6129. ඉදින් කිසිවෙක් මා යදනේ නම් (ඕහට) හදවත ද ඇසුදු මසුදු ලෙහෙදු දෙනුයෙම්, කය ද දස්බව අස්වා දෙන්නෙමි.
6130. මසුරු බැව්හි නො පිහිටි අචල වූ දන් දියටි ස්වභාවය සිතන වෙසතුරු කුමරුහුගේ සිත අනුව මෙරගල මුදුන්මල් කොට ඇති පෘථිවී තොමෝ කම්පිත වූ.
6131. දික් වූ කිහිලි ලොම් නිය වෙරලොම් ඇති මල හුන් දත් ඇති ධූලි වගුළ කෙහෙ ඇති බමුණෝ දකුණ’ත නඟා මා අතින් කුමක් ඉල්වත් ද? (කුමර ඇසී).
6132. සිවිරට වඩන රජතුමනි, රුවනක් ඉල්වම්හ. කවර රුවනෙක යත්: රියහිස් බඳු දළ ඇති බර උසුලනු සමත් උතුම් ඇත් රුවන දුන මැනවි.
6133. බමුණෝ මා අතින් යමක් ඉල්වත් ද ගිලියෙන මද ඇති මනාදළ ඇති රාජවාහන වූ උතුම් ඇත්රජහු දෙමි. කම්පිත නො වෙමි.
6134. සිවිරට වඩන වෙසතුරු මහරජ ත්‍යාගයෙහි පිහිටි සිත් ඇති වැ ඇත් කඳින් බැසැ බමුණන්ට ඇත්රජු දන් දින.
6135. උතුම් ඇත්රජු දුන් කල්හි පොළොව සැලිණ. එසඳ යම් බිහිසුණු බවක් වී ද එසඳ ලොමුදහගැන්ම වී.
6136. ඇත්රජු දුන් කල්හි නුවර කැළැඹිණ, එදා යම් භිංසනකයෙක් වී ද එසඳ ලොමුදහගැන්ම වී.
6137. සිවිරට වඩන ඇත්රජහු දුන් කල්හි නුවර අවුල් විය. මහත් ඝෝෂයෙක් ද වී.
6138. ඇත්රජු දුන් කල්හි පොළොව කම්පා විය. එසඳ එහි මහත් වූ බිහිසුණු හඬෙක් පවතී.
6139. එසඳ ඇත්රජු දුන් කල්හි නුවර කැළඹිණ. ඉක්බිති එහි පැතිර උස් වූ බිහිසුණු මහ හඬෙක් පවතී.
6140. සිවිරට වඩන උතුම් ඇතු දන් දුන් කලැ මහත් බිහිසුණු විශාල හඬෙක් ඒ නගරයෙහි පවතී.
6141. ප්‍රසිද්ධ වූ මිනිස්සු ද රජදරුවෝ ද වෙළෙඳෝ ද, බමුණෝ ද ඇතරුවෝ ද අසරුවෝ ද රියැදුරෝ ද පාබළ සෙනඟ ද-
6142. මුළු නියම්ගම් වැසි කෙලෙඹියෝ ද සිවිරට වැසියෝ ද එක්රැස් වැ ඇතු රැගෙන යනු දැකැ (පිය) රජුට සැලකළාහ.
6143. දේවයන් වහන්ස, තොපගේ රට නසමින් තොපගේ පුත් වෙසතුරු රජ රටවැසියා පිදූ අපගේ ශ්‍රේෂ්ඨ හස්තියා කෙසේ නම් දෙන්නේ ද?
6144. රියහිස් බඳු දළ ඇති බර උසුලනු සමත් සියලු යුදයෙහි ජයභූමි දත් හැම අවයව සුදු වූ අපගේ උතුම් ඇතු කෙසේ නම් දෙන්නේ ද?
6145. රත්පලසින් වැසුණු මද වැහෙනු වූ සතුරන් මඩනා මනා දළ ඇති කෛලාසකූට පර්‍වතයට බඳු සුදුපැහැති චාමර සහිත,
6146. සේසත් සහිත වූ බුමුතුරුණු උඩුවියන් ජවනිකා සහිත වූ ඇත් වෙදුන් සහිත වූ ඇත් ගොව්වන් සහිත වූ රජු උසුලන අග්‍ර යාන වූ ධනය කලිඟුරට බමුණන්ට (කවර හෙයින්) දුන්නේ ද?
6147. හෙතෙම ආහාරපාන ද වස්ත්‍ර ද සෙනසුන් ද දෙන්නේ යැ. තෙල දනට නිසි ය. තෙල බමුණන්ට යෝග්‍ය යැ.
6148. සඤ්ජය රජතුමනි, මේ වෙසතුරු පරපුරු විසින් අපට ආ රජෙක. තොපගේ වෙසතුරු පුත් කෙසේ නම් සිවිරට වඩන ඇතු දෙන්නේ ද?
6149. ඉදින් තෙපි සිවිරට වැසියන්ගේ මෙ බස නො කරන්නවු නම් සිවිරට වැසියෝ පුතු හා සමග තොප අත්පත් කරතී සිතම්හ.
6150. ඒකාන්තයෙන් ජනපදය නැති වේවා. රට ද වැනැසේවා. මම සිවිරට වැසියන්ගේ වචන හේතුවින් නිදොස් රජපුතු සියරටින් නො නෙරනෙමි. මාගේ ඖරසපුත්‍ර හෙයිනි.
6151. ඒකාන්තයෙන් ජනපදය මට නො වේවා. රට ද වැනැසේවා. මම සිවිරට වැසියන්ගේ බස් හෙයින් නිදොස් රජපුතු සියරටින් නො නෙරනෙමි. හේ මා නිසා උපන් පුත් හෙයිනි.
6152. මම ඔහුට ද්‍රෝහී නො වෙමි. යම් හෙයෙකින් හේ උතුම් සිල් ඇත්තේ ද එහෙයිනි. මට අපකීර්ති ද වෙයි. බොහෝ පව් ද රැස් වේ. කවර හෙයින් වෙසතුරු පුතු අවියෙකින් මරවම් දැ යි (සඳමහරජ කී.)
6153. ඔහු දඬින් ද සැතින් ද නො නැසුව මැනැවි. හේ දඟගෙට ද නො නිසිය. ඔහු රටින් නෙරැපුව මැනැවි. වඞ්කගිරියෙහි වෙසේවා යි(සිවිරට වැසියෝ කීහු.)
6154. ඉදින් මේ සිවිරට වැසියන්ගේ කැමැත්ත නම් ඒ කැමැත්ත නො දුරලම්හ. හේ මේ රාත්‍රිය වෙසේවා. කාමසම්පත් ද අනුභව කෙරේවා.
6155. ඉක්බිති රාත්‍රිය අවසන්හි ඉරු උදාවන කලැ සිවිරට වැසියෝ සමගි වැ ඔහු රටින් පිට කෙරෙත්වා යි (රජ) කීයැ.
6156. කාරියකරවන ඇමැතිය, වහා නැඟෙව. වෙස්සන්තර වෙත ගොස් මෙසේ කියව: දේවයිනි, සිවීහු ද නියම්ගම් වැසි කෙළෙඹියෝ ද එක්රැස් වැ තොපට කිපුණාහ.
6157. ප්‍රසිද්ධ වූ මිනිස්සු ද රජදරුවෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද ඇතරුවෝ ද අසරුවෝ ද රියැදුරෝ ද පාබළ සෙනඟ ද නියම්ගම්වැසි සියල්ලෝ ද සිවීහු ද එක්රැස් වූහ.
6158. මෙ රැය ඉක්මැ හිරු උදාවන වේලෙහි සිවීහු සමග වැ තොප රටින් නෙරති යනු යි.
6159. සිවිරජු විසින් මෙහෙයන ලද ඒ කාරියකරවන ඇමැති වෙලෙවි වැ මැ පැළැඳි හස්තාභරණ ඇතියේ මොනොවට හන් පිළී ඇත්තේ සඳුනෙන් සැරසුණේ,
6160. හිසින් ස්නාන කෙළේ තෙත් කෙහෙ ඇති වැ පළන් මිණිකොඬොල් ඇති වැ වෙසතුරු නිවෙස් වූ රම්‍ය වූ පුරයට එළැඹියේ යැ.
6161. ඒ ඇමැති සිය නුවරැ තව්තිසා දෙවියන් මැදැ ප්‍රීත වන සක්දෙව් රජු මෙන් ඇමැතියන් පිරිවැරූ දුන් දනෙහි සිත් අලවන වෙසතුරු කුමරු දිටී.
6162. ඒ කාරියකරවන ඇමැති එහි ගොස් ප්‍රීත වන වෙසතුරු කුමරුහට මෙසේ කී: රජතුමනි, තොප වහන්සේට දුක් හස්නක් දන්වන්නෙමි. මට නහමක් කිපෙව.
6163. ඒ ඇමැති රජතුමන් වැඳැ හඬමින් මෙසේ කී: මහරජ, තෙපි වනාහි කැමැති සියලු රස ගෙන දෙන මාගේ ස්වාමි වව. තොප වහන්සේට දුක් හස්නක් දන්වන්නෙමි. එහිලා මා සනසත්වා.
6164. දේවයන් වහන්ස, සිවීහු තොප වහන්සේට කිපියහ. නියම්ගම් වැස්සෝ ද ප්‍රසිද්ධ පුද්ගලයෝ ද රාජපුත්‍රයෝ ද වෙළෙඳෝ ද බමුණෝ ද රැස්වූහ.
6165. ඇතරුවෝ ද අසරුවෝ ද රියසරුවෝ ද පාබළ සෙනඟ ද හුදෙක් නියම්ගම්වැස්සෝ ද සිවීහු ද වූහ.
6166. මෙ රෑ අවසන්හි හිරු උදාවන සමයෙහි සිවීහු සමග වැ තොප වහන්සේ රටින් නෙරති යි (කී යැ.)
6167. සිවීහු කවර කරුණෙහි මට කිපියාහු ද? නපුරු කොට කරනලද්දක් මම නො දක්මි. කාරියකරවන ඇමැතිය, මට එය විස්තර කොට කියව. කවර හෙයින් මා නෙරත් ද?
6168. ප්‍රකට පුද්ගලයෝ ද රාජපුත්‍රයෝ ද වෙළෙඳෝ ද බමුණෝ ද ඇතරුවෝ ද අසරුවෝ ද රියසරුවෝ ද පාබළ සෙනඟ ද ඇතු දන් දීම් හේතුයෙන් දොස් පහළ කෙරෙති. එහෙයින් තොප වහන්සේ නෙරති.
6169. මම හදවත (පපුමස්) ද ඇස් ද දෙන්නෙමි. මාගේ බාහිර ධන දීම ගැන කියනු කිම? රන් හෝ අමුරන් හෝ මුතු මැණික් හෝ වෙරළුමිණි හෝ දෙන්නෙමි.
6170. වෙත පැමිණි යාචකයන් දැකැ දකුණත හෝ දෙන්නෙමි. නො වරදවන්නෙමි. මා සිත දීමෙහි ඇලේ.
6171. ඒකාන්තයෙන් සියලු සිවීහු මා රටින් නෙරත්වා. නොහොත් නසත්වා. (ඔහු) ඒකාන්තයෙන් (මා) සත්කඩක් කොටැ කපත්වා. එහෙත් දීමෙන් නො වළකින්නෙමි යි වෙසතුරු රජ කීය.
6172. සිවීහු ද රැස්වූ නියම්ගම් වැසියෝ ද (තොපට) මෙසේ කීහ: කොන්තිමාරා නමැති ගංතෙරින් අරඤ්ජර නමැති පර්‍වතය බලා වරද කළ රජදරුවෝ යම් මඟෙකින් යෙද් ද ඒ මඟින් මනා පැවතුම් ඇති වෙසතුරු රජ යේවා යි ඇමති අනෙක් හස්නක් දකී.
6173. වරද කළ තැනැත්තෝ යම් මඟෙකින් යන්නාහු ද එ මඟින් ඒ මම ද යන්නෙමි. මම දානයක් දෙමි. එක් දවසකට මට සමාව දෙව යි වෙසතුරු කී.
6174. වෙසතුරු රජ සියලු අඟපසඟින් හොබනා මද්‍රී දේවිය ඇමතී: මා තොපට දුන් ධනධාන්‍යයක් ඇද්ද
6175. අමුරන් හෝ රත්රන් හෝ බොහෝ වූ මුතු හෝ වෙරළුමිණි හෝ ඇද්ද පියාගෙන් (මවුපියන්ගෙන්) ගෙනෙන ලද යම් ධනයක් ඇද්ද ඒ සියල්ල නිදන් කොටැ තබවයි කී.
6176. සියලු අඟපසඟින් හොබනා මද්‍රී නම් රජ දුව දේවයිනි, කවර නම් තැනෙකැ නිදන් කොටැ තබනෙම් ද? විචාරන ලද මට ඒ ස්ථානය කියවයි පැවසූ ය.
6177. මද්‍රීදේවීනි, සීලවන්තයන් කෙරෙහි සුදුසු පරිදි දෙව. සව්සතුනට දානයට වැඩි උතුම් පිහිටෙක් නැත.
6178. මද්‍රීදේවීනි, දරුවන් කෙරෙහි ද නැදිමයිලන් කෙරෙහි ද දයාමෛත්‍රී පතුරව. යමෙක් තොපගේ ස්වාමියා යැ යි අදහස් කෙරෙවු නම් ඔහුට මැනැවින් උපස්ථාන කරව.
6179. මාගේ වෙන් වීමෙන් පසු ඒ මා තොපගේ සැමියකු ලෙස නො සිතව. වෙන ස්වාමිපුරුෂයකු සොයා ගනුව. මාගේ වෙන් වීම හේතු කොටැගෙන කෘශ නො වව.
6180. මම බිහිසුණු වල්මුවන් ගැවැසුණු මහවනයට යමි. මහවනයෙහි හුදෙකලාවැ වෙසෙන මාගේ ජීවිතය සැක සහිත ය.
6181. හැම අඟපසඟින් හොබනා මද්‍රීදේවී, අහෝ පෙරැ නො පැවසූ වදනක් (අද) කියහි. ඒකාන්තයෙන් නපුරක් - අනර්‍ත්‍ථයක් (අද) කියහි යැ යි වෙසතුරු රජහට කීවා ය.
6182. මහරජ, යම් හෙයෙකින් හුදෙකලා වැ තෙපි (වනයට) යන්නහු නම් ඒ ධර්‍මය නො වෙයි. දේවයිනි, යම් තැනකට තෙපි යන්නෙහු නම් මම ද එ තැනට යමි.
6183. තොප සමග මරණය හෝ තොපගෙන් වියෝ වැ ජීවත්වීම හෝ යන මේ දෙකින් තොපගෙන් වෙන් වැ ජීවත්වීමට වඩා මරණය උතුමි.
6184. තොපගෙන් වෙන් වැ ජීවත්වීමට වඩා චිතකයෙහි ගිනි දල්වා එක මැ ගිනි ජාලාවක් වූ කලැ එහි මාගේ මරණය උතුමි.
6185. යම්සේ ඇතිනි සම විසම ගිරි දුර්‍ගයන්හි හැසිරෙන අරනවැසි දළඇතකු අනු වැ යේ ද,
6186. එසෙයින් දරුවන් රැගෙන තොප අනු වැ එමි. තොප විසින් සුවසේ පෝෂණය කළ හැකි තැනැත්තියක් වන්නෙමි. දුහර නො වන්නෙමි.
6187. මිහිරි බස් ඇති ප්‍රිය වදන් ඇති මහවනයෙහි වෙසෙන මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6188. මිහිරි බස් ඇති ප්‍රිය වදන් ඇති මහවනයෙහි ක්‍රීඩා කරන මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6189. මිහිරි බස් ඇති ප්‍රිය වදන් ඇති රමණීය ආශ්‍රමයෙහි වෙසෙන මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6190. මිහිරි බස් ඇති ප්‍රිය තෙපුල් ඇති සිත්කලු අසපුවෙහි සෙල්ලම්කරන මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6191. රමණීය අසපුවෙහි මල්මාලා දරන අලංකෘත වූ මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6192. රම්‍ය අසපුවෙහි සෙල්ලම් කරන මල්මාලා දරන අලංකෘත වූ මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6193. රමණීය අසපුවෙහි මල්මාලා දරමින් නටන කුමරුන් යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6194. රම්‍ය වූ අසපුවෙහි මල්මාලා දරමින් නටන සෙල්ලම් කරන කුමරුන් යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6195. හුදෙකලා වැ වනයෙහි හැසිරෙන සැටවස් පිරුණු මාතඞ්ග නම් ඇතු යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6196. උදේ සවස හැසිරෙන සැටවස් පිරුණු මාතඞ්ග නම් ඇතු යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6197. යම් කලෙක ඇතිනිරැළෙහි ද ඇත්රැලෙහිද පෙරටුවැ යන පිරුණු සැටවස් ඇති මාතඞ්ග නම් ඇතා කුඤ්චනාද කරන්නේ ද නාද කරන ඔහුගේ ඒ නාදය අසා රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6198. වනමෘගයන් ගැවසුණු කැමැති සම්පත් දෙන දෙපසැ වනයෙහි වනගළ -(ඒකාබද්ධ වූ මහවනය) යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6199. සවස් වේලෙහි පැමිණි අංදළු පහක් ඇති මුවා ද නටන කිඳුරන් ද දැක රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6200. බැස යන නදියගේ ඝෝෂාව ද කිඳුරන්ගේ ගී හඬ ද යම් කලෙක අසන්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6201. පර්‍වත ගුහාවල හැසිරෙන හඬන බකමුහුණන්ගේ නාදය යම් කලෙක අසන්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6202. වනයෙහි (වෙසෙන) සිංහ, ව්‍යාඝ්‍ර, කගවෙහෙණ, ගවර යන සතුන්ගේ ද (සෙසු) වනමෘගයන්ගේ ද නාදය යම් කලෙක අසන්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6203. පර්‍වත මුදුන්හි සිටින පිල්කළඹින් ගැවැසුණු මොනරියන් පිරිවැරූ නටන මොනරා යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6204. සෙබඩුන් විසින් පිරිවැරුණු විසිතුරු පිල් ඇති බිජුවටින් උපන් නටන මොනරා යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6205. සෙබඩුන් පිරිවරූ නිල්ගෙල ඇති හිසැ සිළු ඇති නටන මොනරා යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6206. හේමන්ත ඍතුවෙහි පිපුණු සුවඳ හමන ගස් යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6207. හේමන්ත මාසයෙහි (මැදින් මසැ) රතිඳුගොව්වන් ගැවැසුණු නිල් පැහැ යුත් පොළොව යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6208. හේමන්ත ඍතුවෙහි පිපුණු කෙළිඳගස් හා රත්කරවුගස් ද ලොත්ගස් හා පියුම්ගස් ද යන මේ සුවඳ හමන ගස් යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
6209. හේමන්ත ඍතුවෙහි පිපුණු වනය ද වැටුණු නෙළුම් මල් ද යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
හිමවත් වැනුම යි.
6210. පුතා යැ ලේලි යැ යන ඔවුන්ගේ විලාප බස් අසා පිරිවර ඇති මදුරජ දූ වූ ඵුසතීදේවී තොමෝ බැගෑ ලෙස හැඬූ ය.
6211.නිවැරැදි වූ වෙස්සන්තර පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත් ද? මා විසින් විස අනුභව කරන ලද්දේ නම් හෝ ප්‍රපාතයෙන් පනින්නෙම් නම් හෝ ගෙලවැල ලා මැරෙන්නෙම් නම් හෝ එයට වඩා උතුම් ය.
6212. ත්‍රිවේදයෙහි ද නානාශිල්පයන්හි ද කෙළ පැමිණි දානපති වූ ඉල්ලන්නට සුදුසු නො මසුරු උපරජුන් විසින් පුදන ලද පතළ කීර්ති ඇති පිරිවර සේනා ඇති නිවැරැදි වෙසතුරු පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත් ද?
6213. මවුපියන් පෝෂණය කරන කුලදෙටුවන් පුදන නිවැරැදි වෙසතුරු පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත් ද?
6214. රජුට හිතැ’ති දෙවියනට හිතැ’ති නෑයනට හිතැ’ති යහළුවනට හිතැ’ති සියලු රටවැසියනට හිතැ’ති නිවැරැදි වෙසතුරු පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත් ද?
6215. (යම්හෙයෙකින්) නිවැරැදි වෙසතුරු පුතු රටින් පිටුවහල් කෙරෙත් ද? (එකලැ) ඔබගේ රට මැස්සන් හැරැ දමා ගිය මධුපටල (මීවද) මෙන් ද ගිලිහී බිමැ වැටුණු අඹ මෙන් ද වන්නේය.
6216. මහරජ, දිය හිඳුණු විලෙක (මඩකඩිත්තෙකැ) පියාපත් හැලුණු හංසයකු මෙන් ඇමැතියන් විසින් හැරැ දැමූ තෙපි හුදෙකලා යැ, පීඩිත වන්නහු ය.
6217. මහරජ, තොපට එ කරුණ කියමි. ප්‍රයෝජනය නොහොත් අභිවෘද්ධිය (තොප) ඉක්මැ නො යේවා! සිවිරට වැසියන්ගේ බසට නිවැරැදි තැනැත්තා පිටුවහල් නො කරව.
6218. සොඳුර, මම සිවීන්ගේ ධජයක් බඳු වෙසතුරු කුමරු හික්මවමින් පිටුවාහල් කරමි. සිවීන්ගේ ප්‍රවේණිධර්‍මයට ගරු කරමි. මපුතු වනාහි ප්‍රාණයට ද වඩා මට ප්‍රියතර ය.
6219. පෙරැ යමකුගේ ධ්වජාග්‍ර පිපුණු කිණිහිරිගස් මෙන් යන්නහු අනුව යෙද්ද (ගියාහු ද) හේ අද හුදෙකලා වැ යන්නේ ය.
6220. පෙරැ යමකුගේ ධ්වජාග්‍රයෝ පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නහු අනු වැ යෙද්ද (ගියාහු ද) හේ අද වනාහි හුදෙකලා වැ යන්නේ ය.
6221. පෙරැ යමකුගේ ඇතුන් ආදී කොටැ ඇති සෙනඟ පිපුණු කිණිහිරි ගස් මෙන් යන්නහු අනු වැ යෙද්ද හේ අද හුදෙකලා වැ යෙයි.
6222. පෙරැ යමකුගේ ඇතුන් ආදී කොටැ ඇති සෙනඟ පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නහු අනු වැ යෙද්ද හේ අද හුදෙකලා වැ යෙයි.
6223. යමෙකුගේ පෙරැ ඉඳුගොව්වන්ගේ පැහැයට බඳු “ගන්‍ධාර” රටෙහි සාදන ලද රතුකම්බිලි පෙරවූ සෙනඟ යන්නහු අනු වැ යෙද්ද හේ (ගියාහු ද) අද හුදෙකලා වැ යෙයි.
6224. යමෙක් පෙර ඇතුපිටින් ද දෝලාවෙන් ද රියෙන් ද ගියේ නම් ඒ වෙස්සන්තර රජ තෙමේ අද කෙසේ නම් පයින් යා ද?
6225. සඳුන් ගැල්වුණු ශරීර ඇති ගී නැටුමෙන් පුබුදුවන වෙසතුරු රජ තෙමේ අද අඳුන්දිවිසම ද පොරොව ද තවුස් පිරිකර කද ද කෙසේ නම් ගෙනැ යන්නේ ද?
6226. මහවනයට පිවිසෙනුවහට කාසාව වස්ත්‍ර හෝ අඳුන්දිවිසම් හෝ කවර හෙයින් නො ගෙන යද්ද? කවර හෙයින් වැහැරි (වාකචීර) නො බඳිද්ද?
6227. රජ වැ සිට පැවිදි වූවෝ කෙසේ නම් වැහැරියෙන් කළ සිවුරු දරත් ද? කුසතණයෙන් කළ වැහැරි මද්‍රීදේවී කෙසේ හඳනී ද?