Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 7301-7400 න් 7679

6532. උකුස්සෝ ද රත්කොරළුවෝ ද හුණුපුපුළුවෝ ද ‘ජීව ජීව’ යි හඬන ජීවංජීවක ලිහිණියෝ ද කපිඤ්ජර නම් ලිහිණියෝ ද තිත්වටුවෝ ද වඩුකුරුල්ලෝ ද බටු කුරුල්ලෝ ද,
6533. මද්දාලකයෝ ද සලපිඤ්ජෝ ද මහසැළලිහිණියෝ ද තිත්වටුවෝ ද දනවුලිහිණියෝ ද පිඟුහැලි ලිහිණියෝ ද ගෝලිහිණියෝ ද අඟුහැලි ලිහිණියෝ ද,
6534. කරවී ලිහිණියෝ ද වැසිලිහිණියෝ ද මහමුහුණෝ ද ඇටිකුකුළෝ ද එ වෙනෙහි බොහෝ වෙති. එ වනය නොයෙක් සියොත්ගණ විසින් ගැවැසිගත්තෙ යැ. නොයෙක් සරින් කුල්නා ලද්දේ යැ.
6535. තවද එ වෙනෙහි මියුරු හඬ ඇති චිත්‍රරාජිශතපත්‍ර ලිහිණියෝ ඇත. ඔහු ඔවුනොවුනට රැව්දෙමින් ලිහිණි දෙනුන් හා සමග තුටු වෙති.
6536. තවද එහි ලිහිණි කෙනෙක් ඇත. ඒ ලිහිණියෝ නිබඳ මියුරු හඬ ඇතියහ. සුදුපැහැ නෙත්කණ ඇතියහ. සොඳුරු ඇස් ඇතියහ. බිජුවටින් ජනිතයහ. විසිතුරු පත් ඇතියහ.
6537. තවද එහි ලිහිණියෝ ඇත. ඔහු නිබඳ මියුරු සර ඇතියහ. සිළු ඇතියහ. නිල්ගල ඇතියහ. ඔවුනොවුනට රැව් දෙන්නාහ.
6538. කළු තලල් ලිහිණියෝ ද කුකුළෝ ද කොට්ඨ සකුණයෝ ද තල්රෙහෙරහු ද කලලොහොල්ලෝ ද කළුහොල ලිහිණියෝ ද දියකෙරළියෝ ද ගිරවු ද සැළලිහිණියෝ ද,
6539. තවද එහි කහ කුරුල්ලෝ ද තඹතොලුවෝ ද සුදු ලිහිණියෝ ද නළක ලිහිණියෝ ද ඇත්ගිජුලිහිණියෝ ද හිංගුරාජයෝ ද මහදියකෙරැළියෝ ද සමග වැ සරන ගිරා කොවුල්හු ද,
6540. කළු උකුස්සෝ ද හෙළ උකුස්සෝ ද හංසයෝ ද සැදිමුව ලිහිණියෝ ද පරිවදන්තික ලිහිණියෝ ද පාකහංසයෝ ද අතිබල ලිහිණියෝ ද වලිකුකුළෝ ද ජීවජීවකයෝ ද,
6541. පරෙවියෝ ද හැල්බෝ ද නදියෙහි සරන සක්වාවෝ ද දෙවරුයෙහි මැ රැව් දෙන මනා හඬ ඇති ඇත්ගිජුලිහිණියෝ ද එ විල්හි බොහෝ වෙති.
6542. මෙහි නොයෙක් පැහැ ඇති බොහෝ පක්‍ෂීහු බිරියන් සමග කුල්නාහු ප්‍රීතවෙති.
6543. මෙහි මුදලිඳු (මුචලින්‍ද) විල අවට නොයෙක් පැහැ ඇති බොහෝ පක්‍ෂීහු මියුරු සරින් කුල්නාහ.
6544. මෙහි කුරවී කෙවිල්ලෝ නම් පක්‍ෂීහු බිරියන් සමග කුල්නාහු ප්‍රීත වෙති.
6545. මෙහි මුදලිඳු (මුචලින්‍ද) විල අවට කුරවීකෙවිල්ලෝ නම් පක්‍ෂීහු මියුරු සරින් කුල්නාහු ප්‍රීත වෙති.
6546. එ වනය ඒණිමුවන් හා පසදමුවන් විසින් ගැවසි ගත්තේ යැ. ඇතුන් විසින් සෙවුනාලද්දෙ යැ, නන්ලියෙන් වැසුණෙ යැ, කෙහෙල් මුවන් විසින් සෙවුනාලද්දෙ යැ.
6547. තවද එ වෙනෙහි අබ බෙහෙව. හූරුහැල් ද වරාසොර ද බෙහෙව. නො සාපු තන්හි පැසුණු (සයංජාත) හැලුදු වනමුල් වනඵල ද එ වෙනෙහි නො මඳ වෙති.
6548. මේ එක්පිය මඟ අප සිටි තැන් බලා එයි. අසපුවට ඉඳුරා යෙයි. යම් අසපුයෙකැ වෙසතුරු මහරජ අඹුදරුවන් සමග වාස කෙරේ ද එ අසපුවට පැමිණියේ සා පවස් උකටලී නො ලැබෙයි.
6549. හේ තවුස්වෙස් ද (මල්පල නෙලන) අකුස්ස ද ගිනි පුදන සැන්ද ද දළමඬුලු ද ධරනුයේ අඳුම්දිවිසම් හඳනෙ බිමැ (පත් ඇතිරියෙහි) හොවී. ගිනිදෙවියා නමදි යි.
6550. එ බමුණු මෙ වදන් අසා තවුසා පැදකුණු කොට ඔද වැඩි සිතැතියේ යම් තැනෙකැ වෙසතුරු මහරජ වී ද එ තැනට පිටත් වැ ගියේ.
මහවන වැනුම යි.
6551. දැලිසිර නැඟී සිටු, පෙරගමන් යා. පෙර (ජයතුරා නුවර යදියකු මෙන්) දසුනක් පැනෙයි. බමුණකු මෙන් දක්මි. සොම්නස්හු මා සිත පැතිරෙති.
6552. පියාණෙනි, මම ද දක්මි. යමෙක් බමුණකු මෙන් පැනේ ද හේ ඉලියනුවකු සෙයින් එයි. හේ අපට අමුත්තෙක් වන්නෙ යි.
6553. කිම භවත්හට රෝග නැද්ද? කිම භවත්හට දුක් නැද්ද? කිම වනමුල් වනපෙලෙන් යැපෙයි ද? කිම අලපල බොහෝ ඇද්ද?
6554. කිම මැසිමදුරුවෝ ද දීර්‍ඝජාති සර්‍පයෝ ද අල්ප මැ වෙත් ද? සැඬමුවන් ගැවැසිගත් වෙනෙහි කිම (උන්ගෙන් වන) හිංසා නැද්ද?
6555. බමුණ, අපට රෝග නැත් මැ යැ. තවද බමුණ දුකුදු නැත. වනමුල් වනපලයෙන් යැපෙමි. අලපල බොහෝ ඇත.
6556. තවද මැසිමදුරුවෝ ද උරගජාතීහු ද අල්ප මැ වෙති. වල්මුවන් විසින් ගැවැසිගත් වෙනෙහි අපට උන්ගෙන් හිංසා නො පැනෙයි.
6557. සත්මසක් කල් අරනෙහි වසන ජීවශෝකී අප වසන තැනට බෙලිපැහැ හුණදඬුව ද ගිනිපුදන කෙණෙස්ස ද කමඬලාව ද ගෙන ආ දෙවියන් විසින් වනන ලද මෙ බමුණහු පළමු කොට දක්මහ.
6558. බමුණ, තොපගේ මනා ඊමෙකැ, තවද තොපගේ නො මනා ඊමෙක් නො වෙයි. භවත, තොපගේ පාසඟළ ධොවනය කරව. පන්සල ඇතුළට පිවිසෙව.
6559. තිඹිරි යැ පියල් යැ මිහි යැ කටුඑරමිණිය යැ යන ඵලයෝ ද දඬුවෙල්බැ මී ද ඇත. බමුණ උතුම් උතුම් දැය වළඳව.
6560. මෙ කළෙහි පැනුදු සිහිල, ගල්කුසින් බට හොයින් අළියෙ යැ, බමුණ, ඉදින් තෙපි බියැටියවු නම් එයින් ගෙන බොව.
6561. තවද තෙපි කවර කරුණෙකින් හෝ කවර හේතුයෙකින් හෝ මහවලට පැමිණියවු ද? මා විසින් පුළුවුස්නාලදහු එය මට කියව.
6562. යම් සේ (පස්මහනදියෙහි) පිරුණු දියකඳ හැම කල්හි නො ගෙවේ ද එවන් (නො ගෙවෙන සැදැහැති) තොප අයදනට අයිමි. අයදනාලද තෙපි මට දෙදරුවන් දෙව.
6563. බමුණ (දෙදරුවන්) දෙමි. කම්පා නො වෙමි. ස්වාමි වැ ගෙනයව. (කිවයුත්තෙක් ඇති.) රදූ (පලවැළයට) උදය මැ ගියා. සවසැ අරනෙන් එයි.
6564. බමුණ, අද එක්රැයක් මෙහි වැසැ අලුයමැ යව. ඒ මද්‍රීය විසින් නහවන ලද මුදුන සිප සනහන ලද තවද මල්දම් පැලැඳි,
6565. නොයෙක් සුවඳ කුසුමින් සදන ලද, නොයෙක් සුවඳ විලෙවුනින් සරසන ලද (මඟ අහරට දුන්) නොයෙක් අලපලයෙන් යුතු දෙදරුවන් ගෙන යව.
6566. රජතුමනි, (මෙහි එක්රැයක්) විසීම නො රුස්නෙමි. ගමන් මැ මට රිසියෙයි. (මෙහි විසුව) මට ලාභාන්තරාය ද වෙයි. එහෙයින් යන්නෙම් මැ යැ.
6567. තෙල මාගම්හු අයදමට නිසි නො වෙති. පුණ්‍යාන්තරාය ද ලාභාන්තරාය ද කෙරෙති. මායා මන්ත්‍ර දනිති. හැම අවැඩ හෙයින් ගනිති.
6568. සැදැහැයෙන් දන් දෙනුවහු මොවුන් මව නො දක්ව. හෝ (මොවුන් දුටු නම්) දනට අන්තරාය ද කරන්නී යැ. එහෙයින් රජතුමනි, යන්නෙම් මැ යැ.
6569. තොප දෙදරුවන් කැඳව. ඒ දරුවෝ මව නහමක් දකිත්වා. මෙසේ සැදැහැයෙන් දන් දෙන්නාහට පින් වැඩෙයි.
6570. තොප දෙදරුවන් කැඳව. ඒ දරුවෝ මව නො දකිත්වා. මහරජතුමනි, මා වැන්නකුට පුත්‍රධනය දී දෙව්ලෝ යන්නවු යැ.
6571. ඉදින් තෙපි මට පතිනි වූ බිරිය දක්නට නො රිස්සහු නම් දැලිසිරු කන්සිරු දෙදරුවන් මුත්නා (සඳමහරජ) හට හෝ දක්වවු.
6572. සිත්කලු වූ පිය තෙපුල් බණන මේ දෙදරුවන් දැකැ ඔදවැඩි සොම්නස් වූ තුටු වූ මුත්නා රජ තොපට බොහෝ ධනය දෙන්නෙ යැ.
6573. (මා අතින් දරුවන්) පැහැරගැනුමට බියෙමි. රාජපුත්‍රය මබස් අසව. එරජ මා දඬුවමට ඇමැතියනට දෙන්නෙ හෝ යැ, රජ මා විකුණන්නෙ හෝ යැ, ඝාතන කරන්නෙ හෝ යැ. ධනය ද දාසයන් ද පිරිහුණෙම් බැමිණිය විසින් ගැරහියැයුතු වෙමි.
6574. සිත්කලු වූ ප්‍රිය තෙපුල් බණන මේ දෙදරුවන් දැක සිවිරට වඩන දහමෙහි සිටි මහරජ ප්‍රීති සොම්නස් ලැබැ තොපට බොහෝ ධනය දෙන්නේ යැ.
6575. මහරජ තෙපි මට යමක් කියවු නම් එ ද නො කෙරෙමි. මම මේ දෙදරුවන් බැමිණියට දාස මෙහෙයට ගෙන යෙමි.
6576. ඉක්බිති දැලිසිරු කන්සිරු දෙකුමරහු රුදුරු බමුණුහුගේ බස් අසා වෙවුළන්නාහු ඒ ඒ තන්හි දිවූහ.
6577. දරුව ප්‍රියපුත්‍රය, එව. මාගේ පැරුම් පුරව. මාගේ ළය තෙමවු. මාගේ තෙපුල් කරවු.
6578. බවසයුරෙහි මට නිසල වූ ගමන් නැවක් වව. දෑ සයුරෙහි එතෙරට තරණය කරනෙමි. දෙවියන් සහිත ලෝවැසියනුදු තරණය කරවන්නෙමි,
6579. දරුව, ප්‍රිය දියැණියෙනි, මාගේ දානපාරමිතා පුරව. මාගේ ළය තෙමව. මාගේ වචනය කරව.
6580. සසර සයුරෙහි මට නිසල ගමන් නැව වව. දෑ සයුරෙහි පරතෙරට යන්නෙමි. දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් නඟාලන්නෙමි.
6581. ඉක්බිති සිවිරට වඩන වෙසතුරු මහරජ දැලිසිරු කන්සිරු දෙදරුවන් අත් ගෙන බමුණුහට දන් දින.
6582. ඉක්බිති දැලිසිරු කන්සිරු දෙදරුවන් ගෙන තුටු සිත් ඇත්තේ දෙදරුවන් උතුම් දන් කොට බමුණුහට දින.
6583. යම් කලෙකැ දෙදරුවන් දුන් කල්හි මහපොළොව ප්‍රකම්පිත වූ ද එකල්හි යම් බිහිසුණු බවෙක් වී ද එසඳ ලොමුදහ ගැන්මෙක් වී.
6584. යම් කලෙකැ සිවිරට වඩන වෙසතුරු මහරජ කළ බැදැඳිලි ඇති වැ සුවසේ වුසූ දෙදරුවන් බමුණුහට දන් දුන්නේ ද එදවස් යම් බිහිසුණු බවෙක් වී ද එදවස් ලොමුදහගැන්මෙක් වී.
6585.ඉක්බිති එ රුදුරු බමුණු වැලක් දතින් සිඳැගෙනැ වැලින් දෑත් බැඳැ වැලින් පහර දින.
6586. ඉක්බිති එ බමුණු රැහැන ගෙන දණ්ඩක් ද ගෙන වෙසතුරු රජු බලා සිටිය දී තලමින් (දරුවන්) ගෙන යයි.
6587. (පැකිළ හුණු බමුණු අතින් වැල ගැලවී ගිය) ඉක්බිති දෙදරුවෝ බමුණු අතින් මිදී (බෝසතුන් කරා) පලාගියහ. කඳුළු පිරි ඇසින් ඒ ජාලිය කුමර පියාණන් බලයි.
6588. බෝපත් සෙයින් වෙවුළමින් පියාණන් පා වඳී. පියාණන් පා වැඳැ මෙවදන් කී.
6589. පියාණෙනි, අම්මා ද පන්සලින් බැහැරැ නික්මගියා යැ. පියාණෙනි තෙපි ද අප බමුණුහට දෙන්නාවු යැ. යම්තාක් අම්මා ද දක්මෝ නම් එසඳ අප දෙව.
6590. පියාණෙනි, අම්මා ද නික්මගියා. තෙපි ද අප බමුණුහට දෙන්නාවූ යැ. පියාණෙනි, තෙපි අප නහමක් දෙව. යම් තාක් අපගේ මවු තොමෝ ඒ ද එසඳ මෙ බමුණු රිසි සේ අප විකුණාවා, හෝ මරා පියවයි.
6591. මෙ බමුණු බකලපා ඇත්තේ යැ; කුණුනිය ඇත්තේ යැ; තවද එලෙන පිඬිමස් ඇත්තේ යැ; දිගු උඩුතොල ඇත්තේ යැ; මහතොලු යැ; නිකුත්දළ ඇත්තේ යැ; බුන් නාසා ඇත්තේ යැ.
6592. සැළ බඳු උදර ඇතියෙ යැ; බුන් පිටඇට ඇතියෙ යැ; තවද වමරැසි යැ; තඹදැළි ඇතියෙ යැ; පිඟුවන් කෙහෙ ඇතියෙ යැ; සම්රැලි ඇතියෙ යැ; කළුතලකැලලි ඇතියෙ යැ.
6593. පිඟුඇස් ඇතියෙ යැ; කටිය පිට කඳට වකැ විසුළුපා ඇතියෙ යැ; මහසිරුරු ඇතියෙ යැ; අඳුන්දිවිසම් ධැරුයෙ යැ; යකකු වැන්න. බිය එළවනුයේ යැ.
6594. මිනිසෙක් දෝ හෝ නොහොත් මසලේ බුදිනා යකෙක් දෝහෝ යි සිතම්, ගමින් වලට අවුත් පුත්‍රධනය ඉල්වයි. පියාණෙනි, මේ පිසාචයා විසින් ගෙනයනු ලබන අප කුමට උදාසීන වැ බලව.
6595. තොපගේ ළය ගල කෙළෙ යයි හඟිම්. යපතින් තර කොට බඳනාලද වනැ යි සිතම්, යම්බඳු තෙපි ධනය සොයන ඉතා රුදුරු බමුණා විසින් බඳනාලද අප නො දනුව. එ බමුණු අප ගෙරින් මෙන් තළාපියයි.
6596. කෘෂ්ණජිනා මෙහි මැ හිඳීවා. ඕ කිසි දුකක් නො දනී. කිරෙන් මත් වූ මුවරැළින් ගිලිහුණු මුවපෙල්ලක මෙන් (මව නො දැකැ) හඬයි.
6597. මෙ (පහරනා) දුක් මට එවන් දුක් නො වෙයි. මෙ දුක් පිරිමියකු විසින් ලදයුතු මැ යැ. යම් හෙයෙකින් අම්මා නො දකිම් ද එ දුක මට මෙයට වඩා ඉතා දුක් වෙයි.
6598. මෙ (පහරනා) දුක් මට එවන් දුක් නො වෙයි. මෙ දුක් පිරිමියකු විසින් ලදයුතු මැ යැ. යම් හෙයකින් පියා නො දකිම් ද එ දුක මට මෙයට වඩා දුක්තර වෙයි.
6599. මනෝඥදර්‍ශන ඇති කෘෂ්ණජිනා කුමරිය නො දක්නා ඒ අප බැගෑපත් මවු තොමෝ බොහෝ කලක් වලප්නී ය යි සිතම්.
6600. මනකල් දසුන් ඇති කන්සිරු කුමරිය නො දක්නා ඒ අප බැගෑපත් පිය තෙම බොහෝ කලක් වලප්නෙ ය යි සිතම්.
6601. සොඳුරු දැකුම් ඇති කන්සිරු කුමරිය නො දක්නා ඒ අප බැගෑපත් මව අසපුවෙහි හිඳ බොහෝ කල් වලපිතී සිතම්.
6602. සොඳුරු දැකුම් ඇති කන්සිරු කුමරිය නො දක්නා ඒ අප බැගෑපත් පියා අසපුවෙහි හිඳ බොහෝ කල් වලපිතී සිතම්.
6603. ඒ අප බැගෑපත් මව අඩරැයැ හෝ මුළුරැයැ හෝ (අප සිහි කොට) බොහෝ කල් වලපිතී සිතම්. වැලැපැ නදියක් මෙන් වියළෙතී සිතම්.
6604. ඒ අප බැගෑපත් පියා අඩරැයැ හෝ මුළුරැයැ හෝ (අප සිහි කොට) බොහෝ කල් වලපිතී සිතම්. වැලැපැ නදියක් මෙන් වියළෙතී සිතම්.
6605. මොහු ඒ (අපට කෙළි බිමැ සෙවණ දුන්) දඹ රුක්හ. එලෙන අතු ඇති සිඳුවර (නික) යැ, නන් වැදෑරුම් රුක්දෑ යැ, එ හැම අද හැරැපියා (සමුගෙන) යම්හ.
6606. මොහු ඇසතු රුක්හ; පනා රුක්හ; නුග රුක්හ; හෙළ කිඳි ඇසතු රුක්හ; නන් වැදෑරුම් පලරුක්දෑ යැ. එ හැම අද හැරැපියා යම්හ.
6607. පෙර යම් තැනෙකැ හිඳ කෙළුමෝ නම් මේ ඒ අරම්හු පවතිත්. සිහිල් දිය ඇති මේ හොය ද පවතී. එ හැම අද හැරැපියා යම්හ.
6608. මේ ගල්මුදුනෙහි නන් වැදෑරුම් යම් මල් ජාති කෙනෙකුන් පෙර පලඳිමෝ ද එ හැම අද හැරැපියා යම්හ.
6609. මේ ගල්මුදුනෙහි නන් වැදෑරුම් යම් ඵල ජාති කෙනෙකුන් පෙර වළඳමෝ ද එ හැම අද හැරැපියා යම්හ.
6610. පෙර යමෙකින් කෙළියමෝ ද මොහු ඒ අපගේ ඇත් පෙතැලි රූ යැ අස්පෙතැල්ලෝ යැ මොහු අපගේ ගොන්පෙතැල්ලෝ යැ එ හැම අද හැරැපියා යම්හ.
6611. බමුණහු විසින් ගෙන යනු ලබන එ කුමරහු පිය මහරජහට මෙ තෙපුල් කීහු: අම්මාට අප අරෝග බව කියව පියාණෙනි, තෙපිදු සුවපත්ව.
6612. මොහු අපගේ කෙළි ඇත් පෙතැල්ලෝ යැ අස් පෙතැල්ලෝ යැ මොහු ද අපගේ ගොන් පෙතැල්ලෝ යැ එ හැම අම්මාට දෙව එයින් පුත්‍රශෝක දුරුකරගන්නී යැ.
6613. මොහු අපගේ කෙළි ඇත්රූ යැ අස්රූ යැ ගොන්රූ යැ එ හැම අම්මා පුනපුනා බලන්නී යැ එයින් ශෝක දුරුකර ගන්නී යැ.
6614. ක්‍ෂත්‍රිය වූ ඒ වෙස්සන්තර රජ පුත්‍රදාන දී ඉක්බිති (දරුවන් හඬන හඬ අසා) පන්සලට පිවිසැ බැගෑපත් වැ (මතු කියන සේ) පරිදේවනා කෙළේ (හැඬී.)
6615. මාගේ දෙදරුවෝ සාපවස් ඇතියාහු අද කවරක්හු වෙත හඬා කියද් ද? සවස වළඳනා වේලෙහි කවරෙක් ඔවුනට බොජුනක් දේ ද?
6616. මාගේ දෙදරුවෝ සාපවස් ඇතියාහු අද කවරක්හු වෙත හඬා කියත් ද? සවස වළඳනා වේලෙහි මෑණියෙනි, සාගිනි ඇතියහම්හ. අපට අහර දෙවයි කවරක අයදිද්ද?
6617. පාගමන් යෙදුණු වහන් නැති මාගේ දෙදරුවෝ ගමන්හි මිරිකුණාහු ඉදිමුණු පයින් සැටයොදුන් මඟ කෙසේ නම් යෙද්දෝ කවරෙක් විඩාහරනට ඔවුන් අත්හි ගනිත් දෝ හෝ.
6618. මාගේ නිදොස් දරුවනට මා හමුයෙහි පහර දෙන එ බමුණු කෙසේ නම් ලජ්ජා නො වන්නේ ද? බමුණු ලජ්ජා නැතියෙක් මැ යි.
6619. යමෙක් වනාහි මාගේ දාසියකගේ දාසයෙක් වී ද නොහොත් අන් මෙහෙකරුවෙක් හෝ වී ද ඕහට ද වඩා හීනතරයෙක් හෝ වී ද ඕහට පවා ලජ්ජා ඇති කවරෙක් නම් පහර දෙන්නේ ද? (නො දේ මැ යි).
6620. කෙමිනෙහි බැඳුණු මසකු මෙන් වූ මා බලාසිටිය දී මැ මාගේ ප්‍රිය දරුවනට ආක්‍රෝශ කෙරෙයි; පහර දෙයි. කියා හැඬී.
6621. වැළිත් වම්දසරුවෙහි කඩුව බැඳැ දුන්න ගෙන (ලුහුබැඳ ගොස්) සිය දරුවන් ගෙන එම් දෝහෝ, දරුවනට දෙන වධ දුකෙකි.
6622. යම් හෙයෙකින් දරුවෝ වෙහෙසෙත් ද තෙල වෙහෙස ඒකාන්තයෙන් මට දුක් දෙනසුලු යැ. වැළිත් පෙර බෝසතුන්ගේ ප්‍රවේණිධර්‍මය දැනැ කවරෙක් නම් දන් දී පසුතැවේ ද?
6623. මෙ ලොව්හි ඇතැම් මිනිස් කෙනෙක් යමක්හු අබියෙසැ සිය මව යම්සේ නැත් ද එසෙයින් ම හෙ ද නැතැයි සැබවක් මැ කීහු යැ.
6624. කෘෂ්ණාජිනාවෙනි, ධනය සොයන ඉතා රුදුරු බමුණුහට පියරජු විසින් අපි දෙනලදුම්හ. එව මියම්හ. යමෙක් ගෙරිනට මෙන් අපට පහර දේ ද ඔහු වෙත අපට දිවියෙන් කම් නැත.
6625. මොහු ඒ (අපට බිමැ සෙවණ දුන්) දඹ රුක්හ, එලෙන අතු ඇති සිඳුවර (නික) යැ. නන් වැදෑරුම් රුක්දෑ යැ, එ හැම අද හැරැපියා (සමුගෙන) යම්හ.
6626. මොහු ඇසතු රුක්හ, පනා රුක්හ, නුග රුක්හ, හෙළ කිඳි ඇසතු රුක්හ, නන් වැදෑරුම් පලරුක්දෑ යැ, ඒ හැම අද හැරැපියා යම්හ.
6627. පෙර යම් තැනෙකැ හිඳ කෙළුමෝ නම් මේ ඒ අරම්හු පවතිත්. සිහිල් දිය ඇති මේ හොයද පවතී. එ හැම අද හැරැපියා යම්හ.
6628. මේ ගල් මුදුනෙහි නන් වැදෑරුම් යම් මල් ජාති කෙනෙකුන් පෙර පැලැඳුමෝ ද එ හැම අද හැරැපියා යම්හ.
6629. මේ ගල් මුදුනෙහි නන් වැදෑරුම් යම් ඵල ජාති කෙනකුන් පෙර වැලැඳුමෝ ද එ හැම අද හැරැපියා යම්හ.
6630. පෙරැ යමෙකින් කෙළියමෝ ද මොහු ඒ අපගේ ඇත් පෙතලිරූ යැ, අස්පෙතල්ලෝ යැ, මොහු අපගේ ගොන් පෙතැල්ලෝ යැ, එ හැම අද හැරැපියා යම්හ.