Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 4001-4100 න් 7679

3315. අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද, මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ කිණිහිරිය මල් උයනය.
3316. නෑ සමූහයා විසින් පිරිවරන ලද රජතෙම යම් උයනෙක්හි හැසිරුණේ ද මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ කිණිහිරිය මල් උයනය.
3317. අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද, මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ ඒ පළොල්වනය යි.
3318. නැ සමූහයා විසින් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක් හි හැසිරුණේ ද, මෙය වනාහි සියලු කල්හි මනාව පිපියාවූ උන්වහන්සේගේ ඒ පළොල්වනය යි.
3319. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද රජ තෙමේ යම් උයනෙක්හි හැසිරුණේ ද, මෙය වනාහි හැමකල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ අඹඋයන ය.
3320. නෑ සමූහයා විසින් පිරිවරන ලද රජතෙමේ යම් උයනෙක්හි හැසිරුණේ ද, මෙය වනාහි හැම කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ අඹ උයන ය.
3321. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද රජතෙමේ යම් පොකුණක් සමීපයෙහි හැසුරුණේ ද, මෙය වනාහි නොයෙක් ජල කුසුමයන්ගෙන් පක්‍ෂීන්ගෙන් ගැවසීගත්තා වූ උන්වහන්සේගේ ඒ පොකුණ ය.
3322. නෑ සමූහයා විසින් පිරිවරන ලද රජතෙම යම් පොකුණක් සමීපයෙහි හැසුරුණේ ද, මෙය වනාහි නොයෙක් ජලකුසුමයන්ගෙන් හා පක්‍ෂීන්ගෙන් ගැවසීගත්තා වූ උන්වහන්සේගේ ඒ පොකුණ ය.
3323. සුතසෝම රජ තෙම මේ රාජ්‍යය හැර දමා පැවිදි වූයේ ය. කසාවත් හැඳගත්තේ ඒකචර හස්තිරාජයකු මෙන් එකලාව හැසිරේ.
3324. පෙර තොප විසින් කරන ලද කාමක්‍රීඩා සහ කාය වාචා චිත්ත වශයෙන් කළ ක්‍රීඩා ද තොප සිත්හි පහළ නො වේවා. සිනහ කාරණයන් ද සිහි නො කරමු. යම් හෙයකින් සුදර්‍ශන නගරය සිත්කලු වන්නේ ද එහෙයින් ඒ නගරය සිහිපත් නො කරව. කාමයෝ වනාහි තොපට හිංසා නො කෙරෙත්වා.
3325. දවල් ද රෑ ද අප්‍රමාණ වූ මෛත්‍රී සිත වඩමු. ඉක්බිති පින් ඇත්තවුන්ගේ වාසස්ථානය වූ දෙව් පුරයට යවු යි. පිරිසට අවවාද කළේ ය.
චුල්ලසුතසෝම ජාතක යි.
චත්තාළීස නිපාතය නිමියේ යි.
එහි උද්දානය:
සුවපණ්ඩිත, ජම්බුක කුණ්ඩලි යන පක්‍ෂීන් ඇති තෙසකුණ ජාතකය ද, සරභඞ්ග ජාතකය ද, අලම්බුස ජාතකය ද, උතුම් වූ සඞ්ඛ නාගරාජ ජාතකය ද, සුතසෝම ජාතකය ද යන මොහු චත්තාළීස නිපාතයෙහි වෙත්.
18. පඤ්ඤාස නිපාතය
1. නලිනිකා ජාතකය
3326. නලිනී කුමරිය, මෙහි එව. ජනපදය නියඟින් දැවේ. රට ද වැනසේ, යව, ඒ මාගේ රටට වැසි වළකන්නා වූ බ්‍රාහ්මණයා (ඉසිසිංග තාපසයා) මෙහි ගෙන එවයි රජ තෙම කීය.
3327. පිය මහරජ, මම දුක් ඉවසිය හැක්කී නොවෙමි. මම හොඳින් මඟ දන්නියක් ද නොවෙමි. ඇතුන් විසින් සෙවුනා ලද වනයෙහි මම කෙසේ නම් යම් දැ යි නලිනිය ඇසුවා ය.
3328. එම්බා නලිනිය, ඇතුපිටින් හා රථයෙන් ද සමෘද්ධ වූ නුවරට ගොස් සුදුසු තන්හි බස්වාගෙන යන දැවමය යානයෙන්ද, නැව් ආදියෙන් ද යව.
3329. ක්‍ෂත්‍රිය කුමරියනි, ඇත් අස් රිය පාබළ යන සිව් රඟ සෙනග ගෙන යව. මෙසේ ක්ලාන්ත නොවී ගොස් තිගේ ශරීර වර්‍ණයෙන් ද රූප සම්පත්තියෙන් ද ඒ බ්‍රාහ්මණයා තමන්ගේ වසයට ගනුවයි කීයේ ය.
3330. කදලි සංඛ්‍යාත කෙසෙල් ධ්වජ සලකුණු ඇත්තා වූ ආභුජී පත්‍ර වනයෙන් පිරිවරන ලද්දා වූ ඉසිසිංග තාපසයාගේ රම්‍ය ආශ්‍රමය අර පෙණේ.
3331. අර ගින්න ඒ තාපසයා විසින් පුදන ලද ගින්න වේ. අර දුම දක්නට ලැබේ. මහත් ඍද්ධි ඇති ඉසිසිංග තාපස තෙම ගින්න නොනිවන්නේ යයි හඟිමි.
3332. ඉසිසිංග තාපස තෙමේ මිණි කොඬොල් පැළඳ එන්නා වූ ඇය දැක බිය වී (කොළ පියසි ඇති) ආශ්‍රමයට ඇතුළු විය.
3333. ඒ නලිනී තොමෝ අසපු දොර සිට රහසඟත් ප්‍රකට නොකටයුතු අවයවත් පෙන්නමින් පන්දුවකින් ක්‍රීඩා කරයි.
3334. පන්සලට පිවිසියා වූ තාපස තෙම ක්‍රීඩා කරන්නා වූ ඇය දැක අසපුවෙන් නික්ම මේ වචන කීයේ ය.
3335. පින්වත, යම්බඳු නුඹගේ දුරට දමන ලද ඵලය (පන්දුව) ආපසු එයි ද තා හැර නොයයි ද, මේ ආකාරයක් ඇති ඵලය හටගන්නා වූ ඒ ගස කවරෙක්දැයි තාපස තෙම ප්‍රශ්න කෙළේ ය.
3336. බ්‍රාහ්මණය, ගන්‍ධමාදන පර්‍වතයෙහි මාගේ අසපුව සමීපයෙහි යම් ගසක ඵලය මෙසේ දුරට දමා ගැසූ කල පෙරළා ඒ ද, මා හැරදමාත් නොයා ද එබඳු වෘක්‍ෂයෝ එහි ඇත්තාහ.
3337. පින්වතුන් වහන්සේ මේ ආශ්‍රමයට පිවිසෙන සේක්වා. (ඇති සැටියකින්) ආහාර අනුභව කෙරෙත් වා. පයෙහි ගල්වන තෙල් ද, මිහිරි ඵලාඵල ද සූදානම් කොට දෙමි. මේ නුඹ වහන්සේට ආසනයයි. පින්වතුන් වහන්සේ මෙහි හිඳගන්නා සේක් වා. පින්වතුන් වහන්සේ මෙයින් අලමුල් හා පලවැළ ද අනුභව කෙරෙත් වා.
3338. පින්වත, නුඹගේ කළවායුවල අතර හොඳින් හේත්තු වූ කළුවන් සටහනක් සේ මේ කවරක් නම් පෙනේ ද? මා විසින් විචාරන ලද නුඹ මේ කරුණ මට කියව. තොපගේ රහසඟ ශරීර සංඛ්‍යාත කෝෂයෙහි ඇතුළු වීද?
3339. පින්වත් තාපසයෙනි, මම වනයෙහි අල මුල් හා පලතුරු සොයමින් හැසුරුණෙම් ඉතා දරුණු ස්වභාව ඇති වලසකුට ගලකින් ගැසුවෙමි. ඒ වලසා මා දෙසට පැන වහා මා වෙත පැමිණියේ මා පෙරළා මාගේ රහසඟ කටින් උදුරා ඩැහැ ගත්තේය.
3340. එතැන් පටන් මාගේ ඒ වණය සෑරෙයි. කැසීමද හටගනී. එහෙයින් හැම කල්හිම සුවයක් නොලබමි. පින්වත් තෙම මේ කැසීම සුව කරන්නට පොහොසත් ය. මා විසින් යදින ලද නුඹ වහන්සේ බ්‍රාහ්මණ වූ මා පිණිස යහපතක් කරන සේක් වා.
3341. පින්වත, තොපගේ වණය ගැඹුරුය. ලේවන් පැහැත්තේ ය. කුණුමස් නැත්තේ ය. මදක් දුගඳ ඇත්තේ ය. විශාල ය. යම් සේ පින්වත් තෙමේ ඉතා සුවපත් වූවෙක් වන්නේ ද එසේ යම්කිසි කෂාය යෝගයක් තොපට කරමි.
3342. පින්වත් බ්‍රහ්මචාරිය, මන්ත්‍ර හෝ කසාය යෝග හෝ වෙනත් ඖෂධ හෝ මේ වණය සුවපත් නො කෙරේ. යම් සේ මම ඉතා සුවැත්තෙක් වන්නෙම් ද එපරිද්දෙන් නුඹගේ මෘදු වූ යම් අවයවයක් වේ නම් එයින් ගටා මේ කැසීම දුරුකරවයි නලිනී කීවා ය.
3343. පින්වතාගේ ආශ්‍රමය මෙයින් කවර දිශායෙක්හි ද? කිම පින්වතා වනයෙහි සිත් අලවන්නේ ද? කිම නුඹට අල මුල් හා පලතුරු බොහෝ තිබේ ද? කිම ව්‍යාල සත්තු පින්වතා නො වෙහෙසත් ද?
3344. පින්වත, මෙතැනින් ඍජුව උතුරු පැත්තෙහි ඛේමා නම් ගඟක් හිමවතෙන් ගලා බසියි. මාගේ රම්‍ය වූ ආශ්‍රමය ඒ ගංගාවගේ ඉවුරේ ය. අනේ, පින්වතා මාගේ ආශ්‍රමය දක්නේ නම් යහපතැ යි නලිනී කීවා ය.
3345. එහි අඹ ගස් ද සල් ගස් ද එරහැන්ද ගස් ද දඹ ගස් ද ඇහැළ ගස් ද පළොල් ගස් ද පිපියාහු වෙත්. හාත්පසින් කිඳුරන් විසින් ගායනා කරන ලද්දේ වේ. අනේ පින්වතා මාගේ ආශ්‍රමය දක්නේ නම් යෙහෙක.
3346. මෙහි පැහැයෙන් සහ සුවඳින් යුත් තල්ගස් ද තල් අල ද තල් ගෙඩි ද ඇත්තාහ. ඒ ආශ්‍රමය මෙබඳු භූමිභාගයකින් යුක්තය. අනේ පින්වතා මාගේ ආශ්‍රමය දක්නේ නම් යහපති.
3347. මෙහි පැහැයෙන් ද සුවඳින් හා රසයෙන් ද යුත් පලතුරු ද අල මුල් ද බොහෝ ය. ඒ ප්‍රදේශයට වැද්දෝ ද එන්නාහ. ඒ ආශ්‍රමයෙන් ඔවුහු අල මුල් හා පලතුරු හැරගෙන නො යත්වා යි (නලිනිය ප්‍රකාශ කළා ය.)
3348. මාගේ පියා අල මුල් හා පලතුරු සෙවීමට ගියේ ය. සවස් කාලයෙහි දැන් එන්නේ ය. පියා අල මුල් හා පලතුරු සොයා ගෙන එනතුරු බලව. (එවිට) අපි දෙදෙනා ම ඒ ආශ්‍රමයට යමුයි (තාපසයා කීයේය.)
3349. තාපසය, තවත් බොහෝ යහපත් ස්වභාව ඇත්තා වූ බ්‍රාහ්මණ ඍෂීහු ද රාජර්ෂීහු ද මාගේ ආශ්‍රමයට යන මාර්‍ගයෙහි දෙපස වසන්නාහ. නුඹ මාගේ ආශ්‍රමයට යන මග ඔවුන් විචාරා දනුව. ඒ ඍෂිවරු තොප මාගේ අසපුවට පමුණුවන්නා හ. (කියා නලිනී ගියා ය.)
3350. (පුත්‍රය,) තා විසින් දර නොකඩන ලද. දිය නො ගෙනෙන ලද. පූජාග්නිය නො දල්වන ලද. කුමක් නිසා බාලයකු මෙන් සිතුවිල්ලෙහි යෙදී සිටිනෙහිද?
3351. බ්‍රහ්මචාරී තාපසය, පෙර නුඹ විසින් දර බිඳින ලදහ. පූජාග්නිය ද දල්වන ලද්දේ ය. ගිනි තපින උපකරණ ද තා විසින් ම සපයන ලද්දාහ. මාගේ පුටුව ද එළවා තබන ලද්දේ වෙයි. පා දෝනා දිය ද එළවන ලද්දේ ය. නුඹ ද මෙයින් පෙර ශ්‍රෙෂ්ඨයෙක් ව මේ ආශ්‍රමයෙහි සිත් ඇලවූවෙහි ය.
3352. ඒ නුඹ අද නොකැඩූ දර ඇත්තෙහි ය. දිය නොගෙනායෙහි ය. නොදල්වන ලද පූජාග්නි ඇත්තෙහි ය. පිළියෙළ නොකරන ලද ආහාර ඇත්තෙහි ය. අද නුඹ මා හා කතා නො කරන්නෙහි ය. නුඹගේ යම් කිසිවක් නැතිවී ද? කවර නම් චෛතසික දුකක් ඇත්තෙහි ද? (යි පිය තාපසයා ප්‍රශ්න කළේ ය.)
3353. (පියාණෙනි,) ජටාධර වූ බ්‍රහ්මචාරී තාපසයෙක් මෙහි පැමිණියේ ය. ඉතා දැකුම්කලු ශරීරයක් ඇත්තා වූ හෙතෙම මේ අසපුව බබුළුවයි. ඉතා දික් නොවූයේ ද ඉතා මිටි නොවූයේ ද වේ. ඒ පින්වත් තාපසයාගේ හිස වනාහි ඉතා කළු පැහැත්තා වූ කෙස්වලින් වැසුණේ ය.
3354. හෙතෙමේ රැවුල නැත්තේ ය. පැවිදි වූ නොබෝ කල් ඇත්තේ ය. ගෙලෙහි පාත්‍රාධාරය තරම් පළඳනාවක් ඇත්තේ ය. ළයෙහි හටගත් රන්පිඬු මෙන් බබළන ගෙඩි දෙකක් ද ඔහුට ඇත.
3355. ඔහුගේ මූන ඉතාම දැකුම් කලුය. කන් දෙකෙහි අගින් නැමී ගිය යම් කිසිවක් එල්ලෙයි. හැසිරෙන්නාවූ ඒ මාණවකයාගේ ජටා එක්කොට බැඳි නූල ද බබළන්නේ ය.
3356. නිල් – කහ – ලේ – සුදු යන වශයෙන් සිව් වැදෑරුම් වර්‍ණයන් ඇති තවත් ආභරණ සතරක් තිබේ. එහා මෙහා යන්නා වූ මාණවකයාගේ ඒ පළඳනාවෝ වර්‍ෂා කාලයෙහි රෑහි සමූහයා මෙන් නාද කෙරෙත්.
3357. හෙතෙම මුදු තණින් කළ මෙවුල් දම් නොදරයි. වැහැරිවලින් වියන ලද මෙවුල් දම් ද නොදරයි. බබුස් තණයෙන් කළ මෙවුල් දම් ද නොදරයි. උකුළු අතරෙහි වෙසෙසින් ඇලුණාවූ ඔහුගේ වැහැරි අහස් හි සියරැලි විදුලියක් සේ බබළ යි.
3358. (පියාණෙනි,) ඔහුගේ නාහියෙන් යට ඉණෙහි බඳනා ලද්දාවූත් සවි නොකරන ලද්දාවූත් නැට්ටක් නැත්තාවූත් ඵලයෝ වෙති. නො ගටන ලද ඒ ඵලයෝ නිතර කිලිං යන අනුකරණය කෙරෙත්. පින්වත් පියාණෙනි, ඒ කවර ගස්වල ඵල ද?
3359. (පියාණෙනි,) ඔහුගේ ජටාව ද බොහෝ සෙයින් දැකුම් කලුය. සියයකටත් වඩා වක්වූ අග්වලින් යුක්තවූවා සුවඳවත් ය. හිස දෙකොටසකට බෙදා මනාකොට බඳින ලද ජටා ඇත්තේ ය. මගේ ජටාවද එසේ වන්නේ නම් යහපති.
3360. යම් කලෙක්හි හෙතෙම වර්‍ණයෙන් හා සුවඳින් යුතුවූ ඒ ජටාවන් විසුරුවා ද, එකල්හි වාතයෙන් කම්පා කරන ලද නිලුපුල් වනයක් මෙන් මේ වන අසපුව ද සුවඳ හමන්නේය.
3361. ඔහුගේ ඉතා දැකුම්කලු කය මාගේ කයමෙන් මඩ සහිත (කිලුටු) නොවේ. හෙතෙම සුළඟින් කම්පා කරන ලද්දේ වසන්ත කාලයෙහි මනාව පිපි වනයක් මෙන් සුවඳ හමන්නේ ය.
3362. හෙතෙම ඉතා විසිතුරු මන වඩන්නාවූ දැකුම්කලු වෘක්‍ෂඵලයක් පොළොවෙහි ගසයි. පොළොවෙහි ගසන ලද ඒ ඵලය නැවත ඔහුගේ අතට පැමිණෙයි. පින්වත් පියාණෙනි, එය කිනම් ගසක ඵලයක් ද?
3363. ඔහුගේ දන්තයෝ ද ඉතා දැකුම්කලු වූවාහු සුදු පැහැ ඇත්තාහු මන කොට සෝදන ලද්දා වූ හක් ගෙඩියක් බඳු වූවා හු විවෘත කරනු ලබන්නාහු සිත පහදවත්. (අප මෙන්) ඒ තරුණ තෙම ඒ දත්වලින් පලා අනුභව නොකෙළේ වනැයි ඒකාන්තයෙන් හඟිමි.
3364. ඔහුගේ වචනය රළු නොවේ. ගොත ගසන්නේ නොවෙයි. නැවත කියන්නේ ද ඉතා මෘදුය, ඍජුය, තැන්පත්ය, අචපලය, කුරවිකෙවිල්ලන්ගේ මෙන් ඉතා මිහිරිය. හෘදයඞ්ගමය, මගේ සිත එහි ඇලේ ම ය.
3365. විහිදී නොගිය වාක්‍ය ඇත්තේ අප්‍රකට ස්වරයෙන් යුක්තය. හෙතෙමේ හැදෑරීමෙහි ඉතා යෙදුනෙක් නොවේ. ඔහු නැවත දැකීමට මම කැමැත්තෙමි. ඒ මාණවක තෙම පළමු මාගේ මිත්‍රයා විය.
3366. මනා ගැළපීම් ඇති සියලු තන්හි විශේෂයෙන් වටවූ විශාල ලෙස මනාව හටගත්තා වූ නෙලුම් කැකුළකට බඳු වූ ඔහුගේ වණයක් වෙයි. ඒ තරුණ තෙමේ මා වසා මැඩ ගෙන ඌරු යුග්මය විවෘත කොට කටියෙන් මා පෙළුවේ ය.
3367. ඒ මාණවකයාගේ සිරුරෙන් නික්මෙන්නා වූ රශ්මිහු අහස් හි සියරැලි විදුලි මෙන් දිලිසෙත්. ආලොකවත් වෙත්. බබළත්. ඔහුගේ බාහුව ද අඳුන්වන් ලොම් වැනි ලොම් ඇත්තේ මෘදු වූයේ විසිතුරු වූ ද වට වූ ද ඇඟිලිවලින් යුක්තව බබළ යි.
3368. ඒ මාණවක තෙම කර්‍කශ නොවූ ශරීරාවයව ඇත්තේ නොදික් ලොම්වලින් යුක්තය. ඔහුගේ නිය දික් වූයේ නමුත් අග රතු පැහැයෙන් යුතුය. යහපත් ස්වභාව ඇති හෙතෙම මෘදු අත්වලින් මා වැළඳ ගෙන අභිරමණය කරවමින් මට උපස්ථාන කෙළේ ය.
3369. ගසක පුළුන් වැනි සුවපහස් ඇති පැහැ විහිදෙන්නා වූ රන්මුවා කැටපතක් සේ වට වූ ද යහපත් සිවියක් ඇත්තා වූ ද හස්තයෝ ඒ තරුණයාහට ඇත්තා හ. ඒ අත්වලින් මා වැළඳ ගෙන සිය පහස මා සිරුරෙහි පතුරුවා මෙතැනින් ගියේ ය. පියාණෙනි, ඒ ස්පර්‍ශයෝ මා දවත් (යයි ඉසිසිංග තවුසා කීයේ ය.)
3370. පියාණෙනි, ඒ මාණවක තෙම ඒකාන්තයෙන් ම තවුස් පිරිකර ගෙන නොගියේ වන. තෙමේ කාෂ්ඨයන් නොබින්දේ යයි හඟිමි. හෙතෙම පොරොවෙන් ගස් නො කැපුයේ යයි හඟිමි. ඔහුගේ අත්වල කරගැට නැත.
3371. ඔහුට වලසෙක් වණයක් ඇති කෙළේ ය. ඒ වණය සුව කරන්නට යැයි හෙතෙම මට කීයේ ය. එය මම කෙළෙමි. එයින් මට ද සැපයක් විය. “බ්‍රාහ්මණය, මම සුවපත් කරන ලද්දෙමි” යි හෙතෙම මට ප්‍රකාශ කෙළේ ය.
3372. (පියාණෙනි,) නුඹ වහන්සේගේ මේ මාලුවා පත්‍රමය ආස්තරණය ද ඔහු විසින් හා මා විසිනුත් විසුරුවන ලද පරිදිමය. ක්ලාන්ත ස්වභාව ඇති වූයෙමි. ජලයෙහි රමණය කොට නැවත නැවතත් පන්සලට වැදුණෙමි.
3373. පියාණෙනි, මට අද මන්ත්‍ර නො වැටහේ. ගිනි පිදීම ද නො වැටහේ. යාග කිරීම ද නො වැටහේ. නුඹ වහන්සේ විසින් ගෙනෙන ලද අල මුල් පලතුරු ද ඒ තාපසයා දකිනතුරු නො බුදිමි.
3374. පියාණෙනි, නුඹ ද ඒ තාපසය වාසය කරන දිසාව දන්නෙහි නම්, පියාණෙනි, ඒ මා ඒ දෙසට වහා පමුණුවනු මැනවි. මම නුඹ වහන්සේගේ ආශ්‍රමයෙහි නො මැරෙම්වා (යි තාපසයා කීවේ ය.)
3375. පියාණෙනි, ඒ ආශ්‍රමය විසිතුරු මල් ඇත්තෙක. පක්‍ෂීන් විසින් කරන ලද නාද ඇත්තෙක. පක්‍ෂි සමූහයා විසින් සෙවුනා ලදැ යි මා විසින් අසන ලදි. පියාණෙනි, නුඹ වහන්සේගේ අසපුවෙහි මා මැරෙන්ට ප්‍රථම ඒ වනයට පමුණුවන සේක්වා’ යි (තාපසයා කීයේ ය.)
3376. හෝමාග්නියෙන් බබළන ගාන්‍ධර්‍වයන් හා දිව්‍යාප්සරා සමූහයා විසින් සෙවුනා ලද ඉතා පුරාණ වූ ඍෂීන්ගේ වාසභූමිය චන මේ අසපුවෙහි කිසිවෙක් මෙබඳු නො ඇල්මකට නො පැමිණියේය.
3377. ලොව සමහරුන්හට මිත්‍රයෝ වෙති. සමහරුන්හට මිත්‍රයෝ නොවෙත්. ඔවුන්ගෙන් සමහරු නෑයන් කෙරෙහි ද සමහරු මිත්‍රයන් කෙරෙහි ද ප්‍රේම කරත්. යම් මේ (ඉසිසිංග) තාපසයෙක් වේද, හේ කොයින් ආයෙම්දැ යි තමා ගැනත් නො දනී. (එසේ වූ මොහු කුමක් හෙයින් මේ මාගම කෙරෙහි මිත්‍රයාය යන හැඟීමෙන් ඇතුළත් වී දැ යි සිතුවේ ය.)
3378. පුත්‍රය, එක්ව වාසය කිරීමෙන් වනාහි මිත්‍රයෝ නැවත නැවත එක්වෙත්. ඒ මිත්‍ර තෙමේ එක් වැ වාසය නොකිරීමෙන් ම විනාශ වේ.
3379. පුත්‍රය, ඉදින් නුඹ ඒ බ්‍රහ්මචාරියා දක්නෙහි නම් බ්‍රහ්මචාරියා සමග සල්ලාප කරන්නෙහි නම් සමaද්ධ වූ ශස්‍යයන් මහ දිය පාරකින් ගසාගෙන යන්නාක් මෙන් මේ තපෝගුණය වහා ම පැහැර ගන්වන්නෙහි ය.
3380. ඉදින් නුඹ නැවතත් ඒ බ්‍රහ්මචාරියා දක්නෙහි නම් නැවතත් ඒ බ්‍රහ්මචාරියා සමග සල්ලාප කරන්නෙහි නම් සමෘද්ධ වූ ශස්‍යයන් මහදිය පාරකින් ගසාගෙන යන්නාක් මෙන් මේ ශ්‍රමණ තේජස වහා පැහැර ගන්වන්නෙහි ය.
3381. පුත්‍රය, මනුෂ්‍ය ලෝකයෙහි විරූප ස්වභාවයෙන් (මේ යක්‍ෂීණී සංඛ්‍යාත) භූතයෝ හැසිරෙත්. නුවණැති මිනිසා ඒ භූතයන් සේවනය නො කරන්නේය. බ්‍රහ්මචාරී තාපස තෙම ඒ භූතයාට ළංව නස්නේයයි (තාපස තෙම පුත්‍රයාට අවවාද කෙළේ යැයි වදාළ සේක.)
නලිනිකා ජාතක යි.
2. උම්මාදන්තී ජාතකය
3382. එම්බා සුනන්‍ද නම් සාරථිය, රතුගඩොළුමුවා පවුරෙන් ආරක්‍ෂා කරන ලද මේ ගෙය කාගේ ද? කඳු මුදුනක අහස්හි බබළන ගිනිකඳක් මෙන් ද දුර පිහිටි ගිනිසිළක් මෙන් ද, කවරක් බබළා ද?
3383. සුනන්‍දය, මෝ තොමෝ කවරකුගේ දුවක් ද? කවරකුගේ ලේලියක් ද? කවරකුගේ බිරියක් ද? විචාරන ලද්දා වූ මට වහා ම මෙහි දී ම කියව. මැයට යම් කිසිවකුගේ රැකවරණයක් ඇත්තේ ද? නැතහොත් ස්වාමිපුරුෂයෙක් ඇත්තේ ද යන බව මට කියව (යි රජ තෙම කීයේ ය.)
3384. රජතුමනි, මැයගේ මව්පසින් ද පියපසින් ද කිවහැකි තොරතුරු මම දනිමි. පෘථිවිපාලක රජතුමනි, රෑ දාවල් දෙක්හි නුඹ වහන්සේ සඳහා අප්‍රමාද ව ක්‍රියා කරන්නා වූ ඒ පුරුෂ තෙම නුඹ වහන්සේගේ ම සේවකයෙකි.
3385. ජනාධිපතිතුමනි, සම්පතින් සමෘද්ධ වූ වස්ත්‍රාලංකාරාදියෙන් පිරුණා වූ ආඪ්‍ය වූ එක්තරා අමාත්‍යයෙක් නුඹ වහන්සේට ඇත. රජතුමනි, උම්මාදන්තී යන නාමයක් ඇති මෝ තොමෝ අහිපාරක නම් වූ ඔහුගේ භාර්‍ය්‍යාව ය.
3386. පින්වත, පින්වත, මැයගේනම මව්පියන් විසින් මනා කොට තබන ලද්දකි. ඒ එසේ ම ය. මා දෙස බලන්නී වූ උම්මාදන්තී තොමෝ මා උමතුවකු කළා ය.
3387. පූර්‍ණ චන්‍ද්‍රයාගෙන් යුත් රාත්‍රියෙහි මුව දෙනක මෙන් මඳ බැලුම් ඇත්තා වූ රත්පියුමකට බඳු සිවියක් ඇති යම් තැනැත්තියක් තොමෝ (කවුළුව සමීපයෙහි) හුන්නී ද, පරවියන්ගේ පා වැනි වර්‍ණ ඇති වස්ත්‍ර හැඳි ඇය දැක එදවස්හි චන්‍ද්‍රයෝ දෙදෙනෙක් වූහ යි සිතුවෙමි.
3388. යම් දිනෙක ඕ තොමෝ මා පොළඹවමින් යහපත් වූ ද විශාල වූ ද ඇස්වලින් මා දෙස බැලූ ද, එවිට කම්පාවට පත් ඕ තොමෝ වනයෙහි වූ පර්‍වතයෙක්හි උපන් කිඳුරු දෙනක මෙන් මාගේ සිත පැහැර ගත්තා ම ය.
3389. එකල්හි මහත් වූ රන් මෙන් ශ්‍යාමවර්‍ණ වූ පලඳන ලද මිණිකොඬොල් ඇති එක් වස්ත්‍රයක් හැන්දා වූ ඒ ස්ත්‍රී තොමෝ භ්‍රාන්ත වූ මුව දෙනක මෙන් මා දෙස බැලුවා ය.
3390. තඹවන් නිය ඇති යහපත් ලොම් ඇති මොළොක් වූ අත්වලින් යුත් සඳුන්කල්ක ගල්වන ලද වට ඇඟිලි ඇත්තා වූ යහපත් වූ ඒ ස්ත්‍රී තොමෝ කවදා නම් හිස පටන් යහපත් ලෙස ස්පර්‍ශ කිරීමෙන් දක්‍ෂ ව ක්‍රියා කොට මා තුටු කරන්නීදැ යි (කියමින් රජ තෙම වැලැපුණේ ය.)
3391. කවර කලෙක්හි රන්මය උර වැස්මෙන් අලංකාර වූ කෘශ වූ මධ්‍යප්‍රදේශ ඇති තිරිටි නම් සිටුහුගේ දියණි තොමෝ විශාලවනයෙහි හටගත් වෘක්‍ෂයක් මාලුවා වැලක් (වැළඳ ගන්නාක්) මෙන් මා වැළඳ ගන්නී ද,
3392. කවර කලෙක්හි ලාක්‍ෂාරස පොවන ලද්දක් සේ මනා සිවි ඇත්තා වූ දියබුබුළු මෙන් වට වූ පයෝධර ඇත්තා වූ රත් නෙළුම් බඳු පැහැති ශරීරවර්‍ණ ඇති ඕ තොමෝ රා සොඬකුහට අන් රා සොඬකු සුරා තැටියක් එළවන්නා සේ මුඛයෙන් මුඛයට ළං වන්නී ද–
3393. යම් දිනෙක සිත්කලු වූ සියලු ශරීරාවයව ඇතිවැ සිටුනා ඇය දක්කෙම් ද, එදා පටන් සිය සිත පිළිබඳ කිසිවක් මම නො දනිමි.
3394. පළඳනා ලද මිණිකොඬොල් ඇති උම්මාදන්තී නම් තැනැත්තිය මම දුටුවෙමි. ඒ මොහොතේ සිට මම දහසකින් පැරැදුනකු සේ රෑ දවල් නිදි නො ලබමි.
3395. ඉදින් ශක්‍ර තෙමේ මට වරයක් දෙන්නේ නම් මම ඒ වරය ලබමි. (කිනම් වරයක් ද යත්:) එක් රැයක් හෝ දෙරැයක් මම අහිපාරක වන්නෙම්වා. එසේ අහිපාරක වී උම්මාදන්තිය සමග අභිරමණය කොට ඉන්පසු සිවිරජ වෙම්වා (යන මේ වරය යි.)
3396. මහරජ, බිලියම් පිණිස භූතයන් වඳින්නා වූ මට යක්‍ෂයෙක් අවුත් රජුගේ සිත උම්මාදන්ති ය කෙරෙහි පිහිටියේ ය යන මෙය මෙසේ කීවේ ය. ඔබට ඒ උම්මාදන්ති ය දෙමි. ඇය පරිචාරිකාව කර ගනුව (යි ඇමති තෙම කීවේ ය.)
3397. යහළු අහිපාරකය, එසේවීනම් මම පිනෙන් පිරිහෙමි. ඇය සමග කෙලෙස් සසගින් විසූ පමණින් අමරණිය ද නො වෙමි. මහජනයා ද මාගේ මේ ලාමක කමැයි දැන ගන්නේ ය. ප්‍රිය වූ උම්මාදන්තිය නොදැක්මෙන් තොපගේ සිතට ද මහත් දුකෙක් ඇති වන්නේ ය.
3398. මහරජ, නුඹ වහන්සේත් මාත් හැර සියලු ප්‍රජාව ම නුඹ වහන්සේට උම්මාදන්ති ය දෙන ලද්දී ය යන කරුණ නොදන්නේ ය. එහෙයින් රජ තෙමේ (ඇය සමග සිත් අලවා වෙසෙමින්) මනදොළ සපුරා ගනීවා. ඉන්පසු නුඹ වහන්සේ නොරුස්නාහු නම්, ඇය මාහට ම දෙනු මැනවි.
3399. (අහිපාරකය,) පව්කම් කරන යම් මිනිසෙක් වේ නම්, “මා කරන පව්කම අන්‍යයෝ නො දැන ගනිත්වා” යි හෙ තෙමෙ සිතයි. එහෙත් ලෝකයෙහි (බුදු – පසේ බුදු) ඈ ඉදුබල ඇති මනුෂ්‍යයෝත් භූතයෝත් ඒ පාපකර්‍ම කරන්නහු දකිත්.
3400. (අහිපාරකය,) ලෝකයෙහි කිසියම් මිනිසෙක් මට උම්මදන්ති ය ප්‍රිය නැතැ යි යන තොපගේ අදහස අදහන්නේ ද? ප්‍රිය වූ උම්මදන්තිය ය දීමෙන් පසු නො දක්නාවිට නුඹගේ සිතට මහත් දුකෙක් වන්නේ ය.
3401. ප්‍රජාධිපති මහරජතුමනි, මෝ තොමෝ ඒකාන්තයෙන් ම මට ප්‍රිය ය. පෘථිවිපාලය, ඕ තොමෝ මට අප්‍රිය නො වන්නී ය. පින්වතුන් වහන්ස, කාමපරිළාහයෙන් යුතු සිංහයකු සිංහ පෝතිකාවක වාසය කරන ගුහාවට යන්නා සේ නුඹ වහන්සේ උම්මාදන්තිය වෙත යෙත්වා.
3402. ආත්ම දුඃඛයෙන් පෙළන ලද පණ්ඩිතයෝ සුව විපාක ඇති කර්‍ම නො හරිත්. එසේ ම සුවයෙන් මත් ව මුළා වූවාහු පාප කර්‍ම ද නො කරත්.
3403. සිවි රජතුමනි, නුඹ වහන්සේ වනාහි මාගේ මව ද පියා ද ස්වාමියා ද පෝෂණය කරන්නා ද දේවතාවා ද වන්නාහු ය. අඹු දරුවන් සහිත වූ මම වනාහි නුඹ වහන්සේගේ දාසයෙක්මි, නුඹ වහන්සේ සිය කැමැත්තක් සුවසේ කරන සේක් වා.
3404. යමෙක් මම් අධිපති වෙමැ යි පව්කම් කෙරේ ද, පව් කොට අනුන්ගේ අපවාදයට බිය නොවේ ද, හෙ තෙම ඒ කර්‍මයෙන් දිගු කලක් ජීවත් නො වේ. දෙවියෝ ද ඔහු ලාමක වශයෙන් සලකත්.
3405. මහරජ, අන්සතු වූ ඒ ස්වාමීන් විසින් දෙන ලද්දා වූ දානයක් ධර්‍මයෙහි පිහිටියා වූ යම් කෙනෙක් පිළිගනිද් ද, එහි දායකයෝත් ප්‍රතිග්‍රාහකයෝත් සැප විපාක ඇත්තා වූ ම කර්‍මයක් කරත්.
3406. අහිපාරකය, මේ ලෝකයෙහි කිසියම් මිනිසෙක් “මට උම්මාදන්තී ප්‍රිය නැතැ” යි යන තොපගේ අදහස අදහන්නේ ද? ප්‍රිය වූ උම්මාදන්තිය දීමෙන් පසු නො දක්නාවිට නුඹගේ සිතට මහත් දුකෙක් වන්නේ ය.