ආයතනචරියා යනු: ආධ්‍යාත්මිකබාහිර ෂඩායතනයෙහි යැ.
සතිචරියා යනු: සතර සතිපට්ඨානයෙහි යැ.
සමාධිචරියා යනු: සතර ධ්‍යානයෙහි යැ.
ඤාණචරියා යනු: සතර ආර්‍ය්‍යසත්‍යයෙහි යැ.
මග්ගචරියා යනු: සතර ආර්‍ය්‍යමාර්‍ගයෙහි යැ.
පත්තිචරියා යනු: සතර ශ්‍රාමණ්‍යඵලයෙහි යැ.
ලෝකත්‍ථචරියා යනු: තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් කෙරෙහි යැ. එක්දෙසෙකැ ප්‍රත්‍යෙකබුද්ධයන් කෙරෙහි යැ, එක්දෙසෙකැ ශ්‍රාවකයන් කෙරෙහි යි.
ප්‍රණිධිසම්පන්නයනට (සන්හුන් ඉරියව් ඇතියනට) ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා ද ඉඳුරන්හි වසනලද දොර ඇතියනට ආයතනචර්‍ය්‍යා ද අප්‍රමාදවිහාර ඇතියනට ස්මෘතිචර්‍ය්‍යා ද සමාධියෙහි යෙදුණවුන්ට සමාධිචර්‍ය්‍යා ද බුදධිසම්පන්නයනට ඥානචර්‍ය්‍යා ද සම්‍යක්ප්‍රතිපන්නයනට මාර්‍ගචර්‍ය්‍යා ද පැමිණි ඵල ඇතියනට ප්‍රාප්තිචර්‍ය්‍යා ද තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයනට, ප්‍රත්‍යෙකබුද්ධයනට එකදේශයෙක්හි ශ්‍රාවකයනට එකදේශයෙක්හි ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා ද වේ. මොහු අෂ්ඨචර්‍ය්‍යා යි.
අන්‍ය වූ ද චර්‍ය්‍යා අටෙකි: අධිමෝක්‍ෂ කරනුයේ ශ්‍රද්ධා වශයෙන් පවති, ප්‍රග්‍රහ කරනුයේ වීර්‍ය්‍ය වශයෙන් පවති, අරමුණෙහි සිහි එළවා තබනුයේ ස්මෘති වශයෙන් පවති, අවික්‍ෂේප කරනුයේ සමාධි වශයෙන් පවති, ප්‍රකාරයෙන් දන්නේ, ප්‍රඥා වශයෙන් පවති, විජානනය කරනුයේ විඥානචර්‍ය්‍යා වශයෙන් පවති, මෙසෙයින් (ඉන්‍ද්‍රීයචර්‍ය්‍යායෙහි) පිළිපන්නහුට (ශමථවිදර්‍ශනා විසින් පැවැති) කුශලධර්‍මයෝ අත්‍යර්‍ත්‍ථයෙන් පවතිත් නු’යි ආයතනචර්‍ය්‍යා වශයෙන් පවති. මෙසෙයින් පිළිපන්නේ (විෂ්කමහණාදී) විශේෂයට පැමිණේ නු’යි විශේෂචර්‍ය්‍යා වශයෙන් පවති. මොහු අෂ්ටචර්‍ය්‍යාවෝයි.
අන්‍ය වූ ද චර්‍ය්‍යා අටෙකි: සම්‍යග්දෘෂ්ටියට දර්‍ශණචර්‍ය්‍යා ද සම්‍යක්සංකල්පයට අභිනිරෝපණචර්‍ය්‍යාද සම්‍යග්වචනයට පරිග්‍රහචර්‍ය්‍යා ද සම්‍යක්කර්‍මාන්තයට සමුත්‍ථානචර්‍ය්‍යා ද සම්‍යගාජීවයට ව්‍යවදානචර්‍ය්‍යා ද සම්‍යග්ව්‍යායාමයට ප්‍රග්‍රහචර්‍ය්‍යා ද සම්‍යක්ස්මෘතියට උපස්ථානචර්‍ය්‍යා ද සම්‍යක්සමාධියට අවික්‍ෂේපචර්‍ය්‍යා ද වෙයි. මොහු අෂ්ටචර්‍ය්‍යා වෙත් යයි.
චර්‍ය්‍යා කථා නිමි.
3. 6.
ප්‍රාතිහාර්‍ය්‍ය කථා
මහණෙනි, මේ තුන් ප්‍රාතිහාර්‍ය්‍ය කෙනෙක් වෙති: කවර තුන් ප්‍රාතිහාර්‍ය්‍ය කෙනෙකැ යත්: ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය යැ ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යැ යි.
මහණෙනි, ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරැ යත් : මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් අනේකප්‍රකාර වූ ඍද්ධිකොට්ඨාස වළඳ කෙරෙයි: (තෙමේ) එකලා වැ බහුප්‍රකාරයෙනුදු වෙයි, බහුප්‍රකාර වැ එකලා ද වෙයි. ආවිර්භාවයට තිරොභාවයට ... බඹලොව තෙක් මැ කයින් (තමන්) වශයෙහි පවත්වයි. මහණෙනි, මේ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය යැ යි කියනු ලැබේ.
මහණෙනි, ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරෙ යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් නිමිතින් කියයි: ‘තා සිත (සොම්නස් දොම්නස් විසින්) මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් (මේ මේ දැය සිතමින් පවත්වන්නේත්) වේ’ යයි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරකින් නො වෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, එතෙකුදුවත් මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ හඬ අසා කියයි: “තාසිත මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් වේ” යයි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරෙකින් නොවෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ හඬ අසා නො ද කියයි, එතෙකුදුවත් විතර්‍ක කරන්නහුගේ විතර්‍කසම්ප්‍රයුක්තවිචාර කරන්නහුගේ විතර්‍කවිෂ්ඵාරශබ්දය අසා කියයි: “තා සිත මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් වේ” යයි හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි. අන් අයුරකින් නො වෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හඬ අසා නො ද කියයි, විතර්‍ක කරන්නහුගේ විතර්‍කසම්ප්‍රයුක්තවිචාර කරන්නහුගේ විතර්‍කවිෂ්ඵාරශබ්දය අසා නො ද කියයි, එතෙකුදුවත් අවිතර්‍කඅවිචාරසමාධියට සමවන්හුගේ සිත (තම) සිතින් පිරිසිඳ දැනගනී, ‘මේ භවත්හුගේ චිත්තසංස්කාරයෝ යම්සෙයින් පිහිටියාහුද මෙසිතට අනතුරු වැ අසෝ නම් විතර්‍කය කරන්නේ යැ’ යි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරකින් නොවේ. මහණෙනි, මේ ‘ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය’ යි කියනු ලැබේ.
මහණෙනි, අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරෙ යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැමෙක් මෙසේ අනුශාසනා කෙරෙයි: “මෙසේ තකවු, නහමක් මෙසේ තකවු, මෙසේ මෙනෙහි කරවු, නහමක් මෙසේ මෙනෙහි කරවු, මෙය දුරු කරවු, මෙයට පැමිණ වාස කරවු” යයි. මහණෙනි, මේ ‘අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය’ යයි කියනු ලැබේ. මහණෙනි, මොහු තුන් ප්‍රාතිහාර්‍ය්‍යයෝ යි.
නෛෂ්ක්‍රම්‍යය තෙමේ සිද්ධ වේ නු’ යි ඍද්ධි යැ, කාමච්ඡන්‍දය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ නෛෂ්ක්‍රම්‍යයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ නෛෂ්ක්‍රම්‍යය වනාහි මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනාකළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ නෛෂ්ක්‍රම්‍යයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’ යි අනුශාසනීයප්‍රාතිහාර්‍ය්‍ය යි.
අව්‍යාපාදය තෙමේ සිද්ධ වේ නු’ යි ඍද්ධි යැ. ව්‍යාපාදය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් කෙනෙක් ඒ අව්‍යාපාදයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ, ඒ අව්‍යාපාදය වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවන කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ අව්‍යපාදයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
ආලෝකසංඥා තොමෝ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ ථීනමිද්ධය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් කෙනෙක් ඒ ආලෝකසංඥායෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැළඹුනු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ, ඒ ආලෝකසංඥාව වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනාකළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ. මෙසේ ඒ ආලෝකසංඥාවට අනුකකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
අවික්‍ෂේපය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, ඖද්ධත්‍යය පිළිමල් වැ දුරැලා නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ අවික්‍ෂෙපයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නොකැළඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ අවික්‍ෂේපය වැළිත් මෙසේ ආසේවන කළයුතුයැ, මෙසේ භාවනාකළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ අවික්‍ෂේපයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනී ප්‍රාතිහාර්‍ය්‍ය යි.
ධර්‍මනිශ්චය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, විචිකිත්සාව පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ ධර්‍මනිශ්චයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නොකැළඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ ධර්‍මනිශ්චය වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ ධර්‍මනිශ්චයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු නු’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
ඥානය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ. අවිද්‍යාව පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ ඥානයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ ඥානය වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ ඥානයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
ප්‍රාමෝද්‍යය තෙමේ සිද්ධ වේනු’ යි ඍද්ධි යැ. අරතිය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ ප්‍රාතිහාර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ ප්‍රාමෝද්‍යය වැළිත් මෙසේ අසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළ යුතු යැ, මෙසේ ඒ ප්‍රාමෝද්‍යයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
ප්‍රථමධ්‍යානය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ. නීවරණයන් පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ ප්‍රථමධ්‍යානයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ ප්‍රථමධ්‍යානය වැළිත් මෙසේ අසේවන කළයුතු යැ, මෙසේ භාවනාකලයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ ප්‍රථමධ්‍යානයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි …
අර්‍හන්මාර්‍ග තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ. හැම කෙලෙසුන් පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ අර්‍හන්මාර්‍ගයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ අර්‍හන්මාර්‍ගය වැළිත් මෙසේ අසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනාකළයුතු යැ, මෙසේ ඒ අර්‍හන්මාර්‍ගයට අනුකූල වැ සිහි එළවා තැබිය යුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
නෛෂ්ක්‍රම්‍ය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, කාමච්ඡන්‍දය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් ඍද්ධියකුත් යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙකුත් වේ ද, මේ ‘ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය’ය යි කියනු ලැබේ. අව්‍යාපාද තෙමේ සිද්ධවේ නු’යි ඍද්ධි යැ, ව්‍යාපාදය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් ඍද්ධියකුත් යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙකුත් වේ ද, මේ ‘ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය’ යයි කියනු ලැබේ. ආලෝකසංඥා තොමෝ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, ථිනමිද්ධය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ ... අර්‍හන්මාර්‍ග තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, හැම කෙලෙසුන් පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් ඍද්ධියකුත් යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙකුත් වේ ද, මේ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය යයි කියනු ලැබේ.
ප්‍රාතිහාර්‍ය්‍ය කථා නිමි.
3. 7.
සමසීසි කථා
සියලු (ත්‍රෛභූමක) ධර්‍මයන් මොනොවට නිරුද්ධ කිරීමෙහි ද නිරුද්ධ කළ කල්හි යළි නො ඉපදීමෙහි ද ප්‍රඥාව ශමශීර්‍ෂාර්‍ත්‍ථඥාන නමි.
සබ්බධම්මානං යනු: පඤ්චස්කන්‍ධ යැ දොළොස් ආයතන යැ අටළොස් ධාතු යැ කුශලධර්‍ම යැ අකුශලධර්‍ම යැ අව්‍යාකෘත ධර්‍ම යැ කාමාවචරධර්‍ම යැ රූපාවචරධර්‍ම යැ අරූපාවචරධර්‍ම යැ අපර්‍ය්‍යාපන්නධර්‍ම යි.
සම්මාසමුච්ඡේද යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය මොනොවට සමුච්ඡේද (මුලුසුන්) කෙරෙයි, අව්‍යාපාදයෙන් ව්‍යාපාදය මොනොවට සමුච්ඡේද කෙරෙයි, ආලෝකසංඥායෙන් ථිනමිද්ධය මොනොවට සමුච්ඡේද කෙරෙයි, අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය මොනොවට සමුච්ඡේද කෙරෙයි, ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව මොනොවට සමුච්ඡේද කෙරෙයි, ඥානයෙන් අවිද්‍යාව මොනොවට සමුච්ඡේද කෙරෙයි, ප්‍රාමෝද්‍යයෙන් අරතිය මොනොවට සමුච්ඡේද කෙරෙයි, ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් මොනොවට සමුච්ඡේද කෙරෙයි ... රහත්මගින් හැම කෙලෙසුන් මොනොවට සමුච්ඡේද කෙරෙයි.
නිරොධෙ යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය නිරුද්ධ කෙරෙයි, අව්‍යාපාදයෙන් ව්‍යාපාදය නිරුද්ධ කෙරෙයි, ආලෝකසංඥායෙන් ථිනමිද්ධය නිරුද්ධ කෙරෙයි, අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය නිරුද්ධ කෙරෙයි, ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව නිරුද්ධ කෙරෙයි, ඥානයෙන් අවිද්‍යාව නිරුද්ධ කෙරෙයි, ප්‍රාමෝද්‍යයෙන් අරතිය නිරුද්ධ කෙරෙයි, ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් නිරුද්ධ කෙරෙයි ... රහත්මගින් හැම කෙලෙසුන් මොනොවට නිරුද්ධ කෙරේ.
අනුපට්ඨානතා යනු: නෛෂ්ක්‍රම්‍යය ලදුවහුට කාමච්ඡන්‍දය නූපදී (නො එළඹෙයි), අව්‍යාපාදය ලදුවහුට ව්‍යාපාදය නූපදී, ආලෝකසංඥා ලදුවහුට ථිනමිද්ධය නූපදී, අවික්‍ෂේපය ලදුවහුට ඖද්ධත්‍යය නූපදී, ධර්‍මනිශ්චය ලදුවහුට විචිකිත්සාව නූපදී, ඥානය ලදුවහුට අවිද්‍යාව නූපදී, ප්‍රාමෝද්‍යය ලදුවහුට අරතිය නූපදී, ප්‍රථමධ්‍යානය ලදුවහුට නීවරණයන් නූපදී ... රහත්මග ලදුවහුට හැම කෙලෙස්හු නූපදිත්.
සමං යනු: කාමච්ඡන්‍දය පුහුන් (ප්‍රහීණ) බැවින් නෛෂ්ක්‍රම්‍යය ශම යැ, ව්‍යාපාදය පුහුන් බැවින් අව්‍යාපාදය ශම යැ, ථිනමිද්ධය පුහුන් බැවින් අලෝකසංඥාව ශම යැ, ඖද්ධත්‍යය පුහුන් බැවින් අවික්‍ෂේපය ශම යැ, විචිකිත්සාව පුහුන් බැවින් ධර්‍මනිශ්චය ශම යැ, අවිද්‍යාව පුහුන් බැවින් ඥානය ශම යැ, අරතිය පුහුන් බැවින් ප්‍රාමෝද්‍යය ශම යැ, නීවරණයන් පුහුන් බැවින් ප්‍රථමධ්‍යානය ශම යැ ... හැම කෙලෙසුන් පුහුන් බැවින් රහත්මග ශම යි.
සීසං යනු: තෙළෙස් ශීර්‍ෂයෝ යැ: තෘෂ්ණාව පරිරෝධශීර්‍ෂ ද මානය විනිබන්‍ධශීර්‍ෂ ද දෘෂ්ටිය පරාමර්‍ශශීර්‍ෂ ද ඖද්ධත්‍යය වික්‍ෂේපශීර්‍ෂ ද අවිද්‍යාව සංක්ලේශශීර්‍ෂ ද ශ්‍රද්ධාව අධිමොක්‍ෂශීර්‍ෂ ද වීර්‍ය්‍යය ප්‍රග්‍රහශීර්‍ෂ ද ස්මෘතිය උපස්ථානශීර්‍ෂ ද සමාධිය අවික්‍ෂේපශීර්‍ෂ ද ප්‍රඥාව දර්‍ශනශීර්‍ෂ ද ජීවිතේන්‍ද්‍රිය ප්‍රවෘත්තිශීර්‍ෂ ද විමෝක්‍ෂය ගෝචරශීර්‍ෂ ද නිරෝධය සංස්කාරශීර්‍ෂ ද වේ යයි.
සමසීසි කථා නිමි.
3. 8.
සතිපට්ඨාන කථා
[සැවැත්නිදාන යි]
“මහණෙනි, මේ සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති: කවර සතර දෙනෙකැ යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් දුරු කොට කයෙහි කය අනුව බලනසුලු වැ වාසය කෙරෙයි. වේදනාවන්හි .. චිත්තයෙහි ... කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් දුරු කොට ධර්‍මයන්හි ධර්‍මයන් අනු වැ බලනසුලු වැ වාසය කෙරේ. මහණෙනි, මොහු සතර සතිපට්ඨානයෝ” යි.
කිසෙයින් කයෙහි කය අනු වැ බලනසුලු වැ වාසය කෙරේ ද යත්: මෙසස්නෙහි ඇතැමෙක් පඨවීධාතුකාය (පඨවිධාතු සමූහය) අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ යැ, නිත්‍ය හෙයින් නො දක්නේ යැ, දුඃඛ හෙයින් පුනපුනා දක්නේ යැ, සුඛ හෙයින් නො දක්නේ යැ, අනාත්ම හෙයින් පුනපුනා දක්නේ යැ, ආත්ම හෙයින් නො දක්නේ යැ, කලකිරෙයි, සතුටු නො වෙයි, විරක්ත වෙයි, නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි නො ගනියි, අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි, දුඃඛ හෙයින් පුනපුනා දක්නේ සුඛ සංඥාව දුරු කෙරෙයි, අනාත්ම හෙයින් පුනපුනා දක්නේ ආත්ම සංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්‍දිය දුරු කෙරෙයි, නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි, නිරුද්ධ කෙරනුයේ සමුදය දුරු කෙරෙයි, හැරපියනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් කය පුනපුනා දක්නේ යි. කය උපස්ථාන යැ ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය පුනපුනා දක්නේ යි. එයින් කියනු ලැබෙයි: ‘කායේකායානුපස්සනා සතිපට්ඨානා’යි.
භාවනා යනු: භාවනා සතරෙක. ඒ භාවනා විශේෂයෙහි උපන් යුගනද්ධධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගෙන් ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන් භාවනා යැ, තදනුකූලවීර්‍ය්‍යධුරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි.
මෙසස්නෙහි ඇතැමෙක් ආපෝකාය ... තේජෝකාය ... වායෝකාය ... කේසකාය ... ලෝමකාය ... ඡවිකාය ... චම්මකාය ... මංසකාය ... රුධිරකාය ... නහාරුකාය ... අට්ඨිකාය ... අට්ඨිමිඤ්ජකාය ... අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, සුඛ හෙයින් නො කෙරෙයි, අනාත්ම හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, ආත්ම හෙයින් නො කෙරෙයි, කලකිරෙයි සතුටු නො වෙයි, විරක්ත වෙයි නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි නො ගනී, අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍ය සංඥාව දුරු කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි, අනාත්ම හෙයින් අනුදර්‍ශනා කරනුයේ ආත්ම සංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්‍දිය දුරු කෙරෙයි, නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි, නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි, පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් කය අනුදර්‍ශනා කෙරේ. කය උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය අනුදර්‍ශනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘කායේකායානුපස්සනා සතිපට්ඨානා’යි.
භාවනා යනු: භාවනා සතරෙක. ඒ භාවනාවිශේෂයෙහි උපන් (යුගනද්ධ ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියන්ගෙන් ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා වැ, තදනුරූපවීර්‍ය්‍යධුරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මෙසෙයින් කයෙහි කායානුදර්ශී වැ වාසය කෙරේ.
කිසෙයින් වේදනාවන්හි වේදනානුදර්ශී වැ වාසය කෙරේ යැ යත්: මෙසස්නෙහි ඇතැමෙක් සුඛවේදනාව අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ යැ නිත්‍ය හෙයින් නො දක්නේ යැ ... හැරපියයි නොගනී, අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි. මේ සත් අයුරින් වේදනාව අනුදර්‍ශනා කෙරේ. වේදනාව උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුදර්‍ශනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වේදනානුපස්සනා සතිපට්ඨානා’යි.
භාවනා යනු: භාවනා සතරෙක: ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි ... මෙසස්නෙහි ඇතැමෙක් දුක් වේදනාව ... නො දුක් නොසුව වේදනාව ... සාමිෂ වූ සුඛවේදනාව ... නිරාමිෂ වූ සුඛවේදනාව ... සාමිෂ වූ දුඃඛ වේදනාව ... නිරාමිෂ වූ දුඃඛ වේදනාව ... සාමිෂ වූ අදුක්ඛමසුඛවේදනාව ... නිරාමිෂ වූ අදුක්ඛමසුඛවේදනාව ... චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව .... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව .... ජීව්හාසම්පස්සයෙන් උපන් වේදනාව .... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව .... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි. ... හැරපියයි නො ගනී. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් වේදනාව අනුදර්‍ශනා කෙරේ. වේදනාව උපස්ථාන වෙයි ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුදර්‍ශනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වේදනානුපස්සනා සතිපට්ඨානා’යි.
භාවනා යනු: භාවනා සතරෙක ... මෙසෙයින් වේදනාවන්හි වේදනානුදර්ශී වැ වාසය කෙරේ.
කිසෙයින් චිත්තයෙහි චිත්තානුදර්ශී වැ වාසය කෙරේ යැ යත්: මෙසස්නෙහි අතැමෙක් සරාග සිත අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි. ... පටිනිස්සජනය කෙරෙයි ආදානය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍ය සංඥාව දුරු කෙරෙයි ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි. මේ සත් අයුරින් චිත්තය අනුදර්‍ශනා කෙරේ. චිත්තය උපස්ථාන වෙයි ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ සිත අනුදර්‍ශනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘චිත්තේ චිත්තානුපස්සනා සතිපට්ඨානා’යි.
භාවනා යනු: භාවනා සතරෙක ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි.
මෙසස්නෙහි ඇතැමෙක් වීතරාග සිත ... සදෝස සිත ... වීතදෝස සිත ... සමෝහ සිත ... වීතමෝහ සිත ... සංක්‍ෂිප්ත සිත ... වික්‍ෂිප්ත සිත ... මහද්ගත සිත ... මහද්ගත නොවූ සිත ... සඋත්තර සිත ... අනුත්තර සිත ... සමාහිත සිත ... අසමහාහිත සිත ... විමුක්ත සිත ... අවිමුක්ත සිත ... චක්‍ෂුර්විඥානය ... ශ්‍රෝත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජීව්හාවිඥානය ... කායවිඥානය ... මනෝවිඥානය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, නිත්‍ය හෙයින් නො කෙරෙයි ... පටිනිස්සජනය කෙරෙයි, ආදානය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි. මේ සත් අයුරින් සිත අනුදර්‍ශනා කෙරේ. සිත උපස්ථාන වෙයි. ස්මාති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ සිත අනුදර්‍ශනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘චිත්තේ චිත්තානුපස්සනා සතිපට්ඨානා’යි.
භාවනා යනු: භාවනා සතරෙක ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මෙසෙයින් චිත්තයෙහි චිත්තානුදර්ශී වැ වාසය කෙරේ.
කිසෙයින් ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වාසය කෙරෙ යි යත්: මෙ සස්නෙහි ඇතැමෙක් කය තබා වේදනාව සිත තබා තදවශිෂ්ට (ත්‍රෛභූමක) ධර්‍මයන් අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, නිත්‍ය හෙයින් නො කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, සුඛ හෙයින් නො කෙරෙයි, අනාත්ම හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, ආත්ම හෙයින් නො කෙරෙයි. කලකිරෙයි සතුටු නො වෙයි, විරක්ත වෙයි, නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි නො ගනී, අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි. අනාත්ම හෙයින් අනුදර්‍ශනා කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්‍දිය දුරු කෙරෙයි, නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි, නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි, පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි, මේ සත් අයුරින් ඒ ධර්‍මයන් අනුදර්‍ශනා කෙරේ. ධර්‍ම උපස්ථාන වෙයි, ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ධර්‍මයන් අනුදර්‍ශනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ධම්මානුප්සසනා සතිපට්ඨානා’යි.
භාවනා යනු: භාවනා සතරෙක: ඒ භාවනාවිශේෂයෙහි උපන් (යුගනද්ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගේ ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා යැ, තදනුරූපවීර්‍ය්‍යධුරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මෙසෙයින් ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වාසය කෙරේ.
සතිපට්ඨාන කථා නිමි.
3. 9.
විදර්‍ශනා කථා
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වාස කරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූසේක. ‘භාග්‍යවතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, එකැතින් ඒ මහණ කිසි සංස්කාරයක් නිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට (ලෝකෝත්තරමාර්‍ගයට) බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ හැම සංස්කාරයන් අනිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ කිසි සංස්කාරයක් සුඛ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ හැම සංස්කාරයන් දුක් හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ කිසි ධර්‍මයන් ආත්ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ හැම ධර්‍මයන් අනාත්ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ නිර්‍වාණය දුඃඛ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
මහණෙනි, එකැතින් ඒ මහණ නිර්‍වාණය සුඛ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වේ.
කිහි අයුරෙකින් අනුලෝමක්‍ෂාන්තිය ලබා ද, කිහි අයුරෙකින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ද යත්:
සතලිස් අයුරෙකින් අනුලෝමක්‍ෂාන්තිය ලබයි, සතලිස් අයුරෙකින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යි.
කවර සතලිස් අයුරෙකින් අනුලෝමක්‍ෂාන්තිය ලබා ද, කවර සතලිස් අයුරෙකින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ද යත්:
පඤ්චස්කන්‍ධය අනිත්‍ය හෙයින් දුක් හෙයින් රෝග හෙයින් ගණ්ඩ හෙයින් ශල්‍ය හෙයින් විපත් හෙයින් ආබාධ හෙයින් පර (අවසඟ) හෙයින් බිඳෙන හෙයින් ව්‍යසන හෙයින් උපද්‍රව හෙයින් භය හෙයින් උපසර්‍ග හෙයින් චල හෙයින් බිඳෙන සුලු හෙයින් අධ්‍රැව හෙයින් අත්‍රාණ හෙයින් අලෙන හෙයින් අසරණ හෙයින් සිස් හෙයින් තුච්ඡ හෙයින් ශූන්‍ය හෙයින් අනාත්ම හෙයින් ආදීනව හෙයින් විපරිණාමස්වභාව හෙයින් අසාර හෙයින් අඝමූල හෙයින් වධක හෙයින් විභව හෙයින් සාස්‍රව හෙයින් සඞ්ඛත හෙයින් මාරාමිෂ හෙයින් ජාතිධර්‍ම හෙයින් ජරාධර්‍ම හෙයින් ව්‍යාධිධර්‍ම හෙයින් මරණධර්‍ම හෙයින් ශෝකධර්‍ම හෙයින් පරිදේවධර්‍ම හෙයින් උපායාසධර්‍ම හෙයින් සාංක්ලේශධර්‍ම හෙයිනි.
පඤ්චස්කන්‍ධය අනිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිත්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය දුක් හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය සුව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය රෝග හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ආරෝග්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ගද්ධ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො ගද්ධ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ශල්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය විශල්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය අඝ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනඝ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ආබාධ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනාබාධ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය පර හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පරපත්‍ය නො වේ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය බිඳෙන හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නොබිඳෙන සැහැවි යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ව්‍යසන හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ව්‍යසන රහිත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය උපද්‍රව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනුපද්‍රව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය භය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අභය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය උපසර්‍ග හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනූපසර්‍ග යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය චල හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අචල යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය බිඳෙනසුලු හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො බිඳෙනසුලු යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය අධ්‍රැව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ධ්‍රැව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය අත්‍රාණ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ත්‍රාණ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය අලෙණහෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ලෙණ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය අසරණ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය සරණ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය සිස් හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො සිස් යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය තුච්ඡ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අතුච්ඡ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ශූන්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පරමශූන්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය අනාත්ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පරමාර්‍ත්‍ථ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ආදීනව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ආදීනව රහිත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය විපරිණාම ස්වභාව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අවිපරිණාම ස්වභාව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය අසාර හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය සාර යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය අඝමූල හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අඝමූල නොවේ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය වධක හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වධක නොවේ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය විභව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අවිභව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.