Sutta Nipāta

Collection of Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1562 segments

පෙන්වන කොටස් 1101-1200 න් 1562

798. ඒ ක්‍ෂීණාස්‍රවයෝ තෘෂ්ණාදි කල්පනයන් ද නො කෙරෙති. තෘෂ්ණාදෘෂ්ටි පුරස්කාරයනුදු පෙරටු නො කෙරෙති. (පරමාර්‍ත්‍ථ අත්‍යන්තශුද්ධිය අධිගත වන හෙයින්) අක්‍රිය-ශාස්වත දෘෂ්ටි දෙක අත්‍යන්ත ශුද්ධි යි ද නො කියති. ස්වකීය චිත්තසන්තානයෙහි ගෙතුනු ආදානග්‍රන්‍ථ යි කියන ලද අභිධ්‍යාකායග්‍රන්‍ථාදි චතුර්විධකාය ග්‍රන්‍ථ සිඳපියා කිසිදු ලොවෙක්හි තෘෂ්ණා නො කෙරෙත්.
799. එ භූරිප්‍රාඥ රහත් තෙමේ චතුර්විධ ක්ලේශසීමා ඉක්ම වූ යේ ය. බාහිතපාපී හෙයින් බ්‍රාහ්මණ වෙයි. ඔහට පරචිත්ත විජානනපුබ්බේනිවාස යන උභය ඥානයෙන් දැන හෝ මසැස් - දිවැස් දෙකින් දැක හෝ මොනොවට බැසගන්නා ලද්දෙක් නැත. හෙ කාමරාගයෙන් රාගවත් නො වෙයි. රූපාරූපරාග සංඛ්‍යාත විරාගයෙන් රක්ත වූයේ ද නො වෙයි. ඔහට මෙ ලොව්හි උතුමැ යි දැඩි වැ ගන්නා ලද කිසිවක් නැත්තේ යි.
සුද්ධට්ඨක සූත්‍රය නිමි
පරමට්ඨක සූත්‍රය
800. ලොව්හි යම් සත්ත්‍වයෙක් දෙසැටමිදිටු අතුරෙන් ‘මෙ උතුමැ’යි එක්තරා දෘෂ්ටියක් ගෙණ ඒ තමන් ගත් දෘෂ්ටියෙහි ඇතුළත් වැ වසනුයේ යම් හෙයෙකින් තමාගේ ශාස්තෘ ආදිය ‘උතුමැ’යි කියා ද, එයින් අන්‍ය වූ හැම ‘හීනය’යි කියාද, එහෙයින් හෙ දෘෂ්ටිවාදයන් නො ඉක්මැවූයේ වේ.
801. මෙසේ දෘෂ්ටිකලහයන් නො ඉක්මැ වූයේ රූපාලම්බනසඞ්ඛ්‍යාත දෘෂ්ටායතනයෙහි දු, ශබ්දාලම්බනසඞ්ඛ්‍යාත ශ්‍රැතායතනයෙහි දු, ශීලව්‍රතයන්හි දු, ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යාලම්බනසඞ්ඛ්‍යාත මුතායතනයෙහි දු, උපන් දෘෂ්ටිසඞ්ඛ්‍යාත ආත්මෙයහි යම් අනුසසක් දක්නේ නම්, හෙ ස්වකීයදෘෂ්ටියෙහි එ අනුසස මැ ශ්‍රේෂ්ඨයයි දැඩිවැ ගෙණ පරශාස්තෘ ආදි අන් හැම නිහීන හෙයින් දක්නේ යි.
802. මෙසේ දක්නේ තමාගේ ශාස්තෘ ආදියක් ඇසිරි කරණ ලදුයේ නම් එයින් අන්‍යවූ පරශාස්තෘආදිය හීන කොට දක්නේය. ස්කන්‍ධාදිය දැනීමෙහි නිපුණයෝ ඔහුගේ ඒ දර්‍ශනය බන්‍ධනයෙකැයි කියති. එහෙයින් මැ මහණ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ශීලව්‍රතසඞ්ඛ්‍යාතධර්‍මාලම්බන වේවයි තෘෂ්ණාදෘෂ්ටි විසින් ඇසිරි නො කරන්නේ යි.
803. ඒ මහණ හුදෙක් දෘෂ්ට ශ්‍රැතාදිය මතු නො ගන්නේ වෙයි. යළි ලෝකයෙහි නූපන්දෘෂ්ටිය ද සමාපත්‍යාදිඥානයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ නූපදවන්නේ ය. තවද ජාත්‍යාදිවස්තුකරණකොට ‘මම සදෘශයෙමි’යි තමා (මානවශයෙන්) නො හඟනේය, ‘හීනයෙමි’යි ද නො හඟනේ ය, ‘විශේෂ යෙමි’යි ද නො හඟනේ යි.
804. හේ පළමු ගත් ආත්මදෘෂ්ටිය හැරපියා චතුර්උපාදානයෙන් කිසිවක් නො ගන්නේ ඥානයෙහි දු තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය නො කෙරෙයි. හෙතෙම ඒකාන්තයෙන් දෘෂ්ටි විසින් භින්න සත්ත්‍වයන් කෙරෙහි ඡන්‍දාදි විසින් අගතියට නො යන සැහැවි ඇතියේ වෙයි. හෙ කිසි දෘෂ්ටියකට නො එන්නේ වේ.
805. යම් රහත්මහණක්හට ඵස්ස-ඵස්සසමුදයාදි භේද වූ උභයාන්තයෙහිත් පුනපුනාභවය පිණිසත් ස්වාත්මභාවයෙහි හෝ පරාත්මභාවයෙහි හෝ තෘෂ්ණා ප්‍රණිධි නැත් ද, එ රහත්හට කිසි තෘෂ්ණාදෘෂ්ටිනිවේසන කෙනෙක් නො වෙති. දෙසැටමිසදිටුදම්හි නිශ්චය කොට දැඩි වැ ගන්නාලද්දෙක් ද නැත්තේ යි.
806. එ රහත් මහණහට රූපයතනසඞ්ඛ්‍යාත දෘෂ්ටශුද්ධියෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ මුතශුද්ධියෙහි හෝ තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රකල්පිත වූ අණුමාත්‍ර වූත් සංඥාසමුත්‍ථාපිකදෘෂ්ටියෙක් නැත. මෙ සත්ත්‍වලෝකයෙහි දෙසැටමිසදිටු නො ගන්නා එ බාහිතපාපී බ්‍රාහ්මණයා රාගාදි වූ කවරහේතුයෙකින් විකල්පනය කරන්නේ ද?
807. එ රහත්මහණහු තෘෂ්ණාදෘෂ්ටිකල්පයන් නො කෙරෙති. ඔවුන් පෙරටු කොට නො හැසිරෙති. දෙසැටමිසදිටු දහම්හු ද ඔවුන් විසින් නො පිළිගන්නාලදහ. ක්‍ෂීණස්‍රවබ්‍රාහ්මණ ශීලව්‍රතයෙන් යළි කෙලෙසුන්කරා පැමිණවිය නො හැකි වෙයි. තාදීවූ රහත්තෙම නිර්‍වාණපාරයට ගියේ මඟනැණින් නැසූ කෙලෙසුනට යළි නො එන්නේ යි.
පරමට්ඨක සූත්‍රය නිමි.
ජරා සූත්‍රය
808. මෙ මනුෂ්‍ය ජීවිතය ඒකාන්තයෙන් අල්ප වෙයි. හවුරුදු සියයෙකින් මෙපිට (කලලාදි අවස්ථායෙහි) දූ මියෙයි. ඉදින් යමෙක් සියක් වස් ඉක්මැ ජීවත් වේ නම්, එකල හේ ජරායෙනුදු මියයන්නේ යි.
809. සත්ත්‍වයෝ තෘෂ්ණාදෘෂ්ටි විසින් මමත්‍වයෙන් ගත් වස්තුයෙහි ශෝක කෙරෙති. එතෙකුදු වුව නිත්‍ය වූ පරිග්‍රහයෝ නො මැ වෙති. මෙ විනාභාවය විද්‍යාමාන මැ වේ යයි මෙසේ නුවණින් දැකැ විඥපුරුෂ ගිහිගෙහි නො වසන්නේ යි.
810. පුරුෂ යම් රූපාදියක් ‘මේ මාගේ’යයි මඤ්ඤනා වශයෙන් හඟනේ නම්, එය මරණනිදු දුරුකරණු ලැබෙයි. බුද්ධාදීන් කෙරෙහි මාමක වූ පණ්ඩිත තෙමේ රූපාදියෙහි තෙල ආදීනවය දැකැ මමත්‍වයට නො නැමෙන්නේ යි.
811. පුරුෂ සිහිනෙන් දක්නා ලද චන්‍ද්‍රාදි කිසිවක් පිබිදියේ යම්සේ නො දක්නේ ද, එසෙයින් පරලොව ගිය, කලුරිය කළාවූ ප්‍රිය සත්‍වයා නො දක්නේ යි.
812. ක්‍ෂත්‍රියාදි යම් කෙනෙකුන් ගේ මේ නාමප්‍රඥප්තියයැ යි කියනු ලැබේ නම්, එ සත්ත්‍වයෝ වනාහි චක්ඛු විඤ්ඤාණාභිසම්භූත වූ චතුසමුට්ඨානිකරූපයෝත් සෝතවිඤ්ඤාණාභිසම්භූත වූ ද්විසමුට්ඨානික ශබ්දයොත් වෙති. මියැ පරලොව ගිය සත්ත්‍වයාගේ නාමමාත්‍රය මැ කියන්නට ඉතිරි වේ.
813. මමායන කළ වස්තුයෙහි ගිජු වූවාහු ශෝකපරිදේවමාත්සර්‍ය්‍යය යම් හෙයකින් නො හරිත් ද, එහෙයින් මැ මුනිහු තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහය හැරපියා ක්‍ෂේමසඞ්ඛ්‍යාත නිර්‍වාණය දක්මින් වාස කළහ.
814. ඒ ඒ අරමුණෙන් වැළැහූ සිත්හසර ඇති, විවේක සෙනසුන් සෙව්නා වූ කලණ පුහුදුන් වූ හෝ ශෛක්‍ෂ වූ හෝ මහණහට ද, නිරායාදි භවනයෙහි (ප්‍රතිසන්‍ධි විසින්) තමා නො දක්වන එ රහත්මහණහට ද නිර්‍වාණසාමග්‍රියෙහි ලා (නිරයාදි භවනෙහි තමා නො දැක්වීම) අනුරූප යයි කියත්.
815. ද්වාදශායතන නම් වූ හැම තන්හි තෘෂ්ණා - දෘෂ්ටි නිඃශ්‍රය රහිත වූ මුනිතෙම (සත්ත්‍ව සංස්කාර කෙරෙහි) ප්‍රිය නො කෙරෙයි, අප්‍රිය ද නො කෙරෙයි. එ රහත්මුනිහු කෙරෙහි පරිදේව හා මාත්සර්‍ය්‍යය පියුම්පත්හි දිය සෙයින් නො ඇලේ.
816. පොකුරුපත්හි යම්සේ දිය බිඳු නො ඇලේ ද, පියුම්පෙතෙහි යම්සේ දිය නො රැඳේ ද, එසෙයින් ක්‍ෂීණාස්‍රව මහණ දිට්ඨ සුතයෙහි හෝ මුතයෙහි හෝ නො ඇලේ.
817. ධුතපාප වූ ක්‍ෂීණාස්‍රව තෙම යම්බඳු මෙ දිට්ඨ - සුත - මුත යන ආලම්බන වේ නම් එ වස්තුයෙන් මඤ්ඤනා විසින් නො සිතයි, හෙ අනෙක් අශුද්ධමාර්‍ගයකිනුදු ශුද්ධිය නො පතයි. හේ එහි (බාල පෘථුජ්ජනයන් මෙන්) නො ඇලෙයි, කල්‍යාණ පෘථජ්ජනයන් හා ක්ශෛෂයන් මෙන් විරාග ද නො වේ.
ජරා සූත්‍රය නිමි.
තිස්සමෙත්තෙය්‍ය සූත්‍රය
818. නිදුකානන්වහන්ස, මෙවුන්දම් හි අනුයුක්තහට වන උවදුරු මෙයයි වදාළ මැනැවැ, මුඹවහන්සේ ගේ අනුශාසනය අසා ත්‍රිවිධ විවේකයෙහි හික්මෙනුවම්හ (ආයුෂ්මත් තිෂ්‍ය මෛත්‍රෙය මෙසේ විචාළේයි.)
819. (මෙසේ බුදුරජානන්වහන්සේ වදාළසේක,) මෙත්තෙය්‍යයෙනි, මෙවුන්දම්හි නියුක්තයාහට පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්තිශාසනය පිරිහේ මැයි, හෙ වරදවා සසුන් පිළිපදනේ ද වෙයි. ඔහුකෙරෙහි තෙල මිත්‍යාප්‍රතිපද් අනාර්‍ය්‍ය ධර්‍මයෙකි.
820. යමෙක් පෙර (පැවිද්දෙන්) එකලා වැ ලොවැ හැසිර පසු කල්හි මෙවුන්දම් සෙවුනේ නම් අදාන්ත (හස්ත්‍යශ්වාදි) යානයක් සෙයින් එ (සිවුරලු) පුහුදුනා හීන යයි කියත්.
821. පෙර මහණ බැව්හිදී ඔහුගේ යම් යශසෙක් ද කීර්තියෙක් ද වී නම්, එ යශස හා කීර්තිය පිරිහේ මැයි. මෙ යශස් කීර්ති හානිය දැක මෙවුන්දම් දුරලනු සඳහා ත්‍රිවිධශික්‍ෂායෙහි හික්මෙන්නේ යි.
822. කාමාදිසංකල්පයෙන් මැඩුනු එ සිවුරුලු දිළින්දකු සෙයින් සිත යි. එබඳු පුඟුල් උපාධ්‍යාදි අන්‍යයන්ගේ වදන් අසා මකු වන්නේ යි.
823. ඉක්බිති පරවාදයෙන් චෝදිත වූ හේ දුශ්චරිත නැමැති ශස්ත්‍රන් කෙරෙයි, මෘෂවාදයට බැස ගණියි, එ වූකලී ඔහට මහා බන්‍ධනයෙකි.
824. පළමු ‘පණ්ඩිතයෙකැ’යි ප්‍රසිද්ධ වූ එකලා වාසයෙහි පිහිටි හෙ (පස්කල්හි) මෙවුන්දම්හි නියැලියේ මූඪයකු සෙයින් කෙලෙසෙන්නේ යි.
825. මෙ සස්නෙහි මුනිතෙම පෙර මහණදම්හි සැපත් හා පසු (ගිහිකල) විපත් හා යන තෙල ආදීනව දැක එකලා වාසය දැඩි කරන්නේ ය, මෙවුන්දම් නො සෙවුනේ යි.
826. බුද්ධාදි ආර්‍ය්‍යයන්ගේ උත්තම වූ තෙල ත්‍රිවිධවිවේකයෙහි මැ හික්මෙන්නේ ය. ඒ විවේකය හේතුකොට ගෙණ ‘මම ශ්‍රේෂ්ඨ යෙමි’යි ද නො හඟනේ ය. හේ ඒකාන්තයෙන් ම නිවන සමීපයෙහි වන්නේ යි.
827. කායදුශ්චරිතාදියට නිමිත්ත වූ කෙලෙසුන් කෙරෙන් සිස් වූ හුදෙකලාව හැසිරෙන, කාමයන්හි අපේක්‍ෂා නැති, චතුරෝඝතරණය කළ රහත් මුනිහට කාමයන්හි ගිජුවූ සත්ත්‍වයෝ කැමැති වෙත්.
තිස්සමෙත්ත්‍යෙය සූත්‍රය නිමි.
පසූර සූත්‍රය
828. යම් ශාස්තෘ - ශාසනාදියක් ඇසුරුකළා වූ (තමන් විසින් පිළිගත්) ඒ දෘෂ්ටියෙහි ම ශුභවාද ඇති, ප්‍රත්‍යෙකදෘෂ්ටි සත්‍යයන්හි බැසගත් බොහෝ මහණබමුණෝ වෙත් නම්, ඔහු “මෙහි මැ ශුද්ධිය වේ ය” යි වාද කෙරෙති. “අන්‍ය ධර්‍මයන්හි විශුද්ධිය නැතැ”යි කියත්.
829. වාද කැමැති ඔහු පිරිස් මැදට වැද උනුන් බාල යයි දක්නාහ. අන්‍ය ශාස්තෘ ආදීන් ඇසුරු කළ ඔහු ප්‍රශංසා කැමැත්තාහු “අපි පණ්ඩිතවාද ඇතියම්හ”යි විවාද කථා බෙණෙත්.
830. පිරිස් මැද වාදකථායෙහි නියුතුයේ තමහට පැසැසුම් කැමැතියේ කෙසේ පිළිමල්හු නිගන්නෙම් දැයි සැක ඇතියේ වෙයි. වීමංසකයන් විසින් ඔහුගේ වාදය බැහැර කරත් මැ මකු වෙයි. පිළිමල්හු ගේ සිදුරු සොයන හෙ නින්‍දායෙන් කෝපයට පැමිණේ.
831. ප්‍රශ්න වීමංසකයෝ යම්හෙයකින් ඔහුගේ වාදය හීනවූයේ බැහැර කරණලදැයි කියත් නම්, පිරිහුනු වාද ඇති හෙතෙම මා වාදයෙන් ඉක්ම ගියේ ය”යි වැලැපෙයි, ශෝක කෙරෙයි, තතනයි.
832. තෙල විවාදයෝ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් කෙරෙහි උපන්නාහු වෙති. තෙල වාදයන්හිදී අනුග්‍රහ නිග්‍රහ ද වෙයි. තෙල ආදීනව දැකැ කලහය හැරපියන්නේ ය. යම්හෙයකින් මෙ විවාදයෙහි ප්‍රශංසාලාභයෙන් අන්‍ය වූ අර්‍ත්‍ථයෙක් නැත් ද, එ හෙයිනි.
833. යමෙක් තමා විසින් ගන්නාලද එ දෘෂ්ටියෙහි පසස්නාලදුයේ හෝ වේ නම්, පිරිස් මැද ඒ දෘෂ්ටිවාදය පවසා ඒ ජයාර්‍ත්‍ථය ලැබ සිත් සේ හේ ඒ ජයහේතුයෙන් සිනා සෙයි. යළි උඩඟු ද වේ.
834. යම් චිත්තෝන්නතියෙක් (උඩඟු බවෙක්) වේ නම් එය ඔහට උපද්‍ර භූමි වෙයි. තෙල පුඟුල් මානය හා අතිමානය කියයි, තෙල දෝෂය දැකැ, නො මැ විවාද කරන්නේ ය, ස්කන්‍ධායතනාදියෙහි කුශලයෝ එ දෘෂ්ටිවාදයෙන් ශුද්ධිය (වේ යයි) නො මැ කියත්.
835. යම් පරිදි රාජභෝජනයෙන් පුස්නාලද ශූරයෙක් පිළිමල්හු පතමින් අභිගර්‍ජනය කරමින් එළඹෙයි ද, ශූරය, තාගේ එ පිළිමල් තෙමේ යම් තැනෙක්හි වේ නම්, තෝ එහි පලායා. කලහ සඳහා (මාතුළ) යම් කෙලෙස් කෙනෙක් වෙත්නම් ඔහු පළමු මැ (බෝ මුල්හිදී නැසූ හෙයින් මට) නැති.
836. යම් කෙනෙක් මිසදිටු දැඩිවැ, ගෙණ විවාද කෙරෙත් ද, යළි මෙය මැ සත්‍යයයි කියත් නම්, තෝ ඔවුනට කියව. වාදයක් උපන්කල්හි පිළිලොම් කරණ ඔහු මෙ සස්නෙහි නැති හෙයිනි.
837. යම් කෙනෙක් කෙලෙස් මරසෙන් වනසා දෘෂ්ටියෙන් දෘෂ්ටියකට විරුද්ධ නොවෙමින් වෙසෙත් නම්, මෙ සස්නෙහි යම් කෙනකුන්ට මෙ උත්තම යයි දැඩි වැ ගන්නාලද්දක් නැත් ද, පසූරය, එබඳු රහතුන් කෙරෙහි තෝ කවරකු ප්‍රතිමල්ල කොට ලබනෙහි ද?
838. වැලිත් තෝ සිතින් දෘෂ්ටිගතයන් සිතමින් (මට මින් ජයවේදෝහෝ යි) විතර්‍ක කරමින් ආයෙහි, ධුතක්ලේශ වූ බුදුන් සමග යුගග්‍රාහයට ආයෙහි, එහෙත් තෝ (බුදුන් කරා වාදයෙන්) එළඹෙන්නට නො මැ හැකියෙහි.
පසූර සූත්‍රය නිමි.
මාගන්‍දිය සූත්‍රය
839. තෘෂ්ණා යැ, අරති යැ, රගා යැ (යන තුන්මරදූන්) දැක මෙවුන් දම්හි ඡන්‍දයෙකුදු නො වී ය. මලමූයෙන් පුන් මෙ සිරුර දැක කවර හෙයින් ඡන්‍දයෙක් විය හේ ද? ( නො හේ මැයි) ඒ සිරුර පයිනුදු පහස්නට නො කැමතියෙමි.
840. බොහෝ නිරිඳුන් විසිනුදු පතන ලද මෙබඳු ස්ත්‍රී රත්නයක් නො කැමැත්තහු නම්, තොපගේ දෘෂ්ටි ගතයත් ශීලව්‍රතයත් ජීවිතයත් භාවොත්පත්තියත් කෙබඳු දැයි කියව.
841. මාගන්‍දියෙනි, “දෙසැට මිසදිටු දම්හි නිශ්චය කොට ‘මෙ මැ සැබැවයි කියමි’යි දැඩි කොට ගන්නාලද්දෙක් කෙලෙසුන් දිනූ එ මට නො වෙයි. වැළිදු දෙසැට දිටු දහම්හි ආදීනව දක්නෙම් කිසිදු දෘෂ්ටියක් සත්‍ය සේ නො ගෙණ සිවුසස්දම් සොයනුයෙම් ආධ්‍යාත්මශාන්තිය වන නිවන දිටිමි”යි බුදුහු මෙසේ වදාළහ.
842. විනිශ්චය කොට ගත් යම් ප්‍රකල්පිත දෙසැට දෘෂ්ටීහු වෙත් ද, එ දෘෂ්ටි ධර්‍මයන් සර්‍වඥමුනි වූ තෙපි ඒකාන්තයෙන් නො ගෙණ, තෙල අධ්‍යාත්මශාන්තිය යි යමක් වදාළහු නම් ධීරයන් විසින් එ පරමාර්‍ත්‍ථය කෙසේ ප්‍රකාශ කරන ලදදැ යි (මාගන්‍දිය බ්‍රාහ්මණ මෙසේ ඇසීය.)
843. මම දෘෂ්ටියෙනුදු ශුද්ධිය නො කියමි. ශ්‍රැති යෙනුදු, සමාපත්ති ඥානයෙනුදු, ශීලව්‍රතයෙනුදු ශුද්ධිය නොකියමි. දශවස්තුක සම්‍යග්දෘෂ්ටියෙන් තොර වැ නවාඞ්ගශ්‍රෘතියෙන් තොර වැ කර්‍මස්වකතා සත්‍යානුලෝමිකඥානයෙන් තොර වැ ප්‍රාතිමෝක්‍ෂ සංවරශීලයෙන් තොර වැ ධූතාඞ්ගව්‍රතයෙන් තොර වැ ශුද්ධිය නො කියමි. තෙල සම්‍යග්දෘෂ්ටි ආදිමාත්‍රයෙකිනුදු නො කියමි. තෙල දෘෂ්ටි ආදි ධර්‍මයන් හැරපියා අදෘෂ්ටි ආදි ධර්‍මයන් ග්‍රහණ කොට ශාන්ත පුද්ගල චක්‍ෂුරාදිය නිඃශ්‍රය නො කොට කාමාදි භවය නො පතන්නට සමර්‍ත්‍ථ වන්නේය යි බුදුහු වදාළ සේක.
844. ඉදින් දෘෂ්ටියෙන් ශුද්ධිය නො කියවු නම්, ශ්‍රැතියෙන් සමාපත්ති ඥානයෙන් ශීලව්‍රතයෙන් ද නො කියවු නම් යළි දෘෂ්ටියෙන් වෙන් වැ ශ්‍රැතියෙන් වෙන් වැ ඥානයෙන් වෙන් වැ ශීලයෙන් හා ව්‍රතයෙන් ද වෙන් වැ ශුද්ධිය නො කියවු නම්, එ දෘෂ්ට්‍යාදි මාත්‍රයෙනුදු නො කියවු නම්, මම තොපගේ මෙ දහම අතිශයින් මූඪ වූවක් මැ කොට හඟනෙම්. ඇතැම් කෙනෙක් දෘෂ්ට්‍යාදිමාත්‍රයෙන් ශුද්ධිය කැමැති වෙත් යයි (මාගන්‍දිය කී යැ.)
845. “මාගන්‍දියෙනි, දෘෂ්ටිය ම ඇසුරු කොට පුන පුනා විචාරන්නෙහි දැඩි වැ ගන්නාලද දෘෂ්ටීන් කෙරෙහි ප්‍රකර්‍ෂ මෝහයට පැමිණියෙහි, යම්හෙයෙකින් මෙ දහමින් මදවූ සංඥාවකුදු නුදුටු යෙහි ද, එහෙයින් තෝ අති මූඪ සෙයින් දක්නෙහි යයි (භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
846. “මම සම වෙමි, විශිෂ්ට වෙමි, නොහොත් හීන වෙමි”යි යමෙක් මාන කෙරේ නම්, හෙතෙම එ මානයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පුද්ගලයා සමග හෝ විවාද කෙරෙයි. යමෙක් එ ත්‍රිවිධමානයෙහි නො සැලේ නම් ‘සම වෙමි, විශිෂ්ට වෙමි,’ යන මානය ඔහට නො වේ.”
847. එ රහත් බමුණු ‘මෙ මැ සැබැවයි’ කවර නම් වස්තුවක් හෝ කරුණක් නිසා කියන්නේ ද? තා කියන්නේ මුසවා යයි හෝ හෙතෙම කවරකු හා විවාද කරන්නේ ද? යම් පුඟුලකු කෙරෙහි සමමානය හෝ විෂමමානය හෝ නැද්ද, හෙතෙම කවර මානයෙකින් වාදයෙහි යෙදේ ද?
848. (රූපනිමිත්තාදි නිකෙතයෙහි නො හැසිරෙන හෙයින්) අනි කෙත සාරි වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම රූපවස්ත්‍වාදි විඥාන ගෝචරය වූ ඕකය හැරපියා ගම්හි ගිහී සන්ත්‍වයන් නො කරමින් කාමයන් කෙරෙන් විරක්ත වූයේ තෘෂ්ණා වශයෙක් වට්ටය පෙරටු නො කරන්නේ ජනයා හා සමග විග්‍රාහික කථාව නො කරන්නේ යි.
849. ක්‍ෂීණාස්‍රව නාග තෙම යම් දෘෂ්ටිගතාදියෙකින් වෙන් වූයේ ලෝකයෙහි හැසිරේ නම්, (හෙ) එ දෘෂ්ටිගතයන් දැඩි වැ ගෙන නො කියන්නේ ය. ඵල සඞ්ඛ්‍යාත ජලයෙහි උපන් කටු සහිත දඬු ඇති පියුමාදියෙන් හා කලලින් යම් පරිදි නො තැවරේ ද, එ සෙයින් මුනි තෙම ශාන්ති වාද ඇතියේ තෘෂ්ණා රහිත වූයේ කාමයෙහි ද ලෝකයෙහි ද නො ඇලුනේයි.
850. ( මා වැනි ) සිවුමග නුවණට පැමිණියෙක් දෘෂ්ටියට නො යන්නේ ය. හෙ (මුත රූපාදි භේද ඇති) මුතියෙනුදු මානයට නො එයි. හෙතෙම තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නො මැ තම්මය ය වෙයි. නො ද කර්‍මයෙන් නො ද ශ්‍රැතයෙන් පැමිණැ විය යුත්තේ වෙයි, හේ හැම තෘෂ්ණාදෘෂ්ටිනිවේශනයන්හි අනුපතීත වේ.
851. ප්‍රහීණ කළ කාමාදි සංඥා ඇත්තහුට (අභිධ්‍යාකායාදි) ග්‍රන්‍ථයෝ නො වෙති. විදර්‍ශනා ප්‍රඥාවෙන් කෙලෙසුන් කෙරෙන් මිදුනහුට මෝහයෝ නො වෙති. යම් කෙනෙක් කාමාදි සංඥාවත් දෙසැට මිසදිටුත් දැඩි කොට ගත්හු නම් ඔහු උනුන් ගටමින් ලොවැ හැසිරෙත් යයි.
මාගන්‍දිය සූත්‍රය නිමි.
පුරාභේද සූත්‍රය
(නිර්මිත බුද්ධ:)
852. කෙබඳු දර්‍ශන ඇතියේ කෙබඳු සිල් ඇතියේ උපශාන්ත ය යි’ කියනු ලැබේ ද? ගොයුම් ගොතුව, මා විසින් පුළුවුස්නාලදුවහු එ උත්තම පුරුෂයා වදාළ මැනැ ව.
853. (බුදුහු මෙසේ වදාරති:) ශරීර භේදයෙන් පෙර මැ යමෙක් ප්‍රහීණ වූ තෘෂ්ණා ඇත්තේ පූර්‍වාන්තය (පෙර අත්බව) තෘෂ්ණා දෘෂ්ටි විසින් ඇසිරි නො කෙළේ ඉහාත්මභාව සඞ්ඛ්‍යාත ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධයෙහි (රාගරක්තයෙකයනාදින්) නො ගිණියයුතු වූයේ ද එ රහත්මහණ හට අනාගතාත්මභාවයෙහි (තෘෂ්ණාදි වශයෙන්) පෙරටු කරණලදුයෙක් නැති.
854. නො කිපෙන පියවි ඇති (එ එ අලාභයෙන්) නො සැලෙන සුලු වූ, (ශීලාදියෙන්) තමා හුවා නො දක්වන සුලු, අත්පා කුකුස් නැති නුවණින් විමසා බණන සුලු වූ, උඩඟු නො වූ එ රහත් මහණ ඒකාන්තයෙන් වාග්ද්වාරයෙන් සංයත වේ.
855. අනාගත භවයෙහි තෘෂ්ණා රහිත වූයේ වේ ද අතීතපඤ්චස්කන්‍ධයට ශෝක නො කෙරේ ද, ප්‍රත්‍යුපන්න චක්‍ෂූස්පර්‍ශාදියෙහි ආත්මභාවාදි විවේකය දක්නා සුලු වේ ද, දෙසැට මිසදිටුහි නො වැටේ ද,
856. රාගාදි අකුශලයන් ප්‍රහීණ කෙළේ කුහක නො වූයේ තෘෂ්ණා රහිත වූයේ, මසුරු නො වූයේ කායාදා ප්‍රගල්භතා නැතියේ සිල්සපන් හෙයින් ජුගුප්සා නො කටයුතු වූයේ පිසිනුබස් කීමෙහි නොයෙදුනේ ද,
857. කාමගුණ සඞ්ඛ්‍යාත සාතවස්තූන්හි තෘෂ්ණා රහිත වූයේ අතිමානයෙහි යුක්ත නො වූයේ සිනිඳු කායාදි කර්‍මයෙන් සපන් වූයේ ප්‍රතිභාන ඇතියේ (තමා විසින් මැ අධිගතවන බැවින්) ධර්‍මය පරප්‍රත්‍යයෙන් නො හදහන්නේ වීතරාග වන හෙයින් දැන් විරාග නො කෙරේ ද, (ඔහු ‘උපශාන්ත’ යයි කියමි,)
858. ලාභප්‍රාර්‍ත්‍ථනායෙන් සූත්‍රාන්තාදිය නො හදාරා ද, අලාභයෙහි දු නො කිපේ ද විරෝධයෙන් යුක්ත නො වූයේ ද තෘෂ්ණායෙන් රසයෙහිත් ගිජු නො වේ ද (ඔහු ‘උපශාන්ත’ යයි කියමි.)
859. ෂඩඞ්ගෝපේක්‍ෂායෙන් යුක්ත වූයේ හැම කල්හි ස්මෘතිමත් වූයේ ලොව්හි කිසිවකු හාත් තමා සම කොට නො සිතා ද, ‘මම විශිෂ්ට වෙම්’ යන මාන නැතියේ, හීන වෙමි යන මානත් නැතියේ ද, ඔහට උත්සදයෝ නැත. (ඔහු ‘උපශාන්ත’ යයි කියමි.)
860. යම් රහත් මහණකුට තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රයභාවය නැත් ද, යමකුහට භවදෘෂ්ටියෙහි දු විභවදෘෂ්ටියෙහි දු තෘෂ්ණා විද්‍යාමාන නො වේ ද, හෙ අනිත්‍යාදි විසින් ධර්‍මය දැන අනිඃශ්‍රිත වේ.
861. වස්තුකාම ක්ලේශකාමයන්හි අපේක්‍ෂා නැති ඒ රහත් මහණ උපශාන්ත යයි කියමි. ඔහට අභිධ්‍යාකායාදි ග්‍රන්‍ථයෝ නැත. හේ තෘෂ්ණ නම් වූ විසත්තිකා තරණය කෙළේ යි.
862. ඒ ක්‍ෂීණාස්‍රව මහණහට පුත්‍රයෝත් නැත. පශුවර්‍ගයෝ ද නැත කෙත්වත් ද නැති. ඒ මහණ කෙරෙහි ශාශ්වතදෘෂ්ටි හෝ උච්ඡේද දෘෂ්ටි හෝ නො ලැබේ.
863. යම් රාගාදි දෝෂයකින් දේවමනුෂ්‍යාදි පෘථග්ජනයෝ ද බාහිර ශාසනික මහණ බමුණෝ ද (රහත්මහණ රාග රක්තය යන ආදීන්) කියත් නම්, ඒ දෝෂය ඔහු විසින් පෙරටු නො කරණ ලද වෙයි, එහෙයින් හේ නින්‍දා වචනයන්හි කම්පිත නොවේ.
864. පහ වූ තෘෂ්ණා ඇති මසුරු නො වූ රහත් මුනි තෙම විශිෂ්ටයන් කෙරෙහි (තමා ඇතුළත් කොට අතිමානයෙන්) නො කියයි. තමා සම පුද්ගලයන් කෙරෙහි දූ ලා නො කියයි. හීනයන් කෙරෙහි දු ලා නො කියයි. තෘෂ්ණාදෘෂ්ටි කල්ප නැත්තේ කල්පයනට නො එයි.
865. ලොව්හි යම් ක්‍ෂීණාස්‍රවයක්හට මාගේ යයි ගන්නා ලද්දෙක් නැති ද යළි අවිද්‍යමාන වන හෙයින් ම ශෝක නො කෙරේ ද, හැම ධර්‍මයන්හි ඡන්‍දාදි වශයෙන් අගතියට නො යේ ද, එ ක්‍ෂීණාස්‍රව තෙම ඒකාන්තයෙන් උපශාන්තයෙකැයි කියනු ලැබේ.
පුරාභේද සූත්‍රය නිමි.
කලහවිවාද සූත්‍රය
පෘච්ඡා:
866. කලහයෝත් විවාදයෝත් කොතැනින් උපන්හු ද? පරිදේව ශෝකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මානඅභිමානයෝත් පිසිනුබසුත් යන මොහු අටදෙන කොතැනින් ප්‍රභූත වූහු ද? එඅරුත වදාළ මැනව.
විසර්‍ජන:
867. කලහයෝත් විවාදයෝත් පරිදේව ශෝකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මාන-අතිමානයෝත් පෛශූන්‍යයෝත් (යන මොහු අටදෙනා) ප්‍රියවස්තූහු කෙරෙන් උපන්හ. කලහවිවාදයෝ ද (පරිදේව-ශෝක-මාන අතිමාන පෛශුන්‍ය යෝ ද) මාත්සර්‍ය්‍යය හා යෙදුනාහු වෙත්, විවාද උපදුත් ම පිසුන් බස් උපදනේ ය.
පෘච්ඡා:
868. ලෝකයෙහි ප්‍රියවස්තූහු කොයින් උපන්නාහු ද? නොහොත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? ලොව්හි ක්‍ෂත්‍රියාදි යම් කෙනෙක් ලෝභයෙන් හැසිරෙත් නම් එ ලෝභය කුමක් නිදාන කොට ඇත් ද? ආශාවත් එහි සමෘද්ධියත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? මනුෂ්‍යයාට යම් ධර්‍ම කෙනෙක් පරලොව්හි පිහිට පිණිස වෙත් නම්, ඒ ධර්‍මයෝ කොයින් උපන්හු ද?
විසර්‍ජන:
869. ලෝකයෙහි ප්‍රියවස්තූහු කාමච්ඡන්‍දය නිදාන කොට ඇත. යම් ක්‍ෂත්‍රියාදි කෙනෙක් හෝ ලෝභය හේතු කොට ලොව්හි හැසිරෙත් නම් ඔවුන්ගේ ඒ ලෝභයත් කාමච්ඡන්‍දය නිදාන කොට ඇත, ආශාවත් ආශාසමෘද්‍ධියත් මේ කාමච්ඡන්‍දයම නිදාන කොට ඇත. යම් ධර්‍ම කෙනෙක් මිනිසාට පරලොව්හි හිත පිණිස වෙත් නම් උහු ද කාමච්ඡන්‍දය නිදාන කොට ඇති.
පෘච්ඡා:
870. ලෝකයෙහි කාමච්ඡන්‍දය කුමක් නිදාන කොට ඇතියේ ද? තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චයයෝ හෝ කොතැනින් උපන්නාහු ද? ක්‍රෝධයත් මෘෂාවාදයත් විචිකිච්ඡාවත් බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් දෙසන ලද යම් අකුශල ධර්‍මයෝ හෝ වෙත් නම් ඔහු කොතැනින් උපන්නාහු ද?