19. (අධර්‍මව්‍යවහාරාදීන් ලත් හෙයින්) රාජාන්තරායාදි උපද්‍රවයෝ වන්නාහ, ඔහු විසින් රැස්කරනලද්ද වැනැසෙයි, මළාහු සුගතියට නොයති, මෙතෙකින් (දිට්ඨධම්මික සම්පරායික හානියෙක්) නටුවාහු නො යි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
20. කිසෙයින් තමා ගුණඛණනයෙන් කණී ද, කිසෙයින් මිත්‍රභාවයෙන් පිරිහේ ද, කිසෙයින් ධර්‍මයෙන් වැඩේ ද, කිසෙයින් ස්වර්‍ගයට නො යේ ද?
21. ලෝභහේතුයෙන් තමා කණී, ලුබ්ධ වූයේ මිත්‍රභාවයෙන් පිරිහෙයි, ලෝභ හේතුයෙන් ධර්‍මයෙන් වැටෙයි, ලෝභහේතුයෙන් ස්වර්‍ගයට නොයේ යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
22. මෙලොවැ පරලොවැ අර්‍ත්‍ථානර්‍ත්‍ථ නොදත් බාලයෝ යම් කර්‍මයෙක් කටුක විපාක වේ ද, එබඳු පාපකර්‍මය කරමින් තමහට සතුරකු බඳු වූ ආත්මභාවයෙන් යුක්ත ව හැසිරෙත්.
23. යම් කර්‍මයක් කොට සිහිකළ කෙණෙහි තැවේ ද, යම් කර්‍මයක්හුගේ අනිෂ්ට විපාකය කඳුළුමුසු මුහුණින් යුතුව හඬමින් විඳී ද, එබඳු අකුසලකර්‍මය නො කරනලද්දේ මැනැවි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
24. නොවියත් මඳ නුවණැත්තහු විසින් ශ්‍රමණභාවය (වත්පිළිවත් පිරීමාදි විසින් ආභිසමාචාරිකශීලය නො පිරියැහෙනුයෙන්) දුෂ්කර යැ, (සමාදානයෙහි පටන් නොකඩ කොට ආදිබ්‍රහ්මචරියක ශීලය මුදුන්පත්කළයුතු හෙයින්) නො සිතියැහැක්ක. (ශීලසංවරාදියට පරිබන්‍ධ වූ) යම් විෂභාගාරම්මණාදියෙක්හි බාල පුද්ගල වෙසෙසින් ගැලේ ද එහෙයින් ඒ ශ්‍රමණභාවයෙහි (දුන්නිවත්‍ථ-දුප්පාරුතමාතුගාමසම්මද්දාදි) ... සම්බාධයෝ බොහෝ වෙත් මැ යි.
25. තථාගතයන් වහන්සේ අර්‍ත්‍ථයත් ධර්‍මයත් වදාරන කල්හි යම් බාලයෙක් සිත ප්‍රදුෂ්‍ය කෙරේ ද, ඔහුගේ ජීවිතය සිස් වූයේ මැ යි.
26. වහන්ස, අවීතරාග වූ යම්බඳු මම අප්‍රමේය ගුණ ඇති තථාගතයන් කෙරෙහි සිත ප්‍රදුෂ්‍ය කෙරෙම් ද, ඒ මම තෙල ව්‍යසනයට ද මෙයිනුදු ලාමකතර දුකට ද සුදුසු වෙමි යි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
27. මෙ ලොවැ අප්‍රමේය ගුණඇති ක්‍ෂිණාස්‍රවයකු (මෙතෙක් ශීල යැ සමාධි යැ යනාදීන්) ප්‍රමාණ කරන කවර ප්‍රාඥයෙක් විකල්පනය කරන්නේ ද (රහතෙක් මැ රහතකු ප්‍රමාණයෙන් විකල්පන කරන්නේ යැයි සේ යි). අප්‍රමේය ක්‍ෂිණාස්‍රවයකු ප්‍රමාණ කරන්නහු නුවණ නැති අවකුජ්ජප්‍රාඥයකු කොට සිතම්.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
28. දුර්‍භාෂිත කියන බාල තෙමේ අවියක් වැනි යම් පරුෂවචනයෙකින් (කුසලමූලය සිඳීමෙන්) තමා සිඳපියා ද, උපන් පුරුෂයාගේ මුවෙහි එබඳු රළුබස් නමැති කුඨාරීය උපදනේ මැ ය.
29. යම්පරිදි ආර්‍ය්‍යෝපවාද වශයෙන් කියන ලද දුර්‍භාෂිත වචනය අපරාධ කළ පාපී පුද්ගලයා මෙසේ නිරයෙහි හෙළා ද එබඳු හලාහල විෂයයක් සෙයින් සුනිශිත (මොනවට මුවහත් කරන ලද) ශස්ත්‍රයෙක් නැත් මැ යි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
30. යමෙක් නිගාකළයුත්තහු පසසසා ද, පැසැසියයුතු යමෙක් වේ නම් ඔහුට හෝ නිගාකෙරේ ද, හේ මුවින් අපරාධය (අකුසල්) රැස්කෙරෙයි, ඒ අපරාධය හේතු කොට ගෙන සුව නොලබා.
31. දූකෙළියෙහි ලා යම් ධනපරාජයක් ඇද්ද, මේ අපරාධය (පරාජය) අල්පමාත්‍ර යැ යමෙක් බුද්ධාදි සුගතයන් කෙරෙහි සිත ප්‍රදුෂ්‍ය කෙරේ ද, තමා ද සමග සර්‍වස්වය (තමාගේ සියලු ධනය) ද නසන මේ මැ අපරාධය මහත්තර (අතිශයින් මහත්) වේ.
32. ආර්‍ය්‍යයනට ගරහනුයේ පාපක වූ වචනය ද සිත ද පිහිටුවා යම් (පදුම නම්) නිරයකට පැමිණේ ද, (එහි ආයුෂ්ප්‍රමාණය) නිරර්බුදගණනින් සිය දහසක් හා සතිසක් ද අර්බුද පසක් ද වේ.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
33. යමෙක් ලෝභගුණ (තෘෂ්ණා) යෙහි පුනපුනා යෙදුණේ ද, හේ සැදැහැ නැතියේ තදමසුරු වූයේ බුද්ධාදීන්ගේ පවා බස් නොදන්නේ පංච මාත්සර්‍ය්‍යයෙන් යුක්ත වූයේ පෙහෙසුන් බිණීමෙහි යෙදුණේ වචනයෙන් අන්‍යයනට පරිභව කෙරෙයි.
34. මුඛවිෂමය, (විෂම බස් ඇතිය) මුසවා ඇතිය, අනාර්‍ය්‍යය, වෘද්ධිනාශකය, ලාමකය, පාපකාරීය, පුරුෂාධමය, කාලකන්නිය, (භාග්‍යවතුන් වහන්සේගේ) අවජාත පුත්‍රය, මෙහි (මේ අත්බැවෙහි දී) නහමක් බොහෝ කොට බණනු වෙහි නිරිසත් වෙහි.
35. පාපකාරිය, (තෝ) සන්හුන් කෙලෙස් ඇති රහත්නට නිගා කෙරෙහි, තමහට අවැඩ පිණිස තමා කෙරෙහි කෙලෙස්රජස් වගුරුවා බොහෝ දුශ්චරිත කොට බොහෝ කල් පැසියැයුතු පදුමනිරයට යෙහි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
තෘෂ්ණා දෘෂ්ටි දුශ්චරිත වශයෙන් ත්‍රිවිධ සංක්ලේශයන්ගේ ස්වභාවභේදයෙන් ද අවස්ථාභේදයෙන් ද අනේකප්‍රභේද ඇති බව දක්වන්නට නොයෙක් සූත්‍රපදයන්ගෙන් නිදසුන් ඇරැදක්වන ලද සංකිලෙසභාගිය සූත්‍ර යි.
3. 4. 2.
(2) ඒ සොළොස් සූත්‍රයන් කෙරෙහි වාසනාභාගිය සූත්‍ර කවරෙ යැ :
1. වේදනාදි ස්කන්‍ධත්‍රය සංඛ්‍යාත ධර්‍මයෝ චාතුර්භූමක චිත්තය පෙරදැරි කොට ඇත්තාහු යැ, සිත අධිපති කොට ඇත්තාහු යැ, සිතින් මැ නිපන්නාහු යැ, ඉදින් අනභිධ්‍යාදීන් ප්‍රසන්න වූ සිතින් යුක්තව කියා නම් හෝ කෙරේ නම් හෝ ඒ හේතුයෙන් තමා නොහැර යන සෙවණැල්ලක් සෙයින් කායික චෛතසික විපාකසුඛය ඒ පුද්ගලයා කැටිව යේ යයි.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
මහානාම ශාක්‍යරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ යැ : “වහන්සැ, මේ කිඹුල්වත්පුරය වස්ත්‍රාභරණාදීන් සමෘද්ධ යැ, ආහාරපාන ධනධාන්‍යාදීන් විපුල යැ, බොහෝ ජනයා ඇත, මිනිසුන්ගෙන් නිරතුරු ද වෙයි, සම්බාධ වූ වීථි ඇත්තේ යි. වහන්සැ, මම භාග්‍යවතුන් වහන්සේ හෝ මනවඩන භික්‍ෂූන් වහන්සේ හෝ ඇසිරි කොට සවස්වේලෙහි කිඹුල්වතට පිවිසෙනුයෙම් නො දැමුණු ඇතෙකු හමුවට ද යෙමි, නො දැමුණු අසෙකු ද හමුවට යෙමි, නො දැමුණු රියකුදු හමුවට යෙමි,නො දැමුණු ගැලකුදු හමුවට යෙමි, නො දැමුණු පුරුෂයකුදු හමුවට යෙමි. වහන්සැ, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අරභයා මාගේ සතිය නැසේ මැ යැ, දහම් ඇරැබැ සිහි නැති වෙයි, සඟුන් ඇරැබ සිහි නැති වේ. වහන්සැ, මට මෙසේ සිතෙයි : මෙ සමයෙහි මම කලුරිය කෙරෙම් නම් මාගේ උපත කෙසේ වන්නේ ද, අභිසම්පරාය (පරලොව) කවරේ දැ” යි.
“මහානාම, නහමක් බියපත්ව, මහානාම, නහමක් බියපත් වෙව, තොපගේ මරණය අලාමක වන්නේය, තොපගේ කාලක්‍රියාව නොලමු වන්නීය. මහානාමය, කරුණු සතරෙකින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක නිවනට නැමුණේ නිර්‍වාණප්‍රවණ වූයේ නිවනට නතුවූයේ යැ, කවර සතරෙකින යත් : මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි : ‘ඒ භාග්‍යවත් බුදුහු මෙ කරුණෙනුදු අරහත් වූහ ... දෙව්මිනිසුනට ශාස්තෘයහ, භගවත් වූහ’ යි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. යම් පරිදි මහානාමය ප්‍රාචීනනිම්න වූ ප්‍රාචීනප්‍රවණ වූ ප්‍රාචීනප්‍රාග්හාර වූ රුකෙක් වේ ද, එ රුක මුලින් සිඳුනාලදුයේ කවර දෙසෙකින් බිමැ හෙන්නේ ද? යම් දෙසෙකැ නැමුණේ යම් දෙසෙකැ ඇලවූයේ යම් දෙසෙකැ බරවූයේ නම් එදෙසෙහි යැ. එපරිදි මැ මහානාමය මේ සතර දහමින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක නිර්‍වාණනිම්න නිර්‍වාණප්‍රවණ නිර්‍වාණප්‍රාග්හාර වේ. නහමක් බියපත් වවු මහානාමයෙනි, නහමක් බියපත් වවු මහානාමයෙනි, තොපගේ මරණය අලාමක වන්නේයැ, තොපගේ කාලක්‍රියාව අලාමක වන්නීයැ” යි.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
2. සුව කැමැති සත්නට යමෙක් දඬින් හිංසා නො කෙරේ ද, තමහට සුව රිසියෙන හේ පරලොව ගොස් සුව ලබා යයි.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
3. මහවතුරු තරණය කරන ගවයන් කෙරෙහි ඉදින් යූථපති පුංගව ඍජුව යේ නම් පරිණායකයා ඍජුව ගිය කල්හි සියලු ගාවීහු ඍජුව යෙත්.
4. එසෙයින් මැ මිනිසුන් කෙරෙහි අධිපති කොට සම්මත වූ යමෙක් වේ ද, ඉදින් මේ දහම්හි හැසිරේ නම්, ඉතිරි ප්‍රජාව කැල මැ ය. (කියනු කිමැ.) ඉදින් රජ දැහැමි වේ නම් සියලු රටවැසියා සුවසේ වෙසේ යයි.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
“භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක. එසමයෙහි බොහෝ වහන්දෑ ‘සිවුරු කොට නිමැවූ බුදුහු තුන්මසක් ඇවෑමෙන් චාරිකාවට පිවිසෙන සේකැ’ යි භාග්‍යවතුන් වහන්සේට සිවුරු කෙරෙති. තවද එසමයෙහි ඉසිදත්ත යැ පුරාණ යැ යන ථපතීහු (වඩුදෙටුවෝ දෙදෙන) කිසි යම් කටයුත්තෙකින් සාකේතයෙහි වෙසෙති. ඉසිදත්ත පුරාණ ථපතීහු ‘සිවුරු කොට නිමවාලූ බුදුහු තුන්මසක් ඇවෑමෙන් චාරිකාවට පිවිසෙන්නාහ’ යි බොහෝ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේට සිවුරු කෙරෙත්ල’ යි ඇසූහ.
ඉක්බිති ඉසිදත්ත පුරාණ ථපතීහු මඟ පුරුෂයකු රැඳවූහ : ‘එම්බා පුරුෂය, තෙපි යම් කලෙක භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වඩනාසේක් දක්නවු නම්, එකල අපට දන්වාලව’ යි. දෙතුන් දවසක් සිටි ඒ පුරුෂ දුරදී මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක ඉසිදත්ත පුරාණ ථපතීන් කරා එළැඹ ඔවුනට තෙල කී : ‘හිමියෙනි, මේ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වඩනාසේක, දැන් බුදුන් දක්නට කල් දන්නවු’ යැයි.
ඉක්බිති ඉසිදත්ත පුරාණ ථපතීහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් අනුගමන් කළහ. එසඳ බුදුහු මඟින් ඉවත්වැ එක්තරා රුක්මුලකට එළැඹ පැනැවූ අසුන්හි වැඩහුන්සේක. ඉසිදත්ත පුරාණ ථපතීහු ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්වැ හුන්හ. එකත්පස්වැ හුන් ඉසිදත්ත පුරාණ ථපතීහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ :
වහන්ස, ඇපි යම් කලෙක ‘භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් නික්මැ කොසොල් දනව්වෙහි චාරිකාවට පිවිසෙන්නාහ’ යි අසමෝ ද එසමයෙහි අපට ‘භාග්‍යවතුන් වහන්සේ අපට දුරැ වන්නාහ’ යි නොසතුටුබව වෙයි, දොම්නස වෙයි. යළි වහන්ස, යම් කලෙක ඇපි ‘භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් නික්මැ කෝසලයෙහි චාරිකාවට පිවිසියාහ’ යි අසමෝ ද අපට එකල ‘භාග්‍යවතුන් වහන්සේ අපට දුරැ වූහ’ යි නොසතුට ද දොම්නස ද වේ.
වහන්ස, ඇපි යම් කලෙක ‘භාග්‍යවතුන් වහන්සේ කසීරටින් නික්මැ මගධ ජනපදයෙහි චාරිකාවට වඩනාහ’ යි අසමෝ ද, එසමයෙහි ‘භාග්‍යවතුන් වහන්සේ අපට දුරැ වන්නාහ’ යි අපගේ නොසතුට වෙයි, දොම්නස වෙයි. වහන්ස, යළි යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ‘කසීරටින් නික්මැ මගධජනපදයෙහි චාරිකාවට වැඩියහ’ යි අසමෝ ද එසමයෙහි ‘භාග්‍යවතුන් වහන්සේ අපට දුරැ වූසේකැ’ යි අපගේ අනල්ප වූ නොසතුට වෙයි, අනල්ප වූ දොම්නස වේ.
වහන්ස, ඇපි යම් කලෙක ‘භාග්‍යවතුන් වහන්සේ මගධරටින් නික්මැ කසීරටැ චාරිකාවට වඩනාහ’ යි අසමෝ ද, එසමයෙහි ‘භාග්‍යවතුන් වහන්සේ අපට ආසන්නයෙහි වන්නාහ’ යි අපගේ තුටුසිතැතිබව වෙයි, සොම්නස වෙයි. යළි වහන්ස ඇපි යම් කලෙක ‘භාග්‍යවතුන් වහන්සේ මගධරටින් නික්මැ කසීරටැ චාරිකාවට පිවිසියාහ’ යි අසමෝ ද, එකල ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ ආසන්නයෙහි වූහ’ යි අපගේ සතුට වෙයි, සොම්නස වේ.
වහන්ස, යම් කලෙක ඇපි ‘භාග්‍යවතුන් වහන්සේ කොසොල්රටැ සැවැත්නුවර චාරිකාවට පිවිසෙන්නාහ’ යි අසමෝ ද, එකල ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ ආසන්නයෙහි වන්නාහ’ යි අපට අත්තමනතා වෙයි, සොම්නස වෙයි, යළි වහන්ස, ඇපි යම් කලෙක ‘භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසනාසේකැ’ යි අසමෝද එසඳ ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ ආසන්නයෙහි වැඩවසනසේකැ’ යි අපට අනල්ප වූ සතුටු සිත්ඇතිබව වෙයි, අනල්ප වූ සොම්නස වේ යයි සැලකළෝ.
එසේ හෙයින් ථපතියෙනි, මෙහිලා (තෙල කරුණ දතයුතු යැ :) ගෘහවාසය සම්බාධ යැ, කෙලෙස්රජස් උපදනා තැනි, පැවිද්ද අභ්‍යවකාශයෙකි. තොප විසින් අප්‍රමාදය වඩන්නට සුදුසු මැයි. වහන්ස, අපට තෙල ඝරාවාසසම්බාධයට වඩා සම්බාධතර වූ ද අතිශයින් සම්බාධ සංඛ්‍යාත වූ ද අන්‍ය සම්බාධයෙක් ඇතැ’ යි. ථපතියෙනි, තොපගේ තෙල සම්බාධයට වඩා සම්බාධතර වූ ද සම්බාධසඞ්ඛ්‍යාතතර වූ ද අන්‍ය සම්බාධය කවරේ දැ ? යි.
වහන්ස, මෙහි ඇපි යම් කලෙක පසේනදි කොසොල්රජ උයන්බිමට යනු කැමැති වේ ද, පසේනදි කොසොල්රජුගේ රාජවාහනයෝග්‍ය වූ යම් හස්තීහු වෙත් ද, ඔවුන් කල්පනය කොට (සරසා) පසේනදි කොසොල්රජුගේ ප්‍රිය මනාප වූ යම් දේවීහු වෙත් ද, ඔවුන් එකක පෙරටුයෙහි එකක පිටුපස හිඳුවම්හ, තවද වහන්ස, ඒ බුහුණන්ගේ එකෙණෙහි විවර කරනුලබන සුවඳකරඬුවක මෙන් ගන්‍ධය වෙයි, රාජාර්‍හ වූ ගන්‍ධයෙන් විභූෂිත වූවන්ගේ මෙනි. යළි වහන්ස, ඒ භගිනීන්ගේ ඉඹුල්පුළුනට හෝ කපුපුළුනට බඳුවූ කයපහස වෙයි, සුවසේ වැඩුණු රජදුන්ගේ මෙනි. තවද ස්වාමීනි, එසමයෙහි ඇතු ද රැක්කයුතු වෙයි, ඒ භගිනීහු ද රැක්කයුතු වෙති, තෙමේ ද රැක්කයුතු වේ. යළි වහන්ස, ඇපි ඒ බූණන් කෙරෙහි පවිටු සිතක් උපදවන්නමෝ නොදනුම්හ, වහන්ස, මේ වූ කලි අපට තෙල සම්බාධයට වඩා සම්බාධතර වූ ද සම්බාධසඞ්ඛ්‍යාතතර වූ ද අන්‍ය සම්බාධය වේ’ යයි.
ථපතියෙනි, (යම් හෙයෙකින් තෙල සම්බාධ ඇද්ද) එහෙයින් මෙහි ලා ගෘහවාසය සම්බාධ යැ රජස්පථ (කෙලෙස්රජස් උපදනා තැන්) යැ, ප්‍රව්‍රජ්‍යාව අභ්‍යවකාශ යැ, තොප විසින් අප්‍රමාදය මැ කරනු සඳහා සුදුසු වෙයි. (පැවිදි වුව තොපට ඒ සම්බාධය නැති සේයි.) ථපතියෙනි සතර ධර්‍මයෙකින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක මාර්‍ගශ්‍රෝතසට පැමිණියේ අවිනිපාතධර්‍ම (පෘතග්ජනභාව සංඛ්‍යාත විරූපයෙහි නො හෙන පියවි) ඇතියේ ධර්‍මනියාමයෙන් නියත වූයේ උපරිමාර්‍ග සංඛ්‍යාත සම්බෝධිය පරායණ කොට ඇතියේ වෙයි. කවර සතරෙකින යත් : ථපතියෙනි, මෙ සස්නෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි : ඒ භගවත් බුදුහු මෙ කරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෘ වූහ, භාග්‍යවත්හ’ යි. ධර්‍මයෙහි ... සංඝයා කෙරෙහි ... පහවගිය මසුරුමල ඇති සිතින් යුතු වැ මුක්තත්‍යාග වැ (දන් දෙනුවට) දෙවිඅත් ඇති වැ ත්‍යාගයෙහි ඇලුණේ ඉල්ලීමට නිසි වැ දාන සංවිභාගයෙහි ඇලුණේ ගෘහවාස කෙරෙයි. කලණදම් ඇති සිල්වතුන් හා දෙය ධර්‍මය මෙතෙක් දියයුතු යැ යි නොබෙදන ලද යැ. ථපතියෙනි, මෙ සතර දහමින් සමන්‍වාගත වූ ආර්‍ය්‍යශ්‍රාවක මාර්‍ගශ්‍රෝතසට පැමිණියේ අවිනිපාතධර්‍ම ඇතියේ ධර්‍මනියාමයෙන් නියත වූයේ සම්බෝධිය පරායණ කොට ඇතියේ වෙයි. ථපතියෙනි, තෙපි බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වූවහු යැ : ඒ භාගවත් බුදුහු මෙකරුණෙනුදු ... දෙවි මිනිසුනට ශාස්තෘ වූහ. භාග්‍යවත්හ’ යි. ධර්‍මයෙහි ... සංඝයා කෙරෙහි ... තවද කුලයෙහි යම්කිසි දේයධර්‍මයෙක් ඇද්ද එ හැම කලණදහම් ඇති සිල්වතුන් හා මෙතෙක් දියයුතු යැයි) නො බෙදන ලද වෙයි. ථපතියෙනි, එ කුමැයි හඟිවු ද, යම් කෙනෙක් දානසංවිභාගයෙන් තොප හා සමසම වෙත් ද, කොසොල්රට එබඳු මිනිස්සු කෙතෙක් වෙත් දැ’යි. භාග්‍යවතුන් වහන්සේ යම් අප පිළිබඳ කොට මෙසේ දන්නාසේක් ද, එය වහන්ස අපට ලාභයෙක, අපට සුලබ්ධයෙකැ’යි.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
5. එක (සමන්) මලක් පුදා අත්බැව් දහසක් දෙව්ලොව ද මිනිස්ලොව ද සැරිසරා ශේෂකුශලයෙන් කෙලෙස්පිරිනිවනින් පිරිනිවීයෙමි.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
6. මොනොවට වැඩුණු නිල්වන් වූ ඇසතු රුක්මුල හුන් මම සිහිඇතිව එක මැ බුද්ධගත (බුද්ධානුස්මෘති) සංඥාව ලැබීමි.
7. ඒ කපින් දැන් තිස්වැනි කල්පය වෙයි, (මේ අතරැ) දුගතිය නොදනිමි, ඒ බුද්ධගත සංඥාවාසනායෙන් ත්‍රිවිද්‍යා පසක් කරනලදහු යි.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
8. අග්‍රපුද්ගල වූ (සත්නට) අනුකම්පා කරන තෘෂ්ණාව සමුච්ඡේද කළ බුද්ධමුනිහු පෙරබත්හි පිඬුසිඟා කොසොල්පුරයට පිවිසිසේක.
9. පුරුෂයක්හුගේ අතෙහි නොයෙක් මලින් සරසනලද මල්කඩෙක් විය. හේ භික්‍ෂුසඞ්ඝයා විසින් පෙරටුකරනලද සම්බුදුන් දිටි.
10. හටුවූ හේ සිත පහදවා දෙවිමිනිසුන් විසින් පුදනලද, මහමඟින් වඩනා සම්බුදුන් කරා එළැඹියේ යැ.
11. හේ සුවඳැති පැහැපත්වූ ඒ මනරම් මල්කඩ පහන්වූයේ සියතින් සම්බුදුන්ට පිදී.
12. ඉක්බිති බුදුරදුන්ගේ ගිනිසිළුපැහැ ඇති තොල්සඟල අතුරින් වූ මුවින් දහස්රස් ඇති විදුලියක් සෙයින් ප්‍රභාව නික්මිණි.
13. ඒ ප්‍රභාව ආදිත්‍යබන්‍ධුහුගේ ශීර්‍ෂය පැදකුණු කොට තුන්වරක් පරිවර්තිත වැ මුදුන සමීපයෙහි අතුරුදහන් වී.
14. ලොමුදහන අද්භූත වූ මේ ආශ්චර්‍ය්‍යය දැක අනඳතෙරණුවෝ සිවුර එකස් කොට (වැඳ) තෙල සැලකළෝ :
15. මහාමුනි වූ තථාගතයන් වහන්ස, සිනා පහළකිරීමට කාරණ කවරැ, වදාළ මැනැවැ, දහම්එලි වන්නේ යැ, මුනීන්‍ද්‍රයන් වහන්ස අපගේ සැක දුරුකළ මැනැවි.
16. ආකංඛා පටිබද්ධ හෙයින් සියලු ධර්‍මවිෂයෙහි හැම කල්හි යම් කෙනකුන්ගේ ඥානය පවතී ද, ඒ බුදුහු සැකයෙන් උපන් විමති ඇති අනඳ තෙරණුවනට තෙල වදාළසේක :
17. ආනන්‍දය, යම් ඒ පුරුෂයෙක් මා කෙරෙහි සිත පැහැදවී ද, හේ සුවාසූ කපක් දුගතියට නොයන්නේ යැ.
18. දෙව්ලොවැ දිව්‍යසම්පත්තීන් අග්‍ර වූ දිව්‍යරාජ්‍යය කොට මිනිස්ලොවැ සියලු රටෙහි මනුජේන්‍ද්‍ර වූ රජ වන්නේ යැ.
19. හේ චරිමජාතියෙහි පැවිදිවැ ධර්‍මස්වභාව (සිවුසස් දහම්) පසක් කොට නැසූ රාග ඇති වටංසක නම් පසේබුදු වන්නේ යැ.
20. තථාගත සම්බුද්ධයන් කෙරෙහි හෝ යළි ඒ තථාගතයන්ගේ ශ්‍රාවකයකු කෙරෙහි හෝ සිත පහන් කල්හි අල්ප වූ දක්‍ෂිණාවක් නම් නැති.
21. මෙසේ බුදුවරයෝ අචින්ත්‍යයහ, බුද්ධධර්‍මයෝ අචින්ත්‍යයහ, අචින්ත්‍ය වූ බුද්ධාදීන් කෙරෙහි පහන් වූවනට අචින්ත්‍ය වූ විපාක වේ.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
“මහණෙනි, මම මෙ ලොවැ පහන්සිත් ඇති ඇතැම් පුඟුලකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දැනගනිමි : (මේ පුද්ගල යම් පරිදි ඉරියවු පවත්වා ද, යම් පිළිවෙතකට පිළිපන්නේ ද, යම් මඟකට පිවිසියේ ද) මේ පුද්ගල මෙ සමයෙහි කලුරිය කරන්නේ නම්, (හිසින් හෝ කරින්) ගෙනඑනලද්දක් යම්සේ බහාතැබුයේ ද එපරිදි ස්වර්‍ගයෙහි උපදනේ යැ. ඊට හේතු කවරෙ යැ : මහණෙනි, ඔහුගේ සිත ප්‍රසන්න හෙයිනි. චිත්ත ප්‍රසාදහේතුයෙන් වැලිත් මෙසේ මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ යැ” යි. බුදුහු තෙල කරුණ වදාළසේක, එහි ලා තෙල (ගාථා) කියනු ලැබේ :
22. මෙලොවැ ඇතැම් පුද්ගලයකු පහන්සිත් ඇතියහු දැන බුදුහු භික්‍ෂූන් හමුයෙහි තෙල කරුණ ප්‍රකාශ කළසේක :
23-24. මේ පුද්ගල මෙසමයෙහි කලුරිය කරන්නේ නම්, (පිළිසඳ විසින්) සුගතියට පැමිණෙන්නේ යැ, ඔහුගේ සිත ප්‍රසාදිත හෙයිනි. එසේ මැය, චිත්තප්‍රසාදහේතුයෙන් සත්ත්‍වයෝ සුගතියට යෙති, ගෙනඑනලද්දක් යම්සේ බහාතබා ද එපරිදි මැ එබඳු වූ ඒ සප්‍රාඥ පුද්ගල කය බිඳීමෙන් ස්වර්‍ගයට පැමිණේ.
භාග්‍යවතුන් විසින් මේ අර්‍ත්‍ථය ද වදාරනලදැ’ යි මා විසින් අසනලද යයි.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
25. එම්බා ස්ත්‍රිය, තෝ රන්සෙවෙණි ඇති නැවට නැඟී සිටිව, පොකුණට බස්නාව, අතින් පියුම් නෙළනාව.
26. තීගේ කවර පිනෙකින් එබඳු පැහැසටහන ද අනුභාව (තේජස) ද තීගේ බැබැළිම ද වේ නම් සිතින් කැමැතිවනලද යම් කිසි භෝගයෝ වෙත් නම් ඔහුදු උපදිත් දැ? යි අප විසින් පුළුවුස්නා ලද දෙව්දූනි, කියව, මේ කිනම් කර්‍මයෙක විපාකයෙක් දැ යි,
27. දෙවිරජහු විසින් පුළුවුස්නාලද තුටුසිත් ඇති ඒ දෙව්දූ පැන පුළුවුස්නාලදු වැ සක්දෙවිඳුට මෙසේ පැවැසූ යයි මාවිසින් අසනලදී.
28. අදන්මඟට පිළිපන් මම යශස්වී වූ කසුප්බුදුන්ගේ මනරම් දාගබ දැක එහි සිත පැහැදවීමි.
29. පහන්වූ මම සියතින් නෙළුම්මල් පිදීමි, එ මැ කර්‍මයාගේ මේ ඵලවිපාක යි. කළ පින් ඇත්තාහු මෙබඳු සම්පත් ලබත්.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
දානකථා, සීලකථා, සග්ගකථා, පුඤ්ඤකථා, පුඤ්ඤවිපාකකථා වෙති.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
30. දශබලධර වූ බුදුවරයන් උදෙසා (සිරුරුදා පිහිටුවා) කළ මැටිමුවා ස්තූපයන්හිදු පවා සත්කාර කොට මනුෂ්‍යයෝ දෙව්ලොවැ සතුටු වෙත්.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
31. දිව්‍යපුත්‍රයකුගේ ශරීරයට බඳු වර්‍ණඇත්තීය ශෝභායෙන් යුත් සටහන් ඇත්තීය දියෙන් පස් තෙමා කසුප්බුදුන්ගේ සෑය වඩන්නේ යැ.
32. ශෝභන ගාත්‍ර ඇත්තිය ප්‍රසන්න වූ මේ දිව්‍යමනුෂ්‍යයෝ යම් ස්තූපයෙක්හි සත්කාර කරන්නාහු ජරාමරණයෙන් මිදෙත් ද, මහර්ෂි වූ දශබලධර්‍මධාරී වූ සුගතයන් වහන්සේගේ මේ ඒ ස්තූපය යි.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
33. මම මහර්ෂීන්ගේ යම් සෑයකට උපුල්මල් සතරක් ද මල්දමක් ද නඟා පිදීම් ද, මා විසින් කළ ඒ කුශලය ඒකාන්තයෙන් උදාර විය.
34. එතැන් සිට දැන් තිස්කපෙකි, ශාස්තෲන් වහන්සේගේ ධාතුචෛත්‍යය පුදා දුගතිය නොදනිමි, විනිපාතයට නොගියෙමි.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
35. දෙතිස් මහාපුරුෂලක්‍ෂණ දරන්නාවූ දිනනලද මාරසංග්‍රාම ඇති ලෝකනාථයන් වහන්සේගේ ස්තූපය පුදා මම ආයුෂ්කල්ප සියදහසක් සතුටු වූයෙමි.
36. මා විසින් යම් පිනක් රැස්කරනලද ද, ඒ පිනින් අපායොත්පත්තියට නො පැමිණ දෙවියන් කෙරෙහි සුභගභාවය ලද්මි, (මිනිස්ලොවැ) රාජ්‍යයෝ ද කරවනලද්දාහ.
37. අදාන්තයන් දමනය කරන බුදුරදුන්ගේ ශාසනයෙහි යම් නුවණැසක් තබනලද ද, එසේමැ සිත පිහිටුවනලද ද ඒ හේතුයෙන් මා විසින් සියලු සම්පත් ලබනලද, සමුච්ඡේද කළ තෘෂ්ණාලතා ඇතියෙම් කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත් ඇති විමි.
මේ වාසනාභාගිය සූත්‍ර යැ.
38. කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත්ඇති චේතෝඛීල රහිත හෙයින් අඛිල වූ අනාස්‍රව වූ කෙලෙස් රණ නැතියෙන් අරණවිහාරී වූ නොඇලුණු සිත්ඇති පසේබුදුන් කෙරෙහි බොඩහමු නැළියක බත් පමණ වූ මැ දක්‍ෂිණාව දිනිමි.
39. ඒ පසේබුදුන් කෙරෙහි උත්තමධර්‍මය ඇතැයි හැදහිමි, උන්වහන්සේ අවබෝධකළ ඒ ධර්‍මයෙහි ද සිත පිහිටුවීමි, මෙබඳු විහරණ ඇත්තවුන් සමග මාගේ සංගමය වේවයි ද කිසිදු භවයෙක්හි නහමක් අපේක්‍ෂා ඇති වෙම්ව’ යි ද සිත පිහිටුවිමි.
40. එ මැ කර්‍මයාගේ විපාකයෙන් මම (දහසක් අවුරුද්දට) දීර්‍ඝායු ඇති විශේෂ ස්වභාව ඇති ලද සම්පත් නොපිරිහෙන පියවි ඇති (මාගේ යැ යන) පරිග්‍රහ රහිත වූ සත්ත්‍වයන් ඇති උත්තරකුරුයෙහි දහසක්වර උපන්මි.
41. එ මැ කර්‍මයාගේ විපාකයෙන් මම විශිෂ්ට වූ දිව්‍යශරීරයට පැමිණියෙම් විචිත්‍ර වූ මාලාභරණ ගන්‍ධාලේප ඇති පරිවාර - කීර්තියශස් ඇති ත්‍රිදශ (තව්තිසා) යෙහි දහසක්වර උපන්මි.
42. එ මැ කර්‍මයාගේ විපාකයෙන් මම විමුක්ත වූ සිත් ඇති චේතෝඛීල රහිත වූ ක්‍ෂීණාස්‍රව වූයෙමි. මේ අන්තිමදේහධාරී වූ කුශලාකුශලයන් ඉක්මවාලූ රහතුන් සමග මාගේ සංගමය වී.
43. ජිතපඤ්චමාර වූ තථාගතයෝ (සිල්වත්) යමක් පතා නම් සිල්වත්හුගේ ප්‍රණිධිය සමෘද්ධ වේ යයි යමක් වදාළාහු ද, මේ වචනය ප්‍රත්‍යක්‍ෂ මැ යි, මා විසින් යම් යම් පරිදි සිතින් සිතනලද ද එය එසෙයින් සමෘද්ධ විය. මේ මාගේ අන්තිම භවය යි.