මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසළ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය.
“වහන්ස, සැරියුත් මුගලන්හු ලාමක ඉච්ඡා ඇත්තාහු ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණ හට තෙල වදාළහ.
“කෝකාලිකය, නහමක් එසේ කියව. කෝකාලිකය නහමක් එසේ කියව, කෝකාලිකය, සැරියුත්මුගලනුන් කෙරෙහි සිත් පහදුව”. “ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයෝ ප්‍රියශීලයහ”යි.
දෙවන වටත් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ශ්‍රද්ධාවහ නුමුදු ප්‍රත්‍යකර නමුදු ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයෝ පාපේච්ඡ ම වූවාහු ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියාහු ම වෙතැ”යි.
දෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට තෙල කරුණ වදාළ සේක. “කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, “ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයෝ ප්‍රියශීලයහ”යි. සැරියුත් මුගලන් කෙරෙහි සිත් පහන් කරව”යි.
තෙවනවටත් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ශ්‍රාද්ධෙය, විශ්වාසාර්‍හවන සේක් නමුදු සැරියුත්මුගලන්හු පාපේච්ඡ ම වූවාහු ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියහු මැ”යි.
තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට තෙල වදාළහ: “කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, “ශාරිපුත්‍රමෞද්ගල්‍යානයෝ ප්‍රියශීලයහ”යි. සැරියුත්මුගලනුන් කෙරෙහි සිත් පහදව”යි.
ඉක්බිති කෝකාලික මහණ හුනස්සෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය. කෝකාලික මහණ නික්ම ගිය නොබෝ කල් වත්ම හැම කය හබැට සා පොළින් මැඩැසිටියේ විය. හබැට සා වැ මුං ඇට සා විය. මුඟු ඇට සා වැ කඩල සා විය. කඩලැට සා වැ ඩෙබර සා විය. ඩෙබර ඇට සා වැ ඩෙබර පල සා විය. ඩෙබරපල සා වැ ඇඹුලපල සා විය. ඇඹුල පල සා වැ බෙලි සලාටු (ගැට) සා විය. බෙලිසලාටු සා වැ බෙලිපල සා වැ බෙලිපල සා විය. බෙලිපල සා වැ බිඳිනි. පූයා හා ලෙහෙ වගුළේ ය.
එකල්හි කෝකාලික මහණ ඒ ආබාධයෙන් මැ කලුරිය කෙළේ ය. කලුරිය කළ කෝකාලික මහණ ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයන් කෙරෙහි සිත් ඝටා පදුම නිරයට උත්පත්ති විසින් පැමිණියේ ය.
එක්බිති සහම්පති බ්‍රහ්ම විසිතුරු පැහැ ඇතියේ මනහර මැදියම් රෑ හි මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි සිටි සහම්පතී බ්‍රහ්ම භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ පැවැසීය: “වහන්ස, කෝකාලික මහණ සැරියුත් මුගලනුන් කෙරෙහි සිත් ඝටා කලුරිය කෙළේ ය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ පදුම නිරයෙහි උපනැ”යි. සහම්පතී බ්‍රහ්ම මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි මැ නොපැණි ගියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් භික්‍ෂූන් ඇමැතූ සේක: මහණෙනි, මෙ රෑ සහම්පතී බ්‍රහ්ම මැදියම් රෑ හි ....... මහණෙනි, සහම්පතී බ්‍රහ්ම මෙය කීය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි මැ නොපැණි ගියේය”යි.
මෙසේ වදාළ කල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැල කෙළේය. “වහන්ස, පදුම නිරයෙහි ආයුෂප්‍රමාණය කොතෙක් දිග දැ?”යි
“මහණ, පදුම නිරයෙහි ආයුෂප්‍රමාණය දීර්‍ඝය, මෙතෙක් හවුරුදු ය යි හෝ මෙතෙක් සිය හවුරුදු ය යි හෝ මෙතෙක් දහස් හවුරුදු ය යි හෝ මෙතෙක් සුවහස් හවුරුදු ය යි හෝ සඞ්ඛ්‍යා කරනට සුකර නො වේ ය”යි.
“වහන්ස, උපමාවක් කළ හැකි දැ?යි,”
මහණ, හැකියැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක: මහණ කොසොල් රට වහරට පත් විසි කිරියකින් යුත් තල ගැළක් යම් පරිදි වේ නම්, පුරුෂයෙක් වර්‍ෂ ශතයෙක්හුගේ හෝ වර්‍ෂ සහස්‍රයක්හුගේ ඇවෑමෙන් එයින් එක් එක් තලැටක් නඟාලා නම්, මහණ, එ විසිකිරියක් ගන්නා කෝශලක තල ගැල මෙ උපක්‍රමයෙන් වහා මැ පරික්‍ෂයයට සිස්විමට යේ. එක් මැ අබ්බුද නිරය අවසනට නො යේ මැයි. මහණ, අබ්බුද නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් නිරබ්බුද නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, නිරබ්බුද නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් අබබ නිරයෙක් එ පරිදි ම වේ. මහණ, අබබ නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් අහහ නිරයෙක් එ පරිදි මැ වේ.
මහණ, අහහ නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් අටට නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, අටට නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් කුමුද නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, කුමුද නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් සොගන්‍ධික නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, සොගන්‍ධික නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් උප්පලක නිරයෙක් එ පරිදි වේ. මහණ, උප්පලක නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් පුණ්ඩරීක නිරයෙක් එ පරිදි වේ. මහණ, පුණ්ඩරීක නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් පදුම නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, කෝකාලික මහණ සැරියුත් මුගලුන් කෙරේ සිත් ඝටා පදුම නිරයෙහි උපන්නේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා අනතුරු තෙල වදාළ සේක:
660. යම් පරොස් බසෙකින් තමා සිඳුනේ ද, එසේ උපන් දුර්‍භාෂිත කියන බාල වූ, පුරුෂයාගේ මුවෙහි කෙටේරියක් බඳු පරොස් බස් උපදනේ ය.
661. යමෙක් නිගා කළ යුතු පුද්ගලයා පසසා ද, යමෙක් පැසසිය යුතු යමෙක් වේ නම් ඔහුට නිගා කෙරේ ද, හෙතෙම මුවින් අපරාධ (පව්) රැස් කෙරෙයි. ඒ අපරාධයෙන් හේ සුව නො විඳියි.
662. දූ කෙළියෙහි ලා යම් ධන පරාජයෙක් වේ නම් මෙ පරාජය අල්පමාත්‍ර එකෙකි. යමෙක් සම්‍යග්ගත පුද්ගලයන් කෙරෙහි සිත ප්‍රදූෂිත කෙරේ ද, මෙය ම මහත්තර පරාජයය වේ.
663. යම් කලෙක ලාමක වූ වචනය හා සිත ද පිහිටුවා ආර්‍ය්‍යයන් ගරහනුයේ නිරයට වැදේ ද, (එහි ආයුඃ ප්‍රමාණය) නිරර්බුද සිය දහස් සතිසෙකි. අර්බුද පසෙකි.
664. යමෙක් ආර්‍ය්‍යෝපවාද වශයෙන් අභූත (මුසවා) කියන්නේ ද යමෙකුත් පව්කම් කොට “නො කෙළෙමැ”යි කියා ද, හෙ ද පදුමාද නිරයට උප්පත්ති වශයෙන් පැමිණේ. නිහීන කර්‍ම ඇති එ පුඟුල්හු දෙදෙන ම මෙයින් සැව ගොස් පරලොවැ දී (නිරයෝප්පත්තියෙන්) සම වෙත්.
665. යමෙක් අප්‍රදුෂ්ට වූ අවිදුමල නැති හෙයින් ශුද්ධ වූ ලාමක ඉච්ඡාවචර නැති හෙයින් අනඞ්ගණ වූ මිනිස් පුරුෂයකුහට ද්‍රෝහ කෙරේ නම්, උඩු සුළඟට හෙලූ සියුම් රජස් සෙයින් පාපය එ බාලයා කරා පෙරළා එයි.
666. යමෙක් ලෝභ ගුණ (තෘෂ්ණා) යෙහි අනුයුක්ත ද, හෙ ශ්‍රද්ධා නැතියේ තද මසුරු ඇතියේ, බුදුවදන් පවා නොදන්නේ, පඤ්චවිධ මාත්සර්‍ය්‍යයෙන් යුක්ත වූයේ පෙහෙසුන්බස්හි නියැලියේ වචනයෙන් මෙරමාහට පරිභව කෙරෙයි.
667. විෂම මුඛ ඇත්තව, අලිකවාදිය, අනාර්‍ය්‍යය, වෘද්ධිනාශකය, පවිට, දුෂ්කෘතකාරිය, නීච පුරුෂය, නිඃශ්‍රික පුරුෂය, (බුද්ධ පුත්‍ර නොවන හෙයින්) අවජාතය, මෙ අත්බව් හි නහමක් බහුභාණිවව, නහමක් නිරයෙහි උපදනේ වෙහි.
668. පාපකාරිය, අහිත සඳහා තමා කෙරෙහි කෙලෙස් දුහුලි වගුරුවහි, ශාන්ත පුද්ගලයන් හට ගර්‍හා කෙරෙහි, බොහෝ දුසිරිත් කොට ප්‍රපාත සංඛ්‍යාත නිරාවළට යෙහි චිරරාත්‍රයෙහි එහි දුක් විඳුනෙහි.
669. කිසිවකුගේ කුශලාකුශලකර්‍මය විපාක නොදී නොමැ නස්නේ ය, කම්පල ඔහු කරා මැ එයි. කර්‍මයට හිමි වූයේ එ කර්‍මවිපාක ලබාම ය. පාපකාරී බාල තෙමේ පරලොව්හි දී තමා කෙරෙහි ලා දුක දක්නේය.
670. (හේ) යහුල් පිහිටුවන ලද තියුණු මුවත ඇති යහුල් ඇති නිරයට එළැඹෙයි. යළි එ කර්‍මානුරූප වූ ම රත් වූ යගුලි බඳු භෝජන ද ඇත.
671. (ගණිවු, පහරිවු යනාදි) බස් බණන්නාහු මියුරු බස් නොකියත් මැ යි. (නිරාපල්ලෝ) සුමුඛව පෙරට නො දිවෙති. රැකවරණට ද නො පැමිණෙති. අතුළ ගිනි අඟුරෙහි වැදහෙති. හාත්පසින් දිලෙන ගින්නට ද වදිති.
672. ලොහොදැලිනුදු වෙළෙන්නාහු එහි යමුවා කුළුයෙන් පෙළති. අඳ වූ ම ඔහු තිමිස නම් රොරුව නිරයට පැමිණෙති. එ අන්‍ධකාරය මහිකා (මිහිදුම්) සෙයින් වතළේ මැ යැ.
673. ඉක්බිති ගිනි සෙයින් දිලෙන ලෝකුඹු නිරයට වදනාහ. ගිනිසම වූ එ ලෝකුඹු නිරෑහි ඉල්පෙන්නාහු චිරරාත්‍රයෙහි පැසෙත් මැ යි.
674. ඉක්බිති පව්කම් කරනුයේ පූයායෙන් හා ලෙයින් මුසු එනිරයෙහි කිසෙයින් පැසේය යත්: යම් මැ දිශායෙක්හි යේ නම්, එහි එ ලෙහෙපූයායෙන් පහස්නා ලදුයේ පෙළෙන්නේ ය.
675. පණුවනට නිවෙස් වූ ඒ නියෙ දියෙහි (ලෝ දියෙහි) පාපකාරී කිසෙයින් පැසෙයි යත්: නික්ම යනුවට තොටෙකුදු නො මැත. හැම දික්හි හාත්පසැ යකබල ම යැ.
676. ඉක්බිති තියුණු අසිපත්‍ර වනය වෙයි. මොනොවට සිඳින ලද ගාත්‍රඇති නිරිසත්තු එයට වදනාහ. (යමපල්ලෝ) දිව බිලියෙන් ගෙණ හැදැ හැදැ පෙළති.
677. ඉක්බිති තියුණු ක්‍ෂූර ධාරා ඇති වේතරණී නම් දුර්‍ගයට වදති. පාපකාරී අන්‍ධබාලයෝ පවි කොට එහි වැටෙති.
678. එහි සමවන් වූත් කබරවන් වූත් වනකවුඩෝ ද, බලු කැණහිල්ලු ද, මහගිජුලිහිණියෝ ද, උකුස්සෝ ද, කවුඩෝ ද, හඬනවුන් කාදමති. තුඩිනිදු බිඳිති.
679. මේ නිරෑහි පාපකාරී ජනයා යම් දිවිපෙවෙතක් දක්නේ ද, එ දිවිවැටුම එකැතියෙන් දුක් මැ වෙයි. එ හෙයින් මිනිස් තෙමේ මෙ ලොවැ ජීවිත ශේෂයෙහිලා කෘත්‍යකරී වන්නේ ය. නො ද පමා වන්නේ ය.
680. යම් පාපකාරීහු පදුම නිරයෙහි උපන්හු නම්, ඔවුන්ගේ ආයුෂ්ප්‍රමාණ ප්‍රාඥයන් විසින් තල ගැල් බරින් ගණන ලද: පස්කෙළනුහුවක් හා අනෙකුදු දොළොස්කෙල සියෙක් වේ.
681. ඉමහත් දුක් ඇති නිරයෝ කියන ලදහු නම්, එහි එතෙක් බොහෝ කල් විසිය යුතු වෙයි. එහෙයින් පිවිතුරු පේශල සාධු ගුණ ඇතියන් කෙරෙහි හැම කල්හි වචනය හා සිත හා මොනොවට රක්නේ යි.
කෝකාලික සූත්‍රය නිමි.
3. 11.
නාලක සූත්‍රය
682. අසිත ඍෂි හටගත් සමෘද්ධි ඇති හෙවත් උපන් ප්‍රමෝද ඇති (එහෙයින් මැ) සොම්නස් සහගිය නොකිලිටි දිවසළු හැඳි තිදස්පුර වැසි දේවගණයා සක්දෙවිඳුහට ද සත්කාර කොට දිවසළු ගෙණ සිසාරා අධිමාත්‍රකොට ස්තූතිකරනුවන් දිවා විහාරයෙහි දී දිටිය.
683. එහි දී ඍෂි, ප්‍රමුදිත වූ සිත ඇති ඔදවැඩිගිය දෙවියන් දැක ආදර කොට මෙය කී ය: “දෙවි ගණා අතිශයින් තුටු සැහැවි ඇතියේ කුමක් පිණිස දිවසළු සිසාරාගෙණ කුමට බමවු දැ?” යි.
684. යම් කාලයෙක් හි අසුරයන් හා සමග සඞ්ග්‍රාමයෙක් වී නම්, සුරනට ජය වී නම, අසුරයෝ පරාජිත වූහු නම් එකල්හි දු මෙබඳු රෝමොද්ගමනයෙක් නො වීය. කවර නම් අද්භූතයක් දැක දෙවියෝ ප්‍රමුදිත වූහුදැ?යි.
685. සීරුසන් නහත්ද? ගී ගයත් ද? පසඟතුරු වයත් ද? අත් පොළත් ද? නටත් දැයි. මම මේරුමස්තකවාසී තොප (දෙවියන්) පුළුවුස්මි. නිදුක්වරිනි, වහා මාගේ සංශය දුරලවු යි.
686. (සම්‍යක් සම්බෝධිසමධිගමයට නිසි) උත්තම රත්න වූ (තමහට තුල්‍යයකු නැතියෙන්) අතුල්‍යවූ ඒ බෝධිසත්‍ව තෙමේ දෙවිමිනිස්නට හිතසුව පිණිස මිනිස් ලොවැ ශාක්‍යයන්ගේ ජනපදයෙහි වූ ලුම්බිනී නම් ගම්හි උපන. එහෙයින් අතිශයින් කල්‍යරූප වූවමෝ තුටු වම්හ.
687. සර්‍වසත්‍වෝත්තම ඒ අග්‍රපුද්ගල නරශ්‍රේෂ්ඨ වූයේ හැම සත්නට උතුම් වූයේ සිවුපාවුන් අභිභවා සිටුනා බලවත් සිහරදකු අභීතනාද කරණු සෙයින් ඉසිපතන නම් මෘගදාවනයෙහි ධර්‍මචක්‍රය පවත්වන්නේ ය.
688. එකල්හි ඒ දේවවාක්‍යය අසා එ (අසිත) තෙම ත්‍වරිතව (දේවපුරයෙන්) බටුයේ ය. සුදොවුන් රජුගේ භවනයට එළැඹියේ ය. එහි නිෂණ්ණ වූයේ “කුමර කොහි යැ? මම් ද දක්නා කැමැතියෙමි”යි යන මෙ බස් ශාක්‍යයනට කී.
689. ඉක්බිති දක්‍ෂ වූ රන්කරුවකු විසින් කෝවා මුවෙහි ලා මොනොවට ඝටා තවනලද වූ ම දිලියෙන රණක් වන් ශෝභායෙන් බබලන නො ලමු රූසපුයෙන් යුත් පුත්කුමරු ශාක්‍යයෝ අසිත නම් තවුස්හට දැක්වූහ.
690. දිලෙන ගින්නක් බඳු වූ ද අහස්හි සරන පිරිසුදු තාරාපති බඳු වූ ද සරාකල්හි අභ්‍රමුක්ත වූ දිලියෙන හිරු බඳු වූ ද කුමරු දැක උපන් සතුටු ඇතියේ විපුල ප්‍රීතිය ලැබී.
691. අහස්වැසි දෙවියෝ අනේක සලාක ඇති දහස් මඬුලු ඇති සත් දැරූහ. රන්යටි ඇති සෙමරවල්විදුනා සැලෙයි. සෙමර හා සත්ගතුවෝ නොපැණෙත්.
692. දළමුඩුලු යුත් අසිත නම් ඍෂි පඬුඇඹුලෙක්හි තැබූ රන් නිකක් බඳු කුමරු ද මුදුනෙහි දැරූ සේ සත් ද දැක ඔදවැඩි සිතැති වැ සොම්නස් ඇති වැ පිළිගති.
693. ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිත් වේදමන්ත්‍රයන්හිත් කෙළ පැමිණි ඒ තවුස් ශාක්‍ය ශ්‍රේෂ්ඨයා පිළිගෙන පිරික්සනුයේ පහන්සිත් ඇතියේ “ද්වීපදෝත්තම මෙ කුර අනුත්තරය” යන බස් පාළ කෙළේය.
694. එක්බිති තමාගේ අරූතලගමන් සමරමින් නොසතුටු සිත් ඇත්තේ කඳුළු හෙළයි. ශාක්‍යයෝ වලප්නා තවුස් දැක “කුමරු කෙරෙහි අනතුරෙක් නොවේදෝ හො”යි කීහ.
695. නොසතුටු සැහැවි ඇති ශාක්‍යයන් දැක “මම කුමර කෙරෙහි අහිතයක් නො සමරමි, මොහුට අනතුරෙකුදු නො වෙයි. මෙකුමර ලාමකයෙක් නො වෙයි. (තෙපි) තුටුසිතැති වව”යි තවුස් පැවැසීය.
696. මෙ කුමර (සර්‍වඥතාඥානයසඞ්ඛ්‍යාත) අනුත්තර සම්බෝධියට පැමිණෙයි. පරමවිශුද්ධ නිර්‍වාණය දක්නාසුලු මෙතෙම බහුජන හිතානුකම්පා ඇතියේ දම්සක් පවත්වන්නේය. මොහුගේ ශාසනය පතළ වන්නේ යි.
697. මාගේ ආයුෂත් මෙ මිනිස් ලොව්හි දිගුකල් අවශේෂ නො වේ. මෙ අතුරෙහි මාගේ කාලක්‍රියා වන්නේ ය. එවන් මම අසම වීර්‍ය්‍යය ඇති බුදුන්ගේ දහම් නො අසන්නෙමි. එකරුණින් ආතුරයෙම් සුඛනාශයට පැමිණියෙම් දුක් ඇතියෙමි.
698. ඒ බ්‍රහ්මචාරී ශාක්‍යයනට විපුල ප්‍රීති දනවා ඇතොවුරින් නික්මැ ගියේය. හෙතෙම අනුකම්පා කෙරෙමින් බෑනා අසම වීර්‍ය්‍යධූර ඇති සම්බුදුන්ගේ සස්නෙහි සමාදන් කරවිය.
699. යම් මැ කලෙක්හි මෙරමා වෙතින් සම්බුදුහු සම්බෝධිප්‍රාප්ත වූවාහු අග්‍රවූ නිර්‍වාණය හෝ නිර්‍වාණ මාර්‍ගය විවරණ කරති යන ඝෝෂය අසවු නම් නම් එහි ගොස් ධර්‍මසමය පුළුවුස්මින් එ භාග්‍යවතුන් හමුයෙහි බඹසර (මහණදම්) කරව.
700. හිත කැමැති සිත් ඇති සමාධිගතචිත්ත ඇති අනාගතයෙහි (නාලක) පරම විශුද්ධ වූ නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ යයි දක්නා සුලු එ අසිත තවුස් විසින් අනුසස්නා ලද (පියුමතුරා බුදුන්කලැ පටන්) රැස් කළ පින්රැස් ඇති ඒ නාලක ජින වූ සර්‍වඥයන් වහන්සේ ප්‍රතීක්‍ෂා කෙරෙමින් රක්නාලද ඉඳුරන් ඇතියේ වාස කෙළේ ය. (තවුස්දම් රැකීය.)
701. ඒ නාලක තාපස ජිනවරයන්ගේ ධර්‍මචක්‍රප්‍රවර්‍තනයෙහි දි දේවතා නාදය අසා (ඉසිපතන) ගොස් ඍෂිනිෂභ වූ භාග්‍යවතුන් වහන්සේ දැක පහන් වූයේ අසිත නම් තවුස්හුගේ අනුශාසනයට කල් එළැඹෙත් ම ප්‍රවරමුනිහු වෙතින් ශ්‍රේෂ්ඨ ඥානය (මාර්‍ග ඥානය) පිළිවිසීය යි.
වත්‍ථුගාථා යි.
702. ගෞතමයන්වහන්ස, අසිත තවුස්හුගේ අවිපරීත වූ (සම්බෝධිමග්ගං ඵුසිස්සතායං කුමාරො යන) තෙල වචනය මා විසින් දන්නා ලදී. එහෙයින් මැ (ෂඩාකාරයෙන්) සර්‍වධර්‍මයන්ගේ කෝටිප්‍රාප්ත වූ මුබ වහන්සේ පුළුස්මි.
703. (ප්‍රජ්‍යාසඞ්ඛ්‍යාත) අනගාරියට පත්, භික්‍ෂාචාර්‍ය්‍යය සොයන මට පුළුවුස්නාලද මුනිහු උත්තම වූ මෝනෙයප්‍රතිපද් පවසත්වා.
704. “තොපට දුෂ්කර වූත් දුරධිගමවූත් මෞනෙයප්‍රතිපද් පනවන්නෙමි. ඒකාන්තයෙන් එය තොපට පවසන්නෙමි. වීර්‍ය්‍යෝපස්තම්භයෙන් සිත් පිහිටුව, අශිථිල පරාක්‍රමයෙන් දෘඪ (ස්ථිර) වව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
705. ගම්හිදී ආක්‍රෝශය හා වන්‍දනාව හා යන දෙක සමාන භාග ඇති කරව. (සමව සලකව) (ආක්‍රෝශ ලදුයෙහි) චිත්තප්‍රද්වේෂය රක්ව. (රජුන් විසිනුදු වඳනා ලදුයෙහි) මානයෙන් උන්නත නොවැ ශාන්ත වැ හැසිරෙව.
706. අරණෙහි දු ගිනිසිළු බඳු කුදුමහත් (නානාප්‍රකාර වූ) ආලම්බනයෝ ඉඳුරනට හමුවෙත්. ස්ත්‍රීහු ද පැවිද්දහු පොලොබවති. ඔහු තා නහමක් පොලොබවත්වා.
707. මෙවුන්දමින් වැළැකියේ සුන්‍දරාසුන්‍දර කාමයන් හැරපියා ස තෘෂ්ණ වූ හා නිෂ්තෘෂ්ණ වූ හා ප්‍රාණීන් කෙරෙහි (පරපාක්‍ෂික හෙයින්) විරුද්ධ නොවූයේ (ස්වපාක්‍ෂික හෙයින්) නො ඇලුනේ වෙයි.
708. මම යම්බඳු (සුවකැමැති) යෙම් නම්, මොහුදු එබඳු (සුවකැමැති) වෙත් මොහු යම්බඳු (දුක් නොකැමැති) වෙත් නම්, මම ද එබඳු (දුක් නොකැමැති) වෙමි. මෙසේ තමා උවම් කොට ගෙණ පරපණ නො නසන්නේ ය, නොද නස්වන්නේ ය.
709. යම් සිවුපසෙක්හි පෘථග්ජන (ඉච්ඡා ලෝභ විසින්) ආසක්ත වූයේ නම්, එ ඉච්ඡා හා ලෝභය හා හැරපියා ඥානචක්‍ෂූස් ඇති වැ (මෝනෙය්‍යවත්) පිළිපදනේ ය. (දුෂ්පුරාර්‍ත්‍ථයෙන්) මෙ ප්‍රත්‍යය තෘෂ්ණා නරකය තරණය කරන්නේ ය.
710. (සතර පස් පිඬුවකට ඉඩ දී පැන් බොනුයෙන්) ඌනෝදර වූයේ මැ, (භෝජයෙහි මාතුඥතායෙන්) මිතාහාර වන්නේ ය. (චතුර්විධ අල්පේච්ඡතායෙන් ) අල්පෙච්ඡා වූයේ මැ රහත් මගින් තෘෂ්ණාලෝලුප්‍යය දුරු කිරීමෙන් ලෝලුප නොවන්නේ ය. හෙ ඒකාන්තයෙන් සාදුක් නැතියේ ඉච්ඡාරහිත වූයේ (කෙලෙස් සන්හුන් හෙයින්) නිවියේ වෙයි.
711. වනවැසි ඒ මහණ පිණ්ඩචාරය කොට නිමවා වනයට යන්නේය. මුනි තෙම රුක්මුල්හි එළැඹ සිටියේ ආසනෝපගත වන්නේ ය.
712. උභයධ්‍යානයන්හි අනුයුක්ත වූ එ ධීර අරනෙහි අභිරත වන්නේ ය. චිත්තය මොනොවට තුටු කරවමින් රුක්මුල්හි ලෝකෝත්තර ධ්‍යාන කරන්නේ ය.
713. පිණ්ඩචාරයෙන් නික්ම වනයාත්‍රායෙන් මත්තෙහි රෑ අවසන්හි ග්‍රාමාන්තය කරා (පිඬුසඳහා) යන්නේ ය. එහි දී නිමන්ත්‍රණ නො ඉවසන්නේ ය. ගමින් වෙතැ එළැ වූ පිණ්ඩපාත ද නො ඉවසන්නේ ය.
714. මුනිතෙම ගමට වැද කුලයෙහි (සහශෝකිතාදි විසින්) සැහැසි ව ආහාරාන්වෙෂණ නො කරන්නේ ය. සුන්බස් ඇති යේ පිඬුවා පිළිබැදි ඕභාසාදියෙන් ප්‍රයුක්ත වූ වචන නො බණන්නේ ය.
715. යම් මැ පිණ්ඩයක් ලදිම් නම්, මෙය මැ මනා යැ, යම් මැ භික්‍ෂාවක් නොලදිම් නම්, එද මනා යැ යි හේ ලාබ අලාභ දෙකින් මැ නිර්විකාර වෙයි. ඵලාන්වෙෂී පුද්ගලයකු රුක හැරපියා මැදහත් ව යනු මෙනි.
716. හේ පාත්‍ර ගත්ඇති වැ නොගොළු වූයේ මැ ගොළුවෙකැයි සම්මත වැ හැසිරෙන්නේ දානය සුලු ය යි හෙලා නො දක්නේ ය. දන් දෙන්නහුනට ද අවමන් නො කරන්නේ ය.
717. උත්තම වූත් නිහීන වූත් පිළිවෙත බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණ ලදී. (යෝගීහු) එ ප්‍රතිපදායෙන්) දෙවරක් (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) පාරයට නොයෙත්. එ නිර්‍වාණපාරය එක් මැ මඟින් පහස්නට නිසි ය යි ද නො දන්නා ලදී.
718. සුන්කෙලෙස් හෝ ඇති යම් මැ මහණකුහට අටෝරාසියක් වූ තෘෂ්ණා නැද්ද, (කුශලාකුශල සඞ්ඛ්‍යාත) කෘත්‍යාතෘතයන් ප්‍රහීණ කළ ඔහට රායෙන් උපන් වේවයි ද්වේෂයෙන් උපන් වේවයි පරිදාහ නැත.
719. තොපට මෞනෙයව්‍රතය පණවන්නෙමි කරමුවහත උවම් කොට ඇතියේ වන්නේ ස. දිවින්තලු ඝටා (රසතෘෂ්ණා) දුරු කොට උදරයෙහි සංයත වන්නේ ය.
720. නිරතුරු නොලස් සිත් ඇතියේ ද වන්නේ ය. ඥාති ජනපද, අමරවිතර්‍කවශයෙන් බොහොවක් ද නො සිතන්නේ ය. නික්ලේශී වූයේත් තෘෂ්ණාදෘෂ්ටියෙන් එක ද භවයක් ඇසුරු නො කෙළේ ශික්‍ෂාත්‍රය සංගෘහිත සකලබ්‍රහ්මචර්‍ය්‍යය පරායණ කොට ඇතියේ ද වන්නේ ය.
721. ඉදින් මහණ එකලා වූයේ ද සිත් අලවා වෙසෙන්නේ නම්, මහණුන් විසින් උපාසනා කටයුතු විචික්තාසන සඞ්ඛ්‍යාත ඉරියව්වට හා අටතිස්කමටහන් අරමුණට හා හික්මෙන්නේ ය. කාය චිත්ත විවේක සඞ්ඛ්‍යාත ඒකත්‍වය මෞන යයි කියනලදී,
722. ඉදින් දසදිගුන් කීර්තියෙන් හොබවවූ නම් වස්තුකාම ක්ලේශකාමයන් හැරපියනසුලු උභයධ්‍යානයන් ලත් ධීරයන්ගේ කීර්ති ඝෝෂය අසා අනතුරුව හ්‍රී හා ශ්‍රද්ධා බෙහෙවින් වඩනුයේ මාගේ ශ්‍රාවක වන්නේ ය.
723. එය නදීන්ගෙනුදු ජලමාතෘකාහි ද දියකඳුරුහි ද ලා දනුව, ක්‍ෂුද්‍ර ජලමාතෘකාවෝ හඬනංවමින් ගලායෙත්. මහානදීහු නිහඬ වැ ගලාබස්නාහ.
724. යමක් ඌන ද එ හඬයි. යමක් පූර්‍ණ ද එ ශාන්ත මැ වෙයි. බාල අර්‍ධකුම්භොපම වෙයි. පණ්ඩිත පුද්ගල පිරිපුන් දියවිලක් බඳුවෙයි.
725. බුද්ධශ්‍රමණ අර්‍ත්‍ථයෙන් යුක්ත වූත් ධර්‍මයෙන් යුක්ත වූත් අර්‍ත්‍ථසංහිත වූත් යම් මැ ධර්‍මයක් බොහෝ කොට දෙසා නම්, හෙ දන්නේ ම එ ධර්‍මය දෙසයි. හෙ දන්මින් මැ බොහෝ කොට දෙසයි.
726. යමෙක් සංයත සිත් ඇත්තේ ම දන්නේත් වේ ද, දන්නේත් බොහෝ ධර්‍මය නො දෙසා ද, එ මුනි (මෝනෙය්‍යපටිපදා සඞ්ඛ්‍යාත) මෞනයට නිසි වෙයි. එ මුනි (අර්‍හත්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) මෝනයට පැමිණියේ ය යි.
නාලක සූත්‍රය නිමි.
3. 12.
ද්වයතානුපස්සනා සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්‍වාරාම නම් මිගාරමාතුපාසාදයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඳපිරුණු පුණුරැසි පොහෝලත් එදවස රාත්‍රියෙහි බික්සඟුන් විසින් පිරිවරණ ලද්දාහු අබවස්හි වැඩහුන්සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ අතිශයින් තුෂ්ණිම්භූත වූ භික්‍ෂුසඞ්ඝයා අනුවිලෝකන කොට මහණුන් ඇමැතූහ:
මහණෙනි, අනවද්‍ය වූ ආර්‍ය්‍යවූ නිර්‍ය්‍යාණයට හිතවැ වැටෙන (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) සම්බෝධිය එළවනසුලු යම් (සප්තත්‍රිංශද්බෝධිපාක්‍ෂික නොහොත් පර්‍ය්‍යාප්ති සඞ්ඛ්‍යාත) ධර්‍ම කෙනෙක් වෙත් ද, අනවද්‍ය වූ ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ සම්බෝධියට පමුණුවනසුලු එ ධර්‍මය අසනු තොපට කවර ප්‍රයෝජනයෙක් ඇද්දැ’යි (කුමට තෙපි ඒ දහම් අසවු දැ යි) මහණෙනි, මෙසේ පුළුවුස්නාහු වෙත් නම්, ඔහු මෙසේ (ප්‍රත්ත්‍යුත්තරමුඛයෙන්) කියැයුතු වන්නාහ: (ලෞකික-ලෝකෝත්තර විසින්) ද්විවිධ කොට දක්වනලද ධර්‍මයන්ගේ ම යථාභූත (අවිපරීත) ඥානය සඳහා”යි.
කවරක් නම් ද්වයත යි කියවු ද යත්:
මෙ පඤ්චස්කන්‍ධය දුක යැ, මේ අෂ්ටශතතෘෂ්ණාවීචරිතය දුංඛසමුදය යැ යන මෙ එක් අනුපස්සනායෙකැ. මෙ දුඃඛනිරෝධය යැ, මෙ දුඃඛ නිරෝධගාමිනීපටිපදා යැ යන මෙ දෙවන අනුපස්සනා යි. මහණෙනි, මෙසේ මනා කොට ද්වයධර්‍මයන් පුනපුනා දක්නා සුලු අප්‍රමත්ත වූ කෙලෙස්තවන වැර ඇති කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂක වැ වාසකරණ භික්‍ෂුහු විසින් ඉහාත්මයෙහි ම අර්‍හත්‍වයහෝ (පුනර්‍භව වශයෙන් ගතයුතු) ස්කන්‍ධශේෂයක් ඇතිවත් ම අනාගාමිභාවය හෝ යැ යන ද්විධඵලයන්ගෙන් අන්‍යතර ඵලයෙක් කැමැතිවිය යුතු ය යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගත වු ශාස්තෘන් වහන්සේ මෙය වදාරා යලිත් අන්‍ය වූ තෙල ගාථා ද වදාළසේක:
727. යම් මහණ කෙනෙක් පඤ්චස්කන්‍ධදුඃඛය නො දනිත් ද, වැලිත් එ දුඃඛයාගේ සමුදයත් නොදනිත් ද, යම් නිර්‍වාණයෙක්හි සර්‍වප්‍රකාරයෙන් නිරවශේෂ කොට දුඃඛ නිරෝධය වේ නම් එ නිවන හා දුඃඛොපශමයට යන එ මාර්‍ගයත් නො දනිත් ද,
728. (අර්‍හත්‍වඵලසමාධිසඞ්ඛ්‍යාත) චේතෝවිමුක්තියෙන් පිරිහුනු වැලි ප්‍රඥාවිමුක්තියෙනුදු හීන වූ ඔහු දුක් කෙළවර කිරීමට අභව්‍යවෙති, ඒකාන්තයෙන් ඔහු ජාතියට හා ජරාවට පැමිණියාහුය. (ජාතිජරායෙන් නො මිදුනාහු වෙතී සේ යි)
729. යම් මහණ කෙනෙකුන් පඤ්චස්කන්‍ධදුඃඛය තත්වූ පරිදි දනිත් ද වැලි එ දුඃඛයාගේ සමුදයත් දනිත් ද, යම් නිවනෙක්හි සර්‍වප්‍රකාරයෙන් අශේෂ කොට දුඃඛය නිරෝධයට යේ නම් එය ද, දුඃඛව්‍යුපශමයට යන එ මාර්‍ගසත්‍යයත් තත්වූ පරිදි දනිත් ද,
730. (අර්‍හත්‍වඵලසමාධි) චිත්තවිමුක්තියෙන් සමන්‍වාගත වූ ද, වැලි (අර්‍හත්‍වඵල) ප්‍රඥාවිමුක්තියෙන් සමන්‍වාගත වූ ද ඔහු වර්‍තදුඃඛය කෙළවර කරණු සඳහා භව්‍ය වෙති, ඔහු ඒකාන්තයෙන් ජාතිජරාවට නො යන්නාහු වෙතැ’යි.
ඉදින් මහණෙනි, “අන්‍ය පර්‍ය්‍යායෙකිනුදු සම්‍යග්ද්වයතානුදර්‍ශනායෙක් වන්නේ දැ”යි මෙසෙයින් පුළුවුස්නාහු වෙත් නම්, ‘වන්නේ’යි කියැයුතු වෙත්, කිසෙයින් වේය යත්: යම් කිසි වර්‍තදුඃඛයෙක් උපදනේ නම්, එ හැම දුක (සාස්‍රවකර්‍මසඞ්ඛ්‍යාත) උපධිප්‍රත්‍යයෙන් වේ යන මෙ එක් අනුදර්‍ශනායෙක, එ උපධීන්ගේ ම අශේෂවිරාගනිරෝධයෙන් වර්‍තදුඃඛයාගේ සම්භවයෙක් නැතැ’යි යන මේ ද්විතීයානුදර්‍ශනා වෙයි, මෙසෙයින් සම්‍යග්ද්වයතානුදර්‍ශනා වේ යයි. වැලි ශාස්තෘන් වහන්සේ අන්‍ය වූ ද තෙල ගාථා වදාළහ:
731. ලොවැ අනේකස්වරූප වූ යම් දුඃඛයෝ වෙත් නම්, ඔහු සාස්‍රවකර්‍ම සඞ්ඛ්‍යාත උපධිනිදානයෙන් උපදනාහ. යම් අවිද්‍යාගතයෙක් එකැතින් සාස්‍රවකර්‍ම කෙරේ නම්, එ මන්‍දප්‍රාඥ පුනපුනා සසරදුකට මැ එයි. එහෙයින් සම්‍යක්ප්‍රඥායෙන් දන්නේ වර්‍තදුඃඛය ජාතිප්‍රභව යයි දක්නේ සාස්‍රවකර්‍ම නො කරන්නේ ය යි.