5064. මස්රසයෙන් යුත් සුවඳ ඇල් බොජුන් අනුභව කළ නහවන්නවුන් රන්සුණු නහනුවෙන් උළා කළ නැහැවුම් ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්‍ද්‍ර සූර්‍ය්‍ය දෙකුමරුවෝ මහාජනයාගේ හෘදයෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නාහ යි (චන්‍ද්‍රා දේවී වැලැපුණාය.)
5065. යාගයට අවශ්‍ය සියල්ල පිළියෙල කළ කල්හි චන්‍ද කුමාරයා ඒ සඳහා හිඳ වූ හෙවත් කඩුවෙන් ගෙළ සිඳින්නට නිසි පරිදි හිඳ වූ අවස්ථාවෙහි පඤ්චාල රාජධීතෘ වූ චන්‍ද්‍රා දේවී ඇඳිලි බැඳ ගෙන පිරිස් අතරෙහි හැසුරුණා ය.
5066. යම් සත්‍යයකින් මේ ඛණ්ඩහාල නම් නුවණ නැති පෙරෙවි බමුණා පාප කර්‍මයක් කෙරේ ද, ඒ සත්‍යයෙන් මා ගේ සැමියා සමඟ එක් වෙම්වා.
5067. මෙහි අමනුෂ්‍යයෝ ය, යක්‍ෂයෝ ය, භූතයෝ ය, භූත භාවයට පැමිණෙන්නෝ ය යන යම් කෙනෙක් ඇද්ද, ඒ සියලු දෙනා මට වතාවත් කෙරෙත්වා, මම සැමියා සමඟ එක් වූ තැනැත්තක් වෙම්වා.
5068. මෙහි පැමිණියා වූ දෙවියෝ ය, යක්‍ෂයෝ ය, භූතයෝ ය, භූත භාවයට පැමිණෙන්නෝ ය යන යම් කෙනෙක් ඇද්ද, ඒ සියලු දෙනා අස්වාමික වූ පිහිට සොයන මා රකිවු. සැමියාගෙන් මම නො පිරිහෙම්වා යි තොපට මම යාඥා කරමි (යි චන්‍ද්‍රාදේවී තොමෝ වැලැපුණා ය.)
5069. ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම එ බස් අසා යකුළක් කරකවමින් ඒකරාජ නම් රජුට භය උපදවමින් මෙය කී ය:
5070. මෝඩ පවිටු රජ, මම තාගේ හිස නො පළම්වා යි දැන ගනුව; සිංහයකු සමාන නිදොස් වැඩිමහලු පුතු නො මරව.
5071. මෝඩ කාලකණ්ණි රජ, දෙව්ලොවැ උපදිනු කැමැති වැ මරනු ලබන්නා වූ නිදොස් අඹුදරුවෝ ද සිටුවරු ද ගෘහපතියෝ ද තා විසින් කොතැන්හි දී දක්නා ලද්දාහු ද?
5072. එ බස් අසා ඛණ්ඩහාල බමුණා ද රජ ද මේ අද්භූත දර්‍ශනය (ශක්‍රයා) දැකැ නො පවිටුවන් ගේ යම් මිදුමක් වේ නම් එ පරිද්දෙන් සියල්ලන්ගේ බැමි මිදූහ.
5073. සියල්ලන් ගේ බැඳුම් මිදූ කල්හි යම් පමණ ජනයා රැස්වූහු ද ඒ සියලු මිනිස්සු මැ මේ ඛණ්ඩහාල බමුණාගේ වධය යි කියා ඔහුට එක එක කැට පහර දුන්හ. (එහි මැ ඔහු මරණයට පැමිණ වූහ යනු යි.)
5074. ඒ පවිටු යාග කොටැ යම්සේ සියල්ලෝ නරකයෙහි වැටුණාහු එසේ මැ පව්කම් කොටැ මෙලොවින් සුගතියට යන්නට ද නො ලැබිය හැකි ය යි වදාළහ.
5075. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ රජ පිරිස ද චන්‍ද කුමාරයා අභිෂේක කළහ.
5076. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ රාජකන්‍යාවෝ ද චන්‍ද කුමාරයා අභිෂේක කළහ.
5077. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ දෙව්පිරිස ද චන්‍දකුමාරයා අභිෂේක කළහ.
5078. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ දිව්‍යකන්‍යාවෝ ද චන්‍ද කුමාරයා අභිෂේක කළහ.
5079. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ රජ පිරිස ද පිළී හිස සිසෑරුහ.
5080. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ රාජකන්‍යාවෝ ද පිළී හිස සිසෑරුහ.
5081. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ දෙව්පිරිස ද පිළී හිස සිසෑරුහ.
5082. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ දිව්‍යකන්‍යාවෝ ද පිළී හිස සිසෑරුහ.
5083. සියල්ලන් බන්‍ධනයෙන් මිදුණු කල බොහෝ ජනයෝ සතුටු සිතැ’ත්තෝ වූහ. නගරයෙහි තුටු බෙර හැසිරිනි. (අපගේ චන්‍දකුමාර තෙමේ යම්සේ බන්‍ධනයෙන් මිදුණේ ද එසේ සියල්ලෝ මිදෙත්වා යි) බන්‍ධනයෙන් මිදීම පිළිබඳ ඝෝෂාව ද කරන ලද්දේ ය.
පස්වැනි ඛණ්ඩහාල ජාතක යි.
6. භූරිදත්ත ජාතකය
5084. මහරජ, ධතරට්ඨ නමැති රජහුගේ මාලිගාවෙහි යම්කිසි රත්නයක් ඇද්ද ඒ සියලු රත්නයෝ ඔබගේ මාලිගාවට පැමිණෙත්වා, අප රජුට සමුද්දජා නමැති ඔබගේ දූකුමරිය දීම මැනැවැ’යි නාගයෝ පැවැසූහ.
5085. එම්බා නාගයිනි, කවර කලෙක්හි වත් නයින් සමග අපගේ විවාහයක් සිදු නො වූ විරූ ය. තිරිසනුන් සමඟ එක්වීම් ඇති ඒ විවාහය නුසුදුසු ය. මනුෂ්‍ය වන අපි එය කෙසේ සිදු කරමු දැ යි බරණැස් රජ තෙමේ පැවැසී ය.
5086. මහරජ, ඔබ ජීවිතය ද රට ද හැරැදමණලදැ යි සිතම්, නයින් කිපුණු කලැ ඔබ වැන්නෝ බොහෝ කල් ජීවත් නො වෙති.
5087. මහරජ, මිනිසුන් අතරෙහි ඍද්ධි නැති යම් බඳු ඔබ ඍද්ධි ඇති යමුනා ගඟෙහි යට භාගයෙහි උපන් වරුණ නමැති නාරජුගේ ස්වකීය පුත් ධතරට්ඨ නාරජු ඉක්මවා සිතන්නාහ යි කීය.
5088. යස පිරිවර ඇති ධතරට්ඨ නමැති නාරජු ඉක්මවා නො සිතමි. ධතරට්ඨ නම් නා රජ තෙමේ වනාහි බොහෝ නයින් හට අධිපති වෙයි.
5089. නාරජ තෙමේ මහත් අනුභාව ඇත්තේ නමුදු මාගේ දුවට නුසුදුසු ය. ක්‍ෂත්‍රිය වූ සමුද්දජා නමැති මාගේ දුව විශිෂ්ට වූ ජාති ඇත්තී යැ යි බරණැස් රජ තෙමේ පැවැසී ය.
5090. කම්‍බලස්සතර නමැති (මවු පසෙහි වූ) නාගයෝ නැගී සිටිත්වා, සියලු නාගයන්ට වහා රැස්වන්නට දන්වවු. සියලු නාගයෝ බරණැස් නුවරට පැමිණෙත්වා, තොප ගෙන් කිසි කෙනෙක් කිසිවකුට හිංසා නො කෙරෙත්වා.
5091. ගෙවල්, පොකුණු, වීථි, සන්‍ධි, ගස්මුදුන්, දොරටු සහ තොරණ යන මේ තන්හි පැතිරැ එල්බෙත් වා.
5092. මමත් සව්සුදු වූ මහසිරුරකින් යුත් වැ ගොස් කසීරට වැසියනට මහත් බිය උපදවමින් මහනගරය දරණවැලින් වට කරන්නෙමි යි නාරජ තෙමේ කී ය.
5093. එ බස් අසා නන් වන් පැහැති නාගයෝ බරණැස් නුවරට වැදුනාහ. කිසිවකුහට ද හිංසා නො කළාහු ය.
5094. ගෙවල්, පොකුණු, මං සන්‍ධි, ගස්මුදුන්, දොරටු සහ තොරණ යන තනුහි පැතිරැ එල්බුණාහ.
5095. පෙණය කොට වරින් වර පිඹින එල්බෙන නාගයන් දැක්මෙන් බොහෝ ස්ත්‍රීහු හැඬූහ.
5096. බරණැස අතිශයින් පෙළිණ. පීඩාවට පත් ඔව්හු රජු වෙත පැමිණියහ. රජුගේ දූ කුමරිය නාරජුහට දෙව යි ඉස අත් බැඳ ඇඬූහ.
නගර කාණ්ඩය යි.
5097. පුද පිණිස ගෙනෙන ලද මලින් යුතු මෙ වන මැදැ රතැ’ස් ඇති පිරුණු උරහිස් අතර ඇති ඔබ කවරහු ද, ස්වර්‍ණමය ගෙල පළඳනා හා වළලු ඇති මනා වූ ඇඳුමින් යුත් කවර නම් ස්ත්‍රීහු දස දෙනෙක් වඳිමින් සිටිත් ද?
5098. මහත් වූ අත් ඇති ගිතෙල් ඉසිණු ගින්නක් මෙන් වන මැද බැබැළෙන ඔබ කවර නම් කෙනෙක් ද? මහත් අනුභාව ඇති යකෙක් ද? නොහොත් අනුභාව සම්පන්න නාගයෙක් දැ යි බමුණා ඇසී ය.
5099. මම ඍද්ධි ඇති විෂ ඇති තේජස් ඇති අනුන් විසින් මැඩ පැවැත්විය නො හැකි නාගයෙක්මි. ඉදින් මම කිපියෙම් නම් විෂ තේජසින් මුළු ජනපදය ද දෂ්ට කොට දවා ලන්නෙමි.
5100. සමුද්දජා නම් බිසොව මාගේ මවු තොමෝ ය. ධතරට්ඨ නම් නාරජ මාගේ පිය තෙමේ ය. මම වනාහි සුදස්සන නම් නාරජු ගේ මල් වෙමි. මා භූරිදත්ත යැ යි නාගභවනයෙහි දනිති යි නා රජ කී ය.
5101. හැම කල් පැවැති ගැඹුරු දියසුළි ඇති බිහිසුණු යම් විලක් දක්නෙහි ද? නොයෙක් සිය ගණන් පුරුෂ ප්‍රමාණ ඇති ඒ විල වනාහි මාගේ දිව්‍යමය වූ වාසස්ථානය යි.
5102. දෙ ඉවුරු වන පෙතැ වෙසෙන මොණරුන් විසින් ද කොස්වා ලිහිණියන් විසින් ද පැවැත්වෙන නද ඇති නිල්වන් ජලය ඇති ආචාර සම්පන්නයන් වාසය කරන ක්‍ෂේමභූමි වූ මේ යමුනා ගඟට භය නැති වැ පිවිසෙව යි නාරජ කී ය.
5103. අනුචරයන් හා එහි පැමිණි පුතු සහිත බමුණාට පිදුයේ බ්‍රාහ්මණය, මා සතු කම්සැපතින් සුවසේ වසන්නැ යි නාරජ කී ය.
5104. පින්වත් නාරජ, ඔබගේ භවන පිළිබඳ මේ පොළොව සියලු දිසා සමතලා ය. තුවරලා බොහෝ ඇති රන්වන් ඉඳු ගොව්වන් ගෙන් ගැවැසීගත් නිල්වන් කුසතනින් බැබැළෙයි.
5105. වනපෙත සිත්කලු ය. හංසයන් පවත්වන නාද ඇති පිපී වැටුණු පියුම් පෙති ඇති සිත්කලු පොකුණු ද මැනැවින් නිමවන ලද යැ.
5106. අටැස් කොට මැනැවින් කැරුණු වෙරළු මිණිමුවා දහසක් ටැම් ඇති ප්‍රාසාදයෝ නාගකන්‍යාවන් ගෙන් පිරිණාහු බැබැළෙති.
5107. සිය පිනින් පහළ වූ කරදර නැති උවදුරු රහිත වූ සිත්කලු වූ ඒකාන්තයෙන් සැප ඇති මේ දිව්‍ය විමානයෙහි උපන්නෙහි ය.
5108. යම්හෙයකින් ඔබ පිළිබඳ වූ මේ සම්පත්තිය බැබැළෙන සක්දෙවිඳුන්ගේ මෙන් මහත් ද එසේ වුවත් සක්දෙවිඳුන්ගේ වෛජයන්තප්‍රාසාදය නො කැමැත්තෙහි යැ යි සිතමි.
5109. සැපතින් මහත් සක්දෙවිඳුන්ගේ අනුභාව (කොතරම් දැ යි කිව හොත්) සක්දෙවිඳුන් සහිත දෙවියනට මෙහෙ කරන අපට සිතන්නට ද නො හැකි වේ යැ යි නාරජ කී ය.
5110. සුව කැමැති දෙවියන්ගේ ඒ විමන පතා මම තුඹස මතැ සයනය කෙරෙමි යි නා රජ කී ය.
5111. පින්වත් නාරජ, මම ද මුවන් සොයමින් පුතු සමඟ වනයට පිවිසියෙමි. ඒ මා මළ නො මළ බව අප නෑයෝ නො දනිති.
5112. කසීරජහුගේ දුවගේ පුත් යස පිරිවර ඇති භූරිදත්ත නමැති තොප අමතමි. තොප විසින් අනුදන්නා ලද අපි ගොස් නෑයන් දකිමු යි බමුණා කී ය.
5113. මා වෙත වසන්නෙහි යන යමක් වෙයි ද, මේ වනාහි ඒකාන්තයෙන් මගේ කැමැත්ත ය. මිනිස් ලොවැ මෙ බඳු කම් සැප නො සුලබ ය.
5114. ඉදින් මා සතු සම්සැපතින් පිදූ තෙපි මෙහි වාසයට නො කැමැත්තහු නම් මා විසින් දෙන ලද අවසර පරිදි සුවසේ ගොස් නෑයන් දකින්නැ යි නාරජ කී ය.
5115. මේ දිව්‍යමය මැණික දරන තැනැත්තේ මෙහි අනුභාවයෙන් ගවයන් ද දරුවන් ද ලබයි. බමුණ මේ මැණික රැගෙන යන්න නිරෝගි සැප ඇත්තෙක් වන්නෙහි කියා කැමැති සියලු සම්පත් දෙන මැණිකක් දුනි.
5116. පින්වත් භූරිදත්ත නාරජ, ඔබගේ නිදොස් බස් අසා තුටුවෙමි. මම් වනාහි දිරාපත් වීමි. එහෙයින් පැවිදි වන්නෙමි. කම් සැප නො පතන්නෙමි. මට මැණිකෙන් ප්‍රයෝජන කිමැ යි බමුණා කී ය.
5117. බ්‍රාහ්මණය, ඉදින් බඹසර බිඳුමක් වුණි නම් වස්තුවෙන් කටයුත්තක් ඇති වුණි නම් එ කලැ නිසැක වැ මා වෙත එනු තොපට බොහෝ ධන දෙන්නෙමි යි නාරජ කී ය.
5118. පින්වත් භූරිදත්ත නාරජ, ඔබගේ නිදොස් බසට කැමැති වෙමි. ඉදින් මට ප්‍රයෝජනයක් වෙයි නම් නැවැත ද ඔබ වෙත එන්නෙමි යි බමුණා කී ය.
5119. භූරිදත්ත නාරජ තෙමේ මෙ බස් කියා නයින් සතර දෙනකුන් යැවී. වරෙවු. යවු. මොවුන් නැගිටුවවු. බ්‍රාහ්මණයා බරණැසට යන මගට වහා පමුණුවවු යි කී ය.
5120. ඔහුගේ එ බස් ඇසූ නාගයෝ සිවුදෙන භූරිදත්ත රජු විසින් මෙහෙයවන ලද්දාහු නැගිට බ්‍රාහ්මණයා බරණැස් මගට වහා පැමිණවූහ.
වන ප්‍රවේශ කාණ්ඩය යි.
5121. මංගල සම්මත වූ සුන්‍දර වස්තුවක් වන සිත්කලු ලක්‍ෂණ සම්පන්න වූ මේ මැණික කොහි දී ලැබුවෙහි දැ යි බමුණා ඇසී ය.
5122. අද උදෑසන මහමඟ යන්නෙම් රතු ඇස් ඇති නාග-කන්‍යාවන් දහසක් විසින් හාත්පසින් පිරිවනලද මේ මැණික ලදිමි යි ආලම්බන තෙමේ කී ය.
5123. හැම කල්හි මැනැවින් කැරුණු අදර ගරු බුහුමන් ඇති මේ මැණික මනා වැ දරන ලද්දේ මැනැවින් බහා තබන ලද්දේ සියලු අර්‍ත්‍ථ සිදු කර ලන්නේ ය.
5124. පැළැඳීමෙහි ද බහා තැබීමෙහි ද නුනුවණින් පරිහරණ කැරුණු මේ මැණික උපචාර විපන්නයාගේ විනාශයට හේතු වේ ය.
5125. උපචාරයෙහි අදක්‍ෂ වූ යේ මේ දිව්‍යමාණික්‍ය දැරීමට නුසුදුසු ය. එහෙයින් රන්නික සියයක් ගනුව, මෙ මැණික මට දෙව යි බ්‍රාහ්මණයා කී ය.
5126. මාගේ මේ මැණික ගවයන් සඳහා හෝ රත්නයන් සඳහා හෝ නො විකිණියයුතු ය. සියලු ලකුණින් යුත් මේ මැණික නො විකිණියයුතු මැ යි ආලම්බන තෙමේ කී ය.
5127. ඉදින් ගවයන් සඳහා හෝ රත්නයන් සඳහා හෝ මැණික නො විකිණියයුතු නම් කුමකට විකිණියයුතු දැ යි අසන ලද නුඹ මට එය කිය ව යි බමුණා කී.
5128. ඉක්මවිය නො හැකි තේජස් ඇති (භූරිදත්ත) නාගරාජයා ගැන යමෙක් මට කියා නම් ඔහුට ප්‍රභාවෙන් දිලියෙන්නාක් වැනි මේ මැණික දෙමි යි ආලම්බන තෙමේ කී ය.
5129. කිම? ඔබ බමුණු වෙසින් ආ පක්‍ෂීන්ට උතුම් ගුරුළුරජ වෙයි ද, තමනට ගොදුරු වන නයකු අල්වා ගනු කැමැත්තෙන් සොයා ඇවිදිනේ ය යි සිතමි යි බ්‍රාහ්මණයා කී ය.
5130. මම ගුරුළෙක් නො වෙමි. මා විසින් ගුරුළෙක් නො දක්නා ලද්දේ ය. නාග විෂ බස්වන ආලම්බන නම් වෛද්‍ය බ්‍රාහ්මණයැ යි මා දනිති යි ආලම්බන තෙමේ කී ය.
5131. ඔබට කිනම් බලයක් ඇත්තේ ද කිනම් ශිල්පයක් තිබේ ද කිනම් කරුණෙක්හි තදින් පිහිටි ඔබ නාගයාට අවමන් හෝ කරන්නෙහි දැ යි ඔහුගෙන් බ්‍රාහ්මණයා ඇසී ය.
5132. වනයෙහි වෙසෙන බොහෝ කල් දරන ලද තපස් ඇති කෝශීය ගෝත්‍ර ඍෂිවරයාට ගුරුළෙක් විෂ බස්වන උතුම් මන්ත්‍රයක් කීවේ ය.
5133. පර්‍වත අතර වෙසෙන උන්වහන්සේ වනාහි වැඩුණු සිත් ඇති තාපසයන්ගෙන් කෙනෙකි. දිවා රෑ අනලස් වූ මම උන් වහන්සේට සකසා උවැටැන් කෙළෙමි.
5134. එ සඳ මා විසින් බුහුමන් කැරුණු සිල්වත් බඹසර ඇති ඒ පින්වත් තවුස් තෙමේ සිය කැමැත්තෙන් මැ මට මේ දිව්‍යමන්ත්‍රය පැවැසී ය.
5135. මම ඒ මන්ත්‍රය ඇසුරු කෙළෙමි. එහෙයින් මම සර්‍පයන්ට බිය නැත්තේ වෙමි. විෂ බස්වන වෙදුන්ට ඇදුරු වූ ආලම්බන යැ යි මා දනිති යි කී ය.
5136. පුත සෝමදත්ත, මේ මැණික ගනිමු. ඔබ ද එය දන්නේ මැනැවි. වෙත පැමිණි සිරිකකට දඬුයෙන් පහර දී දුරු නො කරමු යි බමුණා (සියපුත්) සෝමදත්තට කී ය.
5137. එම්බා බ්‍රාහ්මණය, සිය නිවසට පැමිණි ඔබට හෙතෙමේ පූජා කෙළේ ය. මෙසේ යහපත කරන ඔහුට කවර හෙයින් මෝහයෙන් මිත්‍රද්‍රෝහ කරන්නට කැමැත්තෙහි ද?
5138. ඉදින් වස්තුව කැමැත්තෙහි නම් භූරිදත්ත නාරජ එය ඔබට දෙන්නේ ය. ඔහු වෙත පැමිණ ඉල්ලීම යෙහෙකි. බොහෝ ධන ඔබට දෙන්නේ යැ යි පුත් සෝමදත්ත තෙමේ කී ය.
5139. පුත සෝමදත්තය, අතට හෝ භාජනයට පැමිණි හෝ ඉදිරියෙහි තැබූ හෝ යමක් වේ නම් එය අනුභවයට උතුම් ය. තමන්ට පෙනෙන ලාභය ඉක්මැ නොයේවයි බ්‍රාහ්මණ තෙමේ කීය.
5140. පියාණෙනි, යමෙක් තමන්ගේ යහපත කැමැත්තවුන් හැරැ මිත්‍රද්‍රෝහි වේ ද හේ මරණින් මතු දරුණු නිරයෙහි පැසෙන්නේ ය. ජීවත් වුව ද මොහුට පොළොව විවර වෙයි. හේ ජීවත් වූයේ නමුදු වියැළේ.
5141. ඉදින් ධන කැමැත්තෙහි නම් භූරිදත්ත තෙමේ එය දෙන්නේ ය. තමා කළ පාපයෙහි විපාකය නොබෝ කලෙකින් විඳින්නෙහි යැ යි සිතමි යි සෝමදත්ත කී ය.
5142. සෝමදත්ත පුත, බමුණෝ වනාහි මෙසේ කළ පවින් මහත් යාග කොට පිරිසිදු වෙති. අපි මහායාගයක් කරමු. එසේ කිරීමෙන් එ පවින් මිදෙමු යි බමුණා කී ය.
5143. එසේ නම් මම දැන් ඉවත් වැ යෙමි. මෙසේ පවු කරන ඔබ සමග අද මම පියවරක්වත් නො යමි යි සෝමදත්ත කී ය:
5144. නුවණැති සෝමදත්ත තෙමේ පියාණන්ට මෙය කියා දෙවියනට ද උස්හඬින් පවසා එතැනින් ගියේ ය.
5145. යම් නාගයකුගේ රක්තවර්‍ණ හිස රතිඳුගොවු පැහැයට බඳු ප්‍රභා ඇත්තේ ද ඒ මේ මහනාගයා අල්ලා ගනුව. මේ මැණික මට දෙව.
5146. මොහුගේ සිරුර කපුපුළුන් රැසක් මෙන් පෙනේ. හෙ තෙමේ තුඹස මතැ හොවී. බ්‍රාහ්මණය, ඒ නාගයා අල්ලා ගනුව යි කී ය.
5147. ඉක්බිති දිවඔසුවෙන් ද මන්ත්‍රයෙන් ද තමන්හට ආරක්‍ෂා කරමින් ඒ ආලම්බන තෙමේ භූරිදත්ත නාගරාජයා අල්ලන්නට හැකි වූයේ විය.
ක්‍රීඩා කාණ්ඩය යි.
5148. මෑණියනි, සියලු කම්සැපතින් වැඩුණු මා දැක්මෙන් ඔබගේ ඉඳුරෝ විප්‍රසන්න නො වූහ. රන්කැඩපතකට බඳු මුහුණ ද කළුවන් වී ය.
5149. මා දැක්මෙන් ඔබ මුහුණ, අතින් කඩා අත්ලෙන් පිරිමදින ලද පියුම මෙන් කළු වූයේ කවර හෙයින් දැ යි සුදස්සන නම් නාරජ ඇසී ය.
5150. කිම, ඔබට කිසිවෙක් හිංසා කෙළේ ද? කිම, ඔබට කිසියම් වේදනා ඇද්ද? යම් කරුණකට මෙහි පැමිණි මා දැකැ ඔබ මුහුණ කළු වී ද? එ කරුණ මට පවසනු මැනැවැ යි කී ය.
5151. පුත, සිහිනයක් දිටිමි. එයට මසක් ඉක්මිණ. මාගේ දකුණු අත කැපුමෙන් ලේ වැගිරෙන්නාක් මෙන් විය, හඬමින් සිටින කලැ රතු ඇස් ඇති කළු පුරුෂයෙක් මා රැගෙන ගියේ ය.
5152. එම්බා සුදස්සන පුත, යම් දිනෙක මම ඒ සිහිනය දිටිම් ද එදා සිට දිවා රෑ මට සුවයක් නම් නැතැ යි දැන ගනුව යි කී ය.
5153. පෙරැ රන්දලින් වැසූ මනහර ශරීර ඇති නාග කන්‍යාවෝ යමකු පිරිවැරූ ද ඒ භූරිදත්ත නමැති නාරජ දැන් නො පෙනේ.
5154. මැනැවින් පිපුණු කිණිහිරි රුක් මෙන් කඩු දරන උතුම් නාගමානවකයෝ පෙරැ යමකු පිරිවැරූ ද ඒ භූරිදත්ත තෙමේ දැන් නො පෙනේ.
5155. එහෙයින් අපි දැන් භූරිදත්ත ගේ නිවෙසට යමු. දැහැමි සිල්වත් ඔබ ගේ සොහොවුරා දකිමු යි මෑණියෝ පැවැසූ හ.
5156. භූරිදත්ත නාරජු ගේ ඒ එන මෑණියන් දැක භූරිදත්ත නාරජු ගේ ස්ත්‍රීහු හිසැ අත් බැඳැ ගෙන (ඉහ අත් බදාගෙන) හැඬූහ.
5157. ආර්‍ය්‍යාවෙනි, යසස් ඇති භූරිදත්ත නමැති ඔබ පුතා මෙළේ ද, නැතහොත් ජීවත් වේ ද? මෙයින් මසක් පමණ කලක සිට නො දකිමු යි පැවැසූහ.
5158. හිස් වූ කැදැල්ල දැකීමෙන් නැසුණු පැටව් ඇති ළිහිණියක මෙන් භූරිදත්ත නො දක්නා මම බොහෝ කල් සිට දුකින් තැවෙමි.