Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 4401-4500 න් 7679

3691. සුන්‍දර වූ දියණියනි, යම් කුසරාජභවනයෙක්හි මංගල අශ්ව තෙම හේසාරව පවත්වා ද, මනාව හික්මුණු ගන්‍ධර්‍ව කුමාරයෙක් දොරටුවෙහි සිටිමින් නොයෙක් තූර්‍ය්‍යභාණ්ඩ ගෙන උපහාර කෙරේ ද, ඊට වැඩි සුවය කුමක් ද?
3692. සුන්‍දර වූ දියණියනි, මොනරුන් හා කොස්ලිහිණියන් විසින් කරන ලද හඬ ඇති, කොවුලන් විසින් මනා ව පවත්වන ලද නාද ඇති, කුසරාජ භවනයෙහි සැපතට වඩා කවර නම් සුවයෙක් ද?
3693. යමෙක් අප දුකින් මුදන්නේ ද? සතුරන් මඬින්නා වූ, අන් රටවල් යටත් කරගන්නා වූ, මහත් ප්‍රඥා ඇති ඒ කුසරජ තෙම කොහි ද?
3694. යමෙක් අප දුකින් මුදන්නේ ද, සතුරන් මඬින්නා වූ අන්රටවල් යටත් කරගන්නා වූ මහත් ප්‍රඥා ඇති ඒ කුසරජ තෙම මෙහි ම ය යි ප්‍රභාවතිය කීවා ය.
3695. තී උමතුවෙන් දොඩවන්නෙහි ද, එසේ නැත් නම් මෝඩකමින් කථා කරන්නේ ද, ඉදින් කුසරජ තෙමේ ආයේ නම්, ඒ කරුණ කුමක් නිසා අපි නො දන්නෙමු ද?
3696. කුමරියන්ගේ අන්තඃපුර අතර දැඩි ලෙස කැසපට බැඳගෙන වළන් සෝදන තැනැත්තා මේ කුසරජ ය යි ප්‍රභාවතිය කීවා ය.
3697. තෝ වඩු කුලයෙහි උපන්නියක් වෙහි ද? නැත හොත් සැඬොලියක් ද? කුලදූෂ්‍ය ස්ත්‍රියක් වෙහි ද? මදු රජකුලයෙහි උපන්නා වූ තෝ තම ස්වාමියා කෙසේ නම් දාසයකු කරන්නෙහි දැ යි මව ඇසුවා ය.
3698. මෑණියනි, ඔබ තුමියට යහපතක් වේවා. මම වඩු කුලයෙහි උපන්නියක් නො වෙමි. සැඬොලියක් ද නො වෙමි. කුලදූෂ්‍ය ස්ත්‍රියක් ද නො වෙමි. මෙ තෙම වනාහි ඔක්කාක පුත්‍ර වූ කුසරජ වන්නේ ය. ඔබතුමී වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි යයි ප්‍රභාවතිය කීවා ය.
3699. මෑණියනි, ඔබට යහපතක් වේවා. යම් ඔක්කාක පුත්‍රයෙක් තෙමේ බමුණන් විසිදහසක් හැමදා ම වළඳවයි ද ඔහු නම් මේ කුසරජ ය, නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
3700. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් ඇතුන් සැම කල්හි යොදවද්ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුස රජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
3701. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් අසුන් හැම කල්හි යොදවත් ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුසරජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
3702. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ රිය විසිදහසක් හැම කල්හි යොදවද්ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුසරජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
3703. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් වෘෂභයන් හැම කල්හි යොදවද්ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුසරජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
3704. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් දෙනුන් හැමදා ම දොවද්ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුසරජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
3705. අනුවණ තැනැත්තිය, යම් හෙයෙකින් මැඩියකුගේ වෙසින් ආ නාගයකු මෙන් මහත් බලැති ක්‍ෂත්‍රිය රජු ආ බව නො කීයෙහි ද, එ හෙයින් ඒකාන්තයෙන් ම තී විසින් නපුරක් කරන ලදැ යි රජ තෙම කීයේ ය.
3706. රථේශ්වර වූ මහරජ, අප්‍රසිද්ධ වේශයෙන් මෙහි පැමිණියා වූ නුඹ වහන්සේ හඳුනාගැනීමට නොපිළිවන් වීම් සංඛ්‍යාත යම් වරදෙක් වී නම් අපගේ ඒ වරද කමා කරන සේක්වා යි කුසරජුට සැලකෙළේ ය.
3707. දේවයෙනි, යම්බඳු මම අරක්කැමියෙක් වූයෙම් ද, එය මා වැන්නකුට නුසුදුසු ය. ඔබ ම මට පහන් වුව මැනවි තොප විසින් කරන ලද නපුරක් නැතැ යි කුසරජ කී ය.
3708. අඥාන තැනැත්තිය, යව මහත් බලැති කුසරජ කමා කරව, කමා කරවන ලද ඒ කුසරජ තෙමේ තිට ජීවිතය දෙන්නේ ය යි පියරජ කීයේ ය.
3709. දෙවඟනකට බඳු පැහැය ඇති ප්‍රභාවතිය පියාගේ වචනය අසා සිරසින් වැටී මහබලැති කුසරජහු පා අල්ලාගත්තී ය.
3710. දේවයන් වහන්ස, යම් මේ රාත්‍රීහු ඉක්ම ගියාහු ද, ඒ රාත්‍රීහු නුඹ වහන්සේගෙන් වෙන් ව ඉක්ම ගියාහු ය. රථේශ්වරයන් වහන්ස, නුඹ වහන්සේගේ පා සිරසින් වඳිමි. මට නො කිපෙනු මැනැවි.
3711. මහරජ, මෙතෙක් කල් මා විසින් නුඹ වහන්සේට අප්‍රිය වූවක් ම කරන ලදැ. එය මම සත්‍යයක් බව පිළිගනිමි. නැවැත නුඹ වහන්සේට අප්‍රිය වන්නා වූ කිසිවක් නො කරන්නෙමි.
3712. මහරජ, මෙසේ යදින්නා වූ මාගේ වචනය තමුන්නාන්සේ නොකරන්නහු නම්, පිය රජ තෙම මා දැන් මරා ක්‍ෂත්‍රියයන්ට දෙන්නේය යි ප්‍රභාවතී කීවා ය.
3713. මෙසේ යාචනා කරන්නා වූ තිගේ වචනය මම කුමක් නිසා නො කරම් ද, සොඳුර, තිට නොකිපියෙක් වෙමි. ප්‍රභාවතිය, තෝ බිය නො වව.
3714. රාජපුත්‍රිය, මාගේ වචනය අසව, තිට නොකිපි බවත්, අප්‍රියයක් නො කළ බවත්, මම සත්‍යයක් බව පිළිගනිමි. නැවත මම තිට අප්‍රිය දනවන්නක් නොකරන්නෙමි.
3715. මනා කටි ප්‍රදේශ ඇති ප්‍රභාවතිය, මදුරජ කුලයට ගොස්, බලාත්කාරයෙන් තී ගෙනෙන්නට පිළිවන්කම තිබියදීත් තී කැමැත්තෙන් මම බොහෝ දුක් ඉවැසීමි.
3716. නොයෙක් අලංකාරයෙන් විසිතුරු කරන ලද හොඳින් හික්මුණු අසුන් රියෙහි යොදත් වා, එ විට සතුරන් නසන්නා වූ මාගේ වේගය බලවු ය යි කුසරජ තෙම කීයේ ය.
3717. එහි මදු රජුගේ අන්තඃපුරයෙහි සිංහයකු මෙන් අත පය දිගහැර ප්‍රාණවත් කරන්නා වූ ද ද්විගුණ කොට අත්පොළසන් දෙන්නා වූ ද කුසරජු දෙස ස්ත්‍රීහු කවුළු හැර බැලූ හ.
3718. ඉක්බිති කුසරජ තෙමේ හස්තිරාජයකු පිට නැඟී ප්‍රභාවතිය ද නංවාගෙන යුද බිමට බැස සිංහනාද කෙළේ ය.
3719. නාද කරන්නා වූ ඒ කුස රජුගේ හඬ අසා සිංහයකුගේ හඬ ඇසූ සෙසු මුවන් මෙන් කුසහඬින් බියපත් වූ සෙසු රජවරු ඒ මේ අත පලාගියහ.
3720. ඇතරුවෝ ද බළ ඇණියෙහි වූවෝ ද රියැදුරෝ ද පාබළ සේනාවෙහි වූවෝ ද කුස හඬින් බියපත් වූවාහු ඔවුනොවුන් සිඳගත්හ.
3721. ඒ යුද බිමෙහි (කුසරජු ගේ පරාක්‍රමය) දැක තුටු සිත් ඇති ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේ කුස රජුට වෙරොචන නම් මැණිකක් දුන්නේ ය.
3722. ඒ රජ තෙමේ ඒ යුද්ධය දිනා වෙරොචන නම් මැණිකක් ලැබ හස්තිරාජයා පිටට නැගුණේ නගරයට පිවිසියේ ය.
3723. ක්‍ෂත්‍රිය රජුන් සත් දෙන ජීවග්‍රාහයෙන් ගෙන බැඳ, දේවයන් වහන්ස, මොවුහු තමුන්නාන්සේ ගේ සතුරෝ වෙති යි මයිලණු වූ මදු රජුට භාරදුන්නේ ය.
3724. මේ සියල්ලෝ ම තමුන්නාන්සේ ගේ වසයට පැමිණියාහුය. තමුන්නාන්සේ ගේ සතුරෝ වනසන ලද්දාහ. කැමැත්තක් කරනු මැනැවි. මොවුන් මිදීම හෝ නැසීම හෝ කරනු මැනැවි.
3725. මහරජ, මොවුහු ඔබගේ ම සතුරෝ වෙති. මොවුහු මාගේ සතුරෝ නො වෙති. තමුන්නාන්සේ ම අපගේ අධිපතිවහු ය. මහරජ, තමුන්නාන්සේ ම මොවුන් මිදීම හෝ නැසීම හෝ කරනු යෙදේ.
3726. දේවයිනි, නුඹගේ මේ දිව්‍ය කන්‍යාවන් බඳු දූවරු සත් දෙනෙක් වෙති. ඔවුන්ගෙන් එක එක දුව බැගින් දෙනු මැනවි. එසේ දීමෙන් මොවුහු ජාමාතෲහු (බෑණාවරු) වෙත් වා.
3727. මහරජ, ඒ දූවරුන්ට ද අපට ද යන සියල්ලන්ට ම අධිපතියා ඔබ ම ය. යම් දුවක යමකුටදෙනු කැමැත්තෙහි නම් ඔබ ම ඇය ඔහුට දෙනු යෙදේ.
3728. එ කල්හි සිංහස්වර ඇති කුස රජ තෙමේ මදු රජුගේ දූවරුන් ඒ ක්‍ෂත්‍රියයන් අතුරින් එක එක ක්‍ෂත්‍රියයාට එක එක දුව බැගින් දුන්නේ ය.
3729. එ කෙණෙහි ම ඒ රජවරු සත් දෙන ඒ ස්ත්‍රී ලාභය නිසා, සිංහස්වර ඇති කුසරජු කෙරෙහි තුටු සිත් ඇත්තාහු, පිනාගිය සොම්නස් ඇත්තාහු සිය රටවලට ගිය හ.
3730. මහබලැති කුසරජ තෙමේ ප්‍රභාවතිය ද වෙරොචන නම් වූ යහපත් මැණික ද ගෙන කුසාවතියට ගියේ ය.
3731. එක ම රියෙහි යෙමින් කුසාවතියට පිවිසෙන්නා වූ ඒ දෙදෙන (මිණි රුවන් කාන්තිය නිසා) පැහැයෙන් හා රූපයෙන් සමාන වූවාහු ඔවුනොවුන් ඉක්මවා නොබැබළු හ.
3732. කුස රජු ගේ මව් තොමෝ පුත්‍රයා හා එක්වූවා ය. ඒ අඹු සැමි දෙදෙන ද සමඟි වූවාහු එ තැන් පටන් ජීවිතාන්තය දක්වා සමෘද්ධ වූ පෘථිවියෙහි සතුටින් වාසය කළහ.
කුස ජාතක යි.
2. සෝණනන්‍ද ජාතකය
3733. නුඹ දෙවියෙක් වෙහි ද, ගන්‍ධර්‍වයෙක් හෝ වෙහි ද, නැතහොත් පුරින්‍දද නම් ශක්‍රයා වෙහි ද, මනුෂ්‍ය වූ ඍද්ධි ඇත්තෙක් වෙහි ද, අපි ඒ කරුණ කෙසේ දනුමෝ ද?
3734. රජතුමනි, මම දෙවියෙක් නො වෙමි. ගන්‍ධර්‍වයෙක් ද නො වෙමි. පුරින්‍දද නම් ශක්‍රයා ද නො වෙමි. මනුෂ්‍ය වූ ඍද්ධි ඇත්තෙක් වෙමි. ඒ කරුණ මෙ සේ දනුව.
3735. පින්වතා විසින් මහත් කායවෙය්‍යාවතික කර්‍මය කරන ලදී. එ නම් පින්වත් තෙමේ වැසි වස්නා කල්හි නැවැත්වීම කෙළේ ය.
3736. තව ද පින්වත් තෙමේ දරුණු වූ සුළඟ හා අව්ව ඇති කල්හි සිසිල්සෙවණ කෙළේ ය. නැවැත පින්වත් තෙමේ සතුරන් මධ්‍යයෙහි ඊ පහරින් වැළකීම ද කෙළේ ය.
3737. තව ද, පින්වතා සමෘද්ධ රටවල වැසියන් අපට වසඟ කෙළේ ය. තව ද එක් සියයක් රජුන් අප අනුගාමිකයන් කෙළේ ය.
3738. අපි පින්වතාට සතුටු වූවමෝ වෙමු. පින්වතා යම් රත්නයක් කැමැත්තේ නම් එය ඉල්ලාගනු මැනැවි. ඇත්යානා ද, අස් රිය ද, අලංකාරයෙන් සැරැසූ ස්ත්‍රීන් ද සිත්කලු ගෙවල් ද යන මේවා අපි පින්වතාට දෙම්හ.
3739. නොහොත් අඟුරටෙහි රජය හෝ මගධ රටෙහි රජය හෝ අපි පින්වතාට දෙම්හ. තව ද අස්සක නම් රට හෝ අවන්ති නම් රට හෝ අපි තුටුසිත් ඇති ව පින්වතාට දෙම්හ.
3740. අපි පින්වතාට රජයෙන් අඩක් හෝ දෙම්හ. ඉදින් මුළු දඹදිව රජයෙන් ප්‍රයෝජන වේ නම් එය ද දෙම්හ. යමක් කැමැති නම් එය අණ කරව’ යි (මනෝජ රජ කියා සිටියේ ය.)
3741. මහරජ, මට රජයෙන් හෝ නගරයෙන් හෝ ධනයෙන් හෝ ප්‍රයෝජනයෙක් නැත. වැළි ජනපදයෙන් ද මට· ප්‍රයෝජනයෙක් නො වේ.
3742. මහරජ, පින්වත්හු ගේ රජයෙහි ආඥාචක්‍රය පවත්නා දේශය තුළ හිමාලය වනයෙහි ආශ්‍රමයක් ඇත. ඒ ආශ්‍රමයෙහි මාගේ පියත් මවත් දෙදෙනා වෙසෙති.
3743. මම ඒ පූර්‍වාචාර්‍ය්‍ය වූ මාපියන් කෙරෙහි වත් පිළිවෙත් පවත්වා පින් ලැබ ගැනුමට ඉඩ නො ලබමි. එ බැවින් පින්වත්හු සපිරිවරින් ගොස් සෝණ පණ්ඩිතයන් දන්වා ආයතිසංවරය යදිමු යි නන්‍ද තවුසා කී ය.
3744. බ්‍රාහ්මණය, යමක් මට කියහි නම් ඒ ඔබගේ වචනය මම ඉටු කරමි. මේ කරුණ ද අපට කියනු මැනැවි. ඒ ක්‍ෂමාව ඉල්ලන්නෝ කොපමණ ද?
3745. ශතාධික ජනපද වැසියෝ ද ශතාධික බ්‍රාහ්මණ මහාසාල කුලීනයෝ ද, උසස් උත්පත්ති ඇති යස පිරිවරින් යුත් මේ සියලු රජවරු ද, මනෝජ රජ නම් වූ පින්වත් තෙමේ ද යන සියල්ලෝ ම සෝණ පණ්ඩිතයන් කමාකරවන්නෝ වෙති.
3746. ඇතරුවෝ ඇතුන් ද, අසරුවෝ අසුන් ද සරසා යොදත්වා සාරථිය, නුඹ ද රිය සරසව. ඇතුන් අසුන් හා රථ සැරැසිය යුතු බඩු ගනිවු රියෙහි තබන ලද ධ්වජපාදයන්හි ධ්වජ ඔසවත් වා. යම් අසපුවෙක්හි කෝසිය ගෝත්‍රිකයා වෙසේ ද, ඒ අසපුවට යන්නෙමි (යි ද රජ තෙමේ නියම කෙළේ ය.)
3747. රජ තෙමේ සිවුරඟසෙනඟින් පිරිවරනා ලද්දේ ඒ නගරයෙන් පිටත්විය. යම් අසපුවෙක්හි කෝසිය ගෝත්‍රිකයා වෙසේ ද ඒ අසපුවට ගියේ ය.
3748. කොලොම්මුවා කද සතරඟුලක් උරහිස ස්පර්‍ශ නො කරමින් ම අහසින් එයි. (මෙය) දිය ගෙනෙන්නට යන්නා වූ කවර නම් කෙනකුගේ කද දැ යි මනෝජ රජ ප්‍රශ්න කෙළේ ය.
3749. මහරජ, මම ව්‍රත රක්නෙම් සෝණ නම් තවුස්මි. රෑ දාවල් නො කම්මැලි වූයෙම් මාපියන් පෝෂණය කරමි.
3750. මහරජ, වනයෙහි ගෙඩි ද අල ද ගෙනවුත් පෙර කළ උපකාර සිහිකරමින් මම මා පියන් පෝෂණය කරමියි සෝණ තාපසයා කී ය.
3751. යම් අසපුවෙක්හි කෝසිය ගෝත්‍රිකයා වෙසේ ද, ඒ අසපුවට යන්නට කැමැත්තෙමු. සෝණ තාපසයන් වහන්ස, යම් මඟකින් අසපුවට යමු ද ඒ මඟ කියනු මැනැවි.
3752. මහරජ, මේ එකපදික මාර්‍ගය වේ. මේ මඟින් යව්. යම් දිසාවෙක්හි මේඝයට බඳු පැහැති මනා ව පිපී ගිය කොබෝලීල ගසින් ගැවසීගත් වනය පෙනේ ද, මෙහි මාගේ පිය වූ කෝසිය ගෝත්‍රිකයා වෙසේ ය යි සෝණ තාපසයා කීයේ ය.
3753. මහර්ෂී වූ සෝණ තාපස තෙම මෙය කියා රජුන්ට අනුශාසනා කොට ඉක්මන් ව අන්තරීක්‍ෂ නම් වූ අහසට පැන නැඟැ (අනෝතත්ත විලට) ගියේ ය.
3754. අසපුව හැමද අසුනක් පනවා පන්සලට පිවිස පියාට (ඔවුන් ආ බව) දැන්වී ය.
3755. මහර්ෂී වූ පියාණන් වහන්ස, උසස් උත්පත්ති ඇති මහපිරිවරින් යුත් මේ රජවරු ඔබ දැකුමට එති. අසපුවෙන් නික්ම දොරටුව සමීපයෙහි පනවා තිබෙන අස්නෙහි හිඳගනු මැනැවි.
3756. මහර්ෂි තෙමේ ඒ සෝණ පණ්ඩිතයාගේ වචනය අසා ඉක්මන් කොට අසපුවෙන් නික්ම දොරටුව සමීපයෙහි පනවා තිබුණු අස්නෙහි හිඳගත්තේ ය.
3757. ක්‍ෂත්‍රිය සමූහයා විසින් පිරිවරන ලද තේජසින් දිලිසෙන්නාක් මෙන් එන්නා වූ ඒ රජු දැක කෝසිය ගෝත්‍රික මහර්ෂී තෙම මෙය ප්‍රකාශ කළේ ය.
3758. බෙර ද, මිහිඟු බෙර ද, සක් ද, පනා බෙර ද, ගැට බෙර ද යන මේවා රථශ්‍රෙෂ්ඨයන් තුටු කෙරෙමින් කවරකුගේ ඉදිරියෙන් පිළිපන්නේ ද?
3759. මහත් වූ විදුලියක බඳු රන්මුවා නළල් පටින් පරික්‍ෂිප්ත කරන ලද්දේ කවරකුගේ නළල් කෙළවර ද? දුනු හියවුරු වලින් සැරසී ශෝභායෙන් දිලිසෙමින් එන තරුණයා කවරෙක් ද?
3760. කඹුරු උදුනෙහි ඔප කරන ලද ස්වර්‍ණයක් මෙන් කිහිරඟුරු බඳු වර්‍ණවත් මුහුණ ද මනෝඥ ලෙස බබළයි. ශ්‍රීයෙන් බබළමින් මේ කවරෙක් නම් එයි ද?
3761. හිරු රැස් වළක්වන්නා වූ සලාක සහිත වූ සිත්කලු ඡත්‍රයක් කවරකුහට අල්වන ලද ද, ශෝභාවෙන් මේ කවරෙක් ඒ ද?
3762. ඇතු පිට නැඟ එන්නා වූ කවර නම් උතුම් නුවණැත්තකුගේ සිරුර පිරිවරාගෙන උතුම් වූ වල් විදුනාව හසුරුවද් ද,
3763. යුද ඇඳුමින් සරසන ලද ආජානීය අසුන්පිට නැඟී කවරකුගේ හාත්පස ශ්වේතච්ඡත්‍ර අල්වා සිටිද් ද, ශෝභාවෙන් දිලිසෙමින් මේ එන්නේ කවරෙක් ද?
3764. අනුව ගමන් කරන්නා වූ පිරිවරින් යුතු වූ එක් සියයක් ක්‍ෂත්‍රියයෝ කවරකුගේ හාත්පසැ පිරිවරමින් යෙද්ද, ශෝභාවෙන් දිලිසෙමින් මේ එන්නේ කවරෙක් ද?
3765. හස්තීහු ය, අශ්වයෝ ය, රිය ය, පාබළ සෙනග ය යන සිව්රඟ සෙනග කවරකුගේ හාත්පස පිරිවරා එයි ද, ශෝභායෙන් දිලිසෙමින් කවරෙක් නම් එයි ද?
3766. සාගරයාගේ නොකැළඹුණා වූ අසීමිත රළ මෙන් මේ මහත් සේනාව කවරකු පිටිපසින් අනුගමන් කෙරේ ද?
3767. රාජාධිරාජ වූ මනෝජ රජ ජයට පත් තව්තිසා වැසි දෙවියන්ගේ ප්‍රධානයා වූ ශක්‍රයා මෙන් නන්‍දයාගේ පිරිසට එක් වී අප කමාකරවා ගැනීමට බ්‍රහ්මචාරී වූ අපගේ අසපුවට එන්නේ ය.
3768. සාගරයාගේ නොකැළඹුණා වූ අසීමිත රළ මෙන් මහත් වූ මේ සේනාව ඔහුගේ පිටුපසින් ගමන් කරන්නේ ය.
3769. සඳුන් ගැල් වූ සිරුරු ඇති ව උතුම් කසීසළු දරන්නා වූ ඒ සියලු රජවරු ම ඇඳිලි බැඳගත්තාහු ඍෂීන් සමීපයට එළැඹියහ.
3770. කිමෙක් ද, පින්වතුන් වහන්සේට සැප ද? කිමෙක් ද, පින්වතුන් වහන්සේට රෝග පීඩා නැද් ද? කිමෙක් ද, පිඬු සිඟා යෑමෙන් යැපෙන සේක් ද? කිමෙක් ද, අල මුල් හා පලවැළ බොහෝ වෙද් ද?
3771. ඩැහැ ලේ බොන මැස්සෝ ද මදුරුවෝ ද දීර්‍ඝ සර්‍පයෝ ද කිම ස්වල්ප වෙද්ද, ව්‍යාලමෘගයන්ගෙන් ගැවැසීගත් මේ වනයෙහි කිම හිංසාවක් නැද් ද?
3772. මහරජ, අපට සැප ය. අපට රෝගා පීඩා ද නැත. තව ද මහරජ, අපි පිඬු සිඟීමෙන් යැපෙමු. අල මුල් හා පලවැළ ද බොහෝ ය.
3773. තව ද ඩැහැ ලේ බොන මැස්සෝ ද මදුරුවෝ ද දීර්‍ඝ ජාතික සර්‍පයෝ ද ස්වල්ප වෙති. ව්‍යාලමෘගයන්ගෙන් ගැවැසීගත් මේ වනයෙහි අපට හිංසාවක් නැත.
3774. බොහෝ අවුරුදු ගණන් මේ අසපුවෙහි වසන්නා වූ මට හටගත් අමනෝඥ ආබාධයක් ගැන නො දනිමි.
3775. මහරජ, ඔබ ගේ මෙහි පැමිණීම යහපත් පැමිණීමකි. ඔබ ගේ පැමිණීම අයහපත් පැමිණීමක් නො වේ. මෙහි පැමිණි ඔබ අධිපති වෙහි ය. මෙහි යමක් ඔබ කැමැත්තෙහි නම් එය දන්වනු මැනැවි.
3776. මහරජ, මී මෙන් මිහිරි රසැති රන්වන් තිඹිරි ය, මොර ය, එරමිණියා ය යන කුඩා ඵලවර්‍ග වෙති. එයින් හොඳ හොඳ ගෙඩි අනුභව කරව.
3777. අනවතප්ත විලෙන් ගෙනෙන ලද මේ සිසිල් පැන් ද තිබේ. මහරජ, කැමැත්තෙහි නම් එයින් පානය කරනු මැනවි.
3778. තාපසයන් වහන්ස, අපට යමක් දෙන ලද නම් එය අප විසින් පිළිගන්නා ලදී. අප සියලු දෙනාට ම නුඹ වහන්සේ විසින් ආගන්තුක සත්කාර කරන ලදී. නන්‍ද පණ්ඩිත තෙමේ යමක් කියා නම් ඔහු ගේ කීම ද අසනු මැනවි.
3779. අපි නන්‍දපණ්ඩිතයාගේ ඉල්ලීම නිසා පින්වතුන් වහන්සේ වෙත ආම්හ. පින්වත් සෝණ පණ්ඩිත තෙමේ මාගේ වචනය අසාවා, නන්‍ද පණ්ඩිතයාගේ ද පිරිසගේ ද වචනය අසාවා.
3780. ශතාධික ජනපද වැසියෝ ද ශතාධික බ්‍රාහ්මණ මහාසාල කුලීනයෝ ද උසස් උත්පත්ති ඇති යස පිරිවරින් යුත් මේ සියලු රජවරු ද මනෝජ රජ නම් වූ පින්වත් තෙමේ ද මාගේ වචනය අනුදනිත් වා.
3781. මේ ආශ්‍රමයෙහි රැස් වූ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙද්ද, වෘද්ධභාවයට පත් වූ හෙයින් භූත නම් වූ ද තරුණ හෙයින් භව්‍ය නම් වූ ද යම් දෙවි කෙනෙක් වෙද්ද, ඒ සියල්ලෝ ම මාගේ වචනය අසත් වා.
3782. දෙවියන්ට නමස්කාර කොට යහපත් ව්‍රත ඇති සෝණ ඍෂිවරයන්හට මෙය කියමි. කෝසිය ගෝත්‍රික ඍෂිවරය, ඒ මම දකුණු අත යයි සම්මත ඔබගේ සහෝදරයා වෙමි.
3783. මාගේ පියා ද මව ද පෝෂණය කරන්නට කැමැත්තා වූ මට කමාකළ මැනවි. වීරයන් වහන්ස, මාපියනට උවටැන් කිරීම් නිසා අත්වන පින ස්වර්‍ගලෝකොත්පත්තියට හේතු වන්නකි. කෝසිය ගොත්‍රිකය, මා ඒ පිනෙන් නො වළක්වනු මැනැවි.
3784. මේ මවු පිය උපස්ථානය වනාහි සත්පුරුෂයන් විසින් වර්‍ණනා කරන ලද්දකි. මෙය කිරීමට මට ඉඩ හරුව. ඔබ විසින් දිගුකලක් දැක හුනස්නෙන් නැගිටීම ය, කුදු මහත් වතාවත් කිරීම ය යන වශයෙන් උපස්ථාන කරන ලදී. මම ද මවු පියන් කෙරෙහි උවටැන් කොට පින් සිදු කර ගනු කැමැත්තෙමි. එයට ඉඩහැර ඔබ මට ස්වර්‍ගලෝකය සාදා දෙන්නෙක් වව.
3785. ඍෂිවරය, නුඹ වහන්සේ මෙන් ම දන්නා වූ වෙනත් මිනිස්සු මෙහි ඇත. ඔවුහු නොයෙක් ආකාර ඇති ධර්‍මයෙහි වෘද්ධාපචායනයට අයත් වන මවු පිය උපස්ථානය ස්වර්‍ගලෝකයට මාර්‍ගය බව කියති.
3786. මවු පියන්ට කායික චේතසික සුව ගෙනදෙන්නා වූ දැක හුනස්නෙන් නැගිටීම ය, කුදු මහත් වතාවත් කිරීම ය යන මෙයින් උපස්ථාන කිරීමට ඉඩ නො දී යමෙක් මා වළකන්නේ නම් ඒ මිනිසා ආර්‍ය්‍යමාර්‍ගය වළකන්නෙකි යි නන්‍ද පණ්ඩිතයා කීවේ ය.
3787. මාගේ සහෝදරයාගේ පිරිසට අයත් ව ආවා වූ මේ සියලු පින්වත්හු මාගේ වචනය අසත්වා. මහරජ, පැරැණි වූ කුලවංශය පිරිහෙළමින් අධර්‍මයෙහි හැසිරෙන්නා වූ යම් වැඩිමහල්ලෙක් වෙයි ද, හෙතෙම නිරයෙහි උපදී.
3788. මහරජ, වෘද්ධාපචායන සංඛ්‍යාත ප්‍රවේණි ධර්‍මයට දක්‍ෂ වූ යම් කෙනෙක් වෙද්ද, චාරිත්‍ර ශීලයෙන් ද යුක්ත වූ ඔව්හු දුගතියට නො යත්.