සුත්‍වාන තව සාසනං - ඔබගේ වචනය වාක්පථය දෙසුම අනුසස්න අනුශිෂ්ටිය අසා ශ්‍රවණය කොට උගෙන විමසා සලකා නුයි ‘සුත්‍වාන තව සාසනං’ යනු වේ.
විවෙකෙ සීක්ඛිස්සාම සෙ - ‘විවෙක’ නම්: කායවිවේක යැ චිත්තවිවේක යැ උපධිවිවෙක යැ යි තුන් විවෙක කෙනෙක් වෙති.
කායවිවේකය කවරැ යත්? මේ සස්නෙහි මහණ තෙමේ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කඳුරු යැ ගල්ගේ යැ සොහොන යැ වනපත් යැ අබවස යැ පිදුරු බිසි (කුටි) යැ යන විවෙකසෙනාසනයක් ඇසුරු කෙරෙයි. කයින් විවික්ත වැ වෙසෙයි. හේ එකලා වැ යෙයි. එකලා වැ සිටී. එකලා වැ හොවී. එකලා වැ ගමට පිඬු සිඟා යෙයි. එකලා වැ පෙරළා එයි. එකලා වැ රහසැ හිඳී. එකලා වැ සක්මන් කෙරෙයි. එකලා වැ හැසිරෙයි. වෙසෙයි. ඉරියව් පවත්වයි යැපෙයි යාපනය කෙරෙයි. මේ ‘කායවිවේක’ යැ.
චිත්තවිවේක කවරැ යත් ? ප්‍රථමධ්‍යානයට සමවැදුනහුගේ සිත නීවරණයන්ගෙන් වෙන් වූයේ වෙයි, ද්විතීයධ්‍යානයට සමවැදුනහුගේ සිත විතර්‍කවිචාරයන්ගෙන් වෙන් වූයේ වෙයි, තෘතීයධ්‍යානයට සමවැදුනහුගේ සිත ප්‍රීතියෙන් වෙන් වූයේ වෙයි, චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදුනහුගේ සිත සුඛදුඃඛයන්ගෙන් වෙන් වූයේ වෙයි, ආකාසානඤ්චායතනයට සමවැදුනහුගේ සිත රුපසංඥායෙන් ප්‍රතිඝසංඥායෙන් නානාත්මසංඥායෙන් වෙන් වූයේ වෙයි, විඤ්ඤාණඤ්චාතනයට සමවන්නහුගේ සිත ආකාසානඤ්චායතනසංඥායෙන් විවික්ත වෙයි, ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුගේ සිත විඤ්ඤාණඤ්චායතනසංඥායෙන් විවික්ත වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥායෙන් විවික්ත වෙයි, ස්‍රොතාපන්නයාගේ සිත සත්කායදෘෂ්ටියෙන් විචිකිත්සායෙන් ශීලව්‍රතපරාමර්‍ශයෙන් දෘෂ්ට්‍යනුශයයෙන් විචිකිත්සානුශයයෙන් හා ඔවුන් හා එක්වැ සිටි කෙලෙසුන්ගෙන් ද විවික්ත වෙයි, සකෘදාගාමීහුගේ සිත ඖදාරිකකාමරාගසංයොජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික කාමරාගානුශයයෙන් ප්‍රතිඝානුශයයෙන් හා තදේකස්ථ ක්ලේශයන් ගෙන් ද විවික්ත වෙයි, අනාගාමීහුගේ සිත අණුසහගත වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් අණුසහගත කාමරාගානුශයයෙන් ප්‍රතිඝානුශයයෙන් හා තදේකස්ථ ක්ලේශයන් ගෙන් ද විවික්ත වෙයි, රහත්හු ගේ සිත රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යාවෙන් මානානුශයයෙන් භවරාගානුශයයෙන් අවිද්‍යානුශයයෙන් හා තදේකස්ථ වූ ක්ලේශයන්ගෙන් ද බාහ්‍ය ව පැවැති සියලු සංස්කාරනිමිත්තයන්ගෙන් ද විවික්ත වූයේ වේ. මේ යැ චිත්තවිවේක ය.
උපධිවිවෙක කවරැ යත් ? ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘උපධි’ යයි කියනු ලැබෙති; අමාමහ නිවන ‘උපධිවිවෙක’ යයි කියනු ලැබේ. හේ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම යැ සියලු උපධීන්ගේ දුරැලීම යැ තෘෂ්ණාක්‍ෂය යැ විරාග යැ නිරෝධ යැ නිර්‍වාණයයි. මේ උපධිවිවෙක යි.
ගණසඞ්ගනිකායෙන් වෙන් වූ නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණවුන්ගේ කායවිවේකය ද, පිරිසිදු සිත් ඇති උත්තමපාරිශුද්ධියට පැමිණියවුන්ගේ චිත්තවිවෙකය ද, උපධිරහිත වූ නිවනට ගිය සිත් ඇති පුද්ගලයන්ගේ උපධිවිවේකය ද වේ.
විවෙකෙ සික්ඛිස්සාම සෙ - ඒ තෙරණුවෝ පියවින් හික්මුණු ත්‍රිවිධ ශික්‍ෂා ඇත්තාහ; තවද දම්දෙසුම් සඳහා දෙම්දෙසුම අයදමින් මෙසේ කියති: ‘විවෙකෙ සික්ඛිස්සාම සෙ’ යී. එයින් කීහ, තිෂ්‍යමෛත්‍රෙය තෙරණුවෝ:
“මෙථුනමනුයුත්තස්ස -පෙ- සික්ඛිස්සාම සෙ” යි.
7. 2.
(මෛත්‍රෙය, යී බුදුහු මෙසේ වදාළහ:) මෙවුන්දම්හි ඇලුණහුගේ (පර්‍ය්‍යාප්ති-ප්‍රතිපත්ති) ශාසනය නැසෙයි, යළි (හෙතෙම) වරදවා පිළිපදී, ඔහු කෙරෙහි තෙල මිත්‍ථ්‍යාප්‍රතිපදාව අනාර්‍ය්‍යධර්‍මයෙකි.
මෙථුනමනුයුත්තස්ස - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්‍මයෙක් ග්‍රාම්‍යධර්‍මයෙක් දුෂ්ටබහුල වූ ධර්‍මයෙක් දියකිස අන්ත කොට ඇති රහස්‍ය වූ (ධර්‍මයෙක්) ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද එයයි. කවර කරුණෙකින් ‘මෙථුනධම්ම’ යි කියනු ලැබේ ද යත්? (රාගයෙන්) රත් වූ වෙසෙසින් රත් වූ (ක්ලේශයෙන්) තෙත් වූ කුශලවාරය මැඩගෙන සිටි කුසල්සිත යටපත් කළ ස්ත්‍රීපුරුෂ දෙදෙනාගේ ක්ලේශයෙන් සදෘශ වූ දෙදෙනා ගේ ධර්‍මය නුයි එ කරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ; යම්සේ කලහකරුවෝ දෙදෙනෙක් මෙථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, ඩබරකරුවෝ දෙදෙනෙක් - වාක්කලහකරුවෝ දෙදෙනෙක් - විවාදකරුවෝ දෙදෙනෙක් - අධිකරණකරුවෝ දෙදෙනෙක් - වාදීහු දෙදෙනෙක් - කථාකරුවෝ දෙදෙනෙක් ‘මෙථුනකයෝ’ යැයි කියනු ලැබෙත් ද, එසෙයින් ම රක්ත වූ සංරක්ත වූ (ක්ලේශයෙන්) තෙත් වූ කුශලසිත මැඩගෙන සිටි යටපත් කළ කුසල්සිත ඇති ස්ත්‍රීපුරුෂදෙදෙනා ගේ සදෘශ වූ ස්ත්‍රීපුරුෂදෙදෙනාගේ ධර්‍මය නුයි - එ කරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ.
මෙථුනමනුයුත්තස්ස - මෛථුනධර්‍මයෙහි යුක්ත වූ ප්‍රයුක්ත වූ විශේෂයෙන් යුක්ත වූ එක් වැ යෙදුණා වූ එය කරන්නාවූ එය බහුල වැ කරන්නාවූ එය ගරු කරන්නාවූ ඊට නැමුණාවූ ඊට නතු වූ ඊට බර වූ එහි ඇලුණා වූ එය අධිපති කොට පවත්නහු ගේ නුයි ‘මෙථුනමනුයුත්තස්ස’ යනු වේ.
‘මෙත්තෙය්‍ය’ යී බුදුහු ඒ තෙරුන් ගෝත්‍රයෙන් ආමන්ත්‍රණ කෙරෙති: භගවා යනු: ගෞරවාධිවචයන යි; තවද - භග්න කළ රාග ඇත් නුයි - භගවත් යැ, භග්න ද්වේෂ ඇත් නුයි - භගවත් යැ, භග්න මෝහ ඇත් නුයි - භගවත් යැ, භග්න (=බුන්) මාන ඇත් නුයි - භගවත් යැ, බුන් දෘෂ්ටි ඇත් නුයි - භගවත් යැ; බුන් කෙලෙස් කටු ඇත් නුයි - භගවත් යැ, බුන් කෙලෙස් ඇත් නුයි - භගවත් යැ, ධර්‍මරත්නය භාග-විභාග-ප්‍රවිභාග කෙළේ නුයි - භගවත් යැ, භවයන් කෙළවර කෙළේ නුයි - භගවත් යැ, භාවිතකාය - භාවිතසීල - භාවිතචිත්ත - භාවිතප්‍රඥා ඇත් නුයි - භගවත් යැ, නොහොත් බුදුහු ශබ්ද රහිත වූ නිර්‍ඝොෂ රහිත වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස්‍යකාරණයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනසෙනසුන් වෙනෙහි දුර සෙනසුන් ඉතා දුර සෙනසුන් සේවනය කළාහු නුයි - භගවත් යැ, නොහොත් බුදුහු චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසබෙහෙත්පිරිකරට හිමි වූවාහු නුයි - භගවත් යැ, බුදුහු අර්ත්‍ථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමිවූවාහු නුයි - හෝ භගවත් යැ.
බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්‍ෂයන්ට අෂ්ටඅභිහායතනයන්ට නවානුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු දශසංඥාභාවනාවන්ට දශකෘත්ස්නසමාපත්තීන්ට ආනාපානස්මෘතිසමාධියට අශුභසමාපත්තියට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු සතර සතිපට්ඨානයන්ට සතර සම්‍යක්ප්‍රදහනයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්‍ද්‍රියයන්ට පඤ්චබලයන්ට සප්තබොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට හිමි වූවාහු නුයි - භගවත් යැ, බුදුහු දශවිධ තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට සිවු පිළිසැඹියාවන්ට ෂඩ් අභිඥාවන්ට ෂඩ් බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි - භගවත් යැ; තෙල ‘භගවත්’ යන නම මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑණන් විසින් නො කරන ලද, බූණන් විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑ-සහලේනෑයන් විසින් නො කරන ලද; මහණ-බමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද; යම් භගවත් යන නමක් වී නම් තෙල භාග්‍යවත් බුදුවරයන්ට විමෝක්‍ෂාන්තයෙහි බෝමුලැ සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමග අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් වූවා නුයි ‘මෙත්තෙය්‍යාති භගවා’ යනු වේ.
මුස්සතෙ වාපි සාසනං - දෙ කරුණෙකින් ශාසනය නැසෙයි: පර්‍ය්‍යාප්තිශාසනය ද නැසෙයි, ප්‍රතිපත්තිශාසනය ද නැසෙයි; පර්‍ය්‍යාප්තිශාසනය කවරැ යත්? ඔහු විසින් පුහුණු කළ යම් සූත්‍රයෙක් ගෙය්‍ය - වෙය්‍යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අද්භූතධර්‍මයෙක් වේ ද, මේ යැ පර්‍ය්‍යාප්තිශාසනය; හෙ ද නැසෙයි වෙසෙසින් නැසෙයි ප්‍රකර්‍ෂයෙන් නැසෙයි අත්‍යන්තයෙන් නැසෙයි පරිබාහිර වේ නුයි මෙසේත් ‘මුස්සතෙ වාපි සාසනං’ යනු වේ. ප්‍රතිපත්තිශාසනය කවරැ යත් ? සම්‍යක්ප්‍රතිපදාව අනුලොමප්‍රතිපදාව අවිරුද්ධප්‍රතිපදාව අන්වර්ත්‍ථප්‍රතිපදාව ධර්‍මානුධර්‍මප්‍රතිපදාව සිල් පුරනුසුලු බව ඉඳුරන්හි පියූ දොර ඇති බව බොජුන්හි පමණ දන්නා බව නිදිවැරීමෙහි යෙදීම සිහිනුවණ ඇති බව සතර සතිපට්ඨානය සතර සම්‍යක්ප්‍රදහනය සතර ඍද්ධිපාදය පඤ්චේන්‍ද්‍රියය පඤ්චබලය සප්තබෝධ්‍යඞ්ගය ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන මේ යැ ප්‍රතිපත්තිශාසනය; හෙ ද මුෂ්‍ය - සම්මුෂ්‍ය - ප්‍රමුෂ්‍ය - සමප්‍රමුෂ්‍ය වෙයි, පරිබාහිර වේ නුයි මෙසේත් ‘සම්මුස්සතෙ වාපි සාසනං’ යනු වේ.
මිච්ඡා ච පටිපජ්ජති - ප්‍රාණඝාත ද කෙරෙයි, නුදුන් දෙය ද ගනී, ගෘහසන්‍ධිද බිඳියි, ගම් පැහැරීම ද කෙරෙයි, ගෙවල් පැහැරීම ද කෙරෙයි, මංපැහැරීම ද කෙරෙයි, පරඹුන් කරා ද යෙයි, බොරු ද කියා නුයි ‘මිච්ඡා ච පටිපජ්ජති’ යනු වේ.
එතං තස්මිං අනාරියං - යම් මිත්‍ථ්‍යාප්‍රතිපදාවක් වේ ද, තෙල ඒ පුද්ගලයා කෙරෙහි අනාර්‍ය්‍ය බව යැ බාල බව යැ මූඪ බව යැ, අඥාන බව යැ, අමරාවික්‍ෂෙපභාවය නුයි ‘එතං තස්මිං අනාරියං’ යනු වේ.
එයින් වදාළහ, බුදුහු:
“මෙථුනමනුයුත්තස්ස -පෙ- එතං තස්මිං අනාරියං” යී.
7. 3.
යමෙක් පෙර (පැවිද්දෙන්) එකලා වැ ලොවැ හැසිර (පසුව) මෙවුන්දම් සෙවුණේ නම්, නො හික්මුණු (ඇත් ආදි) යානයක් සෙයින් ඒ (සිවුරලු) පෘථග්ජනයා ලාමක යැයි කියත්.
ඒකෝ පුබ්බේ චරිත්‍වාන - දෙ කරුණෙකින් පෙර එකලා වැ හැසිර; ප්‍රව්‍රජ්‍යාසඞ්ඛ්‍යාත වූ හෝ ගණසඞ්ගණිකායේන් වෙන් ව විසීම් අර්‍ත්‍ථ වූ හෝ දෙ කරුණෙනි. කිසෙයින් පැවිදිකොටසින් පෙර එකලා වැ හැසිර ද යත්? ගෘහාවාසපළිබොධය සිඳ අඹුදරු පළිබෝධය සිඳ ඥාතිපළිබොධය සිඳ මිත්‍රාමාත්‍යපළිබොධය සිඳ සන්නිධිපළිබොධය සිඳ කෙස්රවුළු බහා කසාවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිව කිසිවක් නැතිබවට පැමිණ එකලා වැ සෙරෙයි හැසිරෙයි ඉරියවු පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය වේ; මෙසේ පැවිදිකොටසින් පෙර එකලා වැ හැසිර; කිසෙයින් ගණසඞ්ගණිකායේන් වෙන් ව විසීම් අර්‍ත්‍ථයෙන් පෙර එකලා වැ හැසිර ද යත්? හේ මෙසේ පැවිදි වූයේ එකලා වැ නිශ්ශබ්ද වූ අනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රාහස්‍යයට කාරණ වූ විවෙකානුරූප වූ වනසෙනසුන් වෙනෙහි දුරසෙනසුන් ඉතා දුරසෙනසුන් ඇසුරු කෙරෙයි’ හෙතෙම එකලා වැ යෙයි, එකලා වැ සිටී, එකලා වැ හිඳී, එකලා වැ හොවී, එකලා වැ ගමට පිඬු සිඟා යෙයි, එකලා වැ පෙරළා එයි, එකලා වැ විවේකව හිඳී, එකලා වැ සක්මන් කෙරෙයි, එකලා වැ සෙරෙයි හැසිරෙයි ඉරියවු පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය වේ. මෙසේ ගණව්‍යවස්සර්‍ගාර්ත්‍ථයෙන් පෙර එකලා වැ හැසිර.
මෙථුනං යො නිසෙවති - ‘මෙවුන්දම’ නම්: යම් අසද්ධර්‍මයෙක්... ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද එයයි,... එකරුණෙන් ‘මෙවුන්දම් ය’ යි කියනු ලැබේ. මෙථුනං යො නිසෙවතී - යමෙක් පසු කලෙක බුදුන් දහම් සඟුන් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කොට හීන වූ ගිහිබවට පෙරැළී මෙවුන්දම් සෙවන නිසෙවන සංසෙවන ප්‍රතිසෙවන කෙරේ නුයි ‘මෙථුනං යො නිසෙවති’ යනු වේ.
යානං භන්තංව තං ලෝකේ - ‘යාන’ නම්: ඇත්යාන යැ අස්යාන යැ ගවයාන යැ එළුයාන යැ බැටළුයාන යැ ඔටුයාන යැ කොටළුයාන යි. භන්තං - නො දැමුණු නො හික්මුණු අවිනීත වූ (යානය) නො මඟට පැමිණෙයි, විෂම ව සිටි කණුවට ද ගලට ද නඟී, යානය ද ආරොහකයාගේ අත්පා ආදිස ද බිඳී, ප්‍රපාතයෙහි දු වැටෙයි, යම්සේ නො දැමුණු නො හික්මුණු අවිනීත වූ ඒ භ්‍රාන්තයානය නො මඟට යේ ද, එසෙයින් ම ඒ සිවුරලු තෙමේ නො දැමුණු යානයක් බඳු වූයේ නො මඟට පැමිණෙයි, මිථ්‍යාදෘෂ්ටිය ගනී... මිථ්‍යාසමාධිය ගනී; යම්සේ අදාන්ත වූ අශික්‍ෂිත වූ අවිනීත වූ භ්‍රාන්ත වූ යානය විෂම ව සිටි කණුවට හා ගලට ත් නඟී ද, එසෙයින් ම භ්‍රාන්තයානයක් බඳු වූ ඒ විභ්‍රාන්තක (=සිවුරලු) තෙම විෂම වූ කායකර්‍මය උපදවයි, විෂම වු වාක්කර්‍මය - විෂම වූ මනඃකර්‍මය උපදවයි, විෂම වූ ප්‍රාණඝාතය උපදවයි (=කෙරෙයි) විෂම වූ අදත්තාදානය - විෂම වූ කාමමිත්‍ථ්‍යාචාරය - විෂම වූ මෘෂාවාදය - විෂම වූ පෛශුන්‍යවචනය - විෂම වූ පරුෂවචනය - විෂම වූ සම්පප්‍රලාපය - විෂම වූ අභිධ්‍යාව - විෂම වූ ව්‍යාපාදය - විෂම වූ මිත්‍ථ්‍යාදෘෂ්ටිය උපදවයි, විෂම වූ සංස්කාරයන් උපදවයි, විෂම වූ පස්කම්ගුණ උපදවයි, විෂම වූ පඤ්චනීවරණයන් උපදවයි.
යම්සේ අදාන්ත වූ අශික්‍ෂිත වූ අවිනීත වූ ඒ භ්‍රාන්තයානය වාහනයත් ආරොහකයාගේ අත්පා ආදියත් බිඳී ද, එසෙයින් ම ඒ නො දැමුණු යානයක් බඳු සිවුරලු තෙම නිරයෙහි ආත්මය සුණුවිසුණු කෙරෙයි, තිරිසන් යෝනියෙහි ආත්මය පෙළයි, ප්‍රේතවිෂයයෙහි ආත්මය පෙළයි, මිනිස්ලොවැ (කම්කටොලු විසින්) ආත්මය පෙළයි, දෙව්ලොවැ (වියෝදුකින්) ආත්මය පෙළයි. යම්සේ අදාන්ත වූ අශික්‍ෂිත වූ අවිනීත වූ ඒ භ්‍රාන්තයානය ප්‍රපාතයෙහි වැටේ ද, එසෙයින් ම ඒ නො හික්මුණු යානයක් බඳු ඒ සිවුරලු තෙම ජාතිප්‍රපාතයට ද වැටෙයි’ ජරාප්‍රපාතයට ද වැටෙයි, ව්‍යාධිප්‍රපාතයට ද - මරණප්‍රපාතයට ද - ශොකපරිදෙවදුඃඛ-දෞර්මනස්‍යඋපායාසප්‍රපාතයට ද වැටෙයි. ලෝකේ - අපායලෝකයෙහි... මනුෂ්‍යලොකයෙහි නුයි ‘යානං භන්තංව තං ලෝකේ’ යනු වේ.
හීනමාහු පුථුජ්ජනං - ‘පුථුජ්ජනා’ යනු: කවර අරුතෙකින් පෘථග්ජනයෝ වෙති යත් ? බොහෝ කෙලෙසුන් උපදවත් නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ නො නසන ලද සත්කායදෘෂ්ටි ඇත්තාහු නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ ශාස්තෲන් ගේ මුහුණු බලත් නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ සියලු ගතිවලින් නො නැඟීසිටියාහු නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ විවිධ අභිසංස්කාරයන් රැස් කෙරෙත් නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ විවිධ ඔඝවලින් වැහෙත් නුයි - පෘථග්ජනයෝ යැ පුථු නා නා සන්තාපයන් ගෙන් තැවෙත් නුයි - පුථු නානා පරිදාහයන් ගෙන දැවෙත් නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ පස්කම්ගුණයන්හි රැදුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු ඇතුළු වූවාහු ලැගුණාහු ලග්නිත වූවාහු පිළිපන්නාහු නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ පඤ්චනීවරණයන් ගෙන් එතුණාහු නැවැත්තාහු වැසුණාහු යටින් වැසුණාහු පිළිසන් වූවාහු යටිහුරු වූවාහු නුයි - පෘථග්ජනයෝ යි. හීනමාහු පුථුජ්ජනං - පුහුදුනහු හීන යැ නිහීන යැ අවමත යැ ලාමක යැ ත්‍යක්ත යැ පරික්ත යැ යි මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ වහරත් නුයි ‘හීනමාහු පුථුජ්ජනං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඒකෝ පුබ්බේ චරිත්‍වාන -පෙ- හීනමාහු පුථුජ්ජනං” යී.
7. 4.
තවද පෙර මහණබැව්හි ඔහුගේ යම් යශසකුත් කීර්‍තතියකුත් වී නම් ඒ යශස හා කීර්‍තති පිරිහේ මැ ය, තෙල යශස් කීර්ත්ති හානිය ද දැක මෙවුන්දම් දුරලනු සඳහා (ත්‍රිවිධ ශික්‍ෂාව) හික්මෙන්නේ ය.
යසො කිත්ති ච යා පුබ්බේ හායතෙ වාපි තස්ස සා - යශස් කවරේ ද? මේ ශාසනයෙහි කිසිවෙක් පෙර මහණ බැව්හි සිටියේ සත්කාර කරන ලදුයේ ගරු කරන ලදුයේ බුහුමන් කරන ලදුයේ පුදන ලදුයේ අපචායන කරන ලදුයේ චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පස බෙහෙත්සත් පිරිකර ලබන සුලු වූයේ වෙයි, මේ යශස් යැ.
කීර්ත්ති කවරී ද යත්? මේ ශාසනයෙහි කිසිවෙක් පෙර මහණබැව්හි සිටියේ දැරූ කීර්ත්තිශබ්දය හා ගුණ ඇතියේ වෙයි: පණ්ඩිතයැ ව්‍යක්ත යැ ප්‍රඥාවත් යැ බහුශ්‍රුත යැ චිත්‍රකථා ඇත්තේ යැ සුන්‍දර ප්‍රඥා ඇත්තේ යැ සෞත්‍රාන්තික යැ හෝ විනයධර යැ හෝ ධර්‍මකථික යැ හෝ ආරණ්‍යක යැ හෝ පිණ්ඩපාතික යැ හෝ පාංශුකූලික යැ හෝ තෙචීවරික යැ හෝ සපදානචාරික යැ හෝ ඛලුපච්ඡාහත්තික යැ හෝ නෙසජ්ජික යැ හෝ යථාසන්තතිකාඞ්ග ඇත්තේ යැ හෝ ප්‍රථමධ්‍යාන ලාභී යැ හෝ ද්විතීයධ්‍යානලාභී යැ හෝ තෘතීයධ්‍යාන ලාභී යැ හෝ චතුර්‍ත්‍ථධ්‍යාන ලාභී යැ හෝ ආකාසානඤ්චායතනසමාපත්තිලාභී යැ හෝ විඤ්ඤාණඤ්චායතනසමාපත්තිලාභී යැ හෝ ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිලාභී යැ හෝ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී යැ හෝ යි; මෝ කීර්ත්තිය යි එහෙයින් “යසො කිත්ති ච යා පුබ්බේ” යනු වේ.
හායතෙ වාපි තස්ස සා - පසු කලෙක බුදුන් දහම් සඟුන් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කොට ලාමක වූ ගිහිබවට හැරුණු ඒ සිවුරලුවාගේ ඒ යශස ද ඒ කීර්ත්තිය ද හෙයි පිරිහෙයි ගිලිහෙයි පෙරැළෙයි අතුරුදහන් වෙයි වැනැසේ නුයි ‘යසො කිත්ති ච යා පුබ්බේ හායතෙ වාපි තස්ස සා’ යනු වේ.
එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ - ‘එතං’ යනු: පෙර මහණබැව්හි යශස හා කීර්ත්තිය ද පසුව බුදුනු දහම් සඟුන් ශික්‍ෂාව හැරපියා හීන බවට පෙරළා ආවහුගේ අයශස් හා අකීර්ත්තිය ද යන තෙල සම්පත් පිළිබඳ විපත්; දිස්වා - දැක තුලනය තීරණය විභාවනය කොට විභූත කොට නුයි: ‘එතම්පි දිස්වා’ යනු වේ. සික්ඛෙථ - අධිශීලශික්‍ෂා අධිචිත්තශික්‍ෂා අධිප්‍රඥාශික්‍ෂා ය යි ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා කවරී ද යත්? මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ වෙසෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ අල්පමාත්‍ර අකුශලයෙහි භය දක්නා සුලු වූයේ ශික්‍ෂාපදයන් සමාදන් ව හික්මෙයි; ක්‍ෂුද්‍රශීලස්කන්‍ධ ය මහාශීලස්කන්‍ධ ය යි යන ශීලය කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා යැ ආදි යැ චරණ යැ සංයම යැ සංවර යැ ප්‍රමුඛ යැ පූර්‍වඞ්ගම යි. මෝ අධිශීලශික්‍ෂාව යැ. අධිචිත්තශික්‍ෂා කවරී ද යත් ? මේ ශාසනයෙහි මහණ තෙම කාමච්ඡන්‍දනීවරණයෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි... ද්විතීයධ්‍යානයට... තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි මෝ අධිචිත්තශික්‍ෂාව යැ. අධිප්‍රඥාශික්‍ෂා කවරී ද යත් ? මේ ශාසනයෙහි මහණ තෙම ප්‍රඥාවත් වෙයි, ආර්‍ය්‍ය වූ (ලොභාදිය) සිඳීමට සමර්‍ත්‍ථ වූ දුක් ක්‍ෂය වීමට යනසුලු වූ උදයව්‍යය අවබෝධ කිරීමට පොහොසත් වූ ප්‍රඥාවෙන් සමන්‍විත වූයේ වෙයි, හෙතෙම ‘මේ දුක යැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී, ‘මේ දුඃඛසමුදය යැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී, ‘මේ දුඃඛනිරෝධය’යි තත්වූ පරිද්දෙන් දැනගනී, ‘මෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව යැ’ යි තත්වූ පරිද්දෙන් දැනගනී; ‘මොහු ආශ්‍රවයෝ යැ’යි තතුසෙයින් දැනගනී, ‘මේ ආශ්‍රවසමුදය යැ’යි තතුසේ දැනගනී, ‘මේ ආශ්‍රවනිරෝධය යැ’යි තතුසේ දැනගනී, ‘මෝ ආශ්‍රවනිරොධයට පමුණුවන ප්‍රතිපදාව ය’යි තතුසේ දැනගනී. මෝ අධිප්‍රඥාශික්‍ෂා යි.
මෙථුනධම්ම නම්: යම් ඒ අසද්ධර්‍මයෙක්... ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද... එ කරුණෙන් මෛථ්‍රනධර්‍මය යි කියනු ලැබේ. එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ මෙවුන්දම් දුරැලීම පිණිස සන්හිඳුවීම පිණිස බැහැරලීම පිණිස ‘පටිප්පස්සද්ධි (=ඵල)ය පිණිස අධිශීලය ද අධිචිත්තය ද අධිප්‍රඥාව ද හික්මෙන්නේය, මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේය, දැනගනිමින් හික්මෙන්නේය, බලමින් හික්මෙන්නේය, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙන්නේය, සිත පිහිටුවමින් හික්මෙන්නේය, ශ්‍රද්ධාවෙන් නිශ්චය කෙරෙමින් හික්මෙන්නේය, වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් හික්මෙන්නේය, සිහි එළවමින් හික්මෙන්නේය, සිත පිහිටුවමින් හික්මෙන්නේය, ප්‍රඥාවෙන් දැනගනිමින් හික්මෙන්නේය, (ස්වභාවලක්‍ෂණාවබෝධයෙන්) අභිජානනය කළයුතු ධර්‍මය අභිජානනය කෙරෙමින් - සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් පරිඥාතව්‍ය වූ ධර්‍මයන් හාත්පසින් දැනගනිමින් - ප්‍රහාතව්‍ය වූ (සමුදය) ප්‍රහීණ කෙරෙමින් - භාවිතව්‍ය වූ (මාර්‍ගය) වඩමින් - ප්‍රත්‍යක්‍ෂ කළයුතු (නිරෝධය) ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේය, හැසිරෙන්නේය, මොනොවට හැසිරෙන්නේය. සමාදන්ව පවත්නේ නුයි ‘එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පභාතවෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යසො කිත්ති ච යා පුබ්බේ -පෙ- මෙථුනං විප්පභාතවෙ” යී.
7. 5.
කාමාදි සංකල්පයන් විසින් මඩනා ලද ඒ සිවුරලු තෙම දිළින්දකු සෙයින් සිතයි, එබඳු පුද්ගල තෙම උපාධ්‍යායාදි අන්‍යයන් ගේ වදන් අසා මකු වන්නේ යි.
සඞ්කප්පෙහි පරෙතො සො කපණො විය ඣායති - කාමසඞ්කල්පයෙන් ව්‍යාපාදසඞ්කල්පයෙන් විහිංසාසඞ්කල්පයෙන් දෘෂ්ටි සඞ්කල්පයෙන් ස්පර්‍ශ කරන ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍වාගත වූයේ පිහිත වූයේ, කපණො විය: අඥානයකු මෙන් සම්මෝහ වූවකු මෙන් සිතයි, අතිශයින් සිතයි, අනෙකප්‍රකාරයෙන් සිතයි, එයින් බැහැරව සිතයි; යම්සේ මහමුහුණෙක් අතු අග මීයකු බලමින් සිතා ද අතිශයින් සිතා ද අනෙකප්‍රකාරයෙන් සිතා ද බැහැර සිතා ද, යම්සේ සිවලෙක් ගංඉවුරෙහි මසුන් සොයමින් ධ්‍යාන ප්‍රධ්‍යාන නිධ්‍යාන අපධ්‍යාන කෙරේ ද, යම්සේ බළලෙක් ගෘහසන්‍ධි - දියනැසිනි - කසළගොඩෙහි මීයකු සොයමින් ධ්‍යාන ප්‍රධ්‍යාන නිධ්‍යාන අපධ්‍යාන කෙරේ ද, යම්සේ කොඳුඇට සිදුණු කොටළුවෙක් සන්‍ධි - නැසිනි - කසළගොඩෙහි ධ්‍යාන - ප්‍රධ්‍යාන නිධ්‍යාන - අපධ්‍යාන කෙරේ ද, එසෙයින් ම ඒ සිවුරලු තෙම කාමසඞ්කල්පයෙන් ව්‍යාපාදසඞ්කල්පයෙන් විහිංසාසඞ්කල්පයෙන් දෘෂ්ටිසඞ්කල්පයෙන් ස්පර්‍ශ කරන ලදුයේ යුක්ත වූයේ ඇතුළත පිවිසියේ සමන්‍විත වූයේ පිහිත වූයේ කෘපණයකු මෙන් අඥානයකු මෙන් සම්මූඪ වූවකු මෙන් සිතයි අතිශයින් සිතයි නොයෙක් ලෙසින් සිතයි ඉන් බැහැරව සිතා නුයි ‘සඞ්කප්පෙහි පරෙතො සො කපණො විය ඣායති’ යනු වේ.
සුත්‍වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධො - ‘පරෙසං’ යනු: උපාධ්‍යායයෝ හෝ ආචාර්‍ය්‍යයෝ හෝ සමානොපාධ්‍යායකයෝ හෝ සමානාචාර්‍ය්‍යකයෝ හෝ මිත්‍රයෝ හෝ සන්දෘෂ්ටයෝ හෝ සම්භක්තයෝ හෝ සහායයෝ හෝ (මෙසේ) චෝදනා කෙරෙති: “ඇවැත්නි, තෙපි යම්හෙයකින් මෙබඳු උදාර වූ ශාස්තෘවක්හු ලැබ මෙසේ ස්වාඛ්‍යාත ශාසනයක පැවිදිව මෙබඳු ආර්‍ය්‍යධනයක් ලැබත් ඒ මෙවුන්දම් හේතුයෙන් බුදුන් දහම් සඟුන් ශික්‍ෂාව හැරපියා හීනබවට පෙරළුණාව, තොපට කුසල් දහම්හි ශ්‍රද්ධාවකු දු නො වීය. කුසල්දහම්හි ලජ්ජාවකු දු නො වීය, කුසල්දහම්හි බියකු දු නො වීය, කුසල්දහම්හි වීර්‍ය්‍යයකු දු නො වීය, කුසල්දහම්හි සිහියකු දු නො වීය, කුසල්දහම්හි ප්‍රඥාවකු දු නො වීය, ඒ තොපට අලාභයෙක, ඒ තොප විසින් දුර්‍ලබ්ධ යැ” යි ඔවුන් ගේ වචනය වදන්මඟ දෙසුම අනුසස්න අනුශිෂ්ටිය; සුත්‍වා - අසා උගෙන විමසා සලකා; මඞ්කු හොති - පෙළුණේ ගැටුණේ වෙසෙසින් පෙළුණේ උපන් දොම්නස් ඇතියේ; තථාවිධො - එබඳු වූ තාදෘශ වූ එසේ සිටි තත්ප්‍රකාර වු, තත්ප්‍රතිභාග වූ ඒ සිවුරලු තෙමේ නුයි ‘සුත්‍වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථා විධො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සඞ්කප්පෙහි පරෙතො සො -පෙ- මඞ්කු හොති තථාවිධො” යී.
7. 6.
ඉක්බිති අන්‍යයන් ගේ චවනයෙන් චෝදනා කරන ලදුයේ දුශ්චරිත නමැති ශස්ත්‍රයන් කෙරෙයි, තෙල ඔහු ගේ මහාබන්‍ධනය තෙමේ මෘෂාවාදයට බැසගන්නේ වේ.
අථ සත්‍ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො - ‘අථ’ යනු: පදයන් ගේ සන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා නමැ තෙල ‘අථ’ යනු. සත්‍ථානි - කායශස්ත්‍ර යැ වාක්ශස්ත්‍ර යැ මනශ්ශස්ත්‍ර යැයි ශස්ත්‍ර (ආයුධයෝ) තිදෙනෙකි. ත්‍රිවිධ කායදුශ්චරිතය කායශස්ත්‍ර යැ චතුර්විධ වාග්දුශ්චරිතය වාක්ශස්ත්‍ර යැ ත්‍රිවිධ මනෝදුශ්චරිතය මනශ්ශස්ත්‍රය යි.
පරවාදෙහි චොදිතො - උපාධ්‍යායයන් විසින් හෝ ආචාර්‍ය්‍යයන්- සමානොපාධ්‍යායකයන් - සමානාචාර්‍ය්‍යකයන් - මිත්‍රයන් - සන්දෘෂ්ටයන් - සම්භක්තයන් - සහායයන් විසින් හෝ චෝදනා කරන ලදුයේ දැනැ දැනැ බොරු කියයි: ස්වාමීනි, මම් පැවිද්දට ඇලුම් ඇති වීමි, (එහෙත්) මා විසින් මව පෝෂණය කළ යුත්තීය, එහෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘පියා මා විසින් පෝෂණය කළ යුතු හෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘බෑයා මා විසින් පෝෂණය කළ යුතු හෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘භගිනිය මා විසින් පෝෂණය කළ යුත්තීය,යි කියයි. ‘පුත්‍රයා මා විසින් පෝෂණය කළ යුත්තේය, දුහිතෘව මා විසින් පෝෂණය කළ යුත්තීය, මිත්‍රයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, සගයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, නෑයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, සහලේනෑයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, එහෙයින් සිවුරු හළෙමී’ කියයි; වචන අවිය කෙරෙයි, මොනවට කෙරෙයි, උපදවයි මැනවින් උපදවයි නිපදවයි මැනවින් නිපදවා නුයි ‘අථ සත්‍ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො’ යනු වේ.
එසඛවස්ස මහාගෙධො - යම් සම්පජාන මුසාවාදයෙක් වේ ද, තෙල වනාහි ඔහුගේ මහාගෙධ(=බන්‍ධ) යැ මහාවන යැ මහළැහැබ යැ මහත් කාන්තාර යැ මහද්විෂම යැ මහාපඞ්ක යැ මහමඩවළ යැ මහහැළ යැ මහාදුර්‍ගයැ මහාබන්‍ධනය නුයි ‘එසඛවස්ස මහාගෙධො’ යනු වේ.
මොසවජ්ජං පගාහති - මුසාවාද ය ‘මොසවජ්ජ’ යී කියනු ලැබෙයි. මෙලොවැ කිසිවෙක් සභායෙහි සිටියේ හෝ ගම් සභායෙහි සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ සේනා මැද සිටියේ හෝ රදොල් මැද සිටියේ හෝ ශාක්‍ෂියට කැඳවනු ලදුයේ ‘එව එම්බා පුරුෂය, දන්නා දැය කිය’යි ශාක්‍ෂි අසන ලදුයේ හෙතෙම නො දනිමින් හෝ දනිමී’ කියයි, දනිමින් හෝ ‘නො දනිමී’ කියයි, නො දක්මින් හෝ ‘දක්මී’ කියයි, දක්මින් හෝ ‘නො දක්මී’ කියයි; මෙසේ තමා නිසා හෝ මෙරමා නිසා හෝ ධනය නිසා හෝ මඳ වූ අල්ලසක් නිසා හෝ දැනැ දැනැ බොරු කියයි. මේ ‘මොසවජ්ජ’ යී කියනු ලැබෙයි. තවද තුන් අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට ‘බොරුවක් කියන්නෙමී’ සිත වෙයි, කියන්නා හට ‘මෘෂා (බොරු) බෙණෙමී’සිත වෙයි, කීවහුට, ‘මෘෂා මා විසින් කියන ලදැ’යි සිත වෙයි; මේ තුන් අයුරින් මෘෂාවාද වේ. තවද සතර අයුරෙකින් මෘෂාවාද වෙයි: පළමු මැ ඔහුට ‘මෘෂා බණන්නෙමී’ සිත වෙයි. කියන්නා හට මෘෂා බෙණෙමී’ සිත වෙයි, කීවහුට ‘මෘෂා මා විසින් බණන ලදැ’යි සිත වෙයි. ලබ්ධිය සඟවාගෙන කියයි. මේ සතර අයුරින් මෘෂාවාද වේ. තවද පස් පරිද්දෙකින් - සපරිද්දෙකින් - සත්පරිද්දෙකින් - අට පරිද්දෙකින් මෘෂාවාද වෙයි. පළමු මැ ඔහුට බොරු කියන්නෙමී’ සිත වෙයි. කියන්නහුට ‘බොරු කියමී’ සිත වෙයි. කීවහුට ‘බොරු මා විසින් කියන ලදැ’යි සිත වෙයි. ලබ්ධිය සඟවා කියයි. කැමැත්ත සඟවා කියයි, රුචිය සඟවා කියයි, සංඥාව සඟවා කියයි, භාවය සඟවා කියයි. මේ අට අයුරින් මෘෂාවාද වේ. මොසවජ්ජං පගාහති - මෘෂාවාදයට බසී බැසගනී ඇතුළු වෙයි පිවිසේ නුයි ‘මොසවජ්ජං පගාහති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අථ සත්‍ථානි කුරුතෙ -පෙ- මොසවජ්ජං පගාහති” යී.
7. 7.
පෙර පණ්ඩිතයෙකැ’යි ප්‍රසිද්ධ වූයේ එකලා වාසයෙහි පිහිටියේ යළි මෙවුන්දම්හි යෙදුණේ වී නම් හෙතෙම මූඪයකු මෙන් කෙලෙසෙන්නේ යි.
පණ්ඩිතොති සමඤ්ඤාතො - මේ සසුන්හි කිසිවෙක් පෙර මහණුවම් කරන කල්හි කීර්ති සඞ්ඛ්‍යාත යශසට පැමිණියේ වෙයි; පණ්ඩිතයෙක් ව්‍යක්තයෙක නුවණැත්තෙක බහුශැතයෙක චිත්‍රකථිකයෙක සුන්‍දරප්‍රඥා ඇත්තෙක සෞත්‍රාන්තික යැ හෝ විනයධර යැ හෝ ධර්‍මකථික යැ හෝ... නෛවසංඥානාසංඥායතනසමාපත්තිලාභියෙකැයි හෝ මෙසේ දන්නා ලදුයේ පැනුණේ ප්‍රසිද්ධ වේ නුයි ‘පණ්ඩිතොති සමඤ්ඤාතො’ යනු වේ.
එකචරියං අධිට්ඨිතො - දෙකරුණෙකින් එකචර්‍ය්‍යාවෙහි පිහිටියේ: ප්‍රව්‍රජ්‍යාසඞ්ඛ්‍යාත වූ හෝ ගණයා කෙරෙන් වෙන් ව විසීම් සඞ්ඛ්‍යාත වූ හෝ දෙකරුණෙනි. කෙසේ ප්‍රව්‍රජ්‍යාසඞ්ඛ්‍යාත කරුණෙන් එකචර්‍ය්‍යාවෙහි පිහිටියේ ද යත්? සියලු ගෘහාවාසපරිබොධය සිඳපියා...(7. 3. සූත්‍රනිර්දේශය) මෙසේ පැවිදිකොටසින් එකලාවාසයෙහි පිහිටියේ; කෙසේ ගණව්‍යවස්සර්‍ගාර්ත්‍ථයෙන් එකචර්‍ය්‍යාවෙහි පිහිටියේ ද යත්? හෙතෙම මෙසේ පැවිදි වූයේ එකලා වැ... මෙසේ ගණව්‍යවස්සර්‍ගාර්ත්‍ථයෙන් එකචර්‍ය්‍යාවෙහි පිහිටියේ නුයි ‘එකචරියං අධිට්ඨිතො’ යනු වේ.
සචාපි මෙථුනෙ යුත්තො - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්‍මයෙක් ග්‍රාමධර්‍මයෙක් වසලධර්‍මයෙක්... එහෙයින් ‘මෙථුනධම්ම’ යයි කියනු ලැබේ. සචාපි මෙථුනෙ යුත්තො - හේ පසු කලෙක බුදුන් දහම් සඟුන් ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරැළී මෙවුන්දම්හි යෙදුණේ සංයුක්ත ප්‍රයුක්ත ආයුක්ත සමායුක්ත වූ යේ නුයි ‘සචාපි මෙථුනෙ යුත්තො’ යනු වේ.
මන්‍දොව පරිකිස්සතී - කෘපණයකු මෙන් අඥයකු මෙන් මුග්ධයකු මෙන් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ප්‍රාණවධ දු කෙරෙයි, අදත්තාදානය ද කෙරෙයි, ගෘහසන්‍ධි දු සිඳී, ගම් පහරයි, ගෙවල් පහරයි, මං පහරයි, පරඹුන් කරා ද යෙයි, මෘෂා ද බෙණෙයි; මෙසේ ත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ඒ (අපරාධ කරු) රජවරු අල්වාගෙන විවිධ කම්කටොලු කරවති: කසයෙනුදු තළවති, වේවැලිනු දු තළවති, අඩදඬියෙනු දු තළවති, අත් සිඳුවති, පා සිඳුවති, අත්පා ද සිඳුවති, කනු දු සිඳුවති, නැහැය ද සිඳුවති, කන්නාසා ද සිඳුවති, කාඩිසැළි කම්කටොලු ද කෙරෙති, සක්මුඩු කම්කටොලු ද කෙරෙති, රාහුමුඛ කම්කටොලු ද කෙරෙති, ගිනිවළලු කම්කටොලු ද කෙරෙති, අත් දල්වන කම්කටොලු ද කෙරෙති, එරුවත් කම්කටොලු ද කෙරෙති, තීහිරිවත් කම්කටොලු ද කෙරෙති, එණෙය්‍යක කම්කටොලු ද කෙරෙති, බිළියෙන් මස් සිඳුණා කම්කටොලු ද කෙරෙති, කහාපණික කම්කටොලු ද කෙරෙති, කොස්සෙන් කාරම් ගල්වති, පරිඝපරිවර්‍තන කම්කටොලු ද කෙරෙති, පිදුරුපිටු කම්කටොලු ද කෙරෙති, කකාළ තෙල් ද ඉස්වති, ශුනකයන් (-කීණබල්ලන්) ලවා කවති, දිවස්හුල ද හිඳුවති, කඩුවෙනු දු හිස සිඳිත්; මෙසේ ත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. නොහොත් කාමතෘෂ්ණාවෙන් මඩනා ලදුයේ හාත්පසින් අල්වාගත් සිත් ඇතියේ භෝගයන් සොයමින් නැවින් මහමුහුදට පිවිසෙයි, සීතල පෙරටු කොට උණුසුම පෙරටු කොට මැසිමදුරු අව්සුළං හා සපුන් ගේ පහසින් වෙහෙසෙමින් සාපවසින් මැරෙමින් තිගුම්බජනපදයට යෙයි, තක්කොලයට - තක්‍ෂිශිලාවට - කාලමුඛයට - පරාංමුඛයට - වෙසුඞ්ගයට - වෙරාපථයට - ජාවකරටට - තාමලිප්තියට - වංගරටට - එළවද්ධනයට - ස්වර්‍ණකූටයට - ස්වර්‍ණභූමියට - තාම්‍රපර්‍ණණියට - සුප්පාරකයට - භරුකච්ඡජනපදයට - සෞරාෂ්ට්‍රයට - අඞ්ගලොකයට - ගඞ්ගණයට - පරමගඞ්ගණයට - යවනරටට - පරමයවනයට - අලසන්‍දාවට - නවකජනපදයට - මූලපදරටට යෙයි,
වැලිකතරට යෙයි, දණමඟට යෙයි, අජපථයට යෙයි, මෙණ්ඩපථයට යෙයි, (කණුගසායන) ශඞ්කුපථයට යෙයි, ඡත්‍රපථයට යෙයි, වංසපථයට යෙයි, ශකුණපථයට යෙයි, මූසිකපථයට යෙයි, දරිපථයට යෙයි, චෙත්තාධාරයට පැමිණෙයි;{*} මෙසේත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. සොයනුයේ නො ලැබෙයි, නො ලැබීම නිසා උපන් දුකට දොම්නසට ද පැමිණෙයි, මෙසේත් කෙලෙසෙයි, පෙළෙයි වෙහෙසට පැමිණේ. සොයනුයේ ලැබෙයි, ලැබී වැළිත් කිසෙයින් මා ගේ භෝගයන් රජවරු නො මැ ගන්නාහු ද, සොරු නො ගන්නාහු ද, ගින්නෙන් නො දැවේ ද, වතුරෙන් නො වැහේ ද, අමනාප වූ අහිමියෝ නො ගන්නාහු දැ’යි රැකීම් නිසා උපදනා දුකට දොම්නසට ද පැමිණෙයි; මෙසේ රක්‍ෂණ ගෝපනය කරන්නා වූ ඔහු ගේ ඒ භෝගයෝ වැනසෙති; හෙතෙම වියොගය නිසා උපදනා දුකට දොම්නසට ද පැමිණේ. මෙසේ ත් කෙලෙසෙයි, පෙළෙයි වෙහෙසට පැමිණේ නුයි ‘සචාපි මෙථුනෙ යුත්තො මන්‍දොව පරිකිස්සති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පණ්ඩිතොති සමඤ්ඤාතො -පෙ- මන්‍දොව පරිකිස්සති” යී.
7. 8.
මේ සසුන්හි මුනි තෙම පෙර මහණකම්හි (යශස්කීර්ති) සැපත ද පසුව (ගිහි වූවහුගේ විපත ද යන) සම්පත්හුගේ විපත්ති සඞ්ඛ්‍යාත තෙල ආදීනවය දැක එකලා වාසය දැඩි කරන්නේය, මෙවුන්දම් නො සෙවුණේය.
එතමාදීනවං ඤත්‍වා මුනි පුබ්බාපරෙ ඉධ - ‘එතං’ යනු: පෙර මහණ බව්හි යශස් ද කීර්තිය ද පසුකලෙක බුදුන් දහම් සඟුන් හා ශික්‍ෂාව හැරපියා ගිහි වූවහුගේ අයශස් හා අකීර්‍තතිය ද (යන) තෙල සම්පත්හුගේ විපත්තිය දැන දැනැගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට; මුනි - ‘මොන’යී ඤාණය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක්,...(2. 8. සූත්‍රනිර්දේශය). ඉධ - මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියයෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ ශාස්තෘශාසනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි මේ ආත්මභාවයෙහි මේ මනුෂ්‍යලොකයෙහි නුයි ‘එතමාදීනවං ඤත්‍වා මුනි පුබ්බාපරෙ ඉධ’ යනු වේ.
එකචරියං දළ්හං කයිරා - දෙ කරුණෙකින් එකලා වාසය දැඩි කරන්නේය: පැවිදි කොටසින් හෝ ගණයා කෙරෙන් වෙන් ව විසීමෙන් හෝ යැ, කිසෙයින් පැවිදි කොටසින් එකචර්‍ය්‍යාව දැඩි කරන්නේ ද යත්? සියලු ගෘහවාසපළිබොධය සිඳපියා ප්‍රත්‍රදාරපළිබොධය - ඥාතිපළිබොධය - මිත්‍රාමාත්‍යපළිබොධය සිඳපියා කෙස් දැළිරවුළු බහා කසටවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදිව කිසිවක් නැති බවට පැමිණ එකලා වැ හැසිරෙන්නේය, වෙසෙන්නේය, වැටෙන්නේය, රැකෙන්නේය, යැපෙන්නේය, පාලනය වන්නේය, මෙසේ පැවිදි කොටසින් එකචර්‍ය්‍යාව දැඩි කරන්නේය. කිසෙයින් ගණයා කෙරෙන් වෙන්ව විසීමෙන් එකලා වාසය දැඩි කරන්නේද යත් ? හේ මෙසේ පැවිදි වූයේ අල්පශබ්ද වූ අල්ප නිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්‍යයන්ට යෝග්‍ය වූ විවේකයට අනුරූප වූ වනසෙනසුන් වෙනෙහි දුර සෙනසුන් ඉතා දුරසෙනසුන් සෙවුණේය, හේ තනි වැ යෙයි, තනි වැ සිටී, තනි වැ හිඳී, තනි වැ හොවී, තනි වැ ගමට පිඬු සිඟායයි, තනි වැ පෙරළා එයි, තනි වැ රහසැ හිඳි, තනි වැ සක්මන් කරන්නේය, තනි වැ හැසිරෙන්නේය, වෙසෙන්නේය, ඉරියවු පවත්වන්නේය පවත්නේය රැකෙන්නේය යැපෙන්නේය පාලනය වන්නේ යි. මෙසේ ගණයා කෙරෙන් වෙන්ව සිටීමෙන් එකචර්‍ය්‍යාව දැඩි කරන්නේය, එකචර්‍ය්‍යාව නො ලිහිල් කරන්නේය, වීර්‍ය්‍ය කරන්නේය. කුසල්දහම්හි දැඩි සමාදාන ඇති වන්නේය, සනිටුහන් කළ සමාදාන ඇතිවන්නේ නුයි ‘එකචරියං දළ්හං කයිරා’ යනු වේ.
න නිසෙවෙථ මෙථුනං - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්‍මයෙක් ග්‍රාමධර්‍මයෙක්... එහෙයින් ‘මෙථුනධම්ම’ යයි කියනු ලැබේ. මෙවුන්දම් නො සෙවුණේය, නිසෙවන - සංසෙවන - ප්‍රතිසේවනය නො කරන්නේය; නො හැසිරෙන්නේය, නො යෙදෙන්නේය, සමාදන්ව නො පවත්නේ නුයි ‘න නිසෙවෙථ මෙථුනං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එතමාදීනවං ඤත්‍වා -පෙ- න නිසෙවෙථ මෙථුනං” යී
7. 9.
බුද්ධාදි ආර්‍ය්‍යයන් ගේ උතුම් වූ තෙල විවේකයෙහි ම හික්මෙන්නේය, ඒ විවේකය හේතුකොටගෙන ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ නො සිතන්නේය, හෙතෙම ඒකාන්තයෙන් නිවන සමීපයෙහි වන්නේ යි.
විවෙකඤ්ඤෙව සික්ඛෙථ - ‘විවෙක’ යනු: කායවිවේක යැ චිත්තවිවේක යැ උපධිවිවෙක යැ යන තුන් විවෙකයෝ ය. කායවිවේකය කවරැ යත් ? ... මේ උපධි විවෙක යි. ගණයා කෙරෙන් වෙන්වූ කය ඇති නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණවුන්ට කායවිවේකය ද පිරිසිදු සිත් ඇති උත්තම පරිශුද්ධියට පැමිණියවුන්ට චිත්තවිවෙකය ද ආරම්මණවශයෙන් නිවනට පැමිණි උපධි රහිත පුද්ගලයන්ට උපධිවිවේකය ද වේ. සික්ඛා යනු: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්‍ෂා යැ අධිප්‍රඥාශික්‍ෂා යැයි ශික්‍ෂා තුනෙකි... මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. විවෙකඤ්ඤෙව සික්ඛෙථ - විවේකයෙහි මැ හැසිරෙන්නේය වෙසෙසින් හැසිරෙන්නේය, සමාදන්ව පවත්නේ ය, හික්මෙන්නේ නුයි ‘විවෙකඤ්ඤෙව සික්ඛෙථ’ යනු වේ.
එතදරියානමුත්තමං - බුදුවරු ද බුදුසව්වෝ ද පසේබුදුවරු ද ආර්‍ය්‍යයෝ යැයි කියනු ලැබෙත්. ආර්‍ය්‍යයන්ගේ යම් විවෙකවාසයෙක් වේ ද මෙය අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ අතිශ්‍රේෂ්ඨ යැ ප්‍රමුඛ යැ උත්තම යැ ප්‍රවර නුයි ‘එතදරියානමුත්තමං’ යනු වේ.
තෙන සෙට්ඨො න මඤ්ඤෙථ - ඒ විවේකයෙහි යෙදීමෙන් (තමා) උසස් නො කරන්නේ යැ නො නඟන්නේ යැ මානය නො කරන්නේ යැ බල නො කරන්නේ යැ දැඩි නො කරන්නේ යැ එයින් මානය නූපදවන්නේ යැ එයින් තද වූයේ වෙසෙසින් තද වූයේ ඔසවාගත් හිස ඇත්තේ නො වන්නේ නුයි ‘තෙන සෙට්ඨො න මඤ්ඤෙථ’ යනු වේ.
ස වෙ නිබ්බානසත්තිකෙ - හෙතෙම නිවන සමීපයෙහි වැළත අසල නුදුරැ ළඟ නුයි ‘ස වෙ නිබ්බානසත්තිකෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“විවෙකඤ්ඤෙව සික්ඛෙථ -පෙ- ස වෙ නිබ්බානසත්තිකෙ” යි.
7. 10.
කෙලෙසුන් කෙරෙන් සිස් වූ එකලා වැ හැසිරෙන කාමයන්හි අපේක්‍ෂා රහිත වූ චතුරෝඝතරණය කළ ක්‍ෂීණාස්‍රව මුනි හට කාමයන්හි ගෙතුණා වූ සත්ත්‍වයෝ කැමැති වෙත්.
රිත්තස්ස මුනිනො චරතො - ‘රිත්තස්ස’ යනු: කායදුශ්චරිතයෙන් හිස් වූ වෙන් වූ විවෙක වූවහුට, වාග්දුශ්චරිතයෙන් - මනෝදුශ්චරිතයෙන් හිස් වූ වෙන් වූ විවෙක වූවහුට, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් මකුබැවින් යුගග්‍රාහයෙන් ඊර්‍ෂ්‍යායෙන් මසුරුබැවින් ශඨබැවින් තදබැවින් එකටෙක කිරීමෙන් මානයෙන් අධිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් සියලු කෙලෙසුන් ගෙන් සියලු දුසිරිත් වලින් සියලු දරථවලින් සියලු පරිදාහයන්ගෙන් සියලු සන්තාපයන්ගෙන් සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් හිස් වූ වෙන් වූ විවෙක වූවහුගේ; මුනිනො ‘මොන’යී ඥානය කියනු ලැබෙයි... චරතො හැසිරෙනුවහුගේ වෙසෙන - ඉරියවු පවත්වන - පැවැතෙන - රැකෙන - යැපෙනුවහුගේ නුයි ‘රිත්තස්ස මුනිනො චරතො’ යනු වේ.
කාමෙසු අනපෙක්ඛිනෝ - ‘කාමා’ යනු: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි... වස්තුකාමයන් හැඳිනැ ක්ලේශකාමයන් හැරපියා දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා කාමයන්හි අපේක්‍ෂා නැතියේ ත්‍යාග කළ කාම ඇතියේ වමනය කළ - මුදන ලද - ප්‍රහීණ කළ - දුරලන ලද කාම ඇතියේ වීතරාග වූයේ ත්‍යක්තරාග වූයේ වාන්තරාග වූයේ මුක්තරාග වූයේ ප්‍රහීණරාග වූයේ දුරලන ලද රාග ඇතියේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනුයේ උතුම් වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘කාමෙසු අනපෙක්ඛිනෝ’ යනු වේ.
ඔඝතිණ්නස්ස පිහයන්ති කාමෙසු ගථිතා පජා - ‘පජා’ යනු: සත්ත්‍වයන්ට නමෙකි; සත්ත්‍වයෝ කාමයන්හි ඇලුණාහුය, ගිජු වූවාහුය ගෙතුණාහුය මුසපත් වූවාහුය ඇතුළු වූවාහුය ලැගුණාහුය එල්බුණාහුය ඇවුරුණාහුය ඔවුහු කාමෝඝය - භවොඝය - දිට්ඨොඝය - අවිජ්ජෝඝය තරණය කළ සියලු සසරමඟ තරණය කළ එතෙර වූ නිස්තරණය කළ ඉක්ම වූ මැනවින් ඉක්ම වූ ව්‍යතික්‍රමණය කළ නිර්‍වාණපාරයට ගිය පාරයට පැමිණි අන්තයට ගිය අන්තයට පැමිණි කෙළවරට ගිය කෙළවරට පැමිණි පර්‍ය්‍යන්තයට ගිය පර්‍ය්‍යන්තයට පැමිණි අවසානයට ගිය අවසානයට පැමිණි ත්‍රාණයට ගිය ත්‍රාණයට පැමිණි ලෙනයට ගිය ලෙනයට පැමිණි සරණයට ගිය සරණයට පැමිණි අභයට ගිය අභයට පැමිණි අච්‍යුතියට ගිය අච්‍යුතියට පැමිණි අමෘතයට ගිය අමෘතයට පැමිණි නිර්‍වාණයට ගිය නිර්‍වාණයට පැමිණි (ක්‍ෂීණාස්‍රවයා) හට කැමැති වෙති, ආස්වාදය කෙරෙති, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රිසි උපදවති, තෘප්තියට පැමිණෙත්; ණයගැතියෝ අනණ (ණයනැති) බව යම්සේ පතත් ද, කැමැති වෙත් ද, රොගීහු අරෝග බව - සිරබන්‍ධනයෙන් බැඳුණාහු බන්‍ධනයෙන් මිදීම - දාසයෝ නිදාස බව - කතරමඟට පිවිසියාහු ක්‍ෂෙමභූමිය යම්සේ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් ද කැමැති වෙත් ද එසෙයින් සත්ත්‍වයෝ කාමයන් හි ඇලුණාහු ගිජුවූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු පිවිසියාහු ලැගුණාහු එල්බුණාහු ඇවුරුණාහු වෙති, ඔවුහු කාමෝඝය තරණය කළ භවොඝය තරණය කළ ... නිවනට ගිය නිවනට පැමිණි ක්‍ෂීණාස්‍රවය හට කැමති වෙති, ආස්වාදය කෙරෙති, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රිසි උපදවති තෘප්තියට පැමිණෙත් නුයි ‘ඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතා පජා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“රිත්තස්ස මුනිනො චරතො -පෙ- කාමෙසු ගථිතා පජා” යී
සත්වැනි තිස්සමෙත්තෙය්‍ය සූත්‍රනිර්දේශය යි.
8.
පසූරසූත්‍රනිර්දේශය
ඉක්බිති පසූරසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ.
8. 1.
යම් ශාස්තෘ ආදියක් ඇසුරු කළා වූ ඒ ස්වකීය දෘෂ්ටියෙහි ශුභවාද ඇත්තා වූ බොහෝ මහණ බමුණෝ වෙන වෙන සත්‍යයන්හි බැසගත්තාහු ද (මේ දෘෂ්ටිගතිකයෝ) මෙහි මැ ශුද්ධිය වේ යැයි වාද කෙරෙති අන්‍ය ධර්‍මයන්හි විශුද්ධිය නැතැයි කියත්.
ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති - මෙහි මැ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වේ යයි පවසති කියති බෙණෙති දක්වති වහරත්. ‘ලෝකය ශාශ්වත යැ ලෝකය අශාශ්වත යැ ලෝකය අන්තවත් යැ ලෝකය අනන්තවත් යැ ආත්මයත් ශරීරයත් එකෙක් මැ ය ආත්මය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ සත්ත්‍වයා මරණින් මතු විද්‍යාමාන වෙයි, සත්ත්‍වයා මරණින් මතු නො වෙයි, සත්ත්‍වයා මරණින් මතු වන්නේ ත් නො වන්නේ ත් වෙයි, සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි මේ මැ සැබව අන්‍යය සිස් යැ යි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති’ යනු වේ.
නාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු - තමා ගේ ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය තබා සියලු පරවාදයන් බැහැර කෙරෙති දුරු කෙරෙති ප්‍රතික්‍ෂේප කෙරෙත්; ඒ ශාස්තෘහු අසර්‍වඥ යැ, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය භද්‍ර නො වෙයි, ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි, මාර්‍ගය අනෛර්‍ය්‍යාණික යැ, එහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය හෝ මුක්තිය විමුක්තිය පරිමුක්තිය හෝ නැත. (සත්ත්‍වයෝ) එහි ශුද්ධ විශුද්ධ පරිශුද්ධ හෝ නො වෙති, මුක්ත විමුක්ත පරිමුක්ත හෝ නො වෙත්; (ඔහු) හීනයෝ යැ නිහීනයෝ යැ අවමතයෝ යැ ලාමකයෝ යැ අප්‍රත්‍යයෝ යැ අල්පයෝ යැයි මෙසේ කියති පවසති කථා කෙරෙති බෙණෙති දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘නාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු’ යනු වේ.
යං නිස්සිතා තත්‍ථ සුභංවදානා - යං ‘නිස්සිතා’ යනු: යම් ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ඇසුරු කළාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු; තත්‍ථ - ස්වකීය දෘෂ්ටියෙහි සිය කැමැත්තෙහි සිය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි; සුභංවදානා- ස්වකීය ලබ්ධියෙහි ශුභවාද ඇත්තාහු සුන්‍දර යයි කියන්නාහු (ඇපි) පණ්ඩිතයම්හ යි කියන්නාහු ස්ථිරවාද ඇතියම්හයි - න්‍යායවාද ඇතියම්හයි - හේතුවාද ඇතියම්හයි - සැලකිය යුතු දෑ කියම්හයි - සකාරණ ව කියම්හයි - නැවැතුණු වාද ඇතියම්හයි කියන්නාහු නුයි ‘යංනිස්සිතා තත්‍ථ සුභංවදානා’ යනු වේ.
පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා - බොහෝ මහණබමුණෝ බොහෝ වූ වෙන වෙන ම සත්‍යයන්හි පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු ‘ලෝකය ශාශ්වත යැ මේ මැ සැබව අන්‍යය තුච්ඡ යැ’ යි පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු; ‘ලෝකය අශාශ්වත යැ... ‘සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මෙය මැ සැබව අන්‍යය තුච්ඡ යැ’යි පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළුවූවාහු බැසගත්තාහු නුයි ‘පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා’ යනු වේ.
එයින් වදාළහ, බුදුහු:
“ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති -පෙ- පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා” යි.
8. 2.
ඔවුහු වාද කැමැත්තාහු පිරිස්මැදට වැද වාදකරුවෝ දෙදෙන ඔවුනොවුන් බාලයයි සිතති, ඔහු අන්‍ය ශාස්තෘ ආදිය ඇසුරු කළාහු පැසසුම් කැමැති ව (ඇපි) පණ්ඩිතවාද ඇතියම්හ’යි විවාද කථා කියත්.
තෙ වාදකාමා පරිසං විගය්හ - ‘තෙ වාදකාමා’ යනු: ඔහු වාද කැමැත්තාහු වාදාර්ථි වූවාහු වාද අදහස් ඇත්තාහු වාද පෙරටු කොට ඇත්තාහු වාද සෙවීමෙහි හැසිරෙන්නාහු; පරිසං විගය්හ - ක්‍ෂත්‍රිය පිරිසට බ්‍රාහ්මණ - ගෘහපති - ශ්‍රමණ පිරිසට පැමිණ බැස ඇතුළුව පිවිස නුයි ‘තෙ වාදකාමා පරිසං විගය්හ’ යනු වේ.
බාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤං - ‘මිථු’ යනු දෙදෙනා කලහකරුවෝ දෙදෙන ඩබරකරුවෝ - (විවාද) කථාකරුවෝ - විවාදකරුවෝ - අධිකරණකරුවෝ - වාදකරුවෝ - කථාකරනුවෝ දෙදෙන, ඔහු ඔවුනොවුන් හීනවසයෙන් නිහීනවසයෙන් අවමන්වසයෙන් ලාමකවසයෙන් පහත්වසයෙන් අල්පවසයෙන් සලකති බලති දකිති අවලෝකන කෙරෙති සිතති විමසත් නුයි ‘බාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤං’ යනු වේ.
වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජං - ඔවුහු අන්‍ය ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් ලබ්ධියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ඇසුරු කළාහු වෙසෙසින් ඇසුරු කළාහු ඇලුණාහු පැමිණියාහු පිවිසියාහු බැසගත්තාහු; ‘කථොජ්ජ’ යී කලහය ඩබරය විග්‍රහය විවාදය මෙධගය කියනු ලැබෙයි. නොහොත් කථොජ්ජං - අනොජවත් වූ ඒ කථාව ‘කථොජ්ජ’ යයි කියති, කලහ - භණ්ඩන - විග්ගහ - විවාද - මෙධග යයි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජං’ යනු වේ.
පසංසකාමා කුසලාවදානා - ‘පසංසකාමා’ යනු: පැසැසුම් කැමැත්තාහු ප්‍රශංසාර්ත්‍ථී වූවාහු ප්‍රශංසාධිප්‍රාය ඇත්තාහු පැසැසුම් පෙරටු කොට සිටියාහු පැසැසුම් සෙවීමෙහි හැසිරෙන්නාහු; කුසලාවදානා - ස්වකීය ලබ්ධියෙහි කුසලවාද - පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්‍ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘පසංසකාමා කුසලාවදානා’ යනු වේ.