Paṭisambhidāmagga

Path of Discrimination

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

පෙන්වන කොටස් 2301-2400 න් 2879

මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති. මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි, උපදවති, බබුළුව පාළ කෙරෙතිත්.
උපරිමදිශායෙහි හැම විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට දකී නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්දෘෂ්ටි විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට සිත අරමුණට නංවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්සංකල්ප විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට පරිග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්වචන විසින් පරිභාවිත වූවා වෙයි ... (ත්‍රිවිධකායසංවරය) මොනොවට ඔසොවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්කර්‍මාන්ත විසින් පරිභාවිත වූවා වෙයි … මොනොවට පරිශුද්ධකරවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යගාජීව විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට ප්‍ර‍්‍රග්‍රහ කෙරේ, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්ව්‍යායාම විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට වටහා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්ස්මෘති විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට පිහිටුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්සමාධි විසින් පරිභාවිත වූවා වේ.
මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි ... මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට පරිවාරයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරනලද වේ.
මේ අෂ්ටමාර්‍ගාඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීකෘතයෝ වෙති, අලඞ්කාරයෝ වෙති, පරිෂ්කාරයෝ වෙති, පරිවාරයෝ වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගතයෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දනයෝ වෙති, ප්‍රසීදනයෝ වෙති, සන්තිට්ඨනයෝ වෙති, විමුක්තිකාරණයෝ වෙති, ‘තෙල (මෛත්‍රීචිත්තවිමුක්තිය) ශාන්ත යැ’යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානීකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති, සුභාවිතයෝ වෙති, මොනොවට පිහිටියාහු වෙති, සුසමුත්‍ථිතයෝ වෙති, සුවිමුක්තයෝ වෙති, උපදවති, පාළ කෙරෙති, බබුළුවත්.
මෛත්‍රීකථා නිමි.
විරාග කථා
විරාගය මාර්‍ග වෙයි, විමුක්තිය ඵල වෙයි.
කිසෙයින් විරාගය මාර්‍ග වෙයි යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙන් විරක්ත වෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විරක්ත වෙයි. බාහ්‍ය වූත් හැම නිමිත්ත කෙරෙන් විරක්ත වෙයි, විරාග තෙම නිවන අරමුණු කොට ඇත්තේ යැ, නිවන ගොදුරු කොට ඇත්තේ යැ නිවන් අරමුණුහි උපන්නේ යැ නිවන්හි (ප්‍රවෘත්ති විසින්) සිටියේ යැ නිවන්හි (නො නවත්නා විසින්) පිහිටියේ යි.
විරාගෝ යනු: විරාග දෙකෙකි: නිර්‍වාණය ද (විරාග හේතු බැවින්) විරාග නම් වෙයි, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙක් වෙත් නම්, හැම විරාග වෙත් නු’යි විරාග නම් වෙති (සම්‍යග්දෘෂ්ටි) සහජාත වූ (සම්‍යක්සංකල්පාදි) සප්තාඞ්ගයෝ විරාග සඞ්ඛ්‍යාත නිර්‍වාණය අරමුණු කොට යෙත් නු’යි (විරාගාලම්බන බැවින්) විරාග නම් (මාර්‍ගණාර්‍ත්‍ථයෙන්) මාර්‍ග නම් වෙයි. තෙල මාර්‍ගයෙන් බුදුවරු ද බුද්ධශ්‍රාවකයෝ ද නො ගියවිරූ දිශාව වූ නිවනට යෙත් නු’යි අෂ්ටාඞ්ගමාර්‍ග නම් වෙයි. යම්තාක් වෙන් වෙන් මහණබමුණන්ගේ ද මෙයින් අන්‍යලබ්ධි ඇතියන්ගේ මාර්‍ගයෝ වෙත් නම්, (ඔවුනතුරෙහි) මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ නු’යි මාර්‍ගයන් අතුරින් අෂ්ටාඞ්ගමාර්‍ගය ඉතා ප්‍රශංසනීය වේ.
අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සංකල්පය මිථ්‍යාසංකපල්පය කෙරෙන් විරක්ත වෙයි. පරිග්‍රහ (චතුර්විධවාක්සංවර) ස්වභාවයෙන් සම්‍යග්වචනය මිථ්‍යාවචනය කෙරෙන් විරක්ත වෙයි ... සමුත්‍ථාන (ත්‍රිවිධකායසංවර) ස්වභාවයෙන් සම්‍යක්කර්‍මාන්ත මිථ්‍යාකර්‍මාන්තය කෙරෙන් විරක්ත වෙයි ... ව්‍යවදානාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීවය මිථ්‍යාජීවය කෙරෙන් විරක්ත වෙයි ... ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමය කෙරෙන් විරක්ත වෙයි ... උපස්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘතිය මිථ්‍යාස්මෘතිය කෙරෙන් විරක්ත වෙයි ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය මිථ්‍යාසමාධිහු කෙරෙන් විරක්ත වෙයි. එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විරක්ත වෙයි, බාහ්‍ය වූත් හැම නිමිත්ත කෙරෙන් විරක්ත වෙයි. විරාගය විරාග සඞ්ඛ්‍යාත නිවන අරමුණු කොට ඇත්තේ යැ නිවන ගොදුරු කොට ඇත්තේ යැ නිවන් අරමුණුහි උපන්නේ යැ නිවන්හි සිටියේ යැ නිවන්හි පිහිටියේ යි.
විරාගෝ යනු: විරාග දෙකෙකි: නිවන ද විරාග නම් වෙයි, නිවන් අරමුණුහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙක් වෙත් නම් හැම විරාග වෙත් නු’යි විරාග නම් වෙති, (සම්‍යග්දෘෂ්ටි) සහජාත වූ (සම්‍යක්සංකල්පාදි) සප්තාඞ්ගයෝ විරාගයට යෙත් නු’යි (විරාගාලම්බන බැවින්) විරාග නම් (ගමනාර්‍ත්‍ථයෙන්) මාර්‍ග නම් වෙයි. තෙල මාර්‍ගයෙන් බුදුවරු ද බුද්ධශ්‍රාවකයෝ ද නො ගියවිරූ දෙස වූ නිවනට යෙත් නු’යි අෂ්ටාඞ්ගමාර්‍ග නම් වෙයි. යම්තාක් වෙන් වෙන් මහණබමුණන්ගේ ද මෙයින් අන්‍යලබ්ධි ඇතියන්ගේ ද මාර්‍ග කෙනෙක් වෙත් නම් (ඔවුනතුරින්) මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ග අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ නු’යි මාර්‍ගයන් අතුරින් අෂ්ටාඞ්ගමාර්‍ගය ශ්‍රේෂ්ඨ යි.
සකෘදාගාමිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය ඖදාරික වූ කාමරාග සංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික වූ කාමරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් විරක්ත වෙයි, තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විරක්ත වෙයි, බාහ්‍ය වූත් හැම නිමිත්ත කෙරෙන් විරක්ත වෙයි. විරාගය නිර්‍වාණය අරමුණු කොට ඇත්තේ යැ, නිර්‍වාණය ගොදුරු කොට ඇත්තේ ය. නිර්‍වාණාලම්බනයෙහි උපන්නේ යැ නිර්‍වාණායෙහි (ප්‍රවෘත්ති විසින්) සිටියේ යැ නිර්‍වාණයෙහි පිහිටියේ යි.
විරාගෝ යනු: විරාග දෙකෙකි: නිර්‍වාණය ද විරාගයෙක, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙකුත් වෙත් නම් එ හැම විරාග නම් වෙත් නු’යි විරාගහ (සම්‍යග්දෘෂ්ටි) සහජාත වු (සම්‍යක්සංකල්පාදි) සප්තාඞ්ගයෝ විරාගයට යෙත් නු’යි (විරාගාලම්බන බැවින්) විරාග නමුදු, (ගමනාර්‍ත්‍ථයෙන්) මාර්‍ග නමුදු වෙයි. තෙල මාර්‍ගයෙන් බුදුවරු හා බුද්ධශ්‍රාවකයෝ හා නො ගියවිරූ දෙස වු නිවනට යෙත් නු’යි අෂ්ටාඞ්ගිකමාර්‍ග නම් වෙයි. යම්තාක් වෙන් වෙන් මහණබමුණන්ගේ ද මෙයින් අන්‍යලබ්ධි ඇතියන්ගේ ද මාර්‍ග කෙනෙක් වෙත් නම් (ඔවුනතුරින්) මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේනු’යි මාර්‍ගයන් අතුරින් අෂ්ටාඞ්ගිකමාර්‍ග ශ්‍රේෂ්ඨ යි.
ආනාගාමිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය අණුසහගිය කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් අනුසහගිය කාමරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් විරක්ත වෙයි. තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විරක්ත වෙයි. බාහ්‍ය වූත් හැම නිමිත්ත කෙරෙන් විරක්ත වෙයි. විරාගය නිර්‍වාණය ආලම්බනය කොට ඇත්තේ යැ ... මාර්‍ගයන් අතුරින් අෂ්ටාඞ්ගිකමාර්‍ගය ශ්‍රේෂ්ඨ යි.
අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් විරක්ත වෙයි, තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විරක්ත වෙයි, බාහ්‍ය වූත් හැම නිමිත්ත කෙරෙන් විරක්ත වෙයි, විරාගය නිර්‍වාණය ආලම්බන කොට ඇත්තේ යැ නිර්‍වාණ ගෝචර කොට ඇත්තේ යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන්නේ යැ නිර්‍වාණාලම්බනයෙහි සිටියේ යැ නිර්‍වාණාලම්බනයෙහි පිහිටියේ යි.
විරාගෝ යනු: විරාග දෙකෙකි: නිර්‍වාණය ද විරාග යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙක් වෙත් නම් එහැම විරාග වෙත් නු යි විරාගහ, (සම්‍යග්දෘෂ්ටි) සහජාත වූ (සම්‍යක් සංකල්පාදි) සප්තාඞ්ගයෝ විරාගයට යෙත් නු’යි විරාග නම් මාර්‍ග නම් වෙයි. තෙල මාර්‍ගයෙන් බුදුවරු ද බුද්ධශ්‍රාවකයෝ ද නො ගියවිරූ දෙස වූ නිර්‍වාණයට යෙත් නු’යි අෂ්ටාඞ්ගික මාර්‍ග නම් වෙයි. යම්තාක් වෙන් වෙන් මහණබමුණන්ගේ ද මෙයින් අන්‍යලබ්ධි ඇතියන්ගේ ද මාර්‍ග කෙනෙක් වෙත් නම් (ඔවුනතුරින්) මෙ මැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගය අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ නු’යි මාර්‍ගයන් අතුරින් අෂ්ටාඞ්ගිකමාර්‍ගය ශ්‍රේෂ්ඨ යි.
දර්‍ශන සඞ්ඛ්‍යාත විරාගය සම්‍යග්දෘෂ්ටි යැ, අභිනිරෝපණ (අරමුණට සිත නැංවීම්) සඞ්ඛ්‍යාත විරාගය සම්‍යක්සංකල්ප යැ, පරිග්‍රහ (චතුර්විධ වාක්සංවර) සඞ්ඛඛාත විරාගය සම්‍යග්වචන යැ, සමුත්‍ථාන (ත්‍රිවිධ කායසංවර) සඞ්ඛ්‍යාත විරාගය සම්‍යක්කර්‍මාන්ත යැ, ව්‍යවදාන සඞ්ඛ්‍යාත විරාගය සම්‍යගාජීව යැ, ප්‍රග්‍රහ සඞ්ඛ්‍යාත විරාගය සම්‍යග්ව්‍යායාම යැ උපස්ථාන (වැටහීම්) සඞ්ඛ්‍යාත විරාගය සම්‍යක් ස්මෘති යැ, අවික්‍ෂේප සඞ්ඛ්‍යාත විරාගය සම්‍යක් සමාධි යි.
උපස්ථාන සඞ්ඛ්‍යාත විරාගය ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ, ප්‍රවිචය (විමසීම්) සඞ්ඛ්‍යාත විරාගය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ, ප්‍රග්‍රහ සඞ්ඛ්‍යාත විරාගය වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ, ඵරණ (අරමුණු කිරීම්) සඞ්ඛ්‍යාත විරාගය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ, ව්‍යුපශම සඞ්ඛ්‍යාත විරාගය ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ, අවික්‍ෂේප සඞ්ඛ්‍යාත විරාගය සමාධිසම්බොධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යවේක්‍ෂා සඞ්ඛ්‍යාත විරාගය උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
අශ්‍රද්ධායෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත විරාගය ශ්‍රද්ධාබල යැ, කෞසීද්‍යායෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත විරාගය වීර්‍ය්‍යබල යැ, ප්‍රමාදයෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත විරාගය ස්මෘතිබල යැ, ඖද්ධත්‍යයෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත විරාගය සමාධිබල යැ, අවිද්‍යායෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත විරාගය ප්‍රඥාබල යි.
අධිමෝක්‍ෂ සඞ්ඛ්‍යාත විරාගය ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ, ප්‍රග්‍රහ සඞ්ඛ්‍යාත විරාගය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ, උපස්ථාන සඞ්ඛ්‍යාත විරාගය ස්මෘතින්‍ද්‍රිය යැ, අවික්‍ෂේප සඞ්ඛ්‍යාත විරාගය සමාධීන්‍ද්‍රිය යැ, දර්‍ශන සඞ්ඛ්‍යාත විරාගය ප්‍රඥේන්‍ද්‍රිය යි.
අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ විරාග යැ, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලධර්‍මය විරාග යැ, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගයෝ විරාග යැ, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගය විරාගය යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානයෝ විරාග යැ, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධානයෝ විරාග යැ, සමෘද්ධ වන ස්වභාවයෙන් ඍද්ධිපාදයෝ විරාග යැ, යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ විරාග යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය විරාගය යැ, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව විරාග යැ, නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් යුගනන්‍ධය විරාග යැ, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය විරාග යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්ත විශුද්ධිය විරාගය යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය විරාග යැ, විමුක්ත්‍යර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය විරාගය යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව විරාග යැ, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය විරාග යැ, සමුච්ඡේදාර්‍ත්‍ථයෙන් ක්‍ෂයඥානය විරාග යැ, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් විරාග යැ, මනස්කාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් විරාග යැ, ස්පර්‍ශ සමවධානාර්‍ත්‍ථයෙන් විරාග යැ, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් විරාග යැ, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් විරාග යැ, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් විරාග යැ, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් විරාග යැ, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් විරාග යැ, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් විරාග යි.
දර්‍ශන සඞ්ඛ්‍යාත මාර්‍ගය සම්‍යග්දෘෂ්ටි යැ, අභිනිරෝපණ සඞ්ඛ්‍යාත මාර්‍ගය සම්‍යක් සංකල්ප යැ, ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් මාර්‍ග යි. මෙසෙයින් විරාගය මාර්‍ග නම් වේ.
කිසෙයින් විමුක්තිය ඵල වෙයි යත්: ශ්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙන් විමුක්ත (මිදුණේ) වෙයි. තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විමුක්ත වෙයි. බාහ්‍ය වූ ත් හැම නිමිත්ත කෙරෙන් විමුක්ත වෙයි. විමුක්තිය නිවන අරමුණු කොට ඇත්තී යැ, නිවන ගොදුරු කොට ඇත්තී යැ, නිවන් අරමුණෙහි උපන්නී යැ, නිවන්හි සිටියා යැ, නිවන්හි පිහිටියා වේ.
විමුත්ති යනු: විමුක්ති දෙකෙකි: නිර්‍වාණය ද විමුක්ති යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙක් වෙත් නම් එ හැම විමුක්ත වෙත් නු’යි විමුක්තිඵල නම් වේ.
අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සංකල්පය මිථ්‍යාසංකල්පයෙන් විමුක්ත වෙයි, තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විමුක්ත වෙයි, බාහ්‍ය වූ ත් හැම නිමිත්ත කෙරෙන් විමුක්ත වෙයි. විමුක්තිය නිවන් අරමුණු කොට ඇත්තී යැ, නිවන් ගොදුරු කොට ඇත්තී යැ, නිවන් අරමුණුහි උපන්නී යැ, නිවන්හි සිටියා නිවන්හි පිහිටියා වේ.
විමුත්ති යනු විමුක්ති දෙකෙක: නිර්‍වාණය ද විමුක්ති නම, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙකුන් වෙත් නම් ඒ හැම විමුක්ත වෙත් නු’යි විමුක්තිඵල නම් වේ.
පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචනය මිථ්‍යාවචනයෙන් මිදුණේ වෙයි ... සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්තය මිථ්‍යාකර්‍මාන්තයෙන් මිදුණේ වෙයි. ව්‍යවදානාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීවය මිථ්‍යාආජීවයෙන් මිදුණේ වෙයි. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමයෙන් මිදුණේ වෙයි. උපස්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘතිය මිථ්‍යාස්මෘතියෙන් මිදුණා වෙයි. අවික්‍ෂේපපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය මිථ්‍යාසමාධියෙන් මිදුණේ වෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද මිදුණේ වෙයි, බාහ්‍ය වූ ත් හැම නිමිත්ත කෙරෙන් මිදුණේ වෙයි, විමුක්තිය නිවන් අරමුණු කොට ඇත්තී යැ, නිවන් ගොදුරු කොට ඇත්තී යැ නිවන් අරමුණුහු උපන්නී යැ, විමුක්තියෙහි සිටියා විමුක්තියෙහි පිහිටියා වේ.
විමුත්ති යනු විමුක්ති දෙකෙක: නිවන ද විමුක්ති නම්, නිවන් අරමුණුහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙක් වෙත් නම් එ හැම විමුක්ත වෙත් නු’යි විමුක්තිඵල නම් වේ.
සකෘදාගාමිඵලක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක් සමාධිය ඖදාරික වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික වූ කාමරාගානුශයෙන් ප්‍ර‍්‍රතිඝානුශයෙන් විමුක්ත වෙයි, තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විමුක්ත වෙයි. බාහ්‍ය වූ ත් හැම නිමිත්ත කෙරෙන් විමුක්ත වෙයි. විමුක්තිය නිවන් අරමුණු කොට ඇත්තී යැ, නිවන් ගොදුරු කොට ඇත්තී යැ, නිවන් අරමුණුහි උපන්නී යැ, නිවන්හි සිටියා නිවන්හි පිහිටියා යි.
විමුත්තී යනු: විමුක්ති දෙකෙකි නිර්‍වාණය ද විමුක්ති යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙක් වෙත් නම් එ හැම විමුක්ත වෙත් නු’යි විමුක්තිඵල යි.
අනාගාමිඵලණක්‍ෂයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය .. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය අණුසහගත වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් අණුසහගත වූ කාමරාගාශනුයෙන් ප්‍රතිඝානුශයෙන් විමුක්ත වෙයි, තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විමුක්ත වෙයි. බාහ්‍ය වූ ත් හැම නිමිත්ත කෙරෙන් විමුක්ත වෙයි. විමුක්තිය නිර්‍වාණය ආලම්බන කොට ඇත්තී යැ, නිර්‍වාණය ගෝචර කොට ඇත්තී යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන්නී යැ, නිවන්හි සිටියා නිවන්හි පිහිටියා වේ.
විමුත්ති යනු විමුක්ති දෙකෙකි විමුක්තිඵල යි.
අර්‍හත්ඵලක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක් සමාධිය රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් විමුක්ත වෙයි. තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විමුක්ත වෙයි, බාහ්‍ය වූ ත් හැම නිමිත්ත කෙරෙන් විමුක්ත වෙයි. විමුක්තිය නිර්‍වාණය ආලම්බන කොට ඇත්තී යැ, නිර්‍වාණය ගෝචර කොට ඇත්තී යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන්නී යැ, නිර්‍වාණාලම්බනයෙහි සිටියා නිර්‍වාණාලම්බනයෙහි පිහිටියා වේ.
විමුත්ති යනු විමුක්ති දෙකෙකි: නිර්‍වාණය ද විමුක්ති යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙකුත් වෙත් නම් එ හැම විමුක්ත වෙත් නු’යි විමුක්තිඵල යැ.
දර්‍ශන සඞ්ඛ්‍යාත විමුක්තිය සම්‍යග්දෘෂ්ටි යැ ... අවික්‍ෂේපවිමුක්තිය සම්‍යක් සමාධි යැ. උපස්ථානවිමුක්තිය ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... පටිසඞ්ඛාන විමුත්තිය උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යැ අශ්‍රද්ධායෙහි නො සැලෙන විමුක්තිය ශ්‍රද්ධාබල යැ ... අවිද්‍යායෙහි නො සැලෙන විමුක්තිය ප්‍රඥාබල යැ. අධිමෝක්‍ෂවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ ... දර්‍ශනවිමුක්තිය ප්‍රඥේන්‍ද්‍රිය යි.
අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ විමුක්ති යැ, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලධර්‍මයෝ විමුක්ති යැ, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගයෝ විමුක්ති යැ හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගය විමුක්ති යැ, වටහන අර්‍ත්‍ථයෙන් සතිපට්ඨානයෝ විමුක්ති යැ, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රදහනයෝ විමුක්ති යැ, සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධිපාදයෝ විමුක්ති යැ, යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ විමුක්ති යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය විමුක්ති යැ, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව විමුක්ති යැ, ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන් ශමථ-විදර්‍ශනා විමුක්ති යැ, (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් යුගනද්ධය විමුක්ති යැ, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය විමුක්ති යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධිය විමුක්ති යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය විමුක්ති යැ, විමුක්ත්‍යර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය විමුක්ති යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව විමුක්ති යැ, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය විමුක්ති යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථයෙන් අනුත්පාදඥානය විමුක්ති යැ, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, මනස්කාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, මෙසෙයින් විමුක්තිය ඵල වේ.
මෙසෙයින් විරාගය මාර්‍ග වෙයි, විමුක්තිය ඵල වේ යයි.
විරාගකථා නිමි.
ප්‍රතිසංවිත් කථා
මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන්හි මිගදාය නම් වූ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන් ඇමතූ සේක:
මහණෙනි, මේ අන්තයෝ දෙදෙනෙක් පැවිද්දහු විසින් නො සෙවිය යුත්තාහ. කවර දෙදෙනෙක යත්: යම් හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් ආචීර්‍ණ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ වස්තුකාමයෙහි ක්ලේශකාමසුඛයාගේ අනුයෝගයෙකුත් වේ ද, යම් දුක් වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ ආත්මක්ලමථයාගේ අනුයෝගයෙකුත් වේ ද මොහු දෙදෙන වෙත්. මහණෙනි, තෙල අන්තද්වයට නො පැමිණ තථාගත විසින් ප්‍රතිවේධ කරන ලද පැනඇස් ඇති කරන්නී වූ නුවණ ඇති කරන්නී වූ මධ්‍යමප්‍රතිපදාව කෙලෙසුන් සන්හිඳීම් පිණිස චතුස්සත්‍යයාගේ අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවති.
මහණෙනි, තථාගතයන් විසින් ප්‍රතිවේධ කරනලද, පැනැස උපදවන නුවණ උපදවන ඒ කවර මධ්‍යමප්‍රතිපදාවක් කෙලෙසුන් සන්හිඳීම පිණිස චතුස්සත්‍යයාගේ අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී ද යත්: මෙ මැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිමාර්‍ග යැ, හෙ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ, සම්‍යක් සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යක් ව්‍යායාම යැ සම්‍යක් ස්මෘති යැ සම්‍යක් සමාධි යැ යි. මහණෙනි, තථාගතයන් විසින් ප්‍රතිවේධ කරනලද පැනැස උපදවන නුවණ උපදවන මේ ඒ මධ්‍යමප්‍රතිපදාව කෙලෙසුන් සන්හිඳීම පිණිස චතුස්සත්‍යයාගේ අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
මහණෙනි, මේ වනාහි දුඃඛ නම් ආර්‍ය සත්‍යය වෙයි, ජාතිය ද දුක් යැ ජරාව ද දුක් යැ ව්‍යාධිය ද දුක් යැ මරණය ද දුක් යැ අප්‍රියයන් හා සමග එක්වීම ද දුක් යැ ප්‍රියයන් කෙරෙන් වෙන්වීම ද දුක් යැ ඉස්නේ යමක් නො ලබා නම් එ ද දුක් යැ සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුඃඛයෝ යි.
මහණෙනි, මේ වනාහි දුඃඛසමුදය නම් වු ආර්‍ය්‍යසත්‍යය වෙයි: යම් තෘෂ්ණාවක් පුනර්‍භවය කරනසුලු ද නන්‍දිරාගය හා සමග ඒකත්‍වයට ගියා ද ඒ ඒ භවයෙහි සතුටුවනසුලු ද හෝ තෘෂ්ණා යැ. හේ මෙසේ යැ: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි.
මහණෙනි, මේ වනාහි දුඃඛනිරෝධ නම් වු ආර්‍ය්‍යසත්‍යය වෙයි: ඒ මැ තෘෂ්ණායෙහි යම් අශේෂවිරාග සඞ්ඛ්‍යාත නිරෝධයෙක් ත්‍යාගයෙක් හැරපීමෙක් මුක්තියක් ආලය රහිත බවෙක් වේ ද හේ යැ.
මහණෙනි, මේ වනාහි දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් නම් වූ ආර්‍ය්‍යසත්‍යය වෙයි: මෙ මැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ග යැ, හෙ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ ... සම්‍යක් සමාධි යැ යි.
මහණෙනි, ‘මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසූ විරූ දහම්හි මට පැනැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ වූ යැ ආලෝකය පහළ විය. තවද මහණෙනි, ඒ මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍යය (සාමාන්‍යලක්‍ෂණාවබෝධ විසින්) පිරිසිඳ දතයුතු යැ’යි මට ... මහණෙනි, ම විසින් ‘පරිඥාත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි පැනැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
මහණෙනි, ‘මේ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. තවද මහණෙනි, ‘ඒ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍යය ප්‍රහාතව්‍ය යැ’යි මට ... මහණෙනි, ම විසින් ‘ප්‍රහීණ යැ’යි පෙර නො ඇසූ විරූ දහම්හි මට පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
මහණෙනි, ‘මේ දුඃඛනිරෝධ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි මට පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. තවද මහණෙනි, ‘ඒ මේ දුඃඛනිරෝධය නම් වු ආර්‍ය්‍යසත්‍යය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ’යි මට ... මහණෙනි, මා විසින් ‘සාක්‍ෂාත්කෘත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
මහණෙනි, ‘මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි මට පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. තවද මහණෙනි, ඒ මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් නම් වූ ආර්‍ය්‍යසත්‍යය භාවිතව්‍ය යැ’යි මට ... මහණෙනි, ම විසින් භාවිත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
මහණෙනි, යම්තාක් මට මේ සතර ආර්‍ය්‍යසත්‍යයන්හි මෙසේ තුන් පරිවෘත්තයක් ඇති දොළොස් ආකාරයක් ඇති ඥාන සඞ්ඛ්‍යාත දර්‍ශනය ඇති සැටියෙන් සුවිශුද්ධ නො වී ද, මහණෙනි, ඒ තාක් මට මරුන් සහිත බඹුන් සහිත සදේවකලෝකයෙහි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජායෙහි ‘අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමී’ නො මැ පිළින කෙළෙමි. මහණෙනි, වැළිත් යම් කලෙක මට මේ සතර ආර්‍ය්‍යසත්‍යයන්හි මෙසේ තුන් පරිවෘත්තයක් ඇති දොළොස් ආකාරයක් ඇති ඥාන සඞ්ඛ්‍යාත දර්‍ශනය ඇති සැටියෙන් සුවිශුද්ධ වී ද, මහණෙනි, එකල්හි මම මරුන් සහිත බඹුන් සහිත සදේවකලෝකයෙහි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි ‘අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමී’ පිළින කෙළෙමි. මට ඥාන සඞ්ඛ්‍යාත දර්‍ශන පහළ විය. මාගේ විමුක්තිය අකෝප්‍ය වෙයි. මේ පශ්චිම ස්කන්‍ධප්‍රවෘත්තිය යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ’යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ, සතුටුසිත් ඇති පස්වගමහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වූහ.
මේ වෙය්‍යාකරණය වදාරනු ලබන කල්හි ආයුෂ්මත් කෞණ්ඩින්‍ය ස්ථවිරයන්ට පහවූ රාගාදිරජස් ඇති පහවූ රාගාදිමල ඇති ප්‍රථමමාර්‍ගඥාන සඞ්ඛ්‍යාත ධර්‍මචක්‍ෂුස පහළ විය: ‘යම්කිසි සමුදයස්වභාව ඇති ධර්‍මයක් වේ නම් එ හැම නිරෝධ ස්වභාව ඇත්තේ යැ’යි.
තවද භාග්‍යවතුන් විසින් දම්සක් පැවැත්වූ කල්හි ‘තෙල භාග්‍යවතුන් විසින් බරණැස ඉසිපතන්හි මිගදාය නම් අරම්හි දී මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවක්හු විසින් හෝ පිළිලොම් වැ නො පැවැත්විය හැකි අනුත්තර වූ දම්සක් පවත්වනලදැ’යි බූමාටු දෙවියෝ සාධුකාර දී හඬ ඇස්වූහ. බූමාටුදෙවියන්ගේ හඬ අසා සිව්මහරදවැසි දෙවියෝ හඬ ඇස්වූහ ... සිව්මහරද වැසි දෙවියන්ගේ හඬ අසා තව්තිසාවැසි දෙවියෝ ... යාමදෙවියෝ ... තුසිතදෙවියෝ ... නිර්ම්මාණරතීදෙවියෝ ... පරනිර්මිතවශවර්තිදෙවියෝ ... බ්‍රහ්මකායික දෙවියෝ ‘තෙල භාග්‍යවතුන් විසින් බරණැස ඉසිපතන්හි මිගදාය නම් අරම්හි දී මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවක්හු විසින් හෝ පිළිලොම් වැ නො පැවැත්වියහැකි අනුත්තර වූ දම්සක් පවත්වනලදැ’යි සාධුකාර දී හඬ ඇස්වූහ.
මෙසේ එකෙණෙහි ඒ මොහොතෙහි බඹලොව තෙක් සාධුකාරශබ්දය උස් වැ ගියේ යැ. මේ දශසහස්‍රලෝකධාතුව ද මොනොවට කම්පිත විය මොනොවට ප්‍රකම්පිත විය මොනොවට වෙවුළී යැ, දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම අප්‍රමාණ වූ මහත් වූ අවභාසයෙක් ද ලෝකයෙහි ප්‍රාදුර්භූත වී.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භවත් කෞණ්ඩින්‍ය ඒකාන්තයෙන් චතුස්සත්‍යය දත්තේ යැ. භවත් කෞණ්ඩින්‍ය ඒකාන්තයෙන් චතුස්සත්‍යය දත්තේ යැ’යි මේ උදානය පැවැත් වූ සේක. මෙ අයුරින් ආයුෂ්මත් කෞණ්ඩින්‍යස්ථවිරයන්ට ‘අඤ්ඤාකොණ්ඩඤ්ඤ යැ’යි නම් වී’.
‘මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය නුවණ පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය.
‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
චක්‍ෂුස ධර්‍ම යැ, ඥානය ධර්‍ම යැ, ප්‍රඥාව ධර්‍ම යැ, විද්‍යාව ධර්‍ම යැ, ආලෝකය ධර්‍ම යි. මේ පඤ්චධර්‍මයෝ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති, යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං ධම්මපටිසම්භිදා’යි.
දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ඥාතාර්‍ත්‍ථය අර්‍ත්‍ථය යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්ච අර්‍ත්‍ථයෝ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති, යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඇයට ගෝචර වෙති, යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඇයට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථේසු ඤාණං අත්‍ථපටිසම්භිදා’යි.
පඤ්චධර්‍මයන් (මෙරමාහට) දක්වන්නට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති, පඤ්ච අර්‍ත්‍ථයන් දක්වන්නට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති. මේ දශනිරුක්තීහු නිරුක්තීප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති, යම් නිරුක්ති කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තීප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් නිරුක්ති කෙනෙක් ඒ නිරුක්තීප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තීප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.
පඤ්චධර්‍මයන්හි ඥානයෝ යැ පඤ්චඅර්‍ත්‍ථයන්හි ඥානයෝ යැ දශනිරුක්තීන්හී ඥානයෝ යැ. මේ විංශද්ඥානයෝ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’යි.
තවද, ඒ මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍යය පිරිසිදු දතයුතු යැ’යි ... ‘පිරිසිඳ දන්නාලදැ’යි යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
චක්‍ෂුස ධර්‍ම යැ, ඥානය ධර්‍ම යැ, ප්‍රඥාව ධර්‍ම යැ විද්‍යාව ධර්‍ම යැ, ආලෝකය ධර්‍ම යැ, මේ පඤ්චධර්‍මයෝ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් ධර්‍ම කෙනෙක්, ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං, ධම්මපටිසම්භිදා’යි.
දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ඥාතාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, මේ පඤ්චඅර්‍ත්‍ථයෝ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථේසු ඤාණං අත්‍ථපටිසම්භිදා’යි.
පඤ්චධර්‍මයන් (මෙරමාහට) දක්වන්නට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති, පඤ්චඅර්‍ත්‍ථයන් දක්වන්නට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති. මේ දශනිරුක්තීහු නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් නිරුක්ති අභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.
පඤ්චධර්‍මයන්හි ඥානයෝ යැ පඤ්චඅර්‍ත්‍ථයන්හි ඥානයෝ යැ. දශනිරුක්තීන්හි ඥානයෝ යැ මේ විංශද්ඥානයෝ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’යි.
දුඃඛාර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
‘මේ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... තවද ඒ මේ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍යය ප්‍රහාතව්‍ය යැ’යි ... ප්‍රහීණ යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
‘මේ දුඃඛනිරෝධ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය. ... ආලෝකය පහළ විය ... තවද ඒ මේ දුඃඛනිරෝධ නම් වූ ආර්‍ය්‍යසත්‍යය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ’යි ... සාක්‍ෂාත්කෘත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... දුඃඛනිරෝධ නම් වූ ආර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම පසළොසෙක. අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
‘මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... තවද ඒ මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා නම් වූ ආර්‍ය්‍යසත්‍යය භාවිතව්‍ය යැයි ... භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා නම් වූ ආර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ධර්‍ම සැටෙක, අර්‍ත්‍ථ සැටෙක, නිරුක්ති එක්සිය විස්සෙක, ඥාන දෙසියසතලිසෙකි.
මහණෙනි, මට ‘මේ කයෙහි කායානුපස්සනා භාවනා යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය. ආලෝකය පහළ විය. තවද මහණෙනි, මට ‘ඒ මේ කයෙහි කායානුපස්සානාභාවනාව භාවිතවය්‍ය යැ’යි ... මහණෙනි, මා විසින් භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය.
මහණෙනි, මට ‘මේ වේදනාවන්හි ... මේ චිත්තයෙහි ... මහණෙනි, මට ‘මේ ධර්‍මයන්හි ධම්මානුපස්සනා භාවනා යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය. ‘තවද ඒ මේ ධර්‍මයන්හි ධම්මානුපස්සනා භාවනාව භාවිතව්‍ය යැ’යි ... භාවිත යැ’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය.
මේ කයෙහි කායානුපස්සනාභාවනා යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... තවද ඒ කයෙහි කායානුපස්සනාභාවනාව භාවිතව්‍ය යැ’යි ... භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
චක්‍ෂුස ධර්‍ම යැ ඥානය ධර්‍ම යැ ප්‍රඥාව ධර්‍ම යැ විද්‍යාව ධර්‍ම යැ ආලෝකය ධර්‍ම යි. මේ පඤ්චධර්‍මයෝ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු, ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්, එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං ධම්මපටිසම්භිදා’යි.
දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ඥාතාර්‍ත්‍ථ යැ අර්‍ත්‍ථ යැ ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්ච අර්‍ත්‍ථයෝ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථේසු ඤාණං අත්‍ථපටිසම්භිදා’යි.
පඤ්චධර්‍මයන් (මෙරමාහට) දක්වනුවට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති, පඤ්ච අර්‍ත්‍ථයන් දක්වනුවට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති. මේ දශනිරුක්තීහු නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්, එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.
පඤ්චධර්‍මයන්හි ඥානයෝ යැ පඤ්චඅර්‍ත්‍ථයන්හි ඥානයෝ යැ දශනිරුක්තින්හි ඥානයෝ යැ. මේ විංශද්ඥානයෝ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභාන ප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙති, එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’යි.
කයෙහි කායානුපස්සනාසතිපට්ඨානභාවනායෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුත්ති තිසෙක, ඥාන සැටෙකි.
‘මේ වේදනාවන්හි ... මේ චිත්තයෙහි ... මේ ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශන යැ’යි පෙර නො ඇසුවිරූ ධර්‍මයන්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... තවද ඒ මේ ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශනය භාවිතව්‍ය යැ’යි ... භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... ධර්‍මයන්හි ධම්මානුපස්සනා සතිපට්ඨානයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
සතර සතිපට්ඨානයන්හි ධර්‍ම සැටෙක, අර්‍ත්‍ථ සැටෙක, නිරුක්ති එක්සියවිස්සෙක, ඥාන දෙසිය සාලිසෙකි.
‘මේ කර්තුකම්‍යතා කුශලච්ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය, ‘තවද ඒ මේ ඡන්‍ද සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදය භාවිතව්‍ය යැ’යි මහණෙනි, මට ... භාවිත යැ’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
‘මේ වීර්‍ය්‍යාධිපතිසමාධියෙන් මේ චිත්තාධිපතිසමාධියෙන් ... මේ විමංසාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍධිපාද ය’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. ‘තවද ඒ මේ විමංසාධිපති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදය භාවිතව්‍ය යැ’යි මහණෙනි, මට ‘භාවිත යැ’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
“මේ ඡන්‍දාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත ඍද්ධිපාද යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... ‘තවද ඒ මේ ඡන්‍දාධිපති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදය භාවිතව්‍ය යැ’යි ... ‘භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
‘චක්ඛුං උදාපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
චක්‍ෂුස ධර්‍ම යැ ඥානය ධර්‍ම යැ ප්‍රඥාව ධර්‍ම යැ විද්‍යාව ධර්‍ම යැ ආලෝකය ධර්‍ම යි. මේ පඤ්චධර්‍මයෝ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්, එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං ධම්මපටිසම්භිදා’යි.
දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ඥාතාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ ප්‍රඤ්ච අර්‍ත්‍ථයෝ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනුලැබෙයි: ‘අත්‍ථේසු ඤාණං අත්‍ථපටිසම්භිදා’යි.
පඤ්චධර්‍මයන් (මෙරමාහට) දක්වනුවට ව්‍යඤ්ජන නිරුක්ත්‍යභිලාපයෝ වෙති, පඤ්ච අර්‍ත්‍ථයන් දක්වනුවට ව්‍යඤ්ජන නිරුක්ත්‍යභිලාපයෝ වෙති, මේ දශනිරුක්තීහු නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනුලැබෙයි: ‘නිරුත්තීසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.
පඤ්චධර්‍මයන්හි ඥානයෝ වෙති, පඤ්චඅර්‍ත්‍ථයන්හි ඥානයෝ වෙති, දශනිරුක්තීන්හි ඥානයෝ වෙත්. මේ විංශද්ඥානයෝ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’ යි.
ඡන්‍දාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
‘මේ වීර්‍ය්‍යාධිපතිසමාධියෙන් ... මේ චිත්තාධිපතිසමාධියෙන් ... මේ විමංසාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... ‘තවද ඒ මේ විමංසාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදය භාවිතව්‍ය යැ’යි ... භාවිත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... විමංසාධිපති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
සතර ඍද්ධිපාදයන්හි ධර්‍ම සැටෙක, අර්‍ත්‍ථ සැටෙක, නිරුක්ති එක්සිය විස්සෙක, ඥාන දෙසියසාලිසෙකි.
මහණෙනි, ‘සමුදය යැ සමුදය යැ’යි විපස්සී බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. මහණෙනි, ‘නිරෝධ යැ නිරෝධ යැ’යි විපස්සී බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. විපස්සී බෝසත්හට සූත්‍රාන්ත යෙහි ධර්‍ම දසයෙක, අර්‍ත්‍ථ දසයෙක, නිරුක්ති විස්සෙක, ඥාන සතලිසෙකි.
මහණෙනි, ‘සමුදය යැ සමුදය යැ’යි සිඛී බෝසත්හට ... වෙස්සභූ බෝසත්හට ... කකුසඳ බෝසත්හට ... කෝණාගමන බෝසත්හට ... කාශ්‍යප බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. මහණෙනි, ‘නිරෝධ යැ නිරෝධ යැ’යි කාශ්‍යප බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. කාශ්‍යප බෝසත්හට සූත්‍රාන්තයෙහි ධර්‍ම දසයෙක, අර්‍ත්‍ථ දසයෙක, නිරුක්ති විස්සෙක, ඥාන සතලිසෙකි.
මහණෙනි, ‘සමුදය යැ සමුදය යැ’යි ගොයුම් බෝසත්හට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. මහණෙනි, ‘නිරෝධ යැ නිරෝධ යැ’යි ගොයුම් බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය … ආලෝකය පහළ විය. ගොයුම් බෝසත්හට සූත්‍රාන්තයෙහි ධර්‍ම දසයෙක, අර්‍ත්‍ථ දසයෙක, නිරුක්ති විස්සෙක, ඥාන සතලිසෙකි.