Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 5601-5700 න් 7679

4864. ඔහු විසින් පුළුවුස්නාලද දේවසාරථී මාතලී දෙව්පුත් පැවැසී. පින්කම්හි විපාක දන්නා හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී:
4865. තෙල ගැහැවි මියුලුනුවර දානපති වී. අරම් ද ළින් පොකුණු ද පැන්හල් ද දුර්‍ගයෙහි ඒදඬු පාලම් ද සිහිල් වූ රහතුන් උදෙසා සකසා පිළියෙළ කොට දින.
4866. සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනසුන් ද පහන් සිතින් අවඞ්ක වූ රහතුන් කෙරෙහි දින.
4867-4868. පක්‍ෂය සම්බන්‍ධී වූ තුදුස්වක් පසළොස්වක් අටවක් පොහෝ දිනයෙහි ද ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂයෙහි ද අෂ්ටාඞ්ග සමන්‍වාගත වූ පෙහෙවස් විසී. හැම කල්හි සීලයෙහි සංවර වූ සංයම වූ දන් දුන් හෙ තෙම විමන්හි තුටු වේ.
4869. වෙරළුමිණියෙන් නිමවනලද කොටස් විසින් පමණ කොට බෙදනලද භූමිභාගයෙන් යුත් මේ විමන වෙසෙසින් බබළයි.
4870. මැනැවින් වයනලද අළිඟුබෙර ද (පණාබෙර) මිහිඟුබෙර ද නෘත්‍ය ගීතයෝ ද කන්කලු වූ මනරම් වූ දිව්‍යශබ්දයෝ නිකුත් කෙරෙති.
4871. මම පෙර කිසිකලෙකත් මෙසේ මනහර ශබ්දයක් ප්‍රත්‍යක්‍ෂයෙන් හෝ ශ්‍රැතියෙන් හෝ අසනලදැ යි නො දනිමි.
4872. සාරථිය මෙය දැකැ මට සතුටු උපදී. දේවසාරථී මාතලිය, තොප විචාරමි. යමෙක් දෙව්ලොවට පැමිණියෝ විමන්හි තුටු වේ ද මේ තෙම මිනිස් වැ කවර පිනක් කෙළේ ද?
4873. ඔහු විසින් පුළුවුස්නාලද දේවසාරථී මාතලී දෙව්පුත් පැවැසී. පින්කම්හි විපාක දන්නා හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී.
4874. (මහරජ) මෙ තෙම පෙර බරණැස දානපති වූ ගෘහපතියෙක් විය. හෙ තෙම ආරාම ද පැන් පොකුණු හා පැන්හල් ද දුර්‍ගයෙහි ඒ දඬුපාලම් ද, සිහිල් වූ රහතුන් උදෙසා සකසා පිළියෙළ කොට දින.
4875. සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනසුන් ද පහන් සිතින් අවඞ්ක වූ රහතුන් කෙරෙහි දින.
4876-4877. පක්‍ෂය සම්බන්‍ධී වූ තුදුස්වක් පසළොස්වක් අටවක් පොහෝ දිනයෙහි ද ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂයෙහි ද අෂ්ටාඞ්ග සමන්‍වාගත වූ පෙහෙවස් විසී. හැමකල්හි සීලයෙහි සංවර වූ සංයම වූ දන් දුන් හෙ තෙම විමන්හි තුටු වේ.
4878. ලේවන් වැ මහත් වැ උදාවන හිරු යම්සේ ද රනින් නිම වුණු මේ විමානය ද එසේ ය.
4879. සාරථිය, මෙය දැක්මෙන් මට සතුටු උපදී. එම්බා මාතලී නම් වූ දේවසාරථිය, තොප විචාරමි. ස්වර්‍ගයට පැමිණි යමෙක් මේ විමානයෙහි සතුටු වෙයි ද (මනුෂ්‍ය වූ) මේ සත්ත්‍ව තෙම කිනම් යහපතක් කෙළේ ද?
4880. ඔහු විසින් පුළුවුස්නාලද දේවසාරථී මාතලී දෙව්පුත් පැවැසී. පින්කම්හි විපාක දන්නා හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී.
4881. තෙල ගැහැවි සැවැත්නුවර දානපති වී. අරම් ද ළිං පොකුණු ද පැන්හල් ද දුර්‍ගයෙහි ඒදඬුපාලම් ද සිහිල් වූ රහතුන් උදෙසා සකසා පිළියෙළ කොට දින.
4882. සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනසුන් ද පහන් සිතින් අවඞ්ක වූ රහතුන් කෙරෙහි දින.
4883-4884. පක්‍ෂය සම්බන්‍ධී වූ තුදුස්වක් පසළොස්වක් අටවක් පොහෝ දිනයන්හි ද ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂයෙහි ද අෂ්ටාඞ්ග සමන්‍වාගත වූ පෙහෙවස් විසී. හැමකල්හි සීලයෙහි සංවර වූ සංයම වූ දන් දුන් හෙ තෙම විමන්හි තුටු වේ.
4885. රනින් නිමැවුණු අහසෙහි පිහිටි මේ බොහෝ විමානයෝ ඝන වලාකුළු අතුරෙහි විදුලිය සමූහයක් මෙන් දිලියෙමින් බබළති.
4886. සාරථිය මෙය දැක්මෙන් මට සතුටු උපදී. එම්බා දේවසාරථිය ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණි යම් කෙනෙක් මේ විමන්හි සතුටු වෙද්ද මේ සත්ත්‍වයෝ මිනිස් වූවාහු කිනම් යහපතක් කළාහු දැ යි ඇසී.
4887. (ඔහු විසින්) පුළුවුස්නාලද දේවසාරථී වූ මාතලී දෙව් පුත් ඔහුට පැවැසී. පින්කම්හි විපාක දන්නා හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී:
4888. මැනැවින් අවබෝධ කළ සද්ධර්‍මයෙහි මාර්‍ගසම්ප්‍රයුක්ත ශ්‍රද්ධාවෙන් මනා කොට පිහිටි ඒ කුලපුත්‍රයෝ සම්බුදුන්ගේ අනුශාසනය බුද්ධාවවාදය එසේ මැ කළහ. මහරජ යම් විමානයන් දක්නෙහි නම් තෙල ඔවුන්ගේ විමානයෝ ය.
4889. මහරජ ඔබ විසින් පළමු කොට පව්කම් කළවුන් වසන තැන් ද ඉන්පසු පින් කළවුන් වසන තැන් ද දක්නා ලදී. මහරජ දැන් සක්දෙව් රජු සමීපයට යනු මැනැවැයි (මාතලී දෙව්පුත් කී.)
විමාන කාණ්ඩය.
4890. දහසක් අසුන් විසින් උසුලන දිව්‍ය යානාරූඪ වැ ගමන් කරන නිමිරජ තෙම සීදන්ත සාගරයෙහි පර්‍වත දුටුයේ යැ. මොහු කිනම් පර්‍වතයෝ දැ යි මාතලීහු ඇමැතී.
4891. සුදස්සන යැ කරවීක යැ ඊසධර යැ යුගන්‍ධර යැ නෙමින්‍ධර යැ විනතක යැ අස්සකණ්ණ යැ යන මොහු සප්තකුල පර්‍වතයෝ ය.
4892. මහරජ ඔබ යම් පර්‍වතයන් දක්නහු ද පිළිවෙළින් උස් වැ පිහිටි මෙය සතරවරම් දෙව් මහරජදරුවන්ගේ වාසස්ථාන වන්නාහු සීදන්ත සමුද්‍ර පර්‍වතයෝ වෙත්.
4893. සිත්කලු නොයෙක් රත්නයෙන් විසිතුරු වූ සිංහ ව්‍යාඝ්‍රයන් අරක් ගත් වනයක් මෙන් ශක්‍රයාට බඳු ප්‍රතිමාවෙන් ගැවසෙන්නක් වැ මේ පෙනෙන්නෝ කිනම් කෙනෙක් ද?
4894. සාරථිය, මෙය දැක්මෙන් මට සතුටු උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. මේ දොරටුව කිනමැ යි කියත් ද?
4895. ඔහු විසින් පුළුවුස්නාලද දේවසාරථී වූ මාතලී දෙව්පුත් ප්‍රකාශ කෙළේ යැ. පින්කම්හි විපාක දන්නා හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී යැ:
4896. සක්දෙව් රජුගේ ඇතුළුවීම පිටවීම ඇති යමක් චිත්‍රකූට ය යි කියද්ද, සුදස්සන නමැති පර්‍වතයා ගේ තෙල දොරටුව පෙනෙයි.
4897. සිත්කලු නොයෙක් රුවනින් විසිතුරු නොයෙක් දේව රූප ඇති, සිංහ ව්‍යාඝ්‍රයන් අරක් ගත් වනයක් මෙන් ශක්‍රයාට බඳු ප්‍රතිමාවෙන් ගැවසී ගත් මේ දෙව් නුවර දොරටුව ය. මහරජ මේ දොරටුවෙන් ඇතුළු නුවරට පිවිසෙන්නේ මැනවි. රජස් නැති (රන් රිදී මැණික් යන මෙයින් හා මලින් ගැවැසී ගත්) භූමිය දිව්‍ය රථයෙන් ඉක්මවනු මැනැවැ යි කීය.
4898. දහසක් අසුන් විසින් උසුලන දිව්‍ය රථාරූඪ වැ යන නිමි රජ තෙම සුධර්‍මා නම් දිව්‍ය සභාව දිටී.
4899. සරත් කාලයෙහි නීලවර්‍ණ අහස යම්සේ පෙනේ ද, එ මෙන් මෙ විමන වෛදූර්‍ය්‍ය මාණික්‍යයෙන් නිමවන ලද යැ.
4900. සාරථිය මෙය දැක්මෙන් මට සතුටු උපදී. එම්බා දේවසාරථිය, තොප විචාරමි. මේ විමානය කිනමැයි කියත් ද?
4901. ඔහු විසින් පුළුවුස්නාලද දේවසාරථී මාතලී දෙව්පුත් ප්‍රකාශ කෙළේ යැ. පින්කම්හි විපාක දන්නා හෙතෙම නො දන්නා රජුට මෙසේ කී යැ.
4902. සුධර්‍මා දිව්‍ය සභාව යයි යමක් පැවැසූ ද මෙය බලනු මැනවි. වෛදූර්‍ය්‍යයෙන් කරනලද නොයෙක් රත්නයෙන් විසිතුරු වූ මනාව නිමැවුණු මේ සභාව පෙනේ.
4903. අටැස් වූ මැනැවින් කැරුණු සියල්ල වෙරළුමිණිමුවා ස්තම්භයෝ එය උසුලති. යම් සභාවක සක්දෙව් රජ ප්‍රධාන කොට ඇති තව්තිසා වැසි සියලු දෙවියෝ–
4904. දෙවිමිනිසුන්ගේ යහපත සිතන්නාහු එක් රැස් වැ හිඳිද්ද මහරජ මේ මගින් දෙවියන් ඔවුනොවුන් තුටුවන තැනට පිවිසෙනු මැනැවැයි මාතලී දෙව්පුත් කී.
4905. එහි පැමිණි ඒ නිමි රජු දැක දෙවියෝ සතුටු වූහ. මහරජ ඔබගේ පැමිණීම ඉතා යහපති. තවද අයහපත් පැමිණීමක් නම් නො වේ.
4906. මහරජ දැන් සක්දෙව් සමීපයෙහි හුන මැනවි. මියුලු නුවර වාසස්ථාන කොට ඇති වේදේහ රජු දැක සක්දෙව් රජ ද සතුටු විය.
4907. සක්දෙව් රජ කම්සැපතින් හා අස්නෙන් ද නිමිරජහු පැවැරී ය. දෙවියන් වෙසෙන තැනට ඔබගේ පැමිණීම ඉතා යහපත් ය.
4908. සියලු කම්සැපතින් සමෘද්ධ වූ දෙව්ලොවැ වාසය කළ මැනවි. තව්තිසා වැසි දෙවියන් කෙරෙහි වූ මිනිසුන් පිළිබඳ නො වූ කාමසම්පත් අනුභව කළ මැනවැ යි කී.
4909. අනුන්ගෙන් ඉල්වා ගත් යානාවක් යම්සේ ද අනුන්ගෙන් ඉල්වා ගත් ධනයක් යම්සේ ද මෙරමාගේ දානප්‍රත්‍යයෙන් ලද යමක් ඇත් නම් එද එසේ ම ය, හෙවත් පිරුවට වශයෙන් ලැබූ දෙය වැනි ය.
4910. මෙරමාගේ දානප්‍රත්‍යයෙන් ලද යමක් ඇද්ද එය මම නො කැමැත්තෙමි. මා කළ යම් පුණ්‍යකර්‍මයෝ ඇද්ද ඒ මාගේ ආවේණික ධනය යි.
4911. ඒ මම ගොස් මිනිසුන් කෙරෙහි තුන්දොරින් සම වැ හැසිරීමෙන් ද සිල් රැකීමෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද යමක් කොට සුවපත්වේ ද නො පසුතැවේ ද එබඳු බොහෝ කුසල් දහම් කරන්නෙමි.
4912. යමෙක් පින් කළ සත්ත්‍වයන් වසන තැන් ද පව් කළ සත්ත්‍වයන් වසන තැන් ද මට පෙන්වී ද ඒ පින්වත් මාතලී නමැති දේවසාරථී තෙම අපට බොහෝ උපකාර ඇත්තෙකැ යි නිමි රජ ඔහු පැසැසී ය.
4913. මියුලු නුවර වාසස්ථාන කොට ඇති විදේහ රටට අධිපති වූ නිමි රජ මෙය කියා (හෙවත් ‘උත්තමඞ්ගරුහාමය්හං’ යන ආදි මේ ගාථාව කියා) බොහෝ දන් දී සීලසංයමයට පැමිණියේ ය යි වදාළහ.
සතරවන නිමි ජාතකය නිමි.
5. ඛණ්ඩහාල ජාතකය
4914. පෙරැ පුෂ්පවතී නම් නුවරැ රුදුරු පාපකර්‍ම ඇති ඒකරාජ ය යි ප්‍රසිද්ධ රජෙක් විය. හෙ තෙම ඛණ්ඩහාල නම් මූඪ වූ පෙරෙවි බමුණාගෙන් ඇසී ය.
4915. එම්බා බ්‍රාහ්මණය, නුඹ සුචරිත ධර්‍මයෙහි ද, ආචාර විනයෙහි ද දක්‍ෂ වෙහි. යම්සේ සත්ත්‍වයෝ කුසල් කිරීමෙන් මෙ ලොවින් චුත වැ සුගතියට පැමිණෙද්ද, එසේ යන සුගති මාර්‍ගය මට කියව යි රජ තෙම කීය.
4916. මහරජ, අතිදාන නම් දන් දී නො නැසිය යුත්තන් නැසීමෙන් මෙසේ සත්ත්‍වයෝ සුගතියට යෙති යි පෙරෙවි බමුණා කීය.
4917. ඒ අතිදාන නම් කිම? මෙ ලොවැ නො නැසිය යුත්තෝ කවුරු ද? මෙය ද අපට කියනු මැන. යාග කරම්හ දන් දෙම්හ යි රජ පැවැසී.
4918. මහරජ, පුත්‍රයෝ යැ, බිසෝවරු යැ, සිටුවරු යැ, වෘෂභයෝ යැ, ආජානීය අශ්වයෝ යැ යන මොවුන්ගෙන් සතර දෙනකු බැගින් ගෙන යාග කළ මැනවි. මහරජ, සබ්බචතුක්ක නමැති යාගය කළයුතු ය යි පෙරෙවි බමුණා කී ය.
4919. (රාජකුමාරවරු ද, බිසෝවරු ද නසනු ලබත්වා යන) ඒ හඬ ඇසීමෙන් අන්තඃපුරයෙහි උස් වැ නැගුණු බිහිසුණු හඬින් යුත් එක ම ඝෝෂාවක් විය.
4920. යව, චන්‍ද්‍ර කුමාරයා ද, සූරිය කුමාරයා ද, භද්දසේන කුමාරයා ද, වාමගොත්ත කුමාරයා ද සූර කුමාරයා ද යන රාජ කුමාරයන්ට යාගයට එක්තැන් වැ රැස් වන්නට කියව යි රජ අණ කෙළේ ය.
4921. උපසේනී යැ, කෝකිලා යැ, මුදිතා යැ, නන්‍දකුමාරී යැ යන රාජකුමාරිකාවන්ට ද යාගයට එක්තැන් වැ රැස්වන්නට කියව යි රජ අණ කෙළේ ය.
4922. මගේ විජයා නම් මෙහෙසිය ද, එරාවතී ද, කේසිනී ද, සුනන්‍දා ද යන උතුම් ස්ත්‍රීලක්‍ෂණයෙන් යුත් වූ මෙහෙසීවරුන්ට ද යාගයට එක්තැන් වැ රැස්වන්නට කියව යි රජ අණ කෙළේ ය.
4923. පුණ්ණමුඛ යැ, භද්දිය යැ, සිගාල යැ, වද්ධ නම් ගහපති යැ යන සිටුවරුන්ට ද යාගයට එක්තැන් වැ රැස්වන්නට කියව යි රජ අණ කෙළේ ය.
4924. එහි රැස්වූ අඹුදරුවන් පිරිවැරූ ගෘහපතියෝ රජුට මෙසේ කීහ: මහරජ, අප සියල්ලන් හිස්මුදුනෙහි සිළු තබා දාසභාවයට පත් කළ මැනවි නොහොත් මහ පිරිස් මැදැ අප දාසයන් කොට අස්වනු මැනවි.
4925. අභයඞ්කර යැ, නාලාගිරි යැ, අව්ව්‍රත යැ වරුණදන්ත යැ යන ඇතුන් වහා ගෙනෙවු. ඔහු යාගය පිණිස වන්නාහ.
4926. කේසී යැ, සුරාමුඛ යැ, පුණ්ණක යැ, විනතක යැ යන අශ්වරත්නයන් ද වහා ගෙනෙවු. ඒ අශ්වයෝ යාගය පිණිස වන්නාහ.
4927. යූථපති යැ, අනෝජ යැ, නිසභ යැ, ගවම්පති යැ යන මාගේ වෘෂභයන් ද ගෙනෙවු. මා කියූ මේ සියල්ල යාගයට රැස් කෙරෙත්වා. යාග කරන්නෙමු. දන් දෙන්නෙමු.
4928. සියල්ල පිළියෙළ කරවු. හිරු උදා වූ කල යාග කරන්නෙමු. මේ රාත්‍රිය අභිරමණය කරත්වා යි ද කුමාරයන්ට අණ කරවු.
4929. සියල්ල සපයවු, යාගය වනාහි හිරු උදා වූ කල උදයෙහි මැ කරන්නෙම් අද තොපගේ අවසන් රාත්‍රිය යි දැන් රජ කුමරුවන්ට කියවයි රජ තෙම කී.
4930. තමන් හුන් විමනින් ආ රජුගේ මෑණියෝ හඬමින් ඒ රජුට මෙසේ පැවැසූහ. එම්බා පුත, තොපගේ සිවුපුතුන් ගෙන කරන යාගයක් ඇද්දැ යි ඇසූ.
4931. චන්‍ද්‍ර කුමාරයා නසනු ලබන කල මාගේ සියලු මැ පුත්තු යාගයට හරන ලද්දාහු වෙති. පුතුන්ගෙන් යාග කොට සුගති නම් වන දෙව්ලොවට යන්නෙමි යි රජ තෙම කීය.
4932. එම්බා පුත, දරුවන් මරා යාග කිරීමෙන් සුගති ලාභයක් වේ යැ යි නො අදහව. සතර අපායට මේ මඟ වේ. මේ සග මඟ නො වේ.
4933. කොණ්ඩඤ්ඤ නමැති ගෝත්‍ර යුත් පුත, දන් දෙව. ඉපැදුණා වූ ද, උපදින්නා වූ ද හැම සතුන්ට අහිංසා කරව. මෙය සග මඟ වේ. දරුව්න් මැරීමෙන් කරන යාගයෙන් සගට යන මගක් නැත.
4934. මෑණියනි, පෙරෙවි බමුණාගේ වචනයෙන් චන්‍ද්‍ර කුමාරයා සහ සූරිය කුමාරයා ද නසන්නෙම්. හැරිය නො හැකි පුතුන්ගෙන් යාග කොටැ සුගති නමැති දෙව්ලොවට යන්නෙමි යි රජ තෙම කී ය.
4935. ඉක්බිති රජුගේ වසවර්ති නම් පියරජ තෙමේ ද උරදා පුත් ඒ මේ රජුට එම්බා පුත, දරුවන් සිව්දෙනා මරා කරන යාගයක් වේ දැ යි කී.
4936. චන්‍ද්‍ර කුමාරයා නසනු ලබන කල්හි මාගේ සියලු මැ පුත්තු හරන ලද්දාහු වෙති. පුතුන්ගෙන් යාග කොට සුගති සඞ්ඛ්‍යාත දෙව්ලොවට යන්නෙමි යි රජතෙම කී.
4937. එම්බා පුතණුවනි, දරුවන් මරා යාග කිරීමෙන් සුගති ලාභයෙක් වේ යැ යි නො අදහව. සතර අපායට මේ මඟ වෙයි. මේ ස්වර්‍ගයට මඟ නො වෙයි.
4938. කෞණ්ඩින්‍යය, දන්දෙව. උපන්නා වූ ද මතු උපදනා වූ ද හැම සත්නට අහිංසා කරව. මෙ සුගතියට මාර්‍ග යැ. පුත්‍ර යාගයෙන් ස්වර්‍ග මාර්‍ග නො වේ.
4939. ආචාර්‍ය්‍යයන්ගේ වචනයෙන් චන්‍ද්‍ර කුමරු ද සූර්‍ය්‍යකුමරු ද ඝාතන කරවන්නෙමි. හරනට දුෂ්කර වූ පුතුන්ගෙන් යාග කොට සුන්‍දර ගති ඇති ස්වර්‍ගයට යන්නෙමි.
4940. කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇති පුත, දන්දෙව, හැම සතුන්හට හිංසා නො කරනු. පුත්‍රයන් පිරිවැරූ නුඹ සියලු කසීරට ද, ජනපද ද, රක්‍ෂා කරන්නැ යි වසවර්ති නමැති පියරජ තෙම කී.
4941. දේවයන් වහන්ස, අප නො නැසුව මැනැවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාසභාවයට පත්කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි ඇතුන් ද, අසුන් ද රැක බලා ගනිමු.
4942. දේවයන් වහන්ස, අපි නො නැසුව මැනව. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාස භාවයට පත්කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි ඇත් වසුරු බැහැර දමන්නෙමු.
4943. දේවයන් වහන්ස, අප නො නැසුව මැනවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාස භාවයට පත්කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි අස් වසුරු බැහැර දමන්නෙමු.
4944. දේවයන් වහන්ස, අප නො නැසුව මැනව. යමකුහට දෙන්නට ඔබ කැමැති වෙත් නම් ඔහුට අප දාසභාවයට පත්කොට දෙනු මැනවි. ඉදින් අප දොසක් වේ නම් රටින් පිටුවහල් කරන ලද අපි බැගෑ වැ පිඬු සිඟා හැසිරීමෙන් ජීවත් වන්නෙමු.
4945. ජීවිතයට ආසාවෙන් වැලැපෙන්නාහු මට දුක් උපදවන්නාහුය. දැන් කුමාරයන් මුදා හරිනු මැනවි. දරුවන් මරා කරන යාගයෙන් මට ප්‍රයෝජන නැතැ යි රජ කී.
4946. මහරජ, මේ යාගය කළ නො හැකි යැ යි ද දුකසේ ලැබිය හැක්කැ යි ද පළමු කොට කියන ලද්දෙහි. දැන් අප පිළියෙළ කළ යාගයට හානි කෙරෙහි.
4947. යම් කෙනෙක් යාග කෙරෙද්ද, කරවද්ද යාග කරන්නවුන්ගේ එ වැනි මහා යාගය යම් කෙනෙක් අනුමෝදන් වෙද්ද ඒ සියලු දෙනා ම සුගතියට යෙති යි පෙරෙවි බමුණා කීය.
4948. පියාණෙනි, මෙසේ නම් පෙරෙවි බමුණු තෙම කවර හෙයින් අපගේ සුවපත් බව කීයේ ද, එසේ ඇති කල්හි කවර හෙයින් යාගයට නිකරුණේ අප මරවන්නෙහි ද?
4949. අප බාල කාලයෙහි නො නැසුවෙහි ය, නො මැරවූවෙහි ය. අපි තරුණ වයසට පැමිණියෝ වෙමු. මේ දක්වා ද විරුද්ධ නො වූවෝ වෙමු. පියාණෙනි, එ වැනි අපි තොප විසින් කවර හෙයින් මරනු ලබන්නෝ වෙමු ද?
4950. මහරජ, ඇතුන් අසුන් පිට නැග කරන යුද්ධයක් පැමිණි කලැ යුද්ධයට සැරැසුණු අප සතර දෙන කරන යුද්ධ බලනු මැනවි. අප වැනි ශූරයෝ යාගයට නුසුදුස්සෝ ය.
4951. පියාණෙනි, ප්‍රත්‍යන්ත ජනපදය කිපුණු කල හෝ පල් හොරුන් ඇති කල හෝ සතුරන් නසනු පිණිස අප වැන්නන් යොදවත්. එසේ නම් නිකරුණේ නො තැන්හි කවර හෙයින් අපි නසනු ලබන්නෝ වෙමු ද?
4952. මහරජ, යම් ඒ පක්‍ෂීහු තණකැදලි සාදා එහි වෙසෙද්ද ඒ පක්‍ෂීන්ට පවා දරුපැටවු ප්‍රිය වෙති. දේවයන් වහන්ස, එසේ ඇති කල තෙපි අප මරවන්නහු ය.
4953. ඛණ්ඩහාල නැමැති පෙරෙවි බමුණ මා නො මරවයි යන මේ බසක් ඇත් නම් ඔහුගේ ඒ වචනය විශ්වාස නො කළ මැනවි. දේවයන් වහන්ස, හෙතෙම මා මරවා ඉන්පසු ඔබ ද මරවන්නේ ය.
4954. මහරජ, ගම්වර නියම්ගම්වර හා උපභෝග පරිභෝග වස්තු ද රජවරු මේ බමුණන්ට දෙති. අග්‍ර වූ බත් පැන් ලබන මොහු ගෙයක් පාසා අනුභව කෙරෙති.
4955. මහරජ, එබඳු උපකාර ඇති රජවරුන්ටත් ද්‍රෝහ කරන්නට මොහු කැමති වෙති. දේවයන් වහන්ස, මේ බමුණෝ නම් බොහෝ සෙයින් කෙළෙහිගුණ නො දන්නෝ වෙති.
4956. දේවයන් වහන්ස, අප නො නැසුව මැනැවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාසභාවයට පත් කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි ඇතුන් ද, අසුන් ද රැක බලා ගනිමු.
4957. දේවයන් වහන්ස, අප නො නැසුව මැනවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාසභාවයට පත් කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි ඇත් වසුරු බැහැර දමන්නෙමු.
4958. දේවයන් වහන්ස, අප නො නැසුව මැනවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාසභාවයට පත්කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි අස් වසුරු බැහැර දමන්නෙමු.
4959. දේවයන් වහන්ස, අප නො නැසුව මැනව. යමකුහට දෙන්නට ඔබ කැමති වෙත් නම් ඔහුට අප දාසභාවයට පත් කොටැ දෙනු මැනවි. ඉදින් අප දොසක් වේ නම් රටින් පිටුවහල් කරන ලද අපි බැගෑ වැ පිඬු සිඟා හැසිරීමෙන් ජීවත් වන්නෙමු.
4960. ජීවිතයට ආසාවෙන් වැලැපෙන මොවුහු මට දුක් ඉපිදැ වූහ. දැන් කුමාරයන් මුදා හරිනු මැනවි. දරුවන් මරා කරන යාගයෙන් මට ප්‍රයෝජන නැතැ යි රජ තෙම කීය.
4961. මහරජ, මේ යාගය කළ නො හැකි යැ යි ද දුකසේ ලැබිය හැක්කැ යි ද පළමු කොට කියන ලද්දෙහි ය. දැන් අප පිළියෙළ කළ යාගයට හානි කෙරෙහි.
4962. යම් කෙනෙක් යාග කෙරෙද්ද, කරවද්ද යාග කරන්නවුන්ගේ එ වැනි මහා යාගය යම් කෙනෙක් අනුමෝදන් වෙද්ද ඒ සියලු දෙනා ම සුගතියට යෙති යි පෙරෙවි බමුණා කීය.
4963. ඉදින් පුතුන් කරණ කොටගෙන යාග කොට මෙයින් චුත වූවාහු දෙව්ලොවට පැමිණෙත් නම් බ්‍රාහ්මණ තෙම පළමුවෙන් එසේ යාග කෙරේවා. මහරජ, ඉන්පසු තෙපි ද යාග කරනු මැනවි.