950. ක්‍ෂීණාස්‍රව වූ මුනි තෙම සත්‍යයෙන් නො ඉක් මැ නිවන් තෙලෙහි සිටී. හේ ඒකාන්තයෙන් සියලු ආයතනයන් දුරලා ශාන්ත වූයේ යයි කියනු ලැබේ.
951. සංස්කෘත ධර්‍මයන් අනිත්‍යාදි විසින් දැන තෘෂ්ණා දෘෂ්ටිනිඃශ්‍රය රහිත හෙතෙම ඒකාන්තයෙන් පණ්ඩිත වූයේ වෙයි. හෙතෙම චතුර්මාර්‍ගඥානයට පැමිණියේ වෙයි. හෙතෙම සත්ත්‍වලෝක යෙහි මොනොවට ඉරියවු පවත්වනුයේ මෙ ලොව කිසිවකුටත් තෘෂ්ණා නො කෙරෙයි.
952. මේ සත්ත්‍වලෝකයෙහි යමෙක් වස්තුකාම ක්ලේශකාමයන් හා ඉක්මැවීමට දුෂ්කර වූ රාගාදි සඞ්ගය ද ඉක්මැවී ද සිඳින ලද තෘෂ්ණාස්‍රෝතස ඇති, රාගාදි බන්‍ධන නැති හේ ශෝක නො කෙරෙයි නො සිතයි.
953. අතීතයෙහි වූ සංස්කාරයන් ඇරැබැ උපදනා යම් කෙලෙස් වේ නම්, එය වියළව, අනාගතයෙහි වන සංස්කාරයන් ඇරැබ උපදනා රාගාදි කිඤ්චන තට නහමක් වේවා, ඉදින් වර්‍තමානයෙහි රූපාදි සංස්කාරයන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගන්නෙහි නම් උපශාන්ත වැ හැසිරෙන්නෙහි.
954. යම් ක්‍ෂීණාස්‍රවයකුට නාම-රූප දෙක නිමිති කොට තෘෂ්ණෘ දෘෂ්ටි මමත්‍වයෙක් නැද්ද, මමත්‍වය නැති බැවින් ම ශෝක නො කෙරේ ද හෙතෙම ඒකාන්තයෙන් ලොවැ නො පිරිහේ.
955. යම් ක්‍ෂීණාස්‍රවයකුට ‘මෙ මාගේ යැ’යි හෝ වැලි අනුන්ගේ යැ යි හෝ රාගාදි කිඤ්චනයෙක් නැත් ද, හෙතෙම තෘෂ්ණාදෘෂ්ටි මමත්‍වය නො ලබනුයේ ‘මෙය මට නැතැ’යි ශෝක නො කෙරේ.
956. ඒ කම්පිත නො වන සුලු පුද්ගලයා පුළුවුස්නා ලද මම “(හෙ) ඊර්‍ෂ්‍යා නැතියෙක, (රූපාදියෙහි) නො ගිජු වූයෙක, තෘෂ්ණා රහිතයෙක හැම තන්හි සම පැවැතුම් ඇත්තෙක” යන මෙ අනුසස් සතර කියමි.
957. තෘෂ්ණා රහිත වූ සංස්කාරයන් දුඃඛාදි වශයෙන් දන්නහුට (පුණ්‍යාභිසංස්කාරාදී ) කිසි සංස්කාරයෙක් නැත. සංස්කාරයෙන් තොර වූ හේ හැම තන්හි ක්‍ෂේමය දක්නේ යි.
958. රහත් මුනි තෙම (මාන විසින් තමා) සම වූවන් කෙරෙහි දු ලා නො කියයි. හීනයන් කෙරෙහි ලාත් නො කියයි. ශ්‍රේෂ්ඨයන් කෙරෙහි ලාත් නො කියයි. සන්හුන් කෙලෙස් ඇති පහව ගිය මසුරුමල ඇති, හෙතෙම රූපාදි කිසි ධර්‍මයක් නිත්‍ය, ශුභාදි විසින් නො ගන්නේ ය. බැහැර ද නො කෙරේ යයි (මෙසේ බුදුහු වදාළහ.)
අත්තදණ්ඩ සූත්‍රය නිමි.
4. 16.
සාරිපුත්‍ර සූත්‍රය
959. (ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ මෙසේ වදාළහ:) මෙසේ මිහිරි තෙපුල් ඇති තුසී දෙව් ලොවින් සැව මවුකුසට පැමිණි, නො හොත් දෙව්ලොවින් නික්ම ගණ මැදට පැමිණි, හෝ රහත් ගණ මැදට පැමිණි නොහොත් රහතුන්ගේ ගණාචාර්‍ය්‍ය භාවයට පැමිණි ශාස්තෘහු මෙයින් පෙර (මෙවන් පෙළහර ඇති වැ) මා විසින් නො දක්නා ලදහු වෙත් නොහොත් කිසිවක්හුගේ බසින් නො ද අසන ලදහු වෙත්.
960. පසැස් ඇති බුදුහු සදෙව් ලොවට යම් සේ පැණෙත් නම්, මිනිස්නට ද එසේ මැ පැණෙත්. නොහොත් සදේවක ලෝකයට අවිපරීත කොට පැණෙත් එකලා වූවාහු මැ (රාගාදි කෙලෙස් අඳුරු දුරු කොට නෛෂ්ක්‍රම්‍යාදි) රතියට පැමිණි සේක.
961. මේ සස්නෙහි ක්‍ෂත්‍රියාදි බොහෝ ශිෂ්‍යයන් අතුරෙන් අර්ත්‍ථී වූ මම තෘෂ්ණා-දෘෂ්ටි රහිත වූ ලාභාලාභාදියෙහි තාදි වූ කොහොන් වතින් තොර වූ ගණාචාර්‍ය්‍ය වූ සකස් පුරදොරට වැඩි ඒ බුදුන් කරා ප්‍රශ්න හේතුයෙන් පැමිණියෙමි.
962. ජාති ආදියෙන් ජුගුප්සා කරණ රුක්මුල හෝ සොහොන හෝ පර්‍වතයන් සම්බන්‍ධි ගුහාවන්හි හෝ පස්කම් ගුණෙන් විවික්ත වූ ආසනය සෙවුනා මහණහට-
963. මහණතෙම නිර්ඝෝෂ වූ සෙනස්නෙහි යම් භෛරවයන් ගෙන් නො සැලේ නම්, එ කුදු මහත් සෙනසුන්හි කීපමණ භෛරවයෝ වෙත් ද, එහි නාද කරණ භයානක අරමුණු වෙත්.
964. ප්‍රාන්ත ශයනාසනයෙහි වසන මහණ යම් උවදුරු කෙනකුන් මැඩ පවත්වාලන්නේ නම්, නො ගියවිරූ අමාමහනිවන් දෙසට යන ඒ මහණ හට ලොවැ එබඳු උපද්‍රවයෝ කොතෙක් වෙත් ද.
965. ප්‍රාරබ්ධ වීර්‍ය්‍ය ඇති ඒ මහණහට කෙබඳු වචනයෝ වෙත් ද? ඔ හට මෙ ලෙ ව්හි කෙබඳු ගෝචරයෝ වෙත් ද? ඔ හට කෙබඳු වූ ශීලව්‍රත කෙනෙක් වෙත් ද?
966. සමාහිත් සිත් ඇති, ප්‍රඥාවත් වූ ස්මෘතිමත් වූ ඒ මහණ තෙම කවර ශික්‍ෂාවක් සමාදන් වැ කඹුරකු ජාතරූපයාගේ මලහරණා සේ තමාගේ කෙලෙස් මල පිඹහැර පීයන්නේ ද?
967. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ශාරිපුත්‍රය, ජාත්‍යාදියෙන් පිළිකුල් කරන්නා වූ ඒකාන්තයෙන් විවික්ත වූ ශයනාසනය සේවන කරණ (සිවුමග නැණ නම් වූ) සම්බෝධිය පතන්නා වූ මහණහට යම් බඳු පහසු විහරණයෙක් වේ නම්, යම් බඳු අනුධර්‍මයෙකුත් වේ නම්, තොපට එය ප්‍රත්‍යක්‍ෂයෙන් දතුවකු සෙයින් පවසන්නෙමි.
968. ධීර වූ ස්මෘතිමත් වූ ශීලාදි සතර පර්‍ය්‍යයන්තයෙහි හැසිරෙන සුලු වූ මහණ ඇටමැස්සන් හා සෙසු මැස්සන්ට ද දීර්‍ඝ ජාතීන්ට ද චෞරාදි මනුෂ්‍ය ස්පර්‍ශයන්ට ද සිංහාදි සිවුපාවුන්ට ද යනාදි පඤ්චභීතීන්ට නො බානේ යි.
969. නො සහදැමි වූ බාහිරක ශාසනිකයන්ට ද නො බානේ ය, ඔවුන්ගේ බිය දනවන බොහෝ අරමුණු දැක ද තැති නො ගන්නේ ය. තවද කුශලධර්‍මාන්‍වෙෂී වූයේ අන් උවදුරු ද මැඩ පවත්වන්නේ යි.
970. රෝගස්පර්‍ශයෙන් ද කුසගින්නෙන් ද පහස්නාලදුයේ ශීත හා අත්‍යුෂ්ණය ඉවසන්නේ ය. හෙතෙම ඒ රෝගාදිස්පර්‍ශයෙන් නොයෙක් අයුරින් පහස්නාලදුයේ අභිසංස්කාර සහගත විඥානයට හෝ දුශ්චරිතයට අවකාශ නො කරණුයේ චෛතසික වීර්‍ය්‍යාරම්භය දැඩි කොට කරන්නේ යි.
971. සොරකම් නො කරන්නේ ය. මුසා නො කියන්නේ ය. තෘෂ්ණා සහිත වූත් ස්ථාවර වූත් (පෘථග්ජන-ක්‍ෂීණාස්‍රව) පුද්ගලයන් කෙරෙහි මෙත් සිත් පතුරුවන්නේ ය. යම් කලෙක්හි චිත්තයාගේ කැලැඹුණු බවක් දක්නේ නම් එය තෘෂ්ණා වූ මාරයාගේ පක්‍ෂ යයි (සිතා) දුරුකරන්නේ යි.
972. ක්‍රෝධයාගේත් අතිමානයාගේත් වශයට නොයන්නේ ය. එ ක්‍රෝධාතිමානයන්ගේ මූලය වූ අවිද්‍යාදිය ද උදුරාපියා සිටුනේ ය. යළිත් ප්‍රියවස්තු හා අප්‍රිය වස්තු හා මැඩලනුයේ ඒකාන්තයෙන් අභිභවනය ද කරන්නේ යි.
973. කල්‍යාණ වූ ප්‍රීතියෙන් යුක්ත වූයේ ප්‍රඥාව පෙරටු කොට ඒ ප්‍රකට වූත් ප්‍රතිච්ඡන්න වූත් උපද්‍රවයන් යටපත් කර ප්‍රාන්ත ශයනාසනයෙහි අරතිය මැඩ පවත්වන්නේ ය. චතුර්විධ පරිදේව ධර්‍මයන් අභිභවනය කරන්නේ යි.
974. කුමක් වළඳනෙම් ද? කොහි හෝ වළඳනෙම් ද? මෙ රෑ ඒකාන්තයෙන් දුකසේ ශයනය කෙළෙම් අද රෑ කොහි හොවීම් ද? යන මේ වැලපියයුතු වූ සතර විතර්‍කයන් පරිබෝධ රහිත වැ හැසිරෙන සුලු ශෛක්‍ෂ තෙමේ දුරු කරන්නේ යි.
975. මේ ශාසනයෙහි ඒ මහණ නිසි කල්හි පිණ්ඩපාත සඞ්ඛ්‍යාත ආහාර ද චීවර සඞ්ඛ්‍යාත වස්ත්‍ර ද ලැබ ඉතරෙතෙර ප්‍රත්‍යය සන්තෝෂය සඳහා පටිග්ගහණ පරිභෝගයෙහි මාත්‍රය දන්නේ ය. හෙතෙම එ ප්‍රත්‍යයන්හි සංයත චිත්ත ඇතියේ ගම්හි සංවරයෙන් යුක්ත වැ හැසිරෙන සුලුයේ මෙරමා විසින් ගටනාලදුයේ නමුදු පරොස්බස් නො කියන්නේ යි.
976. යටැ බලා හෙලූ ඇස් ඇතියේ පාදලෞල්‍ය නැතියේ උභයධ්‍යානයෙහි යෙදුනේ නිදි වැරීමෙන් යුක්ත වන්නේ ය. චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව උපදවා එකඟ වූ සිත් ඇතියේ කාමාදිවිතර්‍ක හා විතර්‍කාශ්‍රය ද කෞකෘත්‍යය ද සිඳිනේයි.
977. උපාධ්‍යායාදීන් විසින් වචනයෙන් චෝදනා කරණ ලදුයේ සිහි ඇති වැ මැ එය සතුටින් පිළිගන්නේ ය. සබ්‍රම්සරුන් කෙරෙහි ගැටෙන සිත් ඇති බව (ක්‍රෝධය) බිඳ පියන්නේ ය. නුවණින් උපදවන ලද තෙපුල් මැ බණන්නේ ය. කාලවේලා ශීලවෙලා නො ඉක්මැ බණන්නේ ය. ජනයාගේ උපවාද කථායෙහි සිතිවිලි නූපදවන්නේ යි.
978. නැත අනෙකක් ද කියමි. යම් රජස් කෙනෙකුන්ගේ ප්‍රහාණය පිණිස ස්මෘතිමත් වූයේ හික්මෙන්නේ නම්, ලෝකයෙහි එබඳු පඤ්ච රජස් කෙනෙක් වෙති: රූපාලම්බනයෙහි දු ශබ්දා ලම්බනයෙහි දු යළි රසාලම්බනයෙහි දු ගන්‍ධාලම්බනයෙහි දු ස්පර්‍ශාලම්බනයෙහි දු ඡන්‍දරාගය මඩනේ යි.
979. එළැඹ සිටි සිහි ඇති කෙලෙසුන් කෙරෙන් මොනොවට මිදුනු සිත් ඇති මහණ තෙම තෙල රූපාදි ධර්‍මයන් කෙරෙහි කාමච්ඡන්‍දය දුරු කරන්නේ ය. සුදුසු කාලයෙහි හෙතෙම සියලු සංස්කාරධර්‍මය අනිත්‍යාදි වශයෙන් මොනොවට විමසනුයේ එකඟ වූ සිත් ඇතියේ මෝහාදි හැම අන්‍ධකාරය නසන්නේ”යි.
සාරිපුත්ත සූත්‍රය නිමි.
සතර වැනි අට්ඨකවග්ග යි.
එහි උද්දානය:
කාම සූත්‍ර ය, ගුහට්ඨක සූත්‍ර ය, දුට්ඨට්ඨක සූත්‍ර ය, සුද්ධට්ඨක සූත්‍ර ය, පරමට්ඨක සූත්‍ර ය, ජරා සූත්‍ර ය, තිස්සමෙත්තෙය්‍ය සූත්‍ර ය, පසූර සූත්‍ර ය, මාගන්‍දිය සූත්‍ර ය, පුරාභේද සූත්‍ර ය, කලහ විවාද සූත්‍ර ය, චූල වියූහ සූත්‍ර ය, මහාවියූහ සූත්‍ර ය, තුවටක සූත්‍ර ය, අත්තදණ්ඩ සූත්‍ර ය, සාරිපුත්ත සූත්‍ර ය, දැයි තෙල සොළොස් සූත්‍රයෝ අෂ්ටක වර්‍ගයෙහි වෙති යි.
5. පාරායන වර්‍ගය
වස්තුගාථා
980 වේදමන්ත්‍රයෙහි කෙළ පැමිණි (බාවරී) බ්‍රාහ්මණ අකිඤ්චනභාවය (පරිග්‍රහෝපකරණ විවේකය) පතන්නේ කොසොල් රට රම්‍ය වූ (සැවැත් ) නුවරින් නික්මැ දක්‍ෂිණාපථයට ගියේ ය.
981. ඒ බමුණු අස්සක රජුගේ ද මූලක රජුගේ ද දැයි දෙ රජුන්ගේ රාජ්‍යයන් අසල හෙවත් දෙරට අතර ගෝදාවරී නදී තීරයෙහි වූ අසපුයෙක් හි කෙණෙසි අහරින් ද වනමූල ඵලාහාරයෙන් ද යැපෙමින් විසී ය.
982. ඒ ගෝදාවරි නදීතීරය මැ (නොහොත් එබාවරී තවුස් මැ) නිසා මහත් වූ ගමෙක් ද විය. හේ එගමින් උපන් කරවුවරින් මහායාගයක් (මහදනක්) කළේ ය.
983. හේ මහදන් දී යළි අසපුවට පිවිසියේ ය. ඔහු එහි පිවිසගත් කල්හි අන් බමුණෙක් එහි ආයේ යැ.
984. ගමන්හි ගැටුනු පා ඇති පිපාසිත වූ මල බැඳි දත් ඇති, දූහිලියෙන් වැකුණු හිස් ඇති එබමුණාත් ඔහු කරා එළැඹැ රන්මිල පන්සියයක් යැදී යැ.
985. බාවරී තවුස් ඔහු දැක අස්නෙන් පැවරීයැ. සුව ද නිරෝ බව ද විචාළේ යැ. මෙ බස් ද කීයැ:
986. මා සතු යම් දේයධර්‍මයෙක් වී නම්, ඒ හැම මා විසින් දානමුඛයෙහි දෙන ලදී. බමුණ ම බස් හදහව රන්මිල පන්සියෙක් නැත.
987. ඉදින් භවත් යදනා මට නොදෙන්නේ නම්, අදින් සත්වන දවස්හි තා හිස් සත්කඩ වැ පැළේවා.
988. ඒ කුහක බමුණු කොහොන්වත් සකස් කොට බිය දනවන තෙපුල් කී යැ. ඔහුගේ එවදන් අසා බාවරී දොම්නස් ඇතියේ වී යැ.
989. හේ සෝහුලින් විදුනාලදුයේ නිරාහාර වැ වියැළෙ යි. තවද මෙ බඳු සිත් ඇති ඔහුගේ සිත ධ්‍යානයෙහි නො ඇලෙයි.
990. ඒ අරම්හි අරක්ගත් වැඩ කැමැති එක්තරා දේවතාවක් බියපත් වූ දුකට පැමිණි බාවරී බමුණු කරා එළැඹ මෙවදන් කිවුය.
991. හේ මුදුන් (හිස) නො දන්නේ ය. හේ ධන කැමැති කුහකයෙක. මුදුනෙහි හෝ මුදුන් පැළුමෙහි නුවණෙක් ඔහට නැති.
992. ඉදින් භවති මුදුනුදු මුදුන් පැළුමුදු දනී නම් මා විසින් පුළුවුස්නා ලද්දී එය මට කියව. තීගේ එ වචනය අසම්හ.
993. තෙල කරුණ මම ද නොදන්මි. මට මෙකරුණ කෙරෙහි ඥානයෙක් නැත. මුදුනුදු මුදුන් පැළුමුදු යන මෙය ජිනයන්ගේ මැ දර්‍ශනයෙකි.
994. එසේ වත් මැ මෙ පොළෝ මඬුලුයෙහි කවරෙක් නම්, මුදුන් හා මුදුන් පැළුම් හා දන්නේ ද, දේවතායෙනි, එය මට කියව.
995. පෙරැ කිඹුල්වත් පුරින් නික්මැ ගිය ලෝකනායක වූ ඔක්කාක රජ පරපුරෙහි වූ ලොව හෙළි කරණ ශාක්‍යපුත්‍රයෙක් වේ ද,
996. බ්‍රාහ්මණය, හේ සම්බුද්ධ මැ යි. හැම ධර්‍මයන්ගේ පරතෙරට ගියේයැ, සියලු අභිඥා බලයනට පැමිණියේ යැ. සියලු ධර්‍මයන්හි නුවණැස් ඇතියේ යැ, හැම කර්‍මයන්ගේ ක්‍ෂයට පැමිණියේ ය. උපධික්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණාලම්බනයෙහි (භවවිමුක්තියෙන්) මිදුනේ යැ.
997. පසැස් ඇති ඒ භාග්‍යවත් බුදුරජ ලොව්හි දහම් දෙසයි. මුඹ උන්වහන්සේ කරා ගොස් විචාරන්නැ, හේ මුඹට හෙළි කරන්නේ ය.
998. ‘සම්බුද්ධ’ යන වචනය අසා බාවරී ඔද වැඩිසිත් ඇත්තේ විය. ඔහුගේ ශෝකය තුනී විය. විපුල ප්‍රීතිය ද ලැබීය.
999. සතුටු සිත් ඇති ඒ බාවරී තෙම ඔදවැඩි සිතැතියේ උපන් සොම්නස් ඇත්තේ “යම් තැනකට ගොස් ද්විපදෝත්තම වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමෝ නම්, ඒ ලෝකනාථයෝ කවර නම් ගමෙක්හි හෝ යළි කිනම් නියම් ගමෙක්හි හෝ දනව්වෙක හෝ වසනසේක්දැ? යි ඒ දෙවියා පිළිවිසී.
1000. පස්මරුන් දිනූ, මහාප්‍රාඥ වූ, උත්තම විපුල ප්‍රඥා ඇති, අප්‍රතිම වූ, අනාස්‍රව වූ මුදුන් පැළුම දන්නා, නරශ්‍රේෂ්ඨ වූ එ ශාක්‍යපුත්‍රයන් වහන්සේ කෝසල ජනපදයෙහි සැවැත් නුවර වසනසේක.
1001. එක්බිති බාවරි බමුණු වේදමන්ත්‍රයෙහි පරතෙරපත් අතැවැස්සන් ඇමැතී යැ: මාණවයෙනි, එව මම තොපට කියනෙම්, ඒ මාගේ වචනය අසව,
1002. ලෝකයෙහි යමක්හුගේ තෙල එක්වන් උපත දුලබ වේ නම්, ‘සම්බුද්ධ’යහයි විශ්‍රැත වූ ඔබ දැන් ලොව්හි උපන්හ. වහා සැවතට ගොස් එ ද්විපදෝත්තමයා දකුව.
1003. බ්‍රාහ්මණයෙනි, උන්වහන්සේ දැක ‘මෙ බුදුහ’ යි කිසෙයින් දනුම්හ. අපි ඔවුන් යම්සේ දතහෙන්නමෝ නම්, නොදන්නා අපට ඒ සෙයින් කිව මැනවැයි (කීහ.)
1004. පිළිවෙළින් විස්තර කරණ ලද පරිපූර්‍ණ වූ දෙතිස් මහපුරිස් ලකුණු වේදයෙහි ආයේ ය.
1005. යම් පුරුෂයකුගේ ශරීරාවයවයන්හි තෙල මහපුරිස් ලකුණු වෙත් නම්, ඔහට දෙගතියෙක් මැ එයි. තෙවැන්නෙක් නො වේ.
1006. ඉදින් හේ ගිහිගෙහි වෙසේ නම්, නො දඬින්, නො සැතින් මේ පොළොව දිනා දැහැමින් අනුසස්නේ යැ. (සක්විති රජ වෙයි.)
1007. තවද ඉදින් හේ ගිහිගෙන් නික්මැ සසුන් වදී නම්, පෙරළු කෙලෙස් සෙවෙණි ඇතියේ අර්‍හත් අනුත්තර සම්‍යක් සම්බුද්ධ වෙයි.
1008. (තෙපි මාගේ) ජාතියදු ගෝත්‍රයදු ලක්‍ෂණදු උගත් වේදයදු සිසුනුදු යළිත් අන්‍ය වූ මුදුනුදු මුදුන් පැළීමුදු සිතින් මැ පුළුවුස්ව.
1009. ඉදින් හේ අනාවරණ ඥානදර්‍ශන ඇති බුදු වේ නම්, තොප සිතින් පුළුවුත් පැන වචනයෙන් විසඳන්නේ යි.
1010-1012 බාවරී බමුණුගේ බස් අසා අජිත ය, තිස්සමෙත්ත්‍යෙ ය, පුණ්ණක ය, යළි මෙත්තගූ ය, ධෝතක ය, උපසීව ය, නන්‍ද ය, යළි හේමක ය, තෝදෙය්‍ය කප්ප යන දෙදෙනය, පණ්ඩිත වූ ජතුකණ්ණී ය, භද්‍රායුධ ය, උදය යැ, පෝසාල බමුණු යැ, ප්‍රාඥ වූ මෝඝරාජ ය, මහර්ෂී පිඞ්ගිය යැ යන සොළොස් බමුණු අතැවැසියෝ -
1013. හැම දෙන වෙන වෙන ශිෂ්‍යගණයා ඇති වැ හැම ලොව පළට වූවාහු ධ්‍යාන කරන්නාහු ධ්‍යානයෙහි නිරත වූවාහු ධෘතිසම්පන්න වූවාහු පුණ්‍යවාසනා ගුණයෙන් වාසිත සිත් ඇත්තාහු.
1014. බාවරීහු වැඳ ඔහු පැදකුණු ද කොට සියල්ලෝ දළමඬුලු අඳුන් දිවිසම් දරන්නාහු උතුරු දෙසට මුහුණ ලා ගියහ.
1015. මූලක ජනපදයට අයත් පතිට්ඨාන නගරයට ද මාහිස්සතී නම් පළමු නගරයට ද උජ්ජේනී නගරයට ද එසේම ගෝනද්ධ (ගෝධ) පුරයට ද, වේදිස නගරයට ද වල්සැවතට ද,
1016. කොසඹෑ නුවරට ද වැලිත් සාකේත නගරයට ද උතුම් සැවැත් නුවරට ද සේතව්‍ය නගරයට ද කපිලවත්‍ථු පුරයට ද කුසිනාරා නගරයට ද,
1017. පාවා නගරයට ද භොගන නගරයට ද විසල්පුරට ද මගධරට අගනුවර වූ රාජගහ නගරයට ද සිත්කලු මනරම් වූ පහණසෑවෙහෙරට ද,
1018. පවස් ඇතියකු සිහිල් දියකට මෙන් වෙණෙදක්හු මහත් ලාභයකට මෙන් ගිමින් තැවුනක්හු සෙවණකට මෙන් උපන් සොම්නස් ඇත්තාහු පර්‍වතයට නැංගාහ.
1019. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේත් බික්සඟුන් විසින් පෙරටු කරණ ලද සේක් වෙනෙහි සිහරදහු නඳ කරන්නා සේ භික්‍ෂූන්ට දහම් දෙසන සේක.
1020. අජිතමාණව සිය ගණන් රැස් ඇති හිරුසෙයින් පණුරැසි පොහෝ දිනෙහි දිලියෙන සොළොස් කලායෙන් පිරි සඳ සෙයින් සම්බුදුන් දිටී.
1021. එක්බිති උන්වහන්සේගේ සිරුරෙහි පිරිපුන් මහපුරිස් ලකුණු දැක සතුටු වූයේ එකත්පස් වැ සිටියේ මනසින් පැන පුළුවුත්.
1022. අප ඇදුරැන් ඇරැබැ ජාතිය (වයස්) කිව මැනැව පුරිස් ලකුණු සහිත කොට ගොත් ද කියනු මැනැව, වේදයන්හි නිමාවට පැමිණීම ද කිව මැනව, ඒ බමුණු කෙතෙක් අතවැස්සන් හදාරවාදැ? යි (විචාළේ ය)
1023. (තොපගේ ඇදුරු) වයසින් එක්සියවිසි හැවිරිදි වෙයි. හෙ ද ගෝත්‍ර විසින් බාවරී (ප්‍රාවරී) නම් වේ, ඔහුගේ සිරුරෙහි මහපුරිස්ලකුණු තුනෙකි. ත්‍රිවේදයෙහි පරතෙරට ගියේ ය.
1024. (මහාපුරුෂ) ලක්‍ෂණයෙහි ද නිඝණ්ඩු සහිත කෙටූභ ශාස්ත්‍රසහිත, ඉතිහාසයෙහි ද ස්වකීය බ්‍රාහ්මණ ධර්‍මයෙහි ද පරතෙරට ගියේ අතැවැස්සන් පන්සියයක් හදාරව යි.
1025. තෘෂ්ණාව සිඳ ලූ නරෝත්තමයෙනි, බාවරී බමුණුගේ පුරුෂ ලක්‍ෂණයන් පිළිබඳ විස්තරය පවසන්නැ. අපට නහමක් සැක වේවා: (සිතින් පුළුවුත්)
1026. මාණවය, හේ (තමා) දිවින් මුව වසයි. උහුගේ දෙබැම අතුරෙහි උණුලොම් වෙයි. වස්ත්‍රගුහ්‍යය කෝෂාවහිත වේ. මෙ කරුණ මෙ සේ ද නැ යි (වදාළහ.)
1027. හැම ජන තෙමේ, පුළුවුස්නා කිසිදු පැනයක් නො අසනුයේ විසැඳූ පැන අසා උපන් සොම්නස් ඇත්තේ බඳැදිලි වැ මෙසේ සිතයි.
1028. කවර නම් දෙවියෙක් හෝ බඹෙක් හෝ සුජම්පති වූ ඉන්‍ද්‍ර හෝ සිතින් විචාළ පැන විසඳා ද? (ඔවුනතුරෙන්) කවරක්හට තෙල පැන වැටහේ දැ’යි
1029. භාග්‍යවතුන් වහන්ස, බාවරී බමුණුතෙම මුදුනුදු මුදුන් පැළුමුදු පුළුවුසී. එය විසඳන්නැ. ඍෂීන් වහන්ස, අපගේ සැකය දුරැලන්නැ යි.
1030. අවිද්‍යාව (සසරැ හිස්වන බැවින්) මුදුනැ, ශ්‍රද්ධා, ස්මෘති, සමාධි, ඡන්‍ද, වීර්‍ය්‍ය යන මොවුන් හා සමග යෙදුනු (අර්‍හන් මාර්‍ග) විද්‍යාව මුදුන් පළනයි දනැයි.
1031. එක්බිති අජිතමාණව මහත් ප්‍රීතියෙන් සංස්තබ්ධ වැ අඳුන් දිවි සම් එකස් කොටලා (බුදුන්) පාපිට හිස්තබා වැඳ වැටිනි.
1032 “නිදුකානන් වහන්ස, පසැසුන් වහන්ස, බාවරී බ්‍රාහ්මණ ඔද වැඩි සිතැති වැ, සොම්නස් වැ භවත්හුගේ පා වඳනේ ය’යි.
1033. බාවරී බමුණු අතැවැසියන් හා සමග සුවපත් වේවා, මාණවය, තො ද සුවපත් වෙයි, සැරදෙයි, (වදාළෝ)
1034. තෙපි කළ අවකාශ ඇතියවු, යමක් පුළුවුස්නට සිතින් කැමැතියවු නම්, බාවරීහුගේ වේවයි, තොප හැමගේ වේවයි, එ හැම සංශය පුළුවුස්වයි (වදාළසේක)
1035. සම්බුදුන් විසින් කළ අවකාශ ඇති අජිතමාණව බඳැදිලි වැ හිඳ එහි පළමු පැන බුදුන් පිළිවිත්.
වස්තු ගාථා නිමි.
5. 1.
අජිතමාණව පෘච්ඡා
1036. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුනේ ) ද? කවර හෙයින් නො පැණේ ද? ඔහට කිමෙක් අභිලේපන (ලහටු) වේ’යයි වදාරණසේක් ද? කිමෙක් ඔහට මහබිය නමි වේදැ’යි.
1037. (අජිතයෙනි, යි බුදුහු වදාළහ), ලෝවැසි තෙම අවිද්‍යායෙන් නිවෘත යැ. මාත්සර්‍ය්‍ය හෙයින් ප්‍රමාද හෙයින් ප්‍රකාශිත නො වෙයි, තෘෂ්ණාව අභිලේපන යයි කියමි, ඔහට (ජාත්‍යාදි) දුක මහබිය වෙයි.
1038. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) හැම තන්හි (රූපාදි හැම ආයතනයන්හි තෘෂ්ණාදි ) ස්‍රෝතස්හු ගලායෙති. ස්‍රෝතසුන්ගේ ආවරණය කවරැ? ස්‍රෝතසුන්ගේ සංවරය වදාළමැනැවි. කවර දහමෙකින් ස්‍රෝතස්හු පියනු ලැබෙත් ද?
1039. අජිතයෙනි, (යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක:), ලොව යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් නම්, ස්මෘතිය ඔවුන්ට ආවරණ යැ. (එ ස්මෘතිය) ස්‍රෝතසුන්ගේ සංවර යයි කියමි. (මාර්‍ග) ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙත්.