3407. ප්‍රජාධිපති මහරජතුමනි, මෝ තොමෝ ඒකාන්තයෙන්ම මට ප්‍රිය ය. පෘථිවිපාලය, ඕ තොමෝ මට අප්‍රිය නො වන්නී ය. පින්වතුන් වහන්ස, කාම පරිළාහයෙන් යුත් සිංහයකු සිංහ පෝතිකාවක වාසය කරන ගුහාවට යන්නා සේ නුඹ වහන්සේ උම්මාදන්තිය වෙත යෙත් වා.
3408. යමෙක් තමහට වූ දුකින් අනුන්ගේ දුකක් හෝ අනුන්ගේ සුවයෙන් තමහට සුවයක් හෝ පිහිටුවා ද මෙය මට යම්සේ වේ ද අනුන්ටත් එසේ ම යයි දනී ද, හෙ ධර්‍මය දන්නෙකි.
3409. අහිපාරකය, මේ ලෝකයෙහි කිසියම් මිනිසෙක් “මට උම්මාදන්තිය ප්‍රිය නැතැ” යි යන තොපගේ අදහස අදහන්නේ ද? ප්‍රිය වූ උම්මාදන්තිය දීමෙන් පසු නො දක්නාවිට නුඹගේ සිතට මහත් දුකෙක් වන්නේ ය.
3410. ප්‍රජාධිපති මහරජතුමනි, මෝ තොමෝ ඒකාන්තයෙන් ම මට ප්‍රිය යයි දන්නෙහි ය. පෘථිවිපාලය, ඕ තොමෝ මට අප්‍රිය නො වන්නී ය. ජනාධිපති රජතුමනි, මට ප්‍රිය වූවකින් ඔබට ප්‍රිය වූවක් දෙමි. දේවයන් වහන්ස, ප්‍රිය දේ දෙන්නෝ ප්‍රිය දේ ලබති.
3411. ඒකාන්තයෙන් ඒ මම කාම හේතුක වූ අයුත්තක් කොට තමන්ට හිංසා නො කරන්නෙමි. මම වනාහි අධර්‍මයෙන් ධර්‍මය නසන්නට උත්සාහ නො කරමි.
3412. ජනාධිපති වූ නරශ්‍රේෂ්ඨය, ඉදින් නුඹ වහන්සේ මාගේ ඒ බිරිඳ නො කැමැත්තාහු නම්, සිවි රජතුමනි, මම ඇය හැම දෙනාට ම සාධාරණ වන ලෙස හැර දමමි. ඉන්පසු මා විසින් හැර දමන ලද ඇය කැඳවා ගනු මැනවි.
3413. හිතකාරී වූ අහිපාරකය, නුඹ දූෂ්‍ය නොකටයුතු වූ ඇය හැර දමන්නෙහි නම්, එය තොපට අහිත පිණිස වන්නේ ය. තොපට මහත් වූ අපවාදයෙක් ද වන්නේ ය. නගරයෙහි ද ජනයා තොපට පක්‍ෂ නො වන්නේ ය.
3414. සිවි මහරජතුමනි, මේ දෝෂය ද, නින්‍දාව ද, ප්‍රශංසාව ද, ගර්‍හාව ද යන සියල්ල ම මම ඉවසන්නෙමි. භූමිපාලය, මේ සියල්ල මා කරා ඒවා. නුඹ වහන්සේගේ කැමැත්තක් සුවසේ කරනු මැනවි.
3415. යමෙක් නින්‍දාව නොපිළිගනී ද යළි ප්‍රශංසාවත් නොපිළිගනී ද ගැරහීම නොපිළිගනී ද පූජාවත් නොපිළිගනී ද, ඔහු කෙරෙන් ඓශ්වර්‍ය්‍ය සංඛ්‍යාත ශ්‍රියත් ප්‍රඥා සංඛ්‍යාත ලක්‍ෂමියත් ගොඩබිමින් ලිස්සා යන වර්‍ෂා ජලයක් මෙන් පහව යේ.
3416. මෙපමණකින් යම්කිසි දුකක් හෝ සැපයක් හෝ ධර්‍මය ඉක්ම යාමක් හෝ චිත්තසන්තාපයක් හෝ සිදු වන්නේ නම් රහතුන්ගේ ද පුහුදුනන්ගේ ද සියල්ල පිළිගන්නා මහපොළොව මෙන් මම් ඒ සියල්ල පිළිගනිමි.
3417. මම අනුන්ගේ ධර්‍මය ඉක්මවා යෑමද චිත්තසන්තාපය ද කායික දුක ද නො කැමැත්තෙමි. මම් ධර්‍මයෙහි පිහිටියෙම් කිසිවකු නො පිරිහෙළන්නේ හුදෙකලා ව මේ දුඃඛභාරය එතෙර කරන්නෙමි (යි රජ තෙම කීවේ ය.)
3418. ජනාධිපතිතුමනි, නුඹ වහන්සේ මාගේ ස්වර්‍ගගාමී වූ පින්කමට අනතුරක් නො කළහු ය. මම නුඹ වහන්සේහට පහන් සිතැත්තෙමි. රජ කෙනකුන් බමුණනට යාග සඳහා දෙන ධනයක් මෙන් උම්මදන්තිය දෙමි (යි ඇමති තෙම කීවේ ය.)
3419. වැඩ කැමති ඇමතියාණෙනි, නුඹ ඒකාන්තයෙන් ම මට වැඩ කැමැත්තෙහි ය. උම්මදන්ති ද, නුඹ ද, මාගේ යහළුවෝ ය. දෙවියෝ ද බ්‍රහ්මයෝ ද සියලු රට වැස්සෝ ද යන සියල්ලෝම නින්‍දා කරන්නාහ. පරලෙව්හි විපාක දෙන්නා වූ පාපයක් ද දකිමි.
3420. සිවි රජතුමනි, නියම්ගම් වැස්සන් සහිත සියලු දනවු වැසියෝ ම මා විසින් නුඹ වහන්සේහට උම්මදන්තී දෙන ලද්දී ය යන මෙය අධර්‍මයකැ යි නො කියන්නෝ ය. එබැවින් රජ තෙම ඒ කාමතෘෂ්ණාව දියුණු කෙරේවා (නොරුස්නාහු නම් මාහට ම) දෙනු මැනවි. (ඇමති තෙම කීවේ ය.)
3421. වැඩ කැමති ඇමතියාණෙනි, නුඹ ඒකාන්තයෙන් ම මට වැඩ කැමැත්තෙහි ය. උම්මදන්තී ද නුඹ ද මාගේ යහළු වෝ ය. මනා කොට ප්‍රකාශ කරන ලද්දා වූ සත් පුරුෂ ධර්‍මයෝ මුහුදු වෙරළ මෙන් නො ඉක්මවාලිය හැක්කෝ වෙති.
3422. දේවයන් වහන්ස, නුඹ වහන්සේ වනාහි මාගේ පිදිය යුත්තාද වන්නාහු ය. හිතානුකම්පා ඇත්තා ද වන්නාහු ය. විධාන කරන්නා ද කැමති දෑ පාලනය කරන්නා ද වන්නාහු ය. එහෙයින් නුඹ වහන්සේ කෙරෙහි පුදන ලද්දී මහත් ඵල වන්නී ය. මාගේ කැමැත්තෙන් උම්මදන්තිය පිළිගනු මැනැවැ යි (ඇමති තෙම කීවේ ය.)
3423. කත්තු නමැත්තහුගේ පුත්‍ර වූ අහිපාරකය, නුඹ එකැතින් ම මට හිතකර වූ හැම දහමෙක්හි ම හැසුරුණෙහි ය. (හෙට) අරුණ නැගි කල්හි මේ මිනිස් ලොව දෙපා ඇත්තා වූ අන් කවර නම් රජෙක් නුඹට යහපතක් කරන්නේ දැ යි (ඔහු නිහඬ කිරීම පිණිස රජ තෙමේ ඇසී ය.)
3424. මහරජතුමනි, නුඹ වහන්සේ ශ්‍රේෂ්ඨ වන්නාහු ය. උතුම් වන්නාහු ය. නුඹ වහන්සේ ධර්‍මය රක්නහු ය. ධර්‍මය දන්නහු ය. මනා නුවණැත්තහු ය. ධර්‍මය රක්නා වූ ඒ නුඹ වහන්සේ බොහෝ කලක් ජීවත්වන සේක් වා. ධර්‍මය රක්නා වූ දේවයන් වහන්ස, මට ධර්‍මය ද දෙසන සේක් වා.
3425. අහිපාරකය, එසේ නම් මාගේ වචනය අසව, මම බුද්ධාදි සත්පුරුෂයන් විසින් සෙවුනා ලද ධර්‍මය තොපට දෙසන්නෙමි.
3426. දහම් කැමති වන්නා වූ රජ තෙම යහපත් වේ. නුවණැති මිනිස් තෙම යහපත් වේ. මිතුරන්ට ද්‍රෝහ නො කරන්නා යහපත් වේ. පාපයා ගේ නො කිරීම සුවයට කරුණු වේ.
3427. නොකිපෙනසුලු වූ ධර්‍මයෙහි පිහිටි රජුගේ නුවර මනුෂ්‍යයෝ දූපුතුන් නෑමිතුරන්ගේ සිහිල් සෙවණැති, නොදැහැමි බිලියම් ආදියෙන් පීඩිත නොවූ සිය ගේදොර ඇත්තාහු සුවසේ වෙසෙත්.
3428. අපරීක්‍ෂාවෙන් කරන ලද මේ කර්‍මය ද මම කැමති නො වෙමි. යම් කෙනෙක් (තුමූ) සොයා දැන කටයුතු කෙරෙත් නම් එය කැමැත්තෙමි, මාගේ මේ උපමාවන් නුඹ අසව.
3429. ඉදින් යන්නා වූ ගවයන් අතුරෙන් පෙරටුව යන ගව තෙම වක් වැ යේ නම්, පෙරටුව යන්නා වක් ව ගිය කල්හි ඒ මුළු ගව රැළ ම වක්ව යෙද්ද.
3430. එසේ ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨය යි සම්මත ද ඉදින් හෙ තෙම අධර්‍මයෙහි හැසිරේ ද එවිට සෙසු ප්‍රජාව ගැන කවර කථා ද? ඉදින් රජ තෙමේ නොදැහැමි නම් මුළු රට ම දුකසේ වෙසෙයි.
3431. ඉදින් යන්නා වූ ගවයන් අතුරෙන් පෙරටු ව යන ගව තෙම ඍජු ව යේ නම් පෙරටු ව යන්නා ඍජුව ගිය කල්හි ඒ මුළු ගව රැළම ඍජු ව යෙද්ද.
3432. එසේ ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨය යි සම්මත ද ඉදින් හෙ ධර්‍මයෙහි හැසිරේ ද එවිට සෙසු ප්‍රජාව ගැන කවර කථා ද? ඉදින් රජ තෙමේ දැහැමි නම් මුළු රට ම සුවසේ වෙසෙයි.
3433. අහිපාරකය, මම ද නොදැහැමින් දේවත්‍වය නො පතන්නෙමි. මේ මුළු පොළොව හෝ දිනන්නට නො කැමැත්තෙමි.
3434. මෙලොව මිනිසුන් කෙරෙහි ගව – දැසි – අමුරන් – වස්ත්‍ර රත් සඳුන් යන යම්කිසි රත්න ජාතියක් විද්‍යමාන වේ ද,
3435. අශ්වයෝ ද, ස්ත්‍රීහු ද, සප්තවිධ මාණික්‍යරත්න ද මහ ඇඟි භාණ්ඩ ද යන යමකුත් මේ චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ එළිය කරමින් රකිත් ද, ඒ සක්විති රජය හේතුකොට ගෙන ද විෂම ව නො හැසිරෙමි. යම් හෙයකින් මම සිවි රජුන් අතර ශ්‍රේෂ්ඨ ව උපන්නෙම් ද, එහෙයිනි.
3436. මම වනාහි නායකයෙක් ද, පියෙක් ද, ප්‍රසිද්ධ කෙනෙක් ද රට පාලනය කරන්නෙක් ද, සිවි රජුන්ගේ ධර්‍මය ගරු කරන්නෙක් ද වෙමි. ඒ මම ඒ ධර්‍මය අනුව ම සිතන්නෙමි. එහෙයින් තමන්ගේ චිත්ත වසයෙහි නො පවතිමි යි (රජ තෙම කීවේ ය.)
3437. මහරජ, ඒකාන්තයෙන් නුඹ වහන්සේ නිතරම විපත්ති රහිත ව නිර්‍භය ව බොහෝ කලක් රජය කරවන්නාහු ය. යම් හෙයෙකින් නුඹ වහන්සේගේ ප්‍රඥාව එබඳු වන්නී ද එහෙයිනි.
3438. ධර්‍මයෙහි ප්‍රමාද නො වව යි යම් බඳු ධර්‍මයක් ප්‍රකාශ කෙළෙහි ද, නුඹගේ මේ ධර්‍මයට මම සන්තෝෂ වෙමි. අධිපති ක්‍ෂත්‍රිය තෙම ධර්‍මයෙහි ප්‍රමාද වී ස්ථානයෙන් චුත වේ.
3439. ක්‍ෂත්‍රිය මහරජ, මව්පියන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව මව්පියන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ, ස්වර්‍ගයට යන්නෙහි ය.
3440. ක්‍ෂත්‍රිය මහරජ, අඹුදරුවන් කෙරෙහි දැහැමින් හැසිරෙව මහරජ, මෙලොව අඹුදරුවන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
3441. ක්‍ෂත්‍රිය මහරජ, මිත්‍රාමාත්‍යයන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව මිත්‍රාමාත්‍යයන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
3442. මහරජ, බළ සේනාවන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව බළ සේනාවන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ, ස්වර්‍ගයට යන්නෙහි ය.
3443. මහරජ, ගම් නියම්ගම් වැසියන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොවැ ගම් නියම්ගම් වැසියන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිතධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
3444. මහරජ, රට වැසියන් කෙරෙහි හා දනව් වැසියන් කෙරෙහි ද, දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව රටවැසියන් කෙරෙහි හා දනව් වැසියන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
3445. මහරජ, මහණ බමුණන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව මහණ බමුණන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
3446. ක්‍ෂත්‍රිය මහරජ, මෘගපක්‍ෂීන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොවැ මෘගපක්‍ෂීන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නේ ය.
3447. මහරජ, දැහැමින් හැසිරෙව. පුරුදු කරන ලද ධර්‍මය තෙමේ සැප ගෙනදෙන්නේ වෙයි. මහරජ, මෙලොවැ ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යව.
3448. මහරජ, දැහැමින් හැසිරෙව. ශක්‍රයා සහිත දෙවියෝත් මහාබ්‍රහ්මයා සහිත සෙසු බ්‍රහ්මයෝත් මොනොවට පුරුදු කරන ලද ධර්‍මය කරණ කොට ගෙන දෙව්ලොවට පැමිණෙන්නාහු ය. මහරජ, ධර්‍මයෙහි ලා ප්‍රමාද වන්නෙක් නො වව. (මෙසේ අහිපාරක නම් සෙනෙවි තෙම රජහට ධර්‍ම දේශනා කෙළේ ය).
උම්මාදන්තී ජාතක යි.
3. මහාබෝධි ජාතකය
3449. ස්වාමීනි, තවුස් බ්‍රාහ්මණයන් වහන්ස, නුඹ වහන්සේ කවර හෙයින් දණ්ඩක් ගත්තහු ද? කුමක් හෙයින් වෙලෙවි වැ අඳුන් දිවිසමත්, කුඩයත්, උවහනත්, අකුස්සත්, පාත්‍රයත්, සංඝාටියත් ගත්තහු ද? කවර නම් දිසාවකට වැඩම කරනු කැමැත්තහුදැයි (රජ තෙම ඇසුවේ ය.)
3450. මහරජ, මේ දොළොස් වසක් නුඹ සමීපයෙහි වසන ලදී. එහෙත් පිංගල නම් වූ නුඹගේ සුනඛයා විසින් කරන ලද මෙබඳු මහත් ශබ්දයක් ගැන නො දනිමි.
3451. ඒ මේ සුනඛ තෙම, මා කෙරෙහි පහව ගිය ශ්‍රද්ධා ඇති භාර්‍ය්‍යාව සහිත නුඹගේ (මා මැරවීමට කළ) කථාව අසා සුදු දළ විහිදුවමින් එඩිතරයකු මෙන් (ඔබ මෙහි එන්නේ කිම? රජු විසින් ඔබ මරනු පිණිස අණ කරන ලද බව නොදන්නා සේක්දැයි අඟවමින්) නාදකරයි. (බුරයි).
3452. තාපසයාණන් වහන්ස, යම්සේ කියන්නාහු නම් ඒ දෝෂය අප විසින් කරන ලද්දේය. මම දැන් වැඩියක් පහන් වෙමි. තාපසයන් වහන්ස, මෙහි ම වසනු මැන. නො වඩිනු මැනවැයි (රජ තෙම කීවේ ය.)
3453. මහරජ, පළමුවෙන් (නුඹගේ ගෙහි මට දුන් බත) සුදු විය. (හෙදකයන්ගේ වචන වලින් පසුව) මිශ්‍ර විය. දැන් ලේ වන් විය. එබැවින් මට බැහැර යෑමට දැන් කාලය පැමිණ තිබේ.
3454. මහරජ, පළමු මට දුන් අසුන රජ මැදුර තුළ විය. ඉන්පසු මධ්‍යයෙහි (හිණිහිස) ය. ඉන්පසු පිටත්හිය. නැවත ගෙලෙහි ගෙන ඇද දමීමට පෙර මම තෙමේම යන්නෙමි.
3455. පහව ගිය ශ්‍රද්ධා ඇත්තහු දිය නැති ලිඳක් මෙන් සේවනය නො කරන්නේ ය. ඉදින් එය නැවත සාරන්නේ නම් මඩ ගඳින් යුත් ජලය ඇති වන්නේ ය. (එමෙන් පහ වූ ශ්‍රද්ධා ඇත්තහු ඇසුරු කරන්නා ලබන ප්‍රත්‍යය මඳ වූයේ ද රූක්‍ෂ වූයේ ද වෙයි. එහෙයින් පරිභෝගයට නුසුදුසු වන්නේ ය.)
3456. පිහිටි ශ්‍රද්ධා ඇත්තහු ම සේවනය කරන්නේ ය. නො පහන් වූවහු දුරු කරන්නේ ය. දිය කැමැත්තහු ගැඹුරු මහ විලක් මෙන් (පැවිද්දා ද) සැදැහැත්තකු ම ඇසුරු කරන්නේ ය.
3457. තමා භජනය කරන්නකු තෙමේ භජනය කරන්නේය. තමා භජනය නො කරන්නකු (පසමිතුරකු) තෙමේ භජනය නො කරන්නේ ය. තමා කෙරෙහි ඉත සිතින් භජනය කරන්නකු යමෙක් භජනය නොකෙරේ නම් හේ අසත්පුරුෂ ධර්‍ම ඇත්තෙකි.
3458. යමෙක් තමා භජනය කරන්නකු භජනය නො කෙරේ ද සේවනය කරන්නකු සේවනය නො කෙරේ ද හෙතෙම ගස්වල අතු ඇසුරු කළ වඳුරකු මෙන් ඒකාන්තයෙන් මිනිස් පවිටෙකි.
3459. අධික වූ නිතර ආශ්‍රයෙන් ද එක්ව නො හැසිරීමෙන් ද නො කල්හි ඉල්ලීමෙන් ද යන මේ කරුණින් මිත්‍රයෝ දිරත්. (මිතුරු බව නැතිවේ.)
3460. එහෙයින් නිතර නො එළඹෙන්නේය. ඉබොහෝ කලකින් ද නො එළඹෙන්නේය. සුදුසු කල්හි ඉල්ලිය යුත්තක් ඉල්ලන්නේ ය. මෙසේ ඇති කල්හි මිත්‍රයෝ නො දිරත්. (මිතුරු බව නොනැසී පවතී.)
3461. ඉබොහෝ කලක් එකට විසීමෙන් ප්‍රිය තැනැත්තේත් අප්‍රිය වේ. එහෙයින් තොපට මා අප්‍රිය වන්නට පෙර තොප (හා) කථා කොට යන්නෙමි. (තාපස තෙම කීයේ ය.)
3462. ස්වාමීනි, මෙලෙසින් අයැද සිටින්නා වූ අපගේ අඤ්ජලී ප්‍රණාමය නුඹ වහන්සේ නොපිළිගන්නාහු නම් සමීපචාරී වූ අපගේ කීම නො කරන්නාහු නම් යළි මෙහි එක්වරක් පැමිණීම (පමණක්) කරනු මැනව.
3463. රට වඩන්නා වූ මහරජ, ඉදින් මෙසේ (වෙන්ව) වාසය කරන්නා වූ තොපට ද අපට ද යන අප දෙදෙනාට කිසියම් අන්තරායෙක් නොවන්නේ නම් කල්යෑමෙන් දක්නෙමු නම් ඉතා යෙහෙකි.
3464. ඉදින් ලෝ වැසි තෙම එක්වීමෙන් හා ස්වභාවයෙන් සුවදුක් අනුව පවත්නේ (ඒ ඒ තන්හි සුව දුක් විඳින්නේ) නො කැමැත්තෙන් වුවද නොකටයුතු පාප කර්‍මයක් හෝ කටයුතු කුශල කර්‍මයක් හෝ කෙරෙයි යනු තොපගේ කීම නම් මෙසේ නොකැමැත්තෙන් (ස්වාභාවිකව) කරන මේ ක්‍රියාවෙහි කවරෙක් නම් ඒ පාපකර්‍මයෙන් බැඳේ ද?
3465. (තොප විසින් ප්‍රකාශ කරන ලද) ඒ අර්‍ත්‍ථය ද ධර්‍මයද (අහේතුක වාදය) යහපත් වේ නම්, ලාමක නොවේ නම්, භවත්හුගේ වචනය සත්‍යවේ නම්, ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහි ලා මාගේ කවර වරදෙක් ද?)
3466. ඉදින් තමාගේ වාදයෙහි අපරාධය දන්නෙහි නම් නුඹ මට නො ගරහන්නෙහිය. භවත්හුගේ වාදය එබඳු යි (තාපස තෙම කීවේ ය.)
3467. ඉදින් (යම් ඒ) ඊශ්වරයෙක් මුළු ලෝකයාගේ දිවි පැවැත්ම සංවිධානය කෙරේ ද, දියුණුව හා පිරිහීමත් කුශල හා අකුශල කර්‍මත් කරන්නේ ද, (කර්‍මකාරී) පුරුෂයා ඒ ඊශ්වරයාගේ අණ ඉටුකරන්නෙකි. ඊශ්වරයා ඒ පාපකර්‍මයෙන් බැඳේ.
3468. (තොප විසින් ප්‍රකාශ කරන ලද) ඒ අර්‍ත්‍ථය ද ධර්‍මය ද (ඊශ්වර නිර්‍මාණ වාදය) යහපත් වේ නම්, අලාමක වේ නම්, භවත්හුගේ වචනය සත්‍ය වේ නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහිලා මාගේ වරද කවරෙක් ද?)
3469. ඉදින් තමාගේ වාදයාගේ දෝෂය දන්නෙහි නම් නුඹ මට නො ගරහන්නෙහි ය. භවත්හුගේ වාදය එබඳුයි (තාපස තෙම කීවේ ය.)
3470. ඉදින් සත්‍ව තෙම පෙරකළ කර්‍ම හේතුකොට ගෙන සුව දුක් දෙකට පැමිණෙයි ද, පුරාකෘත පාපසංඛ්‍යාත ඒ ණය මුදා ද, එසේ ඇති කල්හි මාගේ ද මෙය පුරාණ ණයෙන් මිදීම වේ. මෙහිලා කවරෙක් පාප කර්‍මයෙන් බැඳේ ද?
3471. තොප විසින් ප්‍රකාශ කරන ලද ඒ අර්‍ත්‍ථය ද ධර්‍මය ද (පුබ්බේකතහේතු වාදය) යහපත් වේ නම්, අලාමක වේ නම්, භවත්හුගේ වචනය සත්‍ය වේ නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහිලා මාගේ වරද කුමක් ද?)
3472. ඉදින් තමාගේ වාදයාගේ දෝෂය දන්නෙහි නම් නුඹ මට නො ගරහන්නෙහි ය. භවත්හුගේ වාදය එබඳු යි. (තාපස තෙම කීවේ ය,)
3473. සත්‍වයන්ගේ රූපස්කන්‍ධය සතර මහා භූතයන් නිසා හට ගනී. යමකින් රූපය හටගනී ද (කාලක්‍රියා කාලයෙහි) යළි එහි ම එළඹෙයි.
3474. සත්‍වතෙම මෙලොව මැ ජීවත් වෙයි. පරලෙව්හි (උපන් සත්‍වයා ගති වශයෙන් මෙ ලොවට නො පැමිණ එහි ම) විනාශ වෙයි. මේ ලෝකය (තෙමේ ම) විනාශයට පැමිණෙයි. යම් බාල කෙනෙක් හෝ යම් පණ්ඩිත කෙනෙක් හෝ වෙද්ද (ඒ සියල්ලෝ ද විනාශ වෙති.) (මෙසේ) ලොව විනාශයට පත්වන කල්හි මෙහි කවරෙක් නම් පාප කර්‍මයෙන් බැඳේ ද?
3475. (තොප විසින් ප්‍රකාශ කරන ලද) ඒ අර්‍ත්‍ථයද ධර්‍මයද (උච්ඡේද වාදය) යහපත් වේ නම් අලාමකත් වේ නම් භවත්හුගේ වචනය සත්‍ය වේ නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහි ලා මාගේ වරද කුමක් ද?)
3476. ඉදින් තමාගේ වාදයාගේ දෝෂය දන්නෙහි නම්, නුඹ මට නො ගරහන්නෙහි ය. භවත්හුගේ වාදය එබඳු එකකි. (තාපස) තෙම කීවේ ය.
3477. ඉදින් එබඳු ප්‍රයෝජනයක් වන්නේ නම් මාපියන් ද යළි දෙටු සොහොවුරා ද අඹුදරුවන් ද නසන්නේ ය යි (කියු) ක්‍ෂත්‍ර විද්‍යා දත් පණ්ඩිතමානී අඥයෝ වූහ.
3478. යම් ගසක්හුගේ සෙවනෙහි හිඳී ද, හොවීද ඒ ගසෙහි අත්තක් හෝ නොබිඳින්නේ ය. යම් හෙයකින් මිත්‍ර ද්‍රෝහකම ලාමක වේද එහෙයිනි.
3479. තවද කටයුත්තක් ඇති කල්හි සහමුලින් ම උදුරන්නේය. (යන කීමක් ඇත.) මට මාර්ගෝපකරණයෙන් ප්‍රයෝජන විය. එහෙයින් මා විසින් ඒ වානරයා මනාව නසන ලද්දේ ය.
3480. ඒ මිත්‍රදෝහිත්‍වය පිළිබඳ කීම අර්‍ත්‍ථ සහිතත් වේ නම් දැහැමිත් වේ නම් යහපතුත් වේ නම් අලාමකත් වේ නම්, පින්වතාගේ කීම සත්‍ය නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලදී. එහිලා මාගේ වරද කුමක් ද?
3481. ඉදින් (පින්වත, නුඹ යම් හෙයකින්) තමාගේ වාදයාගේ දෝෂය දන්නෙහි නම් නුඹ මට නො ගරහන්නෙහි ය. භවත්හුගේ වාදය එබඳු යි (තාපස තෙම කීවේ ය.)
3482. යම් අහේතුකවාදී පුරුෂයෙක, ඊශ්වරවාදියෙක, පූර්වේකෘතහේතුවාදියෙක, උච්ඡේදවාදියෙක, යම් ක්‍ෂත්‍ර විද්‍යා දන්නා පුරුෂයෙකැ යි යන යම් පස් දෙනෙක් වෙත් ද,
3483. පණ්ඩිතමානී වූ බාල වූ මොවුහු ලෝකයෙහි අසත් පුරුෂයෝ වෙත්. එබඳු අසත්පුරුෂයා තෙමේද පව් කරන්නේ ය. වැළි අනුන් ලවාත් පව් කරවන්නේ ය. අසත්පුරුෂයන් හා එක්වීම දුෂ්කෘතයක් ද කටුක විපාක වැඩෙන්නක් ද වන්නේ ය.
3484. පෙර වෘකයෙක් නොසැකවූයේ බැටළු රුවින් එළු රැළකට පැමිණෙයි. තිරෙළු දෙනක් ද එළු දෙනක් ද එළුවකු ද නසා කා කැමති සේ පලා යයි.
3485. එබඳු ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්. ඔවුහු ආහාර නො බුදින්නාහු ය. ගොඩැලි හිස් බිම්වල සයනය කරන්නාහු රජස් දැලින් යුක්ත වූවාහු උක්කුටිකයෙන් තපස් කරන්නාහු වාර භෝජනය ද පැන් පානය නො කිරීම ද කරන්නාහු පහත් හැසිරීම් ඇත්තාහු රහතුම්හ යි ප්‍රකාශ කරන්නාහු පැවිදි වෙසින් සිරුර වසා ගෙන මිනිසුන් රවටත්.
3486. පණ්ඩිතමානී වූ අඥ වූ මොවුහු ලොවෙහි අසත්පුරුෂයෝ වෙති. එබඳු අසත්පුරුෂයා තෙමේ ද පව් කරන්නේ ය. අනුන් ලවා ද (පව්) කරවන්නේය. අසත්පුරුෂයන් හා එක්වීම දුෂ්කෘතයක් ද කටුක විපාක වැඩෙන්නක් ද වන්නේ ය.
3487. යම් කෙනෙක් වීර්‍ය්‍යයක් නැතැයි කියත් ද, යම් කෙනෙක් හේතුවක් නැතැයි කියත් ද, අනුන්ගේ ක්‍රියා හා තමන්ගේ ක්‍රියා හිස්ය යි යම් කෙනෙක් කියත් ද,
3488. පණ්ඩිතමානී වූ, අඥ වූ මොවුහු අසත්පුරුෂයෝ වෙති. එබඳු අසත්පුරුෂයා තෙමේ ද පව් කරන්නේ ය. අනුන් ලවා ද පව් කරවන්නේ ය. අසත්පුරුෂයන් හා එක්වීම දුෂ්කෘතයක් ද කටුක විපාක වැඩෙන්නක් ද වන්නේ ය.
3489. ඉදින් එබඳු වීර්‍ය්‍යයක් නොවන්නේ නම් යහපත් වූ ද ලාමක වූ ද කර්‍මයකුත් නොවන්නේ නම් රජ තෙම වඩුවකු පෝෂණය නො කරන්නේ ය. (සත්බුමු පහය ආදි) යන්ත්‍ර ද නො කරවන්නේ ය.
3490. යම් හෙයකින් වීර්‍ය්‍යය ඇත්තේද, යහපත් වූ ද ලාමක වූ ද කර්‍ම ඇත්තේ ද, එහෙයින් රජ තෙම (ප්‍රාසාදාදි) යන්ත්‍රයන් කරවයි. වඩුවා ද පෝෂණය කරයි.
3491. ඉදින් හවුරුදු සියයක් වැසි නොවසී ද හිම නොවැටේ ද, (එකල) මේ ලෝකයතෙම සිඳී යන්නේ ය. මේ ප්‍රජා තොමෝ වැනැසෙන්නී ය.
3492. යම් හෙයකින් වැසි වසී ද, හිම ස්පර්‍ශ කෙරේ ද, එහෙයින් ශස්‍යයෝ පැසෙත්, රට ද බොහෝ කලක් පාලනය කරනු ලැබේ.
3493. ඉදින් යන්නා වූ ගවයන් අතුරෙන් පෙරටුව යන ගව තෙම වක්ව යේ නම්, පෙරටුව යන්නා වක්ව ගිය කල්හි ඒ සියල්ලෝම වක්ව යෙත් ද,
3494. එසේම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ ය යි සම්මත ද ඉදින් හෙතෙම අධර්‍මයෙහි හැසිරේ නම් සෙසු ප්‍රජාව ගැන කවර කථා ද? ඉදින් රජ තෙම නොදැහැමි වේනම් මුළු රට ම දුකසේ වෙසෙ යි.
3495. ඉදින් යන්නාවූ ගවයන් අතුරෙන් පෙරටුව යන ගවයා ඍජුව යේ නම්, පෙරටුව යන්නා ඍජුව ගිය කල්හි ඒ සියල්ලෝ ම ඍජුව යෙත්.
3496. එසේම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ ය යි සම්මත ද, ඉදින් හෙතෙම ධර්‍මයෙහි හැසිරේ නම් සෙසු ප්‍රජාව ගැන කවර කථා ද, ඉදින් රජ තෙම දැහැමි නම් මුළු රට ම සුවසේ වෙසෙයි.
3497. යමෙක් පලගත් මහ අඹරුකක්හුගේ අමු ගෙඩියක් කඩයි ද, හෙතෙම ඒ ගෙඩියේ රසය ද නොදනී. ඒ ඵලයෙහි බීජය ද නැසෙයි.
3498. යමෙක් මහ අඹරුකක් බඳු වූ රට අධර්‍මයෙන් අනුශාසනා කෙරේ ද, හෙතෙමේ ඒ රටේ (අයබදු) රසයත් නොවිඳියි. ඔහුගේ රටත් වැනසේ.
3499. යමෙක් පලගත් මහ අඹරුකක්හුගේ පැසුණු ගෙඩියක් කඩයි ද, හෙතෙම ඒ ගෙඩියේ රසය ද දැනගනී. එහි බීජය ද නො නැසේ.
3500. යමෙක් මහ අඹරුකක් බඳු වූ රට දැහැමින් අනුශාසනා කෙරේ ද, හෙතෙම ඒ රටේ (අය බදු) රසය ද විඳියි. (ලබයි) ඔහුගේ රට ද නො නැසේ.
3501. යම් රජෙක් අධර්‍මයෙන් (යම්) දනව්වක් පාලනය කෙරේ ද, ඒ ක්‍ෂත්‍රිය රජ තෙම සියලු ඖෂධයන් හා විරුද්ධ වූයේ වෙයි.
3502. එසේ ම නිගම වැසියන් ද, වෙළඳාමෙහි යම් කෙනෙක් යෙදුනේ නම් (ඔවුන් ද) බඩු ගෙන ඊම් සුංවත්දීම් වශයෙන් ඕජදාන හා (බදු ගෙවීම් වශයෙන්) බලිදීම කරන්නන් ද (හිංසා කෙරේ නම්) හේ කෝෂ්ටාගාරය හා විරුද්ධ වූයේ වෙයි.
3503. පහරදීමට සුදුසු තැන් දන්නා වූ (ධනුර්ධරයන් ද), යුද්ධයෙහි කළ පුරුදු ඇති (මහා යෝධයන් ද), ප්‍රසිද්ධ වූ (මහ ඇමතියන් ද) (යම් රජෙක් හිසා කෙරේ නම්) ඒ රජ බලසෙනඟ හා විරුද්ධ වූයේ වෙයි.
3504. එසේ ම සංයම ඇති, බ්‍රහ්මචාරී වූ, පැවිද්දන් හිංසා කරන අධර්‍මයෙහි හැසිරෙන ඒ ක්‍ෂත්‍රිය තෙම ස්වර්‍ගය හා විරුද්ධ වූයේ වෙයි.