Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 6001-6100 න් 7679

5255. ගඩොල් බොහෝ කලෙකිනුදු ගල් නො වෙයි. එහි යකඩ ද ලෝහ ද උපදනේ නො වේ. යාගයෙහි දී මෙය වර්‍ණනා කරන්නෝ යාග කරන බමුණන් විසින් කළ ආසන යැ යි කියත්.
5256. වේද හදාරන මන්ත්‍ර කොටස්වලින් යුත් තපස්වී වූ බමුණා ඉල්ලීමට සුදුස්සෙකැ යි ද කීහ. මුහුදු ඉවුරෙහි දිය නාන්නා වූ එ බඳු බමුණකු සයුර ගිල ගත්තේ ය. එ හෙයින් (මුහුද) පානය නො කළ හැක්කක් (ලුණු දිය ඇත්තක්) කරන ලදී.
5257. නිම කොට උගත් වේද ඇති මන්ත්‍රයෙන් යුත් දහසකට වැඩි බමුණන් නදීහු ගිල්වති. එහෙයින් නදී ජලයෙහි වෙනස් රසක් (ලුණු රසක්) නොවේ. කවර කරුණෙකින් අසම වූ සමුද්‍රය බ්‍රහ්මයා නො පිය යුත්තක් කෙළේ ද?
5258. දෙදිව් ඇත්ත, මේ ජීව ලෝකයෙහි ළිං හාරන්නන් කැණූ කරදිය ඇති යම් කිසි කූපයෝ වෙත් ද, එහි ජලය බමුණන් ගිලීම නිසා නො පිය හැකි වීයයි නො කියත්.
5259. පෙර පළමු කප කවර නම් තැනැත්තක් කවරකුහට අඹු වූ ද? පෙර මනස ම මිනිසා ඉපැදැ වීය. එකරුණෙන් කිසිවෙක් හීන නොවේ. මෙසේ ඇති කල තම තමන්ගේ ක්‍රියාවන් පිළිබඳ වෙනස වෙසෙසින් කියති.
5260. ප්‍රඥාවත් දක්‍ෂ චණ්ඩාල පුත්‍රයෙක් ද වේදය ඉගෙන මන්ත්‍ර කියන්නේ නම් ඔහු ගේ මුදුන සත්කඩක් කොට නො පැළෙන්නේ ය. එ බැවින් මේ මන්ත්‍රයෝ තමහට වධ පිණිස කරන ලද්දෝ ය.
5261. බොරු බසින් කරනලද ලාභයෙහි ගිජුබැවින් බමුණන් විසින් ගනුලබන කාව්‍යකාරයින්ගේ බසට අනුව ගිය මේ වේද මන්ත්‍ර නො මුදාලිය හැක්කෝ ය. නුවණනැත්තන්ගේ සිත මේ විෂම වේදයෙහි බැසගෙන සිටියේ ය. අඥානයෝ එය අදහති.
5262. බලයෙන් සිංහයකුගේ ද ව්‍යාඝ්‍රයකුගේ ද දිවියකුගේ ද පෞරුෂයට සමානවූවක් බමුණන්හට නැත. (ඔවුන්ගේ) මනුෂ්‍යත්‍වය ද ගවයන්ගේ ස්වභාව මෙන් දැක්කයුතු ය. අඥානභාවය හේතු කොට ගෙන ගවයන් හා සමවන ඒ බමුණන්ගේ ජාතිය වනාහි (ගවයන් හා) නො සම වෙයි.
5263. ඉදින් (මහබඹු දුන් හෙයින්) රජ ද පොළොව දිනා කීකරු පිරිස් ඇත්තේ සහජීවනය කරන්නන්ගෙන් යුත් වූයේ වේ ද, ඒ රජ, තෙමේම සතුරු සමූහය ජයගන්නේ නම් ඔහුගේ (රට වැසි) ප්‍රජාව නිබඳ සුවයට පැමිණෙන්නේ ය. (යුද්ධයක් අනවශ්‍ය හෙයිනි).
5264. ක්‍ෂත්‍රිය මන්ත්‍ර ද ත්‍රිවේදය ද යන මොව්හු අර්‍ත්‍ථයෙන් සමාන වෙති. ඔවුන් පිළිබඳ අර්‍ත්‍ථයෙන් සමාන වෙති. ඔවුන් පිළිබඳ අර්‍ත්‍ථ විනිශ්චය නො කොට (ආඥාවශයෙන් ගන්නා තෙනැත්තේ) සැඩ දිය පහරින් වැසුණු මග මෙන් (එහි අර්‍ත්‍ථය) අවබෝධ නො කෙරෙයි.
5265. ක්‍ෂත්‍රිය මන්ත්‍ර ද ත්‍රිවේදය ද යන මොව්හු වචනාර්‍ත්‍ථ වශයෙන් සම වෙති. ලාභය අලාභය අයසය යසය යන මොව්හු සියලු චතුර්වර්‍ණයන් පිළිබඳ ස්වභාවධර්‍මයෝ ය.
5266. යම් සේ ගෘහපතියෝ ධනධාන්‍ය හේතුවෙන් පොළොවෙහි බොහෝ කර්‍මාන්ත කරවද්ද, බමුණෝ ද එලෙසින් ම දැන් පොළොවෙහි බොහෝ කර්‍මාන්ත කරවති.
5267. නිතර උත්සාහ ඇති පස්කම් සැපතෙහි යෙදුණු පොළොවෙහි බොහෝ කර්‍මාන්ත කරවන මොව්හු ගෘහපතියන් හා සමාන වෙති. දෙදිව් ඇති අරිට්ඨය. මඳ නුවණැති ඒ බමුණෝ බමුණු දහමින් දුරුවූවෝය යි (භූරිදත්ත නාරජ කී ය)
යඤ්ඤහෙදවාද කාණ්ඩය යි
5268. වැයුම ඇත්තා වූ මහබෙර ද මිහිඟුබෙර ද සක් ද පනාබෙර සහ ගැට බෙර ද යන මේ තූර්‍ය්‍යයෝ රජු සතුටු කෙරෙමින් කවරකුගේ අභිමුඛයෙන් පිළිපන්නාහු ද?
5269. මහත් වූ විදුලියට බඳු පැහැ ඇති රන් මුවා නළල්පටින් කවරකුගේ මුහුණ බැබැළේ ද? තරුණ වූ දුනුහියවුරින් සැරැසුණු කවරෙක් සෝභාවෙන් දිලියෙමින් එයි ද?
5270. කඹුරු උදුනෙහි ඔප දමන ලද්දක් මෙන් දිලියෙන කිහිර’ඟුරු මෙන් ප්‍රභා ඇති මනෝඥ වූ මුහුණ බැබැළෙයි. එ බඳු කවරෙක් සෝභාවෙන් දිලියෙමින් එයි ද?
5271. සිත්කලු සලාක සහිත හිරුරැස් වළකන රන්මුවා ඡත්‍රය කවරකුහට දරනුලැබේ ද? සෝභාවෙන් දිලියෙමින් කවරෙක් එයි ද?
5272. සෙමෙර දරන්නන් කළවයෙන් රඳවන ලද උතුම් වල්විදුනාව උතුම් නුවණ ඇති කවරකුගේ හිස මත්තෙහි හැසිරේ ද?
5273. සත්රුවනින් විසිතුරු මෘදු වූ රන් හා මිණියෙන් කැරුණු දඬු (මිටි) ඇති මොණර පිල් කලබ්හු කවරකුගේ මුව දෙපසින් හැසිරෙද් ද?
5274. දිලියෙන කිහිර’ඟුරු බඳු පැහැ යුත් කඹුරු උදුනෙහි ඔප දැමූ මේ මනහර කුණ්ඩලාභරණයෝ කවරකුගේ මුව දෙපසැ බැබැළෙත් ද?
5275. සුළඟින් සැලෙන සිනිඳු වූ අග් ඇති මෘදු වූ කේශයෝ අහසින් පැන නැගුණු විදුලිය මෙන් කවරකුගේ නළල් කෙළවර හොබවද් ද?
5276. දිගු පුළුල් වූ මේ ඇස් කවරකුගේ ද? මහත් ඇස් ඇති මේ කවරෙක් බැබළේ ද? රන් කැඩපතක් බඳු පිරිපුන් මේ මුහුණ කවරකුගේ ද?
5277. කථා කරන යමකු ගේ පිරිසිදු උතුම් සක්පෙති බඳු කොඳ කැකුළු සමාන වූ දත් බැබළේ ද එබඳු පිරිසිදු දත් කවරකු ගේ ද?
5278. ලාකඩ දියට බඳු පැහැ ඇති මේ සුව සේ වැඩුණු අත් පා කවරකු ගේ ද, බිඹුපල වැනි තොල් ඇති ඒ කවරෙක් දවල් හිරු මෙන් බැබැළේ ද?
5279. හිමඍතුව ගේ අවසන්හි හිමාලයෙහි පිහිටි මහ සල් රුකක් මෙන් පෙරෙවි සුදු උතුරු සළු ඇති ඒ කවරෙක් නම් අසුරයන් දිනූ සක්දෙව් රජු මෙන් බැබැළේ ද?
5280. රන් බුබුලින් ගැවසී ගත් මිණි මිටෙන් විසිතුරු කැරුණු කඩුව පිරිස් මැදට බැසගත් අධිපති කවරෙක් නම් මුදා ද?
5281. රනින් කැරුණු විසිතුරු කොට මැනැවින් කැරුණු ගෙතුමෙන් යුත් මිරිවැඩි, මහර්ෂී වූ ඔබ හට නමස්කාර කොට ඒ කවරෙක් පාදයෙන් මුදයි ද? සාගර බ්‍රහ්මදත්ත රජ තෙමේ පිය රජ වූ තාපසයාණන්ගෙන් ඇසීය.
5282. ඍද්ධි ඇති යශ පිරිවර ඇති ඔව්හු ධෘතරාෂ්ට්‍ර නම් නාරජු ගේ පුත් වූ නාගයෝ වෙති. මහත් ඍද්ධි ඇති මේ නාගයෝ වනාහි සමුද්‍රජා නමැති මගේ දුවට උපන් පුත්තු වෙති යි පියරජ තෙමේ කී ය.
භූරිදත්ත ජාතකය නිමි.
7. මහානාරදකස්සප ජාතකය
5283. බොහෝ හස්ත්‍යශ්ව වාහනාදිය ඇති ධනවත් වූ අපමණ භට සේනා ඇති විදේහ රට වැසියන්ගේ අංගාති නම් ක්‍ෂත්‍රිය රජෙක් වීය.
5284. ඒ අංගාති නමැති රජ තෙමේ වස්සාර මාසයාගේ අවසන් දවස වන පිපි කුමුදු මල් ඇති ඉල්මසැ පුරපසළොස්වක් රාත්‍රිය පිළිබඳ ප්‍රථම යාමය ඉක් මැ නො ගිය කලැ ඇමතියන් රැස් කැරැ වී ය.
5285-5286. පණ්ඩිත වූ ඇසූපිරූ තැන් ඇති සිනා පෙරැදැරි වැ කථා කරන ස්වභාව ඇති දක්‍ෂ වූ විජය නමැති ඇමතියා ද සුනාම නමැති ඇමතියා ද අලාත නමැති සෙන්පතියා ද යන මොවුන් ගෙන් වේදේහ රජ තෙමේ වෙන් වෙන් වශයෙන් තම තමන් ගේ අදහස් වෙන වෙනම කියවු. අද ඉල්මසැ පිපි කුමුදු ඇති මැදිපොහෝ දවස් වෙයි. පුන්සඳ උදාවිය, අඳුරු දුරු විය. අද මෙ බඳු රැයක් කවර නම් ඇල්මකින් වෙසෙමු දැයි විචාළේ ය.
5287. ඉක්බිති රජු ගේ අලාත නමැති සෙනෙවි තෙමේ මෙය කී ය: සතුටු වූ හස්ත්‍යශ්වාදි වාහන ඇති මහ බළ ඇණි යුත් සිලු සෙනඟ යුද පිණිස සරසම්හ.
5288. දේවයන් වහන්ස, අපමණ බළ පිරිස ඇති අපි යුද පිණිස නික්මැ යමු. යම් ඒ සතුරු කෙනෙක් වසඟ නො වෙත් නම් ඔවුන් වසඟ කරමු. නො දිනූ යමෙක් වෙයි නම් ඔහු දිනමු. මේ මගේ අදහසය යි කීය.
5289. අලාත නමැති සෙනෙවිහු ගේ බස් අසා සුනාම ඇමැති තෙමේ මෙය කී ය: මහරජ ඔබ ගේ සියලු සතුරෝ ඔබට වසඟයහ.
5290. බහා තැබූ අවි ඇති සතුරෝ විරුද්ධ නො වෙති. අද උතුම් උත්සව දිනයකි. එහෙයින් මට යුද්ධය නො රිසි ය.
5291. ආහාර හා පාන වර්‍ග ද කෑ යුතු දෑ ද ඔබ වහන්සේට යුහු වැ එළවත්ව යි ද වාදනය කරන ලද නෘත්‍යගීතයන් යුහු වැ එළවත්ව යි ද දේවයන් වහන්ස, ඔබ වහන්සේ පස්කම් සැපතින් සිත් අලවනු යෙහෙකි යි කී ය.
5292. සුනාම නමැති ඇමතියා ගේ මේ කීම ඇසීමෙන් විජය නමැති ඇමැති තෙමේ මෙය කී ය: මහරජ ඔබ වහන්සේට රූප සද්දාදි සියලු කාමයෝ නිරන්තරයෙන් එළඹ සිටියාහු වෙති.
5293. මහරජ, කම් සැපතින් සතුටුවීම ය යන මෙය ඔබ වහන්සේට සුලබය. හැම කල මැ කාමයෝ ලැබෙති. එහෙයින් මෙය මා සිතට රුචි නො වෙයි කී ය.
5294. අද අර්‍ත්‍ථ ධර්‍ම දන්නා වූ යම් ඍෂිවරයෙක් අපට උපන් සැක දුරු කෙරේ ද? එ බඳු බොහෝ ඇසූ පිරූතැන් ඇති මහණකු වෙත හෝ බමුණකු වෙත හෝ එළඹෙමු යි (හේ) කී ය.
5295. විජය නමැති ඇමතියා ගේ බස් අසා අංගාති රජ තෙමේ මෙසේ කී ය: විජය තෙමේ යම් සේ කියයි ද මට ද මෙ කරුණ රුචි වේ.
5296. අර්‍ත්‍ථ ධර්‍ම දන්නා යම් ඍෂිවරයෙක් අද අපට උපන් සැක දුරු කෙරේ ද? එ බඳු ඇසූ පිරූ තැන් ඇති මහණකු හෝ බමුණකු වෙත එළෙඹෙමු යි කී ය.
5297. අර්‍ත්‍ථ ධර්‍ම දන්නා කවර නම් ඍෂිවරයෙක් අද අපට උපන් සැක දුරු කෙරේ ද, අපි කවර නම් පඬිවරයකු කරා එළඹෙමු දැ යි මෙහි සිටිනා තෙපි හැම දෙනා ම අදහස් කියවු යි කී.
5298. වේදේහ නමැති රජුගේ බස් අසා අලාත නම් සෙනෙවි තෙමේ මෙය කීය: මිගදාය නමැති උයනෙහි පඬිවරයෙකැ යි සම්මත වූ නිඝණ්ඨයෙක් ඇත.
5299. කාශ්‍යප ගොත්‍රයෙහි වූ ගුණ නමැති මේ තෙමේ බොහෝ ඇසූ පිරූතැන් ඇත්තෙකි, විසිතුරු කථා ඇත්තෙකි, ගණාචාර්‍ය්‍යයෙකි. දේවයන් වහන්ස, ඒ නිඝණ්ඨයා ඇසුරු කරන්නේ මැනැවි. හේ අපට උපන් සැක දුරු කරන්නේ ය.
5300. අලාත නමැති සෙනෙවියා ගේ බස් අසා රජ තෙමේ මිගදාය නම් උයනට යන්නෙමු යි සුදුසු වාහනයක් මෙහි ගෙනෙව යි රියදුරාට අණ කෙළේ ය.
5301. දන්තමය (දළමුවා) රජතමය (රිදීමුවා) වෙහෙලි ඇති සුදු මටසිලුටු රිය පිරිවර ඇති බැබැළෙන සඳට බඳු රථයක් ඒ රජුට පිළියෙළ කළහ.
5302. කුමුදු පැහැ ඇති පවනට බඳු ගමන් ඇති මැනැවින් දැමුණු ගෙලැ පැළැඳි ස්වර්‍ණමාලා ඇති සෛන්‍ධව අශ්වයෝ සතර දෙනෙක් ඒ රථයෙහි යොදන ලදහ.
5303. සේසත ද සුදු රිය ද සුදු අශ්වයෝ ද සුදු වල් විදුනා ද ඇති රජ තෙමේ ඇමතියන් සමඟ යන්නේ පුන්සඳ මෙන් බැබැළුණේ ය.
5304. ඉන්‍ද්‍රයා හට මෙන් කඩු දරන බලවත් වූ වැර ඇති අසුන් පිට නැගි බොහෝ මිනිස්සු ඒ රජු අනුව ගමන් කළහ.
5305. වේදේහ නමැති ඒ ක්‍ෂත්‍රිය රජ තෙමේ අමාත්‍යයන් සමඟ සැණෙකින් උයනට ගොස් රියෙන් බැස පා ගමන් ඇත්තේ ගුණ නමැති නිගණ්ඨයා (නුවටා) වෙත පැමිණියේ ය.
5306. එකලැ එහි රැස් වූ බ්‍රාහ්මණ ගෘහපතියෝ වු හු ද රජ තෙමේ ඔවුන් බැහැර නො කෙළේ ය. අවකාශ නො කළ භූමියෙහි එකත් පස්හි හිඳැ ගත්තේ ය.
5307. නැවත ඒ රජ තෙමේ මුදු පහස් ඇති විසිතුරු ඇතිරිලි ඇති මුදු පසතුරුණුයෙන් යුත් මොළොක් බිස්සෙක්හි එකත් පස් වැ හිඳැ ගත්තේ ය.
5308. රජ තෙමේ එහි හිඳීමෙන් පසු සතුටු විය. නැවත සිහි කටයුතු කථා කෙළේ ය. හිමියනි, කිම, යැපෙන්නට පුළුවන් ද? ශරීරය පිළිබඳ වාතයන්ගේ විසම බවක් නැද්ද?
5309. කිම, නිදුකින් ජීවත් විය හැකි ද, ආහාරයෙන් යැපෙහි ද, ආබාධ නැත්තෙහි ද, ඇස් පිළිබඳ පීඩා නැත්තෙහි ද?
5310. ගුණ නැමැති නිගණ්ඨ තෙමේ විනයෙහි ඇලුණු ඒ වේදේහ රජහට සතුටු විය යුතු බසින් පිළිවදන් දුනි. මහරජතුමනි, යැපිය හැකි ය. මේ සියල්ල ඒ ලෙස ම ය. වාතාබාධ නැති බව ද ඇස් පිරිහීම් නැති බව ද යන දෙකරුණ ද එසේ ම ය.
5311. වේදේහ මහරජුනි, කිම, ඔබ ගේ පසල්දනවු වැසියෝ බල පවත්වන්නෝ නො වෙද්ද (නොහොත් නො කිපෙද්ද) බළ සෙනඟ රථවාහන නිරෝග වෙත් ද ඔබ ගේ වාහනය ඔබ උසුලන්න හැකි වෙයි ද? කිම, ශරීරය තවන රෝගයෝ ඔබට නැද්ද?
5312. පිළිසඳර වදනින් තුටු පත් රාජෝත්තම වූ ඒ වේදේහ රජ තෙමේ ඉන් පසු වැ අර්‍ත්‍ථය (පාලි අර්‍ත්‍ථ) ද, ධර්‍මය (පාලි ධර්‍ම) ද, න්‍යායය (කාරණ යුක්ති) විචාළේ ය.
5313. එම්බා කස්සපය, මනුෂ්‍ය තෙමේ මවුපියන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද? ගුරුවරයා කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද, අඹු දරුවන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද?
5314. වැඩිමහල්ලන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද? මහණ බමුණන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද? බළසෙනඟ කෙරෙහි ද දැහැමින් කෙසේ හැසිරේ ද? දනවුවැසියන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද?
5315. දහම්හි කවර අයුරකින් හැසිරීම හේතු කොට ගෙන පරලොව සුගතියට යේ ද නො දැමිටු (අධම්මිට්ඨ) සමහරු යට දෙස නරකයට කෙසේ නම් වැටෙද්දැ යි විචාළේ ය.
5316. වේදේහ රජුගේ බස් අසා කස්සප නම් නිගණ්ඨ (නුවට) තෙමේ මෙය කී ය: මහරජ, සැබෑ වූ නිබොරු වූ ම බස් ශ්‍රවණය කර:
5317. පුහුණු කළ ධර්‍මය පිළිබඳ යහපත් නො යහපත් විපාක නැත. මහරජ පර ලොවක් නැත. එ ලොවින් කවරෙක් නම් මෙහි ආයේද?
5318. මහරජ, මුතුන්මිත්තැණියෝ ද නැත. එහෙයින් මෑණියෝ කොයින් ද පියාණෝ කොයින් ද ගුරුවරයෙක් නම් නැත. එහෙයින් නො හික්මුණු අයකු කවරෙක් නම් හික්මවන්නේ ද?
5319. සත්ත්‍වයෝ සම සම වූවෝ වෙති. වැඩිහිටියන් පුදනනෝ ද නැත. බල හෝ වීර්‍ය්‍ය හෝ නැත. උට්ඨාන වීර්‍ය්‍යයෙන් යුත් පෞරුෂයක් නම් කොයින් ද, නැව හැර නො යන ගල්වත මෙන් සත්ත්‍වයෝ නියමය අනුවැ යෙති.
5320. මිනිස් තෙමේ ලැබිය යුක්ත ලබයි. එහි දීමෙහි විපාක කොයින් ද. මහරජ දීමෙහි විපාක නැත. මෙසේ දානයෙහි විපාක නැති කලැ (යම්කිසි බාලයෙක් දෙයි නම්) දේවයිනි, නො වසඟ වූයේ උත්සාහ නැත්තෙක් වැ දන් දෙයි.
5321. දානය පනවන ලද්දේ අඥානයන් විසිනි. පිළිගන්නා ලද්දේ නැණවතුන් විසිනි. දුබල නැණවත්යැ යි සිතන අඥානයෝ නැණවතුන් හට දෙතැ යි කී ය.
5322. නො සිඳිය හැකි වෙනස් කෝපනය නො කට හැකි ශාශ්වත (හැම කල් පවත්නා) වූ මේ සමූහයෝ සතක් වෙති. එ නම් තේජස් ය, පෘථිවි ය, ජලය, වාත ය, සැප ය, දුක ය, ජීව ය යන මේ සත යි. යමකුන් පිළිබඳ සිඳින්නෙක් නැද්ද ඒ මේ සමූහ සත යි.
5323. නසන්නෙක් හෝ සිඳින්නෙක් හෝ නැත. නැසෙන්නෝ ද නැත. කිසිවෙක් කිසිවකු නසන්නේ ද නො වේ. සිඳින සැත් මේ සත්වැදෑරුම් සමූහයන් අතරින් මැ ඉක්ම යත්.
5324. මේ යමෙක් අනුන්ගේ හිස අල්ලාගෙන මුවහත් කඩුවෙකින් කපා ද හේ ඒ සත්ත්‍ව කායයන් නො සිඳියි. එහි පාපකර්‍මයක් විපාකයක් නම් කොයින් ද?
5325. සුවාසූ මහා කල්පයක් මුළුල්ලෙහි සැරිසරන මේ සියල්ලෝ පිරිසිදු වෙති. ඒ පැවැසුණු කාලප්‍රමාණය නො පැමිණි කලැ සීලාදි සංයම ඇත්තේ ද පිරිසිදු බවට නො පැමිණෙයි. (සත්ත්‍වයන් පිරිසිදු කරන්නට සමතෙක් නම් නැත.)
5326. බොහෝ යහපත කිරීමෙනුදු ඒ පැවසූ කාලය නො පැමිණි කල පිරිසිදු නො වෙති. ඉදින් බොහෝ පව් කිරීමෙන් නමුදු (ශුද්ධිය පිණිස) ඒ කාලය නො ඉක්මවන්නාහ.
5327. කල්පයන් සම්බන්‍ධ සූ අසූවකින් අප ගේ සංසාර ශුද්ධිය පිළිවෙළින් පවත්නේ ය. වෙරළ නො ඉක්ම පවත්නා සයුර මෙන් අපි දු නියමය හෙවත් සූ අසූ මහකප ඉක්ම නො පවතිමු යි කී ය.
5328. කාශ්‍යප නමැති නුවටාගේ බස් අසා අලාත නම් සෙනෙවි තෙමේ මෙය කී ය: පින්වත් තෙමේ යම්සේ පවසයි ද මට එය ම රුචි ය.
5329. මම ද තමා සසර සැරිසැරූ පූර්‍වජාතිය සිහි කෙරෙමි. මම පූර්‍වජාතියෙහි පිංගල නමැති රුදුරු වූ ගෝඝාතකයෙක් වීමි.
5330. සමෘද්ධිමත් බරණැස් නුවර දී මා විසින් බොහෝ පව් කරන ලද්දේ ය. මීමෝ ය ඌරෝ ය එළුවෝ ය යන බොහෝ සත්ත්‍වයෝ මා විසින් මරන ලදහ.
5331. එයින් චුත වූ මම මෙ නුවර සමෘද්ධිමත් සෙනෙවි කුලයක උපනිමි. ඒ මම නිරයට නො පැමිණියෙම්. එයින් පාපකර්‍ම විපාක නැතැ යි සිතමි යි කී ය.
5332. ඉක්බිති මේ මියුලු නුවරැ දුප්පත් වූ බීජක නමැති දාසයෙක් විය. පෙහෙවස් වෙසෙන හේ තෙමේ ගුණ නම් නිවටයා වෙත එළැඹියේ ය.
5333. කාශ්‍යපයාගේ බස් අසා අලාත නම් සෙන්පතියා ගේ ද බස් අසා වරින් වර උණුසුම් සුසුම් හෙළමින් කඳුළු වැගිර විය. හෙවත් හැඬීය.
5334. වේදේහ නමැති රජ තෙමේ යහළුව, කවර හෙයින් හඬා දැ යි ඔහු ගෙන් විචාළේ ය. තොප විසින් අසන ලද්දේ හෝ දක්නා ලද්දේ හෝ කිමෙක් ද කිනම් වේදනාවක් දනවවුද? එය මට කියව යි කී ය.
5335. වේදේහ රජුගේ බස් අසා බීජක නම් දාස තෙමේ මෙය කී ය. මහරජ, මට දුක් වේදනාවක් නැත. මාගේ බස් අසනු මැනැවි.
5336. මම මාගේ පූර්‍වජාතියෙහි සුව සිහි කරමි. මම සාකේත නුවර ගුණයෙහි ඇලුණු භාවසෙට්ඨි නම් අසූකෙළක් ධන ඇති සිටුවරයෙක් වීමි.
5337. බමුණන් හා ගහපතියන් විසින් ගරු කරන ලද දන් දීමෙහි ඇලුණු පිරිසිදු කර්‍මාන්ත ඇති මම තමන් කළ පව් කමක් සිහි නො කරමි.
5338. වේදේහ රජුනි, එයින් චුත වූ මම වනාහි මේ මියුලු නුවර දුප්පත් ස්ත්‍රියක වූ කළමිඩියක (කුම්භදාසියක) ගේ කුසැ උපන්මි. උපන් තැන් පටන් ඉතා දුප්පත් වීමි.
5339. මෙසේ ඉතා දුප්පත් වූයෙම් නමුදු සමචරියා සංඛ්‍යාත කුසල දහම් විෂයෙහි පිහිටියෙම් වෙමි. යමෙක් කැමති වී නම් ඔහුට මා අනුභව කරන බත දෙකට බෙදා කොටසක් දෙමි.
5340. මම තුදුස්වක් පසළොස්වක් හැම පොහෝ දවස්හි පෙහෙවස් වෙසෙමි. සත්ත්‍වහිංසා ද නොකරමි. සොරකම ද දුරු කෙළෙමි.
5341. මැනැවින් පුරුදු කළ මේ හැම ඒකාන්තයෙන් නිෂ්ඵල ය. අලාත නමැති සෙනෙවි තෙමේ යම් අයුරකින් කියා ද එසේ මැ මේ සීලය වැඩක් නැතැයි සිතමි.
5342. අක්‍ෂ–පසැට ශිල්ප විෂයෙහි නො හික්මුණු දූකෙළින්නකු (සූදු කාරයකු) මෙන් මම ඒකාන්තයෙන් පරාදය ගනිමි. ශිල්ප දැනගත් කපට දූ කෙළින්නකු යම්සේ ද, අලාත නම් සෙනෙවි තෙමේ එමෙන් ජයගනී.
5343. මහරජ, යම්ද්වාරයකින් සුගතියට පැමිණෙම් ද ඒ දොරටුව නො දක්මි. එහෙයින් කාශ්‍යප නිගණ්ඨයාගේ බස් අසා හඬමි යි කී ය.
5344. බීජකයාගේ බස් අසා අංගාති රජ මෙසේ කී ය: යහළු බීජකය, සුගතියට ද්වාරයක් හෙවත් පැමිණීමට මඟක් නැත. නියතිය හෙවත් චුල්ලාසීති මහාකල්පය මැ බලව.
5345. සුව හෝ ඉදින් දුක් හෝ කියනලද කාලනියමයෙහි දී ලැබේ ල. බීජකය, අප සියල්ලන්ට මැ සංසාරයාගේ පිරිසිදු බව සිදු වන්නේ ය. ඒ කාලය නො පැමිණි කල යුහුසුලු–ඉකිමන් නො වව.
5346. මම ද පූර්‍වජාතියෙහි විනිශ්චය ස්ථානයෙහි බ්‍රාහ්මණ–ගෘහ පතියන් කෙරෙහි දානාදී කල්‍යාණ කර්‍මයෙහි ව්‍යාපෘත වීමි. රාජකෘත්‍යයෙහි යුක්ති අනුශාසනා කරමින් ඉක්බිති පඤ්චකාම රතියෙන් පිරිහිණිමි යි කී ය.
5347. හිමියනි, ඉදින් අපගේ එක්වීමක් වන්නේ නම් නැවත ද දකිමු යි මෙය කියා වේදේහ රජ තෙමේ තමන්ගේ මාලිගාවට පෙරළා ගියේ ය.
5348. ඉක්බිති අංගාති රජතෙමේ රැය පහන් වූ කල තමන්ට උපස්ථාන කරන තන්හි හෙවත් රැස්වීම් ශාලාවෙහි ඇමතියන් රැස් කරවා මෙ බස් කී ය:
5349. චන්‍දක නමැති මාගේ මාලිගාවෙහි මට හැම කල්හි පංචකාම සම්පත් පිළියෙළ කෙරෙත්වා! රහස්‍ය වූ ද ප්‍රකාශ කළයුතු වූ ද කටයුතු පැමිණි කල කිසි කෙනෙක් මා වෙත නො පැමිණෙත්වා!
5350. යුක්ති පසිඳීමෙහි සමර්‍ත්‍ථ වූ විජය නම් ඇමැති ද සුනාම නම් ඇමැති ද අලාත නම් සෙනෙවි ද යන මේ තිදෙනා විනිශ්චය ශාලාවෙහි හිඳ ගනිත්වා!
5351. වේදේහ රජතෙමේ මෙය කියා පස්කම් සැප ම බෙහෙවින් වින්දේ ය. බ්‍රාහ්මණගෘහපතියන් පිළිබඳ වූ කිසි කටයුත්තක නො යෙදුණේ ය.
5352. එයින් (පස්කම් සැප විඳුමට බැස ගත් දවසින්) තුදුස් දිනකට පසු වේදේහ රජහට ප්‍රිය දූහිතෘ වූ ‘රුජා’ නමැති රාජ කන්‍යාව කිරිමවට මෙසේ කිවු: