3789. රාජ්‍යහාරය උසුලන්නා වූ මහරජ, මාපියෝ ද සහෝදරයෝ ද සහෝදරියෝ ද ඤාති බන්‍ධූහු ද යන සියල්ලෝ ම වැඩිමහල්ලාහට භාර වෙති යි දැනැගනුව.
3790. රථේශ්වරය, මහත් වූ බරක් ගත් නැවියෙක් අභිමතස්ථානය කරා නිරුපද්‍රැත ව නැව ගෙනයාමට යම් සේ උත්සාහ කෙරේ ද එ මෙන් ම මම ජ්‍යේෂ්ඨාපචායන ධර්‍මයෙහි අප්‍රමාද වෙමි. මම මුළු ලෝ වැස්සාට ම ජ්‍යේෂ්ඨ ද වෙමි. එ බැවින් මම ම නන්‍ද සමඟ මාපියන් උවටැන්හි යෙදීමට සුදුසු වෙමි. (කියා සෝණ පණ්ඩිත තෙමේ කීයේ ය.)
3791. වැසී තිබුණු ජෙට්ඨාපචායන ධර්‍මයෙහි දැනුම ලැබෙන පරිදි අපට කෝසිය ගෝත්‍රික තාපස තෙම ධර්‍මය ප්‍රකාශ කෙළේ ය. කඳු මුදුන්හි දැල් වූ ගින්නෙකින් හාත්පස රූපයන් බැබැළී පෙනෙන්නාක් මෙනි.
3792. ප්‍රභාව උපදවමින් පෘථිවිය බබුළුවන්නා වූ සූර්‍ය්‍ය තෙම උදාවෙමින් යහපත් වූත් අයහපත් වූත් රූපයන් සත්‍වයනට යම් සේ ප්‍රකාශ කෙරෙයි ද, එ මෙන් ම කෝසිය ගෝත්‍රික තාපස තෙමේ අපට ධර්‍මය ප්‍රකාශ කෙළේ යයි රජ තෙම කී ය.
3793. මෙ සේ කමාව ඉල්ලන්නා වූ මාගේ ඇඳිලිබැඳීම ඔබ නො පිළිගන්නහු නම් ඔබ ම මාපියන් උවටැන් කරව. මම ඔබ හා එක් ව හැසිරෙන්නෙමි. වතාවත් කරන්නෙක් වන්නෙමි. දිවා රෑ දෙක්හි අනලස් ව ක්‍රියා කරන්නෙමි යි නන්‍ද පණ්ඩිත තෙමේ කී ය.
3794. නන්‍දය, සත්පුරුෂයන් විසින් දේශනා කරන ලද සද්ධර්‍මය නුඹ ඒකාන්තයෙන් දන්නෙහිය. යහපත්වූ යහපත් හැසිරීම් ඇත්තෙක්වූ නුඹ මට අතිශයින් ප්‍රියය.
3795. පින්වත් පියාණන්ටත් පින්වත් මෑණියන්ටත් මෙ කරුණ කියමි. මගේ වචනය අසනු මැනවි මේ මවු පිය උපස්ථානය මට කිසි විටෙකත් ස්වල්පමාත්‍රවූ ද බරෙක් නොවේ ම ය.
3796. මාපියන්හට සුව ගෙනදෙන පරිදි උපස්ථාන කළාවූ ඒ මා, නන්‍ද තෙම පැරැත්ත කොට උපස්ථානය කිරීම ඉල්ල යි.
3797. ශාන්ත වූ බ්‍රහ්මචාරී වූ තමුන්නාන්සේලා දෙදෙන අතුරෙන් යමෙක් කැමැති වේ ද, ඔහුගේ කැමැත්තෙන් නන්‍ද තෙමේ කවරකුට උපස්ථාන කෙරේදැයි නියම කරගනු මැනැවි යි සෝණ පණ්ඩිත තෙම කීය.
3798. පුත්‍ර වූ සොණය, අපි තොප ඇසුරුකළෝ වෙමු. තොප විසින් අනුදන්නා ලද මම බ්‍රහ්මචාරීවූ නන්‍දයා මස්තකයෙහි සිඹින්නට ලබන්නෙමි යි මව කීවා ය.
3799. පවනින් කම්පිත වූ ඇසතු දල්ලක් මෙන් බොහෝ කලකින් නන්‍දයා දැක මගේ හෘදය කම්පා වෙයි.
3800. යම් කලෙක නිද්‍රෝපගත වූ මම ආවා වූ නන්‍දයා සිහිනෙන් දකිම් ද, එකල්හි ඔදවැඩීගිය සතුටු සිත් ඇත්තියක් වෙම් ද, අපගේ ඒ මේ නන්‍ද තෙම මෙහි ආයේ ය.
3801. යම් කලෙක්හි පිබිද ආවාවූ නන්‍දයා නො ම දක්නෙම් ද එවිට බොහෝ සෙයින් ශෝකය හටගනී. මහත් වූ දොම්නසට ද පැමිණෙමි.
3802. ඒ මම අද බොහෝ කාලයකින් පැමිණියා වූ ද නන්‍දයා දකිමි. මගේ ස්වාමියාහට ද මට ද ප්‍රිය වූ අපගේ නන්‍දයා ගෙට පිවිසේවා.
3803. යම් හෙයෙකින් නන්‍දයා පියාට ද ඉතා ප්‍රියයෙක් වේ ද එහෙයින් නන්‍ද තෙමේ ගෙදරින් පිට නො වෙසේවා, පුත්‍ර සොණය, නන්‍දයා යමක් කැමතිවේ නම් එය ලබාවා. නුඹ පියාට උපස්ථාන කරව. නන්‍ද තෙමේ මට උපස්ථාන කෙරේවා.
3804. නන්‍ද ඍෂිවරය, පළමුකොට ම පිහිටවූ ද මොළොක් සිත් ඇත්තා වූ ද ලේ කිරි කොට දුන්නා වූ ද අපගේ මව් තොමෝ නුඹ කැමැති වෙයි. ඒ මවට උපස්ථාන කිරීම ස්වර්‍ගලෝකයට මාර්‍ගය වෙයි.
3805. පෙර කිරි දුන්නාවූ ද මව් තොමෝ පින් රැස්කර දෙන්නී වෙයි. ඒ මවට උපස්ථාන කිරීම ස්වර්‍ගලෝකයට මාර්‍ගය වන්නේය. නන්‍ද ඍෂිවරය, ඒ මව නුඹ කැමතිවන්නී ය.
3806. පුත්‍ර ඵලය බලාපොරොත්තු වන්නාවූ මව් තොමෝ දෙවියන් වඳියි. නැකැත්ද ඍතු හා අවුරුදු ද විචාරයි.
3807. ඔසප් ව ස්නානය කළා වූ ඇයට දරු ගැප් පිහිටීම වෙයි. ඒ ගැබින් ඕ තොමෝ දොළදුක් ඇත්තී වෙයි. එවිට සෙනෙහස උපදී. එහෙයින් මවුතොමෝ සුහදායයි කියනු ලැබේ.
3808. අවුරුද්දක් හෝ ඊට අඩු කාලයක් හෝ ගැබ පරිහරණය කොට දරුවා වදයි. එහෙයින් ඕ තොමෝ දරුවන් වදානුයි “ජනෙත්ති” යි කියනු ලැබේ.
3809. තන කිරි දීමෙන් ද ගී කියා නැළවීමෙන් ද ශරීරාංශයට හොවාගෙන සුඛස්පර්‍ශය ඇතිකිරීමෙන් ද අඬන පුත්‍රයා තුටු කරයි. එහෙයින් මව “තෝසෙන්තී” යි කියනු ලැබේ.
3810. නැවත දරුණු වූ අව් සුළං ඇති කල්හි මමායනය කොට නොදන්නා වූ දරුවා බලයි. එහෙයින් “පෝසෙන්තී” යි කියනු ලැබේ.
3811. මවගේ යම් ධනයක් වෙයි ද පියාගේ යම් ධනයකුත් වේ ද ඒ දෙයාකාරවූ ම ධනය අපගේ පුත්‍රයාට මේ ධනය වන්නේ යයි මේ පුත්‍රයා සඳහා ආරක්‍ෂාකොට තබයි. පුත්‍රය මෙසේ පිළිගනුව, මෙසේ ක්‍රියා කරව, යනාදීන් කියමින් මව වෙහෙස වන්නීය.
3812. පුතු යොවුන් වියට පත් කල්හි පරදාරාවන් කෙරෙහි ඇලුම්කොට ගෙදර නො එන්නාවූ පුත්‍රයා බලමින් වෙහෙස වෙයි.
3813. මෙසේ දුකසේ පෝෂණය කරනලද පුරුෂයෙක් මවට උපස්ථාන නොකෙරේද, මව කෙරෙහි උපස්ථාන නොකිරීම් සංඛ්‍යාත මිථ්‍යාචර්‍ය්‍යයෙහි හැසිර හෙතෙමේ නිරයේ උපදී.
3814. මෙසේ දුකසේ පෝෂණය කරනලද පුරුෂයෙක් පියාට උපස්ථාන නො කෙරේද, පියා කෙරෙහි උපස්ථාන නො කිරීම් සංඛ්‍යාත මිථ්‍යාචර්‍ය්‍යයෙහි හැසිර, හෙතෙමේ නිරයෙහි උපදී.
3815. මවට උපස්ථාන නොකොට ධන කැමැත්තවුන්හට ලැබී තිබෙන ධනය පවා විනාශ වෙයි, හෙතෙමේ දුකට හෝ පැමිණෙයි කියා ද මා විසින් අසන ලදී.
3816. පියාට උපස්ථාන නොකොට ධන කැමැත්තවුන්හට ලැබී තිබෙන ධනය පවා වැනසේය යි ද හෙතෙමේ දුකට හෝ පැමිණේයයි ද මා විසින් අසන ලදී.
3817. සතුට ද ප්‍රමෝදය ද හැමකල්හි සිනාව හා ක්‍රීඩාව ද මවට උපස්ථාන කොට නුවණැත්තාහට ලැබිය හැකිය.
3818. සතුට ද ප්‍රමෝදය ද හැමකල්හි සිනාව හා ක්‍රීඩාව ද පියාට උපස්ථාන කොට නුවණැත්තාට ලැබිය හැකිය.
3819. මේ ලෝකයෙහි දානය ද ප්‍රියවචනය ද වැඩ සිදුකරදීම ද ජෙට්ඨාපචායන ධර්‍මයන් පුරමින් පිරිස් මැදදීත්, රහසිගතවත් හැමතන්හිදී ම වැඳීමාදී ක්‍රියා සමව කිරීමයයි කියනු ලබන සමානාත්මතාවත් වේද,
3820. ලෙව්හි මේ සංග්‍රහයෝ වනාහි යන්නාවූ රියට කඩ ඇණය මෙන් වෙති. ඉදින් මේ සංග්‍රහයෝ නොවන්නාහු නම් පුත්‍රයකු වීම පමණින් මව බුහුමනක් හෝ පූජාවක් හෝ නො ලබන්නීය. පුත්‍රයකු වීම පමණින් පියා ද බුහුමනක් හෝ පූජාවක් හෝ නො ලබන්නේ ය.
3821. යම් හෙයකින් නුවණැත්තෝ මේ සංග්‍රහයන් මනා කොට දනිද්ද, එහෙයින් ශ්‍රේෂ්ඨබවට පැමිණෙති. ඔව්හු ප්‍රශංසා කටයුත්තෝ ද වෙති.
3822. පුත්‍ර ප්‍රජාවට අනුකම්පා කරන්නා වූ මවුපියෝ වනාහි බ්‍රහ්මසමයහ, පූර්‍වාචාර්‍ය්‍යහ, ආහුනෙය්‍යහ යි කියනු ලැබෙත්.
3823. එහෙයින් නුවණැත්තේ ඔවුන් වඳින්නේය. නැවත ආහාර දීමෙන් ද පානවර්‍ග දීමෙන් ද වස්ත්‍ර දීමෙන් ද සයනාසන දීමෙන් ද ඇඟ ඉලීමෙන් ද නෑවීමෙන් ද පා සේදීමෙන් ද සත්කාර කරන්නේ ය.
3824. මාපියන් කෙරෙහි ඒ උපස්ථාන කිරීම නිසා නුවණැත්තෝ මෙලොවදී ම ඔහුට පසසත්. පරලෙව්හිදී හෙතෙමේ ස්වර්‍ග ලෝකයෙහි ඉපිද සතුටුවේය යි සෝණ පණ්ඩිත තෙම ධර්‍ම දේශනා කෙළේ ය.
සෝණනන්‍ද ජාතක යි.
සත්තති නිපාතය නිමියේ ය.
එහි උද්දානය:
සත්තති නිපාතයෙහි කුසජාතක යැ සෝණනන්‍ද ජාතකයැයි ජාතක දෙකෙකි.
21. අසීති නිපාතය
1. චුල්ලහංස ජාතකය
3825. සුමුඛය, ස්නේහවශයෙන් නො බලන්නා වූ හංසයෝ බැහැර යෙති. තෝ ද යව, බලාපොරොත්තු නො වව. පාසයෙහි බැඳුණු තැනැත්තා කෙරෙහි යහළු බවෙක් නැතැ යි හංසරාජ තෙම කීයේ ය.
3826. හංසරාජය, මම යන්නෙම් හෝ වේවා නො යන්නෙම් හෝ වේවා. එයින් නොමැරෙන්නෙක් නො වෙමි. සුවපත් වූ ඔබ ඇසුරු කොට දුකට පැමිණියා වූ ඔබ කෙසේ හැරදමා යන්නෙම් ද?
3827. මෙහි ඔබ සමග මරණය හෝ ඔබගෙන් වෙන් ව ජීවත්වීම හෝ වන්නේ ය. ඉදින් යම් ලෙසෙකින් ඔබගෙන් වෙන් ව ජීවත්වන්නේ නම් එයට වඩා මරණය උතුමි.
3828. මහරජ, මෙසේ විපතට පත් වූ ඔබ අත්හැරීම ය යන යමක් ඇද්ද එය සත්පුරුෂ ධර්‍මයෙක් නො වේ. පක්‍ෂිරාජය, ඔබට යම් දෙයක් වේ නම් එය මට ද රුචි ය.
3829. සුමුඛය, පාසයෙන් බැඳුණහුට මුළුතැන්ගෙය හැර අන් කවර ගතියෙක් ද? සිතියහැකි නුවණැත්තා වූ පාස විරහිත තට එය කෙසේ නම් රුචි වේ ද?
3830. පියාපත් ඇති සුමුඛය, මාගේ ද තොපගේ ද යන දෙදෙනාගේ ජීවිත විනාශය ඇති කල්හි අප දෙදෙනාට හෝ සෙසු නෑයන්ට හෝ කවර නම් යහපතක් හෝ දක්නෙහි ද?
3831. රන්වන් පියාපත් දෙක ඇති සුමුඛය, අන්‍ධයකු විසින් අඳුරෙහි කරනලද්දක් මෙන් ඔබ විසින් යම් ප්‍රාණත්‍යාගයෙක් කරන ලද්දේ ද, එහි ලා ඔබ කිනම් ප්‍රයෝජනයක් දක්නහු ද?
3832. පක්‍ෂිරාජය, කෙසේ නම් ධර්‍මයෙහි අර්‍ත්‍ථය නො දන්නෙහි ද, ධර්‍මය තෙම පුදනලද්දේ ම සත්‍වයනට දියුණුව පෙන්වයි.
3833. ඒ මම ධර්‍මය ද ධර්‍මයෙන් සිදුවන යහපත ද දක්නෙමි. ඔබ කෙරෙහි භක්තිය දකිමින් ජීවිතය බලාපොරොත්තු නො වෙමි.
3834. යම් මිත්‍රයෙක් ධර්‍මය සිහි කරමින් ජීවිතය හේතුකොට ගෙන ද විපතේ දී මිත්‍රයා නො හරී නම් ඒකාන්තයෙන් ම එය සත්පුරුෂ ධර්‍මයෙකි.
3835. ඒ මේ සත්පුරුෂධර්‍මය ද නුඹ විසින් පුරුදු කරන ලදී, මා කෙරෙහි භක්තිය ද ප්‍රකට කරනලදී. මළපුඩුවෙහි බැඳුණු මට මේ වැද්දා කැමැත්තක් කෙරේවා, නුඹ මා විසින් අනුදන්නාලද්දේ යව.
3836. තවද මෙසේ පාසයෙහි බැඳී කල්ගිය කල්හි ඤාතීන් උදෙසා මා විසින් කිරීමට බැඳී පවත්නා යම් යුතුකමෙක් වේ ද, ඤාණවන්තය එය නුඹ විසින් පිරිමැසිය හැකි වන්නේ ය.
3837. ආර්‍ය්‍ය පැවතුම් ඇති උතුම් වූ හංසයන් දෙදෙනා මෙසේ කථා කරමින් සිටිය දී ම ගිලනුන්ට මාරයා මෙන් වැද්දා පෙනුණේ ය.
3838. බොහෝ කලක් හිතවත් වූ ඒ පක්‍ෂීන් දෙදෙනා සතුරු වැද්දා දැක නිශ්ශබ්ද වූහ. අසුනෙන් නො සෙල්වුණාහ.
3839. පක්‍ෂීන්ට සතුරු වූ වැදි තෙම මරණ භයින් ඒ මේ අත උඩට පනින හංසයන් දැක ඔවුන් වෙත වේගයෙන් ළංවීය.
3840. ඒ වැදි තෙම වේගයෙන් පැමිණ ඒ උතුම් පක්‍ෂිරාජයන් වෙත එළඹ බැඳුණහු ය යි, සිතමින් කම්පිත විය.
3841. මළපුඬුවෙහි බැඳි හුන්නා වූ එකකු ද නැවත නො බැඳී ආදීනව බලමින් බැඳූණහු සමීපයෙහි හුන් අනෙකකු ද දැක්කේ ය.
3842. එහෙයින් හෙතෙම හටගත් විමති ඇත්තේ ම පක්‍ෂි සමූහයාට අධිපති වූ හොඳින් වැඩුණු සිරුරු ඇති එක්ව හුන්නා වූ ඒ ශ්වේතහංසයන් දෙදෙනාට මෙසේ කී ය.
3843. මේතෙම යම් හෙයෙකින් මහත් වූ පුඬුවෙහි බැඳුණේ වේ ද එහෙයින් දිශාවකට පලායෑම නො කෙරෙයි. එහෙත් බලවත් පියාපත් ඇති නො බැඳුණු තෝ කුමක් නිසා නො යන්නෙහි දැ යි ඇසී ය.
3844. මිදුණා වූ තෝ බැඳුණා වූ මොහු සමීපයෙහි හිඳින්නෙහි ය. තට මේ පක්‍ෂියා කවරෙක් ද? අනික් පක්‍ෂීහු මොහු හැර යත්. තනි නුඹ පමණක් කුමක් නිසා නො යන්නෙහි ද?
3845. පක්‍ෂීන්ගේ සතුරු වූ වැදි පුත්‍රය, මෙතෙමේ මාගේ රජ ය. ප්‍රාණසම යහළුවා ය. මරණය පැමිණෙන තුරු මම මොහු අත් නො හරින්නෙමි.
3846. මේ පක්‍ෂිරාජ තෙම අටවනලද මලපුඬුව කෙසේ නම් නො දැක්කේ ද? උසස් බවට පත්වූවන් විසින් විපත්ති දැනීම නම් වූ කාරණය දැනගන්නට වටනේ ය.
3847. යම් කලෙක්හි පිරිහීමෙක් වේ ද, ජීවිත විනාශය පැමිණියා වූ ඒ කාලයෙහි පුරුෂ තෙමේ දැලට ද මළපුඬුවට ද ළංව සිටියත් නො දැනගනී.
3848. මහාප්‍රාඥය, යළි එක් කරුණක් ඇත. අටවනලද්දා වූ මළපුඬු බොහෝ වෙති. එසේ ද වුවත් මෙසේ ජීවිත විනාශය පැමිණි කල්හි සැඟැවුණු මළපුඬුවට පැමිණ බැඳෙත් යයි වැද්දා කීයේ ය.
3849. වැද්දාණෙනි, නුඹ සමග වූ මේ සම්භාෂණය සැපවූ විපාක ඇත්තක් වන්නේ නම් අපට යෑමට අවසර දෙන්නෙහි ය. අපගේ ජීවිතය ද දෙන්නෙහි යයි සුමුඛ තෙම කීයේ ය.
3850. නුඹ මා විසින් නො බඳනා ලද්දෙහි ය. තොපගේ වධය ද මම නො කැමැත්තෙමි. මෙයින් නික්ම කැමැති තැනකට වහා ගොස් බොහෝ කලක් නිරුපද්‍රැත ව ජීවත් වව යි වැද්දා කීයේ ය.
3851. මොහුගේ ජීවිතයෙන් වෙන් ව මම ජීවත්වීම නො කැමැත්තෙමි. ඉදින් නුඹ එකකුගෙන් තුටුවෙහි නම් මොහු මුදවා මා කව.
3852. අපි දෙදෙන උස මහතින් ද වයසින් ද සම වෙමු. මේ මාරුකිරීමෙන් නුඹට ලාභයෙන් අඩුවක් නැත්තේ ය.
3853. එහෙයින් සලකාබලව, අප කෙරෙහි තොපගේ ආසාවක් වේ නම් පළමු ව මා පාසයෙන් බඳුව. පසුව පක්‍ෂි රාජයා මුදාලව.
3854. එපමණෙකින් ම තොපට ලාභය ද වන්නේ ය. මාගේ ඉල්ලීම ද කරන ලද්දේ වෙයි. හංසයන් සමග දිවි ඇති තාක් මෛත්‍රිය ද තට වන්නේ ය යි සුමුඛ තෙම කී ය.
3855. පක්‍ෂිරාජය, (තොපගේ ඇවිටිල්ල නිසා මුදන ලද බැවින්) තා විසින් මුදනලද්දා වූ මෙතැනින් ගිය මේ පක්‍ෂියා මිත්‍රාමාත්‍යයෝ ද ස්වාමීහු ද අඹු දරුවෝ ද නෑයෝ ද යන මහත් සමූහයා දකිත්වා.
3856. යම්සේ නුඹ ධෘතරාෂ්ට්‍ර නම් පක්‍ෂි රාජයාහට ප්‍රාණය හා සම යහළුවා වෙහි ද, එබඳු යහළුවෝ බොහෝ දෙනකුන්ට නැත.
3857. ඒ ඔබගේ යහළුවා මුදමි. ඒ පක්‍ෂිරාජ තෙම ඔබ අනුව යන්නෙක් වේවා. වහා ම මෙයින් ගොස් නෑ සමූහයා මැද රුචි පරිදි බබළව යි වැද්දා කී ය.
3858. මුදනලද ස්වාමියා කරණකොටගෙන ප්‍රමුදිත වූ ස්වාමි ගෞරවය ඇති ඒ සුමුඛ නම් හංස තෙම කනට සුව එළවන්නා වූ වචන කියමින් මෙසේ ප්‍රකාශ කෙළේ ය.
3859. මුදනලද හංසරාජයා දැක මම අද යම්සේ සතුටු වෙම් ද, වැදි පුත්‍රය, ඔබ ද සියලු නෑයන් සමග එසේ ම තුටු වව.
3860. නුඹ යම්සේ ධනය ලබන්නෙහි ද, මේ හංසරාජ තෙමේත් කිසියම් නපුරක් නො දක්නේ ද, එලෙස මම තට අනුශාසනා කරමි. මා සමග එව.
3861. නොබැඳි ප්‍රකෘති ස්වභාවයෙන් කද දෙකෙළවර සිටි අප දෙදෙන වහා අන්තඃපුරයට ගෙන ගොස් රජුට පෙන්වව.
3862. මහරජ, මොහු වනාහි ධෘතරාෂ්ට්‍ර නම් වූ හංසයන්ගේ අධිපතීහු වෙති. මෙතෙමේ හංසයන්ගේ රජ ය. අනෙක් තැනැත්තා හංස සේනාපති වෙයි.
3863. රජ තෙමේ මේ හංස රාජයා දැක ප්‍රීතිමත් යහපත් සිතැත්තෙක් ව සතුටු වූයේ නිසැක ව ම නුඹට බොහෝ ධනය දෙන්නේ ය කියා සුමුඛ නම් හංසයා කීයේ ය.
3864. ඔහුගේ ඒ වචනය අසා වැදි තෙම කායකර්‍මයෙන් එය සම්පාදනය කෙළේ ය. නොබැඳි ප්‍රකෘති ස්වභාවයෙන් කද දෙකෙළවර සිටි හංසයන් දෙදෙන වහා අන්තඃපුරයට ගෙන ගොස් රජුට පෙන්වී ය.
3865. මහරජ, මොහු වනාහි ධතරට්ඨ නම් වූ හංසයන්ගේ අධිපතීහු වෙති. මෙතෙමේ හංසයන්ගේ රජ ය. අන්‍යයා හංස සේනාපති ය.
3866. මේ පක්‍ෂීහු කෙසේ නම් තොපගේ අතට පත්වූහු ද? වැදි තෙම කෙසේ නම් මහත්බවට පත් මේ හංසයන්ගේ අයිතිකරුවා වී ද?
3867. මහරජ, පක්‍ෂීන්ගේ ජීවිත විනාශය සිදු කරන්නා වූ යම් යම් තැන් තිබේ නම් ඒ ඒ තැන්වල පිහිටි මඩ වගුරුවල මා විසින් මළ පුඬු යොදනලදී.
3868. හංසරාජ තෙම ළංවැ එබඳු මළ පුඬුවෙක බැඳුණේ ය. නොබැඳුණු මේ සේනාපති හංස තෙමේ ඒ බැඳුණු හංසයා සමීපයෙහි වූයේ මට මෙසේ කී ය.
3869. ස්වාමියාගේ යහපත පිණිස උත්සාහ කරන්නා වූ ධර්‍මයෙහි යෙදුණා වූ පක්‍ෂි තෙම අප වැනි අනාර්‍ය්‍යයන් විසින් නො කටහැකි වූ තමන්ගේ උතුම් අදහස ප්‍රකාශ කෙළේ ය.
3870. ජීවත්වීමට සුදුසු වූ මේ හංස තෙම තම දිවි හැරපියා ස්වාමියාගේ ගුණ වණමින් ළඟ හිඳගෙන ස්වාමියාගේ ජීවිතය මගෙන් ඉල්ලී ය.
3871. ඔහුගේ ඒ වචනය අසා මම ප්‍රසාදයට පැමිණියෙමි. එහෙයින් ඔහු මළපුඬුවෙන් මිදුවෙමි. ඥාතීන් සමග සුවසේ වසන්නට අනුදත්තෙමි.
3872. මුදනලද ස්වාමියා කරණකොටගෙන ප්‍රමුදිත වූ ස්වාමි ගෞරවය ඇති ඒ සුමුඛ නම් හංස තෙම කනට සුව එළවන වචන කියමින් මෙසේ ප්‍රකාශ කෙළේ ය.
3873. මුදනලද හංසරාජයා දැක මම අද යම්සේ තුටු වෙම් ද, වැදිපුත්‍රය, ඔබ සියලු නෑයන් සමග එසේ තුටු වව.
3874. නුඹ යම්සේ ධනය ලබන්නෙහි ද, මේ හංසරාජ තෙමේත් කිසියම් නපුරක් නොදක්නේ ද, එලෙස මම තට අනුශාසනා කරමි. මා සමග එව.
3875. නොබැඳි ප්‍රකෘති ස්වභාවයෙන් කද දෙකෙළවර සිටි අප දෙදෙන වහා අන්තඃපුරයට ගෙනගොස් රජුට පෙන්වව.
3876. මහරජ, මොහු වනාහි ධතරට්ඨ නම් වූ හංසයන්ගේ අධිපතීහු වෙති. මේ හංසයන්ගේ රජ ය. අනෙක් තැනැත්තා නම් හංස සේනාපති ය.
3877. මහරජ තෙමේ මේ හංස රාජයා දැක ප්‍රීතිමත් යහපත් සිතැති ව සතුටු වූයේ නිසැක ව ම නුඹට බොහෝ ධනය දෙන්නේ ය. කියා මේ සුමුඛ හංසයා කීයේ ය.
3878. මෙසේ මොහුගේ වචනයෙන් මේ දෙදෙන මා විසින් ගෙන එන ලද්දාහු වෙති. මේ මානස නම් විලෙහිදී ම මොහු දෙදෙන චිත්‍රකූට පර්‍වතයට යනු පිණිස මා විසින් අනුදන්නා ලද්දාහ.
3879. මෙසේ සතුරන් අතට පත් පරම ධාර්මික වූ ද්විජ නමි වූ ඒ මේ පක්‍ෂී තෙම මා වැනි වැද්දකුගේ පවා මෛත්‍රිය පහළ කෙළේ ය.
3880. දේවයන් වහන්ස, මේ වනාහි ඔබ වහන්සේට ගෙනෙන ලද තුටුපඬුරෙකි. මුළු වැදිගමෙහි මෙබඳු අනෙක් පඬුරක් නො දකිමි. නරශ්‍රේෂ්ඨ වූ මහරජ එය බලනු මැනවි.
3881. හංසරාජ තෙම රන්මුවා යහපත් පුටුවෙහි හුන් ඒ සකුල නම් රජු දැක කනට සුව එළවන්නා වූ බස් බෙණෙමින් මෙසේත් කී ය.
3882. පින්වත් රජුට යහපත් ද? පින්වතාට ආරෝග්‍යය තිබේ ද? කිම, සමෘද්ධ වූ මේ රට දැහැමින් අනුශාසනා කරන්නෙහි ද?