Mahāniddesa

Great Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2295 segments

පෙන්වන කොටස් 501-600 න් 2295

යො චෙපි අතිච්ච ජීවති - යමෙක් අවුරුදු සියය ඉක්මවා ජීවත් වේ නම්, හෙතෙම එක් වසක් හෝ ජීවත් වෙයි, දෙවසක් හෝ... තෙවසක් හෝ... සිවුවසක් හෝ... පස්වසක් හෝ ජීවත්වෙයි, ... දසවසක් හෝ... විසිවසක් හෝ... තිස්වසක් හෝ... සතලිස්වසක් හෝ ජීවත් වේ නුයි - ‘යො චෙපි අතිච්ච ජීවති’ යනු වේ.
අථ ඛො සො ජරසාව මීයති - යම් කලෙක ජරාවෙන් දිරුයේ වේ ද වයසින් වෘද්ධ වූයේ මහලු වූයේ තුන්වයස් ඉක්මැවූයේ අන්තිම වයසට පැමිණියේ වේ ද, (එකල්හි) කඩ (ගිලිහුණු) දත් ඇතියේ පැසුණු කෙස් ඇතියේ සිඳුණු කෙස් ඇති ඛල්වාටශීර්‍ෂ වූයේ රැලිහටගත් තලකැලලින් යුත් සිරුරු ඇතියේ වක්වූයේ බිඳුණු සිරුරු ඇතියේ සැරයටිය පිහිට කොට ඇතියේ හෙතෙම ජරාවෙන් මඩනා ලදුයේ ම ච්‍යුත වෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනැසෙයි. මරණයෙන් මිදීමෙක් නැති.
13. ඵලහිමියනට පැසුණු ගෙඩි උදාසන වැටීමෙන් උපදනා බිය මෙන් මෙසේ උපන් සත්නට නිරතුරු මරණයෙන් බිය උපදනේය.
14. කුඹලා විසින් කරන ලද මැටිබඳුන් සියල්ල යම්සේ බිඳීම අවසන් කොට ඇත්තේ ද, එසෙයින් සත්ත්‍වයන්ගේ ජීවිතය මරණය අවසන් කොට ඇත්තේය.
15. තරුණයෝ ද මහල්ලෝ ද බාලයෝ ද පණ්ඩිතයෝ ද යන සියල්ලෝ මරහුගේ වශයට යෙති. සියල්ලෝ මරණය පරායණ කොට ඇත්තාහ.
16. මරණයෙන් පීඩිත වූ මෙලොවින් පරලොවට යන ඒ සත්ත්‍වයන් පිළිබඳ ව යම්හෙයකින් පියා පුතු නො රකී ද, නෑ කෙනෙක් හෝ නෑයන් නො රකිත් ද, එහෙයින් -
17. බලව! නන් අයුරින් වැලැපෙන්නාවූ නෑයන් බලාසිටිය දී මැ මිනිසුන් අතුරෙන් එකඑකා මැ වධයට ගෙන යන ගවයකු මෙන් මරණයට පමුණුවනු ලැබෙයි. මෙසෙයින් ලෝවැසි තෙමේ මරණය විසින් හා ජරාව විසින් ද මඩනා ලදුයේ නුයි -
‘අථ ඛො සො ජරසාව මීයති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අප්පං වත -පෙ- අථ ඛො සො ජරසාව මීයති” යී.
සත්ත්‍වයෝ තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් මමත්‍වයෙන් ගන්නා ලද වස්තුවිෂයෙහි (=වස්තුව කරණ කොටගෙන) ශෝක කෙරෙති. එතෙකුදු වත් නිත්‍ය වූ පරිග්‍රහ කෙනෙක් නො මැ වෙති. මේ විනාභාවය විද්‍යාමාන වූයේ මැ යයි දැක (නුවණැත්තේ) ගිහිගෙයි නො වසන්නේ යි.
සොචන්ති ජනා මමායිතෙ - ‘ජනා’ යනු: ක්‍ෂත්‍රිය-බ්‍රාහ්මණ-වෛශ්‍ය-ශුද්‍ර-ගෘහස්ථ-ප්‍රව්‍රජිත-දෙව-මනුෂ්‍යයෝ ය; ‘මමත්තා’ යනු: තෘෂ්ණාමමත්‍වය ද දෘෂ්ටිමමත්‍වය දැයි මමත්‍වයෝ දෙදෙනෙක් වෙති... මාගේ යයි ගන්නා ලද වස්තුව ‘අසිඳ ගනිති’ යන සැක ඇත්තාහු ද (සිතින්) ශෝක කෙරෙති, අසිඳුනා කල්හි දු ශෝක කෙරෙති, අසිඳගත් කල්හි දු ශෝක කෙරෙත්, මමායිත වස්තුව ‘විපරීත වෙතී’ සැක ඇත්තාහු ද ශෝක කෙරෙති, විපරීත වන කල්හි දු ශෝක කෙරෙති, විපරීත වූ කල්හි දු ශෝක කෙරෙති, වෙහෙසෙති විලාප කියති ළෙහි අත් ගසා හඬති සම්මෝහයට පැමිණෙත් නුයි - ‘සොචන්ති ජනා මමායිතෙ’ යනු වේ.
න හි සන්ති නිච්චා පරිග්ගහා - ‘පරිග්ගහා’ යනු: තෘෂ්ණාපරිග්‍රහය ද දෘෂ්ටිපරිග්‍රහය දැයි පරිග්‍රහයෝ දෙදෙනෙක් වෙති... තෘෂ්ණාපරිග්‍රහය අනිත්‍ය යැ, සංඛත (-ප්‍රත්‍යයන් විසින් කරන ලද) යැ, ප්‍රත්‍යයසාමග්‍රිය නිසා උපන, ක්‍ෂය වන සුලු යැ, නැසෙන සුලු යැ, නොඇලෙන පියවි ඇත්තේ යැ, නිරුද්ධ වන පියවි ඇත්තේ යැ, පෙරළෙන පියවි ඇත්තේ යැ; දෘෂ්ටිපරිග්‍රහය ද අනිත්‍ය යැ සංඛත යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂයධර්‍ම යැ ව්‍යයධර්‍ම යැ විරාගධර්‍ම යැ නිරොධධර්‍ම යැ විපරිණාමධර්‍ම යි.
මේ වදාරන ලද්දේ මැනු, බුදුන් විසින්:
“මහණෙනි, තෙපි නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ අවිපරිණාමස්වභාව වූ යම් පරිග්‍රහයෙක් ශාශ්වතිකයක් සෙයින් එසේ ම සිටුනේ නම්, එබඳු පරිග්‍රහයක් දකිවු දැ?’යි ‘තෙල නැත් මැය වහන්ස’. සොඳුරු යැ මහණෙනි, ඇපි දු මහණෙනි, යම් පරිග්‍රහයෙක් නිත්‍ය-ධ්‍රැව-ශාශ්වත-අවිපරිණාමස්වභාව වූයේ ශාශ්වතිකයක් මෙන් එසෙයින් මැ සිටුනේ නම්, තෙල පරිග්‍රහය නො දකුම්හ”යි. පරිග්‍රහයෝ නිත්‍ය වූවාහු ස්ථිර වූවාහු ශාශ්වත වූවාහු අවිපරිණාමස්වභාව වූවාහු නැති, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙත් නුයි ‘න සන්ති නිච්චා පරිග්ගහා’ යනු වේ.
විනාභාවං සන්තමෙවිදං - නානාභාවය වියොගභාවය අන්‍යථාභාවය ඇතිකල්හි විද්‍යමාන කල්හි ලැබෙන කල්හි; මේ වදාරන ලද මැ ය බුදුන් විසින්: “ආනන්‍ද, නහමක් ශෝක කර, නහමක් පරිදේවනා කර; ආනන්‍ද, මා විසින් මෙය පළමු (කලින්) මැ කියන ලද්දේ නො වේ ද, සියලු මැ ප්‍රිය මනාපයන් කෙරෙන් (ජාත්‍යාදිය හේතු කොටගෙන) නානාභාවය වියොගභාවය අන්‍යථාභාවය වෙයි. ආනන්‍ද, යමක් ජාත නම් භූත නම් ප්‍රත්‍යයෝත්පන්න නම් බිඳෙන පියවි ඇත් නම් එය නහමක් බි‍ඳේව’යි, එය කොයින් ලැබේ ද, මේ කාරණය විද්‍යමාන නො වේ”ය යි. පළමු පළමු හටගත් ස්කන්‍ධ-ධාතු-ආයතනයන්ගේ ප්‍රකෘතිය හැර අන්‍යථාත්‍වයට පැමිණීම හේතු කොට ගෙන පසු පසු වූ ස්කන්‍ධ-ධාතු-ආයතනයෝ පවත්නාහු නුයි - ‘විනාභාවං සන්තමෙවිදං’ යනු වේ.
ඉති දිස්වා නාගාරමාවසෙ - ‘ඉති’ - තෙල ‘ඉති’ යනු: පදසන්‍ධි යැ, පදසංයොග යැ පදපූරණ යැ, අක්‍ෂරසන්තිපාත යැ, ව්‍යඤ්ජනයන්ගේ සිලිටුබව යැ, පදයන්ගේ අනුපිළිවෙළ නම් වේ. ඉති දිස්වා මමායිත වස්තුවිෂයෙහි බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘ඉති දිස්වා’ යනු වේ. නාගාරමාවසෙ - සියලු ගෘහවාසපළිබොධය (=කරදරය) සිඳ, අඹුදරුපළිබොධය සිඳ, ඥාතිපළිබොධය සිඳ, මිත්‍රාමාත්‍යපළිබොධය සිඳ, සන්නිධිපළිබොධය සිඳ, කෙස්දැළිරවුළු බහා කහවත් හැඳපෙරවැ, ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වැ, කිසිවක් නැතිබවට පැමිණ, එකලා වැ හැසිරෙන්නේය වෙසෙන්නේය ඉරියවු පවත්වන්නේය පාලන-යපන-යාපනය කරන්නේ නුයි ‘ඉති දිස්වා නාගාරමාවසෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සොචන්ති ජනා -පෙ- ඉති දිස්වා නාගාරමාවසෙ” යනු.
පුරුෂ තෙමේ යම් රූපාදියක් ‘මේ මාගේ’ යයි මඤ්ඤනාවශයෙන් හඟනේ නම්, එය මරණයෙන් නමුදු දුරුකරනු ලැබෙයි. බුද්ධාදීන් කෙරෙහි මාමක වූ පණ්ඩිත තෙමේ රූපාදියෙහි තෙල ආදීනවය දැක මමත්‍වයට නො නැමෙන්නේ යි.
මරණෙනපි තං පහීයති - ‘මරණං’ යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙන් යම් ච්‍යුතියෙක් ච්‍යුතවන බවෙක් බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යුසඞ්ඛ්‍යාත මරණයෙක් කලුරියකිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් කලෙවරයාගේ බහාලීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද එය යි. තං - ඒ රූපය වේදනාව සංඥාව සංස්කාරය විඥානය; පහීයති - ප්‍රහීණ කරනු ලැබෙයි, හරිනු ලැබෙයි, වෙසෙසින් හරිනු ලැබෙයි, අතුරුදහන් වෙයි, සුණුවිසුණු වේ. මේ කියන ලදුයේ මැ ය:
1. භෝගයෝ පළමු මැ මිනිසා දුරු කෙරෙති (-අත්හරිති). මිනිසා ද ඊටත් පෙරටුව ඒ භෝගයන් දුරු කෙරෙයි. එම්බා කාමකාමිය, (ලොවැ) කාමභොගීහු අශාශ්වතයෝ යැ. එහෙයින් මම මහාජනයා ශෝක කරන කල්හි ශෝක නො කෙරෙමි.
2. එම්බා සත්තුකය, මා විසින් (ලාභාලාභාදි) ලොකධර්‍මයෝ දැනගන්නා ලද්දාහ, සඳු උදයට පැමිණෙයි, පිරෙයි, යළි ගෙවී යෙයි. හිරු උදයට පැමිණ යළි අස්තයට යෙයි. (එසෙයින් භෝගයෝ උපදිති යළි වැනැසෙත්;) එහෙයින් මම මහජනයා ශෝක කරන කල්හි ශෝක නො කරම් යයි.
යං පුරිසො මමිදන්ති මඤ්ඤතී - ‘යං’ යනු: යම් රූප-වේදනා-සඤ්ඤා-සඞ්ඛාර-විඤ්ඤාණගතයක්: පුරිසො යනු: සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්‍ම යැ නාමධෙය්‍ය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යි; මමිදන්ති මඤ්ඤති - තෘෂ්ණායෙන් උපන් මානයෙන් සිතයි (-මාන කෙරෙයි,) දෘෂ්ටිමඤ්ඤනාවෙන් මාන කෙරෙයි, සහජාත මානමඤ්ඤනාවෙන් මාන කෙරෙයි’ ක්ලෙශමඤ්ඤනාවෙන් මාන කෙරෙයි, දුශ්චරිතමඤ්ඤනාවෙන් මාන කෙරෙයි, ප්‍රයොගමඤ්ඤනාවෙන් මාන කෙරෙයි, විපාකමඤ්ඤනාවෙන් මාන කෙරේනුයි - ‘යං පුරිසො මමිදන්ති මඤ්ඤති’ යනු වේ.
එතං දිස්වාන පණ්ඩිතො - මමත්‍ව කළ වස්තුවිෂයෙහි තෙල ආදීනවය දැන තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි ‘එතං දිස්වාන’ යනු වේ. පණ්ඩිතො - ධීර වූයේ ප්‍රඥාවත්-බුද්ධිමත්-ඥානවත්-විද්වත් වූයේ මේධා ඇතියේ නුයි - ‘එතං දිස්වාන පණ්ඩිතො’ යනු වේ.
න මමත්තාය නමෙථ මාමකො - ‘මමත්තා’ යනු මමත්‍ව දෙකෙක... මාමකො - මමත්‍වය ඇතියේ බුද්ධමාමක - ධම්මාමාමක - සඞ්ඝමාමක වූයේ; හෙතෙම ඒ බුදුන් මමායන කෙරෙයි. බුදුහු ඒ පුඟුලා විමසති: මේ වදාරන ලද මැයි, භාග්‍යවතුන් විසින්: “මහණෙනි, යම් ඒ මහණ කෙනෙක් කුහක වූවාහු තද වූවාහු ප්‍රත්‍යය නිමිත්තෙන් බණන්නාහු සැරසෙන පියවි ඇත්තාහු නැඟුණු මානනළ ඇත්තාහු සමාධි රහිත වූවාහු වෙත් ද, මහණෙනි ඒ මාගේ භික්‍ෂූහු මා අයත් වූවාහු නො වෙති, මහණෙනි, ඒ භික්‍ෂූහු මෙ සස්නෙන් බැහැර වූවාහු ද වෙති. තවද ඒ භික්‍ෂූහු මේ ශාසනයෙහි වෘද්ධියට ස්ථිරබවට විපුල බවට නො ද පැමිණෙත්. මහණෙනි, තවද යම් භික්‍ෂු කෙනෙක් කුහක නොවූවාහු ලපක නොවූවාහු ධීර වූවාහු නොතද වූවාහු එකඟ සිත් ඇත්තාහු වෙත් ද, මහණෙනි, ඒ මාගේ භික්‍ෂූහු මා අයත් වූවාහු වෙති, තවද මහණෙනි, ඒ භික්‍ෂූහු මෙ සස්නෙන් බැහැර නොවූවාහු වෙති, ඔවුහු මෙ සස්නෙහි වැඩීමට තහවුරු බවට පැතුරුණු බවට ද පැමිණෙත්.
3. කුහක වූ කෝපයෙන් හා මානයෙන් තද වූ ප්‍රත්‍යය පිළිබඳ කොට කථා කරන නැඟුණු මානනළ ඇති සමාධි රහිත වූ යම් කෙනෙක් වෙත් නම්, ඔවුහු සම්මාසම්බුදුන් වදාළ සසුන්දහම්හි නො වැඩෙත්.
4. කුහක නො වූ ලපක නො වූ ධෘතිමත් වූ නොතද වූ මොනොවට එකඟ කළ සිත් ඇති යම් කෙනෙක් වෙත් නම්, ඔවුහු ඒකාන්තයෙන් සම්මාසම්බුදුන් වදාළ සසුන්දහම්හි වැඩෙත්.
න මමත්තාය නමෙථ මාමකො - බුද්ධාදීන් කෙරෙහි මමත්‍වය ඇතියේ තෘෂ්ණාමමත්‍වය හැර දෘෂ්ටිමමත්‍වය දුරු කොට මමත්‍වයට නො නැමෙන්නේය, අවනත නො වන්නේය, ඊට නැමුණේ ඊට ප්‍රවණ වූයේ ඊට බර වූයේ එහි ඇලුණේ එය අධිපති කොට ඇතියේ නො වන්නේ නුයි ‘න මමත්තාය නමෙථ මාමකො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“මරණෙනපි තං පහීයති -පෙ- න මමත්තාය නමෙථ මාමකො” යී.
පුරුෂ තෙමේ සිහිනෙන් පැමිණ හෝ දක්නා ලද චන්‍ද්‍රාදි කිසිවක් පිබිදියේ යම්සේ නො දකී ද, එසෙයින් පරලොව ගිය කලුරිය කළා වූ ප්‍රිය කළ සත්ත්‍වයා නො දකී.
සුපිනෙන යථාපි සඞ්ගතං - හමු වූ සමීපයට පැමිණි එක් වූ පිඬු වූවාහු නුයි ‘සුපිනෙන යථාපි සඞ්ගතං’ යනු වේ.
පටිබුද්ධො පුරිසො න පස්සති - පුරුෂ තෙමේ නිදන්නේ සඳ දකී, හිරු දකී, මහමුහුද දකී, මහමෙර දකී, ඇතකු - අසකු - රියක් - පාබලසෙනඟක් - සේනාසමූහයක් දකී, සිත්කලු අරම් - සිත්කලු උයන් - සිත්කලු බිම්පෙදෙස් - සිත්කලු පොකුණු දකී, (එතෙකුදු වත්) පිබිදියේ යම්සේ කිසිවක් නො දකී ද, එහෙයින් ‘පටිබුද්ධො පුරිසො න පස්සති’ යනු වේ.
එවං පියායිතං ජනං - ‘එවං’ යනු: ඖපම්‍ය දැක්වීම යි; පියායිතං ජනං - ප්‍රිය කළ මමත්‍වය කළ සත්ත්‍වයා: මව හෝ පියා හෝ බෑයා හෝ බුහුන හෝ පුතු හෝ දූ හෝ මිතුරකු හෝ යහළුවකු හෝ නෑ-සහලේ-නෑයකු හෝ නුයි ‘එවං පියායිතං ජනං’ යනු වේ. පෙතං කාලකතං න පසස්ති - මළේ කලුරිය කෙළේ ‘ප්‍රේත’ යයි කියනු ලැබේ. ඒ මළහු නො දකී නො පැමිණෙයි නො ලැබෙයි ප්‍රතිලාභ නො වේ නුයි ‘පෙතං කාලකතං න පසස්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සුපිනෙන යථාපි -පෙ- කාලකතං න පසස්ති” යී.
ක්‍ෂත්‍රියාදි යම් කෙනකුන්ගේ නාමප්‍රඥප්තිය මේ යැයි කියනු ලැබේ ද, ඒ සත්ත්‍වයෝ ඇසින් දුටු චතුසමුට්ඨානික රූපයෝ ද කනින් ඇසූ ද්විසමුට්ඨානික ශබ්දයෝ ද වෙති. පරලොව ගිය සත්ත්‍වයා ගේ නාමමාත්‍රය ම කියන්නට ඉතිරි වේ.
දිට්ඨාපි සුතාපි තෙ ජනා - දිට්ඨා - චක්‍ෂුර්විඥානයෙන් දක්නා ලද චතුසමුත්‍ථානික රූපයෝ; සුතා - ශ්‍රොත්‍රවිඥානයෙන් අසන ලද ද්විසමුට්ඨානික ශබ්දයෝ; තෙ ජනා - ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයෝ නුයි දිට්ඨාපි සුතාපි තෙ ජනා.
යෙසං නාමමිදං පවුච්චති - යෙසං - (යම්) ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයන්ගේ; නාමං - සංඛ්‍යාව සංඥාව ප්‍රඥප්තිය ව්‍යවහාරය නාමය නාමකර්‍මය නාමධෙය්‍යය නිරුක්තිය ව්‍යඤ්ජනය අභිලාප යි; පවුච්චති - පවසනු ලැබෙයි, කියනු ලැබෙයි, බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි, වහරනු ලැබේ නුයි - ‘යෙසං නාමමිදං පවුච්චති’ යනු වේ.
නාමමෙවාවසිස්සති අක්ඛෙය්‍යං - රූපය වේදනාව සංඥාව සංස්කාරය විඥානය ප්‍රහීණ වෙයි, හරිනු ලැබෙයි, අතුරුදහන් වෙයි, වැනැසේ නුයි - ‘නාමමෙවාවසිස්සති’ යනු වේ. අක්ඛෙය්‍යං - පවසන්නට කියන්නට බණන්නට දක්වන්නට වහරන්නට නුයි - ‘නාමමෙවාවසිස්සති අක්ඛෙය්‍යං’ යනු වේ.
පෙතස්ස ජන්තුනො - පෙතස්ස යනු: පරලොව ගියහු කලුරිය කළහු ගේ; ජන්තුනො - සත්ත්‍වයාගේ නර - මාණව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්‍දගු - හින්‍දගු - මනුජයක්හුගේ නුයි - “අක්ඛෙය්‍යං පෙතස්ස ජන්තුනො” යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨාපි සුතාපි තෙ ජනා -පෙ- අක්ඛෙය්‍යං පෙතස්ස ජන්තුනො” යී.
මමත්‍වය කළ වස්තු විෂයෙහි ගිජු වූවාහු ශොකපරිදෙවමාත්සර්‍ය්‍යය යම් හෙයකින් නො හරිත් ද, එහෙයින් මුනීහු තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහය හැරපියා ක්‍ෂෙමසඞ්ඛ්‍යාත නිවන දකිමින් විසූහ.
සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ - ‘සෝක’ නම්: ඥාතීන්ගේ විනාශයෙන් මඩනා ලද්දහුගේ හෝ භෝගයන්ගේ විනාශයෙන් මඩනා ලද්දහු ගේ හෝ රොගව්‍යසනයෙන් - ශීලව්‍යසනයෙන් - දෘෂ්ටිව්‍යසනයෙන් මඩනා ලද්දහුගේ හෝ මිත්‍රව්‍යසනාදි යම් කිසි ව්‍යසනයෙකින් යුක්ත වූවහුගේ හෝ යම් කිසි දුක්හෙතුවකින් මඩනා ලද්දහුගේ හෝ ශෝකයෙක් ශෝක කරන අයුරෙක් ශෝක කරන බවෙක් අභ්‍යන්තරශොකයෙක් සිත තුළ අධිකශොකයෙක් අභ්‍යන්තරදාහයෙක් අභ්‍යන්තරපරිදාහයෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක් වේ නම් එයයි. ‘පරිදේව’ නම්: නෑයන්ගේ වනසින් මඩනා ලද්දහුගේ හෝ... දෘෂ්ටිව්‍යසනයෙන් - යම් කිසි ව්‍යසනයෙකින් යුක්ත වූවහු ගේ හෝ යම් කිසි දුඃඛහෙතුවකින් මඩනා ලද්දහුගේ හෝ හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් හඬන අයුරෙක් හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා කීමෙක් පුනපුනා කියන අයුරෙක් පුනපුනා කියන බවෙක් වේ නම් එය යි. මච්ඡරියං - මාත්සර්‍ය්‍ය:... (2-3 සූත්‍ර නිර්‍දෙශය.) මේ මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ.
ගේධ යයි තෘෂ්ණාව කියනු ලබයි,... යම් රාගයෙක් සංරාගයෙක්... ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. මමත්තා - තෘෂ්ණාමමත්‍වය ද දෘෂ්ටිමමත්‍වය දැයි මමත්‍ව දෙකෙකි, ... මමත්‍වය කළ වස්තුව අසිඳගනිතී සැක ඇතිව ද සොවිති, අසිඳුනා කල්හි දු සොවිති, අසිඳගත් කල්හි දු සොවිත්. මමායිත වස්තුව වෙනස් වෙතී සැක ඇතිව ද සොවිති, වෙනස් වන කල්හි දු සොවිති, වෙනස් වූ කල්හි දු සොවිත්; මමායිත වස්තුව අසිඳගනිතී සැක ඇතිව ද හඬති, අසිඳුනා කල්හි දු හඬති, අසිඳගත් කල්හි දු හඬත්; මමත්‍වය කළ වස්තුව වෙනස් වෙතී සැක ඇතිව ද හඬති, වෙනස් වන කල්හි දු හඬති, වෙනස් වූ කල්හි දු හඬත්; මමත්‍වය කළ වස්තුව රකිති ගෝපනය කෙරෙති විමසති මමායන කෙරෙති මච්ඡරායන කෙරෙති. මමායිත වස්තුවිෂයෙහි ශෝකය නො හරිති, පරිදේව නො හරිති, මසුරුබව නො හරිති, ගිජුබව නො හරිති, නො දුරු කෙරෙති නො බැහර කෙරෙති කෙළවර නො කෙරෙති අනභාවයට නො පමුණුවත් නුයි ‘සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ’ යනු වේ.
තස්මා මුනයො පරිග්ගහං හිත්‍වා අචරිංසු ඛෙමදස්සිනො - තස්මා - එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මමායිත වස්තුවිෂයෙහි තෙල ආදීනවය දක්නාහු නුයි ‘තස්මා’ යනු වේ. මුනයො - ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂ දැනීමෙක්... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. ඒ නුවණින් සමන්‍විත වූ මුනීහු මොනප්‍රාප්තයෝ යි. මෝනෙය්‍ය තුනෙකි: කායමෝනෙය්‍ය වචීමොනෙය්‍ය මනෝමෝනෙය්‍ය යයි...(2. 8. සූත්‍රනිර්දේශය.) පරිග්ගහො - පරිග්‍රහයෝ දෙදෙනෙකි: තෘෂ්ණාපරිග්‍රහය ද දෘෂ්ටිපරිග්‍රහය දැයි,... මුනීහු තෘෂ්ණාපරිග්‍රහය හැරපියා දෘෂ්ටිපරිග්‍රහය දුරලා ත්‍යාග කොට හැර බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා හැසුරුණාහ වෙසෙසින් හැසුරුණාහ ඉරියවු පැවැත්වූහ පාලන - යපන - යාපන කළහ. ඛෙමදස්සිනො - ‘ඛේම’ යී අමාමහනිවන කියනු ලැබෙයි, සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම ඇති සියලු උපධීන්ගේ දුරලීම ඇති තෘෂ්ණාක්‍ෂය වූ විරාග වූ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයයි. ඛෙමදස්සිනො - ක්‍ෂේමය දක්නාහු ත්‍රාණය - ලෙනය - ශරණය - අභය - අච්‍යුතය - අමෘතය - නිර්‍වාණය දක්නාහු නුයි - ‘තස්මා මුනයො පරිග්ගහං හිත්‍වා අචරිංසු ඛෙමදස්සිනො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සොකපරිදෙවමච්ඡරං -පෙ- හිත්‍වා අචරිංසු ඛෙමදස්සිනො” යී.
ඒ ඒ අරමුණෙන් වැළැහූ සිත්හසර ඇති විවෙක අසුනක් සෙවුනා වූ ශෛක්‍ෂ මහණ හට ද නිරයාදි භවනයෙහි (ප්‍රතිසන්‍ධි විසින්) තමා නොදක්වන ඒ රහත් මහණ හට ද නිර්‍වාණසාමග්‍රියෙහි ලා මේ (නිරයාදි භවනයෙහි තමා නොදැක්වීම) අනුරූප යයි කියත්.
පතිලීනචරස්ස භික්ඛුනෝ - සප්ත ශෛක්‍ෂයෝ පතිලීනචරයෝ යැයි කියනු ලැබෙත්. රහත්හු පතිලීනයහ. කුමක් හෙයින් සප්ත ශෛක්‍ෂයෝ පතිලීනචරයෝ යැයි කියනු ලැබෙති යත්? ඔහු ඒ ඒ අරමුණෙන් සිත නවතමින් හකුළුවමින් පෙරළමින් අවුරමින් නිගන්මින් වළහමින් රක්මින් ගෝපනය කෙරෙමින් හැසිරෙති ඉරියවු පවත්වති පාලනය - යපනය - යාපනය කෙරෙත්, චක්‍ෂුර්ද්වාරයෙහි සිත නවතමින් හකුළුවමින් හකුළමින් අවුරමින් නිගන්මින් වළහමින් රක්මින් ගෝපනය කෙරෙමින් සෙරෙති හැසිරෙති ඉරියවු පවත්වති ඉරියවු උපදවති පාලනය කෙරෙති යපනය යාපනය කෙරෙති, ශ්‍රොතද්වාරයෙහි සිත...ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනෝ - ද්වාරයෙහි සිත නවතමින් (පස්බස්වමින්) ... පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත්. යම්සේ කුකුළුපතෙක් හෝ නහරදුදුලෙක් හෝ ගින්නෙහි ලන ලදුයේ හැකිළේ ද, නො පැතිරේ ද, එසෙයින් ම ඒ (පතිලීනචරයෝ) ඒ ඒ අරමුණෙන් සිත නවතමින් හකුළුවමින් ... වෙසෙති ... යැපෙත්. චක්‍ෂුර්ද්වාරයෙහි ... ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනෝද්වාරයෙහි සිත නවතමින්... හැසිරෙති... යැපෙත්. එකරුණෙන් සප්ත ශෛක්‍ෂයෝ පතිලීනචරයෝ යැයි කියනු ලැබෙත්. භික්ඛුනෝ - කල්‍යාණපෘථග්ජන භික්‍ෂුහුගේ හෝ ශෛක්‍ෂභික්‍ෂුහුගේ හෝ නුයි ‘පතිලීනචරස්ස භික්ඛුනෝ’ යනු වේ.
භජමානස්ස විවිත්තමාසනං - ඇඳ පුටු බිසි පත්කඩ සම්කඩ තණඇතිරි පන්ඇතිරි පිදුරුඇතිරි යන මේ හිඳිනා තැන ‘ආසන’ යයි කියනු ලැබේ, ඒ අසුන අසත්ප්‍රාය (=නොසරුප්) රූප දැකීමෙන් සිස් යැ ශුන්‍ය යැ වෙසෙසින් ශුන්‍ය යැ, අසත්ප්‍රායශබ්දශ්‍රවණයෙන් - අසත්ප්‍රාය - ගන්‍ධාඝ්‍රාණයෙන් - අසත්ප්‍රාය රස විඳීමෙන් අසත්ප්‍රාය ස්පර්‍ශයෙන් - අසත්ප්‍රාය වූ ස්ත්‍රීන් පිළිබඳ රූපාදි පඤ්චකාමගුණයන්ගෙන් සිස් යැ ශුන්‍ය යැ වෙසෙසින් ශුන්‍ය යි, ඒ විවික්ත (=ශුන්‍ය) වූ අසුන සෙවුනා හට මැනැවින් සෙවුනා හට එළඹෙනුවහුට නිවෙසනය කරනුවහුට මැනැවින් සේවනය කරනුවහුට පුනපුනා ඇසුරු කරනුවහුට නුයි ‘භජමානස්ස විවිත්තමාසනං’ යනු වේ.
සාමග්ගියමාහු තස්සෙතං යො අත්තානං භවනෙ න දස්සයෙ - ‘සාමග්ගි’ - තුන් සාමග්‍රි කෙනෙක් වෙති: ‘ගණසාමග්ගි ධම්මසාමග්ගි අනභිනිබ්බත්තීසාමග්ගි යැයි. ‘ගණසාමග්ගි කවරී ද යත්? ඉදින් බොහෝ භික්‍ෂූහු නමුදු කයින් සමඟ වූවාහු සිතින් සතුටු වන්නාහු බසින් විවාද නො කරන්නාහු කිරි මුසු දිය මෙන් වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වෙසෙත් නම්, මෝ ගණසාමග්ගි නමු. ‘ධම්මසාමග්ගි’ කවරී ද යත්? සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්ච බලයෝ යැ සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ යන මොහු යි, ඔවුහු එක අරමුණෙහි පිවිසෙති පහදිති පිහිටා සිටිති විමුක්තියට පැමිණෙත්. ඒ ධර්‍මයන්ගේ විවාදයෙක් ප්‍රකර්‍ෂවිවාදයෙක් නැති, මෝ ‘ධම්මසාමග්ගි’ නමු.
‘අනභිනිබ්බත්තිසාමග්ගි’ කවරී ද යත්? ඉදින් බොහෝ භික්‍ෂූහු පවා නිරුපධිශෙෂනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නමුදු එයින් නිර්‍වාණධාතුහුගේ උනුබවෙක් හෝ පිරුණුබවෙක් හෝ නො පැනෙයි; මෝ තොමෝ ‘අනභිනිබ්බත්තිසාමග්ගි’ නම් වන්නීය.
භවනෙ - නෙරිසත්නට නරකය භවන (=ගෘහ) යැ, තිරිසන් යෝනි ඇතියනට තිරිසන් යෝනිය භවන යැ, ප්‍රේතවිෂය ඇතියනට ප්‍රේතවිෂය භවන යැ, මිනිසුන්ට මිනිස් ලොව භවන යැ, දෙවියනට දෙව්ලොව භවනය නුයි ‘සාමග්ගියමාහු තස්සෙතං’ යනු වේ.
යො අත්තානං භවනෙ න දස්සයෙ - යමෙක් මෙසේ ප්‍රතිච්ඡන්න වූ නිරයෙහි තමා නො දක්වන්නේ නම්, තිරිසන් යෝනියෙහි - ප්‍රේතවිෂයෙහි - මිනිස්ලොවැ - දෙව්ලොවැ තමා නො දක්වන්නේ නම්, ඒ ක්‍ෂීණාස්‍රවයා හට මෝ නිර්‍වාණසාමග්‍රිය වෙයි, මෙය සුදුසුය ප්‍රතිරූප ය අනුච්ඡවික ය අනුලොම් වේ යයි; එවමාහු - මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාක කෙරෙත් නුයි “සාමග්ගියමාහු තස්සෙතං යො අත්තානං භවනෙ න දස්සයෙ” යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පතිලීනචරස්ස භික්ඛුනෝ -පෙ- යො අත්තානං භවනෙ න දස්සයෙ” යී.
ද්වාදශායතන සඞ්ඛ්‍යාත සියලු තැන්හි තෘෂ්ණා-දෘෂ්ටිනිඃශ්‍රය රහිත වූ ක්‍ෂීණාසුව මුනි තෙම (සත්ත්‍වයන් හා සංස්කාරයන් කෙරෙහි) රාගවශයෙන් ප්‍රිය නො කෙරෙයි, ප්‍රතිඝවශයෙන් අප්‍රිය නො ද කෙරෙයි, ඒ රහත්හු කෙරෙහි පරිදේවය හා මාත්සර්‍ය්‍යය පියුම්පත දිය සෙයින් නො ඇලේ.
සබ්බත්‍ථ මුනී අනිස්සිතො - ‘සබ්බ’ යී දොළොස් ආයතනයෝ කියනු ලැබෙති: ඇසත් රූපයෝත්, කනත් ශබ්දයෝත්, නැහැයත් ගන්‍ධයෝත්, දිවත් රසයෝත්, කයත් ස්ප්‍රෂ්ටව්‍යයෝත්, සිතත් ධර්‍මයෝත් යන මොහු යි; මුනි යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි,... අනිස්සිතො - තෘෂ්ණානිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැයි නිඃශ්‍රයයෝ දෙදෙනෙකි... මුනි තෙම තෘෂ්ණානිශ්ශ්‍රය හැරදමා දෘෂ්ටිනිශ්ශ්‍රය දුරලා ඇස තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් අනිඃශ්‍රිත වූයේ කන අනිඃශ්‍රිත වූයේ නැහැය අනිඃශ්‍රිත වූයේ දිව අනිඃශ්‍රිත වූයේ කය අනිඃශ්‍රිත වූයේ සිත අනිඃශ්‍රිත වූයේ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මයන් කුලය ගණයා ආවාසය ලාභය සශස ප්‍රශංසාය සැපය සිවුර පිණ්ඩපාතය සෙනස්න ගිලන්පසබෙහෙත්පිරිකර කාමධාතුව රූපධාතුව අරූපධාතුව කාමභවය රූපභවය අරූපභවය සඤ්ඤාභවය අසඤ්ඤාභවය නෙවසඤ්ඤානාසඤ්ඤාභවය එකවෝකාරභවය චතුවෝකාරභවය පඤ්චවෝකාරභවය අතීතය අනාගතය වර්‍තමානය රූපායතනය සද්දායතනය ගන්‍ධ-රස-ඵොට්ඨබ්බායතනය ධම්මායතනය සියලු ධර්‍මයන් තෘෂ්ණාදෘෂ්ටි විසින් අනිශ්ශ්‍රිත වූයේ නො ඇලුණේ නො පැමිණියේ ඇතුළු නො වූයේ නො බැසගත්තේ නික්මැ ගියේ හළුයේ වෙසෙසින් මිදුණේ විසංයෝග වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘සබ්බත්‍ථ මුනී අනිස්සිතො’ යනු වේ.
න පියං කුබ්බති නොපි අප්පියං - ‘පියා’ යනු: ප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. කවර සත්හු ප්‍රියයෝ ද යත්? මෙලොවැ මව හෝ පියා හෝ බෑයා හෝ භගිනිය හෝ දුව හෝ පුතා හෝ මිතුරෝ හෝ සබදයෝ හෝ නෑයෝ හෝ සහලේනෑයෝ හෝ යම් කෙනෙක් වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු සුව කැමැත්තාහු යෝගක්‍ෂේමය කැමැත්තාහු වෙත් නම්, මේ සත්ත්‍වයෝ ප්‍රියයෝ යැ. ප්‍රිය වූ සංස්කාරයෝ කවරහු ද යත්? මනවඩන රූපයෝ යැ ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මොහු ප්‍රිය වූ සංස්කාරයෝ යි.
අප්පියා යනු: අප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. අප්‍රිය සත්ත්‍වයෝ කවරහ යත්? මේ ලොවැ යම් කෙනෙක් අවැඩ කැමැත්තාහු අහිත කැමැත්තාහු නො සුව කැමැත්තාහු අයොගක්‍ෂෙමය කැමැත්තාහු දිවි තොරකරනු කැමැත්තාහු වෙත් නම්, මේ සත්හු අප්‍රියයෝ යැ. අප්‍රිය වූ සංස්කාරයෝ කවරහ යත්? අමනාප වූ රූපයෝ යැ - ශබ්දයෝ යැ - ගන්‍ධයෝ යැ - රසයෝ යැ - අමනාප වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, යන මොහු අප්‍රිය වූ සංස්කාරයෝ යි.
න පියං කුබ්බති නොපි අප්පියං - ‘මේ සත්ත්‍ව මට ප්‍රිය යැ, මේ සංස්කාරයෝ මට මනාපයෝ යැ’යි රාගවශයෙන් ප්‍රිය නොකෙරෙයි. ‘මේ සත්ත්‍ව මට අප්‍රිය යැ, මේ සංස්කාරයෝ අමනාපයෝ යැ’යි ප්‍රතිඝවශයෙන් අප්‍රිය නො කෙරෙයි, නො දනවයි, නූපදවා නුයි ‘න පියං කුබ්බති නොපි අප්පියං’ යනු වේ.
තස්මිං පරිදෙවමච්ඡරං පණ්ණෙ වාරි යථා න ලිප්පති - ‘තස්මිං’ යි ඒ අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ පුඟුල්හු කෙරෙහි; පරිදේව - නම්: ඥාතිව්‍යසනයෙන් (=විනාශයෙන්) මඩනා ලද්දහුගේ හෝ, භොග විපතින් හෝ - රෝග විපතින් හෝ - සීල විපතින් හෝ - දෘෂ්ටි විපතින් හෝ මඩනා ලද්දහුගේ යම්කිසි විපතකින් යුක්ත වූවහුගේ හෝ පරිදෙවදුකට හේතු වූ යම් කිසිවකින් මඩනා ලද්දහුගේ නම කියා හැඬීම ගුණ කියා හැඬීම හඬන ආකාරය හඬන බව වචනය ප්‍රලාපය විප්‍රලාපය පුනපුනා ලපනය ලපනාකාරය පුනපුනා ලපනය කරන බව යි. මච්ඡරිය නම්: මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍යය කුලමාත්සර්‍ය්‍යය ලාභමාත්සර්‍ය්‍යය වර්‍ණමාත්සර්‍ය්‍යය ධර්‍මමාත්සර්‍ය්‍යය කියායි. යම් මෙබඳු වූ මසුරුකමෙක් මසුරුඅයුරෙක් මසුරුකම් ඇතිබවෙක් සම්පත් සඟවන බවෙක් අනාර්‍ය්‍ය බවෙක් කටුකකමින් සිත හැකීළැවීමෙක් සිත මසුරුකමින් ගන්නා ලද බවෙක් වේ ද, මේ මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ. තවද ස්කන්‍ධමාත්සර්‍ය්‍යය ද - ධාතුමාත්සර්‍ය්‍යය ද - ආයතනමාත්සර්‍ය්‍යය ද ‘මච්ඡරිය’ නමි. ග්‍රහණය මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ.
පණ්ණෙ වාරි යථා න ලිප්පති - ‘පණ්ණ’ යි පියුම්පත කියනු ලැබෙයි; ‘වාරි’ යී ජලය කියනු ලැබේ. යම් සේ ජලය පියුම්පතෙහි නො ඇලේ ද වෙසෙසින් නො ඇලේ ද නො තැවැරේ ද, අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වේ ද එසෙයින් ම අර්‍හත් ක්‍ෂීණාස්‍රව වූ ඒ පුඟුල්හු කෙරෙහි පරිදේවය ද, මාත්සර්‍ය්‍යය ද නොඇලෙයි වෙසෙසින් නො ඇලෙයි නො තැවැරෙයි, අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වූයේ වෙයි; ඒ පුද්ගල තෙමේ ද ඒ කෙලෙසුන් සමග නො ඇලෙයි වෙසෙසින් නො ඇලෙයි නො තැවැරෙයි අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වූයේ නික්මැ ගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ වෙන්වූයේ විගතමාර්‍ය්‍යාදා කළ (=මිදීගිය) සිතින් යුක්ත ව වෙසේ නුයි - “තස්මිං පරිදෙවමච්ඡරං පණ්ණෙ වාරි යථා න ලිප්පති” යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සබ්බත්‍ථ මුනී අනිස්සිතො -පෙ- පණ්ණෙ වාරි යථා න ලිප්පති” යි.
පොකුරුපත්හි දියබිඳු යම්සේ නො ඇලේ ද, පියුමෙහි දිය යම් සේ නො ඇලේ ද, එසෙයින් ක්‍ෂීණාශ්‍රව මුනි තෙම දිට්ඨසුතයෙහි හෝ මුතයෙහි නො ඇලේ.
උදබින්‍දු යථාපි පොක්ඛරෙ - ‘උදබින්‍දු’ යයි උදකස්තෙවය (=දියබිඳ) කියනු ලැබේ; ‘පොක්‍ඛර’ යී පියුම්පත කියනු ලැබේ; යම්සේ දියබිඳක් පියුම්පතෙහි නො ඇලේ ද, වෙසෙසින් නො ඇලේ ද නො තැවැරේ ද, අලිප්ත අප්‍රලිප්ත අනුපලිප්ත වේ ද එයින් ‘උදබින්‍දු යථාපි පොක්ඛරෙ’ යනු වේ.
පදුමෙ වාරි යථා න ලිප්පති - ‘පදුම’යී පියුම්මල කියනු ලැබේ; ‘වාරි’ යී දිය කියනු ලැබෙයි; යම්සේ දිය පියුම්මලෙහි නො ඇලේ ද වෙසෙසින් නො ඇලේ ද නො තැවැරේ ද, අලිප්ත අප්‍රලිප්ත අනුපලිප්ත වේ ද, එයින් ‘පදුමෙ වාරි යථා න ලිප්පති’ යනු වේ.
එවං මුනි නොපලිප්පති යදිදං දිට්ඨසුතං මුතෙසු වා - ‘එවං’ යනු ඖපම්‍යසම්ප්‍රතිපාදනා යැ; මුනි - ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි... (2. 8. සූත්‍රනිර්දේශය.) ලෙපා - තණ්හාලෙපය ද දිට්ඨිලෙපය දැයි ලෙපයෝ දෙදෙනෙකි... මුනි තෙම තණ්හාලෙපය හැරපියා දිට්ඨිලෙපය දුරලා, රූපායතනයෙහි නො ඇලෙයි, සද්දායතනයෙහි - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බායතනයෙහි ධර්‍මායතනයෙහි නො ඇලෙයි, වෙසෙසින් නො ඇලෙයි නො තැවැරෙයි. අලිප්ත අප්‍රලිප්ත අනුපලිප්ත වූයේ නික්මැගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ විසංයෝග වූයේ විසංයුක්ත වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘එවං මුනි නොපලිප්පති යදිදං දිට්ඨසුතං මුතෙසු වා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“උදබින්‍දු යථාපි පොක්ඛරෙ -පෙ- යදිදං දිට්ඨසුතං මුතෙසු වා” යී.
ක්‍ෂීණාස්‍රව තෙම යම් මේ (දුටු ඇසූ) රූප-ශබ්දාලම්බනයෙක් වේ ද, ඒ වස්තුවෙන් මඤ්ඤානා වශයෙන් නො සිතයි, (දැනගත්) මුත-ධර්‍මාලම්බනයන් කෙරෙහි හෝ මඤ්ඤානාවශයෙන් නො සිතයි, හෙ තෙම අනිත් අශුද්ධිමාර්‍ගයෙකින් ශුද්ධිය නො කැමැති වෙයි, හෙතෙම (බාලපුහුදුනුවන් මෙන්) නො මැ ඇලෙයි, (කලණ පුහුදුනුවන් හා ශෛක්‍ෂයන් මෙන්) විරාග නො ද වේ.
ධොනො නහි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා - ‘ධොනො’ යනු - ‘ධොනා’ යී පුඥාව කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂජානනයෙක්... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එය යි. කුමක් හෙයින් ප්‍රඥාව‘ධොනා’ යී කියනු ලැබෙයි යත්? ඒ ප්‍රඥායෙන් කායදුශ්චරිතය කම්පා කරන ලද්දේ ද සෝදන ලද්දේ ද මැනවින් දොවන ලද්දේ ද වෙසෙසින් දොවන ලද්දේ ද; වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූයේත් වෙයි, රාගය ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූයේත් වෙයි; ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මකුබව - පලාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ - සියලු දරථයෝ - සියලු සන්තාපයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ - ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූවාහු ද වෙත්. එකරුණෙන් ප්‍රඥාව‘ධොන’ යයි කියනු ලබයි. නොහොත් සම්‍යග්දෘෂ්ටියෙන් මිත්‍ථ්‍යාදෘෂ්ටිය කම්පා කරන ලද්දී ධොවනය කරන ලද්දී මැනැවින් ධොවනය කරන ලද්දී වෙසෙසින් ධොවනය කරන ලද්දී ද වෙයි; සම්‍යක්සංකල්පයෙන් මිත්‍ථ්‍යාසංකල්පය කම්පිත ධොවිත සන්‍ධොවිත නිද්ධොවිත ද වෙයි; සම්‍යග්වචනයෙන් මිත්‍ථ්‍යාවචනය ... සම්‍යක්කර්‍මාන්තයෙන් මිත්‍ථ්‍යාකර්‍මාන්තය... සම්‍යගාජීවයෙන් මිත්‍ථ්‍යාජීවය ... සම්‍යග්ව්‍යායාමයෙන් මිත්‍ථ්‍යාව්‍යායාමය... සම්‍යක්ස්මෘතියෙන් මිත්‍ථ්‍යාස්මෘතිය ... සම්‍යක්සමාධියෙන් මිත්‍ථ්‍යාසමාධිය... සම්‍යග්ඥානයෙන් මිත්‍ථ්‍යාඥානය... සම්‍යග්විමුක්තියෙන් මිත්‍ථ්‍යාවිමුක්තිය ධුත-ධොවිත-සන්‍ධොවිත-නිද්ධොවිත වූවා ද වෙයි. නොහොත් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංසංකාරයෝ ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූවාහු ද වෙත්. රහත්හු මේ ධොනධර්‍මයන්ගෙන් උපේත වූවාහු සමුපෙතඋපාගත සමුපාගත උප්පන්න සමුප්පන්න සමන්‍වාගත වූවාහු වෙති; එහෙයින් රහත්හු ධොනයහ; ඔහු ධුතරාගයහ ධුතපාපහය ධුතක්ලෙශයහ ධුතපරිදාහ නුයි ‘ධොන’ නම් වෙත්.
ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා - ධොන සඞ්ඛ්‍යාත ක්‍ෂීණාස්‍රව තෙමේ (මසැසින් හෝ දිවැසින් දුටු) රූපායතනය (ත්‍රිවිධ මඤ්ඤනායෙන්) නො සිතයි, රූපායතනයෙහි ආත්මය ඇතැයි නො සිතයි, රූපායතනයෙන් අන්‍ය වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, රූපායතනය මාගේ යැයි නො සිතයි; ශබ්දායතනය ත්‍රිවිධ මඤ්ඤනායෙන් ආත්මයයි නො සිතයි, ශබ්දායතනයෙහි ආත්මය ඇතැයි නො සිතයි, ශබ්දායතනයෙන් පිටත (අන්‍ය) වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, ශබ්දායතනය මාගේ යයි නො සිතයි; (ගන්‍ධ-රස-ඵොට්ඨබ්බායතන සඞ්ඛ්‍යාත) මුතය ආත්මයයි නො සිතයි, මුතයෙහි ආත්මය ඇතැයි නො සිතයි, මුතයෙන් අන්‍ය වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, මුතය මාගේ යයි නො සිතයි; (සිතින් දැනගත් සප්තායතන සඞ්ඛ්‍යාත) විඥානය ආත්මයයි නො සිතයි, විඥානයෙහි ආත්මය ඇතැයි නො සිතයි, විඥානයෙන් අන්‍ය වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, විඥානය මාගේ යයි නො සිතයි. මේ වදාරන ලද මැය භාග්‍යවතුන් විසින්:
“මහණෙනි; නිත්‍ය වෙමි යන මෙය මඤ්ඤිත (=දෘෂ්ටිකල්පන) යෙකි, මේ මම් වෙමි යන මෙය මඤ්ඤිතයෙකි, (අනාගතයෙහි) වන්නෙමී මඤ්ඤිතයෙකි, නො වන්නෙමී මඤ්ඤිතයෙකි, සංඥී වන්නෙමී මඤ්ඤිතයෙකි, අසංඥී වන්නෙමී මඤ්ඤිතයෙකි, නෛවසංඥීනාසංඥී වන්නෙමී මඤ්ඤිතයෙකි; මහණෙනි, යම් හෙයකින් මඤ්ඤිතය රොගයක් වේ ද, මඤ්ඤිතය ගණ්ඩයක් වේ ද, මඤ්ඤිතය ශල්‍යයෙක් වේ ද, මඤ්ඤිතය උපද්‍රවයෙක් වේ ද, එහෙයින් මහණෙනි, මෙහි ලා (තෘෂ්ණා-මාන-දෘෂ්ටි විසින්) මඤ්ඤනා නො කරන සිතින් යුක්ත ව වාසය කරම්’හයි මෙසේ මැ තොප විසින් හික්මියැ යුත්තේයැ”යි. එහෙයින් ‘ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා’ යනු වේ.
නාඤ්ඤෙන සුද්ධිමිච්ඡති - ධොන (=ක්‍ෂීණාශ්‍රව) තෙමේ සතර සතිපට්ඨානයන් තබා, සතර සම්‍යක්ප්‍රධානයන් - සතර ඍද්ධිපාදයන් - පඤ්චේන්‍ද්‍රියයන් - පඤ්චබලයන් - සප්තබෝධ්‍යඞ්ගයන් - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය හැරපියා අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙකින් මිත්‍ථ්‍යාප්‍රතිප්‍රදාවකින් අනෛර්‍ය්‍යාණිකපථයෙකින් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො කැමැති වෙයි, නො ඉවසයි නො පතයි නො රිසි වෙයි නො කියා නුයි ‘නාඤ්ඤෙන විසුද්ධීමිච්ඡති’ යනු වේ.
න හි සො රජ්ජති නො විරජ්ජති - සියලු බාලපෘථග්ජනයෝ ඇලෙති, කල්‍යාණපෘථග්ජනයා පටන් සප්තශෛක්‍ෂයෝ විරාගයට පැමිණෙත්. රහත්හු නො මැ ඇලෙති, විරාගයට නො පැමිණෙත්. රාගය ක්‍ෂය වීමෙන් වීතරාග හෙයින් ද්වේෂය ක්‍ෂය වීමෙන් වීතදෝස හෙයින් මෝහය ක්‍ෂය වීමෙන් වීතමෝහ හෙයින් හෙතෙම විරක්ත යැ, වැස නිම වූ ආර්‍ය්‍යවාස ඇත්තේ යැ, පුරුදු කළ චරණධර්‍ම ඇත්තේ යැ. ඔහුට ජාති ජරා මරණ ද (කඳපිළිවෙළ යයි කියන ලද) සසර ද පුනර්‍භවය ද නැත් නුයි ‘න හි සො රජ්ජති නො විරජ්ජති’ යනු වේ.
එයින් වදාළහ බුහුදු:
“ධොනො න හි තෙන මඤ්ඤති -පෙ- න හි සො රජ්ජති නො විරජ්ජති” යී.
සවැනි වූ ජරාසූත්‍රනිර්‍දෙශය යි.
තිස්‌සමෙත්‌තෙය්‍යසූත්‍රනිර්දේශය
ඉක්බිති තිස්සමෙත්තෙය්‍යසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ.
නිදුකාණෙනි, මෙවුන්දම්හි යෙදුණහුට (වන) උපද්‍රවය වදාළ මැනව, මුබ වහන්සේගේ අනුසසුන් අසා ත්‍රිවිධ විවෙකයෙහි හික්මෙනුවම්හ. (ආයුෂ්මත් තිෂ්‍යමෛත්‍රෙය තෙමේ මෙසේ විචාළේයි.)
මෙථුනමනුයුත්තස්ස - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්‍මයෙක් ග්‍රාමධර්‍මයෙක් වසලධර්‍මයෙක් වේ ද, දුෂ්ඨුනිඃශ්‍රිත වූ දියකිස අන්ත කොට ඇති රහස්‍ය වූ ධර්‍මයෙක්, ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද එයයි. කුමක් හෙයින් ‘මෙථුනධම්ම’ යි කියනු ලැබේ ද යත්? රාගයෙන් රත් වූ වෙසෙසින් රැඳුණු ක්ලේශයෙන් තෙත් වූ කුසලවාරය මැඩගෙන සිටි කුසල්සිත ගෙවාගෙන සිටි ස්ත්‍රීපුරුෂ දෙදෙනක්හුගේ සමාන කෙලෙස් ඇති දෙදෙනක්හුගේ ස්වභාවය නුයි, එකරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ. යම් සේ කලහකරුවෝ දෙදෙන මෛථුනක (-සදෘශ)යෝ යැයි කියනු ලැබෙත් ද, ඩබරකරුවෝ දෙදෙන මෛථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, බසින් කලහකරනුවෝ දෙදෙන - විවාදකරුවෝ දෙදෙන - අධිකරණකරුවෝ දෙදෙන - වාදපථය කියනුවෝ දෙදෙන - කථා කරනුවෝ දෙදෙන - මෛථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, එසෙයින් ම රාගයෙන් රත් වූ වෙසෙසින් රත් වූ කෙලෙසුන්ගෙන් තෙත් වූ කුසලවාරය මැඩගෙන සිටි හාත්පසින් යටකොට ගත් කුශලචිත්තය ඇති ස්ත්‍රීපුරුෂ දෙදෙනාගේ සමාන කෙලෙස් ඇති ස්ත්‍රීපුරුෂ දෙදෙනාගේ ස්වභාවය නුයි එකරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ. මෙථුනධම්මමනුයුත්තස්ස - මෙවුන්දම්හි යෙදුණු ආදරයෙන් යෙදුණු වෙසෙසින් යෙදුණු එක්වැ යෙදුණු එය කරන්නාවූ එය බහුල කොට ඇති එය ගරුකරන්නාවූ එහි නැමුණු සිත් ඇති එහි නැමුණු කය ඇති එහි අභිමුඛ වූ කය ඇති එහි ඇලුණාවූ එය අධිපති කොට ඇත්තහුගේ නුයි ‘මෙථුනමනුයුත්තස්ස’ යනු වේ.
ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්‍යො - ‘ඉච්ච’ යනු, පදසන්‍ධි යැ, පදසංසර්‍ග යැ, පදපූරණ යැ, අක්‍ෂරසමවාය යැ, ව්‍යඤ්ජනයන්ගේ සිලිටිබව යැ, පදානුපූර්‍වය නම් වෙයි මේ ‘ඉච්ච’ යනු: ආයස්මා යනු ප්‍රියවචන යැ, ගරුවචන යැ, සගෞරවවචන යැ, සප්‍රතිශ්‍රවවචන යැ මේ ‘ආයස්මා’ යනු. තිස්සො යනු: ඒ තෙරුන්ගේ නම යැ සංඛ්‍යාව යැ සංඥාව යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්‍ම යැ නාමධෙය්‍ය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යයි. මෙත්තෙය්‍යො - යනු: ඒ තෙරුන්ගේ ගෝත්‍ර යැ සංඛ්‍යාව යැ සංඥාව යැ ප්‍රඥප්තිය යැ ව්‍යවහාරය නුයි ‘ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්‍යො’ යනු වේ.
විඝාතං බ්‍රෑහි මාරිස - ‘විඝාතං’ යනු: වෙහෙස හිංසාව පෙළුම ගැටුම උවදුර උපද්‍රවය; බ්‍රෑහි - කියව දෙසව පනවව පිහිටුවව විවරණ කරව විභාග කරව ප්‍රකට කරව ප්‍රකාශ කළ මැනව; මාරිස යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරවවචන යැ සප්‍රතිශ්‍රවවචනයෙකි මේ ‘මාරිස’ යනු. එහෙයින් ‘විඝාතං බ්‍රෑහි මාරිස’ යනු වේ.