ලක්ඛණහාරවිභඞ්ගය
එහි ලක්‍ෂණහාරය කවරෙ යත්: “වුත්තම්හි ඒකධම්මෙ” යී නිර්දිෂ්ට වු මෙය ලක්‍ෂණහාරයැ. කිනම් ධර්‍මයක් ලකුණු කෙරෙයි යත්: ස්කන්‍ධාදි යම් ධර්‍ම කෙනෙක් සමාන ලක්‍ෂණ වූවාහු ද, ඒ ධර්‍මයන් අතුරෙන් එක් ධර්‍මයක් කී කල්හි අවශිෂ්ට ධර්‍මයෝ කියන ලද්දාහු වෙත්. ඒ කිසෙයින් වන්නේ යැ යත්: මෙසෙයින් වදාළහ, බුදුහු - “මහණෙනි, චක්ඛායතන එක් අරමුණෙක නො පවත්නා හෙයින් අනවස්ථිත යැ වහා නැසෙන හෙයින් ඉත්‍වර යැ කල් නො පවත්නා හෙයින් පරිත්ත යැ වහා බිඳෙන සුලු යැ ස්වවශයෙහි නොපවත්නේ යැ දුකට හේතු යැ ව්‍යසනහේතු යැ සැලෙන පියවි ඇත්තේ යැ උෂ්ණ හස්මයක් බඳු යැ ප්‍රත්‍යයෝත්පන්න යැ අමිත්‍රයන් මැද පවත්නේ යැ” යී. මේ චක්‍ෂුරායතනය වදාළ කල්හි සෙසු ආධ්‍යාත්මික ආයතනයෝ කියන ලද්දාහු වෙති. කවර හෙයින යත්: යම් හෙයකින් සියලු ආධ්‍යාත්මික ෂඩායතනයෝ වධකාර්‍ත්‍ථයෙන් සමාන ලක්‍ෂණ වෙත් ද එහෙයිනි.
මෙසේත් වදාළහ, බුදුහු: “රාධය, අතීත රූපයෙහි අපේක්‍ෂා රහිත වෙව, අනාගත රූපය නහමක් අභිනන්‍දනා කර, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ත්‍යාගය පිණිස දුරලීම පිණිස පිළිපදුව” යි. මේ රූපස්කන්‍ධය වදාළ කල්හි ඉතිරිවැ සිටි ස්කන්‍ධයෝ කියන ලද්දාහු වෙති. කවර කරුණින යත්: සියලු මැ පඤ්චස්කන්‍ධයෝ යමකොවාද සූත්‍රයෙහි වධකාර්‍ත්‍ථයෙන් සමාන ලක්‍ෂණ ඇත්තාහු වදාරන ලදහ. මෙසේත් වදාළහ, බුදුහු:
1. යම් කෙනකුන් විසින් නිරතුරු කාගියා සී මොනොවට ආරබ්ධ වී ද, ඔහු කෘත්‍යයෙහි සතතභාවයෙන් කරනසුලු වූවාහු නො කටයුතු නො සෙවුනාහු වෙත්.
මෙසේ කායගතාසතිය වදාළ කල්හි වේදනාගතාසති චිත්තගතාසති ධම්සගතාසති ද වදාරන ලද්දාහු වෙත්. එසෙයින් “යං කිඤ්චි දිට්ඨං වා සුතං වා මුතං වා” යී වදාළ කල්හි ‘විඤ්ඥාත’ ය වදාරන ලද වේ.
මෙසේත් වදාළහ, බුදුහු: “එහෙයින් මහණ, මෙහි ලා තෙපි … කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව ස්මෘතිමත්‍ව කායලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට රූපකයෙහි (කේසලෝමාදි) කය අනිත්‍යාදි විසින් පුනපුනා බලමින් වාස කරව”
(මෙහි) “ආතාපී” යනු වීර්ය්‍යේන්‍ද්‍රියයි. “සම්පජානෝ” යනු ප්‍රඥේන්‍ද්‍රිය යි, “සතිමා” යනු ස්මෘතීන්‍ද්‍රිය යි, “විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දොමනස්සං” යනු සමාධීන්‍ද්‍රිය යි. මෙසේ කයෙහි කායානුදර්ශීව වාස කරනුවහුට සතර සීවටන්හු භාවනායෙන් පිරීමට යෙති. කවර කරුණින යත්: සතර ඉනිද්‍රියයන්ගේ සමානලක්‍ෂණත්‍වය හෙයිනි. සතර සීවටන් වැඩෙන කල්හි සතර සම්‍යක්ප්‍රධානයෝ භාවනායෙන් පිරීමට යෙති. සතර සම්‍යක්ප්‍රධානයන් වැඩෙත්ම සතරඍද්ධිපාදයෝ භාවනායෙන් පිරීමට යෙත්. සතර ඍද්ධිපාදයන් වැඩෙත් ම පඤ්චේන්‍ද්‍රියයෝ භාවනායෙන් වැඩීමට යෙති. පඤ්චේන්‍ද්‍රියයන් වැඩෙත් ම පඤ්ච බලයෝ භාවනායෙන් පිරීමට යෙති. පඤ්චබලයන් වැඩෙත්ම සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවනායෙන් පිරීමට යෙති. සප්ත බෝධ්‍යඞ්ගයන් වැඩෙත් ම ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙයි, ආර්‍ය්‍යයමාර්‍ගඥානබෝධයට යන බෝධිපාක්‍ෂික වු හැම ධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙත්. කවර කරුණින යත්: බෝධඞ්ගම වූ බෝධිපාක්‍ෂික වු හැම ධර්‍මයෝ නෛර්‍ය්‍යාණික ස්වභාවයෙන් සමානලක්‍ෂණ වූවාහු ද එහෙයිනි. ඒ දහම්හු සමානලක්‍ෂණ හෙයින් භාවනායෙන් වැඩීමට යෙත්.
මෙසේ අකුශලධර්‍මයෝ ද (පහානෙකට්ඨතා විසින්) සමාන ලක්‍ෂණ ඇති බැවින් ප්‍රහාණයට නැසීමට යෙති: සතර සීවටන් වඩනු ලබත් මැ (අශුභයෙහි ශුභ යැ යනාදි) සතර විපල්ලාසයෝ ප්‍රහීණ වෙති. ඔහුට සතර ආහාරයෝ ද පරිඥානයට යෙති. කාමාදි සතර උපාදානයෙන් උපාදාන රහිත වූයේ වෙයි, සතර යෝගයන්ගෙනුදු විසංයුක්ත වෙයි, සතර ග්‍රන්‍ථයන්ගෙනුදු විප්‍රයුක්ත වෙයි, කාමාදි ආස්‍රවයන්ගෙනුදු අනාස්‍රව වෙයි. සතර ඕඝයන්ගෙනුදු උත්තීර්‍ණ වූයේ වෙයි, ශල්‍යයන්ගෙනුදු විගතශල්‍ය වෙයි, ඔහුට සතර විඥානස්ථිතිහු ද පරිඥානයට යෙති, ඡන්‍දාදි අගතිගමනයෙනුදු අගතියට නොයෙයි. මෙසේ අකුශලධර්‍මයෝ ද සමාන ලක්‍ෂණ බැවින් ප්‍රහාණයට අභ්‍යස්තයට යෙත්.
තවද යම් දේශනායෙක්හි (රූප්පන ලක්‍ෂණ වූ අෂ්ටවිධ) රූපෙන්‍ද්‍රියය වදාරන ලද ද එහි මැ රූපධාතු රූපස්කන්‍ධ රූපායතනය ද දෙසන ලද්දාහු වෙත්. තවද යම් තැනක සුඛවේදනාව දෙසන ලදුද, එහි සුඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය දුක්ඛසමුදය ආර්‍ය්‍යයසත්‍ය ද දේසිත යැ, තවද යම් දේශනායෙක දුක්ඛවේදනාව දෙසන ලදු ද, එහි දුක්ඛින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය දුක්ඛආර්‍ය්‍යයසත්‍ය ද දේසිත යැ. තවද යම් තැනෙක අදුක්ඛමසුඛවේදනාව දෙසන ලදු ද, එහි උපෙක්ඛින්‍ද්‍රියය ද සියලු පටිච්චසමුප්පාදය ද දේසිත යි. කවර කරුණින යත්: අදුක්ඛමසුඛ වේදනායෙහි අවිද්‍යාව අනුශය කෙරෙයි, එහෙයිනි. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාවප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාවප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය වෙයි, ශෝක යැ පරිදේව යැ දුඃඛ යැ දෞර්‍මනස්‍ය යැ උපායාස යැ යන මොහු වෙත්. ඒ අනුලෝමදේශිත ප්‍රතීත්‍යසමුත්පාදය සරාග - සදෝස - සමෝහ වු සංක්ලේශපක්‍ෂය හා පැමිණවියැත්තේ යැ, (ප්‍රතිලෝමදේශිත ප්‍රතීත්‍යසමුත්පාදය) වීතරාග - වීතදෝස - වීතමෝහ වූ ආර්‍ය්‍යධර්‍මයන් හා පැමිණවියැයුත්තේ යි.
මෙපරිද්දෙන් යම් ධර්‍ම කෙනෙක් (පඨවි ආදි වූ ද ඵස්සාදි වූ ද රූපාරූපධර්‍මයන්ගේ සංධාරණ සංඝට්ටනාදි) කෘත්‍ය හෙයින් ද, (කක්ඛළ ඵූසනාදි) ස්වභාවලක්‍ෂණ හෙයින් ද, (රුප්පන නමනාදි) සාමාන්‍යලක්‍ෂණ හෙයින් ද, (සඞ්ඛතධර්‍මයන්ගේ) භඞ්ග - උත්පාද හෙයින් ද, සමාන ලක්‍ෂණ වූවාහු නම්, ඒ ධර්‍මයන් අතුරෙන් එක් ධර්‍මයක් වදාළ කල්හි අවශිෂ්ට ධර්‍මයෝ කියනලද්දාහු වෙත්. එයින් වදාළහ: ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ - “වුත්තම්හි එකධම්මෙ” යී.
ලක්ඛණහාරය යොදනලද්දේ යි.
3. 1. 6.
චතුබ්‍යුහහාරවිභඞ්ගය
එහි චතුබ්‍යුහහාරය කවරෙ යත්: “නෙරුත්තමධිප්පායො” යන නිර්දේශ යැ, මේ චතුබ්‍යුහහාරයි. බ්‍යඤ්ජනද්වාරයෙන් සූත්‍රයාගේ නිර්වචනය ද, (දේශකයාණන්ගේ) අදහස ද, දේශනානිදානය (කාරණය) ද, පූර්‍වාපරානුසන්‍ධිය ද, සෙවියයුත්තාහ.
(1) එහි නෙරුත්තය කවරෙ යත්: පදයන්හි සංහිත වූ - යෙදුණාවු යම් නිරුත්තියක් ඇද්ද එයයි. යම් හෙයෙකින් ඥේයධර්‍මයන්ගේ (ඵස්ස - වේදනා - බන්‍ධ - ධාතු - තිස්ස - ඵූස්සාදි) නාමවශයෙන් දැනීම වේ ද එහෙයිනි. ඒ එසේ මැය: යම් කලෙක මහණ ශබ්දාභිධෙය වූ අර්‍ත්‍ථයාගේ (නාමප්‍රඥප්ති විසින් මෙනම් ඇතැ’යි) නාමය දනී ද ස්වභාවධර්‍මයාගේත් නාමය දනීද, (එකල්හි) ඒ ඒ අර්‍ත්‍ථ - ධර්‍මය ඒ ඒ පරිදි ව්‍යවහාරයට නඟයි - දෙසයි. මේ මහණ පෙළඅරුත්හි නිපුණ යැ, පෙළදහම්හි නිපුණ යැ, (අක්‍ෂර වාක්‍යසංඛ්‍යාත) ව්‍යඤ්ජනයෙහි නිපුණ යැ, නිර්වචනයෙහි කුශල යැ, (දේශනාව පිළිබඳ) පූර්‍වාපරයෙහි නිපුණ යැ, ධර්‍මදේශනායෙහි නිපුණ යැ, අතීතප්‍රඥප්තියෙහි නිපුණ යැ, අනාගතප්‍රඥප්තියෙහි නිපුණ යැ, වර්‍තමානප්‍රඥප්තියෙහි නිපුණ යැ, ස්ත්‍රීප්‍රඥප්තියෙහි නිපුණ යැ, පුරුෂප්‍රඥප්තියෙහි නිපුණ යැ, නපුංසකප්‍රඥප්තියෙහි නිපුණ යැ, එකවචනයෙහි නිපුණ යැ, අනේකවචනයෙහි නිපුණ යැයි කියනු ලැබේ. මෙපරිද්දෙන් සියලු මැ ජනපදනිරුත්ති සංඛ්‍යාත සත්‍වව්‍යවහාරපදයෝ (සූත්‍රයෙහි නිර්වචන වශයෙන්) කියැ යුත්තාහු ය, සියලු ලෝකසංඥාවෝ ද කියැයුත්තාහුය. මේ ‘නිරුත්ති පදසංහිතා’ යි.
(2) එහි අධිප්පාය කවරෙ යත්:
1. දානාදි කුශලධර්‍ම තෙමේ ඒකාන්තයෙන් ඒ ධර්‍මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සම්පරායික අනර්‍ත්‍ථයෙන්) රක්නේය, වැසිකලැ මහත් වූ ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකීද එමෙනි, ධර්‍මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසස වෙයි. ධර්‍මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.
මේ දේශනායෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරේ යැ: අපායෙන් මිදෙනු කැමැති යම් කෙනෙක් වෙත් ද, ඔහු ධර්‍මචාරී වන්නාහ’ යි, මේ තෙල දේශනායෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.
2. ගෘහසන්‍ධිමූඛයෙහි (හිමියන් හෝ රාජපුරුෂයන් විසින්) ගන්නාලද සොරෙක් සිය සොරකම් හේතුයෙන් යම් පරිදි කම්කටොලින් පෙළනුලැබේ ද (සිරබැඳුම් ආදියෙන්) බඳනාත් ලැබේ ද එසෙයින් මේ සත්ත්‍වප්‍රජාව මියැ පරලොව දී සිය පව්කැමින් පෙළනු ලැබේ යයි.
මෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: සිතා කරනලද රැස්කරනලද දුක් වේදනා උපදවන කර්‍මයන්ගේ අනිෂ්ට වූ අමධුර වූ විපාකය විඳින්නේය’ යි මේ තෙල දේශනායෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.
3. යමෙක් සුව කැමැති වු සත්ත්‍වයන් දඬින් වෙහෙසා ද, තමහට සුව රිසියෙන ඒ හිංසක පුද්ගල පරලොව ගොස් සුව නොලබා යයි.
මෙහිලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් සූඛාර්ත්‍ථීහු වන්නාහු ද ඔහු පව්කම් නො කරන්නාහයි මේ තෙල දේශනායෙහි භාග්‍යයතුන් වහන්සේගේ අදහස යි.
4. යම් කලෙක පුරුෂ ථිනමිද්ධයෙන් මඩනාලදුයේ බොහෝ කොට අනුභව කරන්නේත් වේද, හුන් සිටි තැන නිදනසුලු වූයේ පෙරැළි පෙරැළි හෝනේ වේ ද, දමු කුඩු ඈ ශුකරනිවාපයෙන් පුස්නාලද මහත් ගම්හූරකු මෙන් වූ ‘දුෂ්ප්‍රාඥ’ පුද්ගල පුනපුනා (පිළිසඳ විසින්) මවුකුසයට පැමිණේ යයි.
මේ දේශනායෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරේ යැ: යම් කෙනෙක් ජරාමරණහේතුයෙන් දුක්වන්නාහු ද, ඔහු භෝජනයෙහි මාත්‍රඥ වූවාහු ඉන්‍ද්‍රියයන්හි පියු දොර ඇත්තාහු පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි නිදි වැරීමෙහි යෙදුණාහු කුශලධර්‍මයන්හි විදර්‍ශක වූවාහු ස්ථවිර නවක මධ්‍යම වු සබ්‍රම්සරුන් කෙරෙහි සගෞරව වූවාහු ද වන්නාහ’ යි, මේ තෙල දේශනායෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහසයි.
5. කුශලධර්‍මයෙහි ස්මෘති අවිප්‍රවාස සඞ්ඛ්‍යාත අප්‍රමාදය නිර්‍වාණාමෘතයාගේ අධිගමයට කාරණා වෙයි, ස්මෘතිවිප්‍රවාස සඞ්ඛ්‍යාත ප්‍රමාදය (ප්‍රමත්තයා ජාතිය නොඉක්මවූ හෙයින්) මරණයට කාරණ යැ, අප්‍රමත්ත වූවාහු (වහා මාර්‍ගඵලාධිගම කරන හෙයින්) නොමියන්නාහ, ප්‍රමත්ත වූ යම් කෙනෙක් වෙත් ද ඔහු (ප්‍රමාදමරණයෙන් මළහෙයින්) මළවුන් වැන්නාහ’ යි.
මෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් නිවන සොයනු කැමැති වෙත්ද, ඔහු අප්‍රමත්ත ව වාසය කරන්නාහ’ යි. මේ තෙල දේශනායෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි. මේ අධිප්පාය යි.
(3) එහි නිදාන කවරෙ යත්: ඒ මෙසේ යැ. ඒ ධනිය ගොපලු භාග්‍යවතුන් වහන්සේට මේ කීයැ:
6. පුතුන් ඇතියේ පුතුන් සමග හෝ පුතුන් කරණකොට සතුටු වෙයි, එසෙයින් ම ගවයන් ඇතියේ ගවයන් කරණකොට සතුටු වෙයි, කාමගුණුපධීන් කරණකොට මිනිසාට සතුට වෙයි, යමෙක් උපධි රහිත වේද හේ නො මැ සතුටු වේ යයි.
බුදුහු මේ වදාළහ:
7. පුතුන් ඇතියේ පුතුන් කරණකොට ශෝක කෙරෙයි, ගවයන් ඇතියේ ගවයන් කරණකොට එසෙයින්ම මැ ශෝක කෙරෙයි, උපධීන් කරණකොට මිනිසාට ශෝකය වෙයි, යමෙක් කාමගුණූපධී රහිත වේද, හේ නො මැ ශෝක කෙරේ යයි.
මේ පුත්ත ගවාදි කීර්‍තන සංඛ්‍යාත කාරණයෙන් මේ නිදානයෙන් මෙසේ මේ දේශනායෙහි බුදුහු බාහිර වස්තුව ‘උපධි’ යයි කොට වදාළහ’ යි හැගෙයි.
මෙසේත් නිදසුන් වෙයි: පවිටු මාර ගිජුකුළු පවුයෙන් මහත්වු සෙලක් පෙරැළි යැ. බුදුහු මේ වදාළහ:
8. ඉදින් සියලු මැ ගිජුකුළු පව්ව සලන්නෙහි නමුදු උපධීන් කෙරෙන් මොනොවට මිදුණු බුදුවරයන්ගේ කම්පායෙක් නැත්මැයි.
9. අහස පැලේ නමුදු පොළොව සැලේ නමුදු නොහොත් සියලු මැ ප්‍රාණීහු තැති ගන්නාහු නමුදු ඉදින් ශල්‍යයකුදු ළෙහි ගසන්නාහු නමුදු බුදුවරයෝ උපධීන් කෙරෙහි ත්‍රාණ (රැකීමක්) නො කෙරෙත්’ යී.
මේ වස්තු (කාරණ)යෙන් මේ නිදානයෙන් මෙසේ හැගෙයි: මේ දේශනායෙහි ලා බුදුහු කය උපධි කොට වදාළසේක’ යි.
මෙසේත් වදාළහ!
10. අයෝමය වූ ද දැවමුවා ද බබුස්තණමුවා වූ ද යම් බන්‍ධනයෙක් ඇද්ද ධීරයෝ එය දැඩි බැඳුමෙකැයි නො කියති, මිණිකොඩොල්හිදු අඹුදරුවන් කෙරෙහිදු අධික රාගයෙන් ඇලුණු යම් අපේක්‍ෂාවක් ඇද්ද -
මේ වස්තුයෙන් මේ නිදානයෙන් මෙසේ මේ දේශනායෙහි බුදුහු බාහිර වස්තුවිෂයෙහි තෘෂ්ණාව වදාළසේකැ’ යි හැගෙයි.
මෙසේත් වදාළහ:
11. පහත (සිවු අපාය)ට ඇදලන ලිහිල් වු මිදීමට දුෂ්කර වූ තෙල කාමාපේක්‍ෂාව දැඩිවු බන්‍ධනයෙකැ’ යි (බුද්ධාදි) ප්‍රාඥයෝ කියති, කාමාපේක්‍ෂා නැත්තාහු තෙල බන්‍ධනය ද සිඳ කම්සුව හැරපියා ගිහිගෙන් නික්මයෙත්, යයි.
මේ වස්තුයෙන් මේ නිදානයෙන් බුදුහු බාහිර වස්තුගත තෘෂ්ණාවගේ ප්‍රහාණය වදාළහ’ යි හැගේ.
මෙසේත් වදාළහ:
12. උපද්‍රවයෙන් ආතුර වු අපවිත්‍ර වූ කුණු වූ දුගඳ ඇති සිරුර ඇසිරිකළ මලය දවරැයෙහි වැගිරෙන (මේ කය) බාලයන් විසින් (තෘෂ්ණා මාන දෘෂ්ටීන්) අභිනන්‍දිත වේ යයි.
මේ වස්තුයෙන් මේ නිදානයෙන්බුදුහු මේ දේශනායෙහි ලා අධ්‍යාත්මවස්තුගත තෘෂ්ණාවගේ ප්‍රහාණය වදාළසේකැ’ යි හැගේ.
මෙසේත් වදාළහ:
13. සරාකලැ හටගත් කුමුදුමලක් අතින් (සිඳින්නාක්) මෙන් තමාගේ තෘෂ්ණා සංඛ්‍යාත ස්නේහය (රහත්මගින්) සිඳලව (අෂ්ටාඞ්ගික) ශාන්තිමාර්‍ගය මැ වඩව, සුගතයන් විසින් නිවන (ශාන්ත යයි) දේශිත හෙයිනි.
මේ වස්තුයෙන් මේ නිදානයෙන් මෙහි ලා බුදුහු අධ්‍යාත්මවස්තුගත වූ තෘෂ්ණාවගේ ප්‍රහාණ වදාළසේක’ යි හැගේ. මේ “නිදාන” යි.
(4) ඒ චතුබ්‍යුහයෙහි පුබ්බාපරසන්‍ධි කවරෙ යත්:
මේ වදාළහ:
14. ක්ලේශකාමයෙන් අන්‍ධ වූ තෘෂ්ණාජාලයෙන් වෙළුණු තෘෂ්ණා සංඛ්‍යාත අන්‍ධකාරයෙන් වැසුණු කෙමිනමුවෙහි (බැඳුණු) මසුන් මෙන් ප්‍රමාද නැමැති බන්‍ධනයෙන් බැඳුණු සත්ත්‍වයෝ මව්දෙන කරා එන කිරි බොන වස්සකු මෙන් ජරාවට හා මරණයට පුනපුනා පැමිණෙත් යයි.
මේ කාමතෘෂ්ණාව වදාරනලදු. ඒ කාමතෘෂ්ණාව පූර්‍ව වූ හෝ අපර වූ හෝ කවර දේශනාන්තරයක් සමග යෙදේ ද යත්:
මෙසේත් වදාළහ:
15. රාගයෙන් රක්ත වූයේ (ස්වාර්‍ත්‍ථාදි) අර්‍ත්‍ථය නො දනී, රාගරක්ත වූයේ ධර්‍මය නො දකී, යම් කලෙක රාගය තෙමේ මිනිසා සහන (අභිභවන)ය කෙරේද, එකල්හි බහල වූ අන්‍ධකාරය වේ යයි.
මෙසේ අන්‍ධතායෙන් ද සඤ්ඡන්නතායෙන් ඒ යට ගයෙහි කී තෘෂ්ණාව ම කියන ලද්දීය. “කාමන්‍ධා ජාලසඤ්ඡන්නා තණ්හාඡදනඡාදිතා” යී යම් තෘෂ්ණාවකුත් වදාළසේක් ද, “රත්තෝ අත්‍ථං න ජානාති රත්තෝ අත්‍ථං න පස්සති” යී යම් තෘෂ්ණාවකුත් වදාළසේක් ද, ක්ලේශපරීයුට්ඨානය දක්වන මේ පදයන්ගෙන් ඒ කාම තෘෂ්ණාව මැ වදාරන ලද්දීය. කාම සංඛ්‍යාත යම් අන්‍ධකාරයක් ඇද්ද මේ දුක්ඛසමුදය යි, පුනර්‍භවය ඇතිකරන යම් තෘෂ්ණාවක් ඇද්ද එය යි.
“කාම” යී යමකුත් වදාළසේක් ද, මොහු ක්ලේශකාමයෝ යැ, “ජාලසඤ්ඡන්නා” යී යමකුත් වදාළසේක් ද, ඒ කාමයන්ගේ මැ සමුදාචාරයෙන් පරියුට්ඨානය දක්වනසේක. එහෙයින් ක්ලේශවශයෙන් ද පරියුට්ඨානවශයෙන් ද තෘෂ්ණාව බන්‍ධන යයි වදාරනලදී. යම් කෙනෙක් තෘෂ්ණාබන්‍ධන ඇත්තාහු ද ඔහු ජරාමරණයට පුනපුනා එති. භාග්‍යවතුන් විසින් යථානික්‍ෂිප්ත ගාථාබලයෙන් “ජරාමරණමන්වෙන්ති” යී මේ සංසාර ප්‍රවෘත්ති දක්වන ලද්දීය.
16. යම් ක්‍ෂීණාස්‍රයක්හට (තෘෂ්ණා දෘෂ්ටි මාන) ප්‍රපඤ්චයෝත් (කාමාදි) අනුශය ධර්‍මයෝත් නැද්ද, තණ්හාපරියුට්ඨාන සංඛ්‍යාත සන්‍දානයත් මෝහ සංඛ්‍යාත පළිඝයත් (යමෙක්) ඉක්මැවූයේ ද, තෘෂ්ණා රහිත ව ඉරියව් පවත්වන ඒ ක්‍ෂීණාස්‍රය මුනිහු සදේවක ලෝකයා ද (චරිම නාමරූප නිරෝධයෙන් පසු කොහි උපන්හු දැයි) නො දනී යයී.
‘පපඤ්ච’ නම්: තෘෂ්ණා දෘෂ්ටි මානයෝ ද, ඒ තෘෂ්ණාදීන් විසින් රැස්කරනලද සංස්කාරයෝ ද වෙති. ‘ඨිති’ නම්: අනුශයයෝ යි. ‘සන්‍දාන’ නම්: තෘෂ්ණාවගේ පර්‍ය්‍යුත්‍ථාන යැ, සතිස්වැදැරුම් තෘෂ්ණාජාලිනියගේ යම් විචරිතයෝ වෙත් ද ඔහු යි. ‘පළිඝ’ නම්: මෝහයයි. යම් පපඤ්ච සංස්කාර කෙනෙක් වෙත්ද, අනුශය සංඛ්‍යාත යම් ඨිතියක් වේ ද, සන්‍දාන සංඛ්‍යාත යම් තෘෂ්ණාවිචරිත කෙනෙක් වෙත් ද, මෝහ සංඛ්‍යාත යම් පළිඝයකුත් වේ ද, යමෙක් තෙල සංස්කාරාදි සියල්ල මොනොවට ඉක්මවූයේ ද, මේ ක්‍ෂීණාස්‍රව ‘නිත්තණ්හ’ යයි කියනු ලැබේ.
එහි පරියුට්ඨානසඞ්ඛාරයෝ දෘෂ්ටධර්‍ම (ඉහාත්ම)යෙහි වින්දයුතු විපාක ඇත්තාහු හෝ උපපද්‍ය (අනන්තර) ආත්මභාවයෙහි වින්දයුතු විපාක ඇත්තාහු හෝ අපරාපරිය (අපර අපර) ආත්මභාවයන්හි වින්දයුතු විපාක ඇත්තාහු හෝ වෙති. මෙසේ තෘෂ්ණාව ප්‍රත්‍යක්‍ෂ ආත්මභාවයෙහි හෝ අනන්තර හෝ ආත්මභාවයෙහි හෝ අපරාපරිය ආත්මභාවයෙහි හෝ ත්‍රිවිධ විපාකඵලය දෙයි. බුදුහු මෙසේ වදාළහ: “කයින් වචනයෙන් සිතින් ලෝභ හේතුයෙන් කරනලද යම් කර්‍මයක් ඇද්ද, ඒ කර්‍මයාගේ විපාකය මේ අත්බැව්හි හෝ අනතුරු අත්බැව්හි හෝ අපරආත්මභාවයක හෝ විඳී” යයී. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේගේ පූර්‍වාපරදේශනා හා යෙදෙයි. එහි තණ්හාපරියුට්ඨානය දිට්ඨම්මවේදනීය කර්‍මයක් හෝ උපපජ්ජවෙදනීය කර්‍මයක් හෝ අපරාපරියවේදනීය කර්‍මයක් හෝ වෙයි. මෙසේ කර්‍මය තුන්පරිද්දෙකින් විපාක දෙයි: ඉහාත්මයෙහි හෝ උපපද්‍යආත්මභාවයෙහි හෝ අපරපරියාය ආත්මභාවයෙහි හෝ යි. මෙසේ වදාළහ: “ඉදින් බාල තෙමේ මෙලොවැ ප්‍රාණවධ කරන්නේ වේ ද ... මිසදිටු ඇත්තේ වේ ද, ඒ කර්‍මයාගේ විපාකය ඉහාත්මයෙහි හෝ උපපද්‍යආත්මයෙහි හෝ අපරපරියාය ආත්මයක හෝ විඳී” යයී. භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව පූර්‍වාපරය හා යෙදෙයි. එහි තණ්හාවිචරිතය ප්‍රතිපක්‍ෂභාවනාබලයෙන් ප්‍රහාණ කළයුතු යැ, (දිට්ඨිගත සම්ප්‍රයුක්ත සතර සිත්හි හා වචිකිඡාසම්ප්‍රයුක්ත සිතෙහි ද) සංස්කාරයෝ දර්‍ශන (ප්‍රථම මාර්‍ගඥාන) බලයෙන් ද, (දර්‍ශනප්‍රහීණාවශේෂ) සතිස් තෘෂ්ණාවිචරිතයෝ භාවනා බලයෙන් ද ප්‍රහාණය කළයුත්තාහු යයි මෙසේ තෘෂ්ණාව ද තුන් පරිද්දෙකින් ප්‍රහීණ වෙයි. යම් නිෂ්තෘෂ්ණබවක් වේ ද මේ සඋපාදිසේස නිර්‍වාණධාතු යැ, කරජකය බිඳීමෙන් (යම් නිවනක් ද වේ ද) මේ අනුපාදිසේස නිර්‍වාණධාතු යි.
තෘෂ්ණාදීන්ගේ අනුප්‍රබන්‍ධවශයෙන් පැවැත්ම ‘පපඤ්ච’ නමැයි කියනු ලැබේ. මෙ ද වදාළහ බුදුහු: “අතීතානාගතප්‍රත්‍යුප්පන්න වු චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපය නිසා ප්‍රපඤ්ච (තෘෂ්ණාදීන්ගේ අනුබන්‍ධප්‍රවෘත්තිය) කෙරේ ය” යි. මෙ ද වදාළහ බුදුහු: “රාධය, අතීත රූපයෙහි අපේක්‍ෂා රහිත වෙව, අනාගත රූපාලම්බනය නහමක් අභිනන්‍දනය කර, ප්‍රත්‍යුප්පන්න රූපයාගේ නිර්වේදය පිණිස නො ඇලීම පිණිස නිරුද්ධ කිරීම පිණිස ත්‍යාගය පිණිස දුරැලීම පිණිස පිළිපදි” යී. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේගේ පූර්‍වාපරදේශනාව හා යෙදෙයි.
(මෙහි) යම් ප්‍රපඤ්චයෙකුත් වේ ද, යම් සංස්කාර කෙනෙක් වෙත් ද, යම් අතීතානාගතප්‍රත්‍යුත්පන්න ධර්‍මයාගේ අභිනන්‍දනායෙකුත් වේ ද, මේ දේශනාවචනය සමානාර්‍ත්‍ථ වෙයි. එතෙකුදුත් - අන්‍යෝන්‍ය (වෙන වෙන) පදයෙන් අන්‍යෝන්‍ය අක්‍ෂරයෙන් අන්‍යෝන්‍ය ව්‍යඤ්ජනයෙන් භාග්‍යවතුන් විසින් අපරිමාණ ධර්‍මදේශනාව වදාරනලදි. මෙසේ සූත්‍රයෙන් සූත්‍රය සංසන්‍දනා කොට පූර්‍ව වූ අපර වූ හෝ දේශනාව සමග යොදා සූත්‍රය කරන ලද වේ.
තවද මේ පූර්‍වාපරසන්‍ධිය ‘අත්‍ථසන්‍ධි බ්‍යඤ්ජනසන්‍ධි දේසනාසන්‍ධි නිද්දේස සන්‍ධි” යයි චතුර්විධ වෙයි.
එහි (ක්‍රියාකාරකාදීන්ගේ වශයෙන් අර්‍ත්‍ථයාගේ සම්බන්‍ධය දක්වන) අර්‍ත්‍ථසන්‍ධිය: සඞ්කාසනා (සැකෙවින් ප්‍රකාශ කිරීම) යැ පකාසන (පළමු කොට ප්‍රකාශකිරීම) යැ විවරණ (විස්තර කිරීම) යැ විභජනා (විභාග කිරීම) යැ උත්තානීකම්ම (ප්‍රකට කිරීම) යැ පඤ්ඤත්ති (ප්‍රකාරයෙන් ඥාපන) යැ යන ෂට්පදයෝ යි.
(පදයක්) පදාන්තරය සමග සම්බන්‍ධය දක්වන බ්‍යඤ්ජන සන්‍ධිය: (අපර්‍ය්‍යවසිත පදයෙහි වර්‍ණ සංඛ්‍යාත) අක්ඛර යැ (නාමාඛ්‍යාතාදි) පද යැ (වාක්‍ය සංඛ්‍යාත පදසමුදාය ලක්‍ෂණ) බ්‍යඤ්ජන යැ (වාක්‍යවිභාග ලක්‍ෂණ වූ) ආකාර යැ (නිර්වචන සංඛ්‍යාත) නිරුත්ති යැ (නිර්වචන විස්තාර සංඛ්‍යාත) නිද්දේස යැ යන ෂට්පදයෝ යි.
(දේශනාව දේශනාන්තරයක් සමග සංසන්‍දනය කරන) දේසනාසන්‍ධිය නම්: “ඵලසමාපත්ති ධ්‍යානයෙන් ධ්‍යාන කරනුයේ (විෂය සංඛ්‍යාත) පෘථිවිය නිශ්‍රය කොට නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් හේ (සියලු සංස්කාරයන්ගෙන් නික්මගිය නිවන අරමුණු කොට) ධ්‍යාන කෙරෙයි. ධ්‍යාන කරනුයේ අපාය නිසා නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් නිවන අරමුණු කොට ධ්‍යාන කෙරෙයි. ධ්‍යාන කරනුයේ තේජස නිසා නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් නිවන අරමුණු කොට ධ්‍යාන කෙරෙයි. ධ්‍යාන කරනුයේ වායුව නිසා නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් (නිවන අරමුණු කොට) ධ්‍යාන කෙරෙයි. නො ද ආකාසානඤ්චායතනය නිසා ... නො ද විඤ්ඤාණඤ්චායතනය නිසා ... නො ද ආකිඤ්චඤ්ඤායතනය නිසා ... නො ද නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා ... (දිට්ඨධම්ම වූ සත්ත්‍වසන්තාන සංඛ්‍යාත) මේ ලෝකය නිසා ... ධ්‍යාන කරනුයේ (භවාන්තරසංක්‍ෂේපයට ගිය සත්ත්‍වසන්තාන සංඛ්‍යාත) පරලෝකය නිසා නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් නිවන අරමුණු කොට ධ්‍යාන කෙරෙයි. ඉධලෝක පරලෝක දෙක විනා අනින්‍ද්‍රිය බද්ධ වූ (සොයා හෝ නො සොයා) ප්‍රාප්ත වූ - ලැබුණු (ලද හෝ නො ලද හෝ) පර්‍ය්‍යෙෂණ කළ විතර්‍කණ විචාරණ කළ සිතින් පුනපුනා සිතන ලද යම් රූපායතනයක් ශබ්දායතනයක් ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යායතනයක් ධර්‍මාලම්බන පර්‍ය්‍යාපන්න වූ විඥානයක් ඇද්ද, ධ්‍යාන කරනුයේ එ ද නිශ්‍රය කොට ධ්‍යාන නො කෙරෙයි. එහෙත් නිවන අරමුණු කොට ධ්‍යාන කෙරෙයි. මේ ක්‍ෂීණාස්‍රව තෘෂ්ණා දෘෂ්ටි නිශ්‍රය රහිත වූ සිතින් යුක්තව ධ්‍යාන කරනුයේ දෙවියන් සහිත මරුන් බඹුන් සහිත ලෝකයෙහි මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාව විසින් නො දන්නා ලැබෙයි.
පවිටු මාර ගෝධික කුලපුත්‍රයාගේ (පිරිනිවීමෙන් පසු) විඥානය සොයනුයේ යම් පරිදි නො දනී ද නො දකී ද, යම් හෙයෙකින් ඒ ගෝධික කුලපුත් තෘෂ්ණාප්‍රහාණයෙන් ප්‍රපඤ්චයන් ඉක්මැවූයේ ද, ඔහුට දෘෂ්ටිනිශ්‍රයත් නැද්ද, එහෙයිනි. ගෝධික කුලපුත්‍හුගේ යම්සේ ද වක්කලිතෙරුන්ගේ ද එසේ යි. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව විසින් තෘෂ්ණාදෘෂ්ටි නිශ්‍රය නැතිව ධ්‍යාන කරන්නාහු නො දන්නා ලැබෙත්. මේ ‘දේසනාසන්‍ධි’ යැ.
එහි නිද්දේසසන්‍ධි කවරෙ යැ: තෘෂ්ණාදෘෂ්ටීන් නිශ්‍රිත සිත් ඇත්තාහු අකුශල පක්‍ෂයෙන් (පුග්ගලාධිට්ඨානදේසනායෙහි ලා) දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු කුශල පක්‍ෂයෙන් දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇති පුද්ගලයෝ ක්ලේශයෙන් දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇති පුද්ගලයෝ ව්‍යවදානයෙන් දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ සංසාරප්‍රවෘත්තියෙන් දැක්විය යුත්තාහ, අනිශ්‍රිතචිත්තයෝ සංසාරනිවෘත්තියෙන් දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ තෘෂ්ණායෙන්ද අවිද්‍යායෙන්‍ද දැක්විය යුත්තාහ. අනිශ්‍රිත චිත්තයෝ ශමථයෙන් ද විදර්‍ශනායෙන් ද දැක්විය යුත්තාහ, නිශ්‍රිත සිත් ඇත්තාහු අහිරික අනොත්තප්ප දෙකින් දැක්විය යුත්තාහ. අනිශ්‍රිතචිත්තයෝ හිරි ඔත්තප්ප දෙකින් දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ අසති අසම්පජඤ්ඤ දෙකින් දැක්විය යුත්තාහ, අනිශ්‍රිතචිත්තයෝ සති සම්පජ්ජඤ්ඤ දෙකින් දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ අනුපාය අනුපායමනසිකාර දෙකින් දැක්විය යුත්තාහ, අනිශ්‍රිතචිත්තයෝ උපාය උපායමනසිකාර දෙකින් දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇත්තාහු කුසීදභාවයෙන් ද දුර්වචභාවයෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු වීර්‍ය්‍යාරම්භයෙන් ද සුවවභාවයෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇත්තාහු අශ්‍රද්ධායෙන් ද ප්‍රමාදයෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු ශ්‍රද්ධායෙන් ද අප්‍රමාදයෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ අසද්ධර්‍මශ්‍රවණයෙන් ද අසංවරයෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිතචිත්තයෝ සද්ධර්‍මශ්‍රවණයෙන් ද සංවරයෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ අභිධ්‍යායෙන් ද ව්‍යාපාදයෙන් ද දැක්විය යුත්තාහ. අනිශ්‍රිතචිත්තයෝ අනභිධ්‍යායෙන් ද අව්‍යාපාදයෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇත්තාහු නීවරණයන්ගෙන් ද සංයෝජනයන්ගෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු රාගවිරාග චේතෝවිමුක්තියෙන් ද අවිජ්ජාරාග පඤ්ඤාවිමුක්තියෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇත්තාහු උච්ඡේද දෘෂ්ටියෙන් ද ශාශ්වතදෘෂ්ටියෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු සඋපාදිසේස වූ ද අනුපාදිසේස වූ ද නිර්‍වාණධාතුයෙන් දැක්විය යුත්තාහ. මේ ‘නිද්දේසසන්‍ධි’ යී. එයින් වදාළහ - ආයුෂ්මත් මහාකාත්‍යායන මහතෙරණුවෝ: “නෙරුත්තමධිප්පායො” යී.
චතුබ්‍යුහ හාරය යොදනලදී.
3. 1. 7.
ආවට්ටහාරවිභඞ්ගය
එහි ‘ආවට්ට’ හාරය කවරෙ යත්: “ඒකම්හි පදට්ඨානෙ” යන නිර්දේශ ගාථාව යැ.
1. ආරම්භධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, කෞෂිද්‍යයෙන් නික්මයන නිෂ්ක්‍රමධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, ශමථ විදර්‍ශනා සංඛ්‍යාත බුද්ධශාසනයෙහි යුක්තප්‍රයුක්ත වවු, බලසම්පන්න ඇත්රජෙක් බටදඬින් කළ ගෙයක් ඇසිල්ලෙකින් වනසන්නාක් මෙන් මරහුගේ කාමාදි ක්ලේශසේනාව විද්ධ්වංසන කරව’ යි.
“ආරභථ නික්ඛමථ” යනු: (වීර්‍ය්‍යාරම්භයෙහි යොදවන හෙයින්) වීර්‍ය්‍යයට පදට්ඨාන (ආසන්න කාරණ) යි. “යුඤ්ජථ බුද්ධසාසනෙ” යනු: සමාධියට පදට්ඨාන යි. “ධූනාථ මච්චූනෝ සේනං නළාගාරංව කුඤ්ජරො” යනු: ප්‍රඥාවට පදට්ඨාන යි. “ආරභථ නික්ඛමථ” යනු: වීරියින්‍ද්‍රියට පදට්ඨාන යි. “යුඤ්ජථ බුද්ධසාසනෙ” යනු: සමාධීන්‍ද්‍රියට පදට්ඨාන යි. “ධූනාථ මච්චූනෝ සේනං නළාගාරංව කුඤ්ජරො” යනු: පඤ්ඤින්‍ද්‍රියට පදට්ඨාන යි. මෙ කියනලද වීර්‍ය්‍යාදීන්ගේ පදට්ඨානයෝ “ආරභථ නික්ඛමථ” යනාදි දේශනාව යි. (වීර්‍ය්‍යාරම්භවස්තු ආදීහු නො වෙතී සේ යි.)
(මෙසේ පදට්ඨාන වශයෙන් අර්‍ත්‍ථනිර්‍ධාරණය කොට දැන් එය සභාගවිසභාග වශයෙන් ආවර්‍තන කරන්නට තත් භූමි දක්වති.) භාවනායෝගයෙහි නොයෙදෙන නො මූකළනුවණැති සත්ත්‍වයන්ගේ මතු අවබෝධය පිණිස ද යෝගයෙහි යෙදෙන මූකළනුවණැති සත්ත්‍වයන්ගේ ඉහාත්මයෙහි අවබෝධය පිණිස ද මේ දේශනාරම්භය වේ. එහි යම් කෙනෙක් භාවනායෝගයෙහි නො යෙදෙත් ද, ඔහු ප්‍රමාදමූලක ව නො යෙදෙත්. ඒ ප්‍රමාදය: තණ්හාමූලක යැ අවිජ්ජාමූලක යැයි දෙවැදෑරුම් වෙයි. එහි අවිද්‍යාමූලක ප්‍රමාදය: (පඤ්චස්කන්‍ධයාගේ ස්වලක්‍ෂණ සාමාන්‍යලක්‍ෂණ ප්‍රතිච්ඡාදන කරන) යම් සම්මෝහයකින් වැසුණේ පඤ්චස්කන්‍ධය උදයව්‍යයස්වභාව ඇතැ’ යි (‘ඉතිරූපං’ යනාදීන් පැවති) ඥාන ප්‍රවෘත්තිකාරණය නො දනී ද, මේ අවිජ්ජාමූලක ප්‍රමාද යි. යම් තණ්හාමූලක ප්‍රමාදයෙක් ඇද්ද එය ත්‍රිවිධ යැ: නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස (උපාය) පර්‍ය්‍යෙෂණ කරනුයේ ප්‍රමාදයට පැමිණෙයි. උපන් භෝගයන්ගේ ආරක්‍ෂාව නිමිති කොට ද පරිභෝගය නිමිති කොට ද ප්‍රමාදයට පැමිණෙයි. ලොවැ මේ චතුර්විධ ප්‍රමාදය යි. අවිද්‍යායෙන් ඒකවිධ යැ, තෘෂ්ණායෙන් ත්‍රිවිධ යි. එහි අවිද්‍යාවට නාමකාය පදට්ඨාන (ආසන්නකාරණ) යැ, තෘෂ්ණාවට රූපකාය පදට්ඨාන යි. එ කවර හෙයින යත්: රූපධර්‍මයන් කෙරෙහි (තෘෂ්ණාවශයෙන්) අභිනිවේශය ද, අරූපභවධර්‍මයන් කෙරෙහි (ඵස්සාදීන්ගේ අතිසුඛමස්වභාව හෙයින් ද සන්තති ආදි ඝනවිනිර්භෝගය දුෂ්කර හෙයින් ද) සම්මෝහය ද වෙයි, එහෙයිනි. එහි රූපකාය රූපස්කන්‍ධ යැ නාමකාය සතර අරූපීස්කන්‍ධයෝ යි. මේ පඤ්චස්කන්‍ධයෝ කවර උපාදානයෙකින් සඋපාදන වෙති යත්: තෘෂ්ණායෙන් ද අවිද්‍යායෙන් ද උපාදාන සහිත වෙත්. එහි තෘෂ්ණාව කාමූපාදාන ද සීලබ්බතූපාදාන දැයි උපාදාන දෙකෙකි. අවිද්‍යාව දිට්ඨුපාදානය ද අත්තවාදූපාදානය දැයි උපාදාන දෙකෙකි. මේ සතර උපාදානයෙන් සඋපාදාන වූ යම් ස්කන්‍ධ කෙනෙක් වෙත් ද, මේ දුක්ඛ යැ, යම් සතර උපාදානයෝ වෙත් ද මේ සමුදය යැ, පඤ්චස්කන්‍ධයෝ දුක්ඛයි. භාග්‍යවතුන් වහන්සේ ඒ දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥානය පිණිස ද ප්‍රහාණය පිණිස ද දහම් දෙසන සේක. දුක්ඛයාගේ පරිඥානය පිණිස යැ සමුදයාගේ ප්‍රහාණය පිණිස යි.
එහි තෘෂ්ණාමූලක වූ යම් ත්‍රිවිධ ප්‍රමාදයෙක් නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස උපාය සොයා ද, උපන් භෝගයන්ගේ ආරක්‍ෂාවත් පරිභෝගනිමිත්තත් කෙරේ ද, ඒ ප්‍රමාදයාගේ (ආස්වාදාදිය) මොනොවට දැනීමෙන් ස්වකීය චිත්තසන්තානය රැකීමෙන් ප්‍රමාදයට ප්‍රතිපක්‍ෂවශයෙන් හැකිළීමෙක් වේ ද, මේ සමථය යි, ඒ සමථය කිසෙයින් වේ යැ යත්: යම් කලෙක වස්තුකාමක්ලේශකාමයන්ගේ ආස්වාදය ද ආස්වාදමාත්‍රයෙන් ආදීනවය ද ආදීනවයෙන් නිස්සරණය ද නිස්සරණයෙන් (කාමයන්ගේ) ලාමකබව ද කෙලෙසිලිබව ද විශුද්ධවීම ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද දැනගනී. ඒ යථෝක්ත ශමථය ඇති කල්හි යම් වීමංසා සංඛ්‍යාත ප්‍රඥාවක් විමසීමක් ඇද්ද මේ විදර්‍ශනා යි. ශමථය ද විදර්‍ශනාව ද යන ධර්‍මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්. මේ ධර්‍ම දෙක වැඩෙන කල්හි තෘෂ්ණාව ද අවිද්‍යාව ද ධර්‍මයෝ දෙදෙන ප්‍රහීණ වෙති. මේ තණ්හා අවිජ්ජා ධර්‍මදෙක ප්‍රහීණ කල්හි සතර උපාදානයෝ නිරුද්ධ වෙත්. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි,
ජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙත්. මෙසේ තෙල (සුඛය හා) අමිශ්‍ර වු දුඃඛරාශිහුගේ නිරෝධය වේ. මෙසේ පූර්‍ව වූ දුක්ඛය ද සමුදය ද යන සත්‍ය දෙක යැ, ශමථයත් විදර්‍ශනාවත් මාර්‍ග යැ, භවනිරෝධය නිර්‍වාණයි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, බුදුහු - “ආරභථ නික්ඛමථ” යී.
2. යම්සේ භූමිගත අවයව සංඛ්‍යාත මූලය සිඳීම් ආදියෙන් උපද්‍රව රහිත කල්හි එහෙයින් ම දැඩිව සිටි කල්හි සිඳිනලද්දාහු වූ ද වෘක්‍ෂය වටාලා වැඩේ ද, එසෙයින් ම තණ්හානුසය සංඛ්‍යාත ආත්මභාව වෘක්‍ෂයාගේ මූලය මාර්‍ගඥානපරශුයෙන් නොසුන් කල්හි මේ පඤ්චස්කන්‍ධදුඃඛය පුනපුනා උපදී.
මේ තෘෂ්ණානුශය කවර තෘෂ්ණාවකගේ යැ යත්: භවතෘෂ්ණාවගේ යි. තෙල භවතෘෂ්ණධර්‍මයට යමෙක් ප්‍රත්‍යය වේ ද, මේ අවිද්‍යාව යි. ඒ එසේ මැ ය, අවිද්‍යා ප්‍රත්‍යයෙන් භවතෘෂ්ණාව වේ. තණ්හාව ද අවිද්‍යාව ද යන මේ දෙක ක්ලේශයෝ යි. ඔහු සතර උපාදානයෝ වෙති. ඒ සතර උපාදානයෙන් සඋපාදාන වූ යම් ස්කන්‍ධ කෙනෙක් ඇද්ද මේ දුක්ඛ යැ, සතර උපාදාන කෙනෙක් ඇද්ද මේ සමුදය යි. පඤ්චස්කන්‍ධයෝ දුක යි. බුදුහු දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥාව පිණිස ද ප්‍රහාණය පිණිස ද දහම් දෙසන සේක. දුක්ඛයාගේ පරිඥානය පිණිස යැ සමුදයාගේ ප්‍රහාණය පිණිස යි. යම් දහමකින් තණ්හානුසය නසා ද මේ සමථ යැ, යමකින් තණ්හානුසයට ප්‍රත්‍යය වූ අවිද්‍යාව වළහා ද, මේ විපස්සනා යි. ශමථය ද විදර්‍ශනාව ද යන මේ ධර්‍මයෝ දෙදෙන භාවනායෙන් සම්පූර්‍ණ වීමට යෙති. එහි ශමථයාගේ ඵලය රාගවිරාග චේතෝවිමුත්ති යැ, විදර්‍ශනාවගේ ඵලය අවිද්‍යාවිරාග ප්‍රඥාවිමුත්ති යි. මෙසේ පූර්‍ව වූ දුක්ඛය ද සමුදය ද යන සත්‍යයෝ දෙදෙන යැ, ශමථයත් විදර්‍ශනාවත් මග්ග යැ, විමුත්තීහු දෙදෙන නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ වෙත්. එයින් වදාළහ, බුදුහු: “යථාපි මූලෙ අනුපද්දවෙ” යී.
3. සියලු අකුශලය නො ඉපදවීම ද, චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද, (රහත් මඟින්) ස්වකීය චිත්තසන්තානය පවිත්‍ර කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.
“සබ්බපාප” නම්: කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යන තුන් දුශ්චරිතයෝ යි. ඔහු දශඅකුශල කර්‍මපථයෝ යැ: පාණාතිපාත යැ අදින්නාදාන යැ කාමෙසු මිච්ඡාචාර යැ මුසාවාද යැ පිසුනාවාචා යැ ඵරුසාවාචා යැ සම්ඵප්පලාප යැ අභිජ්ඣා යැ ව්‍යාපාද යැ මිච්ඡාදිට්ඨි යි. ඔහු චේතනා කර්‍මය ද චේතසික කර්‍මය දැයි කර්‍මයෝ දෙදෙනෙක් වෙති. එහි යම් පාණාතිපාතයෙක් පිසුනාවාචායෙක් ඵරුසාවාචායෙක් ඇද්ද, මේ දෝසසමුට්ඨාන යැ, යම් අදින්නාදානයෙක් කාමෙසුමිච්ඡාචාරයෙක් මුසාවාදයෙක් ඇද්ද, මේ ලෝභසමුට්ඨාන යැ, යම් සම්ඵප්පලාපයෙක් වේ ද මේ මෝහ සමුට්ඨාන යි. මේ සත් කරුණ චේතනාකර්‍ම යැ, යම් අභිධ්‍යාවක් ඇද්ද මේ ලෝභ අකුශලමූල යැ, යම් ව්‍යාපාදයෙක් ඇද්ද දෝසඅකුශලමූල යැ, යම් මිත්‍ථ්‍යාදෘෂ්ටියක් ඇද්ද මේ මිත්‍ථ්‍යාමාර්‍ග යි. මේ තුන් කරුණ චේතසික කර්‍ම යි. එයින් කීහ: “චේතනාකම්මං චේතසිකං කම්මං” යී.
අකුශලමූලය ප්‍රයෝගයට යනුයේ සිවුවැදෑරුම් අගතියට යෙයි: ඡන්‍දයෙන් දෝසයෙන් භයින් මෝහයෙනි. එහි ඡන්‍දහේතුයෙන් යම් අගතියකට යේ ද මේ ලෝභසමුට්ඨාන යැ, දෝසයෙන් යම් අගතියකට යේ ද මේ දෝසසමූට්ඨාන යැ, භයින් ද මෝහයෙන් ද යම් අගතියකට යේ ද මේ මෝහසමුට්ඨාන යි. ඔවුන් කෙරෙහි ලෝභය අසුභභාවනායෙන් ප්‍රහීණ වෙයි, ද්වේෂය මෙත්තාභාවනායෙන් ප්‍රහීණ වෙයි, මෝහය පඤ්ඤාභාවනායෙන් ප්‍රහීණ වේ. එසේ මැ ලෝභය උපේක්‍ෂායෙන් ප්‍රහීණ වෙයි, ද්වේෂය මෙත්තායෙන් ද කරුණායෙන් ද ප්‍රහීණ වෙයි, මෝහය මුදිතායෙන් ප්‍රහාණයට අභ්‍යස්තයට යේ. එයින් වදාළහ, බුදුහු: “සබ්බපාපස්ස අකරණං” යී.
“සබ්බපාප” නම්: මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාසංකල්ප යැ මිථ්‍යාවාක් යැ මිථ්‍යාකර්‍මාන්ත යැ මිථ්‍යාආජීව යැ මිථ්‍යාව්‍යායාම යැ මිථ්‍යාස්මෘති යැ මිත්‍ථ්‍යාසමාධි යැ යන අටවැදෑරුම් මිච්ඡත්තයෝ යි. මේ ‘සබ්බපාප’ යයි කියනු ලැබේ. මේ අටවැදෑරුම් මිථ්‍යාත්‍වයන්ගේ යම් අක්‍රියාවක් අකරණයක් අනධ්‍යාචාරයෙක් (නො ඉපදවීමෙක්) ඇද්ද මේ “සබ්බපාපස්ස අකරණං” යයි කියනු ලැබේ. අෂ්ට මිථ්‍යාත්‍වයන් ප්‍රහීණ කල්හි අෂ්ට සම්‍යක්ත්‍වයෝ සම්පාදනය වෙති. අටවැදෑරුම් සම්‍යක්ත්‍වයෙන්ගේ යම් ක්‍රියාවක් කරණයක් අධ්‍යාචාරයෙක් (ඉපදවීමෙක්) වේ ද මේ “කුසලස්ස උපසම්පදා” යී කියනු ලැබේ. “සචිත්තපරියෝදපනං” යී අතීත මාර්‍ගයාගේ භාවනාක්‍රියාව දක්වනසේක. චිත්තය පවිත්‍ර කළ කල්හි පඤ්චස්කන්‍ධයෝ පරියෝදපනය කළාහු වෙත්. ඒ එසේ මැ යැ: බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, චේතෝවිසුද්ධිය සඳහා තථාගතයන් කෙරෙහි බඹසර වසන්නේය” යි. ඒ එසේ මැ යැ: නීවරණප්‍රහාණය ද අනුශය සමුද්ඝාතය දැයි පරියෝදපනය දෙවැදෑරුම් වෙයි. දර්‍ශනභූමි ද භාවනාභූමි දැයි පරියෝදපනභූමි ද දෙකෙකි. එහි යමක් ප්‍රතිවේධ සංඛ්‍යාත පරිඥාභි සමයෙන් පරියෝදපනය කෙරේ ද මේ දුක්ඛ යැ, යමක්හු කෙරෙන් පිරිසිදුකෙරේ ද මේ සමුදය යැ, යමක් කරණ කොට පරියෝදපනය කෙරේ ද මේ මාර්‍ග යැ, යමක් පරියෝදපිත ද මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි, එයින් වදාළහ. බුදුහු: “සබ්බපාපස්ස අකරණං” යී.
4. දානාදි කුශලධර්‍ම තෙමේ ඒකාන්තයෙන් ඒ ධර්‍මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සම්පරායික අනර්‍ත්‍ථයෙන්) රක්නේය, වැසිකලැ මහත් වු ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකීද එමෙනි, ධර්‍මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසස් වෙයි, ධර්‍මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.
ධර්‍මය නම්: ඉන්‍ද්‍රියසංවර යැ මාර්‍ග යැයි ද්විවිධ යැ, දුර්‍ගති නම් ද්විවිධ යැ: දේවමනුෂ්‍යයන්ගේ හෝ උපනිධි කොට සතර අපායයෝ දුර්‍ගති යැ, නිර්‍වාණය හෝ උපනිධි කොට සියලු උපප්‍රාප්තීහු දුර්‍ගති යැ. එහි සංවරසීලයෙහි යම් අඛණ්ඩකාරීබවක් ඇද්ද මේ සංවරශීලධර්‍මය මොනොවට ආචීර්‍ණ වූයේ සතර අපායෙන් රකී. බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, සිල්වත්හට දේවගතිය ද මනුෂ්‍යගතිය දැයි මේ ගති දෙකක් වෙති” යී
තවද මෙසේ ඇත: නාලන්‍දානිගමයෙහි අසිබන්‍ධක පුත්‍ර වූ ගාමිණී භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස පශ්චාද්භූමි වැසි බ්‍රාහ්මණයෝ කමඬලු ඇත්තාහු සෙවෙල්මාලා ඇත්තාහු උදයසවස ජලාවගාහ කරන්නාහු ගිනි පුදන්නාහු, ඔහු මළහු කලුරියපළහු උඩලොවට යවති, මොනවට යවති, (පිරිවරා සිට භවත, බඹලොවට යවයි කියමින්) ස්වර්‍ගයට යවති, වහන්ස භාග්‍යයතුන් වහන්සේ වැලිත් යම් පරිදි සියලු ලෝවැසි තෙමේ කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පිළිසඳ විසින් පැමිණේ නම්, එසේ කරන්නට පොහොසත් සේක් දැ” යි.
ග්‍රාමිණි එසේ නම් මෙ කරුණෙහි ලා තොප මැ පුළුවුස්මි, තොපට යම්සේ හැගේ නම් එසෙයින් එය ප්‍රකාශ කරව, ග්‍රාමණි ඒ කිමැයි හඟනාව, මෙ ලොවැ පුරුෂයෙක් ප්‍රාණවධ කරනුයේ අයිනාදන් ගන්නේ කාමයෙහි මිසහසර ඇතියේ මුසවා කියනුයේ පිසුනුබස් ඇතියේ පරොස්බස් ඇතියේ සිස් වදන් කියනුයේ අභිධ්‍යා බහුල කොට ඇතියේ ව්‍යාපාද සිත් ඇතියේ මිසදිටු ඇතියේ වේ ද, මහාජනසමූහයා තෙලපුඟුල්හු වෙත එක්වගෙන ‘මේ පුරුෂ කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණේව’ යි අයදනේ නම් පසස්නේ නම් ඇඳිලිබැඳ සිසාරායන්නේ නම්, ග්‍රාමණි ඒ කිමැයි හඟනාව, කිම ඒ පුරුෂ මහාජනසමූහයා අයදනාහෙයින් වේවයි පසස්නා හෙයින් වේව’ යි බඳැඳිලි වැ සිසාරායන හෙයින් වේවයි කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ දැ’ යි.
වහන්ස තෙල නො වේ මැ ය. ග්‍රාමණී යම්සේ පුරුෂයෙක් මහත් වු ගනසෙලක් ගැඹුරු දියවිලෙක්හි බහාලන්නේ ද, මහාජනසමූහයා තෙල ශෛලය වෙත එක්වගෙන ‘භවත් ශෛලය උඩ නැගෙව භවත් ශෛලය ඉල්පෙව භවත් ශෛලය ගොඩට පිහිනව’ යි අයදනේ නම් පසන්නේ නම් බඳැඳිලිව සිසාරා යන්නේ නම්, ග්‍රාමණි ඒ කිමැයි හඟනාව, කිම ඒ මහත් ගනසෙල මහාජනසමූහයා අයදනාහෙයින් වේවයි පසස්නාහෙයින් වේවයි ඇඳිලිබැඳ සිසාරා යනහෙයින් වේවයි උඩට නැඟෙන්නේ හෝ ඉල්පෙන්නේ හෝ ගොඩට පිහිනන්නේ හෝ වේ දැ’ යි. වහන්ස තෙල නොවේ මැ ය. එසෙයින් ම ග්‍රාමිණි ඒ පුරුෂ ප්‍රාණවධ කරනුයේ ... මිසදුටු වූයේ වෙයි, එතෙකුදු වත් මහාජනසමූහයා ඔහු සමීපයට රැස්වගෙන ‘මේ පුරුෂ කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණේව’ යි අයදනේ නම් නමුදු පසස්නේ නමුදු සිසාරා ඇවිදුනේ නමුදු වැලි ඒ පුරුෂ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වු නිරයට (පිළිසඳ විසින්) පැමිණෙන්නේය.
ග්‍රාමිණි ඒ කිමැයි හඟනාව, මෙලොවැ පුරුෂයෙක් ප්‍රාණවධයෙන් වැළැකියේ ... සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වන්නේ ය. මහාජනසමූහයා තුලුහු වෙත රැස්වෙන “මේ පුරුෂ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වු නිරයට පැමිණේව’ යි අයදනේ යැ පසස්නේ යැ බදැඳිලිව සිසාරා ඇවිදුනේ යැ, ග්‍රාමිණි ඒ කිමැයි හඟනාව, කිම ඒ පුරුෂ මහාජනසමූහයා අයදනාහෙයින් වේවයි පසස්නාහෙයින් වේවයි බදැඳිලිව සිසාරා යන හෙයින් වේවයි කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණෙන්නේ දැ? යි. වහන්ස, තෙල නොවේ මැ ය. ග්‍රාමිණි යම් පරිදි පුරුෂයෙක් ගිතෙල් කළයක් හෝ තෙල් කළයක් හෝ ගැඹුරු දියවිලකට බස්වා බිඳිනේ නම්, එහි යම් කැටක් හෝ කැබිලිති හෝ වූ නම් එය යටට බස්නේ ය. එහි යම් ගිතෙලක් හෝ තෙලක් හෝ වී නම් එය උඩට යනු වන්නේ ය, මහාජනසමූහයා තෙල සප්පිතෙලය වෙත රැස්වගෙන ‘භවත් සප්පිතෙලය දියෙහි ගැලෙව, භවත් සප්පිතෙලය මැනැවින් ගැලෙව, භවත් සප්පිතෙලය යටට යව’ යි අයදනේ නම් පසස්නේ නම් බදැඳිලිව සිසාරායන්නේ නම්, ඒ කිමැයි හඟනාව ග්‍රාමිණි කිම ඒ සප්පිතෙලය මහාජනසමූහයාගේ ආයාචනා හේතුයෙන් වේවයි පසස්නා හේතුයෙන් වේවයි බඳැඳිලිව සිසාරායන හෙයින් වේවයි දියෙහි ගැලෙන්නේ හෝ මැනැවින් ගැලෙන්නේ හෝ යටට හෝ යන්නේ දැ’ යි. වහන්ස, තෙල නොවේ මැ ය. එසෙයින් මැ ග්‍රාමිණි ඒ පුරුෂ ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ ... සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි, එහෙත් මහාජනසමූහයා ඔහු වෙත රැස්ව සිට ‘මේ පුරුෂ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වු නිරයට පැමිණේව’ යි අයදනේ නමුදු පසස්නේ නමුදු බඳැඳිලිව සිසාරා ඇවිදුනේ නමුදු වැලි ඒ පුරුෂ කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේය” මෙසේ ශීලසංවර සංඛ්‍යාත කුශලධර්‍මය මොනොවට පරිචිත වූයේ සතර අපායෙන් රකී.
ඒ දෙවැරුම් ධර්‍මයන් කෙරෙහි ආර්‍ය්‍යමාර්‍ගධර්‍මයාගේ යම් තියුණුබවක් අධිමාත්‍ර බවක් ඇද්ද මේ මාර්‍ගධර්‍මය සූචීර්‍ණ වූයේ සකල උපප්‍රාප්තිභවයෙන් රකී. බුදුහු මෙසේ වදාළහ:
5. (යම් හෙයෙකින් අරක්‍ෂිත සිත් ඇතියේ මාරවශීව සසර මැ වෙසේ ද) එහෙයින් සතිසංවරයෙන් රක්නාලද සිත් ඇතිවන්නේ යැ, නෙක්ඛම්මාදි සම්‍යක්සඞ්කල්ප ගෝචර කොට ඇතිවන්නේ යැ, (කම්මස්සකතා යථාභූතඤාණ ලක්‍ෂණ) සම්‍යග්දෘෂ්ටිය පෙරටු කොට ඇතියේ (පඤ්චස්කන්‍ධයෙහි සමපනස් වැදැරුම්) උදයව්‍යය දැන (හඞ්ගානු පස්සනාදි වශයෙන් විදසුන් වඩා) රහත් මගින් ථිනමිද්ධය නැසූ ක්‍ෂීණාස්‍රව මහණ සියලු දුර්‍ගති දුරු කරන්නේ යි.
එහි තෘෂ්ණාව ද අවිද්‍යාව ද දුර්‍ගතීන් ට හේතු යැ, ඔහු සතර උපාදානයෝ වෙති, ඒ සතර උපාදානයෙන් සඋපාදානවු යම් ස්කන්‍ධ කෙකෙනෙක් ද ඇද්ද, මේ දුක යැ, සතර උපාදානයෝ සමුදය යැ, පඤ්චස්කන්‍ධයෝ දුක්ඛ යි. බුදුහු ඒ දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥාව ද ප්‍රහාණය ද සඳහා දහම් දෙසනසේක. දුඃඛයාගේ පරිඥාව පිණිස යැ, සමුදයාගේ ප්‍රහාණය පිණිසයි. එහි තෘෂ්ණාවට රූපී පඤ්චේන්‍ද්‍රියයෝ පදට්ඨාන යැ, අවිද්‍යාවට මන ඉන්‍ද්‍රිය පදට්ඨාන යි. රූපී පඤ්චේන්‍ද්‍රියයන් රක්නේ සමාධිය වඩයි. තෘෂ්ණාව ද නිගනී. මන ඉන්‍ද්‍රිය රක්නේ විදර්‍ශනාව වඩයි, අවිද්‍යාව ද නිගනී. තෘෂ්ණානිග්‍රහයෙන් කාමූපාදානය ද සීලබ්බතූපාදානය ද යන උපාදානයෝ දෙදෙන ප්‍රහීණ වෙති, අවිද්‍යා නිග්‍රහයෙන් දිට්ඨූපාදානය ද අත්තවාදූපාදානය ද යන උපාදානයෝ දෙදෙන ප්‍රහීණ වෙත්. සතර උපාදානයන් ප්‍රහීණ කල්හි ශමථය ද විදර්‍ශනාව ද යන ධර්‍මයෝ දෙදෙන භාවනායෙන් පාරිපුරියට යෙත්. මේ ‘බ්‍රහ්මචරිය’ යි කියනු ලැබේ. එහි බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඵලය: ශ්‍රෝතාපත්තිඵල සකෘදාගාමිඵල අනාගාමිඵල අර්‍හත්‍ව අග්‍රඵල යන සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ යැ. මේ සතර බ්‍රහ්මචර්‍ය්‍යඵලයෝ යි. මෙසේ දුඃඛය ද සමුදය ද යන පළමු කී සත්‍යයෝ දෙදෙන යැ, ශමථය ද විදර්‍ශනාව ද බ්‍රහ්මචර්‍ය්‍යය ද මාර්‍ග යැ, බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඵලයෝ ද තදාලම්බන වූ අසඞ්ඛතධාතුව ද නිරෝධයි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ: “ධම්මෝ හවෙ රක්ඛති” යී. ඒ දේශනායෙහි ප්‍රතිවේධයෙන් යමක් රකී ද මේ දුඃඛ යැ, යමක්හු කෙරෙන් රකී ද මේ සමුදය යැ, යමක් කරණකොට රකී ද මේ මාර්‍ග යැ, යමක් රකී ද මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ: “ඒකම්හි පදට්ඨානෙ” යනාදිය.
ආවට්ටහාරය යොදනලදී.
3. 1. 8.
විභත්තිහාරවිභඞ්ගය
එහි විභත්තිහාරය කවරෙ යැ: “ධම්මං ච පදට්ඨානං භූමිං ච” යනාදි නිද්දේස ගාථායි. ‘වාසනාභාගිය’ සූත්‍ර ද ‘නිබ්බේධභාගිය’ සූත්‍ර දැ යි සූත්‍ර දෙකෙකි. ‘පුඤ්ඤභාගිය’ ප්‍රතිපදා ද ‘ඵලභාගිය’ ප්‍රතිපදා දැ’ යි ප්‍රතිපදා දෙකෙකි. ‘සංවර’ සීලය ද ‘පහාන’ සීලය දැ’ යි ශීල දෙකෙකි. ඒ සූත්‍ර - ප්‍රතිපදා - ශීලයන් කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ වාසනාභාගිය සූත්‍ර පුඤ්ඤභාගිය ප්‍රතිපදාව සඳහා දෙසන සේක. ඒ (ධර්‍මප්‍රතිග්‍රාහක) පුද්ගලසංවරශීලයෙහි සිටියේ ඒ සංවරශීල සංඛ්‍යාත ශ්‍රේෂ්ඨචර්‍ය්‍යායෙන් බඹසර ඇත්තේ වෙයි. එහි භාග්‍යවතුන් වහන්සේ නිබ්බේධභාගිය සූත්‍රය ඵලභාගිය ප්‍රතිපදාව සඳහා දෙසන සේක. ඒ (නිබ්බේධභාගිය දේශනාප්‍රතිග්‍රාහක) පුද්ගල ප්‍රහාණශීලයෙහි සිටියේ ඒ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයයෙන් බඹසර ඇත්තේ වේ.
එහි වාසනාභාගිය සූත්‍රය කවරෙ යැ: ‘දානකථා සීලකථා ස්වර්‍ගකථා කාමයන්ගේ ආදීනව නෛෂ්ක්‍රම්‍යයෙහි ආනෘශංස’ යන මේ වාසනාභාගිය සූත්‍ර නම් වෙයි. එහි නිබ්බේධභාගිය සූත්‍රය කවරෙ යැ: යම් චතුස්සසත්‍යය ප්‍රකාශ කිරීමෙක් වේ ද, මේ නිබ්බේධභාගිය සූත්‍ර නම් වේ. වාසනාභාගිය සූත්‍රයෙහි ආර්‍ය්‍යමාර්‍ගයට පදට්ඨාන වු වුත්‍ථානගාමිනී විදර්‍ශනාප්‍රඥාව නැත, ආර්‍ය්‍යමාර්‍ගය නැත, ශ්‍රාමණ්‍යඵලය නැති. නිබ්බේධභාගිය සූත්‍රයෙහි වූත්‍ථානගාමිනී විදර්‍ශනාප්‍රඥාව ඇත, ආර්‍ය්‍යමාර්‍ගය ඇත, ශ්‍රාමණ්‍යඵලය ඇති. (යථෝක්ත වාසනාභාගිය නිබ්බේධභාගිය සූත්‍ර යැ වක්‍ෂ්‍යමාන සඞ්කිලේසභාගිය අසෙක්ඛභාගිය සූත්‍ර යැ යන) මේ සතර සූත්‍රයෝ යි. මේ සතර සූත්‍රයන්ගේ දේශනානයින් ද දේශනාඵලයෙන් ද ශීලයෙන් ද බ්‍රහ්මචර්‍ය්‍යයෙන් ද සර්‍වප්‍රකාරයෙන් (විචයහාර විෂය වූ එකොළොස් තැන්හි ලා සංක්‍ෂිප්ත කොට) විචයහාරයෙන් විචිනනය කොට (සොයා) යුක්තිහාරයෙන් ඥානයාගේ භූමිය යම්තාක් වේ ද ඒතාක් යෙදිය යුත්තාහු ය.
එහි සාධාරණ (සමාන) වු ස්වභාවධර්‍මයෝ කවරහ: (කුශලාකුශලාදි) නාමයෙන් සාධාරණයෝ ද සමානවස්තුක හෙයින් වස්තුසාධාරණයෝ දැයි සාධාරණ ධර්‍මයෝ දෙදෙනෙකි. තවද, කෘත්‍ය ප්‍රත්‍යය ප්‍රතිපක්‍ෂාදි වශයෙන් සමාන වු යම් කිසි අන්‍ය වූත් ස්වභාවයෙක් ඇද්ද ඒ සාධාරණ ධර්‍ම යි. මාතෘවධාදි මිච්ඡත්තනියත සත්ත්‍වයන්ගේ ද අනියත සත්ත්‍වයන්ගේ ද ශ්‍රෝතාපත්තිමාර්‍ග සංඛ්‍යාත දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ක්ලේශයෝ සාධාරණයෝ යැ, පුහුදුන්හට ද සෝවන්හට ද කාමරාග - ව්‍යාපාදයෝ සාධාරණ යැ, පුහුදුන්හට ද අනගැමිහට ද උද්ධංභාගියසංයෝජනයෝ සාධාරණ යැ, ආර්‍ය්‍යශ්‍රාවක යම් කිසි ලෞකික සමාපත්තියකට සමවදී ද එ හැම අවීතරාගයන් හා සාධාරණ යැ. එ එසේ මැය, සාධාරණ ධර්‍මයෝ මෙසේ ඔවුනොවුන් වෙනවෙන ම ස්වකීය ස්වකීය විෂය නො ඉක්මවති. යම් පුද්ගලයෙකුත් මේ ලෞකික සමාපත්තිධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූයේ ද ඒ පුද්ගල ඒ ධර්‍මය නො ඉක්මවයි. මේ සාධාරණ ධර්‍මයෝ යි.
එහි අසාධාරණ ධර්‍මයෝ කවරහ: ආර්‍ය්‍යයන් කෙරෙහි, ශෛක්‍ෂ අශෛක්‍ෂයෝ යැ, අනාර්‍ය්‍යයන් කෙරෙහි භව්‍ය අභව්‍යයෝ යැයි (ඒ ඒ පුද්ගලයාට ප්‍රත්‍යාත්මනියත වශයෙන්) වදාළ දේශනාව ගෙන අසාධාරණ ධර්‍මයෝ සෙවිය යුත්තාහ. (සෝවන්මඟ පත්) අට්ඨමකයාහට ද සෝවන්හට ද කාමරාගව්‍යාපාදයෝ සාධාරණයෝ යැ ධර්‍මස්වභාව අසාධාරණ යි. (ද්වාදශශ්‍රමණයන් කෙරෙහි අට්ඨමක වු) අනාගාමීමාර්‍ගස්ථයාහට ද අනාගාමීහට ද උද්ධංභාගිය සංයෝජනයෝ සාධාරණයහ, ධර්‍මස්වභාව අසාධාරණ යි. සියලු ශෛක්‍ෂයනට ‘සෙක්ඛ’ යන නාමය සාධාරණ යැ, ධර්‍මස්වභාව අසාධාරණ යි. සියලු ප්‍රතිපන්නකයනට ‘පටිපන්නක’ යන නාමය සාධාරණ යැ, ධර්‍මස්වභාව අසාධාරණ යි. සියලු ශෛක්‍ෂයනට ශෛක්‍ෂශීලය සාධාරණ යැ, ධර්‍මස්වභාව අසාධාරණ යි. මෙසේ (ආර්‍ය්‍යයනට කී සෙයින් අන්‍යයනට ද) අසාධාරණතාවිශේෂ දක්නහු විසින් හීන ප්‍රණීත මධ්‍යම ධර්‍මස්වභාව ගෙන අසාධාරණතා සෙවිය යුතු යි.
(මෙසේ ධම්මවිභත්ති දක්වා භූමි - පදට්ඨානවිභත්ති වදාරති.) සෝතාපත්තිමග්ග සංඛ්‍යාත දර්‍ශනභූමිය සම්මත්තනියාමයට පැමිණීමට පදට්ඨාන (ආසන්නකාරණ) යැ, භාවනාභූමිය මතුමතුයෙහි ඵලප්‍රාප්තියට පදට්ඨාන යැ, දුක්ඛපටිපදාව දන්‍ධාභිඤ්ඤසමථයට පදට්ඨාන යැ, සුඛ පටිපදාව ඛිප්පාභිඤ්ඤ් විපස්සනාවට පදට්ඨාන යැ, දානමය පුණ්‍යක්‍රියා වස්තුව පරතෝඝෝස (ධර්‍මශ්‍රවණ)යට සාධාරණ පදට්ඨාන යැ, ශීලමය පුණ්‍යක්‍රියා වස්තුව චින්තාමයි ප්‍රඥාවට සාධාරණ පදට්ඨාන යැ, භාවනාමය පුණ්‍යක්‍රියා වස්තුව (මත්තෙහි ධ්‍යාන සංඛ්‍යාත විදර්‍ශනා සංඛ්‍යාත) භාවනාමයි ප්‍රඥාවට සාධාරණ පදට්ඨාන යි. යළිදු දානමය පුණ්‍යක්‍රියාවස්තුව පරතෝඝෝසයට ද සුතමයි ප්‍රඥාවට ද සාධාරණ පදට්ඨාන යැ, ශීලමය පුණ්‍යක්‍රියාවස්තුව චින්තාමයි ප්‍රඥාවට ද යෝනිසෝමනසිකාරයට ද සාධාරණ පදට්ඨාන යැ, සමථභාවනාමය පුණ්‍යක්‍රියාවස්තුව (මත්තෙහි ධ්‍යාන - විදර්‍ශනා) භාවනාමයි ප්‍රඥාවට ද සම්මාදිට්ඨියට ද සාධාරණ පදට්ඨාන යි. ප්‍රතිරූපදේශවාසය කායචිත්තවිවේකයට ද උපචාර අපර්‍ණා සමාධියට ද සාධාරණ පදට්ඨාන යැ, සත්පුරුෂෝපනිශ්‍රය බුද්ධාදීන් පිළිබඳ ත්‍රිවිධ අවෙත්‍යප්‍රසාදයට (ගුණ දැන පැහැදීමට) ද ශමථයට ද සාධාරණ පදට්ඨාන යැ, ආත්මසම්‍යක්ප්‍රණිධානය පාපජුගුප්සා ලක්‍ෂණ ලජ්ජාවට ද විදර්‍ශනාවට ද සාධාරණ පදට්ඨාන යැ, අකුශලපරිත්‍යාගය කුසලවීමංසා සංඛ්‍යාත පටිසඞ්ඛානුපස්සනාවට ද සමාධීන්‍ද්‍රියට ද සාධාරණ පදට්ඨාන යැ, ධර්‍ම ස්වාඛ්‍යාතභාවය කුසලමූලරෝපණයට ද ඵලසමාපත්තියට ද සාධාරණ පදට්ඨාන යැ, සඞ්ඝසුප්‍රතිපන්නභාවය සඞ්ඝයාගේ සුට්ඨුභාවයට සාධාරණ පදට්ඨාන යැ, ශාස්තෘ සම්පදාව අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට ද ප්‍රසන්නයන්ගේ ප්‍රසාදභූයස්ත්‍වයට ද සාධාරණ පදට්ඨාන යැ, අප්‍රතිහත ප්‍රාතිමෝක්‍ෂ ඇතිබව දුශ්ශීලපුද්ගලයන්ගේ නිග්‍රහයට ද ප්‍රියශීල පුද්ගලයන්ගේ සුඛවිහරණයට ද සාධාරණ පදට්ඨාන යි. එයින් වදාළහ, මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “ධම්මං ච පදට්ඨානං” යනාදිය.
විභත්තිහාර යොදන ලද්දේ යි.
3. 1. 9.