Nettippakaraṇa

The Guide

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 1315

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTනෙත්තිප්පකරණං
Sinhala BJTනෙත්තිප්‍රකරණය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTභගවත් අර්‍හත් වූ ඒ සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJTසංගහවාරො
Sinhala BJTසංග්‍රහවාරය
Pali BJT1. යං ලොකො පූජයතෙ - සලොකපාලො සදා නමස්සති ච, තස්සෙතං සාසනවරං - විදූහි ඤෙය්යං නරචරස්ස.
Sinhala BJT1. ඉන්‍ද්‍ර යම වරුණ කුවේර යන ලෝකපාලකයන් හෝ සතරවරම්රජුන් සහිත වූ ලෝවැසියා යම් පුරුෂෝත්තමයක්හු පුදා ද, දවරැය නමස්කාරත් කෙරේද, ඒ අග්‍රපුද්ගල වු නරෝත්තමයාගේ තෙල උතුම්සස්න කර්‍මඵල හා කුශලාකුශලාදිභේද ධර්‍මයන් දන්නා නුවණැති මිනිසුන් විසින් දතයුත්තේ යි.
Pali BJT2. ද්වාදස පදානි සුත්තං - තං සබ්බං බ්යඤ්ජනඤ්ච අත්ථො ච, තං විඤ්ඤෙය්යං උභයං - කො අත්ථො බ්යඤ්ජනං කතමං.
Sinhala BJT2. ත්‍රිපිටක පර්‍ය්‍යාප්ති සඞ්ඛ්‍යාත සූත්‍රය දොළොස්පද වෙයි, සූත්‍ර යයි කියනලද එ හැම බුද්ධවචනය ව්‍යඤ්ජන ද අර්‍ත්‍ථ ද වෙයි. වාච්‍ය වාචකභාවයෙන් සම්බන්‍ධ වූ ඒ අර්‍ත්‍ථව්‍යඤ්ජන දෙක ‘අර්‍ත්‍ථ කවරෙ යැ, ව්‍යඤ්ජන කිමැ’ යි ස්වරූප හෙයින් දතයුත්තේ යි.
Pali BJT3. සොළස හාරා නෙත්ති - පඤ්ච නයා සාසනස්ස පරියෙට්ඨි, අට්ඨාරස මූලපදා - මහාකච්චානෙන{1} නිද්දිට්ඨා.{2}
Sinhala BJT3. දේසනාදි සොළොස් හාරයක් ඇති, නන්‍දියාවත්තාදි නය පසක් ඇති, කුශලාකුශල විසින් ප්‍රභේද වූ අටළොස් මූලපදයක් ඇති, පර්‍ය්‍යාප්තිශාසනයාගේ අර්‍ත්‍ථ පර්‍ය්‍යෙෂණ වූ, අවිපරීත සූත්‍රාර්‍ත්‍ථාවබෝධයට කාරණ වූ නෙත්තිය පූජ්‍ය වූ කාත්‍යායන මහාක්‍ෂීණාස්‍රවයන් වහන්සේ විසින් දේශනා කරනලද්දීය.
Pali BJT4. හාරා බ්යඤ්ජනවිචයො - සුත්තස්ස නයා තයො ච සුත්තත්ථො, උභයං පරිග්ගහීතං - වුච්චති සුත්තං යථාසුත්තං.
Sinhala BJT4. ෂෝඩශහාරයෝ ව්‍යඤ්ජනද්වාරයෙන් සූත්‍රයාගේ අර්‍ත්‍ථසංවර්‍ණනා වෙති. නන්‍දියාවත්ත තිපුක්ඛල සීහවික්කීළිත යන නයත්‍රය අර්‍ත්‍ථද්වාරයෙන් ම සූත්‍රාර්‍ත්‍ථ ප්‍රතිපාදනා කෙරෙයි. තෙල හාර නය දෙක අර්‍ත්‍ථනිශ්චය විසින් පරිගෘහිත වූයේ සුත්‍රානුරූප කොට නොහොත් සියලු සූත්‍රය සංවර්‍ණනා කෙරෙයි.
Pali BJT5. යා චෙව දෙසනා යං ච - දෙසිතං උභයමෙව විඤ්ඤෙය්යං, තත්රායමානුපුබ්බී - නවවීධ සුත්තන්තපරියෙට්ඨි’ති.
Sinhala BJT5. නෙත්තිසංවර්‍ණනාවිෂය වූ ව්‍යඤ්ජනප්‍රබන්‍ධ සංඛ්‍යාත යම් දේශනාවක් ඇද්ද, දේශනාර්‍ත්‍ථ සංඛ්‍යාත යම් දේශිතයකුත් ඇද්ද, තෙල දේශනා දේශිත යන දෙක මැ අනුපාදා පරිනිර්‍වාණය පර්‍ය්‍යන්ත කොට ඇති සම්පත්තීනට කාරණ හෙයින් දතයුත්තේය. ඒ විජානනයෙහි ලා මතු කියන හාරනයානුපූර්‍වය නවාඞ්ගශාසනයාගේ අර්‍ත්‍ථපර්‍ය්‍යෙෂණය වෙයි.
Pali BJTවිභාගවාරො
Sinhala BJTවිභාගවාරය
Pali BJT1. උද්දෙසවාරො
Sinhala BJT1. උද්දේසවාරය
Pali BJTතත්ථ කතමෙ සොළස හාරා: දෙසනා විචයො යුත්ති පදට්ඨානො ලක්ඛණො චතුබ්යූහො ආවත්තො විභත්ති පරිවත්තනො වෙවචනො පඤ්ඤත්ති ඔතරණො සොධනො අධිට්ඨානො පරික්ඛාරො සමාරොපනො ඉති.
Sinhala BJTඑහි සොළොස් හාරයෝ කවරහ: ආස්වාදාදිය විභාග කිරීම ලක්‍ෂණ කොට ඇති ‘දේශනා’ හාර යැ, සූත්‍රයෙහි එන පද ප්‍රශ්නාදිය විමසීම ලක්‍ෂණ වූ ‘විචය’ හාර යැ, සූත්‍රාගත අර්‍ත්‍ථව්‍යඤ්ජනයන්ගේ යුක්ත්‍යයුක්තිවිචාරණා ලක්‍ෂණ වූ ‘යුක්ති’ හාර යැ, සූත්‍රාගත කුශලාකුශලාදි ධර්‍මයන්ගේ පදට්ඨාන (ආසන්නකාරණ) නිර්ධාණ ලක්‍ෂණ වූ ‘පදට්ඨාන’ හාර යැ, සමාන ලක්‍ෂණ ධර්‍මයන් නඟා දක්වන ‘ලක්‍ෂණ’ හාර යැ, ව්‍යඤ්ජනද්වාරයෙන් නිර්වචනාදි විභාවන ලක්‍ෂණ වූ ‘චතුබ්‍යුහ’ හාර යැ, සභාගවිෂභාග ධර්‍මයන් ආවර්‍තන ලක්‍ෂණ වූ ‘ආවට්ට’ හාර යැ, සඞ්කිලේසවෝදානධර්‍මයන් විභාග කිරීම ලක්‍ෂණ වූ ‘විභක්ති’ හාර යැ, කුශලාකුශලධර්‍මයන්ට ප්‍රතිපක්‍ෂ හෙයින් පරිවර්‍තන ලක්‍ෂණ වූ ‘පරිවර්‍තන’ හාර යැ, පර්‍ය්‍යායශබ්ද දැක්වීම ලක්‍ෂණ කොට ඇති ‘වෙවචන’ හාර යැ, එක් ධර්‍මාර්‍ත්‍ථයක් විවිධ ප්‍රඥප්තීන් විභාවන ලක්‍ෂණ වූ ‘පඤ්ඤති’ හාර යැ, ප්‍රතීත්‍යසමූත්පාදාදිද්වාරයෙන් සූත්‍රාර්‍ත්‍ථයාගේ අවතරණ ලක්‍ෂණ වූ ‘ඕතරණ’ හාර යැ, සූත්‍රාගතපදපදාර්‍ත්‍ථාදීන්ගේ ශෝධන ලක්‍ෂණ වූ ‘ශෝධන’ හාර යැ, සූත්‍රාගතධර්‍මයන්ගේ සාමාන්‍ය විශේෂ නිර්ධාරණ ලක්‍ෂණ වූ ‘අධිට්ඨාන’ හාර යැ, ධර්‍මයන්ගේ හේතුප්‍රත්‍යය නිර්ධාරණ ලක්‍ෂණ වූ ‘පරික්ඛාර’ හාර යැ, පදට්ඨානාදිමුඛයෙන් ධර්‍මයන්ගේ සමාරෝපණ ලක්‍ෂණ වූ ‘සමාරෝපන’ හාර යැ යන මොහු යි.
Pali BJTතස්සානුගීති:
Sinhala BJTඒ හාරෝදෙදසයාගේ සුඛග්‍රහණ පිණිස මේ අනුගීති යැ:
Pali BJT1. දෙසනා විචයො යුත්ති - පදට්ඨානො ච ලක්ඛණො, චතුබ්යූහො ච ආවට්ටො - විභත්ති පරිවත්තනො.
Sinhala BJT1. දේසනා යැ විචය යැ යුක්ති යැ පදට්ඨාන යැ ලක්ඛණ යැ චතුඛ්‍යූභ යැ ආවට්ට යැ විභත්ති යැ පරිවත්තන යැ.
Pali BJT2. වෙවචනො ච පඤ්ඤත්ති - ඔතරණො ච සොධනො, අධිට්ඨානො පරික්ඛාරො - සමාරොපනො සොළස{1}.
Sinhala BJT2. වෙවචන යැ පඤ්ඤත්ති යැ ඕතරණ යැ සෝධන යැ අධිට්ඨාන යැ පරික්ඛාර සමාරෝපන යැ යනු සොළොස් හාරයෝ යි.
Pali BJT3. එතෙ සොළස හාරා - පකිත්තිතා අත්ථතො අසංකිණ්ණා, එතෙසං චෙව භවති - විත්ථාරතයා නයවිභත්ති’ති.
Sinhala BJT3. අර්‍ත්‍ථ හෙයින් අසඞ්කීර්‍ණ වූ තෙල සොළොස් හාරයෝ ප්‍රකාශ කරන ලදහ. මේ සොළොස් හාරයන්ගේ මැ විස්තර හෙයින් නයවිභාගය වේ යයි.
Pali BJTතත්ථ කතමෙ පඤ්ච නයා: නන්දියාවට්ටො{2} තිපුක්ඛලො සීහ වික්කීළිතො දිසාලොචනො අඞ්කුසො ඉති.
Sinhala BJTඑහි පඤ්චනය කවරේ යැ: තෘෂ්ණා අවිද්‍යා දෙකින් සංකිලේසපක්‍ෂයෙහි ද ශමථ විදර්‍ශනා දෙකින් වෝදානපක්‍ෂයෙහි ද සූත්‍රාර්‍ත්‍ථය සිව්සස් සමග යෙදීමෙන් වර්‍ණනා කරන ‘නන්‍දියාවට්ට’ නය යැ, අකුශලමූලයෙන් හා කුශලමූලයෙන් සංකිලේස වෝදාන පක්‍ෂයෙහි සූත්‍රාර්‍ත්‍ථ සිව්සස් සමග යොදන ‘තිපුක්ඛල’ නය යැ, විපර්‍ය්‍යාසයන්ගෙන් සංකිලේස පක්‍ෂයෙහි ද ඉන්‍ද්‍රියයන්ගෙන් වෝදාන පක්‍ෂයෙහි ද සූත්‍රාර්‍ත්‍ථ සිව්සස් සමග යොදන ‘සීහවීක්කීළිත’ නය යැ, අර්‍ත්‍ථනයත්‍රයට දිසාභූත ධර්‍මයන් විමසන ‘දිසාලෝචන’ නය යැ, දිසාභූත කුශලාකුශලයන්ගේ සමානයන ලක්‍ෂණ වූ ‘අඞ්කුස’ නය යැ යන මොහු යි.
Pali BJTතස්සානුගීති:
Sinhala BJTඒ නයොදේදසයාගේ මේ අනුගීති යැ:
Pali BJT4. පඨමො නන්දියාවට්ටො - දුතියො ච තිපුක්ඛලො, සීහවික්කීළිතො නාම - තතියො නයලඤ්ඡකො{3}
Sinhala BJT4. සූත්‍රාර්‍ත්‍ථප්‍රකාශක වූ පළමුවැනි ‘නන්‍දියාවට්ට’ නය ද දෙවැනි ‘තිපුක්ඛල’ නය ද තුන් වැනි ‘සීහවීක්කීළිත’ නම් නය ද වෙති.
Pali BJT5. දිසාලොචනමාහංසු - චතුත්ථං නයමුත්තමං, පඤ්චමො අඞ්කුසො නාම - සබ්බෙ පඤ්ච නයා ගතා’ති
Sinhala BJT5. සතරවැනි නයවරය ‘දිසාලෝචන’ යයි කීහු. පස්වැනි නය ‘අඞ්කුස’ නම් වේ. මෙසේ සියලු පඤ්චනය දන්නාලදි.
Pali BJTතත්ථ කතමානි අට්ඨාරස මූලපදානි: නව පදානි කුසලානි, නව පදානි අකුසලානි.
Sinhala BJTඑහි අටළොස් මූලපදයෝ කවරහ. නවපද කෙනෙක් කුශලයෝ යැ, නවපද කෙනෙක් අකුශලයෝ යි.
Pali BJTතත්ථ කතමානි නව පදානි අකුසලානි: තණ්හා අවිජ්ජා ලොභො දොසො මොහො සුභසඤ්ඤා සුඛසඤ්ඤා නිච්චසඤ්ඤා අත්තසඤ්ඤා’තී ඉමානි නව පදානි අකුසලානි, යත්ථ සබ්බො අකුසලපක්ඛො සඞ්ගහං සමොසරණං ගච්ඡති.
Sinhala BJTඑහි අකුශල නවපදයෝ කවරහ: තණ්හා යැ අවිජ්ජා යැ ලෝභ යැ දෝස යැ මෝහ යැ සුභසඤ්ඤා යැ සුඛසඤ්ඤා යැ නිච්චසඤ්ඤා යැ අත්තසඤ්ඤා යැ මේ නවපදයෝ අකුශලයෝ යැ. යම් නවපදයෙකැ සියලු අකුශලපක්‍ෂය සංග්‍රහයට සමෝසරණයට යේ ද එබඳු නවපදයෝ යි.
Pali BJTතත්ථ කතමානි නව පදානි කුසලානි: සමථො විපස්සනා අලොභො අදොසො අමොහො අසුභසඤ්ඤා දුක්ඛසඤ්ඤා අනිච්චසඤ්ඤා අනත්තසඤ්ඤා’ති. ඉමානි නව පදානි කුසලානි, යත්ථ සබ්බො කුසලපක්ඛො සඞ්ගහං සමොසරණං ගච්ඡති.
Sinhala BJTඑහි කුශල නවපදයෝ කවරහ: සමථ යැ විපස්සනා යැ අලෝභ යැ අදෝස යැ අමෝහ යැ අසුභසඤ්ඤා යැ දුක්ඛසඤ්ඤා යැ අනිච්චසඤ්ඤා යැ අනත්තසඤ්ඤා යැ මේ නවපදයෝ කුශලයෝ යැ. යම් නවපදයෙකැ හැම කුශලපක්‍ෂය සංග්‍රහයට සමෝසරණයට යේ ද එබඳු නවපදයෝ යි.
Pali BJTතත්රිදං උද්දානං:
Sinhala BJTඑහි මේ සංග්‍රහවචන යැ:
Pali BJT6. තණ්හා ච අවිජ්ජාපි ච - ලොභො දොසො තථෙව මොහො ච, චතුරො ච විපල්ලාසා{1} - කිලෙසභුමී නව පදානී
Sinhala BJT6. තෘෂ්ණා ද අවිද්‍යා ද ලෝභය ද ද්වේෂය ද එසේ මැ මෝහය ද සතර විපර්‍ය්‍යාසයෝ ද යන නව පදයෝ ක්ලේශභූමි වෙති.
Pali BJT7. සමථො ච විපස්සනා ච - කුසලානි ච යානි තීණි මූලානි, චතුරො සතිපට්ඨානා - ඉන්ද්රියභූමි නව පදානි.
Sinhala BJT7. ශමථය ද විදර්‍ශනා ද අලෝභාදි තුන් කුශලමූලයෝ ද අශුභසංඥාදි සතර සති පට්ඨානයෝ ද යන නවපදයෝ ශ්‍රද්ධාදි විමුක්තිපරිපාචනීය ඉන්‍ද්‍රියයන්ගේ සමවසරණ ස්ථාන හෙයින් ඉන්‍ද්‍රියභූමි නම් වෙත්.
Pali BJT8. නවහි ච පදෙහි කුසලා - නවහි ච යුජ්ජන්ති අකුසලා පක්ඛා, එතෙ ඛො මූලපදා - භවන්ති අට්ඨාරස පදානී’ති
Sinhala BJT8. ශමථාදි නවපදයෙන් කුශලපක්‍ෂයෙහි ධර්‍මයෝ ද තෘෂ්ණා දි නවපදයෙන් අකුශල පක්‍ෂයෙහි ධර්‍මයෝ ද යොදනු ලැබෙත්. තෙල අටළොස් පදයෝ මූලපද වෙත් යයි.
Pali BJT2. නිද්දෙසවාරො
Sinhala BJT2. නිද්දේසවාරය
Pali BJTතත්ථ සංඛෙපතො නෙත්ති කිත්තිතා:
Sinhala BJTඒ උද්දේසපාඨයෙහි සැකෙවින් නෙත්තිප්‍රකරණය කියනලදී. (දැන් ලක්‍ෂණාදිය නිර්දේශ කරනු ලැබේ.)
Pali BJT1. අස්සාදාදීනවතා{1} - නිස්සරණම්පි ච ඵලං උපායො ච, ආණත්ති ච භගවතො - යොගීනං දෙසනාහාරො
Sinhala BJT1. සුඛසෝමනස්සාදි ආස්වාදය ද ත්‍රෛභූමක සංස්කාර සංස්කාර සඞ්ඛ්‍යාත ආදීනවය ද ආර්‍ය්‍ය මාර්‍ග නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිස්සරණය ද ශ්‍රැතමයඥනාදි දේසනාඵලය ද ආර්‍ය්‍යමාර්‍ගයට පදට්ඨාන වූ පූර්‍වභාගප්‍රතිපදා සඞ්ඛ්‍යාත උපාය ද චතුස්සත්‍යකර්‍මස්ථානයෙහි යුක්ත ප්‍රයුක්ත වූ වෛනෙයයන් සඳහා ආඥාර්‍හ භාග්‍යවතුන් වහන්සේගේ විධාන සඞ්ඛ්‍යාත ආණත්ති ද යන මේ (හෙවත් ආස්වාදාදීන්ගේ විභාගලක්‍ෂණ වූ සංවර්‍ණනා විශේෂය) ‘දේසනාහාර’ නම් වේ.
Pali BJT2. යං පුච්ඡිතඤ්ච විස්සජ්ජිතඤ්ච - සුත්තස්ස යා ච අනුගීති, සුත්තස්ස යො පවිචයො - හාරො විචයොති නිද්දිට්ඨො.
Sinhala BJT2. සූත්‍රයාගේ යම් පෘව්ඡාවකුත් ඇද්ද යම් විසඳීමකුත් ඇද්ද අනුගීති සංඛ්‍යාත යම් සංග්‍රහගාථා ඇද්ද, එසේම සූත්‍රාගත ආස්වාදාදියකුත් ඇද්ද එ හැම සෙවීම ලක්‍ෂණ කොට ඇති හාරය ‘විචයහාර’ නමැයි දක්වන ලද්දේය.
Pali BJT3. සබ්බෙසං හාරානං - යා භූමී යො ච ගොචරො තෙසං, යුත්තායුත්තපරික්ඛා{2} - හාරො යුත්තීති නිද්දිට්ඨො.
Sinhala BJT3. සියලු හාරයන්ගේ ව්‍යඤ්ජන සංඛ්‍යාත යම් භූමියක් ඇද්ද සූත්‍රාර්‍ත්‍ථ සංඛ්‍යාත යම් ගෝචරයෙකුත් ඇද්ද ඒ අර්‍ත්‍ථව්‍යඤ්ජනයන්ගේ මහා - අපදේසයන් හා යුක්ත්‍ය යුක්තිබව දැක්වීම ලක්‍ෂණ කොට ඇත්තේ ‘යුත්තිහාර’ නමැයි දක්වන ලද්දේය.
Pali BJT4. ධම්මං දෙසෙති ජිනො - තස්ස ච ධම්මස්ස යං පදට්ඨානං, ඉති යාව සබ්බධම්මා - එසො හාරො පදට්ඨානො.
Sinhala BJT4. ජිතපඤ්චමාර වූ බුදුහු දහම් දෙසෙති. ඒ කුශලාදි හේද වූ ධර්‍මයට කාරණ වූ යෝනිසෝමනසිකාරාදි යම් පදට්ඨානයක් ඇද්ද, මෙසේ සූත්‍රාගත සියලු ධර්‍මනයට පදට්ඨාන (ආසන්නකාරණ) දැක්වීම ලක්‍ෂණ වූ තෙල භාරය ‘පදට්ඨාන’ නම් වේ.
Pali BJT5. වුත්තම්හි එකධම්මෙ - යෙ ධම්මා එකලක්ඛණා කෙචි, වුත්තා භවන්ති සබ්බෙ - සො හාරො ලක්ඛණො නාම.
Sinhala BJT5. කුශලාදි හෝ ස්කන්‍ධාදි හෝ එක් ධර්‍මයක් සූත්‍රයෙහි වදාළ කල්හි කුශලාදි ස්කන්‍ධාදි භාවයෙන් සමාන ලක්‍ෂණ වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඒ හැම ධර්‍මයෝ සූත්‍රයෙහි නොදක්වන ලද ද එළවා වර්‍ණනා කිරීම ලක්‍ෂණ කොට ඇති ඒ භාරය ‘ලක්ඛණහාර’ නම් වේ.
Pali BJT6. නෙරුත්තමධිප්පායො - බ්යඤ්ජනමථ දෙසනානිදානඤ්ච, පුබ්බාපරානුසන්ධි{3} - එසො හාරො චතුබ්යූහො
Sinhala BJT6. ව්‍යඤ්ජනද්වාරයෙන් සූත්‍රාගත පදනිර්වචන සංඛ්‍යාත නිරුක්තය ද දේශකයන්ගේ අධිප්‍රාය ද යළි දේශනානිදානය ද පූර්‍වාපරානුසන්‍ධි ද චතුර්විධ ලක්‍ෂණයන් වර්‍ණනා කිරීම ලක්‍ෂණ කොට ඇති තෙල හාරය ‘චතුබ්‍යුහ’ නම් වේ.
Pali BJT7. එකම්හි පදට්ඨානෙ - පරියෙසති සෙසකං පදට්ඨානං, ආවට්ටති{4} පටිපක්ඛෙ - ආවට්ටො නාම සො හාරො.
Sinhala BJT7. ආරම්භධාතු ආදි වූ (පරක්කමධාතු ආදියට) පදට්ඨාන වූ එක් ධර්‍මයක් දේශනා රූඪ කල්හි ඒ ධර්‍මයට විෂහාගතායෙන් (ප්‍රමාදාදියට ආසන්නකාරණ වූ කෝසජ්ජාදි) අවශේෂ පදට්ඨානධර්‍මය ගවේෂණ කෙරෙයි, සොයා ප්‍රතිපක්‍ෂධර්‍මයන් ආවර්‍තන කෙරෙයි, (මෙසේ සහාගවිෂහාග වශයෙන් ආවර්‍තන ලක්‍ෂණ වූ) ඒ හාරය ‘ආවට්ටහාර’ නම් වේ.
Pali BJT8. ධම්මං ච පදට්ඨානං - භූමිං ච විහජතෙ{5} අයං හාරො, සාධාරණෙ අසාධාරණෙ ච - නෙය්යො විභත්තීති.
Sinhala BJT8. සාධාරණ වශයෙන් ද, අසාධාරණ වශයෙන් ද, කුශලාදිභේද වූ ධර්‍මය ද විශේෂාධිගමකාරණ වූ පදට්ඨානය ද පෘථග්ජනභූමි ආදි භූමිය ද (යම් හාරයෙක්) විභාග හෙයින් ප්‍රකාශ කෙරේ ද, මේ හාරය ‘විභක්තිහාර’ නමැයි දතයුතු.
Pali BJT9. කුසලාකුසලෙ ධම්මෙ - නිද්දිට්ඨෙ භාවිතෙ පහීනෙ ච, පරිවත්තති පටිපක්ඛෙ - හාරො පරිවත්තනො නාම.
Sinhala BJT9. වර්‍ණනා කරනු ලබන සූත්‍රයෙහි වදාළ භාවිතව්‍ය වූ ද ප්‍රහාතව්‍ය වූ ද කුශලාකුශල ධර්‍මයන් ඔවුනට ප්‍රතිපක්‍ෂ වූ අකුශලකුශලයන්ගේ වශයෙන් පරිවර්‍තන කෙරෙයි. ඒ හාරය ‘පරිවත්තනහාර’ නම් වේ.
Pali BJT10. වෙවචනානි බහූනි තු - සුත්තෙ වුත්තානි එකධම්මස්ස, යො ජානාති සුත්තවිදූ - වෙවචනො නාම සො හාරො.
Sinhala BJT10. නවාඞ්ගශාසන සංඛ්‍යාත තෙවළාදහම්හි වදාළ එක් පදාර්‍ත්‍ථයක් පිළිබඳ බොහෝ වූ මැ වෙවචනයන් සූත්‍රයෙහි නිපුණ වූ යම් ධර්‍මකථිකයෙක් සූත්‍රවර්‍ණනායෙහි ලා ප්‍රකාශ කෙරෙයි. ඒ හාරය ‘වෙවචන’ නම් වේ.
Pali BJT11. එකං භගවා ධම්මං - පඤ්ඤත්තීහි විවිධාහි දෙසෙති, සො ආකාරො ඤෙය්යො - පඤ්ඤත්ති නාම හාරො’ති.
Sinhala BJT11. භාග්‍යවත් බුදුහු ස්කන්‍ධාදී එක් ධර්‍මයක් නික්‍ෂේප - ප්‍රහවාදි විවිධ ප්‍රඥප්තීන් දේශනා කෙරෙති. ඒ එක් මැ ධර්‍මාර්‍ත්‍ථයක් අනේකප්‍රඥප්තීන් පනවන ආකාරය ‘පඤ්ඤත්තිහාර’ නමැයි දතයුත්තේය.
Pali BJT12. යො ච පටිච්චුප්පාදො - ඉන්ද්රියඛන්ධා ච ධාතුආයතනා, එතෙහි ඔතරති යො - ඔතරණො නාම සො හාරො.
Sinhala BJT12. යම් ප්‍රතීත්‍යමූත්පාදයෙක් ඉන්‍ද්‍රිය ස්කන්‍ධ ධාතු ආයතන කෙනෙක් වෙද්ද සූත්‍රාගත පදාර්‍ත්‍ථද්වාරයෙන් ඒ ප්‍රතීත්‍යසමූත්පාදාදීන්ගේ යම් අවතරණයෙක් ඇද්ද ඒ අවතරණ ලක්‍ෂණ වූ සංවර්‍ණනා විශේෂය ‘ඕතරණහාර’ නම් වේ.
Pali BJT13. විස්සජ්ජිතම්හි පඤ්හෙ - ගාථාය පුච්ඡිතා යමාරබ්භ, සුද්ධාසුද්ධපරික්ඛා - හාරො සො සොධනො නාම.
Sinhala BJT13. ගාථාදේශනායෙහි ලා යම් අර්‍ත්‍ථයක් අරභයා විචාළ ප්‍රශ්නය බුද්ධාදීන් විසින් විසඳු කල්හි එහි පද ආරම්භාදීන්ගේ ශෝධිතාශෝධිතභාවය විචාරණ ලක්‍ෂණ වූ ඒ හාරය ‘සෝධනහාර’ නම් වේ.
Pali BJT14. එකත්තතාය ධම්මා - යෙපි ච වෙමත්තතාය නිද්දිට්ඨා, තෙ න විකප්පසිතබ්බා - එසො හාරො අධිට්ඨානො.
Sinhala BJT14. ඒකත්තතා සංඛ්‍යාත සාමාන්‍යයෙන් ද වේමත්තතා සංඛ්‍යාත විශේෂයෙන් ද යම් ධර්‍ම කෙනෙක් සූත්‍රයෙහි වදාරනලද්දාහු ද ඒ ධර්‍මයෝ (එහි සාමාන්‍ය විශේෂ කිමැයි)විකල්පන නොකළයූත්තාහුය. මෙසේ ධර්‍මයන්ගේ සාමාන්‍යවිශේෂනිශ්චය ලක්‍ෂණ වූ තෙල හාරය ‘අධිට්ඨානහාර’නම් වේ.
Pali BJT15. යෙ ධම්මා යං ධම්මං - ජනයන්තිප්පච්චයා පරම්පරතො, හෙතුමවකඩ්ඪයිත්වා - එසො හාරො පරික්ඛාරො.
Sinhala BJT15. අවිද්‍යාදි යම් ප්‍රත්‍යයධර්‍ම කෙනෙක් සංස්කාරාදි යම් ප්‍රත්‍යයොත්පන්නධර්‍මයක් සහජාතප්‍රත්‍යයභාවයෙන් පරම්පරප්‍රත්‍යයව අනුරූපසන්තානඝටන වශයෙන් උපදවත් ද, ඒ ජනකාදි හේතුව සූත්‍රයෙන් නිශ්චය කොට වර්‍ණනා කරන තෙල හාරය ‘පරික්ඛාරහාර’ නම් වේ.
Pali BJT16. යෙ ධම්මා යම්මූලා - යෙ චෙකත්ථා පකාසිතා මුනිනා, තෙ සමරොපයිතබ්බා - එස සමාරොපනො භාරො.
Sinhala BJT16. යම් ශීලාදි ධර්‍ම කෙනෙක් යම් සමාධිආදි ධර්‍ම කෙනකුන්ට මූල වූවාහු යළි යම් ධර්‍ම කෙනෙක් ඒකාර්‍ත්‍ථ වූවාහු බුද්ධමුනිහු විසින් වදාරන ලදහු ඒ ධර්‍මයෝ පදට්ඨානාදි විසින් සමාරෝපණ කොට වර්‍ණනා කළයුත්තාහුය. තෙල ‘සමාරොපනහාර’ නම් වේ.
Pali BJT17. තණ්හඤ්ච අවිජ්ජම්පි ච - සමථෙන විපස්සනාය යො නෙති, සච්චෙහි යොජයිත්වා - අයං නයො නන්දියාවට්ටො.{1}
Sinhala BJT17. යම් සංවර්‍ණනා විශේෂයෙක් සූත්‍රාගත තෘෂ්ණාවත් අවිද්‍යාවත් සංක්ලේශ පක්‍ෂයට ද ශමථ විදර්‍ශනා දෙකින් වෝදාන පක්‍ෂයට චතුස්සත්‍යයන් සමඟ යොදා පමුණුවා ද, මේ නය ‘නන්‍දියාවට්ට’ නම් වේ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මෙසේ ගාථා විසින් සොළොස් හාර නිර්දේශ කොට දැන් නය නිර්දේශ කෙරෙති.)
Pali BJT18. යො අකුසලෙ සමූලෙහි - නෙති කුසලෙ ච කුසලමූලෙහි, භූතං තථං අවිතථං - තිපුක්ඛලං තං නයං ආහු.
Sinhala BJT18. යම් සංවර්‍ණනාය විශේෂයෙක් ලෝභාදි අකුශලමූලයන් සමඟ ද්වාදශ චිත්තෝත්පාද සංඛ්‍යාත සියලු අකුශලධර්‍මයන් ද අලෝභාදි කුශලමූලයන් සමඟ සියලු චාතුර්භූමක කුශලධර්‍මයන් ද භූත තථ අවිතථ කොට සූත්‍රාර්‍ත්‍ථය චතුස්සත්‍යයෝජනා ද්වාරයෙන් පමුණුවා ද ඒ නයවිශේෂය ‘තිපුක්ඛල’ නමැයි කීහු.
Pali BJT19. යො නෙති විපල්ලාසෙහි - කිලෙසෙ{2} ඉන්ද්රියෙහි සද්ධම්මෙ, එතං නයං නයවිදූ - සීහවික්කීළිතං ආහු.
Sinhala BJT19. යම් සංවර්‍ණනායවිශේෂයෙක් අශුභයෙහි ශුභ යැ යනාදි චතුර්විධ විපර්‍ය්‍යාසයන්ගෙන් ක්ලේශයන් හෙවත් සංක්ලේශපක්‍ෂය ද ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගෙන් ප්‍රතිපත්ති ප්‍රතිවේධ සද්ධර්‍මය හෙවත් වෝදානපක්‍ෂය ද සියුසස් සමඟ යොදා නයන ලක්‍ෂණ වූ තෙල නය සද්ධර්‍මනය දන්නාහු ‘සීහවික්කීළිත’ නමැයි කීහු.
Pali BJT20. වෙය්යාකරණෙසු හි යෙ - කුසලාකුසලා තහිං තහිං වුත්තා, මනසා වොලොකයතෙ - තං ඛු දිසාලොචනං ආහු.
Sinhala BJT20. නන්‍දියාවට්ටාදි ඒ ඒ අර්‍ත්‍ථනය යොදනු සඳහා කරනලද සූත්‍රාර්‍ත්‍ථ විස්සජ්ජනයෙහි ලා ඒ ඒ තැන කියනලද ඒ ඒ නයට දිශාභූත වූ යම් කුශලාකුශලධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයන් මේ ප්‍රථම දිශා යැ යනාදීන් සිතින් මැ අවලෝකන කෙරෙයි, ඒ පරික්‍ෂාව මැ ‘දිසාලෝචන’යැයි කීහු.
Pali BJT21. ඔලොකෙත්වා දිසලොචනෙන - උක්ඛිපිය යං සමානෙති, සබ්බෙ කුසලාකුසලෙ - අයං නයො අඞ්කුසො නාම.
Sinhala BJT21. දිසාලෝචනනය කරණකොටගෙන ප්‍රථමාදි දිශාභාවයෙන් පරීක්‍ෂා කොට සූත්‍රයෙන් නගාගෙන හැම කුශලාකුශලධර්‍මයන් ඒ ඒ නයයෝජනා වශයෙන් යම් සමානයනයෙක් (පැමිණැවීමෙක්) ඇද්ද මේ ‘අඞ්කුසනය’ නම් වේ.
Pali BJT22. සොළස හාරා පඨමං - දිසලොචනතො{1} දිසා විලොකයිත්වා, සංඛිපිය අඞ්කුසෙන හි - නයෙහි තීහි නිද්දිසෙ සුත්තං.
Sinhala BJT22. ව්‍යඤ්ජනපර්‍ය්‍යෙෂණ හෙයින් පළමු කොට සොළසහාරයෝ යෙදිය යුත්තාහ. දිසාලෝචනනයින් ප්‍රථමදිශාදිය අවලෝකන කොට අඞ්කුසනයින් දිශාභූතධර්‍මයන් සූත්‍රයෙන් නිර්ධාරණ කොට නන්‍දියාවට්ටාදි තුන්නයින් සූත්‍රය වර්‍ණනා කරන්නේයි.
Pali BJT23. අක්ඛරං පදං බ්යඤ්ජනං - නිරුත්ති තථෙව නිද්දෙසො, ආකාරඡට්ඨවචනං - එත්තාව බ්යඤ්ජනං සබ්බං.
Sinhala BJT23. (දැන් ද්වාදාශපද නිර්දේශ කෙරෙති: ‘අක්ඛරං පදං’ යනාදීන්) අපරියොසිත පදයෙහි වර්‍ණ සංඛ්‍යාත ‘අක්ඛර’ යැ, නාමාඛ්‍යාතාදි චතුර්විධ ‘පද’ යැ පදයෙන් කියනලද අර්‍ත්‍ථප්‍රකාශක පදසමූදායලක්‍ෂණ වූ වාක්‍යසංඛ්‍යාත ‘ව්‍යඤ්ජන’ යැ. වාක්‍යවිභාගයෙන් කියන ලද නිර්වචන සංඛ්‍යාත ‘නිරුක්ති’ යැ, එසෙයින් මැ නිරවශේෂ දේශනා හෙයින් නිර්වචන විස්තර සංඛ්‍යාත ‘නිද්දේස’ යැ, පදයන්ගෙන් වාක්‍යවිභාග සංඛ්‍යාත සවැනි වචන වූ ‘ආකාර’ යැ, යන සියලු ව්‍යඤ්ජනය මෙතෙක් මැ වේ. (ගාථා ඛන්‍ධ විසින් ‘ආකාර’ පදය අන්තයෙහි ලා කිව ද පදානුක්‍රමතා රිසියහු එය ව්‍යඤ්ජන පදයට අනතුරු කොට ගතයුතුය.)
Pali BJT24. සඞ්කාසනා පකාසනා - විවරණා විහජනුත්තානීකම්මපඤ්ඤත්ති, එතෙහි ඡහි පදෙහි - අත්ථො කම්මඤ්ච නිද්දිට්ඨං.
Sinhala BJT24. සැකෙවින් ප්‍රකාශ කරන ‘සඞ්කාසනා’ යැ, ප්‍රථමප්‍රකාශන සංඛ්‍යාත ‘පකාසනා’ යැ, විස්තර කිරීම් සංඛ්‍යාත ‘විවරණා’ යැ, විභාග කිරීම් සංඛ්‍යාත ‘විභජනා’ යැ, ප්‍රකට කිරීම යයි කියනලද ‘උත්තානීකම්ම’ යැ, ප්‍රකාරයෙන් ඥාපන සංඛ්‍යාත ‘පඤ්ඤත්ති’ යැ යන මේ ෂටපදයෙන් සූත්‍රාර්‍ත්‍ථය ද උද්ඝාටනාදි වූ වෛනෙයයන්ගේ චිත්තප්‍රබෝධනක්‍රියාව ද දක්වනලදි. (මේ අර්‍ත්‍ථ පදයන්ගෙන් පිළිවෙළින් අක්ඛර පද ආදි ව්‍යඤ්ජන පදයෙන් දක්වන අර්‍ත්‍ථාකාරය ගන්නා ලද වේ යයි දතයුතු.)
Pali BJT25. තීණි ච නයා අනූනා - අත්ථස්ස ච ඡප්පදානි ගණිතානි, නවහි පදෙහි භගවතො - වචනස්ස’ත්ථො සමායුත්තො.
Sinhala BJT25. අනූන වූ නන්‍දියාවට්ටාදි තුන් නය ද සඞ්කාසනාදි විසින් ගණන ලද අර්‍ත්‍ථපද සය ද යන නවපදයෙන් හෙවත් නව කොටසින් භාග්‍යවත්හුගේ වචනසංඛ්‍යාත සූත්‍රාර්‍ත්‍ථය මොනොවට යොදන ලද්දේයි.
Pali BJT26. අත්ථස්ස නව පදානි - බ්යඤ්ජනපරියෙට්ඨියා චතුබ්බීස, උභයං සඞ්කලයිත්වා{2} තෙත්තිංසා එත්තිකා නෙත්තී’ති.
Sinhala BJT26. යථෝක්ත අර්‍ත්‍ථපද නවය ද ව්‍යඤ්ජනපර්‍ය්‍යෙෂණ හෙයින් ෂෝඩශහාර යැ ව්‍යඤ්ජනපද ෂට්ක යැ කර්‍මනය දෙක යැ යන සූවිසිපදය දැයි මේ දෙක සම්පිණ්ඩන කොට තෙතිස් නෙත්තිපද කෙනෙක් වෙති. නෙත්ති මෙතෙක් මැ වන්නීය’ යි.
Pali BJTනිද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTනිද්දේසවාරය නිමි.
Pali BJT3. පටිනිද්දෙසවාරො
Sinhala BJT3. පටිනිද්දේසවාරය
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(‘සංඛේපයතෝ’ යන පාඨයෙහි සංක්‍ෂිප්ත කොට (එක්කොට) ගන්නාහට යැ යන අර්‍ත්‍ථ යි. කිසි කෙනෙක් අටළොස් මූලපදයනුදු එක්කොට නෙත්ති අවයව එක් පනසෙකැයි කියති. මූලපද සංවර්‍ණනා විශේෂයෙක් නොවූයෙන් නෙත්තිනයෙහි ලා නොගිණුබව සැලැකියැ යුතුය.)
Pali BJTහාරවිභඞ්ගො
Sinhala BJTවිභඞ්ග
Pali BJT3. 1. 1.
Sinhala BJT3. 1. 1.
Pali BJTදෙසනාහාරවිභඞ්ගො
Sinhala BJTදේසනාහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො දෙසනාහාරො: “අස්සාදාදීනවතා” ති ගාථා, අයං දෙසනාහාරො. කිං දෙසයති: අස්සාදං ආදීනවං නිස්සරණං ඵලං උපායං ආණත්තිං.
Sinhala BJTඑහි දේසනාහාර කවරෙ යත්: ‘අස්සාදාදීනවතා’ යන ගාථා යි. මේ දේසනාහාර යැ. කුමක් දේශනා කෙරෙති යත්: ආස්වාදය ආදීනවය නිස්සරණය ඵලය උපායය ආණ්ත්තිය යන මේ දෙසෙති.
Pali BJT“ධම්මං වො භික්ඛවෙ දෙසිස්සාමි ආදිකල්යාණං මජ්ඣෙ කල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසිස්සාමී”ති.
Sinhala BJT“මහණෙනි, තොපට ආදිකලණ වූ මැදකලණ වූ අවසනැ කලණ වූ අර්‍ත්‍ථසම්පත්තියෙන් සාර්‍ත්‍ථ වූ ව්‍යඤ්ජනසම්පත්තියෙන් සව්‍යඤ්ජන වූ එළැවියැයුතු නැතියෙන් ඒකාන්තපරිපූර්‍ණ වූ හළයුතු නැතියෙන් පරිශුද්ධ වූ දහමක් දෙසමි. සසුන්බඹසර පවසමි” යි.
Pali BJTතත්ථ කතමො අස්සාදො:
Sinhala BJTඑහි ආස්වාද කවරෙ යැ:
Pali BJT1. “කාමං කාමයමානස්ස තස්ස චෙ තං සමිජ්ඣති, අද්ධා පීතිමනො හොති ලද්ධා මච්චො යදිච්ඡතී”ති
Sinhala BJT1. මනාපිය රූපාදි ත්‍රෛභූමක වස්තුකාමය කැමැතිවන ඒ සත්‍වහට ඉදින් ඒ කාමවස්තුව සමෘද්ධ වේ නම් (ලැබේ නම්) ඒ සත්ත්‍ව රිසිවූ කාමය ලැබ ඒකාන්තයෙන් තුටු සිත්ඇතියේ වෙයි.
Pali BJTඅයං අස්සාදො,
Sinhala BJTඉච්ඡිතලාභ ප්‍රීතිමනස්කතාදිය ආස්වාද කටයුතු හෙයින් මේ ආස්වාද යි.
Pali BJTතත්ථ කතමො ආදීනවො:
Sinhala BJTඑහි ආදීනව කවරෙ යැ:
Pali BJT2. තස්ස චෙ කාමයානස්ස ඡන්දජාතස්ස ජන්තුනො, තෙ කාමා පරිහායන්ති සල්ලවිද්ධොව රුප්පතී”ති
Sinhala BJT2. වස්තුකාමයන් කැමතිවන උපන් තෘෂ්ණා ඇති ඒ සත්ත්‍වයාගේ ඒ වස්තුකාමයෝ ඉදින් පිරිහෙත් නම්, එකල්හි හේ අයෝමයාදි ශල්‍යයෙකින් විදුනාලද්දකු සෙයින් පෙළේ යයි.
Pali BJTඅයං ආදීනවො,
Sinhala BJTවිපරිණාමාන්‍යථායෙන් පෙළෙනුයේ මේ ආදීනව යි.
Pali BJTතත්ථ කතමං නිස්සරණං:
Sinhala BJTඑහි නිස්සරණ කවරෙ යැ:
Pali BJT3. “යො කාමෙ පරිවජ්ජෙති සප්පස්සෙව පදා සිරො, සො’මං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තතී”ති
Sinhala BJT3. යම් මහණෙක් (ජීවත්වනු කැමැති පුරුෂයෙක්) තමාගේ පාදය කෙරෙන් සර්‍පයකුගේ හිස සෙයින් වස්තුකාම ක්ලේශකාමයන් (විෂ්කම්භණ විසින් හෝ සමුච්ඡේද විසින් හෝ) දුරුකෙරේ ද ඒ මහණ ලොවැ විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත්‍ව ඉක්මවාලයි.
Pali BJTඉදං නිස්සරණං,
Sinhala BJTමේ නිවන් අරමුණු කොට ඇති මාර්‍ගඥානයෙන් තෘෂ්ණාව දුරැලීම නිස්සරණ යි.
Pali BJTතත්ථ කතමො අස්සාදො:
Sinhala BJTඑහි ආස්වාද කවරෙ යැ.
Pali BJT4. “ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා ගවාස්සං දාසපොරිසං, ථියො බන්ධු පුථූ කාමෙ යො නරො අනුගිජ්ඣතී”ති.
Sinhala BJT4. යම් මිනිසෙක් හැල් ආදි කෙත් හෝ ගෘහවස්තු ආදි වතු හෝ අමුරන් හෝ ගවයන් අසුන් හෝ දස්කම්කරුපුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ නෑයන් හෝ වෙනත් මනාපිය රූපාදි බොහෝ කාමවස්තූන් ක්ලේශකාම වශයෙන් පුනපුනා ප්‍රාර්‍ත්‍ථනා කෙරේ ද.
Pali BJTඅයං අස්සාදො,
Sinhala BJTමේ කෙත් වත් ආදීන්ගේ පුනපුනා ප්‍රාර්‍ත්‍ථනාව ආස්වාද යි.
Pali BJTතත්ථ කතමො ආදීනවො:
Sinhala BJTඑහි ආදීනව කවරෙ යැ:
Pali BJT5. “අබලා නං බලීයන්ති මද්දන්තෙ නං පරිස්සයා, තතො නං දුක්ඛමන්වෙති නාවං භින්නමිවොදකන්ති”
Sinhala BJT5. අබල වූ කෙලෙස්හු ඒ කාමගිද්ධ මිනිසා (ප්‍රකට වූ ද අප්‍රකට වූ ද) උපද්‍රවයෝ ඔහු මැඩපියති. එහෙයින් සිදුරු වු නැවකට ජලය වදනා සෙයින් ජාත්‍යාදි දුක ඔහු අනුව යේ.
Pali BJTඅයං ආදීනවො:
Sinhala BJTමේ ජාත්‍යාදි දුක් අනුබදනාබව ආදීනව යි.
Pali BJTතත්ථ කතමං නිස්සරණං:
Sinhala BJTඑහි නිස්සරණ කවරැ:
Pali BJT6. “තස්මා ජන්තු සදා සතො කාමානි පරිවජ්ජයෙ, තෙ පහාය තරෙ ඔඝං නාවං සිත්වාව පාරගූ”ති
Sinhala BJT6. එහෙයින් සත්ත්‍ව තෙමේ හැම කල්හි සිහිඇතිවැ කාමයන් දුරුකරන්නේ යැ, මෙසේ ඒ කාමයන් දුරුකොට බිඳුණු නැව දිය ඉස පරතෙර යන්නකු සෙයින් චතුරෝඝය තරණය කරන්නේ යි.
Pali BJTඉදං නිස්සරණං,
Sinhala BJTමේ චතුරෝඝතරණය කොට අනුපාදිශේෂව පිරිනිවීම නිස්සරණ යි.
Pali BJTතත්ථ කතමං ඵලං:
Sinhala BJTඑහි ඵලය කවරෙ යැ:
Pali BJT7. “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං ඡත්තං මහන්තං යථවස්සකාලෙ, එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී”ති.
Sinhala BJT7. දානාදි පුණ්‍යධර්‍මය ඒකාන්තයෙන් ඒ ධර්‍මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සාම්පරායික අනර්‍ත්‍ථයෙන්) රක්නේ ය. වැසිකලැ මහත් වූ ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකී ද එමෙනි. ධර්‍මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසය වෙයි: ධර්‍මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.
Pali BJTඉදං ඵලං,
Sinhala BJTමේ දිට්ඨධම්මිකාදි අනර්‍ත්‍ථයෙන් රැකීම ධර්‍මයාගේ ඵල යි.
Pali BJTතත්ථ කතමො උපායො:
Sinhala BJTඑහි උපාය කවරෙ යැ:
Pali BJT8. “සබ්බෙ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා”ති.
Sinhala BJT8. සියලු සඞ්ඛත සංඛ්‍යාත ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෝ අනාත්මයෝ යයි මෙසේ යම් ක්ලේශ (විදසුන් තෙදගන්වා) අනාත්මානුදර්‍ශන ප්‍රඥායෙන් දකී ද, එකල්හි (පෙර මැ අනිත්‍යදුඃඛයන් දුටුහෙයින්) විදර්‍ශනාගෝචර වූ පඤ්චස්කන්‍ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි. තෙල නිර්වේදය විශුද්ධිසංඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට උපාය (මාර්‍ග) වේ යයි.
Pali BJTඅයං උපායො,
Sinhala BJTමේ නිබ්බින්‍දනය විසුද්ධි අධිගමයට හේතු බැවින් උපාය යි.
Pali BJTතත්ථ කතමා ආණත්ති:
Sinhala BJTඑහි ආණත්ති කවර යැ:
Pali BJT9. “චක්ඛුමා විසමානීව විජ්ජමානෙ පරක්කමෙ, පණ්ඩිතො ජීවලොකස්මිං පාපානි පරිවජ්ජයෙ”ති.
Sinhala BJT9. ඇස් ඇති පුරුෂයෙක් කායිකවීර්‍ය්‍යය පවත්නා කල්හි විෂමභූමිප්‍රදේශ හෝ චණ්ඩතායෙන් විෂම වූ ඇත් අස් ආදීන් හෝ දුරුකොට යන්නා සේ සත්ලොවැ නුවණැති පණ්ඩිත පුරුෂ පාපයන් දුරැලන්නේ යි.
Pali BJT“සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජා”ති ආණත්ති. “සදා සතො”ති උපායො.
Sinhala BJT‘මෝඝරාජය, සියලු මැ සංස්කාරලෝකය (වසයෙහි නො පවත්නාබව සැලකීම් වශයෙන් හෝ සිස්බව නුවණින් දැකීම් වශයෙන් හෝ) ශුන්‍ය වශයෙන් බලව’ යන ධර්‍මරාජයන්ගේ වචනය විධාන වනුයෙන් ‘ආණත්ති’ යැ.
Pali BJT“අත්තානුදිට්ඨිං උහච්ච එවං මච්චුතරො සියා”ති ඉදං ඵලං.
Sinhala BJT‘විංශද්වස්තුක ආත්ම (සත්කාය) දෘෂ්ටිය උදුරාපියා (නසා) මෙසේ මරණය ඉක්ම වනුයෙහි වන්නේය’ යන මේ දේශනා ඵලය යි.
Pali BJTතත්ථ භගවා උග්ඝටිතඤ්ඤුස්ස පුග්ගලස්ස නිස්සරණං දෙසෙති. විපඤ්චිතඤ්ඤුස්ස පුග්ගලස්ස ආදීනවං ච නිස්සරණං ච දෙසෙති. නෙය්යස්ස පුග්ගලස්ස අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච දෙසෙති.
Sinhala BJTඑහි භාග්‍යවතුන් වහන්සේ උද්ඝටිතඥ (උද්දිෂ්ටමාත්‍රයෙන් අවබෝධ කරන) පුද්ගලහට නිස්සරණ දේශනාව දෙසනසේක. විපඤ්චිතඥ (විස්තරයෙන් නිර්දිෂ්ට කල්හි අවබෝධ කරන) පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක. ප්‍රතිනිර්දේශයෙන් අවබෝධ කරවියයුතු නෙයපුද්ගලහට අස්සාදය ද ආදීනවය ද නිස්සරණය ද දෙසනසේකි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT‘පව් දුරැලියයුතුය’ යනු ධර්‍මරාජ වූ බුදුරදුන්ගේ අණ යැ. මේ ආණත්ති යි.
Pali BJTතත්ථ චතස්සො පටිපදා චත්තාරො පුග්ගලා ච, තණ්හාචරිතො මන්දො සතින්ද්රියෙන දුක්ඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය නිය්යාති සතිපට්ඨානෙහි නිස්සයෙහි, තණ්හාචරිතො උදත්ථො{1} සමාධින්ද්රියෙන දුක්ඛාය පටිපදාය ඛිප්පාභිඤ්ඤාය නිය්යාති ඣානෙහි නිස්සයෙහි, දිට්ඨිචරිතො මන්දො විරියින්ද්රියෙන සුඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය නිය්යාති සම්මප්පධානෙහි නිස්සයෙහි, දිට්ඨිචරිතො උදත්ථො{1} පඤ්ඤින්ද්රියෙන සුඛාය පටිපදාය ඛිප්පාභිඤ්ඤාය නිය්යාති සච්චෙහි නිස්සයෙහි.
Sinhala BJT(ප්‍රතිපදාවිභාගයෙන් ඒ පුද්ගලයන් විභාග කෙරෙති.) එහි ප්‍රතිපදා සතරක් ද, ප්‍රතිපන්නක පුද්ගලයෝ සතරදෙනෙක් ද වෙති: තෘෂ්ණචරිත ඇති මෝහාධික (මන්‍ද) පුද්ගල ස්මෘතීන්‍ද්‍රියයෙන් ලැසිවූ අභිඥා ඇති දුක් වූ ප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ සතිපට්ඨානයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි. (සසරදුකින් නික්මයෙයි.) තෘෂ්ණාචරිත ඇති උදත්‍ථ (උදාරප්‍රාඥ) පුද්ගල සමාධීන්‍ද්‍රියයෙන් ශීඝ්‍ර වූ අභිඥා ඇති දුඃඛප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ ධ්‍යානයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි. දෘෂ්ටිචරිත ඇති මෝහාධිකපුද්ගල වීර්‍ය්‍යයෙන්‍ද්‍රියයෙන් ලැසිවූ අභිඥා ඇති සුඛ ප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ සම්‍යක්ප්‍රධානයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි. දෘෂ්ටිචරිත ඇති උදත්‍ථ (උදාරප්‍රාඥා) පුද්ගල ප්‍රඥේන්‍ද්‍රියයෙන් ශීඝ්‍ර වූ අභිඥා ඇති සුඛප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ ආර්‍ය්‍යසත්‍යයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරේ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTමෙසේ වෙන වෙන සූත්‍රයෙහි ආ ඵල උපාය ආණත්ති උදාහරණ කොට යළි එක් මැ සූත්‍රයෙහි ආ සැටි දක්වන්නට පාරායනවර්‍ගයෙහි මෝඝරාජසූත්‍රය නිදසුන් කෙරෙති.
Pali BJTඋභො තණ්හාචරිතා, සමථපුබ්බඞ්ගමාය විපස්සනාය නිය්යන්ති රාගවිරාගාය චෙතොවිමුත්තියා, උභො දිට්ඨිචරිතා විපස්සනාපුබ්බඞ්ගමෙන සමථෙන නිය්යන්ති අවිජ්ජාවිරාගාය පඤ්ඤාවිමුත්තියා.
Sinhala BJTතෘෂ්ණචරිත ඇති පුද්ගලයෝ දෙදෙන ශමථය පූර්‍වඞ්ගම කොට ඇති විදර්‍ශනායෙන් රාගවිරාග (රාගප්‍රහාණයකරන) අනාගාමීඵලසමාධියෙන් නිර්‍ය්‍යාණය කෙරෙති. දෘෂ්ටි චරිතපුද්ගලයෝ දෙදෙනා විදර්‍ශනාපූර්‍වඞ්ගම ශමථයෙන් අවිද්‍යාප්‍රහාණය කරන අර්‍හත්ඵලප්‍රඥායෙන් නිර්‍ය්‍යාණය කෙරෙත්.
Pali BJTතත්ථ යෙ සමථපුබ්බඞ්ගමාහි පටිපදාහි නිය්යන්ති, තෙ නන්දියා වට්ටෙන නයෙන හාතබ්බා. යෙ විපස්සනාපුබ්බඞ්ගමාහි පටිපදාහි නිය්යන්ති, ථෙ සීහවික්කීළිතෙන නයෙන හාතබ්බා.
Sinhala BJTඑහි යම් කෙනෙක් ශමථපූර්‍වඞ්ගම ප්‍රතිපදා දෙකින් සසරදුක ඉක්මවායෙත් ද, ඔහු නන්‍දියාවට්ටනයින් පමුණුවාලියැයුත්තාහ. යම් කෙනෙක් විදර්‍ශනාපූර්‍වඞ්ගම ප්‍රතිපදා දෙකින් සසරදුක ඉක්මවායෙත් ද, ඔහු සීහවික්කීළිතනයින් පමුණුවාලියැයුත්තාහ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT‘හැම කල්හි ස්මෘතිමත් වූයෙහි’ යනු උපාය යැ. (ස්මෘතියෙන් දර්‍ශනය වන හෙයිනි.)
Pali BJTස්වායං හාරො කත්ථ සම්භවති{2} : යස්ස{3} සත්ථා වා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානීයො සබ්රහ්මචාරී, සො තං ධම්මං සුත්වා සද්ධං පටිලභති, තත්ථ යා වීමංසා උස්සාහනා තුලනා උපපරික්ඛා, අයං සුතමයීපඤ්ඤා, තථා සුතෙන නිස්සයෙන යා වීමංසා තුලනා උපපරික්ඛා මනසානුපෙක්ඛනා, අයං චින්තාමයීපඤ්ඤා. ඉමාහි ද්වීහි පඤ්ඤාහි{4} මනසිකාරසම්පයුත්තස්ස යං ඤාණං උප්පජ්ජති දස්සනභූමියං වා භාවනාභුමියං වා අයං භාවනාමයීපඤ්ඤා. පරතො ඝොසා සුතමයීපඤ්ඤා. පච්චත්තසමුට්ඨිතා යොනිසොමනසිකාරා චින්තාමයීපඤ්ඤා, යං පරතො ච ඝොසෙන පච්චත්තසමුට්ඨිතෙන ච යොනිසොමනසිකාරෙන ඤාණං උප්පජ්ජති අයං භාවනාමයීපඤ්ඤා.
Sinhala BJTඒ මේ හාරය කොහි ලැබෙයි යත්: ක්‍ෂණසම්පත් ලැබූ යම් පුඟුලක්හට ශාස්තෘන් වහන්සේ හෝ ගරු කටයුතු අන්‍යතර සබ්‍රහ්මචාරී කෙනෙක් හෝ දහම් දෙසති. හේ ඒ දහම් අසා (බුදුන් දහම් කෙරෙහි) සැදැහැ උපදවයි. ඒ යථාශ්‍රැතධර්‍මයෙහි පද පදාර්‍ත්‍ථ විමසන විමංසායෙක් ධාරණපචයෙහි උත්සාහයෙක් සසඳා තුලනය කිරීමෙක් මහාපදේසයෙහි බහා පිරික්සීමෙක් වේ ද, මේ ‘සුතමයී’ ප්‍රඥා නමු. එසෙයින් ඒ ශ්‍රැතය උපනිශ්‍රය කොට යම් විමසීමෙක් තුලනයෙක් පිරික්සීමෙක් සිතින් පුනපුනා බැලීමෙක් වේ ද, මේ ‘චින්තාමයී’ ප්‍රඥා නමු. මේ යථෝක්ත ප්‍රඥාදෙකින් රූපාරූපපරිග්‍රහාදි මනසිකාරයෙහි යුක්තප්‍රයුක්ත වූවහුට දර්‍ශනභූමියෙහි හෝ භාවනාභූමියෙහි හෝ යම් ඥානයෙක් උපදීද මේ ‘භාවනාමය’ ප්‍රඥා නමු. (බුද්ධ, බුද්ධශ්‍රාවකාදි) අනෙකක්හුගේ දේශනාහේතුයෙන් උපන් නුවණ ‘සුතමයපඤ්ඤා’නමු. තමා තුළ පහළවූ යෝනිසෝමනසිකාරයෙන් උපන් නුවණ ‘චින්තාමයපඤ්ඤා’ නමු. පරතෝඝෝස සංඛ්‍යාත අනෙකක්හුගේ දේශනායෙදුනුදු තමාතුළ උපන් යෝනිසෝමනසිකාර හේතුයෙනුදු යම් නුවණෙක් උපදීද මේ ‘භාවනාමයපඤ්ඤා’ නමු.
Pali BJTයස්ස ඉමා ද්වෙ පඤ්ඤා අත්ථි සුතමයී චින්තාමයී ච, අයං උග්ඝටිතඤ්ඤූ, යස්ස සුතමයී පඤ්ඤා අත්ථි චින්තාමයී නත්ථි අයං විපඤ්චිතඤ්ඤූ.{5} යස්ස නෙව සුතමයී පඤ්ඤා අත්ථි න චින්තාමයී, අයං නෙය්යො.
Sinhala BJTයමක්හට ශ්‍රැතමය වූ ද චින්තාමය වූ ද මේ ප්‍රඥාවෝ දෙදෙනෙක් ඇද්ද මෙතෙම ‘උද්ඝටිතඥ’ නම් වේ. යමක්හට ශ්‍රැතමයප්‍රඥා ඇද්ද, චින්තාමයප්‍රඥා නැද්ද, මෙතෙම විපඤ්චිතඥ නම් වේ. යමක්හට ශ්‍රැතමයප්‍රඥා නොමැ ඇද්ද, චින්තාමයප්‍රඥා නොමැ ඇද්ද මෙතෙම ‘නෙයපුද්ගල’ නම් වේ.