Sutta Nipāta

Collection of Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1562 segments

පෙන්වන කොටස් 1-100 න් 1562

කුදුගත්සඟියෙහි
සූත්‍රනිපාතය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. උරග වර්‍ගය
උරග සූත්‍රය
1. යම් මහණෙක් උපන් ක්‍රෝධය පැතිරැගිය සර්‍පවිෂ ඖෂධයෙන් නසාලන්නාක් සෙයින් දුරු කෙරේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් (පඤ්චෝරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත) ඔරපාරය ඔරිමතීරය හැරැපියයි.
2. යම් මහණෙක් විලට බැස නෙලුම්මල් නෙළන්නාක් සෙයින් පඤ්චකාමගුණරාගය නිරවශේෂ කොට සිඳලන්නේ වේ ද, ඒ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් (පඤ්චෝරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත) ඔරපාරය හැරැපියයි.
3. යම් මහණෙක් වෙළෙවි ව ගලාබස්නා හොයක් බඳු තෘෂ්ණාව නිඃශේෂ කොට වියළවා සිඳලන්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් (පඤ්චෝරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත) ඔරපාරය හැරැපියයි.
4. යම් මහණෙක් මහවතුරෙක් ඉතාදුබල නළමුවා හෙයක් බිඳලන්නාක් සෙයින් (නවවිධ) මානය නිඃශේෂ කොට (රහත් මඟින්) නසාලන්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
5. යම් මහණෙක් මල් නෙළන්නකු දිඹුල්රුක්හි මල් නොලබන්නාක් මෙන් සෙයින් (කාමාදි) භවයෙහි සාරයක් නොලබන්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
6. යම් මහණක්හුගේ සිත්හි කෝප නැත් ද (ශාශ්වතාදි) ඉතිභවාභවතාව ඉක්මසිටියේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
7. යම් මහණහුක් විසින් (කාමාදි) විතර්‍කයෝ නසන ලද්දාහු වෙත් ද, සිය සතන්හි එ හැම විතර්‍කයෝ මොනොවට සිඳින ලද්දාහු වෙත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
8. යම් මහණෙක් (අත්‍යාරබ්ධවීර්‍ය්‍ය වශයෙන්) අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද (තෘෂ්ණාදි) මෙ හැම ප්‍රපඤ්චය සමතික්‍රමණ කෙළේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
9. යම් මහණෙක් අවකාශලෝකයෙහි ලා මෙ හැම විතථ යයි දැන අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
10. යම් මහණෙක් මෙ හැම විතථ යයි දැන පහවගිය රාග ඇත්තේ අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
11. යම් මහණෙක් මෙ හැම විතථ යයි දැන පහවගිය ලෝභ ඇත්තේ අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
12. යම් මහණෙක් (අත්‍යාරබ්ධවීර්‍ය්‍ය වශයෙන්) අතිධාවන නො කරන්නේ (කුසීතභාවයෙහි වැටෙමින්) නො පසුබස්නේ මෙ හැම ධර්‍මසමූහය විතථ යැයි දැනැ පැහූ ද්වේෂ ඇත්තේ වේ ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
13. යම් මහණෙක් අතිධාවන නො කරන්නේ නො පසු බස්නේ මෙ හැම ධර්‍මසමූහය විතථ යැයි දැනැ පහකළ මෝහ ඇත්තේ වේ ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
14. යම් මහණක්හට කිසිදු අනුශය කෙනෙක් නැත් ද, මූල නම් ලත් අකුශලයෝ ද නසන ලද්දාහු වෙත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
15. යම් මහණක්හට (සත්කායසඞ්කාත) අවරයට ඊමට හේතුවන පළමු පළමු උපන් කෙලෙස් නැමැති දරථයෙන් උපන් කිසිදු ක්ලේස කෙනෙක් නැත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
16. යම් මහණක්හට (තෘෂ්ණාසඞ්ඛ්‍යාත) වනථයෙන් උපන් භවබන්‍ධනයට හේතු වන කිසිදු කෙලෙස් කෙනෙක් නැත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
17. යම් මහණෙක් පඤ්චනීවරණයන් ප්‍රහාණ කොට නිදුක් වූයේ වේ ද, (මාර්‍ගඥානයෙන්) තරණය කළ සැක ඇතියේ වේ ද, පැහූ රාගාදී හුල් ඇතියේ වේද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
උරග සූත්‍රය නිමි.
ධනිය සූත්‍රය
18. (ධනියගොපලු මෙසේ කී:) මම සිදු කළ බත්කිස ඇතියෙම්, දෝනා ලද කිරි ඇතියෙම්, ‘මහී’ ගංතෙර සමීපයෙහි අනුකූලපරිජනයා සමඟ වාස ඇතියෙම් වෙමි. වාසගෘහය (තෘණපර්‍ණච්ඡදනයෙන්) සෙවෙණි කරණ ලදී. ගිනි දල්වන ලදී. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි වස්ව.
19. (බුදුහු මෙසේ වදාළෝ:) මම නොකිපෙන සැහැවි ඇතියෙම්, පහ වැ ගිය සිත්කණුපස ඇතියෙම්, ‘මහී’ ගංතෙර සමීපයෙහි ඒකරාත්‍රිවාස ඇතියෙම් වෙමි. (ආත්මභාවසඞ්ඛ්‍යාත) කුටිය (කෙලෙස්සියන් නැතියෙන්) විවෘත වියැ. (රාගාදී) ගිනි සන්හින. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි වස්ව.
20. (ධනියගොපලු මෙසේ කී:) කණමැස්සන් හා මදුරුවෝ (මෙහි) නැත. තණ නැඟි දෙණිකඩ බිමෙහි ගෙරි හී තණ කති. (ඔහු) අහසින් ආ වැසි ද ඉවසත්. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි එළව.
21. (බුදුහු මෙසේ වදාළහ:) මොනොවට සකස් කළ පසුර බැඳ නිමවන ලදී. චතුරෝඝ තරණය කොට උත්තීර්‍ණ වූයෙම් පරතෙර ගියෙම් වෙමි. (දැන්) පසුරෙන් වැඩෙක් නැති. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි එළව.
22. (ධනිය ගොපලු මෙසේ කී:) මාගේ ගෙවිලිය කීකරු යැ (ආහාරාදීන්) ලොල් නො වූ යැ. දීර්‍ඝරාත්‍රියෙහි සමගි වාස ඇත්තී මනාපචාරී වූ යැ. ඇයගේ කිසි දූ පවක් නො අසමි. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.
23. (බුදුහු මෙසේ වදාළෝ:) මාගේ සිත වසඟ විය. (කෙලෙසුන් කෙරෙන්) මිදින, දීර්‍ඝරාත්‍රියෙහි පරිභාවිත විය, මොනොවට දැමුනේ විය. මාගේ පවෙක් නම් නැත. මේඝය ඉදින් කැමැතියෙහි නම් වර්‍ෂණය කර.
24. (ධනියගෝපාල මෙසේ කී:) මම සිය වැටුපින් පුස්නා ලද්දෙමි. මාගේ පුත්‍රයෝ ද (මා හා) සන්නිහිත වූවාහු නිරාබාධයහ. උන්ගේ කිසිදු පවක් නො අසමි. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.
25. (බුදුහු මෙසේ වදාළෝ:) මම කිසිවක් හට බැළයෙකිම් නො වෙමි. මුළුලොව්හි මිදීගිය බැළමෙහෙයෙන් හැසිරෙමි. බැළයෙන් (මට) වැඩෙක් නැති. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.
26. (ධනියගෝපාල මෙසේ කී:) මට නහඹු වස්සෝ ඇත. දෙනගේ කිරි බොන වස්සෝ ද ඇත. ගැබිනි දෙන්නු ද ඇත. ප්‍රවේණි ඝටනාවට නිසි දෙන්නු ද ඇත. මේ ගවමඬලෙහි ගවම්පති වෘෂභයෝ ද ඇත. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.
27. (බුදුහු මෙසේ වදාළෝ:) මට නහඹු වස්සෝ නැත. දෙනගේ කිරි බොන වස්සෝ ද නැත. ගැබිනි දෙන්නු ද නැත. ප්‍රවේණි ඝටනා කරන දෙන්නු ද නැත. මෙහි ගවම්පති වෘෂභයෝ ද නැත. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.
28. (ධනියගෝපාල මෙසේ කී:) නො සැලෙන ටැම්හු සිටුනා ලදහ. මුදුතණමුවා මනාසටහන් ඇති අලුත් දාමයෝ ඇත. කිරිබොන නහඹු වස්සෝ ද එය නොසිඳියහෙති. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.
29. (බුදුහු මෙසේ වදාළහ:) බන්‍ධනයෙන් සිඳ යන වෘෂභයකු සෙයින් ද පූතිලතාවක් කඩා යන ඇතකු සෙයින් ද මම යළිත් ගර්‍භශයනයට නො පැමිණෙමි. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි වස්ව.
30. එකෙණෙහිම මැ වළ හා ගොඩ හා පුරවමින් මහමේ (වැසි) වට. වස්නා වැසිහඬ අසා ධනිය ගෝපාල මෙ කරුණ කී:
31. යම් අපි භාග්‍යවතුන් වහන්සේ දක්මෝ ද (එයින්) අපට අනල්ප වූ ලාභයෙක් මැ යැ. භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ සරණ කොට යම්හ. මහා මුනි වූ භාග්‍යවතුන් වහන්ස, නුඹවහන්සේ අපට ශාස්තෘ වන සේක්වා.
32. ගෝපිය ද මම ද කීකරු වැ සුගතයන් වහන්සේ වෙත, බඹසර වස් වසම්හ. ජාතිමරණයාගේ පාරයට යන්නමෝ වම්හ. දුක් කෙළවර කරන්නමෝ වම්හ.
33. (පවිටු මර මෙසේ කී:) පුතුන් ඇතියේ පුතුන් හේතු කොටගෙන සතුටු වෙයි. ගවහිමි ගවයන් හේතු කොටගෙන එසේ මැ සතුටු වෙයි. මිනිසාට උපධීහු මැ නන්‍දන වෙති. යමෙක් උපධි රහිත වූයේ ද හේ නන්‍දන නො කෙරේ.
34. (බුදුහු මෙසේ වදාළෝ:) පුතුන් ඇතියේ පුතුන් හේතු කොටගෙන ශෝක කෙරෙයි. ගවහිමි ගවයන් හේතු කොටගෙන එසෙයින් මැ ශෝක කෙරේ. මිනිසාට උපධීහු මැ සෝචනාවෝ යැ. යමෙක් උපධි රහිත වූයේ ද හේ ශෝක නො කෙරේ මැ යි.
ධනිය සූත්‍රය නිමි.
ඛග්ගවිසාණ සූත්‍රය
35. සියලු සතුන් කෙරෙහි (කාය, වාක්, මනස්) දණ්ඩය හැරැපියා ඒ සතුන් කෙරෙන් අන්‍යතර එකකුදු නොපෙළනුයේ පුතකුදු නො පතන්නේ යැ. ‘යහළුවකු පතන්නේ යැ’ යනු කොයින් ලැබේ ද, කගවෙහෙණ හඟක් බඳු වූයේ එකලා වැ හැසිරෙන්නේ යැ.
36. හටගත් (දර්‍ශනාදී) සංසර්‍ග ඇතියහුට බලවත් ස්නේහයෝ උපදනාහ. මේ (ශෝකාදි) දුක ස්නේහ පරම්පරානුගත වැ උපදනේ යැ. ස්නේහයෙන් උපන් ආදීනව දකිමින් කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ යැ.
37. සුහෘද්මිත්‍රයන්ට අනුකම්පා කෙරෙමින් පිළිබඳ සිතැති තැනැත්තේ (ත්‍රිවි) අර්‍ත්‍ථය නසාලයි. සන්‍ථවයෙහි ඇති තෙල බිය දක්මින් කගවෙහෙණහඟ බඳු වූයේ එකලා වැ හැසිරෙන්නේ යැ.
38. පුතුන් කෙරෙහි ද අඹුවන් කෙරෙහි ද යම් අපේක්‍ෂායෙක් ඇද්ද, ඒ (හුණ ළැහැබෙක්හි) හිවීගිය මහ හුණගසක් වැන්න. මම් එහි නො ලැගෙන හුණකිළිලක් සෙයින් කගමුවහඟ බඳු වී එකලා වැ හැසිරෙන්නේ යැ.
39. යම් පරිදි වෙනෙහි තිත්මුවා නො බැඳුනේ ගොදුරු පිණිස රිසියෙන් තැනෙක යේ ද එපරිදි නුවණැති මිනිසා ස්වෛරීභාවය පතනුයේ කගවෙහෙණහඟක් බඳු වූයේ එකලා වැ හැසිරෙන්නේ යැ.
40. යහළුවන් මැද වසනුවහට (දිවාශයන සඞ්ඛ්‍යාත) වාසයෙහි දු (මහාඋපස්ථාන සඞ්ඛ්‍යාත) ස්ථානයෙහි දු ගමනයෙහි දු චාරිකායෙහිදු (මේ අසව, මේ දෙව ආදී) ඇමතීම් ඇත. (කාමීන් විසින්) නො ඉස්නා පැවිද්ද ද ස්වෛරීභාවය ද පතනුයෙම් කගවෙහෙණහඟක් බඳු වූයෙම් එකලා වැ හැසිරෙන්නෙමි.
41. යහළුවන් මැද ක්‍රීඩා හා පඤ්චකාමගුණරතිය හා වෙයි. දරුවන් කෙරෙහි විපුල ප්‍රේමය වෙයි. (එයින් හටගන්නා) විප්‍රයෝග දුඃඛය වෙසෙසින් පිළිකුල් කරනුයෙම්. කගවෙහෙණහඟක් බඳු වූයෙම් එකලා වැ හැසිරෙන්නෙමි.
42. ඉතරීතර (කුදුමහත්) ප්‍රත්‍යයයෙන් සතුටු වනුයේ සතර බඹවිහරණයෙන් පතළ සිවුදිග ඇතියේ ප්‍රතිඝ රහිත වූයේ ද වෙයි. උවදුරු සහනුයේ තැතිගැනුම් නැත්තේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
43. ඇතැම් පැවිද්දෝ ද යළි ගිහිගේ වැසි ගෘහස්ථයෝ ද සඞ්ග්‍රහ කිරීමට දුෂ්කර වෙති. පරපුත්‍රයන් කෙරෙහි අල්පොත්සුක වැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
44. ගිලිහුණු පත්‍ර ඇති කොබෝලීල රුකක් සෙයින් (කෙහෙරවුළු ඈ) ගිහීව්‍යඤ්ජනයන් බැහැර කොට මාර්‍ගවීර්‍ය්‍යය ඇත්තේ ගිහී (කාම) බන්‍ධනයන් (මාර්‍ගඥානයෙන්) සිඳපියා කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
45. ඉදින් (කිසුණු පිරියම් ආදියෙහි නිපුණ වූ සාධු (අර්‍පණඋපචාර) විහරණ ඇති ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායයකු ලබන්නේ නම් හැම උවදුරු මැඬලා එයින් තුටු වැ සිහි ඇති වැ හැසිරෙන්නේ යැ.
46. ඉදින් නිපුණ වූ සාධුවිහාර ඇති වූ ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායයකු නොලබා නම් දිනූරට හැරපියා එකලා වැ රජක්හු සෙයින් බාලයා හැරපියා කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
47. ඒකාන්තයෙන් සහාය සම්පත් පසසම්හ. ශ්‍රේෂ්ඨ වූ සමවූ සහාය යෝ සෙවියයුත්තාහ. නිරවද්‍ය භෝජන (ආජීව) ඇත්තේ තුලුන් නො ලැබැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
48. තරහල් පුතක්හු විසින් මැනැවින් නිමවනලද දිලියෙනසුලු රන්වලය දෙක අත්හි ගැටෙනු දැක කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ යැ.
49. මෙසෙයින් (ගණවාස ඇතිකල) මට දෙවැන්නකු සමග වාගභිලාප (දෙතිස් කථා) වන්නේ යැ. (ඔහු කෙරෙහි) ඇලීම හෝ වන්නේ යැ. ආයතිභවයෙහි තෙල බිය දක්මින් කගවෙහෙණහඟක් බඳු වැ එකලා වැ හැසිරෙන්නෙමි.
50. විසිතුරු වූ මියුරු වූ (අඳබල් පුහුදුනන් ගේ) සිත් අලවන (වස්තු ක්ලේශ) කාමයෝ විවිධස්වරූපයෙන් සිත් අලළති. කාමගුණයෙහි ආදීනව දැක කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙම්.
51. තෙල (ආගන්තුක ව්‍යසනහේතුවූ) රතිය ද ගණ්ඩය ද උපද්‍රවය ද රෝගය ද (ඇතුළත පෙළන) ශල්‍යය ද භය ද කාමයට නමෙකි. කාමගුණයෙහි තෙල ආදීනව දැක කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ සරනෙම්.
52. සිහිලස ද උණුසුම ද සා පවස් ද වා අවු මැසි මදුරුවන් ද යන තෙල හැම මැඩැගෙණ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙම්.
53. ඇත්මුළ හැරැපියා අරන්හි සිත්සේ වෙසෙන, මොනොවට වැඩුනු කඳ ඇති, පද්මකූල සම්භූත වූ, (වීර්‍ය්‍ය ජව බලාදියෙන්) මහත් වූ ඇත් රජක්හු සෙයින් හටගත් අශෛක්‍ෂ ශීලස්කන්‍ධාදිය ඇතියෙම් පද්මසදෘශ බෝධ්‍යඞ්ග ඇතියෙම් (හෝ ආර්‍ය්‍යජාති ඇතියෙම්) උදාර වූ ශීල සමාධි ප්‍රඥා ඇතියෙම් ගණයා හැරපියා අරනෙහි සිත්සේ වාස කරනුයෙම් කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙම්.
54. යමෙක් යම් කරුණෙකින් සාමයිකවිමුක්තිය (ලෞකික සමාපත්ති) අධිගම කෙරේ නම් ගණසඞ්ගණිකායේහි ඇලුනහුට ඒ අස්ථානය යන ආදිත්‍ය බන්‍ධූහු (පසේ බුදුන්) ගේ වචනය අසා කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ සරනෙම්.
55. දෘෂ්ටිවිශූකයන් (සතිකායදෘෂ්ටිය හෝ දෙසැට මිස දිටු) ශ්‍රෝතආපත්තිමාර්‍ගසඞ්ඛ්‍යාත දර්‍ශනයෙන් ඉක්මවූයෙම් (සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත) නියාමයට පැමිණියෙම් පිළිලදශේෂමාර්‍ග ඇතියෙම් උපන් ප්‍රත්‍යකබෝධ ඥාන ඇතියෙම් වෙමි. එහෙයින් අනෙකක්හු විසින් සත්‍යාවබෝධයට නො පැමිණවියයුතුවූයෙම් කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නෙමි.
56. (රසතෘෂ්ණායෙහි) ලොල් නො වූයෙම්, කුහක නො වූයෙම් (මියුරුරස බුදිනු කැමැති) පවස් නැතියෙම්, මකු නො වූයෙම්, නසාලූ රාගාදි කෙලෙස් කසට හා මෝහ ඇතියෙම්. සවුලොව්හි තෘෂ්ණා නැති වැ කගමුවහඟක් සෙයින් එකලා ව හැසිරෙන්නෙමි.
57. අනර්‍ත්‍ථ එළවන කායදුශ්චරිතාදි විෂමයෙහි බැසගත් පාපමිත්‍රයන් දුරලන්නේ ය. මිසදිටුහි ලැගුනු පස්කම්ගුණෙහි වුටුහු සිත් ඇතියහු නො සෙවුනේ ය. කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
58. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ උදාර වු ප්‍රතිභාන ඇති, මිත්‍රයකු භජනය කරන්නේ ය. (ආත්මාර්‍ත්‍ථාදී) අර්‍ත්‍ථයන් දැනැ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
59. ලොව්හි කායිකවාචසික ක්‍රීඩා ද පඤ්චකාමගුණික රතිය ද වස්තුකාමසුඛය ද (සාර විසින්) නො ගැණ එය අපේක්‍ෂා නො කරන්නේ විභූෂණකරෙනයෙන් දුරුවූයේ සත්‍යවචන කියන සුලු වූයේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
60. අඹුදරුවන් ද මාපියන් ද ධනය ද ධාන්‍ය ද බන්‍ධුසමූහයද යන කාමයන් ස්වකීය අවධිවශයෙන් හැරපියා කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
61. “තෙල පඤ්චකාමගුණය සඞ්ගයෙකි, මෙහි සෞඛ්‍යය අල්ප යැ, අල්පාස්වාද ඇත්තේ ය. මෙහි දුක් බොහෝ ය. තෙල බිලියෙකැ” යි දැනැ නුවණැතියේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
62. දියෙහි දැල බිඳගෙණ ගිය මසෙකු සෙයින් සංයෝජනයන් පලා දැවුනු තැනට පෙරළා නො එන ගින්නක් සෙයින් (කෙලෙසුන් කරා) නැවැත නො එනුයේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
63. යට බලා හෙලූ ඇස් ඇතියේ නො ද පාද ලෝල වූයේ ගෝපනය කළ ඉඳුරන් ඇතියේ රක්නා ලද මනස ඇතියේ, කෙලෙසුන් විසින් නො තෙත් වූයේ, (කෙලෙස් ගින්නෙන්) නො දැවුනේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
64. (කෙස්රවුළු ඈ) ගිහීව්‍යඤ්ජනයන් හැරපියා සැදුම්ලත් පත්‍ර ඇති පරසතු රුකක්සෙයින් හැඳපෙරවූ කහවත් ඇතියේ අබිනික්මන් කොට කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
65. රසයෙහි ගිජුබව නො කරණුයේ රසවිසාහි ලොග් නො වූයේ, අනෙකක්හු නො පුස්නාසුලුයේ, ගෙපිළිවෙලින් පිඬුසිඟා වඩනුයේ (කෙලෙස් විසින්) කුගයෙහි නොලැගි සිත් ඇතියේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
66. චිත්තයට ආවරණ වූ පඤ්චනීවරණයන් හැරපියා (අභිධ්‍යාදි) හැම උපක්ලේශයන් විවසුන්-මගින් දුරු කොට (දෘෂ්ටිනිඃශ්‍රයෙන්) අඃනිශ්‍රිත වූයේ (ත්‍රෛධාතුකවූ) ස්නේහදෝෂය සිඳපියා, කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
67. කායික වූ සුඛය ද දුඃඛය ද පිටු දැක පළමු මැ චෛතසික සොම්නස්, දොම්නස් ද හැරපියා චතුර්‍ත්‍ථධ්‍යාන උපේක්‍ෂාව ද (පඤ්ච නීවරණයෙන්) විශුද්ධ වූ චිත්තශමථය ද ලැබ, කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
68. පරමාර්‍ත්‍ථ (නිර්‍වාණ) යට පැමිණීම සඳහා රුකුළු වැර ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ප්‍රධන්වීර්‍ය්‍ය ඇතියේ ස්ථිර වූ ඥානබලයට පැමිණියේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
69. (කායවිවේක සඞ්ඛ්‍යාත) පිළිසලන ද (චිත්තවිවේක සඞ්ඛ්‍යාත) ධ්‍යානය ද නො හරනුයේ, නිරතුරු (විදර්‍ශනෝපග වූ) පඤ්චස්කන්‍ධාදී ධර්‍මයන්හි අනුධර්‍මචාරී වූයේ, භවත්‍රයෙහි ආදීනව දන්නේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
70. තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය පතනුයේ නො පමා වූයේ කෙළතොලු නො වූයේ ආගමධර වූයේ, ස්මෘතිමත් වූයේ (ධර්මොපපරීක්‍ෂායෙන්) පරිඥාත ධර්‍ම ඇතියේ, අරිමගින නියාමයට පැමිණියේ සම්‍යක්ප්‍රන්වීර්‍ය්‍ය ඇතියේ, කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
71. ශබ්දයෙහි කේශරසිංහයකු සෙයින් (අනිත්‍යාදියෙහි) ත්‍රස්ත නො වනුයේ දැලෙහි වාතය සෙයින් ( ස්කන්‍ධාධාත්‍වායතනාදියෙහි ) නො ලැගෙනුයේ ජලය හා මුසු නොවන පියුමක් සෙයින් සර්‍වභවභෝගලෝභයෙන් නො තැවැරෙනුයේ කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
72. මෘගරාජන් වූ කේශරසිංහ තෙම දළ බල කොට ඇතියේ යම්සේ ලා හෙලා හැසිරේ ද (කායබලයෙන්) තේජසින් සතුරන් අභිභවා හැසිරේ ද එසෙයින් වනයෙහි දුරැසෙනසුන් සෙවුනේ ය. කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
73. (හිතසුඛොපනයනකාමතා සඞ්ඛ්‍යාත) මෛත්‍රිය ද (සුඛදුඃඛාධ්‍යුපේක්‍ෂණතා සඞ්ඛ්‍යාත) උපේක්‍ෂාව ද (අහිතදුඃඛාපනයනකාමතා සඞ්ඛ්‍යාත) කරුණාව ද (හිතසුඛාවිප්‍රයෝගකම්‍යතා සඞ්ඛ්‍යාත) මුදිතාව ද යන චතුර්විධ විමුක්තිය යුක්තප්‍රාප්ත කාලයෙහි සෙවුනේ හැම සත්ත්‍වලෝකයා හා අවිරුද්ධ වෙමින් කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
74. රාගය ද ද්වේෂය ද මෝහය ද ප්‍රහීණ කොට දශසංයෝජනයන් ප්‍රදාලනය කොට (ච්‍යුතිචිත්තපරිභේද සඞ්ඛ්‍යාත) ජීවිතක්‍ෂයෙහි ත්‍රස්ත නො වනුයේ කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
75. අර්‍ත්‍ථය කරුණු කොට ගෙන ඇත්තාහු භජනය කෙරෙති. සේවනය ද කෙරෙති. (අර්‍ත්‍ථප්‍රතිලාභ කාරණයෙන්) නිෂ්කාරණ වූ ආර්‍ය්‍යමිත්‍රයෝ දුලබ වෙති. ආත්මාර්‍ත්‍ථයෙහි ප්‍රඥා ඇති මනුෂ්‍යයෝ අපවිත්‍රවූ කායකර්‍මාදියෙන් යුක්ත වෙති. එහෙයින් කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ යි.
ඛග්ගවිසාණ සූත්‍රය නිමි.
කසීභාරද්වාජ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ මගධදනවුයෙහි දක්ඛිණාගිරියෙහි ‘ඒකනාළා’ නම් බමුණුගම්හි වැඩවසනසේක. එකල්හි කසීභාරද්වාජ නම් බමුණු විසින් වප්දවස්හි පන්සියයක් පමණ නගුල් යොදනලද වෙයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරුගෙණ කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ කර්‍මාන්තස්ථානය කරා වැඩිසේක. එසමයෙහි කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ බත්පිරිවිසීම ඇත. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බිදැ හිඳුනාතැන් කරා වැඩිසේක. වැඩැ එකත්පසෙක සිටිසේක. කසීභාරද්වාජ බමුණා පිඬු පිණිස වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දිටී. දැකැ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය:
“මහණ මම සී සාමි, වපුරමි. සී සා, වපුට වළද කෙරෙමි. මහණ, තොයිත් සී සා, වපුර. සී සා වපුට වළඳව”යි
“බමුණ, මමත් සී සාමි, බිජුවට වපුරමි. සී සා වපුට වළඳමි”යි.
“අපි භවත් ගෞතමයන්ගේ වියගස වේවයි, නගුල් වේවයි, හීවැල් වේවයි, කෙවිට වේවයි, ගෙරිසරක් වේවයි නොදක්මහ. එතෙකුදුවූවත් බවත් ගෞතම මෙසේ කියයි; මම ද බමුණ සී සාමි, වපුරමි, සී සා වපුට වළඳමි” ඉක්බිති කසීභාරද්වාජ බමුණු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කී:
76. ‘(තෙපි)‘කර්‍ෂකයෙමි’යි ප්‍රතිඥා කරව. තොපගේ කෘෂිභාණ්ඩ නො ද දකුම්හ. යම් පරිද්දෙකින් තොපගේ කෘෂිභාණ්ඩ දනුමෝ නම්, එපරිද්දෙන් පුළුවුස්නාලද තෙපි අපට කෘෂිභාණ්ඩ කියව’යි.
77. මාගේ ශ්‍රද්ධාව බිජුවට වෙයි. තපස වැසිදහර වෙයි, ප්‍රඥාව විය හා නගුල් වෙයි. හිරිය නගුලිස් වෙයි. චිත්තය වියරැහැන් වෙයි. ස්මෘතිය මාගේ හීවැල හා කෙවිට යි.
78. (ත්‍රිවිධ) කායසුචරිතයෙන් ගුප්තයෙමි. (චතුර්විධ) වාක්සුචරිතයෙන් ගුප්තයෙමි. සිවුපසෙහි (භෝජනයෙහි) දු (මාත්‍රඥතායෙන්) සංයතයෙමි. අවිසංවාදන සඞ්ඛ්‍යාත සත්‍යයෙන් කෑම්පීම් කෙරෙමි. (නිවනෙහි ඇලෙන හෙයින් අර්‍හත් ඵල සඞ්ඛ්‍යාත) සුරතභාවය මාගේ විය මිදීම වෙයි.
79. (නිර්‍වාණසඞ්ඛ්‍යාත) යම් ක්‍ෂේමයකට ගොස් ශෝක නොකෙරේ නම් ඒ යෝගක්‍ෂේම (නිර්‍වාණ) ය කරා නො නවත්වමින් යන සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යය මාගේ ධුරවාහක වෙයි.
80. මෙසෙයින් (මා විසින් ) තෙල සීසෑම කරන ලදී. ඒ කෘෂිකර්‍මය අමා ඵල ඇති. තෙල ඇත. තෙල කෘෂිකර්‍මය කොට සී සා හැම දුකින් මිදේය”යි.