6832. ඔහු (සැට යොදුන්) දික් මඟැ ගොස් දවරැය ඇවෑමෙහි යම් පෙදෙසකැ වෙසතුරු රජ වාස කෙළේ වී නම් එ පෙදෙසට එළැඹියහ.
මහාරාජ පර්‍වය යි.
6833. වෙසතුරු රජ ඔවුන්ගේ හඬ අසා බියපත් වී. බියපත් වූයෙ සානුපව්වකට නැඟ සෙනඟ බලයි.
6834. කොලෙනි, මද්‍රී දේවිනි, වනයෙහි යම්බඳු මහහඬෙක් ඇද්ද එය (සියසෙන් ද පරසෙන් දැ යි) පිරික්සව. ආජානේය අශ්වයෝ හේසාරව කෙරෙති. රියෙහි නැඟූ දද අග පැනෙයි.
6835-6836. මොහු වනාහි වැද්දෝ වනයෙහි මුවසමූහයා වරදැලින් සිසාරා බැඳැ හෙබට හෙළා එ කෙණෙහි ‘මරව, තළව’ ආදීන් විවිධාකාරයෙන් නපුරු හඬ නඟමින් ඔවුනතුරෙහි උතුම් උතුම් මුවන් තියුණු සැතින් යම්සේ නසත් ද එ සෙයින් අප නසතී සිතම්. ඇපි නිදොස්මහ. රටින් නෙරන ලදුවැ වෙනෙහි සිර කරන ලදුමෝ සතුරන් අතට ගියම්හ. දුඹුලන් මරන බව බලව යි.
6837. තණහුලැ ගිනි ගැඹුරු දියමුහුදු සෙයින් සතුරෝ තොප නො මැඩිය හෙති. තෙපි (පියරජු එතියි සක්දෙව් කී බස) එය මැ සිතව. මේ බළකායෙන් සෙතක් වන්නෙ මැනැවැ යි.
6838. ඉක්බිති වෙසතුරු රජ පර්‍වතයෙන් බැසැ සිත දැඩි කොටගෙනැ පන්සල් දොර හුන්නේ යැ.
6839. පියමහරජ රිය නවත්වා සෙනෙවියනට (කඳවුර රක්නට) නියෝග කොට එකලා වැ වෙනෙහි වාස කරන පුතු කරා එළැඹියේ යැ.
6840. ඇත්කඳින් බැසැ එකස් කළ උතුරුසළු ඇතියෙ ජනයා විසින් කරනලද ඇඳිලි ඇතියෙ ඇමතියන් විසින් පිරිවරන ලදුයේ පුතු අභිෂේක කරන්නට ආයේ යැ.
6841. එ සඳමහරජ ඒ අසපුයෙහි පන්සල් දොර හුන් රම්‍ය සැහැවි ඇති එකඟසිත් ඇති ධ්‍යාන කරන කිසිවකින් බිය නැති වෙසතුරු කුමරහු දිටී.
6842. වෙසතුරු රජ ද මද්‍රී දේවි ද දරුවන් කෙරෙහි ගිජු වූ ඒ පියරජු එන්නා දැකැ පෙරමඟට ගොස් වැන්දහ.
6843. දේවයිනි, මම තොප ලෙහෙලි මද්‍රීමි. පාසඟළ වඳිමි යි සුහුරණුවන්ගේ පා යුවළ හිසින් වැන්දා. එහි දී වැළැඳැගෙන අත්ලෙන් පිට පිරීමට.
6844. පුතණුවෙනි, කිම තොප සුවසේ ද? පුතණුවනි, කිම දුක් නැද්ද? කිම වනමුල් පලයෙන් යැපෙවු ද? කීම අල හා පලවැළ බොහෝ ඇද්ද?
6845. කිම මැසිමදුරුවෝ ද සිරිංසපයෝ ද අල්ප මැ වෙත් ද? චණ්ඩමෘගයන්ගෙන් ආකීර්‍ණ වූ වනයෙහි පීඩා නැද්ද?
6846. දේවයිනි, අපගේ දිවිවැටුම් ඇත. එ ද යම්තම් වනුයෙ යැ. වනමුල් පලවැළින් දිවිවැටීම වෙයි. දුකින් මැ දිවි පවත්වම්හ.
6847. මහරජතුමනි, (දිළිඳු බව) දිළිඳු පුරුෂයා අස්දම්සැරි තෙම අසකුමෙන් දමනය කරයි. ඒ ඇපි දිළිඳු වූවමෝ දැමුණම්හ. දිළිඳු බව අප දමනය කරයි.
6848. මහරජුනි, රටින් නෙරනලදු වැ අරනෙහි වසන ජීවශෝකී වූ අපගේ මවුපියන් නො දැක්මෙන් මසුදු කෘශ විය. (සැප නම් කොයින් ද?)
6849. යම් ඒ දැලිසිරු කන්සිරු දෙකුමරහු සිවිරජහුගේ දායාදයෙන් නො පිරිපුන් මනදොළ ඇති වැ ඉක්මන් වූ රුදුරු බමුණක්හුගේ වසඟ බවට ගියහ. එ බමුණු ඔවුන් ගෙරි පහරිනාසේ පහරී.
6850. ඉදින් ඒ දරුවන් තතු දනිවු නම් මෙ රජදූට කියව. සර්‍පයෙකු විසින් දෂ්ටකරනලද මාණවයක්හට විෂ හරන මතුරු මෙන් වහා අපට කියව යි.
6851. ජාලිය කෘෂ්ණජිනා දෙකුමරහු බමුණුහට ධනය දී නිසේ කොට (අගය දී) ගන්නාලදහ. පුත නො බව අස්වැසෙව යී.
6852. කියග පියාණෙනි, සුවසේ ද? කිම පියාණෙනි, දුක් නැද්ද? කිම පියාණෙනි, මාගේ මවගේ ඇස් (කඳුළින්) නො පිරිහේ දැ යී.
6853. පුතණුවනි, මට රෝග නැත. තවද පුතණුවනි, මට දුක් නැත. තවද පුතණුවනි තොප මවගේ ඇස් නො පිරිහේ.
6854. කිම තොපගේ ධුර වහනුවන් සුවසේ ද? කිම (ඇත් අස්) වාහන උසුලා ද? කිම දනවු සමෘද්ධ වේ ද? කිම වැසි නො සිඳේ දැ යී.
6855. මාගේ ධුර වහනුවෝ ද නීරෝග යැ වාහන ද උසුලා. දනවු ද සමෘද්ධ යැ. වැසි ද නො සිඳේ.
6856. මෙසේ සල්ලාප කරත් මැ මවුරදූ වහන් නැති වැ පාගමනින් එන්නී පර්‍වතදොරැ ඔවුනට පැනුණු.
6857. පුතු කෙරෙහි ගිජු වූ ඒ මව ද එන්නිය දැකැ වෙසතුරුරජ ද මද්‍රීදේවී ද පෙරගමන් කොට වැන්දාහ.
6858. ආර්‍ය්‍යාවෙනි, මම තොප ලෙහෙලි මද්‍රීමු. තොපගේ පායුවළ වඳිමි යි මද්‍රීදේවී ද නැන්දැණියන් පාසඟළ හිසින් වැන්දා.
6859. දුරැ සිට සුවසේ ආ දරුවෝ මද්‍රීදේවිය දැකැ මවුදෙන කරා වසුපැටියන් මෙන් හඬමින් පෙරට දිවූහ.
6860. මද්‍රී දේවී ද දුරින් සුවසේ ආ දරුවන් දැකැ භූතාවේශ වූවකු මෙන් වෙව්ළමින් (දිවගොස් ඔවුන්) කිරිදහරින් තෙමූ.
6861. රැස් වූ නෑයන්ගේ මහහඬෙක් උපන. පර්‍වතයෝ පිළිරැව් දුන්හ. පොළොව කම්පිත වූ.
6862. එ කෙණෙහි පොදදහර ඔමින් පොකුරු වැසි වට. එ සඳ වෙසතුරු රජ නෑයන් හා සමග සමග බවට ගියේ.
6863. මුනුබුරෝ ද ලෙහෙලි ද පුත් ද පියරජ ද මවුදේවී ද යම් දවසෙකැ එකට රැස්වූහු ද එ දවස් ලොමුදහගැන්මෙක් වී.
6864. බිහිසුණු වනයෙහි එක්රැස් වූ සියලු රටවැසියෝ වෙසතුරු රජුට ද මද්‍රී දේවියට ද බදැඳිලි ඇති වැ හඬමින් ඔහු (පාමුල්හි පතිත වැ) මහරජුනි, තෙපි අපට ඉසුරු වව. දෙදෙන අපගේ රාජ්‍යය කරව යි අයදිත්.
ෂට්ක්‍ෂත්‍රිය කාණ්ඩය යි.
6865. තෙපි ද දනවු වැස්සෝ ද නියම්ගම් වැස්සෝ ද එක් වැ ගෙන දැහැමින් රජ කරන මා රටින් නෙරැපූහ යි.
6866. පුත, අප විසින් නො කටයුත්තක් කරනලද, මා විසින් අභිවෘද්ධි නැස්මෙක් කරනලද, යම් බඳු මම සිවිරටවැසියන්ගේ බසින් නිදොස් තොප රටින් නෙරැපීමි.
6867. යම්කිසි අයුරෙකින් තමා දිවියෙනුදු පියහට උපන් දුක් ද මවට බුහුනට උපන් දුක් ද (පුත්‍ර තෙම) හරනෙ යැ.
6868. ඉක්බිති වෙසතුරු රජ රජස්දැලි සෝදා හළී. රජස්දැලි සෝදාපියා පියවිවෙස් ධැරී.
6869. හිසින් ස්නාන කෙළේ පිවිතුරු වත් ඇතියෙ සව්බරණින් සැදුණේ ‘පච්චය’ නම් ඇළිඇතු පිට නැඟී පසමිතුරන් තවන කඩුව බැඳගත,
6870. ඉක්බිති තමා සමග උපන් මනා දැකුම් ඇති සැට දහසක් යෝධයෝ රජු සතුටු කරවමින් පිරිවැරූහ.
6871. ඉක්බිති සිවිකන්‍යාවෝ රැස්වැ මද්‍රී දේවිය ද නැහැවූහ. වෙසතුරු මහරජ ද ජාලිය කෘෂ්ණාජිනා දෙදෙනා ද තොප පාලනය කෙරෙත්වා! තවද සඳමහරජ තොප රකීව යි කිවු.
6872. මේ පිහිට ලදින් පෙර තමන් වෙනෙහි විඳි දුකුදු සිහි කොට රම්‍ය වූ වඞ්කගිරි කුස්හි සැණකෙළි කළහ.
6873. මද්‍රී දේවී මේ පිහිට ලැබැ පෙර තමා විඳි දුකුදු සිහි කොට දරුවන් ලැබැ සොම්නස් සිතැති වැ සතුටු වූ.
6874. මද්‍රී දේවී මේ පිහිට ලැබැ පෙර තමා විඳි දුකුදු සිහි කොට දරුවන් හා සමග සොම්නස් සිතැති වැ ආනන්‍දයට පැමිණියා.
6875. දරුවෙනි, තොප පතන්නී පෙර නිරතුරු එක්වේලේ වළඳන්නී වූමු. බිම හෝනී වූමු. මෙසේ මට තෙල වත් වී.
6876. දරුවෙනි, මාගේ ඒ ව්‍රත සමාදානය අද තොප හා එක් වැ සමෘද්ධ විය. දරුවෙනි, මව කෙරෙන් ද පියා කෙරෙන් ද උපන් ඒ සොම්නස පාලනය කෙරේවා. වැළිදු සඳමහරජ එය රකීවා.
6877. මා විසිනුදු තොප පියා විසිනුදු කරනලද යම්කිසි පිනෙක් ඇද්ද එ හැම පිනින් තෙපි අජර අමර වව.
6878. යම් වස්ත්‍රයෙකින් මද්‍රී දේවී ශෝභමාන වූ ද, එයට නිසි කපුපිළී ද තිහිරිපිළී ද කොමුපිළී ද කොදුම්බර රට නිපන් පිළී ද නැඳි ඵුසතිදේවී ලෙහෙලියට යැවූ.
6879. ඉක්බිති යම් අලංකාරයෙකින් මද්‍රීදේවී ශෝභමාන වූද එබඳු රන්මුවා ග්‍රීවාභරණ ද අඟුපලඳනා ද මිණිමෙවුල් ද නැන්දණී ලෙහෙලියට යැවූ.
6880. ඉක්බිති යම් අබරණෙකින් මද්‍රීදේවී ශෝභමාන වූ ද එබඳු (වන ඉඳි පල බඳු) ස්වර්‍ණමය ග්‍රීවාභරණ ද මිණිමුවා ග්‍රීවාභරණ ද නැන්දණි ලෙහෙලියට යැවූ.
6881. යම් අබරණෙකින් මද්‍රීදේවී ශෝභන වූ ද එබඳු රන් බුබුළු ද නන් පැහැ මිණියෙන් කරනලද තිලකාභරණ ද නැන්දණි ලෙහෙලියට යැවූ.
6882. යම් පළඳනායෙකින් මද්‍රීදේවී ශෝභන වූ ද එබඳු රන් කසුකම් කළ තනපට ද රන්වොරසු ද මෙවුල්දම් ද පාදාභරණ ද නැන්දණි ලෙහෙලියට යැවූ.
6883. හුයැ ඇමුණු අබරණ ද හූ රහිත අබරණ ද පිරික්සා බලා සැරැසී සිටි උතුම්රූ දැරූ රාජපුත්‍රී නඳුන් වෙනෙහි දෙවඟනක මෙන් ශෝභන වූ.
6884. හිසින් ස්නාන කළ පිවිතුරු පිළීහන් සව්බරණින් සැදි රදූ තව්තිසා වැසි දෙවසරක මෙන් ශෝභන වූ.
6885. බිඹුපල වන් ලවනින් සමෘද්ධ වූ රාජපුත්‍රී චිත්‍රලතා වනයෙහි හටගත් මාරුතයෙන් කම්පිත වූ කෙසෙල්ගසක් මෙන් ශෝභන වූ.
6886. ඉදුණු නුගපල බිඹුපල වන් ලවන් ඇති එ රදූ උපන් විසිතුරු පියාපත් ඇති අහස්හි පියාසලා යන කිඳුරු ලිහිණියක මෙන් ශෝභන වූ,
6887. ඇයට ද තරුණ වූ ගැඹුරු වූ නාද ඇති තෙප් හී පහර ඉවසනු සමත් රියහිස් වැනි දළ ඇති බර උසුලන හස්තියකු එළැවූහ.
6888. ඒ මද්‍රී දේවී තරුණ වූ ගැඹුරු වූ නාද ඇති, තෙප් හී පහර ඉවසනු සමත් රියහිස් බඳු දළ ඇති බර උසුලන ඇතු පිට නැඟුණු.
6889. එ හැම වෙනෙහි යම් පමණ සැඬ සිවුපාවෝ වූහු ද ඔහු වෙසතුරු රජුගේ ගුණතෙදින් ඔවුනොවුන් නො පෙළූ.
6890. එ හැම වෙනෙහි යම් පමණ ලිහිණියෝ වූහු ද ඔහු වෙසතුරු රජුගේ ගුණතෙදින් ඔවුනොවුන් නො පෙළූ.
6891. සිවිරට වඩන වෙසතුරු රජු නික් මැ ගිය කල්හි එ හැම වෙනෙහි යම් පමණ සිවුපාවෝ වූහු ද ඔහු එක් තැනෙකැ රැස්වූහ.
6892. සිවිරට වඩන වෙසතුරු රජු නික්මගිය කල්හි එ හැම වෙනෙහි යම් පමණ සියොත්හු වූහු ද ඔහු එක් තැනෙකැ රැස්වූහ.
6893. සිවිරට වඩන වෙසතුරු රජු නික්මගිය කල්හි එ හැම වෙනෙහි යම් පමණ සිවුපාවෝ වූහු ද ඔහු මියුරු හඬ නො නැඟූහ.
6894. සිවිරට වඩන වෙසතුරු රජු නික්මගිය කල්හි එ හැම වෙනෙහි යම් පමණ සියොත්හු වූහු ද ඔහු මියුරු වැ කූජන නො කළහ.
6895. වෙසතුරු රජ යම් තැනෙකැ විසී ද එ තැන් පටන් ජයතුරා නුවර තෙක් ලදපස්මලින් අතුරන ලද රාජමාර්‍ගය පිළියෙළ කරනලද.
6896. ඉක්බිති සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි මනෝඥ දර්‍ශන ඇති සැටදහසක් යෝධයෝ හාත්පසින් පිරිවරා ගත්හ.
6897. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි අන්තඃපුර ස්ත්‍රීහු ද කුමාරයෝ ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද හාත්පසින් පිරිවරාගත්හ.
6898. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි ඇතරුවෝ ද අසරුවෝ ද රියසරුවෝ ද පාබළසෙන් ද හාත්පසින් පිරිවරාගත්හ.
6899. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි දනවු වැසියෝ ද නියම්ගම්වැසියෝ ද රැස්වූහ.
6900. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි හිස්වැසුම් ලූවෝ පළඟ ධැරුවෝ කඩුගත් අත් ඇත්තෝ සන්නාහ පෙරෙවියෝ රජුට පෙරටු වැ පිළිපන්හ.
6901. ආහාරපානයෙන් ද නෘත්‍යගීතයෙන් ද යන දෙකින් යුක්ත වූ, බොහෝ පවුරු හා තොරණ ඇති රම්‍ය වූ ජයතුරා නුවරට ඔහු පිවිසියහ.
6902. සිවිරට වඩන රජකුමරහු නුවරට පැමිණි කල්හි රැස්වූ ජනපදවැසියෝ ද නියම්ගම්වැසියෝ ද සතුටු වූහ.
6903. ධනදායක වෙසතුරු රජු (සියනුවරට) පැමිණි කල්හි පිළිහිස සීසෑරීම් පැවැතිණ. (වෙසතුරු මහරජුගේ අණ යි) සතුටු බෙර ලැවී. හැම සතුන් බන්‍ධනයෙන් මුදන්නෙ යැ යි ඝෝෂ කෙළේ.
6904. සිවිරට වඩන වෙසතුරු රජු (නුවරට) පිවිසි කල්හි එ කෙණෙහි වලාකුළු රන්මුවා වැසි වට.
6905. ඉක්බිති ඒ ක්‍ෂත්‍රිය වූ නුවණැති වෙසතුරු රජ (දිවි හිමියෙන්) දන් දී කාබුන් මරණින් මතු (තුසීපුර) ස්වර්‍ගයට පැමිණියේ යි.
නගර කාණ්ඩ යි.
මහාවෙස්සන්තර ජාතක යි.
මහානිපාත වර්‍ණනා නිමි.
ජාතක පෙළ සමාප්ත යි.