6228. කසීසළු ද ‘ඛොම’ රටෙහි ‘කොදුම්බර’ රටෙහි නිපන් සළු ද ධරා මද්‍රීදේවී කුසවැහැරි ධරනු කෙසේ නම් කරන්නී ද?
6229. හිදොළුයෙන් ද සිවිකායෙන් ද රියෙන් ද මෙනුවර සිසාරා ඇවිද නිදොස් සිරුරු ඇති ඕ අද කෙසේ නම් පාගමනින් මහමඟ යා ද?
6230. යමකුගේ සුවසේ වැඩුණු මොළොක් අතුල්පතුල් ඇති හස්තපාදයෝ වෙත් ද, නිදොස් සිරුරු ඇති බියසුලු ඕ අද කෙසේ නම් වනයට යා ද?
6231. යමකට සුවසේ වැඩුණු මොළොක් අතුල්පතුල් ඇති අත්පා ඇද්ද, යම් ස්ත්‍රියක් රන් මිරිවැඩිසඟළින් යුතු වැ මිරිකෙමින් මැ යා ද, ප්‍රශස්ත අවයව ඇති ඕ අද කෙසේ නම් පාගමනින් මහමඟ යා ද?
6232. පැළැඳි මල්දම් ඇති යම් ස්ත්‍රියක් දහසක් ස්ත්‍රීන්ට පෙරටු වැ යා ද, ප්‍රශස්ත ශරීර ඇති ඕ අද කෙසේ නම් එකලා වැ වනයට යා ද?
6233. යම් ස්ත්‍රියක් පෙරැ සිවල්දෙනකගේ හඬ අසා එකෙණෙහි තැතිගනී ද, අගරහිත සිරුරු ඇති බියසුලු ඕ අද කෙසේ නම් වනයට යා ද?
6234. යම් ස්ත්‍රියක් නාද කරන කෞෂිකගෝත්‍ර ඇති මහමුහුණුහුගේ හඬ අසා බිය වැ දේවතාවිෂ්ට යක්‍ෂදාසියක මෙන් වෙවුළා ද අනින්‍දිත ශරීර ඇති බියසුලු ඕ අද කෙසේ නම් වනයට යා ද?
6235. හිස් වූ කැදැල්ල දැකැ, දරුවන් නට ලිහිණියක මෙන් මම දරුවන්ගෙන් හිස් වූ මෙ නිවෙසට අවුත් බොහෝ කලක් දුකින් සිතිවිලිපර වන්නමු.
6236. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් මළ කිරිල්ලක මෙන් මම හිස් වූ මෙ නිවෙසට අවුත් (වෙසතුරු මද්‍රී) ප්‍රියපුතුන් නො දක්නී කෘශ වැ පඬුවන් වන්නමු.
6237. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් මළ කිරිල්ලක මෙන් මම හිස් වූ මෙ නිවෙසට අවුත් ප්‍රියපුතුන් නො දක්නී ඒ ඒ තැන දිවැයන්නමු.
6238. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් නැසුණු උකුසුදෙනක මෙන් මම හිස් වූ මෙ නිවෙසට අවුත් දිගුකලක් සිතිවිලිපර වන්නමු.
6239. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් මළ උකුසුදෙනක මෙන් ප්‍රියපුතුන් නො දක්නී කෘශ වැ පඬුවන් වන්නමු.
6240. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් මළ ලිහිණියක මෙන් ප්‍රියපුතුන් නො දක්නී ඒ ඒ තැන දිවැයන්නමු.
6241. දිය සිඳී මඩෙහි සක්වා ලිහිණියක මෙන් ඒ මම දරුවන් නැති බැවින් හිස් වූ නිවසට අවුත් බොහෝ කලක් ඒකාන්තයෙන් දුකින් සිතිවිලිපර වන්නමු.
6242. දියසුන් මඩෙහි සක්වා ලිහිණියක මෙන් ඒ මම ඒකාන්තයෙන් ප්‍රියපුතුන් නො දක්නී කෘශ වැ පඬුවන් වන්නමු.
6243. දියසිඳුණු මඩෙහි සක්වා ලිහිණියෙක මෙන් මම ඒකාන්තයෙන් ප්‍රියපුතුන් නො දක්නී ඒ ඒ තන්හි දිවැයන්නමු.
6244. මෙසේ වැලැපෙන මට අනදර කොට නිදොස් (වෙසතුරු) රජපුතු රටින් වනයට නෙරැපී යැ, මම මදිවි හෙළනෙමී සිතම්.
6245. ඇගේ වැලැපීම අසා රැස් වූ අන්තඃපුරයෙහි බොහෝ සිවි කන්‍යාවෝ හිසැ අත් බැඳැගෙන හැඬූහු.
6246. වෙස්සන්තර මාලිගාවෙහි අඹුදරුවෝ ද පවනින් මඩනා ලදු වැ ඇලලගිය සල්වනයක් මෙන් ඇදැවැටෙති.
6247. වෙස්සන්තර මාලිගාවෙහි අන්තඃපුර ස්ත්‍රීහු ද කුමාරයෝ ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද හිසැ අත් බැඳැගෙන හැඬූහ.
6248. වෙස්සන්තර මාලිගාවෙහි අසරුවෝ ද ඇතරුවෝ ද රියැදුරෝ ද පාබළ සෙනඟ ද හිසැ අත් බැඳගෙන හැඬූහ.
6249. ඉක්බිති රාත්‍රිය අවසන්හි හිරු උදාවන වේලෙහි වෙසතුරු රජ දන් දෙන පිණිස පැමිණියේ යැ.
6250. වස්ත්‍ර කැමැත්තනට වස්ත්‍ර ද රහසොඬුනට මත්පැන් ද බොජුන් කැමැතියනට බොජුන් ද මැනැවින් දෙවයි (සැටදහසක් ඇමැතියනට එහි) පැමිණෙව යි කී.
6251. මෙහි ආ කිසි යදියකු නො පෙළවු. ආහාරපානයෙන් පිණවවු. මා විසින් පුදනලදු වැ පෙරළා යෙත්වා!
6252. සිවිරට වර්ධනය කරන රජතුමන් නික්මෙන කල්හි ඔවුනතර වූ යදියෝ මත් වූවන් මෙන් ක්ලාන්ත වූවන් මෙන් බිම ඇදැවැටෙති.
6253. භවත්නි, නිදොස් වෙසතුරු රජ යම්සේ රටින් නෙරපියත් ද ඔහු එකත්නෙන් නොයෙක් පල දරන රුකක් සිඳැලූහ.
6254. භවත්නි, නිදොස් වෙසතුරු රජ යම්සේ රටින් නෙරපියත් ද ඔහු එකත්නෙන් හැම කැමැතිදෑ දෙන රුකක් සිඳැලූහ.
6255. භවත්නි, නිදොස් වෙසතුරු රජ යම්සේ රටින් නෙරපියත් ද ඔහු එකත්නෙන් සියලු කැමැති රස එළවන රුකක් සිඳැලූහ.
6256. සිවිරට වඩන මහරජ නික්මෙන කලැ බාල වූ ද වෘද්ධ වූ ද මධ්‍යම වූ ද යම් පුරුෂ කෙනෙක් ඇද්ද (එ හැම දෙන) හිසැ අත් බැඳැගෙන හැඬූහ.
6257. සිවිරට වඩන මහරජ නික්මැ යන කලැ භූතවිද්‍යාධරයෝ ද බීජෝද්ධරණ කළ අන්තඃපුර පාලකයෝ ද ඇතොවුරෝ ද රජවරු ද හිසැ අත් බැඳැගෙන හැඬූහ.
6258. සිවිරට වඩන මහරජ නික්මැයන කලැ එනුවර යම් ස්ත්‍රීහු වූහු නම් ඔහු ද එහි හැඬූහ.
6259. බමුණු යැ මහණ යැ තවද ගුණකියන යදියෝ යැ යන යම් කෙනෙක් ඇද්ද එ හැමදෙන භවත්නි, අධර්‍මයෙකැ යි හිසැ අත් බැඳැගෙන හැඬූහ.
6260. වෙසතුරු රජ යම්සේ සිය නුවර දන් දෙනුයේ සිවිරට වැසියන්ගේ වදනින් සියරටින් නික්ම යා ද,
6261-62. සව්බරණින් සරසනලද රන්පොරොදු රන්කසුකම් කළ වස්ත්‍ර ඇති මහසිරුරැති, අඩයටි අකුසු ගත් අත් ඇති ඇතරුවන් නැඟි ඇතුන් සත්සියක් දන් දී සිවිරට වැසියන්ගේ වචනයෙන් මෙ වෙසතුරු රජ සියරටින් නික්මැ යයි.
6263-6264. දුනුහී ධරන අසරුවන් නැඟි සව්බරණින් සදනලද වෙලෙවි ගමන් ඇති සින්දුදේශයෙහි උපන් ආජානේය (ස්වාමියාගේ අදහස දන්නා) අසුන් සත්සියක් දන් දී මෙ වෙසතුරු රජ සිය රටින් නික්මැ යයි.
6265-6266. දුනුහී ඵලකායුධ ගත් අත් ඇති රියසරුවන් නැඟි දිවිසමින් හා ව්‍යාඝ්‍රසමින් වට කළ සියලු අලංකාරයෙන් සරහන ලද නඟනලද ධ්වජ ඇති සන්නද්ධ රථ පන්සියක් දන් දී මෙ වෙසතුරු රජ සියරටින් නික්ම යයි.
6267-6268. රන්බරණින් සැදි, රන්පමුයෙන් (හවඩියෙන්) බඳනා ලද කසාවන් ලකර ඇති, කසාවන් වස්ත්‍ර ඇති, කසාවන් අබරණින් සරසන ලද විසල් ඇස් ගඬ ඇති, මඳසිනා පෙරදැරි කථා ඇති, මනා උකුළු ඇති, සිහිනිඟ ඇති සත්සියක් ස්ත්‍රීන් දන් දී මෙ වෙසතුරු රජ සියරටින් නික්මෙයි.
6269. එකෙකි දෙන රිදීමුවා කිරිදෝනා බඳුන් සහිත වැ දෙනුන් සත්සියක් දන් දී මෙ වෙසතුරු රජ සියරටින් නික්මෙයි.
6270. සත් සියයක් දාසියන් ද සත් සියයක් දාසයන් ද දන්දී මෙ වෙසතුරු රජ සියරටින් නික්ම යයි.
6271. ඇතුන් ද අසුන් ද රිය ද සරසනලද ස්ත්‍රීන් ද දන් දී මෙ වෙසතුරු රජ සියරටින් නික්මෙයි.
6272. මහදන් දුන් කල්හි මහපොළොව කම්පා විය. එකලැ බිහිසුණු බවෙක් විය. එකල ලොමුදහගැන්මෙක් විය.
6273. යම් කලෙකැ ඇඳිලි බැඳි රජ සියරටින් නික්මැ ගියේ ද එකලැ බිහිසුණු බවෙක් විය. එකලැ ලොමුදහගැන්මෙක් වී.
6274. ඉක්බිති “දන්දීම් හේතුවින් තොප රටින් නෙරති. ඒ තෙපි යළිදු දන් දුන්හු” යයි මහත් බිහිසුණු ඝෝෂයෙක් පවතී.
6275. සිවීන්ගේ රට වඩන වෙසතුරු රජ (සියරටින්) නික්මෙන කලැ ඒ මහාජනකාය අතුරෙහි ගුණකියා යදනා යදියෝ මත් වූවන් මෙන් ක්ලාන්ත වූවන් මෙන් ඇදවැටෙති.
6276. දැහැමි රජුන් අතුරෙහි උතුම් වූ සඤ්ජය රජ ඇමතී: දේවයිනි තෙපි මා රටින් නෙරපියව. මම වඞ්කගිරියට යෙමි’ යි.
6277. මහරජතුමනි, යම් කෙනෙක් (අතීතයෙහි) වූහු ද (අනාගතයෙහි) වන්නාහු ද (වර්‍තමානයෙහි වෙත් ද) ඔහු හැම දෙන කාමයෙන් තෘප්ත නො වූවාහු මැ මරණයට යෙති.
6278. ඒ මම සියනුවරැ දන් දෙන්නෙම් තමාගේ නුවර වැසියන් පෙළීමි. ඒ මම සිවිරටවැසියන්ගේ බසින් සියරටින් නික්මෙන්නෙමි.
6279. කගවෙහෙණුන් දිවියන් විසින් සෙවුනාලද වල්මුවන් ගැවැසිගත් මහවෙනෙහි විඳියැයුතු ඒ දුක් විඳිනෙමි. මම පින් කෙරෙමි. තෙපි කාමපඞ්කයෙහි (මඩෙහි) ගැලෙව.
6280. මෑණියෙනි, මට (පැවිදි) අනුදනුව, මට පැවිද්ද රිසි වෙයි. ඒ මම සියනුවරැ දන් දෙන්නම් සියනුවරුන් පෙළීමි. ඒ මම සිවිරටවැසියන්ගේ වචන හේතුවින් සියරටින් නික්මෙන්නෙමි.
6281. කගවෙහෙණුන් දිවියන් විසින් සෙවුනාලද වල්මුවන් ගැවැසිගත් මහවෙනෙහි විඳියැයුතු ඒ දුක් විඳිනෙමි. මම පින් කෙරෙමි. තෙපි කාමපඞ්කයෙහි ගැලෙව.
6282. පුත, පැවිදි අනුදනිමි. තොපගේ පැවිදි සමෘද්ධ වේවා, වැළිත් මනා උකුළු ඇති සිහිනිඟ ඇති යහපත් වූ මේ මද්‍රී දේවි දරුවන් හා සමග මෙහි මැ සිටීවා, වෙනෙහි කුමක් කරන්නී ද?
6283. නො කැමැත්තෙන් දාසියක ද වනයට ගෙනයන්නට මම උත්සාහ නො කෙරෙමි. ඉදින් ඕ කැමැති වූ නම් මා අනුව ඒවා, ඉදින් නො කැමැති වූ නම් සිටීවා.
6284. ඉක්බිති (පිය) මහරජ (පුතුගේ කථා අසා) ලෙහෙලිය යදනට පිළිපන්නේ යැ: රත්සඳුන් අලෙව් දුන් සිරුරෙහි රජස්දැලි නො දරව.
6285. කසීසළු ධරා කුසවැහැරි නො ධරව. වෙනෙහි වාසය දුකෙකි. සුන්‍දරලක්‍ෂණ ඇත්තිය, තෙපි නො යව.
6286. සියලු අඟපසඟින් හොබනා මද්‍රී රාජදුහිතෘ තොමෝ (මයිලණු) රජහට මෙසේ කිවු: “වෙසතුරු රජුගෙන් වෙන් වැ මට යම් සුවයෙක් ලැබේ නම් මම ඒ සුව නො කැමැත්තමු”.
6287. සිවීන්ගේ රට වඩනා මහරජ ඇයට මෙසේ කී: එම්බා මද්‍රී දේවීනි, වනයෙහි නො ඉවසියැහැකි යම්බඳු දුඃඛයෝ වෙත් ද ඒ දුක් අසව.
6288. එහි කුඩා ප්‍රාණීහු යැ පළගැටියෝ යැ මදුරුවෝ යැ මීමැස්සෝ යැ යන මොහු බොහෝ වෙති. ඔහු ද එහි දී තොපට හිංසා කරන්නාහු යැ. එය තොපට අතිශයින් දුක් වන්නෙ යැ.
6289. ගං ඉවුරු ඇසුරු කළා වූ දුටුවන් තවන අනෙක් සත්‍ව කෙනෙකුන් බලව. විෂ නැති පිඹුරු නමැති සර්‍ප කෙනෙක් ඇති. ඔහු මහත් බල ඇත්තාහ.
6290. ඔහු තමා සමීපයට ආ මිනිසකු හෝ මුවකු හෝ දරණවැළින් වෙළා තමා වසයට ගනිති.
6291. හිසෙහි කළු වූ අවුල්ලොම් සළා ඇති වලස් නම් අන්‍ය වූ ද දුක් එළවන සිවුපා කෙනෙක් ඇත. ඔවුන් විසින් දක්නාලද පුරුෂයා ගසට නැඟ නො මිදෙයි.
6292. මෙහි “සෝතුම්බර” ගංතෙරැ තියුණු අග ඇති අං ගටමින් පහර දෙන කුළුමීවෝ හැසිරෙති.
6293. වනයෙහි හැසිරෙන මුවරැළ ගවරැළ දැකැ වස්සා කෙරෙහි ලොල් වූ දෙනක මෙන් (දරුවන් නො දක්නා) මද්‍රී කුමක් කරන්නී ද?
6294. මද්‍රීදේවීනි, රුක්මතැ පනන විරූප වූ වඳුරන් දැකැ වනමඟ නො දන්නා තොපට මහත් භය වන්නෙ යැ.
6295. යම් බඳු තෙපි පෙර සිවල්දෙනකගේ හඬ අසා පුනපුනා තැති ගතුව, ඒ තෙපි වඞ්කගිරියට පැමිණියහු කුමක් කරන්නවු ද?
6296. මධ්‍යාහ්න වේලෙහි පක්‍ෂීන් නිහඬ වැ සිටි කල්හි මහවනය නාද කරන්නාක් වැන්න. එහි කුමට යනු කැමැත්තවු ද?
6297. සර්‍වාඞ්ග ශෝභන වූ මද්‍රී රාජපුත්‍රී එ රජහට මෙසේ කිවු: වනයෙහි යම් ප්‍රතිභය කෙනෙකුන් මට කීයෙහි ද, එ හැම ඉවසන්නමු. උතුමාණෙනි, යන්නමු මැ යි.
6298. කාශතෘණ යැ කුශතෘණ යැ පොටකිල තෘණ යැ සැවැන්න යැ මෘදු තෘණ යැ බබුස් තෘණ යැ යන මේ (ඉදිරියෙහි සිට) උරයෙන් දෙපසට කොට බැහැර කරන්නමු. මොහු (වෙසතුරු රජු) විසින් දුකසේ ගෙනයන්නක් නො වන්නෙමු.
6299-6300. කුමාරී තොමෝ බොහෝ වූ ව්‍රතචර්‍ය්‍යායෙන් ස්වාමියකු ලබාගනී: (රූ සපුව වඩනු පිණිස) උපවාසයෙන් ද ගවහනුයෙන් උකුළුතලය තැළීමෙන් ද (උදරය) වෙළීමෙන් ද ගිනිපිදීමෙන් ද දියෙහි කිමිදීමෙන් ද යන මෙයිනි. ලොවැ වැන්දඹු බව අමිහිරි යැ, (එහෙයින් හිමියා සමග) යන්නමු මැ යි.
6301. යම් නීචජාතිකයෙක් ඒ වැන්දඹුව නො කැමැත්තෙන් අත ගෙන අදනේ වේ ද, හේ (පළමු) ඇයගේ ඉඳුල් බුදිනට පවා නො ලබනුයේ වෙයි.
6302. (පරපුරුෂයා අස්වාමික ස්ත්‍රිය) එසවීමෙන් බිමැ හෙළා පයින් කෙස් මැඩ අවමන් කරයි. අනල්ප වූ බොහෝ දුක් දී ද ඉවත් වැ නො යයි. මහරජුනි, ලොවැ වැන්දඹු බව කටුක යැ එහෙයින් එකත්නෙන් යන්නමු.
6303. (නහන සුණුයෙන් නැඟු) සුදුසිවි ඇති (එයින්) සුන්‍දරයම්හ’යි කළ මාන ඇති විධවාර්ථිකයෝ (වැන්දඹුව පතන්නෝ) අල්පමාත්‍ර ධනයක් දී කවුඩුවෝ මහමුහුණකු අදනා මෙන් නො කැමැත්තෙන් ඇදගනිති. මහරජුනි, ලොවැ විධවා භාවය කටුක යැ එහෙයින් යන්නමු මැ යැ.
6304. රන්කැලුමින් බබළන ආඪ්‍ය වූ නෑකුලෙහි වසන්නී නමුදු සොහොයුරන් යෙහෙළියන් කෙරෙන් නින්‍දාබස් නො ලබන්නී නො වෙමි. මහරජුනි, ලොවැ විධවාත්‍වය කටුක යැ, එහෙයින් යන්නමු මැ යැ.
6305. දිය නැති ගඟ නග්න යැ; රජ නැති රට නග්න යැ; යම් ස්ත්‍රියකට දසබෑ කෙනෙක් ඇත්තාහු නමුදු වැන්දඹු ස්ත්‍රී ද නග්න යැ. මහරජුනි, ලොවැ පතිශුන්‍යභාවය කටුක යැ, එහෙයින් යන්නමු මැ යැ.
6306. ධ්වජය රථයට සලකුණ යැ. ධූමය ගින්නට සලකුණ යැ, රජ රටට සලකුණ යැ, ස්වාමියා ස්ත්‍රියට සලකුණ යි. මහරජුනි, වේධව්‍යය ලොවැ කටුක යැ, එහෙයින් යන්නමු මැ යැ.
6307. යම් කීර්තිමත් ස්ත්‍රියක් දිළිඳු හිමිහට දිළිඳු වැ පොහොසත් හිමිහට පොහොසත් වැ කල් ගෙවා ද දෙවියෝ එකත්නෙන් ඇය පසසති. යම් හෙයකින් ඕ දුෂ්කරයක් කෙරේ ද එහෙයිනි.
6308. හැම කල්හි කසාවත් ධරමින් හිමියා පසුපස්හි යන්නමු. නො බෙදූ පොළොවෙහි ඉසුරු බව ද වෙසතුරු රජ හැර නො රිසියමු. මහරජුනි, ලෝකයෙහි වේධව්‍යය කටුක යැ. එහෙයින් යන්නමු මැ යැ.
6309. බොහෝ සම්පත් ධරන නොයෙක් රුවනින් පිරිපුන් මහසයුරු හිම් කොට ඇති මහපොළොව පවා වෙසතුරු රජ හැර නො කැමැත්තමු.
6310. යම් ස්ත්‍රී කෙනෙක් හිමියා දුක්පත් කල්හි තමාට සුව කැමැති වෙත් නම් ඔවුන්ගේ හදවත කෙබඳු යැ, එවන් ස්ත්‍රීහු අතිශයින් ක්‍රෑර වෙත් මැ යි.
6311. සිවීන්ගේ රට වඩන මහරජ නික්ම යන කල්හි මම ඔහු පසුපස්හි යන්නමු. හේ මට සියලු කැමැති සැපත් දෙනුයෙ මැ යි.
6312.සඳමහරජ සර්‍වාඞ්ගශෝභන වූ ඒ මද්‍රීදේවියට මෙසේ කී: තොපගේ මේ ජාලි යැ කෘෂ්ණජිනා යැ යන දරු දෙදෙන ළදරු යැ. ඔවුන් මෙහි බහාතබා යව. අපි ඔවුන් පුස්නම්හ.
6313. සර්‍වාඞ්ගශෝභන වූ මද්‍රී රාජපුත්‍රී එ රජහට මෙසේ කිවු: දේවයිනි, මේ ජාලිය යැ කෘෂ්ණජිනා යැ යන දෙදරු සිඟිත්තෝ මට ප්‍රියයෝ යි. ඔහු ඒ අරනෙහි දී ජීවශෝකී (පහ නො වන ශෝක ඇති) අප සිත් අලවන්නාහ.
6314. සිවිරට වඩන සඳමහරජු ඇයට මෙසේ කී: රසමසවුළෙන් යුතු පිරිසිදු ඇල්සහලේ බත් වළඳා පුරුදු දරුවෝ වන පලවැළ වළඳනු කෙසේ කරන්නාහු ද?
6315. සියක් පලමින් කළ සියක් හිරි ඇඳි රන්තලියෙහි වළඳා පුරුදු දරුවෝ රුක්පත්හි වළඳනු කෙසේ කරන්නාහු ද?
6316. කසීසළු කොමුපිළී කෝදුම්බරපිළී ධරා පුරුදු දරුවෝ කුසවැහැරි ධරනු කෙසේ කරන්නාහු ද?
6317. හිදොළුයෙන් ද සිවිකායෙන් ද රියෙන් ද සිසාරා ඇවිදැ පුරුදු දරුවෝ පාගමනින් ඔබමොබ දුවනු කෙසේ කරන්නාහු ද?
6318. කුළුගෙහි පියූදොරගුළු ඇති නිවෙස්නෙහි නිදා පුරුදු දරුවෝ රුක්මුල්හි නිදනු කෙසේ කරන්නාහු ද?
6319. යහන්හි දික් ලොම් ඇති කළුකොඳුපලස්හි විසුතුරු ඇතිරියෙහි නිදා පුරුදු දරුවෝ තණ ඇතිරියෙහි නිදනු කෙසේ කරන්නාහු ද?
6320. අගිල් සඳුන් සුවඳ සුණුයෙන් විලෙවුන් කොට පුරුදු දරුවෝ රජස්දැලි ධරනු කෙසේ කරන්නාහු ද?
6321. සුවසේ වැඩුණු සෙමෙරවලින් මොනරපිලින් පවන් සලනලද අඟපසඟ ඇති දරුවෝ මැසිමදුරුවන් විසින් ඩසිනලද්දාහු කුමක් කරන්නහු ද? (කෙසේ ඉවසන්නහු ද?)
6322. සර්‍වාඞ්ගශෝභන වූ මද්‍රී රජදූ ඒ සඳමහ රජහට මෙසේ කිවු: මහරජ නහමක් හඬව. තෙපි නහමක් දොම්නස්ව, අපි යම්සේ වමෝ ද දරුවෝ ද එසේ වෙති.
6323. සකලාංගයෙන් හොබනා මද්‍රී දේවී මෙතෙපුල් කියා පිටත් වැ ගියා. (යන්නී දු) සුන්‍දරලක්‍ෂණ ඇති මද්‍රී දෙදරුවන් ගෙන සිවිරජහු යායුතු මඟින් ම ගියා (පහයින් බැස රියට නැංගා)
6324. ඉක්බිති කැත්කුල උපන් වෙසතුරු රජ (පෙර දින) දන් දී මවුපියන් වැඳැ පැදකුණු කොට,
6325. අසුන් සතර දෙනෙකුන් ඇති යොදනලද රියට යුහු වැ නැඟී අඹුදරුවන් ගෙන වඞ්කගිරිය බලා පිටත් වැ ගියේ යැ.
6326. ඉක්බිති වෙසතුරු මහරජ යම් තැනෙක බොහෝ ජනයා රැස් වී ද (එහි රිය මෙහෙයා) තොප දන්වා යම්හ. අපගේ නෑයෝ නීරෝග වෙත්වයි කී.
6327. කොල, මද්‍රීදේවිය, බලව. සිවිරජහුගේ නිවාසය රමණීය වැ පෙනෙයි. ඒ මා පියපරපුරින් ආ භවන වෙයි.
6328. බමුණෝ සතර දෙනෙක් ඔහු ලුහුබැඳැ ගියෝ ඔහු අසුන් ඉල්වූහ. අයදනාලද වෙසතුරු රජ සතර දෙනාට අසුන් සතර දෙනා සපයා දින.
6329. එම්බා මද්‍රිය බලව. විසිතුරු රූපයක් මෙන් පෙනෙයි. (දෙව්පුත්හු) තිත්මුවවෙසින් අවුත් පුහුණු අසුන් මෙන් මා උසුලති.
6330. නැවත මෙ මඟැ පස්වැනි බමුණෙක් ආයෙ යැ. හෙ ඔහුගෙන් රථය ඉල්වී. අයදනා ලද්දේ ඔහට එය දින. ඔබගේ සිත නො පසුබට වී.
6331. ඉක්බිති වෙසතුරු මහරජ අඹුදරුවන් බස්වා ධනය සොයන බමුණාට රථය දී අස්වැසී.
6332. මද්‍රීදේවීනි, තෙපි කෘෂ්ණාජිනා ගනුව. මේ ළදැරිය නො බර යැ. මම ජාලිය කුමරු ගනිමි. ඒ මහදරු බර ඇතියෙ යි.