5649. සිල්වත් වූ බහුශ්‍රුත වූ පණ්ඩිත වූ මහණ බමුණන් වෙත පැමිණ සිය අභිවෘද්ධිය අපේක්‍ෂාවෙන් ඇසුරු කරන්නේ ය.
5650. පෙරසිට මහණ බමුණන්ට දුන් දන නො පිරිහෙළන්නේ ය. දෙන කලැ එතැනට පැමිණි යාචකයන් දැකැ (ඔවුනට දෙන දීමනා) කිසිවක් නො වළක්වන්නේ ය.
5651. යමෙක් වීමංසක ප්‍රඥාවෙන් යුක්ත ද බුද්ධි සම්පන්න ද කාර්‍ය්‍යයන් සංවිධානය කිරීමේ බුහුටි වේ ද දන් දීම සිල්රැකීම ආදියට යෝග්‍ය කාලය දන්නේ ද සී සෑම වැපිරීම ආදිය සඳහා යෝග්‍ය කාලය දන්නේ ද හේ රජගෙහි වසන්නේ ය.
5652. නොපමා වූ බුද්ධිමත් වූ යමෙක් තම කටයුතු කිරීමේ උත්සාහ ඇත්තේ ද කාර්‍ය්‍ය සංවිධානයේ මනා දක්‍ෂ බව ඇත්තේ ද හෙතෙම රජගෙහි වසන්නේ ය.
5653. (යමෙක්) කලවිටට ශාලාවට ගවශාලාවට හා කුඹුරට නිතර යන්නේ ය. මනින ලද (ප්‍රමාණය දැන) ධාන්‍ය අටුවල තැන්පත් කරන්නේ ය. ගෘහයේ (ප්‍රයෝජනය සඳහා) මැන (පමණට) පිසන්නේ ය.
5654. සීලයන්හි නො පිහිටි සිය පුතකු හෝ සොහොයුරකු හෝ අධිපති තැන්හි (අධිපති තනතුරකැ) නො තබන්නේ ය. අඥාන වූ ඔවුහු අඞ්ග සමාන (සොහොවුරු) නොවෙති. ගුණ සිරුර රහිත වන බැවින් ඔවුහු මළවුන් වැන්න. (කැඳවීමක් නැති ව) අවුදින් හුන්නවුන්ට රෙදි කඩක් හා ආහාර පමණක් දෙවන්නේ ය.
5655. දක්‍ෂවූ ද උත්සාහවත් වූ ද මනාව සීලයන්හි පිහිටියා වූ දාසයන් කම්කරුවන් හා පණිවිඩකරුවන් ද ආධිපත්‍යයෙහි පිහිටු වන්නේ ය.
5656. යමෙක් සිල්වත් ද ලෝභ රහිත ද රහසිගත වත් ප්‍රකට වත් රජතුමාට හිතවත්වේ ද හේ රජගෙහි වසන්නේ ය.
5657. යමෙක් රජතුමාගේ කැමැත්ත දන්නේ ද රජතුමාගේ චිත්තාරාධනය කෙරේ ද රජතුමාට විරුද්ධ නො වූ පැවැතුම් ඇත්තේ ද හේ රජගෙහි වසන්නේ ය.
5658. (යමෙක් රජතුමාගේ) ඇඟ උලා නාවනුයේ ද යටිකුරු කළ හිස ඇතිව (බිම බලාගෙන) පා සෝදනුයේ ද, පහර ලදුවත් නො කිපේ ද, හේ රජගෙහි වසන්නේ ය.
5659. අභිවෘද්ධිය තකා වතුර කළය දැක ඇඳිලි බැඳීම ද කවුඩකු දැක ප්‍රදක්‍ෂිණාව ද කෙරේ නම් කැමැති හැම දෙය දෙන්නා වූ ඥානවත් ශ්‍රේෂ්ඨ රජතුමා දුටු විට කියනු කිම? (ඒකාන්තයෙන් හරසර දැක්විය යුත්තේම ය.)
5660. යමෙක් සයනාසන වස්ත්‍ර යානා සහ වාසස්ථාන දෙන්නේ ද සත්ත්‍වයන්ට මේඝය මෙන් සම්පත් නමැති මහවැසි වස්වන රජතුමාට අභිවාදන කටයුතු.
5661. ආර්‍ය්‍යයෙනි, මා විසින් රාජවසතිය (රාජසේවකයන්ගේ පැවැත්ම) මෙසේ කියන ලදී. මෙ පරිදි යම් මිනිසෙක් රජු සතුටු කෙරේ නම් හෙතෙම ස්වාමීන්ගෙන් සැලැකිලි ලබන්නේ ය යි (විධුර පඬිතුමා අනුශාසනා කෙළේ ය.)
රාජවසතිකාණ්ඩ යි.
5662. විධුර පඬිතුමා මෙසේ ඤාතිසමූහයාට අනුශාසනා කොට මිතුරන් පිරිවරා රජතුමා වෙත පැමිණියේ ය.
5663. විධුර පඬිතුමා හිසින් රජතුමාගේ පා වැඳ ඔහු පැදකුණු කොට ඇඳිලි බැඳගෙන රජුට (මෙසේ) කීය:
5664. රජතුමාණෙනි, මේ මාණවකයා ඔහුගේ කැමැත්ත අනුව ක්‍රියා කිරීමට මා ගෙන යයි. (මගේ) නෑයන්ට යහපත පිණිස මෙය කියන්නෙමි. එය අසන්නේ මැනැවි.
5665. මාගේ දරුවන් බැලුව මැනැව. මාගේ නිවෙසෙහි (ඔබ විසින් හෝ අන් රජුන් විසින් හෝ දෙන ලද) අන්‍ය වූ යම් ධනයක් වේ නම් එයද බැලුව මැනැව. මා ගිය පසු මගේ නෑසියෝ යම්සේ නො පිරිහෙත් ද (එසේ කරන්නේ මැනැවි.)
5666. යම්සේ පොළොව පැකිලී ගියේ පොළොවෙහිම පිහිටන්නේ ද මාගේ මේ පැකිලීමත් එසේ ය. මාගේ මෙම වරද දකිමි.
5667. උතුම් වූ මහාප්‍රාඥය, ඔබට යා නො හැකි ය. මට මෙසේ සිත් වේ. කාත්‍යායන වූ මාණවකයා මෙහි තළා මරා මෙහි නවතිනු යනු මට රිසි වේ. තෙපි නො යව.
5668. (රජතුමනි), අධර්‍මයෙහි (පාපයෙහි) හිත නො යොදන්න. අභිවෘද්ධිය ගෙන දෙන දෙයෙහිත් පුණ්‍යක්‍රියාවන්හිත් යෙදෙන්න. යම් කර්‍මයක් කොට පසුව අපායට හේ ද එවැනි ලාමක වූ පාපක්‍රියාවට නින්‍දා වේවා.
5669. මෙ යුක්තිය නො වේ. යළි කටයුතුදෑ ද නො වේ. රජතුමනි, ස්වාමි දාසයාගේ අධිපති ය. (ස්වාමියා විසින් සේවකයා) නසන්ටත් දවන්ටත් පෝෂණය කරන්ටත් සුදුසු ය. මාණවකයා කෙරෙහි මට කෝපයෙක් නැත. මම (ඔහු හා) යමි.
5670. ඒ (විධුර පණ්ඩිත) තෙම දෙටු පුතණුවන් වැළැඳගෙන චිත්තපීඩාව දුරුකොට කඳුළුපිරි නෙතින් යුතු ව මහපායට පිවිසියේ ය.
5671. විධුර පඬිතුමාගේ නිවෙසෙහි දරුවෝ ද බිරියෝ ද සුළඟින් මඩනා ලද කම්පිත වූ සල්වනයෙක සල්ගස් මෙන් තන්හි තන්හි වැටී සිටිත්.
5672. විධුර පඬිතුමාගේ නිවෙසෙහි දහසක් භාර්‍ය්‍යා වූ ස්ත්‍රීහු ද සත්සියයක් දාසීහු ද හිස අත් බැඳගෙන හැඬූහ.
5673. විධුර පඬිතුමාගේ නිවාසයෙහි අන්තඃපුර ස්ත්‍රීහු ද කුමාරයෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද හිස අත් බැඳගෙන හැඬූහ.
5674. විධුර පඬිතුමාගේ නිවාසයෙහි ඇතරුවෝ ද අසරුවෝ ද රථිකයෝ ද පාබලසේනාවෝ ද හිස අත් බැඳ හැඬූහ.
5675. විධුර පඬිතුමාගේ නිවෙසෙහි රැස් වූ දනව්වැස්සෝ ද නියම්ගම් වැස්සෝ ද හිස අත් බැඳ හැඬූහ.
5676. (විධුර පඬිතුමාගේ නිවාසයෙහි) භාර්‍ය්‍යා වූ දහසක් ස්ත්‍රීහු ද සත්සියයක් දාසීහු ද කවර හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.
5677. (විධුර පඬිතුමාගේ නිවාසයෙහි) අතැවුර වැස්සෝ ද කුමරුවෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද කවර හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.
5678. ඇතරුවෝ, අසරුවෝ, රථිකයෝ ද පාබලසේනාවෝ ද කවර හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.
5679. රැස් වූ දනව්වැස්සෝ ද නියම්ගම් වැස්සෝ ද කුමක් හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.
5680. පණ්ඩිත තෙම ගෘහයන්හි කළමනා කාර්‍ය්‍යයන් කොට මිත්‍රාමාත්‍යයන් දාසයන් අඹුදරුවන් නෑයන් සහ සිය ජනතාවට අනුශාසනා කොට.
5681. වැඩ පිළියෙළ කොට ගෙහි ඇති ධනය ද නිධාන ද ණයට දුන් ධනය ද පවසා පූර්‍ණකයාට මෙය කීය:
5682. මාගේ නිවසෙහි ඔබ තෙදිනක් විසූහු. මාගේ ගෘහයන්හි කළමනා වැඩ මා විසින් කරන ලද. අඹුදරුවනට අනුශාසනා කරන ලදී. කච්චානය දැන් තොපගේ අදහස් පරිදි ක්‍රියා කරමු.
5683. ප්‍රිය තෙනැත්ත, ඉදින් තොප විසින් දරුවන්ට බිරියන්ට සහ සේවකයන්ට අනුශාසනා කරන ලද නම් දැන් වහා එව. ඉදිරියෙහි (ඇති) ගමන් මග ද ඉතා දිග ය.
5684. මේ ආජානීය අසුගේ වලිගය බිය රහිතව අල්ලා ගන්න. මෙය තොපගේ මිනිස්ලොව අවසාන දර්‍ශනය වෙයි.
5685. යමක් නිසා දුගතියට යේ නම් කය වචනය හිත යන තිදොරින් මා කළ එබඳු වරදක් නැත. (එහෙයින්) ඒ මම කුමට බිය වෙම් ද?
5686. ඒ අශ්වරාජ තෙම විධුර පඬිතුමන් උසුලමින් අහසින් ගමන් කෙළේ ය. අතුවල හා ගල්වල නො ගැටෙමින් කාළාගිරි පර්‍වතයට ඉක්මනින් පැමිණියේ ය.
5687. යකෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිතුමා රැගෙන යයි කියමින් බිරියන් වන දහසක් ස්ත්‍රීහු ද, සත්සියයක් දාසීහු ද හිස අත්බැඳ හැඬූහ.
5688. යකෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිතුමා රැගෙන යයි කියමින් ගම් නියම්ගම් ජනපද වැස්සෝ හිස අත්බැඳ හැඬූහ.
5689. ඒ විධුර පඬිතුමා කොහි ගියේ දැයි කියමින් බිරියන් වන දහසක් ස්ත්‍රීහු ද සත්සියයක් දාසියෝ ද හිස අත්බැඳ හැඬූහ.
5690. ඒ විධුර පඬිතුමා කොහි ගියේ දැයි කියමින් ගම් නියම්ගම් දනවු වැස්සෝ හිස අත් බැඳගෙන හැඬූහ.
5691. ඉදින් ඒ පඬිතුමා සත්රැයෙකින් නො එන්නේ නම්, අපි සියලු දෙන ගින්නට පනින්නෙමු. අපේ ජීවත්වීමෙන් ප්‍රයෝජනයක් නැත.
5692. (විධුර පඬිතුමා) පඬිවරයෙක, වීමංසායෙන් (විමසන නුවණින්) යුක්තයෙක, ව්‍යක්තයෙක, කටයුතු නො කටයුතු කීමට දත්තෙක, ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තයෙක, එහෙයින් බිය නො වන්න. (පණ්ඩිත තෙම) වහා (එම) ග්‍රහණයෙන් මිදෙන්නේ ය. යළි මෙහි එන්නේ ය.
අන්තරපෙය්‍යාලය.
5693. හෙතෙම (පූර්‍ණකයා) එහි (කාලාගිරි පර්‍වතයට) ගොස් සිතනුයේ ඔහට උස් පහත් සිතිවිලි උපන. මොහුගේ (විධුර පඬිතුමාගේ) ජීවිතයෙන් කිසිත් පලක් නො වේ. මොහු මරා හදවත ගන්නෙමි.
5694. කාතියාන දුෂ්ට සිත් ඇත්තේ එහි (පර්‍වතමස්තකයෙන් පාදයට) ගොස් පර්‍වත අතුරෙහි සිට ඇතුළට පිවිස (මුදුනට නැඟී බෝසතුන් හෙළා) විවෘත ප්‍රදේශයෙහි දී හිස යටිකුරුකොට නඟා ගත්තේ ය.
5695. කුරුරට වාසීන්ගේ ශ්‍රේෂ්ඨ ඇමැතිතුමා මහබිය දනවන ලොමු ඩැහැගැනුම් ඇති කරවන, යා නො හැකි නිරය වැනි මහා ප්‍රපාතයෙකැ එල්ලෙමින් (සිටැ) නො බියව පූර්‍ණක යක්‍ෂයාට මෙලෙස කීය:
5696. රූපයෙන් තෙපි දෙවියකුට සමාන වව. එසේවුව ද අනාර්‍ය්‍ය පැවතුම් ඇත්තහුය. තොපට සංයමයක් නැත. එහෙත් සංයම ඇත්තකු වැනි ය. තෙපි රුදුරු සැහැසිකම් කරව. මඳකුදු කුශලයක් තොප සිතැ නැත.
5697. යම් කරුණෙකින් මා ප්‍රපාතයෙහි හෙළනු කැමැත්තහු ද මගේ මරණයෙන් තොපට කවර ප්‍රයෝජනයෙක් ද? අද තොපගේ පෙනුම අමනුෂ්‍යයකුට සමාන ය. තෙපි කවර (නම්) යක්‍ෂ වවුදැයි මට කියව.
5698. ඉදින්, තොප විසින් පූර්‍ණක නම් යක්‍ෂයා අසන ලද්දේ ද? හේ කුවේර රජුගේ ඇමැති වෙයි. පෘථිවිය දරා සිටින (උසුලා සිටින) වරුණ නාරජ තෙම ආරෝහ පරිණාහ සම්පන්න කායයෙන් මහත් වූයේ යැ, පවිත්‍ර යැ, ශරීරවර්‍ණයෙන් හා කායබලයෙන් යුක්ත යැ.
5699. ප්‍රාඥය, මම ඒ නාගරාජයාගේ අනුජාත දුව කැමැත්තෙමි. ඕ ඉරන්‍දති නාග කන්‍යාවයි. සුන්‍දර මැද පෙදෙස සහිත ඒ ප්‍රියාව හේතුකොට (බලාපොරොත්තුවෙන්) තොපට හිංසා කරන්නට සිතුවෙමි.
5700. යක්‍ෂය, තෙපි නහමක් මුළාවව. බොහෝ දෙන (සිතිවිලි) වරදවා ගැනීම නිසා නැසුනාහ. සුන්‍දර මධ්‍ය ප්‍රදේශ ඇති තොපගේ ප්‍රියාවට මාගේ මරණයෙන් කවර වැඩෙක් ද? ඒ සියල්ල අසමු.
5701. මහානුභාවසම්පන්න මහා උරගයාගේ දුව (ලබනු) කැමැත්තේ නෑයන්ට මම බැළයෙමි. මා පහසුවෙන්ම කාමාශක්ත කටහැක්කේ ය යි දැනගත් මයිල් තෙමේ ඇය ඉල්ලන මට මෙලෙස කීය:
5702. ඉදින් තෙපි පඬිතුමාගේ හදවත දැහැමිව ලබා මෙහි ගෙන එන්නහු නම් සුන්‍දර සිරුරැති, මනා නෙත් සඟළක් ඇති, සඳුන් අලෙව් දුන් සිරුර ඇති, අතිශය විශ්මයාවහ ඉරන්‍දතිය තොපට දෙන්නෙමු. මෙම තුටුපඬුරෙන් ඉරන්‍දතිය ලද හැකි ය. මෙයින් වැඩි අන් ධනයක් නො පතමු.
5703. පඬිතුමනි, මම මෙලෙස මුළාවූයෙම් නො වෙමි. පඬිතුමනි අසන්නේ මැනැවි. අයුතු ලෙස මා ගත් කිසිත් නැත. දැහැමින් ලබන ඔබගේ හදවත නිසා නාගයෝ ඉරන්‍දතිය මට දෙති.
5704. එහෙයින් මම තොපට වධ කරන්නට යෙදුනෙමි. තොපගේ මරණයෙන් මට මෙසේ ප්‍රයෝජන ඇත. තොප මේ ප්‍රපාතයේ හෙළා මරා හදවත උපුටා ගන්නෙමි.
5705. කාතියානය, ඉදින් මාගේ හදවතින් තොපට කිසෙක් ඇත්නම් මා වහා නඟා ගනුව. යම් මේ සාධුනර ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අද තොපට ප්‍රකාශ කෙරෙමි.
5706. ඒ පූර්‍ණක තෙම කුරුරට වැසියන්ගේ ශ්‍රේෂ්ඨ වූ කර්‍තව්‍යකාරකයා වහා පර්‍වත මස්තකයෙහි පිහිටුවා අස්වැසි වැ හුන්නහු දැකැ අලාමක නුවණැති කර්‍තව්‍යකාරක (විධුර පණ්ඩිත) ගෙන් මෙසේ පිළිවිසි.
5707. මා විසින් තෙපි ප්‍රපාතයෙන් නඟන ලද්දාහු යැ. අද තොපගේ හදවතින් මට කටයුතු ඇත. යම් මේ සාධුනර ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අද මට ප්‍රකාශ කරව.
5708. තොප විසින් මා ප්‍රපාතයෙන් නඟන ලද්දෙමි. ඉදින්, මාගේ හදවතින් තොපට කටයුත්තෙක් වේ ද, මේ යම්කිසි සාධුනර ධර්‍මකෙනෙක් ඇද්ද, ඒ හැම අද තොපට ප්‍රකාශ කෙරෙමි.
5709. මාණවකය, ‘යාතානුයායී’ (යනුවා අනුව යන්නේ) ද වව. අද්දපාණී දහනය (නෙත් අල්ලදැවීම) ද හැරැපියව. කිසි කලෙකත් මිතුරන් කෙරෙහි නහමක් ද්‍රෝහි ද වව. අසතීන්ගේ වශයට ද නහමක් යව.
5710. කිසෙයින් ‘යාතානුයායී’ වේ ද? හෙතෙම කිසෙයින් ‘අද්දපාණි දහන’ කෙරේ ද? ‘අසති’ නම් කවරැ? ‘මිත්‍රද්‍රෝහි’ නම් කවරෙ යැ? තෙල කරුණ විචාරන ලද්දහු මට කියව.
5711. යමෙක් එක්වැ නොවිසූවිරුවකු නො ද දුටුවිරූවකු අසුන් පමණිනුදු පවරා නම් පුරුෂ තෙම ඔහට හිතයක් කරන්නේ මැ යැ. පණ්ඩිතයෝ ඒ පුද්ගලයා ‘යාතානුයායි’ යයි කීහු.
5712. යමෙක් යමකුගේ නිවෙසේ එක් රැයකුදු වසන්නේ ද යම් තැනෙකැ ආහාරපාන ලබන්නේ ද, ඔහුට සිතිනුදු පව් කමක් නො සිතන්නේ ය. මිත්‍රද්‍රෝහී තෙම (දානයෙන්) තෙත් වූ අත්ල දවයි.
5713. (යමෙක්) යම් රුක් සේවනක හිඳුනේ හෝ සයනය කරන්නේ හෝ වේ ද (හේ) එම රුකෙහි අත්තකුදු නො බිඳින්නේ ය. මිත්‍රද්‍රෝහිකම ලාමක ය.
5714. ඉදින් පුරුෂයෙක් (මම් මැ ඇයට ප්‍රිය වෙමි. තෙල තැනැත්තී අනුන් නො පතා යැ යන) මනා සිතින් යුතු වැ ධනයෙන් පිරුණු මේ පොළොව ද ස්ත්‍රියට දෙන්නේ ද ඕ (අතිචාරයට) අවකාශ ලැබැ ඔහු ද ඉක්මවා අන් පුරුෂයන් සිතන්නී යැ. ඒ අසද්ධර්‍ම සමන්‍වාගත ස්ත්‍රීන් වශයට නො යන්නේ ය.
5715. මෙසේ ‘යාතානුයායී’ වෙයි. යළි මෙසේ ‘අද්දපාණි දහන’ වෙයි. ඕ ‘අසති’ නම් වෙයි. හෙ ‘මිත්‍රද්‍රෝහි’ නම් වේ. යක්‍ෂය, ඒ තෙපි ධාර්මික වව. අධර්‍මය හැරපියව.
සාධුනරධම්ම කාණ්ඩ යි.
5716. ශ්‍රේෂ්ඨ ප්‍රාඥය, තොපගේ නිවෙසේ මම තුන් දවසක් විසීමි. ආහාරපානයෙන් උවටැන් කරන ලදිමි. (තෙපි) මාගේ මිතුරු වව. මම තොප මුදා හරිමි. ඒකාන්තයෙන් ගෙට යව.
5717. නාගකුලයේ කටයුත්ත පිරිහේවා. නාග කන්‍යාවගෙන් මට ප්‍රයෝජනයක් නො වේවා. නුවණැත්ත, තෙපි සිය සුබැසි වදනින් මා විසින් අද ප්‍රාණවධයෙන් මුදන ලද්දහුය.
5718. එසේ නම් යක්‍ෂය, තෙපි මා ද එහි ගෙන යව. තොපගේ මයිලණුවන්ගේ කාර්‍ය්‍යය මා කෙරෙහි පවරව. අපිදු නො දුටු විරූ නාගවිමානයත් නාරජුත් දකිමු.
5719. මිනිසාට යමක් අහිත වන්නේ නම් ප්‍රාඥතෙම එය දක්නට නිසි නො වේ. එසේ ඇති කල්හි කවර හේතුවක් නිසා සතුරුගමට යාමට තෙපි කැමැත්තහු ද?
5720. ඒකාන්තයෙන් මම ද මෙය දනිමි. එය බැලීමට ප්‍රාඥතෙම නිසි නො වේ. කිසි තැනෙකැ මා කළ පාපයක් ද නැත. එහෙයින් මරණයට පැමිණීමට මම සැක නැත්තෙමි.
5721. එසේ නම් කර්‍තව්‍යකාරය, මා හා සමග එව. නලිනී රාජධානියේ වෛශ්‍රවණ රජුමෙන් යම් තැනෙක නාරජ නෘත්‍යගීතයෙන් යුතුවැ හිඳීද ඒ මහත් අනුභාව ඇති නාවිමන දකුව.
5722. නාමෙනෙවි සමූහයා විසින් දිවරැය නිරතුරු කළ ක්‍රීඩා ඇති බොහෝ මල්දම් ඇති නන්කුසුමෙන් වැසුණු එ විමන අහසෙහි විදුලිය මෙන් බබළයි.
5723. ආහාරපානයෙන් ද, නෘත්‍ය ගීත හා වාදනයෙන් ද, යුත් ඒ විමානය ඇඳුම්පැළදුම්වලින් සැරසීගත් කන්‍යාවන්ගෙන් පරිපූර්‍ණ වූයේ ඉතා ශෝභන වෙයි.
5724. ඒ පූර්‍ණක යක්‍ෂ තෙම කුරුරට වාසීන්ගේ ශ්‍රේෂ්ඨ කර්‍තව්‍යකාරකයා පිටුපස අස්නේ හිඳුවාපී ය. හේ අලාමක නුවණැති කර්‍තව්‍යකාරක විධුර පඬිතුමා ගෙන නාරජුගේ භවනයට පැමිණවී.
5725. අතුල්‍යානුභාව ඇති එතැනට පත් විධුර පණ්ඩිත පූර්‍ණකයාගේ පිටුපසැ සිටියේය. සමඟිය බලන නාරජ පළමුව බෑනා හා කතා කෙළේ ය.
5726. යම් හෙයෙකින් තෙපි විධුර පණ්ඩිතයන්ගේ හදවත සොයමින් මිනිස් ලොවට ගියහු ද, කිම මනදොළ සමෘඬ කොට ගෙන, අලාමක ප්‍රඥා ඇති පඬිතුමා ගෙන මෙහි අවුද?
5727. තෙපි යමක්හු කැමැත්තහු ද හෙ මෙහි ආ මෙ පුරුෂ මැයි. ධම්මපාල වූ (හෙතෙම) දැහැමින් මා විසින් ලබන ලද. ඉදිරියේ කතාකරන ඔහු බලනු මැනැවි. සත්පුරුෂ සංගමය ඒකාන්තයෙන් සුඛයෙකි.
කාළාගිරි කාණ්ඩය යි.
5728. මනුෂ්‍ය තෙම නුදුටු විරූ දැය දැක විෂ්මිතවැ (මෙන්) මරණ බියෙන් පීඩිතව නො වඳිනේ යි. මේ කරුණ ප්‍රාඥයන්ට නො වේ.
5729. නාරදුනි, මම විෂ්මිත නො වෙමි. මරණ බියෙන් පෙළුනෙම් ද නො වෙමි. වධයට පැමිණියේ නො වඳින්නේය. වධයට පැමිණියහු ලවා නො වඳවන්නේය.
5730. මිනිසා යමකු නසන්නට කැමැත්තේ නම් (වධ්‍ය වූ) හෙතෙම කෙසේ නම් වඳිනේ ද? කෙසේ නම් ඔහු ලවා වඳවනේ හෝ වේ ද? ඒ ක්‍රියා යුතු නො වෙයි.
5731. පඬිතුමනි, තෙපි යම්සේ කියවු ද! මෙය එසේය. තෙපි සත්‍යයක් කියව. වධයට පැමිණියේ නො වඳින්නේ ය. වධයට පැමිණියහු ලවා හෝ නො වඳවන්නේය.
5732. මනුෂ්‍යයෙක් යමෙකු නසන්නට කැමැත්තේ නම් (වධාර්‍හයා) වඳින්නේ කෙසේද? ඔහු ලවා වන්‍දවා ගන්නේ කෙසේද? ඒකාන්තයෙන් ඒ ක්‍රියාව යුතු නො වේ.
5733. නාරදුනි, තාවකාලික ඔබගේ මේ විමානය නාග ඍද්ධිය නාග තේජස කායික හා චෛතසික බල නාලොවැ උපත (යන මේවා) බොහෝ කල් පවත්නාසේ සිතා පව්කම් නො කරව. මේ විමන තෙපි කෙසේ ලැබුහු දැ යි විතාරමි.
5734. මේ විමන හේතු රහිත ව ලබනලද ද? නැතහොත් ඍතු විපර්‍ය්‍යාසයක් නිසා හටගැනුණේ ද? එසේත් නො වේ නම් තමා ම සාදන ලද්දක්ද? නැතහොත් දේවදින්නද? තොප මේ විමන ලද අයුරු මට කියව.
5735. පඬිතුමනි, මේ විමන මා විසින් අහේතුක ව ලබන ලද නො වේ. ඍතු විපර්‍ය්‍යාසයෙන් උපන්නේද නො වෙයි. තමා ම කරන ලද හෝ දෙවියන් විසින් දෙන ලද්දේ හෝ නො වේ. මා කළ ලාමක නො වන පුණ්‍යකර්‍ම බලයෙන් ලබන ලද්දේ වෙයි.
5736. නාරදුනි, පෙර භවයෙහි කවර ව්‍රතයක් පුරුදු කෙළේද? කිනම් බ්‍රහ්මචර්‍ය්‍යයක් පුරුදු කෙළේද? මෙය කවර කර්‍මයක විපාකයක්ද? නාග ඍද්ධිය, නාග තේජස, කායික හා චෛතසික බලය හා නාලොව උපත ද මේ මහා විමානය ද කෙසේ ලද්දේද?
5737. පඬිතුමනි, පෙරැ මිනිස් ලොව දී මම ද මාගේ බිරිඳ ද යන අපි දෙදෙනා ශ්‍රද්ධා ඇති දානපතීහු වීමු. මාගේ නිවෙස එකල පැන්හලක් වැන්න. අප විසින් මහණ බමුණෝ ද සන්තර්‍පණය කරන ලද්දෝය.
5738. මල් සුවඳවිලවුන් පහන් දැල්වීමට අවශ්‍ය දෑ ඇඳ පුටු නිවාස වස්ත්‍ර සහ ආහාරපාන එහිදී (මනුෂ්‍යලෝකයේ දී) සකස් කොට පිදීමු.
5739. පඬිතුමනි, එය මගේ ව්‍රතසමාදානය යි. එය මගේ බඹසර යි. මනාසේ පුහුණු කළ කුශල කර්‍මයන් නිසා නාග ඍද්ධිය නාගතේජස නාගබලය කායික චෛතසික වීර්‍ය්‍යය නාලොව උපත සහ මාගේ මහා විමානය ද යන මේවා ලත්මි.
5740. ඉදින් මේ විමන තොප විසින් මෙසේ ලබන ලද වී නම් පුණ්‍යකර්‍මයන්ගේ ඵලවිපාක දනුව. එහෙයින් යළිදු විමන්හි වාස කරන සේ අප්‍රමාදව කුශලක්‍රියාවන්හි හැසිරෙව.
5741. පඬිතුමනි, යම් කෙනකුන්ට ආහාරපාන දෙමු නම් එබඳු (ගැනීමට සුදුසු) මහණ බමුණෝ නාලොව නැතියහ. අපි යළිදු යම්සේ මේ විමනේ වසමෝ නම්, තෙල කරුණ විචාළ තෙපි මට කියව.
5742. නාරදුනි, තොපට මෙහි උපන් පුත්‍රයෝ ද බිරියෝ ද සේවකයෝ ද ඇතියහ. තෙපි ඔවුන් කෙරෙහි වචනයෙන් ද ක්‍රියාවෙන් ද නිරතුරු ද්වේෂ නො කරව.
5743. නාගය, තෙපි වචනයෙන් හා කර්‍මයෙන් (ක්‍රියායෙන්) මෙත් සිත රකිමින් දිවිහිමියෙන් මෙහි සිට මින් ච්‍යුතවැ දෙව්ලොවට යව.
5744. පඬිතුමනි, තෙපි යමකුට ඇමැති වූහු ද ඒ ශ්‍රේෂ්ඨ රජ තෙම තොපගෙන් වෙන්ව ඒකාන්තයෙන් ශෝක කෙරෙයි. දුකට පත් දැඩි ගිලන් පුරුෂයා ද තොප හා එක් වැ සුව ලබන්නේය.