6631. බැඳැගෙනයනු ලබන ඒ ජාලිය කෘෂ්ණාජිනා දෙකුමරහු බමුණා අතින් මිදී ඒ ඒ තන්හි දිවගියහ.
6632. ඉක්බිති එ බමුණු රැහැන ගෙන දණ්ඩක්ද ගෙන සිවි රජහු බලා සිටිය දී තළමින් ඔවුන් දෙදෙනා ගෙනයයි.
6633. කෘෂ්ණාජිනා ඒ පියරජහට මෙ තෙපුල් කිවු: පියාණෙනි, මෙ බමුණු තමා ගෙහි උපන් දැස්සකට මෙන් වැල්කොනින් පහර දෙයි.
6634. පියාණෙනි, මෙ බමුණෙක් නො වෙයි, බමුණෝ දැහැමි වෙති. පියාණෙනි, යකෙක් බමුණු වෙසින් අප කන්නට ගෙන යයි. පියාණෙනි, යකකු විසින් ගෙනයනු ලබන කල්හි කුමට උපේක්‍ෂාවෙන් බලන්නහු ද?
6635. අපගේ මේ පතුල්සුඟු රිදෙයි. මඟ ද දිගැ, ඉතා දුදුලැ. හිරුදු පහත එල්බෙයි. (බැස යයි) මෙ බමුණුදු අප වෙලෙවි කෙරෙයි.
6636. පර්‍වතයෙහි උපන් දෙවියන් ද වෙනෙහි උපන් දෙවියන් ද යටහත් වැ හඬගා යදුම්හ. මෙ විල් අරක්ගත් දෙවියන් ද මුදුනින් වඳුම්හ. මනා තොට ඇති නදියෙහි උපන් දෙවියන් ද වඳුම්හ.
6637. තෘණ දෙවියනි, ලිය දෙවියනි, ඕසධී දෙවියනි, ගිරි දෙවියනි, වන දෙවියනි, අම්මාට අප අරෝග බව කියව. මෙ බමුණු අප මරමින් ගෙන යයි.
6638. භවත්නි, ඉදින් අප ලුහුබැඳැ ඉයටි වූහු නම් “වහා අප අනුව යවයි” අප මෑණියත් මද්‍රීදේවීන්ට කියත්වා.
6639. මේ එක්පියමඟ අප කරා එයි. ඍජු වැ අසපුවට යෙයි. එ හසර මඟ මැ අනුව යව. ඔවුන් වහා දක්නෙහි නම් මැනැවැයි කියව.
6640. අහෝ පරිහානියෙකි. දළමඬලු ඇත්තිය, වනමුල්පල ගෙනෙන්නිය, අප නැති හිස් අසපුව දැකැ එ තොපට දුක් වන්නෙ යැ.
6641. යමෙක් අප ගෙරින් සෙයින් මරා ද ඒ ඉතා රුදුරු වූ ධනය සොයන බමුණා විසින් බඳනාලද අප තතු යම් මවක් නො දනී ද ඒ මව විසින් වේලා ඉක් මැ නො මඳ අලපල ලබන ලද වන.
6642. අලමුල් පලවැළ නෙළාගෙන සවස වලින් ආ මව අද දක්මෝ නම් යෙහෙකි. අම්මා දඬුයෙල්බෑ මීයෙන් හැනූ පලවැළ මේ බමුණුහට දෙන්නී යැ.
6643. එසඳ පලවැළ වැළඳු එහෙයින් මැ සුහිත වූ මෙ බමුණු අප වෙලෙවි වැ නො ගෙනයන්නෙ යැ. අපගේ පාදයෝ ඉතා ඉදිමැ ගියහ. මෙ බමුණු අප වෙලෙවි වැ ගෙනයයි කියා මවට ලොල් වූ කුමරහු එ මඟ වැලැපියෝ.
කුමාර පර්‍වය යි.
6644. ඒ දරුවන් දෙදෙනාගේ විලාප අසා (වනදෙවියෝ) දෙව්පුතුන් තිදෙනකුන්ට මෙ වදන් කීහු: තෙපි සිහ, වග, දිවි යන වනවැසි සැඩමුව වෙස් ගනුව.
6645. අපගේ රදූ සවසැ වලින් නහමක් යේවා, අප නිති වළඳනා වෙනෙහි සැඩ මුවෝ ඇය නහමක් පෙළත්වා.
6646. සිංහයෙක් හෝ ව්‍යාඝ්‍රයෙක් හෝ දිවියෙක් හෝ ඒ සිරිමතිය (ඉදින්) වෙහෙසී නම් ජාලිය කුමර නො මැ පවත්නෙ යැ කෘෂ්ණාජිනා කොයින් පවත්නී ද? එ බිසෝ සිරිමතී ස්වාමියා ය දෙදරුවනැ යන දෙකොටසකින් මැ පිරිහෙන්නී යැ. (එයින් තෙපි මනා කොට ඇය රකුවයි) කීහු.
6647. මා අතින් ඛණිත්තිය (අල කණන හුල) ගිලිහෙයි. දකුණැස ද සැලෙයි. පල ඇති රුක් පල නැතියන් වැන්න. මට හැම දිසාවෝ මුළා වැ පැනෙති.
6648. ඒ මා සවස් වේලෙහි හිරු අස්තයට ගිය කල්හි අසපුව බලා එන කල්හි සැඬ සිවුපාවෝ පෙරමඟ නැඟී සිටියහ.
6649. හිරු ද පහත එල්බෙයි. අසපුව ද ඉතා දුරැ වෙයි, ඔවුනට යමක් මෙයින් ගෙන යම් ද ඔවුහු එ බොජුන් වළඳනාහ. (අන් බොජුන් නැති.)
6650. එ රජ මා නො එන්නා දැකැ හඬන සාගිනි ඇති දරුවන් සනහමින් පන්සල්හි එකලා වැ හිඳිනෙ යයි සිතම්.
6651. බැගෑ වූ පින් නැති මාගේ ඒ දරුවෝ සවසැ බොජුන් වේලෙහි කිරිබොන දරුවන් (කිරි නො ලැබ නිදන) මෙන් නිදතී සිතම්.
6652. බැගෑ වූ පින් නැති මාගේ ඒ දරුවෝ සවසැ බුදුනා වේලෙහි පැනට හඬා නො ලැබ නිදනුවන් මෙන් නිදතී සිතම්.
6653. බැගෑ වූ පින් නැති මාගේ ඒ දරුවන් මවුදෙන පෙර මඟට අවුත් සිටුනා බාල වස්සන් මෙන් මා පෙරමඟට අවුත් සිටිතී සිතම්.
6654. බැගෑ වූ පින් නැති මාගේ ඒ දරුවෝ විල් පිට හංස පෝතකයන් මෙන් මා පෙරමඟට අවුත් සිටිතී සිතම්.
6655. බැගෑ වූ පින් නැති මාගේ ඒ දරුවෝ අසපු අබියෙස්හි මා පෙරමඟට අවුත් සිටිතී සිතම්.
6656. එක්පියමඟෙකැ, හෙ ද එක් මැ මඟෙකැ, දෙපසැ විල් හා හෙල් යැ. යම් මඟෙකින් අසපුවට යන්නෙම් නම් එබඳු අන් මඟක් නො දකිමි.
6657. වෙනෙහි මහබල ඇති මුවරජහට නමස්කාර වේවා, දැහැමින් මට සොහොයුරෝ වවු. මා විසින් අයදනාලද තෙපි මට මඟ (අවකාශ) දෙවු.
6658. මම රටින් නෙරනාලද සිරිමත් වෙසතුරු මහරජහු අඹු වෙමි. මම ඔහු රාමරජහට අනුගත වූ සීතා දේවිය මෙන් ඉක්ම (අනිකකු) නො සිතමි.
6659. තෙපිදු (මට මඟ පියා) සවස ගොදුරු ගන්නා වේලෙහි තොප දරුවන් බලවු. මමද දැලිසිරු කන්සිරු දෙදරුවන් දක්නෙමි.
6660. මෙ අල හා පලවැළ බෙහෙව. මෙ කෑයුතු දෑ අනල්ප යැ. ඉන් අඩක් තොපට දෙමි. මා විසින් අයදනාලද තෙපි මට මඟ අවසර දෙව.
6661. අප මවු රදූ යැ අප පියෙ රජ යැ (තෙපි මට) දැහැමින් සොහොයුරු වව. මා විසින් අයදනාලද තෙපි මට මඟ අවකාශ දෙව.
6662. වලප්නා වූ ඇගේ බැගෑ බැවින් මුසු බොහෝ වූ මියුරු තෙපුල් අසා සැඬ මුව වෙස් ගත් දෙව්පුත්හු මඟින් පහ වැ ගියෝ.
6663. පස් වැකුණු සිරුරු ඇති මා දරුසිඟිත්තෝ මවුදෙන පෙරමඟට ආ බාල වස්සන් මෙන් මා පෙරමඟට ආවාහු (පෙර) මෙ තන්හි සිටිති.
6664. පස් වැකි ගත් ඇති දෙදරු බිළිඳුහු විල්පිට හස්පොවුවන් මෙන් මා පෙරමඟට ආවාහු පෙර මෙ පෙදෙසැ සිටිති.
6665. පස් තවරගත් සිරුරු ඇති දෙදරුසුඟහු, මා පෙරමඟට ආවාහු අසපු අබියෙසැ මෙ තන්හි සිටිති.
6666. ඒ දෙදරුවෝ (මව පෙරමඟට එන) කන් හුවාගත් මුවපොවුවන් මෙන් මා දැකැ තුටු වූවාහු ප්‍රමුදිත වූවාහු අවටින් දුවනුවෝ පනනුවන් මෙන් මාගේ ළය සලති. ඒ ජාලිය කෘෂ්ණාජිනා දෙදරුවන් අද නො දක්මි.
6667. පැටවුන් පියා ගොදුරට ගිය එළු දෙනක මෙන් මුව පෙල්ලක මෙන් කැදැල්ල පියා ගිය කිරිල්ලක මෙන් ගොදුරට ගිජු වූ සිහ දෙනක මෙන් දරුවන් පියා (ආහාර සොයා) නික්මුණමු. ඒ මම ජාලිය කෘෂ්ණාජිනා දෙදරුවන් අද නො දක්මි.
6668. පර්‍වතයෙහි ඇතුන්ගේ පිය සටහන් සෙයින් මේ ඔවුන් කෙළැ ඇවිදි පියසටහන් පැනෙයි. අසපුව අබියෙසැ (ඔවුන් රැස් කළ) වැලිසෑයෝ විසූළහ. ඒ දැලිසිරු කන්සිරු දෙදෙන අද නො දක්මි.
6669. පස් තවරගත් වැල්ලෙනුදු ගැවැසිගත් දරුවෝ මා සිසාරා දිවයෙති. ඒ දරුවන් නො දක්මි.
6670. පෙර දවස් යම් දරු කෙනෙක් වලින් එන මා දුරැදී මැ දැක පෙරමඟට එත් ද අද ඒ දැලිසිරු කන්සිරු දෙදරුවන් නො දක්මි.
6671. (ඔහු පෙර දවස්) අසපුවෙන් පෙරමඟට අවුත් මවු එළු දෙන මුව දෙන බලා සිටුනා පැටවුන් මෙන් දුරැ සිටැ මා බලති. ඒ දරුවන් නො දක්මි.
6672. මෙ ද ඔවුන් කෙළිබඬු වූ ගිලිහී වැටුණු විලිකුන් බෙලිපල යැ. ඒ දැලිසිරු කන්සිරු දෙදරුවන් අද නො දක්මි.
6673. මාගේ මෙ දෙතන කිරෙන් පිරුණහ. ළය පැළෙනු වැන්න. ඒ දැලිසිරු කන්සිරු දෙපුතුන් අද නො දක්මි.
6674. එකෙක් මා හිණ සොයයි. එකෙක් තනය එල්බගනියි. ඒ දැලිසිරු කන්සිරු දෙදරුවන් අද නො දක්මි.
6675. යම් දරු කෙනෙක් පස් වැකි සිරුරු ඇති වැ සවස් වේලෙහි මාගේ ඇකයෙහි පෙරැළෙත් ද ඒ දරුවන් නො දක්මි.
6676. පෙර දවස් (යම් අසපුවක්) කෙළිමඬුල්ලක් මෙන් මට වැටහුණේ වේ ද මේ ඒ අසපුවයි. අද ඒ දරුවන් නො දක්නා මට අසපුව භ්‍රමණය වන්නාක් මෙනි.
6677. මෙ කිමෙකැ? අසපුව නිහඬ වැ මෙන් මට වැටහෙයි. වන කවුඩෝ ද නො හඬති. මාගේ දෙදරුවෝ මළාහු දෝ හෝ.
6678. මෙ කිමැ? අසපුව නිහඬ වැ මෙන් මට වැටහෙයි. සියොත්හු ද නො හඬති. මාගේ දරුවෝ මළාහු හෝ?
6679. මෙ කිම? නිහඬ වූයෙහි මාගේ සිත (සිහින දුටු) රාත්‍රියෙහි මෙනි. වනකවුඩෝ ද නො හඬති. මාගේ දරුවෝ මළහ හෝ?
6680. මෙ කිම? නිහඬ වූයෙහි මාගේ සිත සිහින දුටු රැයැ මෙනි. සියොත්හු ද නො හඬති. මාගේ දරුවෝ මළහ හෝ?
6681. කිම හෝ හිමිසඳිනි, මාගේ දරුවෝ සැඬ සිවුපාවෝ කෑහු ද? නිරොජ වූ ජනශූන්‍ය වූ අරනෙහි මාගේ දරුවෝ කවරකු විසින් ගෙන යන ලද්දාහු ද?
6682. නොහොත් තොප විසින් දූතමෙහෙ කොට යවන ලද්දාහු ද? නොහොත් ප්‍රිය තෙපුල් ඇති දරුවෝ නිදිගත්තාහු ද? නොහොත් ඔහු ක්‍රීඩායෙහි යෙදී බැහැරැ ගියාහු ද?
6683. ඔවුන්ගේ අඳුන්වන් කේශයෝ නො පැනෙති. ජාලාවනද්ධ අත්පා ද නො පැනෙත් මැ යැ. ලිහිණි කෙනෙකුන්ගේ බැස්මෙක් හෝ වී ද? මාගේ දරුවෝ කවරක්හු විසින් ගෙන යනලද වෙත් ද?
6684. අද ඒ ජාලිය කෘෂ්ණාජිනා දෙපුතුන් නො දකිම් ද, එදුකට වඩා (තොප නො බණන) මෙ දුක ඉතා දුකැ. හුලින් විදුනාලද වණයක් මෙනි.
6685. අද මම ඒ දෙදරුවන් නො දක්මි. තෙපි දු මා හා නො බණනුවහ. මෙ දෙවැනි හුල ද මාගේ ළය කම්පා කරවයි.
6686. රාජපුත්‍රයෙනි, අද මේ රෑ මා හා නො බණනවු නම් පහ වැ ගිය දිවි ඇති මා උදය මළ එකක දක්නවු යැ.
6687. යශස්වී මද්‍රී රාජපුත්‍රිය, උතුම් වළඟ ඇති තෙපි වනමුල් පලවැළ පිණිස උදය මැ ගියාහු නො? මෙ කිකරුණෙක. (වේලා ඉක් මැ) සවසැ ආවහු නො?
6688. යම් සිවුපා කෙනෙක් දිය බොන්නට විලට ආහු ද ඔවුනතුරෙන් තෙපි වෙසෙසින් නාද කරන සිංහයාගේ ද ව්‍යාඝ්‍රයාගේ ද (සෙසු සතුන්ගේ ද) ඒකනින්නාද හඬ නො ඇසූහු ද?
6689. මහවෙනෙහි සැරිසරන මට පෙර නිමිති පහළ වී, මා අතින් අල කණන හුල ගිලිහී වැටුණෙ යැ. දසරුයෙන් පලවැළ පැස ගිලිහී වැටුණෙ යැ.
6690. එසඳ මම කම්පිත වැ බියපත් වැ වෙන වෙන ඇඳිලි බැඳැ මෙයින් සෙත් වන්නෙ යැ යි සිතා හැම දිසා වැන්දමු.
6691. අප හිමි රජපිත් සිංහයකු විසින් හෝ දිවියකු විසින් හෝ නහමක් නැසේවා. දරුවෝ ද වලස් වෘක තරසුන් විසින් නහමක් නැසෙත්වා’ යි.
6692. සිහ යැ වග යැ දිවි යැ යන සැඩ වන සිවුපාවෝ තිදෙනෙකි. උහු මට මඟ ඇවිරූහ. එහෙයින් කල් ඉක් මැ සවසැ ආමු.
6693. මම දළමඬුලු දරන්නී බඹසර කරන්නී අතැවැසි මාණවකයෙක් ඇදුරක්හු මෙන් හිමිහට ද දරුවනට ද දවරැය නො පමාව මෙහෙ කළමු.
6694. දරුවනි, මම තොප කැමැත්තෙන් අඳුන්දිවිසම් පෙරෙවැ වනමුල් පලවැළ ගෙනයන්නී දවරැය ඇවිදිනමු.
6695. දරුවෙනි, (තොප නහන පිණිස) මෙ රන්වන් කසා කල්ක ගෙනෙනලද යැ. (තොප කෙළනට) රන්වන් බෙලිපල ගෙනෙන ලද යැ. රුක්හි විලිකුන් මිහිරි පල ද ගෙන ආමු. මෙ තොපට කෙළිබඬු යැ.
6696. මේ නෙලුඹුදැලි වළලු යැ ඕලු යැ පිඤ්ජර යුෂ යැ යන මේ ඇත. රජතුමෙනි, දඬුයෙල්බෑ මීයෙන් හනනලදු වැ දරුවන් හා එක් වැ වළඳ කරව.
6697. ජාලියහට පියුම දෙව. කුමරියට ඇඹුලමල දෙව, මල් පැළැඳැ නටන දරුවන් බලව. සිවිරාජයෙනි, දරුවන් කැඳව.
6698. රජතුමනි, ඉක්බිති මියුරු හඬ ඇති ලීලා ඇති කෘෂ්ණාජිනාව ද අසපුව කරා යන්නිය බලව.
6699. රටින් නෙරන ලද අපි දෙදෙනමෝ සමාන සුවදුක් ඇතියම්හ. සිවිමහරජුනි, ජාලිය කෘෂ්ණාජිනා දෙදරුවන් දුටුවහු ද?
6700. මම ලොව්හි බඹසර පිහිට කොට ඇති බොහෝ ඇසූ පිරූ තැන් ඇති සිල්වත් මහණුන් ද බමුණන් ද හැවූ වන්මි. එහෙයින් අද ඒ දැලිසිරු කන්සිරු දෙදරුවන් නො දක්මි.
6701. මේ ඒ (දරුවන් කෙළි බිමැ) දඹරුක් යැ. එලෙන අතු ඇති සිඳුවර යැ. නන් වැදෑරුම් රුක්දෑ යැ. ඒ කුමරුවෝ නො පැනෙති.
6702. මේ ඒ ඇසතු රුක් යැ, පනා රුක් යැ, නුග රුක් යැ, හෙළකිඳි ඇසතු රුක් යැ, නන් වැදෑරුම් පලරුක් දෑ යැ, ඒ කුමරුවෝ නො පැනෙති.
6703. පෙර යම් තැනෙකැහිඳ ක්‍රීඩා කෙරෙත් නම් මේ ඒ අරම් පවතී. මේ සිහිල් දිය ඇතු හොයා ද පවතී. ඒ කුමරුවෝ නො පැනෙති.
6704. පෙර යම් කුසුම ජාතීන් පැළඳියාහු ද මේ ගල් මුදුනෙහි ඒ විවිධ පුෂ්පජාති ඇත. ඒ කුමරුවෝ නො පැනෙති.
6705. පෙර යම් ඵල ජාතීන් වැළඳූහු ද මේ ගල් මුදුනෙහි ඒ විවිධ ඵලජාති ඇත. ඒ කුමරුවෝ නො පැනෙති.
6706. පෙර යම් පෙතැලිරුවින් ක්‍රීඩා කළාහු ද මේ ඒ ඇත් පෙතැලිරූ යැ, අස්පෙතැලිරූ යැ, මේ ඒ ගොන්පෙතැලි රූ ද ඇත. ඒ කුමරුවෝ නො පැනෙති.
6707. පෙර යම් කෙනෙකුන් හා සම ක්‍රීඩා කළාහු නම් මේ ඒ කුඩා සම්වන් මුවෝ යැ, සාවෝ යැ මහමුහුණෝ යැ, බොහෝ වූ කෙහෙල්මුවෝ යැ, ඒ කුමරුවෝ නො පැනෙති.
6708. මේ ඒ හංසයෝ යැ කොස් ලිහිණියෝ යැ විසිතුරු පිල්කලබ ඇති මොනරු යැ. ඒ කුමරුවෝ නො පැනෙති.
6709. පෙර යම් තැනෙකැ ක්‍රීඩා කළාහු නම් මේ ඒ හැම කල්හි පිපී සිටි වනලැහැබ්හු යැ. ඒ කුමරුවෝ නො පැනෙති.
6710. පෙර යම් තැනෙක ක්‍රීඩා කළාහු නම් මේ ඒ සක්වාලිහිණියන් ළඟ හිඳ කුල්නා හෙල්මැල්ලෙනුදු පියුමිනුදු උපුලෙනුදු ගැවැසිගත් රමණී පොකුණු ඇත. ඒ කුමරුවෝ නො පැනෙති.
6711. තොප විසින් දර නො බිඳින ලද, තොප විසින් දිය නො ගෙනෙනලද, තොප විසින් ගිනි ද නොදල්වන ලද, කිම නො දන්නා බාලයෙකු මෙන් සිතිවිලිපර වවු ද?
6712. තෙපි මට ප්‍රියව, ප්‍රිය වූ තොප හා සමග එක් වැ සම වැ විඳුනා දුක් මා විසින් නසනු ලැබේ. (අද එසේ නො වේ.) ඒ ජාලිය කෘෂ්ණාජිනා දෙදරුවන් අද නො දක්මි.
6713. දේවයිනි, අපගේ දරුවන් නො දක්මි. යම් කිසිවකු විසින් ඔහු ගෙනයනලදහු ද? නොහොත් මළාහු ද? (මළ දවස් හඬනා) වනකවුඩෝ ද නො හඬති. මාගේ දරුවෝ කිසිවක්හු විසින් ගෙනයනලද වන.
6714. දේවයිනි, අපගේ දරුවන් නො දක්මි. යම් කිසිවකු විසින් ඔහු ගෙනයනලදුහු ද? නොහොත් මළාහු ද? සියොත්හු ද නො හඬති. මාගේ දරුවෝ මළාහු වන.
6715. එ බිසෝ එ වඞ්කගිරියෙහි පර්‍වතයන් ද වනයන් ද බලමින් හඬා ඇවිද යළිදු අසපුවට ගොස් ස්වාමියා වෙත හඬයි.
6716. දේවයිනි, අපගේ දරුවන් නො දක්මි. යම් කිසිවකු විසින් ඔහු ගෙනයනලදහු ද? නොහොත් මළාහු ද? වනකවුඩෝ ද නො හඬති. මාගේ දරුවෝ කිසිවක්හු විසින් ගෙනයනලද වන.
6717. දේවයිනි, අපගේ දරුවන් නො දක්මි. යම්කිසිවක්හු විසින් ඔහු ගෙනයන ලදුහු ද? නොහොත් මළාහු ද? සියොත්හු ද නො හඬති. මාගේ දරුවෝ මළාහු වන.
6718. දේවයිනි, පර්‍වතයෙහි රුක්මුල්හි ගල්ලෙන්හි ඇවිදිනී අපගේ දරුවන් නො දක්මි. ඔහු යම් කිසිවකු විසින් ගෙනයන ලදහු ද? නොහොත් මළාහු ද?
6719. මෙසේ යශස්වී වූ උතුම් වළඟ ඇති මදුරදූ දොහොත් හිසැ බැඳැ හඬා එහි මැ බිමැ ඇදැහුණු.
6720. (තමා හමියෙහි) නිසන් වූ ඒ රදුව (මුහුණ) දියෙන් තෙමී. ඉක්බිති ඇය අස්වස් ලද බව දැනැ ඇයට තෙපුල් කී:
6721. මද්‍රී දේවීනි, ආදියෙහි මැ තොපට දුක්දැයක් කරන්නට නො කැමැති වීමි. දිළිඳු වූ මහලු වූ යාචක බමුණෙක් ගෙට ආයෙ යැ. ඔහට මා විසින් දරුවෝ දෙන ලදහ. මද්‍රිය නො බව, අස්වස්ව.
6722. මද්‍රී දේවීනි, මා බලව, දරුවන් නහමක් බලව, නහමක් දැඩි කොට හඬව, ජීවත් වන්නමෝ අරෝග ද වමෝ නම් දරුවන් ලබම්හ.
6723. සත්පුරුෂ තෙම යදියා ආ කල්හි දැකැ දරුවනුදු සිවුපාවුනුදු ගෙහි අනෙක් යම් ධනයෙකුත් ඇද්ද එ හැම ද දන් දෙන්නෙ යැ, මද්‍රී දේවීනි, දරුවන් කෙරෙහි පිහිටි මාගේ උතුම් දන අනුමෝදන්ව.
6724. දේවයිනි, තොප දරුවන් කෙරෙහි පිහිටි උතුම් දන අනුමෝදන් වෙමි. දන් දී සිත පහදව. පුනපුනා දන් දෙනුයෙ වව.
6725. ජනාධිපතිය, සිවිරට වඩනා යම් බඳු තෙපි මසුරුමලින් මැඩුණු මිනිසුන් අතුරෙහි බමුණුහට පුත්‍රදානය දුන්නහු යැ (අසිරියෙකි.)
6726. තොප විසින් මහපොළොව හඬවනලද. තොප කිත්ගොස දෙව්ලොවට ගියෙ යැ. අකල් විදුලිය අවට හැසිරිණි. පර්‍වතයන්ගේ පිළිරැව්මෙන් නැඟිණ.
6727. තොපගේ ඒ පුත්‍රදානය නාරද යැ පර්‍වත යැ යන දෙනිකායෙහි දෙවියෝ අනුමෝදන් වෙති. ඉන්‍ද්‍ර ද බ්‍රහ්ම ද ප්‍රජාපතී ද සෝමදේව ද යමදෙව ද වෙසවුණු රජ ද ඉන්‍ද්‍ර සහිත වූ හැම තව්තිසා වැසි දෙවියෝ ද අනුමෝදන් වෙත්.
6728. යසපිරිවර ඇති උතුම් රූ ඇති මදුරදූ මෙසේ වෙසතුරු මහරජුගේ උතුම් වූ පුත්‍රදානය අනුමෝදන් වූව.
මද්‍රී පර්‍වය යි.