4158. මේ ස්ත්‍රීහු ගමනින් ද බැල්මෙන් ද මඳ සිනාවෙන් ද නපුරු කොට වස්ත්‍ර හැඳීමෙන් ද මිහිරි වදන් බිණීමෙන් ද (පුරුෂයන්) පොලොබවත්.
4159. මේ ස්ත්‍රීහු සෙරහ. තද සිත් ඇත්තාහ. දුෂ්ටයහ. හකුරු මෙන් මිහිරි වදන් ඇත්තාහ. මිනිසුන් අතර යම් වංචාවක් ඇත් නම් (එයින්) ඔවුන් නො දන්නා කිසිවක් නැත.
4160. ලෝකයෙහි ලාමක වූ මේ ස්ත්‍රීහු නම් හැම කල්හි රාගයෙන් ඇලුණාහු ය. කායප්‍රගල්භාදියෙන් යුක්ත වූවාහු ය. සියල්ල භක්‍ෂණය කරන (දවන) ගින්න මෙන් සියල්ල වනසනසුලු ය. ඔවුනට සීමාවෙක් නැත.
4161. ස්ත්‍රීන්ට ප්‍රියයෙක් නම් නැත. අප්‍රියයෙක් ද නැත. එගොඩ මෙගොඩ දෙක ම සෙවුනා නැව මෙන් මොවුහු ප්‍රියයා ද අප්‍රියයා ද සේවනය කෙරෙත්.
4162. ස්ත්‍රීන්ට ප්‍රියයෙක් නම් නැත. අප්‍රියයෙක් ද නැත. ගස ඇසුරු කරන්නා වූ වැල මෙන් ධන හේතුවෙන් (පුරුෂයා) වැළඳගනිත්.
4163. ස්ත්‍රීහු නම් ඇත්ගොව්වා ද අස්ගොව්වා ද ගොපල්ලා ද සැඬොලා ද සොහොන්ගොව්වා ද කසළශෝධකයා ද යන මොවුන් අතුරින් කවරකු වුව ද සධනයා (ධන ඇත්තා) කරා යෙත්.
4164. ස්ත්‍රීහු ධනය නැති කුලපුත්‍රයා ද හැරදමති. ධනය ඇති සැඬොලා අනුව ද යෙත්. යම් හෙයකින් ස්ත්‍රීහු ධනහේතුවෙන් ම පුරුෂයා අනුව යෙත් ද, එහෙයිනි.
භවත්නි, ඉක්බිති නාරද දේවබ්‍රාහ්මණ තෙම ආනන්‍ද නම් ගිජුලිහිණි රජුගේ කථාව පිළිබඳ මුල මැද අග දැන එවේලෙහි මේ ගාථාවන් ප්‍රකාශ කෙළේය.
4165. පක්‍ෂිරාජය, මේ සතර දෙනෙක් තෘප්ත නො වෙති. එය ප්‍රකාශ කරන මාගේ වචනය අසව. සමුද්‍රය ද බ්‍රාහ්මණයා ද රජ ද ස්ත්‍රී ද (යන සතර දෙන ය).
4166. පොළොව ඇසුරු කළා වූ යම්කිසි ගංගාවෝ වෙත් ද, ඒ සියල්ලෝ ම සයුරට බැස යෙති. ඔවුහු සයුර නො පුරවත්. (දිය පිහිටන තැන් මහත් හෙයින්) ඌනව ම පවත්නා නිසා නො පිරෙයි.
4167. බ්‍රාහ්මණය ඉතිහාසය පස්වැනි කොට ඇති වේදය හදාරා මත්තෙහි දු ඉගෙනීමට කැමති වන්නේ ය. හෙ ද (අදහස මහත් බැවින්) ඌනව ම වෙසෙන හෙයින් නො පිරෙයි.
4168. රජ ද මුහුදු සහිත වූ පර්‍වත සහිත වූ අනන්තරත්නයෙන් යුක්ත වූ මුළු පොළොව දිනා (නොයෙක් රත්නයෙන් පූර්‍ණ ව) වෙසේ ද, එහෙත් මුහුදින් එතෙර ද පතයි. (හෙ ද තෘෂ්ණා මහත්ත්‍වයෙන් යුතු හෙයින්) ඌන හේතුවෙන් ම නො පිරෙයි.
4169. එපරිද්දෙන් ම එක ස්ත්‍රියකට ශූර වූ ද බලවත් වූ ද සියලු කාමරසයන් ගෙනදෙන්නා වූ ද සැමියන් අට අට දෙනා සිටිත් ද, එසේ වුවත් නවවැන්නකු කෙරෙහි ආශා කරන්නී ය. (කාමතෘෂ්ණා මහත්ත්‍වයෙන් යුතු හෙයින්) ඌන බැවින් නො පිරෙයි.
4170. සියලු ස්ත්‍රීහු ගින්න මෙන් සියල්ල කාදමන්නෝ ය (වනසන්නෝ ය). සියලු ස්ත්‍රීහු ගංගාව මෙන් සියල්ල වහනය කරන්නෝ ය. සියලු ස්ත්‍රීහු කටුගස්වල අතු වැනි වෙති. සියලු ස්ත්‍රීහු ධනහේතුවෙන් පරපුරුෂයන් කරා යෙත්.
4171. යම් පුරුෂයෙක් ස්ත්‍රීන් කෙරෙහි සිය රහස් ප්‍රකාශ කෙරේ ද (ඒ රහස් අනුන් හා නො බැණ ස්ත්‍රීන් වෙත රැකුණහොත්) ඒ පුරුෂ තෙම දැලෙන් වාතය රඳවන්නේ ය. එක අත්ලෙන් සයුරු දිය හිස් කරන්නේ ය. සිය එක අතින් (ඒ අතට ම ගසා) හඬ නගන්නේ ය.
4172. යම් හෙයෙකින් ස්ත්‍රීන් කෙරෙහි සත්‍යය ඉතා දුර්‍ලභ වේ ද, චෞර වූ බහුබුද්ධික වූ ස්ත්‍රීන්ගේ අදහස දියෙහි මසුන්ගේ ගමන් මග මෙන් දැනගැනීම දුෂ්කර ය.
4173. (ගිහි ධර්‍මවලින්) මෙතෙකින් පමණ යැ යි කීමක් නැති, මොළොක් වචන ඇති, කෙලෙස් රතියෙන් පිරවිය නො හැකි ඒ ස්ත්‍රීහු නදී සමයහ. ඒ ස්ත්‍රීහු සේවනය කළවුන් සතර අපායෙහි ගිල්වත් යැ යි දැන දුරින් ම දුරුකටයුතු ය.
4174. අනුන් මෝහනය කරන්නා වූ මහාමායා ඇති, බඹසර නසන්නා වූ ඒ ස්ත්‍රීහු සේවනය කළවුන් සතර අපායෙහි ගිල්වත් යැ යි දැන දුරින් ම දුරු කළ යුත්තාහ.
4175. මේ ස්ත්‍රීහු ප්‍රියසංවාස වශයෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් පුරුෂයකු සේවනය කෙරෙත් ද (තමා) පහස ලත් ලත් තැන දවන ගින්න මෙන් වහා ඔහු විනාශයට පමුණුවත් ය යි කීය.
භවත්නි, ඉක්බිති කුණාල පක්‍ෂ තෙම නාරද නම් දේවබ්‍රාහ්මණයාගේ කථාව පිළිබඳ මුල මැද අග තේරුම් ගෙන ඒ වේලායෙහි මේ ගාථාවන් ප්‍රකාශ කෙළේ ය.
4176. නුවණැත්තෝ තියුණු මුවහත් කඩුගත් ඇත් ඇත්තකු සමග කථා කරන්නේ ය. කිපුණු පිශාචයකු සමග කථා කරන්නේ ය. උග්‍ර තේජස් ඇති සර්‍පයකු වෙත හිඳිනේ ය. (එහෙත්) හුදෙකලා වූයේ හුදෙකලා වූ ස්ත්‍රියක සමග කථා නො කරන්නේ ය.
4177. නැටීම ය ගී කීම ය බිණීම ය සිනාව ය යන මේවා අවි කොට ඇති ඒ ස්ත්‍රීහු වනාහි ලෝකයාගේ සිත් මඩින්නාහ. යක්‍ෂද්වීපයෙහි මිනිසුන් පොළඹවා ගෙන කාදමන රකුසියන් මෙන් එළඹ සිටි සිහි නැත්තහු විනාශ කෙරෙත්.
4178. ඔවුන්ගේ හික්මීමෙක් නැත. සංවරයෙක් ද නැත. මත්පැනෙහි හා මස්කෑමෙහි ගිජු සංයම විරහිත ඒ ස්ත්‍රීහු මහ සයුරෙහි මෝරකු ගිලින තිමිඞ්ගල නම් මත්ස්‍යයා මෙන් පුරුෂයා දුකසේ සපයනලද ධනය වනසත්.
4179. පස්කම්සුව විඳීම ගොදුරු කොට ඇත්තා වූ උඩඟු වූ අස්ථිර සිත් ඇත්තා වූ සංයත නො වූ ස්ත්‍රීහු ගංගාවන් ඇදගන්න සාගරය මෙන් ප්‍රමාද වූවහු සිය වසයට ගනිත්.
4180. ස්ත්‍රීහු ප්‍රේමයෙන් හෝ පංචකාමරතියෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් මිනිසකුට ඇලුම් කෙරෙත් ද, රාග ද්වේෂයන්ගෙන් යුක්ත වූ ඒ ස්ත්‍රීහු (ගුණසම්පත්තියෙන් යුක්ත හෙයින්) ගින්නක් මෙන් දිලියෙන එබඳු පුරුෂයා විනාශ කරත්.
4181. ආඪ්‍ය වූ මහත් ධනය ඇති පුරුෂයා දැන සිය ධනයෙන් ද ආත්මපරිත්‍යාගය කරන්නක මෙන් ද එළැඹෙත්. රාගයෙන් රත් වූ සිත් ඇති ඔහු වෙනෙහි සල්ගස වැළඳගත් මාළුවා වැල මෙන් අතිශයින් වෙළාගනිත් (වැළඳගෙන පෙළත්.)
4182. සැරසීමෙන් විසිතුරු කරනලද ශරීර හා මුඛ ඇති, අලංකෘත වූ, සියගණන් මායාවන්හි දක්‍ෂ වූ ඒ ස්ත්‍රීහු මායාකාරයකු මෙන් හෙවත් සම්බර නම් අසුරයා මෙන් නොයෙක් ආකාර ඇල්මෙන් පැමිණෙත්. මහත් කොට සිනාසෙත්. මදහස කෙරෙත්.
4183. රන් මිණි මුතුවලින් සැරසුණු පතිකුලයන්හි සත්කාර කරනලද ස්ත්‍රීහු රක්නාලද වුවත් සැමියා ඉක්මවා හැසිරෙත්, හෘදයාභ්‍යන්තරයෙහි ආරක්‍ෂිත වූ ස්ත්‍රිය අසුරයා ඉක්ම පැවැත්තී ද එමෙනි.
4184. බොහෝ දෙනා විසින් සත්කාර කරන ලද පුදනලද නුවණැති තේජස්වී පුරුෂ තෙමේ ද ස්ත්‍රී වසයට ගියේ රාහු වසයට ගිය සඳ මෙන් නො බබළයි.
4185. කිපුණු දුෂ්ට සිත් ඇති සතුරෙක් තමා වසයට පැමිණි සතුරකුට යමක් කරන්නේ ද, ස්ත්‍රී වසයට ගිය තෘෂ්ණා සහිත පුරුෂ තෙම එයට වඩා බොහෝ වූ විපතකට පැමිණෙයි.
4186. හිසකේ ඇද කැඩීමෙන්, නියවලින් සීරීමෙන්, තර්‍ජනය කරනලද්දා වූ, අත් පා කස දඬුවලින් තළන ලද්දා වූ ඒ ස්ත්‍රීහු කුණපයෙහි ම ඇලෙන මැස්සන් මෙන් හීනයා වෙත ම එළඹියාහු ඇලෙත්.
4187. කුලයන්හි හා වීථි අතර ද රාජධානිවල හා නියම් ගම්වල ද (කෙලෙස්) මරහු විසින් අටවනලද මලපුඬුවක් වැනි වූ ද දැලක් වැනි වූ ද ඒ ස්ත්‍රීන් නුවණැස් ඇති දෙලෝ සුව කැමති මිනිස් තෙම දුරු කරන්නේ ය.
4188. යමෙක් දෙව් මිනිස් සුව ගෙනදෙන්නා වූ තවුස් ගුණය අතහැර අනාර්‍ය්‍ය වූ කාමසේවනය කෙරේ ද, හෙතෙම දෙව්ලොවින් (පෙරළී) නිරයට යෙයි. (මහඟු මිණිරුවන් දී) නො වටනා කදා මිණක් ගන්නා (ලාමක) වෙළෙන්දකු මෙනි.
4189. (ස්ත්‍රී වසයට ගිය) ඒ අනුවණ තෙනැත්තා මෙලෝ පරලෝ දෙකෙහි ම ගර්හිත වූයේ, ස්වකර්‍මයෙන් විපාක විඳීමට එළඹියේ මෙතෙක් කලැයි අනියත වූයේ දෙව් මිනිස් දෙලොවින් ගිලිහී අපායට ම යයි. කුළු ගදුබුවකු යොදනලද රිය නො මඟෙහි ම යනු මෙනි.
4190. ස්ත්‍රී වසයට ගිය ඒ තෙනැත්තා අතිශයින් තැවීම් ඇත්තා වූ නිරයට ද අයෝමය කටුවලින් යුත් කටුඉඹුල්වන නම් වූ නිරයට ද පැමිණේ. එහි වැස තිරිසන් යෝනිය ද ප්‍රේතවිෂය ද කාලකඤ්ඡක නම් අසුරවිෂය ද නො ඉක්මවයි.
4191. ප්‍රමදාවෝ ප්‍රමාදයෙන් යුත් පුරුෂයන්ගේ නන්‍දනෝද්‍යානයෙහි දිව්‍ය ක්‍රීඩාවන්හි ඇල්ම ද මනුෂ්‍ය ලෝකයෙහි චක්‍රවර්තී රාජසම්පත්තිය ද නසත්. ඒ පුරුෂයන්ට දුගති දුක ද සලසත්.
4192. යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩෙක් නැතැයි (සිතා බඹසර) හැසිරෙත් ද ඔවුනට දිව්‍යක්‍රීඩාවන්හි ඇල්ම ද මිනිස් ලොවෙහි සක්විති සැපත ද රන්මුවා විමන් වැසි දෙවඟනෝ ද දුලබ නො වෙති.
4193. යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩෙක් නැතැයි (සිතා බඹසර) හැසිරෙත් ද, (ඔවුනට) කාමධාතුව ඉක්මවීමෙන් ලැබෙන රූපභවය පිළිබඳ (උත්පත්ති වශයෙන් වූ) ගතිය ද වීතරාගීන්ට විෂය වූ ශුද්ධාවාසයන්හි උත්පත්තිය ද දුලබ නො වේ.
4194. යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩෙක් නැතැයි (සිතා බඹසර) හැසිරෙත් ද ඔවුනට නිවනලද කෙලෙස් ගිනි ඇති පිරිසුදුවූවන් විසින් ලදහැක්කා වූ හැම දුක් ඉක්මවාලන්නා වූ, නිර්‍භය වූ වෙනස් නො වන්නා වූ කෙලෙසුන්ගෙන් අකම්ප්‍ය වූ හේතුප්‍රත්‍යයෙන් සකස් නො වූ නිර්‍වාණය දුර්‍ලභ නො වේ.
4195. එකල මම කුණාල නම් වීමි. උදායී ඵුස්සකොකිල නම් විය. ආනන්‍ද (ස්ථවිර තෙම) ගිජුලිහිණි රජ විය. සාරිපුත්ත (ස්ථවිර තෙම) නාරද නම් විය. පිරිස බුදුපිරිස ම ය. මෙසේ මේ ජාතකය දරව යී (වදාළ සේක.)
කුණාල ජාතක යි.
5. මහාසුතසෝම ජාතකය
4196. එම්බා අරක්කැමිය, තෝ කුමක් හෙයින් මෙතරම් ඉතා දරුණුකම් කරන්නෙහි ද? මුළා වූයේ ස්ත්‍රීන් ද පුරුෂයන් ද නසන්නෙහි. මස් හේතු කොටගෙන ද නැතහොත් ධන හේතුකොටගෙන දැ යි (සෙන්පතියා ඇසී ය).
4197. හිමියෙනි, මෙය තමන් හේතු කොටගෙන නො වෙයි. ධනය හේතු කොටගෙන ද නො වෙයි. අඹුදරුවන් ද යහළුවන් ද ඤාතීන් ද හේතු කොටගෙන නො වෙයි. මාගේ ස්වාමි වූ ඒ භගවත් රජ තෙමේ මෙබඳු වූ මස අනුභව කෙරේ යයි (අරක්කැමි තෙමේ කීයේ ය.)
4198. ඉදින් ස්වාමියාගේ වැඩෙහි යෙදුණා වූ තෝ මෙබඳු ඉතා දරුණුකම් කෙරෙහි නම් උදෑසන ම අන්තඃපුරයට පැමිණ රජු ඉදිරියෙහි ඒ කරුණ මට කියව (යි සෙන්පති තෙමේ කීවේ ය.)
4199. ස්වාමීනි, කාළහත්‍ථි නම් සෙන්පතිතුමනි, ඔබ වහන්සේ යමක් කියන්නහු නම් මම එසේ ම කරන්නෙමි. උදෑසන ම අන්තඃපුරයට පැමිණ රජු ඉදිරියෙහි එය ඔබට කියමි (යි අරක්කැමි තෙමේ කීවේ ය.)
4200. අනතුරු ව රාත්‍රිය ඉක්ම ගිය පසු සූර්‍ය්‍යොද්ගමයෙහි කාළ නම් සෙන්පති තෙමේ අරක්කැමියා ගෙන රජු වෙත එළැඹියේ ය. එළැඹ රජුට මේ වචනය කීවේ ය.
4201. මහරජ, නුඹ වහන්සේ විසින් ස්ත්‍රී පුරුෂයන් නසව යි අරක්කැමියා පිටත්කොට හරිනලද්දේ ය යන මේ කරුණ සත්‍යය ද? ඔබ වහන්සේ මිනීමස් කන්නහු ද?
4202. කාළ (හත්‍ථි) නම් සෙන්පතිය, මා විසින් අරක්කැමියා පිටත්කොට හරිනලදී. මාගේ අර්‍ත්‍ථය (වැඩය) කරන්නා වූ ඔහුට කුමක් හෙයින් නින්‍දා කෙරෙහි දැ (යි රජතෙමේ ඇසී ය.)
4203. සියලු මත්ස්‍යයන්ට ප්‍රධාන වූ රසගේධ වූ ආනන්‍ද නම් මත්ස්‍ය තෙමේ තමන්ගේ පිරිස අනුභව කොට අවසන් වූ කල්හි පසුව තමා ද අනුභව කොට මළේ ය.
4204. මෙසේ ප්‍රමත්ත වූ රසගෙධයෙහි නියැලි අනුවණ තෙමේ ඉදින් මත්තෙහි වන්නා වූ දුක නො දනී නම් හෙතෙමේ දරුවන් නසා නෑයන් ද හැර දමා පෙරළා තමන් ම අනුභව කෙරේ.
4205. මහරජ, මේ කරුණ අසා ඔබගේ ඒ කැමැත්ත දුරු කෙරේවා. රජතුමනි, මිනීමස් අනුභව නො කරව. මහරජ, ආනන්‍ද නම් මත්ස්‍යයා මෙන් මේ මුළුරට සුන් නො කරව (යි සෙන්පති තෙමේ කීවේය.)
4206. එම්බා කාළහත්‍ථිය, පෙරැ නමින් සුජාත නම් කෙළෙඹියෙක් විය. ඔහුගේ ඹෟරස පුත්‍රයෙක් විය. හෙතෙම දඹපල කාලය වූ කල්හි ද දඹපල නො ලැබ මළේ ය.
4207. කාළය, එපරිද්දෙන් මම ද උතුම් රස ඇති කෑම අනුභව කොට (ඒ උතුම් රසැති) මිනීමස් නොලැබ ජීවිතය හරින්නෙමි යි සිතමි (යී රජතෙමේ කීයේය.)
4208. මාණවකය, තෝ මනා රූ ඇත්තෙහිය. සොත්‍ථිය නම් උතුම් කුලයෙහි උපන්නෙහි ය. පුත්‍රය, නුඹ අනුභව නො කටයුක්තක් අනුභව කරන්නට නුසුදුස්සෙහි ය.
4209. පියාණෙනි, නුඹ වහන්සේ යම් බඳු රසයකින් මා වළකනසේක් නම් එය රස අතුරින් උතුම් රසයෙකි. ඒ මම යම් තැනෙක්හි මෙබඳු රසයක් ලබන්නෙම් නම් එහි යමි.
4210. පීතෘ බ්‍රාහ්මණය, යම්බඳු වූ මාගේ දැකීමෙන් නුඹ වහන්සේ සතුටු නො වන සේක් නම් ඒ මම නුඹවහන්සේ සමීපයෙහි නො වසමි. මම ම නික්ම යන්නෙමි යි මාණවකයා කීවේ ය.
4211. මාණවකය, අන්‍ය වූ ද පුත්‍ර දායාදයන් ලබන්නෙමි. නීචය, තෝ ද වැනසෙව, යම් තැනකට පැමිණි තා නො අසන්නෙම් ද (එසේ කරව.)
4212. නරශ්‍රේෂ්ඨ මහරජ, මගේ වචනය අසනු මැනවි. රා සොඬ තරුණයා යම්සේ රටින් පිටුවහල් කරනලද්දේ ද එසේ ම නුඹවහන්සේ ද රටින් පිටුවහල් කරන්නාහ (යි සේනාපතියා කීවේ ය.)
4213. භාවිතාත්ම ඇති ඍෂීන්ගේ ශ්‍රාවක වූ නමින් සුජාත නම් වූ තැනැත්තා දිව්‍යාප්සරාවන් කැමැත්තේ ම නො කෑවේ ය. නො බිව්වේ ය.
4214. යම්සේ කුසතණ අග දිය ගෙන මුහුදු දිය මනින්නේ ද දිව්‍යකාමයන් හමුවෙහි මානුසක කාමයෝ ද එමෙනි.
4215. කාළහත්‍ථිය, රසෝත්තම වූ කෑම කා ඒ මිනීමස් නො ලැබ ජීවිතය හරින්නෙමි යි සිතම් යයි කීයේ ය.
4216. අහසින් ගමන්කරන්නා වූ ධතරට්ඨ නම් හංසයෝ නුසුදුසු පරිභෝගයෙන් සියල්ලෝ ම යම්සේ විනාශයට පත්වූහු ද,
4217. නරශ්‍රේෂ්ඨ මහරජ, මාගේ වචනය අසනු මැනව, එමෙන් ම නුඹ වහන්සේ ද නොබිදිය යුතු ඒ මිනීමස් අනුභව කරන්නහු ය. එහෙයින් නුඹ වහන්සේ රටින් පිටුවහල් කෙරෙත් යයි සෙන්පති තෙමේ කීයේ ය.
4218. එම්බා තපස්විය, ඒ නුඹ මා විසින් සිටුව යි කියන ලද්දෙහි පිටුපා යන්නෙහි ය. නොසිටියා වූ නුඹ සිටියෙමි යි කියන්නෙහි ය. ශ්‍රමණය, මෙය වනාහි තොපට නුසුදුසු ය. කිම, මාගේ කඩුව කුසතණ පතක් කොට සිතහි දැ ? යි පෝරිසාදයා ඇසී ය.
4219. මහරජ, මම ස්වකීය වූ කුශලධර්‍මයන්හි සිටියෙම් වෙමි. මම නාම ගෝත්‍රය නො පෙරළමි. මෙයින් චුත ව අපාගතවනසුලු වූ නේරයික වූ සොරා වනාහි ලෙව්හි නොසිටියෙකැ යි කියත්.
4220. එම්බා පෝරිසාදය, මෙය විශ්වාස කරන්නෙහි ද? එසේ නම් මෙය අසව, ඉදින් සුතසෝම රජ ගන්නෙහි නම් එයින් යාග කොට මෙසේ ස්වර්‍ගයට යන්නෙහි ය.
4221. එම්බා බ්‍රාහ්මණය, නුඹගේ ජාතභූමිය කිනම් රටෙක්හි ද, කිනම් කරුණක් හේතු කොටගෙන මෙහි පැමිණියෙහි ද, මේ කරුණ මට කියව. කුමක් කැමැත්තෙහි ද? තා විසින් අද පතන ලද්දේ කවරක් ද? එය දෙමි යි සුතසෝම රජ තෙමේ කීයේ ය.
4222. මහරජ, උතුම් සාගරය බඳු වූ ඉතා ගැඹුරු වූ ගාථා සතරක් ඔබගේ ම ප්‍රයෝජනය පිණිස, මෙහි ගෙනාවෙමි. උතුම් අර්‍ත්‍ථයෙන් යුත් ඒ ගාථා අසව යි බමුණා කීවේ ය.
4223. යම් හෙයෙකින් පණ්ඩිතයෝ අනුන්ගේ ශෝක දුරු කරන්නාහු වෙද්ද, මිනිසුන්හට ඒ ශෝක දුරු කිරීම පරම පිහිටෙකි. බහුශ්‍රුත වූ බොහෝ කරුණු සිතන්නා වූ සප්‍රාඥයෝ වෙද්ද, එබඳු මහාප්‍රාඥයෝ ඒකාන්තයෙන් නො හඬති.
4224. කෝරව්‍ය ශ්‍රේෂ්ඨ මහරජතුමනි, නුඹ තමා ද ඥාතීන් ද නොහොත් අඹු දරුවන් ද ධාන්‍යය ද ධනය ද රිදී ද රන් ද යන මේ කුමකට තැවෙන්නෙහි ද? යන මේ වචනය තා විචාරමි යි පෝරිසාදයා ඇසී ය.
4225. එම්බා පෝරිසාදය, මම තමන් ගැන ශෝක නො කරමි. අඹු දරුවන් ගැන ද ශෝක නො කරමි. ධනය ගැන හෝ ශෝක නො කරමි. රට ගැන හෝ ශෝක නො කරමි. පුරාණ වූ සත්පුරුෂ ධර්‍මය පුරුදු කරන ලද්දෙක්මි. බ්‍රාහ්මණයාට වූ ඒ පොරොන්දුව ගැන ශෝක කරමි.
4226. සිය රටෙහි ඉසුරු බව්හි පිහිටියා වූ මා විසින් බ්‍රාහ්මණයකු සමග පොරොන්දුවකට බැඳෙන ලද. බ්‍රාහ්මණයාට ඒ පොරොන්දුව සපුරා සත්‍යය රක්නෙම් නැවත එන්නෙමි යි සුතසෝම රජ තෙමේ කීයේ ය.
4227. මරු මුවින් මිදුණු, සුවපත් වූ, මනුෂ්‍ය තෙමේ නැවත සතුරාගේ අතට පැමිණෙන්නේ ය, යන මේ කාරණය මම විශ්වාස නො කරමි. කොරව්‍යරටෙහි අධිපති මහරජතුමනි, මා වෙත නො එළඹෙන්නෙහි ය.
4228. කාමසම්පත් කැමතිවන්නා වූ රජතුමනි, නුඹ පොරිසාදයාගේ අතින් මිදුණෙහි සිය මැදුරට ගොස් මිහිරි ප්‍රිය ජීවිතයක් ලැබ නැවත මා වෙත කවර කරුණෙකින් පැමිණෙන්නෙහි දැ යි පෝරිසාදයා ඇසී ය.
4229. පිරිසුදු සිල් ඇත්තේ මරණය කැමති වන්නේ ය. මෙරමා විසින් නින්‍දා කරනලද පාපසම්භව ඇත්තෙක් ව ජීවිතය නො කැමති වන්නේ ය. යමක් හේතු කොට ගෙන බොරු කියන්නේ නම් එය ඒ සත්‍වයා දුගතියෙන් නො මුදාලන්නේ ය.
4230. මහරජ, ඉදින් වාතය පර්‍වතයක් පුළුන් පොදක් සේ ගෙනයතුදු සඳ හිරු බිම වැටෙතුදු හැම නදීහු උඩු ගං බලා යතුදු මම නම් බොරු නො කියමි යි සුතසෝම තෙමේ කීයේ ය.
4231. අහස පැළී ගිය ද, සයුර වියළී ගිය ද, සත්‍වයන් දරා සිටුනා පෘථිවිය පෙරළී ගිය ද, මහමෙර ඉදිරි වැටෙතුදු මහරජ මම නම් බොරු නො කියමි.
4232. යහළු පෝරිසාදය, කඩුව ද සිරිය ද මම පරාමර්‍ශනය කරමි. යහළුව මම ඔබට දිවිරීම ද කරමි. නුඹ විසින් මුදනලද මම බ්‍රාහ්මණයාට ණය නැත්තෙක් ව, සත්‍යය රක්නෙම් නැවත එන්නෙමි යි සුතසෝම රජතෙමේ කීවේ ය.
4233. මහරජ, සියරටෙහි ඉසුරු බව්හි සිටියා වූ ඔබ විසින් බ්‍රාහ්මණයකු සමග යම් පොරොන්දු වීමක් කරන ලද ද, ඒ පොරොන්දුව බමුණාට දී සත්‍යය රක්නෙහි නැවත මෙහි එව යි පෝරිසාදයා කීවේ ය.
4234. සිය රටෙහි ඉසුරුබව්හි සිටියා වූ මා විසින් බ්‍රාහ්මණයකු හා යම් පොරොන්දුවක් කරන ලද ද, ඒ පොරොන්දුව බමුණාට දී සත්‍යය රක්නෙක් ව නැවත මෙහි එමී යි රජ තෙමේ කීවේ ය.
4235. ඒ සුතසෝම රජ තෙම පොරිසාදයාගේ අතින් මිදුණේ ඒ බමුණා වෙත ගොස් මෙසේ කීවේ ය. එම්බා බ්‍රාහ්මණය, අසනලද යම් ඒ ගාථාවෝ හිත පිණිස පවතිද්ද, ඒ සතාරහ නම් ගාථාවන් අසමි යි රජ තෙම කීවේ ය.
4236. සුතසෝම රජුනි, සත්පුරුෂයන් සමග එක් වරක් හෝ එක් වෙයි ද, එය ඔහු රකී. අසත්පුරුෂයන් සමග බොහෝවූ ද එක්වීම් එසේ නො කෙරේ.
4237. සත් පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත් පුරුෂයන් සමග ම මිත්‍රසන්‍ථවය කරන්නේ ය. බුද්ධාදී සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන ශ්‍රෙෂ්ඨයෙක් වන්නේ ය. ලාමකයෙක් නො වන්නේ ය.
4238. ඉතා විසිතුරු කරනලද රාජ රථයෝ ඒකාන්තයෙන් දිරත්. වැළි ශරීරය ද ජරාවට යෙයි. බුද්ධාදී සත්පුරුෂයන්ගේ නිර්‍වාණ ධර්‍මය ජරාවට නො යයි. බුද්ධාදී සත්පුරුෂයෝ (ඒකාන්තයෙන්) ඒ නිවන ප්‍රකාශ කරති.
4239. මහරජ, අහස ද දුර වේ. පොළොව ද දුර වේ. සමුද්‍රයාගේ පරතෙර ද දුරෙහි පිහිටියේ ය. සත්පුරුෂයන්ගේ ධර්‍මය හා අසත් පුරුෂයන්ගේ ධර්‍මය අතරැ ඒකාන්තයෙන් දුරතර යයි කියත්.
4240. බමුණ, මේ ගාථාවෝ සීයක් නොව දහසක් වටනාහු වෙති. එහෙයින් ඔබ සාරදහසක් වහා ගනුව යි සුතසෝම රජ කීවේ ය.
4241. එම්බා සුතසෝමය, අසූවක් වටනා වූ ද, අනූවක් වටනා වූ ද සියයක් වටනා වූ ද ගාථාවෝ ඇතැ යි ඔබ දන්නෙහි ය. දහසක් වටිනා ගාථාවෝ කොහි වෙද්ද? කියා පිය රජ ඇසී ය.
4242. පියාණෙනි, මම තමාගේ ශ්‍රැතය පිළිබඳ දියුණුව කැමැති වෙමි. ශාන්ත වූ සත්පුරුෂයෝ මා භජනය කෙරෙත්වා. මම වනාහි ගඞ්ගාවන්ගෙන් තෘප්ත නො වන්නා වූ මහාසාගරය මෙන් සුභාෂිතයෙන් තෘප්ත නො වෙමි.
4243. යම්සේ ගින්න තෘණ කාෂ්ඨ දවමින් තෘප්ත නො වේ ද, නදී ජලයෙන් සාගරය හෝ තෘප්ත නො වේ ද, රාජශ්‍රේෂ්ඨය එපරිද්දෙන් ම ඒ පණ්ඩිතයෝ සුභාෂිතයන් අසා තෘප්ත නො වෙත්.
4244. ප්‍රජාධිපති මහරජතුමනි, යම් විටෙක දී සිය දාසයකුගෙන් වුව අර්‍ත්‍ථවත් ගාථාවක් අසම් ද, එය සකස්කොට ම අසමි. පියාණන් වහන්ස, ධර්‍මයන් විෂයයෙහි මාගේ තෘප්තියක් නම් නැත්තේ ම ය.
4245. පියාණෙනි, ධනය සහිත වූ බල වාහන සහිත වූ ආභරණ සහිත වූ සියලු කැමැති සම්පත් ඇත්තා වූ ඔබගේ මේ රජය භාර ගනුමැනවි. කාමසම්පත් හේතු කොටගෙන කුමකට මට පරිභව කරන්නෙහි ද, මම පෝරිසාදයා සමීපයට යමි යි සුතසෝම තෙමේ කීවේ ය.
4246. එම්බා පුත්‍රය, ඇතරුවෝ ය රියසෙනඟ ය පාබළ සෙනඟ ය අශ්වාරෝහකයෝ ය ධනුර්ධරයෝ ය යන යම් සමූහයක් වෙද්ද, මේ සියල්ලෝ ම ඒකාන්තයෙන් ආත්මාරක්‍ෂාව පිණිස වෙති. එබැවින් සේනාව යොදවමු, සතුරා නසමු යි පියරජ තෙමේ කීවේ ය.
4247. නරශ්‍රේෂ්ඨ වූ පියාණන් වහන්ස, පෝරිසාද තෙම මා ජීවග්‍රාහයෙන් ගෙන හැර දැමී ද එසේ කිරීමෙන් හෙතෙමේ සුදුෂ්කර වූවක් කෙළේ ය. එබඳු පළමු උපකාරයක් සිහි කරන්නා වූ මම ඔහුට කෙසේ නම් ද්‍රෝහ කෙරෙම් දැ යි සුතසෝම තෙමේ ඇසී ය.
4248. හෙතෙම පියා ද මව ද වැඳ නියම්ගම් වැස්සන්ට ද බලසෙනගට ද අනුශාසනා කොට සත්‍යය කියන්නේ සත්‍යය රකිමින් පෝරිසාදයා යම් තැනෙක්හි නම් එහි ගියේ ය.
4249. සිය රටෙහි ඉසුරුබව්හි සිටියා වූ මා විසින් බ්‍රාහ්මණයකු සමග යම් පොරොන්දුවක් වන ලද ද, එය ඒ බ්‍රාහ්මණයාට දී සත්‍යය රක්නෙම් නැවත මෙහි ආවෙමි. පෝරිසාදය, මා මරා දේවතාවාට යාග හෝ කරව. මාගේ මස් හෝ අනුභව කරව යි සුතසෝම රජ තෙම කීවේ ය.
4250. පසුව ද නුඹ කෑමට කිසි බාධාවක් නොමැත. මේ සෑය ද තවම දුම් සහිත ය. දුම් නැති ගින්නෙහි පිසන ලද්ද මනාව පැසුණේ වෙයි. ඒ තාක් මම සතාරහ ගාථාවන් අසමි යි පෝරිසාදයා කීවේ ය.
4251. එම්බා පෝරිසාදය, නුඹ අධාර්මිකයෙක් වූවෙහි මිනීමස් කන්නෙහි. උදර පෝෂණය හේතුකොටගෙන රටින් ද ගිලිහුනෙහි ය. මේ ගාථාවෝ ද නව ලොව්තුරා දහම පවසති. ධර්‍මය හා අධර්‍මය කොහි සම වේ ද?
4252. නිතර ලේ වැකුණු අත් ඇති රුදුරු වූ නො දැහැමි නුඹගේ සත්‍යයෙක් නැත. ධර්‍මයක් කොයින්ද? නුඹ මේ දහම් ඇසීමෙන් කුමක් කරන්නෙහි ද?
4253. යමෙක් මාංශය හේතු කොටගෙන මුව දඩයමෙහි හැසිරේ ද? ආත්මාර්‍ත්‍ථය හේතු කොටගෙන යමෙක් මිනිසකු හෝ නසයි ද, ඒ දෙදෙනා ම පරලොව සම වෙති. ඔබ කුමක් හෙයින් මා අධාර්මිකයකු කොට කියන්නහු දැ යි පෝරිසාදයා ඇසී ය.