3505. තවද, අධර්මිෂ්ඨ වූ යම් රජෙක් අදූසක (සිල්වත්) වූ භාර්‍ය්‍යාව නසා ද හෝ රෞද්‍ර වූ පාපය රැස්කරයි. පුත්‍රයන් සමග ද විරුද්ධ වූයේ වෙයි.
3506. (මහරජ, එබැවින්) දනව්වැස්සන් කෙරෙහි ද, නියම් ගම් වැස්සන් කෙරෙහි ද, බලසෙනඟ කෙරෙහි ද ධර්‍මයෙහි හැසිරෙන්නේය. පැවිද්දන් ද හිංසා නො කරන්නේය. අඹු දරුවන් කෙරෙහි ද සමව හැසිරෙන්නේ ය.
3507. රට පාලනය කරන ක්‍රෝධ නොකරන එබඳු ඒ මිහිපති තෙම අසුරාධිප නම් වූ ඉන්‍ද්‍රයා මෙන් අසල්වැසි (සතුරන්) කම්පා කෙරෙයි.
මහාබෝධි ජාතක යි.
පඤ්ඤාස නිපාතය නිමි.
එහි උද්දානය:
නලිනිකා නම් වූ පළමුවැන්න ද උම්මාදන්ති නම් වූ දෙවැන්න ද, මහාබෝධි නම් වූ තෙවැන්න දැ යි මේ ජාතක තුන සර්‍වඥයන් වහන්සේ විසින් දෙසනලදී.
19. සට්ඨි නිපාතය
1. සෝණක ජාතකය
3508. සෝණක නම් යහළුවා වසන තැන අසා කියන්නා වූ කවරකුහට මම සියයක් දෙම් ද, දැක කියන්නා වූ කවරකුහට දහසක් දෙම් ද, වැලිකෙළියෙහි පටන් යහළු වූ සෝණක නම් තැනැත්තා ගැන මට කවරෙක් නම් කියන්නේ ද?
3509. ඉක්බිති තරුණ වූ පඤ්චචූළක නම් මාණවක තෙම ප්‍රතිගායනා වශයෙන් මේ ගාථාව කීවේ ය. මහරජතුමනි, සෝණක නම් තැනැත්තා ගැන අසා කියන්නා වූ මට සියයක් දුන මැනැවි. සෝණක නම් තැනැත්තා දැක කියන්නා වූ මට දහසක් දුන මැනැවි. වැලිකෙළියෙහි පටන් යහළු වූ සෝණක නම් යහළුවා මම කියමි යි.
3510. මාණවකය, ඒ සෝණක තෙම නුඹ විසින් කිනම් ජනපදයෙක්හි දී දක්නා ලද්දේ ද? කවර රටක දී කවර නියම්ගමෙක්හි දක්නා ලද ද, ඒ කරුණ විචාරනු ලබන්නා වූ නුඹ මට කියව යි රජ තෙම කීයේ ය.
3511. දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ ම රටෙහි නුඹ වහන්සේගේ ම උයන් බිමෙහි ඍජු වූ කඳ ඇති නිල් පැහැති සිත්කලු වූ වැහිවලාකුළු බඳු ගසින් ගස හා අත්තෙන් අත්ත එකට වෙලීගත් මහා සාලවෘක්‍ෂයෝ වෙත්.
3512. ඒ සාලවෘක්‍ෂයන්ගේ මුල්හි සෝණක තෙමේ කාමූපාදානයන්ගෙන් පිරී පවත්නා ලෝකයෙහි කාමූපාදාන විරහිත වූයේ එකොළොස් ගින්නෙන් දැවෙන ලෝකයෙහි නිවුණේ ම ධ්‍යාන කෙරේ යයි තරුණ තෙම කීයේ ය.
3513. ඉක්බිති ඒ අරින්‍දම රජතෙම සිවුරඟ සෙනග සමග පිටත් විය. මඟ සම කරවා සෝණක නම් පසේබුදුන් වහන්සේ යම් තැනෙක්හි නම් එහි ගියේ ය.
3514. රජතෙම උයන් බිමට ගොස් ඒ මහා උයන්හි හැසිරෙන්නේ එකොළොස් ගින්නෙන් දැවෙන සත්‍වයන් අතුරෙහි නිවී වැඩහුන් සෝණක නම් පසේබුදුන් වහන්සේ දැක්කේ ය.
3515. හිස මුඩු කරගත් සඟළ සිවුරක් පෙරැවි මේ මහණ තෙම දිළින්දෙකි. මා පියන් නැත්තේ ම ගස මුල ධ්‍යාන කෙරේ යයි කීවේ ය.
3516. සෝණක පසේබුදුරජාණන් වහන්සේ මේ වදන් අසා මෙසේ කීහ. “මහරජ, ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය නාමකායයෙන් ස්පර්‍ශ කරනලද තැනැත්තා දිළින්දෙක් නොවන්නේ ය”.
3517. මහරජ, මේ ලෝකයෙහි යම් කිසිවෙක් දස කුසල් දහම් බැහැර කොට දස අකුසල්හි යෙදේ ද, පාපී වූ ද පාපීන්ට පිහිට වූ ද හෙ තෙමේ දිළින්දෙක් වේ යයි.
3518. අරින්‍දම යනු මාගේ නම වෙයි. මා කසීරජය යි දනිත්. සෝණකයන් වහන්ස, මෙහි පැමිණි පින්වත් නුඹ වහන්සේට සුවපහසු කෙසේ දැ යි,
3519. මහරජ, ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුවකට සැමදා ම යහපත් ය. මහරජ, ඔවුන්ගේ කෝෂ්ඨාගාරයෙහි ධන ධාන්‍ය තැන්පත් නො කෙරෙත්. සැළෙහි ද නො දමත්. පැසෙහි ද නො දමත්. මනා පැවතුම් ඇති අනුන් විසින් නිමවන ලද්දා වූ ආහාර සොයන ඔව්හු ඒ අනුන් දෙන අහරින් යැපෙත්.
3520. යම් හෙයෙකින් කැප සරුප් ලෙස ලැබුණු හෙයින් නිරවද්‍ය පිණ්ඩාහාරය වැළැඳිය යුතු වේ ද, ඒ පිණ්ඩාහාරය හේතුවින් කිසියම් ක්ලේශයකුත් පීඩා නො කෙරේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ දෙවැනි යහපත ද වේ.
3521. යම් හෙයෙකින් පස්විකා වැළැඳිය යුතු හෙයින් නිබ්බුතපිණ්ඩය නම් ලත් පිණ්ඩාහාරය වැළැඳිය යුතු වේ ද, ඒ පිණ්ඩාහාරය හේතුවින් කිසියම් ක්ලේශයකුත් පීඩා නො කෙරේ ද එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට තෙ වැනි යහපත ද වේ.
3522. යම් හෙයෙකින් කුලාදියෙහි නො ඇලී රටෙහි හැසිරෙන යම් ඒ භික්‍ෂුවක්හට රාගාදි කිසියම් සඞ්ග කෙනෙක් නැද්ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ සිවු වැනි යහපතත් වේ.
3523. යම් හෙයෙකින් නගරය ගින්නෙන් දැවෙනු ලබන කල්හි යම් භික්‍ෂුවකගේ කිසිවක් නො දැවේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ පස්වැනි යහපතත් වේ.
3524. යම් හෙයෙකින් රට සොරුන් පැහැර ගනු ලබන කල්හි මේ භික්‍ෂුවගේ කිසිවක් පැහැර නො ගනු ලැබේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ ස වැනි යහපතත් වේ.
3525. යම් හෙයෙකින් සොරුන් විසින් රක්නා ලද මාර්‍ගයෙහි ද අන්‍ය වූ යම් බඳු මාර්ගෝපද්‍රව ඇත් නම් එ බඳු තැන්හි ද මනා පැවතුම් ඇති භික්‍ෂු තෙම පා සිවුරු ගෙන සුවසේ යයි ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ සත් වැනි යහපතත් වේ.
3526. යම් හෙයෙකින් භික්‍ෂු තෙම යම් යම් දිසාවකට පිටත් ව යේ ද, ඒ ඒ දිසාවට අපේක්‍ෂා රහිත ව යේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ අට වැනි යහපතත් වේ.
3527. භික්‍ෂූන් වහන්ස, නුඹ වහන්සේ යම් ඒ ශ්‍රමණභද්‍රකාරණයන් පසසන සේක් ද, එ බඳු ශ්‍රමණභද්‍රකාරණයෝ බොහෝ වෙති. සෝණකයන් වහන්ස, මම වනාහි කාමයන්හි ගිජු කෙනෙක්මි. කෙසේ නම් එය කෙරෙම් ද?
3528. මට මිනිස් කාමයෝ ප්‍රිය වෙත්. වැළි දිව්‍යමය කාමයෝ ද ප්‍රිය වෙත්. එසේ ඇති කල්හි කවර ආකාරයෙකින් දෙ ලොවැ ම කාම සම්පත් ලබන්නෙම් දැ යි රජ තෙමේ කීවේ ය.
3529. මහරජ, කාමයන්හි ගිජු වූ කාමයන්හි ඇලුණා වූ, කාමයන්හි අධික වශයෙන් මුසපත් වූ මනුෂ්‍යයෝ පාපකර්‍ම කොට දුගතියෙහි උපදිති.
3530. යමෙක් කාමසම්පත් හැරපියා ගිහි ගෙයින් නික්මුණාහු කොයිනුත් බියක් නැත්තාහු හුදෙකලා වාසයට ගියෝ වෙත් ද, ඒ පැවිද්දෝ දුගතියට නො යත්.
3531. අරින්‍දම රජුනි, තොපට උපමාවක් ගෙනහැර පාන්නෙමි. එය අසව. මෙ ලොවැ ඇතැම් පණ්ඩිත කෙනෙක් උපමායෙනුදු අර්‍ත්‍ථය දැනැගනිත්.
3532. අනුවණ වූ කාරණාකාරණ නොසිතන කවුඩෙක් ගැඹුරු පුළුල් දිය ඇති ගඟෙහි පාවෙමින් යන්නා වූ ඇත් කුණපයක් දැක මෙසේ සිතුවේ ය.
3533. ඒකාන්තයෙන් මට හස්තියානයෙක් ලැබිණ. මෙය ම මාගේ ආහාරය ද වේ. එහි ම රෑ දාවල් ගෙවන්නෙමි යි කවුඩාගේ සිත ඒ ඇත්කුණෙහි ම ඇලී සිටියේ ය.
3534. ඇතාගේ මස් කමින් භාගිරථි ගඟෙහි දිය බොමින් වනයන් හා චෛත්‍ය වෘක්‍ෂයන් බලමින් යන ඒ කවුඩා පියාසර කොට නො ගියේ ය.
3535. සමුද්‍රාභිමුඛ වැ ගලාබස්නා වූ ගංගා තොමෝ ඇත්කුණෙහි ඇලුණා වූ ප්‍රමාදයට වන් ඒ කවුඩා ද, යම් තැනෙක්හි පක්‍ෂීන්ට යා හැකි නො වේ ද, එ බඳු මහාසමුද්‍රයට ඇදගෙනැ ගියා ය.
3536. ආහාරය අවසන් වූ ඒ කවුඩු තෙමේ ද අහසට පැන පෑළදික්හි ද පිහිටක් නොලැබුවේ ය. පෙර දික්හි ද පිහිටක් නො ලැබුවේ ය. උතුරු දිසාවෙහි ද පිහිටක් නො ලැබුවේ ය. දකුණු දිසාවෙහි ද පිහිටක් නො ලැබුවේ ය.
3537. ඒ කවුඩු තෙම යම් තැනෙක්හි පක්‍ෂීන්ට නො යාහැකි ද එබඳු සාගරය මැද දිවයිනකට නො පැමිණියේ ය. දුර්‍වලයකු වැටෙන්නාක් මෙන් සාගර මධ්‍යයෙහි ම වැටුණේ ය.
3538. මුහුදෙහි වාසය කරන්නා වූ මත්ස්‍යයෝ ද කිඹුලෝ ද මෝරු ද සුසු නම් චණ්ඩ මත්ස්‍යයෝ ද විසිරීගිය පියාපත් ඇති සැලෙමින් සිටියා වූ ඒ කවුඩා බලාත්කාරයෙන් කෑහ.
3539. මහරජ, මෙ පරිද්දෙන් ම නුඹ ද කාමභෝගී වූ අන්‍යයෝ ද කාමයන්හි ගිජු වූවාහු නම් ඉදින් කාමයන් හැර නො දමන්නාහු ද ඔව්හු කවුඩන්ගේ ප්‍රඥාවට බඳු ප්‍රඥා ඇත්තෝය යි නුවණැත්තෝ කියත්.
3540. මහරජ, මා විසින් කරුණු ප්‍රකාශ වන්නා වූ මේ උපමාව තොපට ගෙනහැර දක්වන ලදී. ඉදින් එය කරන්නෙහි හෝ නොකරන්නෙහි හෝ ඒ සැටියෙන් නුඹ ද ප්‍රකාශ වන්නෙහි යයි (පසේබුදුරජාණන් වහන්සේ අවවාද දුන් සේක.)
3541. අනුකම්පා ඇති තැනැත්තේ එක වරක් කීම ද දෙ වරක් කීම ද කරන්නේ ය. දාසයකු ස්වාමියා වෙත මෙන් ඉන් මතු නො කියන්නේ ය.
3542. අප්‍රමාණ වූ බුද්ධි ඇති සෝණක පසේබුදුරජාණන් වහන්සේ මෙසේ කියා රජුට අනුශාසනා කොට අහසට නැඟ වැඩමකළ සේක
3543. සමර්‍ත්‍ථ වූ ව්‍යක්තභාවයට පැමිණි මේ රාජ්‍යයට සුදුස්සෙන් අභිෂේක කරන්නෝ කොහි ද? මම රජය භාර දෙන්නෙමි. මම රජයෙන් ප්‍රයෝජන නැත්තෙක්මි.
3544. අද ම පැවිදි වන්නෙමි. හෙට මරණය වන්නේ දැ යි කවරෙක් දනීද? මම දුෂ්ප්‍රාඥ වූ කවුඩා මෙන් කාමයන්ගේ වසයට නො යමි යි රජ තෙම කීවේ ය.
3545. දේවයන් වහන්ස, නුඹ වහන්සේට රට දියුණු කරන්නා වූ දීඝාවු නම් පුතෙක් ඇත්තේ ය. ඔහු රාජ්‍යයෙහි අභිෂේක කෙරේවා. හෙ තෙමේ අපගේ රජ වන්නේ යැ යි ඇමතියෝ කීහ.
3546. රට දියුණු කරන්නා වූ දීඝාවු නම් කුමරා වහා ගෙන එව. මම ඔහු රාජ්‍යයෙහි අභිෂේක කරන්නෙමි. හෙ තොපගේ රජ වන්නේ යයි රජ තෙමේ කීවේ ය.
3547. ඉක්බිති රට දියුණු කරන්නා වූ දීඝාවු කුමාරයා ගෙනාවෝ ය. රජ තෙමේ, සිය එකම පුතු වූ මනරම් ඒ කුමරා දැක මෙ සේ කීය.
3548. පුත්‍රය, හැම ලෙසින් ම සම්පූර්‍ණ වූ ගම් සැටදහසක් ඇත. ඒ ගම් භාර ගනුව. තොපට රජය පවරා දෙමි.
3549. මම අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට පැමිණේ දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාමයන්ගේ වසයට නො යමි.
3550. සියලු හස්ත්‍යලංකාරයෙන් සරසන ලද රන් පොරොදු ඇත්තා වූ රන්මුවා අබරණින් වසන ලද ශරීර ඇත්තා වූ මාතඞ්ග නම් හස්තීහු සැට දහසක් ඇත්තාහ.
3551. පුත්‍රය, තෝමර හා අංකුස ගත් අත් ඇති වැ, නැඟුණු ඇතරුවන් ඇති ඒ ඇතුන් භාර ගනුව. තොපට රජය පවරා දෙමි.
3552. මම අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට පැමිණේ දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.
3553. සියලු අශ්වාලංකාරයෙන් සරසන ලද කරුණු නො කරුණු හොඳින් දන්නා වූ සින්‍ධුදේශයෙහි උපන්නා වූ ඉක්මන් ගමන් ඇති අශ්වයෝ සැට දහසක් වෙති.
3554. පුත්‍රය, ආයුධ හා දුනු දරන අශ්වාරෝහකයන් නැඟුණු ඒ අසුන් භාර ගනුව. තොපට මම රජය පවරාදෙමි.
3555. අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.
3556. සැරැසූ, ඔසවන ලද ධජ ඇත්තා වූ දිවි සම් හා ව්‍යාඝ්‍ර සමින් වට කරන ලද්දා වූ සියලු අලංකාරයෙන් අලංකාරවත් වූ රිය සැට දහසෙක් ඇත.
3557. පුත්‍රය, දුනු ගත් අත් ඇති යුද ඇඳුමින් සැරැසුණු රියැදුරන් නැඟුණු ඒ රථයන් භාරගනුව. තොපට රජය පවරා දෙමි.
3558. අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.
3559. පුත්‍රය, රතු පැහැති ප්‍රධාන වෘෂභයකු සහිත ධෙනුහු සැට දහසෙක් ඇත. ඔවුන් භාරගනුව. තොපට රජය පවරාදෙමි.
3560. අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.
3561. සියලු අලංකාරයෙන් සරසන ලද්දා වූ වස්ත්‍රාභරණ ඇති පලන් මිණිකොඬොලින් යුත් සොළොස් දහසක් ස්ත්‍රීහු ඇත්තාහ. පුත්‍රය, ඔවුන් භාරගනුව. නුඹට රජය පවරාදෙමි.
3562. අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යෙමි යි පියරජ තෙම කීයේ ය.
3563. පියාණන් වහන්ස, මා ළදරු කල්හි මැ මාගේ මව මළා යැයි අසන ලදී. පියාණන් වහන්ස, නුඹ වහන්සේගෙන් වෙන් ව මම ජීවත් වන්නටත් නො සිතමි.
3564. සම වූ ද විසම වූ ද ගිරි දුර්‍ගයන්හි හැසිරෙන්නා වූ වන්‍ය හස්තියකු පසුපසින් ඇත් පැටවෙක් යම්සේ හැසිරේ ද,
3565. එ පරිද්දෙන් මම නුඹ වහන්සේ සමඟ යමි. පුතු ගෙනයන්නා වූ නුඹ වහන්සේට මම සුහර ව (පෝෂණයට පහසු ලෙස) පවතින්නෙමි. නුඹ වහන්සේට පෝෂණය කට නොහැකි පරිදි (දුහර) නො වන්නෙමි යි පුත්‍රයා කීවේ ය.
3566. ධන සොයන්නා වූ වෙළෙඳුන්ගේ මුහුදු යාත්‍රාවක් ව්‍යවහාරයෙක් (මත්ස්‍ය, රකුස්, දියසුළි ආදී යටට අදනයෙක්) යම්සේ අල්ලා ගනී ද එ විට එහි වෙළෙන්දෝ ව්‍යසනයට පත් වන්නාහු ය. එ මෙන් ම ලාමක පුත්‍රයා මාගේ පැවිද්දට අන්තරාය කරන්නෙකැ යි රජ තෙමේ කීවේ ය.
3567. අමාත්‍යවරුනි, මේ කුමාරයා ඇලුම් වඩන පහයට ගෙන යවු, එහි ස්වර්‍ණාභරණයෙන් සැරැසුණු ඒ ස්ත්‍රීහු අප්සරාවන් විසින් සිත් අලවනු ලබන ශක්‍රයා මෙන් ඒ කුමරහු එහි අභිරමණය කරවන්නාහ. කුමාර තෙමේ ද ඒ ස්ත්‍රීන් සමඟ අභිරමණය කරන්නේ යැ යි රජ තෙම කීයේ ය.
3568. ඉන් පසු කුමරු ඇලුම් වඩන පහයට පැමිණවූහ. එහි නාටක ස්ත්‍රීහු රට දියුණු කරන්නා වූ දීඝාවු නම් ඒ කුමරා දැක මෙසේ කීහ:
3569. නුඹ වහන්සේ දේවතාවෙක් ද? ගාන්‍ධර්‍වයෙක් ද? නො එසේ නම් පුරින්‍දද නම් ශක්‍රයා වවු ද? නුඹ වහන්සේ කවරෙක් ද? කාගේ පුතෙක් හෝ වවු ද? ඒ කරුණ අපි කෙසේ දැනගනිමු ද?
3570. මම දෙවියෙක් නො වෙමි. ගාන්‍ධර්‍වයෙක් ද නො වෙමි. පුරින්‍දද නම් ශක්‍රයා නො ද වෙමි. මම වනාහි කසී රජුගේ පුත්‍ර වූ රට දියුණු කරන්නා වූ දීඝාවු නමැත්තෙමි. මා කෙරෙහි රුචි කරවු. නුඹලාට යහපතක් වේවා. මම නුඹලාගේ ස්වාමිපුරුෂයා වන්නෙමි යි කුමාරයා කීවේ ය.
3571. එහි ඒ ස්ත්‍රීහු රට දියුණු කරන්නා වූ ඒ දීඝාවු කුමරාට මෙසේ කීහ: රජ තෙමේ කොහි පැමිණියේ ද? රජ තෙමේ මෙයින් කොහි ගියේ ද?
3572. රජ තෙම රාගාදි ක්ලේශ පංකය ඉක්මැවූයේ ය. රජ තෙම පැවිද්ද නම් වූ ගොඩබිම්හි පිහිටියේ ය. රාගාදි කටු නැත්තා වූ ඒ රාගාදියෙන් ගහන නො වූ ස්වර්‍ගමෝක්‍ෂගාමී වූ මහාමාර්‍ගයට රජ තෙම පිළිපන්නේ ය.
3573. මම් වනාහි යම් මඟෙකින් දුගතියට යේ නම් රාගාදි කටු සහිත වූ රාගාදියෙන් ගහන වූ ඒ දුගති මඟට පිළිපන්නෙම් වෙමි.
3574. මහරජාණන් වහන්ස, ස්වර්‍ණමය ගුහාවකට කේශර සිංහයකුගේ පැමිණීම මෙන් නුඹ වහන්සේගේ මෙහි පැමිණීම යහපත් පැමිණීමෙකි. මහරජාණන් වහන්ස, අපට අනුශාසනා කරන සේක්වා. නුඹ වහන්සේ අප හැමගේ ම අධිපතියහුය.
සෝණක ජාතක යි.
2. සඞ්කිච්ච ජාතකය
3575. උයන්පල්ලා රාජසභාවෙහි හුන් ශ්‍රේෂ්ඨරථාචාර්‍ය්‍ය වූ බ්‍රහ්මදත්ත රජු දැක අනතුරු ව ඒ රජහට මෙසේ දැන්වී ය: “දේවයන් වහන්ස, නුඹ වහන්සේ යමකුට අනුකම්පා ඇතිසේක් ද,
3576. ඍෂීන් අතුරෙන් මැනැවැයි සම්මත වූ මේ සංකිච්ව නම් තාපස තෙම නුඹ වහන්සේ ගේ උයනට පැමිණියේ වෙයි. එහි වහා යනු මැනැව. නොපමා වැ දැකැගනුව” යි කියා යි.
3577. ඉක්බිති ශ්‍රේෂ්ඨ රථාචාර්‍ය්‍ය වූ ඒ රජ තෙමේ සුදුසු වූ යානාවකට නැඟැ මිත්‍රාමාත්‍යයන් විසින් පිරිවරන ලද්දේ වහා ගියේ ය.
3578. කසීරට වැසියන්ගේ රට දියුණු කරන්නා වූ රජ තෙම උයන් දොරටුවට පැමිණ වල්විදුනාව ද නළල්පට ද කඩුව ද කුඩය ද උපාහනය ද යන පංචරාජකකුධභාණ්ඩයන් බහාතබා,
3579. රජ තෙමේ යානාවෙන් බැස පංචරාජකකුධභාණ්ඩ ඇමතියා අතට දී දායපස්ස නම් උයනේ වැඩහුන් සංකිච්ව තාපසයන් වෙතට එළැඹියේ ය.
3580. ඒ රජ තෙමේ ඍෂිවරයා වෙත එළැඹැ ඍෂිවරයා සමඟ සතුටු සාමීචි කථා පැවැත්වී ය. ඒ සතුටු සාමීචි කථාව කොටැ නිමවා එකත් පසෙකැ හිඳගත්තේ ය.
3581. එකත් පසෙක හුන්නේ මැ ප්‍රශ්න ඇසීමට කාලය දැනගත්තේ ය. ඉක්බිති පාපකර්‍මයන් විචාරීමට පිළිපන්නේ ය.
3582. ඍෂීන් අතුරෙන් මැනැවැ යි සම්මත වූ ඍෂි සමූහයා විසින් පිරිවරන ලදු වැ දායපස්ස නම් උයනෙහි හුන්නා වූ සංකිච්ච නම් ඍෂිවරයා විචාරමි.
3583. දශකුශලධර්‍මය ඉක්මවා හැසිරෙන සත්‍වයෝ උත්පත්ති වශයෙන් පරලෙව්හි දී කවර ගතියකට යෙද්ද, මා විසින් ධර්‍මය ඉක්මවන ලදී. ඒ කරුණ විචාරන ලද්දා වූ මට කියනු මැනැවි.
3584. සංකිව්ච ඍෂි තෙමේ කසීරට වැසියන්ගේ රට දියුණු කරන්නා වූ, දායපස්ස උයනේ හුන්නා වූ රජුට මෙසේ කීයේ ය. මහරජ, මාගේ වචනය අසව.
3585. සොරුන්ගෙන් ගැවැසීගත් මඟකින් යන්නහුට යමෙක් නිර්‍භය මාර්‍ගය කියා දේ නම්, ඉදින් ඔහුගේ වචනයත් කරන්නේ නම්, සොරු නමැති කටු ඔහුට හමු නො වන්නේ ය.
3586. අධර්‍මයෙහි පිළිපන්නහුට යමෙක් ධර්‍මයෙන් අනුශාසනා කෙරේ නම්, ඉදින් ඔහු ඔහුගේ වචනයට අනුව පිළිපදී නම් දුගතියට නො යන්නේ ය.
3587. මහරජ, දශකුශල සංඛ්‍යාත ධර්‍මය තෙම සුගතිගාමී මාර්‍ගය බැවින් නියම මාර්‍ගය වේ. දශ අකුශල සංඛ්‍යාත අධර්‍මය තෙම අපායගාමී මාර්‍ගය බැවින් නොමනා වන්නේ ය. අධර්‍මය තෙම සත්‍වයා නිරයට පමුණුවයි. ධර්‍මය තෙම සත්‍වයා සුගතියට පමුණුවයි.
3588. මහරජ, විසම ජීවිකාවෘත්ති ඇති අධර්‍මචාරී වූ මනුෂ්‍යයෝ පරලෙව්හි දී උත්පත්ති වශයෙන් යම් බඳු ගතියකට යෙද්ද, ඒ නිරයන් ගැන මම නුඹට කියමි. එය අසව.
3589. සංජීව නම් නරකය ද කාළසූත්‍ර නම් නරකය ද සංඝාත නම් නරකය ද රොරුව නම් නරක දෙක ද තවද අන්‍ය වූ මහාවීචි නරකය ද තපන නම් නරකය ද පතාපන නම් නරකය ද,
3590. යන මේ අටමහා නරකයෝ ඉක්මවාලියැ නො හැක්කාහ යි කියන ලද්දාහ. මෙ කී එක එක නරකයෙක්හි සිවුපසැ සොළස බැගින් උස්‍යද නරකයෝ ද රුදුරු කර්‍මයෙන් ගැවසීගත්තාහු විද්‍යමාන වෙත්.
3591. ඒ නරකයෝ තද මසුරන් තවන්නෝ යැ. බලවත් දුක් ඇත්තෝ ය. ගිනිසිළු විහිදුවන්නෝ ය. මහත් බිය ඇත්තෝ ය. ලොමුදහගන්නාසුලු ය. බිහිසුණු වූවාහු ය. ප්‍රතිභය ඇත්තාහු ය. දුක් ගෙන දෙන්නාහ.
3592. කොන් සතරක් ඇත්තාහ. දොර සතරක් ඇත්තාහ. කොටස් වශයෙන් ප්‍රමාණ කොට බෙදන ලද්දාහ. යපවුරෙන් පිරිකෙව් කරන ලද්දාහ. යපියනින් වසන ලද්දාහ.
3593. ඒ නරකයන්ගේ අයෝමය භූමිය ගින්නෙන් දිලිසෙන්නී තෙදින් යුතු වූවා ය. හාත්පස යොදුන් සියයක් හැම කල්හි පැතිරැ සිටී.
3594. තවුස්දම් රක්නා ශීල සංයමයෙන් යුත් ඍෂීන්ට පරුෂ වචන කියමින් ඉක්මවා බණින මොව්හු පා උඩුකුරු වූවාහු යටිකුරු වූ හිස් ඇති ව නිරයෙහි වැටෙති.
3595. ඍෂීන්ට පරුෂ වචන කීමෙන් ඉක්මවා බැන්නා වූ ඒ පව්කාර මිනිස්සු කොටස් වශයෙන් වෙන් කළ මසුන් සේ අසංඛ්‍ය සංවත්සරයන්හි පැසෙත්.
3596. නිතොර ඇතුළත පිටත දෙක්හි ම දනු ලබන ශරීරයෙන් යුතු ව නරකයෙන් නික්මෙනු කැමැති වූවාහු ද දොරටුවට නො පැමිණෙත්.