Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 601-700 න් 7679

288. ඒ රාග නැමැති ගින්න මා දවයි, ඒ රාගසම්ප්‍රයුක්ත සිත ද මා තවයි, ස්වාමී වූ කෙවුලෙනි, මා මුදාපියව, කාම විෂයෙහි සිටි නොහොත් කාම හේතුයෙන් හැසිරෙන කිසිවෙක් (තොප වැනියන් විසින්) නො නසනු ලැබේ.
6. මච්ඡ ජාතක යි.
289. සියලු ලෝවැසි තෙම කාමසේවන හේතුයෙන් සතුටු වීය. සෙග්ගු, තෝ ග්‍රාමධර්‍මයෙහි අදක්‍ෂ වුව, දුව කුමරිය, යම් හෙයෙකින් මහවෙනෙහි (කාම සේවන පිණිස) අත ගන්නා ලද තෝ හඬයි ද දැන් තීගේ ස්වභාවය කෙ නම් වී ද?
290. යමෙක් දුකින් පහස්නා ලද්දියට පිහිට වන්නේ ද, ඒ මාගේ පියෙ වෙනෙහි ද්‍රෝහිකම් කෙරෙයි. ඒ මම වනමැද කවරක්හට හඬම් ද, යමෙක් රක්‍ෂා කරනුයේ වී නම් හේ සැහැසිකම් කෙරේ යයි.
7. සෙග්ගු ජාතක යි.
291. ශඨ (කෛරාටික) වූවහුට මේ ශඨබව මොනවට සිතන ලද, කූට (කපටි) වූවහුට පෙරළා කපටි බව මනාකොට අටවන ලද ඉදින් මීයෝ සීවැල් කෑවාහු නම් කුමක් හෙයින් උකුස්සෝ කුමරු නො ගෙන ගියාහු ද?
292. කූට (කපටි) වූවහුට කූටාතිකූටයෝ ඇත, නැවත වංචකයා හට වංචාවෙන් යුක්ත වූයෙක් වේ මැය, පුත්‍රයා නට තැනැත්ත, සීවැල් නට තැනැත්තවුට සීවැල් දෙව, සීවැල් නට තැනැත්තේ තාගේ පුතු නහමක් ගෙනයේවා.
8. කූටවාණිජ ජාතක යි.
293. මාගේ මසුරනැ මාගේ රත්රනැ යි ආර්‍ය්‍යයධර්‍මය නො දක්නා ප්‍රඥා රහිත මිනිසුන්ගේ රෑ දාවලැ පැවැති තෙල කථාව වෙයි.
294. ගෘහයෙහි ගැහැවියෝ දෙදෙනෙක් වෙති. ඔවුන් කෙරෙහි එකෙක් දැළිරවුළු නැත්තේ යැ. එල්බෙන තන ඇත්තේ යැ, සකස් කළ කෙස්කලබ ඇත්තේ යැ, යළි විදුනා ලද කන් ඇත්තේ යැ, බොහෝ ධනයෙන් විකිණි ගන්නා ලද්දේ යැ, හේ ඒ (දස්කම්කරු ආදි) ජනයා මුව සැතින් විදුනේ යි.
9. ගරහිත ජාතක යි.
295. සුවසේ ජීවත් වූ ස්වභාව ඇතියෙහි රටින් නික්මැ නිර්ජල වනයට ආයෙහි ඒ තෝ එකලා වූයෙහි වනයෙහි ගස්මුලෙක කෘපණයක්හු සෙයින් (සිතිවිලි) සිතහි. ඒ කුමක් හෙයිනැයි?)
296. ඒ මම් සුවසේ ජීවත් වූ පියවි ඇතියෙමි, සිය රටින් නික්මැ නිරුදක වනයට ආයෙම් එකලා වැ බැගෑපත් වූවකු සෙයින් බුද්ධාදි සත්පුරුෂයන්ගේ (අටලෝ) දහම් සිහි කෙරෙමින් ධ්‍යාන කෙරෙමි යි.
10. ධම්මද්ධජ ජාතක යි.
සත්වැනි බීරණත්‍ථම්භකවර්‍ග යි.
එහි උද්දානය:
බීරණත්‍ථම්භයෙහි සිට පුහුණු කළ සෝමදත්ත ජාතක යැ, නළුවකු ඇති උච්ඡිට්ඨහත්ත ජාතක යැ, භරු ජාතකයැ, පුණ්ණනදි ජාතක යැ, (බහුභාණී) කච්ඡප ජාතක යැ, ගිනි සඳහන් කළ මච්ඡ ජාතක යැ, (පවනෙ) සෙග්ගු ජාතක යැ, සීවැල් මීයන් කෑ කූටවාණිජ ජාතක යැ, ලම්බත්‍ථන පැවැසු ගරහිත ජාතක ය සමඟ (කපණෙන) ධම්මද්ධජ ජාතකයෙන් දසය වේ.
8. කාසාව වර්‍ගය
297. ප්‍රහීණ නො කරන ලද කෙලෙස් කසට ඇති යමෙක් කාෂාය වස්ත්‍රය (සිවුර) හඳනේ පොරෝනේ ද ඉන්‍ද්‍රිය දමනයෙන් හා පරමාර්‍ත්‍ථ සත්‍යයෙන් (චතුස්සත්‍යාවබෝධයෙන්) පහ වූ හෙතෙමේ කසාවතට (සිවුරට) නුසුදුසු යි.
298. යමෙක් දුරු කරන ලද කෙලෙස් කසට ඇත්තේ ද හෙවත් කෙලෙස් නසන ලද්දේ ද (ලෝකෝත්තර - මාර්‍ගඵල) ශීලයෙහි මනාකොට පිහිටියේ ද ඉන‍්‍ද්‍රිය දමනයෙන් හා පරමාර්‍ත්‍ථසත්‍යයෙන් යුක්ත ද හෙතෙමේ ඒකාන්තයෙන් කසාවතට (සිවුරට) සුදුසු යි.
1. කාසාව ජාතක යි.
299. පාරාසරිය බමුණු තෙමේ, තෝ පාපය නො කරව, යම්බඳු පාපයක් කරන ලද ද තෝ පසුව තැවෙන්නෙහිය කියා යම් වචනයක් එකල්හි කීයේ ද මේ ආචාර්‍ය්‍යවචන යි.
300. පුරුෂ තෙමේ යම් ක්‍රියාවක් කෙළේ ද ඒ ක්‍රියාව තමා කෙරෙහි දකී. කල්‍යාණ ක්‍රියා කරන්නේ කල්‍යාණයක් ම දකී. පාපක්‍රියා කරන්නේ පාපයක් ම (අයහපතක් ම) දකී යම්බඳු බිජුවටක් වපුරා ද එබඳු ම ඵලයක් ගෙනයන්නේ ය.
2. චුල්ලනන්‍දි ජාතක යි.
301. (ආචාර වශයෙන්) නමස්කාර කරන්නාහට නමස්කාර කරන්නේ ය. තමා සෙවුනහු සේවනය කරන්නේ ය. තමාගේ කෘත්‍යයට අනුව කටයුතු කරන්නාහට ප්‍රතිකෘත්‍ය (පෙරළා කටයුතු) කරන්නේ ය. අවැඩ කැමැත්තහුට වැඩක් (අර්‍ත්‍ථයක්) නො කරන්නේ ය. තමා භජනය නො කරන්නහු ද භජනය නො කරන්නේ ය.
302. තමා අත්හරින්නහු තෙමේ ද හරන්නේ ය. ඔහු කෙරෙහි තෘෂ්ණාව නො කරන්නේ ය. පහ වූ චිත්තයෙන් (හෙවත් හිතවත්කමින් සිත බැහැර වූ කල්හි ඔහු) නො සෙවුනේ ය. වෘක්‍ෂය ඵලයන්ගෙන් හීන යයි දැනැගත් පක්‍ෂියා අන් රුකක් සොයා යන්නේ ය. ලෝකය මහත් ය, විශාලය. (ලෝකය මිනිසුන්ගෙන් පිරී පවත්නා බැවින් තමා කෙරෙහි ස්නෙහ නො කරන පුරුෂයා හැරැදමා ස්නෙහ කරන පුරුෂයකු සොයා ගතයුතුය යනු කී සේයි.)
3. පුටභත්ත ජාතක යි.
303. වානරේන්‍ද්‍රය, වාක්සත්‍යය ද පරික්‍ෂාඥානය ද ධෛර්‍ය්‍යය ද ත්‍යාගය ද යන මේ ධර්‍මයෝ සතර දෙන තට මෙන් යම් පුද්ගලයකුට විද්‍යාමාන වෙත් ද හෙතෙමේ සතුරා ඉක්මවා පවතී.
304. වාක්සත්‍යයද පරීක්‍ෂාඥානය ද ධෛර්‍ය්‍යය ද ත්‍යාගය ද යන මේ අතිසුන්දර වූ ගුණයෝ යමක්හට විද්‍යාමාන නො වෙත් ද හෙතෙමේ සතුරා ඉක්මවා නො පවතී.
4. කුම්භීල ජාතක යි.
305. දේවයෙනි, මාගේ සියලු කෘත්‍යයන්හි ව්‍යාවෘත වූ පුරුෂයෙක් ඇත. ඔහුගේ ද එක් අපරාධයෙක් ඇත. ඒ අපරාධයෙහි ලා ඔබ කුමක් සිතන්නෙහි ද? (කවර නම් දඬුවමක් අනුමත කරන්නෙහි ද?)
306. අපගේ ද එබඳු පුරුෂයෙක් ඇත. (හේ) මෙතන්හි ම ඇත. (සිටි) සකලගුණාඞ්ගයෙන් සැදුණු පුද්ගලයෝ දුර්‍ලභයහ (එහෙයින් මෙබඳු අවස්ථාවන්හිදී) අපට ඉවැසීම අභිමත යි (සුදුසුයි).
5. ඛන්තිවණ්ණන ජාතක යි.
307. සුදුසු කාලයෙහි නික්මීම නෙහොත් පරාක්‍රමය යහපත් වේ. අකාලයෙහි (තම නිවාසස්ථානයෙන්) නික්මීම නොහොත් පරාක්‍රමය යහපත් නො වේ. අකාලයෙහි නික්ම නොහොත් වීර්‍ය්‍ය කොට කිසි දියුණුවක් නො බබළයි හෙවත් නො ලබයි. (නො කල්හි නික්මුණු) බකමුහුණුවා නැසූ කාකසේනාව මෙන් (නො කල්හි) හුදෙකලා වූවහු (වීර්‍ය්‍ය කළ ද) බොහෝ දෙනා වට කොට විනාශයට පමුණුවන්නාහු ය.
308. (පැරැණි පඬිවරුන් ව්‍යවස්ථා කොට තබන ලද) විධියගේ විධාන දන්නා වූ නොහොත් විධාන ක්‍රම දන්නා වූ අන්‍යයන්ගේ සිදුරු දන්නා වූ ප්‍රාඥයා සියලු සතුරන් වසඟ කොට නුවණැති බකමුහුණා මෙන් සුවපත් වූයේ වන්නේ යි.
6. කෝසිය ජාතක යි.
309. ශූර ගුණයෙන් යුක්ත වූ වික්‍රම ස්වභාව ඇති පහර දෙන්නා වූ පුරුෂයා හා ශූර පුරුෂ තෙමේ එක්තැනට පැමිණ (ඔවුනොවුන් සටන් නො කොට කුමට යේ ද?) හස්තිය, මෙහි එව නවතුව. කුමට බිය වූයේ පළා යෙයි ද? මාගේ ද තාගේ ද වික්‍රමය අඟුමගධ දෙරට වැස්සෝ බලත්වා.
310. තා පාදයෙන් නො මරමි, දළ සඟළෙන් නො මරමි, සොඬිනුත් නො මරමි. අශුචියෙන් ම තා මරමි, අශුචියෙන් අශුචිය නසනු ලැබේවා. (කුරුවැණියක් ඇතකු දැකැ සටනට කැඳවූ අවස්ථාවෙහි ඇතුවර්චස් පිණ්ඩයක් හෙළා කුරුවැණියා මැරූ සැටි දැක්වේ.)
7. ගුථපාණක ජාතක යි.
311. බ්‍රාහ්මණය, උත්තරපඤ්චාලය ද කුරුරට ද කෙකක නම් රට ද යන මේ තුන් රාජ්‍යයන්ගේ අන්තරය ද ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි. (මා අනුභව කෙරෙමින් සිටි) බරණැස් රජයට වඩා වැඩියක් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි. බමුණ, කාමයෙන් විනාශයට පමුණුවන ලද මා (මට) පිළියම් කරව.
312. කෘෂ්ණ සර්‍පයන් විසින් දෂ්ට කරන ලද්දහුට සමහර කෙනෙක් පිළියම් කෙරෙති. පඬිවරු අමනුෂ්‍යයන් විසින් මඬනා ලද්දහුට පිළියම් කෙරෙති. කාමයෙන් හානියට පමුණුවන ලද්දහුට කිසිවෙක් පිළියම් නො කෙරෙති. (ඒ එසේ මැයි) කුශලධර්‍ම දුරු කොට අකුශලධර්‍මයෙහි පිහිටියාහට පිළියම් කවරේ ද?
8. කාමනීත ජාතක යි.
313. උත්තම හස්ති නැමැති මේඝයෙන් ද අග්‍ර වූ තුරඞ්ග මාලාවන්ගෙන් ද සර (ඊතල) නමැති වර්‍ෂාවන් ඇති රථ තරඞ්ග මාලාවන්ගෙන් ද කඩුමිටි ඇත්තා වූ වේගයෙන් පරිභ්‍රමණය කොට දැඩි පහර දෙන යෝධයන්ගෙන් ද හාත්පසින් තක්සලා නම් නගරය වටකරන ලද්දේ ය.
314. නානාප්‍රකාරයෙන් මහානාද කරන්නා වූ තෙපි හස්තීන් හා සමඟ දුවවු පනිවු. අද මහත් වූ ඝෝෂාවෙක් පවතීවා. ගර්‍ජනා කරන්නා වූ මේඝයාගේ මුඛයෙන් නික්මෙන විදුලියක් මෙන් දුවන්නාහු නුවර වහා වට කරව.
9. පලාසී ජාතක යි.
315. රථයෙහි මයූරපාදයෙහි නගන ලද ධ්වජ අපමණය. මාගේ සේනාව කෙළවර නැත්තේ ය. සමුද්‍රොල්ලඞ්ඝනයෙහි අසමත් කාකයා මෙන් සතුරන් විසින් මැඩපිය නො හැක්කේ ය. පර්‍වතචලනයෙහි අසමත් වාතය මෙන් මාගේ සේනාව තා විසිනුත් විනාශ කොට නො හැක්කේ ය. මම අද තාසේ වූවන් විසින් මැඩපිය නො හැක්කෙම් වෙමි.
316. (තාගේ) බාලභාවය ප්‍රකාශ නො කරව. තාසේ වූ පුරුෂයෝ රාජ්‍යය ගැන්මෙහි සමර්‍ත්‍ථයෝ නො වෙත්. හුදෙක් ක්ලේශ දාහයෙන් දවනු ලැබෙහි මා වළකන්නට නුසුදුස්සෙහි ය. හුදෙකලා ව හැසිරෙන ඇත් රජක්හු සමීපයට මෙන් එන්නෙහි ය. පාදයෙන් සුණු කළ හුණනළක් මෙන් හෙතෙමේ තා මැඩසුණු කෙරේ.
10. දුතිය පලාසි ජාතක යි.
අටවැනි කාසාව වර්‍ග යි.
එහි උද්දානය:
උතුම් වස්ත්‍ර ඇති කාසාව ජාතක යැ, ආචාර්‍ය්‍යවචනය දක්වන චූළනන්‍දිය ජාතක යැ, ක්‍ෂීණඵලවෘක්‍ෂය දක්වන පුටහත්ත ජාතක යැ, (චතුරෝධම්ම) කුම්භීල ජාතක යැ, උතුම් පුරුෂයා දක්වන ඛන්තිවණ්ණන ජාතක යැ, (වඞ්ක) කෝසිය ජාතක ය හා (මගධ) ගුථපාණ ජාතක යැ, (තයෝගිරි) කාමනීත ජාතක යැ, පාලාසි ජාතකය හා දුතියපාලාසි ජාතකයෙන් දසය වේ.
9. උපාහන වර්‍ගය
317. පුරුෂයාහට සුව පිණිස යම්සේ මිලදී ගන්නා ලද (නපුරු කොට, කළ) උපාහනයෝ (පාවහන්) දුක් එළවත් ද, ග්‍රීෂ්මයෙන් විශේෂයෙන් තැවුණා වූ පාදයෙන් පීඩිත වූවාහු ඒ පුරුෂයාගේ ම පාදයන් කා වණකරන්නාහ.
318. එපරිද්දෙන් යම් මැ හීන කුලයෙක උපන්නා වූ අනාර්‍ය්‍ය පුද්ගලයා අචාර්‍ය්‍යවරයාගෙන් විද්‍යාව හා ශ්‍රැතය ද ගෙන එහි ශ්‍රැතයෙන් හෙතෙමේ එය ම කරන්නේ ය. අනාර්‍ය්‍ය පුරුෂයා උපාහනයක් බඳුයි කියනු ලැබේ.
1. උපාහන ජාතක යි.
319. (මේ කුදු පුරුෂයා සමඟ පලාගිය මැනැවැයි යන) මේ කාරණය හුදෙකලාව සිතන ලද ද (මේ කුදා ඥානවිරහයෙන්) බාලය. (ස්වශක්තියෙන් යන්නට අපොහොසත් හෙයින්) අපරිණායකය. පින්වතිය, කොර වූ අත්පා ඇති කුදා හා සමාගමයට සුදුසු නො වෙහි.
320. කුදා පුරුෂයන්හට උතුමෙකැයි සිතන්නා වූ මම කුදු පුරුෂයා කැමැති වීමි. ඒ මා කැමැති කුදා සිඳින ලද තත් ඇති වීණාදණ්ඩක් මෙන් හැකුළුණේ හොවී.
2. වීණාථූණ ජාතක යි.
321. ඒකාන්තයෙන් (තෝ) යම් තැනෙක්හි කැමැත්තෙහි නම් එහි යව. මර්‍මස්ථානයෙහි හීයෙන් විදුනා ලද්දෙහි ය. මත්ස්‍යයන් අනුව දුවන්නා වූ ලොල් වූ තෝ බෙරවැයුම් සහිත වූ බත කරණ කොටගෙනැ නටුයෙහිය.
322. ලෝකාමිසයැයි කියන ලද පඤ්චකාමයට අනුව දුවන්නා වූ චිත්තවසී වැ පවත්නාවූ පුද්ගලයා එරිද්දෙන් ම වැනැසේ. හේ මත්ස්‍යයන් අනුව දුවන්නා වූ සුංසුමාරයා මෙන් නෑ මිතුරන් මධ්‍යයෙහි වැනසේ.
3. විකණ්ණක ජාතක යි.
323. තා කෙරෙහි යම්බඳු වූ (මාගේ) කාමයෙක් (ධ්‍යාන බලයෙන්) පහවී ද ගුණවිශේෂය දැන් (මා නො කැමැති වැ කින්නරාව පස්සේ දිවු) තෝ ම කෙළෙහි ය. කියතෙකින් සිඳින ලද අත්දළක් මෙන් (ධ්‍යානයෙන් ඔබන ලද) ඒ මේ ක්ලේශකාමය ප්‍රතිසන්‍ධාන නො කොට හැකි වී.
324. ඒ ඒ වස්තුවෙහි ලෝභ කරන තැනැත්තේ අධික ලෝභයෙන් ද අතිලෝභ සඞ්ඛ්‍යාත පුරුෂමදයෙන් ද අසිතාභූ නම් රාජකන්‍යාව කෙරෙන් පිරිහුණු මා මෙන් අභිලාෂිතාර්‍ත්‍ථයෙන් පිරිහේ.
4. අසිතාභූ ජාතක යි.
325. වච්ඡනඛය, මධුරාහාර අනුභව කොට ද මධුර පානයන් පානය කොට ද යම් සිරියහනෙක්හි උකටලී නො ව හෝනයෙහි ය. එසේ හෙයින් හිරණ්‍ය සහිත වූ ද භෝජන සහිත වූ ද ගෘහයෝ සුවයයි ගෘහ වර්‍ණා කළෝ.
326. උත්සාහවත් නො වන්නාහට ගෘහයෝ නැත. බොරු කියන්නාහට ගෘහයෝ නැත. නො ගන්නා ලද දඬු ඇති මෙරමාහට දඬුවම් නො කරන්නාහට ගෘහයෝ නැත. මෙකී පරිද්දෙන් ඡිද්‍ර ඇති දුරාරාධ්‍ය වූ ගිහිගෙට කවරෙක් නම් පැමිණේ ද? (නො පැමිණෙන්නේ මැයි)
5. වච්ඡනඛ ජාතක යි
327. හෙළැඹුල පෙති බඳු පියාපත් ඇති මේ පක්‍ෂියා ඉතා යහපත් ය. සන්හුන් පියාපත් ඇතිව (මසුන් දෙස බලමින්) මඳින් මඳ ඉතා දුබල එකකුමෙන් සිතයි.
328. මොහුගේ ආචාරසීලයක් නො ම දනුව නො දැන ප්‍රශංසා කරව. පක්‍ෂියා අප නො රකී (මසුන්ගෙන් කවරකු අල්ලා ගනිම් දැ යි සිතන හෙයින්) පියා පත් නො සොලවයි.
6. බක ජාතක යි.
329. භාග්‍යවත්නි, මෙලොවැ ඇතැම් පුඟුලකු දුටුමතින් හදවත ඉතා නිවී යයි. සිත ද පැහැදේ. මීට හේතු කවරේ ද?
330. පෙරැ භවයෙහි එක් වැ විසීමෙන් වේවයි මේ භවයෙහි කළ හිතයෙන් වේවයි, මෙසේ ඒ ප්‍රේමය හටගනී. (මඩත් දියත් නිසා) දියේ උපුල් හටගන්නා මෙනි.
7. සාකේත ජාතක යි.
331. පියාණෙනි, අයදිමි යම් පදයකින් දියුණුව අස්වන්නමෝ ද එබඳු අරුතැති පද සංග්‍රහ වූ එක පදයක් කිව මැනැව.
332. දරුව (ඒ) ලාභොත්පාදක ඥාන සම්ප්‍රයුක්ත වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත අනේකාර්‍ත්‍ථනිංශ්‍රිත පදය යි එද සීලයෙන් සංයුක්ත වූයේ ක්‍ෂාන්තියෙන් සමුපේත වූයේ මිතුරන් සැපවත් කරන්නටත් සතුරන් දුක් පත් කරන්නටත් සමර්‍ත්‍ථ වේ.
8. ඒකපද ජාතක යි.
333. විෂදළ ඇති මැ කෙමිනමුවට (කෙමිනෙහි කටට) පිවිසි කලැ යම්බඳු මා මාලුවෝ කත් ද, නිල්මැඩිදෙන මව කොට ඇතිය, තොපට එය රුස්නේ ද?
334. යම්තාක් ඔහුට ඓශ්චර්‍ය්‍ය සමෘද්ධිය ඇත් ද ඒ තාක් පුරුෂයා (මෙරමා) පහරනේ මැයැ. යම් කලෙකැ සෙස්සෝ ඓශ්චර්‍ය්‍යයෙහි සිට පහරිත් ද, (එකලැ) පහරන ලද හේ පහරනා ලැබේ.
9. හරිතමාතු ජාතක යි.
335. පිංගල රජු විසින් සියලුදෙනා හිංසා කරනු ලැබීය. ඔහු මළ කලැ (ජනයා) ප්‍රීත වෙත්. දොරටුපාලය, පිඟුවන් ඇස් ඇත්තා තට ප්‍රිය වී ද? කවරහෙයින් තෝ හඬන්නෙහි ද?
336. පිඟුවන් ඇස් ඇති රජ මට ප්‍රිය නො වේ. ආපසු ඔහුගේ පෙරළා පැමිණීමට බිය වෙමි. මෙලොවින් ගියේ මෘත්‍යුරාජයාට (යමරජුට) හිංසා කරන්නේ යැ පීඩිත වූ ඒ මෘත්‍යුරාජ යළි මෙහි ගෙනෙන්නේය.
337. හේ දර ගැල් දහසකින් දවන ලද්දේය. දිය කළ සියයකින් තෙමන ලද ඒ බිම ද සාරා දමන ලද, නො බව හේ පෙරළා නො එන්නේ යි.
10. මහාපිංගල ජාතක යි.
නවවැනි උපාහන වර්‍ග යි.
එහි උද්දානය:
උපාහනය ජාතක යැ, කුදා උතුමැයි සිතූ විණාථුන ජාතක යැ, විකණ්ණක ජාතක යැ, අසිතාභූ ජාතක යැ, පස්වැනි වච්ඡනඛ ජාතක යැ, (දිප්) බක ජාතක යැ, උත්තම ප්‍රේමය පවසන සාකේත ජාතක යැ, ඒකපද ජාතක යැ, (කුමිනාමුඛ) හරිතමාතු ජාතකය හා මහාපිඞ්ගල ජාතකයෙන් දසය වේ.
10. සිගාල වර්‍ගය
338. පිරිවර නිසා මානයෙන් තද වූ සිවලා තව තවත් පිරිවර කැමති වූයේ, මහත් සම්පත්තියට පැමිණියේ ය. දළැති සියලු සතුනට රජ විය.
339. එපරිදි මැ මනුෂ්‍යයන් අතුරෙහි පිරිවර ඇත්තේ වේ ද, හේ දළ ඇතියන්ට රජ වූ හිවලා සේ ගරු කළයුතු වේ. (සිවල්හු සෙයින් පිරිවර නිසා වැනසේ යි සේයි)
1. සබ්බදාඨ ජාතක යි.
340. යමෙක් වරපට නො කා නම් ඒ මේ සුනඛ තෙම එකත්නෙන් මූඪ වූයේ වෙයි. බන්‍ධනයෙන් මිදුණේ සුහිතව ගෙට යන්නේ යැ.
341. තොප කියන දැය මාගේ සිත්හි පිහිටියේ යැ. යළි ඒ තොප විසින් මාගේ හෘදයෙහි කරන ලද පලා යන්නට නිසි කල් බලමි. යම්තාක් මේ ජනතෙමේ නිද්‍රෝපගත වේවා.
2. සුනඛ ජාතක යි.
342. තත් සතක් ඇති ඉමිහිරි රමණීය වූ වීණා ගායනය ඉගැන්වීමි. ඒ (ශිෂ්‍යයා) මා රඟමඬලට (වාද පිණිස) කැඳවයි. ශක්‍රය මට පිහිට වන්න.
343. මිතුර, මම තොපට පිහිට වෙමි. මම ගුරුන් පුදන්නෙක්මි. ඒ ශිෂ්‍යයා නො දිනන්නේ ය. ඇදුරු තෙම (සිසුහු) දිනන්නේ ය.
3. ගුත්තිල ජාතක යි.
344. යමක් දකී ද එය නො කැමැති ය. යමක් නො දකී ද එය කැමැති ය. (ජලයෙන් විනිර්මුක්ත වූ ගඞ්ගාවක් සොයමින් බොහෝ කල් ඇවිදින්නේය යි සිතමි. යමක් හේ කැමැති ද එය නො ලබන්නේ ය.
345. යමක් ලබා ද ඉන් තුටු නොවේ, යමක් පතා ද ලද දෙය පිළිකුල් කරයි. ආසාව අනන්ත අරමුණු ඇත්තේ ය. පහ කළ ආසා ඇත්තවුන්ට නමස්කාර කරමු.
4. වීතිච්ඡ ජාතක යි.
346. කාලය තමා හා සමග හැම සතුන් මැ කයි. කාලය කෑ යම් සත්ත්‍වයෙක් ඇද්ද. ඒ සත්ත්‍වයා භුතපවනි සඞ්ඛ්‍යාත තෘෂ්ණාව දැවී.