Nettippakaraṇa

The Guide

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1311 segments

පෙන්වන කොටස් 1-100 න් 1311

නෙත්තිප්‍රකරණය
භගවත් අර්‍හත් වූ ඒ සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
සංග්‍රහවාරය
1. ඉන්‍ද්‍ර යම වරුණ කුවේර යන ලෝකපාලකයන් හෝ සතරවරම්රජුන් සහිත වූ ලෝවැසියා යම් පුරුෂෝත්තමයක්හු පුදා ද, දවරැය නමස්කාරත් කෙරේද, ඒ අග්‍රපුද්ගල වු නරෝත්තමයාගේ තෙල උතුම්සස්න කර්‍මඵල හා කුශලාකුශලාදිභේද ධර්‍මයන් දන්නා නුවණැති මිනිසුන් විසින් දතයුත්තේ යි.
2. ත්‍රිපිටක පර්‍ය්‍යාප්ති සඞ්ඛ්‍යාත සූත්‍රය දොළොස්පද වෙයි, සූත්‍ර යයි කියනලද එ හැම බුද්ධවචනය ව්‍යඤ්ජන ද අර්‍ත්‍ථ ද වෙයි. වාච්‍ය වාචකභාවයෙන් සම්බන්‍ධ වූ ඒ අර්‍ත්‍ථව්‍යඤ්ජන දෙක ‘අර්‍ත්‍ථ කවරෙ යැ, ව්‍යඤ්ජන කිමැ’ යි ස්වරූප හෙයින් දතයුත්තේ යි.
3. දේසනාදි සොළොස් හාරයක් ඇති, නන්‍දියාවත්තාදි නය පසක් ඇති, කුශලාකුශල විසින් ප්‍රභේද වූ අටළොස් මූලපදයක් ඇති, පර්‍ය්‍යාප්තිශාසනයාගේ අර්‍ත්‍ථ පර්‍ය්‍යෙෂණ වූ, අවිපරීත සූත්‍රාර්‍ත්‍ථාවබෝධයට කාරණ වූ නෙත්තිය පූජ්‍ය වූ කාත්‍යායන මහාක්‍ෂීණාස්‍රවයන් වහන්සේ විසින් දේශනා කරනලද්දීය.
4. ෂෝඩශහාරයෝ ව්‍යඤ්ජනද්වාරයෙන් සූත්‍රයාගේ අර්‍ත්‍ථසංවර්‍ණනා වෙති. නන්‍දියාවත්ත තිපුක්ඛල සීහවික්කීළිත යන නයත්‍රය අර්‍ත්‍ථද්වාරයෙන් ම සූත්‍රාර්‍ත්‍ථ ප්‍රතිපාදනා කෙරෙයි. තෙල හාර නය දෙක අර්‍ත්‍ථනිශ්චය විසින් පරිගෘහිත වූයේ සුත්‍රානුරූප කොට නොහොත් සියලු සූත්‍රය සංවර්‍ණනා කෙරෙයි.
5. නෙත්තිසංවර්‍ණනාවිෂය වූ ව්‍යඤ්ජනප්‍රබන්‍ධ සංඛ්‍යාත යම් දේශනාවක් ඇද්ද, දේශනාර්‍ත්‍ථ සංඛ්‍යාත යම් දේශිතයකුත් ඇද්ද, තෙල දේශනා දේශිත යන දෙක මැ අනුපාදා පරිනිර්‍වාණය පර්‍ය්‍යන්ත කොට ඇති සම්පත්තීනට කාරණ හෙයින් දතයුත්තේය. ඒ විජානනයෙහි ලා මතු කියන හාරනයානුපූර්‍වය නවාඞ්ගශාසනයාගේ අර්‍ත්‍ථපර්‍ය්‍යෙෂණය වෙයි.
විභාගවාරය
1. උද්දේසවාරය
එහි සොළොස් හාරයෝ කවරහ: ආස්වාදාදිය විභාග කිරීම ලක්‍ෂණ කොට ඇති ‘දේශනා’ හාර යැ, සූත්‍රයෙහි එන පද ප්‍රශ්නාදිය විමසීම ලක්‍ෂණ වූ ‘විචය’ හාර යැ, සූත්‍රාගත අර්‍ත්‍ථව්‍යඤ්ජනයන්ගේ යුක්ත්‍යයුක්තිවිචාරණා ලක්‍ෂණ වූ ‘යුක්ති’ හාර යැ, සූත්‍රාගත කුශලාකුශලාදි ධර්‍මයන්ගේ පදට්ඨාන (ආසන්නකාරණ) නිර්ධාණ ලක්‍ෂණ වූ ‘පදට්ඨාන’ හාර යැ, සමාන ලක්‍ෂණ ධර්‍මයන් නඟා දක්වන ‘ලක්‍ෂණ’ හාර යැ, ව්‍යඤ්ජනද්වාරයෙන් නිර්වචනාදි විභාවන ලක්‍ෂණ වූ ‘චතුබ්‍යුහ’ හාර යැ, සභාගවිෂභාග ධර්‍මයන් ආවර්‍තන ලක්‍ෂණ වූ ‘ආවට්ට’ හාර යැ, සඞ්කිලේසවෝදානධර්‍මයන් විභාග කිරීම ලක්‍ෂණ වූ ‘විභක්ති’ හාර යැ, කුශලාකුශලධර්‍මයන්ට ප්‍රතිපක්‍ෂ හෙයින් පරිවර්‍තන ලක්‍ෂණ වූ ‘පරිවර්‍තන’ හාර යැ, පර්‍ය්‍යායශබ්ද දැක්වීම ලක්‍ෂණ කොට ඇති ‘වෙවචන’ හාර යැ, එක් ධර්‍මාර්‍ත්‍ථයක් විවිධ ප්‍රඥප්තීන් විභාවන ලක්‍ෂණ වූ ‘පඤ්ඤති’ හාර යැ, ප්‍රතීත්‍යසමූත්පාදාදිද්වාරයෙන් සූත්‍රාර්‍ත්‍ථයාගේ අවතරණ ලක්‍ෂණ වූ ‘ඕතරණ’ හාර යැ, සූත්‍රාගතපදපදාර්‍ත්‍ථාදීන්ගේ ශෝධන ලක්‍ෂණ වූ ‘ශෝධන’ හාර යැ, සූත්‍රාගතධර්‍මයන්ගේ සාමාන්‍ය විශේෂ නිර්ධාරණ ලක්‍ෂණ වූ ‘අධිට්ඨාන’ හාර යැ, ධර්‍මයන්ගේ හේතුප්‍රත්‍යය නිර්ධාරණ ලක්‍ෂණ වූ ‘පරික්ඛාර’ හාර යැ, පදට්ඨානාදිමුඛයෙන් ධර්‍මයන්ගේ සමාරෝපණ ලක්‍ෂණ වූ ‘සමාරෝපන’ හාර යැ යන මොහු යි.
ඒ හාරෝදෙදසයාගේ සුඛග්‍රහණ පිණිස මේ අනුගීති යැ:
1. දේසනා යැ විචය යැ යුක්ති යැ පදට්ඨාන යැ ලක්ඛණ යැ චතුඛ්‍යූභ යැ ආවට්ට යැ විභත්ති යැ පරිවත්තන යැ.
2. වෙවචන යැ පඤ්ඤත්ති යැ ඕතරණ යැ සෝධන යැ අධිට්ඨාන යැ පරික්ඛාර සමාරෝපන යැ යනු සොළොස් හාරයෝ යි.
3. අර්‍ත්‍ථ හෙයින් අසඞ්කීර්‍ණ වූ තෙල සොළොස් හාරයෝ ප්‍රකාශ කරන ලදහ. මේ සොළොස් හාරයන්ගේ මැ විස්තර හෙයින් නයවිභාගය වේ යයි.
එහි පඤ්චනය කවරේ යැ: තෘෂ්ණා අවිද්‍යා දෙකින් සංකිලේසපක්‍ෂයෙහි ද ශමථ විදර්‍ශනා දෙකින් වෝදානපක්‍ෂයෙහි ද සූත්‍රාර්‍ත්‍ථය සිව්සස් සමග යෙදීමෙන් වර්‍ණනා කරන ‘නන්‍දියාවට්ට’ නය යැ, අකුශලමූලයෙන් හා කුශලමූලයෙන් සංකිලේස වෝදාන පක්‍ෂයෙහි සූත්‍රාර්‍ත්‍ථ සිව්සස් සමග යොදන ‘තිපුක්ඛල’ නය යැ, විපර්‍ය්‍යාසයන්ගෙන් සංකිලේස පක්‍ෂයෙහි ද ඉන්‍ද්‍රියයන්ගෙන් වෝදාන පක්‍ෂයෙහි ද සූත්‍රාර්‍ත්‍ථ සිව්සස් සමග යොදන ‘සීහවීක්කීළිත’ නය යැ, අර්‍ත්‍ථනයත්‍රයට දිසාභූත ධර්‍මයන් විමසන ‘දිසාලෝචන’ නය යැ, දිසාභූත කුශලාකුශලයන්ගේ සමානයන ලක්‍ෂණ වූ ‘අඞ්කුස’ නය යැ යන මොහු යි.
ඒ නයොදේදසයාගේ මේ අනුගීති යැ:
4. සූත්‍රාර්‍ත්‍ථප්‍රකාශක වූ පළමුවැනි ‘නන්‍දියාවට්ට’ නය ද දෙවැනි ‘තිපුක්ඛල’ නය ද තුන් වැනි ‘සීහවීක්කීළිත’ නම් නය ද වෙති.
5. සතරවැනි නයවරය ‘දිසාලෝචන’ යයි කීහු. පස්වැනි නය ‘අඞ්කුස’ නම් වේ. මෙසේ සියලු පඤ්චනය දන්නාලදි.
එහි අටළොස් මූලපදයෝ කවරහ. නවපද කෙනෙක් කුශලයෝ යැ, නවපද කෙනෙක් අකුශලයෝ යි.
එහි අකුශල නවපදයෝ කවරහ: තණ්හා යැ අවිජ්ජා යැ ලෝභ යැ දෝස යැ මෝහ යැ සුභසඤ්ඤා යැ සුඛසඤ්ඤා යැ නිච්චසඤ්ඤා යැ අත්තසඤ්ඤා යැ මේ නවපදයෝ අකුශලයෝ යැ. යම් නවපදයෙකැ සියලු අකුශලපක්‍ෂය සංග්‍රහයට සමෝසරණයට යේ ද එබඳු නවපදයෝ යි.
එහි කුශල නවපදයෝ කවරහ: සමථ යැ විපස්සනා යැ අලෝභ යැ අදෝස යැ අමෝහ යැ අසුභසඤ්ඤා යැ දුක්ඛසඤ්ඤා යැ අනිච්චසඤ්ඤා යැ අනත්තසඤ්ඤා යැ මේ නවපදයෝ කුශලයෝ යැ. යම් නවපදයෙකැ හැම කුශලපක්‍ෂය සංග්‍රහයට සමෝසරණයට යේ ද එබඳු නවපදයෝ යි.
එහි මේ සංග්‍රහවචන යැ:
6. තෘෂ්ණා ද අවිද්‍යා ද ලෝභය ද ද්වේෂය ද එසේ මැ මෝහය ද සතර විපර්‍ය්‍යාසයෝ ද යන නව පදයෝ ක්ලේශභූමි වෙති.
7. ශමථය ද විදර්‍ශනා ද අලෝභාදි තුන් කුශලමූලයෝ ද අශුභසංඥාදි සතර සති පට්ඨානයෝ ද යන නවපදයෝ ශ්‍රද්ධාදි විමුක්තිපරිපාචනීය ඉන්‍ද්‍රියයන්ගේ සමවසරණ ස්ථාන හෙයින් ඉන්‍ද්‍රියභූමි නම් වෙත්.
8. ශමථාදි නවපදයෙන් කුශලපක්‍ෂයෙහි ධර්‍මයෝ ද තෘෂ්ණා දි නවපදයෙන් අකුශල පක්‍ෂයෙහි ධර්‍මයෝ ද යොදනු ලැබෙත්. තෙල අටළොස් පදයෝ මූලපද වෙත් යයි.
2. නිද්දේසවාරය
ඒ උද්දේසපාඨයෙහි සැකෙවින් නෙත්තිප්‍රකරණය කියනලදී. (දැන් ලක්‍ෂණාදිය නිර්දේශ කරනු ලැබේ.)
1. සුඛසෝමනස්සාදි ආස්වාදය ද ත්‍රෛභූමක සංස්කාර සංස්කාර සඞ්ඛ්‍යාත ආදීනවය ද ආර්‍ය්‍ය මාර්‍ග නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිස්සරණය ද ශ්‍රැතමයඥනාදි දේසනාඵලය ද ආර්‍ය්‍යමාර්‍ගයට පදට්ඨාන වූ පූර්‍වභාගප්‍රතිපදා සඞ්ඛ්‍යාත උපාය ද චතුස්සත්‍යකර්‍මස්ථානයෙහි යුක්ත ප්‍රයුක්ත වූ වෛනෙයයන් සඳහා ආඥාර්‍හ භාග්‍යවතුන් වහන්සේගේ විධාන සඞ්ඛ්‍යාත ආණත්ති ද යන මේ (හෙවත් ආස්වාදාදීන්ගේ විභාගලක්‍ෂණ වූ සංවර්‍ණනා විශේෂය) ‘දේසනාහාර’ නම් වේ.
2. සූත්‍රයාගේ යම් පෘව්ඡාවකුත් ඇද්ද යම් විසඳීමකුත් ඇද්ද අනුගීති සංඛ්‍යාත යම් සංග්‍රහගාථා ඇද්ද, එසේම සූත්‍රාගත ආස්වාදාදියකුත් ඇද්ද එ හැම සෙවීම ලක්‍ෂණ කොට ඇති හාරය ‘විචයහාර’ නමැයි දක්වන ලද්දේය.
3. සියලු හාරයන්ගේ ව්‍යඤ්ජන සංඛ්‍යාත යම් භූමියක් ඇද්ද සූත්‍රාර්‍ත්‍ථ සංඛ්‍යාත යම් ගෝචරයෙකුත් ඇද්ද ඒ අර්‍ත්‍ථව්‍යඤ්ජනයන්ගේ මහා - අපදේසයන් හා යුක්ත්‍ය යුක්තිබව දැක්වීම ලක්‍ෂණ කොට ඇත්තේ ‘යුත්තිහාර’ නමැයි දක්වන ලද්දේය.
4. ජිතපඤ්චමාර වූ බුදුහු දහම් දෙසෙති. ඒ කුශලාදි හේද වූ ධර්‍මයට කාරණ වූ යෝනිසෝමනසිකාරාදි යම් පදට්ඨානයක් ඇද්ද, මෙසේ සූත්‍රාගත සියලු ධර්‍මනයට පදට්ඨාන (ආසන්නකාරණ) දැක්වීම ලක්‍ෂණ වූ තෙල භාරය ‘පදට්ඨාන’ නම් වේ.
5. කුශලාදි හෝ ස්කන්‍ධාදි හෝ එක් ධර්‍මයක් සූත්‍රයෙහි වදාළ කල්හි කුශලාදි ස්කන්‍ධාදි භාවයෙන් සමාන ලක්‍ෂණ වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඒ හැම ධර්‍මයෝ සූත්‍රයෙහි නොදක්වන ලද ද එළවා වර්‍ණනා කිරීම ලක්‍ෂණ කොට ඇති ඒ භාරය ‘ලක්ඛණහාර’ නම් වේ.
6. ව්‍යඤ්ජනද්වාරයෙන් සූත්‍රාගත පදනිර්වචන සංඛ්‍යාත නිරුක්තය ද දේශකයන්ගේ අධිප්‍රාය ද යළි දේශනානිදානය ද පූර්‍වාපරානුසන්‍ධි ද චතුර්විධ ලක්‍ෂණයන් වර්‍ණනා කිරීම ලක්‍ෂණ කොට ඇති තෙල හාරය ‘චතුබ්‍යුහ’ නම් වේ.
7. ආරම්භධාතු ආදි වූ (පරක්කමධාතු ආදියට) පදට්ඨාන වූ එක් ධර්‍මයක් දේශනා රූඪ කල්හි ඒ ධර්‍මයට විෂහාගතායෙන් (ප්‍රමාදාදියට ආසන්නකාරණ වූ කෝසජ්ජාදි) අවශේෂ පදට්ඨානධර්‍මය ගවේෂණ කෙරෙයි, සොයා ප්‍රතිපක්‍ෂධර්‍මයන් ආවර්‍තන කෙරෙයි, (මෙසේ සහාගවිෂහාග වශයෙන් ආවර්‍තන ලක්‍ෂණ වූ) ඒ හාරය ‘ආවට්ටහාර’ නම් වේ.
8. සාධාරණ වශයෙන් ද, අසාධාරණ වශයෙන් ද, කුශලාදිභේද වූ ධර්‍මය ද විශේෂාධිගමකාරණ වූ පදට්ඨානය ද පෘථග්ජනභූමි ආදි භූමිය ද (යම් හාරයෙක්) විභාග හෙයින් ප්‍රකාශ කෙරේ ද, මේ හාරය ‘විභක්තිහාර’ නමැයි දතයුතු.
9. වර්‍ණනා කරනු ලබන සූත්‍රයෙහි වදාළ භාවිතව්‍ය වූ ද ප්‍රහාතව්‍ය වූ ද කුශලාකුශල ධර්‍මයන් ඔවුනට ප්‍රතිපක්‍ෂ වූ අකුශලකුශලයන්ගේ වශයෙන් පරිවර්‍තන කෙරෙයි. ඒ හාරය ‘පරිවත්තනහාර’ නම් වේ.
10. නවාඞ්ගශාසන සංඛ්‍යාත තෙවළාදහම්හි වදාළ එක් පදාර්‍ත්‍ථයක් පිළිබඳ බොහෝ වූ මැ වෙවචනයන් සූත්‍රයෙහි නිපුණ වූ යම් ධර්‍මකථිකයෙක් සූත්‍රවර්‍ණනායෙහි ලා ප්‍රකාශ කෙරෙයි. ඒ හාරය ‘වෙවචන’ නම් වේ.
11. භාග්‍යවත් බුදුහු ස්කන්‍ධාදී එක් ධර්‍මයක් නික්‍ෂේප - ප්‍රහවාදි විවිධ ප්‍රඥප්තීන් දේශනා කෙරෙති. ඒ එක් මැ ධර්‍මාර්‍ත්‍ථයක් අනේකප්‍රඥප්තීන් පනවන ආකාරය ‘පඤ්ඤත්තිහාර’ නමැයි දතයුත්තේය.
12. යම් ප්‍රතීත්‍යමූත්පාදයෙක් ඉන්‍ද්‍රිය ස්කන්‍ධ ධාතු ආයතන කෙනෙක් වෙද්ද සූත්‍රාගත පදාර්‍ත්‍ථද්වාරයෙන් ඒ ප්‍රතීත්‍යසමූත්පාදාදීන්ගේ යම් අවතරණයෙක් ඇද්ද ඒ අවතරණ ලක්‍ෂණ වූ සංවර්‍ණනා විශේෂය ‘ඕතරණහාර’ නම් වේ.
13. ගාථාදේශනායෙහි ලා යම් අර්‍ත්‍ථයක් අරභයා විචාළ ප්‍රශ්නය බුද්ධාදීන් විසින් විසඳු කල්හි එහි පද ආරම්භාදීන්ගේ ශෝධිතාශෝධිතභාවය විචාරණ ලක්‍ෂණ වූ ඒ හාරය ‘සෝධනහාර’ නම් වේ.
14. ඒකත්තතා සංඛ්‍යාත සාමාන්‍යයෙන් ද වේමත්තතා සංඛ්‍යාත විශේෂයෙන් ද යම් ධර්‍ම කෙනෙක් සූත්‍රයෙහි වදාරනලද්දාහු ද ඒ ධර්‍මයෝ (එහි සාමාන්‍ය විශේෂ කිමැයි)විකල්පන නොකළයූත්තාහුය. මෙසේ ධර්‍මයන්ගේ සාමාන්‍යවිශේෂනිශ්චය ලක්‍ෂණ වූ තෙල හාරය ‘අධිට්ඨානහාර’නම් වේ.
15. අවිද්‍යාදි යම් ප්‍රත්‍යයධර්‍ම කෙනෙක් සංස්කාරාදි යම් ප්‍රත්‍යයොත්පන්නධර්‍මයක් සහජාතප්‍රත්‍යයභාවයෙන් පරම්පරප්‍රත්‍යයව අනුරූපසන්තානඝටන වශයෙන් උපදවත් ද, ඒ ජනකාදි හේතුව සූත්‍රයෙන් නිශ්චය කොට වර්‍ණනා කරන තෙල හාරය ‘පරික්ඛාරහාර’ නම් වේ.
16. යම් ශීලාදි ධර්‍ම කෙනෙක් යම් සමාධිආදි ධර්‍ම කෙනකුන්ට මූල වූවාහු යළි යම් ධර්‍ම කෙනෙක් ඒකාර්‍ත්‍ථ වූවාහු බුද්ධමුනිහු විසින් වදාරන ලදහු ඒ ධර්‍මයෝ පදට්ඨානාදි විසින් සමාරෝපණ කොට වර්‍ණනා කළයුත්තාහුය. තෙල ‘සමාරොපනහාර’ නම් වේ.
(මෙසේ ගාථා විසින් සොළොස් හාර නිර්දේශ කොට දැන් නය නිර්දේශ කෙරෙති.)
17. යම් සංවර්‍ණනා විශේෂයෙක් සූත්‍රාගත තෘෂ්ණාවත් අවිද්‍යාවත් සංක්ලේශ පක්‍ෂයට ද ශමථ විදර්‍ශනා දෙකින් වෝදාන පක්‍ෂයට චතුස්සත්‍යයන් සමඟ යොදා පමුණුවා ද, මේ නය ‘නන්‍දියාවට්ට’ නම් වේ.
18. යම් සංවර්‍ණනාය විශේෂයෙක් ලෝභාදි අකුශලමූලයන් සමඟ ද්වාදශ චිත්තෝත්පාද සංඛ්‍යාත සියලු අකුශලධර්‍මයන් ද අලෝභාදි කුශලමූලයන් සමඟ සියලු චාතුර්භූමක කුශලධර්‍මයන් ද භූත තථ අවිතථ කොට සූත්‍රාර්‍ත්‍ථය චතුස්සත්‍යයෝජනා ද්වාරයෙන් පමුණුවා ද ඒ නයවිශේෂය ‘තිපුක්ඛල’ නමැයි කීහු.
19. යම් සංවර්‍ණනායවිශේෂයෙක් අශුභයෙහි ශුභ යැ යනාදි චතුර්විධ විපර්‍ය්‍යාසයන්ගෙන් ක්ලේශයන් හෙවත් සංක්ලේශපක්‍ෂය ද ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගෙන් ප්‍රතිපත්ති ප්‍රතිවේධ සද්ධර්‍මය හෙවත් වෝදානපක්‍ෂය ද සියුසස් සමඟ යොදා නයන ලක්‍ෂණ වූ තෙල නය සද්ධර්‍මනය දන්නාහු ‘සීහවික්කීළිත’ නමැයි කීහු.
20. නන්‍දියාවට්ටාදි ඒ ඒ අර්‍ත්‍ථනය යොදනු සඳහා කරනලද සූත්‍රාර්‍ත්‍ථ විස්සජ්ජනයෙහි ලා ඒ ඒ තැන කියනලද ඒ ඒ නයට දිශාභූත වූ යම් කුශලාකුශලධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයන් මේ ප්‍රථම දිශා යැ යනාදීන් සිතින් මැ අවලෝකන කෙරෙයි, ඒ පරික්‍ෂාව මැ ‘දිසාලෝචන’යැයි කීහු.
21. දිසාලෝචනනය කරණකොටගෙන ප්‍රථමාදි දිශාභාවයෙන් පරීක්‍ෂා කොට සූත්‍රයෙන් නගාගෙන හැම කුශලාකුශලධර්‍මයන් ඒ ඒ නයයෝජනා වශයෙන් යම් සමානයනයෙක් (පැමිණැවීමෙක්) ඇද්ද මේ ‘අඞ්කුසනය’ නම් වේ.
22. ව්‍යඤ්ජනපර්‍ය්‍යෙෂණ හෙයින් පළමු කොට සොළසහාරයෝ යෙදිය යුත්තාහ. දිසාලෝචනනයින් ප්‍රථමදිශාදිය අවලෝකන කොට අඞ්කුසනයින් දිශාභූතධර්‍මයන් සූත්‍රයෙන් නිර්ධාරණ කොට නන්‍දියාවට්ටාදි තුන්නයින් සූත්‍රය වර්‍ණනා කරන්නේයි.
23. (දැන් ද්වාදාශපද නිර්දේශ කෙරෙති: ‘අක්ඛරං පදං’ යනාදීන්) අපරියොසිත පදයෙහි වර්‍ණ සංඛ්‍යාත ‘අක්ඛර’ යැ, නාමාඛ්‍යාතාදි චතුර්විධ ‘පද’ යැ පදයෙන් කියනලද අර්‍ත්‍ථප්‍රකාශක පදසමූදායලක්‍ෂණ වූ වාක්‍යසංඛ්‍යාත ‘ව්‍යඤ්ජන’ යැ. වාක්‍යවිභාගයෙන් කියන ලද නිර්වචන සංඛ්‍යාත ‘නිරුක්ති’ යැ, එසෙයින් මැ නිරවශේෂ දේශනා හෙයින් නිර්වචන විස්තර සංඛ්‍යාත ‘නිද්දේස’ යැ, පදයන්ගෙන් වාක්‍යවිභාග සංඛ්‍යාත සවැනි වචන වූ ‘ආකාර’ යැ, යන සියලු ව්‍යඤ්ජනය මෙතෙක් මැ වේ. (ගාථා ඛන්‍ධ විසින් ‘ආකාර’ පදය අන්තයෙහි ලා කිව ද පදානුක්‍රමතා රිසියහු එය ව්‍යඤ්ජන පදයට අනතුරු කොට ගතයුතුය.)
24. සැකෙවින් ප්‍රකාශ කරන ‘සඞ්කාසනා’ යැ, ප්‍රථමප්‍රකාශන සංඛ්‍යාත ‘පකාසනා’ යැ, විස්තර කිරීම් සංඛ්‍යාත ‘විවරණා’ යැ, විභාග කිරීම් සංඛ්‍යාත ‘විභජනා’ යැ, ප්‍රකට කිරීම යයි කියනලද ‘උත්තානීකම්ම’ යැ, ප්‍රකාරයෙන් ඥාපන සංඛ්‍යාත ‘පඤ්ඤත්ති’ යැ යන මේ ෂටපදයෙන් සූත්‍රාර්‍ත්‍ථය ද උද්ඝාටනාදි වූ වෛනෙයයන්ගේ චිත්තප්‍රබෝධනක්‍රියාව ද දක්වනලදි. (මේ අර්‍ත්‍ථ පදයන්ගෙන් පිළිවෙළින් අක්ඛර පද ආදි ව්‍යඤ්ජන පදයෙන් දක්වන අර්‍ත්‍ථාකාරය ගන්නා ලද වේ යයි දතයුතු.)
25. අනූන වූ නන්‍දියාවට්ටාදි තුන් නය ද සඞ්කාසනාදි විසින් ගණන ලද අර්‍ත්‍ථපද සය ද යන නවපදයෙන් හෙවත් නව කොටසින් භාග්‍යවත්හුගේ වචනසංඛ්‍යාත සූත්‍රාර්‍ත්‍ථය මොනොවට යොදන ලද්දේයි.
26. යථෝක්ත අර්‍ත්‍ථපද නවය ද ව්‍යඤ්ජනපර්‍ය්‍යෙෂණ හෙයින් ෂෝඩශහාර යැ ව්‍යඤ්ජනපද ෂට්ක යැ කර්‍මනය දෙක යැ යන සූවිසිපදය දැයි මේ දෙක සම්පිණ්ඩන කොට තෙතිස් නෙත්තිපද කෙනෙක් වෙති. නෙත්ති මෙතෙක් මැ වන්නීය’ යි.
(‘සංඛේපයතෝ’ යන පාඨයෙහි සංක්‍ෂිප්ත කොට (එක්කොට) ගන්නාහට යැ යන අර්‍ත්‍ථ යි. කිසි කෙනෙක් අටළොස් මූලපදයනුදු එක්කොට නෙත්ති අවයව එක් පනසෙකැයි කියති. මූලපද සංවර්‍ණනා විශේෂයෙක් නොවූයෙන් නෙත්තිනයෙහි ලා නොගිණුබව සැලැකියැ යුතුය.)
නිද්දේසවාරය නිමි.
3. පටිනිද්දේසවාරය
විභඞ්ග
3. 1. 1.
දේසනාහාරවිභඞ්ගය
එහි දේසනාහාර කවරෙ යත්: ‘අස්සාදාදීනවතා’ යන ගාථා යි. මේ දේසනාහාර යැ. කුමක් දේශනා කෙරෙති යත්: ආස්වාදය ආදීනවය නිස්සරණය ඵලය උපායය ආණ්ත්තිය යන මේ දෙසෙති.
“මහණෙනි, තොපට ආදිකලණ වූ මැදකලණ වූ අවසනැ කලණ වූ අර්‍ත්‍ථසම්පත්තියෙන් සාර්‍ත්‍ථ වූ ව්‍යඤ්ජනසම්පත්තියෙන් සව්‍යඤ්ජන වූ එළැවියැයුතු නැතියෙන් ඒකාන්තපරිපූර්‍ණ වූ හළයුතු නැතියෙන් පරිශුද්ධ වූ දහමක් දෙසමි. සසුන්බඹසර පවසමි” යි.
එහි ආස්වාද කවරෙ යැ:
1. මනාපිය රූපාදි ත්‍රෛභූමක වස්තුකාමය කැමැතිවන ඒ සත්‍වහට ඉදින් ඒ කාමවස්තුව සමෘද්ධ වේ නම් (ලැබේ නම්) ඒ සත්ත්‍ව රිසිවූ කාමය ලැබ ඒකාන්තයෙන් තුටු සිත්ඇතියේ වෙයි.
ඉච්ඡිතලාභ ප්‍රීතිමනස්කතාදිය ආස්වාද කටයුතු හෙයින් මේ ආස්වාද යි.
එහි ආදීනව කවරෙ යැ:
2. වස්තුකාමයන් කැමතිවන උපන් තෘෂ්ණා ඇති ඒ සත්ත්‍වයාගේ ඒ වස්තුකාමයෝ ඉදින් පිරිහෙත් නම්, එකල්හි හේ අයෝමයාදි ශල්‍යයෙකින් විදුනාලද්දකු සෙයින් පෙළේ යයි.
විපරිණාමාන්‍යථායෙන් පෙළෙනුයේ මේ ආදීනව යි.
එහි නිස්සරණ කවරෙ යැ:
3. යම් මහණෙක් (ජීවත්වනු කැමැති පුරුෂයෙක්) තමාගේ පාදය කෙරෙන් සර්‍පයකුගේ හිස සෙයින් වස්තුකාම ක්ලේශකාමයන් (විෂ්කම්භණ විසින් හෝ සමුච්ඡේද විසින් හෝ) දුරුකෙරේ ද ඒ මහණ ලොවැ විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත්‍ව ඉක්මවාලයි.
මේ නිවන් අරමුණු කොට ඇති මාර්‍ගඥානයෙන් තෘෂ්ණාව දුරැලීම නිස්සරණ යි.
එහි ආස්වාද කවරෙ යැ.
4. යම් මිනිසෙක් හැල් ආදි කෙත් හෝ ගෘහවස්තු ආදි වතු හෝ අමුරන් හෝ ගවයන් අසුන් හෝ දස්කම්කරුපුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ නෑයන් හෝ වෙනත් මනාපිය රූපාදි බොහෝ කාමවස්තූන් ක්ලේශකාම වශයෙන් පුනපුනා ප්‍රාර්‍ත්‍ථනා කෙරේ ද.
මේ කෙත් වත් ආදීන්ගේ පුනපුනා ප්‍රාර්‍ත්‍ථනාව ආස්වාද යි.
එහි ආදීනව කවරෙ යැ:
5. අබල වූ කෙලෙස්හු ඒ කාමගිද්ධ මිනිසා (ප්‍රකට වූ ද අප්‍රකට වූ ද) උපද්‍රවයෝ ඔහු මැඩපියති. එහෙයින් සිදුරු වු නැවකට ජලය වදනා සෙයින් ජාත්‍යාදි දුක ඔහු අනුව යේ.
මේ ජාත්‍යාදි දුක් අනුබදනාබව ආදීනව යි.
එහි නිස්සරණ කවරැ:
6. එහෙයින් සත්ත්‍ව තෙමේ හැම කල්හි සිහිඇතිවැ කාමයන් දුරුකරන්නේ යැ, මෙසේ ඒ කාමයන් දුරුකොට බිඳුණු නැව දිය ඉස පරතෙර යන්නකු සෙයින් චතුරෝඝය තරණය කරන්නේ යි.
මේ චතුරෝඝතරණය කොට අනුපාදිශේෂව පිරිනිවීම නිස්සරණ යි.
එහි ඵලය කවරෙ යැ:
7. දානාදි පුණ්‍යධර්‍මය ඒකාන්තයෙන් ඒ ධර්‍මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සාම්පරායික අනර්‍ත්‍ථයෙන්) රක්නේ ය. වැසිකලැ මහත් වූ ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකී ද එමෙනි. ධර්‍මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසය වෙයි: ධර්‍මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.
මේ දිට්ඨධම්මිකාදි අනර්‍ත්‍ථයෙන් රැකීම ධර්‍මයාගේ ඵල යි.
එහි උපාය කවරෙ යැ:
8. සියලු සඞ්ඛත සංඛ්‍යාත ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෝ අනාත්මයෝ යයි මෙසේ යම් ක්ලේශ (විදසුන් තෙදගන්වා) අනාත්මානුදර්‍ශන ප්‍රඥායෙන් දකී ද, එකල්හි (පෙර මැ අනිත්‍යදුඃඛයන් දුටුහෙයින්) විදර්‍ශනාගෝචර වූ පඤ්චස්කන්‍ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි. තෙල නිර්වේදය විශුද්ධිසංඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට උපාය (මාර්‍ග) වේ යයි.
මේ නිබ්බින්‍දනය විසුද්ධි අධිගමයට හේතු බැවින් උපාය යි.
එහි ආණත්ති කවර යැ:
9. ඇස් ඇති පුරුෂයෙක් කායිකවීර්‍ය්‍යය පවත්නා කල්හි විෂමභූමිප්‍රදේශ හෝ චණ්ඩතායෙන් විෂම වූ ඇත් අස් ආදීන් හෝ දුරුකොට යන්නා සේ සත්ලොවැ නුවණැති පණ්ඩිත පුරුෂ පාපයන් දුරැලන්නේ යි.
‘පව් දුරැලියයුතුය’ යනු ධර්‍මරාජ වූ බුදුරදුන්ගේ අණ යැ. මේ ආණත්ති යි.
මෙසේ වෙන වෙන සූත්‍රයෙහි ආ ඵල උපාය ආණත්ති උදාහරණ කොට යළි එක් මැ සූත්‍රයෙහි ආ සැටි දක්වන්නට පාරායනවර්‍ගයෙහි මෝඝරාජසූත්‍රය නිදසුන් කෙරෙති.
‘මෝඝරාජය, සියලු මැ සංස්කාරලෝකය (වසයෙහි නො පවත්නාබව සැලකීම් වශයෙන් හෝ සිස්බව නුවණින් දැකීම් වශයෙන් හෝ) ශුන්‍ය වශයෙන් බලව’ යන ධර්‍මරාජයන්ගේ වචනය විධාන වනුයෙන් ‘ආණත්ති’ යැ.
‘හැම කල්හි ස්මෘතිමත් වූයෙහි’ යනු උපාය යැ. (ස්මෘතියෙන් දර්‍ශනය වන හෙයිනි.)
‘විංශද්වස්තුක ආත්ම (සත්කාය) දෘෂ්ටිය උදුරාපියා (නසා) මෙසේ මරණය ඉක්ම වනුයෙහි වන්නේය’ යන මේ දේශනා ඵලය යි.
(ආස්වාදාදිය උදාහරණ විසින් දක්වා දැන් පුද්ගලවිභාගයෙන් දේශනාවිභාගය වදාරති:)
එහි භාග්‍යවතුන් වහන්සේ උද්ඝටිතඥ (උද්දිෂ්ටමාත්‍රයෙන් අවබෝධ කරන) පුද්ගලහට නිස්සරණ දේශනාව දෙසනසේක. විපඤ්චිතඥ (විස්තරයෙන් නිර්දිෂ්ට කල්හි අවබෝධ කරන) පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක. ප්‍රතිනිර්දේශයෙන් අවබෝධ කරවියයුතු නෙයපුද්ගලහට අස්සාදය ද ආදීනවය ද නිස්සරණය ද දෙසනසේකි.
(ප්‍රතිපදාවිභාගයෙන් ඒ පුද්ගලයන් විභාග කෙරෙති.) එහි ප්‍රතිපදා සතරක් ද, ප්‍රතිපන්නක පුද්ගලයෝ සතරදෙනෙක් ද වෙති: තෘෂ්ණචරිත ඇති මෝහාධික (මන්‍ද) පුද්ගල ස්මෘතීන්‍ද්‍රියයෙන් ලැසිවූ අභිඥා ඇති දුක් වූ ප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ සතිපට්ඨානයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි. (සසරදුකින් නික්මයෙයි.) තෘෂ්ණාචරිත ඇති උදත්‍ථ (උදාරප්‍රාඥ) පුද්ගල සමාධීන්‍ද්‍රියයෙන් ශීඝ්‍ර වූ අභිඥා ඇති දුඃඛප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ ධ්‍යානයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි. දෘෂ්ටිචරිත ඇති මෝහාධිකපුද්ගල වීර්‍ය්‍යයෙන්‍ද්‍රියයෙන් ලැසිවූ අභිඥා ඇති සුඛ ප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ සම්‍යක්ප්‍රධානයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි. දෘෂ්ටිචරිත ඇති උදත්‍ථ (උදාරප්‍රාඥා) පුද්ගල ප්‍රඥේන්‍ද්‍රියයෙන් ශීඝ්‍ර වූ අභිඥා ඇති සුඛප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ ආර්‍ය්‍යසත්‍යයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරේ.
තෘෂ්ණචරිත ඇති පුද්ගලයෝ දෙදෙන ශමථය පූර්‍වඞ්ගම කොට ඇති විදර්‍ශනායෙන් රාගවිරාග (රාගප්‍රහාණයකරන) අනාගාමීඵලසමාධියෙන් නිර්‍ය්‍යාණය කෙරෙති. දෘෂ්ටි චරිතපුද්ගලයෝ දෙදෙනා විදර්‍ශනාපූර්‍වඞ්ගම ශමථයෙන් අවිද්‍යාප්‍රහාණය කරන අර්‍හත්ඵලප්‍රඥායෙන් නිර්‍ය්‍යාණය කෙරෙත්.
එහි යම් කෙනෙක් ශමථපූර්‍වඞ්ගම ප්‍රතිපදා දෙකින් සසරදුක ඉක්මවායෙත් ද, ඔහු නන්‍දියාවට්ටනයින් පමුණුවාලියැයුත්තාහ. යම් කෙනෙක් විදර්‍ශනාපූර්‍වඞ්ගම ප්‍රතිපදා දෙකින් සසරදුක ඉක්මවායෙත් ද, ඔහු සීහවික්කීළිතනයින් පමුණුවාලියැයුත්තාහ.
ඒ මේ හාරය කොහි ලැබෙයි යත්: ක්‍ෂණසම්පත් ලැබූ යම් පුඟුලක්හට ශාස්තෘන් වහන්සේ හෝ ගරු කටයුතු අන්‍යතර සබ්‍රහ්මචාරී කෙනෙක් හෝ දහම් දෙසති. හේ ඒ දහම් අසා (බුදුන් දහම් කෙරෙහි) සැදැහැ උපදවයි. ඒ යථාශ්‍රැතධර්‍මයෙහි පද පදාර්‍ත්‍ථ විමසන විමංසායෙක් ධාරණපචයෙහි උත්සාහයෙක් සසඳා තුලනය කිරීමෙක් මහාපදේසයෙහි බහා පිරික්සීමෙක් වේ ද, මේ ‘සුතමයී’ ප්‍රඥා නමු. එසෙයින් ඒ ශ්‍රැතය උපනිශ්‍රය කොට යම් විමසීමෙක් තුලනයෙක් පිරික්සීමෙක් සිතින් පුනපුනා බැලීමෙක් වේ ද, මේ ‘චින්තාමයී’ ප්‍රඥා නමු. මේ යථෝක්ත ප්‍රඥාදෙකින් රූපාරූපපරිග්‍රහාදි මනසිකාරයෙහි යුක්තප්‍රයුක්ත වූවහුට දර්‍ශනභූමියෙහි හෝ භාවනාභූමියෙහි හෝ යම් ඥානයෙක් උපදීද මේ ‘භාවනාමය’ ප්‍රඥා නමු. (බුද්ධ, බුද්ධශ්‍රාවකාදි) අනෙකක්හුගේ දේශනාහේතුයෙන් උපන් නුවණ ‘සුතමයපඤ්ඤා’නමු. තමා තුළ පහළවූ යෝනිසෝමනසිකාරයෙන් උපන් නුවණ ‘චින්තාමයපඤ්ඤා’ නමු. පරතෝඝෝස සංඛ්‍යාත අනෙකක්හුගේ දේශනායෙදුනුදු තමාතුළ උපන් යෝනිසෝමනසිකාර හේතුයෙනුදු යම් නුවණෙක් උපදීද මේ ‘භාවනාමයපඤ්ඤා’ නමු.