නිබ්බේධිකපඤ්ඤතාය සංවත්තන්තී යත්: නිර්වේධිකප්‍රඥා නම් කවරැ යත්: මේ සසුන්හි කිසිවෙක් හැම සංස්කාරයන්හි උද්වේශ බහුල වූයේ උත්‍රාසබහුල වූයේ උත්කණ්ඨන බහුල වූයේ අරතිබහුල වූයේ අනභිරති බහුල වූයේ වහිර්මුඛ වූයේ වෙයි. හැම සංස්කාරයන්හි නොඇලෙයි. නො විදුනාලද විරූ ප්‍රදාරණය නො කළ විරූ ලෝභස්කන්‍ධය බිඳී නු’යි පළා නු’යි නිර්වේධිකප්‍රඥා යැ. නො විදුනාලද විරූ නො පළනලද විරූ ද්වේෂස්කන්‍ධය බිඳී නු’යි පළා නු’යි නිර්වේධිකප්‍රඥා යැ, නො විදුනාලද විරූ නො පළනලද විරූ මෝහස්කන්‍ධය බිඳී නු’යි පළා නු’යි නිර්වේධිකප්‍රඥා යැ, නො විදුනාලද විරූ නො පළනලද විරූ ක්‍රෝධය ... උපනහාය ... මක්ඛය ... පළාසය ... ඊර්‍ෂ්‍යාව ... මාත්සර්‍ය්‍යය ... මායාව ... සඨ බව ... ස්තම්භය ... සාරම්භය ... මානය ... අතිමානය … මදය ... ප්‍රමාදය ... හැම කෙලෙසුන් ... හැම දුශ්චරිතයන් ... හැම අභිසංස්කාරයන් ... හැම භවගාමීකර්‍මයන් බිඳී නු’යි පළා නු’යි නිර්වේධිකප්‍රඥා යැ. ‘නිබ්බේධිකපඤ්ඤතාය සංවත්තන්තී’ මෝ නිර්වේධිකප්‍රඥා නමු. මොහු ෂෝඩශප්‍රඥා වෙති. මේ සොළොස් ප්‍රඥායෙන් සමන්‍වාගත වූ පුද්ගල තෙම ප්‍රතිසංවිත් ප්‍රාප්ත වේ.
ප්‍රතිසංවිත්ප්‍රාප්ත පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: එක් පුද්ගලයෙක් පූර්‍ව (පුණ්‍ය) යෝගසම්පන්න වෙයි. එක් පුද්ගලයෙක් පූර්‍වයෝගසම්පන්න නො වෙයි. යමෙක් පූර්‍වයෝගසම්පන්න වේ ද හෙතෙම එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
පුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, එක් පුද්ගලයෙක් බහුශ්‍රුත වෙයි, එක් පුද්ගලයෙක් බහුශ්‍රුත නො වෙයි. යමෙක් බහුශ්‍රුත වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
පුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති. එක් පුද්ගලයෙක් (ධර්‍ම) දේශනාබහුල වෙයි. එක් පුද්ගලයෙක් දේශනාබහුල නො වෙයි. යමෙක් දේශනාබහුල වේ ද, හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
පුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති. දෙදෙනැ ම දේශනාබහුල වෙයි. එක් පුඟුලෙක් (නුවණින් වැඩිහිටි) ගුරුන් ඇසුරුකෙළේ වෙයි. එක් පුඟුලෙක් ගුරුන් ඇසුරුකෙළේ නො වෙයි. යමෙක් ගුරුන් ඇසුරුකෙළේ වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
පුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති; දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති, දෙදෙනැ ම දේශනාබහුල වෙති, දෙදෙනැ ම ගුරුන් ඇසුරුකෙළේ වෙති, එක් පුඟුලෙක් විදර්‍ශනාවිහාරබහුල වෙයි, එක් පුඟුලෙක් විදර්‍ශනාවිහාරබහුල නො වෙයි, යමෙක් විදර්‍ශනාවිහාරබහුල වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
පුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති, දෙදෙනැ ම දේශනාබහුල වෙති, දෙදෙනැ ම ගුරුන් ඇසුරු කළාහු වෙති, දෙදෙනැ ම විදර්‍ශනාවිහාරබහුල වෙති, එක් පුඟුලෙක් ප්‍රත්‍යවේක්‍ෂා බහුල වෙයි. එක් පුඟුලෙක් ප්‍රත්‍යවේක්‍ෂාබහුල නො වෙයි, යමෙක් ප්‍රත්‍යවේක්‍ෂා බහුල වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
පුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති, දෙදෙනැ ම දේශනාබහුල වෙති, දෙදෙනැ ම ගුරුන් ඇසුරු කළාහු වෙති, දෙදෙනැ ම විදර්‍ශනාවිහාරබහුල වෙති, දෙදෙනැ ම ප්‍රත්‍යවේක්‍ෂාබහුල වෙති, එක් පුඟුලෙක් ශෛක්‍ෂව ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙයි, එක් පුඟුලෙක් අශෛක්‍ෂප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙයි. යමෙක් අශෛක්‍ෂ වැ ප්‍රතිසංවිත්ප්‍රාප්ත වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අධික වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
පුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති, දෙදෙනැ ම දේශනාබහුල වෙති, දෙදෙනැ ම ගුරුන් ඇසුරු කළාහු වෙති, දෙදෙනැ ම විදර්‍ශනාවිහාරබහුල වෙති, දෙදෙනැ ම ප්‍රත්‍යවේක්‍ෂාබහුල වෙති, දෙදෙනැ ම අශෛක්‍ෂ වැ ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති, එක් පුඟුලෙක් ශ්‍රාවකපාරමීප්‍රාප්ත වෙයි, එක් පුඟුලෙක් ශ්‍රාවකපාරමීප්‍රාප්ත නො වෙයි. යමෙක් ශ්‍රාවකපාරමීප්‍රාප්ත වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
පුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති, දෙදෙනැ ම දේශනාබහුල වෙති, දෙදෙනැ ම ගුරුන් ඇසුරු කළාහු වෙති, දෙදෙනැ ම විදර්‍ශනාවිහාරබහුල වෙති, දෙදෙනැ ම ප්‍රත්‍යවේක්‍ෂාබහුල වෙති, දෙදෙනැ ම අශෛක්‍ෂව ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති, එක් පුඟුලෙක් ශ්‍රාවකපාරමීප්‍රාප්ත වෙයි, එක් පුඟුලෙක් ප්‍රත්‍යෙක සම්බුද්ධ වෙයි. යමෙක් ප්‍රත්‍යෙක සම්බුද්ධ වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
පසේබුදුන් ද සදේවකලෝකයා ද පිණිස තථාගත අර්‍හත්සම්‍යක්සම්බුද්ධයෝ අග්‍රයහ, ප්‍රතිසංවිත්ප්‍රාප්තයහ, ප්‍රඥාප්‍රභේදයෙහි ඡේකයහ, ප්‍රභේදප්‍රාප්තඥාන ඇතියහ, ලබනලද ප්‍රතිසංවිද්ඥාන ඇතියහ, චතුර්වෛශාරද්‍යප්‍රාප්තයහ, දශබලධාරීහ, පුරුෂශ්‍රේෂ්ඨයහ, පුරුෂසිංහයහ ... යම් ඒ ක්‍ෂත්‍රියපණ්ඩිත කෙනෙක් බ්‍රාහ්මණපණ්ඩිත කෙනෙක් ගෘහපතිමණපණ්ඩිත කෙනෙක් ශ්‍රමණපණ්ඩිත කෙනෙක් නිපුණ වූවාහු කළ පරවාද ඇතියාහු වල්විදුනා දුනුවායන් බඳු වූවාහු ප්‍රඥායෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම් ඔහු ගුඪ වූ ද බොහෝ ප්‍රශ්න සකස් කොට ගෙන බිදින් කරා පැමිණ විචාරති. ඒ ප්‍රශ්නයෝ භාග්‍යවතුන් විසින් සකාරණ වැ කියනලද්දාහු විසඳනලද්දාහු ද වෙති. තවද ඔහු භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූවාහු මැ වෙත්. යළි බුදුහු එහි ප්‍රඥායෙන් අතිශයින් බබළත් නු’යි අග්‍ර වූ ප්‍රතිසංවිත්ප්‍රාප්ත නම් වෙත් යයි.
ප්‍රඥාකථා නිමි.
3. 2.
ඍද්ධි කථා
ඍද්ධි කවර යැ, ඍද්ධිහු කෙතෙක් ද, ඍද්ධියට භූමීහු කෙතෙක් ද, පාදයෝ කෙතෙක් ද, පදයෝ කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද යත්:
කා ඉද්ධි යනු: සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යැ.
කති ඉද්ධියො යනු: ඍද්ධිහු දස දෙනෙක.
ඉද්ධියා කති භූමියො යනු: ඍද්ධියට භූමි සතරෙක. පාද සතෙරක. පද අටෙක මූල සොළොසෙකි.
දශඍද්ධිහු නම් කවරහ යත්: අධිෂ්ඨාන ඍද්ධි යැ විකුර්‍වණඍද්ධි යැ මනෝමය ඍද්ධි යැ ඥානවිෂ්ඵාර ඍද්ධි යැ සමාධිවිෂ්ඵාරඍද්ධි යැ ආර්‍ය්‍යසෘද්ධි යැ කර්‍මවිපාකජඍද්ධි යැ පුණ්‍යවත්හුගේ ඍද්ධි යැ විද්‍යාමයසෘද්ධි යැ ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝගප්‍රත්‍යයෙන් සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යි.
ඍද්ධියට සතරභුමිහු කවරහ යත්: ප්‍රථමධ්‍යානය විවේකජභූමි යැ, ද්විතීයධ්‍යානය ප්‍රීතිසුඛභූමි යැ, තෘතීයධ්‍යානය උපේක්‍ෂාසුඛභූමි යැ, චතුර්‍ත්‍ථධ්‍යානය අදුක්ඛමසුඛභූමි යැ, මේ සතරභූමිහු ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණතා පිණිස ඍද්ධිවිශේෂ පවත්වන බවට සෘද්ධිවශීභාවය පිණිස ඍද්ධිවෛශාරද්‍ය පිණිස පවතිත් යයි.
ඍද්ධියට සතර පාදයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණ තෙම ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධානසංස්කාරයෙන් (සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන්) සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි, චිත්තාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි, විර්‍ය්‍යාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි, විමංසාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි. ඍද්ධිය පිළිබඳ මේ සතර පාදයෝ ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණතා පිණිස ඍද්ධිවිශේෂ පවත්වන පිණිස සෘද්ධිවශීභාව පිණිස සෘද්ධිවිශාරද බව පිණිස පවතිත් යයි.
ඍද්ධියට අටපද කවරහ යත්: ඉදින් මහණ තෙම ඡන්‍දය නිසා සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාවය ලබා නම් ඒ ඡන්‍දය සමාධි නො වෙයි, සමාධිය ඡන්‍ද නො වෙයි. ඡන්‍දය අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඉදින් මහණ තෙම චිත්තය නිසා සමාධිය ලබා නම්, චිත්තෛකාග්‍රතාවය ලබා නම්, ඒ චිත්තය සමාධි නො වෙයි, සමාධිය චිත්ත නොවෙයි, චිත්තය අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඉදින් මහණ තෙම වීර්‍ය්‍යය නිසා සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාවය ලබා නම් ඒ වීර්‍ය්‍යය සමාධි නො වෙයි, සමාධිය වීර්‍ය්‍ය නො වෙයි, වීර්‍ය්‍යය අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඉදින් මහණ තෙම වීමංසාව නිසා සමාධිය ලබා නම්, චිත්තෛකාග්‍රතාවය ලබා නම්, ඒ වීමංසාව සමාධි නො වෙයි, සමාධිය විමංසා නො වෙයි, වීමංසාව අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඍද්ධිය පිළිබඳ මේ අටපදයෝ ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණ පිණිස ඍද්ධිවිශේෂ පවත්වන පිණිස සෘද්ධිවශීභාව පිණිස සෘද්ධිවිශාරද බව පිණිස පවතිත් යයි.
ඍද්ධියට සොළොස් මූලයෝ කවරහ යත්: (කෞසීද්‍ය වශයෙන්) නො නැමුණු සිත කෞසීද්‍ය නිමිතින් නො සැලේ (කම්පා නොවේ) නු’යි ආනෙඤ්ඡ නම. ඖද්ධත්‍යයෙන් නො හුවනලද සිත ඖද්ධත්‍ය නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, රාගවශයෙන් නො නැමුණු (අනහිනත) සිත රාග නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ක්‍රෝධවශයෙන් ප්‍රතිමුඛ (අදුෂ්‍ය) වූ සිත ව්‍යාපාද නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, දෘෂ්ටි වශයෙන් අනිඃශ්‍රිත වූ සිත දෘෂ්ටි නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ඡන්‍දරාගප්‍රතිබද්ධ නො වූ සිත ඡන්‍දරාග නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, විප්‍රමුක්ත සිත කාමරාග නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, කෙලෙසුන් කෙරෙන් වෙන් වූ සිත කෙලෙස් නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, කෙලෙස්හිමි නො කරනලද සිත කෙලෙස්හිම් නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, එකඟබවට ගිය සිත නානාස්වභාව කෙලෙස් නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ශ්‍රද්ධාපරිගෘහීත සිත අශ්‍රද්ධා නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, වීර්‍ය්‍යයෙන් පරිගෘහීත සිත කෞසීද්‍ය නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ස්මෘතියෙන් පරිගෘහීත සිත ප්‍රසාද නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, සමාධියෙන් පරිගෘහීත සිත ඖද්ධත්‍ය නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ප්‍රඥායෙන් පරිගෘහීත සිත අවිද්‍යා නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, අවභාසයට ගිය සිත අවිද්‍යාන්‍ධකාර නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නමි. ඍද්ධිය පිළිබඳ මේ සොළොස් මූලයෝ ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණ පිණිස ඍද්ධිවිශේෂ පවත්වන පිණිස සෘද්ධිවශීභාව පිණිස ඍද්ධිවිශාරදභාව පිණිස පවතිත් යයි.
අධිෂ්ඨාන ඍද්ධි නම් කවරහ යත්: මෙසස්නෙහි මහණ තෙම අනේකප්‍රකාර වූ ඍද්ධිවිධ වළඳ කෙරෙයි. තෙමේ එකලා වැ සිට බහුප්‍රකාර ද වෙයි, බහුප්‍රකාර වැ සිට එකලා ද වෙයි, ආවිර්‍භාවය කෙරෙයි, නිරොභාවය කෙරෙයි, අහස්හි සෙයින් බිතින් පිටතට පවුරින් පිටතට පර්‍වතයෙන් පරභාගයට නො ලැගෙමින් යෙයි. දියෙහි සෙයින් පොළොවහිදු නැඟීම් ගැලීම් කෙරෙයි, පොළොව්හි සෙයින් අභිද්‍යාමානඋදකයෙහිදු යෙයි, පියා ඇති ලිහිණියකු සෙයින් අහස්හිදු පලගින් යෙයි, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පරාමර්‍ෂණය කෙරෙයි, පරිමර්‍ජනය කෙරෙයි, බඹලොව හිම් කොට කයින් වශයෙහි පවත්වයි.
ඉධ යනු: මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි මේ ශාස්තෘශාසනයෙහි යි. එයින් කියනුලැබෙයි ‘ඉධ’ යි.
භික්ඛු යනු: කල්‍යාණපෘථග්ජන මහණ හෝ වෙයි, ශෛක්‍ෂ හෝ වෙයි, අකෝප්‍යධර්‍ම ඇති රහත් හෝ වේ.
අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුහොති යනු: නානාප්‍රකාර වූ ඍද්ධි කොටස් වළඳ කෙරෙයි.
ඒකෝපි හුත්‍වා බහුධා හොති යනු: පියවින් එකලා වැ බොහෝ කොට අවර්‍ජනා කෙරෙයි. සියක් හෝ දහසක් හෝ සුවහසක් හෝ අවර්‍ජනා කෙරෙයි, අවර්‍ජනා කොට ‘බොහෝ වෙමි’ ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙයි. බොහෝ වෙයි, යම්සේ ආයුෂ්මත් චුල්ලපන්‍ථක පියවින් එකලා වැ බහුප්‍රකාරයෙන් වේ ද එපරිද්දෙන් මැ ඒ චේතෝවශීප්‍රාප්ත වූ ඍද්ධිමත් තෙම පියවින් එකලා වැ බහුප්‍රකාර වෙයි.
බහුධාපි හුත්‍වා ඒකෝ හොති යනු: පියවින් බොහෝ වැ එක් පුඟුලකු අවර්‍ජනා කෙරෙයි, අවර්‍ජනා කොට ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙයි. ‘එකලා වෙමි’ එකලා වෙයි, යම්සේ ආයුෂ්මත් චුල්ලපන්‍ථක බොහෝ වැ එකලා වේ ද එපරිද්දෙන් මැ ඒ චේතෝවශීප්‍රාප්ත ඍද්ධිමත් තෙමේ බොහෝ වැ එකලා ද වෙයි.
අවීභාවං යනු: කිසිවකින් ආවෘත නො වූයේ ප්‍රතිච්ඡන්න නො වූයේ විවෘත වූයේ ප්‍රකට වූයේ වෙයි.
තිරොභාවං යනු: කිසිවකින් ආවෘත වූයේ ප්‍රතිච්ඡන්න වූයේ වසනලද්දේ පිහිකුළු වූයේ වෙයි.
තිරොකුඩ්ඩං තිරෝපාකාරං තිරොපබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සෙය්‍යථාපි ආකාසෙ යනු: පියවින් අකාසකසිණ සමාපත්තිය ලබනසුලු වෙයි. බිත්හි පරභාගය පවුරෙහි පරභාගය පර්‍වතයෙහි පරභාගය අවර්‍ජනා කෙරෙයි, අවර්‍ජනා කොට ‘ආකාශය වේවයි’ ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙයි, හේ ආකාශ වෙයි. බිත්හි පරභාගයට පවුරෙහි පරභාගයට පර්‍වතයෙහි පරභාගයට නො පැකිළ යෙයි යම්සේ මිනිස්සු පියවින් ඍද්ධිමත් නො වූවාහු කිසිවකින් අනාවෘත අපරික්‍ෂිප්ත තැනැ නො පැකිළ යෙත් ද එපරිද්දෙන් මැ ඒ චේතෝවශීප්‍රාප්ත ඍද්ධිමත් තෙමේ බිත්හි පරභාගයට පවුරෙහි පරභාගයට පර්‍වතයෙහි පරභාගයට අහස්හි සෙයින් නො පැකිළ යෙයි.
පඨවියාපි උම්ඹුජ්ජ නිඹුජ්ජං කරෝති සෙය්‍යථාපි උදකෙ යනු: පියවින් ආපෝකසිණසමාපත්තිය ලබනසුලු වෙයි. පෘථිවිය අවර්‍ජනා කෙරෙයි, අවර්‍ජනා කොට ‘දිය වේවයි’ ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙයි, හේ දිය වෙයි, හේ පෘථිවියෙහි නැඟීම ගැලීම කෙරෙයි යම්සේ මිනිස්සු පියවින් ඍද්ධි නැතියාහු දියෙහි නැඟීම ගැලීම කෙරෙත් ද එපරිද්දෙන් මැ හේ චේතෝවශීප්‍රාප්ත වූ ඍද්ධිමත් තෙමේ පොළොව්හි දියෙහි සෙයින් නැඟීම ගැලීම කෙරෙයි.
උදකෙපි අභිජ්ජමානේ ගච්ඡති සෙය්‍යථාපි පඨවියං යනු: පියවින් පළවිකිසුණුසමවත් ලබනසුලු වෙයි. දිය ආවර්‍ජනා කෙරෙයි. අවර්‍ජනා කොට ‘පොළොව් වේවයි’ නුවණින් ඉටයි, හේ පොළොව් වෙයි, හේ නො බිඳෙන දියෙහි යෙයි. යම්සේ මිනිස්සු පියවින් ඍද්ධි නැතියාහු නො බිඳෙන පොළොව්හි යෙත් ද එසෙයින් මැ ඒ චේතෝවශීප්‍රාප්ත වූ ඍද්ධිමත් තෙමේ නො බිඳෙන දියෙහි පොළොවෙහි සෙයින් යේ.
ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්‍යථාපි පක්ඛී සකුණො යනු: පියවින් පළවිකිසුණුසමවත් ලබනසුලු වෙයි, ආකාශය ආවර්‍ජනා කෙරෙයි, ආවර්‍ජනා කොට ‘පොළොව් වේවයි’ නුවණින් ඉටයි. හේ පොළොව වෙයි. හේ අහස්හි අන්තරීක්‍ෂයෙහි සක්මන් කෙරෙයි සිටියි හිඳියි හෙවීමුදු කෙරෙයි, යම්සේ මිනිස්සු පියවින් ඍද්ධි නැතියාහු පොළොව්හි සක්මන් කෙරෙත් ද සිටිත් ද හිඳිත් ද හෙවීමුදු කෙරෙත් ද එසෙයින් මැ ඒ සිත් විසීබවට පැමිණි ඉදුහ ඇත්තේ පියා ඇති ලිහිණියකු සෙයින් අහස්හි අන්තරීක්‍ෂයෙහි සක්මනුදු කෙරෙයි සිටියි හිඳියි හෙවීමුදු කෙරේ.
ඉමෙපි චන්‍දිමසූරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජති යනු: මෙ සස්නෙහි ඒ සිත්විසීපත් ඉදුහ ඇතියේ හුන්නේ වේවයි හොත්තේ වේවයි සඳහිරු දෙදෙන අවර්‍ජනා කෙරෙයි, ආවර්‍ජනා කොට ‘අත්පසැ වේව’යි නුවණින් ඉටයි, අත්පසැ වෙයි. හෙතෙම හුන්නේ වේව’යි හොත්තේ වේව’යි සඳහිරු දෙදෙන අතින් ආමර්‍ශ කෙරෙයි පරාමර්‍ශ කෙරෙයි පරිමාර්‍ජන කෙරෙයි. යම්සේ මිනිස්සු පියවින් ඍද්ධි නැතියාහු අත්පසැ කිසි කවර රූපයක් ආමර්‍ශ පරාමර්‍ශ කෙරෙයි පරිමාර්‍ජන කෙරෙත් ද එසෙයින් මැ ඒ සිත්විසීපත් ඉදුහ ඇත්තේ හුන්නේ වේවයි හොත්තේ වේවයි සඳහිරු දෙදෙන අතින් ආමර්‍ශ පරාමර්‍ශ පරිමාර්‍ජන කෙරේ.
යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වතෙත්තී යනු: ඉදින් ඒ සිත්විසීපත් ඍද්ධි ඇත්තේ බඹලොවට යනු කැමැති වෙයි, දුරුදු වුව ‘වැළැත් වේව’යි ඉටයි, හේ වැළැත් වෙයි, වැළැතුදු වුව ‘දුරැ වේව’යි ඉටයි, හේ දුරැ වෙයි. බොහෝ ද වුව ‘මඳ වේව’යි ඉටයි හේ මඳ වෙයි. මඳ ද වුව, බොහෝ වේව’යි ඉටයි හේ බොහෝ වෙයි, දිවඇසින් ඒ බඹහුගේ රූපය බලයි, දිවසෝධයින් ඒ බඹහුගේ හඬ අසයි. පරසිත්දන්නා නුවණින් ඒ බඹහුගේ සිත දැනගනියි. ඉඳින් ඒ සිත්විසීපත් ඉදුහ ඇත්තේ පැනෙන සිරිරින් බඹලෙව් යාටි වේ නම් කාය වශයෙන් සිත පිරිනමයි කාය වසයෙන් සිත ඉටයි. කා විසින් සිත පිරිනමා කා විසින් සිත ඉටා සුඛසංඥාවට ද ලඝුසංඥාවට ද බැසැගෙන පැනෙන සිරිරින් බඹලොවට යෙයි. ඉදින් ඒ සිත් විසීපත් ඍද්ධි ඇත්තේ නො පැනෙන සිරිරින් බඹලොවට යාටි වේ නම් චිත්ත වසයෙන් කය පිරිනමයි, චිත්ත වසයෙන් කය ඉටයි. චිත්ත වසයෙන් කය පිරිනමා චිත්ත වසයෙන් කය ඉටා සුඛසංඥාවට ද ලඝුසංඥාවට ද බැසැගෙන නො පැනෙන සිරිරින් බඹලොවට යෙයි. හේ ඒ බඹහු ඉදිරියෙහි සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති මනෝමයරූපයක් නිර්‍මාණය කෙරෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ සක්මන් කෙරේ නම් නිර්මිත වූයේ ද එහි සක්මන් කෙරෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ සිටී නම් නිර්මිත වූයේ ද එහි සිටී. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ හිදි නම් නිර්මිත වූයේ ද එහි හිදි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ යහන්හි හොවී නම් නිර්මිත වූයේ ද එහි යහන්හි හොවී. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ දුමා නම් නිර්මිත වූයේ ද එහි දුමයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ දිලියේ නම් නිර්මිත වූයේ ද එහි දිලියෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ බෙණේ නම් නිර්මිත වූයේ ද එහි බෙණෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ පැන පුළුවුසි නම් නිර්මිත වූයේ ද එහි පැන පුළුවුස්සි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ පැන පුළුවුස්නාලද්දේ විසඳා නම් නිර්මිත වූයේ ද එහි පැන පුළුවුස්නාලද්දේ විසඳයි. ඉඳින් ඒ ඍද්ධි ඇත්තේ ඒ බඹුන් හා සමග එක් වැ සිටී නම් සංලාප කෙරෙ නම් සාකච්ඡාවට පැමිණේ නම් නිර්මිත වූයේ ද එහි ඒ බඹුන් හා සමඟ එක් වැ සිටී. සංලාප කෙරෙයි. සාකච්ඡාවට පැමිණෙයි. ඒ ඍද්ධි ඇත්තේ යමක් යමක් මැ කෙරේ නම් ඒ නිර්මිත වූයේ ඒ ඒ දැය මැ කෙරේ නු’යි මේ අධිෂ්ඨානඍද්ධි නම.
විකුර්‍වණඍද්ධි නම් කවර යත්: සිඛී නම් වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ අභිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව්හි සිටියේ සහස්‍රීලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේ යැ හේ පැනෙන සිරුරිනුදු යුතු වැ දහම් දෙසී, නො පැනෙන සිරුරිනුදු යුතු වැ දහම් දෙසී, පැනෙන යටි අඞකයිනුදු නො පැනෙන උඩු අඞකයිනුදු යුතු වැ දහම් දෙසී, පැනෙන උඩු අඞකයිනුදු නො පැනෙන යටි අඞකයිනුදු යුතු වැ දහම් දෙසී. හේ පියවි පැහැසටහන් හැරපියා කුමරසටහන් හෝ දක්වයි, සප්සටහන් හෝ දක්වයි. ගුරුළුසටහන් හෝ දක්වයි, යක්සටහන් හෝ දක්වයි, අසුර සටහන් හෝ දක්වයි, සක්සටහන් හෝ දක්වයි, දෙවිසටහන් හෝ දක්වයි, බඹසටහන් හෝ දක්වයි, මුහුදුසටහන් හෝ දක්වයි, පවුසටහන් හෝ දක්වයි, අරනසටහන් හෝ දක්වයි, සිහසටහන් හෝ දක්වයි, වගසටහන් හෝ දක්වයි, දිවිසටහන් හෝ දක්වයි, ඇතකුදු දක්වයි, අසකුදු දක්වයි, රියදු පාබළ දු දක්වයි, නොයෙක් සෙන්මුළුදු දක්වා නු’යි මේ විකුර්‍වණඍද්ධි නම.
මනෝමය ඍද්ධි නම් කවර යත්: මෙ සසෙනෙහි මහණ මෙ කයින් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති අනිත් කයක් නිර්‍මාණය කෙරෙයි, යම්සේ පුරුෂයෙක් මෘදුතෘණයෙන් කඩ (ගොබය) අදනේ නම් ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: ‘මේ මෘදු තෘණ යැ මේ කඬ යැ මෘදුතෘණය අනෙකෙක, කඬ අනෙකෙකි. මෘදු තෘණයෙන් මැ කඩ අදනාලදැ’යි. තවද යම්සේ හෝ පුරුෂයෙක් කඩුව කොපුවෙන් අදනේ නම් ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: මේ කඩුව ය මේ කොපුව යැ. කඩුව අනෙකෙක, කොපුව අනෙකෙකි. කොපුවෙන් මැ කඩුව අදනාල දැ’යි. තවද යම්සේ හෝ පුරුෂයෙක් සර්‍පයකු නිර්‍මොක (සැව) යෙන් නඟන්නේ නම් (සර්‍පයා තමා මැ සැව නඟනු පුරුෂ තෙම සිතින් ගෙනැ’යි යූ සේ යි) ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: ‘මේ සර්‍ප යැ මේ නිර්‍මොක යැ සර්‍පයා අනෙකක, නිර්‍මොකය අනෙකෙකි. නිර්‍මොකයෙන් මැ සර්‍පයා නඟනලදැ’යි. එසෙයින් මැ මහණ තෙම මෙ කයින් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති අනිත් කයක් නිර්‍මාණය කෙරෙයි. මේ මනෝමය ඍද්ධි නමි.
ඥානවිෂ්ඵාරඍද්ධි නම් කවර යත්: අනිත්‍යානුදර්‍ශනයෙන් නිත්‍යසංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ඥානවිෂ්ඵාර ඍද්ධි යැ දුඃඛානුදර්‍ශනයෙන් සුඛසංඥාවගේ ... අනාත්මානුදර්‍ශනයෙන් ආත්මසංඥාවගේ ... නිර්වේදානුදර්‍ශනයෙන් නන්‍දියගේ ... විරාගානුදර්‍ශනයෙන් රාගයාගේ ... නිරෝධානුදර්‍ශනයෙන් සමුදයාගේ ... පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදීනවයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’ යි ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් බක්කුලහට ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් සඞ්කිච්චහට ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් භූතපාලහට ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. මේ ඥානවිෂ්ඵාරඍද්ධි නම.
සමාධිවිෂ්ඵාර ඍද්ධි නම් කවර යත්: ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන්ගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. ද්විතීය ධ්‍යානයෙන් විතර්‍කවිචාරයන්ගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. තෘතීයධ්‍යානයෙන් ප්‍රීතියගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛයන්ගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාවගේ ප්‍රතිඝසංඥාවගේ නානාත්‍ව සංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඥානන්ත්‍යායතනසංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් ශාරීපුත්‍රයන්ට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් සඤ්ජීවයන්ට සමාධි විෂ්ඵාර ඍද්ධි යැ ආයුෂ්මත් ඛාණුකොණ්ඩඤ්ඤයන්ට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. උත්තරාඋවැසියට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. සමාවතීඋවැසියට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. මේ සමාධිවිෂ්ඵාර ඍද්ධි නම.
ආර්‍ය්‍ය ඍද්ධි නම් කවර යත්: මෙ සස්නෙහි මහණ තෙම ඉදින් ‘ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙමී’ කැමැති වී නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි. ඉදින් ‘අප්‍රතිකූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙමී’ කැමති වී නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි. ඉදින් ‘ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙමී’ කැමැති වී නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි. ඉදින් ‘අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙමී’ කැමැති වී නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි. ඉදින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද එ දෙක හැරපියා සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ උපේක්‍ෂක වැ වාසය කෙරෙමී’ කැමැති වී නම් එහි සිහි ඇති වැ සමග්ඥාන ඇති වැ උපේක්‍ෂක වැ වාසය කෙරේ.
කිසෙයින් ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි යත්: අනිෂ්ටවස්තුවිෂයෙහි මෙත්සිතින් අරමුණු කෙරෙයි. ධාතු හෙයින් හෝ එළවයි. මෙසෙයින් ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි.
කිසෙයින් අප්‍රතිකූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරේ ද යත්: ඉෂ්ටවස්තුවිෂයෙහි අශුභසිතින් හෝ ස්පර්‍ශ කෙරෙයි, අනිත්‍ය හෙයින් හෝ එළවයි, මෙසෙයින් අප්‍රතිකූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි.
කිසෙයින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරේ ද යත්: අනිෂ්ට වූ ද ඉෂ්ට වූ ද වස්තුවිෂයෙහි මෙත්සිතින් හෝ ස්පර්‍ශ කෙරෙයි, ධාතු හෙයින් හෝ එළවයි. මෙසෙයින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි.
කිසෙයින් අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරේ ද යත්: ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද වස්තුවිෂයෙහි අශුභසිතින් හෝ ස්පර්‍ශ කෙරෙයි, ආනිත්‍ය හෙයින් හෝ එළවයි. මෙසෙයින් අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි.
කිසෙයින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද එ දෙක හැරපියා සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ උපේක්‍ෂක වැ වාසය කෙරෙයි යත්: මෙසස්නෙහි ක්‍ෂීණාස්‍රව මහණ ඇසින් රූපය දැක නො මැ සොම්නස් ඇති වෙයි, නො මැ දොම්නස් ඇතිවෙයි. සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ උපේක්‍ෂක වැ වාසය කෙරෙයි. කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පැහැසියයුතු පැහැස ... මනසින් දහම් දැන නො මැ සොම්නස් ඇති වෙයි. නො මැ දොම්නස් ඇති වෙයි, සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ උපේක්‍ෂක වැ වාසය කෙරෙයි. මෙසෙයින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද එ දෙක හැරපියා සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ උපේක්‍ෂක වැ වාසය කෙරේ. මේ ආර්‍ය්‍යඍද්ධි නම.
කර්‍මවිපාකජ ඍද්ධි නම් කවර යත්: හැම ළිහිණියන්ට හැම දෙවියන්ට ඇතැම් මිනිසුනට ඇතැම් විනිපාතිකයනට, මේ කර්‍මවිපාකජ ඍද්ධි නම.
පින්වත්හුගේ ඍද්ධි නම් කවර යත්, සක්විතිරජ සියුරඟසෙන් හා සමග යටත්පිරිසෙයින් අස්පලු ගොපලු පුරුෂයන් දක්වා ගෙන අහස්හි යෙයි. ජෝතිය ගැහැවිහට පින්වත්හුගේ ඍද්ධි යැ, ජටිල ගැහැවිහට පින්වත්හුගේ ඍද්ධි යැ, මෙණ්ඩක ගැහැවිහට පින්වත්හුගේ ඍද්ධි යැ, ඝෝෂිත ගැහැවිහට පින්වත්හුගේ ඍද්ධි යැ, මහපිනැති පස්දෙනහට පින්වත්හුගේ ඍද්ධි යැ මේ පින්වත්හුගේ ඍද්ධි නම.
විද්‍යාමය ඍද්ධි නම් කවර යත්: විද්‍යාධරයෝ මතුරු දපා අහස්හි යෙති, අහස්හි අන්තරීක්‍ෂයෙහි ඇතකුදු දක්වති, අසකුද දක්වති, රිය දු දක්වති, පාබළ දු දක්වති, නොයෙක් සෙන්මුළු දක්වත්. මේ විද්‍යාමය ඍද්ධි නම.
කිසෙයින් ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි වෙයි යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’ යි ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යැ. අව්‍යාපාදයෙන් ව්‍යාපාදයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’ යි ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යැ ... රහත් මගින් හැම කෙලෙසුන්ගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යැ. මෙසෙයින් ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි නමි. මොහු දශඍද්ධිහු වෙත්.
ඍද්ධිකථා නිමි.
3. 3.
අභිසමය කථා
අභිසමයො යනු: කුමකින් අභිසමය (ප්‍රතිවේධ) කෙරෙයි යත්: සිතින් අභිසමය කෙරෙයි. ඉදින් සිතින් අභිසමය කෙරේ නම් එසේ වී නම් ඥාන නැතියේ අභිසමය කෙරේ ද යත්: ඥාන නැතියේ අභිසමය නො කෙරෙයි, ඥානයෙන් අභිසමය කෙරෙයි.
ඉදින් ඥානයෙන් අභිසමය කෙරේ නම් එසේ වී නම් සිත් නැතියේ අභිසමය කෙරේ ද යත්: සිත් නැතියේ අභිසමය නො කෙරෙයි, සිතින් ද නැණින් ද අභිසමය කෙරෙයි.
ඉදින් සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ නම් එසේ වී නම් කාමාවචර සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත් : කාමාවචර සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි.
එසේ වී නම් රූපාවචර සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: රූපාවචර සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් අරූපාවචර සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: අරූපාවචර සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් කර්‍මස්වකෘත සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: කර්‍මස්වකෘත සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් සත්‍යානුලෝමික සිතිනුදු නැණිනුදු අභිසමය කෙරෙ ද යත්: සත්‍යානුලෝමික සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් අතීත සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: අතීත සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් අනාගත සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: අනාගත සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් ප්‍රත්‍යුත්පන්න ලෞකික සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: ප්‍රත්‍යුත්පන්න ලෞකික සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. ලෝකෝත්තර මාර්‍ගක්‍ෂණයෙහි ප්‍රත්‍යුත්පන්න වූ සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ.
කිසෙයින් ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි ප්‍රත්‍යුත්පන්න සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි උත්පාදය අධිපති කොට ඇති චිත්තය මාර්‍ගඥානයට හේතු (ජනක) ද ප්‍රත්‍යය (උපස්ථම්භක) ද වෙයි. ඒ ඥානය හා සමඟ සම්ප්‍රයුක්ත වූ නිර්‍වාණාලම්බන වූ දර්‍ශනාධිපති වූ ඥානය චිත්තයට හේතු ද ප්‍රත්‍යය ද වෙයි. ඒ චිත්තය හා සමග සම්ප්‍රයුක්ත වූ ඥානය නිර්‍වාණාලම්බන වෙයි. මෙසෙයින් ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි ප්‍රත්‍යුත්පන්න වූ සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ.
කිම මෙතෙක් මැ අභිසමය වෙයි යත්: නැති. ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටිය දර්‍ශන (සඞ්ඛ්‍යාත) අභිසමය වෙයි, සම්‍යක්සඞ්කල්පය අභිනිරෝපණාභිසමය වෙයි, සම්‍යග්වචනය පරිග්‍රහාභිසමය වෙයි, සම්‍යාක්කර්‍මාන්තය සමුත්‍ථානාභිසමය වෙයි, සම්‍යගාජීවය ව්‍යවදානාභිසමය වෙයි, සම්‍යග්ව්‍යායාමය ප්‍රග්‍රහාභිසමය වෙයි, සම්‍යක්ස්මෘතිය උපස්ථානාභිසමය වෙයි, සම්‍යක්සමාධිය අවික්‍ෂේපාභිසමය වේ.
ස්මෘතිසම්බොධ්‍යඞ්ගය උපස්ථානාභිසමය වෙයි, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ප්‍රවිචය සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ප්‍රග්‍රහාභිසමය වෙයි, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ඵරණ (ආලම්බනස්පර්‍ශ) සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ව්‍යුපශම සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, සමාධිසම්බෝධ්‍යඞ්ගය අවික්‍ෂේපාභිසමය වෙයි, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ප්‍රත්‍යවේක්‍ෂාභිසමය වේ.
ශ්‍රද්ධාබලය අශ්‍රද්ධායෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, වීර්‍ය්‍යබලය කුශීදභාවයෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ස්මෘතිබලය ප්‍රමාදයෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, සමාධිබලය උද්ධතභාවයෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ප්‍රඥාබලය අවිද්‍යායෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වේ.
ශ්‍රද්ධේන්‍ද්‍රිය අධිමෝක්‍ෂ සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, වීර්ය්‍යේන්‍ද්‍රියය ප්‍රග්‍රහ සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ස්මෘතීන්‍ද්‍රියය උපස්ථාන (අරමුණට එළඹීම) සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, සමාධීන්‍ද්‍රියය අවික්‍ෂේප සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ප්‍රඥේන්‍ද්‍රියය දර්‍ශන සඞ්ඛ්‍යාත අභිසමය වේ.
අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියාභිසමය වෙයි, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලාභිසමය වෙයි, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගාභිසමය වෙයි, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගාභිසමය වෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානාභිසමය වෙයි, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධානාභිසමය වෙයි, සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධිපාදාභිසමය වෙයි, යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍යාභිසමය වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථාභිසමය වෙයි, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාභිසමය වෙයි, ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනාභිසමය වෙයි, (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් යුගනද්ධාභිසමය වෙයි, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධි සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධි සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධි සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, මුක්ත්‍යර්‍ත්‍ථයෙන් අධිමෝක්‍ෂාභිසමය වෙයි, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාභිසමය වෙයි, පරිත්‍යාගාරර්‍ත්‍ථයෙන් විමුක්ත්‍යාභිසමය වෙයි, සමුච්ඡේදාර්‍ථයෙන් ක්‍ෂයඥාන සඞ්ඛ්‍යාත අභිසමය වේ.
ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, මනසිකාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, ප්‍රඥාව තතුත්තරාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අභිසමය වේ.
කිම මෙතෙක් මැ අභිසමය වෙයි යත්: නැති ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටිය දර්‍ශනාභිසමය වෙයි ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අභිසමය වේ.
කිම මෙතෙක් මැ අභිසමය වෙයි යත්: නැති. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටිය දර්‍ශනාභිසමය වෙයි ... ප්‍රතිප්‍රශ්‍රබ්ධිඅර්‍ත්‍ථයෙන් අනුත්තපාදයෙහි ඥානය අභිසමය වෙයි, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අභිසමය වේ.
කිම මෙතෙක් මැ අභිසමය වෙයි යත්: නැති. සකෘදාගාමිමාර්‍ගක්‍ෂණයෙහි ... සකෘදාගාමිඵලක්‍ෂණයෙහි ... අනාගාමිමාර්‍ගක්‍ෂණයෙහි අනාගාමිඵලක්‍ෂණයෙහි ... අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි ... අර්‍හත්ඵලක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටිය දර්‍ශන සඞ්ඛ්‍යාත අභිසමය වෙයි. සම්‍යක්සංකල්පය අභිනිරෝපණ සඞ්ඛ්‍යාත අභිසමය වෙයි ... ප්‍රතිප්‍රශ්‍රබ්ධිඅර්‍ත්‍ථයෙන් අනුත්පාදයෙහි ඥානය අභිසමය වෙයි, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අභිසමය වේ.
යමෙක් කෙලෙසුන් දුරු කෙරෙයි, අතීත කෙලෙසුන් දුරු කෙරෙයි, අනාගත කෙලෙසුන් දුරු කෙරෙයි. ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් දුරු කෙරේ. අතීතෙ කිලෙසෙ පජහති යනු: ඉදින් අතීත කෙලෙසුන් දුරු කෙරේ ද: එසේ වී නම් ක්‍ෂය වූවක් මැ ක්‍ෂය කෙරෙයි, නිරුද්ධ වූවක් මැ නිරුද්ධ කෙරෙයි, අපගත වූවක් මැ අපගත කෙරෙයි, අභාවයට ගියක් මැ අභාවයට යවයි, අතීත වූ යමෙක් නැත් ද එය දුරු කෙරේ නු’ යි අතීත කෙලෙසුන් දුරු නො කෙරේ යයි.
අනාගතෙ කිලෙසෙ පජහති යනු: ඉදින් අනාගත කෙලෙසුන් දුරු කෙරේ ද: එසේ වී නම් නූපන් ක්ලේශය දුරු කෙරෙයි, ස්වභාවයට නො පත් ක්ලේශය දුරු කෙරෙයි, අනුත්පන්න ක්ලේශය දුරු කෙරෙයි, පහළ නො වු ක්ලේශය දුරු කෙරෙයි, අනාගත වූ යම් ක්ලේශයෙක් නැත් ද, එය දුරු කෙරේ නු’ යි අනාගත කෙලෙසුන් දුරු නො කෙරේ යයි.
පච්චුප්පනෙන කිලෙසෙ පජහති යනු: ඉදින් ප්‍රත්‍යුත්පන්න ක්ලේශයන් දුරු කෙරේ ද, එසේ වී නම් රාගයෙන් රක්ත වූයේ රාගය දුරු කෙරෙයි, ද්වේෂයෙන් දුෂ්ට වූයේ ද්වේෂය දුරු කෙරෙයි, මෝහයෙන් මූඪ වූයේ මෝහය දුරු කෙරෙයි, මානයෙන් බැඳුණේ මානය දුරු කෙරෙයි, දෘෂ්ටියෙන් පරාමෘෂ්ට වූයේ දෘෂ්ටිය දුරු කෙරෙයි, වික්‍ෂේපයට ගියේ ඖද්ධත්‍යය දුරු කෙරෙයි, නිෂ්ඨාවට නො ගියේ විචිකිත්සාව දුරු කෙරෙයි, තිර බවට ගියේ අනුශය දුරු කෙරෙයි, කෘෂ්ණාශුක්ලධර්‍මයෝ යුගනන්‍ධ වැ එක්වට මැ පවතිත්. මාර්‍ගභාවනාව සාංක්ලේශික වේ.
න හි අතීතෙ කිලෙසෙ පජහති, න අනාගතෙ කිලෙසෙ පජහති, න පච්චුප්පන්නේන කිලෙසෙ පජහති යනු: ඉදින් අතීත කෙලෙසුන් දුරු නො කෙරේ ද, අනාගත ... ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් දුරු නො කෙරේ ද, එසේ වී නම් මාර්‍ගභාවනාවක් නැත් ද, ඵලසාක්‍ෂාත්ක්‍රියාවක් නැත් ද, ක්ලේශප්‍රහාණයෙක් නැත් ද, ධර්‍මප්‍රතිවේධයෙක් නැත් ද යත්. මාර්‍ගභාවනා ද ඇත, ඵලසාක්‍ෂාත්ක්‍රියා ද ඇත, ක්ලේශප්‍රහාණය ද ඇත, ධර්‍මප්‍රතිවේධය ද ඇති. හේ කිසේ යැ යත්: යම්සේ නො පලගත් තරුණ රුකෙක් වේ ද, ඒ මේ රුක පුරුෂයෙක් මුලින් සිඳුනේ නම් එ රුක්හි යම් නූපන් ඵල කෙනෙක් වෙත් නම් ඔහු නො හටගත්තාහු මැ නො හටගනිති, ස්වභාවයට නො පැමිණියාහු මැ ස්වභාවයට නො පැමිණෙති, නූපන්නාහු මැ නූපදිති, නො පහළ වූවාහු ම නො පහළ වෙත් ද, එසෙයින් මැ කෙලෙසුන්ගේ නිපැත්මට උත්පාදය හේතු යැ උත්පාදය ප්‍රත්‍යය යැ’ යි උත්පාදයෙහි ආදීනව දැක අනුත්පාදයෙහි සිත ප්‍රස්කන්‍දනය කෙරෙයි. අනුත්පාදයෙහි සිත ප්‍රස්කන්‍දනය කළ (පැනගත්) බැවින් යම් කෙලෙස් කෙනෙක් උත්පාද ප්‍රත්‍යයෙන් උපදනාහු නම් ඔහු නො හටගත්තාහු මැ නො හටගනිති. ස්වභාවයට නො පැමිණියාහු මැ ස්වභාවයට නො පැමිණෙති, නූපන්නාහු මැ නූපදිති, නො පහළ වූවාහු මැ නො පහළ වෙති. මෙසෙයින් හේතුනිරෝධයෙන් දුඃඛනිරෝධය වෙයි. ප්‍රවෘත්තිය හේතු යැ නිමිත්ත හේතු යැ ආයූහනය හේතු යැ, කෙලෙසුන්ගේ උපැත්මට ආයූහනය ප්‍රත්‍යය යැ’යි ආයූහනයෙහි ආදීනව දැක අනායූහනයෙහි සිත ප්‍රස්කන්‍දනය කෙරෙයි, අනායූහනයෙන් සිත ප්‍රස්කන්‍දනය කළ බැවින් යම් කෙලෙස් කෙනෙක් ආයූහනප්‍රත්‍යයෙන් උපදනාහු නම් ඔහු නො හටගත්තාහු මැ නො හටගනිති, ස්වභාවයට නො පැමිණියාහු මැ ස්වභාවයට නො පැමිණෙති, නූපන්නාහු මැ නූපදිති, නො පහළ වූවාහු මැ නො පහළ වෙති. මෙසෙයින් හේතුනිරෝධයෙන් දුඃඛනිරෝධය වෙයි. මෙසෙයින් මාර්‍ගභාවනා ද ඇත, ඵලසාක්‍ෂාත්ක්‍රියා ද ඇත, ක්ලේශප්‍රහාණය ද ඇත, ධර්‍මප්‍රතිවේධය ද ඇති යයි.
අභිසමය කථා නිමි.
3. 4.
විවේක කථා
[සැවැත්නිදාන යි]
යම්සේ මහණෙනි, යම් කිසි බාහුබලයෙන් කටයුතු කර්‍මාන්ත කෙනෙක් කරනුලැබෙත් ද, එ හැම කර්‍මාන්තයෝ පොළොව නිසා පොළොව්හි පිහිටා කරනුලැබෙති. මෙසේ තෙල බලකරණීය කර්‍මාන්තයෝ කරනුලැබෙත් ද එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩයි. ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩා.
කිසෙයින් මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩා ද, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ ක්ලේශපරිත්‍යාග නිර්‍වාණප්‍රස්කන්‍දන සඞ්ඛ්‍යාත වොස්සග්ගයට පිරිනැමුණු සම්‍යග්දෘෂ්ටිය වඩයි සම්‍යක් සංකල්පය ... සම්‍යග්වචනය ... සම්‍යක්කර්‍මාන්තය ... සම්‍යගාජීවය ... සම්‍යග්ව්‍යායාමය ... සම්‍යක්ස්මෘතිය ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොස්සග්ගයට පිරිනැමුණු සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩා.
මහණෙනි, යම්සේ යම් කිසි බීජගාමභූතගාම කෙනෙක් වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද, එ හැම පොළොව නිසා පොළොව්හි පිහිටා පැමිණෙත්. මෙසේ තෙල බීජගාමභූතගාමයෝ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද, එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ.
මහණෙනි, කිසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොස්සග්ගයට පිරිනැමුණු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යක්සංකල්පය වඩයි ... සම්‍යග්වචනය වඩයි ... සම්‍යක්කර්‍මාන්තය වඩයි ... සම්‍යගාජීවය වඩයි ... සම්‍යග්ව්‍යායාමය වඩයි ... සම්‍යක්ස්මෘතිය වඩයි ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමුණු සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ යයි.
සම්‍යග්දෘෂ්ටියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වොස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි. සම්‍යක්සංකල්පයට ... සම්‍යග්වචනයට ... සම්‍යක්කර්‍මාන්තයට ... සම්‍යගාජීවයට ... සම්‍යග්ව්‍යායාමයට ... සම්‍යක්ස්මෘතියට ... සම්‍යක්සමාධියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වොස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි.
සම්‍යග්දෘෂ්ටියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණ (දුරුකිරීම් වශයෙන් වන) විවේකය ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිවේකය ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේද විවේකය ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේකය ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිස්සරණවිවේකය ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවිවේකයෝ වෙති. මේ පඤචවිවේකයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූයේ වෙයි, ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
සම්‍යග්දෘෂ්ටියට පඤ්චවිරාගයෝ කවරහ යත්: විෂ්කම්භණවිරාග යැ තදඞ්ගවිරාග යැ සමුච්ඡේදවිරාග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග යැ නිස්සරණවිරාග යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිරාග ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිරාග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිරාග ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිස්සරණවිරාග ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවිරාගයෝ වෙති. මේ පඤ්චවිරාගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි, ඔහුගේ සිත ද මොනවට පිහිටියේ වේ.
සම්‍යග්දෘෂ්ටියට පඤ්චනිරෝධයෝ කවරහ යත්: විෂ්කම්භණනිරෝධ යැ තදඞ්ගනිරෝධ යැ සමුච්ඡේදනිරෝධ යැ ප්‍රතිප්‍රශබ්ධිනිරෝධ යැ නිස්සරණ නිරෝධ යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණනිරෝධ ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගනිරෝධ ද ලෝකෝත්තර ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදනිරෝධ ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිනිරෝධ ද අමෘතධාතු වූ නිස්සරණනිරෝධ ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චනිරෝධයෝ වෙති. මේ පඤ්චනිරෝධයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූයේ වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
සම්‍යග්දෘෂ්ටියට පඤ්චවොස්සග්ගයෝ කවරහ යත්: විෂ්කම්භණ වොස්සග්ග යැ තදඞ්ග වොස්සග්ග යැ සමුච්ඡේද වොස්සග්ග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග යැ නිස්සරණ වොස්සග්ග යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණ වොස්සග්ග ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ග වොස්සග්ග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේද වොස්සග්ග ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වූ නිස්සරණ වොස්සග්ග ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවොස්සග්ගයෝ වෙති. මේ පඤ්චවොස්සග්ගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවිවේකයෝ පඤ්චවිරාගයෝ පඤ්චනිරෝධයෝ පඤ්චවොස්සග්ගයෝ දොළොස් නිඃශ්‍රයයෝ වෙත්.
සම්‍යක්සංකල්පයට ... සම්‍යග්වචනයට ... සම්‍යක්කර්‍මාන්තයට ... සම්‍යගාජීවයට … සම්‍යග්ව්‍යයාමයට ... සම්‍යක්ස්මෘතියට ... සම්‍යක්සමාධියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිවේක ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිවේක ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිවේක ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වූ නිස්සරණවිවේක ද වෙයි. සම්‍යක්සමාධියට මේ පඤ්චවිවේකයෝ වෙති. මේ පඤ්චවිවේකයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූයේ වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
සම්‍යක්සමාධියට පඤ්චවිරාගයෝ කවරහ යත්: විෂ්කම්භණවිරාග යැ තදඞ්ගවිරාග යැ සමුච්ඡේදවිරාග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග යැ නිස්සරණවිරාග යි ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිරාග ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිරාග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිරාග ද ඵලක්‍ෂණෙයහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වූ නිස්සරණවිරාග ද වෙයි. සම්‍යක් සමාධියට මේ පඤ්චවිරාගයෝ වෙති. මේ පඤ්චවිරාගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
සම්‍යක්සමාධියට පඤ්චනිරෝධයෝ කවරහ යත්: විෂ්කම්භණනිරෝධ යැ තදඞ්ගනිරෝධ යැ සමුච්ඡේදනිරෝධ යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිනිරෝධ යැ නිස්සරණනිරෝධ යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණනිරෝධ ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට තදඞ්ගනිරෝධ ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදනිරෝධ ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිනිරෝධ ද අමෘතධාතු වූ නිස්සරණනිරෝධ ද වෙයි. සම්‍යක්සමාධියට මේ පඤ්චනිරෝධයෝ වෙති. මේ පඤ්චනිරෝධයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
සම්‍යක්සමාධියට පඤ්ච වොස්සග්ගයෝ කවරහ යත්: විෂ්කම්භණ වොස්සග්ග යැ තදඞ්ග වොස්සග්ග යැ සමුච්ඡේද වොස්සග්ග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග යැ නිස්සරණවොස්සග්ග යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණ වොස්සග්ග ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ග වොස්සග්ග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේද වොස්සග්ග ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වූ නිස්සරණ වොස්සග්ග ද වෙයි. සම්‍යක්සමාධියට මේ පඤ්චවොස්සග්ගයෝ වෙති. මේ පඤ්ච වොස්සග්ගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ. සම්‍යක්සමාධියට මේ පඤ්ච විවේකයෝ පඤ්ච විරාගයෝ පඤ්ච නිරෝධයෝ පඤ්ච වොස්සග්ගයෝ දොළොස් නිස්සයෝ වෙත්.
යම්සේ මහණෙනි, යම් කිසි බලකරණීය වූ කර්‍මාන්ත කෙනෙක් කරනු ලැබෙත් ද එ හැම පොළොව නිසා පොළොව්හි පිහිටා කරනුලැබෙති. මෙසේ තෙල බලකරණීය වූ කර්‍මාන්තයෝ කරනු ලැබෙත් ද එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබෝධ්‍යඞ්ගයන් වඩයි, සප්තබෝධ්‍යඞ්ගයන් පුනපුනා වඩයි ... සප්තබෝධ්‍යඞ්ගයන් වඩනුයේ සප්තබෝධ්‍යඞ්ගයන් පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි ... පඤ්චබලයන් වඩයි, පඤ්චබලයන් පුනපුනා වඩයි ... පඤ්චබලයන් වඩනුයේ පඤ්චබලයන් පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි ... පඤ්චේන්‍ද්‍රියයන් වඩයි, පඤ්චේන්‍ද්‍රියයන් පුනපුනා වඩයි ...
යම්සේ මහණෙනි, යම් කිසි බීජගාමභූතගාම කෙනෙක් වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද එ හැම පොළොව නිසා යැ පොළොව්හි පිහිටා යැ. මෙසේ තෙල බීජගාමභූතගාමයෝ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා පඤ්චේන්‍ද්‍රියයන් වඩනුයේ පඤ්චේන්‍ද්‍රියයන් පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ.
මහණෙනි, කිසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා පඤ්චේන්‍ද්‍රියයන් වඩනුයේ පඤ්චේන්‍ද්‍රියයන් පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි. මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම විවේකනිඃශ්‍රිත විරාගනිඃශ්‍රිත නිරෝධනිඃශ්‍රිත නිවනට පිරිනැමුණු ශ්‍රද්ධේන්‍ද්‍රිය වඩයි ... වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩයි ... ස්මෘතීන්‍ද්‍රිය වඩයි ... සමාධීන්‍ද්‍රිය වඩයි, විවේකනිඃශ්‍රිත විරාගනිඃශ්‍රිත නිරෝධනිඃශ්‍රිත නිවනට පිරිනැමුණු ප්‍රඥේන්‍ද්‍රිය වඩයි. මහණෙනි, මෙසෙයින් මහණ තෙම ශීලය නිසා ... දහම්හි විපුලබවට පැමිණේ යයි.
ශ්‍රද්ධේන්‍ද්‍රියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වොස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි. වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ... ස්මෘතීන්‍ද්‍රියට ... සමාධීන්‍ද්‍රියට ... ප්‍රඥේන්‍ද්‍රියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වෙස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි.
ශ්‍රද්ධේන්‍ද්‍රියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිවේක ද නිර්වේදභාගිය වූ සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිවේක ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිවේක ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වූ නිස්සරණවිවේක ද වෙයි. ශ්‍රද්ධේන්‍ද්‍රියට මේ පඤ්චවිවේකයෝ වෙති. මේ පඤ්චවිවේකයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ ... ශ්‍රද්ධේන්‍ද්‍රියට මේ පඤ්චවිවේකයෝ, පඤ්චවිරාගයෝ, පඤ්චනිරෝධයෝ, පඤ්චවොස්සග්ගයෝ දොළොස් නිඃශ්‍රයයෝ වෙත්.
වීර්‍ය්‍යෙන්‍ද්‍රියට .. ස්මෘතීන්‍ද්‍රියට ... සමාධීන්‍ද්‍රියට ... ප්‍රඥේන්‍ද්‍රියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යැ ... ප්‍රඥේන්‍ද්‍රියට මේ පඤ්චවිවේකයෝ පඤ්චවිරාගයෝ පඤ්චනිරෝධයෝ පඤ්චවොස්සග්ගයෝ දොළොස් නිඃශ්‍රයයෝ වෙත් යයි.
විවේක කථා නිමි.
3. 5.
චරියා කථා
චරියා යනු: චර්‍ය්‍යා අටෙකි. ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා යැ ආයතනචර්‍ය්‍යා යැ ස්මෘතිචර්‍ය්‍යා යැ සමාධිචර්‍ය්‍යා යැ ඥානචර්‍ය්‍යා යැ මාර්‍ගචර්‍ය්‍යා යැ ප්‍රාප්ති (ඵල) චර්‍ය්‍යා යැ ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා යැ යි
ඉරියාපථචරියා යනු: සතර ඉරියව්හි යැ.