Sutta Nipāta

Collection of Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1562 segments

පෙන්වන කොටස් 1001-1100 න් 1562

ඉදින් මහණෙනි, “අන්‍යවූත් පර්‍ය්‍යායෙකින් සම්‍යග්ද්වයතානුදර්‍ශනා වේ දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු වෙත් නම්, ‘වන්නේය’යි කියැ යුතු වෙත්. කෙසෙයින් වන්නේයැ යත්: යම් මැ කිසි වර්‍තදුඃඛයෙක් උපදනේ නම්, එ හැම (භවගාමී කර්‍මසම්භාරය පිළිබැඳි) අවිද්‍යාප්‍රත්‍යයෙනැයි යන මෙ එක් අනුපස්සනායෙක. අවිද්‍යාවගේ මැ අශෙවිරාගනිරෝධයෙන් වර්‍තදුඃඛයාගේ සම්භවයෙක් නැතැයි යන මේ ද්විතීය වූ අනුපස්සනා යි. මෙසේ සම්‍යග්ද්වයතානුදර්‍ශනා වේ .... වැලි ශාස්තෘහු අනෙකුදු තෙලගාථා වදාළහ:
732. යම් කෙනෙක් (ස්කන්‍ධනිර්‍වෘති නම් වූ) ජාතියට ද ස්කන්‍ධභේද නම් වූ මරණයට ද ස්කන්‍ධපරිපාටි නම් වූ සංසාරයට ද පුනපුනා යෙත් නම්, මෙ මනුෂ්‍යභාවයට හා අවශේෂ නිකායභාවයට ද යෙත් නම්, ඒ අවිද්‍යාවගේ ම ප්‍රත්‍යයභාවය යි.
733. යම් මෝහයක් කරණකොටගෙණ මෙ වර්‍තදුඃඛය බොහෝ කලක් වළඳනා ලද, මෙ මෝහය මැ අවිද්‍යා යි. අර්‍හත්‍වමාර්‍ගවිද්‍යායෙන් යම් සත්ත්‍ව කෙනෙක් කෙලෙස් විනිවිද ගියාහු නම්, ඔහු පුනර්‍භවයට නො එත්.
අන්‍ය වූ ද පර්‍ය්‍යායෙකින් .... වන්නේ දැ?යි ... කෙසේ වන්නේ ය යත්: යම් කිසි වර්‍තදුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක් ත්‍රිවිධාභිසංස්කාරප්‍රත්‍යයෙන් වෙයි යන මෙ එක් අනුදර්‍ශනායෙක. සංස්කාරයන්ගේ ම අශේෂවිරාගනිරෝධයෙන් වර්‍තදුඃඛයාගේ සම්භවයෙක් නැත යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනා කොට ... වැලි අන්‍ය වූත් තෙල ගාථා ශාස්තෘහු වදාළහ.
734. යම් කිසි සසර දුකෙක් උපදනේ නම්, එ හැම දුක් සංස්කාරප්‍රත්‍යයෙන් වේ. සංස්කාරයන්ගේ නිරෝධහේතුයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැ යි.
735. සංස්කාරප්‍රත්‍යයෙන් වර්‍තදුඃඛ වෙයි යන තෙල ආදීනව දැන මාර්‍ගඥානයෙන් සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙන් ද මාර්‍ගඥානයෙන් ම කාමසඥාදීන්ගේ උපරෝධනයෙන් ද මෙසේ දුඃඛක්‍ෂය වේ යයි තෙල දුඃඛක්‍ෂය අවිපරීත කොට දැන,
736. සම්‍යග්දර්‍ශන ඇති අර්‍හත්‍වමාර්‍ගඥානවේදයට පත් පණ්ඩිතයෝ මනාකොට දැන (ත්‍රෛභූමකවර්ත්ත සඞ්ඛ්‍යාත) මාරසංයෝගය මැඩැ පුනර්‍භවයට නො එත්.
අන්‍යපර්‍ය්‍යායෙකිනුදු වේ දැ?යි ... කිසෙයින් වේය යත්: යම් කිසි දුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක් (කර්‍මසහජාතාභිසංස්කාර) විඥානප්‍රත්‍යයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක. විඥානයාගේ මැ අශේෂවිරාගනිරෝධයෙන් වර්‍තදුඃඛයාගේ සම්භවයෙක් නැතැයි මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනා කොට ... වැලි ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ.
737. යම් කිසි සසර දුකෙක් උපදනේ නම් එ හැම දුක් අභිසංස්කාරවිඥානප්‍රත්‍යයෙනි. අභිසංස්කාරවිඥානයාගේ නිරෝධහේතුයෙන් ම වර්‍තදුඃඛයාගේ සම්භවයෙක් නැත.
738. සසර දුක විඥානප්‍රත්‍යයෙන් වෙයි යන තෙල කරුණ ආදීනව යි දැන අභිසංස්කාරවිඥානයාගේ ව්‍යපශමයෙන් තෘෂ්ණා රහිත මහණ ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවියේ යි.
අන්‍ය පර්‍ය්‍යායෙකිනුදු වේදැ?යි ... කෙසේ වන්නේදැ’යි යම් කිසි දුකෙක් උපදනේ නම් එහැම දුක් අභිසංස්කාරවිඥානසම්ප්‍රයුක්තස්පර්‍ශප්‍රත්‍යයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක. ස්පර්‍ශයාගේ මැ අශේෂවිරාගනිරෝධහේතුයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනාකොට ... ශාස්තෘහු වැලි අනෙකුදු තෙල ගාථා වදාළහ:
739. ස්පර්‍ශයෙන් මැඩීගිය, තෘෂ්ණසඞ්ඛ්‍යාත භවස්‍රෝතස (තෘෂ්ණාව) අනුව යන සුලු කුමගට පිළිපන් ඔවුනට සංයෝජනයක්‍ෂය දුරෙහි වේ.
740. යම් කෙනෙකුන්ගේ ස්පර්‍ශය ත්‍රිවිධපරිඥා විසින් පිරිසිඳ දැන අර්‍හත්මාර්‍ගඥානයෙන් පිළිවිද දැන ඵලසමාපත්ති විසින් නිර්‍වාණව්‍යපශමයෙහි ඇලුනාහු නම් ස්පර්‍ශාභිසමයහේතුයෙන් ඔහු එකැතියෙන් තෘෂ්ණා රහිත වූවාහු කෙලෙස් පිරිනිවන් පිරිනිවුනාහු යයි.
අන්‍යපර්‍ය්‍යායෙකිනුදු වන්නේය ... කෙසේ වන්නේ ය යත්: යම් මැ කිසි පඤ්චස්කන්‍ධදුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක් කර්‍මසම්ප්‍රයුක්ත වේදනාප්‍රත්‍යයෙන් වන්නේ ය යන මෙ එක් අනුපස්සනායෙක. කර්‍මසම්ප්‍රයුක්ත වේදනාවන්ගේ ම අශේෂවිරාගනිරෝධහේතුයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැයි යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මැනැවින් .... ඉක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ.
741. සුඛ වූ හෝ වැලිත් දුඃඛ වූ හෝ අදුඃඛාසුඛ වූ හෝ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි යම් මැ කිසි වේදයිතයෙක් ඇත් නම්,
742. නස්නා සැහැවි ඇති, ජාතිමරණයෙන් බිඳෙනසුලු මෙ හැමවේදයිතයෙක් ම දුඃඛකාරණ යයි දැන, උදව්‍යයඥානයෙන් ස්පර්‍ශ කෙරෙමින්, අන්තයෙහි භඞ්ගානුදර්‍ශනයෙන් ව්‍යය දක්මින් මෙසේ එ වේදයිතය දුකැයි දන්නේ ද, එ මහණ මාර්‍ගඥානයෙන් කර්‍මසම්ප්‍රයුක්ත වේදනාවන්ගේ ක්‍ෂයයෙන් තෘෂ්ණා නැත්තේ පිරිනිවුනේ වේ යයි.
තවත් පර්‍ය්‍යායෙකින් ... කෙසේ වන්නේ ය යත්: යම් මැ කිසි දුකෙක් සම්භූත වේ නම්, එ හැම දුක කර්‍මසම්භාරතෘෂ්ණාප්‍රත්‍යයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක. එ තෘෂ්ණාවගේ මැ අශේෂවිරාගනිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැ”යි යන මෙ දෙවන අනුපස්සනා යි. .... ඉක්බිති ශාස්තෘහු අන්‍ය වූත් තෙල ගාථා වදාළහ:
743. තෘෂ්ණා දෙවැනි කොට ඇති පුරුෂ දිගුකල් ච්‍යුති-උත්පත්ති විසින් සැරිසරන්නේ ඉහාත්මභාව දෙකින් යුත් (ස්කන්‍ධපරිපාටි සඞ්ඛ්‍යාත) සංසාරය ඉක්මැ නො යෙයි.
744. තෘෂ්ණාව වර්‍තදුඃඛයාගේ සම්භවයට කාරණ යයි තෙල තෘෂ්ණාවගේ ආදීනව දැන විගත වූ තෘෂ්ණා ඇතියේ ආදාන නැතියේ ස්මෘතිමත් මහණ නික්ම යන්නේ යයි.
තවත් පර්‍ය්‍යායෙකින් වන්නේ යයි ... කෙසේ වන්නේය යත්: යම් මැ කිසි වර්‍තදුඃඛයෙක් සම්භූත වේ නම්, එහැම කර්‍මසම්භාරඋපාදානප්‍රත්‍යයයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක, උපාදානයන්ගේ මැ නිරවශේෂවිරාගනිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැ”යි යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මැනවින් ... ඉක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ.
745. උපාදානප්‍රත්‍යයයෙන් විපාකභව වෙයි, සම්භූත වූයේ වර්‍තදුඃඛයට පැමිණෙයි, ජාතයාහට මරණ වෙයි, තෙල භවය දුඃඛයාගේ සම්භවකාරණ වේ.
746. එහෙයින් උපාදානයන්ගේ ක්‍ෂයයෙන් අනිත්‍යාදි විසින් මනා කොට දැන (නිර්‍වාණසඞ්ඛ්‍යාත) ජාතික්‍ෂය විශිෂ්ටඥානයෙන් දැන, පුනර්‍භවයට නො එත් යි.
අන්‍යවූත් පර්‍ය්‍යායෙකින් වන්නේ ය. ... කිසෙයින් වේය යත්: යම් මැ කිසි දුකෙක් උපදනේ නම්, ඒ හැම කර්‍මසම්ප්‍රයුක්තවීර්‍ය්‍යප්‍රත්‍යයයෙන් වේ යන මෙ එක් අනුපස්සනායෙක, ආරම්භසඞ්ඛ්‍යාත වීර්‍ය්‍යයාගේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැයි යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මොනොවට ... ඉක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ:
747. යම් මැ කිසි වර්‍තදුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක් ආරම්භප්‍රත්‍යයෙන් වෙයි, ආරම්භප්‍රත්‍යයන්ගේ ම නිරෝධයෙන් එ වර්‍තදුඃඛයාගේ සම්භවයෙක් නැති.
748. ආරම්භප්‍රත්‍යයයෙන් උපදනා තෙල දුක ආදීනව යි දැන හැම ආරම්භයන් හැරපියා (නිර්‍වාණසඞ්ඛ්‍යාත) අනාරම්භයෙහි මුක්තවූ,
749. මගනැණින් උසුන් කළ භවතෘෂ්ණා ඇති කෙලෙස් සන්හිඳුමෙන් සන්හුන් සිත් ඇති ඒ මහණහට පුනර්‍භව නැත. ජාතිසඞ්ඛ්‍යාත සංසාරය කෙළේ යි.
අන්‍ය පර්‍ය්‍යයෙකිනුදු වන්නේය ... කෙසේ වන්නේය යත්: යම් මැ කිසි දුකෙක් උපදනේ නම්, එ හැම කර්‍මසම්ප්‍රයුක්ත ආහාරප්‍රත්‍යයයෙන් වෙයි යන මෙ එක් අනුපස්සනායෙක, ආහාරයන්ගේ ම අශේෂ විරාග නිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනාකොට ... එක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ:
750. යම් මැ කිසි දුඃඛයෙක් සම්භූත වේ නම්, එ හැම ආහාරප්‍රත්‍යයයෙන් වෙයි, ආහාරයන්ගේ නිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත.
751. ආහාරප්‍රත්‍යයයෙන් දුඃඛය වේ යන තෙල කරුණ ආදීනව යි දැන හැම ආහාරය පිරිසිඳ දැන සර්‍වහාර තෘෂ්ණා විසින් ඇසිරි නො කෙළේ වෙයි.
752. (නිර්‍වාණසඞ්ඛ්‍යාත) ආරෝග්‍යය මනාකාට දැන ආස්‍රවයන්ගේ පරික්‍ෂයයෙන් සිවුපස ප්‍රත්‍යවේක්‍ෂා කොට සෙවුනේ සිවුසස්දහම්හි පිහිටියේ සිවුමගනැණට පැමිණියේ දේව මනුෂ්‍යාදි සඞ්ඛ්‍යාවට නො යේ යයි.
අනෙකුදු පර්‍ය්‍යායෙකින් වන්නේ ය ... කෙසේ වන්නේය යත්: යම් මැ කිසි දුකෙක් සම්භූත වේ නම්, එ හැම දුක (තණ්හා මාන දිට්ඨි කම්ම කිලේස) ඉඤ්ජිතයන්ගේ ප්‍රත්‍යයයෙන් වේය යන මෙ එක් අනුපස්සනායෙක. ඉඤ්ජිතයන්ගේ මැ අශේෂවිරාගනිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනා කොට ... එක්බිති ශාස්තෘහු අනෙකුදු තෙල ගාථා වදාළහ:
753. යම් මැ කිසි දුකෙක් පාළ වේ නම්, එ හැම දුක ඉඤ්ජිතප්‍රත්‍යයෙන් වෙයි. ඉඤ්ජිතයන්ගේ මැ නිරෝධයෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැති.
754. වර්‍තදුඃඛය ඉඤ්ජිතප්‍රත්‍යයයෙන් වේ යන තෙල කරුණ ආදීනව යි දැන එහෙයින් මැ තෘෂ්ණාසඞ්ඛ්‍යාත එජාව හැරපියා කර්‍ම, කර්‍මසම්ප්‍රයුක්ත සංස්කාරයනුදු නිරුද්ධ කොට එජා රහිත වූයේ උපාදාන නැතියේ මහණ ස්මෘතිමත් ව නික්මැයේ යයි.
අනෙකුදු පර්‍ය්‍යායෙකින් වන්නේය ... කෙසේ වන්නේ ය යත්: තෘෂ්ණාමානදෂ්ටි විසින් ස්කන්‍ධයන් ඇසිරි කළහුට භයචලන වෙයි යන මෙ එක් අනුපස්සනායෙක, එහෙයින් ස්කන්‍ධයන් ඇසිරි නො කෙළේ නො සැලේ යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනාකොට ... ඉක්බිති ශාස්තෘහු අනෙකුදු තෙල ගාථා වදාළහ:
755. අනිශ්‍රිතවූයේ නො සැලේ. නිශ්‍රිත ම උපාදාන විසින් ස්කන්‍ධයන් ගන්නේ ඉහාත්මභාව, අන්‍යථාභාව සඞ්ඛ්‍යාත සංසාරය ඉක්මැ නො වැටෙයි.
756. නිඃශ්‍රයන්හි මහත් භය වේ යන තෙල ආදීනවය දැන අනිශ්‍රිත වූයේ උපාදාන නැතියේ මහණ සිහි ඇතියේ නික්මැ යේ යි.
අන්පර්‍ය්‍යායෙකිනුදු වන්නේ ය ... කෙසේ වන්නේ ය යත්: මහණෙනි, රූපභව කෙරෙන් නොහොත් රූපසමාපත්ති කෙරෙන් අරූපභවයෝ නොහොත් අරූසමාපත්තිහු ශාන්තතර වෙති යන මෙ එක් අනුපස්සනායෙක, අරූපසමාපත්ති කෙරෙන් නිරෝධය (නිර්‍වාණය) ශාන්තතර වේ ය යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනාකොට ... ඉක්බිති ශාස්තෘහු අන්‍යවූත් තෙල ගාථා වදාළහ:
757. යම් මැ රූපෝපග සත්ත්‍වයෝත් යම් මැ අරූපභවවාසී සත්ත්‍වයෝත් වෙත් නම් නිර්‍වාණසඞ්ඛ්‍යාත නිරෝධය නොදන්නාහු පුනර්‍භවයට එනසුලු වෙත්.
758. යම් කෙනෙක් රූපභවයන් පිරිසිඳ දැන අරූපසමාපත්තීන්හි මොනොවට පිහිටියාහු ද, යම් කෙනෙක් නිරෝධයෙහිදු මුක්තවෙත් ද, එ ජනයෝ ත්‍රිවිධමාරයන් හැරයන්නාහු වෙති. යි.
අන්‍යපර්‍ය්‍යායෙකිනුදු ... කෙසේ වන්නේය යත්: මහණෙනි, යම් නාම රූපයෙක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් බඹුන් සහිත ප්‍රජාව විසින් (ධ්‍රැව ශුභ සුඛ ආත්ම වශයෙන්) “මෙ සත්‍යය”යි දක්නාලද නම්, එ නාමරූපය බුද්ධාදී ආර්‍ය්‍යයන් විසින් ‘තෙල මෘෂායෙකැ’යි සම්‍යක් ප්‍රඥාවෙන් යථාභූත කොට දක්නා ලද ය යන මෙ එක් අනුපස්සනායෙක. මහණෙනි, යම් නිර්‍වාණයක් සදේවක .. දෙවිමිනිසුන් ඇතුළු ප්‍රජාව විසින් “තෙල මෘෂායෙකැ” යි දක්නාලද නම්, එ නිවණ ආර්‍ය්‍යයන් විසින් “තෙල නිවණ සත්‍යය“යි යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද ය යන මෙ දෙවන අනුපස්සනා යි. මෙසේ මනා කොට ... ඉක්බිති ශාස්තෘහු තෙල අනෙක් ගාථා ද වදාළහ:
759. අනාත්ම වූ නාමරූපයෙහි තෘෂ්ණාදි විසින් බැසගත් සදේවක ලෝකයා ආත්ම යන මාන ඇති (එහි) බලව ධ්‍රැව ශුභාදි විසින් දක්මින් මෙ සත්‍යය යි හඟනේ ය.
760. (රූප වේදනායෙහි) යම් යම් මැ අයුරෙකින් පෘථග්ජනයෝ තෘෂ්ණාදි විසින් හඟනාහු ද, ඒ නාමරූපය ඒ හැඟි අයුරෙන් අන්පරිදි වෙයි, ඔහුගේ ඒ මඤ්ඤිතය මෘෂා මැ වෙයි. ඉත්‍වර වූ ඒ නාමරූපය නස්නා සැහැවි ඇති හෙයිනි.
761. ආර්‍ය්‍යයෝ නො නස්නා සැහැවි ඇති ඒ නිවණ සත්‍යවිසින් දත්හ, සත්‍යාවබෝධයෙන් ඒ අරීහු ඒකාන්තයෙන් තෘෂ්ණා රහිත වූවාහු පිරිනිවියාහු වෙති යි.
මහණෙනි, අන් පර්‍ය්‍යායෙකිනුදු මනාකොට ද්වයතනානුපස්සනාව වන්නේ දැ යි මෙසේ පුළුවුස්නාහු වෙත් නම්, වන්නේ ය යි ඔහුට කිවයුතු වේ. කෙසේ වන්නේ ය යත්: මහණෙනි, යම් මැ සවැදෑරුම් ඉෂ්ටාලම්බනයක් සදේවක ... දෙවිමිනිසුන් සහිත ප්‍රජාව විසින් මෙ සුඛයෙකැයි දක්නාලද නම්, එ ආර්‍ය්‍යයන් විසින් තෙල දුකැයි තත්වූ පරිදි සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නාලද ය යන මෙ එක් අනුපස්සනායෙක. මහණෙනි, යම් මැ නිර්‍වාණයක් සදේවක වූ .... දෙවිමිනිසුන් සහිත ප්‍රජාව විසින් මෙ දුකැයි දක්නාලද ය යන මෙ දෙවන අනුපස්සානා යි.
මහණෙනි, මෙසෙයින් මොනොවට ද්වයතානුදර්ශී වැ අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ, ප්‍රහිතාත්ම වැ වසන මහණහට ඉහාත්මභාවයෙහි මැ අර්‍හත්‍වය හෝ උපාදිශේෂය ඇතිවත් මැ අනාගාමිත්‍වය හෝ යි උබයශ්‍රාමණ්‍ය ඵලයන් අතුරෙන් අන්‍යතර ඵලයෙක් කැමැතිවිය යුතු, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක සුගත වු ශාස්තෘන් වහන්සේ මෙය වදාරා ඉක්බිති තෙල ගාථා වදාළහ:
762. ඉෂ්ටවූත් ප්‍රියවූත් මනවඩන්නාවූත් රූපයෝ ය ශබ්දයෝ ය රසයෝ ය ගන්‍ධයෝ ය ස්ප්‍රෂ්ටව්‍යයෝ ය ධර්‍මාලම්බනයෝ ය යන යම්තාක් අනවශේෂ අරමුණු ඇතැයි කියනු ලැබේ ද,
763. සදේවක ලෝකයා විසින් තෙල ආලම්බනයෝ සුඛහ යි සම්මත වෙත්. යම් මැ නිර්‍වාණයෙක්හි තෙල ආලම්බනයෝ නිරුද්ධ වෙත් නම්, එ නිර්‍වාණය ඔවුන් විසින් දුකැයි සම්මත වේ.
764. සත්කාය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයා ගේ නිරෝධය (නිර්‍වාණය) සුබ ය යි ආර්‍ය්‍යයන් විසින් දක්නා ලදී, නුවණින් දක්නවුන්ගේ මේ දර්‍ශනය සියලු ලෝකයා හා ප්‍රත්‍යනීක (පිළිලොම්) වෙයි.
765. අනාර්‍ය්‍ය පෘථග්ජනයෝ යම් වස්තුකාමයක් සුඛවශයෙන් කීහු නම්, එ වස්තුකාමය ආර්‍ය්‍යයෝ දුක් විසින් දෙසූහ. යම් නිර්‍වාණයක් අන්‍යපෘතග්ජනයෝ දුක් විසින් කීහු නම්, ආර්‍ය්‍යයෝ එ නිවන සුඛ විසින් දත්හ.
766. ශ්‍රාවකයෙනි, දුර්විඥේය වූ නිර්‍වාණධර්‍මය නැනැසින් දකිවු. එ නිවන්හි අඥයෝ සම්ප්‍රමූඪ වෙත්. කුමක් හෙයිනැ යත්: අවිද්‍යායෙන් වැලැඳුනු ඇතිසැටිය නොදන්නවුන්ට අන්‍ධකාර වූ තෙමස වෙයි.
767. ප්‍රඥාදර්‍ශනයෙන් දක්නාවූ සත්පුරුෂයනට ආලෝක සෙයින් නිර්‍වාණය විවෘත වෙයි. (තචපඤ්චකය හෝ ස්කන්‍ධයන් හෝ පිරිසිඳ දත යුතුවන හෙයින්) තමා හමුයෙහි වූ ද නිර්‍වාණය මාර්‍ගාමාර්‍ගධර්‍මයෙහි අකෝවිද වූ මෘගභූත ජනයෝ නො දන්නාහ.
768. භවරාගයෙන් මඬනා ලද, භවස්‍රෝතස අනුව යන්නවුන් විසින් මෙ නිර්‍වාණධර්‍මය සුවසේ අවබෝධ කටහැකි නො වේ.
769. යම් නිර්‍වාණපදයක් මාර්‍ගඥානයෙන් දැන අනාස්‍රව වූවාහු පිරිනිවෙත් නම් එ නිවන් පිය දැනගන්නට ත්‍රෛභූමික වර්‍තයට නොපැමිණි ආර්‍ය්‍යයන්මුත් අන් කවරෙක් සමත් වේ ද යි.
භාග්‍යවතුන් වහන්සේ මෙ ද්වයතානුපස්සනා සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති එ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ: වැලි මෙ වෙය්‍යාකරණය දෙසනු ලබත් ම සැටක් පමණ මහණුන්ගේ සිත් උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදුනාහ යි.
ද්වයතානුපස්සනා සූත්‍රය නිමි.
එහි උද්දානය:
චතුස්සත්‍යය, උපධිය, අව්ජ්ජාය, සඞ්ඛාරය, පස්වැනි විඤ්ඤාණය, ඵස්සය, වේදනියය, තණ්හාය, උපාදානය, ආරම්භය, ආහාරාය, ඉඤ්ජිතය, චලිතය, රූපය, සච්චය, දුක්ඛය යි මෙ සූත්‍රයෙහි විෂය සොළොසෙකි.
තුන්වැනි මහාවර්‍ග යි.
එ වර්‍ගයාගේ උද්දානය:
පබ්බජ්ජාසූත්‍රය, පධානසූත්‍රය, සුභාසිතසූත්‍රය, සුන්‍දරිකභාරද්වාජ හට දෙසූ පූරළාසසූත්‍රය, මාඝසූත්‍රය, සභියසූත්‍රය, සෙලසූත්‍රය, සල්ලසූත්‍රය, වාසෙට්ඨසූත්‍රය, කෝකාලිකසූත්‍රය, නාලකසූත්‍රය, ද්වයතානුපස්සනාසූත්‍රය දැයි මෙ මහාවර්‍ගය දොළොස් සූත්‍රයෙකින් උපලක්‍ෂිතය.
4. අට්ඨක වර්‍ගය
කාම සූත්‍රය
770. (ත්‍රෛභූමකධර්‍ම නම් වූ) වස්තුකාමය කැමැති වන එ පුද්ගලහට ඉදින් තෙල කාමය සමෘද්ධ වේ නම් එකල්හි ඒ සත්ත්‍ව තෙම යමක් කැමැති වේ නම් එ වස්තුව ලැබ ඒකාන්තයෙන් තුටු සිත් ඇතියේ වෙයි.
771. කාමවස්තු කැමැති වන, උපන් තෘෂ්ණා ඇති එ පුද්ගලයාගේ එ කාමයෝ ඉදින්, පිරිහෙත් නම් (එ කල්හි) හෙතෙම විෂපීත ශල්‍යයෙකින් විදුනා ලද්දකු සෙයින් පෙළෙයි.
772. යමෙක් වස්තුකාම ක්ලේශකාමයන් එහි ඡන්‍දරාගය විෂ්කම්භණ වශයෙන් හෝ සමුච්ඡේද වශයෙන් හෝ තමාගේ පයින් සර්‍පයෙකුගේ හිස මෙන් දුරු කෙරේ නම් ඒ මහණ ලොව් හි විසත්තිකා නම් මේ තෘෂ්ණාව ස්මෘතිමත් ව ඉක්මවයි.
773. යම් මිනිසෙක් හැල් කෙත් ආදිය ගෙවතු ආදිය හෝ අමුරන් හෝ ගෙරින් හා අසුන් හෝ දස් කම්කරු පුරුෂයන් හෝ මාගමුන් හෝ නෑ සබඳුන් හෝ අන් බොහෝ කාමයන් පුන පුනා පතා නම්,
774. අබල නම් වූ ක්ලේශයෝ එ පුඟුල්හු මැඩලති. යළි ප්‍රකට වූ හා අප්‍රකට වූ උපද්‍රවයෝ එ කාමගිද්ධයා මඩනාහ. එ හේතුයෙන්, බුන් නැවකට ජලය වදනා සෙයින් ජාත්‍යාදි දුඃඛය ඔහු නුහුබදනේ ය.
775. එහෙයින් මිනිසා හැම සඳ (කායගතාසති ආදි භාවනායෙන්) ස්මෘතිමත් වූයේ වස්තුකාම ක්ලේශකාමයන් දුරු කරන්නේ ය. එ කාමයන් හැරපියා බුන් නැව දිය ඉසපියා පරතෙර යනුවකු සෙයින් චතුරෝඝ තරණය කරන්නේයි.
කාම සූත්‍රය නිමි.
ගුහට්ඨක සූත්‍රය
776. මනුෂ්‍යයෙක් ගුහා සංඛ්‍යාත ශරීරෙයහි රාගාදි විසින් ඇලුනේ බොහෝ වූ රාගාදි ක්ලේශ ජාතයෙන් වැසුනේ රාගාදි වශයෙන් සිටුනේ මෝහන සංඛ්‍යාත පස්කම් ගුණයෙහි දැඩි වැ බැසගත්තේ වේ ද, එබඳු වූ හේ ත්‍රිවිධ විවේකයෙන් දුර මැ වේ. යම්හෙයකින් සත් ලොව්හි කාමයෝ සුවයෙන් හළ නො හැකියාහු ද එහෙයිනි.
777. කාම තෘණ්හාව නිදාන කොට ඇති, (සුඛවේදනාදි) භවසුඛයෙහි බැඳුනු, අතීත වූ හෝ අනාගත වූ කාමයන් අපේක්‍ෂා කරණ වර්‍තමාන කාමයන් හෝ පෙර කී අතීතානාගත කාමයන් පතන, එ සත්ත්‍වයෝ දුකසේ මිදිය යුත්‍තාහු වෙති, ඔහු සෙස්සනුදු මුදා ලිය නො හෙත්.
778. ඔහු ක්ලේශ කාමයන් වස්තු කාමයෙහි ගිජු වූවාහු කාම වස්තු පර්‍ය්‍යෙෂණාදියෙහි නියැලියාහු සම්මෝහයට පැමිණියාහු (අවංගමනතායෙන් හෝ මසුරු බැවින් හෝ බුද්ධාදීන්ගේ වචන නොගන්නා හෙයින් හෝ) අවදානිය වූවා හු, විෂමකාය කර්‍මාදියෙහි බැස ගත්තාහු එ සත්ත්‍වයෝ මරණ දුකට පැමිණියාහු, මෙ අත්බැවින් සැව ගියමෝ කුමක් වනුමෝ හෝ’යි පරිදේවනා කෙරෙත්.
779. එහෙයින් මැ සත්ත්‍වතෙමේ ලෙව්හි යම්කිසි කාය දුශ්චරිතාදීයක් විෂම යැයි දන්නේ නම් ඒ විෂම කායකර්‍මාදියට හේතු වූ විෂමයෙහි නො හැසිරෙන්නේ ය. යම් හෙයකින් (බුද්ධාදි) ධීරයෝ මේ ජීවිතය අල්ප යයි දෙසූහු ද, එහෙයින් මැ මෙ බුදු සස්නෙහි ම ත්‍රිවිධ ශික්‍ෂාහි හික්මෙන්නේ ය.
780. කාමභවාදියෙහි නොහොත් පුනපුනා භවයෙහි අවිගත තෘෂ්ණා ඇති, හීන වූ කායකර්‍මාදිය ඇති සත්ත්‍වයෝ මරුමුවෙහි හෙවැ වැලැපෙත්. ලොව් හි කාමාදිභවයන්හි තෘෂ්ණායෙන් මඩනා ලද තෘෂ්ණාදි ස්පන්‍දනයෙන් පොපියන මෙ සත්ත්‍වසමූහයා මසැස් ඈ පසැසින් දක්මි.
781. සිඳී ගිය දියත්තෙක්හි පොපියන මසුන් මෙන් මාගේ යැයි ගන්නාලද කාමවස්තුයෙහි, පොපියන සත්ත්‍වයන් බලවු. (මමායිත වස්තුයෙහි) තෙල ආදීනව දැක, මමායන නැතියේ කාමාදිභවයන්හි ඇලුම් නො කෙරෙමින් හැසිරෙන්නේ ය.
782. ඵස්ස-ඵස්ස සමුදයාදි දෙ දෙ අන්තයන්හි ඡන්‍දරාගය දුරු කොට චක්ඛු සම්ඵස්සාදි ස්පර්‍ශය ත්‍රිවිධපරිඥායෙන් දැන, රූපශබ්දාදියෙහි නො ගිජු වූයේ කළ නොකළ හෙයින් තම හට ගරහ උපදවන කායදුශ්චරිතාදිය නොකරන ප්‍රාඥයා (රූප ශබ්දාදී) දෘෂ්ට ශ්‍රැතාලම්බනයන්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ඇලෙයි.
783. කාම සංඥාදි සංඥාව නොහොත් සංඥානුසාරයෙන් නාමරූපය ත්‍රිවිධපරිඥායෙන් දැන, චතුරෝඝ තරණය කරන්නේ ය. තෘෂ්ණා දෘෂ්ටි පරිග්‍රයන්හි නො ඇළුනු ක්‍ෂීණාස්‍රව මුනි උපුටා ලූ රාගාදි ශල්‍ය ඇතියේ අප්‍රමත්ත ව හැසිරෙන්නේ ( ස්වාත්මභාව සංඛ්‍යාත) මෙ ලොවත්, (පරාත්මභාව සංඛ්‍යාත) පරලොවත් නොපතන්නේ යි.
ගුහට්ඨක සූත්‍රය නිමි.
දුට්ඨට්ඨක සූත්‍රය
784. ඇතැම් (අන්‍ය තීර්‍ත්‍ථක) කෙනෙක් ඒකාන්තයෙන් දුෂ්ට චිත්ත ඇත්තාහු (බුදුපාමොක් සඟනට) උපවාද බෙණෙත්. වැලි (අන්‍යතීර්‍ත්‍ථක කථා ඇසූ) තව කෙනෙක් ‘ඒකාන්තයෙන් සත්‍යයෙක’ යන සිත් ඇත්තාහු උපවාද බෙණෙත්. තථාගත මුනි අභූතයෙන් උපන් (එ ආක්‍රෝශවාදයට) නො පැමිණේ. එහෙයින් බුද්ධමුනි කිසිදු කරුණෙක්හි රාගාදි කීල නැත්තේ යි.
785. දෘෂ්ටිච්ඡන්‍දයෙන් මෙහෙයන ලදුයේ දෘෂ්ටි රුචියෙහි බැසගත් තීර්‍ත්‍ථක ජනයා කිසෙයින් ස්වකීය දෘෂ්ටිය හරනේ ද තමා විසින් පුරණලද ඒ දෘෂ්ටිගතයන් මැ කරනුයේ යම් පරිද්දෙකින් දන්නේ නම් එ පරිද්දෙන් බණන්නේ යි.
786. යම් පුද්ගලයෙක් නො පුළුවුස්නා ලදුයේ මැ තමාගේ ප්‍රාතිමෝක්‍ෂාදි ශීලයන් හා ධුතඞ්ගාදි ව්‍රතයන් හා මෙරමාහට කියාපා නම්, යමෙක් තෙමේත් තමා (සිල්වතැයි) කියාපා නම් ආර්‍ය්‍යධර්‍ම කුශලයෝ ඔහුගේ එ කථනය අනාර්‍ය්‍ය ධර්‍මයෙකැයි කීහු.
787. යම් රහත් මහණෙක් රාගාදි ක්ලේශ ව්‍යපශමයෙන් ශාන්ත වූයේ රාගාදි ගිනි නිවීමෙන්, නිවුනු සිත් ඇත්තේ ත්, ‘මෙසෙයින් මම සිල් සපන්මි’යි ශීලයන්හි තමා එළවා නො කියන්නේ ද, යම් ක්‍ෂීණාස්‍රවයකු හට ස්කන්‍ධාදි ආර්‍ය්‍යධර්‍මයෙහි නිපුණයෝ ඒ සිය ගුණ පාළ නො කිරීම අරීදහමැ යි කියත්.
788. යම් දෘෂ්ටිගතිකයක්හුගේ තෘෂ්ණා දෘෂ්ටි විසින් පරිකල්පිත වූ ප්‍රත්‍යයෙන් සකසන ලද, තෘෂ්ණාදෘෂ්ටියෙන් පෙරටු කරනලද, අශුඬ වූ දෘෂ්ටිධර්‍ම කෙනෙක් වෙත් ද, හෙතෙම යම් හෙයෙකින් තමා කෙරෙහි එ දෘෂ්ටීන් ගේ (දෘෂ්ට ධාර්මික සාම්පරායික) ආනිසංසයක් දක්නේ ද, එහෙයින් මැ විපාකජනක ද පරිවර්‍තනශීලී ද වන හෙයින් කෝප්‍ය වූත් ප්‍රතීත්‍යසමුත්පන්න වූත් සංවෘතිශාන්ති නම් වූ දෘෂ්ටිය ඇසිරිකොට පවත්නේ ය.
789. ඉදං සච්චාභිනිවේස යි කියූ දෘෂ්ටිනිවෙශනයෝ සුව සේ ඉක්මැවිය නොහෙත්, දෙසැට මිසදිටු දම් අතුරෙහි මොනොවට බැස ගත් එ එ ධර්‍මය නිශ්චය කොට පවත්නේ ය. එහෙයින් සත්ත්‍ව තෙමේ එ දෘෂ්ටිනිවේශනයන් හි අජශීල ගොශීලාදි ධර්‍මය හරනේත් ගන්නේත් වෙයි.
790. යම් හෙයකින් පැහූ හැම පව් ඇති රහත්හට කිසිදු ලොවෙක එ එ භවයන් නිමිත්ත කොට ප්‍රකල්පිත දෘෂ්ටියක් නැත් ද, එ හෙයින් ධූතපාප එ ක්‍ෂීණාස්‍රව මායා හා මාන හා පහා තෘෂ්ණා දෘෂ්ටි යන උපය නැති යේ මැ (මේ අත්බැව්හි හා පරලොව්හි හෝ නිරයාදි ගති විශේෂයන්හි) කවර හෙයෙකින් නෙරයිකාදි සංඛ්‍යාවට යේ ද? (නොයේ මැයි)
791. තෘෂ්ණාදි උපය (නිඃශ්‍රය) ඇතියේ ම එ එ ධර්‍මයන්හි (රාගරක්ත ය, ද්වේෂ දුෂ්ටය යන) වාදයට නො එළඹෙයි, තණ්හා, දිට්ඨි, උපය නැතියහු රාග, දෝෂ යන කවර කරුණෙකින් (රක්තයෙක, දුෂ්ටයෙකැයි) කිසෙයින් කියන්නේ ද, ඔහුට (ආත්මදෘෂ්ටි සංඛ්‍යාත) ආත්මවාදය වේවයි (උච්ඡේදදෘෂ්ටි සංඛ්‍යාත) නිරාත්මවාදය හෝ නැත් මැයි. ඒ ක්‍ෂීණාස්‍රව මහණ ඉහාත්මභාවයෙහි මැ සර්‍වදෘෂ්ටිගතය ප්‍රහීණ කෙළේ යි.
දුට්ඨට්ඨක සූත්‍රය නිමි.
සුද්ධට්ඨක සූත්‍රය
792. දෘෂ්ටිගතික අඥපුද්ගල කෙලෙස් කිලුටින් අශුද්ධ වූ කෙලෙස් රොවින් සරෝග වූ පුඟුලකු දැක “පරම ශුද්ධියට පත් අරෝග පුද්ගලයකු දක්මි“යි ද දෘෂ්ටි සංඛ්‍යාත දර්‍ශනයෙන් මිනිසාගේ මන ශුද්ධිය වේය“යි ද මෙසේ වෙසෙසින් දන්නේ එ දර්‍ශනය පරම යයි දැන එ දර්‍ශනයෙහි ශුද්ධිය දක්නාසුලු වූයේ, ඒ දර්‍ශනය “මාර්‍ගඥානය“යි හදහයි. (එතෙකුදු වත් එ මාර්‍ග ඥානය නො වේ.)
793. රූපදර්‍ශන සංඛ්‍යාත එ දර්‍ශනයෙන් ඉදින් සත්ත්‍වයාගේ ශුද්ධිය වේ නම් නොහොත් චක්‍ෂුර්විඥාන නම් වූ එ ඥානයෙන් හෙතෙම ජාත්‍යාදි දුඃඛය දුරු කෙරේ නම්, එසේ වත්ම ආර්‍ය්‍යමාර්‍ගයෙන් අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයකින් කාමාදි උපධි සහිත වූයේ මැ හෙ ශුද්ධ වේ යැ යි කියයුතු බවට පැමිණෙයි, දෘෂ්ටිය මැ එසේ කියන ඔහු මෙ මිසදිටුවෙකැ’ යි පවසන හෙයිනි.
794. ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් අන්‍යවූ අභිමංගල සම්මිත රූප සංඛ්‍යාත රූපායතනයෙහි දු එබඳු මැ වූ ශබ්දායතයනයෙහි දු අව්‍යතික්‍රම සංඛ්‍යාත ශීලයෙහි හා (හස්ති ව්‍රතාදී) ව්‍රතයෙහි දු මුතයයි කියන ලද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යායතනයෙහි දු උපන් මිථ්‍යාඥානයෙන් ශුද්ධිය වේ යයි නො කියයි. යම්හෙයකින් හේ ත්‍රෛධාතුකපුණ්‍යයෙහිත්, සියලු පාපයෙහිත් නො ඇලුනේ වේ ද, එ හෙයින් ම ආත්මදෘෂ්ටිය ප්‍රහීණ කෙළේ මේ ත්‍රෛභූමක ලෝකයෙහි පුණ්‍යාභිසංස්කාරාදිය නො කරන්නේ වේ.
795. ඔහු පූර්‍ව ශාස්තෘ ආදීන් හැර පියා අපර ශාස්තෘ ආදීන් ඇසිරි කරන්නාහු එජා සංඛ්‍යාත තෘෂ්ණාව අනුව ගියාහු රාගාදි සඞ්ගය තරණය නො කෙරෙති. යළි ඔහු පූර්‍වශාඛාව හැරපියා අපරශාඛාව ගන්නා වඳුරකු සෙයින් එ එ ධර්‍මයන් හැරපියන්නාහු ද ගන්නාහු ද වෙත්.
796. කාමාදි සංඥායෙහි ලැගුනු සත්ත්‍ව (හස්තිව්‍රතාදී) ව්‍රතයන් තෙමේ මැ සමාදන් වැ එකෙකින් එකකට යෙයි, පරමාර්‍ත්‍ථයෙන් විද්වත් වූ මහාප්‍රඥා ඇති රහත් මහණ සිවුමග නැණින් සිවුසස්දම් පිළිවිද උච්චාවච බවට නො පැමිණේ.
797. ඒ භූරිප්‍රාඥ වූ ක්‍ෂීණාස්‍රව මහණ, යම්කිසි රූපාලම්බනයක් වේවයි, ශබ්දාලම්බනයක් වේවයි, ගන්‍ධ - රස - ඵොට්ඨබ්බාලම්භනයක් වේවයි, එ සියලු ධර්‍මයන්හි අකුසලාභිසංස්කාර නම් වූ මාර සේනාව විධමා සිටි බැවින් විසේනි වූයේ වෙයි. මෙසේ විශුද්ධි දර්‍ශන ඇති තෘෂ්ණාච්ඡදනාදි විගමන විවෘතව හැසිරෙන එ රහත්හු තෘෂ්ණාදි කවර කල්පනයෙකින් විකල්පනය කෙරේ ද?