Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 7201-7300 න් 7679

6434. බමුණ, තාගේ හදමස් කපාගෙනැ තාගේ මසිනුදු මස්තෙලිනුදු හිස්මුලිනුදු හෝම කරනෙමි.
6435. බමුණ, මා විසින් තාගේ මසින් කරනලද එ මොනවට යාග කරනලද මොනොවට පුදනලද කවර හෙයින යත්: ඒ හේතුවින් තෝ රාජපුත්‍රයාගේ අඹුව හෝ දරුවන් හෝ නො ගෙන යන්නෙහි.
6436. චේතපුත්‍රය, මාගේ බස් අසව. බමුණා ද දූතයා ද නො මැරියැයුතු වෙයි. එ කරුණෙන් දූතයා නො මරති, මෙ දහම සනාතන (පුරාණ) වෙයි.
6437. හැම සිවීහු සන්හිඳුවන ලදහ. පියරජ ඔහු දක්නට රිසි වෙයි, ඔහුගේ මවු ද දුබල යැ. නොබෝ කල්හි මැ ඇස් පිරිහෙයි. (නිරතුරු හැඬීමෙන)
6438. මම ඔවුන් විසින් මෙහෙයන ලදුයෙමි, චේතපුත්‍රය මාගේ බස් අසව. වෙසතුරු රජපුතු ගෙනැ යමි. ඉදින් දනී නම් මට කියව.
6439. බමුණ, මාගේ ප්‍රිය (වෙසතුරු) හට දූතයෙහි, තට තුටුපඬුරු කොට මේ මීපිරූ ලබුව ද මුවකලවෙ ද දෙමි. කැමැති සැපත් දෙන වෙසතුරු යම් තැනෙකැ වෙසේ ද එ දෙස ද තට කියමි.
ජූජක පර්‍වය යි.
6440. බමුණ, යම් තැනෙකැ වෙසතුරු රජ දරුවන් හා සමග වාස කෙරේ ද තෙල පැනෙන ගල ඒ ගඳමහන් පවුව යි. (කඳු පාමුලින් උතුරුදිග බලා ගොස් සක්දෙව් මවාදුන් අසපුවෙහි දක්නෙහි)
6441. (එ රජ) උතුම් තවුස්වෙස් ද දෙහෙටිල්ල ද ගිනිපුදන සැන්ද ද (හෝමදබ්බි) දළමඬුලු ද ධරනුයේ අඳුන්දිවිසම් ධරනුයේ බිමැ කොළ ඇතිරියෙහි හොවී. ගිනිදෙවියා පුදයි.
6442. තෙල නිල්වන් වූ නොයෙක් ඵල ධරන වෘක්‍ෂයෝ නැඟී සිටි වලාකුළු මෙන් නිල්වන් අඳුන් කුළු මෙන් පැනෙති.
6443. දැව යැ අසු යැ කිහිරි යැ සල් යැ කොළොම් යැ මාළුවා යැ යන වෘක්‍ෂයෝ එක්වරක් මැ පානය කළ රාසොඬුන් මෙන් පවනින් වෙවුළති.
6444. වෘක්‍ෂශාඛා මතුයෙහි (සියොතුන් හඬ) දෙව්ගී මෙන් ඇසෙයි. විලිකුළුමුළු හා කෙවිලිමුළු ගසින් ගසට පනිති.
6445. යම් පර්‍වතයෙකැ වෙසතුරු රජ දරුවන් සමග වාස කෙරේ ද (එහි) පවනින් සැලෙන ශාඛාපත්‍රයෝ තමා පියා යනුවහු කැඳවනුවන් වැන්නහ. තමා කරා එන්නහු රමණය කරනුවන් වැන්නහ. නිතිවසන දනන් තුටු කෙරෙති.
6446. (එ රජ එහි) උතුම් තවුස්වෙස් ද දෙහෙටිල්ල ද ගිනිපුදන සැන්ද ද දළමඬුලු ද ධරනුයේ අඳුන් දිවිසම් ධරනුයේ බිමැ (පත් ඇතිරියෙහි) හොවී, ගිනි දෙවියා නමදී.
6447. අඹ ද ගිවුළු ද පනා (කොස්) ද සල් ද දඹ ද බුළු ද අරළු ද ඇඹුලු (නෙල්ලි) ද ඇසතු ද ඩෙබරද,
6448. එහි රන්තිඹිරි රුක් ද නුග ද හෙළ කිඳි ඇසතු ද ඇත. මියුරු රස ඇති මීරුක්හු හොබවති. මිටි රුක්හි විලිකුන් දිඹුල්පල ද ඇත.
6449. කිරිපලු ද එල්ගෙඳ ද මී වැහෙන මිදි ද ඇත. එ වෙනෙහි නිවැසි මී තුමූ මැ ගෙන බුදිති.
6450. ඒ වෙනෙහි ඇතැම් අඹරුක් කෙනෙක් මල්පිපී සිටිති. ඇතැම් අඹරුක් කෙනෙක් මැලෑගෙන (පලගනිමින්) සිටිති. ඇතැම් අඹරුක් කෙනෙක් අමු පල ද විලිකුන් පල ද ඇති වැ සිටිති. එ අමු විලිකුන් දෙපල මැ නිල්මැඩියන් වැන්න හ.
6451. තවද ඒ අසපුවෙහි අඹරුක් යට සිටි පුරුෂ තෙම (රුකට නො නැඟී මැ) වර්‍ණ ගන්‍ධ රසයෙන් උතුම් වූ අමු අඹ ද විලිකුන් අඹ ද නෙලාගනී.
6452. මට ඉතා මැ අසිරි යැ, මට විස්මය වැ වැටහෙයි, දෙවියනට නිවාස වූ නඳුනුයන මෙන් හොබී.
6453. ඉඳි රුකින් සැදි මහවෙනෙහි තල් රුක් ද නෙරළු රුක් ද ඇති. සුපිපි රුක් ගෙතූ මල්දම් සෙයින් සිටි, ධ්වජාග්‍රයන් මෙන් පැනෙයි. නන් පැහැ මලින් තරුවැළින් සැදි අහස මෙනි.
6454. සුළුකෙළිඳ ද උපුල්කොළ ද තුවරලා ද පළොල් රුක් ද පිපී සිටිත්, දොඹරුක් ද මහදොඹරුක් ද කොබොළල රුක් ද පිපී සිටිත්.
6455. එහි එරහැන්ද ද සෝමරුක් ද අගිල්රුක් ද බදුලුරුක් ද බොහෝ යැ. අවරි ද සුළුකුඹුක් ද පියාරුක් ද පිපී සිටියි.
6456. එහි මහකෙළිඳ ද සලළ රුක් ද බක්මීරුක් ද කොසඹ රුක් ද දෙල් රුක් ද දැවරුක් සල්රුක් ද පිපී සිටියි. (රුක් යට වගළ මල්රැස) පිදුරු කලවිටි වැන්න.
6457. එ අසපුවට නුදුරෙහි මනරම් බිම් පෙදෙසෙකැ දෙවියන්ගේ නඳුනුයනෙහි මෙන් පියුමුපුලෙන් සැදි (සිවුරැස්) පොකුණෙක් ඇත.
6458. තවද එහි පොකුරුමී රසින් මත් වූ මියුරු හඬ ඇති කුරවිකෙවිල්ලෝ ඍතු සමයෙහි පිපිරුක්හි හිඳ (සියහඬින්) මහ වනය වෙසෙසින් හඬවති.
6459. මලින් බස්නා මුවරඳින් පොකුරුපතැ පොකුරුපතැ මී ඇත. තවද ඒ අසපුවෙහි දකුණුදෙසින් අවරදෙසින් දසනුදසින් පවන් හමයි. පියුම් කෙසරුයෙන් හා රොනින් එ අසපුව ගැවැසි ගත්තේ වෙයි.
6460. ඒ පොකුණෙහි මහවිල්කටු ද ස්වයංජාත හූරුහැල් ද එයින් පතිත වැ හැටි හැල් ද ඇත. රැහැබැඳ ඇවිදිනා මස්කැස්බෝ ද ඇත. එහි කකුළුවෝ ද බොහෝ වෙති. නෙළුඹලයෙන් මී වැහෙයි, නෙළුඹුදැලියෙන් වැහෙන රස කිරිමුසු ගිතෙල් වැන්න.
6461. නන් ගඳින් වැහුණ ඒ වනය සුවඳ හමයි. පුෂ්පශාඛායෙන් ප්‍රවෘත්ත ගන්‍ධයෙන් එ වනය පැමිණි දනන් මත් කෙරේ මැ යැ. බමරු මල්ගඳින් හාත්පසැ නද දෙති.
6462. තව ද එ වෙනෙහි ලිහිණියෝ ඇත. නන්‍ පැහැති බොහෝ ලිහිණීහු ඔවුනොවුන්ට කුල්නාහු ලිහිණි දෙනුන් හා තුටු වෙති.
6463. (වෙසතුරු රජුනි, තෙපි) තුස්ව යි කියන නන්‍දික ලිහිණියෝ ද දරුවන් සමග සැරදෙව යි කියන ජීවපුත්ත ලිහිණියෝ ද තෙපි ද සැරදෙව තොප ප්‍රිය දරුවෝ ද සැරදෙත්ව යි කියන ලිහිණියෝ ද තෙපි ද තුටුව තොප දරුවෝ ද තුටුවෙත්වයි කියන ලිහිණියෝ ද පොකුණ මැ නිවෙස් කොට ඇතියහ.
6464. යම් තැනෙකැ වෙසතුරු රජ දරුවන් සමග සන්හිඳේ ද එ වනහිස් නන් පැහැ මලින් නිපුණයන් විසින් ගෙතූ මල්දම් සෙයින් හොබනෙ යැ.
6465. (එහි වෙසතුරු රජ) තවුස්වෙස් ද දෙහෙටිල්ල ද හෝමදබ්බිය ද දළමඬුලු ද ධරනුයේ අඳුන්දිවිසම් ධරනුයේ බිමැ (පත් ඇතිරියෙහි) හොවී. ගිනිදෙවියා නමදී.
6466. (චේතපුත්‍රය,) මේ මා සතු අත්සුණු බත මීයෙන් හැනුයෙ යැ. මොනවට කළ අත්වට ද අත්සුණුබත ද තොපට දෙමි. (මෙය ගනුව.)
6467. මාර්ගෝපකරණ තොපට මැ වේවා. මම තොපගේ මඟ උවරණ නො කැමැත්තෙමි. බමුණ, මෙයිනුදු ගනුව, බමුණ සුවසේ යව.
6468. මේ එක්පිය මඟ හමුයෙහි එයි, හෙ ද අසපුවට ඉඳුරා යෙයි. එ මඟැ මැලිදත් ඇති රජස්මුසු හිස් ඇති ‘අච්‍යුත’ නම් තවුසෙක් ද වෙසෙ යි.
6469. හෙ තවුස්වෙස් ද මල්පල නෙලන අකුසුදු ගිනි පුදන සැන්ද ද දළමඬුලුදු ධරනුයේ අඳුන්දිවිසම් ධරනුයේ බිමැ (පත් ඇතිරියෙහි) හෝනෙ යැ. ගිනිදෙවියා පුදයි. තෙපි ගොස් ඔහු අතින් පුළුවුස්ව. හෙ තොපට මඟ කියන්නෙ යැ.
6470. බමුණු මෙය අසා සෑදරු පැදකුණු කොට ‘අච්‍යුත’ තවුස් යම් තැනෙකැ වී ද එහි ඔදවැඩි සිතැති වැ පිටත් වැ ගියේ.
සුළුවන වැනුම යි.
6471. එ ජූජක බමුණු යන්නෙ ‘අච්‍යුත’ තවුසා දිටි. බමුණු ඔහු දැකැ තවුසා සමග පිළිසඳර කෙළේ යැ.
6472. කිම භවත්හට රෝග නැද් ද? කිම භවත්හට දුක් නැද් ද? කිම වනමුල්පලයෙන් යැපෙහි ද? කිම මුල් හා පලවැළ බොහෝ ඇද්ද?
6473. කිම තොපට මැසිමදුරුවෝ ද දික්දෑසප්හු ද අල්ප මැ වෙත් ද? සැඬමුවන් ගැවැසිගත් වෙනෙහි කිම හිංසා නැද්ද?
6474. බමුණ, මට රෝග නැත. තවද මට දුක් නැත. වන මුල්පලවැළින් යැපෙමි. මුල් හා පලවැළ බොහෝ යැ.
6475. තවද මැසිමදුරුවෝ ද දීර්‍ඝජාති සර්‍පයෝ ද අල්ප මැ වෙති. සැඬමුවන් ගැවැසිගත් වෙනෙහි මට හිංසා නැත.
6476. බොහෝ අවුරුදු ගණන් අසපුවෙහි වසන මට උපන් නො සිත්කලු රෝගයක් නො දන්මි.
6477. බමුණ, තොපට ස්වාගත යැ (තොපගේ පැමිණීම මැනැවැ) තවද තොපගේ නො මනා ඊමෙක් නො වෙයි. තොපට යහපතක් වේවා. තොපගේ පා ධෝවන කරව. ඇතුළු පන්සලට පිවිසෙව.
6478. බමුණ, තිඹිරිපල යැ පියල්පල යැ මිහිරි කටුඑරමිණිය යැ දඬුඑල්බැ මී යැ යන මේ ඇත. උතුම් උතුම් දැය වළඳව.
6479. මෙ පැනුදු සිහිලැ, ගල්කුසින් බට හොයින් ගෙනෙන ලද. බමුණ ඉදින් තෙපි රිසියවු නම් එයින් ගෙන පානය කරව.
6480. යමක් තොප විසින් දෙමි යි කී නම් ඒ දෙනලද මැ වේවා මා විසිනුදු පිළිගන්නාලද මැ වේවා. සියල්ල පඬුරු කරන ලද යැ. සඳමහරජුගේ සියපිත් (වෙසතුරු) සිවින් කෙරෙන් වෙන් වැ වසන බව නො දනු ද? මම ඔහු දක්නට අයිමි. ඉදින් දන්නවු නම් මට කියව.
6481. භවත් සිවිරජහු දක්නට පින් පිණිස නො එයි. භවත් රජහට පතිනි වූ අඹුව පතන වනැයි හඟිමි.
6482. කෘෂ්ණාජිනා දැස් කොට ජාලිය දස් කොට රුස්නා වනැයි හඟිමි. නොහොත් මව යැ දෙදරු යැ යන තිදෙනා වනයෙන් ගෙන යන්නට ආයෙ වනැ යි හඟිමි. කොළ බමුණ, ඔහට භෝග නැත. ධනධාන්‍ය ද නැත.
6483. මම භවත්හු විසින් නො කිපියයුතු සැහැවියෙමි. මම කිසිත් යදනට නො ආමි. ආර්‍ය්‍යයන්ගේ දැක්ම යහපත. ඔවුන් හා සමග විසීම හැමදා සුව යැ.
6484. සිවිමහරජ යම් දවසෙකැ සිවීන් විසින් රටින් නෙරන ලද ද එ දවස් පටන් හෙ මා විසින් නුදුටුවිරූ යැ. එයින් මම ඔහු දක්නට අයිමි. ඉදින් දනු නම් මට කියව.
6485. බමුණ, යම් තැනෙකැ වෙසතුරු රජ දරුවන් සමග සන්හිඳේ ද තෙල පැනෙන ගල ඒ ගඳමහන් පව්ව යි.
6486. හේ තවුස්වෙස් ද දෙහෙටිල්ල ද ගිනිපුදන සැන්ද ද දළමඬුලු ද ධරනුයේ අඳුන්දිවිසම් ධරනුයේ බිමැ (පත් ඇතිරියෙහි) හොවී. ගිනිදෙවියා පුදයි.
6487. තෙල නිල්වන් වූ නොයෙක් පල ධරන වෘක්‍ෂයෝ නැඟී සිටි වලාකුළු මෙන් නිල්වන් අඳුන්කුළු මෙන් පැනෙති.
6488. දැව යැ අසු යැ කිහිරි යැ සල් යැ කොළොම් යැ මාළුවා යැ යන වෘක්‍ෂයෝ එක්වරක් පානය කළ රාසොඬුන් මෙන් පවනින් වෙවුළති.
6489. රුක්අතු මතුයෙහි (සියොතුන් හඬ) දෙව්ගී මෙන් ඇසෙයි. විලිකුළුගණා හා කෙවිලිගණා ගසින් ගසට පනිති.
6490. යම් තැනෙකැ වෙසතුරු රජ දරුවන් හා සමග වෙසේ ද (එහි) පවනින් සැලෙන තුරුසාපත් තමා පියා යනුවහු කැඳවනුවන් වැන්නහ. තමා කරා එනුවහු රමණය කරනුවන් වැන්නහ. නිති වසන දනන් තුටු කරනුවහ.
6491. (එරජ එහි) තවුස්වෙස් ද පලවැළ නෙළන අකුස්ස ද ගිනි පුදන සැන්ද ද දළමඬුලු ද ධරනුයේ අඳුන්දිවිසම් හඳනුයෙ බිමැ (පත් ඇතිරියෙහි) සයන කෙරෙයි, ගිනිදෙවියා නමදී.
6492. (එ වෙනෙහි) සිත්කලු බිම්පෙදෙස්හි පැතිරැ සිටි හෙළගිරිතිල්ල මල් ඇති බිම හීතණයෙන් නිල්වන් වූයේ යැ. එ බිමැ ධූලි නො නැඟෙයි.
6493. මොනරකර බඳු වූ හිඹුල්පුළුන් පහස් සම උපමා ඇති තෘණයෝ හාත්පස්හි සතරඟුල් ඉක්ම නො වැඩෙති.
6494.අඹ දඹ ගිවුලු ද මිටිරුක්හි විලිකුන් දිඹුල් ද ඇත. (නොයෙක් මල්පලයෙන් සැදි) පරිභෝග වෘක්‍ෂයෙන් එ වන ඇලුම් වඩයි.
6495. මස්කැලන් විසින් නිති සෙවුනාලද වෙරළුමිණි වන් පැහැ ඇති පිරිසිදු සුවඳ සිලිල් ඇති (කඳුරැලියෙන් බස්නා) දියදහර එ වනළැව්හි ගළායෙයි.
6496. එයට නුදුරෙහි මනරම් බිම්පෙදෙසකැ දෙවියන්ගේ නඳුනුයනෙහි මෙන් පියුමුපුලින් සැදි පොකුණෙක් ඇත.
6497. බමුණ, එ සිවුරැස් පොකුණෙහි තුන් උපුල්ජාතියක් ඇත. එක් ජාතියක් නිල්පැහැ වෙයි, එක් ජාතියක් සුදුපැහැ වෙයි, එක් ජාතියක් ලේපැහැ වෙයි, එ පොකුණ විසිතුරු යැ.
6498. බමුණ, ඒ වනළැහැබ්හි විලෙකුදු ඇත.{*} ඒ විලැ හෙළපියුම්හු හෙළ පිළී අතුළ තැන් වැනියහ. හෙළුපුලින් හා හෙල්මැල්ලෙන් ද දියකූරයෙන් ද ගැවසුණෙ යැ. එ විල මුචලින්‍ද නමැ.
6499. තවද ඒ මුදලිඳු විල්හි පිපි පියුම්හු කෙළවර නැත්තවුන් මෙන් පෙනෙන්නාහ. ගිමන් හිමත් ඍතුයෙහි වූ පිපි පියුම්හු දණ පමණ දියෙහි පැතිරැ සිටිති.
6500. විසිතුරු මල්පතර සුවඳ පතුරුවයි. බමරු මල්ගඳින් හාත්පසැ අභිනාද කෙරෙති.
6501. තවද බමුණ, ඒ විල්දිය කෙළවරැ වෘක්‍ෂයෝ පවතිත්, සුපිපි කොළොම් රුක් යැ පළොල් රුක් යැ පිපි කොබලිල රුක් යැ.
6502. අඟුණ රුක් යැ වැලකිණිහිරි යැ කරගස් යැ එරබදු යැ නාරුක් යැ යන මෙ රුක් මුදලිඳු විල් වට පිපී සිටි.
6503. මහරි යැ හෙළපළු යැ පියුම්ගස් යැ යන් මෙ රුක් මනා සුවඳ හමයි, මහනික ද සුළුනික ද පියාරුක් ද එහි පිපි වන සිටී.
6504. පඟුරු යැ මුහුළු යැ සල් යැ මුරුංගා යැ යන මෙ රුක් පිපී සිටී. දුනුකේගස් ද කිණිහිරිගස් ද කණේරුගස් ද පිපි වන සිටී.
6505. මහකුඹුක් ද සුළුකුඹුක් ද මහඋක් ද පිපි වන සිටියි, මොනොවට පිපි අග ඇති කෑලරුක්හු දිලියෙන අඟුරු මෙන් සිටිති.
6506. ඇත්දෙමට යැ සත්පත් (රුක්අත්තන) යැ කඳල යැ වනුක් යැ දුනුවලලා හා තිටිඟ යැ යන රුක්මලින් ද ඇට්ටර හා වරණ රුකින් ද එ වන හොබී.
6507. අසුගස් ද තෙලඹු රුක් ද හින්සල් රුක් ද පිපි වන සිටියි. හෙළවසුරුවක් ද තුවරලා ද මැසිගස් ද උපුල්කොළ ද කුලුවරගස් ද ඇත.
6508. එ වෙනෙහි ඍජු වූ ද පිපියා වූ ද තරුණ රුක් ද මහලු රුක් ද අසපුව දෙපසැ ද ගිනිහල්ගෙය සිසාරා ද සිටී.
6509. තවද එ විල්හි උදකාන්තයෙහි බහුල වැ හටගත් දමුණු (දඹල) ද ඇත. සිහින්මුඟු ද මහමෑ ද කටුකොහොවිල ද බෙහෙවැ.
6510. (එ විල) මියර ඇතියෙ යැ. වාතයෙන් අලළන ලද්දේ යැ. මීමැස්සන් නද දෙන මල්පිපි හුඟුගස් හා රත්කරව්ගස් ඇතියෙ යැ. සුළු අංගෙන්ද මහඅංගෙන්ද හුරුකලන්ද රුක් මෙහි බෙහෙවැ.
6511. බමුණ, හෙළ කලවැලින් ගැවැසිගත් වෘක්‍ෂයෝ සිටිති. සත්දවසක් මුළුල්ලෙහි ධරනුලබන ඒ (දාසී මකචකාදි) කුසුමයන්ගේ සුවඳ නො සිඳෙයි.
6512. මුදලිඳු විල් දෙපසැ හොබනා කුසුම් පවති. එරහැඳි රුකින් සැදි එ වන හොබනෙ යැ. අඩමසක් මුළුල්ලෙහි ධරනු ලබන ඒ එරහැඳි ආදී කුසුමයන්ගේ සුවඳ නො සිඳෙයි.
6513. (එහි) පිපියා වූ දියමෙරලිය සෙතවාරි නිල්කටරොළු ඇත. එ වනය කටෙරුකයෙන් හා තලාගසින් වැසුණෙ යැ.
6514. එ වනය මල් අත්තෙන් පවත්නා ගඳින් (පැමිණි දනන්) මද දනවා මැ යි. මල්ගඳින් හාත්පසැ නද දෙන බමරු වෙති.
6515. බමුණ, ඒ විල් අසැ තුන් කැකිරි ජාතියෙකැ . එක් ජාතියක් කළ පමණ වෙයි. දෙ ජාතියක් මිහිඟුබෙර පමණ වෙයි.
6516. තවද ඒ අසපු අබියෙස අබ ද හරිතායුත යැ නාදිය යැ යන ලුහුණු ද බෙහෙව. ඉඳිරුක්හු තල්රුක් මෙන් සිටිති. මිටින් සිඳැලියැහැකි රන් එරහැඳි බෙහෙව.
6517. ගැහැවි සමණවැල් ද හිරිවැල් ද කෑලිය ද මිහිගෙඳි ද හෝපලු ද නීතු ද ලබුකොමඬු ද හිඟිනි රුක් ද,
6518. කටුකරඬු ද අනෝජා ද පිපී සිටියහ. නාලිය ද හිරමුසු වැල් ද ගස් නැඟ පිපිවන මැ සිටිති.
6519. රන්කටුකරඬු ද වෑකොඳ ද විනිගස් ද ඉද්ද ද වැල්සමන් ද යොහොඹු ද ගඳඇඹුලු ද යන මේ රුකින් එ වන හොබී.
6520. පළොල් ද සුරිදුගස් ද කිණිහිරිගස් ද පිපියාහු රුසිරු ගිනිසිළු වැන්නහ. එළාලූ රන්දැල් මෙන් පැනෙති.
6521. දිය ගොඩැ උපදනා යම් කිසි කුසුමයෙක් ඇද්ද එහැම කුසුම් ඒ විල්හි පැනෙති. මහදියකඳ දරන මුදලිඳු විල මෙසේ රමණී වෙයි.
6522. තවද ඒ මුදලිඳු විල්හි දිය ගොදුරු කොට ඇති, රෙහෙමස්හු ද ඉස්සෝ ද සුඟුමස්හු ද කිඹුලෝ ද මෝරු ද සුංසුමාරයෝ ද බොහෝ වෙති.
6523. මී ද වැල්මී ද තලිස්පතුරු ද පුවඟු ද කළුනීර ද වම්මුතු ද සියපුප් ද ලෝලුප ද,
6524. තුවරලා යැ තුංගවණ්ටක යැ පද්මක යැ නරද යැ කුට්ඨ යැ ඣාමක යැ හරේණුක යැ යන සුවඳ රුක් බෙහෙව.
6525. දෙ කසා ද සිරියෙල් ද හිරිවේරිය ද ගුගුල් ද විභේදිකා ද සොරමල ද තකුල් ද කපුරු ද කිලිඟු ද බෙහෙව.
6526. තවද ඒ වෙනෙහි සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද වෙළඹ මුව පක්‍ෂීහු ද ඇත්හු ද එණි මුවන් හා පසද මුවෝ ද රෙහෙ මුවන් හා සරභ මුවෝ ද,
6527. කැනහිල්ලු ද කොක්නහවෝ ද ගිජුනහවෝ ද පියා බළල්ලු ද රුක්නහවෝ ද සෙමරහු ද තිත්මුවෝ ද වාමුවෝ ද මහකළුවඳුරෝ ද හැලිවඳුරෝ ද රිලාවඳුරෝ ද,
6528. ගෝණහු ද හඟමොරලියෝ ද වලස්සු ද දඩගෝණහු ද බොහෝ වෙති. කගවෙහෙණහු ද හූරෝ ද මුගටියෝ ද කළවැද්දෝ ද ඒ විල්තෙර බොහෝ වෙති.
6529. මිහිවෝ ද රුක්නහවෝ ද සිවල්හු ද උණහපුළුවෝ ද හාත්පසැ ඇවිදුනා ගොයි ද ගජකුඹුවෝ ද චිත්‍රකයෝ ද දිවියෝ ද මෙහි බොහෝ වෙති.
6530. සාවෝ ද සිනිඹිල්ලෝද සිංහයෝ ද කොක්නහනුවෝ ද සරභමුවෝ ද රනමොනරු ද ශ්වේතහංසයෝ ද මහසිනිඹිල්ලෝ ද,
6531. සුවර ලිහිණියෝ ද වනසැවුලෝ ද ඇත්තු ද ඔවුනොවුන්ට රැව්පිළිරැව් දෙන කණකොක්හු ද හෙළකොක්හු ද බස්සෝ ද කිරල්හු ද කොස්ලිහිණියෝ ද දියකාවෝ ද,