මේ වාසනාභාගිය සූත්‍ර යැ.
44. මෙයින් එක්තිස්වන කපෙහි පස්මරුන් දිනූ තෘෂ්ණාරහිත වූ අනන්තදර්ශී වූ ‘සිඛී’ යන නම් ඇති භාග්‍යවත්හු ලොවැ පහළවූහ. ඒ බුදුන්ගේ භ්‍රාතෘ වූ ‘සිඛණ්ඩි’ නම් රජ බුදුන් කෙරෙහි ද ධර්‍මය කෙරෙහි ද අතිශයින් පහන් වී.
45. ලෝකවිනායක වූ සිඛී බුදුන් පිරිනිවී කල්හි එරජ මහර්ෂි වූ දේවාතිදේව වූ නරෝත්තමයන්ගේ (ධාතු පිහිටුවා) හාත්පසින් ගවුපමණ වූ විපුල වූ මහත් ස්තූපයක් කෙළේයි.
46. පහටුසිත් ඇති මිනිසෙක් සුගතිභවයෙහි සිත දැඩිවගෙන ඒ සෑයෙහි පූජා එළැවී යැ, ඔහුගේ එක මලක් සුළඟින් වැටිණ, මම් එය ගෙන ඔහුට මැ දිනිමි.
47. ඉතා පහන් සිතැති හේ මට මෙසේ කී : ‘තෙල පුෂ්පය තොපට මැ දෙමි’ මම් ඒ මල ගෙන පුනපුනා බුදුගුණ මෙනෙහි කරමින් පූජා කෙළෙමි.
48. එතැන් සිට දැන් කල්ප තිසෙකි, මම දුර්‍ගතිය නොදනිමි, විනිපාතයට (අපායට) නොගියෙමි, ථූපයට මල් පිදීමෙහි මේ විපාක යි.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
49. බඹදත් රජහුගේ මොනොවට බෙදනලද මහාමාර්‍ග ඇති, මිනිසුන් විසින් ගැවැසිගත් ස්වර්‍ණාභරණාදීන් සමෘද්ධ වූ, උපභෝගවස්තුයෙන් විපුල වූ කපිල නම් නුවරෙක් විය.
50. පඤ්චාල වැසියන්ගේ ඒ උතුම් නගරයෙහි මම කොමුපිඬු විකිණීමි, එහි දී මම අහසැ වැඩසිටි යශස්වී වූ අරිට්ඨ නම් පසේබුදුන් දිටිමි.
51. හටුවූයෙම් සිත පහදවා මාගේ යමක් ඇද්ද නරෝත්තම වූ අරිට්ඨ පසේබුදුන් ධුව (නිති) බතින් පැවැරීමි.
52. යළි එසඳ ඉල්මස පිරුණේ පණුරැසිය පැමිණියා යැ, (එකල) නව පිළිසඟලක් ගෙන අරිට්ඨපසේබුදුන්ට පිරිනැමීමි.
53. මා පහන් සිතැත්තහු දැන නරෝත්තම වූ අනුකම්පා කරන කාරුණික වූ තෘෂ්ණා නැසූ මුනි වූ පසේබුදුහු එය පිළිගත්හ.
54. මම් බුදුවරුන් විසින් පසස්නාලද ඒ කුශලකර්‍මය කොට දෙව්ලොවැ ද මිනිස්ලොවැ ද සන්‍ධාවන කොට එයින් චුත වූයෙම්.
55. බරණැස්නුවර ආඪ්‍ය (මහාසාර) කුලයෙහි සිටුහුගේ ප්‍රාණයට ද වඩා ප්‍රියතර වූ එක් මැ පුත්‍ර වැ උපන්මි.
56. එක්බිති නුවණැතිබවට පැමිණියෙම් දිව්‍යපුත්‍රයකු විසින් මෙහෙයනලදුයෙම් ප්‍රාසාදයෙන් බැස සම්බුද්ධයන් කරා එළැඹියෙමි.
57. ඒ ගෞතම බුදුහු මට අනුකම්පායෙන් දහම් දෙසූසේක : දුක්ඛය ද දුක්ඛසමුදය ද දුක්ඛනිරෝධය ද -
58. දුක්ඛූපසමයට යනසුලු ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය ද යන චතුරාර්‍ය්‍ය සත්‍ය යයි කියනලද ධර්‍මය මුනීහු දෙසූසේක.
59. මම් ඒ බුදුන්ගේ වදන් අසා ශාසනයෙහි ඇලුණෙම් වාස කෙළෙමි, දවරැයෙහි නොමැලි වූ මම් මාර්‍ගසමාධිය ප්‍රතිවේධ කෙළෙමි.
60. අධ්‍යාත්මවිෂය වූ ද බාහ්‍යවිෂය වූ ද මාගේ යම් ආස්‍රව කෙනෙක් විද්‍යමාන වූහු ද, එ හැම ආස්‍රවයෝ සමුච්ඡින්න වූහ, යළි නො ද උපදනාහ.
61. වට්ටදුක්ඛය කෙළවර කරනලද, මේ චරිම ශරීරය වෙයි, දැන් ‘පුනර්‍භව’ යි කියනලද ජාතිමරණ සංඛ්‍යාත සංසාරය නැති.
මේ වාසනාභාගිය සූත්‍ර යි.
(මේ වාසනාභාගයෙහි වූ පින්කම් ප්‍රකාශ කරන සූත්‍රපද උදාහරණවශයෙන් දක්වනලද වාසනාභාගිය සූත්‍ර මෙසේ උක්තප්‍රකාරයෙන් දතයුත්තේ යි.)
3. 4. 3.
(3) එහි නිබ්බේධභාගිය සූත්‍ර කවරෙ යැ.
1. උඩ රූපාරූපලෝකයෙහි ද යට කාමලෝකයෙහි ද යන සියලු සංස්කාරයන්හි වෙසෙසින් (කෙලෙසුන් කෙරෙන්) මිදුණු ‘මේ මම් වෙමි’ (දෘෂ්ටිවශයෙන් රූපාදිය) නොදක්නා මෙසේ විමුක්ත වූ ක්‍ෂීණාස්‍රව පෙර තරණය නොකළවිරු (කාමාදි චතුර්) ඕඝය පුනර්‍භව නොවනු පිණිස තරණය කළේ යි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
“ආනන්‍දය, සිල්වත්හු විසින් ‘කිසෙයින් මට අවිප්පටිසාරය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, ආනන්‍දය යම් හෙයෙකින් සිල්වත්හට අවිප්‍රතිසාර උපදනේ ද තෙල ධර්‍මතා ධර්‍මස්වභාව යැ.
ආනන්‍දය, විපිළිසර නැතියහු විසින් ‘කිසෙයින් මට ප්‍රාමෝද්‍යය උපදනේ දැ’ යි සිත් නො උපදවියැයුතු යැ, යම් හෙයෙකින් අවිප්‍රතිසාරිහට ප්‍රාමෝද්‍යය උපදනේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, ප්‍රමුදිතයා විසින් ‘කිසෙයින් මට ප්‍රීති උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් ප්‍රමුදිතයාහට ප්‍රීති උපදනේ ද ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, ප්‍රීතිසිත් ඇතියහු විසින් ‘කිසෙයින් මාගේ කය සන්හිඳේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, සන්හුන් කය ඇතියහු විසින් ‘කිසෙයින් මම් සුව විඳුනෙම් දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, සුව ඇතියහු විසින් ‘කිසෙයින් මට සමාධි උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් සුවඇතියහුට සමාධි උපදනේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, සමාහිතයා විසින් ‘කිසෙයින් මම් (තරුණවිදර්‍ශනාඥානයෙන්) යථාභූතව දැනගනිම් දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් සමාහිත වූයේ යථාභූත ව දැනැගනී ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, යථාභූතව (විදසුන්නැණින්) දන්නහු විසින් ‘කිසෙයින් මට නිබ්බිදා (නිර්වේදඥානය) උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් යථාභූතව දන්නේ නිර්වේදයට පැමිණේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, නිර්වේදයට පැමිණියහු විසින් ‘කිසෙයින් මට විරාගය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් නිර්විග්න වූයේ විරාගයට පැමිණේ ද ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය විරාගයට පැමිණෙන්නහු විසින් ‘කිසෙයින් මාගේ විමුක්තිය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් විරාගයට පැමිණෙනුයේ විමුක්තවන්නේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, විමුක්තවූවහු විසින් ‘කිසෙයින් මට විමුක්තිඥානදර්‍ශනය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, (නො සිතිය යුතු යැ,) යම් හෙයෙකින් මාර්‍ගවිමුක්තියෙන් විමුක්ත වූවහුට විමුක්තිඥානදර්‍ශනය උපදනේ ද (එහෙයිනි.) ආනන්‍දය, තෙල ධර්‍මතා” යි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
2. සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍ය ඇති (ආරම්මණලක්ඛණ - උපනිධ්‍යානලක්‍ෂණ) ධ්‍යානයෙන් ධ්‍යාන කරන බාහිතපාප ඇති ක්‍ෂීණාස්‍රවහට යම් ඇසිල්ලෙක (අනුලෝමප්‍රත්‍යයාකාරප්‍රතිවේධය සිදුකරන) බෝධිපාක්‍ෂිකධර්‍මයෝ පහළවෙත් ද, එකල්හි ඔහුගේ සියලු (අටවැදෑරුම්) කාංක්‍ෂාවෝ දුරුවෙති, යම් හෙයෙකින් සහේතුක වූ දුඃඛස්කන්‍ධ ධර්‍මය දැනගනී ද එහෙයිනි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
3. සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍ය ඇති ධ්‍යාන කරන ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණහට යම් ඇසිල්ලෙක බෝධිපාක්‍ෂිකධර්‍මයෝ පහළවෙත් ද, එකල ඔහුගේ සියලු සැක දුරුවෙයි, යම් හෙයෙකින් ප්‍රත්‍යයන්ගේ ක්‍ෂය (නිරෝධය) ප්‍රතිවේධ කෙළේ ද එහෙයිනි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
4. තිස්සය, කුමක්හෙයින් කිපෙහි? නහමක් කිපෙව, තොපට ක්‍රෝධ නොකිරීම උතුමැ, තිස්සය, ක්‍රෝධ මාන මකුබව යන මොවුන්ගේ විනය පිණිස මැ සසුන් බඹසර වෙසේ යැයි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
5. කවර දවසෙකැ මම ආරණ්‍යක වූ පාංශුකූලිකාඞ්ග ඇති ගෙපිළිවෙළින් පිඬු සිඟාහැසිරැ මිශ්‍රකභෝජනයෙන් යැපෙන වස්තුකාමක්ලේශකාමයන්හි අපේක්‍ෂා රහිත වූ ‘නන්‍ද’ දක්නෙම් දැ’ යි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
6. කුමක් නසා සුවසේ හොවී ද, කුමක් නසා ශෝක නොකෙරේ ද, ගෞතමයන් වහන්ස, කවර එක් ධර්‍මයක්හුගේ වධය රුචිකරවු දැ’ යි.
7. ක්‍රෝධය නසා (ක්‍රෝධපරිදාහයෙන් නොදැවෙනුයෙන්) සුවසේ හොවී, ක්‍රෝධය නසා (ක්‍රෝධනාශයෙන් නට දොම්නස් ඇතියෙන්) ශෝක නො කෙරෙයි, දෙවිය, විෂ (දුක්ඛ) මුල ඇති (කිපියහුට පෙරළා කිපීම ආදීන්) මධුර අන්තය ඇති ක්‍රෝධයාගේ වධය (නැසීම) බුද්ධාදි ආර්‍ය්‍යයෝ පසසති, ඒ ක්‍රෝධය මාර්‍ගයෙන් සමුච්ඡේද කොට ශෝක නො කෙරේ මැයි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
8. සමුදාචාරවශයෙන් උපන් කුමක් නසන්නේ ද, උපන් කුමක් තම සන්තානයෙන් දුරු කරන්නේ ද, ධීරතෙමේ කුමක් ප්‍රහීණ කරන්නේ ද, කුමක් අවබෝධ කිරීම සුවවන්නේ ද?
9. මාර්‍ගයෙන් නොනැසූ හෙයින් සමුදාචාර වශයෙන් උපන් ක්‍රෝධය නසන්නේ ය, උපන් රාගය දුරුකරන්නේ ය, ප්‍රාඥතෙමේ අවිද්‍යාව ප්‍රහීණ කරන්නේ ය, චතුස්සත්‍යාවබෝධය සුඛ වන්නේ යි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
10. අඩයටියෙකින් උඩ සිට පහර දෙනුලැබුවකු සෙයින් හිස දැවෙන්නකු සෙයින් කාමරාගයාගේ ප්‍රහාණය පිණිස මහණ සිහි ඇතිවැ වාසකරන්නේ යැ.
11. අඩයටියකින් උඩ සිට පහර දෙනුලැබුවකු සෙයින් හිස ගිනිගත්තකු සෙයින් සත්කායදෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස මහණ සිහිඇති වැ වාසකරන්නේ යි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
12. සියලු (රැස්කළ) භෝගයෝ නැසීම අන්ත කොට ඇත්තාහුය, සමුස්සය සංඛ්‍යාත ශරීරයෝ වැටීම අන්තකොට ඇත්තාහුය, සියල්ලනට මරණය පැමිණසිටියේ යැ. සියල්ලන්ගේ අනිත්‍ය වෙයි, මරණයෙහි ලා තෙල බිය දක්නේ සුව එළවන පින් කරන්නේ යැ.
13. සියලු භෝගයෝ ක්‍ෂයවීම අන්ත කොට ඇත්තාහ, සමුස්සයයෝ වැටීම අන්ත කොට ඇත්තාහ, සියල්ලනට මරණය එළැඹ සිටියේ යැ, සියල්ලන්ගේ ජීවිතය අනිත්‍ය යැ, මරණයෙහි ලා තෙල භය දක්නේ ශාන්තිසංඛ්‍යාත නිවන අපේක්‍ෂා කරනුයේ ලෝකාමිස සංඛ්‍යාත කාමගුණය දුරුකරන්නේ යි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
14. මෙ සස්නෙහි යම් කෙනෙකුන්ගේ සිත ධ්‍යානයෙහි ඇලුණේ ද, ඒ ක්‍ෂීණාස්‍රව මුනීහු සුවසේ හොවිති, ශෝක නො කෙරෙති, ප්‍රඥාවත් වූ මොනොවට සමාහිත සිත්ඇති ආරබ්ධවීර්‍ය්‍ය ඇති නිවනට මෙහෙයූ සිත් ඇතියේ දුකසේ තරණය කළයුතු කාමාදි චතුරෝඝය තරණය කෙරේ.
15. කාමසංඥායෙන් (සමුච්ඡේදවිරතියෙන්) වෙන්වූ සියලු සංයෝජනයන් ඉක්මවා සිටි නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණාව හා භවත්‍රය ක්‍ෂය වූ ඒ ක්‍ෂීණාස්‍රව ගැඹුරු වූ සසරසයුරෙහි නො ගැලේ යි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
16. නිවනට පැමිණීම පිණිස බුද්ධාදි රහතුන්ගේ දහම් හදහනුයේ දහම් අසනු කැමැති අප්‍රමත්ත වූ විචක්‍ෂණ පුද්ගල ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබා.
17. (දේශකාලාදිය නො ඉක්මැ) අනුරූප වැ ක්‍රියා කරන (චෛතසික වීර්‍ය්‍ය වශයෙන්) නොතැබූ ධූර ඇති (කායිකවශයෙන්) උත්‍ථානවීර්‍ය්‍ය ඇතියේ ලෞකික ලෝකෝත්තර ධනය ලබා වාක්සත්‍යයෙන් කීර්තියට පැමිණෙයි, කැමැති දෑ දෙනුයේ මිත්‍රයන් සම්පාදනය කෙරෙයි, මෙ ලොවින් පරලොවට යන හේ ඒකාන්තයෙන් පරලොවැ දී ශෝක නො කෙරේ යයි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
18. සියලු කායග්‍රන්‍ථයන් ප්‍රහීණ කළ තුන් භවයෙන් මිදුණු ශ්‍රමණ වූ ඔබට යම් අනෙකක්හට අනුශාසනා කෙරේ ද, එය නො මැනැවි.
19. සක්කය, යම් කිසි කරුණෙකින් එක්තැනැ විසීමෙක් (සමාගමයෙක්) වේද, ඒ අනුකම්පිතව්‍ය පුඟුලාට සිතින් අනුකම්පා නො කරන්නට සප්‍රාඥසම්බුද්ධයෝ නො සුදුසු වෙති.
20. ඉදින් පහන් සිතින් යම් අනෙකක්හට අනුශාසනා කෙරේද, යම් අනුකම්පාවක් අනුද්දයාවක් ඇද්ද ඒ අනුශාසනයෙන් සංයුක්ත වූයේ නො වේ යයි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
21. රාගයත් ද්වේෂයත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? අධිකුශලධර්‍මයෙහි නො ඇල්ම ද පස්කම්ගුණයෙහි ඇල්ම ද චිත්තෝත්‍රාසලක්‍ෂණ රෝමහර්‍ෂ ද යන මොහු කොයින් උපන්නාහු ද? කාමාදි මනෝවිතර්‍කයෝ කොයින් ඉපිදැ කුමරුවෝ කවුඩකු හුයින් පා බැඳ හරින්නාක් මෙන් කුශලචිත්තය බැඳහරිත් ද?
22. රාගය ද ද්වේෂය ද මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහ, අරතිය ද රතිය ද රෝමහර්‍ෂ ද යන මොහු මේ ආත්මභාවයෙන් උපන්නාහ, මනෝවිතර්‍කයෝ මේ ආත්මභාවයෙන් ඉපදැ කුමරුවෝ කවුඩකු හුයෙන් බැඳ හරින්නාක් මෙන් කුශලචිත්තය බැඳ හරිත්.
23. නුගරුකෙහි කඳින් උපන් ප්‍රරෝහ (අරළු) මෙන් ස්නේහයෙන් උපන් රාගාදීහු පඤ්චස්කන්‍ධ සංඛ්‍යාත ආත්මයෙන් හටගත්තාහු වෙනෙහි ඒ ඒ රුක්හි පැතිරැගිය මාලුවාලිය මෙන් රාගාදී ක්ලේශයෝ අනේකප්‍රකාර වැ වස්තුද්වාරාරම්මණාදි විසින් පැතුරුණාහු වෙත්.
24. යක්‍ෂය, මේ අස : යම් කෙනෙක් ඒ රාගාදි ක්ලේශගහනය යමක් නිදාන කොට උපනැයි දනිත් ද, ඔහු ඒ තණ්හාසිනෙහ සංඛ්‍යාත නිදානය (සමුදයසත්‍යය) මාර්‍ගඥානයෙන් දුරුකෙරෙති, ඔහු පුනර්‍භව නොවනු පිණිස පෙර තරණය නොකළවිරූ දුකසේ තරණය කළයුතු චතුරෝඝය තරණය කෙරෙත්.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
භාග්‍යවතුන් වහන්ස (දිගුකලක් ඒකාන්තපරිශුද්ධ වූ ශ්‍රමණධර්‍මය කිරීම) දුෂ්කර යැ, භාග්‍යවතුන් වහන්ස ඉතා දුෂ්කර යැ’ යි.
25. (කාමද යි බුදුහු මෙසේ වදාළහ:) ශීලයෙන් සමුපේත වූ ශෛක්‍ෂයෝ ප්‍රතිෂ්ඨිතස්වභාව ඇත්තාහු දුෂ්කර වූ ද ශ්‍රමණධර්‍මය කෙරෙති, අනගාරික සංඛ්‍යාත ශාසනයට පැමිණියහුට (පැවිදිවූවහුට) සිවුපසයෙන් (යථාලාභාදි විසින්) සතුටුවීම සුව එළවනු වෙයි.
භාග්‍යවතුන් වහන්ස යම් තුෂ්ටියක් ඇද්ද එය දුර්‍ලභ වූ යැ’ යි.
26. (කාමද යි බුදුහු) යම්කෙනකුන්ගේ සිත දාවල්හිදු රැයිදු භාවනායෙහි ඇලුණේ ද, චිත්තවූපසමයෙහි ඇලුණු ඒ ශෛක්‍ෂයෝ දුර්‍ලභ වූ ද තුෂ්ටිය ලබත්.
භාග්‍යවතුන් වහන්ස යම් සිතක් ඇද්ද එය සමාධියෙහි යෙදීම දුෂ්කර යැ’ යි.
27. (කාමද යි බුදුහු) ඉන්‍ද්‍රියෝපශයෙහි ඇලුණාහු එකඟකිරීමට දුෂ්කර වූ ද සිත සමාධියෙහි යොදවති, කාමද, ඒ ආර්‍ය්‍යයෝ මරහුගේ ක්ලේශජාලය සිඳ (නිවනට) යෙත්.
භාග්‍යවතුන් වහන්ස මාර්‍ගය දුර්‍ගම යැ, විෂම යැ’ යි.
28. කාමද, ආර්‍ය්‍යයෝ (පූර්‍වභාගප්‍රතිපදා වශයෙන්) දුර්‍ගම වූ විෂම වූ ද මාර්‍ගයෙහි යෙති, අනාර්‍ය්‍යයෝ විෂම මාර්‍ගයෙහි (ඥානශීර්‍ෂයෙන්) අධඃශීර්‍ෂ වැ (මාර්‍ගයෙහි) වැටෙති, ආර්‍ය්‍යනට ඒ මාර්‍ගය මැ සම වෙයි, ආර්‍ය්‍යයෝ විෂම වූ සත්ත්‍වකායයෙහි සමවූවාහු යැ එහෙයිනි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
29. භික්‍ෂුසඞ්ඝයා විසින් නිති සෙවුනාලද ධර්‍මරාජයන් වහන්සේ විසින් වාස කළ මේ ජේතවනය මට ප්‍රීති උපදවනු වෙයි.
30. මාර්‍ගචේතනා සංඛ්‍යාත කර්‍මය ද මාර්‍ගප්‍රඥා සංඛ්‍යාත විද්‍යාව ද සමාධිපාක්‍ෂික ධර්‍මය ද සිල්වත්හුගේ ජීවිතය ද උතුම් වෙයි, තෙල කර්‍මාදිය හේතු කොටගෙන සත්ත්‍වයෝ විශුද්ධ වෙති, ගෝත්‍රයෙන් වේවයි ධනයෙන් වේවයි විශුද්ධ නො වෙත්.
31. එහෙයින් මැ පණ්ඩිත පුරුෂ තමහට වැඩ පසස්නේ සමාධිපාක්‍ෂික ධර්‍මය නුවණින් විමසන්නේ යැ, මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙහි විශුද්ධ වෙයි.
32. ප්‍රඥායෙන් ද ශීලයෙන් ද ක්ලේශෝපශමයෙන් ද ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මැ ශ්‍රේෂ්ඨ වෙති, නිර්‍වාණපාරයට පැමිණි යම් මහණෙක් වේ ද හේ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පරම කොට ඇති වන්නේ යයි.
මේ නිබ්බේධ භාගිය සූත්‍ර යැ.
33. අතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණා දෘෂ්ටින් අනුගමනය නො කරන්නේ යැ, අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණා දෘෂ්ටින් පතන්නේ යැ යමක් අතීත ද එය ප්‍රහීණ යැ යමක් අනාගත ද එය නො පැමිණියේ යැ, එහෙයිනි.
34. යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ (යම් ධර්‍මයෙක් ඇද්ද) ඒ ධර්‍මය ඒ ඒ තැන්හි අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද, නුවණැති මහණ (රාගාදීන් විසින්) අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ යැ.
35. අද මැ ආතාපන වීර්‍ය්‍යය කටයුතු යැ, සෙට මරණය කවරෙක් දත හෙන්නේ ද, (මරණ කාරණ වූ ගිනි විෂ ශස්ත්‍රාදි) මහත් වූ සේනා ඇති ඒ මරහු සමඟ (මිත්‍ර සන්‍ථවාදි) සංගරයෙක් (ගිවිසුමෙක්) නැත් නු!
36. මෙබඳු විහරණ ඇති කෙලෙසුන් තවන වැර ඇති දවරැයෙහි අනලස් වූ ඒ පුඟුලා ඒකාන්තයෙන් භද්දේකරත්ත යි (රාගාදිය සන්හුන් බැවින්) ශාන්ත වූ බුද්ධ මුනිහු ප්‍රකාශ කෙරෙත් යයි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
මහණෙනි, මේ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ (ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ) සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි ඇසින් ද නුවණින් ද නොහොත් චක්‍ෂුර්භූත වූ ප්‍රඥායෙන් පසක් කළ යුතු දහම් ඇත, ස්මෘතියෙන් ද ප්‍රඥායෙන් ද නොහොත් ස්මෘතිසම්ප්‍රයුක්ත ප්‍රඥායෙන් පසක් කළ යුතු දහම් ඇත, නාමකයින් ද ප්‍රඥායෙන් ද පසක් කළයුතු දහම් ඇත. ප්‍රඥායෙන් දතයුතු නුවණින් පසක් කළයුතු දහම් ඇති.
මහණෙනි, චක්‍ෂුසින් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ කවරහ; සුවිශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවඇස චක්‍ෂුසින් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ.
මහණෙනි, ස්මෘතියෙන් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ කවරහ; පූර්‍වනිවාසානුස්මෘතිය සතියෙන් ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ.
මහණෙනි, නාමකයින් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ කවරහ; ඍද්ධි කොට්ඨාශයෝ ද නිරෝධය (නිවන) ද නාම කයින් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ.
මහණෙනි, කවර දහම්හු ප්‍රඥායෙන් දතයුත්තාහු ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහු ද යත්: ආස්‍රවයන්ගේ ක්‍ෂය ඥානය ප්‍රඥායෙන් දතයුතු යැ ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැයි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යි.
3. 4. 4.
(4) එහි අසේඛභාගිය සූත්‍ර කවරෙ යැ: