මේ කර්‍ම යැ.
“යළිදු මහණෙනි, බාලයා පීඨයෙහි නැඟීහුන්නහුට හෝ මඤ්චයෙහි නැඟීහුන්නහුට හෝ බිමැ හෝනහුට හෝ ඔහු විසින් පෙර කරනලද කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත වූ යම් පාපකර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්‍මයෝ එළැඹ සිටිති, අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්. මහණෙනි, යම්පරිදි සවස්කාලයෙහි මහත් පර්‍වතකූටයන්ගේ සෙවණැලි පොළෝතෙලෙහි පැතිරේද, මහණෙනි, එපරිදි මැ පීඨයෙහි නැඟීහුන් වේවයි මඤ්චයෙහි නැඟීහුන් වේවයි බිමැ හෝනා වේවයි බාලයාහට ඔහු විසින් කළ කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත වූ යම් පෙර කළ පාපකර්‍ම කෙනෙක් ඇද්ද, එකල්හි ඒ කර්‍මයෝ එළැඹ සිටිත්. ඒ වැටහීම් ආපාථගත කල්හි බාලයාට මෙසේ සිත් වෙයි : මා විසින් කල්‍යාණයෙක් නොකරනලද මැ ය, කුශලයෙක් නොකරනලද මැ යැ, බියට පිහිටෙක් නොකරනලද මැ යැ, පව් කරනලද, කර්‍කශකර්‍ම කරනලද, කිලිටිකම් කරනලද. කලණකම් නොකළ කුසල් නොකළ බියට පිහිට නොකළ පව් කළ කැකුළුකම් කළ කිලිටිකම් කළ ඇත්තනට යම් ගතියෙක් ඇද්ද, පරලොවැ ඒ ගතියෙට යෙමි. හේ ශෝක කෙරෙයි, ක්ලාන්ත වෙයි, වැලැපෙයි ළෙහි පැහැර හඬයි, සම්මෝහයට පැමිණේ යයි.
යළිදු මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟීසිටියහුට වේවයි මඤ්චයෙහි නැඟීසිටියහුට වේවයි බිමැ හෝනහුට වේවයි ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වචීසුචරිත මනෝසුචරිත වූ යම් කුශලකර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කුශලකර්‍මයෝ එළැඹැ සිටිති, අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්. යම්පරිදි මහණෙනි, මහත් පර්‍වතකූටයන්ගේ සෙවණැලි සවස්කලැ පොළෝතෙලෙහි අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් පැතිරෙත් ද, එපරිදි මැ මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟීසිටියහු හෝ මඤ්චයෙහි නැඟීසිටියහු හෝ බිමැ හෝනහු හෝ ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වචීසුචරිත මනෝසුචරිත වූ යම් කුශලකර්‍ම කෙනෙක් ඇද්ද එසමයෙහි ඔහුට ඒ කර්‍මයෝ අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් එළැඹ සිටිත්. එහි දී මහණෙනි, පණ්ඩිතහට මෙබඳු සිතෙක් වෙයි : ‘ඒකාන්තයෙන් මා විසින් පව් නොකරනලද රෞද්‍රකර්‍ම නොකරනලද කිල්විෂ නොකරනලද කල්‍යාණය කරනලද කුශලය කරනලද භයපරිත්‍රාණය කරනලද, නොකළ පව්ඇති නොකළ රළුකම් ඇති නොකළ කිලිටිකම් ඇති කළ කලණ ඇති කළ කුසල් ඇති කළ භයට පිහිට ඇති සත්නට යම්බඳු ගතියෙක් වේද, පරලොවැ දී ඒ ගතියට යෙමි’ විප්‍රතිසාරය නූපදී, ‘මහණෙනි, විපිළිසර නැති ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ හෝ ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ මරණය සොඳුරු වෙයි, කාලක්‍රියාව සොඳුරුවන්නී යයි කියමි’ යි.
මේ කර්‍ම යැ.
“මහණෙනි, මේ දුශ්චරිත තුනෙකි, තුනෙක යත් : කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිත යි. මහණෙනි, මේ තුන් දුශ්චරිතයෝ” යි.
“මහණෙනි, මේ සුචරිත තුනෙකි, කවර තුනෙක යත් : කායසුචරිතය වාක්සුචරිතය මනස්සුචරිත යි. මහණෙනි, මේ තුන් සුචරිතයෝ” ය යි.
මේ කර්‍ම යි.
(20) එහි විපාක කවරෙ යැ :
“මහණෙනි, තොපට (මනුෂ්‍යාත්මප්‍රතිලාභාදීහු) ලාභයෝ යැ, මහණෙනි, තොප විසින් (පැවිදි වැ ලද චතුපාරිසුද්ධිසීලාදිය) සුලබ්ධ යැ, තොප විසින් බ්‍රහ්මචරිය පිණිස (අෂ්ට අක්‍ෂණවිනිර්මුක්ත වූ නවවැනි) ක්‍ෂණය ප්‍රතිලබ්ධ යැ. මහණෙනි, මා විසින් ෂට් ‘ඵස්සායතනික’ නම් නිරයෝ දක්නා ලදහ, එහි ඇසින් යම් කිසි රූපයක් දකී ද, අනිෂ්ට රූපයක් මැ දකී, ඉෂ්ටරූපයක් නොදකී, අකාන්තරූපයක් මැ දකී, කාන්තරූපයක් නොදකී, අමනාපරූපයක් මැ දකී, මනාපරූපයක් නො දකී. කනින් යම් කිසි ශබ්දයක් ... නැහැයෙන් ... දිවින් ... කයින් ... සිතින් යම් කිසි ධර්‍මයක් දැනගනී ද, අනිෂ්ට ධර්‍මයක් මැ දනී, ඉෂ්ටධර්‍මයක් නොදනී, අකාන්තධර්‍මයක් මැ දනී, කාන්තධර්‍මයක් නොදනී, අමනාපධර්‍මයක් මැ දනී, මනාපධර්‍මයක් නොදනී. මහණෙනි, තොපට ලාභයෝ යැ, මහණෙනි, තොප විසින් සුලබ්ධ යැ, තොප විසින් බඹසරවස් විසීම පිණිස තොපවිසින් (නවවැනි සම්පත්) ක්‍ෂණය ලද්දේ යි.
මහණෙනි, මා විසින් සවැදෑරුම් ‘ඵස්සායතනික’ නම් ස්වර්‍ගයෝ දක්නාලදහ, එහි ඇසින් යම් කිසි රුවක් දකී ද, ඉෂ්ටරූපයක් මැ දකී, අනිෂ්ටරූපයක් නොදනී. කාන්තරූපයක් මැ දකී, අකාන්තරූපයක් නොදකී, මනාපරූපයක් මැ දකී, අමනාපරූපයක් නොදකී. කනින් යම් කිසි ශබ්දයක් අසා ද ... නැහැයෙන් ... දිවින් ... කයින් ... සිතින් යම් කිසි ධර්‍මයක් දැනගනී ද, ඉෂ්ටධර්‍මයක් මැ දනී, අනිෂ්ටධර්‍මයක් නොදනී, කාන්තධර්‍මයක් මැ දනී, අකාන්තධර්‍මයක් නොදනී, මනාපධර්‍මයක් මැ දනී, අමනාපධර්‍මයක් නොදනී. මහණෙනි, තොපට (මනුෂ්‍යාත්මභාවාදීහු) ලාභයෝ යැ, මහණෙනි, තොප විසින් (චතුපාරිසුද්ධිසීලාදිය) සුලබ්ධ යැ, තොප විසින් බඹසරවස් පිණිස සම්පත් ක්‍ෂණය ලබනලදැ” යි.
මේ විපාක යැ.
40. නිරයෙහි පැසෙන අපට සර්‍වප්‍රකාරයෙන් සැටවාදහසෙක් පිරුණාහුය, කවර කලෙක අන්තයෙක් වන්නේ ද -
41. අන්තයෙක් නැත, අන්තයෙක් කොහි යැ, අන්තයෙක් නො දක්නා ලැබෙයි. නිදුක, යම්හෙයෙකින් එකල මා විසින් ද තොප විසින් ද පව් කරන ලදැයි.
මේ විපාක යි.
(21) එහි කම්ම ද විපාක ද කවරෙ යැ :
42. ප්‍රමත්ත වූ එහෙයින් මැ අධර්‍මචාරී වූ යම් මිනිසෙක් යම් යම් තැනෙක දුගතියට යේද, තමා විසින් ගන්නාලද කෘෂ්ණසර්‍පයෙක් යම්සේ ද එමෙන් තමා විසින් රැස්කළ ඒ අධර්‍මය ඒ අධර්‍මචාරියා නසයි.
43. ධර්‍මය ද අධර්‍මය ද යන දෙක නො මැ සම විපාක ඇත්තාහු වෙති, අධර්‍මය නිරයට පමුණුවයි, ධර්‍මය සුගතියට පමුණුවා’ යි.
මේ කර්‍ම ද විපාක ද වෙයි.
“මහණෙනි, පිනට නහමක් බියපත් වවු, මහණෙනි, මේ පින් යැ යනු ඉෂ්ට වූ කැමැතිවූ ප්‍රියවූ මනවඩන සුවයට තෙල නමෙකි. මහණෙනි, මම් දීර්‍ඝරාත්‍රයෙහි (මාවිසින්) කරනලද පුණ්‍යයන්ගේ ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ විපාකය දීර්‍ඝකාලයක් විඳුන ලද්දේ දනිම් මැ ය. සත් හවුරුද්දක් මුළුල්ලෙහි මෙත්සිත් වඩා සංවට්ට විවට්ටකල්ප සතක් මෙ මිනිස්ලොවට පෙරළා නොආයෙමි. මහණෙනි, කල්පය නැසෙන කල්හි ආභස්සර බඹලොවට පැමිණියෙම් වෙමි, කල්පය හටගන්නා කල්හි සිස්වූ බඹවිමනක උපදිමි. මහණෙනි, මම එහි බ්‍රහ්ම වෙමි, (බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්මපුරෝහිතයන් කෙරෙහි) මහාබ්‍රහ්ම වෙමි, ඔවුන් අභිභවනය කරනසුලු වූයෙම් අනභිභූත වෙමි, ඒකාන්තයෙන් තුන්කල් දක්නෙම් (ස්වකීය චිත්තය) වශයෙහි පවත්වනසුලු වෙමි. තවද මහණෙනි, මම සතිස්වරක් දේවේන්‍ද්‍ර වූ ශක්‍ර වූයෙමි. අනේසියවර දැහැමිවූ දැහැමින් රජ වූ සියුසයුරු අන්ත කොට ඇති පොළොව දිනූ සිය ජනපදයෙහි තහවුරුබවට පැමිණි සත්රුවනින් සමන්‍වාගත සක්විති රජ විමි. ප්‍රදේශරාජ්‍යය ගෙන කියනු කවරෙ යැ.”
මහණෙනි, මට (පැසුළු සක්විතිකලැ) මෙබඳු සිතෙක් විය : ‘යම් හෙයෙකින් මම මෙකල මෙසේ මහත් ඍද්ධි ඇතියෙම් මෙසේ මහත් අනුභාව ඇතියෙම් මේ කවර කර්‍මයක්හුගේ ඵලයෙක් ද? කවර කර්‍මයක විපාකයෙක් දැ’ යි. මහණෙනි, මට තෙල සිත විය : යම් පිනෙකින් මම මෙකල මෙසේ මහත්ඍද්ධි ඇතියෙම් මහත්අනුභාව ඇතියෙම් ද, මේ මාගේ තුන් කර්‍මයක්හුගේ ඵල යැ, තුන් කර්‍මයක්හුගේ විපාක යි : ඒ මෙසේ යැ : ආහාරාදි දේයධර්‍මදාන යැ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියදමන යැ කායවාක්සංයම යැ, යන කර්‍මයන්ගේ යි.
එහි යම් දානයෙක් යම් ඉන්‍ද්‍රියදමනයෙක් යම් කායවාක්සංයමයෙක් ඇද්ද මේ කර්‍ම යැ. ඒ හේතුයෙන් යම් විපාකයෙක් විඳුනාලද්දේ ද මේ විපාක යි.
එසේ මැ (මැඳුම්සඟියැ) චුල්ලකම්මවිභඞ්ග සූත්‍රය කියැයුත්තේයැ : තෝදෙය්‍යපුත්‍ර සුභමාණවකහට යමක් දෙසනලද ද, එහි යම් ධර්‍ම කෙනෙක් අල්පායුෂ්ක දීර්‍ඝායුෂ්ක බවට වැටෙත් ද, බහ්වාබාධ අල්පාබාධ බවට - අල්පයශස්ක මහායශස්ක බවට - දුවර්‍ණ සුවර්‍ණ බවට - නීචකුලික උච්චාකුලික බවට - අල්පභෝග මහාභෝග බවට - දුෂ්ප්‍රාඥ ප්‍රඥාවත් බවට වැටෙත් ද, මේ කර්‍ම යැ. එහි යම් අල්පායුෂ්ක දීර්‍ඝායුෂ්ක බවක් ... දුෂ්ප්‍රඥා ප්‍රඥාවත්බවක් ඇද්ද මේ විපාක යි.
මේ කර්‍ම ද විපාක ද වේ.
(22) එහි කුසල කවරෙ යැ :
44. වාග්දුශ්චරිතය දුරැලීමෙන් වචනය රක්නාසුලු වූයේ අභිධ්‍යාදිය දුරැලීමෙන් සිතින් මොනොවට සංවෘත වූයේ කයිනුදු ප්‍රාණවධාදි අකුශලය නො කරන්නේ යැ, මෙසේ තුන් කර්‍මපථය පිරිසිදුකරන්නේ යැ, බුද්ධාදි ඍෂීන් විසින් ප්‍රවිදිත වූ ආර්‍ය්‍යමාර්‍ගය සිද්ධකරන්නේ යි.
මේ කුසල යැ.
45. යමක්හුගේ කයින් වචනයෙන් සිතින් දුෂ්කෘත (අපායසංවත්තනික කර්‍ම) යෙක් නැද්ද, මේ කායාදි තුන් කරුණෙන් සුසංවෘත වූ ඔහු මම බ්‍රාහ්මණ යයි කියමි.
මේ කුසල යැ.
“මහණෙනි, මේ කුසලමූලයෝ තිදෙනෙක් වෙති, කවර තිදෙනෙක යත් : අලෝභ කුසලමූල යැ අදෝසකුසලමූල යැ අමෝහකුසලමූල යි. මහණෙනි, මේ තුන් කුසල මූලයෝ” යි.
මේ කුසල යැ.
“මහණෙනි, කුශලධර්‍මයන්ගේ ඉපැදීමට (කම්මස්සකතඤාණ සංඛ්‍යාත) විද්‍යාව (සහජාත උපනිශ්‍රය වශයෙන්) පූර්‍වඞ්ගම වෙයි, හිරි ද ඔතප් ද එක්වැ මැ උපදනේ” යි.
මේ කුසල යි.
(23) එහි අකුසල කවරෙ යැ :
46. යමක්හුගේ ඒකාන්තදුශ්ශීලභාවය සල්රුකක් වැතිරැගෙන වැඩුණු මාලුවා ලතාවක් මෙන් ඔහුගේ ආත්මභාවය වැළඳගෙන සිටියේ ද, යම්සේ සතුරෙක් තම සතුරාට අනර්‍ත්‍ථ කැමැති වේ ද, එපරිද්දෙන් හේ තමහට අනර්‍ත්‍ථ කෙරේ යයි.
මේ අකුසල යැ.
47. වජ්‍රය තමහට උත්පත්තිස්ථාන වූ පාෂාණමය මැණික (කඩකඩ කොට) අපරිභෝග කරන්නාක් මෙන් තමා කෙරෙහි උපන් තමා කෙරෙහි හටගත් තමා විසින් ම කරනලද පාපය දුෂ්ප්‍රාඥ වූ පවිටු පුද්ගලයා (අපායාදියෙහි ලා) මඩනේ යි.
මේ අකුසල යැ.
48. දෙවිය, අඥානපුද්ගලයෝ දශ අකුශලකර්‍මපථය කොට කුශලයෙන් තොර වූවාහු (නුවණැතියන් විසින්) ගැරැහියැයුත්තාහු වෙති, අඥානබුද්ධි ඇති ඔවුහු නරකයන්හි පැසෙත් යයි.
මේ අකුසල යැ.
“මහණෙනි, මේ අකුශලමූලයෝ තිදෙනෙක් වෙති, කවර තිදෙනෙක යත් : ලෝභ අකුසල මූල යැ දෝසඅකුසල මූල යැ මෝහඅකුසල මූල යි. මහණෙනි, මේ තුන් අකුශල මූලයෝ යි.”
මේ අකුසල යි.
(24) එහි කුසල ද අකුසල ද කවරෙ යැ :
49. යම්බඳු බිජුවටක් වපුරා ද, එබඳු වූ ශස්‍යඵලය හැරැගනී, එසෙයින් කුසල් කරනසුලු වූයේ කුශලඵලය ද පව් කරනසුලු වූයේ අකුශලඵලය ද විඳුනේ යි.
එහි ‘කල්‍යාණකාරී කල්‍යාණං’ යි යමක් වදාළාහු ද මේ කුසල යැ. ‘පාපකාරී ච පාපකං’ යි යමක් වදාළාහු ද මේ අකුසල යැ.
මේ කුසල ද අකුසල ද වෙයි.
50. සුභ වූ කුශලකර්‍මයෙන් සුගතියට යෙති, අකුශලකර්‍මයෙන් අපායභූමියට යෙති, යළි කර්‍මක්‍ෂය වීමෙන් විමුක්ත සිත්ඇති ඒ රහත්හු දර ක්‍ෂයවීමෙන් ගින්න මෙන් පිරිනිවෙත්.
එහි “සුභෙන කම්මෙන වජන්ති සුග්ගතිං” යි යමක් වදාළාහු ද, මේ කුසල යැ. ‘අපාය භූමිං අසුභෙන කම්මුනා’ යි යමක් වදාළාහු ද, මේ අකුසල යැ.
මේ දේශනාව කුසල ද අකුසල ද වේ.
(25) එහි අනුඤ්ඤාත කවරෙ යැ :
51. යම්සේ බමරා පුෂ්පය ද වර්‍ණය හා ගන්‍ධය ද නො නසා මල්රස ගෙන පෙරළා යේ ද, එසෙයින් මුනි තෙමේ ගම්හි පිඬුසිඟා හැසිරෙන්නේ යි.
මේ අනුඤ්ඤාත යැ.
“මහණෙනි, මේ භික්‍ෂූන් විසින් කරණී තුනක් වෙති, කවර තුනෙක යත් : මහණෙනි, මෙ සස්නෙහි මහණ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචර දෙකින් යුක්ත වූයේ අණුමාත්‍ර වරදෙහි භය දක්නාසුලු වැ වාස කෙරෙයි, කුශල වූ කායකර්‍ම වාක්කර්‍මයෙන් සමන්‍විත වැ පරිශුද්ධ ආජීව ඇතියේ ශික්‍ෂාපදයන් සමාදන්ව ගෙන හික්මෙයි, යළි ස්ථිර වූ දැඩි පරාක්‍රම ඇතියේ රුකුළු වැරඇතියේ වෙයි, අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. යළි ප්‍රඥා ඇත්තේ වෙයි, ආර්‍ය්‍ය වූ (ලෝභාදීන්ගේ) නිර්වේධය කරන මනා කොට දුඃඛක්‍ෂයට පමුණුවන උදයව්‍යයපරිග්‍රාහක වූ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ. මහණෙනි, මේ භික්‍ෂූන්ගේ තුන් කරණීහු වෙත්” යයි.
මේ අනුඤ්ඤත යැ.
“මහණෙනි, මේ දශධර්‍මයෝ පැවිද්දා විසින් නිරතුරු ප්‍රත්‍යවේක්‍ෂා කටයුත්තාහ, කවර දසයෙක යත් : විවර්‍ණබවට පැමිණියෙම් වෙමි නිරතුරු සිතියැයුතු ... මහණෙනි, මේ දශධර්‍මයෝ පැවිද්දා විසින් නිරතුරු සිතියැයුත්තාහ” යි.
මේ අනුඤ්ඤත යැ.
“මහණෙනි, මේ කරණී තුනෙක, කවර තුනෙක යත් : කායසුචරිත යැ වාක්සුචරිත යැ මනස්සුචරිත යි. මහණෙනි, මේ තුන් කරණීහු” යි.
මේ අනුඤ්ඤත යැ.
(26) එහි පටික්ඛිත්ත කවරෙ යැ :
52. පුත්‍රප්‍රේමය හා සම වූ ප්‍රේමයෙක් නැත, ගවධනය හා සම වූ ධනයෙක් නැත, සූර්‍ය්‍යාලෝකය සම වූ අවහාසයෙක් නැත, සියලු ජලාසයෝ සමුද්‍රය පරම කොට ඇත්තාහ’ යි.
බුදුහු මෙසේ වදාළහ :
53. ආත්මප්‍රේමය සම වූ ප්‍රේමයෙක් නැත, ධාන්‍යසම වූ ධනයෙක් නැත, ප්‍රඥාලෝකය සම වූ අවහාසයෙක් නැත, ජලාසයෝ වර්‍ෂාව පරම කොට ඇත්තාහ’ යි
මෙහි පූර්‍ව වූ යම් වචනයක් ඇද්ද එහි - මේ පටික්ඛිත්ත යි.
“මහණෙනි, මේ අකරණී තුනෙක, කවර තුනෙක යත් : කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යි. මහණෙනි, මේ තුන් අකරණීය යෝ” යි.
මේ පටික්ඛිත්ත යි.
(27) එහි අනුඤ්ඤත ද පටික්ඛිත්ත ද කවරෙ යැ :
54. පෘථිවිසම විස්තෘත ප්‍රඥා ඇති ගෞතමයන් වහන්ස මුබවහන්සේ පුළුවුස්මි, (අටතිස් අරමුණු විසින්) නොයෙක් කරුණු ඇති මාර්‍ගය ද ප්‍රකාශ කරනලද්දේය. මෙලොවැ නොයෙක් ජනසමූහයෝ කුමකින් බියපත් වූවාහු ද, කවර ධර්‍මයෙක්හි සිටියේ (මෙලොවින් යනුයේ) පරලොවට බිය නොවන්නේ දැ’ යි.
55. වචනය ද සිත ද මනාකොට පිහිටුවා කයින් පව් නොකරන බොහෝ ආහාරපාන ඇති කුලගෙයි වසන ශ්‍රද්ධා ඇති මෘදු වූ දානසංවිභාග ඇති ප්‍රතිග්‍රාහකයන්ගේ බස් දන්නා මේ සතරදහම්හි සිටි පුද්ගල ධර්‍මයෙහි සිටියේ පරලොවට බිය නොවන්නේ යයි.
එහි “...” වාචං මනං ච පණිධාය සම්මා “... යමක් වදාළසේක් ද, මේ ‘අනුඤ්ඤත’ යැ, කායේන පාපානි අකුබ්බමානෝ “...” යන මේ ‘පටික්ඛිත්ත’ යැ, “බව්හන්නපානං ඝරමාවසන්තෝ සද‍්ධො මුදු සංවිභාගී වදඤ්ඤෑ එතෙසු ධම්මේසු ඨිතො චතුසු ධම්මේ ඨිතො පරලෝකං න භායෙ” යන මේ අනුඤ්ඤත යැ.
මේ අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වෙයි.
56. සියලු අකුසල් නොකිරීමද චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද (රහත්මගින්) ස්වකීය චිත්තසන්තානය පවිත්‍ර කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනායි.
එහි “...” සබ්බපාපස්ස අකරණං “...” යි යමක් වදාළසේක් ද මේ ‘පටික්ඛිත්ත යැ. කුසලස්ස උපසම්පදා යි යමක් වදාළසේක් ද මේ අනුඤ්ඤාත යැ.
මේ අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වෙයි.
“දේවේන්‍ද්‍රය, මම කායසමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි, දේවේන්‍ද්‍රය, මම වාක්සමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි, දේවේන්‍ද්‍රය, මම පර්‍ය්‍යෙෂණය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි.
“දේවේන්‍ද්‍රය, මම කායසමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමියි මෙසේ තෙල කියනලද, තෙල කුමක් සඳහා කියනලද ද යත් : යම්බඳු කාය සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද මෙබඳු කායසමාචාරය නො සෙවියැයුත්තේ යැ, එහි යම් කායසමාචාරයක් ‘මේ කායසමාචාරය සෙවුනා මට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති’ යි දන්නේ ද, මෙබඳු වූ කායසමාචාරය සෙවියැ යුත්තේ යැ. ‘දේවේන්‍ද්‍රය, මම කායසමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ යමක් කියනලද ද මෙය තෙල කරුණ සඳහා කියනලද්දේය. වාක්සමාචාරය ...
දේවේන්‍ද්‍රය, මම පර්‍ය්‍යෙෂණය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ තෙල කියනලද, තෙල කුමක් සඳහා කියනලද යැ යත් : ‘යම්බඳු පර්‍ය්‍යෙෂණයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු පර්‍ය්‍යෙෂණය නො සෙවියැයුතු යැ. එහි යම් පර්‍ය්‍යෙෂණයක් සෙවුනාහට ‘මේ පර්‍ය්‍යෙෂණය සෙවුනා මට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති’ යි, දන්නේ ද, මෙබඳු පර්‍ය්‍යෙෂණය සෙවියැයුතු යැ. දේවේන්‍ද්‍රය, මම පර්‍ය්‍යෙෂණය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ යමක් කියනලද ද මෙය තෙල කරුණ සඳහා කියන ලදි.
ඒ දේශනායෙහි “සේවිතබ්බම්පි” යි යමක් වදාළ සේක් ද මේ “අනුඤ්ඤාත” යැ. ‘න සෙවිතබ්බං’ යි යමක් වදාළසේක් ද මේ ‘පටික්ඛිත්ත’ යැ.
මේ අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වේ.
(28) ඒ ශාසනපට්ඨානයෙහි ථව සූත්‍ර කවරෙ යැ :
57. ජඞ්ගමාදි මාර්‍ගයන් අතුරෙන් අෂ්ටාඞ්ගික ආර්‍ය්‍යමාර්‍ගය උතුම් වෙයි, සත්‍යයන් අතුරෙන් දුක්ඛාදි (ආර්‍ය්‍යසත්‍යප්‍රකාශක) සතර පදය උතුම් වෙයි, ධර්‍මයන් අතුරෙන් නිර්‍වාණසංඛ්‍යාත විරාගය උතුම් වෙයි, දේවමනුෂ්‍යාදි දෙපාඇත්තවුන් අතුරෙන් පසැස්ඇති තථාගතයෝ උතුම් වෙත්.
මේ ථව (ස්තව) දේශනා යැ.
“මහණෙනි, මේ අග්‍ර (උත්තම) යෝ තිදෙනෙක් වෙති, කවර තිදෙනෙක යත් : මහණෙනි, අපාද වූ ද්වීපාද හෝ චතුෂ්පාද හෝ බහුප්පාද හෝ රූපී හෝ අරූපී හෝ සංඥී හෝ අසංඥී හෝ නෛවසංඥීනාසංඥී වූ හෝ යම් පමණ සත්ත්‍ව කෙනෙක් ඇද්ද, ඒ සත්ත්‍වයන් අතුරෙන් යම් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වෙද්ද ඒ තථාගතයෝ ගුණයෙන් අග්‍ර වූහ’ යි කියනුලැබෙති, ශ්‍රේෂ්ඨ වූහ’ යි ප්‍රවර වූහ’ යි කියනුලැබෙත්.
මහණෙනි, සංඛත (ප්‍රත්‍යයෙන් කරනලද) වූ හෝ අසංඛත වූ හෝ ධර්‍මයන්ගේ යම් පමණ ප්‍රඥප්තියක් ඇද්ද, ඒ ධර්‍මයන් අතුරෙන් යම් රාගමදාදිය නිර්මද කරන ... නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණයෙක් වේ ද, ඒ විරාග (නිර්‍වාණ) ධර්‍මය අග්‍ර යයි කියනු ලැබෙයි, ශ්‍රේෂ්ඨ යයි ප්‍රවර යයි කියනුලැබේ.
මහණෙනි, යම් පමණ සමූහයන්ගේ ප්‍රඥප්තියක් ගණයන්ගේ ප්‍රඥප්තියක් මහාජන සන්නිපාතයන්ගේ ප්‍රඥප්තියක් ඇද්ද, ඒ සමූහයන් අතුරෙන් අෂ්ට පුරුෂපුද්ගල වූ ... ලොවට අනුත්තර පින්කෙත්වූ යම් පුරුෂයුගල සතරක් ඇද්ද, ඒ තථාගතශ්‍රාවක සංඝඅග්‍ර යයි කියනුලැබෙයි, ශ්‍රේෂ්ඨ යයි ප්‍රවර යයි කියනුලැබේ යි.
58. සියලු ලෝකයා කෙරෙහි උත්තරීතර වූ ශාස්තෲන් වහන්සේ ද අනවද්‍ය වූ (ප්‍රතිපක්‍ෂ රාගාදීන් විසින් සියලු තීර්‍ත්‍ථකයන් විසින් හෝ) අක්‍ෂත වූ ධර්‍මය ද නරසිංහ වූ තථාගතයන්ගේ ශ්‍රාවක සංඝයා ද යන ඒ රත්නත්‍රය (සියලු රත්නයන් කෙරෙන්) විශේෂ වේ.
59. ශ්‍රමණාඛ්‍ය පද්මසමූහය වූ ආර්‍ය්‍යගණයා ද විඥයන් විසින් සත්කාර කරනලද නවලෝකෝත්තර ධර්‍ම වරය ද නරෝත්තම වූ පුරුෂදම්‍යයන් දමනය කරන බුදුහු ද යන ඒ රත්නත්‍රය ලොවට උත්තරීතර වේ.
60. අප්‍රතිසම වූ ශාස්තෲන් වහන්සේ ද රාගපරිදාහාදි දාහ රහිත වූ සියලු ධර්‍මය ද ආර්‍ය්‍ය වූ උත්තම ගණයා ද යන ඒ රත්නත්‍රය ඒකාන්තයෙන් විශේෂ වේ.
61. සත්‍ය වූ (අවිතථ වූ) සංඥා ඇති නිර්‍භය වූ සියලු ලොව තමන් ගුණයෙන් අභිභවා සිටි ජිතපඤ්චමාරයන් වහන්සේ ද සත්‍ය වූ සපර්‍ය්‍යාප්තික නවලෝකොත්තර ධර්‍මය ද ඒ ධර්‍මයට උත්තරිතර වූ අන් ධර්‍මයකුදු නැති, විඥයන් විසින් නිති පුදනලද ආර්‍ය්‍යසංඝයා ද යන ඒ රත්නත්‍රය ලොවට උතුම් වේ.
62. ජාතිය පිළිබඳ අත්‍යන්තක්‍ෂය සංඛ්‍යාත අන්තය (නිර්‍වාණය) ප්‍රත්‍යක්‍ෂ කළ ඒ ඒ හිතයෙන් සත්ත්‍වයන්ට අනුකම්පා කරන සර්‍වඥයන් වහන්සේ ඒකායන මාර්‍ගය (ස්වයම්භූඥානයෙන්) දන්නාසේක, පෙර කාමෝඝාදිය තරණය කළ යම් කෙනෙක් වෙත්ද ඔහු මේ මගින් තරණය කළාහුය, මතු තරණය කරන්නාහුය, දැනුදු තරණය කෙරෙත්.
63. අත්‍යන්තවිශුද්ධිය අපේක්‍ෂා කරන සත්ත්‍වයෝ දෙවිමිනිසුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ තාදෘශ වූ ඒ සර්‍වඥයන් නමස්කාර කෙරෙත් යයි.
මේ ස්තව සූත්‍ර යි.
(මෙසේ දෙවැදෑරුම් ශාසනපට්ඨානය නානාසූත්‍රපද උදාහරණ කරමින් විභාග කොට මෙවිට සංකිලෙසභාගිය සූත්‍රාදිය හා සංසන්‍දනය කොට දක්වන සේක.)
ඒ ශාසනපට්ඨානයෙහි ‘ලෝකිය’ සූත්‍රය සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද යන සූත්‍ර දෙකින් දැක්වියැයුතු යැ. ‘ලෝකුත්තර’ සූත්‍රය දස්සනභාගිය ද භාවනාභාගිය ද (නිබ්බේධභාගිය සූත්‍රය මැ දෙපරිද්දෙකින් කියනලදි) අසෙක්ඛභාගිය ද යන තුන් සූත්‍රයෙන් දැක්වියැයුතු යි. යම් සූත්‍රයෙකැ ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සංකිලෙසභාගිය හෝ වාසනාභාගිය හෝ යම් යම් පදයෙක් දක්නා ලැබේ ද, ඒ ඒ පදයෙන් ‘ලෝකිය’ යි දැක්වියැයුතු යැ. දස්සනභාගිය හෝ භාවනාභාගිය හෝ අසෙක්ඛභාගිය හෝ යම් යම් පදයෙක් දක්නා ලැබේ ද, ඒ ඒ පදයෙන් ‘ලෝකුත්තර’ යි දැක්වියැයුතු යි.
වාසනාභාගියසූත්‍රය සංකිලෙසභාගිය සූත්‍රයාගේ (සූත්‍රාර්‍ත්‍ථයාගේ යයි සෙයි) ප්‍රහාණය පිණිස වෙයි, දස්සනභාගිය සූත්‍රය වාසනාභාගිය සූත්‍රයාගේ ප්‍රහාණය පිණිස වෙයි, දස්සනභාගිය සූත්‍රය වාසනාභාගිය සූත්‍රයාගේ දුරැලීම පිණිස වෙයි, භාවනාභාගිය සූත්‍රය දස්සනභාගිය සූත්‍රයාගේ දුරැලීම පිණිස වෙයි, අසෙක්ඛභාගිය සූත්‍රය භාවනාභාගිය සූත්‍රයාගේ දුරැලීම පිණිස වෙයි, අසෙක්ඛභාගිය සූත්‍රය ඉහාත්මසුඛවිහරණය පිණිස වේ.
සත්ත්‍වාධිෂ්ඨාන වූ ලෝකුත්තර සූත්‍රය සවිසිපුද්ගලයන්ගෙන් දැක්වියැයුතු යැ. ඒ සවිසි යුද්ගලයෝ දස්සනභාගිය ද භාවනාභාගිය ද අසෙක්ඛභාගිය ද යන තුන් සූත්‍රයන්ගෙන් සමන්‍වෙෂණය කළයුත්තාහු ය.
එහි දස්සනභාගිය සූත්‍රය ඒකබීජී කොලංකොල සත්තක්ඛත්තුපරම සද්ධානුසාරී ධම්මානුසාරී ද පඤ්ච පුද්ගලයන්ගෙන් දැක්වියැයුතු යැ, දස්සනභාගිය සූත්‍රය මේ පඤ්ච පුද්ගලයන්ගෙන් දැක්වියැයුතු. භාවනාභාගිය සූත්‍රය දොළොස් පුද්ගල කෙනකුන්ගෙන් දැක්වියැයුතු. සකෘදාගාමිඵල පසක්කිරීමට පිළිපන්නේ යැ සකෘදාගාමි යැ අනාගාමීඵල පසක්කිරීමට පිළිපන්නේ යැ අනාගාමී යැ අන්තරාපරිනිබ්බායී යැ උපපච්ච පරිනිබ්බායී යැ අසඞ්ඛාරපරිනිබ්බායී යැ සසඞ්ඛාරපරිනිබ්බායී යැ උද්ධංසෝතඅකනිට්ඨගාමී යැ සද්ධාවිමුත්ත යැ දිට්ඨිප්පත්ත යැ කායසක්ඛී යැ යන මේ දොළොස් පුද්ගලයන්ගෙන් භාවනාභාගිය සූත්‍රය දැක්වියයුතු. අසෙක්ඛභාගිය සූත්‍රය පුද්ගලයන් නවදෙනකුන්ගෙන් දැක්වියැයුතු යැ. සද්ධාවිමුත්ත යැ පඤ්ඤාවිමුත්ත යැ සුඤ්ඤතවිමුත්ත යැ අනිමිත්තවිමුත්ත යැ අප්පණිහිතවිමුත්ත යැ උභතෝභාගවිමුත්ත යැ සමසීසි යැ පච්චේක බුද්ධ යැ සම්මාසම්බුද්ධ යැ යන මේ නවපුද්ගලයන්ගෙන් අසෙක්ඛභාගිය සූත්‍රය දැක්වියැ යුතු. මෙසේ සත්ත්‍වාධිෂ්ඨාන වූ ලෝකුත්තර සූත්‍රය මේ සවිසි පුද්ගලයන්ගෙන් දැක්වියැයුතු.
සත්ත්‍වාධිෂ්ඨාන වූ ලෝකිය සූත්‍රය එකුන්විසි පුද්ගල කෙනකුන්ගෙන් දැක්වියැ යුතු යැ : ඒ පුද්ගලයෝ චරිතයන්ගෙන් දක්වනලද්දාහු සමත්වෙෂණ කටයුත්තාහ : කිසිවෙක් රාගචරිතයෝ යැ කිසිවෙක් දෝසචරිතයෝ යැ කිසිවෙක් මෝහචරිතයෝ යැ කිසිවෙක් රාගචරිත ද දෝසචරිත ද වූහ, කිසිවෙක් රාගචරිත ද මෝහචරිත ද වූහ, කිසිවෙක් දෝසචරිත ද මෝහචරිත ද වූහ, කිසිවෙක් රාගචරිත ද දෝසචරිත ද මෝහචරිත ද වූහ. රාගමුඛයෙහි සිටි රාගචරිත යැ, රාගමුඛයෙහි සිටි (රාගාධික) දෝසචරිත යැ, රාගමුඛයෙහි සිටි මෝහචරිත යැ, රාගමුඛයෙහි සිටි රාග - දෝස - මෝහචරිත යැ. දෝසමුඛයෙහි සිටි දෝසචරිත යැ, දෝසමුඛයෙහි සිටි මෝහචරිත යැ, දෝසමුඛයෙහි සිටි රාගචරිත යැ, දෝසමුඛයෙහි සිටි රාග - දෝස - මෝහචරිත ය, මෝහමුඛයෙහි සිටි මෝහ චරිත යැ, මෝහමුඛයෙහි සිටි රාගචරිත යැ, මෝහමුඛයෙහි සිටි දෝසචරිත යැ, මෝහමුඛයෙහි සිටි රාග - දෝස - මෝහචරිත ඇත්තේ යයි සත්ත්‍වාධිෂ්ඨාන වූ ලෝකිය සූත්‍රය මේ එකුන්විසි පුද්ගලයන්ගෙන් දැක්වියැ යුතු.
වාසනාභාගිය (ලෝකිය සත්ත්‍වාධිෂ්ඨාන) සූත්‍රය සීලවන්තාදී පුද්ගලයන්ගේ වශයෙන් දැක්වියයුතු යැ. ඒ සිල්වත්හු පුද්ගලයෝ පස්දෙනෙකි : (සම්පත්තවිරති සංඛ්‍යාත) ප්‍රකෘති ශීල යැ, (පුද්ගලාධිෂ්ඨානයෙහි ඒ ඒ ශීලයෙන් යුත් පුද්ගලයා යි.) සමාදානශීල යැ, (කර්‍මඵලශ්‍රද්ධා රත්නත්‍රයෙහි ශ්‍රද්ධා යන) චිත්තප්‍රසාද යැ, ශමථ යැ, විදර්‍ශනා දැ’ යි වාසනාභාගිය සූත්‍රය මේ පස් පුඟුලන්ගෙන් දැක්වියැයුතු යැ. (ධර්‍මාධිෂ්ඨානසූත්‍රය ප්‍රකෘතිශීලාදි) මේ පඤ්චධර්‍මයන්ගෙන් (දැක්වියැයුතු.)
ධර්‍මාධිෂ්ඨාන වූ ලෝකුත්තර සූත්‍රය දස්සනභාගිය භාවනාභාගිය අසෙක්ඛභාගිය ද යන තුන් සූත්‍රයන්ගෙන් දැක්වියැයුතු.
සත්ත්‍වාධිෂ්ඨාන ද ධර්‍මාධිෂ්ඨාන ද වූ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍රය (ලෝකිය ලෝකුත්තර) දෙකින් දැක්වියැයුතු. (යම් සූත්‍රයෙක ප්‍රඥාව ප්‍රකාශිත ද ඒ) ‘පඤ්ඤා’ පදයෙන් ‘ඤාණ’ සූත්‍රය දැක්වියැයුතු යැ, පඤ්ඤාඉන්‍ද්‍රිය යැ පඤ්ඤාබල යැ අධිපඤ්ඤා සික්ඛා යැ ධම්මවිචයසම්බොජඞ්ග යැ සම්මාදිට්ඨි යැ තීරණ යැ සන්තීරණ යැ ධම්මේඤාණ යැ අන්‍වයෙඤාණ යැ ඛයෙඤාණ යැ අනුප්පාදෙඤාණ යැ අනඤ්ඤාතඤ්ඤස්සාමිතිඉන්‍ද්‍රිය යැ අඤ්ඤිඉන්‍ද්‍රිය යැ අඤ්ඤතාවිඉන්‍ද්‍රිය යැ චක්ඛු යැ විජ්ජා යැ බුද්ධි යැ භූරි යැ මේධා යැ යන (පඤ්ඤාපරියාය) පදයෙන් ‘ඤාණ’ සූත්‍ර යි දැක්වියැයුතු යම් යම් පදයක් හෝ ලැබේ ද, පඤ්ඤාධිවචන වූ ඒ පදයෙන් ‘ඤාණ’ සූත්‍ර යයි දැක්වියැ යුතු.
‘ඤෙය්‍ය’ සූත්‍රය අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ආධ්‍යාත්මික බාහිර වූ හීනප්‍රණීත වූ දූරසන්තික වූ සඞ්ඛතාසඞ්ඛත වූ කුසලාකුසලාබ්‍යාකත වූ ෂඩාලම්බනයෙන් සැකෙවින් හෝ (විස්තරයෙන් හෝ) දැක්වියැයුතු. ඤාණ ද ඤෙය්‍ය ද සූත්‍රය ඒ උභයලක්‍ෂණයෙන් දැක්වියැයුතු යැ, ප්‍රඥාව ද ප්‍රඥාන්තරයකට ආලම්බන වූවා ‘ඤෙය්‍ය’ නම් වේ. යම් කිසි ඤාණයට විෂය වූ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ රූපාදියක් ඇද්ද ඒ සියල්ල සඞ්ඛතභාවයෙන් ද අසඞ්ඛතභාවයෙන් ද ‘ඤෙය්‍ය’ යි දැක්වියැයුතු.