Mahāniddesa

Great Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2295 segments

පෙන්වන කොටස් 801-900 න් 2295

එයින් වදාළහ බුදුහු:
“ඉදං වදාමීති -පෙ- අජ්ඣත්තසන්ති පචිනං අදස්සං” යී.
(මාගන්‍දිය තෙම මෙසේ කීය:) විනිශ්චය කොට ගන්නා ලද යම් දෙසැට දෘෂ්ටිධර්‍ම කෙනෙක් ප්‍රකල්පිත වූවාහු ද, ඒ දෘෂ්ටිධර්‍මයන් සර්‍වඥ මුනි වූ තෙපි ඒකාන්තයෙන් නො ගෙන අධ්‍යාත්මශාන්ති යයි තෙල යම් අර්‍ත්‍ථයක් වදාළහු ද, ධීරයන් විසින් ඒ පරමාර්ත්‍ථය කෙසේ ප්‍රකාශ කරන ලද ද?
විනිච්ඡයා යානි පකප්පිතානි - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. පකප්පිතානි - කල්පිත ප්‍රකල්පිත අභිසංස්කෘත වූවාහු මොනොවට පිහිටුවන ලද්දාහු නුයි ‘පකප්පිත’ නම් වෙති; නොහොත් අනිත්‍ය - සංස්කෘත - ප්‍රතීත්‍යසමුත්පන්න වූවාහු ක්‍ෂයවන සුලු නැසෙන සුලු නො ඇලෙන සුලු නිරුද්ධවන සුලු විපරිණාමස්වභාව ඇත්තාහු නුයි ද ‘පකප්පිත’ නුයි ‘විනිච්ඡයා යානි පකප්පිතානි’ යනු වේ. ඉති මාගන්දියො - ‘ඉති’ යනු: පදසන්ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා නමැ තෙල ‘ඉති’ යනු. ‘මාගන්දියො’ යනු ඒ බමුණුගේ නම යැ සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාරය නුයි ‘ඉති මාගන්දියො’ යනු වේ.
තෙ වෙ මුනි බ්‍රෑසි අනුග්ගහාය අජ්ඣත්තසන්තීති යමෙතමත්‍ථං - තෙ වෙ’ යනු: ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ යි. මුනි යනු: ‘මොන’යී ඥානය කියනු ලැබෙයි .. (2. 8 සූත්‍රනිර්දේශය.) අනුග්ගහාය - දෘෂ්ටීන්හි ආදීනව දක්මින් දෘෂ්ටි නො ගන්මි පරාමර්‍ශ නො කෙරෙමි අභිනිවේශ නො කෙරෙමි ද කියවු, අධ්‍යාත්මශාන්තිය’යි ද කියවු; යමෙතමත්‍ථං - යම් පරමාර්ත්‍ථයක් නුයි ‘තෙ වෙ මුනි බ්‍රෑසි අනුග්ගහාය අජ්ඣත්තසන්තීති යමෙතමත්‍ථං’ යනු වේ.
කථන්නු ධීරෙහි පවෙදිතං තං - යනු: ‘කථන්නු’ යන පදය සැක විචාරීම යැ විමතිපෘච්ඡා යැ විචිකිත්සාපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ: මෙසේ දෝ හෝ, නො වේ දෝ හෝ, කිමෙක් දෝ හෝ, කෙසේ දෝ හෝ නුයි ‘කථන්නු’ යනු වේ. ධීරෙහි - ධීරයන් විසින් පණ්ඩිතයන් විසින් ප්‍රඥාවතුන් විසින් බුද්ධිමතුන් විසින් නුවණැතියන් විසින් විහාවීන් විසින් ප්‍රාඥයන් විසින්; පවෙදිතං - දක්නා ලද ප්‍රකාශ කරන ලද කියන ලද දෙසන ලද පනවන ලද තබන ලද විභාග කරන ලද ප්‍රකට කරන ලද ප්‍රකාශ කරන ලද නුයි ‘කථන්නු ධීරෙහි පවෙදිතං තං’ යනු වේ.
එයින් කීයැ ඒ බමුණු:
“විනිච්ඡයා යානි -පෙ- පවෙදිතං තං” යී.
(බුදුහු ‘මාගන්‍දිය’ යී මෙසේ වදාළහ:) මම දෘෂ්ටියෙන් ශුද්ධිය නො කියමි. ශ්‍රැතියෙන් - සමාපත්තිඥානයෙන් - බාහිර ශීලව්‍රතයෙනු දු ශුද්ධිය නො කියමි. (දශවස්තුක) සම්‍යග්දෘෂ්ටියෙන් වෙන් වැ නවාඞ්ගශ්‍රැතියෙන් වෙන් වැ කර්‍මස්වකතා සත්‍යානුලෝමිකඥානයෙන් වෙන් වැ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් වෙන් වැ ධ්‍රතාඞ්ගව්‍රතයෙන් වෙන් වැ ශුද්ධිය නො කියමි. ඒ සම්‍යග්දෘෂ්ට්‍යාදිමාත්‍රයකිනු දු නො කියමි. තවද තෙල දෘෂ්ටි ආදි ධර්‍මයන් දුරු කොට අදෘෂ්ටි ආදි ධර්‍මයන් අනුග්‍රහ කොට ශාන්ත තෙමේ (චක්ඛාදීන් අතුරෙන් කිසිවක්) නිඃශ්‍රය නො කොට කාමාදි භවය නො පතන්නට සමර්‍ත්‍ථ වන්නේය.
න දිට්ඨියා න සුතියා න ඤාණෙන - දෘෂ්ටියෙන් ද ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, නාහ - නො කියමි. නො බෙණෙමි. නො දක්වමි. නො වහරමි. ශ්‍රැතියෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, නාහ - නො කියමි, නො බෙණෙමි. නො දක්වමි. නො වහරමි. දෘෂ්ටිශ්‍රැතියෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නාහ - නො කියමි, නො බෙණෙමි නො දක්වමි නො වහරමි. සමාපත්තිඥානයෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ‘නාහ’ නො කියමි, නො බෙණෙමි නො දක්වමි ව්‍යවහාර නො කෙරෙම් නුයි ‘න දිට්ඨියා න සුතියා න ඤාණෙන යනු වේ. මාගන්දියාති භගවා - ‘මාගන්‍දිය’යී බුදුහු ඒ බමුණා නමින් ආමන්ත්‍රණය කෙරෙති. භගවා - යනු: ගෞරවාධිවචන යැ...මේ ‘භගවා’ යනු සියලු ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නුයි ‘මාගන්දියාති භගවා’ යනු වේ.
සීලබ්බතෙනාපි න සුද්ධිමාහ - ශීලයෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නාහ - නො කියමි නො බෙණෙමි නො දක්වමි නො වහරමි. ව්‍රතයෙනු දු ශුද්ධිය... පරිමුක්තිය ‘නාහ’ - නො කියමි නො බෙණෙමි නො දක්වමි නො වහරම් නුයි ‘සීලබ්බතෙනාපි න සුද්ධිමාහ’ යනු වේ.
අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නො’පි තෙන - ‘දෙන ලද්දෙහි ඵල ඇත, යදන ලද්දෙහි ඵල ඇත, පුදන ලද්දෙහි ඵල ඇත, කුශලාකුශලකර්‍මයන්ගේ ඵල විපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මවු ඇත, පියා ඇත, ඕපපාතික සත්ත්‍වයෝ ඇත්තාහ. මෙලොවත් පරලොවත් තුමූ මැ නුවණින් දැන ප්‍රකාශ කරන සම්‍යග්ගත වු සම්‍යක්ප්‍රතිපන්න වූ ශ්‍රමණබ්‍රාහ්මණයෝ ලෝකයෙහි ඇත්තාහ’ යන දශවස්තුක සම්‍යග්දෘෂ්ටි සඞ්ඛ්‍යාත දෘෂ්ටිය ද කැමැති විය යුත්තීය.’ සූත්‍ර යැ ගෙය්‍ය යැ වෙය්‍යාකරණ යැ ගාථා යැ උදාන යැ ඉතිවුත්තක යැ ජාතක යැ අබ්භූතධම්ම යැ වෙදල්ල යැ යන (නවාඞ්ගවශයෙන්) පරතෝඝෝෂ සඞ්ඛ්‍යාත ශ්‍රවණය ද කැමැති වියයුතු යැ. කර්‍මස්වකෘතඥානය යැ සත්‍යානුලෝමිකඥානය යැ අභිඥාඥානය යැ සමාපත්තිඥානය යැ යන ඥානය ද කැමැති විය යුතු යැ. ප්‍රාතිමෝක්‍ෂසංවර සඞ්ඛ්‍යාත ශීලය ද කැමැති විය යුතු යැ. ආරණ්‍යකාඞ්ග යැ පිණ්ඩපාතිකාඞ්ග යැ පාංශුකූලිකාඞ්ග යැ තෙචීවරිකාඞ්ග යැ සපදානවාරිකාඞ්ග යැ ඛලුපච්ඡාභත්තිකාඞ්ග යැ නෙසජ්ජාකාඞ්ග යැ යථාසන්ථතිකාඞ්ග යැ යන අෂ්ට ධුතාඞ්ගසඞ්ඛ්‍යාත ව්‍රතය ද කැමැති වියයුත්තේ නුයි ‘අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා’ යනු වේ. නො පි තෙන - නො ද සම්‍යග්දෘෂ්ටිමාත්‍රයෙන් නො ද ශ්‍රවණ මාත්‍රයෙන් නො ද ඥානමාත්‍රයෙන් නො ද ශීලමාත්‍රයෙන් නො ද ව්‍රතමාත්‍රයෙන් අධ්‍යාත්මශාන්තියට පැමිණියේ වෙයි. තෙල ධර්‍මයන්ගෙන් වෙන් වැ අධ්‍යාත්මශාන්තියට නො ද පැමිණෙයි. තවද මේ ධර්‍මයෝ අධ්‍යාත්මශාන්තියට පැමිණෙන්නට අධිගම කරන්නට ස්පර්‍ශ කරන්නට ප්‍රත්‍යක්‍ෂ කරන්නට උපකාර වූවාහු වෙත් නුයි ‘අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලති අබ්බතා නො’පි තෙන’ යනු වේ.
එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය - ‘එතෙ’ යනු: කෘෂ්ණපක්‍ෂයෙහි වූ ධර්‍මයන්ගේ නැසීමෙන් ප්‍රහාණය කැමැති වියයුතුය; තුන්බිමට අයත් කුශලධර්‍මයන්හි තෘෂ්ණා රහිත බව කැමැති වියයුතුය; යම් තැනෙක පටන් කෘෂ්ණපක්‍ෂයෙහි වූ ධර්‍මයෝ සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු වෙත් ද, ත්‍රෛධාතුකකුශලධර්‍මයන්හි දු තෘෂ්ණා රහිත බව වේ ද, මෙතෙකිනු දු ග්‍රහණය නො කෙරෙයි, පරාමර්‍ශ නො කෙරෙයි, අභිනිවේශ නො කෙරෙයි. නොහොත් නො ගතයුත්තාහු නො දැහියයුත්තාහු නො පිවිසියැ යුත්තාහු වෙත් නුයි - මෙසේ ත් ‘එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය’ යනු වේ. යම් තැනෙක පටන් තෘෂ්ණාවත් දෘෂ්ටියත් මානයත් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු ග්‍රහණ - පරාමර්‍ශ - අභිනිවේශ නො කෙරේ නුයි - මෙසේත් ‘එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය’ යනු වේ. යම් තැනෙක පටන් පුණ්‍යාභිසංස්කාරයත් අපුණ්‍යාභිසංස්කාරයත් ආනෙඤ්ජාභිසංස්කාරයත් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි අනුත්පාදස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකිනුදු ග්‍රහණ - පරාමර්‍ශ - අභිනිවේශ නො කෙරේ නුයි - මෙසේත් ‘එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය’ යනු වේ.
සන්තෝ අනිස්සාය භවං න ජප්පෙ - ‘සන්තෝ’ යනු: රාගය සන්හිඳු වන ලද බැවින් ශාන්ත යැ ද්වේෂය ශමිත වන බැවින් ශාන්ත යැ මෝහය ශමිත වන බැවින් ශාන්ත යැ, ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - සාඨෙය්‍යය - ථම්භය - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සර්‍වක්ලේශයන් - සර්‍වදුශ්චරිතයන් - සර්‍වදරථයන් - සර්‍වපරිදාහයන් - සර්‍වසන්තාපයන් - සර්‍වකුශලාභිසංස්කාරයන් ශාන්තවන බැවින් ශමිත වන බැවින් ව්‍යුපශමිත වන බැවින් දවන ලද බැවින් නිවන ලද බැවින් දුරුව ගිය බැවින් වෙසෙසින් නසන ලද බැවින් ශාන්ත වූයේ උපශාන්ත වූයේ වෙසෙසින් උපශාන්ත වූයේ නිවුණේ වෙසෙසින් නසන ලදුයේ නුයි ‘සන්තෝ’ යනු වේ. අනිස්සාය - තෘෂ්ණානිශ්ශ්‍රය ද දෘෂ්ටිනිශ්ශ්‍රය දැයි නිශ්ශ්‍රය... දෙකෙකි; තෘෂ්ණානිශ්‍රය හැර දෘෂ්ටිනිශ්‍රය දුරලා චක්‍ෂුප්‍රසාදය නො නිසා ශ්‍රෝතප්‍රසාදය නිශ්‍රය නො කොට ඝ්‍රාණප්‍රසාදය නො නිසා ජිහ්වාප්‍රසාදය නො නිසා කායප්‍රසාදය නො නිසා මනඃප්‍රසාදය නො නිසා රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මයන් - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුඛය - චීවරය - පිණ්ඩපාතය - සෙනසුන - ගිලන්පසබෙහෙත්පිරිකර - කාමධාතුව - රූපධාතුව - අරූපධාතුව - කාමභවය - රූපභවය - අරූපභවය - සඤ්ඤාභවය - අසඤ්ඤාභවය - නෙවසඤ්ඤානාසඤ්ඤාභවය - එකවෝකාරභවය - චතුවෝකාරභවය - පඤ්චවෝකාරභවය - අතීතය - අනාගතය - ප්‍රත්‍යුත්පන්නය - දෘෂ්ටශ්‍රැතමුත විඥාතව්‍යධර්‍මයන් නිශ්‍රය නො කොට ග්‍රහණය නො කොට පරාමර්‍ශ නො කොට අභිනිවේශ නො කොට නුයි - ‘සන්තෝ අනිස්සාය’ යනු වේ. භවං න ජප්පෙ - කාමභවය නො පතන්නේ යැ, රූපභවය නො පතන්නේ යැ, අරූපභවය නො පතන්නේ යැ, ප්‍රකර්‍ෂයෙන් නො පතන්නේ යැ, වෙසෙසින් නො පතන්නේ නුයි ‘සන්තෝ අනිස්සාය භවං න ජප්පෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න දිට්ඨියා න සුතියා -පෙ- සන්තෝ අනිස්සාය භවං න ජප්පෙ” යී.
(මාගන්‍දිය තෙම මෙසේ කීය:) ඉදින් දෘෂ්ටියෙන් ශුද්ධිය නො කියවු නම්, ශ්‍රැතියෙන් - සමාපත්තිඥානයෙන් - ශීලව්‍රතයෙනු දු නො කියවු නම්, යලි දෘෂ්ටියෙන් වෙන් වැ ශ්‍රැතියෙන් වෙන් වැ ඥානයෙන් වෙන් වැ ශීලයෙන් වෙන් වැ ව්‍රතයෙන් වෙන් වැ ශුද්ධිය නො කියවු නම්, ඒ දෘෂ්ට්‍යාදිමාත්‍රයෙනුදු නො කියවු නම්, මම තොපගේ මේ ධර්‍මය අතිශයින් මූඪ වූවක් මැ කොට සිතම්. ඇතැම් මහණ බමුණු කෙනෙක් දෘෂ්ටියෙන් ශුද්ධිය කැමැතිවෙත්.
නො චෙ කිර දිට්ඨියා න සුතියා න ඤාණෙන - දෘෂ්ටියෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ‘නාහ’ තෙපි නො කියවු, නො බණවු, නො දක්වවු, නො වහරවු; ශ්‍රැතයෙනු දු ශුද්ධිය... පරිමුක්තිය... දෘෂ්ටිශ්‍රැතයෙනු දු ශුද්ධිය... පරිමුක්තිය... ඥානයෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ‘නාහ’ නො කියවු, නො බණවු, නො දක්වවු, නො වහරවු නුයි ‘නො චෙ කිර දිට්ඨියා න සුතියා න ඤාණෙන’ යනු වේ. ඉති මාගන්දියො - ‘ඉති’ යනු: පදසන්ධියැ... මාගන්දියො යනු: ඒ බමුණාගේ නම යැ... ‘ඉති මාගන්දියො’ යනු වේ.
සීලබ්බතෙනාපි න සුද්ධිමාහ - ශීලයෙනු දු ශුද්ධිය... ව්‍රතයෙනු දු ශුද්ධිය... ශීලයෙන් හා ව්‍රතයෙනු දු ශුද්ධිය... පරිමුක්තිය ‘නාහ’ නො කියවු, නො බණවු, නො දක්වවු, නො වහරවු නුයි ‘සීලබ්බතෙනාපි න සුද්ධිමාහ’ යනු වේ.
අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නොපි තෙන - දෘෂ්ටියත් කැමැති වියයුතු ය’යි මෙසේ කියවු, ශ්‍රවණයත් කැමැති වියයුතුය’යි මෙසේ කියවු, ඥානයත් කැමැති වියයුතුයයි මෙසේ කියවු, ශීලයත් කැමැති වියයුතුයයි මෙසේ කියවු, ව්‍රතයත් කැමැති වියයුතුයයි මෙසේ කියවු; ඒකාන්තයෙන් අනුඥා කරන්නට නො හැකියවු, ඒකාන්තයෙන් ප්‍රතික්‍ෂේප කරන්නටත් නො හැකියවු නුයි ‘අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නො’පි තෙන’ යනු වේ.
මඤ්ඤාමහං මොමූහමෙව ධම්මං - ‘මේ තොපගේ අතිමූඪධර්‍මයෙක බාලධර්‍මයෙක මූඪධර්‍මයෙක අඥානධර්‍මයෙක අමරාවික්‍ෂෙපධර්‍මයෙකැ’යි මෙසේ හඟිමි, මෙසේ දනිමි, මෙසේ හාත්පසින් දනිමි, මෙසේ වෙසෙසින් දනිමි, මෙසේ අවබෝධ කෙරෙමි, මෙසේ ප්‍රතිවේධ කෙරෙම් නුයි ‘මඤ්ඤාමහං මොමූහමෙව ධම්මං’ යනු වේ.
දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං - දෘෂ්ටියෙන් ඇතැම් මහණ බමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පිළිගනිති: ‘ලෝකය ශාශ්වත යැ මේ මැ සැබව, අන්‍යය මොඝයැ’යි දෘෂ්ටියෙන් ඇතැම් මහණබමුණෝ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පිළිගනිති; ‘ලෝකය අශාශ්වත යැ,... සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, සෙස්ස මොඝයැ’යි දෘෂ්ටියෙන් ඇතැම් මහණබමුණෝ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පිළිගනිත් නුයි ‘දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“නො චෙ කිර දිට්ඨියා -පෙ- දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං” යී.
(බුදුහු මාගන්‍දිය යී මෙසේ වදාරති:) දෘෂ්ටිය මැ නිශ්‍රය කොට (-නිසා) පුනපුනා විචාරනුයෙහි දැඩිව ගන්නා ලද දෘෂ්ටීන් කෙරෙහි ප්‍රකර්‍ෂමොහයට පැමිණියෙහි යම් හෙයකින් තෝ මේ දහමින් මඳ වූ සංඥාවකු දු නුදුටුයෙහි ද එහෙයින් අතිමූඪ වූවක් වශයෙන් දක්නෙහි.
දිට්ඨිඤ්ච නිස්සාය අනුපුච්ඡමානො - මාගන්‍දිය බමුණු දෘෂ්ටිය නිසා දෘෂ්ටිය විචාරයි, දෘෂ්ටිලග්නය නිසා (-එල්බගෙන) දෘෂ්ටිලග්නය විචාරයි, දෘෂ්ටිබන්ධනය නිසා දෘෂ්ටිබන්ධනය විචාරයි, දෘෂ්ටිපරිබොධය නිශ්‍රය කොට දෘෂ්ටිපරිබොධය විචාරයි; අනුපුච්ඡමානො - පුනපුනා විචාරා නුයි ‘දිට්ඨිඤ්ච නිස්සාය අනුපුච්ඡමානො’ යනු වේ. මාගන්‍දිය යී බුදුහු ඒ බමුණා නමින් ආමනුත්‍රණය කෙරෙති. භගවා යනු: ගෞරවාධිවචන යැ... මේ ‘භගවා’ යනු ප්‍රත්‍යක්‍ෂකරණයෙන් උපන් ප්‍රඥප්තියක් නුයි - ‘මාගන්දියාති භගවා’ යනු වේ.
සමුග්ගහීතෙසු පමොහමාගතො - තා විසින් යම් දෘෂ්ටියක් ගන්නා ලද්දී පරාමර්‍ශ කරනලද්දී පිවිසැ ගන්නා ලද්දී දැඩි වැ ගන්නා ලද්දී අධිමුක්ත වූවා ද, තෝ ඒ දෘෂ්ටියෙන් මැ මූඪ වූයෙහි ප්‍රමූඪ වූයෙහි සම්මූඪ වූයෙහි මෝහයට පැමිණියෙහි ප්‍රමොහයට පැමිණියෙහි සම්මෝහයට පැමිණියෙහි අඳුරට පිවිසියෙහි නුයි ‘සමුග්ගහීතෙසු පමොහමාගතො’ යනු වේ.
ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං - මේ අධ්‍යාත්මශාන්තියෙන් හෝ ප්‍රතිපදායෙන් හෝ ධර්‍මදෙශනාවෙන් හෝ (මහණදම්හි) යුක්තසංඥාවක් හෝ ප්‍රාප්තසංඥාවක් හෝ ලක්‍ෂණසංඥාවක් හෝ කාරණසංඥාවක් හෝ හෙතුසංඥාවක් හෝ නො ලබව, මාර්‍ගඥානය වැලිත් කොයින් ලබවු ද’යි මෙසේත් - ‘ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං’ යනු වේ. නොහොත් අනිත්‍යය හෝ අනිත්‍යසංඥානුලොමය හෝ දුඃඛය හෝ දුඃඛසංඥානුලොමය හෝ අනාත්මය හෝ අනාත්මසංඥානුලොමය හෝ සංඥාඋත්පාද මාත්‍රයක් හෝ සංඥානිමිත්ත හෝ නො ලබව, මාර්‍ගඥානය කොයින් ලබවු දැ’යි මෙසේත් - ‘ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං’ යනු වේ.
තස්මා තුවං මොමූහතො දහාසි - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මොමූහධර්‍මයක් වශයෙන් බාලධර්‍මයක් වශයෙන් මූඪධර්‍මයක් වශයෙන් අඥානධර්‍මයක් වශයෙන් අමරාවික්‍ෂෙපධර්‍මයක් වශයෙන් ගන්ව බලව දක්හි අවලොකනය කෙරෙහි සිතව විමසව’යි ‘තස්මා තුවං මොමූහතො දහාසි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨිං ච නිස්සාය -පෙ- මොමූහතො දහාසි” යී.
යමෙක් ‘(මම) සම වෙමී, හෝ විශිෂ්ට වෙමී, හෝ නොහොත් හීන වෙමී’ නාම කෙරේ නම්, හෙතෙම ඒ මානයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පුද්ගලයා සමග හෝ විවාද කරන්නේ යැ. (යමෙක් ඒ) ත්‍රිවිධ මානයෙහි නො සැලෙනුයේ වේ නම්, ඒ මට ‘සම වෙමී හෝ විශිෂ්ට වෙමී’ (මානය) නො වේ.
සමො විසෙසි උදවා නිහීනො යො මඤ්ඤති සො විවදෙථ තෙන - ‘මම් සදෘශ වෙමී’ හෝ ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ හෝ ‘මම හීන වෙමී’ හෝ යමෙක් හඟනේ නම් හෙතෙම ඒ මානයෙන් හෝ ඒ දෘෂ්ටියෙන් හෝ ‘ඒ පුද්ගලයා සමග හෝ කලහ කරන්නේ යැ, ඩබර කරන්නේ යැ, විග්‍රහ කරන්නේ යැ, විවාද කරන්නේ යැ, අරගල කරන්නේ යැ: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නහු යැ, මේ ධර්‍මවිනය මම් දනිමී, කිමැ තෙමි මේ ධර්‍මවිනය දන්නහු ද? තෙපි වරදවා පිළිපන්නහු යැ, මම් සම්‍යක්ප්‍රතිපන්නයෙමි, මාගේ බස අර්‍ත්‍ථසංහිත යැ, තාගේ බස අනත්‍ථසංහිත යැ’ පළමු කියැයුත්ත පසුව කීයෙහි, පසුව කියැයුත්ත පළමු කීයෙහි, තා පුහුණු කළ දෙය නැවැතිණ, තට වාදාරෝපණය කරන ලද, නිග්‍රහ කරන ලදුයෙහි, වාදයෙන් ගැළැවෙනු සඳහා පිළිතුරු සොයා යව, ඉදින් පොහොසත්හි නම් (තමා) මුදා ගනැ’යි (විවාද කරන්නේ නුයි) ‘සමො විසෙසී උදවා නිහීනො යො මඤ්ඤති සො විවදෙථ තෙන’ යනු වේ.
තීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති - යමක්හට තෙල ත්‍රිවිධමානයෝ ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු (මාර්‍ගයෙන්) නසන ලද්දාහු උපතට අභව්‍ය වූවාහු නුවණ ගින්නෙන් දවන ලද්දාහු වෙත් ද; හෙතෙම තුන් මානයන්හි නො සැලෙයි, වෙසෙසින් නො සැලෙයි, නො සැලෙන පුද්ගලයාහට ‘මම් සදෘශ වෙමී’ හෝ ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ හෝ ‘මම් හීන වෙමී’ හෝ - න තස්ස හොති - මට නො වේ නුයි ‘තීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සමො විසෙසී -පෙ- න තස්ස හොති” යී.
ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙම (මෙය මැ) සැබැවැයි කවර වස්තුවක් (හෝ කුමන කරුණෙකින්) කියන්නේ ද, හෙතෙම (තා කියන්නේ) මෘෂා යැයි හෝ කවර මානයකින් (දෘෂ්ටියකින් හෝ පුද්ගලයකු හා සමග) විවාද කරන්නේ ද, යමක්හු කෙරෙහි සමමානය හෝ විෂමමානය හෝ නැද්ද, හෙතෙම කවර මානයකින් වාදයෙහි යෙදෙන්නේ ද.
සච්චන්ති සො බ්‍රාහ්මණො කිං වදෙය්‍ය - ‘බ්‍රාහ්මණො’ යනු: සප්තධර්‍ම කෙනකුන් බාහිත වන බැවින් බ්‍රාහ්මණ යැ... (4. 3 නිර්‍දෙශය) සච්චන්ති සො බ්‍රාහ්මණො කිං වදෙය්‍ය - ‘ශාශ්වත යැ ලෝකය, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’යි බ්‍රාහ්මණ තෙමේ කිම කියන්නේ ද? පවසන්නේ ද? බණන්නේ ද? දක්වන්නේ ද? කිම වහරන්නේ ද? ‘අශාශ්වත යැ ලෝකය... සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’යි බ්‍රාහ්මණ තෙමේ කිම පවසන්නේ ද? කියන්නේ ද? බණන්නේ ද? දක්වන්නේ ද කිම වහරන්නේ ද? එයින් ‘සච්චන්ති සො බ්‍රාහ්මණො කිං වදෙය්‍ය’ යනු වේ.
මුසාති වා සො විවදෙථ කෙන - බාහිතපාපී බ්‍රාහ්මණ තෙම ‘මා කියන්නක් මැ සැබව තාගේ බස මෘෂා යැ’යි කවර මානයකින් කවර දෘෂ්ටියකින් හෝ කවර පුඟුලක්හු සමග කලහ කරන්නේ ද, ඩබර විග්‍රහ - විවාද - අරගල කරන්නේ ද; ‘තෝ මේ ධර්‍මවිනය නො දන්නෙහි..., ඉදින් පොහෝනෙහි නම් තමා මුදාගනැ’යි ‘මුසාති වා සො විවදෙථ කෙන’ යනු වේ.
යස්මිං සමං විසමං වාපි නත්‍ථි - ‘යස්මිං’ යනු: යම් අර්‍හත් ක්‍ෂීණාස්‍රව පුද්ගලයක්හු කෙරෙහි ‘මම් සදෘශ වෙමි’ මානයෙක් නැත, මම් ශ්‍රෙෂ්ඨයෙමී අතිමානයෙක් නැත, ‘මම් හීනයෙමී’ අවමානයෙක් නැත, නො වෙයි විද්‍යමාන නො වෙයි නො ලැබෙයි, ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ වෙසෙසින් නසන ලද දුරලන ලද අභව්‍යොත්පත්තික යැ ඥානාග්නීන් දග්ධ නුයි ‘යස්මිං සමං විසමං වා පි නත්‍ථි’ යනු වේ.
ස කෙන වාදං පටිසංයුජෙය්‍ය - හෙතෙම කවර මානයකින් කවර දෘෂ්ටියකින් හෝ කවර පුද්ගලයක්හු සමග වාදයෙහි යෙදෙන්නේ ද, හැසිරෙන්නේ ද, කලහ කරන්නේ ද, ඩබර කරන්නේ ද, විග්‍රහ කරන්නේ ද, විවාද කරන්නේ ද, අරගල කරන්නේ ද: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ...ඉදින් සමර්ත්‍ථයවු නම් තමා මුදාලව’යි ‘ස කෙන වාදං පටිසංයුජෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සච්චන්ති සො බ්‍රාහ්මණො -පෙ- වාදං පටිසංයුජෙය්‍ය” යී.
(රූපනිමිත්තාදි නිකෙතයෙහි නො හැසිරෙන හෙයින්) අනිකෙතසාරී වූ ක්‍ෂීණාසුව මුනි තෙම රූපවස්ත්‍වාදි විඥානගොචරය - ඕකය හැරපියා ගම්හි ගිහීසන්ථවයන් නො කෙරෙමින් කාමයන් කෙරෙන් වෙන් වූයේ (මතු අත්බව්හි තෘෂ්ණාවශයෙන්) වට්ටය පෙරටු නො කරනුයේ ජනයා සමග විග්‍රාහිකකථාව නො කරන්නේ යී.
“එකල්හි හලිද්දකානී ගෘහපති තෙම ආයුෂ්මත් මහාකාත්‍යායනයන් වහන්සේ සමීපයට එළැඹ, ආයුෂ්මත් මහාකාත්‍යායනයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ එකත්පස් වැ හුන්නේය. එකත්පස් වැ හුන් හලිද්දකානී ගෘහපති තෙම ආයුෂ්මත් මහාකාත්‍යායනයන් වහන්සේට මෙපවත් කීය: ‘ස්වාමීනි, කාත්‍යායනයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටකවර්‍ගයෙහි වූ මාගන්දියප්‍රශ්නයෙහි මේ වදාරන ලද්දේය:
1. ‘රූපවස්ත්‍වාදි විඥානයාගේ අවකාශ සඞ්ඛ්‍යාත ඕකය දුරු කොට අනිකෙතසාරී වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම ගම්හි ගිහීන් හා සන්‍ථව නො කෙරෙමින් කාමයන් කෙරෙන් වෙන්වූයේ වට්ටය පෙරටු කොට නො සිටියේ ජනයා සමග විග්‍රාහික කථාව නො කරන්නේය’යි.
ස්වාමීනි, කාත්‍යායනයන් වහන්ස, භාග්‍යවතුන් විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය කෙසේ නම් විස්තරයෙන් දතයුත්තේ දැ”යි.
‘ගෘහපතිය, රූපස්කන්‍ධය (කර්‍ම) විඥානයාගේ ඔක (=ප්‍රත්‍යය) වෙයි, තවද රූපධාතුයෙහි රාගයෙන් බැඳුණු කර්‍මවිඥානය ඔකසාරී (-ආලයෙහි හැසිරෙන සුලු) යැයි කියනු ලැබෙයි. ගෘහපතිය, වෙදනාස්කන්ධය... සංඥාස්කන්‍ධය... ගෘහපතිය සංස්කාරස්කන්‍ධය කර්‍මවිඥානයාගේ ඕකය වෙයි, තවද සංස්කාරස්කන්‍ධයෙහි රාගයෙන් බැඳුණු කර්‍මවිඥානය ‘ඔකසාරී’ යයි කියනු ලැබේ. මෙසෙයින් ගෘහපතිය ඔකසාරී වේ.
තවද ගෘහපතිය, කිසෙයින් ‘අනෝකසාරී’ වෙයි ද යත්? ගෘහපතිය, රූපස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් යම් (තෘෂ්ණා දෘෂ්ටි සඞ්ඛ්‍යාත) උපය කෙනෙක් හා (කාමාදි) උපාදාන කෙනෙක් අකුශල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවේශ අනුශය වූවාහු ද ඔවුහු තථාගතයන් විසින් ප්‍රහීණ කරන ලද්දාහු උසුන්මුල් කළාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, එහෙයින් සම්මාසම්බුදුහු ‘අනෝකසාරී’ යයි කියනු ලැබෙති. ගෘහපතිය, වෙදනාස්කන්‍ධයෙහි... සංඥාස්කන්‍ධයෙහි... සංස්කාරස්කන්‍ධයෙහි... ගෘහපතිය, විඥානස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් යම් උපය හා උපාදාන කෙනෙක් අකුසල් සිතට ආධාර නිවාස අනුශය වූවාහු නම් ඔවුහු සම්මාසම්බුදුන් විසින් ප්‍රහාණය කරන ලද්දාහු උපුටාහළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, එහෙයින් තථාගතයෝ ‘අනෝකසාරී’ යයි කියනු ලැබෙත්. මෙසෙයින් ගෘහපතිය, අනෝකසාරී වේ.
තවද ගෘහපතිය, කිසෙයින් නිකෙතසාරී වෙයි ද යත්? රූපනිමිත්ත සඞ්ඛ්‍යාත නිකෙතයෙහි (-රූප නමැති නිවාසයෙහි) පැතිරීම හා බැඳීම හේතු කොටගෙන ‘නිකෙතසාරී’ යයි කියනු ලැබෙයි. ශබ්දනිමිත්ත... ගන්ධනිමිත්ත... රසනිමිත්ත... ස්ප්‍රෂ්ටව්‍යනිමිත්ත... ධර්‍මනිමිත්ත නමැති නිවාසයෙහි විසාරවිනිබන්ධ (-පැතිරීම ත් බැඳීම ත්) හේතු කොටගෙන ‘නිකෙතසාරී යයි කියනු ලැබේ. මෙසෙයින් ගෘහපතිය, නිකෙතසාරී (-අරමුණෙහි වෙසෙනුයේ) වේ.
තවද ගෘහපතිය, කිසෙයින් අනිකෙතසාරී වේ ද? යත්: ගෘහපතිය රූපනිමිත්තනිකෙතයෙහි (ක්ලේශයන්ගේ) විසාරවිනිබන්‍ධයෝ තථාගතයන් විසින් ප්‍රහීණයෝ යැ, නැසූ මුල් ඇත්තෝ යැ, තාලවස්තුවක් මෙන් කරන ලද්දෝ යැ, නසන ලද්දෝ යැ, මතු නූපදනා පියවි ඇත්තෝ යැ. එහෙයින් සම්මාසම්බුදුහු ‘අනිකෙතසාරී’ යයි කියනු ලැබෙති ශබ්දනිමිත්ත... ගන්ධනිමිත්ත... රසනිමිත්ත... ස්ප්‍රෂ්ටව්‍යනිමිත්ත... ගෘහපතිය, ධර්‍මනිමිත්තනිකෙතයෙහි විසාරවිනිබන්‍ධයෝ තථාගතයන් විසින් ප්‍රහීණ කරන ලද්දාහුය... මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහුය. එහෙයින් සම්මාසම්බුදුහු අනිකෙතසාරී යයි කියනු ලැබෙත්. මෙසෙයින් ගෘහපතිය, අනිකෙතසාරී වේ.
තවද ගෘහපතිය, කිසෙයින් ග්‍රාමයෙහි සන්ථවජාත වේ ද? යත්: ගෘහපතිය මෙ සස්නෙහි ඇතැම් මහණෙක් ගෘහීන් හා සංසෘෂ්ට වැ වෙසෙයි: එක් වැ සතුටු වෙයි, එක් වැ ශෝක ඇත්තේ වෙයි, (දායකයන්) සුඛිත කල්හි (ගෘහශ්‍රිත සැපයෙන්) සුඛිත වෙයි, දුකට පැමිණි කල්හි දුකට පැමිණෙයි, උපන් කටයුතු ඇතිකල්හි තමා උපයොගයට (-කළ යුතුබවට) පැමිණෙයි. මෙසෙයින් ගෘහපතිය, ගම්හි හටගත් සන්‍ථව ඇත්තේ වේ.
තවද ගෘහපතිය, කෙසේ ගම්හි නූපන් ගිහීසන්ථව ඇත්තේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් ගිහීන් හා අසංසෘෂ්ට වූයේ වෙසෙයි: සමග සතුටු නො වන්නේ සමග ශෝකී නො වන්නේ සුඛිත කල්හි සුඛිත නො වූයේ දුඃඛිත කල්හි දුඃඛිත නො වූයේ උපන් කටයුතු ඇති කල්හි තමා උපයොගයට නො පැමිණෙයි. මෙසෙයින් ගෘහපතිය, ගම්හි නූපන් ගිහීසන්ථව ඇත්තේ වේ.
යළි ගෘහපතිය, කිසෙයින් කාමයන් කෙරෙන් නො සිස් වූයේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි කිසි මහණෙක් වස්තුකාමයන්හි නො පහ වූ රාග ඇතියේ අවිගත වු කාමච්ඡන්‍ද ඇතියේ අවිගත වූ ප්‍රේම ඇතියේ අවිගත වූ පිපාසා ඇතියේ අවිගත වූ පරිදාහ ඇතියේ අවිගත වූ කාමතෘෂ්ණා ඇතියේ වෙයි. මෙසෙයින් ගෘහපතිය, ක්ලේශකාමයන් කෙරෙන් අතුච්ඡ වේ.
තවද ගෘහපතිය, කිසෙයින් කාමයන් කෙරෙන් රික්ත (-සිස්) වූයේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි කිසි මහණෙක් වස්තුකාමයන් කෙරෙහි පහවැගිය රාග ඇත්තේ විගත වූ කාමච්ඡන්‍ද ඇත්තේ විගත වූ පෙම ඇතියේ විගත වූ පිපාසා ඇතියේ විගත වූ පරිදාහ ඇතියේ විගත වූ තෘෂ්ණා ඇතියේ වෙයි. මෙසෙයින් ගෘහපතිය, ක්ලේශකාමයන් කෙරෙන් රික්ත වූයේ වේ.
තවද ගෘහපතිය, කිසෙයින් වට්ටය පෙරටු කරන්නේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණක් හට මෙබඳු සිතෙක් වෙයි: ‘අනාගතකාලයෙහි මෙබඳු රූ ඇතියෙම් වෙම්ව’යි එහි තෘෂ්ණාව පිහිටුවයි මෙබඳු සැප වේදනා ඇතියෙම්... මෙබඳු සංඥා ඇතියෙම්... මෙබඳු සංස්කාර ඇතියෙම්... අනාගතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වෙම් ව’යි එහි ප්‍රාර්‍ත්‍ථනාව පිහිටුවයි. මෙසෙයින් ගෘහපතිය, වට්ටය පෙරටු කරනුයේ වේ.
තවද ගෘහපතිය, කිසෙයින් වට්ටය නො පෙරටු කරනුයේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණක් හට මෙසේ සිතෙක් වෙයි: ‘අනාගතකාලයෙහි මෙබඳු රූ ඇතියෙම් වෙම්ව’යි එහි ප්‍රාර්‍ත්‍ථනාව නො පිහිටුවයි. මෙබඳු වේදනා ඇතියෙම්... මෙබඳු සංඥා ඇතියෙම්... මෙබඳු සංස්කාර ඇතියෙම්... මෙබඳු විඥාන ඇතියෙම් වෙම්ව’යි එහි ප්‍රාර්‍ත්‍ථනාව නො පිහිටුවයි. මෙසෙයින් ගෘහපතිය, සසරවට නො පෙරටු කරනුයේ වේ.
තවද ගෘහපතිය, කිසෙයින් ජනයා සමග විග්‍රාහිකකථාව කරන්නේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් මෙබඳු විවාදකථාව කරන්නේ වෙයි: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ... ඉදින් සමර්‍ත්‍ථ වූවහු නම් මිදෙව’යි. මෙසෙයින් ගෘහපතිය, ජනයා සමග විග්‍රාහිකකථාව කරන්නේ වෙයි.
තවද ගෘහපතිය, කිසෙයින් ජනයා සමග විග්‍රහ නො කරන්නේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් මෙබඳු විවාදකථාව නො කරන්නේ වෙයි: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ... ඉදින් පොහොනවු නම් (තමා දොසින්) මුදාගනුවයි.’ මෙසෙයින් ගෘහපතිය, ජනයා සමග විග්‍රාහික කථාව නො කරන්නේ වේ. ගෘහපතිය, මෙසේ භාග්‍යවතුන් විසින් අෂ්ටකවර්‍ගයෙහි වූ මාගන්‍දිය ප්‍රශ්නයෙහි
‘ඔකං පහාය -පෙ- න විග්ගය්හ ජනෙන කයිරා’ යී යමක් වදාරන ලද්දේ නම්,
ගෘහපතිය, භාග්‍යවත් බුදුන් විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනාවෙහි විස්තරාර්‍ත්‍ථය මෙසේ දතයුත්තේය’යි.
එයින් වදාළහ බුදුහු:
“ඔකං පහාය -පෙ- න විග්ගය්හ ජනෙන කයිරා” යී.
ක්‍ෂීණාස්‍රව නාග තෙම යම් දෘෂ්ටිගතාදියෙකින් වෙන් වූයේ ලොවැ හැසිරෙන්නේ ද, (හෙතෙම) ඒ දෘෂ්ටිගතයන් දැඩි වැ ගෙන නො කියන්නේ යැ. ඵල සඞ්ඛ්‍යාත ජලයෙහි උපන් කටු සහිත දඬු ඇති පියුම දියෙන් හා කලලින් යම්සේ නො තැවැරුණේ ද, එසෙයින් අධ්‍යාත්මශාන්තිය ප්‍රකාශ කරන තෘෂ්ණා රහිත වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම කාමයෙහි ද ලෝකයෙහි ද නො ඇලුණේ වේ.
යෙහි විවිත්තා විචරෙය්‍ය ලෝකේ - ‘යෙහි’ යනු: යම් දෘෂ්ටිගතයන් ගෙන්; විවිත්තො - කායදුශ්චරිතයෙන් සිස් වූයේ වෙන් වූයේ ඉතා වෙන් වූයේ වාග්දුශ්චරිතයෙන්... මනෝදුශ්චරිතයෙන්... රාගයෙන්... සියලු අකුශලාභිසංස්කාරයන් කෙරෙන් රිත්ත - විවිත්ත - ප්‍රවිවික්ත වූයේ; විචරෙය්‍ය - හැසිරෙන්නේය වෙසෙන්නේය ඉරියවු පවත්වන්නේය, රැකෙන්නේය යැපෙන්නේය යාපනය වන්නේය; ලෝකේ - මිනිස් ලොවැ... ආයතනලෝකයෙහි නුයි ‘යෙහි විචිත්තො විචරෙය්‍ය ලෝකේ’ යනු වේ.
න තානි උග්ගයහ වදෙය්‍ය නාගො - ‘නාගො’ යනු: පව් නො කෙරේ නුයි ‘නාග’යැ (අගතියට) නො යේ නුයි ‘නාග’ යැ (පුහුන් කෙලෙසුන් කරා) නො පැමිණේ නුයි ‘නාග’යැ. කිසෙයින් පව් නො කරනුයෙන් නාග වෙයි යත්: පීඩාකර වූ පුනර්‍භවය දෙන්නා වූ දරථ සහිත වූ දුඃඛ විපාක උපදවන මත්තෙහි ජාතිජරාමරණයන්ට ප්‍රත්‍යය වූ ලාමක අකුශල ධර්‍මයෝ ‘ආගු’ යයි කියනු ලැබෙත්.
1. (‘සභිය’යී බුදුහු මෙසේ වදාළහ:) යමෙක් ලෝකයෙහි අල්පමාත්‍ර වූ ද පාපයක් නො කෙරේ නම් එබඳු වූයේ ‘නාග’ යයි කියනු ලැබෙයි. හෙතෙම කාමාදි සියලු යෝගයන් ද සංයොජනභෙද වූ බන්ධනයන් ද හැරපියා ස්කන්‍ධාදි සියලු තැන්හි, කිසි සඞ්ගයෙකින් නො ඇලෙයි, ද්විවිධ විමුක්තියෙන් මිදුණේ ලාභාලාභාදියෙහි තාදී වූයේ ද වේ.
මෙසේ පව් නො කෙරේ නුයි ‘නාග’ යැ. කිසෙයින් නො යේ නුයි නාග වෙයි යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයින් අගතියට නො යෙයි, රාගවශයෙන් නො යෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍යවශයෙන් - විචිකිත්සාවශයෙන් - අනුශයවශයෙන් නො යෙයි, වර්‍ග වූ ධර්‍මයන් ගෙන් නො යවනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබේ. මෙසේ නො යේ නුයි - ‘නාග’ යැ. කෙසේ නො ඒ නුයි ‘නාග’ නම් වෙයි යත්: සෝවාන්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා පෙරළා නො එයි, පසු වැ නො එයි, ආපසු නො එයි. සැදැගැමිමඟින්... අනගැමිමඟින්... රහත්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම්, ඒ කරා පෙරළා නො එයි පසු වැ නො එයි ආපසු නො එයි. මෙසේ නො ඒ නුයි ‘නාග’ නමි.
න තානි උග්ගය්හ වදෙය්‍ය නාගො - නාග තෙමේ ඒ දෘෂ්ටිගතයන් ගෙන ඔසොවා ගෙන ග්‍රහණය කොට පරාමර්‍ශ කොට අභිනිවේශය කොට නො පවසන්නේය නො කියන්නේය නො බණන්නේය නො දක්වන්නේය නො වහරන්නේය. ‘ශාශ්වත යැ ලෝකය... සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ සැබව, සෙස්ස මෝඝ යැ’යි නො පවසන්නේය නො කියන්නේය නො බණන්නේය නො දක්වන්නේය නො වහරන්නේ නුයි ‘න තානි උග්ගය්හ වදෙය්‍ය නාගො’ යනු වේ.
එලම්බුජං කණටකං වාරිජං යථා ජලෙන පඞ්කෙන ච නූපලිත්තං - ‘එලං’ යී දිය කියනු ලැබෙයි. ‘අම්බුජ’යී පියුම කියනු ලැබෙයි. ‘කණ්ටක, යී රළු වූ දණ්ඩ කියනු ලැබෙයි. ‘වාරි’යී දිය කියනු ලැබෙයි. ‘වාරිජ’යී දියෙහි උපන් පියුම කියනු ලැබෙයි. ‘ජල’යී දිය කියනු ලැබෙයි. ‘පඞ්ක’යී කලල් කියනු ලැබේ. යම් සේ දියෙහි උපන් දියෙහි හටගත් පියුම දියෙන් හා කලලින් නො ඇලේ ද වෙසෙසින් නො ඇලේ ද නො තැවැරේ ද, නො ඇලුණේ වෙසෙසින් නො ඇලුණේ නො තැවැරුණේ නුයි ‘ඵලම්බුජං කණ්ටකං වාරිජං යථා ජලෙන පඞ්කෙන ච නූපලිත්තං’ යනු වේ.
එවං මුනී සන්තිවාදො අගිද්ධො කාමෙ ච ලෝකේ ච අනූපලිත්තො - ‘එවං’ යනු: ඖපම්‍යසම්ප්‍රතිපාදනා යැ; මුනි - ‘මොන’යී ඥානය කියනු ලැබෙයි... සන්තිවාදො - මුනි තෙම අධ්‍යාත්මශාන්තිය කියන්නේ යැ, ත්‍රාණ වාද යැ ලෙනවාද යැ ශරණවාද යැ අභයවාද යැ අව්‍යුතවාද යැ අමෘතවාද යැ නිර්‍වාණවාද (=නිවන පවසා) නුයි ‘එවං මුනි සන්තිවාදො’ යනු වේ. අගිද්ධො - ‘ගේධ‘යී තෘෂ්ණාව කියනු ලැබෙයි, යම් රාගයෙක් සංරාගයෙක්... අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, යමක්හු විසින් ඒ ගේධ තෙමේ ප්‍රහීණ කරන ලද ද සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද, උපතට නුසුදුසු වූයේ නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අගිද්ධ’යී කියනු ලැබෙයි. හේ රූපයෙහි අගිද්ධ යැ ශබ්දයෙහි - ගන්‍ධයෙහි - රසයෙහි - ස්ප්‍රෂ්ටව්‍යයෙහි - කුලයා කෙරෙහි - ගණයා කෙරෙහි - ආවාසයෙහි - ලාභයශස් - ප්‍රශංසායෙහි - සුවයෙහි - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලාන - ප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයෙහි - කාමධාතුයෙහි - රූපධාතුයෙහි - අරූපධාතුයෙහි - කාම - රූප - අරූපභවයෙහි - නෛවසංඥානාසංඥාභවයෙහි - එකවොකාර - චතුවෝකාර - පඤ්චවොකාරභවයෙහි - අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්නයෙහි - දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍යධර්‍මයන්හි නො ගිජු වූයේ නො ගෙතුණේ මුසපත් නො වූයේ නො බැඳුණේ පහවූ තෘෂ්ණා ඇතියේ පහවගිය තෘෂ්ණා ඇතියේ ත්‍යක්ත වූ තෘෂ්ණා ඇතියේ වාන්ත (-වමනය කළ) තෘෂ්ණා ඇතියේ මුදන ලද තෘෂ්ණා ඇතියේ දුරැ ලූ තෘෂ්ණා ඇතියේ වීතරාග - විගතරාග - ත්‍යක්තරාග - වාන්තරාග - මුක්තරාග - ප්‍රහීණ රාග - ප්‍රතිනිඍෂ්ටරාග වූයේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ (කයින් සිතින්) සුව විඳින සුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘එවං මුනී සන්තිවාදො අගිද්ධො’ යනු වේ.
කාමෙ ච ලෝකේ ච අනූපලිත්තො - ‘කාමා’ යනු: උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි:... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. ලෝකේ - අපායලෝකයෙහි මනුෂ්‍ය - දෙව - ස්කන්‍ධ - ධාතු - ආයතනලෝකයෙහි; ‘ලෙප’ යනු: තෘෂ්ණාලේපය ද දෘෂ්ටිලෙපය දැයි ලෙප දෙකෙකි... මුනි තෙම තෘෂ්ණාලේපය හැර දෘෂ්ටිලෙපය දුරලා කාමයෙහි ද, ලෝකයෙහි ද, නො ඇලෙයි වෙසෙසින් නො ඇලෙයි, නො තැවැරෙයි. අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වූයේ නික්මැගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ (අරමුණුවලින්) මිදුණු සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘එවං මුනී සන්තිවාදො අගිද්ධො කාමෙ ච ලෝකේ ච අනූපලිත්තො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යෙහි විවිත්තො -පෙ- කාමෙ ච ලෝකේ ච අනූපලිත්තො” යී.
සිවුමඟ නුවණට පැමිණි (මා වැනියෙක්) දෘෂ්ටියට (හෝ දෘෂ්ටියෙන්) යන්නෙ නො වෙයි. හෙතෙම (මුතරූපාදි භේද වූ) මුතියෙනු දු මානයට නො පැමිණෙ යි. හේ (තෘෂ්ණා - දෘෂ්ටි විසින්) නො මැ තමමය වෙයි. කර්‍මයෙන් හෝ ශ්‍රැතයෙන් හෝ නො ද පැමිණැවියැ යුත්තේ, වෙයි. හේ තෘෂ්ණාදෘෂ්ටිනිවෙසනයන්හි අනූපනීත වේ.
න වේදගු දිට්ඨියා න මුතියා ස මානමෙති - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ. වේදගු ‘වෙද’යි සතර මඟ නුවණ කියනු ලැබෙයි, ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රියය ප්‍රඥාබලන ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වීමාංශාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය යි. ඒ මාර්‍ගඥානවෙදයන්ගෙන ජාතිජරාමරණයාගේ අන්තයට ගියේ අන්තයට පැමිණියේ කෙළවරට ගියේ කෙළවරට පැමිණියේ පර්‍ය්‍යන්තයට ගියේ පර්‍ය්‍යන්තයට පැමිණියේ අවසානයට ගියේ අවසානයට පැමිණියේ ත්‍රාණයට ගියේ ත්‍රාණයට පැමිණියේ ලෙනයට ගියේ ලෙනයට පැමිණියේ ශරණයට ගියේ ශරණයට පැමිණියේ අභයට ගියේ අභයට පැමිණියේ අච්‍යුතයට ගියේ අච්‍යුතයට පැමිණියේ අමෘතයට ගියේ අමෘතයට පැමිණියේ නිවනට ගියේ නිවනට පැමිණියේ නොහොත් වෙදයන්ගේ අන්තයට ගියේ නුයි - ‘වේදගු’යැ, වෙදයන්ගෙන් අන්තයට ගියේ නුයි හෝ - ‘වේදගු’ යැ. සප්තධර්‍මයන් විදිත හෙයින් ‘වේදගු’ යැ: සත්කායදෘෂ්ටිය දන්නා ලද්දී වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය විදිත වෙයි. කෙලෙසට කරුණු වූ පුනර්‍භවය දෙන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක ඇති අනාගතයෙහි ජාතිජරාමරණයට හේතු වූ ලාමක අකුශලධර්‍මයෝ ඔහු විසින් විදිත වූවාහු වෙත්.
1. (“සභිය, යී බුදුහු මෙසේ වදාළහ:) මාර්‍ගඥානවේදයට පැමිණි ඒ ක්‍ෂීණාස්‍රව තෙම මේ ලෝකයෙහි මහණබමුණන්ගේ ශාස්‍ත්‍ර සඞ්ඛ්‍යාත යම් වෙද කෙනෙක් ඇත් ද ඒ සියල්ල (අනිත්‍යාදි වශයෙන්) විමසා (එහි ඡන්‍දරාගප්‍රහාණයෙන්) සියලු ශාස්ත්‍රවෙදය ඉක්මැ සියලු වේදනාවන්හි වීතරාග වේ.”
න දිට්ඨියා - ඔහු විසින් දෙසැට දිටුහු පහන ලද්දාහු සිඳුණා ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු වෙති; හෙතෙම දෘෂ්ටිය විසින් නො යවනු ලැබෙයි; නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරනු ලැබේ. ඒ දෘෂ්ටියට නො ද සාර හෙයින් පැමිණෙයි, නො පෙරළා ඒ නුයි ‘න වේදගු දිට්ඨියා’ යනු වේ.
න මුනියා ස මානමෙති - මුත (-ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය) රූපයෙන් හෝ පරතොඝොෂයෙන් හෝ මහජන සම්මුතියෙන් හෝ මානයට නො එයි නො පැමිණෙයි, නො එළැඹෙයි, නො ගනී, නො ඇලෙයි, නො පිවිසේ නුයි ‘න වේදගු න දිට්ඨියා න මුනියා ස මානමෙති’ යනු වේ.
න හි තම්මයො සො - තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් තන්මය නො වෙයි, තත්පරායණ නො වේ. යම් තැනක සිට තෘෂ්ණාව ත් දෘෂ්ටිය ත් මානය ත් ඔහු විසින් ප්‍රහීණ කරන ලද්දාහු උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකින් එය ප්‍රකෘති කොට ඇත්තේ නො වෙයි, තත්පරම නො වෙයි, තත්පරායණ නො වේ නුයි ‘න හි තම්මයො සො’ යනු වේ.
න කම්මුනා නො ‘පි සුතෙන නෙය්‍යො - ‘න කම්මුනා’ යනු: පුණ්‍යාභිසංස්කාරයෙන් හෝ අපුණ්‍යාභිසංස්කාරයෙන් හෝ ආනෙඤ්ජාභිසංස්කාරයෙන් හෝ නො යවනු ලැබෙයි, නො ගෙනයනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො හරිනු ලැබේ නුයි ‘න කම්මුනා’ යනු වේ. නො ‘පි සුතෙන නෙය්‍යො - ශ්‍රැතශුද්ධියෙන් හෝ පරතොඝොෂයෙන් හෝ මහජනසම්මුතියෙන් හෝ නො යවනු ලැබෙයි... නො හරිනු ලැබේ නුයි ‘න කම්මුනා නො ‘පි සුතෙන නෙය්‍යො’ යනු වේ.
අනූපතීතො ස නිවෙසනෙසු - ‘උපය’ යනු: තෘෂ්ණා උපය ද දෘෂ්ටි උපය දැයි උපයයෝ දෙදෙනෙක් වෙති... ඔහු විසින් තෘෂ්ණාඋපය ප්‍රහීණ යැ, දෘෂ්ටිඋපය දුරලන ලද; තෘෂ්ණොපය ප්‍රහීණ වන බැවින් දෘෂ්ට්‍යුපය දුරලන ලද බැවින් හේ (අපායාදි) නිවේසනයන්හි නො පමුණුවන ලද්දේ නො ඇලුණේ නො පැමිණියේ නො පිවිසියේ නො ඇතුළු වූයේ නික්මැගියේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ නො බැඳුණේ කෙලෙසුන් හා නො යෙදුණු සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘අනූපනීතො ස නිවෙසනෙසු යනු වේ.
එයින් වදාළහ:
“න වේදගු -පෙ- ස නිවෙසනෙසු” යී.
ප්‍රහීණ කළ කාමාදි සංඥා ඇත්තහුට (අභිධ්‍යාකායාදි) ග්‍රන්‍ථයෝ නො වෙති. විදර්‍ශනාප්‍රඥාවෙන් කෙලෙසුන් කෙරෙන් මිදුණහුට මෝහයෝ නො වෙති. යම් කෙනෙක් කාමාදි සංඥාව ත් දෙසැට දෘෂ්ටිය ත් දැඩි වැ ගත්තාහු නම්, ඔහු උනුන් ගටමින් ලොවැ හැසිරෙත්.
සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා - යමෙක් ශමථපූර්‍වඞ්ගම ආර්‍ය්‍ය මාර්‍ගය වඩා ද ආදියෙහි පටන් ඔහුගේ අභිධ්‍යාකායාදි ග්‍රන්‍ථයෝ විෂ්කම්භණ වූවාහු වෙති, රහත්බවට පැමිණි කල්හි රහත්හුගේ ග්‍රන්‍ථයෝ ද මෝහයෝ ද නීවරණයෝ ද කාමසංඥා ව්‍යාපාදසංඥා විහිංසාසංඥා දෘෂ්ටිසංඥා ද ප්‍රහීණ වූවාහු වෙති, උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මතු නූපදනා පියවි ඇත්තාහු නුයි ‘සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා’ යනු වේ.
පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා - යමෙක් විදර්‍ශනා පූර්‍වඞ්ගම වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩා ද, ඔහුගේ ආදියෙහි පටන් මෝහයෝ විෂ්කම්භණ වූවාහු වෙති, රහත්බවට පැමිණි කල්හි රහත්හුගේ මෝහයෝ ද ග්‍රන්‍ථයෝ ද නීවරණයෝ ද කාම - ව්‍යාපාද - විහිංසා - දෘෂ්ටිසංඥා ද ප්‍රහීණ වූවාහු වෙති සිඳින ලද මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනාභාවය කරන ලද්දාහු මතු නූපදනා පියවි ඇත්තාහු නුයි - ‘පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා’ යනු වේ.
සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ - යම් කෙනෙක් කාම - ව්‍යාපාද - විහිංසා - යන සංඥාව ගනිත් ද ඒ ගැහැවියෝ සංඥාවශයෙන් ගටති, ඉතා ගටත්. රජහු ද රජුන් සමග විවාද කෙරෙති, ක්‍ෂත්‍රියයෝත් ක්‍ෂත්‍රියයන් සමග විවාද කෙරෙති, බමුණෝත් බමුණන් සමග විවාද කෙරෙති, ගැහැවියෝත් ගැහැවියන් සමග විවාද කෙරෙති, මවු ද පුතු සමග විවාද කෙරෙයි, පුතාත් මව සමග විවාද කෙරෙයි, පියතෙමේ ත් පුතු සමග විවාද කෙරෙයි, පුතාත් පියා සමග විවාද කෙරෙයි, සොහොයුරාත් සොහොයුරු සමග විවාද කෙරෙයි, සොහොයුරියත් සොහොයුරිය සමග විවාද කෙරෙයි, සොහොයුරාත් සොහොයුරිය සමග විවාද කෙරෙයි, සොහොයුරියත් සොහොයුරු සමග විවාද කෙරෙයි, යහළුවාත් යහළුහු සමග විවාද කෙරෙයි, ඔවුහු එහි කලහවිග්‍රහවිවාදයට පැමිණියාහු උනුනට අත්වලිනු දු පහර දෙති, කැටගලිනු දු ගසති, දඬුවලින් දු ගසති, සැතිනු දු පහර දෙත්. ඔවුහු එහි දී මරණයටත් මරණ මාත්‍ර දුකටත් පැමිණෙත්. යම් කෙනෙක් දෘෂ්ටිය ගනිත් ද: ‘ශාශ්වත යැ ලොකයැයි හෝ... සත්ත්‍වතෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වේ යැයි හෝ’ ඔවුහු දෘෂ්ටිවශයෙන් ගටති, ඉතා ගටති ශාස්තෘහු වශයෙන් ශාස්තෘහු ගටති, ධර්‍මාඛ්‍යානයෙන් ධර්‍මාඛ්‍යානය - ගණයා කෙරෙන් ගණයා - දෘෂ්ටියෙන් දෘෂ්ටිය - පිළිවෙතින් පිළිවෙත - මාර්‍ගයෙන් මාර්‍ගය ගටත්. නොහොත් ඔහු විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්‍රහ කෙරෙති, විවාද කෙරෙති අරගල කෙරෙති: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවුයැ... ඉදින් පොහොසත්හු නම් තමා මුදා ගනිවුයැ’යි. ඔවුන්ගේ පුණ්‍යාදි අභිසංස්කාරයෝ අප්‍රහීණයහ, අභිසංස්කාරයන් අප්‍රහීණ වන බැවින් (යායුතු) ගතියෙන් ගටති, නිරයෙහි ලා ගටති, තිරශ්චීනයෝනියෙහි ගටති, ප්‍රේතවිෂයයෙහි ගටති, මනුෂ්‍යලොකයෙහි ගටති, දිව්‍යලෝකයෙහි ගටත්. ගතියෙන් ගතිය උපතින් උපත පිළිසඳින් පිළිසඳ භවයෙන් භවය සසරින් සසර වටින් වට ගටති, ඉතා ගටති. ගටමින් ඇවිදිති හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යපනය වෙත්. ලෝකේ - අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
‘සඤ්ඤාවිරත්තස්ස -පෙ- තෙ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ” යී.