Sutta Nipāta

Collection of Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1562 segments

පෙන්වන කොටස් 1201-1300 න් 1562

විසර්‍ජන:
871. ලොව්හි සුව යයි ද දුකැයි ද යමක් කියත් නම් එ සාත-අසාත වේදනා නිසා කාමච්ඡන්‍දය උපදනේ ය. ලෝකයෙහි සත්ත්‍ව තෙමේ භූතොපාදාය රූපයන්හි විනාශයත් උදයත් දැක තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චය කරන්නේ යි.
872. ක්‍රෝධය හා මෘෂාවාදය හා විචිකිච්ඡා හා යන මේ ධර්‍මයෝත් සාතාසාතවේදනා දෙක ඇතිවත් ම වෙත්. විචිකිච්ඡායෙන් යුක්ත පුද්ගල තෙමේ ඥානදර්‍ශනඥානාධිගමය සඳහා ත්‍රිවිධශික්‍ෂාහි හික්මෙන්නේ ය. බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් අනිත්‍යාදි විසින් දැන ධර්‍මයෝ දෙසන ලදහ.
පෘච්ඡා:
873. සුඛවේදනා දුඃඛවේදනා යන මොහු කුමකින් උපදනාහු ද? කුමක් නැතිවත්ම මොහු නූපදනාහු ද? යළි ඒ සාතාසාතයන්ගේ විනාශය හා උපත යන යම් අර්‍ත්‍ථයෙක් යමෙකින් වේ නම්, ඔවුන්ගේ තෙල කාරණය මට ප්‍රකාශ කළ මැනැව.
විසර්‍ජන:
874. සුඛවේදනා හා දුඃඛවේදනා හා ස්පර්‍ශය නිදාන කොට ඇත. ස්පර්‍ශය නැතිවත් ම තෙල සාතාසාතයෝ නූපදනාහ. සාතාසාතයන්ගේ විනාශය හා උදය හා යන යම් අර්‍ත්‍ථයෙක් මෙ පහස කරුණු කොට උපදනේ නම් තෙල අරුත් තොපට කියමි.
පෘච්ඡා:
875. ලොව්හි ස්පර්‍ශය කුමක් නිදාන කොට ඇත් ද? තෘෂ්ණාදෘෂ්ටි පරිග්‍රයෝත් කොයින් ප්‍රභූත වූ හු ද? කුමක් අවිද්‍යමාන කල්හි මමත්‍වය නැති ද? කුමක් ඉක්මැ යත් ම ස්පර්‍ශයෝ නො පහස්නාහු ද?
විසර්‍ජන:
876. සම්ප්‍රයුක්ත නාමය හා වස්ත්‍වාලම්බනරූපය හා නිසා ස්පර්‍ශයෝ උපදනාහ. තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහයෝ ඉච්ඡාව නිදාන කොට ඇත්තාහ. ඉච්ඡාව නැති වත් ම මමත්‍වය නැත රූපය ඉක්මැ යත්ම ස්පර්‍ශයෝ නො පහස්නාහ.
පෘච්ඡා:
877. කිසෙයින් පිළිපන්නහුට රූපය නො වේ ද? සුඛදුඃඛ හෝ කෙසේ නොවේ ද? තෙල රූප-සුඛ දුඃඛ යන තුණ යම්සේ නොවේ නම් එ පරිදි මට වදාළ මැනැව. එය දනුම්හ’යි මට සිතෙක් වී.
විසර්‍ජන:
878. හේ ප්‍රකෘතිසංඥායෙන් සංඥා ඇතියේ නො වෙයි. විකෘතසංඥායෙන් විසංඥ ද නො වෙයි. සංඥා විරහිත ද නො වෙයි. ඉක්මැ වූ සංඥා ඇතියේ ද නො වෙයි. මෙසෙයින් පිළිපන්නහුට රූපය නො වෙයි. තෘෂ්ණාදි ප්‍රපඤ්ච සංඥා නිදාන කොට ඇති හෙයිනි.
පෘච්ඡා:
879. අපි යමක් විචාළමෝ නම් එය අපට දෙසූහ. ඔබ ගෙන් අනෙක් කරුණකුදු විචාරම්හ. එ ද ඒකාන්තයෙන් වදාළ මැනැව. මෙ ලොව්හි පණ්ඩිතමානී ඇතැම් මහණබමුණු කෙනෙක් මෙ අරූපසමාපත්තිමාත්‍රයෙන් මැ සත්‍වයාගේ අග්‍ර ශුද්ධියක් කියත් දැ? යි.
විසර්‍ජන:
880. මෙ ලෝකයෙහි පණ්ඩිතමානී ඇතැම් මහණ බමුණු කෙනෙක් මෙ අරූපසමාපත්ති මාත්‍රයෙනුදු සත්‍වයාගේ අග්‍ර වූ ශුද්ධිය කියත් මැ යි ඔවුනතුරෙන් ඇතැමෙක් අනුපාදිශේෂයෙහි පණ්ඩිතවාද ඇත්තාහු උච්ඡේද ශුද්ධිය කියත්.
881. තවද තෙල දෘෂ්ටිගතිකයන් ශාශ්වතෝච්ඡේදදෘෂ්ටි ඇසුරුකළාහු’යි දැන පණ්ඩිත බුද්ධමුනි තෙම තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රයන් දැන දුඃඛ අනිත්‍යාදි විසින් ධර්‍මයත් දැන අනුපාදාවිමෝක්‍ෂයෙන් මිදුනේ විරුද්ධවාදයට නො එළඹෙයි, එ ධීර තෙම පුන පුනා භවයට නො පැමිණේ යි.
කලහවිවාද සූත්‍රය නිමි.
චූලවියූහ සූත්‍රය
882. තම තමාගේ දෘෂ්ටියෙහි වසන්නාහු (එ දෘෂ්ටි) දැඩිව ගෙණ (ඇපි ම එහි) දක්‍ෂයම්හ’යි වෙන වෙන මැ කියති. “(යමෙක්) මෙසේ දනී නම් හේ දැනගත්තේ ය. යමෙක් මෙය ගරහනුයේ නම්, හේ හීනයෙකැ”යි ද කියත්.
883. මෙසේත් (ස්වලබ්ධිය) දැඩිව ගෙණ විවාද කෙරෙති. මෙරමා බාල යයි ද අදක්‍ෂ යයි ද කියති. මෙ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වේ ද? මෙ හැම මහණබමුණෝ පණ්ඩිතවාද ඇත්තාහු ද?
884. ඉදින් අන්‍යදෘෂ්ටිකයාගේ ධර්‍මය නො අනුදන්නේ බැලයෙක් මෘග (සදෘශ) යෙක් ලාමකප්‍රඥාඇතියෙක් වේ නම්, (එකල්හි) හැම දෘෂ්ටිගතික වූ මෙ මහණබමුණෝ බාල වෙති. අතිශයින් නිහීනප්‍රඥා ඇතියාහු වෙති. (යම්හෙයකින්) මේ හැම මහණබමුණෝ ස්වකීයදෘෂ්ටියෙහි වෙසෙත් ද එහෙයිනි.
885. ඉදින් ස්වකීයදෘෂ්ටියෙන් පිරිසිදු නො වූවාහු සංශුද්ධප්‍රඥා ඇත්තාහු දක්‍ෂ වූවාහු බුද්ධිමත් වූවාහු වෙත් නම්, එ මහණ බමුණන් අතුරෙහි කිසිවෙක් පිරිහුණු නුවණැතියේ නො වෙයි. යම් හෙයකින් දෘෂ්ටිය ඔවුන් විසින් එසෙයින් සමාදන්වනලද ද එහෙයිනි.
886. තෙල දෙසැට මිසදිටු කැල මම සත්‍යයයි ද නො කියම්, යම් හෙයෙකින් කලහකාරී දෙදෙනෙක් ඔවුනොවුන් බාල යයි කියත් ද, ස්වකීය දෘෂ්ටිය සත්‍යය යයි වාදකළාහු ද, එහෙයින් ම වාදකාරක වූ අන්‍යයා බාලයෙකැයි හඟිත්.
887. ඇතැම් මහණබමුණෝ යම් දෘෂ්ටිසත්‍යයක් සැබැවැයි කියත් නම්, එයින් අන්‍ය වූ මහණ බමුණෝ ඒ දෘෂ්ටිසත්‍යය හිස් මුසාවෙකැ යි කියත්, මෙසේ ද ස්වලබ්ධිය දැඩිව ගෙණ විරුද්ධ වාද කෙරෙත්. කවරහෙයින් ශ්‍රමණයෝ එක්සත්‍යයක් නො කියත් ද?
888. සත්‍ය (නිරෝධ හෝ මාර්‍ග හෝ) එකෙක් මැ වෙයි. දෙවැනි සත්‍යයෙක් නැත. යම් සත්‍යයක් දන්නා පුද්ගල තෙමේ විවාද නො කෙරේ නම් එයයි. ඒ මිසදිටුගත්තාහු තුමූ මැ නානාසත්‍යයන් කියත්. එකරුණෙන් මහණබමුණෝ එක් සත්‍යයක් නො කියත්.
889. විරුද්ධවාද ඇති (ස්වලබ්ධියෙහි) ඇපි මැ දක්‍ෂයම්හයි කියන ඔහු කවරහෙයින් නානාසත්‍යවාදයන් කියත් ද? ඔවුන් විසින් නානාවිධ බොහෝ සත්‍යයෝ අසනලද්දාහු ද? නොහොත් ඔහු තර්‍කමාත්‍රය අනුව යෙත් ද?
890. ලෝකයෙහි සංඥාමාත්‍රයෙන් නිත්‍ය යයි ගන්නා ලද ග්‍රහණයන් තබා නානාවිධ වූ බොහෝ සත්‍යයෝ නො මැත. දෘෂ්ටීන් කෙරෙහි මිථ්‍යාසංකල්පමාත්‍රය ද උපදවා (මාගේ වචනය) සැබව, (තාගේ වචනය) බොරුය යන යුග්මධර්‍මය කියත්.
891. (රූපාලම්බන සඞ්ඛ්‍යාත) දෘෂ්ටශුද්ධිය ද (ශබ්දාලම්බනසඞ්ඛ්‍යාත) ශ්‍රැතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද (ගන්‍ධරසස්ප්‍ර‍්ෂ්ටව්‍යාලම්බන සඞ්ඛ්‍යාත) මුතශුද්ධිය ද යන මොවුන් නිසා අසම්මානය දක්නේ නොහොත් දොම්නස් උපදවනුයේ දෘෂ්ටි නිශ්චයෙහි සිට පහටුවනුයේ මෙරමා හීන ය යි ද අදක්‍ෂ යයි ද කියයි.
892. යම්කරුණෙකින් මෙරමා බාලයෙකැයි හඟී නම්, යළි එකරුණෙන් මැ තමා පණ්ඩිත වෙමි යි කියයි, තෙම් මැ තමහට (මම්) පණ්ඩිතයෙමි යි කියන හෙතෙම එය මැ කියනුයේ අනෙකක්හු අවමන් කෙරෙයි.
893. හෙතෙම අතිසාර (දෙසැට) දෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ දෘෂ්ටි මානයෙන් මත්වූයේ පරිපූර්‍ණයෙමි යන මාන ඇතියේ තමා මැ තෙමේ සිතින් අභිෂේකකරණ ලදුයේ වෙයි. යම් හෙයෙකින් ඔහු විසින් ඒ දෘෂ්ටිය එපරිද්දෙන් ගන්නාලද ද එහෙයිනි.
894. ඉදින් යමෙක් අන්‍යයාගේ නින්‍දා වචනයෙන් නිහීනයෙක් වේ නම් තෙමේත් ඔහු සමග නිහීන ප්‍රඥා ඇත්තේ වෙයි. යළි තෙමේ මැ වේදාන්තයට ගියා වූ ධීරයෙක් වේ නම්, ශ්‍රමණයන් කෙරෙහි බාල වූ කිසිවෙක් නැත්තේ ය.
895. යම් කෙනෙක් මෙයින් අන්‍ය වූ දෘෂ්ටිධර්‍මයක් කියත් නම්, අපරිපූර්‍ණ වූ ඔහු ශුද්ධිය වරදවාගත්තාහු ය. මෙසේත් තීර්‍ත්‍ථකයෝ බොහෝ දෘෂ්ටිවශයෙන් කියති. යම්හෙයකින් ස්වකීය දෘෂ්ටි රාගයෙන් ඇලුනාහු ද එහෙයිනි.
896. මෙසේ දෘෂ්ටියෙහි අභිරක්තවූවෝ මෙහි මැ ශුද්ධිය කියති. අන්‍යධර්‍මයන්හි විශුද්ධිය නොකියත්. මෙසේ ද ස්වකීයදෘෂ්ටිමාර්‍ගයෙහි බැසගත් තීර්‍ත්‍ථකයෝ ඒ ස්වලබ්ධියෙහි දෘඪවාද ඇත්තාහු වෙත්.
897. තවද ස්වකීයදෘෂ්ටිමාර්‍ගයෙහි මැ දැඩිව කියන්නාහු තීර්‍ත්‍ථකතෙම ඒ ස්වකීය මාර්‍ගයෙහි ලා අන්‍ය කවරක්හු බාලය යි දක්වන්නේ ද හෙතෙම අන්‍යයා බාලයක්හු කොට අශුද්ධිධර්‍ම ඇත්තාහු කොට කියනුයේ තෙමේ මැ කලහය එළවන්නේ යි.
898. හෙතෙම ලබ්ධිවිනිශ්චයෙහි සිට තෙමේ මැ (ශාස්තෘආදිය) ප්‍රධාන කොට ගෙණ ලෝකයෙහි බොහෝ සෙයින් විවාදයට පැමිණෙයි. ප්‍රාඥසත්‍ව තෙමේ හැම දෘෂ්ටිවිනිශ්චයන් හැරපියා ලෝකයෙහි කලහ නො කරන්නේ යයි.
චූලවියූහ සූත්‍රය නිමි.
මහාවියූහ සූත්‍රය
899. ස්වකීය දෘෂ්ටිය දැඩි වැ ගෙණ වසන කිසි මහණබමුණු කෙනෙක් මේ (අපගේ ලබ්ධිය) මැ සත්‍යය, අන්‍යලබ්ධිය තුච්ඡ යයි ද කියත් නම්, ඔහු සිල්ලෝ මැ (තමන් වෙත) පුන පුනා නින්‍දා එළවත් ද? නොහොත් ඒ දෘෂ්ටි නිමිති කොට ගෙණ ප්‍රශංසාත් ලබත් ද?
900. තෙල ප්‍රශංසා සඞ්ඛ්‍යාත වාදඵලය අල්ප මැයි රාගාදීන්ගේ ව්‍යපශමය පිණිස අසමර්‍ත්‍ථ වේ. විවාදයාගේ (ජය-පරාජයාදී විසින් ඵල දෙකක් කියමි. විවාදයෙහි තෙල ආදීනවය ද දැක අවිවාදභූමි සඞ්ඛ්‍යාත නිවන ක්‍ෂේම යයි දක්මින් විවාද නො තකන්නේ යි.
901. පුහුදුනන් කෙරෙන් පහළ වූ යම් කිසි දෘෂ්ටිකෙනෙක් වෙත් නම් විද්වද් තෙමේ තෙල හැම දෘෂ්ටීන්ට නො පැමිණෙයි. තෘෂ්ණා දෘෂ්ටි සඞ්ඛ්‍යාත උපයරහිත වූ හේ දෘෂ්ට ශ්‍රැත මුතශුද්ධියෙහි රුචි නො කරන්නේ රූපාදි උපයකට කිම පැමිණෙන්නේ ද?
902. ශීලය මැ උත්තම යැයි ගත් ඇතැම් මහණබමුණු කෙනෙක් සංයම මාත්‍රයෙන් ශුද්ධිය කියත්. හස්ති-අශ්වාදී ව්‍රත සමාදන් වැ එළැඹ සිටියාහු ‘මේ දෘෂ්ටියෙහි මැ හික්මෙනුවම්හ. එකල්හි මෙ සත්‍වයාගේ ශුද්ධිය වේ යයි භවයට පැමිණියාහු මැ කියති. (එහෙත් ඔහු) කුසලවාද ඇත්තාහු වෙත්.
903. ඉදින් හේ ශීලව්‍රතයෙන් හිලිහුනේ වේ නම් හේ ශීලව්‍රතකර්‍මය වරදවා ගෙණ සැලෙයි, තවද හෙතෙම ගෙන් නික්මැ ගොස්, නොරට වසන පුරුෂයෙක් සාර්‍ත්‍ථයෙන් ගිලිහුනේ (එ ගෙය හෝ __සා__ර්‍ත්‍ථය) පතන්නාක් මෙන් ඒ ශීලව්‍රතශුද්ධිය ජල්පනය කරන්නේ ද පතන්නේ ද වේ.
904. අරීසවු හැම ශීලව්‍රතය ද සාවද්‍ය-අනවද්‍ය (අකුශල හා ලෞකික කුශල) කර්‍ම ද හැරපියා තෙල (පඤ්චකාමගුණාදි) ශුද්ධිය ද (අකුශලාදිභේද වූ) අශුද්ධිය ද මෙසේ නොපතනුයේ දෘෂ්ටිශාන්තිය දැඩිවැ නො ගෙණ (ශුද්ධි-අශුද්ධි දෙකින්) වෙන් වූයේ හැසිරෙන්නේ යි.
905. තවද (ඇතැම් මහණ බමුණු කෙනෙක් බුද්ධාදීන් විසින්) ජුගුප්සිත වූ ඒ අමරතපස් හෝ දෘෂ්ටිශුද්ධිය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුත ශුද්ධිය හෝ ඇසුරු කොට අක්‍රියවාදාදි උද්ධංසරවාදි ඇත්තාහු පුන පුනා භවයෙහි නො හළ තෘෂ්ණා ඇත්තාහු ශුද්ධිය කියත්.
906. (මෙසේ ) ප්‍රාර්‍ත්‍ථනා කරන්නහුට මැ තෘෂ්ණාජල්පිතයෝ වෙති. තෘෂ්ණාදෘෂ්ටීන් ප්‍රකල්පිත වූ වස්තූන් කොට අතිශයින් සැලීම ද වෙයි. මෙලොව යම් ක්‍ෂීණාස්‍රවයක්හට ච්‍යුති උත්පත්ති නැත් ද හෙතෙම කිනම් රාගාදියකින් සැලෙන්නේ ද, කොහි ජල්පනය කරන්නනේ ද?
907. ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් උතුමැයි කියත් නම්, අන්‍යයෝ එ මැ දහම හීන යයි කියත්. මෙ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ ද? මොහු සියල්ලෝ මැ කුශලවාද ඇත්තාහු ම වෙත් ද?
908. (ඇතැම්) මහණබමුණෝ තමන් තමන්ගේ මැ ධර්‍මය පරිපූර්‍ණය යි කියති. අන්‍යයන්ගේ ධර්‍මය හීන යයි කියත්. මෙසේත් දැඩි කොට ගෙණ විවාද කෙරෙති. තමන් තමන්ගේ මැ දෘෂ්ටිසම්මතිය සත්‍ය යයි කියත්.
909. ඉදින් මෙරමා විසින් අවමන් කරණලද හෙයින් හීන වේ නම්, දෘෂ්ටිධර්‍මයන් අතුරෙහි කිසිවෙක් විශිෂ්ට නො වන්නේ ය. යම් හෙයකින් බොහෝ මහණබමුණෝ මෙරමාගේ ධර්‍මය නිහීන හෙයින් කියත් ද ස්වකීය ධර්‍මයෙහි දැඩි කොට ගෙණ සත්‍ය යයි කියන්නාහු ද එහෙයිනි.
910. තවද ඒ තීර්‍ත්‍ථකයෝ ස්වකීය ලබ්ධිමාර්‍ගයනට යම්සේ පසසත් නම් ස්වකීය ශාස්තෘආදීන්ට පූජා ද එසේ ම පවත්නේ ය. ඉදින් (ඔහු එහි ප්‍රමාණ වෙත් නම්) හැම වාදයෝ සත්‍ය වන්නාහු ය. (කවර හෙයින් යත්:) යම් හෙයකින් ඔවුන්ගේ ශුද්ධිය තමන් තමන් කෙරෙහි ම පිහිටියේ ද එහෙයිනි.
911. යම්හෙකින් බාහිතතාපී බ්‍රාහ්මණයාට මෙරමා විසින් එළැවියයුතු ඥානයෙක් නැත් ද, දෙසැටමිසදිටු දහම්හි මෙ මැ සත්‍ය ය යි ද නිශ්චය කොට දැඩිව ගන්නාලද්දෙකුත් නැත් ද, එහෙයින් දෙසැටමිසදිටු නමැති වාදයන් ඉක්මවූ හෙතෙම අන්‍යධර්‍මයක් ශ්‍රේෂ්ඨ වශයෙන් නො මැ දක්නේ යි.
912. ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල කරුණ එ පරිද්දෙන් මැ දන්මි, දක්මි (කියන්නාහු) දෘෂ්ටියෙන් ශුද්ධිය හදහති. ඉදින් (යම් හෙයෙකින් ඔවුන්ගෙන් එකෙකුත්) යථාභූථාතාර්‍ත්‍ථය දුටුයේ නමුදු තමාගේ ඒ දර්‍ශනයෙන් (දුඃඛපරිඥානාදි) කුමක් කරණලද ද, ඔහු (ආර්‍ය්‍යමාර්‍ගය) ඉක්මවා අන්‍ය මාර්‍ගයෙකින් ශුද්ධිය වේ යයි කියත් නම් (නොහොත් බුද්ධාදීහු ) ඔවුන් ඉක්මවා අන්මගෙකින් ශුද්ධිය කියත් ද එහෙයිනි.
913. සත්‍වතෙමේ (පරචිත්තවිජානඥානාදියෙන්) බලනුයේ නාමරූපය (නිත්‍යාදි විසින් ) දක්නේය. දැක එ නාමරූපයයන් ම නිත්‍යාදි විසින් දැනගන්නේ ය. හෙ ඒකාන්තයෙන් බොහෝ කොට හෝ මඳ කොට හෝ දක්නේ ය. බුද්ධාදි කුශලයෝ ඒ දර්‍ශනයෙන් සංසාරශුද්ධිය (වේ යයි) නො මැ කියත්.
914. දෘෂ්ටියෙහි පිහිටා (මෙ ය මැ සත්‍යයි) කියන්නේ වේ ද හෙතෙම සුවසේ හික්මිය නොහැකියේ මැ යි, සිතින් කල්පනය කරණලද දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙන්නේ යම් ශාස්තෘ ආදියක් ඇසුරුකරන්නේ එහි මැ ශුභවාද ඇතියෙ එ ස්වකීය දෘෂ්ටිශුද්ධිය කියන්නේ නම් හෙතෙම ඒ දෘෂ්ටිය එ සෙයින් මැ දුටුයේ වෙයි.
915. ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නුවණින් දැන තෘෂ්ණාදෘෂ්ටිකල්පයට නො යෙයි. දෘෂ්ටියෙහි හැසිරෙන්නේත් නො වෙයි. සමාපත්තිඥානාදියෙන් ද කළ තෘෂ්ණා දෘෂ්ටිබන්‍ධ ඇතියේත් නො වෙයි. හෙතෙම පෘතග්ජනයන්ගෙන් උපන් දෙසැට මිසදිටු උපේක්‍ෂා කෙරෙයි. අන්‍යයෝ එ දෘෂ්ටීන් දැඩි කොට ගණිත්.
916. රහත් මුනි තෙම මෙ ලොව්හි චතුර්විධ ග්‍රන්‍ථයන් හැරපියා හටගත් විවාද ඇත්තවුන් අතුරෙහි (ඡන්‍දාදි විසින් ) වර්‍ග ව නො හැසිරෙන්නේ අශාන්තයන් අතුරෙහි ශාන්ත වූයේ උපේක්‍ෂා ඇත්තේ වෙයි. හේ දෘඪග්‍රහණ නැත්තේ වෙයි. අන්‍යයෝ තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් දැඩිව ගන්නාහ.
917. අතීත රූපාදිය ඇරැබ උපන් ආස්‍රවයන් හැරපියා වර්‍තමාන රූපාදියෙහි ආස්‍රවයන් නො කරන්නේ ඡන්‍දාදියෙන් අගතියට නොයන්නේ දෘෂ්ටියෙහි පිහිටා නො ද කියන්නේ දෘෂ්ටිගතයන් කෙරෙන් වෙසෙසින් මුක්ත වූ ඒ ධීර තෙම තමහට නො ගරහන්නේ ලොව්හි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නොලැගේ.
918. ඒ ක්‍ෂීණාස්‍රව තෙම යම් කිසි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි (ධර්‍මාලම්බන වේවයි) ඒ සර්‍වධර්‍මයන්හි මරසෙන් වනසා සිටියේ වෙයි. බහා තැබූ බර ඇති ඒ රහත් මහණ (කෙලෙසුන් කෙරෙන්) වෙසෙසින් මුක්ත වූයේ තෘෂ්ණාදෘෂ්ටි කල්ප නොකරන්නේ උපරති නැතියේ තෘෂ්ණා ප්‍රාර්‍ත්‍ථනා නැතියේත් වේ යයි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
මහාවියුහ සූත්‍රය නිමි.
තුවටක සූත්‍රය
919. සූර්‍ය්‍යබන්‍ධු වූ මහාර්ෂී වූ මුඛ පුළුවුස්මි: (කල්‍යාණ පෘතග්ජනවූ හෝ ශෛක්‍ෂ) යෝගාවචර මහණ ත්‍රිවිධ විවේකය හා ශාන්තිපද සඞ්ඛ්‍යාත සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍ම හා කවර කරුණෙකින් දැක (කායාදී) ලෝකයෙහි රූපාදි කිසි ධර්‍මයකුත් උපාදාන විසින් නො ගණිමින් රාගාදි කෙලෙසුන් සන්හිඳුවන්නේ ද?
920. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: තෘෂ්ණාදෘෂ්ටිප්‍රපඤ්චයාගේ අවිද්‍යාදි ක්ලේශමූලය ද දෘෂ්ටිමානය ද ප්‍රඥායෙන් දැන සියල්ල වළහන්නේ ය. අධ්‍යාත්මයෙහි යම් කිසි තෘෂ්ණා කෙනෙක් වෙත් ද ඔවුන්ගේ ප්‍රහාණය සඳහා හැම කල්හි එළඹසිටි සිහි ඇති වැ හික්මෙන්නේ යි.
921. තමා කෙරෙහි වූ හෝ (උපධ්‍යායාදි ) බාහිර පුද්ගලයකු කෙරෙහි වූ කුලීනත්‍වාදි ගුණයක් හෝ දන්නේ නම් ඒ කරුණෙන් මානය නොකරන්නේ ය බුද්ධාදී සත්පුරුෂයන් විසින් ඒ මානෝන්නතිය නිබ්බුතිය යි නො කියනලද මැ යි.
922. එ මානයෙන් මම ශ්‍රේෂ්ඨයෙමි යි ද නීචයෙමි යි ද නැතහොත් සදෘශයෙමි යි ද නොහඟනේ ය. කුලීනත්‍වාදී අනේකස්වරූපයෙන් යුක්ත වූයේ තමා විකල්පනය කරමින් නො සිටුනේ යි.
923. මහණ, අධ්‍යාත්මයෙහි මැ රාගාදිය සන්හිඳුවන්නේ ය. සතිපට්ඨානාදිය හැර අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් ශාන්තිය නොසොයන්නේ ය. අධ්‍යාත්මයෙහි රාගාදිය සන්හිඳුනු මහණහට ආත්මදෘෂ්ටි නැත. උච්ඡේද දෘෂ්ටිය හෝ කොයින් වේ ද?
924. මහාසාගරය සේ (සාරදහසක් පමණ යොදුන් ඇති) මධ්‍යභාගයෙහි යම් සේ රළ නො හටගනී ද නිශ්චලව සිටියේ වේ ද, එසෙයින් ක්‍ෂීණාස්‍රව මහණ තෙම අටලෝදහමින් නොසැලී සිටියේ තෘෂ්ණා රහිත වන්නේ ය. ඒ මහණ කිසිවෙක්හි දු උත්සද නොකරන්නේ ය.
925. අනාවරණ වූ පසැස් ඇති බුදුහු උපද්‍රවයන් දුරුකරන තමන් හට ප්‍රත්‍යක්‍ෂවූ ධර්‍මය වදාළහ. පින්වතුන්වහන්ස, මුඹගේ සොඳුරු වූ පිළිවෙත වදාළ මැනව. වැලිදු පාමොක් හා සමාධියත් වදාළ මැනව.
926. ඇසින් (රූ දැක්මට) නො මැ ලොල් වන්නේය. ග්‍රාම්‍ය (තිරශ්චීන) කථායෙන් කන් වළහන්නේ ය. මූලරසාදියෙහි දු නොගිජු වන්නේ ය. ලොවැ (රූපාදි ) කිසිවක් (තෘෂ්ණාදෘෂ්ටි) මමත්‍වයෙන් නො ගන්නේ යි.
927. රෝගස්පර්‍ශයෙන් යම් කලෙක්හි පහස්නා ලද වේ නම් මහණ කිසිවක් නිමිති කොට පරිදේවනා නො කරන්නේ ය. කාමභවාදිය ද නො පතන්නේ ය. බිය දනවන අරමුණු නිමිති කොට ද නො සැලෙන්නේ යි.
928. තවද මහණ ආහාර-පානයන් හා ඛාද්‍යයන් සම්බන්‍ධි වූත් වස්ත්‍රයන් සම්බන්‍ධි වූත් (කිසිවක්) ලැබ සන්නිධිය (රැස්කිරීම) නො කරන්නේ ය. ඒ වස්තූන් නො ලබනුයේ නො ද තැවෙන්නේ යි.
929. ප්‍රථමාදී ධ්‍යාන වඩන්නේ පාද ලෝලයෙක් නොවන්නේ ය. කුකුසින් දුරුවන්නේ ය. නොපමා වන්නේ ය. යලිදු මහණ නිහඬ වූ සයනාසනයන්හි දු වාසය කරන්නේ යි.
930. කෙලෙස් තවන වැර ඇතියේ නිදි බහුල නො කරන්නේ ය. නිදි වැරීම සෙවුනේ ය. තන්‍ද්‍රාව (අසලබව) මායා ය, හාස්‍ය ය, ක්‍රීඩාය, විභූෂණ සහත් මෙවුන්දම් ය යන මොවුන් වෙසෙසින් දුරු කරන්නේ යි.
931. රත්නත්‍රයමාමක මහණ අථර්වනය මන්ත්‍ර ප්‍රයෝග හා ස්වප්න ශාස්ත්‍ර හා (මණිලක්ඛණාදි) ලක්‍ෂණ ශාස්ත්‍ර හා යළිත් නක්‍ෂස්ත්‍රය හා නො යොදන්නේ ය. (මෘග වාක්‍ය) විරූත ශාස්ත්‍ර ද ගර්‍භ කරණ ද චිකිත්සා ශාස්ත්‍රය ද නො සෙවුනේ යි.
932. මහණ නින්‍දා වචනයෙන් නො සැලෙන්නේ ය, පසස්නා ලදුයේ උඩඟු නොවන්නේ ය. මාත්සර්‍ය්‍ය සහිත ලෝභ හා ක්‍රෝධ හා පිසුනු බස් හැර පියන්නේ යි.
933. මහණ ක්‍රය-වික්‍රයෙහි නොසිටුනේ ය. (අභ්‍යන්තර-බාහිර) කිසිදු තැනෙක්හි උපවාද නොකරවන්නේ ය. ගම්හිදු නො ලැගෙන්නේ ය. ලාභාෂාවෙන් ජනයාහට ලපනය නො කරන්නේ යි.
934. මහණ ආත්ම වර්‍ණනා ද නො කරන්නේ ය. සිවුපසය සඳහා ද යොදන ලද බසුදු නො කියන්නේ ය. බුහුටිබව්හි දු නො හික්මෙන්නේ ය. විග්‍රාහික කථා ද නොකියන්නේ යි.
935. සම්‍යක්ප්‍රඥා ඇති මහණ මුසවා බිණීමෙහි නො යෙදෙන්නේ ය. කපටිකම් නො කරන්නේ ය. යළි දිවි පැවැත්මෙන් ප්‍රඥායෙන් හා ශීල ව්‍රතයෙන් අන්‍යයන් ඉක්මවා නො සිතන්නේ යි.
936. බැහැරි මහණුන්ගේ හෝ ක්‍ෂත්‍රියාදීන්ගේ අනිටු වූ බොහෝ බස් අසා ගැටුනේ රළුබසින් ඔවුන්ට පෙරළා නො කියන්නේ ය. රාගාදි කෙලෙස් සන්හිඳුවූවෝ ප්‍රතිපක්‍ෂ භාවය නො කෙරෙත් මැයි.
937. මහණ තෙල දහම දැන අනිත්‍ය ලක්‍ෂණාදි විමසමින් හැමකල්හි එළඹ සිටි සිහි ඇතියේ ත්‍රිවිධ ශික්‍ෂායෙහි හික්මෙන්නේ ය. රාගාදි කෙලෙසුන්ගේ සන්හිඳීම නිවණැයි දැන ගෞතම බුද්ධ සාසනයෙහි පමා නොවන්නේ යි.
938. රූපාදිය මැඩැලූ ඒ බුදුහු (කෙලෙසුන් විසින්) නොමැඩුනාහු මෙසේ වී ලැ යි නො තකනලද ආත්ම ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය දුටු සේක. එ හෙයින් මැ ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශාසනයෙහි අප්‍රමත්ත වූයේ හැම කල්හි තුන්දොරින් බුදුන් වඳිමින් ත්‍රිශික්‍ෂායෙහි හික්මෙන්නේ ය”යි (වදාළ සේක.)
තුවටක සූත්‍රය නිමි.
අත්තදණ්ඩ සූත්‍රය
939. (කායාදි දුශ්චරිත සංඛ්‍යාත) ආත්මදණ්ඩනය හේතු කොට ගෙන දිට්ඨධම්මික හෝ සාම්පරායික වූ භය උපන. (එසේ වත්ම) ප්‍රතිපක්‍ෂ වූ තෙල කලහකාරී ජනයා බලවු. මා විසින් (බෝධිසත්ත්‍ව භූමියෙහි දී) යම් පරිදි තමා මැ තමහට සංවේග දනවන ලද නම් ඒ පරිදි සංවේගය පවසන්නෙමි.
940. දියත්තෙක මසුන් මෙන් තෘෂ්ණාදියෙන් සැලෙන සත්ත්‍වයා දැක උනුන් හා පිළිමල්වුවන් දැක බිය මා කරා පැමිණියේ යැ (මට බිය උපන.)
941. ලෝකය (නිත්‍යත්‍වාදියෙන් තොර හෙයින්) හාත්පසින් නිසරු ය. හැම දික්හු අනිච්චතාදියෙන් සැලුනාහ. (එහෙයින්) තමහට ත්‍රාණය පතනුයෙම් ජාතිජරාදියෙන් නොමැඩුනු තැනක් නුදුටිමි.
942. යළි (යෞවනාදීන්ගේ) අවසන්හි මැ (ජරාදිය සමග) ප්‍රතිවිරුද්ධ වූ සත්ත්‍වයන් දැක මට අරතිය උපන, අනතුරුව ඒ සත්ත්‍වයන් කෙරෙහි වූ දුකසේ දැක්කයුතු සිත ඇසුරු කළ රාගානුශයාදී (සප්තවිධ) ශල්‍යයන් දිටිමි.
943. රාගාදි යම් ශල්‍යයෙකින් විදුනා ලද සත්ත්‍ව (දුසිරිත්, පැදුන් දික් ආදී) හැම දිගට දිවේ නම් එ මැ ශල්‍යය උදුරාපියා හැම දිගට හා ගති ආදියට නො දිවෙයි. (චතුරෝඝයෙහිත්) නො ගැලේ.
944. සත්ත්‍වලෝකයෙහි යම් පස් කම් ගුණ කෙනෙක් වෙත් නම් ඔවුන් නිමිති කොට හස්ති, ශික්‍ෂාදි අනේක ශික්‍ෂාවෝ උගන්නා ලැබෙත්. (නුවණැති කුලපුත්) ඒ පස්කම්ගුණයෙහි හෝ හස්ති ශික්‍ෂාදියෙහි ප්‍රයුක්ත නො වන්නේ ය. වස්තුකාම ක්ලේශකාමයන් අනිත්‍යාදි දර්‍ශනයෙන් පිළිවිද තමාගේ කෙලෙස් පිරිනිවීමට හික්මෙන්නේ යි.
945. (නිවන් සඳහා හික්මෙන) මුනි තෙමේ සත්‍යයෙන් යුක්ත වන්නේ ය. ප්‍රාගල්භ්‍ය නැතියේ වන්නේ ය. මායා නැතියේ වන්නේ ය. ප්‍රහීණ කළ පෛශුන්‍ය ඇත්තේ වන්නේ ය. ක්‍රෝධ නො කරණ සුලුයේ ලෝභ පාපය ද මාත්සර්‍ය්‍යය ද ඉක්මවන්නේ යි.
946. නිවණෙහි නැමුනු සිත් ඇති සත්ත්‍ව තෙමේ (වේදනාදිස්කන්‍ධත්‍රය සඞ්ඛ්‍යාත නාම කායයාගේ අකර්‍මණ්‍ය භාවය (මිද්ධය) කායලස්‍ය ය ද (චිත්තයාගේ අකර්‍මණ්‍යභාව සඞ්ඛ්‍යාත) ථීනය ද මැඩැලන්නේ ය. (ස්මෘති විප්‍රවාස සඞ්ඛ්‍යාත) ප්‍රමාදයෙන් නො වසන්නේ ය, අතිමානයෙහි නො සිටුනේ යි.
947. මුසවායෙහි නො යෙදෙන්නේ ය. (භූතොපාදය භේදභින්න) රූපස්කන්‍ධයෙහි සනා නො කරන්නේ ය. මානය ද ත්‍රිවිධ පරිඥායෙන් පිරිසිඳ දන්නේ ය. රාගාදිභේද ඇති සාහසචර්‍ය්‍යවෙන් වෙන් ව හැසිරෙන්නේ යි.
948. අතීත රූපාදි අරමුණට සතුටු නො වන්නේ ය. වර්‍තමාන රූපාදියෙහි දු රුචිය නො කරන්නේ ය, රූපාදි අරමුණු නැසෙත් ම ශෝක නො කරන්නේ ය. තෘෂ්ණා සඞ්ඛාත ආකාශ ය ද ඇසුරු කෙළේ නො වන්නේ යි.
949. (මම තෘෂ්ණාව රූපාදියෙහි ගිජුවන හෙයින්) ගේධ යයි ද මහ වතුරෙකැයි ද කියමි. (අරමුණෙහි දිවෙන හෙයින්) ආජවයෙකැ යි ද ජල්පනයෙකැ යි ද ආලම්බනයෙකැ යි ද ප්‍රකම්පනයෙකැයි ද කියමි. තෙල කාමපඞ්කය දුරතික්‍රමණී ය වේ.