Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

Showing entries 401-500 of 7679

168. සියලු (ස්කන්‍ධාදි) ධර්‍මයන් සිය නැණින් දැනැ ගත්තා වූ යම් (ක්‍ෂීණාස්‍රව) බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද ඔවුනට මාගේ නමස්කාරය වේවා, ඒ උතුමෝ මා පාලනය කෙරෙත්වා, බුදුවරයනට මාගේ නමස්කාරය වේවා, බෝධිඥානයට ද මාගේ නමස්කාරය වේවා, අර්‍හත්ඵලවිමුක්තීන් විමුක්තයනට ද මාගේ නමස්කාරය වේවා, (තදඞ්ගාදි පඤ්ච) විමුක්තියට ද මාගේ නමස්කාරය වේවා, ඒ මයූරයා මේ පිරිත කොට ගොදුරු සෙවීම පිණිස හැසිරේ.
169. චක්‍ෂුස්මත් වූ ඒකරජා වූ ස්වර්‍ණවර්‍ණ වූ පොළොව බබුළුවන්නා සූර්‍ය්‍යයා අස්තයට යෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන්නා වූ ඔබට නමස්කාර කෙරෙමි. තොප විසින් ආරක්‍ෂා කරන ලද්දමෝ රාත්‍රියෙහි වාස කරම්හ.
170. සියලු ධර්‍මයන් සිය නැණින් දැනැ ගන්නාවූ යම් (ක්‍ෂීණාස්‍රව) බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද ඔවුනට මාගේ නමස්කාරය වේවා, ඒ උතුමෝ මා පාලනය කෙරෙත්වා, බුදුවරයනට මාගේ නමස්කාරය වේවා, බෝධිඥානයට ද මාගේ නමස්කාරය වේවා අර්‍හත්ඵලවිමුක්තීන් විමුක්තයනට ද මාගේ නමස්කාරය වේවා, විමුක්තියට ද මාගේ නමස්කාරය වේවා. ඒ මයුරයා මේ පිරිත කොට වාසය කෙළේ යි.
9. මොර ජාතක යි.
171. කාරණාකාරණ දන්නා වූ හංසයෝ යම්සේ විනීලක නම් වූ මා උසුළද්ද එමෙන් මැ විදේහාධිපති වූ මියුලු නුවරැ රජු අශ්වයෝ උසුළත්.
172. විනීලය, තෝ පර්‍වත දූර්‍ගය සෙවුනෙහි දරුව, තට භූමි නො වූ පර්‍වත විෂමස්ථානය සෙවුනෙහි ග්‍රාමාන්තයෙහි වූ (කසළගොඩ අමුසොහොන් ආදී) ස්ථානයෝ සේවන කර, තෙල තොප මවගේ වාසස්ථාන යි.
10. විනීල ජාතක යි.
පළමුවැනි දළ්හ වර්‍ග යි.
එහි උද්දානය:
උතුම් මල්ලික (රාජෝවාදක) යැ, දද්දර (සිඟාල) යැ, ශුකර ජාතක යැ, උරගජාතක යැ, පස්වැනි ගග්ගජාතක යැ, මහාසේනා ඇති (අලීනචිත්ත) ජාතක යැ, සිඟාල (ගුණ) ජාතක යැ, සුහනු ජාතක යැ, උතුම් වූ මොර ජාතක යැ, විසීලක ජාතක යැ, යන දසය යි.
2. සන්‍ථව වර්‍ගය
173. අර්‍ත්‍ථය දන්නා වූ (ආචාර) ආර්‍ය පුද්ගල තෙමේ අනාර්‍ය්‍ය වූ කුත්සිත පුද්ගලයා හි සහවාසය නො කරන්නේ ය. (කුමක් හෙයින් ද යත්) බොහෝ කාලයක් එක් වැ වාසය කළත් පව් කරන්නේ ය. බොහෝ කාලයක් එක් වැ වාසය කළ ඉන්‍දසමානගොත්ත නම් තාපසයා මැරූ හස්තියා මෙනි.
174. ශීලයෙන් ද ප්‍රඥාවෙන් ද ශ්‍රැතයෙන් ද,යම් තැනැත්තකු මා හා සදෘශ යයි දන්නේ ද ඔහු හා සමග ම මිත්‍රත්‍වය කරන්නේ මැනැවි. සත්පුරුෂයා හා එක් වැ වාසය සුව එළවන්නේ යි.
1. ඉන්‍දසමානගොත්ත ජාතක යි.
175. කුත්සිත පුරුෂයා සමඟ යම් සහවාසයෙක් වේ ද ඒ සහවාසයට වඩා අධික වූ අන් නපුරෙක් නැත. (කුමක් හෙයින් ද යත්) ගිතෙලින් කිරිබත් සන්තර්පිත වූ හෙවත් පුදනු ලැබූ ගින්න දුකසේ කරන ලද (ඒ කිරිබත පිසූ) අතුපැල දැවි ද (එහෙයිනි.)
176. සත්පුරුෂයා හා යම් සහවාසයෙක් වේ ද ඒ සහවාසයට වඩා අධික වූ අන් උතුම් බවෙක් නැත. (කුමක් මෙන් ද යත්) සහවාසය කරණ කොටගෙනැ සාමා මෘගධේනුව සිංහයාගේ ද ව්‍යාඝ්‍රයාගේ ද දිවියාගේ ද මුහුණ ලොවි. (එමෙනි)
2. සන්‍ථව ජාතක යි.
177. සුසීම මහරජ, තොපගේ මේ සියයකට අධික වූ සුදු දළ ඇති කළුපැහැ ඇත්හු රන්දැලින් සාදන ලදහ. තෙල ඇතුන් පියමුතුන් සිරිත් සිහි කෙරෙමින් ඔවුනට (අන් බමුණනට) දෙමි යි කීයෙහි සැබැවෙක් ද?
178. මාණවකය, මාගේ මේ සියයකට අධික වූ සුදු දළ ඇති කළුපැහැ ඇත්හු රන්දැලින් සදන ලදහ. ඔවුන් පියමුතුන් සිරිත් සිහි කෙරෙමින් ඒ බමුණනට දෙමි යි කීමි.
3. සුසීම ජාතක යි.
179. ගිජුලිහිණියා යොදුන් සියයක් ඉක්මවා සිටියා වූ ද කුණපයන් දකී. (එහෙත්) මරුදැලටත් මලපුඬුවටත් පැමිණ ද කුමක් හෙයින් එය නො දත්හි ද,
180. ජීවිතාවසානය පැමිණි යම් කලෙක්හි විනාශය වන්නේ ද එකල්හි සත්ත්‍ව තෙමේ මරුදැලට ද මලපුඬුවට ද පැමිණත් (ජීවිත විනාශ කාරණය) නො දනී.
4. ගිජ්ඣ ජාතක යි.
181. ජලාබුජය (මුගටිය) සතුරු වූ අණ්ඩජයා (සර්‍පයා) සමඟ මිතුරුකම් කොට දළ විවෘත කැරැගෙනැ හෝනෙහි ය. තට බිය කොයින් ආයේ ද,
182. සතුරා කෙරෙහි දු සැක කරන්නේ මැ ය. මිතුරා කෙරෙහි දු විශ්වාස නො කරන්නේ ය. මිත්‍ර වූ අභයස්ථානයෙන් උපන් බිය මුල් ද කපා විනාශ කරන්නේ ය.
5. නකුල ජාතක යි.
183. උපසාළ්හක නමින් තුදුස් දහස් දෙනෙක් මේ ප්‍රදේශයෙහි දවන ලදහ. මේ ලොව්හි අමාතස්ථානයෙක් නැත.
184. යම් පුද්ගලයකු කෙරෙහි සත්‍යය ද ධර්‍මය ද අවිහිංසාව ද ශීලසංයමය ද ඉන්‍ද්‍රියදමනය ද යන මේ ගුණයෝ වෙත් ද ආර්‍ය්‍යයෝ මේ ස්ථානය සේවනය පිණිස එළඹෙත්. ලොව්හි මේ ගුණසමූහය (අමෘතභාවය සිදු කරනුයෙන්) අමෘතස්ථාන නම් වේ.
6. උපසාළ්හක ජාතක යි.
185. මහණ, යොවුන් වියෙහි කාමයන් අනුභව නො කොට භික්‍ෂාවෙහි හැසිරෙහි. කාමයන් අනුභව කොට භික්‍ෂාවෙහි නො හැසිරෙන්නෙහි. මහණ, තරුණ කාලයෙහි කාමයන් අනුභව කොට මහලු වියෙහි භික්‍ෂාවෙහි හැසිරෙව. (කාමයන් අනුභවයට සුදුසු කාලය තොප නො ඉක්මේවා).
186. මම (ඔබ කියන) කාලය නො දනිමි. කාලය සැඟවුණේ නො දක්නා ලැබෙයි. එහෙයින් කාමයන් අනුභව නො කොට භික්‍ෂාවෙහි හැසිරෙමි. මා තපස්කාලය නො ඉක්මේවා.
7. සමිද්ධි ජාතක යි.
187. වේගයෙන් දිවෙන උකුසු ගෝචරයෙහි සිටියා වූ කිරිල්ල වෙතට වහා පැමිණියේ ඒ ශීඝ්‍ර ගමනින් මරණයට පැමිණියේ ය.
188. නීතියෙන් සම්පූර්‍ණයෙමි, පිය පරපුරෙන් ආ ගෝචරයෙහි ඇලුණෙමි. පහ වූ සතුරා ඇති ඒ මම තමහට අර්‍ත්‍ථයක් බලාපොරොත්තුවෙමින් සතුටු වෙමි.
8. සකුණග්සි ජාතක යි.
189. යමෙක් ඒකාන්තයෙන් මැ අප්‍රමාණ වූ මෛත්‍රි සිතින් උඩින් ද යටින් ද සරසින් දැ යි සර්‍වප්‍රකාරයෙන් සකල ලෝකයා කෙරෙහි අනුකම්පා කෙරේ ද,
190. අප්‍රමාණ වූ හිත වූ මෛත්‍රී චිත්තය සම්පූර්‍ණ කොට මනා වැ වඩන ලද ද, (එසේ මැ) ප්‍රමාණවත් වැ කරන ලද (යම් කාමාවචර) කුශලකර්‍මයෙක් වේ ද ඒ කර්‍මය මෛත්‍රී චිත්තයෙහි නො සිටිනේ ය. (අර්‍පණාප්‍රාප්ත මෛත්‍රී චිත්තය කාමාවචර කුශල කර්‍මය යටපත් කොට සිටි යනු අදහසය.)
9. අරක ජාතක යි.
191. තොරණෙහි අගැ සිටින මේ කටුස්සා පූර්‍වයෙහි උඩඟු නො වී ය. මහෞෂධය, කටුස්සා කවර හෙයින් උඩඟු වී දැ යි දනුව.
192. කටුස්සා පෙරැ නො ලද විරූ අඩමස්සක් ලදින් මියුලු නුවරැ වේදේහ රජු ඉක්මවා සිතා යි.
10. කකණ්ටක ජාතක යි.
දෙවෙනි සන්‍ථව වර්‍ග යි.
එහි උද්දානය:
පණ්ණකුටිය සැවූ සන්‍ථවජාතකය සමඟ ඉන්‍දිසමාන ගොත්ත ජාතකය යැ. උතුම් වූ සුසීම ජාතක යැ. ගිජ්ඣ ජාතක යැ, (ජලාබුජක) නකුල ජාතක යැ, උපසාළ්හක යැ. (භික්‍ඛු) සමිද්ධි ජාතකයැ. (ලාප) සකුණග්සී ජාතක යැ, (මෙත් වැඩූ) අරක ජාතක යැ. (උන්නමනය ඇති) කකණ්ටක ජාතකය යන දසය වෙත්.
3. කල්‍යාණධම්ම වර්‍ගය
193. නිරිඳුනි, ලොව්හි යම් කලෙකැ කල්‍යාණධර්‍ම ඇත්තේ යයි සම්මතයට පැමිණි ද නුවණැති මනුෂ්‍ය තෙමේ ඒ සොඳුරුබව නො පිරිහෙළයි. විළිබියෙන් යුත් සත්පුරුෂයෝ පැවිද්ද ලබාගනිත්.
194. නිරිඳුනි, ලොව්හි කල්‍යාණධර්‍ම යයි යමක් ඇත්තේ ද ඒ මේ ප්‍රඥප්තිය මා විසින් අද ලබන ලද ද ඒ ප්‍රඥප්තිය මම බලන්නෙම්, පැවිදි වන්නෙමි, කාමානුභවයෙහි කැමැත්තෙක් නැති.
1. කල්‍යාණධම්ම ජාතක යි.
195. මෘගරාජය, මේ රිදී පර්‍වතය මහත් ශබ්දයෙන් ගුගුරුවන්නේ කවරෙක් ද කවර හෙයින් සිංහයෝ ප්‍රතිනාද නො කෙරෙත් ද මේ තෙමේ කිනම් ඇත්තෙක් ද.
196. පුත්‍රය, මෘගජාතීනට අධම වූ සිවලා හඬයි. මොහුගේ ජාතිය පිළිකුල් කෙරෙමින් නිහඬ වැ හිඳිත්.
2. දද්දර ජාතක යි.
197. පියාණෙනි, තෙල මාණවක තල්ගසමුලැ ඇසුරු කොට සිටී. මේ ගෙය ද ඉඩ ඇත. එබැවින් මොහුට අපගේ ගෙය ඉඩ දෙමු.
198. දරුව, ඔහු නො කැඳව, අපගේ ගෙය දූෂණය කරන්නේ ය, සුසිල්වත් බමුණකුගේ මුහුණ මෙබඳු නො වේ.
3. මක්කට ජාතක යි.
199. හිරු රැසින් තැවී පිපාසිත වූ තට බොහෝ ජලය දුනිමි. හේ තෝ ජලය බී දැන් කිං කිං (යි වඳුරු ශබ්ද) කෙරෙහි ය. පාපජනයන් හා එක් නොවීම ශ්‍රේෂ්ඨ යි.
200. කවර නම් වඳුරෙක් සිල්වතැ යි තා විසින් අසන ලද ද දක්නා ලද ද, දැන් තා හිසැ වර්චස් හෙළා කිලිටි කෙරෙමි. මෝ තොමෝ අපගේ ධර්‍මතා යි.
4. දුතියමක්කට ජාතක යි.
201. සියලු භූතයන් (සත්ත්‍වයන්) කෙරෙහි සිල්වත් එකඟ සිතැත්තෝ ඇත්ල. හීන වූ වඳුරා බලව. (හෙතෙමේ) සූර්‍ය්‍යයා වඳිමින් සිටී.
202. මොහුගේ ශීලය නො දන්නහු ය, නො දැනැ ප්‍රශංසා කරන්නහු ය. (මොහු විසින්) ගිනිදෙවි පුදන කෙණෙස්ස ද වර්චසින් කිලිටි කරන ලද, දෙ කුණ්ඩිකාවෝ ද බිඳින ලදහ.
5. ආදිච්චුපට්ඨාන ජාතක යි.
203. ජනේශ්වරය, වෘක්‍ෂශාඛාවන්හි හැසිරෙන මේ වඳුරා එකතින් මැ අඥාන ය, මොහුට නුවණ නැත. කළුමෑමිට බිම හෙළා බිමහුණු එක් මැ මෑඇටය සොයයි.
204. එපරිද්දෙන් මැ මහරජ, දැඩි ලෝභී වූ අපි ද යම් අනෙක් කෙනෙක් දැ යි යන සියල්ලෝ මැ මෑඇට මිටින් වඳුරා මෙන් බෙහෙවින් පිරිහෙමු.
6. කළායමුට්ඨි ජාතක යි.
205. දුනු හියවුරු ගත් දුනුවායන් විසින් ද උතුම් කඩු ගත් යෝධයන් විසින් ද හාත්පසින් පිරිවරනලදුම්හ. මෙයින් මිදීමෙක් කෙසේ නම් වන්නේ ද,
206. බොහෝ කටයුතු ඇතියනට කිසි අර්‍ත්‍ථයෙක් උපන්නේ වි නම් යෙහෙක. තිඹිරි ගසෙහි ඵල නො කැඩූ තැන් ඇත. තින්‍දුක ඵල කන්නට ලැබේවා.
7. තින්‍දුක ජාතක යි.
207. මාගේ උපන් බිම ය කියා ද වැඩුණු බිම ය කියා ද මඩෙහි වැදැ හොත්තෙමි. මා ඒ මඩ දුර්‍වලවූවකු යම්සේ ද එසේ මැ විනාශයට පැමිණවී ය. භාර්‍ගවය, එහෙයින් තට කියමි. මාගේ වචන අසව.
208. ගමෙහි වේවයි අරණ්‍යයෙහි වේවයි යම් තැනෙක්හි සුව පැමිණියේ ද ඒ ස්ථානය කරුණු දන්නා වූ පුරුෂයාට උපන් තැන ද වැඩුණු තැන ද වේ. යම් තැනෙක්හි ජීවත්වියහැක්කේ ද එතැනට යන්නේ ය. වසනතැන නැති වූයේ නො වන්නේ යි.
8. කච්ඡප ජාතක යි.
209. ඒ බත ද ස්වල්පය (මඳ ය), ඒ මඳබත ද ඉඳුල් ය, ඒ මඳ වූ ඉඳුල් වූ බත දුකසේ දින (ලැබිණ). ඒ මම පිරිසිදු බමුණුකුල ඇත්තෙමි. මා විසින් කන ලද එකී ආහාරය ද ලේත් සමඟ උඩට නැඟිණ (වමනය විය).
210. එලෙසින් (ආජීව පාරිශුද්ධි ශීල නම් වූ) ධර්‍මය දුරු කොට යම් මහණෙක් අධර්‍මයෙන් ජීවත් වේ ද හේ සතධර්‍ම බ්‍රාහ්මණයා මෙන් ලද අහරින් තුටු නො වේ. (දුකට පැමිණේ.)
9. සතධම්ම ජාතක යි.
211. අසත්පුරුෂයෝ (හැම දෙනා විසින් මැ නො කළ හැකි හෙයින්) දුද්දද නම් වූ දන් දෙන්නවුන් ද දුෂ්කර ක්‍රියා කරන්නවුන් ද අනුකරණ නො කෙරෙති. (එසේ මැ) සත්පුරුෂයන්ගේ ස්වභාව සඞ්ඛ්‍යාත දානය (මෙ බඳු ඵලවිපාක ඇතැයි) නො දත හැකි වෙති.
212. එහෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙයින් මතු භවයෙහි ප්‍රතිසන්‍ධිය වෙනස් වෙයි. අසත්පුරුෂයෝ නිරයට යෙති. සත්පුරුෂයෝ සවර්‍ගපරායණ වෙත්.
10. දුද්දද ජාතක යි.
තෙවන කල්‍යාණ වර්‍ග යි.
එහි උද්දානය:
සුසමඤ්ඤ කල්‍යාණධම්ම ජාතක යැ (මිගාධිභූ) දද්දර ජාතක යැ, (මාධවක) මක්කට ජාතක යැ, (වාරි පහූත) දුතිය මක්කට ජාතක යැ, ආදිච්චුපට්ඨාන ජාතක යැ, කළායමුට්ඨි තින්‍දුක ජාතක සහිත වූ (පඞ්ක) කච්ඡප ජාතක යැ, සතධම්ම ජාතකය හා දුද්දද ජාතකයෙන් දසය වේ.
4. අසදිස වර්‍ගය
213. මහත් වූ බල ඇති සර (ඊතල) දුරට විදිනා වූ ඉලක්ක නො වරදවා විදින මහාකායයන් පළන්නා වූ අසදෘශ නමැති රාජ පුත්‍ර ධනුර්ධර තෙමේ;
214. සියලු සතුරන් යුද කොට පලවා හැරැ කිසිවක්හු නො පෙළී ය. මලණුවන් සුවපත් කොට ශීලසංයමයට හෙවත් පැවිද්දට පැමිණියේ යි.
1. අසදිස ජාතක යි.
215. යුද මැඩ හැසිරෙන ශූර වූ එඩි ඇති බලවතැ යි කියා ප්‍රසිද්ධයෙහි ය. හස්තිය, වාසල් දොරටුවට පැමිණ කවර හෙයින් පසුබසිහි ද?
216. යතුරු අගුල වහා මඩිනු, එසිකාස්තම්භයන් ද (අගුලුකණුව) වහා උදුරව. හස්තිරජාය, වාසල් දොරටුව මැඩැ වහා (නුවරට) පිවිසෙව.
2. සඞ්ගාමාවචර ජාතක යි.
217. (නියඳ කඩින් පෙරූ) අල්ප වූ හීන වූ රස ඇති ජලය බී කොටළුවනට මද හටගනී. ප්‍රණීත වූ මේ රසය බී සෛන්‍ධවයනට මද නො හටගනී. (මීට කාරණා කිම් දැ යි විචාළේ ය.)
218. ජනෙන්‍ද්‍රය, හීනජාති ඇති ඒ හීනභාවයෙන් පහස ලැබූ හෙතෙමේ රසමඳ ජලය බී මත් වෙයි. ධුරවහනසුලු උසස් කුලයෙහි උපන් (හෙයින්) සෛන්‍ධවයා අග්‍ර වූ මිදිරස බී ද මත් නො වේ.
3. වාලෝදක ජාතක යි.
219. සාම රජුගේ පණ්ඩව නම් අශ්වයා ගිරිදත්ත නම් කොර අස්පලුවා විසින් දූෂණය කැරිණ. පුරාණ (නො කොර) ස්වභාවය හැරැ අස්පලුගේ කොරය අනු වැ හික්මේ.
220. ඉදින් ඕහට අනුරූප වැ උපන් සොඳුරු බැවින් කල්පිත වූ (සැදුම් ලත්) පුරුෂයෙක් මුවලනුව ගෙනැ අසු අශ්වමණ්ඩලයෙහි ඇවිද්ද වී නම් කොරබව හැරැ වහා මැ අශ්වයාගේ උතුම් ස්වභාවය අනු වැ හික්මේ.
4. ගිරිදත්ත ජාතක යි.
221. යම්සේ මඬින් මිශ්‍ර වූ නො පැහැදුණු ජලයෙහි රන්වන් බෙල්ලන් ද වටබෙල්ලන් ද මසුන් ද (බලන්නේ නමුදු) නො දකී. එමෙන් මැ සිත කැලැඹුණු කල්හි ද ආත්මාර්‍ත්‍ථ පරාර්‍ත්‍ථයන් නො දකී. (නො පෙනේ).
222. යම්සේ නො කැලැඹුණු පැහැදුණු දියෙහි රන්වන් බෙල්ලන් ද මසුන් ද හේ (බලන පුරුෂයා) දකී ද එමෙන් මැ හිත (ලෝහාදියෙන්) නො කැලඹුණු කල්හි ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද හේ (රාගාදීන් දුරු කළ සිතැති පුරුෂ) දකී.
5. අනභිරති ජාතක යි.
223. මේ අඹරුක පූර්‍වයෙහි වර්‍ණයෙන් ද සුවඳින් ද රසයෙන් ද යුක්ත වූයේ වී ය. පූර්‍වයෙහි කළ සැලැකිලි දැනුදු ලබමින් මේ අඹ රුක කවර හෙයින් තිත්ත වූ ඵල ඇත්තේ වී ද?
224. දධිවාහන රජුනි, ඔබේ අඹරුක කොහොඹ රුක් පිරිවර කොට ඇත්තේ මූලයෝ මුලින් එක් වැ සිටියහ. ශාඛාවෝ ශාඛාවන් හා සෙවුනාහ. ඒ අමධුර වූ කොහොඹ රුක් හා සහවාසයෙන් මිහිරි අඹරුක අමිහිරි පල ඇත්තේ වී ය.
6. දධිවාහන ජාතක යි.
225. උස් ගසෙකැ වෙළපට නැඟී (තොපි) රහසේ මන්ත්‍රණය කරන්නහු ය. ගසින් බැසැ බිමැ සිට මන්ත්‍රණය කරවු. එවිට මෘගරාජයා ද එය අසයි.
226. යම් කරුණෙකින් හංසයා හංසයා හා ද දෙවියා දෙවියා හා ද මන්ත්‍රණ කෙරේ ද ඒ මන්ත්‍රණයෙහි ශරීර යැ ජාති යැ ස්‍වර යැ ගුණ යැ යන සතර කරුණෙකින් හීන වූ තට කවර නම් ප්‍රයෝජනයෙක් ද, ජම්බුකය (සිගාලය) බිලයට පිවිසෙව.
7. චතුමට්ඨ ජාතක යි.