2841. ඇත්රජුට විදීමෙන් මරණ බියෙන් බියපත් වූ යම් ඒ හස්තීහු අට දිසාවට දිවගියාහු ද, ඇත් රජුගේ පසමිතුරු පුරුෂයා නො දැක ඒ ඇත්රජ යම් තැනෙක්හි නම් එහි පෙරළා පැමිණියාහු ය.
2842. ඒ ඇත්හු එහි හඬා වැලැප ස්වකීය හිස මත්තෙහි පස් විසුරුවා ගියහ. ඒ සියල්ලෝ ම සර්‍වභද්‍රා නම් මෙහෙසිය පෙරට කොට සිය නිවෙස් බලා ගියෝ ය.
2843. ඒ වැදි තෙම මිහිපිට තිබෙන හැම දළයකට ම වඩා මනෝඥ වූ ද සුන්‍දර වූ ද අසමාන වූ ද රන්වන් රැසින් හාත්පස බබළන්නා වූ ද ඇත්රජුගේ දළදෙක රැගෙන කසී රටට පැමිණියේ ය. හෙ තෙමේ “හස්තිරාජ තෙමේ නසන ලද්දේ ය. මේ ඔහුගේ දළ දෙක ගනුව යි” රාජකන්‍යාවට දුන්නේ ය.
2844. පළමු ජාතියෙහි ප්‍රිය ස්වාමියා වූ උතුම් හස්තියාගේ දළ දෙක දැක එහිදී ම ඇගේ හදවත පැළුණේ ය. ඒ අඥ තැනැත්තිය එයින් ම කලුරිය කළා ය.
2845. බුද්ධත්‍වයට පත් මහත් අනුභාව ඇත්තා වූ ශාස්තෲන් වහන්සේ පිරිස් මැද සිනා පහළ කළසේක. කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ භික්‍ෂුහු බුදුවරයෝ නම් නිකරුණේ සිනා පහළ නො කරති යි කාරණය විචාළහ.
2846. මහණෙනි, කසාවත් හැන්දා වූ සසුන්හි පැවිදි ව වසන්නා වූ යම් තරුණ කුමරියක් දක්නහු ද ඕ තොමෝ වනාහි එකල්හි රාජකන්‍යාව වූවා ය. මම වනාහි එකල්හි ඇත්රජ වීමි.
2847. යමෙක් මිහිපිට තිබෙන දළ අතුරෙන් හැමට වඩා මනෝඥ වූ යහපත් වූ අසම වූ දළ ගෙන කසී රටට ගියේ ද? හෙ වනාහි මෙකල දේවදත්ත විය.
2848. පහ වූ කෙලෙස් දරථ ඇති පහ වූ ශෝක ඇති රාගාදි කෙලෙස් හුල් රහිත වූ බුදුරජ බොහෝ කලකට පෙර පුරුදු කරන ලද නොයෙක් ආකාර ඇති මේ පූර්‍ව චරිතය ප්‍රකාශ කොට වදාළසේක.
2849. මහණෙනි, මම වනාහි එකල්හි ඒ ඡද්දන්ත විලෙහි වූයෙමි. එකල්හි ඇත් රජ ද වීමි. මෙසේ මේ ඡද්දන්ත ජාතකය දරවු.
ඡද්දන්ත ජාතක යි.
5. සම්භව ජාතකය
2850. සුචීරත බ්‍රාහ්මණය, අපි මේ ඉඳිපත් නුවර රාජ්‍යයට ද කුරුරට අධිපති භාවයට ද පැමිණියෙමු. දැන් මේ පෘථිවිය දිනන්නටත් රාජ්‍යය මහත් බවට පමුණුවා ගන්නටත් කැමැත්තෙමු.
2851. එය ද ධර්‍මයෙන් වේ. අධර්‍මයෙන් නො වේ. අධර්‍මය රුචි නො වේ. සුචීරත නම් බ්‍රාහ්මණය, රජුගේ ම ධර්‍මයත් චරිතයත් සෙසු ජනයා විසින් අනුගමනය කටයුතු ය.
2852. බ්‍රාහ්මණය, යම් හෙයෙකින් මේ ලෝකයෙහි ද නින්‍දා නො ලබන ලද්දා වූ පරලෙව්හි ද නින්‍දා නො ලබන ලද වෙමු ද යම් හෙයෙකින් දෙව්මිනිසුන් අතුරෙහි යසසට පැමිණෙන්නෙමු ද එය කියනු මැනැවි.
2853. බ්‍රාහ්මණය, යම්බඳු මම ඵල විපාක සංඛ්‍යාත අර්‍ත්‍ථය ද මේ අර්‍ත්‍ථයට හේතු වූ ධර්‍මය ද කිරීමට කැමැත්තෙම් ද බ්‍රාහ්මණය, ඔබ විචාරන ලද්දේ ඒ අර්‍ත්‍ථය ද ධර්‍මය ද මට කියව.
2854. ක්‍ෂත්‍රිය රජතුමනි, නුඹ වහන්සේ අර්‍ත්‍ථය ද ධර්‍මය ද කිරීමට කැමැත්තහු ය යන යමක් වේ ද, මෙය ප්‍රකාශ කිරීමට විධුරපණ්ඩිතයා හැර අනෙකෙක් සුදුසු නො වේ යයි සුචීරත බ්‍රාහ්මණ තෙම කීයේ ය.
2855. සුචීරත බ්‍රාහ්මණය, මෙහි එව. මා විසින් මෙහෙයන ලද්දෙහි විධුර පණ්ඩිතයන් සමීපයට යව. ස්වර්‍ණය පිළිබඳ නිෂ්ක දහසක් හැරගෙන යව. අර්‍ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනා කිරීම පිණිස පූජා වශයෙන් මෙය දෙව යි රජ තෙම කීයේ ය.
2856. ඒ භාරද්වාජ ගොත්‍රයෙහි වූ සුචීරත බ්‍රාහ්මණ තෙම විධුර පණ්ඩිතයන් සමීපයට ගියේ ය. මහාබ්‍රහ්මණ තෙමේ තම ගෙහි ආහාර අනුභව කරන්නා වූ ඔහු දුටුවේ ය.
2857. මම වනාහි යස පිරිවර ඇත්තා වූ කෝරව්‍ය රජු විසින් එවන ලද දූතයෙම් වෙමි. යුධිට්ඨිල ගොත්‍රයෙහි වූ ධනඤ්ජය රජ තෙම අර්‍ත්‍ථය ද ධර්‍මය ද අසවයි මට කීයේ ය. විධුර පණ්ඩිතය, විචාරන ලද නුඹ වහන්සේ ඒ අර්‍ත්‍ථයත් ධර්‍මයත් මට කියා දෙනුමැන.
2858. බ්‍රාහ්මණය, මහාජනයාගේ නොයෙක් සිතුවිලි නැමැති ගඟ වසන්නෙමි යි කටයුත්තෙක් මට ඇතිවිය. ඒ මම ඒ සිතුවිලි නැමැති මහමුහුද වසන්නට නො පිළිවන් වෙමි. ඊට කෙසේ නම් අවකාශයක් වන්නේ ද එහෙයින් අර්‍ත්‍ථය ද ධර්‍මය ද විචාරන ලද්දා වූ මම තොපට කියන්නට නො සමත්මි යි විධුර පණ්ඩිත තෙම කීයේ ය.
2859. බ්‍රාහ්මණය, තමාට දාව උපන් භද්‍රකාර නම් ඖරස පුත්‍රයෙක් මට ඇත. නුඹ ඔහු වෙත ගොස් අර්‍ත්‍ථයත් ධර්‍මයත් විචාරව යි විධුරපණ්ඩිතයා කීයේ ය.
2860. ඒ භාරද්වාජ තෙමේ භද්‍රකාරයා කරා ගියේ ය. මහා බ්‍රාහ්මණ තෙමේ සිය ගෙහි හුන් ඒ භද්‍රකාර කුමරා දුටුවේ ය.
2861. මම වනාහි යස පිරිවර ඇති කෝරව්‍ය රජහු වෙතින් පිටත්කර එවන ලද දූතයෙමි. යුධිට්ඨිල ගෝත්‍ර ඇති ඒ රජ තෙම අර්‍ත්‍ථයත් ධර්‍මයත් ගැන අසව යි කීයේ ය. භද්‍රකාරය, ඔබ ඒ අර්‍ත්‍ථයත් ධර්‍මයත් මට ප්‍රකාශ කරනු මැනව.
2862. යම්සේ පුරුෂයෙක් මුව මස් කද බිම තබා ගොයකු ලුහු බඳීද එමෙන් ම මම ගෙහි බිරිඳ සිටිය දී පරදාරාවන් වෙත යමි. එහෙයින් අර්‍ත්‍ථය ද ධර්‍මය ද විචාරන ලද්දා වූ මම තොපට කියන්නට නො හැක්කෙමි යි කීයේ ය.
2863. සුචීරත බ්‍රාහ්මණය, සඤ්ජය නම් වූ මාගේ කනිටු සහෝදරයෙක් ඇත. නුඹ ගොස් අර්‍ත්‍ථයත් ධර්‍මයත් ඔහු විචාරව.
2864. ඒ භාරද්වාජ තෙමේ සඤ්ජය වෙත ගියේ ය. මහාබ්‍රහ්මණ සිය නිවසෙහි හුන් ඔහු දුටුවේ ය.
2865. මම වනාහි යස පිරිවර ඇත්තා වූ කෝරව්‍ය රජහු වෙතින් එවන ලද දූතයෙමි. යුධිට්ඨිල ගෝත්‍ර ඇති ඒ රජ තෙම අර්‍ත්‍ථයත් ධර්‍මයත් අසව යි මෙසේ කීයේ ය.
2866. එම්බා සුචීරත බ්‍රාහ්මණය, හැම කල්හි හවස ද, උදය ද මරුවා මා ගිලියි. අර්‍ත්‍ථයත් ධර්‍මයත් අසන ලද්දෙහි මම නුඹට කියන්නට නො හැක්කෙමි යි සඤ්ජය තෙම කීයේ ය.
2867. එම්බා සුචීරත බ්‍රාහ්මණය, මාගේ සම්භව නම් කනිටු සහෝදරයෙක් ඇත. නුඹ එහි ගොස් අර්‍ත්‍ථයත් ධර්‍මයත් ඔහු විචාරව යි සඤ්ජය තෙම කීයේ ය.
2868. පින්වත ඒකාන්තයෙන් මේ ධර්‍මය අද්භූත ය. අපට මෙය රුචි නො වේ. පියාත් දෙපුතුනුත් යන තිදෙනෙක් වූහ. ඔවුනතර එකෙකුත් මේ ධර්‍මය ප්‍රඥායෙන් නො දකිත්.
2869. අර්‍ත්‍ථය ද ධර්‍මය ද විචාරන ලද ඔවුහු එය කියන්නට නො හැකිවාහු ය. අර්‍ත්‍ථයත් ධර්‍මයත් අසන ලද ළදරු තෙමේ කෙසේ නම් එය දනී ද?
2870. සම්භවකුමරා නොවිචාරා ඔහු දරුවෙකැ යි අවඥා නොකරව, බ්‍රාහ්මණය, සම්භව කුමරු විචාරා අර්‍ත්‍ථයත් ධර්‍මයත් දනුව.
2871. යම්සේ අහස්හි යන චන්‍ද්‍ර තෙම නිර්‍මල ද? ඒ චන්‍ද්‍රයා ස්වකීය දීප්තියෙන් ම ලෙව්හි සියලු තාරකාවන් ඉක්මවා ද?
2872. එසේ ම ප්‍රඥායෝගයෙන් යුත් සම්භව කුමරා ළදරු වූයේ ද සෙස්සන් ඉක්මවා බබළයි. ඒ සම්භව කුමරු නො විචාරා ළදරු යයි අවඥා කොට නො සිතව. අර්‍ත්‍ථයත් ධර්‍මයත් සම්භව කුමරු විචාරා දැනගනුව.
2873. බ්‍රාහ්මණය, යම්සේ ග්‍රීෂ්මමාසයන් සම්බන්‍ධ වූ සිත්කලු වූ බක්මස සෙසු මාසවලට වඩා ගස්වල පිපි මල්වලින් ඉතා ශෝභමාන වේ ද-
2874. එසේ ම ප්‍රඥායෝගයෙන් යුත් සම්භව කුමරා ළදරු වූයේ ද සෙස්සන් ඉක්මවා බබළයි. සම්භව කුමරු නො විචාරා ළදරු යයි අවමන් කොට නො සිතව. බ්‍රාහ්මණය, අර්‍ත්‍ථයත් ධර්‍මයත් සම්භව කුමරු අතින් විචාරා දැනගනුව.
2875. බ්‍රාහ්මණය, යම්සේ, හිමෙන් යුක්ත වූ නොයෙක් වෘක්‍ෂයෙන් ගැවැසීගත්තා වූ දේවසමූහයාට වාසස්ථාන වූ ගන්‍ධමාදන පර්‍වතය දිව්‍යමය වූ ඖෂධයෙන් සියලු දිශාවන් බබුළුවා ද, සුවඳ විහිදුවා ද,
2876. එසේ ම ප්‍රඥායෝගයෙන් යුත් සම්භව කුමරා ළදරු වූයේ ද, සෙස්සන් ඉක්මවා බබළයි. සම්භව කුමරු නො විචාරා ළදරු යයි අවමන් කොට නො සිතව. බ්‍රාහ්මණය, අර්‍ත්‍ථයත් ධර්‍මයත් සම්භව කුමරු අතින් විචාරා දැනගනුව.
2877. බ්‍රාහ්මණය, ගිනිසිළු ඇති තේජසින් යුත් කොතෙක් දර ලූවත් සෑහීමට පත් නොවන්නා වූ ගියමග කළු කරන්නා වූ ගින්න යම්සේ නම් බබළා ද-
2878. පූජා වශයෙන් ලූ ගිතෙල් අනුභව කරන්නා වූ ස්වකීය ධූමයෙන් ම කේතු කෘත්‍යය සිදු කරන්නා වූ උතුම් වන ලැහැබ් දවන්නා වූ බොහෝ දර දවන්නා වූ කඳුමුදුන්හි ගින්න රාත්‍රියෙහි යම්සේ බබළා ද,
2879. එසේ ම ප්‍රඥා යෝගයෙන් යුත් සම්භව කුමරා ළදරු වූයේ ද සෙස්සන් ඉක්මවා බබළයි. සම්භව කුමරු නො විචාරා ළදරු යයි අවමන් කොට නො සිතවු. බ්‍රාහ්මණය, සම්භව කුමරු අතින් අර්‍ත්‍ථයත් ධර්‍මයත් විචාරා දැනගනුව.
2880. ගමන් වේගයෙන් ආජානීය අශ්වයා ගැන දැනගනිත්. බර ඉසිලීමෙන් වෘෂභයා ගැන දැනගනිත්. දෙවීමෙන් ධේනුව ගැන දැනගනිත්. කථාවෙන් පණ්ඩිතයා ගැන දැනගනිත්.
2881. එසේ ම ප්‍රඥායෝගයෙන් යුත් සම්භව කුමරා ළදරු වූයේ ද සෙස්සන් ඉක්මවා බබළයි. සම්භව කුමරු නො විචාරා ළදරු යයි අවමන් කොට නො සිතවු. බ්‍රාහ්මණය, සම්භව කුමරා අතින් අර්‍ත්‍ථයත් ධර්‍මයත් විචාරා දැනගනුව.
2882. භාරද්වාජ ගොත්‍රයෙහි වූ ඒ බ්‍රාහ්මණ තෙමේ සම්භව කුමරුගේ සමීපයට ගියේ ය. මහාබ්‍රාහ්මණ තෙම ගෙයින් පිටත්හි ක්‍රීඩා කරන්නා වූ ඔහු දුටුයේ යයි වදාළසේක.
2883. මම වනාහි යස පිරිවර ඇති කෝරව්‍ය රජු වෙතින් පිටත් කරන ලද දූතයෙම් වෙමි. යුධිට්ඨිල ගෝත්‍ර ඇති ඒ රජ අර්‍ත්‍ථයත් ධර්‍මයත් අසව යි කීයේ ය. සම්භව කුමාරය, මා විසින් විචාරන ලද ඔබ වහන්සේ ඒ අර්‍ත්‍ථයත් ධර්‍මයත් කියා දෙනුමැන.
2884. එබැවින් ඉතා දක්‍ෂයෙක් යම්සේ ද, තොපගේ රජ තෙමේත් යම්සේ දැනගනී ද? එසේ මම තොපට කියන්නෙමි. ඉදින් කරන්නේ හෝ නො කරන්නේ හෝ වේ ද, එයින්, මට කම් නැත.
2885. සුචීරත බ්‍රාහ්මණය, අද කටයුත්තක් ගැන රජු විසින් විචාරන ලද ප්‍රධාන ඇමතියෙක් සෙට යයි කියා ද, යුධිට්ඨිල ගොත්‍රයෙහි වූ රජ එබඳු කටයුත්තක් ඇති වූ කල්හි එය ප්‍රමාද කොට නො වෙසේවා.
2886. සුචීරත බ්‍රාහ්මණය, රජහු විසින් විචාරන ලද්දේ අධ්‍යාත්මය පිළිබඳ අනිත්‍යතා ලක්‍ෂණය ම කියන්නේ ය. චින්තන ශක්තියක් නැති මුළා වූවෙක් යම්සේ නම්, එසේ වූ අන්‍ධානුකරණයෙන් විශ්වාස කරනු ලබන දෙසැට මිසදිටු සංඛ්‍යාත වැරදි මාර්‍ගයෙහි නො පිහිටුවන්නේ ය. දශකුශලකර්‍මපථ මාර්‍ගයෙහි පිහිටු වන්නේ ය.
2887. තමා ඉක්මවා නො පවත්නේ ය. හෙවත් අපායගාමී අකුසල් නො කරන්නේ ය. ත්‍රිවිධ දුශ්චරිත සංඛ්‍යාත අධර්‍මයෙහි නො හැසිරෙන්නේ ය. දෙසැට දෘෂ්ටි සංඛ්‍යාත අනර්‍ත්‍ථයෙහි නොබස්නේ ය. නිකරුණේ යමක නො යෙදෙන්නේ ය.
2888. යම් රජෙක් තෙමේ මෙකී කාරණ කරන්නට දනී ද, ඒ රජ හැමකල්හි පුරපස සඳ මෙන් වැඩේ.
2889. හෙ ඤාතීන්හට ද ප්‍රිය වෙයි. මිත්‍රයන් අතර ද බබළයි. ඒ ප්‍රාඥ තෙමේ ශරීරයාගේ බිඳීමෙන් පසු ස්වර්‍ගලෝකයෙහි උප්පත්තියට යේයි වදාළසේක.
සම්භව ජාතක යි.
6. මහාකපි ජාතකය
2890. බරණැස් නුවර කසී දනවු වැස්සන්ගේ රට කරන්නා වූ රජෙක් විය. සගයහළු ඇමතියන් ද පිරිවරන ලද ඒ රජ මිගාජිර නම් උයනට ගියේ ය.
2891. එහි ශ්වේතකුෂ්ටයෙන් සුදු වූ කබර කුෂ්ටයෙන් කැලැල් ඇති, පූයා වැගිරෙන, කසන කුෂ්ටයෙන් යුත්, පිපුණු කොබෝ ලීල ගසක් මෙන් තැනින් තැන කැඩී ගියා වූ කෘශ වූ ඉල්පී ගිය නහර ඇත්තා වූ බමුණකු දුටුයේ ය.
2892. අතිශයින් බැගෑපත් බවට පැමිණි, දුකින් පීඩිත ඒ මිනිසා දැක විශ්මය පත් වූ රජ තෝ කිනම් යක්‍ෂයෙහි දැ? යි ඇසුවේ ය.
2893. නුඹගේ හස්ත පාදයෝත් ශ්වේතවර්‍ණයහ. සිරස ඊටත් වඩා සුදු ය. නුඹගේ ශරීරය තිත් සහිතය. මෙසේ නුඹ කුෂ්ට රෝග බහුල කොට ඇත්තෙහි ය.
2894. තොපගේ පිට ඇටවැළක් මෙන් උස් පහත් ය. තොපගේ ශරීරාවයවයෝ කළුවැල්පුරුක් මෙන් වෙති. මෙබඳු අන් පුරුෂයකු නම් නොදුටු විරීමි.
2895. නුඹ රජසින් ගැවැසීගත් පා ඇත්තෙහි ය. හටගත් උද්වෙග ඇත්තෙහි ය. කෘෂ වූයෙහි, ඉල්පුණ නහර ඇත්තෙහි, සයින් පීඩිත වූයෙහි, වියළි සිරුරු ඇත්තෙහි ය. කොහි සිට එන්නෙහි ද? කොහි යන්නෙහි ද?
2896. බැලිය නොහැකි වූ, අයහපත් සටහන් ඇත්තෙහි ය. දුර්වර්‍ණ වූයෙහි බිහිසුණු දැකුම් ඇත්තෙහි ය. නුඹගේ වැදූ මව වූ යම් තැනැත්තියක් වේ ද, ඒ මව පවා තා දක්නට නො කැමැති වන්නී ය.
2897. පෙර කිනම් කර්‍මයක් කෙළෙහි ද? කවර නම් අවධ්‍යයකු (වද නො කටයුත්තකු) නැසුයේ ද? යම් ඒ දරුණු කර්‍මයක් කොට මේ දුකට පැමිණියේ දැ? යි ඇසුවේ ය.
2898. යම් හෙයෙකින් වනාහි මෙලොව සත්‍ය වචන කියන්නහුට නුවණැත්තෝ පසසත් ද, එබැවින් මම දක්‍ෂ පුරුෂයෙක් යම්සේ ද එසේ ඔබට කියන්නෙමි.
2899. මම එකලාව ගවයන් සොයමින් ඇවිදිමින් මං මුළා වූයෙමි. අරාජක වූ, හිස් වූ විවේකයෙන් යුත් නොයෙක් හස්තීන් විසින් සේවනය කරන ලද්දාවූ හිමාලයේ මිනිස් පියස ඉක්මවා හැසුරුණෙමි.
2900. චණ්ඩ මෘගයන් විසින් හැසිරෙන ලද මහවනයෙහි මම මුළා වූයෙමි. එහි සත් දිනක් තිස්සේ සා පවසින් පෙළෙමින් හැසුරුණෙමි.
2901. ආහාර අනුභව කැමැති වූ මම එහි විෂම තැනෙක්හි පිහිටියා වූ ප්‍රපාතය දෙසට නැමුණු මිහිරි ඵල දරන තිඹිරි ගසක් දැක්කෙමි.
2902. පළමු කොට සුළඟින් වැටුණා වූ ගෙඩි අනුභව කෙළෙමි. ඒ ගෙඩි මට බොහෝ සෙයින් රුචි විය. එයින් සෑහීමකට පත් නො වූයෙම් ඒ ගසට නැඟ එහි හිඳගෙන හුන්නෙමි.
2903. මා විසින් එක ගෙඩියක් කන ලදි. දෙවන ගෙඩිය කැමැති වන ලදි. ඉන්පසු පොරොවෙන් සිඳනා ලද්දක් මෙන් ඒ ශාඛා තොමෝ බිඳුණාය.
2904. ඒ මම අතු සමඟ උඩුකුරු වූ පා ඇත්තෙම් යටිකුරු වූ හිස ඇත්තෙම් පිහිටක් ආලම්බනයක් නැති පර්‍වතදුර්‍ගයෙහි වැටුණෙමි.
2905. යම් හෙයෙකින් ජලයෙන් ගැඹුරු වී ද එහෙයින් අත් පා බිඳීමට නො පැමිණියෙමි. එහි දුක්වූයෙම් පිහිටක් නැත්තෙම් දස රැයක් සයනය කෙළෙමි.
2906. ඉක්බිති ගෙරින්ගේ වල්ග වැනි වලගක් ඇති පර්‍වතයෙහි හැසිරෙන්නා වූ වඳුරෙක් අත්තෙන් අත්තට පනිමින් ගස්වල ගෙඩි කමින් එහි පැමිණියේ ය.
2907. ඒ වඳුරා කෘශ වූ පඬුවන් මා දැක මා කෙරෙහි කුළුණු කෙළේ ය. පින්වත, මෙහි දුකින් පෙළුණා වූ හේ (මෙතෙම) කවරෙක් නම් වේ ද? මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක් ද? තමා තතු මට දන්වව.
2908. ඒ වඳුරාට ඇඳිලි බැඳ මේ වචනය කීයෙමි. මම වනාහි විපතට පත් මිනිසෙක්මි. මට මෙතැනින් යෑමෙක් නම් නැත. එය නුඹට කියමි. නුඹට යහපතෙක් වේවා, නුඹ ද මට පිහිට වෙවයි කීමි.
2909. වඳුරු රජ තෙම බර වූ ගලක් ගෙන ගල හා යෙදීමක් කොට පර්‍වතයෙහි හැසිරෙමින් මෙය කීයේ ය.
2910. එව මගේ පිටට නගුව. දෝතින් ගෙල අල්ලා ගනුව. මම තා වේගයෙන් ගිරි දුර්‍ගයෙන් ගොඩට ගන්නෙමි යි වඳුරා කීයේ ය.
2911. ශ්‍රීමත් වූ ඒ වඳුරු රජුගේ වචනය අසා ධෛර්‍ය්‍ය සම්පන්න වූ ඔහුගේ පිටට නැඟ දෙ අතින් ගෙල අල්ලා ගත්තෙමි.
2912. තේජස් ඇති ශක්ති සම්පන්න වූ ඒ වඳුරා ඉතා වෙහෙසට පැමිණෙමින් දුකසේ ඒ නරකාවාටයෙන් මා වහා ගොඩ ගත්තේ ය.
2913. මා ගොඩ ගෙන වෙහෙස වූ ශ්‍රේෂ්ඨ වඳුරු තෙම මේ වචන කීයේ ය. යහළුව, මම මොහොතක් කල් නිදන්නෙමි. එබැවින් මා ආරක්‍ෂා කරව.
2914. සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද දිවියෝ ද වලස්සු ද වෘකයෝ ද යනාදි චණ්ඩ මෘගයෝ මේ වනයෙහි වෙද්ද, නිදි ගත් හෙයින් ප්‍රමත්ත වූ මා ඒ සත්‍වයෝ හිසා කෙරෙත්, නුඹ ඔවුන් දැක වළකව.
2915. මෙසේ මට ආරක්‍ෂා කරන්නට කියා ඒ වඳුරු තෙම මොහොතක් නිදා ගත්තේ ය. එකල්හි නුනුවණින් මෙනෙහි කිරීමෙහි යෙදුණ මම ලාමක වූ අදහසක් ඇති කරගත්තෙමි.
2916. සෙසු වන මෘගයන් මෙන් ම මෙ තෙමේ ද මිනිසුන්ගේ ආහාරය වේ. එබැවින් සා දුකින් පෙළුණෙම් මොහු මරා කන්නෙම් නම් යෙහෙකැ යි සිතුවෙමි.
2917. අනුභව කරන ලද්දේ ද මාර්ගෝපකරණ වශයෙන් මස් හැරගෙන යන්නෙමි. එහෙයින් වන කාන්තාරය එතෙර කරන්නෙමි. මට මාර්ගෝපකරණ ද වන්නේය.
2918. ඉන්පසු ගලක් ගෙන හිසට ගැසුවෙමි. ආහාරයෙන් ක්ලාන්ත වූ මගේ පහර දුර්‍වල විය.
2919. වේගයෙන් නැගිට ලෙයින් වැකුණා වූ ඒ වඳුරු තෙමේ කඳුළු පිරි දෙනෙතින් හඬමින් මා දෙස බැලුවේ ය.
2920. පින්වත් තෙම මට යහපතක් නො කළේ ය. නුඹ මෙබන්දක් මට කෙළෙහි ය. නුඹ ද දීර්‍ඝායු වෙහිවා, මට විපත් කරන අන්‍යයන් වළකන්නට වටනෙහි ය.
2921. මෙබඳු නො කළ හැක්කක් කළා වූ අසත්පුරුෂය, මා විසින් මේ දුර්‍ගම වූ ප්‍රපාතයෙන් ගොඩ නඟන ලද තෝ මෙබඳු අයුත්තක් කෙළෙහි ය.
2922. පරලොවින් ගෙනෙන ලද්දකු මෙන් නරාවළින් ගොඩ ගත්තා වූ තෝ (මා) මැරියයුතු කොට සිතුවෙහි ය. ලාමක ස්වභාව ඇති පාපී වූ තා විසින් ඒ පවිටු අදහස් සිතන ලදී.
2923. අධර්‍මයෙහි පිහිටි තැනැත්ත, තෝ මෙබඳු කටුක වේදනාවක් ස්පර්‍ශ නො කෙරෙහි වා, තා විසින් කළ ඒ පාප කර්‍මයාගේ විපාකය හුණ ගස නසන්නා වූ ඵලය මෙන් තා නො නසාවා.
2924. ලාමක ස්වභාව ඇති නො හික්මුණු තා කෙරෙහි මාගේ විශ්වාසයෙක් නැත. මා පිටුපස එව. ළඟ දකිමින් ම යව.
2925. පින්වත් පුරුෂය, තෝ ව්‍යාලමෘගයන් අතින් මුදන ලද්දෙහි ය. මිනිස්පියට පැමිණියෙහි ය. අධර්මිෂ්ඨය, මේ මාර්‍ගය යි. ඒ මගින් සැපසේ යව.
2926. පර්‍වතචාරි වූ වඳුරු තෙම මෙසේ ප්‍රකාශ කොට මස්තකයෙහි ලේ සෝදා පියා කඳුළු පිසදමා එතැනින් පර්‍වතයට නැංගේ ය.
2927. ඒ මම වඳුරු රජු විසින් සාප කරන ලද්දෙම් දැවිල්ලෙන් පෙළුණෙමි. දැවෙනු ලබන්නා වූ ශරීරයෙන් යුක්ත වැ ජලය පානය කරන්නට (එක් විලකට) ආවෙමි.
2928. මුළු විල ගින්නෙන් හුණු කරන ලද්දක් සේ ද ලෙයින් වැකී ගියාක් මෙන් ද පූයාවට හා ලෙයට සමාන ව මට වැටහුණේ ය.
2929. යම්තාක් දිය බින්‍දු මාගේ ශරීරයෙහි වැටුණාහු ද, ඒ තාක් අඩබෙලිපල පමණ බුබුළු හටගනී.
2930. මේ ගණ්ඩයෝ කුණුවූවාහු බිඳී පූයා ලේ වැගුරුණාහ. යම් යම් මගෙකින් ගම් නියම්ගම්හි යෙම් ද–
2931. එහි ස්ත්‍රීහු ද පුරුෂයෝ ද දඬුගත් අත් ඇත්තාහු කුණු ගඳින් ගැවැසීගත් හෙයින් මේ දිශාවට නො එව යි මා වළකත්.
2932. දැන් මාගේ මේ දුකට හවුරුදු සතක් විය. පෙර තමන්ගේ දුෂ්කෘත කර්‍මයාගේ විපාකය අනුභව කරමි.
2933. එහෙයින් තොපට මම කියමි. තොපට යහපතක් ම වේවා, යම් තාක් දෙනා මෙහි රැස් වූවාහු ද, ඒ සියල්ලෝ ම මිත්‍රදෝහී නො වෙත්වා, යම් හෙයෙකින් මිත්‍රද්‍රෝහකර්‍මය ලාමක වේ ද එහෙයිනි.
2934. මෙලොව යමෙක් මිත්‍රයනට ද්‍රෝහ කෙරේ ද, හෙ කුෂ්ටරොගියෙක් කිලාස ඇත්තෙක් වේ. ඒ මිත්‍රද්‍රෝහී තෙම මරණින් මතු නිරයෙහි උපදී යයි වදාළසේක.
මහාකපි ජාතක යි.
7. උදකරාක්‍ෂස ප්‍රශ්නය