5454. එල්බෙන පිළිසරණක් නැති ඒ වේතරණී නදීජලයෙහි ඔසොවා ගෙනයනුලබන කැපුණු සිරුරු ඇති ලේ තැවැරුණු තොප වෙත එළඹ කවරෙක් ඒ ධනය ඉල්වන්නේ ද?
5455. මුනිවරය, තොප විසින් කියන ලද ගාථා අසා සිඳිනුලබන ගසක් මෙන් සැලෙමි. වෙසෙසින් මුළා වූ සිහි ඇත්තෙම් දිසාවන් නො දනිමි. බියෙන් තැවෙමි. මාගේ බිය ඉතා මහත් ය.
5456. ඍෂින් වහන්ස, දැවුණු කය ඇති කල්හි දිය මැදට පැමිණීම මෙන් ද, සැඬ දියපහරෙහි හෝ සයුරෙහි හෝ දිවයිනක් මෙන් ද, අඳුරෙහි පහනක් මෙන් ද තොපි ම අපට පිහිට වන්නාහු ය.
5457. ඍෂීන් වහන්ස, අර්‍ත්‍ථයෙන් ද ධර්‍මයෙන් ද මට අනුශාසනා කළ මැනව. ගියදවස මා විසින් අපරාධ කරනලද. නාරද මුනිවරය, යම්සේ මම නිරයෙහි නො වැටෙම් ද එබඳු ශුද්ධිමාර්‍ගය (යහපත්මඟ) මට කියනු මැනව.
5458. ධතරට්ඨ ය, වෙස්සාමිත්ත ය, අට්ඨක ය, යාමතග්ගි ය, උසින්නර ය, සිවි ය යන රජවරු යම්සේ මහණබමුණන්ට යුතුකම් ඉටු කරන්නෝ වූහු ද,
5459. (ධතරට්ඨාදි) මොහු ද (එබඳු) අන් යම් රජහු ද (ධර්‍මයෙහි හැසිර) ශක්‍රයාගේ විෂයට ගියාහු නම් මිහිපතිතුමනි, (එසෙයින් තෙපිදු) අධර්‍මය දුරුකොට ධර්‍මයෙහි හැසිරෙව.
5460. කවරෙක් බඩසා ඇත්තේ ද කවරෙක් පිපාසා ඇත්තේ ද කවරෙක් මල්දම් රුස්නේ ද කවරෙක් විලෙවුන් රිසි වේ ද නග්න වූ කවරෙක් නන් පැහැයෙන් රඳනාලද වස්ත්‍ර හඳින්නේ දැ යි (කියමින්) අහරගත් අත් ඇති පුරුෂයෝ තොපගේ බවනෙහි ද පුරෙහි ද ඝෝෂා කෙරෙත්වා.
5461. කවරෙක් මහමඟ ඡත්‍ර දරන්නේ ද කවරෙක් මොළොක් වූ යහපත් පාවහන් කැමැත්තේ දැ යි මෙසේ තොපගේ පුරයෙහි උදේ සවස ඝෝෂා කෙරෙත්වා.
5462. (යමෙක්) පෙර බලවත් වූයේ කළ අධිකාර ඇත්තේ ද (රාජකාර්‍ය්‍යය ඉටුකිරීම් වශයෙන් කළ උපකාර ඇත්තේ වේ ද) ජරාවට පත් වූ (ඒ) අමාත්‍යාදීන් ද ගව–අශ්ව ආදීන් ද පෝෂණය කරන්නේ ඔවුන් පෙර මෙන් (කර්‍මාන්තයන්හි) නො යොදව. (ඔවුන්ට බත් වැටුප් ආදි) පෙරහර ද දෙව.
5463. (මහරජ), තොපගේ කය රියක් වැන්න. (එහි) සැහැල්ලු වූ මනස ම රියැදුරු යැ. අවිහිංසා නමැති මනා කොට නිමවන ලද අකුරු ඇත්තේ ය. බෙදා වැළඳීම ම රථපරිවාර වෙයි.
5464. පාදයසංයමය එහි නිම්වළලු යැ. හස්ත සංයම නමැති වෙහෙලි පත් ඇත්තේ ය. පමණ දැන වැළඳීම නමැති තෙල් ගැල්වීම් ඇත්තේ ය. වාක්සංයම නමැති නිහඬබව වෙයි.
5465. සත්‍යවාක්‍ය නමැති පිරිපුන් අවයව ඇත්තේ ය. කේලාම් නො කීම නමැති මනා සටහන් ඇත්තේ ය. මටසිලුටු වචන නමැති නිදොස් රථාඞ්ග ඇත්තේ ය. පමණ දැන බිණීම නමැති බඳනා ලාටු ඇත්තේ ය.
5466. ශ්‍රද්ධාව හා අලෝභය නමැති මනා අලඞ්කාරයෙන් යුක්ත ය. යටත් පැවතුම් හා ඇඳිලිබැඳීම් සංඛ්‍යාත (රිය දෙපස) කිඹුල්තලු ඇත්තේ ය. නො දැඩිබව නමැති නැමුණු රියහිස ඇත්තේ ය. සීලසංවර නමැති රැහැණ ඇත්තේ ය.
5467. ක්‍රෝධ නො කිරීම නමැති නො හැකිළීම් ඇත්තේ ය. දශ කුශලධර්‍ම නමැති සේසතින් යුක්ත ය. බොහෝ ඇසූපිරූ තැන් ඇති බව නමැති ආධාරක පුවරු (පිටාටු) ඇත්තේ ය. (අටලෝ දහමින් නො සැලෙන බැවින්) මනාව පිහිටි සිත් නමැති සිහසුන් හෝ උඩ ඇතිරි ඇත්තේ ය.
5468. කල්දැන කරනලද කුසලින් යුත් වූ සිත් නමැති සාරයෙන් යුක්තය, විසාරදබව (බුහුටිබව) නමැති ත්‍රිදණ්ඩයෙන් යුක්ත ය, යටත් පැවතුම් නමැති යොත් ඇත්තේ ය, අධිකමාන නො කිරීම නමැති සැහැල්ලු වියදඬු ඇත්තේ ය.
5469. නො පසුබස්නා සිත් නමැති ඇතිරි ඇත්තේ ය. නුවණැති වෘද්ධයන් සෙවීමෙන් නසන ලද රජස් ඇත්තේ ය. පණ්ඩිත වූ තොපගේ සිහි නමැති කැවිටි ඇත්තේ ය, (නො සිඳි පවත්නා) වීර්‍ය්‍යය ද (හිත ප්‍රතිපත්තියෙහි යෙදීම නම් වූ) යෝගය ද රැහැණ වෙයි.
5470. මොනොවට දැමුණු අසුන්ගෙන් යුත් (රියක් මෙන් තොප ගේ) දැමුණු සිත යහපත් මඟ අනුව යෙයි. (නො ලද දෑ පැතීම නම් වූ) ඉච්ඡාව ද (ලද දැයෙහි) ලෝභය ද නො මග නම් වෙයි. සීලසංයමය ම සුමග වෙයි.
5471. රූප ශබ්ද ගන්‍ධ රසයන් කරා දිවෙන (තොපගේ කය නමැති) වාහනයාගේ (ලෝභාදි අකුසලධර්‍ම නමැති අශ්වයන් වැළකීම සඳහා) පහරදීම කරන්නී ප්‍රඥාවයි. මහරජ, එහි තෙමේ මැ රියැදුරු වෙයි.
5472. මහරජ, යම්හෙයකින් මේ යානය කැමැති සම්පත් දෙන්නේ ද (එහෙයින් යමකුගේ) සමචරියාව ත් නො පසුබස්නා වීර්‍ය්‍යය ත් දැඩි වූයේ ද හෙතෙම මේ යානයෙන් ඒකාන්තයෙන් කිසිකලෙකත් නිරයට නො පැමිණෙන්නේ ය.
5473. (මෙකල) දේවදත්ත (එකල) අලාත විය. භද්දජි (භද්දිය තෙරුන් වහන්සේ) සුනාම නම් (ඇමති) විය. සැරියුත් තෙරණුවෝ විජය නම් ඇමති වූහ. මුගලන් තෙරණුවෝ බීජක නම් වූහ.
5474. සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර ගුණ නම් අචේලක විය. යම් රජ දුවක් රජු පැහැද වූ ද ඒ රුජා නම් රජ දූ ආනන්‍ද තෙරණුවෝ ය.
5475. උරුවේලකස්සප තෙරුන් වහන්සේ එකල පාපදෘෂ්ටිගත් රජ වූහ. බෝධිසත්‍වයෝ (නාරද නම්) මහාබ්‍රහ්ම වූහු. මෙසේ (මේ) ජාතකය දරවු.
සත්වැනි මහා නාරද කාශ්‍යප ජාතක යි
8. විධුර ජාතකය
5476. (වරුණ නා රජ) සත්පුරුෂ වූ යමෙක් කිපියයුත්තහු කෙරෙහි නො කිපේ ද කිසිකලෙකත් කෝප නො කරන්නේ ද යමෙක් කිපියේ නමුදු කෝපය පහළ නො කෙරේ ද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යා ශ්‍රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.
5477. (ගුරුළු රජ) මඳ අහර ඇති යමෙක් සාගිනි ඉවසා ද, ඉන්‍ද්‍රිය දමනයෙන් හා තවුස් ගුණෙන් යුතුවූයේ පමණ දැන ආහාර පාන වළඳා ද, සාගින්න හේතුකොට පාපක්‍රියා නො කෙරේ ද ඒ මිනිසා ඒකාන්තයෙන් ශ්‍රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.
5478. (සක්දෙවු රජ) යමෙක් කායික වාචසික ක්‍රීඩා ද දිව්‍ය කාමසුඛයෙහි ඇල්ම ද හැරපියා ස්වල්ප වූ හෝ බොරු නො කියා කාය මණ්ඩනයෙන් හා මෛථුනයෙන් වැළකුණේ ද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයා ශ්‍රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.
5479. (ධනඤ්ජය රජ) තමන් සන්තක ලෝභ කටයුතු සියලු වස්තූන් හැරදමා ඉන්‍ද්‍රිය දමනයෙන් යුක්තව සිත එකඟ කොටැ ගත් මමත්‍වය නැති කර ගත් ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණයෙකැ යි ලෙව්හි පඬිවරු කියති.
5480. අලාමක නුවණැති, කළමනා දෙය කරන (තොප) විචාරමි. අප කී ගාථාවන් නිසා උපන් විවාදයෙක් ඇත. අපේ සැකය දැන් පසිඳුව. තොප නිසා අද (අපි) සියල්ලෝ සැක රහිත වෙමු. (සිවුදෙනම විධුර පණ්ඩිතයන් පුළුවුත්හ.)
5481. (කී දෙයෙහි) අරුත් දක්නට සමත් යම් පණ්ඩිත කෙනෙක් වෙද්ද ඔහු ඒ විවාදය නුවණින් විමසා යථා කාලයෙහි පවසති. රජතුමනි, නො කී ගාථාවන්ගේ අර්‍ත්‍ථය දක්‍ෂතා ඇත්තෝ වුවත් කෙසේ පමුණුවත් ද? (ඉදිරිපත් කෙරෙත් ද?)
5482. නාගරාජයා කෙසේ කියා ද? වෙනතෙය්‍ය නමැති ගුරුළා කෙසේ කියා ද? ශක්‍රයා කුමක් කියා ද? කුරුරට වාසීන්ගේ ධනඤ්ජය රජ කෙසේ කියා දැයි (විධුර පණ්ඩිත ඔවුන් විචාළේය.)
5483. ඒකාන්තයෙන් ඉවසීම උතුම්ය යි නාගරාජයා කිය යි. වෙනතෙය්‍ය නමැති ගුරුළා ස්වල්ප ආහාරය (ගැනීම) උතුම්ය යි කිය යි. පස්කම් සැපතෙහි ආශාව දුරු කිරීම උතුම්ය යි ශක්‍රයා කිය යි. කුරුරට වැස්සන්ගේ රජතෙම පළිබෝධ රහිත බව උතුම්ය යි කිය යි.
5484. (විධුර පණ්ඩිත) මේ සියල්ල සුභාෂිත යැ. දුබැසි කිසිත් මෙහි නැති. චක්‍රනාභියෙහි අර ලෙසින් මේ ගුණදම් යමකු කෙරෙහි පිහිටා තිබේ ද, ඉවසීම ආදි (මේ) ගුණදම් සතරින් හෙබි පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණය යි ලොවැ (පඬිවරු) කියතියි කීය.
5485. ඔබ ශ්‍රේෂ්ඨ වෙති, ඔබට වඩා උත්තමයෙක් නැති හෙයින් අනුත්තර වෙති. ඔබ ධර්‍මය රක්නාහ, ධර්‍මය දන්නාහ, මහා ප්‍රාඥය හ. සියනැණින් අපගේ පැනය මැනැවින් වටහා ගෙන අපගේ සැක පසිඳලූහ. ඇත්දළ කැටයම්, කරු කියතෙන් ඇත්දළය යම්සේ කපා ද එසේ අපේ සැක, විමති සිඳ දැමූහ.
5486. ප්‍රාඥය, නිලුපුල් පැහැයට සමාන වූ පවිත්‍ර වූ මහඟු වූ ධූමවර්‍ණ වූ මේ වස්ත්‍රය, ඔබගේ පැන විසඳුමෙන් තුටුපත් මම් ධර්‍මපූජා පිණිස ඔබට දෙමි.
5487. ප්‍රාඥය, විකශිත පද්මයක් වැනි කෙසුරු සහිත රත්න සහස්‍රයකින් යුක්ත වූ රන් මාලය දහම් පඬුරු විසින් පැන විසඳුමෙන් තුටුපත් මම ඔබට දෙමි.
5488. ප්‍රාඥය, මාගේ ගෙළැ පැළැඳි පැහැ විහිදෙන මනහර මේ මිණි දහම් පඬුරු වශයෙන්, මම පැන විසඳුමෙන් තුටුපත් වූයෙම් ඔබට දෙමි.
5489. පැන විසඳුමෙන් තුටුපත් මම දෙනුන් දහසක් ද වෘෂභයකු ද ඇතකු ද ආජානීය අශ්වයන් යෙදූ මේ රිය දසය ද ගම්වර සොළොසක් ද ඔබට දෙමි.
5490. (නාරජ) විමලාවෙනි, තිගේ සිරුර පඬුවන් ය, කෘශ ය, දුබල ය, පෙර තිබූ රූසිරි (දැන්) නැත. තිට කවර ශරීර වේදනාවක් පවතී දැ යි මට කියව.
5491. මිනිසුන් අතරේ (වෙසෙන) ස්ත්‍රීන්ට දොළ දුක් ඉපැදීම ස්වභාවයෙකි. නාරජතුමනි, දැහැමින් (බලාත්කාරයෙන් තොරව) ගෙනා විධුරපඬිතුමාගේ හදවත පතමියි (ඕ කීවාය.)
5492. (නා රජ) දොළ විසින් චන්‍ද්‍රයා ප්‍රාර්‍ත්‍ථනා කරහි සූර්‍ය්‍යයා ප්‍රාර්‍ත්‍ථනා කරහි නොහොත් පවන ප්‍රාර්‍ත්‍ථනා කරහි. විධුරගේ දර්‍ශනය පවා දුර්‍ලභ වන කල්හි කවරෙක් විධුර මෙහි ගෙන එන්නේ ද?
5493. (ඉරන්‍දති) පියාණෙනි, තෙපි කුමට සිතිවිලි සිතන්නවු ද? තොප වහන්සේගේ මුව අතින් මැඩලූ පියුමක් වැන්න. ඊශ්වරයාණෙනි, කුමට දොම්නස්සැහැවි ඇතියවු ද? සතුරන් ගේ තාපනයෙන් තෙපි නහමක් ශෝක කරව.
5494. (නාරජ) ඉරන්‍දතිය, තීගේ මව විධුරගේ හදමස පතයි. විධුරගේ දර්‍ශනය පවා දුර්‍ලභ යි. කවරෙක් විධුර මෙහි ගෙන එන්නේ ද?
5495. යමෙක් විධුර මෙහි ගෙන එන්නේ නම් එබඳු ස්වාමියකු සොයව යි කී පියාගේ වචනය අසා ඕ තොමෝ රාත්‍රියෙහි (රජගෙන්) නික්මැ ක්ලේශයෙන් ආර්ද්‍ර වැ (ස්වාමියකු සොයා) හැසුරුණා යැ.
5496. කවර නම් ගඳඹෙක් රකුසෙක් නාගයෙක් කිඳුරෙක් මිනිසෙක් (ඔවුනතර) සියලු කාමසම්පත් දෙන කවර නම් පණ්ඩිතයෙක් (මාගේ මවගේ මනදොළ සපුරා) දීර්‍ඝ කාලයක් මට ස්වාමි වන්නේ ද?
5497. ප්‍රශස්ත නයන ඇත්තිය, සැනැහෙව. තීගේ ස්වාමි වෙමි. හර්තෘ වන්නෙමි. මට එබඳු (විධුරගේ හදමස් ගෙනෙනු සමත්) ප්‍රඥායෙක් ඇති. සැනැහෙව, මට භාර්‍ය්‍යා වව.
5498. ඉක්බිති ඉරන්‍දතී තොමෝ පූර්‍වභවය අනුවගිය සිතින් යුතු වැ ඔහට මෙසේ කීවා යැ. එව, මාගේ පියා වෙත යම්හ. තෙල පිය තෙමේ මැ තොපට මෙ කරුණ කියන්නේ යැ.
5499. අලංකෘත වූවා හැඳගත් මනාවස්ත්‍ර ඇති පැළැඳි මාලා ඇති ගැල්වූ සඳුන්කල්ල ඇති ඉරන්‍දතී (පූර්‍ණක) යක්‍ෂයා අතින් ගෙන පියා වෙත පැමිණියා.
5500. (පූර්‍ණක) නාරජතුමනි, මාගේ වචනය අසනු මැනැවි. දූකුමරියට අනුරූප සුංවත් (දායද්‍ය) පිළිගනු මැනැවි. මම ඉරන්‍දතිය පතමි. තෙපි ඇය හා මාගේ සහභාවය කරව.
5501. ඇත්තු සියයෙක, අශ්වයෝ සියයෙක, වෙළඹුන් යෙදූ රථ සියයෙක, නන්රුවනින් පිරිපුන් බඩුගැල් සියයෙකි. නාරජුනි, එහැම පිළිගනු මැනැවැ. ඉරන්‍දතී දියණියන් දෙව,
5502. (යක් සෙනෙවිය,) යම්තාක් නෑයන් ද මිතුරන් ද සුහද ජනයා ද අමතම් ද ඒ තාක් බලව. නො අමතා කළ කර්‍මයක් වේ නම් ඒ පසුතවායයි (නාරජ කී.)
5503. ඉක්බිති ඒ වරුණ නාරජ නිවෙස්නට පිවිසැ භාර්‍ය්‍යාව අමතා මෙවදන් කී:
5504. මේ ඒ ප්‍රසිද්ධ පූර්‍ණක යක්‍ෂ තෙම මාගෙන් ඉරන්‍දතිය ඉල්වයි. බොහෝ වූ ධනලාභයෙන් ඔහට මාගේ ප්‍රිය වූ දියණිය දෙම්හ.
5505. (විමලා) ධනසම්පතින් අපගේ ඉරන්‍දතී නො ලැබිය හැක්ක. ඉදින් පණ්ඩිතයන්ගේ හදමස දැහැමින් ලැබැ මෙහි ගෙන එන්නේ නම් තෙල ධනයෙන් කුමරි ලැබියහෙයි. මත්තෙහි අන් ධනයක් නො පතම්හ.
5506. ඉක්බිති ඒ වරුණ නාරජ නිවෙසින් නික්මැ අවුත් පූර්‍ණක අමතා මෙවදන් කී:
5507. ධනසම්පතින් අපගේ ඉරන්‍දතී නො ලැබියහෙයි. ඉදින් පණ්ඩිතයන්ගේ හදමස දැහැමින් ලැබැ මෙහි ගෙන එන්නෙහි නම් තෙල ධනයෙන් කුමරි ලැබියහෙයි. මත්තෙහි අන් ධනයක් නො පතම්හ.
5508. (පූර්‍ණක) ලෝකයෙහි යමකු පණ්ඩිත යැ යි කෙනෙක් කියත් ද යළි ඔහු මැ බාලයෙකැ යි අන් කෙනෙක් කියති. මෙහිලා විවාද කෙරෙති. මට කියව, නාරජුනි, තෙපි කවර නම් පණ්ඩිතයකු ගෙනැ කියවු ද?
5509. ඉදින් තොප විසින් ධනඤ්ජය කෝරව්‍ය රජුගේ විධුර නම් පණ්ඩිතයෙක් අසනලද වේ ද, එ පණ්ඩිතයා දැහැමින් ලැබැ ගෙනෙව. තොපට ඉරන්‍දතී පාදපරිචාරිකා වේවා.
5510. වරුණ නාරජුගේ මෙ වදන් අසා ප්‍රමුදිත වූ පූර්‍ණක යක්‍ෂ හුනස්නෙන් නැඟී, එහිම සිට, සැරසූ ආජානීය අසකු ගෙනෙවයි සේවකයකුට අණ කෙළේය.
5511. මනෝමය අශ්වයාට ස්වර්‍ණමය කන් ඇත. රක්ත මාණික්‍යමය කුර ඇත. ජාම්බොනද රනින් නිම වූ උරසැත්මාලා (පපුවැස්ම) ඇත.
5512. අලංකෘත වූයේ මනහරසේ සැරහූ කෙස් රවුළු ඇති පූර්‍ණක යක්‍ෂයා දේවවාහවහ නමැති අසු අරා අහසින් ගියේය.
5513. කාමවේගයෙන් ගිජු වූ ඒ පූර්‍ණකයා ඉරන්‍දතී නාමෙනෙවිය පතමින්, භූතාධිපති වූ පරිවාර සම්පත් ඇති වෛශ්‍රවණ වෙත ගොස් මෙසේ කීය:
5514. රනින් නිමහම් කළ නගරයෙහි මැදුරු භෝගවතී, වාසා, හිරඤ්ඤවතී යන නම් ඇත්තේය යි කියනු ලැබේ. දරණයෙන් යුතු නාරජුගේ නගරයෙහි (මෙසේ) නිමහම් කරන ලද්දේය.
5515. ඔටුගෙලසේ දිගැති, රක්තමාණික්‍යයෙන් හා මසාරගල්ල නමැති මාණික්‍යයෙන් කළ අටලු (වේදිකා) ඇත්තේය. මෙම නාගභවනයෙහි මිණිමුවා ප්‍රාසාදයෝ රන්මුවා උළින් වසන ලද්දෝය.
5516-5517. අඹ මදට දඹ රුක්අත්තන මිදෙල්ල වැටකේ පියල් එරහැඳි මීඅඹ එරබදු සපු නා යොහොඹු කොබලිල යන මේ රුක්හු මල් පල ගත්තාහු අතුපතරින් ගැවසුනාහු නාගමන්‍දිරය අලංකාර කෙරෙති.
5518. ඕපපාතිකව උපන් මහත් ඍධි ඇති වරුණ නාරද යම් තැනෙක වෙසේ ද (එතැන) මෙම නාග භවනයෙහි නිතර පිපුණ රන්මුවා මල් ඇති, ඉඳුනිල්මිණිමුවා ඉඳිගස් බොහෝ යැ.
5519. රුවන් රැසක් වැනි (බබළන) ශරීර ඇති, (මදපවනින් ලෙලෙන) කළුවැල් දල්ලක් මෙන් නැඟී සිටි, කොසඹපල බඳු තනපුඩු ඇති දර්‍ශනී වූ ඔහුගේ තරුණ බිරිඳ විමලා නමැත්තීය.
5520. ඕ ලතුදිය වන් රත්පැහැ (අතුල්පතුල්) සිවි ඇත්තීය. නිවාතස්ථානයෙක් පිපීගිය මල් ඇති කිණිහිරිරුකක් වැන්න. දිව්‍යභවනයෙහි හැසිරෙන දෙවඟනක් වැන්න. ඝන වලාපටලයකින් නික්මුණු විදුලියක් වැන්න.
5521. සුන්‍දර සිනා ඇති ඕ දොළ ඇත්තී, විධුර පණ්ඩිතයන්ගේ හදවත පතන්නීය. ඉසුරාණෙනි, එය මම ඔවුනට දෙමි. එම හේතුවෙන් ඔවුහු ඉරන්‍දතිය මට පාවා දෙන්නාහ.
5522. ඒ පූර්‍ණක යක්‍ෂසෙනාධිපති තෙම, යකුන්ගේ අධිපති වූ පරිවාරසම්පත් ඇති කුවේර නම් වූ වෙසවුණු රජු අමතා අවසර ගෙන එහි මැ සිටියේ සරසන ලද ආජානීය අසකු මෙතැනට ම ගෙනෙවයි සේවකයකු ඇණැ වී.
5523. අසුගේ සවන් රනින් ද, කුර රතුකැටින් ද, පපුවැස්ම ජාම්බොනද ස්වර්‍ණයෙන් ද කරන ලද්දේය.
5524. අලංකෘත වූයේ මනහර ලෙසින් සැරසූ කෙහෙ රවුළු ඇති පූර්‍ණක යක්‍ෂ දේවවාහවහ නම් අසු පිටැ නැඟැ අහසින් ගියේය.
5525. හෙතෙම ආහාරපාන බහුල, ශක්‍රයාගේ මසක්කසාර පුරය සදෘශ වු සතුරන්ට ළංවිය නොහෙන අතිශය රම්‍ය වූ අඟුරජුගේ රජගහපුරයට පැමිණියේය.
5526. මොනර කොස්ලිහිණි සමූහයා විසින් ඝෝෂිත වූ, අන්‍ය පක්‍ෂීන් විසින් හඬනඟන ලද, පක්‍ෂි සමූහයා විසින් සෙවුනා ලද නොයෙක් සකුණන් විසින් කරනලද නාද ඇති සුන්‍දර අඞ්ගණ ඇති මල් විසුළ හිමවත් පව්ව බඳු,
5527. කිඳුරන් නිරතුරු හැසිරෙන වේපුල්ල පර්‍වතයට ඒ පූර්‍ණක නැගේය. උදාර වූ මිණිරුවන සොයන්නේ පර්‍වතකූට මධ්‍යයෙහි එය දුටුවේය.
5528. පැහැ විහිදෙන්නා වූ මහඟු වූ රිසි සම්පත් දෙන්නාවූ (පරිවාර) මාණික්‍යයන් නිසා අධික දීප්තියෙන් යුක්ත වූ යසස් ඇත්තාවූ අහසේ බැබළෙන විදුලියක් වන් (ඒ) මිණිරුවන දැක,
5529. මහත් අනුභාව ඇති (සිතූ පැතූ සම්පත් දෙන බැවින්) මනෝහර නම් වූ මහාර්‍ඝ ඒ වෛදූර්‍ය්‍ය මාණික්‍යය (හේ) ගත්තේය. අලාමක පැහැති පූර්‍ණක යක්‍ෂ තෙමේ (එය ගෙන) ආජානීය අසු අරා අහසින් ගියේය.
5530. ඒ යක්‍ෂතෙම ඉඳිපත් නුවරට පැමිණියේය. අසු පිටින් බැසැ කුරුරජුනගේ සභාවට පැමිණියේය. (ඒ) සභාවෙහි රැස්ව සිටි එක්සියක් රජුන් (දූකෙළියට) නො බියව කැඳවී.
5531. මෙහි සිටින රජුන්ගෙන් කවරෙක් උතුම් මිණිරුවන දිනා ද? අපි කවරක්හු උතුම් ධනයෙන් දිනමෝ ද? කවර නම් උතුම් රුවනක් දිනමෝ ද? කවරෙක් හෝ උතුම් ධනයෙන් අප දිනා ද?
5532. (ධනඤ්ජය රජ) තොපගේ ජාතභූමිය කවර රටෙක ද? තොපගේ මේ කථාව කුරුරට වැසියකුගේ මෙන් නො වේ. (තොපගේ) සිරුරු පැහැයෙන් අප හැම අභිභවනය කෙරෙහි. තොපගේ නම ද නෑයන් ද මට කියව.
5533. (පූර්‍ණක) මහරජ මම කච්චායන නමැති මාණවක වෙමි. අනූන නමින් (සෙස්සෝ) මා අමතති. අඟුරටෙහි මාගේ නෑයෝ ද බන්‍ධූහු ද වෙසෙති. දේවයෙනි දූකෙළි පිණිස මෙහි පැමිණියෙම් වෙමි.
5534. (රජ) අක්‍ෂධූර්‍තයෙක් තා දිනමින් යම් වස්තූන් ගෙන යා නම් කිම එබඳු රත්නයෝ මාණවකහට ඇද් ද? රජහට බොහෝ රත්න ඇත. තෙපි දිළිඳුව කෙසේ නම් ඒ රජුන් (දූකෙළියට) කැඳවහු ද?
5535. (පූර්‍ණක) මේ මාගේ ‘මනෝහර’ නම් මාණික්‍යය ධන සම්පත් ගෙනෙන උතුම් මිණිරුවනෙකි. මේ ආජානීයයා ද සතුරන් තවන අස්රුවනෙකි. අක්‍ෂධූර්‍තයෙක් මා දිනා තෙල රුවන් ගෙන යන්නේ යැ.
5536. (රජ) තරුණය, මේ එක මැණික කුමක් කරන්නේ ද? මේ එක ආජානීය අශ්වයා කුමක් කරන්නේ ද? රජහට බොහෝ මිණිරුවන් ඇත. වාතවේග ඇති ආජානීය අශ්වයෝ අනල්ප යැ.
දෝහළ කාණ්ඩ යි.
5537. (පූර්‍ණක) නරදේවයනි තෙපි මාගේ මේ මිණි රුවන බලව. මෙහි ස්ත්‍රීන්ගේ රූප ද පුරුෂයන්ගේ රූප ද ඇත.
5538. මුවන්ගේ රූප ද පක්‍ෂීන්ගේ රූප ද පැනෙයි. නාගයන් ද ගුරුළන් ද මැණිකෙහි නිමැවුණු (පැණෙන) අසිරි බලව.
5539. මිණිරුවනෙහි නිමැවුණු හස්ති සේනා, රථ සේනා, අශ්ව සේනා, ධජ වලින් යුත් (සැදුම් ලත්) පාබළ සේනා යන චතුරඞ්ගිනී සේනා බලව.
5540. ඇතරුවන්, අසරුවන්, රියැදුරන්, පාබළ සෙබළුන් යන සේනා සමූහය මැණිකෙහි නිමැවුණු අසිරි බලව.
5541. උස්වූ පදනම් ඇති බොහෝ පවුරු හා තොරණ ඇති පුරය ද සිවුමංසල හා ළගන්නා භූමිභාග ද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5542. ඉන්‍ද්‍රඛීලය ද දිය අගල ද නුවර දොර කවුළු ද අටලු ද දොරකොටු ද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5543-5544. තොරණ‘ගෙහි (තොරණ මුදුනැ) හංසයන් කොස් ළිහිණින් මොනරුන් සක්වාළිහිණින් ඇටිකුකුළන් කළුකොවුලන් විසිතුරු පියාපත් ඇති කොවුලන් හා ජීවංජීවක පක්‍ෂීන් යන බොහෝ පක්‍ෂීන්ගේ (රූ සටහන්) ඇත. නොයෙක් වර්‍ගයනට අයත් පක්‍ෂීන් ගැවසී ගත් අයුරු මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5545. මැනැවින් ගොඩ නැගූ පවුරු ඇති අසිරිමත් වූ ලොමුදහගන්නා වූ නඟන ලද ධජ ඇති මනස්කාන්ත වූ රන්වැලි අතුළ නගරය බලව.
5546. (ඒ නගරයෙහි) කොටස් විසින් බෙදූ ආපන ශාලා ද නිවාස ද ගෙබිම් ද ගෘහසන්‍ධි ද කුදුමහත් වීථි ද බලව.
5547. සුරාසැල් ද සුරාසොඬුන් ද අඞ්ගානි ද මුළුතැන් ගෙවල් ද වෙසඟනන් ද ගණිකාවන් ද යන මොවුන් මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5548. මල්කරුවන් රජකයන් විලවුන් වෙළෙන්ඳන් රෙදි වෙළෙඳුන් රන්කරුවන් මැණික්කරුවන් යන මොවුන් මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5549. බත් පිසන්නවුන් ද මාළු පිසන්නවුන් ද නළුවන් හා ගායකයන් ද අත්තල ගසන්නන් හා කළබෙර වයන්නන් ද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
5550. මහබෙර මිහිඟුබෙර සක් ගැටබෙර පනාබෙර ද සියලු තූර්‍ය්‍ය විශේෂ ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5551. කුළුතාලම් ද, වීණා ද, නැටුම් ගැයුම් හා තූර්‍ය්‍යවාදන ද, තූර්‍ය්‍යවාදන ප්‍රතිරාව ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5552. කරනම් ගසන්නෝ යැ, මුට්ඨිමල්ලවයෝ යැ, ඉන්‍ද්‍රජාලිකයෝ ය, නගරය හොබවන ස්ත්‍රී පුරුෂයෝ යැ යන මොවුන් ද සොහොන් ගොව්වන් හා කරනෑවැමියන් මැණිකෙහි නිර්මිත ඇසිරිය බලව.