6333. රජ තෙම කුමරු ද රජදූ දැරිය ද ගෙන ඔවුනොවුන් ප්‍රිය තෙපුල් බණනුවෝ සතුටු වෙමින් ගියහ.
දාන කාණ්ඩය යි.
6334. අනුමඟ ද පෙරමඟ ද ඉදින් කිසි මිනිස් කෙනෙක් එන්නාහු නම් වඞ්කගිරිය කොහි දැ යි ඔවුන් අතින් මඟ පිළිවිසුම්හ.
6335. ඒ මිනිස්සු එ මඟ අප දැකැ ශෝකරාවයෙන් හැඬූහ. ඔහු වඞ්කගිරිය දුරැ යි දුක් දන්වති.
6336. ඉදින් දරුවෝ මහවෙනෙහි පලගත් රුක් දකිත් ද දරුවෝ දෙදෙන ඒ පල පිණිස වලපිති.
6337. වලප්නා දරුවන් දැකැ කම්පිත වූ මියුරු පලයෙන් විපුල වූ රුක්හු තුමූ මැ නැමී දරුවනට සමීප වෙති.
6338-6339. සර්‍වාඞ්ගශෝභන වූ මද්‍රීදේවී නොවූවිරු ලොමුදහ ගන්වන මේ අසිරිය දැකැ වෙසතුරු රජුගේ තෙදින් රුක්හු තුමූ මැ නතු වූහ. මේ වූ කලි ලොව්හි අපූර්‍ව වූ ලොමුදහ ගන්වන අසිරියෙක් මැ යි කියා සාධුකාර පැවැත්වූ.
6340. දෙවියෝ දරුවන් කෙරෙහි කරුණාවෙන් මඟ හැකුළූහ. (ඔවුන්) නික්මුණු දවස්හි මැ සෑරටට පැමිණියහ.
6341. ඔහු දික්මඟ ගොස් (ධාන්‍යාදීන්) සමෘද්ධ වූ (වස්ත්‍රාභරණාදීන්) විපුල වූ බොහෝ වූ මස් රහ දිය ඇති දනවියෙන් යුතු චේතරටට පැමිණියහ.
6342. සෑරට ස්ත්‍රීහු ස්ත්‍රීලක්‍ෂණයෙන් පරිපූර්‍ණ මද්‍රීදේවිය ආවා දැකැ පිරිවරාගත්හ. මෙ බිසෝ ඉතා සියුමැලි යැ. එතෙකුදු වුව පාගමනින් යෙයි.
6343. මෙ බිසෝ පෙර දවස් හිදොළුවෙන් ද රන්සිවිගෙන් ද ඇවිදැ ඕ මද්‍රී අද අරනෙහි පාගමනින් මැ යෙයි.
6344. සෑරජහු ඒ වෙසතුරු රජහු දැකැ වලප්මින් එළැඹියහ. දේවයිනි, කිම රෝග නැද්ද? දුක් නැද්ද? කිම තොපගේ පිය මහරජ නීරෝග වූයෙ ද? සිවිරටවැසියනට දුක් නැද්ද?
6345. මහරජුනි, තොපගේ සෙනඟ කො ද? තොපගේ රිය මඬුලු කො ද? කිම සතුරන් විසින් නෙරනාලද ද? අසුන් නැතියෙ මැ රිය නැතියෙ මැ මෙ රටට පැමිණියෙහි දැ? යි.
6346. සබඳිනි, මට රෝග නැත. තවද සබඳිනි මට දුක් නැත, මාගේ පියමහරජ නීරෝග වෙයි. සිවිරට වැසියනට ද දුක් නැත.
6347. යම්හෙයෙකින් මම රියහිස් බඳු දළ ඇති, බර උසුලනු වූ සියලු යුද්ධයන්ට කෙත් හඳුනනු වූ සව්සුදු වූ හැම ඇතුනට උතුම් වූ ඇතු දන් දිනිම් ද,
6348. රත්පලසින් වසනලද මදවැහෙන සතුරන් මඩනා යහපත් දළ ඇති වල්විදුනා සහිත වූ කෛලාස පර්‍වතය මෙන් සුදු වූ,
6349. සේසත් සහිත වූ බුමුතුරුණු උඩුවියන් ජවනිකා සහිත වූ ඇත්වෙදුන් සහිත වූ ඇත්ගොවුවන් සහිත වූ රජහු උසුලනු වූ අග්‍රයාන වූ අපගේ හස්තියානය (කලිඟුරටවැසි) බමුණන්ට මම දිනිම් ද,
6350. එකරුණෙහි ලා සිවිරටවැසියෝ මට කිපියහ. මා පියරජ ද ප්‍රතිඝ සිත් ඇත්තේ මා නෙරැපියයි. (එහෙයින්) වඞ්කගිරියට යෙමි. සබඳිනි, (ඇපි) වෙනෙහි යම් තැනෙකැ වසමෝ නම් එහි අපට නිසි පෙදෙසක් දැන කියව.
6351. මහරජුනි, තොප ආයේ මැනැවැ. තවද තොපගේ ඊම නිදොසි, මෙයට පැමිණියහු අපට ඉසුරු වව. තොප රිසියෙන යමක් මෙහි ඇත් නම් කියව, (ප්‍රතිපාදන කොට දෙම්හ.)
6352. මහරජුනි, පැමිණි තෙපි අපට ආගන්තුක වව. පලා ද නෙළුඹල ද මී ද මස් ද පිරිසිදු හැල්බත් ද වළඳව.
6353. හැමදෙනා විසින් පඬුරු කරනලද යමක් ඇද්ද තෙල හැම තොප විසින් දෙනලද මැ මා විසිනුදු පිළිගන්නාලද මැ වේවා. පියමහරජ මා නෙරැපියයි. එහෙයින් වඞ්කගිරියට යෙමි. සබඳිනි, (ඇපි) වෙනෙහි යම් තැනෙකැ වසමෝ ද එහි අපට නිසි පෙදෙසක් දනිවු.
6354. සෑරජහු සිවිරට වඩන සඳමහරජහට තොප නිදොස් බව දන්වන්නට ඔබ අයදනට සඳමහරජ සමීපයට යෙත් ද මහ රජුනි, උන් එන තෙක් මේ සෑරට වාස කරව.
6355. සෑරජහු ලද පිහිට ඇතියාහු එකරුණින් තුටු වැ තොප පෙරට කොට පිරිවරා (ජයතුරා නුවරට මැ) යෙති. ක්‍ෂත්‍රියයෙනි, මෙසේ දනුව.
6356. මහරජහට මා නිදොස් බව දන්වන්නට ඔබ අයදනට රජ අබියසට යෑම තෙපි නහමක් රැස්වවු. එකරුණෙහි ලා රජ ද ඉසුරු නො වෙයි.
6357. සිවීහු ද බලකාය ද නියම්ගම්වැසි කෙළෙඹියො ද යන ඔහු ඉතා කිපියාහු මැ යි. මා හේතුවින් රජ නෙරනට ද රිසි වෙති.
6358. රට වඩන මහරජුනි, ඉදින් එරට එපවත් වී නම් සෑ රටවැසියන් විසින් පිරිවරනලදු වැ මෙහි මැ රජය කරව.
6359. දේවයිනි, මෙරට ද හැම සැපතින් පිරුණේ යැ; සමෘද්ධ යැ විශාල යැ. මේ රජයට අනුශාසනා කරන්නට තෙපි අදහස් කරව.
6360. රටින් නෙරනාලද මට රාජ්‍යානුශාසනා රිස්සෙක් හෝ බුද්ධියක් හෝ නැති. චේතරටවැසියෙනි, මාගේ බස් අසව.
6361. රටින් නෙරනාලද වෙසතුරුහට චේත රටවැසියෝ රාජ්‍යයෙහි අභිෂේක දුන්හ යි සිවීහු ද බලකාය ද නියම්ගම් වැසියෝ ද යන යම් කෙනෙක් ඇද්ද, ඔහු (හැමදෙන) නො සතුටු වන්නාහ.
6362. මා නිසා තොපගේ නො සමගි බව ද නිරතුරු කොට වන්නේ යැ. (එකල්හි) සිවීන්ගේ කලහ ද විග්‍රහ ද මට නො රිසියෙයි.
6363. තවද කර්‍කශ කලහ ද (ඔවුනොවුන්ගේ) පහර දීමුදු නො මඳ වන්නෙ යැ. එසේ කලැ එකලා මා නිසා බොහෝ දෙනා නැසෙන්නේ යැ.
6364. තොප විසින් පඬුරු කරනලද යමක් ඇද්ද, එහැම දෙනලද මැ මා විසිනුදු පිළිගන්නාලද මැ වේවා. පියමහරජ මා රටින් නෙරැපියයි, (එහෙයින්) වඞ්කගිරියට යෙමි. සබඳිනි, වෙනෙහි යම් තැනෙකැ වසමෝ නම් එයට නිසි අවකාශයක් දනුව.
6365. පුදන ලද ගිනි ඇති එකඟසිත් ඇති රාජර්ෂීහු යම් තැනෙකැ සන්හිඳෙත් ද (වෙසෙත්ද) එයට යන මග දක්‍ෂ වනචරකයෝ යම්සේ කියද්ද එසෙයින් ඒකාන්තයෙන් තොපට ඇපි කියම්හ.
6366. මහරජුනි, තෙපි දරුවන් සමග භාර්‍ය්‍යාව සමග යම් තැනෙකැ වාස කරන්නවු නම් එයට නිසි තෙල පර්‍වතය ගන්‍ධමාදන නම් වෙයි.
6367. කඳුළු පිරුණු නෙත් ඇති වලප්නා මුහුණු ඇති සෑරටවැසි රජහු (වෙසතුරුහට) අනුශාසනා කළහ; ‘මහරජුනි, මෙ මඟින් ඍජු වැ උතුරුදිග බලා යව’ යි.
6368. තොපට යහපතක් මැ වේවා. ඉක්බිති නොයෙක් තරුගණයෙන් ගැවැසිගත් මනහර සිහිල් සෙවෙණ ඇති ‘විපුල’ නම් පර්‍වතය දක්නහු,
6369-6370. ඒ ගල ඉක්ම වැළිදු පොතුලොම් මසුන් ගැවැසිගත් මනා තොට ඇති බොහෝ දිය ඇති ගැඹුරු වූ ගල්කුසින් බට කේතුමතී නම් මහ හොයක් දක්නහු එහි නහා පැන් බී තමා දරුවන් අස්වසා,
6371. තොපට යහපතක් වේවා. ඉක්බිති රමණීය වූ කඳු මුදුන්හි හටගත් මනරම් වූ සිහිල් සෙවණ ඇති මධුරඵල ඇති නුගරුකක් දක්නහු,
6372. ඉක්බිති නොයෙක් ලිහිණිගණයා විසින් ගැවැසිගත් කිඳුරන් ගහන වූ ‘නාලික’ නම් ශෛලපර්‍වතය දක්නහු,
6373. ඒ නාලික පර්‍වතයට ඊශාන තන්හි හෙළපියුමින් ද හෙල්මැලි කල්හාරයෙන් ද ගැවැසිගත් විලෙක් ඇත. හෙ මුචලින්‍ද නම් වෙයි.
6374. ඒ තෙපි නිල්වලාකුළක් බඳු වූ නිරතුරු පලාවන් තණබිම් ඇති මල්රුකින් ද පලරුකින් ද යන දෙකින් ගැවැසිගත් වනලැහැබට ගොදුරු කැමැති සිංහයක්හු මෙන් පිවිසෙව.
6375. එහි නොවිසිරැ පිඬු වැ පවත්නා හඬ ඇති මියුරු රුව් ඇති නන් පැහැ නන් කුල ඇති බොහෝ සියොත්හු ඍතුසමයෙහි පිපිරුක්හි හිඳ කුල්නවුන් අනුව කුල්ති,
6376-6377. ඒ තෙපි එහි ගොස් ගිරිකඳුරු ද නදීනට ප්‍රභවස්ථාන වූ ඌල්විටු (උල්දිය පෙදෙස්) ද කරඳ කුඹුකින් යුත් පොතුලොම් මසුන් ගැවැසිගත් මනා තොට ඇති පිළිකුල් ගඳ නැති මිහිරි වූ බොහෝ දිය පිරුණු සම වැ සිවුරැස් වූ පොකුණක් දක්නහු.
6378. ඒ පොකුණට ඉසාන තන්හි පන්සලක් මවන්නහු. පන්සලක් මවාගෙන වනමුල් වනපලයෙන් යැපෙමින් නො පමා වැ වාස කරව.
වනප්‍රවේශ කාණ්ඩය නිමි.
6379. කලිඟුරට (දුන්නිවිට්ඨ නම් ගම්) වැසි ‘ජූජක’ නම් බමුණෙක් වී. ඔහුට නමින් ‘අමිත්තතාපනා’ නම් තරුණ අඹුවක් වුව.
6380. එගම්හි ස්ත්‍රීහු දිය ගෙනෙනුව හොයට ගියාහු ඒ අමිත්තතාපනාට මෙසේ කීහු: ඒ ස්ත්‍රීහු කුහුල් ඇතියන් මෙන් පිරිවරාගෙන ඇයට පිරිහෙළා තෙපලූහ.
6381. මෙවන් තුරුණු බව ඇති කල්හි යම් කෙනෙක් තී මේ ජරපත් මහල්ලාට දුන්හු ද තීගේ ඒ මව සැතිරියකැ යි හඟුම්හ. තීගේ ඒ පියා සතුරෙකැ යි හඟුම්හ.
6382. මෙවන් ළදරු බව ඇති කල්හි යම් කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හු ද තීගේ ඒ නෑයෝ රහසිගත ව තිට අහිතයක් මන්ත්‍රණ කළාහු වන.
6383. මෙවන් සොඳුරු ළදරු බව ඇති කල්හි යම් කෙනෙක් තී මේ ජරාජීර්‍ණ මහල්ලාට දුන්හු ද තීගේ ඒ නෑයෝ රහසැ හිඳ තිට දුෂ්කරයක් මන්ත්‍රණ කළාහු වන.
6384. මෙවන් ළදරු විය ඇති කල්හි යම් කෙනෙක් තී මේ ජරපත් මහල්ලාට දුන්හු ද තීගේ ඒ නෑයෝ රහෝගත වැ තිට පව්කමක් මන්ත්‍රණ කළාහු වන.
6385. මෙවන් තුරුණුබව් ඇති කල්හි යම් කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හු ද තීගේ ඒ නෑයෝ එකලා වැ හිඳ තිට අමනාපයක් බැණගත්හු වන.
6386. මෙවන් ළදරු බව ඇති කල්හි නොමනා විසීමක් වසහි, යම් බඳු තෝ මහල්ලාගේ ගෙහි වාස කෙරෙහි ද ඒ තීගේ ජීවිතයට වඩා මරණය උතුමැ.
6387. කලණ වූ සොඳුරිය, මෙවන් තරුණ බව ඇති කල්හි තී යම් කෙනෙක් මහල්ලාට දුන්හු ද ඒ තීගේ මවු ද පියා ද තිට අනෙක් සැමියකු නො ලත්හ යි හඟුම්හ.
6388. මෙවන් දහර බව ඇති කල්හි තී යම් කෙනෙක් මහල්ලාට දුන්හු ද ඒ තී විසින් නවමි යාගය නපුරු කොට පුදනලද වන. (තී දුන් යාගපිණ්ඩය පළමු කොට මහලු කවුඩකු විසින් ගන්නාලද වන) තී විසින් ගිනිපූජා නො කරනලද වන.
6389. මෙවන් තාරුණ්‍ය ඇති කල්හි යම් බඳු තෝ මහල්ලාගේ ගෙහි වාස කෙරෙහි ද ඒ තෝ ලොව්හි බඹසරෙහි නියැලි සිල්වත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති මහණබමුණන්ට ආක්‍රෝශ කෙළෙහි වන.
6390. නයකු විසින් ඩගනලද්දෙ දුක් නො වෙයි, සැතින් පහරන ලද්දේ දුක් නො වෙයි, යම් ස්ත්‍රියක් මහලු සැමියකු දකී ද හෙ මැ දුක් ද තියුණු දුක් ද වෙයි.
6391. මහලු සැමියා සමග ක්‍රීඩාවක් නැත (නො හොබී) කාමරති නැත, අල්ලාපසල්ලාප නැත, (කඩදත් විවර කොට සෙන්නහුගේ) සිනා ද නො හොබී.
6392. යම් කලෙක තරුණයා ද තරුණී ද දෙදෙන රහසි වැ හිඳ රහස් කියද්ද එසඳ තුලුන්ගේ ළය ඇසුරු කළ යම් කිසි ශෝක කෙනෙක් ඇද්ද ඒ හැම ශෝකයෝ නසිති.
6393. තෝ ළදැරියෙහි, රූ ඇතියහු, පිරිමින් විසින් වෙසෙසින් පතනලදුවහු, නැඟීයා, නෑයන්ගේ ගෙහි වස, මහල්ලා (තී පස්කම් ගුණෙන්) කෙසේ රමණය කරන්නේ දැ යි කීහු.
6394. බමුණ, තොප මහලු හෙයින් (මෙ ගමැ) ගැහැනු මට පිරිහෙළා කියති. එහෙයින් බමුණ, තොපට දිය ගෙනෙනුව හොයට නො යමි.
6395. තෙපි මට මෙහෙ නො කරව, නහමක් මට දිය ගෙනෙව, මම දිය ගෙනෙමි. භවතී නහමක් කිපෙව.
6396. යම් හෙයෙකින් තෙපි දිය ගෙනෙන්නවු නම් මම් වනාහි එවන් (සැමියන්ගෙන් මෙහෙ ගන්නා) කුලෙහි නූපන්මු. බමුණ, මම තොපගේ ගෙහි නො වසන්නමු. මෙසේ දනුව.
6397. බමුණ, ඉදින් මට දසකු හෝ දැස්සක හෝ නො ගෙනෙන්නවු නම් තොප කෙරෙහි නො වසන්නමු. බමුණ මෙසේ දනුව.
6398. බැමිණිය, මා සතු ශිල්පයෙක් හෝ ධනයෙක් ධාන්‍යයෙක් හෝ නැත. මම කිසෙයින් භවතියට දසකු හෝ දැස්සක හෝ ගෙනෙම් ද? මම භවතියට මෙහෙ කරන්නෙමි. භවතී නහමක් කිපෙව.
6399. එව, යම්සේ මා විසින් තෙපුලෙක් අසනලද ද එසෙයින් මම තොපට කියමි, තෙල වෙසතුරු මහරජ වඞ්කගිරියෙහි වාස කෙරෙයි.
6400. බමුණ, තෙපි (එහි) ගොස් ඔබ අතින් දසකුදු දැස්සක ද යදුව. තොප විසින් යදනාලද එ රජ තොපට දසකුදු දැස්සක ද දෙන්නෙ යැ.
6401. මම මහල්ලෙමි, බල නැත්තෙමි, මඟ ද දික් වෙයි, අතිශය දුර්‍ගම යැ. භවති නො හඬව. තෙපි නහමක් දොම්නස්ව, මම භවතියට මෙහෙ කරනෙමි, භවතී නො කිපෙව.
6402. බමුණ, යම්සේ සටනට නො ගොස් යුද නැතියෙ මැ පැරැදියෙහි ද, එසෙයින් මැ තෙපි නො ගොස් මැ පැරැදියෙහි.
6403. බමුණ, ඉදින් මට දාසයකු හෝ දාසියක හෝ නො ගෙනෙන්නවු නම් මම තොපගේ ගෙහි නො වසමි. බමුණ, මෙසේ දනුව, තොපට නො රුස්නක් කරනෙමි, ඒ තොපට දුක් වන්නෙ යැ.
6404. යම් කලෙකැ (ෂට්ඍතුයෙහි) සෘතුසන්‍ධීන්හි පවත්නා සැණකෙළියෙහි සර්‍වාභරණයෙන් සැදුණු මා අන් පිරිමින් හා සමග රමණය කරන්නිය දක්නහු ද ඒ තොපට දුක් වන්නෙ යැ.
6405. මා නො දැක්මෙන් හඬන්නා වූ මහලු තොපගේ වක ද බොහෝ වන්නේ යැ. නර ද බොහෝ වන්නෙ යැ.
6406. ඉක්බිති එ බමුණු බියපත් වැ බැමිණියගේ වයසට ගියෙ කාමරාගයෙන් පෙළනලද්දෙ බැමිණියට තෙල කරුණ කී:
6407.බැමිණිය, තෙපි සංකුල පූ ද සකුරු පූ ද මොනවට කළ අත්වට ද අත්සුණු ද බත්පළාවක් (බත්මුලක්) ද මට මඟ උපකරණ කොට දෙව.
6408. සමානකුල ඇති කුමරුවන් දෙදෙනකුන් තොපට දස් පිණිස ගෙනෙන්නෙමි. ඔහු දවරැය නො මැළි වැ තොපට මෙහෙ කරන්නාහ.
6409. බමුණු මෙසේ කියා වහන් ලී ය. ඉක්බිති හේ රහස් ඔවා දී අඹුව පැදකුණු කොට,
6410. එ බමුණු සමාදන් වූ ව්‍රත ඇතියේ වලප්නා මුහුණු ඇතියේ දැසිදසුන් සොයා ඇවිදිනෙ සිවීන්ගේ සම්පත්තීන් විපුල වූ ජයතුරා නුවර ට පිටත් වැ ගියේ.
6411. හේ එහි ගොස් එහි යම් කෙනෙක් රැස් වැ සිටියාහු ද ඔවුන්ට මෙසේ කී: වෙසතුරු මහරජ කොහි ද? එ රජ කොහි දී දක්මෝ දැ යි.
6412. එහි යම් කෙනෙක් රැස් වැ සිටියාහු ද එ ජනයා ඔහට මෙසේ කී: බමුණ, තොප විසින් අධික දානයෙන් පෙළෙන ලද රජ සිය රටින් නෙරනලද්දෙ වඞ්කගිරියෙහි වාස කෙරෙයි.
6413. බමුණ, තොප විසින් අතිදානයෙන් පෙළනලද රජ තෙම අඹුදරුවන් ද ගෙන ගොස් වඞ්කගිරියෙහි වාස කෙරෙයි.
6414. කාමයෙහි ගිජු වූ එ බමුණු බැමිණිය විසින් චෝදනා කරනලද්දේ වල්මුවන් විසින් ගැවැසිගත් කගවෙහෙණුන් හා දිවියන් විසින් සෙවුනා ලද වනයෙහි වින්දයුතු යම් දුකෙක් ඇද්ද එ දුක් අනුභව කෙළේ.
6415. එ බමුණු බේලුව සැරයටිය ද ගිනි පුදන කෙණෙස්ස ද කමඬලාව ද ගෙන යම් අරනෙකැ කැමැති සැපත් දෙන වෙසතුරු රජ වෙසෙතී ඇසී ද ඒ මහ අරනට පිවිසියේ යැ.
6416. ඒ මහවල් වන් බමුණු (වන දොර රක්නහුගේ) බල්ලෝ පිරිවරාගත්හ. හෙ මහ හඬින් හැඬී. මං මුළා වූයේ මඟින් දුරු වැ ගියේ.
6417. ඉක්බිති භෝගයෙහි ගිජු වූ සංයමයක් නැති එ බමුණු ගොස් වඞ්කගිරියට යන මඟ මුළා වූයෙ මේ ගාථා කී:
6418. රාජපුත්‍ර වූ උතුම් වූ මසුරුසිත් ජය ගන්නා වූ අපරාජිත වූ බියෙහි අභය දෙන්නා වූ වෙසතුරු රජ වසන තැන් කවරෙක් මට දැන කියන්නෙ ද?
6419. යමෙක් යදියනට පිහිට වී ද, පොළොව මෙන් හැම සත්නට පිහිට වූ දෙරණට උපමා වූ ඒ වෙසතුරු මහරජහු (වසන තැන්) කවරෙක් මට දැන කියන්නෙ ද?
6420. ගංගාවනට සාගරය මෙන් යමෙක් යදියනට පිළිසරණ වී ද සයුරට උපමා වූ වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
6421. හෙළපියුමින් සැදුණු කුසුම් රේණුයෙන් යුත් කලණ තොට ඇති පවිත්‍ර වූ සිහිල් සෙවණ ඇති මනරම් විලක් බඳු වූ වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
6422. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මඟ මිරිකුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් ඇසතු රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
6423. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මාර්‍ගක්ලාන්තයනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් නුග රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
6424. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මඟ මිරිකුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් අඹ රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
6425. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මහමඟ පෙළුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් සල්රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
6426. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මහමඟ මිරිකුණානට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
6427. මහවල්හි මංමුළා වූ මෙසේ වලප්නා මට යමෙක් ‘මම දන්මි’යි කී නම් හෙ මට සොම්නස් දනවන්නෙ යැ.
6428. මහවෙනෙහි මංමුළා වූ මෙසේ වලප්නා මට යමෙක් ‘මම දන්මි’ කී නම් හෙ ඒ එක් වදනින් බොහෝ පින් රැස් කරන්නෙ යි.
6429. ඔහට, වැදි වැ වෙනෙහි ඇවිදුනා චේත රටවැසියෙක් මෙසේ පිළිවදන් ඇස්වී: බමුණ, තොප විසින් අතිදානයෙන් පෙළෙන ලද රජ තෙම සියරටින් නෙරනලද්දෙ වඞ්කගිරියෙහි වාස කෙරෙයි.
6430. බමුණ තොප විසින් අධිකදානයෙන් මඩනාලද වෙසතුරු රජ අඹුදරුවන් ද ගෙනගොස් වඞ්කගිරියෙහි වෙසේ.
6431. නුවණ නැති නො කටයුතු කරනසුලු තෝ දියෙහි මසකු සොයන කොකකු මෙන් වෙස්සන්තර රාජපුත්‍රයා සොයමින් රටින් නික්ම මහවනයට ආයෙහි.
6432. බමුණ, මම මෙහි දී ඒ නො කටයුතු කරන තට දිවි නො දෙමි. ම විසින් විදුනාලද මේ සරය තාගේ ලේ බොන්නේ යැ.
6433. බමුණ, තා මරා තාගේ හිස සිඳැ අක්මා සහිත හදමස් කපාගෙනැ තාගේ මසින් මාර්‍ගදේවතාවන්ට ‘පන්‍ථසකුණ” යාග කරන්නෙමි. (බිලියම් කරනෙමි)