Nettippakaraṇa

The Guide

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1311 segments

පෙන්වන කොටස් 901-1000 න් 1311

1. යමක්හුගේ සිත සෙල්පව්වක් සෙයින් සිටියේ අටලෝදහමින් නො සැලේ ද, රාගය ඉපදීමට කාරණ වූ ත්‍රෛභූමක ධර්‍මයන්හි නො ඇලුණේ ද, කෝප ඉපැද්මට කාරණ වූ ආඝාත වස්තු විෂයෙහි නො කිපේ ද, යමක්හුගේ සිත මෙසේ භාවිත ද ඔහු කරා දුකෙක් කොයිබින් එන්නේ දැයි.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
තවද ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ චාරිකා දහවැනි වෙය්‍යාකරණය කටයුත්තේ යැ යි.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
2. බාහිතපාප බ්‍රාහ්මණ වූ යමෙක් බැහැර කළ පාපධර්‍ම ඇත්තේ ද, (ක්‍රෝධ මාන විසින්) හු හුං කාර නැත්තේ ද, කෙලෙස් කසට නැත්තේ ද සංයම කළ සිත් ඇත්තේ ද මාර්‍ග ඥානයෙන් නිවනට (වේදාන්තයට) පැමිණි යේ ද වැස නිම වූ මඟබඹසර ඇත්තේ ද, යමක්හුගේ (සන්තානයෙහි) ලොවැ කිසි අරමුණෙක්හි දු (රාගාදි) උත්සදයෝ නැත් ද, හේ ධර්‍මයෙන් (මම බ්‍රාහ්මණයෙමි) බ්‍රහ්මවාදය කියන්නේ යයි.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
3. යම් කෙනෙක් ලාමක අකුශලධර්‍මයන් දුරු කොට හැමකල්හි සිහි ඇතිවැ හැසිරෙත් ද ක්‍ෂය කරන ලද සංයෝජන ඇති සත්‍යාවබෝධය කළ ඔවුහු ලොව ඒකාන්තයෙන් බ්‍රාහ්මණ වෙත්.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
4. යම් නිර්‍වාණධාතුයෙක්හි ආපෝධාතුවත් පඨවිධාතුවත් තේජෝධාතුවත් වායෝධාතුවත් නො පිහිටා ද, ඒ නිවනෙහි ග්‍රහතාරකාවෝ නො බබළති, හිරු ආලෝක නො කෙරෙයි, එහි සඳ නො බබළයි එහි අඳුරෙක් නැති.
5. යම් කලෙක මුනි වූ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තමා විසින් ආත්මප්‍රත්‍යක්‍ෂ වූ මෝන සංඛ්‍යාත මාර්‍ගඥානයෙන් (නිර්‍වාණය) අවබෝධ කෙළේ ද, එකල්හි රූපධර්‍මයෙන් ද අරූපධර්‍මයෙන් ද සුවදුක් දෙකින්ද වෙසෙසින් මිදේ යයි.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
6. යම් කලෙක ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ ස්වකීය (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන්හි පරිඥාභිසමය වශයෙන් (නොහොත් ශීලාදී ධර්‍මයන්හි පාරිපූරී වශයෙන්) පාරයට ගියේ වේ ද, එකල්හි තෙල පිශාචයා ද, (තා කියනලද) පක්කුලකරණය ද ඉක්මැ සිටී යයි.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
7. (තමා සමීපයට) එන තෙනැත්තිය සිතින් නොපිළිගනී, පෙරළායන තෙනැත්තියට ශෝක නො කෙරෙයි. (රාගාදි පඤ්ච) සඞ්ගයෙන් මිදුණු ඒ සඞ්ගාමජි මහණ බ්‍රාහ්මණ යැයි මම් කියමි යි.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
8. මේ ගයාතීර්‍ත්‍ථයෙහි බොහෝ ජන තෙමේ ස්නානය කෙරෙයි, එහෙත් දියෙහි ගැලීම් ආදීන් (පාපමලයෙන්) ශුද්ධවීමෙක් නැති. යමක්හු කෙරෙහි පරමාර්‍ත්‍ථසත්‍යයත් මාර්‍ගඵලධර්‍මයත් ඇද්ද, හේ පවිත්‍ර වූයේ වෙයි. හේ බ්‍රාහ්මණ ද වේ යයි.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
9. සම්‍යක්ප්‍රධානවිර්‍ය්‍ය ඇති ධ්‍යාන කරන ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණහට යම් ඇසිල්ලෙක බෝධිපාක්‍ෂිකධර්‍මයෝ පහළවෙත් ද, එකල්හි අන්තරීක්‍ෂය ආලෝක කරමින් සිටුනා හිරු සෙයින් දස කෙලෙස්මරසෙන් විධ්වංසන කෙරෙමින් සිටී යයි.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
10. සන්හුන් ඉඳුරන් ඇති ත්‍රිවිද්‍යාවට පැමිණි අපරිහානස්වභාව ඇතිවැ ඉරියව් පවත්වන්නහු බලව, සියලු කාමාදි යෝගයන් ඉක්මවාලූ පාංශුකූල චීවරධර වූ (ඒ ක්‍ෂීණාස්‍රව) රාගාදි කිඤ්චන රහිත ව වෙසෙයි.
11. උදාර වූ බොහෝ දේවතාවෝ බඹවිමනට එලඹ පුරුෂාජානේය වූ ජාතිබලය ප්‍රතිෂේධ කළ ඒ ක්‍ෂීණාස්‍රවයා පහන්සිත් ඇත්තාහු කායාදි තුන්දොරින් නමස්කාර කෙරෙත්.
12. තෙපි කවර අරමුණක් නිසා ධ්‍යාන කරහු දැ’ යි තොපගේ ඒ ධ්‍යානාලම්බනය නොදනුම්හ, පුරුෂාජානේයය තොපට නමස්කාර වේවා, පුරුෂෝත්තමය තොපට නමස්කාර වේවා’ යි.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
13. ඒකාන්තයෙන් සහාය වූ මේ භික්‍ෂූහු බොහෝකලක් සමවූ සම්මාදිට්ඨි ආදි ලබ්ධි ඇත්තාහු යැ, එහෙයින් බුදුරදුන් විසින් ප්‍රවිදිත වූ සද්ධර්‍මයෙහි ඔවුන්ගේ ප්‍රතිපත්ති ආදි සද්ධර්‍මය සම වේ.
14. කප්පින තෙරුන් විසින් ආර්‍ය්‍යන් විසින් ප්‍රවිදිත වූ ධර්‍මයෙහි මොනොවට හික්මවනලද්දාහු සේනාසහිත මරහු දිනා අන්තිම ශරීරය ධරත් යයි.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
15. සියලු ක්ලේශග්‍රන්‍ථයන් මුදාලන්නා වූ මේ නිවන ලිහිල්වැ වීර්‍ය්‍යය කොට නොලැබියැ හැක්ක, මේ නිවන අල්ප වූ ශක්තියෙන් නොලැබියැ හැක්ක.
16. මේ තරුණ මහණෙක, මේ උතුම් පුරුෂයෙක, හේ සෙන් සහිත මරු දිනා අන්තිම ශරීරය ධරා යයි.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
17. දුර්වර්‍ණ වූ රූක්‍ෂ වූ සිවුරුඇති හැමකල්හි ස්මෘතිමත් වූ මෝඝරාජ ක්‍ෂීණාස්‍රව වූයේ විගත සංයෝජන ඇතියේ සිවුමඟින් කළ කිස ඇතියේ ආස්‍රව රහිත වූයේ යැ.
18. ත්‍රිවිද්‍යා ඇතියේ ලැබූ ඍද්ධි ඇත්තේ ද චේතෝපරියඤාණයෙහි නිපුණවූයේ ද වෙයි, හේ සෙන් සහිත මරු දිනා අන්තිම දේහය ධරා යයි.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
“මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ රූපයාගේ නිර්වේද (විදර්‍ශනා) යෙන් නො ඇලීමෙන් නිරුද්ධ කිරීමෙන් නො ගැනීමෙන් (සමුච්ඡේදවිමුත්තියෙන්) මිදුණාහු ‘සම්බුද්ධ’ යි කියනු ලැබෙති. මහණෙනි, මහණ ද (විදර්‍ශනා වශයෙන්) පඤ්ඤාවිමුත්ත වූයේ රූපයාගේ නිබ්බිදායෙන් විරාගයෙන් නිරෝධයෙන් ග්‍රහණය නො කොට විමුක්ත වූයේ ‘පඤ්ඤාවිමුත්ත’ යි කියනුලැබේ.
මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ නිබ්බිදායෙන් විරාගයෙන් නිරෝධයෙන් ග්‍රහණය නො කොට විමුක්ත වූවාහු ‘සම්මාසම්බුද්ධ’ යි කියනු ලැබෙති. මහණෙනි, මහණ ද ප්‍රඥාවිමුක්ත වූයේ ... විඥානයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරුද්ධ කිරීමෙන් (නිත්‍යාදි වශයෙන්) ග්‍රහණය නො කොට කෙලෙසුන් කෙරෙන් මිදුණේ ‘පඤ්ඤාවිමුක්ත’ යි කියනුලැබේ.
මහණෙනි, එහි ලා පඤ්ඤාවිමුත්ත මහණහු හා තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ විශේෂය කවරෙ යැ අධිකප්‍රයෝගය කවරෙ යැ නානාකරණය කවරෙ යැ’ යි? වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මූල කොට ඇත්තාහ ... මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ නූපන් ආර්‍ය්‍යමාර්‍ගය උපදවන්නාහ, අසංජාත මාර්‍ගය ජනනය කරන්නාහ, අනෙකක්හු විසින් ප්‍රකාශ නොකළ මාර්‍ගය ප්‍රකාශ කරන්නාහ, මාර්‍ගඥයහ මාර්‍ගය ප්‍රකට කරනුවහ මාර්‍ගයෙහි නිපුණයහ. තවද මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ මාර්‍ගය අනුව යන්නාහු පසුව යෙදුණාහු වාස කෙරෙත්. මහණෙනි, පඤ්ඤාවිමුත්ත මහණහු හා තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ මේ වූකලි විශේෂ යැ මේ අධිකප්‍රයෝග යැ මේ නානාකරණ යැ” යි.
මේ අසේඛභාගිය සූත්‍ර යැ.
(5) එහි සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍ර කවරෙ යැ.
1. වසනලද ඇවැත් ඇතියහු කෙලෙස්වැසි අතිශයින් තෙමයි, විවෘත වූයේ අතිශයින් නොතෙමයි, එහෙයින් ප්‍රතිච්ඡන්න වූ ඇවත ප්‍රකට කරවු, මෙසේ ඒ දෝෂය හෙවත් ඇවැත් ඇතියහු කෙලෙස්වැසි අතිශයින් නො තෙමයි.
ඡන්නමතිවස්සති යනු සංකිලේස යැ විවටං නාතිවස්සති යනු වාසනා යැ, තස්මා ඡන්නං විවරෙථ එවං තං නාතිවස්සති යනු මේ සංකිලේස ද වාසනා ද වේ.
මේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍ර යැ.
“මහරජ ලොවැ විද්‍යමාන වූ මේ පුද්ගලයෝ සතරදෙනෙකි : කවරසතරදෙනෙක යත් : අඳුරෙන් යුතුවැ අඳුරට යන්නේ යැ, අඳුරෙන් යුතුවැ එලියට යන්නේ යැ, එළියෙන් යුතුවැ අඳුරට යන්නේ යැ, එළියෙන් යුතුවැ එලියට යන්නේ යි. ඔවුන් කෙරෙහි යම් පුඟුලෙක් ජෝති තමපරායණ ද යම් පුඟුලෙක් තමෝ තමපරායණ ද, මේ පුඟුලෝ දෙදෙන සංකිලෙසභාගිය වෙති. යම් පුඟුලෙක් තමෝ ජෝතිපරායණ ද යම් පුඟුලෙක් ජෝති ජෝතිපරායණ ද මේ පුඟුලෝ දෙදෙන වාසනාභාගිය වෙත්.
මේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍ර යි.
(6) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ :
1. හැකිලිබැඳුම් සංඛ්‍යාත යමුවා වූ ද අන්‍දුබන්‍ධන සංඛ්‍යාත දැවමුවා වූ ද රජ්ජුබන්‍ධන සංඛ්‍යාත බබුස්තණමුවා වූ ද යම් බන්‍ධනයෙක් ඇද්ද එය බුද්ධාදි පණ්ඩිත පුරුෂයෝ දැඩි බැඳුමෙකැයි නො කියති, (අසි ආදියකින් සිඳලියැහෙන හෙයිනි.) මිණිකොඬොල් දූපුතුන් අඹුන් කෙරෙහි බලවත් රාගයෙන් ඇලුණු යම් අපේක්‍ෂායෙක් ඇද්ද -
මේ සංකිලේස යැ.
2. (සිවුඅපායෙහි හෙළන හෙයින්) යටට ඇදලන ලිහිල්වූ සිඳීමට දුෂ්කර වූ තෙල බන්‍ධනය දැඩිවූවෙකැයි ධීරයෝ කියති, කාමයන්හි අපේක්‍ෂා රහිත වූවාහු තෙල බන්‍ධනය ද සිඳ කාමසුඛය හැරපියා ගිහිගෙන් නික්මැයෙත් යයි.
මේ නිබ්බේධ යැ.
මේ සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ.
“මහණෙනි, යම් අරමුණක් (අකුශලචේතනා වශයෙන්) සිතා ද, යමක් (කාය වාක්කර්‍මභාවයට පැමිණවීම් වශයෙන්) කෙරේ ද, යමක් (අප්‍රහීණ භාවයෙන් සන්තාන ගතව) පවතී ද, තෙල අරමුණ අභිසංස්කාර විඥානයාගේ පැවැත්මට ප්‍රත්‍යය වෙයි. (යථෝක්ත) ආලම්බන සංඛ්‍යාත ප්‍රත්‍යය ඇතිකල්හි (කර්‍මය දුවවා ප්‍රතිසන්‍ධි ආකර්‍ෂණයට සමර්‍ත්‍ථ බව සපයනුයෙන්) ඒ අභිසංස්කාර විඥානයාගේ පිහිටීම වෙයි. ඒ විඥානය පිහිටි කල්හි විරූඪ කල්හි මතුයෙහි පුනර්‍භව සංඛ්‍යාත විඥානාදීන්ගේ ඉපදීම වෙයි. මතුයෙහි පුනර්‍භවයාගේ ඉපදීම ඇතිකල්හි මතුයෙහි ජාති ජරාමරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද හටගනිත්. මෙසේ තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ.
මහණෙනි, ඉදින් (අකුශල චේතනා) නො සිතා ද, ඉදින් (කායවාක්කර්‍ම) නො කෙරේ ද, ඉදින් එකල අනුශයවශයෙන් පවතී ද, තෙල අරමුණ අභිසංස්කාර විඥානයාගේ ස්ථිතිය පිණිස වෙයි. ආලම්බනය ඇතිකල්හි ඒ විඥානයාගේ පිහිටීම වෙයි, ඒ විඥානය පිහිටි කල්හි විරූඪ කල්හි මතුයෙහි පුනර්‍භවයාගේ ඉපදීම වෙයි, මතුයෙහි පුනර්‍භවයාගේ ඉපදීම ඇතිකල්හි මතුයෙහි ජාති ජරා මරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද හටගනිත්. මෙසේ තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ යයි.
මේ සංකිලේස යැ.
මහණෙනි, යම් තැනෙක පටන් (අකුශලචේතනා වශයෙන්) නොද සිතා ද, නො ද (කායවාක්කර්‍ම) කෙරේ ද නො ද අනුශය වශයෙන් පවතී ද, තෙල අරමුණ කර්‍ම විඥානයාගේ පැවැත්මට ප්‍රත්‍යය නො වේ, ආලම්බනය නැති කල්හි ඒ අභිසංස්කාර විඥානයාගේ පිහිටීමෙක් නො වෙයි, ඒ විඥානය අප්‍රතිෂ්ඨිත කල්හි අවිරූඪ කල්හි මතුයෙහි පුනර්‍භවයාගේ පහළවීමෙක් නො වෙයි, මතුයෙහි පුනර්‍භවයාගේ අභිනිබ්බත්තිය නැති කල්හි ජාති ජරා මරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද නිරුද්ධ වෙත්. මෙසේ තෙල සකල දුඃඛස්කන්‍ධයාගේ නිරෝධය වේ” යයි.
මේ නිබ්බේධ යැ.
මේ සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යි.
(7) එහි සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර කවරෙ යැ :
“මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන සමුද්ද, සමුද්ද (මුහුද) යි කියයි, මහණෙනි, ආර්‍ය්‍ය විනයෙහි තෙල (ලවණසාගරය) සමුද්ද නො වෙයි, මහණෙනි, තෙලෙ මහාඋදක රාශියෙක, මහා උදකාර්‍ණවයෙකි, මහණෙනි, චක්‍ෂුස පුරුෂහට සමුද්ද (මුහුද) වෙයි, ඒ චක්‍ෂුස්සමුද්‍රයාගේ (පියවි මුහුදෙහි අපමණ රළ වේගය සෙයින්) නීලාදී අරමුණු විසින් රූපමය වේගය වේ” යයි
මේ සංකිලේස යැ.
“යමෙක් ඒ රූපමය වේගය (රාගාදි කෙලෙස් නූපදවමින් උපේක්‍ෂකභාවයෙන්) ඉවසා ද මහණෙනි, මේ තෙමේ (කෙලෙස් නමැති) රළ සහිත වූ (කෙලෙස් නමැති) දිය සුළි සහිත වූ (කෙලෙස් නමැති මකරාදි) ග්‍රාහයන් සහිත වූ (කෙලෙස් නමැති) රකුසන් සහිත වූ චක්‍ෂුස්සමුද්‍රය තරණය කෙළේ යැ, උත්තීර්‍ණ වූ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නිර්‍වාණ පාරයට ගියේ නිර්‍වාණස්ථලයෙහි සිටි යයි කියනුලැබේ” යි.
මේ අසේඛ යැ.
“මහණෙනි, ශ්‍රෝතය ... ඝ්‍රාණය ... ජිහ්වාව ... කායය ... මහණෙනි, මනස පුරුෂහට සමුද්‍ර වෙයි, මනස්සමුද්‍රයාගේ (ආලම්බන වූ) ධර්‍මමය වේගය වේ” යයි.
මේ සංකිලේස යැ.
“යමෙක් ඒ ධර්‍මමය වේගය (උපේක්‍ෂකභාවයෙන්) ඉවසා ද, මහණෙනි මේ තෙමේ (ක්‍රෝධ උපායාස වශයෙන්) කෙලෙස් රළ සහිත වූ (කාමගුණවශයෙන්) ක්ලේශාවර්‍ත සහිත වූ (මාතුගාම වශහෙන්) ග්‍රාහයන් සහිත වූ රාක්‍ෂසයන් සහිත වූ මනස්සමුද්‍රය තරණය කෙළේ යැ, උත්තීර්‍ණ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නිර්‍වාණපාරයට ගියේ නිර්‍වාණස්ථලයෙහි සිටී යයි කියනු ලැබේ” යි.
මේ අසේඛ යැ.
බුදුහු මේ වදාළහ, මේ වදාරා යළි සුගත වූ ශාස්තෲන් වහන්සේ අන්‍ය වූ තෙල ගාථාව වදාළහ.
1. යමෙක් ග්‍රාහයන් සහිත වූ රාක්‍ෂසයන් සහිත වූ ඌර්මිභය සහිත වූ උත්තරණය දුෂ්කර වූ මේ චක්‍ෂුරාදි සමුද්‍රය ඉක්මැවූයේ ද, මාර්‍ගඥානවේදයාගේ අන්තයට ගිය වැසැ නිමවූ මඟබඹසර ඇති ඒ ක්‍ෂීණාස්‍රව සංස්කාරලෝකයෙහි අන්තයට ගියේ යැ, නිර්‍වාණපාරයට ගියේ යැයි කියනු ලැබේ.
මේ අසේඛ යැ.
මේ සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ.
“මහණෙනි, ලොවැ මේ බඩිශයෝ (බිළි) සදෙනෙක් සත්ත්‍වයන්ට අනර්‍ත්‍ථ පිණිස ප්‍රාණීන්ට දුක් පිණිස පවත්නාහු වෙති, කවර සදෙනෙක යත් : මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රියස්වභාව වූ ක්ලේශකාම සහිත වූ සිත් අලවන චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයෝ ඇත. ඉදින් මහණ ඒ රූපයට සප්‍රීතික තෘෂ්ණායෙන් සතුටු වේ ද තෘෂ්ණා වශයෙන් බෙණේ ද, එහි ගැලිසිටී ද මහණෙනි, මේ මහණ ක්ලේශමාරයාගේ රූප තෘෂ්ණබඩිශය ගිලගෙන සිටියේ අනර්‍ත්‍ථයට පැමිණියේ පාපිමත්හු විසින් රිසිසේ කටයුතු බවට පැමිණියේ යයි කියනු ලැබේ.
මහණෙනි, ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ ... ඝ්‍රාණවිඥේයගන්‍ධයෝ ජිව්හාවිඥේය රසයෝ ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ ... ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රජනීය වූ මනෝවිඥෙය ධර්‍මයෝ ඇත. ඉදින් මහණ ඒ ධර්‍මාලම්බනය සතුටුවේ ද, ප්‍රියබස් කියා ද එහි ගැලී සිටී ද මහණෙනි, මේ මහණ කෙලෙස්මරහුගේ ධර්‍මාලම්බන නමැති බිළිය ගිලගෙන සිටියේ අනර්‍ත්‍ථයට පැමිණියේ ව්‍යසනයට පැමිණියේ පාපිමත්හු විසින් යථාකාමකරණීය වූයේ යයි කියනු ලැබේ” යි.
මේ සංකිලේස යැ.
“තවද මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රජනීය වූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණ ඒ රූපයට තෘෂ්ණාවශයෙන් සතුටු නොවේ ද තෘෂ්ණාවශයෙන් නො බෙණේ ද එහි ගැලී නො සිටී ද, මහණෙනි, මේ මහණ කෙලෙස් මරහුගේ රූපතෘෂ්ණාබඩිශය ගිලගෙන නො සිටියේ මාරබළිසය බින්ඳේ යැ, මාරබළිසය හාත්පසින් බින්ඳේ යැ, අනර්‍ත්‍ථයට නො පැමිණියේ ව්‍යසනයට නො පැමිණියේ පාපිමත්හු විසින් යථාකාමකරණීය නො වූයේ යයි කියනු ලැබේ.
මහණෙනි, ශ්‍රෝතවිඥේය වූ ශබ්දයෝ ... ඝ්‍රාණ ... ජිහ්වා ... කාය ... මනෝවිඥෙය වූ ඉෂ්ට කාන්ත මනාප ප්‍රියස්වරූප කාමෝපසංහිත රජනීය වූ ධර්‍මාලම්බනයෝ ඇත්තාහ, ඉදින් මහණ ඒ ධර්‍මාලම්බනයට තෘෂ්ණාවශයෙන් සතුටු නො වේ ද, තෘෂ්ණාවශයෙන් නො බෙණේ ද, එහි ගැලී නො සිටී ද, මහණෙනි, මේ මහණ මාරයාගේ ධර්‍ම තෘෂ්ණා නමැති බළිසය ගිලගෙන නො සිටියේ මාරබළිසය බින්දේ යැ, මාරබළිසය හාත්පසින් බින්ඳේ යැ. අනර්‍ත්‍ථයට නො පැමිණියේ ව්‍යසනයට නො පැමිණියේ පාපිමත්හු විසින් කැමැතිසේ කළයුතු නො වූයේ මැයි කියනු ලැබේ” යි.
මේ අසේඛ යැ.
මේ සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යි.
(8) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර කවරේ යැ :
1. මේ සත්ත්‍වලෝක තෙමේ (ඥාතිව්‍යාසනාදීන්) උපන් ශෝක සන්තාප ඇත්තේ නොයෙක් දුඃඛස්පර්‍ශයෙන් මඩනාලදුයේ තමා විසින් පහස්නා ලද දුක (මෙබන්දක් මාගේ සතුරකුටත් නොවේවයි) වැළපෙමින් කියයි. (රෝගා වදති අත්තතෝ යන පාඨයෙහි ඵස්සපච්චයෙන් උපදනා වේදනා සංඛ්‍යාත රෝගය ආත්මවශයෙන් කියයි). යම් යම් පරිද්දෙකින් මැ තමාගේ දුකට පිළියම් සිතත් ද, ඒ දුකට එයින් අන් පරිද්දෙකින් පිළියම් කටයුතු වේ.
2. කාමාදි භවයෙහි හෝ අභිවෘද්ධියෙහි ඇලුණු ලෝවැසි තෙමේ (තමා සිතන සැටියෙන්) අන් පරිද්දෙකින් මැ වනසුලු වෙයි. එතෙකුදුවත් භවයෙහි ඇලුණේ භවය මැ කැමැති වෙයි, (ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි,) යම් භවයක් හෝ අභිවෘද්ධියක් කැමැති වේ ද, එය බියෙකි. යම් ජරාමරණාදියෙකින් බිය වේ ද, එය දුකෙකි’ යි
මේ සංකිලේස යැ.
“යළි භවය වෙසෙසින් ප්‍රහාණය පිණිස මැ මේ (මා විසින් අධිගත) මඟ බඹසර වෙසෙන්නේ යැ” යන -
මේ නිබ්බේධ යැ.
“යම් කිසි මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි රූපභවයෙන් හෝ අරූපභවයෙන් නොහොත් භවදෘෂ්ටියෙන් භව (සංසාර) යාගේ මිදීම (ශුද්ධිය) කියත් ද, ඔහු සියල්ලෝ භවයෙන් නොමිදුණාහ’ යි කියමි.
“යළි යම් මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි උච්ඡේදයෙන් භවයාගේ නිස්සරණය කියත් ද, ඔහු සියල්ලෝ භවයෙන් නො නික්මුණා’ යි කියමි. ඛන්‍ධාදි උපධීන් නිසා මේ සසරදුක හටගනී” යන -
මේ සංකිලේස යැ.
“සියලු කාමාදි උපාදානයන්ගේ ක්‍ෂයවීමෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත,” යන -
මේ නිබ්බේධ යැ.
(බුදුහු තමන් වහන්සේගේ සිත අමතන සේක :) වෙන වෙන පඤ්චස්කන්‍ධ වූ අවිද්‍යායෙන් මඩනාලද ස්ත්‍රීපුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි ඇලුණු එහෙයින් ම භවයෙන් නො මිදුණු මේ සත්ත්‍වලෝකය බල, (ප්‍රථමාබහුවචන පාඨයෙහි : ‘මේ සත්ත්‍වලෝකය බල’ බොහෝ වූ නොහොත් වෙන් වෙන් වූ අවිද්‍යායෙන් වැඩුණු භූත සංඛ්‍යාත පඤ්චස්කන්‍ධයෝ මවුපිය දූදරු ආදි සංඥායෙන් ඔවුනොවුන් කෙරෙහි ඇලුණාහු භවයෙන් නොමිදුණාහ,) යම් කිසි කාමාදි භවයෝ වෙත් ද, උඩ යට ආදි සියලු තැන්හි සර්‍ව භාවයෙන් ඒ හැම භවයෝ අනිත්‍යයහ දුඃඛයහ විපරිණාමස්වභාව වූහ” යි.
මේ සංකිලේස යැ.
3. මෙසේ ත්‍රිලක්‍ෂණ ප්‍රතිවේධාකාරයෙන් තෙල භව සංඛ්‍යාත පඤ්චස්කන්‍ධය තත්වූ පරිදි විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙන් දක්නාහට භවතෘෂ්ණාව ප්‍රහීණ වෙයි, උච්ඡේදය ද නො කැමැති වේ.
සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂය වීමෙන් අශේෂ කොට ආර්‍ය්‍ය මාර්‍ගයෙන් වූ අනුත්පාදනිරෝධය නිර්‍වාණ යැ” යන -
මේ නිබ්බේධ යැ.
4. ඒ කෙලෙස් පිරිනිවනින් නිවුණු මහණහට උපාදාන රහිත හෙයින් පුනර්‍භවය නො වේ. ක්ලේශාදි පඤ්චමාර මඩනාලද, ක්ලේශසඞ්ග්‍රාමය දිනනලද, සුඛදුක්ඛාදියෙහි තාදී වූයේ සියලු භවයන් ඉක්මැවූයේ” යි.
මේ අසේඛ යැ.
මේ උදානය සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ.
“මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙනෙක, කවර සතරදෙනෙක යත් : අනුසෝතගාමී යැ, පටිසෝතගාමී යැ, ඨිතත්ත යැ, චතුරෝඝතරණය කොට පරතෙරට ගිය නිවන් තෙලෙහි සිටුනා ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ යැ යන මොහු යි.”
මේ පුද්ගලත් සතරදෙනා කෙරෙහි යම් පුඟුලෙක් අනුසෝතගාමී වේ ද මේ පුද්ගල සංකිලේසභාගී යැ, එහි යම් පුඟුලෙක් පටිසෝතගාමී වේ ද, යම් පුඟුලෙක් ඨිතත්ත වේ ද මේ පුද්ගලයෝ දෙදෙන නිබ්බේධභාගිය වෙති, එහි යම් පුඟුලෙක් ඕඝතරණය කොට පාරයට ගියේ නිවන්තෙලෙහි සිටුනා බ්‍රාහ්මණ වේ ද මේ පුද්ගල අසේඛ යි.
මේ සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යි.