6729. ඉක්බිති රෑ අවසන්හි හිරු උදාවත් මැ සක්දෙව්රජ (ජරපත්) බමුණු වෙසෙකින් යුතුව අලුයම්හි එ දෙදෙනාහට පැනිණි.
6730. කිම භවත්හට රෝග නැද්ද? කිම භවත්හට දුක් නැද්ද? කිම වනමුල්පලයෙන් යැපෙවු ද? කිම අල පලවැළ බොහෝ ඇද්ද?
6731. කිම මැසිමදුරුවෝ ද සර්‍පජාතීහු ද අල්ප වෙත් ද? චණ්ඩමෘගයන්ගෙන් ගැවැසිගත් වෙනෙහි කිම හිංසා නැද්දැ යි.
6732. බමුණාණෙනි, අපට රෝග නැත් මැ යැ, තවද බමුණාණෙනි, අපට දුක් නැත් මැ යැ, තවද වනමුල්පලෙන් යැපෙම්හ. තවද අල හා පලවැළ බොහෝ ඇත.
6733. මැසිමදුරුවෝ ද සරීසෘපයෝ ද අල්ප මැ යැ, වල් මුවන් ගැවැසිගත් වෙනෙහි අපට හිංසා නො පැනෙයි.
6734. සත්මසක් මුළුල්ලෙහි වෙනෙහි වසන ජීවශෝකී වූ අප වෙතට බෙලි පැහැ හුණදණ්ඩ (සැරයටිය) ගෙන ආ අඳුන් දිවිසම් ධරන දෙවියන් පසස්නා මේ දෙවැනි බමුණහු ද දක්මෝ.
6735. බමුණ, තොපගේ මනා ඊමෙකි. තවද තොපගේ නොමනා ඊමෙක් නො වෙයි. තොපට යහපතක් වේවා. තොපගේ දෙපා ධෝවන කරව, පන්සල තුළට පිවිසෙව.
6736. තිඹිරිපල යැ පියල්පල යැ කටුඑරමිණිය යැ යන මෙ පලවැළ දඬුවෙල්බෑ මී වැන්න, බමුණාණෙනි, උතුම් උතුම් පල ගෙන වළඳව.
6737. ගල්කුසින් බට හොයින් අළ මෙ (කළෙහි) පැන් ද සිහිලැ. බමුණාණෙනි, ඉදින් තෙපි බියැටියහු නම් එයින් ගෙන පානය කරව.
6738. තවද තෙපි කිනම් කරුණෙකින් කිනම් හේතුයෙකින් මහ අරනට පැමිණියවු ද? මා විසින් පුළුවුස්නාලදහු එ කරුණ කියව.
6739. යම්සේ පිරුණු නදී හැම කල්හි නො සිඳේ ද එ බඳු වූ තොප අයදනට අයිමි. මා විසින් අයදනාලද තෙපි මට තොපගේ අඹුව දෙව යි.
6740. බමුණාණෙනි, තෙපි යමක් මා අතින් ඉල්වවු නම් එය දෙමි. (දෙන්නට) නො සැලෙමි. ඇති දැය නො සඟවමි. මා සිත දානයෙහි ඇලෙයි. (කියා)
6741. මද්‍රී බිසව අත්හි ගෙන දිය පිරි කමඬලාව ද ගෙන (අතැ පැන් එව) සිවිරට වඩනා වෙසතුරු රජ බමුණුහට දන් දින.
6742. එ දවස් යම් බිහිසුණු බවෙක් වී ද, එ දවස් ලොමුදහ ගැන්මෙක් වී. මද්‍රීදේවිය පරිත්‍යාග කරත් මැ මහපොළෝ කම්පා වුව.
6743. මද්‍රී දේවී (රොෂයෙන්) මුව නො හැකිළූ යැ. දුර්මුඛ නො වූ යැ, නො හැඬූ යැ. මියෙන් නො බැණැ තෙල වෙසතුරු රජ මට යම් වෘද්ධියක් ඇත් ද එය දනී යි ඔහු මුහුණ බලමින් මැ සිටියා.
6744. (මා පුතු) ජාලිය ද දුහිතෘ කෘෂ්ණාජිනා ද පතිනි මද්‍රී දේවිය ද බුදු බව මැ පිණිස ත්‍යාග කරනුයෙම් නො සිතීමි.
6745. දෙදරුවෝ මට ද්වේෂ්‍ය (අප්‍රිය) නො වෙති . මද්‍රී දේවිය ද ද්වේෂ්‍ය නො වෙයි. (ඔවුනට වඩා) සර්‍වඥ බව මට ප්‍රිය වෙයි. එ හෙයින් මම ප්‍රිය වූ අඹුදරුවන් දින්මි.
6746. කුමරී වූ මම යමක්හට භාර්‍ය්‍යා වූමු ද ස්වාමි වූ තෙපි මට ඉසුරු වව. යමක්හට දෙන කැමැත්තවු නම් ඔහට මා දෙනු මැනැවැ. (ධන කැමැත) විකුණත් මැනැවැ (මස් කැමැත) මරත් මැනැවි.
6747. සක්දෙව් රජ ඔවුන්ගේ අදහස් දැනැ තෙල වදන් කී: යම් දිව්‍ය වූත් යම් මානුසිකවූත් (සැපත් වළහන මාත්සර්‍ය්‍ය සංඛ්‍යාත) පසමිතුරු කෙනෙක් වූ නම් ඒ හැමදෙන (අඹුදරුවන් දෙන) තොප විසින් දිනන ලදහ.
6748. තොප විසින් පෘථිවී නින්නාද කරවනලද, කිත්ගොස දෙව්ලොවට ගියේ යැ, අකල් විදුලිය හිමවත සිසාරා ගියා යැ, පර්‍වතයන්ගේ මෙන් පිළිරැව් නැඟිණ.
6749. තොපගේ ඒ දන නාරද යැ පර්‍වත යැ යන දෙනිකායයෙහි දෙවියෝ අනුමෝදන් වෙති. ඉන්‍ද්‍ර යැ බ්‍රහ්ම යැ ප්‍රජාපතී යැ සෝම යැ යම යැ යන දෙවිවරු ද වෙසවුණු මහරජ ද අනුමෝදන් වෙති. එ වෙසතුරු රජ දුෂ්කරයක් කෙරෙයි කියා හැම දෙවියෝ අනුමෝදන් වෙත්.
6750. අසත්පුරුෂයෝ වනාහි නො දියහැකි දැය දෙනුවන් නො කටහැකි කිස කරනුවන් අනුකරණය නො කෙරෙති. සත්පුරුෂයන්ගේ ධර්‍මය (අදහස්) සිතා නො දතහැකි.
6751. එ හෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙලොවින් සැවැ පරලෝගමන් වෙන් වෙන් වෙයි. අසත්පුරුෂයෝ නිරෑ යෙති. සත්පුරුෂයෝ ස්වර්‍ගපරායණ වෙත්.
6752. යම් හෙයකින් වෙනෙහි වෙසෙමින් දරුවන් දිනි ද අඹුව දිනි ද (එයින් නිපන්) තෙල බ්‍රහ්මයානය අවා බිම් නො බැසැ ස්වර්‍ගයෙහි තොපට විපාක දේවා.
6753. සර්‍වඞ්ගශෝභන වූ මද්‍රී දේවිය භවත්හට භාර්‍ය්‍ය කොට දෙමි. මද්‍රී බිසවට තෙපි මැ නිසියහු, මද්‍රී ද හිමියා හා වසන්නට නිස්ස.
6754. යම්සේ කිරි ද ධොත සංඛය ද දෙක සම පැහැ ඇත්තාහු ද එ සෙයින් මැ තෙපි ද මද්‍රී ද (ආචාරාදීන්)සම වූ සිතින් යුක්ත වව.
6755. මව්පිය දෙපසින් සුජාත වූ ගෝත්‍රයෙන් සමෘද්ධ වූ ක්‍ෂත්‍රිය වූ තෙපි දෙදෙන රටින් නෙරනලදහු මේ වෙනෙහි අසපුවෙකැ වාස කරවු. යළි යළි දන්දෙමින් පොහෝනා පමණින් පින් කරව.
6756. මම දෙවියනට අධිපති සක්දෙව් රජ වෙමි. තොප සමීපයට අයිමි. රාජර්ෂිය, කැමැති වරයක් අයදුව, තොපට අටවරයක් දෙමි.
6757. හැම දෙවියනට අධිපති සක්දෙව්රජුනි, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් මා පියෙ මේ වෙනෙන් සියගෙට පැමිණීම පිළිගනීවා. සිහසුනෙන් පවරාවා. මේ වරය පළමු කොට ඉල්ලමි.
6758. පුරුෂයක්හට වධ රුචි නො කෙරෙම්වා. දරුණු කම් කළ වධයට පැමිණවියැ යුත්තා ද වධයෙන් මුදනෙම්වා. මෙ වරය දෙවනු කොට ඉල්වමි.
6759. යම් මහලු මිනිස් කෙනෙක් ඇද්ද, යම් ළදරු කෙනෙක් ඇද්ද, යම් මධ්‍යම පුරුෂ කෙනෙක් ඇද්ද, එ හැම දෙනා මා නිසා මැ ජීවත් වෙත්වා. මේ වරය තුන්වනු කොට ඉල්වමි.
6760. පරඹුවන් කරා නො යෙම්වා. ස්වදාර සන්තෝෂයෙහි නියැලෙම්වා. මාගමුන් වශයට නො යෙම්වා. මේ වරය සතරවනු කොට ඉල්වමි.
6761. සක්දෙව්රජුනි, මට පුතෙක් උපදීවා, හේ ද දීර්‍ඝායු ඇති වේවා. පෘථිවිය දැහැමින් දිනාවා (රජ කෙරේවා). මේ වරය පස්වනු කොට ඉල්වමි.
6762. මා ජයතුරා නුවරට පැමිණි ඉක්බිති රෑ අවසන්හි හිරු උදාවත් මැ දිවබොජුන් පහළ වේවා. මේ වරය සවනු කොට ඉල්වමි.
6763. මා දන් දෙත් මැ ක්‍ෂය නො වේවා. මම දන් දී නො පසුතැවෙම්වා. දෙමින් සිත පහදවම්වා. මේ වරය සත්වනු කොට ඉල්වමි.
6764. මම මේ ජාතියෙන් මිදෙනුයෙම් (තුසීපුරවදනා) වෙසෙස් ගමන් ඇති වැ සුගති ගමන් ඇති වෙම්වා. ඉක්බිති භවයෙහි පුනර්‍භව නැතියෙක් (බුදු) වෙම්වා. මේ වරය අටවනු කොට ඉල්වමි.
6765. ඒ වෙසතුරුහුගේ එ තෙපුල් අසා සක්දෙව්රජ තෙල තෙපුල් කී: තොපගේ පියමහරජ නොබෝ කල්හි තොප දක්නට එන්නේ යැ යි.
6766. සුජා දෙවඟනගේ හිමි වූ ‘මඝ’ නම් සක්දෙව්රජ මෙ වදන් කියා වෙසතුරු රජහට වර දී දෙව්ලොවට ගියේ යි.
ශක්‍ර පර්‍වය යි.
6767. ගින්නෙන් තවන ලද රත්රන් සෙයින්, උදුනෙහි ලා පැහැ නැඟු රන්කොඬොලක් සෙයින් තෙල කවරක්හුගේ මුහුණ බබළා ද?
6768. දෙදෙනා මැ සමාන අඟ පසඟ ඇතියහ, දෙදෙනා මැ සමාන ලක්‍ෂණ ඇතියහ, එකෙක් ජාලිය සමාන යැ, එකක් කෘෂ්ණාජිනා වැන්න.
6769. දෙදෙනා මැ ඔවුනොවුන්ට සමාන රූ ඇතියාහු ගුහායෙන් නික්මුණු සිහපොවුවන් වැනියහ. මේ දරුවෝ රනින් මවන ලද්දවුන් සේ පැනෙති.
6770-6771. භවත් බමුණ, අද මෙ රටට පැමිණි ඔබ කොහි සිට එන්නෙහි ද? මේ දෙදරුවන් කොහි සිට ගෙනෙහි ද? සඳමහරජතුමනි, මේ දරුවෝ මට පහන් වූවකු විසින් දෙනලදහ, මේ දරුවෝ යම් දවසෙකැ මට දෙන ලද්දාහු ද එතැන් පටන් අද පසළොස්වන රාත්‍රිය යි.
6772. බමුණ, තා විසින් කවර නම් ප්‍රියවචනයෙන් ලබන ලදහු ද? සත්‍ය කරුණෙන් (අප) හදහව. කවරෙක් තට තමා දරුවන් උතුම් දැන් කොට ඒ දන් දිනි ද?
6773. යමෙක් සත්නට මහපොළොව සෙයින් යදියනට පිහිට වී ද එ වෙසතුරු මහරජ වෙනෙහි වසනුයෙ තමා දරුවන් මට දින.
6774. යමෙක් නදීනට සාගරය මෙන් යදියනට පිහිට වී ද, එ වෙසතුරු මහරජ වෙනෙහි වසනුයෙ තමා දරුවන් මට දින.
6775. භවත්නි, සැදැහැති ගිහිගෙයි විසියටි රජහු විසින් එකත්නෙන් අයුක්තියක් කරනලද, රටින් නෙරනලදු වැ වෙනෙහි වසනුයෙ කුමට දරුවන් දෙන්නෙ යැ?
6776. භවත්නි, මෙහි යම්තාක් දෙනා රැස්වූහු ද එහැමදෙනා මේ අසවු. වෙසතුරු රජ වෙනෙහි වසනුයෙ කුමට දරුවන් දිනි ද?
6777. හෙ දාසියක ද දාසයකු ද අශ්වයකු ද අශ්වතරයන් යෙදූ රියක් ද දේවා, උතුම් ඇතකුදු දේවා, හෙ කුමට දරුවන් දෙන්නෙ යැ යි.
6778. මුත්තණුවෙනි, යමක්හට ගෙහි දසෙක් හෝ අසෙක් හෝ උතුම් අසුන් යෙදූ රියෙක් හෝ ගැඹුරු හඬ ඇති උතුම් ඇතෙක් හෝ නැත් නම් හේ කුමක් දෙන්නෙ යැ?
6779. දරුවනි, ඔහුගේ දන් පසසම්හ, තොප යදියාට දී ඔහු ළය කෙසේ වී දෝ හෝ?
6780. ඔහුගේ ළය (කන්සිරා කී වදනින්) දුක් වී, ඒ මතු නො වෙයි. මීයෙන් උණු උඩුහුරු නළ විහිට. රෙහෙණ නැකත් සෙයින් තඹ පැහැ ඇස් ඇති මා පියෙ කඳුළු හෙළී.
6781. කන්සිරා මෙසේ යම් වදනක් කිවූ ද, “පියාණෙනි, මෙ බමුණු ගෙහි උපන් දැස්සකට මෙන් මට පහර දෙයි.
6782. පියාණෙනි, මෙ බමුණෙක් නො වෙයි, බමුණෝ දැහැමි වෙති. පියාණෙනි, යකෙක් බමුණු වෙසින් අප කන්නට ගෙන යයි. පියාණෙනි, යකෙකු විසින් ගෙන යනු ලබන කල්හි කුමට උපේක්‍ෂායෙන් බලා සිටිවු දැ?” යි.
6783. තොප මවු රාජපුත්‍රී යැ, තොප පියෙ රාජපුත්‍ර යැ පෙර මාගේ ඇකයෙහි නැඟී හිඳුව, කිම දැන් දුරැ සිටිවු ද?
6784. අපගේ මවු රාජපුත්‍රී යැ, අපගේ පියෙ රාජපුත්‍ර යැ දැන් අපි බමුණහුගේ දාසයෝ වම්හ. එහෙයින් දුරැ සිටුම්හ.
6785. සබඳ එසේ නහමක් කියව. මාගේ ළය දැවෙයි. මාගේ සිරුර අඟුරු රැසකට නැඟු කලක් වැන්න. හුනස්නෙහි සුව නො ලැබෙම්.
6786. සබඳ එසේ නහමක් කියව. බෙහෙවින් මට සෝ දනවවු. ධන දී විකිණිගන්මි, තෙපි දස් නො වවු.
6787. දරුවෙනි, තොප පියෙ තොප කොතෙක් අගය කොට මෙ බමුණුහට දින් ද? සබවස මැ කියව, බමුණුහට ධනය ප්‍රතිපාදන කෙරෙත්වා.
6788. මුත්නාවෙනි, මා පියෙ මා දහසක් අගය කොට බමුණුහට දින. කනිටු කෘෂ්ණාජිනා කන්‍යාව ඇතුන් සියයෙන් ද අශ්වාදී හැම සියයෙන් ද අගය කෙළේ.
6789. කාරිය කරවන ඇමැතිය, නැඟී සිටුව. යුහු වැ (මෝහට) දියැයුතු තාක් දෙව. දැස්සන් සියයකුදු දසුන් සියයකුදු ඇතුන් සියයකුදු ගොනුන් සියයකුදු දෙනුන් සියයකුදු රන්නික දහසකුදු දරුවනට නිෂ්ක්‍රිය (විකිණීගත් මිල) දෙව.
6790. ඉක්බිති කාරිය කරවන ඇමැති යුහු වැ දැසුන් සියයකුදු දසුන් සියයකුදු ඇතුන් සියයකුදු ගොනුන් සියයකුදු දෙනුන් සියයකුදු රන්නික දහසකුදු දරුවනට නිෂ්ක්‍රය දින.
6791. දරුවන් නිසේ කොට ගෙන නහවා වළඳවා අලංකාරයෙන් සදා ඇකයෙහි හිඳුවූහ.
6793. මුන්නා මහරජ හිසින් ස්නාන කළ, පිරිසිදු වස්ත්‍ර හැඳි, සව්බරණින් සැදි දරුවන් ඇකයෙහි හිඳුවාගෙන පිළිවිසි.
6794. රජ තෙම රැව්දෙන කොඬොල් ඇති, පැළැඳි මල්දම් ඇති, සව්බරණින් සදනලද දරුවන් ඇකයෙහි හිඳුවාගෙන මෙවදන් කී:
6795. කියග ජාලිය, තොපගේ මවුපිය දෙදෙන නිරෝගී ද? කිම වනමුල් පලයෙන් යැපෙත් ද? කීම අල හා පලවැළ බොහෝ ඇත් ද?
6796. කිම මැසිමදුරුවෝ සර්‍පයෝ අල්ප මැ වෙත් ද? කිම ව්‍යාලමෘගයන්ගෙන් ගැවැසිගත් වනයෙහි ඔවුනට පීඩා නැත් ද?
6797. එසේ යැ දේවයිනි, මාගේ මවුපිය දෙදෙන නීරෝගී වෙති. එසේ මැ වනමුල් පලවැළයෙන් යැපෙති. එසේ මැ අල හා පලවැළ බොහෝ ඇත.
6798. එසේ මැ මැසිමදුරුවෝ ද සර්‍පජාතීහු ද අල්ප මැ වෙති. වල්මුවන්ගෙන් ගැවැසිගත් වෙනෙහි ඔවුනට පීඩා නැත.
6799. ඒ මවු තොමෝ අල ද හූරුඅල ද කටුඅල ද කොකටිය අල ද කණිමින් ඩෙබරපල ද බදුලුපල ද බෙලිපල ද ගෙනවුත් අප පෝෂණ කරයි.
6800. වනමුල් පල ගෙන එන ඒ මවු යම් මැ දැයක් ගෙන ඒ ද අපි හැම දෙනමෝ එක් වැ එය රාත්‍රියෙහි වළඳම්හ. දහවල් නො වළඳම්හ.
6801. අපගේ අම්මා ද සියුමැලි වූවා රුක්පල ගෙන එන්නී අවුසුළඟින් වැහැරැ සුදු වැ ගියා. අතින් මැඩි පියුමක් වැන්න.
6802. ව්‍යාලමෘගයන්ගෙන් ආකීර්‍ණ වූ කගවෙහෙණුන් දිවියන් විසින් නිති සෙවුනාලද මහවනයෙහි ඇවිදුනා අම්මාගේ කෙස් ඉතා තුනී වැ ගියේ යැ.
6803. කෙස්හි දළමඬුලු බැඳැ සිටී. දෙකිසිලි දැලි ධරයි. සම් හඳනී යැ. බිම හොවී. ගිනි පුදයි.
6804. ලොව්හි මිනිසුනට දරුවෝ ප්‍රිය වැ උපදිති. අපගේ මුත්නාවන්ට දරුසනා නූපන් වනැ යි සිතම්හ යි.
6805. දරුව, අප විසින් නපුරක් කරනලද, මා විසින් අභිවෘද්ධිය නසන ක්‍රියාවක් කරනලද. ඒ මම සිවිරටවැසියන්ගේ බසින් නිදොස් පුතු රටින් නෙරැපීමි.
6806. පුත, මෙහි මා සතු යම් කිසිවක් ඇද්ද, ධනධාන්‍යයක් ඇද්ද, එ හැම දෙමි. වෙසතුරු රජ ඒවා. සිවිරට අනුශාසනා කෙරේවා.
6807. දේවයිනි, සිවිරටවසියන් කෙරෙහි උතුම් වූ වෙසතුරු රජ මාගේ බසින් නො එයි. දේවයෝ තුමූ මැ ගොස් පුතණුවන් භෝගයෙන් අභිෂේක කරව.
6808. ඉක්බිති සඳමහරජ සෙනෙවිහට මෙසේ කී: ඇත් අස් රිය පාබළ සේනාවෝ සන්නද්ධ වෙත්වා. නිගමවැසියෝ ද පෙරෙවි බමුණෝ ද මා අනු වැ එත්වා.
6809. ඉක්බිති මනහර දසුන් ඇති සැටදහසක් යෝධයෝ සන්නද්ධ වැ නන් පැහැයෙන් සැරසුණාහු වහා එත්වා.
6810. ඇතැම් කෙනෙක් නීලවස්ත්‍රධර වැ ඇතැම් කෙනෙක් පීතවස්ත්‍රධර වැ අන්‍යයෝ රක්තවර්‍ණ උෂ්ණීෂ (නළල්පට) ධර වැ ඇතැම් කෙනෙක් ශ්වේතවස්ත්‍රධර වැ මෙසේ නන් පිළියෙන් සැරසුණාහු සන්නද්ධ වැ නො ලස් වැ එත්වා.
6811. සුවඳ මල්පල ඇති එ හෙයින් මැ ‘ගඳමහන්’ නම් ඇති නොයෙක් රුකින් වැසුණු යක්‍ෂ රාක්‍ෂසාදි මහාභූතගණයාට නිවාස වූ හිමවත් පර්‍වතය යම් සේ-
6812. දිවඔසුයෙන් දිසා බබළා ද සුවඳ හමා ද එ සෙයින් සන්නද්ධ වූවාහු යුහු වැ එත්වා. පළන් අබරණින් දිසා බබළත්වා තවරගත් විලවුන් සුවඳ හමත්වා.
6813-6814. ඉක්බිති රන්පොරොදු ඇති මහත් ශරීර ඇති රන්සැනින් සදනලද, අඩයටි හා අකුසු ගත්අත් ඇති ඇතරුවන් විසින් අරා හිඳුනාලද තුදුස්දහසක් ඇතුන් යොදත්වා. දක්වනලද විභූෂණ ඇති සන්නද්ධයෝ ඇත් කඳටින් යුහු වැ එත්වා.
6815-6816. ඉක්බිති දුනු හී ධරන අසරුවන් විසින් අරා හිඳුනා ලද ජාතියෙන් ආජානේය වූ සින්‍ධුදේශයෙහි උපන් ශීඝ්‍රවාහන වූ තුදුස්දහසක් අසුන් යොදත්වා. අලංකෘත වැ සන්නද්ධ වූවාහු අස්පිටින් යුහු වැ එත්වා.
6817. ඉක්බිති අය ලොහොයෙන් මොනවට කරනලද නිම්වළලු ඇති, රන්කම් කළ රථාවයව ඇති, තුදුස්දහසක් රිය යොදත්වා.
6818. ඒ රියෙහි ධ්වජ නඟත්වා, ඵලකායුධ හා සන්නාහයන් ආරෝපණ කෙරෙත්වා, පහර දෙන දුනුවායෝ දුනු දිය නඟත්වා, රියැදුරෝ සන්නද්ධ වැ රියෙහි හිඳ වහා එත්වා’ යි (අණ කෙළේ).
6819. ඉස්නා ලදපස්මල් ද (මඟ වියනැ එල්වන) මල්දම් හා සුවඳවිලෙවුන් ප්‍රතිපාදන කරව. (වෙසතුරා) යම් මඟෙකින් ඒ ද එමඟැ මල් ඇගෑ රුවන් ඇගෑ ද සිටීවා.
6820. යම් මඟෙකින් ඒ ද එමඟැ ගම්දොරක් පාසා රහමෙර පිරූ සියක් කළ තිබේවා.
6821. යම් මඟෙකින් ඒ ද එමඟැ මස් ද පූ ද සකුලු පූ (ආස්මී) ද මසින් යුතු කොමු ද තිබේවා.
6822. යම් මඟෙකින් ඒ ද එමඟැ ගිතෙල් ද තලතෙල් ද දිහි ද කිරි ද තණපිටියෙන් හා වීපිටියෙන් කළ බොහෝ සුරා ද තිබේවා.
6823. බත් පිසන්නෝ ද මාළු පිසන්නෝ ද නටන්නෝ ද නටා ගීකියන්නෝ ද අත්තල එළනුවෝ ද කළබෙර වයනුවෝ ද මුණ්ඩකයෝ ද ශෝක දවනුවෝ ද (නසනුවෝ) ද එත්වා.
6824. හැම වීණා ද උඩස් බෙර ද ගැටබෙර ද වයනු ලැබේවා. දකුණුවත්සක් පිඹිත්වා. පුෂ්කරවාද්‍ය වයත්වා.
6825. මිහිඟුබෙර ද පනාබෙර ද ජයසක් ද රොදුබෙර ද පොකුරුබෙර ද මහබෙර ද ලොහො මුවවිටි ඇති තුනැස්බෙර ද වයත්වා.
6826. ගමන්ගත්, සිවිරජහු උසුලන එ සෙනඟ මහත් වී මඟ කියන ජාලිය හා සමග වඞ්කගිරියට නික්මිණ.
6827. මහත් සිරුරු ඇති ගැඹුරුහඬ ඇති සැට හවුරුද්දෙන් පිරිහෙන බල ඇති ඇත්රජ රන් පොරොදු බඳනා ලබන කල්හි කුඤ්චනාද කරයි.
6828. අජානීය අශ්වයෝ කිල නැඟූහ. (හේසාරව කළහ.) නිම්වළලු හඬ උපන. ධූලි අහස වැසී යැ සිවිසෙන් ගමන්හි යෙදුණු.
6829. ගමන්හි යෙදුණු නිල්තනබිම් හරනා ඒ සේනාව මහත් වූ. එ සෙනඟ මාර්‍ගනායක ජාලිය කුමරු හා සමග වඞ්කගිරියට පිටත් වැ ගියෙ යැ.
6830. ඔහු බොහෝ ශාක ඇති බොහෝ දිය ඇති මල් රුකින් ද පලරුකින් ද වැසුණු මහවනයට වන්හ.
6831. ඒ වෙනෙහි වට වූ (නො විසුළ) ස්වර ඇති මියුරු හඬ ඇති නන් වන් බොහෝ සියොත්හු ඍතු සමයෙහි පිපි රුක්හි හිඳ කුල්නවුන් අනු වැ කුල්ති.