“සියලු සංස්කාරයෝ දුඃඛයහ යි ... සියලු ධර්‍මයෝ අනාත්මයහ” යි යන මේ ඤෙය්‍ය යැ.
යම් කලෙක විදර්‍ශනාප්‍රඥායෙන් දකී ද “යන මේ ඤාණ යැ.
“එකල්හි ස්කන්‍ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි, තෙල විශුද්ධියට මාර්‍ග වෙයි “යන මේ ඤාණ ද ඤෙය්‍ය ද වේ.
“සොණය, යම්කිසි මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි අනිත්‍ය වූ දුක් වූ විපරිණාම ස්වභාව වූ රූපයෙන් යුක්ත ව ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ හෝ දකිත් ද : ‘මම් සදෘශ වෙමි’ හෝ දකිත් ද, ‘මම් හීන වෙමි’ හෝ දකිත් ද, මෙහි යථා භූතව නොදැක්ම විනා අන් කවර කරුණෙක් ඇද්ද, අනිත්‍ය වූ වේදනායෙන් ... අනිත්‍ය වූ සංඥායෙන් ... අනිත්‍ය වූ සංස්කාරයන්ගෙන් ... අනිත්‍ය වූ දුක්වූ විපරිණාම ස්වභාව වූ විඥානයෙන් යුක්තව ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ හෝ දකිත් ද, ‘මම් සදෘශ වෙමි’ හෝ දකිත් ද, ‘මම් හීන වෙමි’ හෝ දකිත් ද, මෙහි යථාභූතව නො දැක්ම විනා අන් කවර කරුණෙක් ඇද්දැ” යි. මේ ඤෙය්‍ය යැ.
“සොණය, යම් කිසි මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේව’ යි අනිත්‍ය වූ දුක් වූ විපරිණාමස්වභාව වූ රූපයෙන් යුක්තව ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ කියාත් නො දකිත් ද ‘මම සදෘශයෙමි’ කියාත් නො දකිත් ද, ‘මම් හීන වෙමි’ කියාත් නො දකිත් ද, මෙහි අවිපරීතව දැක්ම විනා අන් කවර කරුණෙක් ඇද්ද, අනිත්‍ය වූ වේදනායෙන් ... අනිත්‍ය වූ සංඥාවෙන් ... අනිත්‍ය වූ සංස්කාරයන්ගෙන් ... අනිත්‍ය වූ දුක් වූ විපරිණාමස්වභාව වූ විඥානයෙන් යුක්ත ව ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ කියාත් නො දකිත් ද, ‘මම් සදෘශ වෙමි’ කියාත් නො දකිත් ද, ‘මම් හීන වෙමි’ කියාත් නො දකිත් ද, මෙහි ලා තතුසේ දැක්ම විනා අන් කවර කරුණෙක් ඇද්ද” යි. මේ ඤාණ යැ.
මේ දේශනාව ඤාණ ද ඤෙය්‍ය ද වේ.
(10) එහි ‘දස්සන’ කවරෙ යත් :
16. යම් කෙනෙක් ගම්භීර ප්‍රඥාඇති සර්‍වඥයන් වහන්සේ විසින් මොනොවට, දෙසනලද ආර්‍ය්‍යසත්‍යයන් මාර්‍ගඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කෙරෙත් ද, ඔහු (දිව්‍යරාජ්‍යාදියට පැමිණ) අතිශයින් ප්‍රමත්ත වෙත් නමුදු ඔවුහු අටවැනි භවයක් (පිළිසඳ විසින්) නොගනිත්, (සත්වැනි භවයෙහි විදසුන් වඩා රහත් වෙතී සේයි.)
මේ දස්සන යැ.
17. යම්සේ පොළොව තුළ බැසැගෙන සිටි ඉන්‍ද්‍රකීලය සතරදිගින් හමන සුළඟින් සොලවාලියැ නො හැකි වේ ද, යමෙක් චතුරාර්‍ය්‍යසත්‍යයන් ප්‍රඥායෙන් බැසැගෙන දකී ද ඒ උත්තම පුරුෂයා ඒ ඉන්‍ද්‍රකීල බඳු උපමා ඇත්තකු කොට කියමි.
මේ දස්සන යැ.
“මහණෙනි, සතර ස්‍රෝතාපත්ති - අඞ්ගයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක කැමැති වනුයේ තෙමේ මැ තමා පාළනකරන්නේ යැ : ‘ක්‍ෂීණ වූ නිරය ඇතියෙම් වෙමි, ක්‍ෂීණ වූ තිරශ්චීනයෝනි ඇතියෙමි, ක්‍ෂීණ වූ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂීණ වූ අපායදුර්‍ගති විනිපාත ඇතියෙමි, මම් සෝවන් වූයෙමි, (පෘථග්ජන) විරූපයෙහි නො වැටෙන සැහැවි ඇතියෙම්, (මාර්‍ගනියාමයෙන්) නියත වූයෙම්. (මතු මාර්‍ගත්‍රය සංඛ්‍යාත) සම්බෝධිය පරායන කොට ඇතියෙම් සත්වරක් පරම කොට දෙව්ලොව ද මිනිස්ලොව ද සන්‍ධාවන සංසරණ කොට දුක් කෙළවර කරන්නෙමි, කවර සතර අඟෙකින යත් : මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවකහට තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව නිවිෂ්ට වූවා පිහිටියා වැඩුනී හටගත් මුල් ඇත්තී මහණකු හෝ බමුණකු හෝ දෙවියකු හෝ මරකු හෝ බඹකු හෝ ලොවැ අන් කිසිවකු විසින් හෝ සහේතුක වැ උගුළුවාලියැ නො හැකි වෙයි. යළි මානමදාදි මද නිර්මර්දනය කරන ... නිරෝධ සංඛ්‍යාත යම් නිවනෙක් ඇද්ද, භාග්‍යවතුන් විසින් ඒ ධර්‍මය ස්වාඛ්‍යාත යැ සාංදෘෂ්ටික යැ අකාලික යැ ඒහිපස්සික යැ උපනයනයට සුදුසු යැ විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු යැයි ධර්‍මයෙහි නිෂ්ඨාවට ගියේ වෙයි. යළි ඔහුට ගිහි වූ ද පැවිදි වූ ද සබ්‍රහ්මචාරීහු ඉෂ්ට වූවාහු කාන්ත ප්‍රිය මනාප වූවාහු වෙත්. යළිදු ආර්‍ය්‍යකාන්ත වූ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාස වූ නිදාස වූ විඥයන් විසින් පසස්නාලද අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා ශීලයෙන් සමන්‍වාගත වේ. මහණෙනි, මේ සතර සෝතාපත්ති අඞ්ගයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක කැමැතිවනුයේ තෙමේ මැ තමා පාළකරන්නේ යැ : ක්‍ෂය වූ නිරය ඇතියෙමි, ක්‍ෂය වූ තිරිසන්යොන් ඇතියෙමි, ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂීණ වූ අපායදුර්‍ගති විනිපාත ඇතියෙමි, මම් සෝවන් වූයෙම් වෙමි, (පෘථග්ජනභාව සංඛ්‍යාත) විරූපයෙහි නො හෙනපියවි ඇතියෙම් (මාර්‍ගනියාමයෙන්) නියත වූයෙම් (මතු මාර්‍ගත්‍රය සංඛ්‍යාත) සම්බෝධිය පරායන කොට ඇතියෙම් සත්වරක් පරම කොට දෙව්ලොවැ ද මිනිස්ලොවැ ද භවයෙන් භවයට සංධාවන කොට පුනපුනා සංසරණ කොට දුක් කෙළවර කරන්නෙමි.”
මේ දස්සන යි.
(11) එහි භාවනා කවර යැ :
18. යම් ආර්‍ය්‍යපුද්ගලයක්හු විසින් ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ මොනොවට වඩනලද්දාහු ද, සියලු ලොවැ (උද්ධංභාගිය ඕරංභාගිය සංයෝජන දුරැලීම් වශයෙන්) ආධ්‍යාත්ම බාහිර වූ ද මෙලොව පරලොව ද ප්‍රතිවේධ කොට භාවිත සිත්ඇති දැමුණු ඉඳුරන් ඇති හෙතෙම මරණකාලය කැමැති වේ යයි. (මෙය සූත්‍රනිපාතඅටුවාව හා නොයෙදෙයි.)
මේ භාවනා යැ.
“මහණෙනි, මේ ධර්‍මකොට්ඨාසයෝ සතරදෙනෙකි, කවර සතරදෙනෙක යත් : අලෝභය හෝ අලෝභශීර්‍ෂයෙන් අධිගත ධ්‍යාන විදර්‍ශනා මාර්‍ග ඵල නිර්‍වාණ සංඛ්‍යාත අනභිධ්‍යා ධර්‍මපද යැ, බ්‍රහ්මවිහාරවශයෙන් අධිගත අව්‍යාපාද ධර්‍මපද යැ, දසානුස්සති ආදි විසින් අධිගත සම්මාසති ධර්‍මපද යැ, දසකසිණ ආනාපාන වශයෙන් අධිගත සම්මාසමාධි ධර්‍මපද යැ. මහණෙනි, මේ සතර ධර්‍මපදයෝ’ යි.
මේ භාවනා යි.
(12) එහි දස්සන ද භාවනා ද කවරෙ යැ :
19. (සිඳිනුයේ) පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් සිඳුනේ යැ, (දුරලනුයේ) පඤ්ච උද්ධංභාගිය සංයෝජනයන් දුරැලන්නේ යැ, (සංයෝජන දුරැලීම සඳහා) මතුයෙහි ශ්‍රද්ධාදී පඤ්චේන්‍ද්‍රියයන් වඩන්නේ යැ, රාගාදි පඤ්ච සංගයන් ඉක්මවාලූ මහණ චතුරෝඝය තරණය කෙළේයයි කියනු ලැබේ යි.
පඤ්ච ජින‍්දෙ පඤ්ච ජහෙ යන දස්සන යැ. පඤ්ච චුත්තරි භාවයෙ පඤ්ච සංගාතිගො භික්ඛු ඕඝතිණ්ණොති වුච්චති යන මේ භාවනා යැ.
මේ දේශනාව දස්සන ද භාවනා ද වෙයි.
“මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, කවර තිදෙනෙක යත් : පෙර අවබෝධ නොකළ ධර්‍මය දැනගනිමි පිළිපන්නහුට ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි උපන් ඉන්‍ද්‍රිය යැ, ඒ ධර්‍මයන් ම දන්නා අයුරින් ස්‍රොතාපත්තිඵලාදි සතැන්හි උපන් ඉන්‍ද්‍රිය යැ, අඤ්ඤාතාවීහුගේ අර්‍හත්ඵලධර්‍මයන්හි උපන් ඉන්‍ද්‍රිය යි.
මහණෙනි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කවරෙ යැ : මහණෙනි, මෙසස්නෙහි මහණ ප්‍රවේධ නොකළ දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ ප්‍රතිවේධය පිණිස කත්තුකම්‍යතා කුසලච්ඡන්‍දය උපදවයි වෑයම් කෙරෙයි වීර්‍ය්‍යාරම්භ කෙරෙයි සිත දැඩිකොට ගනී ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයාගේ ... දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයාගේ ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයාගේ ප්‍රතිවේධය පිණිස ඡන්‍දය උපදවයි වෑයම් කෙරෙයි වීර්‍ය්‍යාරම්භ කෙරෙයි සිත දැඩි කොට ගනී ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. මහණෙනි, මේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය’ යි.
මේ දස්සන යැ.
“මහණෙනි, අඤ්ඤින්‍ද්‍රිය කවරෙ යැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දුක යැයි අවිපරීතව දැනගනී, මේ දුක්ඛසමුදයයැයි අවිපරීතව දැනගනී, මේ දුක්ඛනිරෝධයැයි අවිපරීතව දැනගනී, මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යයි අවිපරීතව දැනගනී. මහණෙනි, මේ අඤ්ඤින්‍ද්‍රිය යැ.”
“මහණෙනි, අඤ්ඤාතාවින්‍ද්‍රිය කවරෙ යැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කෙරෙයි, ජාතිය ක්‍ෂය වූ යැ, මඟබඹසර වැසනිමවනලද, කරණී කරනලද, ඉත්‍ථභාවය සඳහා අන් කටයුත්තෙක් නැතැ’ යි දැනගනී. මහණෙනි, මේ ‘අඤ්ඤාතාවින්‍ද්‍රිය’ යි.
මේ භාවනා යැ.”
මේ දේශනාව දස්සන ද භාවනා ද වේ.
(13) එහි සකවචන කවරෙ යැ :
20. සියලු අකුශලය නො ඉපැදවීම ද චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද රහත් මගින් ස්වකීය චිත්තසන්තානය පවිත්‍ර කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.
මේ සකවචන යැ.
“මහණෙනි, මේ බාලයාගේ බාලලක්‍ෂණයෝ බාලනිමිත්තයෝ බාලචරිතයෝ තිදෙනෙක් වෙති. යම් ලක්‍ෂණයෙකින් බාලයා ‘මේ බාලයෙකැ’ යි අන්‍යයෝ හැඳින ගනිත් ද, (එබඳු වූවාහුය.) කවර තුනෙක යත් : මහණෙනි, බාලයා නපුරු සිතිවිලි සිතනුයේ ද වෙයි, නපුරු බස් බණනුයේ ද වෙයි, නපුරුකම් කරනුයේ ද වෙයි. මහණෙනි, මේ තුන බාලයාගේ බාලලක්‍ෂණයෝ බාලනිමිත්තයෝ බාලඅපදානයෝ වෙත්.
මහණෙනි, මේ පණ්ඩිතයාගේ පණ්ඩිතලක්‍ෂණයෝ පණ්ඩිතනිමිත්තයෝ පණ්ඩිතචරිතයෝ තිදෙනෙක් වෙති. යම් ලකුණෙකින් පණ්ඩිතයා ‘මේ පණ්ඩිතයෙකැ’ යි අන්‍යයෝ දැනගනිත් ද, (එබඳු වූවාහුය.) කවර තුනෙක යත් : මහණෙනි, පණ්ඩිතයා මනාසිතුවිලි සිතනුයේ ද වෙයි, මනාබස් බණනුයේ ද වෙයි, සුකෘතක්‍රියා කරනුයේ ද වෙයි. මහණෙනි, මේ තුන පණ්ඩිතයාගේ පණ්ඩිතලක්‍ෂණයෝ පණ්ඩිතනිමිත්තයෝ පණ්ඩිතඅපදානයෝ වෙත්” යයි.
මේ සකවචන යි.
(14) එහි පරවචන කවරෙ යැ :
21. පෘථිවිය හා සම වූ විස්තෘත (පැතුරුණු) දැයෙක් නැත, පාතාලය හා සම වූ නිම්නයෙක් නො වේ. මේරුපර්‍වතය සම වූ උන්නත වස්තුයෙක් නැත, සක්විති රජු හා සදෘශ වූ උත්තම පුරුෂයෙක් නැති’ යි.
මේ පරවචන යැ.
“දේවේන්‍ද්‍රය සුභාෂිතයෙන් ජය වේව’ යි, වේපචිත්තිය සුභාෂිතයෙන් ජය වේව’ යි, වේපචිත්තිය ගාථාවක් කිය යි. ඉක්බිති මහණෙනි, වේපචිත්ති අසුරෙන්‍ද්‍ර මේ ගාථාව කී :
22. බාලයෝ වළකනුයෙක් නො වූයේ නම් මතුමතුයෙහි (බෙහෙවින්) විරුද්ධ වන්නාහ, එහෙයින් ප්‍රාඥතෙමේ දැඩි දඬුවමින් බාලයා වළහන්නේ යැ.
මහණෙනි, වේපචිත්ති අසුරෙන්‍ද්‍රයා විසින් ගාථාව කීකල්හි අසුරයෝ අභිනන්‍දනා කළහ, දෙවියෝ නො බැණ හුන්හ. ඉක්බිති, මහණෙනි, වේපචිත්ති අසුරෙන්‍ද්‍ර සක්දෙවිඳුට මෙසේ කී : දේවේන්‍ද්‍රය ගාථාවක් කිය’ යි, ඉක්බිති මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර මේ ගාථාව කී :
23. යමෙක් සතුරා කිපියහු දැන සිහිඇති වැ ඉවසා ද, මම් තෙල ඉවසීම මැ බාලයාගේ වැළැකීම යැයි සිතමි.
මහණෙනි සක්දෙවිඳු විසින් ගාථාව කී කල්හි දෙවියෝ අනුමෝදන් වූහ, අසුරයෝ නො බැණ හුන්හ, යළි මහණෙනි, සක්දෙවිඳු වේපචිත්ති අසුරිඳුට තෙල කී : ‘වේපචිත්තිය ගාථාවක් කිය’ යි. ඉක්බිති මහණෙනි, වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කී :
24. වාසවය, යම් කලෙක බාලතෙමේ ‘මෙතෙම මට බියපත්වැ ඉවසා යැ’ යි ඔහු ගෙන සිතා ද තෙල කරුණ මැ ඉවසීමෙහි දෝෂය කොට දකිමි. අඥානතෙමේ පැරැදැ පලායන ගවයකු මැඩගෙන යන ගවමුළක් සෙයින් ඉවසනුවහු බෙහෙවින් මැඩගෙන යයි.
තවද මහණෙනි, වේපචිත්ති අසුරිඳු විසින් ගාථාව කී කල්හි අසුරයෝ අනුමෝදන් වූහ. දෙවියෝ නොබැණ හුන්හ. ඉක්බිති මහණෙනි, වේපචිත්ති අසුරෙන්‍ද්‍ර සක්දෙවිඳුට තෙල කී : ‘දේවේන්‍ද්‍රය ගාථාවක් කිය’ යි. එකල මහණෙනි, සක්දෙවිඳු මේ ගාථාව කී :
25. ඒකාන්තයෙන් ‘මේතෙම මට බියෙන් ඉවසා’ යයි සිතාවා හෝ නොසිතා වා හෝ අර්‍ත්‍ථයෝ ස්වාර්‍ත්‍ථය පරම කොට ඇත්තාහ, (ඒ අර්‍ත්‍ථයන් කෙරෙහිදු) ක්‍ෂාන්තියට වඩා අධික වූ අර්‍ත්‍ථයෙක් නැති.
26. ඒකාන්තයෙන් යමෙක් බලවත් වූයේ දුබලයාහට ඉවසා ද එය පරම ක්‍ෂාන්තිය යයි (නුවණැතියෝ) කියති, දුර්‍වලයා නිරතුරු ඉවසයි.
27. අඥානබලය යමක්හුගේ බලය වේ ද, අබල වූ ඒ අඥානබලය බලයෙකැයි කියති, ධර්‍මයෙන් රක්‍ෂිත වූවහුගේ නොහොත් ධර්‍මය රක්නහුගේ (ක්‍ෂාන්ති) බලයට අභිභවා බණන්නෙක් නැති.
28. යමෙක් කිපියහුට පෙරළා කිපේ ද, ඒ කෝපය හේතු කොටගෙන ඔහුට මැ පාපය වෙයි, කිපියහුට පෙරළා නො කිපෙනුයේ දිනියැ නො හෙන සංග්‍රාමය දිනයි.
29. යමෙක් මෙරමා කිපියහු දැන සිහි ඇතිවැ ඉවසා ද, හේ තමහට ද පරහට ද යන දෙපක්‍ෂයට මැ අර්‍ත්‍ථය සිදුකෙරෙයි.
30. යම් කෙනෙක් ධර්‍මයෙහි නිපුණ නොවෙත් ද, ඒ අඳබල් ජනයෝ තමහට ද පරහට ද යන දෙපක්‍ෂයට මැ වැඩ සිදුකරන්නහු බාලයෙකැ’ යි සිතත් යයි.
මහණෙනි, සක්දෙවිඳුන් විසින් ගාථාවන් කීකල්හි දෙවියෝ අනුමෝදන් වූහ, අසුරයෝ තුෂ්ණිම්භූත වූහ’ යි.
මේ පරවචන යි.
(15) එහි සකවචන ද පරවචන ද කවරෙ යැ :
“කෙලෙස් බහුල පුද්ගලයන් අනුව හික්මෙන රාගාදිකෙලෙසින් ආතුරවූවහුට ලැබූ (මෙකල වළඳනා) යම් කාමෝපකරණයෙක් ඇද්ද මතු ලැබියයුතු යම් කාමොපකරණයෙකුත් ඇද්ද තෙල උභය කාමෝපකරණය රාගරජස් ආදීන් අවතීර්‍ණ යැ. සමාදානය කළ ශීලව්‍රතාදිය සාරවශයෙන් ගත් යම් කෙනෙක් ශීලය ව්‍රතය ආජීවය මෛථුනවිරතිය යන මේ සංසාරශුද්ධිය’ යි සාරහෙයින් ගත්තාහු වෙත් ද, මේ එක් අන්තයෙක. යම් කෙනෙක් කාමයන් සේවනයෙහි දෝෂයක් නැතැ’ යි මෙසේ කියන්නාහු මෙසේ ලබ්ධි ඇත්තාහු වෙත් ද, මේ දෙවැනි අන්තය යැ. තෙල උභයාන්තයෝ (මතුමත්තෙහි ජරාමරණයෙන්) කටසි (තෘෂ්ණ අවිද්‍යා) වඩනාහුය, කටසීහු දෘෂ්ටිය වඩත්. තෙල උභයාන්තයන් නො දැන ඇතැම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් ඇලෙති, ඇතැම් කෙනෙක් අතිධාවනය කෙරෙත්” යයි.
මේ පරවචන යැ.
යම් ආර්‍ය්‍යපුද්ගල කෙනෙක් ඒ උභයාන්තයන් විශිෂ්ටඥානයෙන් දැන ඒ උභයාන්තයෙහි නො වැටුණාහු වෙත් ද ඔවුහු (තෘෂ්ණාදෘෂ්ටිමාන වශයෙන්) නො ද සිතත්. (අනුපාදාපරිනිර්‍වාණයෙන් පිරිනිවි) ඔවුනට (මරණින් මතු ඇතැයි) පැනැවීමට කර්‍මාදී වර්‍තයෙක් නැතැ’ යි.
මේ සකවචන යැ.
මේ උදානය සකවචන ද පරවචන ද වේ.
“පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ : ‘වහන්ස, එකලා වැ විවේකී වැ හුන් මට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන : කවර කෙනකුන්ට ආත්මය ප්‍රිය ද, කවර කෙනකුන්ට ආත්මය අප්‍රිය දැ’ යි. වහන්ස, එසේ සිතන මට මේ සිත විය : ‘යම් කෙනෙක් කයින් දුසිරිත කෙරෙත් ද බසින් දුසිරිත කෙරෙත් ද සිතින් දුසිරිත කෙරෙත් ද, ඔවුනට ආත්මය අප්‍රිය යැ, ඔවුහු ‘අපට ආත්මය ප්‍රිය යැ’ යි මෙසේ කියතුදු වැලි ඔවුනට ආත්මය අප්‍රිය යැ, එ කවර හෙයි නැ : සතුරෙක් සතුරාට යමක් මැ කෙරේ ද, එය ඔවුහු තුමූ මැ තමහට කෙරෙති. එහෙයින් ඔවුනට ආත්මය අප්‍රිය යැ, තවද යම් කිසි කෙනෙක් ක් සුචරිතය කෙරෙත් ද බසින් සුචරිතය කෙරෙත් ද සිතින් සුචරිතය කෙරෙත් ද, ඔවුනට ආත්මය ප්‍රිය යැ, ඔවුහු අපට ආත්මය අප්‍රිය යැ’ යි මෙසේ කියන්නාහු නමුදු වැලි ඔවුනට ආත්මය ප්‍රිය යැ, ඒ කවර හෙයිනැ : මිතුරෙක් මිතුරකුට යමක් මැ කෙරේ ද එය ඔවුහු තුමූ මැ තමහට කෙරෙති. එහෙයින් ඔවුනට ආත්මය ප්‍රිය වේ” යයි.
“මහරජ, තෙල කරුණ එසේ මැ ය, මහරජ තෙල එසේ මැ ය, මහරජ, යම්කෙනෙක් කයින් දුසිරිත කෙරෙත් ද වචනයෙන් දුසිරිත කෙරෙත් ද සිතින් දුසිරිත කෙරෙත් ද, ඔවුනට ආත්මය අප්‍රිය යැ, ඔවුහු ‘අපට ආත්මය ප්‍රිය යැ’ යි කියන්නාහු නමුදු වැලි ඔවුනට ආත්මය අප්‍රිය යැ, එ කවර හෙයිනැ : මහරජ, සතුරෙක් සතුරකුට යමක් මැ කෙරේ ද, එය ඔවුහු තුමූ මැ තමහට කෙරෙති, එහෙයින් ඔවුනට ආත්මය අප්‍රිය වේ. තවද මහරජ, යම් කෙනෙක් කයින් සුසිරිත කෙරෙත් ද බසින් සුසිරිත කෙරෙත් ද සිතින් සුසිරිත කෙරෙත් ද, ඔවුනට ආත්මය ප්‍රිය යැ, ඔවුහු ‘අපට ආත්මය අප්‍රිය යැ’ යි මෙසේ කියන්නාහු නමුදු වැලි ඔවුනට ආත්මය ප්‍රිය යැ, එ කවර හෙයිනැ : මහරජ, මිතුරෙක් මිතුරකුට යමක් මැ කරන්නේ ද, එය ඔවුහු තුමූ මැ තමහට කෙරෙති. එහෙයින් ඔවුනට ආත්මය ප්‍රිය වේ” යයි. බුදුහු මේ වදාළහ, මේ වදාරා යළි සුගත වූ ශාස්තෲන් වහන්සේ තෙල වදාළසේක :
31. ඉදින් ආත්මය තමහට ප්‍රිය යයි දන්නේ නම්, ඒ ආත්මය පාපය හා නො යොදන්නේ යැ, දුෂ්කෘත කරන්නහුට (තමා රිසියෙන) ඒ සුවය නො මැ සුලභ වේ.
32. මරණයෙන් මඩනාලද මනුෂ්‍ය ආත්මභාවය හරනාවූ ඔහුට කුමක් නම් තමා අයත් වේ ද, කුමක් හැරැගෙන පරලොවට යේ ද, තමා නොහැර යන සෙවණැල්ල සෙයින් කුමක් ඔහු අනුව යන්නේ වේ ද -
33. මේ ලොවැ සත්ත්‍වයා පින ද පව ද යන දෙවැදෑරුම් වූ යම් කර්‍මයක් රැස්කෙරේ ද, එය මැ ඔහුට තමා අයත් වෙයි, ඒ කර්‍මය ගෙන පරලොව යෙයි, ඔහුගේ ඒ කර්‍මය තමා නොහැර යන සෙවණැල්ල සෙයින් අනුව යන්නේ වේ.
34. එහෙයින් පරලොවැ විපාකඵලය රැස්කරනුයේ කුසලය කරන්නේ යැ, සත්ත්‍වයන්ට පරලොවැ දී පුණ්‍යයෝ පිහිට වෙත් යයි.
මේ සූත්‍රය පරවචන යැ, අනුගීතිය සකවචනයි.
මේ සකවචන ද පරවචන ද වේ.
(16) එහි විස්සජ්ජනීය කවරෙ යත් :
ප්‍රශ්නයක් විචාළකල්හි ‘මෙය අභිඥෙය යැ මෙය පරිඥේය යැ මෙයප්‍රහ්‍යාතව්‍ය යැ මෙය භාවිතව්‍ය යැ මෙය ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ මේ කුශලාකුශලධර්‍මයෝ මෙසේ රැස් කරනලද්දාහු (ඉෂ්ට හෝ අනිෂ්ට හෝ) මේ විපාකඵලය උපදවති, මෙසේ රැස්කරනලද ඒ කර්‍මයන්ගේ මේ අර්‍ත්‍ථ යැ’ යි.
මේ විස්සජ්ජනීය වෙයි.
‘භාග්‍යවත් බුදුහු උදාර වූහ’ යි (විචාළ කල්හි) බුදුරදුන්ගේ උදාරබව ද ධර්‍මය ස්වාක්ඛාත බව ද සඞ්ඝයාගේ සුප්‍රතිපත්තිය ද ඒකාන්තයෙන් මැ දක්වන්නේ යැ, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි ද සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි ද සියලු ධර්‍මයෝ අනාත්මයහ’ යි ද ඒකාන්තයෙන් මැ ප්‍රකාශ කරන්නේ යැ, මෙබඳු ස්වභාව ඇති යම් අනික් පැනයකුදු විසඳන්නේ යි.
මේ විස්සජ්ජනීය යි.
(17) එහි අවිස්සජ්ජනීය කවරෙ යැ :
35. නරදම්සැරිය, (සත්ත්‍වයන්ගේ හිතාර්‍ත්‍ථය) කැමැතිවන නුඹවහන්සේ විසින් (කරුණායෙන් සිහිල් වූ) සිතින් සිතනලද අර්‍ත්‍ථය දෙවියෝ ද මනුෂ්‍යයෝ ද සියලු අනවශේෂ ප්‍රාණීහු ද නො දන්නාහුය, ශාන්ත වූ අරණ සමාධිය සෙවුනා බුදුරදුන්ගේ චින්තිතය ‘භාග්‍යවත්හු කුමක් කැමැති වෙත් දැ’ යි අන්‍යයනට අවිසය වේ.
මේ අවිස්සජ්ජනීය වෙයි.
“බුදුහු ශීලස්කන්‍ධහේතුයෙන් සමාධිස්කන්‍ධයෙන් ප්‍රඥාස්කන්‍ධයෙන් විමුක්තිස්කන්‍ධයෙන් විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් කායවාක්සමාචාරය හේතු කොටගෙන අනුභාවයෙන් හිතෙසිතා (මෛත්‍රි) යෙන් කරුණායෙන් ඍද්ධිහේතුයෙන් මෙපමණ වන්නාහ’ යි.
මේ අවිස්සජ්ජනීය වෙයි.
“මහණෙනි, තථාගත අරහත් සම්‍යක් සම්බුද්ධයන්ගේ ලොවැ පහළවීමෙන් බුද්ධරත්නය ධර්‍මරත්නය සඞ්ඝරත්නය යන තුනුරුවන්ගේ පහළවීම වේ.”
‘රත්නත්‍රය (ගුණවිසින්) කිපමණ දැ’ යි මේ අවිස්සජ්ජනීය වෙයි, මේ බුද්ධවිසය අවිස්සජ්ජනීය වෙයි, පුද්ගලපරාවර දන්නාබව අවිස්සජ්ජනීය වේ.
“මහණෙනි, අවිද්‍යානීවරණ ඇති තණ්හාසංයෝජනයෙන් බැඳුණු (එහෙයින්) වරෙක නිරයට ද වරෙක තිරිසන්යෝනට ද වරෙක ප්‍රේතවිෂයට ද වරෙක අසුරනිකායට ද වරෙක දෙව්ලොවෙහි ද වරෙක මිනිස්ලොවැ ද භවයෙන් භවයට සන්‍ධාවන කරන පුනපුනා භවයෙහි සැරිසරන සත්ත්‍වයන්ගේ පුර්‍වකෝටිය නො පැනෙයි.”
‘පූර්‍වකෝටිය කවර දැ’ යි අවිස්සජ්ජනීය වෙයි, ‘නො පැනෙයි’ යනු ශ්‍රාවකයන්ගේ ඥානවෛකල්‍යය හෙයිනි. භාග්‍යවත් බුදුවරයන්ගේ දේශනාව අත්තූපනායිකා (තමන් වහන්සේ එළවා දැක්වියැයුතු) දේශනාව ද පරූපනායිකා දේශනාව දැ’ යි දෙවැදෑරුම් වෙයි, (එහි) න පඤ්ඤායති යනු (මෙරමා එළවාදක්වන) පරූපනායිකා දේශනා යි. “... “නත්‍ථි බුද්ධානං භගවන්තානං අප්පජානනා යනු අත්තූපනායිකා දේශනා යි. ඒ මෙසේ යැ : බුදුහු කෝකාලික භික්‍ෂු අරබයා අන්‍යතර මහණක්හට මෙසේ වදාළසේක :
“මහණ, යම්පරිදි විසිකිරියකින් යුත් කොසොල්රට වහරට පැමිණි තිලවාහයෙක් (තලගැලෙක්) වේ ද ... අබ්බුදනිරයක ආයු නො ගෙවේ මැ ය. අබ්බුදනිරයක ආයු නො ගෙවේ මැ ය. මහණ, අබ්බුදනිරය විස්සක් යම්සේ ද එක නිර්බ්බුදනිරය එබඳු වෙයි. මහණ, නිරබ්බුදනිරය විස්සක් යම්සේ ද, එක අබබනිරය එබඳු වෙයි. මහණ, අබබනිරය විස්සක් යම්බඳු ද එක අටටනිරය එබඳු වෙයි. මහණ, අටටනිරය විස්සක් යම්සේ ද එක අහහනිරය එබඳු වෙයි. මහණ, අහහනිරය විස්සක් යම්සේ ද එක කුමුදනිරය එබඳු වෙයි. මහණ, කුමුදනිරය විස්සක් යම්සේ ද එක සොගන්‍ධිකනිරය එබඳු වෙයි. මහණ, සොගන්‍ධිකනිරය විස්සක් යම්සේ ද එක උප්පලකනිරය එබඳු වෙයි. මහණ, උප්පලකනිරය විස්සක් යම්පරිදි ද එක පුණ්ඩරීක නිරය එසේ යැ, මහණ, පුණ්ඩරීකනිරය විස්සක් යම්සේ ද එක පදුමනිරය එසේ යැ. මහණ, කෝකාලික භික්‍ෂු සාරිපුත්තමොග්ගල්ලානයන් කෙරෙහි සිත ප්‍රදූෂ්‍ය කොට පදුම නිරයට පැමිණියේ” යයි.
තවද බුදුහු යම් කිසිවක් ‘මෙය අප්‍රමේය යැ අසංඛ්‍යෙය’ යි වදාළසේක් ද ඒ සියල්ල නො විසඳියයුතු වේ යයි.
මේ අවිස්සජ්ජනීය දේශනා යි.
(18) එහි කවරෙක් විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ යැ යත් :
යම් කලෙක ඒ උපක ආජීවක භාග්‍යවතුන් වහන්සේට ‘ඇවැත්නි ගෞතමයෙනි, කොහි යන්නවු දැ’ යි කීයේ ද, බුදුහු මෙසේ වදාළහ :
36. දහම්අමාබෙරය ගසන්නට, ලොවැ අනෙකක්හු විසින් පවත්වාලියැ නොහෙන දම්සක් පවත්වන්නට බරණැසට යන්නෙමි’ යි.
උපක ආජීවක මෙසේ කී : ‘ඇවැත්නි ගෞතමයෙනි, ‘ජින’ යි මැ පිළින කරවු දැ’ යි.
බුදුහු වදාළහ :
37. යම් කෙනෙක් ආස්‍රවක්‍ෂයට (නිවනට) පැමිණියාහු ද, මාබඳු වූවාහු ඒකාන්තයෙන් ජින නම් වෙති. මා විසින් අකුශලධර්‍මයෝ දිනනලදහ, උපකය එහෙයින් මම ජින වෙමි’ යි.
“කිසෙයින් ජින වේ ද? ‘කවර කරුණෙකින් ජින වේ දැ’ යි විස්සජ්ජනීය වෙයි. ‘කවරෙක් ජින වේ දැ’ යි අවිස්සජ්ජනීය යැ. ‘ආස්‍රවක්‍ෂය කවරේ ද? රාගක්‍ෂය ද්වේෂක්‍ෂය මෝහක්‍ෂය’ යි විස්සජ්ජනීය යැ. ‘ආස්‍රවක්‍ෂය කිපමණ වේ දැ’ යි අවිස්සජ්ජනීය යි.
මේ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ.
‘තථාගත (සත්ත්‍ව) ඇද්දැ’ යි විස්සජ්ජනීය යැ, ‘රූපය ඇද්දැ’ යි විස්සජ්ජනීය යැ, ‘රූපය තථාගත දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘තථාගත රූපවත් දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘රූපයෙහි හෝ තථාගත වේ දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘තථාගත කෙරෙහි රූපය වේ දැ’ යි අවිස්සජ්ජනීය යි. මෙසේ ‘වේදනා ඇද්ද ... සංඥා ... සංස්කාර ... විඥාන ඇද්දැ’ යි විස්සජ්ජනීය යැ, ‘විඥානය තථාගත දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘තථාගත විඥානවත් දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘විඥානයෙහි තථාගත ඇද්දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘තථාගත කෙරෙහි විඥානය ඇද්දැ’ යි අවිස්සජ්ජනීය යැ, රූපයෙන් අන් තැනක තථාගත වේ දැ යි අවිස්සජ්ජනීය යැ ‘වේදනායෙන් අන් තැනෙක ... සංඥායෙන් ... සංස්කාරයන්ගෙන් ... විඥානයෙන් අන් තැනෙක තථාගත වේ දැ’ යි අවිස්සජ්ජනීය යැ, මේ ඒ තථාගත රූප නැතියෙක් ද ? අවේදක අසංඥක අසංස්කාරක අවිඥානක දැ’ යි අවිස්සජ්ජනීය වේ.
මේ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ.
බුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් (මෙලොවින්) ච්‍යුත වන්නාවූ ද (පටිසන්‍ධි විසින් මෙලොවට) පැමිණෙන්නාවූ ද සත්ත්‍වයන් දක්නාසේක් ද, ... කම්වූ පරිදි පරලොව යන සත්ත්‍වයන් දන්නාසේක් දැ’ යි විස්සජ්ජනීය යැ, කවර සත්ත්‍වයෝ ද? තථාගත කවරේ දැ’ යි අවිස්සජ්ජනීය යැ.
මේ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ.
‘තථාගත ඇද්ද’ යනු විස්සජ්ජනීය යැ, ‘තථාගත මරණින් මතු ඇද්ද’ යනු අවිස්සජ්ජනීය යි.
මේ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ.
(19) එහි කම්ම කවරෙ යැ :
38, 39. (32, 33 ගාථාසන්න බලන්න).