම්, ඔහු මුනිහු යයි මම කියමි.
1083. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මහණ බමුණු කෙනෙක් දෘෂ්ටියෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය (මුක්තිය) කියත් නම්, ශීලව්‍රතයෙනුදු ශුද්ධිය කියත් නම්, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම්, නිදුකානන් වහන්ස කිම, (ඒ දෘෂ්ටිගතිකයෝ) එ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙන්නාහු ජාතියත් ජරාවත් තරණය කළාහු ද? භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළමැනැවි.
1084. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: නන්‍දයෙනි,) මෙ යම් කිසි මහණබමුණු කෙනෙක් දෘෂ්ටියෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් නම්, ශීලව්‍රතයෙනුදු ශුද්ධිය කියත් නම්, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම්, වැලිත් ඔහු එ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙත් නම් (ඔහු) ජාතිය හා ජරාව තරණය නො කළහ’යි කියමි.
1085. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, මෙ යම් කිසි මහණබමුණු කෙනෙක් දෘෂ්ටියෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීල ව්‍රතයෙනුදු ශුද්ධිය කියත් ද අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද,
1086. මුනීන්‍ද්‍රයන් වහන්ස. ඉදින් ඒ දෘෂ්ටිගතිකයන් ඕඝතරණය නො කළවුනැ’යි වදාරණසේක් නම්, නිදුකානන් වහන්ස, එසේවත් මැ දෙව්මිනිස් ලොව්හි කවර කෙනෙක් ජාතියත් ජරාවත් තරණය කළාහු ද? භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැවි.
1087. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: නන්‍දයෙනි,) මම හැම මහණබමුණෝ ජාතිජරා විසින් අවුරණලදහ’යි නො කියමි. මේ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටිශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැරපියා හැම අනේකවිධ කොතුහලමඞ්ගලශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූහු ද ඒ පුද්ගලයෝ එකැතින් ඕඝතරණය කළහ’යි කියමි.
1088. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ කියයි:) මහර්ෂී වූ මුඹ වහන්සේගේ තෙල භාෂිතය මම සතුටින් පිළිගණිමි. ගෞතමයන් වහන්ස, උපධි රහිත වූ නිවණ මොනොවට ප්‍රකටකරණලද ය මෙ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැරපියා හැම අනේකවිධ වූ කොතුහලමඞ්ගලශුද්ධිය ද හැරපියා ත්‍රිවිධ පරිඥායෙන් තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූහු නම් මම ද ඔහු ඕඝතරණය කළහ’යි කියමි.
නන්‍දමාණව පෘච්ඡා නිමි.
හේමක මාණවක පෘච්ඡා
1089. (ආයුෂ්මත් හේමක මාණවක මෙසේ විචාරයි.) භාග්‍යවතුන් වහන්ස, පෙර (බාවරී බ්‍රාහ්මණ ආදි යම් කෙනෙක් ගෞතම ශාසනයෙන් පළමු “මෙසේ වී ල, මෙසේ වන්නේ ල“යි (යම් ධර්‍මයක්) මට දෙසූහු නම්, ඒ හැම දහම් “මෙසේ මෙසේ” යයි උපන් කථා වෙයි. ඒ හැම (කාම විතර්‍කාදි) තර්‍ක වඩන සුලු වෙයි. මම් එහි නො ඇලුනෙමි.
1090. මුනීන්‍ද්‍රයන් වහන්ස, ස්මෘතිමත් වූයෙම් යම් දහමක් දැන හැසිරෙන්නෙම් ලොව්හි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කෙරෙම් නම් මුඹ වහන්සේ තෘෂ්ණාව වනසන එබඳු දහමක් මට වදාළ මැනවි.
1091. හේමකය, මෙ ලොව්හි රූපායතන ශබ්දායතන ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යාතන ධර්‍මායතන සඞ්ඛ්‍යාත වූ ප්‍රිය ස්වභාවයන්හි ඡන්‍දරාගප්‍රහාණය වූ ච්‍යුති රහිත වූ නිර්‍වාණ පදය වෙයි.
1092. ස්මෘතිමත් වූ දක්නාලද අනිත්‍යාදි දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල අමාමහනිවන මගනැණින් දැන කෙලෙස් පිරිනිවීමෙන් නිවුනාහු සන්හුන් වූවාහු නම්, ඔහු හැම කල්හි ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කළාහු වෙති’යි.
හේමක මාණවක පෘච්ඡා නිමි.
තෝදෙය්‍ය මාණවක පෘච්ඡා
1093. (තෝදෙය්‍ය මාණවක මෙසේ ඇසීය:) යම් පුඟුලකු කෙරෙහි කාමයෝ නො ලගිත් ද යමකුට තෘෂ්ණාවත් විද්‍යාමාන නොවේ ද, යම් පුද්ගලයෙක් කථංකථීභාවයත් තරණය කෙළේ ද, ඔහුගේ විමෝක්‍ෂය කෙබඳු වේ දැ?යි.
1094. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: තෝදෙය්‍යයෙනි, ) යම් පුද්ගලයකු කෙරෙහි කාමයෝ නො ලග්නාහු ද, යමකුට තෘෂ්ණාත් නැත් ද, විචිකිත්සා සඞ්ඛ්‍යාත කථංකථීභාවයත් යමෙක් තරණය කෙළේ ද, ඔහට අන්‍ය විමෝක්‍ෂයෙක් නො වේ.
1095. ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද? හේ ප්‍රඥා ඇතියේ ද? නොහොත් සමාපත්ති ආදිඥනයෙන් තෘෂ්ණා දෘෂ්ටිකල්ප කරණුයේ ද? ශාක්‍යයන් වහන්ස, යම් පරිද්දෙකින් මම් මුනිහු හඳුනාගන්නෙම් නම්, සමතැස් ඇති භාග්‍යවතුන් වහන්ස, එපරිද්දෙන් මට එකරුණ වදාළ මැනව.
1096. එ මුනි තෙම තෘෂ්ණා රහිත ය, හේ ආශා සහිත නො වේ. හේ ප්‍රඥා ඇතියේ ය. (සමාපත්ති ආදි) ඥානයෙන් නොද තෘෂ්ණා - දෘෂ්ටිකල්ප කරන්නේ වෙයි. තෝදෙය්‍යයෙනි, මෙසේ (තෝ) කාමයෙහි දු භවයෙහිදු නො ඇලුනු පළිබෝධ නැතියහු මුනි යයි දනුව යි.
තෝදෙය්‍ය මාණවක පෘච්ඡා නිමි.
කප්පමාණවක පෘච්ඡා
1097. (ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකානන් වහන්ස, (පූර්‍ව - අපර කොටීන් නො පැණෙන හෙයින්) මධ්‍යවූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනාලද්දවුනට ජාත්‍යාදි මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව වදාළ මැනැවි. යම් පරිද්දෙකින් යලි මෙ දුක නො වන්නේ ද, එපරිද්දෙන් මට ප්‍රතිෂ්ඨාව ද වදාළ මැනැවි.
1098. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: කප්පමාණවයෙනි,) මධ්‍ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනාලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි කප්පය, තොපට ප්‍රතිෂ්ඨාව දෙසමි.
1099. ප්‍රතිභාග වූ අපර ප්‍රතිෂ්ඨා රහිත වූ තෙල ප්‍රතිෂ්ඨාව රාගාදි කිඤ්චන රහිතය. තෘෂ්ණාදාන රහිත ය. ජරාමරණව්‍යපශමය වූ එය නිර්‍වාණ යයි කියමි.
1100. ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින්) දක්නාලද ධර්‍ම ඇති යම් රහත්හු තෙල නිර්‍වාණය දැන ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවියාහු වෙද්ද, ඔහු මාරවශයට ගියාහු නො වෙති. ඔහු මාරයාගේ මඟ යන්නාහු (පරිවාරකයෝ) නො වෙති යි.
කප්පමාණවක පෘච්ඡා නිමි
ජතුකණ්ණීමාණවක පෘච්ඡා
1101. (ආයුෂ්මත් ජතුකණ්ණීමාණවක මෙසේ ඇසීය:) වීරයන් වහන්ස, මම මුඹ වහන්සේ (කාමයන් නොපතන හෙයින්) අකාමකාමී වූ චතුරෝඝතරණය කළ කෙනෙකැ’යි අසා නිෂ්කාම වූ භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නට ආයෙමි. සහජාත සර්‍වඥතා ඥානචක්‍ෂුස ඇතියානෙනි, ශාන්තිය හා ශාන්තිපදය හා (නිවන) වදාළ මැනව. භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ තථ්‍ය වු පරිදි වදාළ මැනවි.
1102. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ තෙදැති හිරු සියතෙදින් පොළොව සෙයින් කාමයන් මැඩ ලා වෙසෙනසේක් ද, එහෙයින් මහාප්‍රාඥයන් වහන්ස, මේ අත් බැව්හි මැ ජාති - ජරාවන්ගෙන් ප්‍රහාණය වූ යම් දහමක් දැනගන්නෙම් නම්, එ දහම මන්‍දප්‍රාඥ වූ මට වදාරණසේක්වා.
1103. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ජතුකණ්ණීයෙනි,) නෛෂ්ක්‍රම්‍යයක්‍ෂේම වශයෙන් දැක වස්තුකාම ක්ලේශකාමයෙහි තෘෂ්ණාව දුරලව, තෘෂ්ණාදෘෂ්ටි විසින් ගන්නාලද්දෙක් හෝ හළයුත්තෙක් හෝ (රාගාදි) කිඤ්චනයෙක් හෝ තොපට නහමක් වේවා.
1104. අතීත සංස්කාර ඇරැබ යම් ක්ලේශජාතයෙක් වේ නම්, එය මාර්‍ගඥානාග්නියෙන් වියළව, අනාගත සංස්කාර අරැබැ ද තට කිඤ්චනයෙක් (පලිබෝධයෙක්) නහමක් වේ වා. ඉදින් ප්‍රත්‍යුත්පන්න සංස්කාරයන් තෘෂ්ණාදෘෂ්ටි විසින් නොගන්නෙහි නම් උපශාන්ත ව හැසිරෙන්නෙහි.
1105. බ්‍රාහ්මණය, නාමරූපයන් කෙරෙහි සර්‍වප්‍රකාරයෙන් පහ කළ තෘෂ්ණා ඇති එ රහත්හට යම් ආස්‍රවයන් හේතු කොට ගෙණ මරවසට යේ නම් එ ආස්‍රවයෝ විද්‍යාමාන නොවෙති’යි.
ජතුකණ්ණී මාණව පෘච්ඡා නිමි
භද්‍රාවුධමානවක පෘච්ඡා
1106. (ආයුෂ්මත් භද්‍රාවුධ මෙසේ විචාරයි:) පඤ්චකාමගුණාලය දුරැලූ, ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටෙලෝදහම්හි නොසැලෙන, අනාගත රූපාදිප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නන්‍දිය හැරපියූ, චතුරෝඝතරණය කළ, කෙලෙසුන් කෙරෙන් මිදුනු, තෘෂ්ණා-දෘෂ්ටිකල්පයන් දුරැලූ ශෝභනප්‍රඥා ඇති තථාගතයන් වෙසෙසින් අයදිමි. නාගයන් වහන්සේගේ ධර්‍මය අසා මෙ පහණසෑයෙන් බොහෝ ජනයෝ නික්ම යෙති.