Peṭakopadesa

Piṭaka Disclosure

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1341 segments

පෙන්වන කොටස් 1-100 න් 1341

පෙටකෝපදේශ
භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
1. ප්‍රථම භූමි - අරියසච්චප්පකාසනා
පරමාර්‍ත්‍ථදර්ශී වූ ශීලාදි ගුණයන්හි පාරමීප්‍රාප්ත වූ සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා.
1. ශ්‍රාවකයාගේ සම්‍යග්දෘෂ්ටිය ඉපදීම පිණිස හෙතූහු දෙදෙනෙක් වෙති. ප්‍රත්‍යයෝ දෙදෙනෙක් වෙත් : චතුස්සත්‍ය ඝටිත වූ පරතෝඝෝසය ද අධ්‍යාත්මයෙහි වූ යෝනිසෝ මනසිකාරය ද යන දෙක යි.
2. එහි පරතෝඝෝසය කවරෙ යත්: මෙරමාගේ වශයෙන් යම් දේශනායෙක් අවවාදයෙක් අනුශාසනායෙක් සත්‍යකථායෙක් සත්‍යානුලෝම ධර්‍මයෙක් වේ ද එය යි. සත්‍යයෝ සතර දෙනෙකි : දුක යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ග යි. මේ සතර සත්‍යයන්ගේ යම් දෙසුමෙක් සැසැඳීමෙක් විස්තර කිරීමෙක් විභාග කිරීමෙක් ප්‍රකට කිරීමෙක් ප්‍රකාශ කිරීමෙක් වේ ද, මේ සත්‍යානුලෝම වූ ඝෝෂ යයි කියනු ලැබේ යි.
3. එහි අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරය කවරෙ යත්: අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාර නම් : යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ ද මේ අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාර යී කියනු ලැබේ.
යම් සේ පුරුෂයෙක් තෙත පහවැගිය වියළි කාෂ්ඨයෙක මතුයෙහි වියළි උත්තරාරණියකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසු වෙයි, කවර හෙයින යත් ගිනි ඉපැදවීමට කාරණ වන හෙයිනි. එපරිදි මැ හෙ දුක්ඛ–සමුදය–නිරෝධ–මග්ගයන්ගේ අවිපරීත ධර්‍මදේශනාව මෙනෙහි කෙරෙයි. මේ අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාර’යි කියනු ලැබේ.
4. පෙර නො ඇසු නො ඇසුවිරූ තුන් උපමා කෙනෙක් වටහති: “කාමයන්හි අවීතරාග වූ යම් කිසිවෙක් ... එහි උපමා දෙකක් අයෝනිසෝ මනසිකාරයෙනැයි කියැ යුතු ය. පශ්චිම උපමා ව යෝනිසෝ මනසිකාරය කියන ලදු.
එහි යම් පරතෝඝෝසයෙකුත් අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරයෙකුත් වේ ද, මේ දහම්හු දෙදෙන ප්‍රත්‍යය වෙති. පරතෝඝෝසයෙන් යම් ප්‍රඥාවක් උපදී ද මේ සුතමයී පඤ්ඤා’යි කියනු ලැබේ. අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරයෙන් යම් ප්‍රඥාවක් උපදී ද මේ චින්තාමයී පඤ්ඤා’ යයි කියනු ලැබේ. මේ ප්‍රඥා දෙක දත යුතු යැ. පූර්‍ව වූ ප්‍රත්‍යය දෙක ද දතයුතු යි. මෙසේ ශ්‍රාවකයාගේ සම්මාදිට්ඨිය ඉපදීම පිණිස මේ හේතු දෙක ප්‍රත්‍යය දෙක වෙත්.
5. එහි පරතෝ ඝෝස වූ සත්‍යානුසන්‍ධි ඇති දේශිතයාගේ අර්‍ත්‍ථ නො දන්නේ අත්‍ථපටිසංවේදී (පෙළ අරුත් දන්නේ) වන්නේය යන තෙල කරුණ නො වේ. නො ද අත්‍ථපටිසංවේදී වූයේ නුවණින් මෙනෙහිකරන්නේය යන තෙල කරුණ නො වේ. පරතෝ ඝෝස වූ සත්‍යානුසන්‍ධි ඇති දේශිතයාගේ අරුත් දන්නේ අත්‍ථපටිසංවේදී වෙයි යන තෙල කරුණ ඇත. පෙළ අරුත් දන්නේ නුවණින් මෙනෙහි කරන්නේය යන තෙල කරුණ ඇත. ශ්‍රාවකයාගේ නිර්‍ය්‍යාණය සඳහා තෙල හේතු යැ තෙල අරමුණු යැ තෙල උපාය වේ. අන් උපායෙක් නැති.
6. ඒ උපාය සූත්‍රයාගේ අරුත් දැනීම සමග නො ද යෙදුණේ යැ ඝෝසානුයෝගය සමග ද නො යෙදුණේ යැ. පරතෝ ඝෝසයාගේ අරුත් නො දන්නහු විසින් මිනිස් දහමින් මතුයෙහි ආර්‍ය්‍ය භාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනය ලබන්නට නො ද හැකි වෙයි. එහෙයින් කෙලෙසුන් නිවනු රිසි වූ ශ්‍රැතමයඥාන ඇතියහු විසින් අර්‍ත්‍ථ පර්‍ය්‍යෙෂණ කළ යුතු ය. එහි පර්‍ය්‍යෙෂණයට මේ අනුපිළිවෙළ වෙයි. සොළොස් භාරයෝ යැ, පඤ්ච නය යැ අටළොස් මූලපදයෝ යි.
එහි මේ අනුගීති යැ:
(1) නෙත්ති සංඛ්‍යාත අවිපරීත සූත්‍රාර්‍ත්‍ථාවබෝධයට කාරණ වූ දේසනාදි සොළොස් භාරයෝ යැ, පර්‍ය්‍යාප්ති ශාසනයාගේ අර්‍ත්‍ථ පර්‍ය්‍යෙෂණ කරන නන්‍දියාවට්ටාදි පස් නය යැ, කුශලාකුශල විසින් භේද වූ අටළොස් මූලපදයෝ යැ යන මොහු කාත්‍යායන ගෝත්‍ර ඇති මහතෙරුන් විසින් දක්වන ලද්දාහු යැ.
7. එහි සොළොස් භාරයෝ කවරහ :
ආස්වාදාදිය විභාග කිරීම ලක්‍ෂණ කොට ඇති ‘දේශනා’ හාර යැ, සූත්‍රයෙහි එන පද ප්‍රශ්නාදිය විමසීම ලක්‍ෂණ වූ ‘විචය’ හාර යැ, සූත්‍රාගත අර්‍ත්‍ථ ව්‍යඤ්ජනයන්ගේ යුක්තිඅයුක්ති විචාරණ ලක්‍ෂණ වූ ‘යුක්ති’ හාර යැ, සූත්‍රාගත කුශලාකුශලාදි ධර්‍මයන්ගේ පදට්ඨාන (–ආසන්න කාරණ) නිශ්චය කිරීම ලක්‍ෂණ වූ ‘පදට්ඨාන’ හාර යැ, සමාන ලක්‍ෂණ ධර්‍මයන් නහා දක්වන ‘ලක්ඛණ’ හාර යැ. ව්‍යඤ්ජනද්වාරයෙන් නිර්වචනාදිය දැක්වීම ලක්‍ෂණ වූ ‘චතුබ්‍යුහ’ හාර යැ, සභාගවිෂභාග ධර්‍මයන් ආවර්‍තන ලක්‍ෂණ වූ ‘ආවත්ත’ හාර යැ, සංකිලේස වෝදාන ධර්‍මයන් විභාගකිරීම ලක්‍ෂණ වූ ‘විභක්ති’ හාර යැ, කුශලාකුශල ධර්‍මයන්ට ප්‍රතිපක්‍ෂ වශයෙන් පරිවර්‍තන ලක්‍ෂණ වූ ‘පරිවත්තන’ හාර යැ, පර්‍ය්‍යායශබ්ද දැක්වීම ලක්‍ෂණ කොට ඇති ‘වෙවචන’ හාර යැ, එක් ධර්‍මාර්‍ත්‍ථයක් විවිධ ප්‍රඥප්තීන් විභාවනය ලක්‍ෂණ වූ ‘පඤ්ඤත්ති’ හාර යැ. ප්‍රතීත්‍ය සමුත්පාදාදිද්වාරයෙන් සූත්‍රාර්‍ත්‍ථයාගේ අවතරණ ලක්‍ෂණ වූ ‘ඕතරණ’ හාර යැ, සූත්‍රාගත පදපදාර්‍ත්‍ථාදීන්ගේ ශෝධනය ලක්‍ෂණ වූ ‘සෝධන’ හාර යැ. සූත්‍රාගතධර්‍මයන්ගේ සාමාන්‍ය විශේෂඥ නිර්ධාරණ ලක්‍ෂණ වූ ‘අධිට්ඨාන’ හාර යැ, ධර්‍මයන්ගේ හේතුප්‍රත්‍යය නිර්ධාරණ ලක්සණ ‘පරික්ඛාර’ හාර යැ. පදට්ඨානාදි මුඛයෙන් ධර්‍මයන්ගේ සමාරෝපණ ලක්‍ෂණ වූ ‘සමාරෝපණ’ හාර යැ යන මොහු සෝළය හාරයෝ යි:
ඒ හාරෝද්දේසයෙහි සුඛග්‍රහණ පිණිස අනුගිති වෙයි :
2. දේසනා යැ විචය යැ යුක්ති යැ පදට්ඨාන යැ ලක්ඛණ යැ චතුබ්‍යුහ යැ ආවට්ට යැ විභක්ති යැ පරිවත්තන යැ–
3. වෙවචන යැ පඤ්ඤත්ති යැ ඕතරණ යැ සෝධන යැ අධිට්ඨාන යැ පරික්ඛාර යැ සමාරෝපණ යැ යි සොළසහාර වෙත්.
එහි පඤ්ච නය කවරහ: (තෘෂ්ණා අවිද්‍යා දෙකින් සංකිලේස පක්‍ෂයෙහි ද ශමථ විදර්‍ශනා දෙකින් වෝදාන පක්‍ෂයෙහි ද සූත්‍රාර්‍ත්‍ථය සිව්සස් සමග යෙදීමෙන් වර්‍ණනා කරන) ‘නන්‍දියාවට්ට’ නය යැ (අකුශලමූලයෙන් හා කුශලමූලයෙන් සංකිලේස වෝදාන පක්‍ෂයෙහි සූත්‍රාර්‍ත්‍ථ සිව්සස් සමග යොදන) – ‘තිපුක්ඛල’නය යැ. (විපර්‍ය්‍යාසයන්ගෙන් සංකිලේස පක්‍ෂයෙහි ද ඉන්‍ද්‍රියයන්ගෙන් වෝදාන පක්‍ෂයෙහි ද සූත්‍රාර්‍ත්‍ථ සිව්සස් සමග යොදන) ‘සීහවික්කීළිත’ නය යැ (අර්‍ත්‍ථනයත්‍රයට දිශා භූත ධර්‍මයන් විමසන්න) ‘දිසාලෝචන’ නය යැ, දිශාභූත කුශලාකුශලයන්ගේ සමානයන ලක්‍ෂණ වූ) – අංකුස” නය යැ යන මොහු යි.
මේ එහි අනුගීති යැ:
4. සූත්‍රාර්‍ත්‍ථ ප්‍රකාශ කරන පළමුවැනි නන්‍දියාවට්ටනය ද දෙවැනි ‘තිපුක්ඛල’ නය ද තුන්වැනි ‘සීහවික්කීළිත’ නම් නය ද වෙයි.
5. සතරවැනි නය ලක්‍ෂණය ‘දිසාලෝචන’ යයි කීහු, පස්වැන්න ‘අංකුස’ නම් වෙයි. සියල්ල පස් නය කෙනෙක් ආවාහු යි.
එහි අටළොස් මූලපදයෝ කවරහ : අවිජ්ජා යැ තණ්හා යැ ලෝභ යැ දෝස යැ මෝහ යැ සුභසඤ්ඤා යැ සුඛසඤ්ඤා යැ නිව්වසඤ්ඤා යැ අත්තසඤ්ඤා යැ සමථ යැ විපස්සනා යැ අලෝභ යැ අදෝස යැ අමොහ යැ අසුභසඤ්ඤා යැ දුක්ඛසඤ්ඤා යැ අනිච්චසඤ්ඤා යැ අනත්තසඤ්ඤා යි. –මොහු අටළොස් මූලපදයෝ යි. එහි යම් තැනෙක සියලු අකුශලය බැසගෙන සිටී ද ඒ නවපදය අකුශල යැ, යම් තැනෙක සියලු කුශලය බැසගෙන සිටී ද ඒ නව පදය කුශල යි.
සියලු අකුශලය බැසගෙන සිටුනා අකුශල නව පදයෝ කවරහ: අවිජ්ජා ආදි කොට අත්තසඤ්ඤා තෙක් සියලු අකුශලය බැසගෙන සිටුනා මේ නවපදයෝ අකුශලයෝ යැ. සමථය ආදි කොට අනත්තසඤ්ඤා තෙක් සියලු කුශලය බැසගෙන සිටුනා මේ නවපදයෝ කුශලයෝ යි. මේ අටළොස් මූලපදයෝ යි.
එහි මේ අනුගිති යැ:
6. තෘෂ්ණාව ද අවිද්‍යාව ද ලෝභය ද ද්වේෂය ද එසෙයින් මැ මෝහය ද සතර විපර්‍ය්‍යාසයෝ ද යන නව පදයෝ ක්ලේශභූමි වෙති.
7. ශමථය ද විදර්‍ශනා ද තුන් කුශල මූලයෝ ද අශුභ සංඥාදි සතර සතිපට්ඨානයෝ ද යන නව පදයෝ (ශ්‍රද්ධාදි විමුක්තිපරිපාචනීය ඉන්‍ද්‍රිය සමෝසරණස්ථාන හෙයින්) ඉන්‍ද්‍රිය භූමි නම් වෙති.
8. සමථාදි නවපදයෙන් සියලු කුශලපක්‍ෂය ද තණ්හාදි නව පදයෙන් සියලු අකුශල පක්‍ෂය ද යෙදෙයි. තෙල නව මූලපදයෝ අටළොස් මූල පදයෝ වෙති.
මේ අටළොස් මූලපදයන් අතුරෙන් අකුශල වූ යම් නව පද කෙනෙක් ඇද්ද මේ දුක්ඛ සමුදය යැ, කුශල වූ යම් නව පද කෙනෙක් ඇද්ද මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා යැ. මෙසේ සමුදයයාගේ ඵලය ‘දුක්ඛ’ යැ දුක්ඛනිරෝධගාමිනීපටිපදාවගේ ඵලය ‘නිරෝධ’ යි. මේ සතර ආර්‍ය්‍යසත්‍යයෝ භගවත්හු විසින් බරණැස ඉසිපතන මුවළැව්හි දී දෙසන ලදහු.
ඒ සිව් සසුන් කෙරෙහි දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ අපරිමාණ වූ අක්‍ෂර – පද – ව්‍යඤ්ජන – ආකාර – නිරුක්ති – නිර්දේශයෝ, තෙල දුඃඛසංඛ්‍යාත අර්‍ත්‍ථයාගේ මැ සංකාසන – පකා සන – විවරණ – විභජන – උත්තානීකරණ – පඤ්ඤාපනය සඳහා දෙසන ලද්දාහු ය. සියලු සත්‍යයන්ගේ දේශනාව මෙසේ යි. මෙසෙයින් එකෙකි සත්‍යය අපරිමාණ වූ අක්ඛර – පද – ව්‍යඤ්ජන – ආකාර – නිරුක්ති – නිද්දේසයන්ගෙන් පර්‍ය්‍යෙෂණ කළ යුතු යි. යළි එ ද අර්‍ත්‍ථබාහුල්‍යයෙන් අර්‍ත්‍ථය ද ඛ්‍යඤ්ජනබාහුල්‍යයෙන් ඛ්‍යඤ්ජනය ද පර්‍ය්‍යෙෂණ කළ යුතු.
යම් කිසි ශ්‍රමණයෙක් වේවයි බ්‍රාහ්මණයෙක් වේවයි මෙසේ කියා නම්: ‘මම මේ දුඃඛ සත්‍යය හැරපියා අන් දුඃඛ සත්‍යයක් පනවන්නෙමි’යි ඔහුගේ ඒ බස වාග්වස්තුක මැ වන්නේ යැ, පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියැහෙන්නේ යැ. සත්‍යයෝ මෙසේ යි.
යම් රාත්‍රියෙකැ භාග්‍යවත්හු අභිසම්බුද්ධ වූවාහු ද, යම් රාත්‍රියෙකැ අනුත්පාදනිරෝධයෙන් (ග්‍රහණ නො කොට) පිරිනිවි සේක් ද, මේ අතුරෙහි භාග්‍යවත්හු විසින් යම් කිසි සුත්ත – ගෙය්‍ය – වෙය්‍යාකරණ – ගාථා – උදාන – ඉතිවුත්ත – ජාතක – අබ්භුත්ධම්ම – වෙදල්ල යන නවාංග පර්‍ය්‍යාප්තියක් වදාරන ලද ද එ හැම පවත්වන ලද ධර්‍මචක්‍ර යි. භාග්‍යවත් බුදුවරයන්ගේ ධර්‍මදේශනායෙහි ධර්‍ම චක්‍රයෙන් පිටත් කිසිවක් නැති. ඒ ධර්‍ම චක්‍රයාගේ සියලු සූත්‍රය ආර්‍ය්‍යධර්‍මයෙහි ලා පර්‍ය්‍යෙෂණය කළ යුතු යැ. එහි පරිග්‍රහණය සඳහා ආලෝක බඳු වූ මේ සතර ස්ථාවර ධර්‍මයෝ වෙත්:
එහි දුක්ඛ (ආර්‍ය්‍ය සත්‍යය) කවරෙ යත්: ජාතියැ ජරා යැ ව්‍යාධි යැ මරණ යැ සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක් වෙති.
එහි මේ ලක්‍ෂණ නිර්දේශ යැ: ජාතිය පහළවීම ලක්‍ෂණ කොට ඇත්තී යැ. ජරාව පරිපාක (මිහිකිරීම) ලක්‍ෂණ යැ. ව්‍යාධිය දුක්ඛදුක්ඛතාව (ස්වභාවයෙන් දුක්බව) ලක්‍ෂණ කොට ඇත්තේ යැ, මරණය ච්‍යුත වීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, සෝකය ප්‍රියවිප්‍රයෝගය විපරිණාමය යන මෙයින් තැවීම ලක්‍ෂණ යැ, පරිදේවය වැලැපීම ලක්‍ෂණ යැ. දුක්ඛය කාමසම්පීඩන ලක්‍ෂණ යැ, දෝමනස්සය චිත්තසම්පීඩන ලක්‍ෂණ යැ, උපායාසය සිත දවන ලකුණු ඇතියේ යැ, අප්‍රියසම්ප්‍රයෝගය අමනාපය හා සමාගම ලකුණු කොට ඇතියේ යැ, ප්‍රිය විප්‍රයෝගය මනාප වස්තුන්ගේ නැසීම ලකුණු කොට ඇතියේ යැ, අලාභය අභිප්‍රේතය පෙරැළීම ලකුණු කොට ඇත්තේ යැ, පඤ්ච උපාදානස්කන්‍ධයෝ නො දැනීම (නො ඉක්මැවීම) ලක්‍ෂණ කොට ඇත්තාහුය. ජරාමරණය මිහිකිරීම ව්‍යුතවීම ලක්‍ෂණ යැ, චුති–උප්පත්ති ච්‍යුත වීම පහළවීම ලක්‍ෂණ යැ, සමුදය පිළිසඳහි ඉපැදීම ලක්‍ෂණ යැ, නිරෝධ ය සමුදය දුරැලීම ලකුණු කොට ඇත්තේ යැ, මාර්‍ගය අනුසය මුලුසුන් කිරීම ලකුණු කොට ඇත්තේ යි. දුක්ඛය පෙළීම ලකුණු කොට ඇත්තේ යැ. සමුදය ඉපැදීම ලක්‍ෂණ යැ, මාර්‍ගය නෛර්‍ය්‍යාණික ලක්‍ෂණ යැ, නිරෝධය ශාන්ති ලක්‍ෂණ යැ, අනුපාදිසේස නිබ්බානධාතුව අප්‍රතිසන්‍ධි භාවයෙන් නිරුද්ධ වීම ලක්‍ෂණ යි.
දුක්ඛ හා සමුදය ද, දුක හා නිරෝධ ය ද, දුක හා මාර්‍ගය ද, සමුදය හා දුක ද, සමුදය හා නිරෝධ ය ද, සමුදය හා මාර්‍ගය ද, නිරෝධය හා සමුදය ද නිරෝධය හා දුක ද, නිරෝධය හා මාර්‍ගය ද, මාර්‍ගය හා නිරෝධය ද, මාර්‍ගය හා සමුදය ද, මාර්‍ගය හා දුක ද (වදාළ සූත්‍රයෝ වෙත්.)
එහි මේ සූත්‍රයෝ යැ:
එහි ජාති කවර යැ:
1. සත්ත්‍ව තෙමේ යම් එක් රැයෙක (හෝ දවසෙක) පළමු පිළිසඳ කෙණෙහි මව්කුසැ වෙසේ ද, අහසට නැඟුණු අභ්‍රයක් (වලාකුළක්) සෙයින් හේ මරණයට අභිමුඛව යෙයි. මෙසේ යන හෙතෙම (ඇසිල්ලකුදු) නො නවතී.
‘ආනන්‍දය, මේ දානහේතුයෙන් උපප්‍රාප්තීහු අට දෙනෙකි: අංගුත්තරනිකායෙහි සූත්‍ර යි. (අට්ඨකංගුත්තර – දානවග්ග) මේ ජාති යි.
එහි ‘ජරා’ කවර යැ:
2. පැවිද්දට නිසි තුරුණුවියෙහි බඹසරවස් නො වැස ගිහිගෙට නිසි ධනය නො ලැබැ (පමාවූවාහු) මසුන් නැති (දිය සුන්) මඩිත්තෙක මහලු කොස් ලිහිණීන් සෙයින් තැවෙත්.
‘දෙවියන් කෙරෙහි පස් පෙරනිමිති පහළ වෙති.’ (ඉතිවුත්තක චතුත්‍ථවග්ග) මේ ජරා යි.
එහි ‘ව්‍යාධි’, කවරෙ යැ:
3. (මේ ගාථායෙහි ශුද්ධියක් නැත ?)
ගිලන්හු තිදෙනෙක් වෙති” (තිකංගුත්තර) මේ ව්‍යාධි යි.
එහි මරණ කවරෙ යැ:
4. යම්සේ කුම්භකාරයා විසින් කරන ලද කුඩා වූ මහත් වූ ද පැසුණා වූ ද අමු වූ ද යම් මැටි බඳුනෙක් ඇද්ද, ඒ සියල්ල බිඳීම අන්ත කොට ඇත. මිනිසුන්ගේ ජීවිතය ද එබඳු යි.
5. සිඳීගිය දියත්තෙකැ පොපියන මසුන් මෙන් ‘මාගේ’ යැයි ගන්නා ලද කාමවස්තුයෙහි පොපියන සත්ත්‍වයන් බලවු. (මමායිතයෙහි) තෙල ආදීනව දැක මමායන නැතියේ කාමාදි භවයන්හි ඇලුම් නො කෙරෙමින් හැසිරෙන්නේ යැ.
‘උදකප්පන’ සූත්‍රය (දතයුතු) මේ මරණ යි.
එහි ‘සෝක’ කවරෙ යැ:
6. පව් කරන පුද්ගල මෙලොවැ දී (මරණසමයෙහි කර්‍මානුස්මරණයෙන්) ශෝක කෙරෙයි. පරලොවැ දී (විපාකානුභවයෙන්) ශෝක කෙරෙයි. (මෙසේ) දෙලොවැ ම ශෝක කෙරෙයි, හේ තමාගේ කිලිටි කම් දැක ශෝක කෙරෙයි. හේ වෙසෙසින් පෙළෙයි.
තිකංගුත්තරයෙහි තුන් දුශ්චරිත දැක්විය යුතු. මේ ‘සෝක’ යි.
එහි ‘පරිදේව’ කවරෙ යත්:
7. ක්ලේශකාමයෙන් වස්තුකාමයන්හි ගිජු වූ කාමෙෂණයෙහි ඇලුණු ප්‍රමූඨ වූ (නිරයට යන හෙයින් මසුරු බැවින් හෝ) බුද්ධාදීන්ගේ බස් නො ගන්නා හෙයින් අවදානිය වූ විෂම වූ කායකර්‍මාදියෙහි යෙදුණු ඔහු මරණ දුකට පැමිණියාහු “මෙයින් සැවැ පරලොව ගියමෝ කුමක් වන්නමෝ” හො යි පරිදේවනා කෙරෙත්.
තුන් විපත්තීහු දැක්විය යුත්තාහ. මේ ‘පරිදේව’ යි.
එහි ‘දුක්ඛ’ කවරෙ යැ:
8. ගිනිසිළු සමූහයෙන් ගැවැසිගත් දැල්වෙන ගිනි බඳු වූ සියල්ල වෙන වෙන මැ වේදනා උපදවන යහුල් සියයෙක් විය.
“ඒකාන්තයෙන් හේ මහත් පරිදාහයෙකැ” (යනාදි) සංයුත් සඟියැ සච්ච සංයුත්තයෙහි (පපාතවර්‍ගයෙහි) ‘පරිළාහ සූත්‍ර’ යැ.
එහි දෝමනස්ස කවරෙ යැ:
9. කාමාදි සංකල්පයන් විසින් මඩනා ලද ඒ සිවුරළු කෘපණයකු සෙයින් සිතයි. එබඳු වූයේ (උපාධ්‍යායාදි) අන්‍යයන්ගේ බස් අසා මකු වෙයි.
‘මේ තපනීය ධර්‍මයෝ දෙදෙනෙකි’ (දුකඞ්ගුත්තර) මේ ‘දෝමනස්ස’යි
එහි උපායාස කවරෙ යත්:
10. කඹුරන්නේ උදුන යම්සේ ඇතුළත දැවේ ද, පිටත්හි නො දැවේ ද, එපරිද්දෙන් මැ මා සිත ඇතුළත දැවෙයි. පිටත්හි නො දැවේ.
‘අග්නීහු තිදෙනෙකි’ (ඛුද්දකවත්‍ථුවිභංග) මේ උපායාස යි.
එහි අප්පිය සම්පයෝග කවරෙ යැ:
11. යකඩින් මැ නැඟුණු මලය එයින් නැඟී ඒ යකඩය මැ කයි. එසෙයින් පස්විකුන් නුවණ ඉක්මවා (නො පස්විකා) සිවුපසය වළඳන මහණහු ස්වකීය කර්‍මයෝ දුගතියට පමුණුවත්.
“මේ පුද්ගලයෝ දෙදෙන තථාගතයනට අභ්‍යාඛ්‍යාන කෙරෙති. දුකඞ්ගුත්තරයෙහි සූත්‍ර ය. මේ “අප්පියසම්පයෝග” යි.
එහි පියවිප්පයෝග කවරෙ යත්:
12. පුරුෂ සිහිනයෙන් දක්නා ලද (චන්‍ද්‍රාදි) වස්තුව පිබිදියේ යම්සේ නො දකී ද, එසෙයින් මමායන කළ පරලොව ගිය කලුරිය කළ ජනයා නො දකී.
‘ඒ දෙවියෝ ච්‍යුත වන සැහැවි ඇතියහු දැන වචන තුනෙකින් අනුශාසනා කෙරෙත්. (ඉතිවුත්තක – චතුත්‍ථවග්ග) මේ ‘පියවිප්පයෝග’ යි.
යම්පිච්ඡං න ලහති” යනු තුන් මාරධීතෲහු යැ. (මාර සංයුත්ත)
13. කාමවස්තූන් කැමැති වන උපන් ඡන්‍ද රාග ඇති ඒ පුඟුල්හුගේ ඒ කාමවස්තු ඉදින් පිරිහෙත් නම් එකල්හි හේ විසපී ශල්‍යයෙකින් විදුනා ලද්දකු සෙයින් වෙහෙසට පැමිණේ.
“සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක් වෙති.”
14. පුහුදුන්හු යම් ලෝකාමිසයෙකැ ඇලුණාහු ද චක්‍ෂුස ද ශ්‍රෝත්‍රය ද ඝ්‍රාණ ද ජිහ්වා ද කාය ද යළි මනස ද යන තෙල ලොකාමිසයෝ දරුණු වෙත්.
‘මහණෙනි මේ ස්කන්‍ධයෝ පස්දෙනෙකි’ මේ “දුක්ඛ” යි.
එහි ජරා – මරණ කවරෙ යැ:
15. මේ මිනිස් ජීවිතය නියතයෙන් අල්ප වෙයි. සියවසකින් මෙපිට (කලලාදි, අවස්ථාවෙහි) දු මියැයෙයි. ඉදින් යමෙක් සියවස් ඉක්මැ ජීවත් වේ නම්, එකල හේ ජරායෙනුදු යුක්ත වැ මියැයේ.
‘මාගේ මිත්තණිය කලුරිය කළා යැ’ සංයුත්සඟියැ කෝසල සංයුත්තයෙහි සූත්‍රය. මේ ජරා හා මරණ යි.
එහි චුතිඋප්පත්ති ද කවර යැ:
16. සියලු සත්හු මැරෙන්නාහු යැ, ජීවිතය මරණය අන්ත කොට ඇති හෙයිනි. පින් පව් ඵලය අනුව ගියාහු කර්‍ම වූ පරිදි පරලොව යෙත්.
මේ චුති හා උප්පත්ති යි.
එක්බඳු වූ මේ සූත්‍රයන්ගෙන් ද, නවවිධ සූත්‍රයට පිවිසි අන්‍යසූත්‍රයන්ගෙන් ද ලක්‍ෂණ වශයෙන් සාධාරණ වූත් දුක්ඛය දැන් දුඃඛාර්‍ය්‍යසත්‍යය දැක්වියැ යුතු යැ, ගාථායෙන් ගාථා පමණ කළ යුතු යැ, වෙය්‍යාකරණයෙන් වෙය්‍යාකරණ පමණ කළ යුතු, මේ ‘දුක්ඛ’ යි.
(2) එහි දුක්ඛ සමුදය කවරෙ යත් :
17. වස්තු කාමයන්හි ක්ලේශකාමයෙන් ඇලුණු කාමයන්හි රාගාදි සඞ්ගයෙන් ලැගුණු සංයෝජනයෙහි දොස් නොදක්නා සංයෝජන සංඛ්‍යාත සඞ්ගයෙන් ත්‍රෛභූමක ධර්‍මයන්හි ඇලුණු සත්ත්‍වයෝ පුළුල් වූ මහත් වූ චතුරෝඝය නිසි කලෙකත් නොමැ තරණය කරන්නාහු ය.
‘ආස්‍රවයෝ සතර දෙනෙකි, (දික්සඟියැ) දසුත්තර සූත්‍රය.
එහි දුක්ඛ නිරෝධය කවරෙ යත්:
18. යමක්හු කෙරෙහි මායාවෙක් නො පවතී ද මානය නැද්ද යමෙක් වීතලෝභ වේ ද මමායන රහිත ද ආශා රහිත ද මුලුසුන් කළ ක්‍රෝධ ඇද්ද (කෙලෙස් පිරිනිවනින්) නිවුණු සිත් ඇත් ද හේ (බාහිත පාපී) බ්‍රාහ්මණ වෙයි. හේ (ශමිත පාපී) ශ්‍රමණ වෙයි. හේ භික්‍ෂු වූයේත් වේ.
“මේ විමුක්තීහු දෙදෙනෙකි : රාගයාගේ ක්‍ෂය විරාග වූ චිත්තවිමුක්තිය ද අවිද්‍යාවගේ ක්‍ෂයවිරාග වූ ප්‍රඥාවිමුක්තිය ද යන දෙක යැ. මේ දුක්ඛනිරෝධ යි.
එහි මග්ග කවරෙ යත්:
19. මාර්‍ගඵලදර්‍ශනයාගේ විශුද්ධිය පිණිස මෙය යැ මාර්‍ග වෙයි. අන් මඟෙක් නැති, එහෙයින් තෙපි තෙල මඟ මැ පිළිපදිවු. තෙල මහ මරහුගේ ප්‍රමෝහන යි.
“මහණෙනි මේ බොධ්‍යංගයෝ සත්දෙනෙකි. (සත්තකංගුත්තර) මේ ‘මග්ග’ යි
එහි සතර ආර්‍ය්‍යසත්‍යයෝ කවරහ යත්:
20. හේතුයෙන් උපන් යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, තථාගතයෝ ඒ ධර්‍මයන්ගේ ප්‍රභවහේතුව වදාළහ. යළි ඔවුන්ගේ යම් නිරෝධයෙක් ඇද්ද, එ ද වදාළහ, මහාශ්‍රමණ වූ තථාගතයෝ මෙබඳු වාද ඇත්තාහ’යි.
හේතුයෙන් ප්‍රභව වූ ධර්‍මයෝ ‘දුක්ඛ’ යැ. හේතුව සමුදය යැ, භාග්‍යවත්හුගේ යම් (දේශනා) වචනයෙක් ඇද්ද මේ මාර්‍ග යැ, ඒ ධර්‍මයන්ගේ යම් නිරෝධයෙක් ඇද්ද මේ නිරෝධ යි.
යම් කිසි කෙනෙක් සංයෝජනයන්ට හිත වූ ධර්‍මයන්හි ආස්වාද විසින් දක්නාසුලු වැ වාස කෙරෙත් ද, ඔවුනට කෙලෙස් වූ තෘෂ්ණාව වැඩෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වෙයි ... මෙසෙයින් තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ. එහි යම් සංයෝජනයෙක් ඇද්ද, මේ ‘සමුදය’ යැ. යම් සංයෝජනියධර්‍ම කෙනෙක් ඇද්ද, යම් සෝක – පරිදේව – දුක්ඛ – දෝමනස්ස – උපායාස කෙනෙකුත් උපදිත් ද, මේ ‘දුක්ඛ’ යැ. සංසොජනිය ධර්‍මයන්හි යම් ආදීනව විසින් පුනපුනා බැලීමෙක් වේ ද, මේ මාර්‍ග යැ. ජාතියෙන් ජරායෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් – උපායාසය දක්වා – මිදෙයි. මේ නිබ්බාන’යි.
මේ සතර සත්‍යයෝ යි.
එහි අනුපාදිසේසනිබ්බානධාතු කවර යත්:
21. (බුදුහු මෙසේ වදාළහ : උපසීව මාණවකය) අස්තයට ගියහුට (අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවියහුට) රූපාදිප්‍රමාණකරධර්‍මයෙක් නැත. රාගාදි යම් ධර්‍මයකින් ඔහුට කියන්නාහු නම් එය ඔහුට නැත (ස්කන්‍ධාදි) සියලු ධර්‍මයන් නැසූ කල්හි (ඔහු විසින්) හැම වාදපථයෝ ද නසන ලදහ’යි.
සංයුත්සඟියැ ගෝධික සූත්‍රය (දැක්වියැ යුතු.)