අවීතතණ්හා සෙ භවාභවෙසු - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ... ධර්‍ම තෘෂ්ණා යි. භවාභවෙසු - භව අභව සඞ්ඛ්‍යාතකාමභවයෙහි හා රූපාරූපභවයෙහි වූ, කර්‍මවෘත්තයෙහි විපාකවෘත්තයෙහි, කාමධාතුයෙහි වූ කර්‍මවෘත්ත විපාකවෘත්තයෙහි, රූපධාතුයෙහි වූ කර්‍මවෘත්තවිපාකවෘත්තයෙහි, අරූපධාතුයෙහි වූ කර්‍මවෘත්තවිපාකවෘත්තයෙහි, නැවත නැවත උත්පත්තීයෙහි, පුනපුනා පස්ගතියෙහි, පුනපුනා උපතෙහි, පුනපුනා පිළිසඳහි, පුනපුනා ආත්මභාවයන්ගේ පහළ වීමෙහි පහ නො වූ තෘෂ්ණා ඇති අවිගත තෘෂ්ණා ඇති (තදඞ්ග විසින්) ත්‍යාග නො කළ තෘෂ්ණා ඇති (විෂ්කම්භණ විසින්) වමනය නො කළ තෘෂ්ණා ඇති (සමුච්ඡේද විසින්) නො මිදූ තෘෂ්ණා ඇති (ප්‍රතිප්‍රශ්‍රබ්ධි විසින්) අප්‍රහීණ තෘෂ්ණා ඇති (නිස්සරණ ප්‍රහාණ විසින්) අප්‍රතිනිඍෂ්ට තෘෂ්ණා ඇත් නුයි - ‘අවීතතණ්හා සෙ භවාභවෙසු’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පස්සාමි -පෙ- භවාභවෙසු” යී.
2. 6.
සිඳීගිය දහර ඇති දියත්තෙක්හි පොපියන (සැලෙන) මසුන් මෙන් මාගේ යැයි ගන්නා ලද වස්තුයෙහි පොපියන සත්ත්‍වයන් බලවු. (මමායිත වස්තුයෙහි) තෙල ආදීනවය ද දැක මමායන රහිත වැ කාමාදිභවයෙහි නො ඇලෙමින් හැසිරෙන්නේ යි.
මමායිතෙ පස්සථ ඵන්දමානෙ - ‘මමත්තා’ යනු: තෘෂ්ණාමමත්වය ද, දෘෂ්ටිමමත්වය දැයි මමත්‍ව (ආලය) දෙකෙකි:
තෘෂ්ණාමමත්ව කවරැ? යත්: ‘මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මෙ පමණ මාගේ යැ’යි යම්තාක් තෘෂ්ණා කොටසින් හිම් කරන ලද ද, මර්‍ය්‍යාදා කරන ලද ද, අවධි කරන ලද ද, පරිච්ඡේද කරන ලද ද, අයත් කරන ලද ද, මමායන කරන ලද ද; ‘මාගේ රූපයෝ යැ ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ පහස්හු යැ අතුරුණු යැ පොරෝන යැ දැසිදස්හු යැ එළුබැටළු යැ හූරුකුකුළු යැ ඇත්අස්ගවවෙළඹු යැ කෙත් යැ වතු යැ අමුරනැ රත්රනැ ගම්නියම්ගම්රජදහන්හු යැ රට යැ දනවු යැ කොෂ යැ කොටුගුළු යැ’යි සියලු මැ මහපොළොව තෘෂ්ණාවශයෙන් මමායන කෙරෙයි. යම්තාක් අෂ්ටොත්තරශතතෘෂ්ණාවිචරිතයෙක් වේ ද, මේ යැ තෘෂ්ණාමමත්ව නම්.
දෘෂ්ටිමමත්ව කවරැ ? යත්: (‘රූපං අත්තනෝ සමනුපස්සති’ යනාදීන් සිටි) විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, (‘නත්‍ථි දින්නං’ යනාදීන් පැවැති) දශවස්තුක මිත්‍ථ්‍යාදෘෂ්ටි යැ, (‘සස්සතෝ ලෝකෝ’ යනාදි නයින් පැවැති) දශවස්තුක අන්තග්‍රාහිකා දෘෂ්ටි යැ යන මෙබඳු වූ දෘෂ්ටියක් දෘෂ්ටිගත යෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් (සම්‍යග්දෘෂ්ටිය විනිවිදින) දෘෂ්ටිවිශූකයෙක් දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණ දැඩි කොට) ගැනීමෙක් බලවත් ගැනීමෙක් (නිත්‍යාදිවශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්‍ගයෙක් මිත්ථ්‍යාස්මභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විරුද්ධග්‍රාහයෙක් විපරීතග්‍රාහයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් මිත්ථ්‍යාග්‍රාහයෙක් අස්වභාවයෙහි ස්වභාව යැයි ගැනීමෙක් වේ ද, යම්තාක් දෙසැට මිසදිටු කෙනෙක් වෙත් ද, මේ යැ දෘෂ්ටිමමත්ව නම්.
මමායිතෙ පස්සථ ඵන්දමානෙ - මාගේ යැයි ගත් වස්තුව අසිඳ ගනිතියි සැක ඇති ව ද සැලෙති. අසිඳුනා කල්හි දු සැලෙති. අසිඳගත් කල්හි දු සැලෙත්. තවද මමායිත වස්තුව පෙරැළෙයි යන සැක ඇති ව ද සැලෙති. පෙරැළෙන කල්හි දු සැලෙති. පෙරැළුණු කල්හි දු සැලෙති, අතිශයින් සැලෙති, විවිධ ව සැලෙති, බියෙන් වෙවුළති, තැති ගනිති, ලොමුදහ ගනිත්. මෙසෙයින් සැලෙන විසැලෙන වෙවුළන තැති ගන්නා ලොමුදහ ගන්නා සත්ත්‍වයන් බලවු, දකිවු සිතවු විමසවු. එහෙයින් ‘මමායිතෙ පස්සථ ඵන්දමානෙ’ යනු වේ.
මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ - මඳ වූ කැලැඹුණු සිඳුණු දියෙහි කවුඩන් හෝ උස්සන් හෝ කොකුන් හෝ අන්‍ය පක්‍ෂි කෙනකුන් හෝ විසින් වෙහෙසනු ලබන නඟනු ලබන කනු ලබන (එහෙයින් ම) සැලෙන විසැලෙන වෙවුළන අතිශයින් වෙවුළන තැති ගන්නා මසුන් මෙන් මේ සත්ත්‍වයෝ මමායිත වස්තුව අසිඳගනිතී සැක ඇති ව සැලෙති, අසිඳුනා කල්හි දු සැලෙති, අසිඳගත් කල්හි දු සැලෙති, මමායිත වස්තුව විපරිණාම (=පෙරැළෙන) සැක ඇති ව... පෙරැළෙන කල්හි ... පෙරැළුණු කල්හි දු සැලෙති, විසැලෙති, වෙවුළති, තැතිගනිති, ලොමුදහ ගනිත් නුයි ‘මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ’ යනු වේ.
එතම්පි දිස්වා අමමො චරෙය්‍ය - මමත්වයෙහි තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත (=ප්‍රකට) කොට නුයි ‘එතම්පි දිස්වා අමමො චරෙය්‍ය’ යනු වේ. ‘මමත්තා’ යනු: තෘෂ්ණාමමත්වය ද දෘෂ්ටිමමත්වය දැයි මමත්‍ව දෙකෙකි... තෘෂ්ණාමමත්වය හැරැපියා, දෘෂ්ටිමමත්වය දුරු කොට, ඇස තෘෂ්ණාදෘෂ්ටි විසින් ආලය නො කරනුයේ කන... නැහැය... දිව... කය... සිත මමායන (=ආලය) නො කරනුයේ, රූප ශබ්ද ගන්‍ධ රස පහස් දහම් කුලය ගණයා ආවාසය ලාභය යසස පැසැසුම සුවය සිවුර පිඬුවා සෙනසුන ගිලන්පස බෙහෙත්පිරිකර, කාම - රූප - අරූපධාතුව, කාම - රූප - අරූප භවය, සඤ්ඤා - අසඤ්ඤා - නෙවසඤ්ඤානාසඤ්ඤාභවය, එකවොකාර - චතුවෝකාර - පඤ්චවෝකාරභවය, අතීතය අනාගතය ප්‍රත්‍යුත්පන්නය රූපායතනය, ශබ්දායතනය ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යායතනය ධර්‍මායතනය ආලය නො කරනුයේ නො ගන්නේ පරාමර්‍ශ නො කෙරෙමින් නො බස්මින් හැසිරෙන්නේ යැ... යපනය කරන්නේ නුයි ‘එතම්පි දිස්වා අමමො චරෙය්‍ය’.
භවෙසු ආසත්තිමකුබ්බමානො - ‘භවෙසු’ යනු: කාම - රූප - අරූප භවයෙහි; ‘ආසත්ති’ යී තෘෂ්ණාව කියනු ලබා. රාගය සංරාගය... අභිධ්‍යාව ලොභඅකුශලමුලය යි. ‘භවෙසු ආසත්තිමකුබ්බමානො’ යනු: ඡන්‍දය ප්‍රේමය රාගය කැමැත්ත නො කරනුයේ නූපදවනුයේ වෙසෙසින් නූපදවනුයේ නො නිපදවනුයේ නුයි ‘භවෙසු ආසත්තිමකුබ්බමානො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“මමායිතෙ -පෙ- ආසත්තිමකුබ්බමානො” යී.
2. 7.
(ඵස්ස - ඵස්සසමුදයාදි) දෙ දෙ අන්තයන්හි ඡන්‍දරාගය දුරු කොට (චක්ඛුසම්ඵස්සාදි) ස්පර්‍ශය ත්‍රිවිධ පරිඥායෙන් දැන රූපාදියෙහි ගිජු නො වූ කළ නො කළ හෙයින් තමහට ගරහ උපදවන කායදුශ්චරිත කායසුචරිතාදිය නො කරන ධීර (ප්‍රාඥ) තෙම රූප ශබ්ද (ගන්ධරසස්ප්‍රෂ්ටව්‍ය) ආයතනයන්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ඇලේ.
උභොසු අන්තෙසු විනෙය්‍ය ඡන්‍දං - ‘අන්තා’ යනු: අන්ත දෙකෙකි: ස්පර්‍ශය එක් අන්තයෙකැ, ස්පර්‍ශසමුදය දෙවැනි අන්තය යි. අතීතය අන්තයෙකැ, අනාගතය දෙවැනි අන්තය යි. සුඛවේදනාව එක් අන්තයෙකැ, දුක් වේදනාව දෙවැනි අන්තය යි. නාමය එක් අන්තයෙකැ, රූපය දෙවැනි අන්තය යි. ෂඩ් ආධ්‍යාත්මිකායතනයෝ එක් අන්තයෙකැ, ෂඩ් බාහිරායතනයෝ දෙවැනි අන්තය යි. සත්කාය එක් අන්තයෙකැ, සත්කායසමුදය දෙවැනි අන්තය යි. ඡන්‍ද නම්: පස්කම්ගුණයෙහි කාම සඞ්ඛ්‍යාත ඡන්‍දය කාමරාගය කාමනන්‍දිය කාමතෘෂ්ණාව කාමස්නෙහය කාමපරිදාහය කාමමූර්ඡාව කාමඅධ්‍යවසානය (-බැසගැනීම) කාමෞඝය කාමයෝගය කාමෝපාදානය කාමච්ඡන්‍දනීවරණය යි. උභොසු අන්තෙසු විනෙය්‍ය ඡන්‍දං - දෙ දෙ අන්තයන්හි ඡන්‍දරාගය සන්හිඳුවන්නේ යැ, දුරු කරන්නේ යැ, බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අභාවයට පමුණුවන්නේ නුයි ‘උභොසු අන්තෙසු විනෙය්‍ය ඡන්‍දං’ යනු වේ.
ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො - ‘ඵස්සො’ යනු: චක්ඛුසම්ඵස්ස යැ සෝත - ඝාන - ජිව්හා - කාය - මනෝසම්ඵස්ස යැ අධිවචන (-මනෝද්වාරික) සම්ඵස්ස යැ පටිඝ (පඤ්චද්වාරික) සම්ඵස්ස යැ සුඛවේදනීය - දුක්ඛවෙදනීය - අදුක්ඛමසුඛවෙදනීය සම්ඵස්ස යැ කුසල්සිත් සහගත පහස යැ අකුසල්සිත් සහගත - අව්‍යාකෘත සිත් සහගත - කාමාවචර සිත් සහගත - රූපාවචර - අරූපාවචර - ශුන්‍යත - අනිමිත්ත - අප්‍රණිහිත - ලෞකික - ලෝකෝත්තර - අතීත - අනාගත - වර්‍තමාන පහස යැ යන මෙබඳු වූ පහස පහස්නා අයුර මොනොවට ස්පර්‍ශ කළ බව ‘ඵස්ස’ යී කියනු ලැබේ.
ඵස්සං පරිඤ්ඤාය - ස්පර්‍ශය ඥාතපරිඥා තීරණපරිඥා ප්‍රහාණපරිඥා යන තුන් පරිඥායෙන් දැන.
ඥාතපරිඥා කවරී ද යත්: මේ චක්ඛුසම්ඵස්ස යැ, මේ ශ්‍රෝත්‍රසංස්පර්‍ශ යැ, මේ ඝ්‍රාණසංස්පර්‍ශ යැ, මේ ජිහ්වාසංස්පර්‍ශ යැ, මේ කායසංස්පර්‍ශ යැ, මේ මනස්සංස්පර්‍ශ යැ, මේ අධිවචනසංස්පර්‍ශ යැ, මේ ප්‍රතිඝසංස්පර්‍ශ යැ, මේ සුඛවෙදනීයස්පර්‍ශ යැ, මේ දුඃඛවෙදනීයස්පර්‍ශ යැ, මේ උපෙක්ෂාවෙදනීයස්පර්‍ශ යැ, මේ කුශලස්පර්‍ශ යැ, මේ අකුශලස්පර්‍ශ යැ, මේ අව්‍යාකෘතස්පර්‍ශ යැ, මේ කාමාවචරස්පර්‍ශ යැ, මේ රූපාවචරස්පර්‍ශ යැ, මේ අරූපාවචරස්පර්‍ශ යැ, මේ ශුන්‍යස්පර්‍ශ යැ, මේ අනිමිත්තස්පර්‍ශ යැ, මේ අප්‍රණිහිතස්පර්‍ශ යැ, මේ ලෞකිකස්පර්‍ශ යැ, මේ ලොකොත්තරස්පර්‍ශ යැ, මේ අතීතස්පර්‍ශ යැ, මේ අනාගතස්පර්‍ශ යැ, මේ ප්‍රත්‍යුත්පන්නස්පර්‍ශ යැ’යි ස්පර්‍ශය දැනගනී. මෝ යැ ඥාතපරිඥා නම්.
තීරණපරිඥා කවරී ද යත්: මෙසෙයින් ස්පර්‍ශය ප්‍රකට කොට දනිමින් තීරණය කෙරෙයි (-සිතයි. කෙසේ ද?) අනිත්‍ය හෙයින් සිතයි, දුක් හෙයින් රෝග හෙයින් ගණ්ඩ හෙයින් ශල්‍ය හෙයින් අඝ (=දුක්) හෙයින් ආබාධ හෙයින් පර (අවසඟ) හෙයින් පලෝක (බිඳෙන) හෙයින් ව්‍යසන හෙයින් උපද්‍රව - භය - උපසර්‍ග - චඤ්චල - බිඳෙසනුලු - අධ්‍රැව - අත්‍රාණ - අලෙන - අශරණ - අශරණීභූත - සිස් - තුච්ඡ - ශුන්‍ය - අනාත්ම - ආදීනව - විපරිණාම - ස්වභාව - අසාර - අඝමූල - වධක - විභව - සාස්‍රව - හෙතුප්‍රත්‍යයාභිසංස්කෘත - මාරාමිෂ - ජාතිධර්‍ම - ජරාධර්‍ම - ව්‍යාධිධර්‍ම - මරණධර්‍ම - ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍යොපායාසධර්‍ම - සංක්ලේශධර්‍ම - සමුදය - අස්තඞ්ගම - ආස්වාද - ආදීනව හෙයින් නිස්සරණ හෙයින් තීරණය කෙරෙයි. මෝ යැ තීරණපරිඥා නම්.
ප්‍රහාණපරිඥා කවරී ද යත්: මෙසෙයින් තීරණය කොට ස්පර්‍ශයෙහි ඡන්‍දරාගය දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අභාවයට පමුණුවයි. මේ වදාරන ලද මැ ය භාග්‍යවතුන් වහන්සේ විසින්: “මහණෙනි, ස්පර්‍ශයන්හි ඡන්‍දරාගය දුරු කරවු. එවිට ඒ ස්පර්‍ශය ප්‍රහීණ වෙයි. උසුන් මුල් ඇතියේ (මුල්සුන්) තල්රුකක් මෙන් කරන ලදුයේ අභාවයට ගියේ මතු නූපදනා පියවි ඇතියේ වේ යැ”යි. මෝ යැ ප්‍රහාණපරිඥා නම්.
ඵස්සං පරිඤ්ඤාය - ස්පර්‍ශය මේ ත්‍රිවිධ පරිඥායෙන් දැන; අනානුගිද්ධො - ‘ගේධ’ යී තෘෂ්ණාව කියනු ලබා. යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද, යමක් හට තෙල ගේධය ප්‍රහීණ වූයේ සිඳුනා ලදුයේ සන්හුන්නේ දුරු කරන ලදුයේ පෙරළා උපදනට අභව්‍ය වූයේ මාර්‍ගඥාන ගින්නෙන් දවන ලදුයේ වේ ද, හෙතෙම ‘අගිද්ධ’ යයි කියනු ලැබේ. හේ රූපයෙහි ගිජු නො වූයේ, ශබ්දයෙහි - ගන්‍ධයෙහි - රසයෙහි - ස්පර්‍ශයෙහි ගිජු නො වූයේ, කුලයෙහි ගණයෙහි ආවාසයෙහි යශස්හි ප්‍රශංසායෙහි සුඛයෙහි චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසයෙහි, කාම - රූප - අරූපධාතුයෙහි, කාම - රූප - අරූපභවයෙහි, සඤ්ඤා - අසඤ්ඤා - නෙවසඤ්ඤානාසඤ්ඤා - එකවොකාර - චතුවෝකාර - පඤ්චවෝකාර භවයෙහි, අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්නයෙහි, දෘෂ්ටශ්‍රැතමුත විඥාතව්‍ය ධර්‍මයන්හි ගිජු නො වූයේ නො ගෙතුණේ මුසපත් නො වූයේ නො බැඳුණේ පහ වූ - හරන ලද - වමනය කරන ලද - මුදන ලද - ප්‍රහීණ වූ - දුර ලන ලද තෘෂ්ණා ඇතියේ පහ වූ... දුර ලන ලද රාග ඇතියේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනුයේ උතුම් වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො’ යනු වේ.
යදත්තගරහී තදකුබ්බමානො - ‘යද’ යනු: යං. අත්තගරහී - කළ හෙයින් ද නො කළ හෙයින් දැයි දෙ කරුණෙකින් තමහට ගරහයි: කිසෙයින යත්: මා විසින් කායදුශ්චරිතය කරන ලද, කායසුචරිතය නො කරන ලදැයි තමහට ගරහයි. මා විසින් වාග්දුශ්චරිතය කරන ලද, වාක්සුචරිතය නො කරන ලදැයි ද - මා විසින් මනෝදුශ්චරිතය කරන ලද, මනස්සුචරිතය නො කරන ලදැයි ද තමහට ගරහයි. මා විසින් ප්‍රාණඝාතය කරන ලද, ප්‍රාණඝාතයෙන් විරමණය නො කරන ලදැයි ද - අදත්තාදානය කරන ලද, අදින්නාදානවිරමණය නො කරන ලදැයි ද - මා විසින් කාමයෙහි වරදවා හැසිරෙන ලද, කාමමිත්ථ්‍යාචාරවිරමණය නො කරන ලදැයි ද - මෘෂාවාදය කරන ලද, මෘෂාවාදයෙන් විරමණය නොකරන ලදැයි ද - පිසුනුබස් කියන ලද, පිසුනුබසින් විරමණය නො කරන ලදැයි ද - පරොස්බස් කියන ලද, පරොස්බසින් විරමණය නො කරන ලදැහි ද - ප්‍රලාපබස් කියන ලද, ප්‍රලාපබසින් විරමණය නො කරන ලදැයි ද - අභිධ්‍යාව කරන ලද, අනභිධ්‍යාව නො කරන ලදැයි ද - ව්‍යාපාදය කරන ලද, අව්‍යාපාදය නො කරන ලදැයි ද, මා විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටිය කරන ලද, සම්‍යග්දෘෂ්ටිය නො කරන ලදැයි ද - තම හට ගරහයි. මෙසේ කළ හෙයින් ද නො කළ හෙයින් ද තම හට ගරහයි. නොහොත් සිවුපිරිසුදුසිල් නො පුරනසුලු වෙමී තම හට ගරහයි. පසිඳුරන්හි නො පියූ දොර ඇත්මී - භෝජනයෙහි පමණ නො දන්මී - නිදි වැරීමෙහි නො යෙදුණෙමී - සිහිනුවණින් සමන්‍විත නො වෙමී තම හට ගරහයි. මා විසින් සතර සීවටන් අභාවිතහයි තම හට ගරහයි. සතර සම්‍යක්ප්‍රධානයෝ අභාවිතහයි - සතර ඍද්ධිපාදයෝ අභාවිතහයි - පඤ්චේන්‍ද්‍රියෝ අභාවිතහයි - පඤ්චබලයෝ - සප්තබෝධ්‍යඞ්ගයෝ - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අභාවිත යැයි - මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැයි - සමුදයය අප්‍රහීණ යැයි - මාර්‍ගය නො වඩනා ලදැයි - නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැයි තම හට ගරහයි. මෙසෙයින් කළ හෙයිනු දු නො කළ හෙයිනු දු තම හට ගරහා. මෙසේ ආත්මගර්‍හකකර්‍මය නො කරනුයේ නූපදවනුයේ නො නිපදවනුයේ නුයි ‘යදත්තගරහී තදකුබ්බමානො’ යනු වේ.
න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො - ‘ලෙප’ නම්: තණ්හාලෙප දිට්ඨිලෙප යැයි ලෙප දෙකකි: ... මේ තණ්හාලෙප යැ... මේ දිට්ඨිලෙප යි. ධීරො යනු: ධීර යැ...මේධාවී යැ. ධීර වූ පුරුෂ තෙම තෘෂ්ණාලේපය හැර පියා දිට්ඨිලෙපය දුරු කොට රූපායතනයෙහි නො ඇලෙයි. ශබ්දායතනයෙහි නො ඇලෙයි. ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යයතනයෙහි නො ඇලෙයි. මනායතනයෙහි නො ඇලෙයි. වෙසෙසින් නො ඇලෙයි. අලිප්ත - අසංලිප්ත - අනුපලිප්ත වූයේ බැහැර වූයේ නික්මුණේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා ඇති සිතින් යුක්ත ව වෙසේ නුයි ‘න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“උභොසු -පෙ- දිට්ඨසුතෙසු ධීරො” යනු.
2. 8.
කාමසංඥාදිසංඥාව නොහොත් සංඥානුසාරයෙන් නාමරූපය ත්‍රිවිධ පරිඥායෙන් දැන චතුරෝඝය තරණය කරන්නේ ය. එහෙයින් තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහයන්හි නො ඇලුණු ඒ ක්‍ෂීණාස්‍රව මුනි තෙම උපුටා හළ රාගාදිශල්‍ය ඇතියේ අප්‍රමත්ත වැ හැසිරෙනුයේ (ස්වාත්මභාවාදි සඞ්ඛ්‍යාත) මෙලොවත් (පරාත්මභාවාදි සඞ්ඛ්‍යාත) පරලොවත් නො පතන්නේ යි.
සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං - ‘සඤ්ඤා’ යනු: කාමසංඥා යැ ව්‍යාපාද - විහිංසා - නෛෂ්කාම්‍ය - අව්‍යාපාද - අවිහිංසා සංඥා යැ, රූපසංඥා යැ ශබ්ද - ගන්‍ධ - රස - ස්පර්‍ශ - ධර්‍මසංඥා යැ යන මෙ බඳු වූ හැඳිනීම හඳුනන අයුර හැඳිනගත්බව ‘සඤ්ඤා’ යී කියනු ලැබේ. සඤ්ඤං පරිඤ්ඤා - සංඥාව ඥාත තීරණ ප්‍රහාණ යන ත්‍රිවිධපරිඥායෙන් පිරිසිඳ දැන; එහි ඥාතපරිඥා කවරී ද යත්: මෝ කාමසංඥා යැ මෝ ව්‍යාපාද - විහිංසා - නෛෂ්කාම්‍ය - අව්‍යාපාද - අවිහිංසා සංඥා යැ මෝ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්පර්‍ශ - ධර්‍මසංඥා යැයි සංඥාව දැනගනී, දකී. මෝ යැ ඥාතපරිඥා නම්.
තීරණපරිඥා කවරී ද යත්: මෙසෙයින් සංඥාව ප්‍රකට කොට දැන අනිත්‍ය හෙයින් සිතයි. දුඃඛ - රෝග - ගණ්ඩ - ශල්‍ය - අඝ - ආබාධ - පර - පලෝක - ඊති - උපද්‍රව - භය - උපසර්‍ග - චල - පභඞ්ගු හෙයින් ... සමුදය - අස්තඞ්ගම - ආස්වාද - ආදීනව - නිස්සරණ හෙයින් සිතයි. මෝ යැ තීරණපරිඥා නම්.
ප්‍රහාණපරිඥා කවරී ද යත්: මෙසෙයින් ප්‍රකට කොට දැන මෙ සෙයින් තීරණ කොට සංඥායෙහි ඡන්‍දරාගය දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අභාවයට පමුණුවයි. වදාරන ලද මැ ය භාග්‍යවතුන් වහන්සේ විසින්: “මහණෙනි, සංඥායෙහි ඡන්‍දරාගය දුරු කරවු එවිට ඒ සංඥාව ප්‍රහීණ වූවා වෙයි. උපුටා හළ මුල් ඇත්තී, තාලවස්තුවක් මෙන් කරන ලද්දී, අභාවයට පැමිණියා, මතු නූපදනා පියවි ඇති වන්නී යැ”යි. මෝ යැ ප්‍රහාණපරිඥා නම්. ‘සඤ්ඤං පරිඤ්ඤා’ යනු: සංඥාව මේ ත්‍රිවිධ පරිඥාවෙන් පිරිසිඳ දැන; විතරෙය්‍ය ඕඝං - කාම - භව - දෘෂ්ටි - අවිද්‍යා ඕඝය තරණය උත්තරණය ප්‍රතරණය සමතික්‍රමණය කරන්නේ යැ ඉක්මවන්නේ නුයි ‘සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං’ යනු වේ.
පරිග්ගහෙසු මුනි නොපලිත්තො - ‘පරිග්ගහ’ යනු: තෘෂ්ණාපරිග්‍රහ යැ දෘෂ්ටිපරිග්‍රහ යැයි පරිග්‍රහ දෙකෙකි... මුනි යනු: ‘මොන’යී ඥානය කියනු ලැබෙයි. ප්‍රඥාව දැනගන්නා අයුර ... අමෝහය ධර්‍මවිචය සම්‍යග්දෘෂ්ටිය යැ. ඒ ඥානයෙන් යුක්ත වූ මුනි තෙම ‘මොනප්පත්ත’යි.
කායමෝනෙය්‍ය වචීමොනෙය්‍ය මනෝමෝනෙය්‍ය යැයි මෝනෙය්‍ය තුනෙකි. කායමෝනෙය්‍ය කවරැ? යත්: ත්‍රිවිධ කායදුශ්චරිතයන්ගේ ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ. ත්‍රිවිධ කායසුචරිතය කායමෝනෙය්‍ය යැ. කය අරමුණු කොට අනිත්‍යාදිවශයෙන් පැවැති ඥානය කායමෝනෙය්‍ය යැ. කායපරිඥාව කායමෝනෙය්‍ය යැ. පරිඥාසහගත වූ මාර්‍ගය කායමෝනෙය්‍ය යැ. කයෙහි ඡන්‍දරාගය දුරු කිරීම කායමෝනෙය්‍ය යැ. කායසංස්කාර (=ආශ්වාසප්‍රශ්වාස)යන්ගේ නිරෝධය වූ චතුර්ත්ථධ්‍යානසමාපත්තිය කායමොනෙය්‍යය යි. මේ කායමෝනෙය්‍ය නමි.
වචීමොනෙය්‍ය කවරැ ? යත්: චතුර්විධ වාග්දුශ්චරිතයන්ගේ ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ. වාක්සුචරිතය - අනිත්‍යාදිවශයෙන් වාගාලම්බනයෙහි පැවැති ඥානය - ත්‍රිවිධ පරිඥාවශයෙන් වාක්පරිඥාව - පරිඥාසහගත මාර්‍ගය - වාක්හි ඡන්‍දරාගප්‍රහාණය - වාක්සංස්කාර (විතර්‍කවිචාර)යන්ගේ නිරෝධය වූ ද්විතීයධ්‍යානසමාපත්තිය වචීමොනෙය්‍ය යි. මේ වචීමොනෙය්‍ය නමි.
මනෝමෝනෙය්‍ය කවරැ ? යත්: ත්‍රිවිධ මනොදුශ්චරිතයන්ගේ ප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ, ත්‍රිවිධ මනස්සුචරිතය - චිත්තාලම්බනයෙහි පැවැති ඥානය - චිත්තපරිඥාව - පරිඥාසහගත වූ මාර්‍ගය - චිත්තයෙහි ඡන්‍දරාගප්‍රහාණය - චිත්තසංස්කාරයන් (=සංඥාවෙදනාවන්)ගේ නිරෝධය වූ සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය මනෝමෝනෙය්‍යය යි. මේ මනෝමෝනෙය්‍ය නමි.
1. කායදුශ්චරිතප්‍රහාණයෙන් කායමුනි වූ වාග්දුශ්චරිතප්‍රහාණයෙන් වාචාමුනි වූ මනොදුශ්චරිතප්‍රහාණයෙන් මනොමුනි වූ සර්‍වාකුශලප්‍රහාණයෙන් ඵලයෙහි සිටි හෙයින් මුනිභාවයෙන් යුක්ත වූවහු සියලු කෙලෙසුන් දුරු කළ හෙයින් ‘සබ්බප්පහායී’ යයි කියත්.
2. ... මාර්‍ගඥානයෙන් සියලු පව් ධොවනය කළ හෙයින් ‘නින්හාතපාපක’ යයි කියත්.
මේ ත්‍රිවිධ මෞනෙයධර්‍මයන්ගෙන් සමන්‍විත වූ අගාරමුනිහු යැ අනගාරමුනිහු යැ ශෛක්ෂමුනිහු යැ අශෛක්ෂමුනිහු යැ ප්‍රත්‍යෙකමුනිහු යැ මුනිමුනිහු යැයි ෂඩ්වීධමුනි කෙනෙක් වෙති. අගාරමුනිහු කවරහ යත්: ගිහිකම්හි යෙදුණු දුටු නිවන් ඇති දත් (ශික්ෂාමාත්‍රය සඞ්ඛ්‍යාත) තුන් සසුන් ඇත්තාහු අගාරමුනිහු යැ. අනගාරමුනිහු කවරහ යත්: පැවිදි වූ දුටුනිවන් ඇති දත් සසුන් ඇත්තාහු අනගාරමුනිහු යැ. සප්තශෛක්ෂයෝ සෙඛමුනිහු යැ. රහත්හු අසෙඛමුනිහු යැ. පසේබුදුහු පච්චෙකමුනිහු යැ. තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ මුනිමුනිහු යැයි කියනු ලැබෙත්.
3-4. සිස් පියවි ඇති අඥ (=නුවණ නැති) තෙනැත්තේ මෞනභාවයෙන් (=නො බිණීමෙන්) මුනි නම් නො වෙයි. තවද පණ්ඩිත වූ යමෙක් තුලාව (=තරාදිය) ගෙන (අධිකය හැර ඌනය පුරන්නාක් මෙන්) ශීලසමාධ්‍යාදි උතුම් දැය ගෙන පව් දුරු කෙරේ ද, එ කරුණෙන් හෙතෙම මුනි නම් වෙයි. යමෙක් ස්කන්ධාදිලොකයෙහි ආධ්‍යාත්මික බාහ්‍යස්කන්ධාදි උභයාර්‍ත්‍ථයන් දනී නම් එ කරුණෙන් හේ මුනී යයි කියනු ලැබේ.
5. යමෙක් ආධ්‍යාත්මික වූ ද බාහ්‍ය වූ ද සියලු ලෝකයෙහි කුශලාකුශල භේද වූ සාධූන්ගේ ද අසාධූන්ගේ ද ධර්‍මය (ප්‍රවිචයඥානයෙන්) දැන එහෙයින් මැ රාගාදිසඞ්ගය හා තෘෂ්ණාදෘෂ්ටිජාලය ඉක්මවා සිටියේ දෙවිමිනිසුන් විසින් පුදන ලදුයේ වේ ද, ඒ ක්‍ෂීණාස්‍රව තෙම ‘මුනි’ යයි කියනු ලැබේ.
ලෙප නම්: තෘෂ්ණාලේප යැ දෘෂ්ටිලෙප යැයි ලෙප දෙකෙකි... ක්‍ෂීණාස්‍රව මුනි තෙම තෘෂ්ණාලේපය හැර දෘෂ්ටිලෙපය දුරු කොට තෘෂ්ණාදෘෂ්ටීන් ගත් වස්තුයෙහි නො ඇලෙයි, වෙසෙසින් නො ඇලෙයි, නො යෙදෙයි, අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා ඇති සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘පරිග්ගහෙසු මුනි නොපලිත්තො’ යනු වේ.
අබ්බූළ්හසල්ලො චරමප්පමත්තො - ‘සල්ල’ නම්: රාගශල්‍ය යැ දොස - මෝහ - මාන - දිට්ඨි - සෝක - දුශ්චරිතශල්‍ය යැයි සප්ත ශල්‍ය කෙනෙකි. යමක්හු විසින් තෙල ශල්‍යයෝ ප්‍රහාණ කරන ලද්දාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුවන ලද්දාහු ඉපදීමට නුසුදුසු කරන ලද්දාහු නුවණගින්නෙන් දවන ලද්දාහු ද, හෙතෙම බැහැර කළ ශල්‍ය (=හුල්) ඇත්තේ යැ, උපුටාහළ හුල් ඇත්තේ යැ, සිඳුනා ලද හුල් ඇත්තේ යැ, ත්‍යාග කළ - වමනය කළ - මුදන ලද - ප්‍රහාණ කළ - දුරු කළ - හුල් ඇත්තේ යැ, තෘෂ්ණා රහිත යැ, නිවුණේ යැ, සිහිල් වූයේ යැ, සුව විඳිනසුලු වූයේ උතුම් වූ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘අබ්බූළ්හසල්ල’ නමි. චරං යනු: හැසිරෙනුයේ වෙසෙනුයේ ඉරියවු පවත්වනුයේ ඉරියවු උපදවනුයේ ඉරියවු රක්නේ යැපෙනුයේ; අප්පමත්තො - කුසල් දහම්හි සත්කාර (සකස් කොට) කරනුයේ සතතභාවයෙන් කරනුයේ නො නැවැත කරනුයේ නො හැකිළැ කරනුයේ නො තැබූ ඡන්‍දය ඇතියේ නො තැබූ ධුර (නො පසුබස්නා සිත්) ඇතියේ ‘කෙසේ නම් මම නොපිරිපුන් ශීලස්කන්‍ධය පුරම් දෝ හෝ පිරිපුන් ශීලස්කන්‍ධය ප්‍රඥායෙන් අනුග්‍රහ කෙරෙම් දෝ හො’ යි ඒ කුසල් දහම්හි යම් කත්තුකම්‍යතාඡන්දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධිමාත්‍රඋත්සාහයෙක් නො පසු බස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රජන්‍යයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන්වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් අප්‍රමාදයෙක් වේ ද, ‘කෙසේ නම් මම නො පිරිපුන් සමාධිස්කන්‍ධය පුරම් දෝ හෝ පිරිපුන් සමාධිස්කන්‍ධය ඒ ඒ තැන නුවණින් අනුගනිම් දෝ හො’ යි... නො පිරිපුන් ප්‍රඥාස්කන්‍ධය ... විමුක්තිස්කන්‍ධය... විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය පුරම් දෝ හෝ ... කෙසේ නම් අපරිඥාත වූ දුඃඛය ඥාතපරිඥායෙන් දැනගනිම් දෝ හෝ, අප්‍රහීණ වූ කෙලශයන් දුරු කෙරෙම් දෝ හෝ, නො වැඩූ මාර්‍ගය වඩම් දෝ හෝ, නො පසක් කළ නිරෝධය පසක් කෙරෙම් දෝ හෝ, යි කුසල්දහම්හි යම් ඡන්‍දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධිමාත්‍රඋත්සාහයෙක් නො පසු බස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රජන්‍යයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන් වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් අප්‍රමාදයෙක් වේ ද, එයින් යුක්ත නුයි ‘අබ්බූළ්හසල්ලො චරමප්පමත්තො’ යනු වේ.
නාසිංසතී ලෝකමිමං පරං ච - ස්වාත්මභාවසඞ්ඛ්‍යාත මෙලොව නො පතයි. පරාත්මභාවසඞ්ඛ්‍යාත පරලොව නො පතයි. ස්වකීයරූපවෙදනාසංඥාසංස්කාරවිඥාන සඞ්ඛ්‍යාත මෙලොව, පරරූපවෙදනාසංඥාසංස්කාරවිඥාන සඞ්ඛ්‍යාත පරලොව, ආධ්‍යාත්මිකෂඩායතනසඞ්ඛ්‍යාත මෙලොව, බාහ්‍ය ෂඩායතනසඞ්ඛ්‍යාත පරලොව, මනුෂ්‍යලොක සඞ්ඛ්‍යාත මෙලොව, දිව්‍යලොක සඞ්ඛ්‍යාත පරලොව, කාමභව සඞ්ඛ්‍යාත මෙලොව, රූපාරූපභවසඞ්ඛ්‍යාත පරලොව, කාම - රූපභවසඞ්ඛ්‍යාත මෙලොව, අරූපභව සඞ්ඛ්‍යාත පරලොව නො පතයි. පෙරළා පඤ්චගතිය හෝ (සිවුයොනියෙහි) උපත හෝ පිළිසඳ හෝ කර්‍මභවය හෝ සසර හෝ ත්‍රෛභූමකවෘත්තය හෝ ආශංසන නො කෙරෙයි, නො කැමැති වෙයි, නො ඉවසයි, නො පතයි, නො ඉස්නේ වෙයි, අභිජල්පන නො කෙරේ නුයි ‘නාසිංසතී ලෝකමිමං පරඤ්ච’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සඤ්ඤං පරිඤ්ඤා -පෙ- පරං ච” යී.
දෙවැනි වූ ගුහට්ඨකසූත්‍රනිර්‍දෙශය යි.
3.
දුට්‌ඨට්‌ඨකසූත්‍රනිර්දේශය
ඉක්බිති දුට්ඨට්ඨකසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ.
3. 1.
ඇතැම් (අන්‍යතීර්ථ) කෙනෙක් ඒකාන්තයෙන් විරුද්ධ සිත් ඇත්තාහු මැ (බුදුනට හා සඟනට) උපවාද කෙරෙති (-නුගුණ කියති.) යළි (ඔවුන් ගෙන් ඇසූ) අන් කෙනෙක් ඒකාන්තයෙන් ‘සැබැවැ’ යන සිත් ඇත්තහු මැ උපවාද කෙරෙත්. බුද්ධමුනි තෙම අභූතයෙන් උපන් (තෙල ආක්‍රෝශ)වාදයට ද නො පැමිණෙයි. එහෙයින් මුනි තෙම කිසි තැනෙක්හි රාගාදි ඛීල (හුල්) නැත්තේ වේ.
වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ - ඇතැම් තීර්‍ත්‍ථක කෙනෙක් දූෂිත සිත් ඇත්තාහු ප්‍රදූෂිත සිත් ඇත්තාහු විරුද්ධ සිත් ඇත්තාහු කෝපයෙන් පහළ සිත් ඇත්තාහු ගැටුණු සිත් ඇත්තාහු බුදුනට ද සඟනට ද අභූතයෙක් (බොරුවෙන්) කියති, උපවාද කෙරෙත් නුයි ‘වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ’ යනු වේ.
අථොපි වෙ සච්චමනා වදන්ති - ඒ තොටුවන්ගේ බස් හදහන ගුණවශයෙන් බැසගත් පැහැදීමෙන් ඉවසන යම් කෙනෙක් වෙත් ද, ඔහු සැබැවැ යන සිත් ඇත්තාහු සැබැවැයි හඟනාහු වූයෙකැ යන සිතැත්තාහු වූයෙකැ යි හඟනාහු අවිපරීත සිතැත්තාහු අවිපරීත වැ හඟනාහු නිශ්චල සිතැත්තාහු නිශ්චල වැ හඟනාහු නිශ්චය වූ සිතැත්තාහු නිශ්චයෙන් හඟනාහු බුදුනට ද සඟනට ද අභූතයෙන් බෙණෙති. උපවාද කෙරෙත් නුයි ‘අථොපි වෙ සච්චමානා වදන්ති’ යනු වේ.
වාදං ච ජාතං මුනි නො උපේති - ඒ ආක්‍රොශවාදය බුදුනට ද සඟනට ද අභූතයෙන් උපන්නේ හටගත්තේ නිපන්නේ මොනොවට නිපන්නේ පහළ වූයේ මෙරමා බසින් වූයේ උපවාද වූයේ වේ නුයි ‘වාදං ච ජාතං’ යනු වෙයි. මුනි නො උපේති - ‘මුනි’ යනු: (2. 8. සුත්තනිද්දෙසය බලන්න) යමෙක් උපවාදයට පැමිණේ නම්, හෙතෙම දෙ කරුණෙකින් උපවාදයට පැමිණෙයි: කාරක (=කළ දොස ඇතියේ) කාරක බැවින් උපවාදයට පැමිණෙයි. නොහොත් කියනු ලබනුයේ උපවාද කරනු ලබනුයේ ‘මම් අකාරකයෙමී’ කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, තදබවට පැමිණෙයි, කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි. උපවාදයට පැමිණෙනුයේ මේ දෙ කරුණෙන් පැමිණෙයි. බුද්ධමුනි තෙම දෙ කරුණෙකින් උපවාදයට නො පැමිණෙයි: අකාරක වූ මුනි අකාරක බැවින් උපවාදයට නො පැමිණෙයි, නොහොත් (අන්‍යයන් විසින් කියනු ලබනුයේ උපවාද කරනු ලබනුයේ ‘මම් අකාරකයෙමී’ නො කිපෙයි, පූති නො වෙයි, තද නො වෙයි, කෝපයත් දෝසයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මුනි තෙම මේ දෙ කරුණෙන් උපවාදයට නො පැමිණෙයි, නො එළැඹෙයි, පරාමර්‍ශ නො කෙරෙයි, නො පිවිසේ නුයි ‘වාදං ච ජාතං මුනි නො උපේති’ යනු වේ.
තස්මා මුනී නත්‍ථි ඛීලො කුහිඤ්චි - ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයයෙන් ඒ නිදානයෙන් මුනිහුගේ කෝපයෙන් පහළ සිතැති බවෙක් ප්‍රතිඝඛීල (-හුල්) හටගත් බවෙක් නැති. චෙතොඛීල පස ම නැති. රාග දෝස මෝහ යන ඛීල තුන ම නැත්තේයි. නත්‍ථි - අවිද්‍යමාන වෙයි, නො ලැබෙයි ප්‍රහීණ වූයේ සමුච්ඡින්න වූයේ සන්හිඳුණේ සැහැල්ලු වූයේ උපතට නො සුදුසු වූයේ නුවණගින්නෙන් දැවුණේ වෙයි. කුහිඤ්චි යනු: අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ කොහි දු කිසිවෙක්හි දු කිසි තැනෙක්හි දු නුයි තස්මා මුනී නත්‍ථි ඛීලො කුහිඤ්චි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“වදන්ති වෙ -පෙ- නත්‍ථි ඛීලො කිහිඤ්චි” යී.
3. 2.
දෘෂ්ටිච්ඡන්දයෙන් මෙහෙයන ලද දෘෂ්ටිරුචියෙහි බැසගත් තීර්‍ත්‍ථක ජන තෙමේ ස්වකීය දෘෂ්ටිය කිසෙයින් හරනේ ද, යළි තමා විසින් රැස් කරන ලද ඒ දෘෂ්ටිගතයන් කරනුයේ යම්සේ දනී නම් එසේ මැ කියන්නේ යි.
සකං හි දිට්ඨිං කථමච්චයෙය්‍ය - ඒ තීර්‍ත්‍ථකයෝ සුන්‍දරී පිරිවැජිය නසා ශ්‍රමණශාක්‍යපුත්‍රයන්ගේ අගුණ ප්‍රකට කොට ‘මෙසේ මේ ලාභ යශස් සත්කාර සම්මාන උපදවම්හ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු මෙබඳු කැමැත්ත - මෙබඳු රුචිය - මෙබඳු ලබ්ධිය - මෙබඳු අදහස - මෙබඳු අධිප්‍රාය ඇත්තාහු, ඔහු ස්වකීය දෘෂ්ටිය කැමැත්ත රුචිය ලබ්ධිය අධ්‍යාශය ස්වකීය අධිප්‍රාය ඉක්මවන්නට නො හැකි වූහ. වැලි එ මැ අයස ඔවුන් කරා පෙරළා පැමිණියේ නුයි මෙසේත් ‘සකං හි දිට්ඨිං කථමච්චයෙය්‍ය’ යනු වේ. නොහොත් ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සැබැවැ, අන්‍යය සිස් යැ’ යන මෙබඳු වාදය ස්වකීය දෘට්ඨිය සිය කැමැත්ත සිය රුචිය සිය ලබ්ධිය සිය අදහස සිය සිතැඟිය කෙසේ නම් ඉක්මවන්නේ ද, අතික්‍රමණය සමතික්‍රමණය කරන්නේ ද, බැහැර කරන්නේ ද, (නො කරන්නේ මැයැ.) ඊට කරුණු කිම යත්: ඔහුගේ ඒ දෘෂ්ටි තොමෝ එපරිද්දෙන් සම්පූර්‍ණ වූවා යැ මොනොවට ගන්නා ලද්දී යැ ඇසුරු කොට ගන්නා ලද්දී යැ පරාමර්‍ශනය කරන ලද්දී යැ අභිනිවේශය කරන ලද්දී යැ ඇතුළත් වූවා යැ බැසගන්නා ලද්දී යැ (එහෙයිනි). මෙසේත් ‘සකං හි දිට්ඨිං කථමච්චයෙය්‍ය’ යනු වේ. නොහොත් ආත්මභාවසඞ්ඛ්‍යාත ලෝකය අශාශ්වත යැ, ලෝකය (ආත්මභාවය) අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, ජීවයත් ශරීරයත් හේ මැයැ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ, සත්ත්‍ව තෙමේ මරණින් මතු (පරලොවැ) වෙයි. සත්ත්‍ව තෙමේ පරලොව නො මැ වෙයි. සත්ත්‍ව තෙමේ පරලොවැ උපදනේත් නූපදනේත් වෙයි. පරලොවැ නො මැ වෙයි. නොවන්නේ නො වෙයි. මේ මැ සැබැවැ අන්‍යය සිස් යැ යන මෙබඳු වාද සඞ්ඛ්‍යාත වූ ස්වකීය දෘෂ්ටිය... ස්වකීය හැඟීම කෙසේ නම් ඉක්මවන්නේ ද; ඊට හේතු කිම ? යත්: ඔහු විසින් ඒ දෘෂ්ටි තොමෝ නො ඉක්මැවියැ හැකි පරිද්දෙන් පුරන ලද, සමාදන් වන ලද ගන්නා ලද, පරාමර්‍ශ කරන ලද, අභිනිවේශ කරන ලද, ඇතුළත් වන ලද, බැසගන්නා ලද හෙයිනි. මෙසේත් ‘සකං හි දිට්ඨිං කථමච්චයෙය්‍ය’ යනු වේ.
ඡන්දානුනීතො රුචියා නිවිට්ඨො - ‘ඡන්දානුනීතො’ යනු: ස්වකීය දෘෂ්ටියෙන් - කැමැත්තෙන් - රුචියෙන් - ලබ්ධිදියෙන් යවනු ලබයි, පමුණුවනු ලබයි, උසුලනු ලබයි, මොනවට හරිනු ලබා. ඇත්යානකින් හෝ අස්යානකින් හෝ රියකින් හෝ ගවයානකින් හෝ එළුයානකින් හෝ බැටළුයානකින් හෝ ඔටුයානකින් හෝ කොටළුයානකින් හෝ පමුණුවනු ලබන්නාක් මෙන් තමාගේ දෘෂ්ටියෙන් - කැමැත්තෙන් - රුචියෙන් - ලබ්ධිදියෙන් යවනු පමුණුවනු උසුලනු සංහරණය කරනු ලබා නුයි ‘ඡන්දානුනීතො’ යනු වේ. ‘රුචියා නිවිට්ඨො’ යනු: තමාගේ දෘෂ්ටියෙහි කැමැත්තෙහි රුචියෙහි ලබ්ධියෙහි පිවිසියේ පිහිටියේ ඇලුණේ උපගත වූයේ ඇතුළත් වූයේ බැසගන්නා ලද්දේ නුයි ‘ඡන්දානුනීතො රුචියා නිවිට්ඨො’ යනු වේ.
සයං සමත්තානි පකුබ්බමානො - තෙමේ සම්පූර්‍ණ කෙරෙයි, පරිපූර්‍ණ කෙරෙයි, අලාමක කෙරෙයි, අග්‍ර ශ්‍රේෂ්ඨ ජ්‍යේෂ්ඨ ප්‍රමුඛ උත්තම ප්‍රවර කෙරෙයි. ‘මේ ශාස්තෘ සර්‍වඥ යැයි තෙමේ සම්පූර්‍ණ කෙරෙයි... ප්‍රවර කෙරෙයි. මේ ධර්‍මය ස්වාඛ්‍යාත යැ, මේ ගණ තෙමේ සුප්‍රතිපන්න යැ, මෙ දෘෂ්ටි තොමෝ සොඳුරු යැයි, මෙ ප්‍රතිපදා මැනැවින් පනවන ලදැයි, මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික’ යැයි තෙමේ සම්පූර්‍ණ කෙරෙයි පරිපූර්‍ණ ...ප්‍රවර කෙරෙයි, උපදවයි, මොනොවට උපදවයි, නිපදවයි, වෙසෙසින් නිපදවා නුයි ‘සයං සමත්තානි පකුබ්බමානො’ යනු වේ.
යථා හි ජානෙය්‍ය තථා වදෙය්‍ය - යම් සේ දන්නේ නම් එපරිද්දෙන් කියන්නේය, දක්වන්නේය, ව්‍යවහාර කරන්නේයැ; ‘ආත්මභාවලොකය ශාශ්වත යැ, මේ මැ සැබැව, අන්‍යය සිස් යැ’යි යම් සේ දනී නම් එසෙයින් කියන්නේ යැ, දක්වන්නේ යැ, වහරන්නේ යැ; ලෝකය අශාශ්වත යැ... සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි නො මැ වන්නේ යැ, නො වන්නේත් නො වෙයි, මෙය මැ සැබැව, අන්‍යය සිස් යැයි යම්සේ දනී නම් එසෙයින් කියන්නේය, පවසන්නේය, දක්වන්නේය වහරන්නේ නුයි ‘යථා හි ජානෙය්‍ය තථා වදෙය්‍ය‘ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සකං හි දිට්ඨිං - පෙ - තථා වදෙය්‍ය” යි.
3. 3.
යම් පුද්ගලයෙක් නො පුළුවුස්නා ලදුයේ මැ තමාගේ ප්‍රාතිමොක්ෂාදි ශීලයෙන් හා ධුතඞ්ගාදිව්‍රතයන් අනුනට කියා ද, යමෙක් මෙසේ තමා (ගුණවතැයි) තෙමේ කියා ද, ඔහුගේ ඒ කීම අන්‍යර්‍ය්‍යධර්‍මයෙකැයි ස්කන්‍ධාදියෙහි කුශල වූ ආර්‍ය්‍යයෝ කියත්.
යො අත්තනෝ සීලවතානි ජන්තු - ‘යො’ යනු: යම්බඳු වූ... (1-3 නිද්දෙසය) ‘සීලබ්බතානි’ යනු: ශීල ද වු ව්‍රත ද වූයෙක් ඇත, ශීල නො වූ ව්‍රතයෙක් ඇති. සීලනාර්ත්ථයෙන් ශීල වූයේත් සමාදානාර්ත්ථයෙන් ව්‍රත වූයේත් කවරැ? යත්: මේ ශාසනයෙහි මහණ සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර දෙකින් යුක්ත වැ වෙසෙයි, අණුමාත්‍ර දෝෂයෙහි භය දක්නාසුලු වූයේ සමාදන් වැ ශික්‍ෂා කොටස්හි හික්මෙයි. එහි යම් සංයමයෙක් සංවරයෙක් අනතික්‍රමයෙක් වී නම් මේ ශීල යැ. යම් සමාදානයෙක් වී නම් ඒ ව්‍රත යි. සංවරාර්ත්ථයෙන් ශීල යැ, සමාදානාර්ත්ථයෙන් ව්‍රත යි. මේ ශීලයත් ව්‍රතයත් වේ යැයි කියනු ලැබේ. ශීල නො වූ ව්‍රතය කවරැ? යත් ‘ආරඤ්ඤිකඞ්ග යැ පිණ්ඩපාතිකඞ්ග යැ පංසුකුලිකඞ්ග යැ තෙචීවරිකඞ්ග යැ සපදානචාරිකඞ්ග යැ ඛලුපච්ඡාභත්තිකඞ්ග යැ නෙසජ්ජිකඞ්ගය යථාසන්ථතිකඞ්ග යැ’ යන මේ ධුතාඞ්ග අට ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබෙයි: ‘ඒකාන්තයෙන් ශරීරයෙහි සමත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස් ලේ වියැළේවා, පුරුෂශක්තියෙන් පුරුෂබලයෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණියැ යුතු ඒ උත්තමාර්ත්ථයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ ශිථිලබවෙක් නො වන්නේ යැ’යි සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙ බඳු වූ වීර්‍ය්‍යසමාදානය ශීල නො වූ ව්‍රත යැයි කියනුලැබේ.
1. “තෘෂ්ණා නමැති හුල උපුටා නො ලූ කල්හි (මම් ඛාද්‍යාදිය) නො කමි, (යාගු ආදිය) නො බොමි, වෙහෙරින් බැහැර නො යමි, (ඇඳපුටු ආදියෙහි) ඇළය නො තබමි.”
සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙබඳු වූ වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. ‘මාගේ සිත උපාදානග්‍රහණය නො කොට (කාමාදි) ආස්‍රවයන්ගෙන් සමුච්ඡෙදවිමුක්තියෙන් නො මිදෙන තාක් මේ පලඟ නො බිඳිමී’ සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානය ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. ‘මාගේ සිත උපාදානග්‍රහණය නො කොට ආස්‍රවයන්ගෙන් නොමිදෙන තාක් මේ ආසනයෙන් නො නැඟීසිටිමි, සක්මනින් නො බස්මි, ගුරුළුවක් ගෙයින් ප්‍රාසාදයෙන් හමර්යයෙන් ගුහායෙන් ලෙනින් කිළියෙන් කුළුගෙයින් අටල්ලෙන් වටගෙයින් උද්දණ්ඩයෙන් උවටැන්හලින් මඬුයෙන් රුක්මුලින් නො නික්මෙමී’ සිතට වැර ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානය ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. ‘මෙ දවස් මැ ආර්‍ය්‍යධර්‍මය (මාගේ සිතට) එළවමි, මොනොවට එළවමි, අධිගමය කරමි, ස්පර්‍ශ කරමි, ප්‍රත්‍යක්‍ෂ කරමී, සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානය ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. මේ මැදි දහවල්හි මැ. . . පස්වරුයෙහි පෙරබත්හි පසුබත්හි - පෙරයමැ මැදියමැ අලුයමැ අවපසැ පුරපසැ වැසිකලැ හිමත් කලැ ගිම්කලැ ප්‍රථමවයස්හි මධ්‍යමවයස්හි පශ්චිමවයස්හි අරීදහම් එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙමී’ සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. ජන්තු යනු: (1-1 නිද්දෙසය.) ‘යො අත්තනෝ සීලවතානි ජන්තු’ යනු වේ.
අනානුපුට්ඨොව පරෙසං පාවා - ‘පරෙසං’ යනු: අන්‍ය වූ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර ගෘහස්ථ ප්‍රව්‍රජිත දෙව මනුෂ්‍යයනට; අනානුපුට්ඨො - අපෘෂ්ට වූයේ නො පුළුවුස්නා ලදුයේ නො අයදනා ලදුයේ නො ඇණවන ලදුයේ නො පහදවන ලදුයේ; පාවා - තමා ගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය හෝ කියයි: ‘මම් සිල්වත්මී හෝ, ව්‍රතවත්මී හෝ, ශීලව්‍රතවත්මී හෝ, ජාතියෙන් ගෝත්‍රයෙන් කුලපුත්‍රභාවයෙන් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් ධනයෙක් අධ්‍යයනයෙන් කර්‍මාන්තයෙන් ශිල්පයෙන් විද්‍යාවෙන් ශ්‍රැතයෙන් ප්‍රතිභාණයෙන් හෝ එක්තරයෙකින් යුක්ත වෙමී හෝ, උසස් කුලයෙන් නික්මැ පැවිදි වීමි මහාසාරකුලයෙන් පැවිදි වීමි මහද්භෝග ඇති කුලයෙන් පැවිදි වීමි උළාරභොග කුලයෙන් පැවිදි වීමි හෝ, ගැහැවිපැවිද්දන් අතුරෙහි ප්‍රකටයෙමි පිරිවර ඇත්තෙමි හෝ, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකර ලැබෙමී හෝ, සෞත්‍රාන්තිකයෙමි විනයධරයෙමි ධර්‍මකථිකයෙමී හෝ, ආරණ්‍යකයෙමි වෘක්ෂමූලිකයෙමි පිණ්ඩපාතිකයෙමි පාංශුකුලිකයෙමි ත්‍රෛචීවරිකයෙමි සපදානචාරිකයෙමි ඛලුපච්ඡාභත්තිකයෙමි නෙසජ්ජිකයෙමි යථාසන්ථතිකයෙමී හෝ, ප්‍රථමධ්‍යානලාභී වෙමි ද්විතීය - තෘතීය - චතුර්ත්ථධ්‍යානලාභී වෙමි ආකාසානඤ්චායතන - විඤ්ඤාණඤ්චායතන - ආකිඤ්චඤ්ඤායතන - නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී වෙමී හෝ පවසයි කියයි බෙණෙයි දක්වයි ව්‍යවහාර කෙරේ නුයි ‘අනානුපුට්ඨොව පරෙසං පවා’ යනු වේ.
අනරියධම්මං කුසලා තමාහු - ‘කුසලා’ යනු: ස්කන්‍ධ - ධාතු - ආයතන - ප්‍රතීත්‍යාසමුත්පාද - ස්මෘතිප්‍රස්ථාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණයෙහි නිපුණ වූවාහු මෙසේ කියති: ‘තෙල ධර්‍මය අනාර්‍ය්‍යන්ගේ යැ, ආර්‍ය්‍යයන්ගේ ධර්‍මයෙක් නො වෙයි. බාලයන්ගේ දහමෙක, පණ්ඩිතයන්ගේ දහමෙක් නො වෙයි. අසත්පුරුෂයන්ගේ දහමෙක, සත්පුරුෂයන්ගේ දහමෙක් නො වේ යයි මෙසේ පවසති කියති බෙණෙති දක්වති. මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘අනරියධම්මං කුසලා තමාහු’ යනු වේ.
යො ආතුමානං සයමෙව පාවා - ‘අතුමා’ යී ආත්මය කියනු ලැබේ. සයමෙව පවා - තෙමේ මැ තමා පවසයි: ‘මම් සීලසම්පන්නයෙමී’ හෝ (‘අනානුපුට්ඨො පරෙසං පාවා’ යන්නෙහි නිද්දෙසය බලනු.)... නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී වෙමී හෝ පවසයි, කියයි බෙණෙයි දක්වයි වහරා නුයි ‘යො ආතුමානං සයමෙව පාවා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යො අත්තනෝ සීලවතානි -පෙ- ආතුමානං සයමෙව පාවා” යනු.
3. 4.
තවද යම් ක්‍ෂීණාස්‍රව මහණෙක් රාගාදි කෙලෙස් සන්හිඳීමෙන් ශාන්ත වූයේ රාගාදි ගිනි නිවීමෙන් නිවුණු සිත් ඇත්තේ ‘මම් මෙසේ වෙමී’ සිල් නිමිති කොට තමා එළවා කියන තෙපුල් නො කියන්නේ වේ ද, යමක්හුගේ ස්කන්ධාදිලොකයෙහි කිසි තැනෙක්හි රාගාදිඋත්සදයෝ නැද්ද, ඔහුගේ ඒ සිය ගුණ නො පාළකිරීම අරීදහමෙකැයි ස්කන්‍ධාදියෙහි නිපුණ වූ බුද්ධාදීහු කියත්.
සන්තෝ ච භික්ඛු අභිනිබ්බුතත්තො - ‘සන්තෝ’ යනු: රාගය සමිත (සන්හිඳුවන ලද) වන බැවින් ශාන්ත යැ, ද්වේෂය සමිත වන බැවින් ශාන්ත යැ, මෝහය සමිත වන බැවින් ශාන්ත යැ, ක්‍රෝධය උපනාහය මකුබව පලාස (යුගග්‍රාහ)ය ඊර්‍ෂ්‍යාව මාත්සර්‍ය්‍යය මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය ප්‍රමාදය සියලු කෙලෙසුන් සියලු දුශ්චරිතයන් සියලු දරථයන් සියලු පරිදාහයන් සියලු සන්තාපයන් සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත වන බැවින් සමිත වන බැවින් වෙසෙසින් සමිත වන බැවින් දවන ලද වන බැවින් (සියලු සන්තාපයන්) නිවන ලද වන බැවින් දුරු කළ බැවින් ඉපැදීමට නුසුදුසු කළ බැවින් ශාන්ත වූයේ උපශාන්ත වූයේ නිවුණේ සන්හිඳුණේ නුයි ‘සන්ත’ නම. භික්ඛු - (මතු කියන) සප්තධර්‍මයන් භින්න වන බැවින් ‘භික්ඛු’ නම. සත්කායදෘෂ්ටිය බිඳුණේ වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය බිඳුණේ වෙයි. ඔහු විසින් ක්ලෙශප්‍රත්‍යය වූ පුනර්‍භවය දෙන්නා වූ ක්ලේශදරථ සහිත වූ දුඃඛවිපාක වූ අනාගතයෙහි ජාතිජරාමරණයන්ට කාරණ වූ ලාමක වූ අකුශලධර්‍මයෝ බිඳුණා ලද්දාහු වෙත්.
1. යමෙක් තෙමෙ තමා විසින් වැඩූ මාර්‍ගයෙන් ක්ලේශපරිනිර්‍වාණයට ගියේ ද, එහෙයින් ම තරණය කළ සැක ඇත්තේ ද, විපත්ති සම්පත්ති ආදි භේද ඇති විභවයත් භවයත් දුරු කොට මාර්‍ගවාස වැස නිම වූ ක්‍ෂය කළ පුනර්‍භව ඇති හෙතෙම භික්‍ෂු නම් වේ නුයි-
‘සන්තෝ ච භික්ඛු’ යනු වේ.
අභිනිබ්බුතත්තො - රාගය නිවන ලද වන බැවින් නිවුණු සිත් ඇතියේ, ද්වේෂය නිවන ලද වන බැවින් නිවුණු සිත් ඇතියේ, මෝහය නිවන ලද වන බැවින් නිවුණු සිත් ඇතියේ, ක්‍රෝධය උපනාහය මකුබව පලාස (යුගග්‍රාහ)ය ඊර්‍ෂ්‍යාව මසුරුබව මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය ප්‍රමාදය සියලු කෙලෙසුන් සියලු දුශ්චරිතයන් සියලු දරථයන් සියලු පරිදාහයන් සියලු සන්තාපයන් සර්‍වාකුශලාභිසංස්කාරයන් නිවන ලද වන බැවින් වෙසෙසින් නිවුණු සිත් ඇත්තේ නුයි ‘සන්තෝ ච භික්ඛු අභිනිබ්බුතත්තො’ යනු වේ.
ඉතිහන්ති සීලෙසු අකත්ථමානො - ‘ඉතිහං’ යනු: පදසන්ධි යැ, පදයන්ගේ සංසර්‍ග යැ, පදයන්ගේ එකතු වීම යැ, බ්‍යඤ්ජනයන්ගේ සිලුටුබව යැ, තෙල ‘ඉතිහං’ යනු පදයන්ගේ පරිපාටිය ද වේ. සීලෙසු අකත්ථමානො - මෙ ලොවැ කිසිවෙක් ආත්මවර්‍ණනාව කරනුයේ විවිධ කොට ආත්මවර්‍ණනාව කරනුයේ වෙයි: හෙතෙම ‘මම් සිල්වත්මී’ හෝ කියයි, ව්‍රතසම්පන්නයෙමී හෝ, ශීලව්‍රතසම්පන්නයෙමී හෝ, ජාතියෙන්, ගෝත්‍රයෙන්, කුලපුත්‍රභාවයෙන්, වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී වෙමී හෝ කියයි වෙසෙසින් කියයි. මෙසේ නො කියයි, විවිධ කොට නො කියයි. ආත්මවර්‍ණනායෙන් දුරින් දුරු වූයේ නො ඇලුණේ සියලු ලෙසින් වෙන් වූයේ නික්මුණේ වෙන් වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්තවූයේ විගතමර්‍ය්‍යාදා කළ(එක් ව නො යෙදුණු) සිතින් යුක්ත ව වෙසේ නුයි ‘ඉතිහන්ති සීලෙසු අකත්ථමානො’ යනු වේ.
තමරියධම්මං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: ස්කන්‍ධයන්හි නිපුණ වූවාහු ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද - ස්මෘතිප්‍රස්ථාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණයෙහි නිපුණ වූවාහු මෙසේ කියති: ‘තෙල ආර්‍ය්‍යයන්ගේ දහමෙකි; අනාර්‍ය්‍යයන්ගේ දහමෙක් නො වෙයි. පණ්ඩිතයන්ගේ දහමෙකි; බාලයන්ගේ දහමෙක් නො වෙයි. තෙල සත්පුරුෂයන්ගේ දහමෙකි; අසත්පුරුෂයන්ගේ දහමෙක් නො වේ ය’යි මෙසේ පවසති, කියති, බෙණෙති, දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තමරියධම්මං කුසලා වදන්ති’ යනු වේ.
යස්සුස්සදා නත්‍ථි කුහිඤ්චි ලෝකේ - ‘යස්ස’ යනු: අර්‍හත් වූ ක්ෂීණාස්‍රවයක්හුගේ; උස්සදා - උත්සදයෝ සතෙකි: රගොත්සදය ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - කර්‍මොත්සදය ය යි. ඔහුට මේ උත්සදයෝ නැත, විද්‍යාමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරු වූවාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණ නමැති ගින්නෙන් දවනා ලද්දාහු වෙත්. කුහිඤ්චි - අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ කිසි තැනෙක්හි; ලෝකේ - අපායලෝකයෙහි මනුෂ්‍ය - දෙව - ස්කන්‍ධ - ධාතු - ආයතනලෝකයෙහි නුයි ‘යස්සුස්සදා නත්‍ථි කුහිඤ්චි ලෝකේ’ යනු වේ.
එයිනි වදාළහ බුදුහු:
“සන්තෝ ච භික්ඛු-පෙ-කුහිඤ්චි ලෝකේ” යී.
3. 5.
යම් දෘෂ්ටිගතිකයක්හුගේ තෘෂ්ණාදෘෂ්ටි විසින් පරිකල්පිත වූ (=සලකන ලද) ප්‍රත්‍යයෙන් සකස් කරන ලද තෘෂ්ණාදෘෂ්ටි පෙරටු කරන ලද අපිරිසුදු වූ දෙසැටදිටුගත ධර්‍ම කෙනෙක් ඇත්තාහු ද, හෙතෙම යම් හෙයකින් ඒ දෘෂ්ටියෙහි ප්‍රත්‍යය සත්කාරාදි දෘෂ්ටධාර්මික වූ ද ගතිවිශෙෂාදි සාම්පරායික වූ ද ආනිසංසයක් දක්නේ ද, එහෙයින් විපාකජනක පරිවර්‍තනශීලි හෙයින් කෝප්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ ද සංවෘතිශාන්ති සඞ්ඛ්‍යාත දෘෂ්ටිය ඇසිරි කොට පවත්නේ වේ.
පකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා - ‘පකප්පනා’ යි: තෘෂ්ණාප්‍රකල්පනය ද දෘෂ්ටිප්‍රකල්පනය දැයි ප්‍රකල්පනයෝ දෙදෙනෙකි; ...මෝ තෘෂ්ණාප්‍රකල්පනා යැ... මෝ දෘෂ්ටිප්‍රකල්පනා යි. සඞ්ඛතා - ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දාහු වෙසෙසින් සකස් කරන ලද්දාහු මොනොවට සකස් කරන ලද්දාහු ප්‍රත්‍යයවශයෙන් ම මනා කොට තබන ලද්දාහු නුයි ‘සඞ්ඛත’ නම් වෙති. නොහොත් ඇති වැ නැති වන හෙයින් අනිත්‍ය වූවාහු ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දාහු වස්ත්වාලම්බනයන් නිසා උපන්නාහු ක්‍ෂය වන ස්වභාව ඇත්තාහු පිරිහෙන ස්වභාව ඇත්තාහු නො නැවැතී පහ වන ස්වභාව ඇත්තාහු නිරුද්ධ වන ස්වභාව ඇත්තාහු නුයි ද ‘සඞ්ඛත’ නම් වෙත්. යස්ස - දෘෂ්ටිගතිකයක්හුගේ; ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘ධම්ම’ යී කියනු ලැබෙත් නුයි ‘පකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා’ යනු වේ.
පුරෙක්ඛතා සන්ති අවෙවදාතා - ‘පුරෙක්ඛතා’ යනු: තෘෂ්ණාපුරස්කාරය ද දෘෂ්ටිපුරස්කාරය දැයි පුරස්කාරයෝ දෙදෙනෙක් වෙති... ඔහුට (ඔහු විසින් හෝ) තෘෂ්ණාපුරස්කාරය අප්‍රහීණ යැ, දෘෂ්ටිපුරස්කාරය දුරු නො කරන ලද්දේ යැ, ඔහු විසින් තෘෂ්ණාපුරස්කාරය අප්‍රහීණ හෙයින් දෘෂ්ටිපුරස්කාරය දුරු නො කළ හෙයින් හෙතෙම තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට හැසිරෙයි, තෘෂ්ණා නමැති ධ්වජ ඇත්තේ තෘෂ්ණා නමැති කෙහෙලි ඇත්තේ තෘෂ්ණාව අධිපති කොට ඇත්තේ, දෘෂ්ටි නමැති ධ්වජ ඇත්තේ දෘෂ්ටි නමැති කෙහෙලි ඇත්තේ දෘෂ්ටිය අධිපති කොට ඇත්තේ වෙයි. තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ විසින් පිරිවරන ලදුයේ හැසිරේ නුයි ‘පුරෙක්ඛතා’ යනු වේ. සන්ති - ඇත, විද්‍යාමාන වෙති, ලැබෙත්. අවෙවදාතා - අනවදාත වූවාහු අපරිශුද්ධ වූවාහු තුමූ කිලිටි වූවාහු කෙලෙසුණාහු නුයි ‘පුරෙක්ඛතා සන්ති අවෙවදාතා’ යනු වේ.
යදත්තනි පස්සති ආනිසංසං - ‘යදත්තනි’ - යං අත්තනි; ‘අත්තා’ යී දෘෂ්ටිගතය කියනු ලැබෙයි තමාගේ දෘෂ්ටියෙහි අනුසස් දෙකක් දකී: දෘෂ්ටධාර්මිකආනෘශංසය සාම්පරායිකආනෘශංසය යි කියා යි. දෘෂ්ටියෙහි දෘෂ්ටධාර්මිකආනෘශංසය කවරැ යත්: ශාස්තෘ තෙම යම් බඳු දෘෂ්ටි ඇත්තේ නම්, ශ්‍රාවකයෝ එබඳු දෘෂ්ටි ඇත්තාහු වෙති. එබඳු දෘෂ්ටි ඇති ශාස්තෘහු හට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙති, ගරු කෙරෙති, බුහුමන් කෙරෙති, පුදති, අඤ්ජලිකර්‍මාදියෙන් අපචායන කෙරෙත්; එකරුණෙන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසබෙහෙත්පිරිකර ලබන්නේත් වෙයි. මේ දෘෂ්ටියෙහි දෘෂ්ටධාර්මිකආනෘශංස යි. දෘෂ්ටියෙහි සාම්පරායිකආනෘශංසය කවරැ යත්: ‘මේ දෘෂ්ටිය නාරජබවට හෝ ගුරුළු - යක්සෙනෙවි - අසුර - ගඳෙවු - වරම්රජ - සක්දෙවි - මහබඹ - සම්මුතිදෙව බවට හෝ පමණ යැ, මේ දෘෂ්ටිය ශුද්ධියට විශුද්ධියට පාරිශුද්ධියට මුක්තියට විමුක්තියට සර්‍වප්‍රකාරයෙන් මුක්තියට පමණ යැ, මේ දෘෂ්ටියෙන් ශුද්ධ වෙති, විශුද්ධ වෙති, පාරිශුද්ධ වෙති, මිදෙති, වෙසෙසින් මිදෙති, සර්‍වප්‍රකාරයෙන් මිදෙති; මේ දෘෂ්ටියෙන් ශුද්ධ වෙමි, විශුද්ධ - පාරිශුද්ධ වෙමි, මිදෙමි, වෙසෙසින් මිදෙමි, සර්‍වප්‍රකාරයෙන් මිදෙමී’ අනාගතඵලය කැමැති වන්නේ වෙයි. මේ දෘෂ්ටියෙහි සාම්පරායික ආනෘශංස යි. තමාගේ දෘෂ්ටියෙහි මේ දෙ අනුසස් දකී බලයි සිතයි විමසා නුයි ‘යදත්තනි පස්සති ආනිසංසං’ යනු වේ.
තං නිස්සිතො කුප්පපටිච්චසන්තිං - ශාන්තීහු අත්‍යන්තශාන්ති යැ තදඞ්ගශාන්ති යැ සංවෘතිශාන්ති යැයි තිදෙනෙකි; අත්‍යන්තශාන්ති කවරී ද යත්? සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම ඇති සියලු කාමාදිඋපධි දුරැලූ තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස්රජස් නො ඇලුණු සියලු දුක් නිරුද්ධ වූ අමාමහනිවන ‘අත්‍යන්තශාන්ති’ යයි කියනු ලැබේ; මේ යැ අත්‍යන්තශාන්ති නම්. තදඞ්ගශාන්ති කවරී ද යත්? පළමුවන දැහැනට සමවත්හුගේ නීවරණයෝ සන්හිඳුණාහු වෙති, දෙවැනි දැහැනට සමවත්හුගේ විතර්‍කවිචාරයෝ ශාන්ත වෙති, තෙවැනි දැහැනට සමවත්හුගේ ප්‍රීතිය ශාන්ත වෙයි, සිවුවැනි දැහැනට සමවත්හුගේ සුවදුක් ශාන්ත වෙයි, ආකාසානඤ්චායතනයට සමවත්හුගේ රූපසංඥා ප්‍රතිඝසංඥා නානාත්වසංඥාවෝ ශාන්ත වෙති, විඤ්ඤාණඤ්චායතනයට සමවත්හුගේ ආකාසානඤ්චායතනසංඥාව ශාන්ත වෙයි, ආකිඤ්චඤ්ඤායතනයට සමවත්හුහට විඤ්ඤාණඤ්චායතනසංඥාව ශාන්ත වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවත්හුහට ආකිඤ්චඤ්ඤායතනසංඥාව ශාන්ත (-සන්හිඳුණේ) වේ; මේ තදඞ්ගශාන්තිය යි. සම්මුතිශාන්ති කවරී ද යත්? ‘සම්මුතිශාන්ති’ යයි දෙසැට දෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. (මොහු) දෘෂ්ටිශාන්තීහු යි. වැලිදු සංවෘතිශාන්තිය මේ අර්‍ත්‍ථයෙහි ‘ශාන්ති’ යයි අදහස් කරන ලදී. තං නිස්සිතො කුප්පපටිච්චසන්තිං - (විපාකජනක විසින් ද පරිවර්‍තන විසින් ද) කොප්‍යශාන්ති වූ වෙසෙසින් කොප්‍යශාන්ති වූ චංචලශාන්ති වූ චලිතශාන්ති වූ පීඩිතශාන්ති වූ කම්පිතශාන්ති වූ ප්‍රකම්පිතශාන්ති වූ අනිත්‍ය වූ සංස්කෘත වූ ප්‍රත්‍යයසමුත්පන්න වූ ක්‍ෂය වනසුලු නැසෙනසුලු නො නවත්නාසුලු නිරුද්ධ වන ස්වභාව ඇති ශාන්තිය ඇසුරු කෙළේ වෙසෙසින් ඇසුරු කෙළේ වැලඳගත්තේ ඊට පැමිණියේ ඇතුළු වූයේ ඇලුණේ නුයි ‘තංනිස්සිතො කුප්පපටිච්චසන්තිං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පකප්පිතා සඞ්ඛතා-පෙ-කුප්පපටිච්චසන්තිං” යි.
3. 6.
ඉදංසච්චාභිනිවේස සඞ්ඛ්‍යාත දෘෂ්ටිනිවෙශනයෝ යම් හෙයකින් සුව සේ ඉක්මැවිය හෙන්නාහු නො වෙත් ද, දෙසැට දිටුදම් අතුරෙහි මොනොවට බැසගත් ඒ ඒ ධර්‍මය නිශ්චය කොට පවත්නේ ද, එහෙයින් සත්ත්‍ව තෙමේ ඒ දෘෂ්ටිනිවෙශනයන්හි අජශීල ගොශීලාදි ධර්‍මය හරනේ ද වෙයි, ගන්නේත් වේ.
දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා - ‘දිට්ඨිනිවෙසා’ යනු: ‘ආත්මභාව සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය සිස්’ යැයි, අභිනිවේශයෙන් පරාමර්‍ශනය කිරීම දෘෂ්ටිනිවෙශන යැ; (‘අසස්සතො’ යන ආදිය 3-2 ගාථානිද්දෙසයෙහි යැ.) න හි ස්වාතිවත්තා - දෘෂ්ටිනිවෙශනයෝ නො මැ සුව සේ ඉක්මැවිය හෙන්නාහු, දුක සේ ඉක්මැවිය යුත්තාහු, දුස්තර වූවාහු දුෂ්ප්‍රතර වූවාහු නුයි ‘න හි ස්වාතිවත්තා’ යනු වේ.
ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයන්හි; නිච්ඡෙය්‍ය - නිශ්චය කොට විනිශ්චය කොට විමසා සර්‍වප්‍රකාරයෙන් විමසා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට; සමුග්ගහීතං - දෘෂ්ටිනිවෙශනයන්හි අවධි කොට ගැනීම යැ, කොටස් වශයෙන් ගැනීම යැ, උත්තමග්‍රාහ යැ, කොට්ඨාසග්‍රාහ යැ, රාශිවශයෙන් ගැනීම යැ, විශෙෂරාශිවශයෙන් ගැනීම යි; මෙය මැ ස්වභාව යැ අවිපරීත යැ අවිපරිණාම යැ විද්‍යමාන යැ යථාස්වභාව යැ විපරීත නො වේ යැයි ගන්නා ලද පරාමර්‍ශ කළ අභිනිවේශ කළ බැසගන්නා ලද නිශ්චය කර ගන්නා ලද නුයි ‘ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං’ යනු වේ.
තස්මා නරෝ තෙසු නිවෙසනෙසු - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන්; නරෝ - සත්ත්‍ව යැ නර යැ මාණව යැ පුරුෂ යැ පුද්ගල යැ ජීව යැ (ජාතියට යේ නුයි) ජාගු යැ ජන්තු යැ (ඉන්‍ද්‍රියයෙන් යේ නුයි) ඉන්දගු යැ (මරණයට යේ නුයි) හින්දගු යැ මනුජ යැ; තෙසු නිවෙසනෙසු - ඒ දෘෂ්ටිනිවෙශනයන්හි නුයි ‘තස්මා නරෝ තෙසු නිවෙසනෙසු’ යනු වේ.