4079. නියං සමයෙහි පළමුව හටගත් සුළඟින් කම්පාවන්නා වූ ලේවන් කොළවලින් පිරිවැරුණු තළුවැලක් සේ මඳ බැල්මෙන් යුතුව කවර නම් තැනැත්තියක් සිටින්නේ ද? කථාකිරීමට කැමැත්ත දක්වන්නේ නමුදු වචන නො මුදන්නෙහි ය.
4080. තාපසයන් වහන්ස, මම වනාහි මිනිසුන් කෙරෙහි පූජිත වූ හැම කල්හි අලාමක සත්‍වයන් විසින් සෙවුනා ලද හිරි නම් දෙවඟන වෙමි. සුධා විවාදයෙන් ඔබ වෙත පැමිණි ඒ මම සුධාභෝජන ඉල්ලීමට ද නො හැක්කෙමි. ස්ත්‍රියගේ ඉල්ලීම වූකලී රහසඟ පෙන්වීම බඳු හෙයිනි.
4081. මනා සිරුරු ඇත්තිය, ස්වාභාවික ක්‍රමයෙන් සුධාභෝජනය ලබන්නෙහිය. ඉල්ලීමෙන් සුධාභෝජනය නො ලබන්නෙහිය. මේ වනාහි ස්වභාව ධර්‍මය වේ. එහෙයින් නො ඉල්ලන්නා වූ තිට මම සුධාභෝජනයෙන් නිමන්ත්‍රණය කරමි. එපමණක් නොව තී යමක් කැමති නම් එය ද තිට දෙමි.
4082. ස්වර්‍ණරාශියකට බඳු ශරීර ඇත්තිය, ඒ නුඹ අද මා විසින් සිය අසපුවෙහි නිමන්ත්‍රණය කරන ලද්දෙහි ය, තී වනාහි මා විසින් හැම රසයෙන් පිදිය යුත්තී ය. තී පුදා මම ද සුධාභෝජනය වළඳන්නෙමි යි (තාපස තෙම කීය.)
4083. අනුභාව සම්පන්න කෝසිය තවුසා විසින් අනුදන්නාලද ඒ හිරි නම් දිව්‍යාංගනා තොමෝ ඒ ඒ තැන්හි දිය ඇත්තා වූ, නොයෙක් පලතුරුවලින් ගැවසීගත්තා වූ, නීවරණ දෝෂයෙන් මිදුණු ධ්‍යානලාභීන් විසින් පුදනලද්දා වූ, අලාමක සත්‍වයන් විසින් සෙවුනා ලද, ආශ්‍රමයට පිවිසියා ය.
4084. මෙහි වනාහි මලින් හා පලින් සැදුම්ලත්, වෘක්‍ෂ සමූහයෝ බොහෝ වෙති. අඹ ය, මොර ය, කොස් ය, කෑල ය, මුරුංගා ය, ලොත් ය, පද්මක ය, කේතක ය, භංග ය, පිපියා වූ එරහැන්ද ය,
4085. සල් ය, ලුණුවරණ ය, දඹ ය, ඇසතු ය, නුග ය, මී ය, හොමුවගු ය, ඇසළ ය, පලොල් ය, නික ය, මනා සුවඳැති මිදෙල්ල ය, පංචවිධ කේතකීවෘක්‍ෂ ය යන මොහු මෙහි බොහෝ වෙත්.
4086. අපරණ්ණ ගණයට අයත් හරේණුක (නම් ධාන්‍ය) ද වංසචොරක ද වල්මෑ ද තියඹරා{1} ද බොඩහමු ද ඌරුහැල් ද යළි රජමෑ ද ඇටකෙහෙල් ද කෙහෙල් ද හැල් ද නොයෙක් වීවර්‍ග ද භුජපත්‍ර ද ස්වයංජාත සහල් ද මෙහි බොහෝ වෙති.
4087. ඒ අසපුවට උතුරු දෙසින් හටගත් යහපත් පොකුණෙක් ඇත. ඕ අකර්‍කශ ය. නො සුන් ඉවුරින් යුතු ය. සුවඳ දියෙන් සුවඳවත් ය.
4088. ඒ පොකුණෙහි නිර්‍භය වූ ගොදුරු සුලභ වූ නිතොර වෙසෙන සිඞ්ගු ය, සවඞ්ක ය, සකුල ය, සතවංක ය, රෝහිත ය, ආලි ය, ගග්ගරක ය, පෙටි ය, කාකමච්ඡ ය යන මත්ස්‍යයෝ වෙති.
4089. එහි නිර්‍භය වූ සුලභ වූ ගොදුරු ඇති හංස ය, කොස් ළිහිණි ය, මොනර ය, සක්වාළිහිණි ය, ඇටිකුකුළු ය, කොවුල් ය, විසිතුරු පියාපත් ඇති බහුචිත්‍ර නම් පක්‍ෂි ය, ඔසවනලද මුදුන් ඇති මොනර ය, ජීවඤ්ජීවක ය යන පක්‍ෂීහු නිතර වෙසෙති.
4090. එහි බොහෝ වූ මෘග සමූහයෝ පැන් බීමට එති. එනම් සිංහයෝ ද, ව්‍යාඝ්‍රයෝ ද, ඌරෝ ද, වලස්සු ද, වෘකයෝ ද, කළුහිස්වලස්සු ද,
4091. කඟවෙහෙණහු ද, ගවරු ද, මහිසයෝ ද, රෝහිත මෘගයෝ ද, රූරු මුවෝ ද, එණි මුවෝ ද, වරාහ නම් මුවෝ ද, ගෝන්නු ද සමූහ වශයෙන් ඇති නිංක නම් ඌරෝ ද,
4092. කෙහෙල්මුවෝ ද, බළල්ලු ද සාවෝ ද කර්‍ණක මෘගයෝ ද එති. විසිතුරු මල් අතුරනලද භූමියෙහි වූ පිටිපහණ පක්‍ෂීන් විසින් ඝෝෂාකරනලද්දේ පක්‍ෂි සමූහයා විසින් සෙවුනාලද්දේ ද වෙයි.
4093. මනා සිවි ඇති ඕ තොමෝ නිල්වන් වෘක්‍ෂශාඛාවන් පරාමර්‍ශනය කරමින් මහාමේඝයක් අතරින් දිස්වන විදුලියක් මෙන් පහළවූවා ය. හොඳින් සම්බන්‍ධ කළ ඌර්‍ධවභාග ඇති ඉතා කැමතිවිය යුතු කුශතෘණමය කොච්ඡ නම් අසුනක් පිරිසුදු සුවඳැති අඳුන්දිවිසමකින් සෙවුනාලදු ව පනවා, සුන්‍දරිය, මේ අසුන සුව වෙයි. මෙහි හිඳගනුව යි හිරි දෙව්දුවට තාපස තෙම කීය.
4094. කොච්ඡ නම් අසුනෙහි හුන් සුධාභෝජනය කැමැත්තා වූ ඒ හිරි නම් දෙව්දුවට දළමඬුලු අඳුන් දිවිසම් දරන කෝසිය මහතවුස් තෙම තමා විසින් එකෙණෙහි ගෙනෙනලද නෙළුම්පතින් දක්‍ෂිණොදකය සහිත සුධාභෝජනය වහා ගෙනවුත් එළවීය.
4095. ඕ තොමෝ එය දෑතින් පිළිගෙන තුටු සිත් ඇත්තී තවුසාට මෙසේ කීවාය. “දැන් මම නුඹ වහන්සේ විසින් ඒකාන්තයෙන් පුදන ලද්දෙමි. තවුසාණනි, ජයප්‍රාප්ත වූ මම දෙව්ලොවට යන්නෙමි” යී.
4096. කෝසිය තවුසා විසින් අනුදන්නාලද අනුභාවසම්පන්න වූ වර්‍ණමදයෙන් මත් වූ ඒ හිරි නම් දෙව්දුව සක්දෙව්රජුගේ සමීපයට ගොස් “මේ සුධාභෝජනය වේ, මට දිනුම දෙව” යි කීවාය.
4097. ඇඳිලි බැඳගත් දෙව්මිනිසුන් විසින් පුදනලද ඒ හිරි නම් දෙව්දුව යම් කලෙක්හි අලුත් කොච්ඡ නම් අසුනෙහි හුන්නී ද එකල්හි ශක්‍ර තෙමේ ද ඒ උතුම් දෙවඟනට පූජා කෙළේ ය. ඉන්‍ද්‍රයා සහිත සෙසු දෙවියෝ ද (පරසතු මල් ආදියෙන්) ඇය පිදූහ.
4098. නැවත, දෙවියනට අධිපති වූ දහසක් නෙත් ඇති ශක්‍ර තෙම ඒ මාතලී දෙව්පුත්හට මෙසේ කීය. “මාතලිය, කෝසිය තවුසා වෙත ගොස් මාගේ මේ වචනය කියව. “කෝසිය තවුසාණනි, ආසා ය, සද්ධා ය, සිරි ය යන මොවුන් හැර හිරි දෙව්දුව කවර හේතුවකින් සුධාභෝජනය ලැබීදැ” යි අසව යි (කීය.)
4099. මණ්ඩිත උපකරණයනට අනුකූල ව බබළන්නා වූ ගිනිසිළු බඳු දඹරන්මුවා රියහිස හා අටමඟලින් යුත් සරසනලද ඒ රිය සුවසේ ගමන් සඳහා පිළියෙළ කෙළේ ය.
4100. මේ රියෙහි රන්මුවා සඳරූ බොහෝ නෙළනලද යැ. රන්මුවා ඇත්-ගව-අස්-වනුරු-වග-දිවි-ඒණීමුව රූ නෙළන ලද යැ, මෙහි ඉගිලෙන සැහැවි ලිහිණි රූ ඇත. මෙහි වෙරළු මිණිමුවා මෘගයෝ යුද කෙරෙති.
4101. බලයෙන් තරුණ ඇතුන් හා සම වූ සරසනලද රන් දැල්මුවා උරසැදින් යුත්, ආවේලි නම් කර්‍ණාභරණ ඇති, කෙවිටි පහරක් නැති වැ ශබ්ද මාත්‍රයෙන් ම ගමන් කරනසුලු වූ, ශීඝ්‍රගාමී වූ නිල්වන් අස්රජුන් දහසක් ඒ රියෙහි යෙදූහ.
4102. මාතලි නම් දිව්‍යපුත්‍ර තෙම ඒ උතුම් යානයට නැග මේ දශදිශාවන් ඒකනින්නාද කෙළේ ය. අහස ද, පර්‍වත ද, වනදෙටු ගස් ද සයුර සහිත පොළොව ද කම්පා කළේ ය.
4103. ඒ මාතලී නම් දිව්‍යපුත්‍ර තෙම වහා ම අසපුවට පැමිණ එකස් කොට පොරවනලද දිව්‍යවස්ත්‍ර ඇත්තේ බද්ධාඤ්ජලි වූයේ බහුශ්‍රුත වූ ගුණවෘද්ධ වූ විනීත පැවැත්මෙන් යුත් දෙවියන් සම බ්‍රාහ්මණයාහට මෙසේ කීය.
4104. කෝසිය තාපසයාණනි, ශක්‍රයාගේ වචනය අසනු මැනවි. මම ඔහුගේ දූතයෙමි. ශක්‍ර තෙම ඔබ විචාරයි. “කෝසිය තාපසයාණනි, ආසාවට ද ශ්‍රද්ධාවට ද ශ්‍රීයට ද වඩා කවර හේතුවකින් හිරි තොමෝ සුධාභෝජනය ලැබූ ද” යනු යි.
4105. මාතලිය, ශ්‍රී තොමෝ (ශිල්ප දන්නා නො දන්නා කවුරුනුත් සේවනය කරන හෙයින්) අන්‍ධ යැ යි මට වැටහෙයි. ශ්‍රද්ධා තොමෝ (ඒ ඒ වස්තූන් හැර වෙනත් වස්තූන්හි පිහිටන හෙයින්) අනිත්‍ය යැ යි මට වැටහෙයි. ආසාව වනාහි රැවටිලි ඇත්තී යැ යි සම්මත ය. හිරි තොමෝ වනාහි ආර්‍ය්‍යගුණයෙහි පිහිටියා යැ යි.
4106. මාතලිය, ප්‍රවේණිධර්‍මය රක්නා වූ කුලගෙහි වැඩෙන කුමරියෝ ය, වැන්දඹු ස්ත්‍රීහු ය, ස්වාමිපුරුෂයන් යටතෙහි සිටින ස්ත්‍රීහු ය යන මේ ත්‍රිවිධ ස්ත්‍රීවර්‍ගයා ම පරපුරුෂයන් අරමුණු කොට තම සිතෙහි හටගත් ඡන්‍දරාගය හිරියෙන් වළකාලති.
4107. ඊ පහරින් හා අඩයටි පහරින් යුත් යුදබිම්හි පරදිනවුන් ද වැටෙන්නවුන් ද පලායන්නවුන් ද අතර ලජ්ජායෙන් යුතුවූවාහු ජීවිතය හැරදමා නවතිත්. නැවත ඔවුහු තමන්ගේ ස්වාමියා මුදාගනිත්.
4108. සාගරවේගය වළකාලන වෙරළ මෙන් මේ හිරි තොමෝ ජනයා පවින් වළක්වන්නී ය. දෙවසාරථිය, ඒ හිරි තොමෝ මුළු ලෙව්හි පුදනලද්දී යැ යි ශක්‍රයාට කියව යි තාපසයා කීය.
4109. කෝසිය තාපසය, මේ ලබ්ධිය ඔබගේ සිත්හි කවරෙක් පිහිටුවී ද? බ්‍රහ්මයා ද ශක්‍රයා ද නැතහොත් ප්‍රජාපති නම් දිව්‍ය පුත්‍රයා ද? මහර්ෂිය, ශක්‍රයාගේ දුහිතෘ වූ මේ හිරි තොමෝ දෙවියන් අතර ශ්‍රේෂ්ඨ යැ යි සම්මත වී යැ යි මාතලී දෙව්පිත් කීය.
4110. කෝසිය තාපසයන් වහන්ස, එනු මැනවි. මේ දිවියෙන් ච්‍යුත වන නුඹ වහන්සේ මා විසින් ගෙනෙනලද මේ රියට නැග දෙව් ලොවට ගමන් කරන සේක්වා. ඉන්‍ද්‍රයාට සම ගෝත්‍ර ඇති තාපසයන් වහන්ස, ඉන්‍ද්‍ර තෙමේ ද ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙයි. නුඹ වහන්සේ අද ම ඉන්‍ද්‍රයා හා එක්ව විසීමට යනු මැනවැ යි මාතලී දෙව්පිත් කීය.
4111. පව්කම් නැත්තෝ මෙසේ පිරිසුදු වෙති. තවද, මනාව පුරුදු කරනලද කර්‍මයාගේ විපාකය නො නැසේ. යම් කෙනෙක් ශක්‍රයාගේ සුධාභෝජන දානය දුටුහු ද, ඒ සියල්ලෝ ම ශක්‍රයා සමග විසීමට ගියාහු ය.
4112. හිරි දෙව්දූ උප්පලවණ්ණා මෙහෙණ යි. දානපති භික්‍ෂුව කෝසිය තවුස් විය. අනුරුද්ධ ස්ථවිර පංචසිඛ නම් දිව්‍යපුත්‍ර විය. ආනන්‍ද ස්ථවිර මාතලී රියැදුරු විය.
4113. සූර්‍ය්‍ය දිව්‍යපුත්‍ර නම් කස්සප භික්‍ෂු ය. චන්‍ද්‍ර දිව්‍යපුත්‍ර මොග්ගල්ලාන ස්ථවිර ය. නාරද ඍෂි නම් ශාරිපුත්‍ර ස්ථවිර ය. ශක්‍ර වූයෙම් සම්බුදු වූ මම වේදැ යි වදාළසේක.
සුධාභෝජන ජාතක යි.
4. කුණාල ජාතකය
එය (එම කුණාල වනෂණ්ඩය) මෙබඳු යැ යි කියනු ලැබේ. මෙබඳු යැ යි අසනු ලැබේ. සකලෞෂධයෙන් යුක්ත වූ පොළෝ තලය ඇති (ඵලජනක වූ ද පිළන්ධනූපග වූ ද) නොයෙක් පුෂ්පයෙන් සමලංකෘත වූ ඇත්තු ය, ගවරු ය, මහීෂයෝ ය, රන්වන් මුවෝ ය, සෙමරු ය, පසදමුවෝ ය, කඟවෙහෙණු ය, ගෝන්නු ය, සිංහයෝ ය, ව්‍යාඝ්‍රයෝ ය, දිවියෝ ය, වලස්සු ය, වෘකයෝ ය, කළුහිස් වලස්සු ය, උද්දාරක නම් මුවෝ ය, කෙසෙල් මුවෝ ය, බළල්ලු ය, සසකණ්ණකයෝ ය යන මොවුන්ගේ නිරතුරු හැසිරීමෙන් යුත්, ගැවසීගත් ඇත්පොවු මඩුල්ලෙන් යුත් මහඇතුන් ද දසවැදෑරුම් ඇත්කුලයෙහි ඇතුන් හා ඇතින්නන් සමූහයා ද වාසය කරන්නා වූ, කාලසිංහ ය, ශාඛාමෘග ය, සරභමෘග ය, එණිමෘග ය, මහාවාතමෘග ය, චිත්‍රමෘග ය, වඩවාමුඛයක්‍ෂිණීහු ය, කිඳුරු ය, යක්‍ෂ ය, රකුසු ය යන මොවුන් විසින් නිති සෙවුනාලද, මල් කැකුළින් හා මල් පොකුරින් ද සුපිපි මලින් හා අතුඅග (පමණක්) පිපුණු මලින් ද යුත් නන් වැදෑරුම් ගස් සමූහයෙන් පැතිරීගත්තා වූ, උකුසු ඇටිකුළු ඇත්කඳළිහිණි මොනර කොවුල් ජිවඤ්ජීවක චේලාවක
හිඞ්කාර කරවික යන සිය ගණන් මත් විහඟුන්ගේ නාදයෙන් මනහර වූ, අඳුන් මනෝසිලා හිරියල් හිඟුල් හෙම රිදී කනක යන නොයෙක් සියගණන් වර්‍ණධාතු රාජීන් පැතිරීමෙන් අලංකෘත වූ පෙදෙස් ඇති මෙබඳු රම්‍ය වනලැහැබෙක්හි අතිශයින් චිත්‍ර වූ අතිශයින් විචිත්‍ර වූ පියාපත් ඇති කුණාල නම් පක්‍ෂියෙක් වෙසෙයි. භවත්නි, ඒ කුණාල පක්‍ෂියාට පරිචාරිකා වූ පක්‍ෂිකන්‍යාවෝ තුන් දහස් පන්සියයක් වෙති. වැලි දු, පක්‍ෂිකන්‍යාවන් දෙදෙනෙක් මුවින් දඬුකඩක් ඩැහැගෙන ඒ කුණාල පක්‍ෂියා ඒ මත හිඳුවාගෙන “අතරමගදී ඒ කුණාල පක්‍ෂියාට ගමන් වෙහෙසින් බාධාවක් නො වේවා” පියාසර කරති. “ඉදින් මේ කුණාල පක්‍ෂියා අසුනෙන් පෙරැළි වැටෙන්නේ නම් අපි අපගේ පියාපත්වලින් ඔහු පිළිගනුම්හ” යි පන්සියයක් පක්‍ෂිකන්‍යාවෝ යටින් පියාසර කරති. “ඒ කුණාල පක්‍ෂියා සූර්‍ය්‍යතාපයෙන් නො තැවේව”යි පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ මත්තෙහි පියාසර කරති. “ඒ කුණාල පක්‍ෂියා ශීතය හෝ උෂ්ණය හෝ තෘණ හෝ දූවිලි හෝ වාතය හෝ පිනිබිඳු හෝ ස්පර්‍ශ නො කෙරේව”යි පන්සියයක් පක්‍ෂිකන්‍යාවෝ දෙපසින් පියාසර කරති. “ඒ කුණාල පක්‍ෂියා ගොපල්ලෝ හෝ පශුපාලකයෝ හෝ තණ ගෙනයන්නෝ හෝ දර ගෙනයන්නෝ හෝ වන කාර්මිකයෝ හෝ කාෂ්ඨයෙන් වේවයි කැබිලිත්තෙන් වේවයි අතින් වේවයි (ගලින් වේවයි) මැටි කැටයෙන් වේවයි දණ්ඩෙන් වේවයි අවියෙන් වේවයි බොරළු කැටින් වේවයි පහර නො දෙත්වා යී ද ඒ කුණාල පක්‍ෂියා පැළෑටි සමග හෝ වැල් සමග හෝ ගස් සමග හෝ අතු සමග හෝ කණු සමග හෝ ගල් සමග හෝ බලවත් පක්‍ෂීන් සමග හෝ එක් නො වේවා” යී ද පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ ඉදිරියෙන් පියාසර කරති. “මේ කුණාල පක්‍ෂියා අසුනෙහි උකටලීව නො සිටීවා” යි මටසිලිටි වූ ප්‍රියංකර වූ මිහිරි වදනින් පරිවරණය කරමින් පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ පිටුපසින් පියාසර කරති. “මේ කුණාල පක්‍ෂි තෙම කුසගින්නෙන් ක්ලාන්ත නො වේව” යි පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ නොයෙක් වෘක්‍ෂයන්ගෙන් විවිධ පලවැළ ගෙනෙමින් දිගින් දිගට පියාසර කෙරෙත්. වැලි දු භවත්නි, ඒ පක්‍ෂි කන්‍යාවෝ අරමින් අරමට උයනින් උයනට ගංතොටින් ගංතොටට කඳුමුදුනින් කඳුමුදුනට අඹවනයෙන් අඹවනයට දඹවනයෙන් දඹවනයට දෙල්වනයෙන් දෙල්වනයට පොල්උයනින් පොල්උයනට සිත් ඇලවීම පිණිස ඒ කුණාල පක්‍ෂියා වහා පමුණුවත්. ඉක්බිති භවත්නි, ඒ කුණාල පක්‍ෂියා ඒ පක්‍ෂි කන්‍යාවන් විසින් දවස මුළුල්ලේ ඔසවාගෙනයන ලද්දේ නමුත් “නීච තෙනැත්තියනි, තෙපි නොපෙනී යව, නීච වූ සොර වූ සල්ලාල වූ සිහි නැත්තා වූ වහා පෙරළෙන සිත් ඇත්තා වූ කළ උපකාර නො සලකන්නා වූ සුළඟ මෙන් කැමති යම් ඒ තැනකට යන්නා වූ තෙපි වැනසෙව” යි මෙසේ බැහැර කෙරෙයි.
භවත්නි, ඒ හිමවත් පර්‍වතරාජයාගේ ම පූර්‍ව දිශාභාගයෙහි ඉතා මටසිලිටි ඉතා සුන්‍දර පර්‍වතයන් ප්‍රභව කොට ඇති (කුණාල විලට) ගලා බස්නා වූ නිල්වන් නදීහු ඇත්තාහ. (එහි) නිලුපුල් ය කුමුදු ය පියුම් ය හෙළපියුම් ය පිරිපුන් සියපත් පියුම් ය සෙව්වන්‍දිය මන්‍දාරව ය යන (මෙකී) අභිනව ජාත (පුෂ්ප) සුගන්‍ධයෙන් මනහර වූ පවිත්‍ර ප්‍රදේශ ඇති, කරවු ය මිදෙල්ල ය වැටකේ ය හොමුවඟු ය හෝපලු ය දොඹ ය මුහුළු ය ඇසළ ය හෙළපියාය පියාය සල්ය සලලය සපුය අසෝකය නාරුක් ය රිටිගස් ය භුජපත්‍ර (අළුගස්) ය ලොත් ය සඳුන් ය යන වෘක්‍ෂසමූහයෙක් ගැවැසීගත් වනය ඇති, කළුඅගිල් ය පද්මක ය ප්‍රියඞ්ගු ය (පුවඟු) දෙව්දුරු ය කෙසෙල් ය යන මෙයින් ගහන වූ, කුඹුක් ය කෙළිඳ ය රුක්අඟුන ය කච්චිකාර ය රුක්කිණිහිරි ය වැල්කිණිහිරි ය කණවේර (කරවීර) ය කුරණ්ඩක ය කොබෝලීලය කෑලය යූථිකා (සීනිද්ද) ය යොහොඹුය නොකිලිටි නිදොස් වූ භණ්ඩි නම් පුෂ්පය අතිශයින් රුසිරු වූ භගිනිමාලා නම් පුෂ්පය යනාදි මල් දරන්නා වූ, දෑසමන් ය මධුගන්‍ධික ය දුනුපළොල් ය තලිස් ය තුවරලා ය සුවඳහොට ය කොට්ටක ය යන මෙයින් යුත් දෙණිවලින් ගැවැසීගත්, යොහොඹුවැලින් හා මනාව පිපුණු (මල් ඇති) සෙසු නොයෙක් වැලින් ද සැරසුණු පෙදෙස් ඇති, හංස මහවවුල් විල්ලිහිණි දියකිරල යන පක්‍ෂීන් විසින් පවත්වනලද මිහිරි නාද ඇති, විද්‍යාධර සිද්ධ ශ්‍රමණ තවුස් සමූහයන් වාස කළා වූ, උතුම් දෙව් යකු රකුස් අසුර ගදඹ කිඳුරු මහොරගයන් හැසිරෙන පෙදෙස් ඇති, මෙබඳු මනරම් වනලැහැබෙක්හි භවත්නි, අතිශයින් මිහිරි නාද ඇති, මනෝඥ වූ මඳ රත් පැහැ යුතු ඇස් ඇති, පූර්‍ණමුඛ නම් වූ ඵුස්ස කොකිල (පරපුටු කොවුලෙක්) යෙක් වෙසෙයි.
භවත්නි, ඒ පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලාට පරිචාරිකා වූ පක්‍ෂි කන්‍යාවෝ තෙසිය පනස් දෙනෙක් වෙති. එකල්හි පක්‍ෂි කන්‍යාවෝ දෙදෙනෙක් මුවින් දඬු කඩක් ඩැහැගෙන ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිල පක්‍ෂියා එය මැද හිඳුවා “ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිල පක්‍ෂියා අතරමග දී ගමනින් පීඩා නො විඳීව” යි පියාසර කරති. “ඉදින් මේ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා අසුනෙන් ගිලිහී වැටෙන්නේ නම් අපි (අපගේ) පියාපත්වලින් ඔහු පිළිගන්නෙමු” යි පක්‍ෂි කන්‍යාවන් පනස්දෙනෙක් යටින් පියාසර කරති. “ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා අව්වෙන් නො තැවේව” යි පක්‍ෂි කන්‍යාවන් පනස් දෙනෙක් මත්තෙහි පියාසර කරති. “ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා සීතල හෝ උණුසුම හෝ තණ හෝ දූලි හෝ පවන හෝ පින්න හෝ ස්පර්‍ශ නො කෙරේව” යි පක්‍ෂි කන්‍යාවන් පනස් දෙනෙක් දෙපසින් පියාසර කරති. “ගොපල්ලෝ හෝ පසුපාලකයෝ හෝ තණ ගෙනයන්නෝ හෝ දර ගෙනයන්නෝ හෝ වන කාර්මිකයෝ හෝ කැටින් වේවයි කැබිලිත්තෙන් වේවයි අතින් වේවයි (පහණින් වේවයි) මැටි කැටයෙන් වේවයි දණ්ඩෙන් වේවයි සැතින් වේවයි බොරළුයෙන් වේවයි
ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට පහර නො දෙත්වා” යි ද, “මේ පූර්‍ණමුඛ කොකිලයා පැළෑටි සමග හෝ වැල් සමග හෝ ගස් සමග හෝ අතු සමග හෝ කණු සමග හෝ ගල් සමග හෝ බලවත් පක්‍ෂීන් සමග හෝ දුඃඛ ස්පර්‍ශ වශයෙන් එක් නො වේවා” යී ද (අදහසින්) පක්‍ෂි කන්‍යාවන් පනස්දෙනෙක් ඉදිරියෙන් පියාසර කරති. “මේ පූර්‍ණමුඛ ඵුස්ස කොකිල තෙම අසුනෙහි උකටලී නො වේව” යි පක්‍ෂි කන්‍යාවන් පනස්දෙනෙක් මටසිලුටු මනෝඥ මිහිරි වදනින් පරිචරණය කෙරෙමින් පසුපසින් පියාසර කරති. “මේ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා කුසගින්නෙන් ක්ලාන්ත නො වේව” යි පක්‍ෂි කන්‍යාවන් පනස්දෙනෙක් නොයෙක් ගස්වලින් විවිධ පලවැළ ගෙනෙමින් දිගින් දිගට පියාසර කරත්. තව ද, ඒ පක්‍ෂි කන්‍යාවෝ ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා අරමින් අරමට උයනින් උයනට ගංතොටින් ගංතොටට කඳුමුදුනින් කඳුමුදුනට අඹ වනයෙන් අඹ වනයට දෙල් වනයෙන් දෙල් වනයට පොල් වනයෙන් පොල් වනයට සිත් ඇලවීම පිණිස වහා පමුණුවත්. භවත්නි, එකල්හි ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොවුල් තෙම ඒ පක්‍ෂි කන්‍යාවන් විසින් දිවා කල්හි පිරිවරන ලද්දේ “නැගණිවරුනි, (බුහුනනි,) ඉතා මැනව, ඉතා මැනව, බුහුනනි, යම්හෙයකින් තෙපි (තොපගේ) සැමියා සෙවුනාහු ද තෙල තොප බඳු කුලදූන්හට සුදුස්සෙකැ” යි මෙසේ පසසයි.
භවත්නි, ඉක්බිති ඒ පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලා කුණාල පක්‍ෂියා යම් තැනෙක ද එතැනට එළඹියේ ය. කුණාල පක්‍ෂියාගේ පරිචාරක පක්‍ෂි කන්‍යාවෝ එන්නා වූ ඒ පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලා දුරදී ම දුටහ. දැක පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලා යම් තැනෙක ද එහි එළඹියහ. එළඹ ඒ පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලාට මෙසේ කීහු. “යහළු පූර්‍ණමුඛය, මේ කුණාල පක්‍ෂියා ඉතා පරුෂය. ඉතා රළු වදන් ඇත්තේ ය. ඔබ ඇසුරට පැමිණ හෝ ප්‍රිය වචන ලබන්නමෝ නම් ඉතා යෙහෙකැ” යි. බුහුනනි, එය මැනවැ යි කියා කුණාල පක්‍ෂියා යම් තැනෙක්හි ද එතැනට එළඹියේ ය. එළඹ කුණාල පක්‍ෂියා සමග පිළිසඳර කොට එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා ඒ කුණාල පක්‍ෂියාට මෙසේ කීය. “යහළු කුණාලය, මනාසේ පිළිපදනා වූ සමානජාති ඇති කුලදෝණි වූ ඉතිරින්ට තෙපි කවරහෙයින් වරදවා පිළිපදනහු ද? යහළු කුණාලය, අමනාප බස් බණන ඉතිරින්හට ද මනාප බස් ඇත්තකු විය යුතු ය. මනාප බස් ඇත්තන් ගැන කියනු කිම?” යි. මෙසේ කී කල්හි කුණාල පක්‍ෂියා ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට මෙසේ නොසතුට පළ කෙළේ ය. “ලාමක අදහස් ඇති යහළු නීචය, තෝ මෙතැනින් යව. ලාමක අදහස් ඇති යහළු නීචය, තෝ වැනසෙව. ගැහැනුන් විසින් පරදවනලද තට වඩා වියතෙක් අන් කවරෙක් දැ” යි. මෙසේ ගරහන ලද ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා එයින් ම නැවතුනේ ය.
භවත්නි, ඉක්බිති ඊට පසු නොබෝ කලකින් ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට ලෝහිත පක්ඛන්‍දිකා නම් (ලේ අතීසාරය) දරුණු ආබාධයෙක් හටගත්තේ ය. මාරාන්තික වූ දැඩි වේදනාවෝ පැවැත්තාහ. එකල ඒ පූර්‍ණමුඛ නම් ඵුස්ස කොකිලයාගේ පරිචාරක පක්‍ෂි කන්‍යාවන්ට මේ අදහස විය. “මේ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා හටගත් ආබාධ ඇත්තේ ය. මේ තෙම මේ ආබාධයෙන් නැගිටින්නේ දෝහෝ යි සැක සහිත යැ”යි (ඒ පක්‍ෂි කන්‍යාවෝ) ඔහු තනිව එකලා ව (එහි) හැරදමා කුණාල පක්‍ෂියා යම් තැනෙක්හි ද එහි එළඹියහ. කුණාල පක්‍ෂියා එන්නා වූ ඒ පක්‍ෂි කන්‍යාවන් දුරදී ම දුටුවේ ය. දැක ඒ පක්‍ෂි කන්‍යාවන්ට මෙසේ කීය. “නීච තැනැත්තියනි, තොපගේ සැමියා කොහි දැ” යි. “යහළු කුණාලය, ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා හටගත් ආබාධ ඇත්තේ ය. ඒ ආබාධයෙන් නැගිටීම සැක සහිත යැ” යි (ඔවුහු කීහ.) මෙසේ කී කල්හි කුණාල පක්‍ෂියා ඒ පක්‍ෂි කන්‍යාවන්ට මෙසේ නො සතුට පැවසී ය. “නීච තෙනැත්තියනි, තෙපි මෙතැනින් යවු. නීච වූ සෙර වූ ධූර්‍ත වූ සිහි නැත්තා වූ වහා පෙරළෙන සිත් ඇත්තා වූ කළ උපකාරයට ප්‍රත්‍යුපකාර නො කරන්නා වූ පවන මෙන් කැමති යම් ඒ තැනෙකට යන්නා වූ තෙපි වැනසෙවු” යි මෙසේ කියා පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා යම් තැනෙක්හි ද එහි එළඹියේ ය. එළඹ ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට “යහළු පූර්‍ණමුඛය, ජීවත්වෙහි” දැ යි කීය. “යහළු කුණාලය, ජීවත්වෙමි” යි හේ කීය. භවත්නි, ඉක්බිති කුණාල පක්‍ෂියා ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා පියාපත්වලින් හා මුවතුඬින් ගෙන නඟාසිටුවා නොයෙක් බෙහෙත් පෙවී ය. භවත්නි, ඉන්පසු පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාගේ ඒ ආබාධය සන්හිඳුණේ යයි.
වැලිදු භවත්නි, ගිලන් බැවින් නැගී සිටි ගිලන් බැවින් මිදුණු නොබෝ කල්ඇති ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට මෙසේ කීය. යහළු පූර්‍ණමුඛය, පියවරුන් දෙදෙනකු ඇති සැමියන් පස්දෙනකු ඇති කණ්හා නම් ස්ත්‍රිය සවැනි පුරුෂයකු වූ හිස සුන් සිරුර ඇතියකු බඳු පිළකු කෙරෙහි සිත් බඳින්නී මා විසින් දක්නා ලද, මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වෙයි.
4114. ඉක්බිති අර්ජුන ය, නකුල ය, භීමසේන ය, යුධිෂ්ඨිර ය, සහදේව ය යන රජවරුන් වූ මේ සැමියන් පස්දෙන ඉක්මවා ස්ත්‍රියක් කුදු මිට්ටකු සමග ලාමක වූ අනාචාර කර්‍මයක් කළා ය.
යහළු පූර්‍ණමුඛය, සච්චතපාවී{*} නම් ශ්‍රමණියක් සොහොන මැද වසන්නී සිව්වැනි බත ද ප්‍රතික්‍ෂේප කරන්නී රන්කරු පුතකු සමග අනාචාර කර්‍මය කළා ය. (ඕ) මා විසින් දක්නාලදු.
යහළු පුණ්ණමුඛය, කාකාතී නම් දේවී මුහුද මැද වසන්නී ගුරුළකුගේ බිරිය වූවා ගන්‍ධර්‍වයකු සමග අනාචාර කර්‍මයක් කළා ය. ඕ මා විසින් දක්නා ලදු. යහළු පුණ්ණමුඛය, ලෝමසුන්‍දරී නම් කුරඞ්ගදේවි තොමෝ එළකමාරික නම් තෙනැත්තහු කැමති වන්නී ඡළඞ්ග කුමාරයා හා ධනන්තෙවාසික නම් අතවැස්සා ද සමග අනාචාර ක්‍රියාවක් කළා ය, (ඕ) මා විසින් දක්නා ලදු.
4115. (යම් තෙනැත්තියක්) කොසොල් රජ හැරදමා පඤ්චාල චණ්ඩ සමග අනාචාර කර්‍මය කළා ද, බඹදත් රජුගේ මව පිළිබඳ වූ තෙල කරුණ මා විසින් දන්නා ලද්දේ ය.
4116. මේ ස්ත්‍රීහු ද අන් ස්ත්‍රීහු ද ලාමක ක්‍රියාව කළාහු ය. එහෙයින් මම ස්ත්‍රීන් විශ්වාස නො කරමි. ඔවුන්ට නො පසසමි. යම්සේ ජගතී නම් වූ පෘථිවි තොමෝ සමාන ඇලුම් ඇත්තී ද, ධනය උසුලන්නී ද, හීන ප්‍රණීත සියල්ලන්ට ම පිහිටවන්නී ද, සියල්ල ඉවසන්නී ද නො සැලෙන්නී ද, නො කිපෙන්නී ද, ස්ත්‍රීහු ද එසේ වෙති. (නුවණැති) මනුෂ්‍ය තෙම ඔවුන් විශ්වාස නො කරන්නේ ය.
4117. ලේ මස් බුදින, (මුඛය ගාත් සතරය යන) අත් පසක් ඇති, ඉතා දරුණු ව්‍යාල මෘග වූ සිංහයා යම්සේ පරහිංසාවෙහි ඇලුණේ බලාත්කාරයෙන් අල්වාගෙන කන්නේ වේ ද, ස්ත්‍රීහු ද එසේ වෙත්. (නුවණැති) මනුෂ්‍ය තෙම ඔවුන් විශ්වාස නො කරන්නේ ය.
එම්බා යහළු පුණ්ණමුඛය, මොහු වේසීහු, නාරීහු, ගණිකාවෝ පමණක් නො වෙති. යම් මේ වේසීහු ය, නාරීහු ය, ගණිකාවෝ යයි (නාමයෝ) කියනු ලැබෙත් ද, ඔහු බන්‍ධකී නමුදු වෙති. වධිකා (සැමියන් නසන්නෝ) නමුදු වෙත්. මොවුහු (බඳනා ලද හිස් වැසුම් ඇති) සොරුන් වැන්න. විෂ යෙදූ සුරා වැන්න. පැසසුම් කරන වදන් ඇත්තාහු (පණ්‍ය වස්තුවෙහි අගුණ වසා ගුණ ම කියන) වෙළඳුන් වැන්න. ඉස්ස නම් මුවාගේ අඟ මෙන් වහා පෙරළෙන සිතැත්තෝ ය. උරගයකු මෙන් (මුසාවාදී බැවින්) දෙදිව් ඇතියහ. (පුවරු ආදියෙන් වැසුණු) අසූචි වළක් මෙන් (වස්ත්‍රාභරණාදියෙන්) වැසී සිටිනාහු ය. (මහසයුරෙහි) පාතාලය මෙන් (සිත) පිරවීමට දුෂ්කරයහ. (මසට ම ගිජු රකුසියක මෙන් තුටු කිරීමට දුෂ්කරයහ. යමයා මෙන් (කිසිවකු නො හැර) ඒකාන්තයෙන් පැහැර ගන්නෝ ය. ගින්න මෙන් සියල්ල භක්‍ෂණය කරන්නෝ ය. (සියල්ලන් ම සේවනය කරන්නෝ ය.) නදිය මෙන් සියල්ල උසුලාගෙන යන්නෝ ය. (සියල්ලන් භජනය කරන්නෝ ය.) පවන මෙන් කැමති තැනෙක හැසිරෙන්නෝ ය. (හිමවතැ) නේරු පර්‍වතය මෙන් (කිසිවකුට) වෙනසක් නො කරන්නෝ ය. විෂ රුකක් මෙන් නිති පල දරන්නෝ ය. (නිතර රමණීය ලෙස පෙනෙන්නෝ ය.) මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වෙයි.
4118. (ස්ත්‍රීහු නම්) සොරකු මෙන් ද, විෂ මිශ්‍ර සුරාවක් මෙන් ද, (විකිණිය යුතු දෑහි අගුණ වසා ගුණ ම පවසන) වෙළඳකු මෙන් ද වෙති. ඉස්ස නම් මුවාගේ අඟ මෙන් වහා පෙරළෙන්නෝ ය. (බොරු කියන හෙයින්) සර්‍පයකු මෙන් දෙදිව් ඇත්තෝ ය.
4119. (පුවරු ආදියෙන් වැසුණු) අසූචි වළක් මෙන් ප්‍රතිච්ඡන්නයහ. (මහමුහුදෙහි) පාතාලය මෙන් දුෂ්පූරයහ. යමයා මෙන් ඒකාන්තයෙන් පැහැර ගන්නෝ ය. ගින්න මෙන් ද, සියල්ල උසුලාගෙන (ගසා ගෙන) යන නදිය මෙන් ද වෙති. වාතය මෙන් කැමති තැන හැසිරෙන්නෝ වෙති.
4120. (හිමවතෙහි) නෙරු පර්‍වතය මෙන් (වෙතට පැමිණි හැම පුරුෂයන්) එකසේ දකිති. (කිම්පක්ක) නම් විෂ රුක මෙන් නිති පල ඇත්තන් ලෙස පැනෙති. (සැමියා විසින් දුකසේ සපයන ලද) රත්නයන්ට අන්තරායකාරී ස්ත්‍රීහු ගෙහි භොගය නසත්.
යහළු පුණ්ණමුඛය, අන්කුලයෙක්හි නො වැසැවිය යුතු යම් සතරෙක් වෙත් ද, ගොනු ය, දෙන ය, යාන ය, බිරිය ය යන මේ සතර නුවණැත්තේ සිය ගෙයින් වෙන් කොට වාස නො කරන්නේ ය.
4121. ගොනා ද දෙන ද යානය ද බිරිය ද යන සතර නෑ කුලයෙක්හි නො වැසැවිය යුත්තේ ය. රියක් නැත්තෝ රිය පරිභෝග කෙරෙති. අධික බර වහනය කරවීමෙන් ගවයා නසති. අධික දෙවීමෙන් වසුපැටියා නසති. නෑකුලයන්හි දී බිරිය දූෂණය කරනු ලබයි.
යහළු පුණ්ණමුඛය, යම් වස්තුවක් වැඩක් ඇති කල්හි අනර්‍ත්‍ථකර වේ ද එබඳු වස්තු සයෙකි.
4122. දුනුදිය රහිත දුන්න ද, නෑ කුලයෙහි වූ බිරිය ද, පරතීරයෙහි වූ නැව ද, කඩ ඇණය බුන් යානය ද, දුර සිටුනා මිතුරා ද, පවිටු මිතුරා ද යන සය වැඩක් පැමිණි කල්හි ප්‍රයෝජනවත් නො වෙති.
යහළු පුණ්ණමුඛය, ස්ත්‍රිය කරුණු අටෙකින් සැමියා පහත් කොට සිතයි. දිළිඳුබව ය, ගිලන්බව ය, මහලුබව ය, සුරාසොඬබව ය, මෝඩබව ය, ප්‍රමත්තබව ය, හැම කිසෙහි අනුව පවත්නා බව ය, සියලු ධනය දීමෙන් දැ යි යන මේ අට කරුණෙන් යහළු පුණ්ණමුඛය, ස්ත්‍රිය සැමියා අවමන් කොට සිතයි. මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වෙයි.
4123. දිළින්දා ද රෝගියා ද මහල්ලා ද සුරාසොඬහු ද ප්‍රමත්ත වූවහු ද මුළාවට පැමිණි (තමා කෙරෙහි) ඇලුණහු ද කෘත්‍යයන් පිරිහෙළීම කරන්නහු ද සියලු කැමති දෑ දීමෙන් ද (ස්ත්‍රීහු) සැමියාට අවමන් කෙරෙත්.
යහළු පුණ්ණමුඛය, ස්ත්‍රිය නව ආකාරයකින් (ස්වාමියා කෙරෙහි) ද්වේෂය එළවන්නී ය. (සැමියා නොවිචාරා) පුෂ්පාරාමාදියට යන සුලු ද, උයනට යනසුලු ද, ගංතොටට යනසුලු ද, නෑදෑගෙවලට යනසුලු ද, (සන්‍දිට්ඨ සම්භක්ත ආදී) අන් ගෙවලට යනසුලු ද, කැටපතින් බලමින් වස්ත්‍රාභරණාදියෙන් සැරසීමෙහි යෙදෙනසුලු ද, මත්පැන් බොන්නී ද, (කවුළු ආදියෙන්) බලනසුලු ද, (අඟ පසඟ දක්වමින්) දොරකඩ සිටිනසුලු ද වෙයි. යහළු පුණ්ණමුඛය, මේ නව කරුණෙන් ස්ත්‍රිය සැමියා කෙරෙහි ද්වේෂය එළවන්නී ය. මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වේ.
4124. යම් ස්ත්‍රියක් (සැමියා නොවිචාරා) පුෂ්පාරාමාදියට ද, උයනට ද, ගංතොටට ද, නෑකුලයට ද, අන් කුලවලට ද යන ස්වභාව ඇත්තී ද, වස්ත්‍රාදියෙන් සැරසීමෙහි යෙදුනී ද, මත්පැන් පානය කරන්නී ද,
4125. යම් ස්ත්‍රියක් (කවුළු ආදියෙන් නිතර) බලනසුලු ද, යම් ස්ත්‍රියක් (අඟ පසඟ පෙන්වමින්) දොරකඩ සිටින්නී ද මේ නව කරුණින් ස්ත්‍රීහු සැමියා කෙරෙහි ද්වේෂය එළවන්නෝ යි.
යහළු පුණ්ණමුඛය, කරුණු සතලිසකින් ස්ත්‍රිය පුරුෂයා ඉක්මවා හැසිරෙන්නී ය. විජෘම්භනය කරයි. නැමෙයි, (ගමනාදි ඉරියව්වලින්) ලීලා දක්වයි, ඉරි අඳියි, ලජ්ජාවෙයි, නියෙන් නිය ගටයි, පයින් පය ඇක්මෙයි, දඬුවෙන් පොළොවෙහි ලියයි, දරුවකු ගෙන ඔසොවයි, පහතට වඩයි, (ඒ දරුවා) සිඹියි, (දරුවා ලවා) සිඹීම කරවයි, (තොමෝ) බුදියි, (දරුවා ලවා) කවයි, (දරුවකුට කිසිවක්) දෙයි, (පසුව එය) ඉල්වයි, (දරුවා කළ දෑ) අනුව කරයි, උස් හඬින් කියයි, පහත් හඬින් කියයි, මහසෙනග මැද (අපටිච්ඡන්න ව) කියයි, තනිව (පටිච්ඡන්න ව) කියයි, නැටීමෙන්, ගී කීමෙන්, වාදිතයෙන්, හැඬීමෙන්, සැරසීමෙන්, ආභරණ පැළඳීමෙන් නිමිති දක්වයි, මහත් හඬින් සිනාසෙයි, බලයි, කටිය සොලවයි, රහස් පියස සොලවයි, කලවය විවෘත කරයි, කලවය වසයි, පියයුරු පෙන්වයි, කිසිල්ල පෙන්වයි, නැබ පෙන්වයි, ඇස් සාරයි (පොඩි කරයි), බැම ඔසොවයි, තොල හපයි, දිව ලෙලවයි, වස්ත්‍රය මුදයි, වස්ත්‍රය නැවත හඳියි, කේශ බන්‍ධනය ලිහයි, කේශ බන්‍ධනය බඳියි, යහළු පුණ්ණමුඛය, මේ සතලිස් කරුණින් ස්ත්‍රී පුරුෂයා ඉක්මවා හැසිරෙන්නී ය යි.
යහළු පුණ්ණමුඛය, පස්විසි කරුණෙකින් කිපුණු ස්ත්‍රී දතයුත්තී වෙයි. සැමියාගේ ප්‍රවාසය (අන් තැනෙක විසීම) වර්‍ණනා කරයි, ප්‍රවාසයට ගියහු නො සිහි කරයි, (යළි) පැමිණියහුට නො සතුටු වෙයි, ඔහුගේ අගුණ කියයි, ඔහුගේ ගුණ නො කියයි, ඔහුගේ අනර්‍ත්‍ථය පිණිස හැසිරෙයි, ඔහුගේ අර්‍ත්‍ථය පිණිස නො හැසිරෙයි, ඔහුගේ නො කළයුතු කිස කරයි, කළයුතු කිස නො කරයි, දැඩි ලෙස හැඳ පෙරව නිදයි, විමුඛ ව නිදයි, ඒ මේ අත පෙරළෙන්නී කලහ කරන්නී වෙයි, දීර්‍ඝව ආශ්වාස කරයි, දුක් වේදනා පවසයි, නිතර මල මූ සඳහා (බැහැර) යයි, විලොම් ව හැසිරෙයි, පරපුරුෂයකුගේ හඬ අසා කන් සිදුර එළවයි (ඇහුම්කන් දෙයි), භොග විනාශ කරන්නී වෙයි, අසල්වැසියන් සමග (කෙලෙස් වශයෙන්) සන්‍ථවය කරයි, (සොර සැමියාගේ උපධාරණය පිණිස) නික්මුණු පා ඇත්තී වීථි සංචාරයෙහි යෙදුනී වෙයි, සිය සැමියා කෙරෙහි අගෞරවයෙන් ප්‍රදුෂ්ට සිත් ඇත්තී (සැමියා) ඉක්මවා හැසිරෙන්නී වෙයි, නිතර දොරකඩ සිටියි, කිසිලි ද අවයව ද පියයුරු ද දක්වයි, දිගින් දිග ගොස් බලයි, යහළු පුණ්ණමුඛය, මේ පස්විසි කරුණින් කිපුණු ස්ත්‍රී දතයුතු වේ යි.
මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වෙයි.
4126. ඔහුගේ (සැමියාගේ) පිටත වාසය වනයි. බැහැර ගියහු (සැමියා) අනුව ශෝක නො කරයි. ගෙට පැමිණි (සැමියා) දැක සතුටුවීම නො කරයි. කිසි විටෙක සැමියාගේ ගුණ නො කියයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.
4127. සංයම නැත්තී ඔහුගේ අනර්‍ත්‍ථය පිණිස හැසිරෙයි. නො කළයුතු දෑ කරන්නී අර්‍ත්‍ථය ද නසයි. දැඩි කොට හැඳ විමුඛ ව නිදයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.
4128. ඔබ මොබ පෙරළී කලබල කරන්නී වෙයි. දීර්‍ඝ ලෙස ආශ්වාස කරන්නී දුක් වේදනා ඇත්තී යැ යි කියයි. නිතර මලමූකිස පිණිස යයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.
4129. විලොම් ව හැසිරෙයි. නො කළමනා කිස කරන්නී වෙයි. කථා කරන පරපුරුෂයන්ගේ ශබ්දය අසයි. නසන ලද භොග ඇත්තී ක්ලේශ සන්‍ථවය කරයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ ය.
4130. දුකසේ ලද, දුකසේ ගෙනනලද ධනය ද, දුකසේ රැස්කරනලද වස්තුව ද විනාශ කරයි. අසල්වැසියන් සමග ක්ලේශ සන්‍ථවය කරයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.
4131. (සොර සැමියන් සෙවීම පිණිස) බැහැර කරනලද පා ඇත්තී ය. වීථි සංචාරය කරන්නී ය. නිතර සිය සැමියා කෙරෙහි ප්‍රදූෂ්‍ය වූ සිත් ඇත්තී (සිය) සැමියා ඉක්මවා හැසිරෙයි. එසේ ම ගෞරව නැත්තී වෙයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.
4132. පියොවුරු සහ කිසිලි පෙන්වමින් නිතර දොරළඟ සිටී. භ්‍රාන්ත වූ සිත් ඇත්තී දිශානුදිශාවන් බලයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.
4133. සියලු නදීහු වක් වූ ගමන් ඇත්තාහ. සියලු වනයෝ කාෂ්ටමයහ. රහස් තැනක් ලද කල්හි සියලු ස්ත්‍රීහු පව් කරන්නාහ.
4134. ඉදින් මන්ත්‍රණය කිරීමට සුදුසු අවකාශයක් හෝ එබඳු රහස් තැනක් හෝ ලැබේ නම් සියලු ස්ත්‍රීහු ම අන් පුරුෂයකු නො ලද කල්හි පිළකු සමග හෝ පාපකර්‍මය (අනාචාරය) කෙරෙත් මැ නු.
4135. මිනිසුන්ගේ සිත් ඇලුම් කරන්නා වූ නොයෙක් දෙනා කෙරෙහි පිහිටි සිත් ඇත්තා වූ නිග්‍රහයෙන් හික්මවාලිය නො හැක්කා වූ මේ ස්ත්‍රීහු (මිනිසුන් විසින්) මුළු හිතින් තුටු කරවනු ලබන්නාහු නමුත් වේශ්‍යාවෝ වෙත් ද (එහෙයින් ස්ත්‍රීන් කෙරෙහි) විශ්වාස නො කරන්නේ ය. ස්ත්‍රීහු වනාහි තීර්‍ත්‍ථ සම වෙත්.
4136. කණ්ඩරී රජ ය, කින්නරා දෙවි ය යන මොවුන්ගේ යම් නො ඇල්මෙක් වී ද, එය දැක සියලු ස්ත්‍රීහු ඒකාන්තයෙන් ගෘහයෙහි (ස්වකීය) ස්වාමිවරුන් කෙරෙහි නො ඇලෙති යි දත යුතු ය. ඒ එසේ මැ යි. අන්‍ය වූ පිළු පුරුෂයකු (පීඨසප්පි) දැක එබඳු රජු හැර භාර්‍ය්‍යාව පාපකර්‍මය (අනාචාරය) කළා යැ යි කීයේ ය.
4137. අත්‍යන්තයෙන් කැමැත්ත අනුව පැවැත්තා වූ බක නම් රජුගේ ද පාවාරික නම් රජුගේ ද භාර්‍ය්‍යා වූ පංචපාපා තොමෝ තම සිත බැඳුණු තම වසයෙහි සිටි පණිවිඩකරුවකු සමීපයෙහි ලාමක සේ හැසිරුනීය. (එහෙයින්) ස්ත්‍රී එයින් අන්‍ය වූ කවර නම් පුරුෂයකු ඉක්මවා නො හැසිරෙන්නී ද?
4138. මුළු ලොවට අධිපති වූ බඹදත් රජුගේ පිඞ්ගියානී නම් භාර්‍ය්‍යාව තම වසඟයෙහි සිටියකු (අස්ගොව්වකු) සමග අනාචාරයෙහි හැසුරුනී ය. කාමයන් පතන්නා වූ ඕ තොමෝ එය ද (අස්ගොව්වා ද අගමෙහෙසුන් තනතුර ද යන දෙක ම) නො ලැබුවා ය.
4139. බඳනාලද සොරුන් කෙරෙහි පවා ඇලෙන ලාමක වූ වහා පෙරළෙන සිත් ඇත්තා වූ අකෘතඥ වූ ද්‍රෝහී වූ ස්ත්‍රීන්ගේ සිල්වත් ස්වභාවය භූතාවිෂ්ට නො වූ පුරුෂයෙක් නො අදහන්නේ ය.
4140. ඒ ස්ත්‍රීහු කළ දෑ නො දනිත්. කළ යුතු දෑ නො දනිත්. මව හෝ පියා හෝ සහෝදරයා හෝ නො දනිත්. ලජ්ජාවිරහිත වූ ඉක්ම වූ ගුණදම් ඇති ඔවුහු තම චිත්තයාගේ වසඟයට ම යෙත්.
4141. බොහෝ කාලයක් එක්ව විසුවා වූ ප්‍රිය වූ මනාප වූ අනුකම්පා ඇති ප්‍රාණ සම වූ ඒ ස්වාමියා ආපදාපන්න අවස්ථාවන්හි ද කටයුත්තක් පැමිණි කල්හි ද හැරදමති. එබැවින් මම ස්ත්‍රීන්ගේ ස්වභාවය විශ්වාස නො කරමි.
4142. ස්ත්‍රීන්ගේ සිත වනාහි වඳුරාගේ සිත මෙනි. උස් පහත් භේදයක් නැතිව වැටෙන ගස් සෙවණ මෙන් ස්ත්‍රීන්ගේ සිත එක තැනෙක නො පිහිටයි. ගමන්කරන රථචක්‍රයාගේ නිම්වළල්ල මෙන් (ස්ත්‍රීන්ගේ සිත) නොයෙක් අරමුණට පෙරළෙයි.
4143. සොයා බලන්නා වූ ඒ ස්ත්‍රීහු යම් විටෙක පුරුෂයා අයත් ගතයුතු යම් වස්තුවක් දකිත් ද එවිට කාම්බෝජ වැසියන් දියෙහි හටගත් සෙවෙලින් අසකු අල්වාගන්නා මෙන් මෘදු වචනයෙන් ඒ පුරුෂයා තම වසයට ගනිත්.
4144. සොයා බලන්නා වූ ඒ ස්ත්‍රීහු යම් විටෙක පුරුෂයා අයත් ගතයුතු යම් වස්තුවක් නො දකිත් ද (එවිට) ගඟ තරණය කළ, ගඟින් එතෙර වූ තෙනැත්තා පසුර අත්හරින්නා මෙන් ඒ පුරුෂයා හාත්පසින් දුරු කෙරෙත්.
4145. (පුරුෂයන්ගේ සිත් අලවන හෙයින්) ලාටු බඳු වූ ද, සියල්ල භක්‍ෂණය කරන හෙයින් ගින්න බඳු වූ ද, (වේගයෙන් ගලා යන දිය පහර ඇති නදීන් මෙන්) ශීඝ්‍ර (තියුණු) මායා ඇති මේ ස්ත්‍රීහු එගොඩ මෙගොඩ දෙක ම සේවනය කරන්නා වූ නැවක් මෙන් ප්‍රිය වූවහු ද අප්‍රිය වූවහු ද සේවනය කෙරෙත්.
4146. ඒ ස්ත්‍රීහු එකකුට (අයිති) නො වෙති. දෙදෙනකුට ද නො වෙති. විවෘත කරනලද සල්පිළක් බඳු ය. යමෙක් ඒ ස්ත්‍රීන් මගේ යැ යි සිතන්නේ නම් හෙතෙම දැලින් සුළඟ වැළැක්ම ද කරන්නේ ය.
4147. ගංගාව ද මාර්‍ගය ද සුරාපානශාලාව ද සභාව ද පැන් හල ද යන මොහු යම්සේ වෙත් ද, ලෝකයෙහි ස්ත්‍රීහු ද එබඳු වෙත්. ඔවුනට මර්‍ය්‍යාදාවක් (සීමාවක්) නැත.
4148. මේ ස්ත්‍රීහු වනාහි ගින්න හා සම වෙති. කෘෂ්ණ සර්‍පයකුගේ හිසට බඳු උපමා ඇත්තාහ. (තණ කෑ තැන් අත්හැර) පිටත අලුත් අලුත් තණ සොයා යන ගෙරින් සේ ස්ත්‍රීහු උතුම් පුරුෂයකු (ධන නැත්තහු හැරදමා ධනවතකු) සොයති.
4149. ගින්න ද ඇතා ද කෘෂ්ණසර්‍පයා ද රජු ද සියලු ස්ත්‍රීහු ද යන මොවුන් මනුෂ්‍ය තෙම සිහි ඇත්තෙක් ව සේවනය කරන්නේ ය. ඒකාන්තයෙන් ඔවුන්ගේ ඇති තතු දැනගැනීම දුෂ්කර ය.
4150. විශිෂ්ට රූ ඇත්තී ද බොහෝ දෙනාට ප්‍රිය තෙනැත්තී ද නෘත්‍ය ගීතයන්හි දක්‍ෂ වූ ස්ත්‍රිය ද අනෙකකුගේ භාර්‍ය්‍යාව ද සේවනය නො කටයුත්තී ය. ධන හේතුවෙන් ද සේවනය නො කටයුත්තී ය. මේ ස්ත්‍රීහු පස්දෙන සේවනය නො කටයුත්තාහු වෙති යි කුණාල පක්‍ෂියා කීය.
භවත්නි, ඉක්බිති ආනන්‍ද නම් ගිජුලිහිණි රජ කුණාල පක්‍ෂි රාජයාගේ කථාව පිළිබඳ මුල මැද අග තේරුම් ගෙන එවේලෙහි මේ ගාථාවන් කීය.
4151. ඉදින් යම් පුරුෂයෙක් ධනයෙන් සම්පූර්‍ණ වූ පෘථිවිය සම්මත වූ යම් ස්ත්‍රියකට දෙයි ද, ඕ ඉඩක් ලැබ ඒ පුරුෂයා ද ඉක්මවන්නී ය. එහෙයින් එබඳු ස්මෘති විරහිත ස්ත්‍රීන්ගේ වසයට නො යන්නේ ය.
4152. උත්සාහවත් නො පසුබට පැවතුම් ඇති ප්‍රිය වූ මන වඩන තුරුණු වියෙහි සිටි සැමියා පවා විපත්වලදී ද ඇවැසි කටයුත්තක් පැමිණි කල්හි ද (ස්ත්‍රීහු) යම් හෙයකින් හැර දමත් ද එහෙයින් ස්ත්‍රීන්ගේ (සදාචාර ස්වභාවය) විශ්වාස නො කරමි.
4153. (මෝ තොමෝ) මා කැමති වන්නී යැ යි පුරුෂ තෙම ස්ත්‍රිය විශ්වාස නො කරන්නේ ය. මා සමීපයෙහි හඬා යයි ස්ත්‍රිය විශ්වාස නො කරන්නේ ය. යම් හෙයකින් එගොඩ මෙගොඩ දෙක ම සෙවුනා නැව මෙන් මේ ස්ත්‍රීහු ප්‍රිය අප්‍රිය දෙදෙන ම සේවනය කෙරෙත් ද එහෙයිනි.
4154. පැරණි කොළ ඇතිරිය විශ්වාස නො කරන්නේ ය. පැරණි මිතුරකු වූ හොරා විශ්වාස නො කරන්නේ ය. මගේ යහළුවෙකැ යි රජු විශ්වාස නො කරන්නේ ය. දස දෙනකුන්ගේ මව වුව ද ස්ත්‍රිය විශ්වාස නො කරන්නේ ය.
4155. බාලයන් විසින් ඇලුම් කරනු ලබන, ඉක්මවන ලද සිල් ඇති, අසඤ්ඤත වූ ස්ත්‍රීන් කෙරෙහි විශ්වාස නො කටයුතු ය. අත්‍යන්ත ප්‍රේමයෙන් යුතු තෙනැත්තහුගේ භාර්‍ය්‍යාව ද විශ්වාස නො කටයුතු ය. ස්ත්‍රීහු තීර්‍ත්‍ථ සම වෙත් ද එහෙයිනි.
4156. (යම් හෙයකින් කිපුණා වූ හෝ අන් පුරුෂයන් කෙරෙහි ඇලුණා වූ හෝ ස්ත්‍රීහු) සැමියා නසන්නාහු සිඳින්නාහු සිඳවන්නාහු බොටුව සිඳ ලේ බොන්නාහු වෙත් ද එහෙයින් ලාමක අදහස් ඇති සංයම නැති ගංගා තීර්‍ත්‍ථ බඳු ස්ත්‍රීන් කෙරෙහි ස්නෙහ නො කරන්නේ ය.
4157. ඒ ස්ත්‍රීන්ගේ බොරුව සත්‍යය මෙනි. සත්‍යය බොරුව මෙනි. තණ බිමෙන් පිටත් තැන්හි හොඳ හොඳ තණ සොයන ගවයන් මෙන් (ඔවුහු) අන් පුරුෂයන් සොයත්.