2656. මහරජ, කාවින්‍දතෙම නරදේව නම් යකකු විසින් පහස්නා ලද්දේය. මේ ආබාධය ලාමකය. රහසිගතවූයේ පුත්‍රයාහට කීයේ ය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.
2657. මහරජ, සක්දෙව් තෙමෙ මහත් අනුභාව ඇති අෂ්ටවංක නම් වූ මැණිකක් නුඹ වහන්සේගේ මුත්තා වන කුසරජුට දුන්නේය. දැන් ඒ මැණික දේවින්‍දයාගේ හස්තගතව පවතී. මේ කරුණ මවට රහසිගතව කීයේය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.
2658. සැඟවිය යුත්ත සැඟවීම යහපති. සැඟවිය යුත්ත එළිදරව් කිරීම ප්‍රශස්ත නොවේ. ප්‍රාඥතෙම අදහස මුදුන් පැමිණෙන තුරු ඉවසා සිටින්නේ ය. මුදුන් පැමිණි අදහස් ඇත්තේ ඒ කරුණ සුවසේ කියන්නේය.
2659. රහස එළිදරව් නොකරන්නේය. එය නිධානයක් ලෙස රක්නේය. නුවණැත්තහු විසින් රහස එළිදරව් නො කරන ලද්දේ ම යහපති.
2660. පණ්ඩිත තෙම ස්ත්‍රියට ද සතුරාට ද රහස නො කියන්නේය. යමෙක් ආමිෂයෙන් සංග්‍රහ ලැබ එකමුතු වන්නේද, යමකුත් සිතින් එකක් සිතමින් මුවින් අනෙකක් බෙණෙන මිත්‍ර ප්‍රතිරූපකයෙක් වේද, ඒ දෙදෙනාට ද රහස නො කියන්නේය.
2661. යම් මිනිසෙක් අනුන් නොදන්නා වූ රහස් කරුණ දන්වා ද, මන්ත්‍රණය බිඳෙන බියෙන් ඔහු විසින් කැරෙන ආක්‍රෝෂාදිය දාස ස්වභාවයෙන් සිටියේ ඉවසයි.
2662. මන්ත්‍රණය කළවුන් අතුරෙන් යම්තාක් දෙනා ඒ පුරුෂයාගේ රහස් කරුණ දනිද්ද, ඔහුට එපමණ ම සන්ත්‍රාසයෝ (තැති ගැනුම්) හටගනිත්. එහෙයින් රහස එළිදරව් නො කරන්නේය.
2663. දවල් කාලයෙහි විවේකව රහස කියන්නේ යි. යම් හෙයකින් බිත්ති ආදියෙහි සැඟවී සිට රහස අසන්නෝ වෙද්ද, එහෙයින් රාත්‍රීකාලයෙහි රහස කියන්නේ සීමාව ඉක්මවා ශබ්ද නඟමින් නො කියන්නේය. රහස වනාහි වහා අසමගිය ඇති කරන්නක් හෙයිනි.
පස් පඬි පැනය යි.
13. හත්‍ථීපාල ජාතකය
2664. ශ්‍රේෂ්ඨවර්‍ණ ඇති මහත් වූ ජටාවක් ඇති තවුස් පිරිකර දරන මැලියම් සහිත දත් ඇති රජසින් යුත් හිස ඇති බමුණකු ඒකාන්තයෙන් බොහෝ කලකින් දකිමි.
2665. සුචරිත කොටස්හි ඇලුණු කසාවත් හැන්දා වූ වැහැරි සිවුරක් පෙරැවූ ඍෂියකු ඒකාන්තයෙන් බොහෝ කලකින් දකිමි.
2666. පින්වත් තෙමේ අපගේ ආසන ද ජලය ද පය ගල්වන තෙල් ද පිළිගනීවා, මේ ආසනාදි පිදිය යුතු දෑ පින්වත්හු විචාරමු. අපගේ මේ පිදිය යුතු දෑ පිළිගැනීම කෙරේවා.
2667. දරුව, වේදයන් හදාරා වස්තුව සොයාගෙන ගෙහි පුත්‍රයන් වස්වා ගන්‍ධ රස ඇතුළත් කොට ඇති සියලු පංචකාමයන් අනුභව කොට වනයට යෑම යෝග්‍ය වේ. එසේ වූ තපස්වී තෙම බුද්ධාදීන් විසින් පසස්නා ලද්දේ වෙයි.
2668. වේදයෝ සත්‍ය නොවෙත් ධන ලාභය ද නිෂ්ඵල වේ. පුත්‍ර ලාභයෙන් ජරාව නො වැනැසේ. ගන්‍ධයන් හා රසයන් ඇතුළත් කොටැති සියලු පංචකාමයන්ගෙන් මිදීම ම යහපතැයි සත්පුරුෂයෝ පවසති. ස්වකීය කර්‍මයෙන් ම ඵලය ඉපදීම වේයයි කීයේය.
2669. ඒකාන්තයෙන් ම නුඹගේ මේ වචනය සත්‍යය. ඵලයාගේ උපත ස්වකීය කර්‍මයෙන් වේ. නුඹගේ මේ ජරායෙන් ජීර්‍ණ වූ මවුපියෝ වර්‍ෂ සියයක් ගතව ගිය නීරෝග වූ නුඹ දක්නාහුය.
2670. මහරජ, යමකුගේ මරණය හා යහළුබවෙක් වන්නේ ද, නරවීර ශ්‍රේෂ්ඨය, යමකුගේ ජරාව හා මිත්‍රත්‍වයකුත් වන්නේ ද යමෙක් වනාහි මම කිසි කලෙකත් නො මැරෙමියි දන්නේ ද වර්‍ෂ සියයක් ගතව ගිය නීරෝග වූ ඔහු දකිමි.
2671. යම්සේ පුරුෂයෙක් දියෙහි නැවක් මෙහෙයාද ඉවුරටත් එය පමුණුවාද එසේ ම ව්‍යාධියටත් ජරාවටත් නිතර සත්‍වයා මරුවසඟයට පමුණුවන්නේය.
2672. කාමයෝ වනාහි ලග්ගවාලන ස්වභාව ඇති හෙයින් මඩට බඳු උපමා ඇත්තේය. සිත් ඇදගන්නේය. තරණයට දුෂ්කරයහ. මරු වසඟයට පමුණුවන්නාහ. මෙබඳු කාමසංඛ්‍යාත ලැගෙන මඩෙහි ද, ගැලෙන මඩෙහි ද ගිලුණු ලාමක ස්වභාව ඇති සත්‍වයෝ නිර්‍වාණ සංඛ්‍යාත පරතෙරට යන්නට නො සමත් වෙත්.
2673. මහරජ, මාගේ මේ ආත්ම භාවය තෙම පෙර අස් ගොව්වන් සමග එක්ව මං පැහැරුම් ආදී බොහෝ සැහැසිකම් කෙළේය. ඒ මේ ආත්මභාවය එහි විපාක ගන්නා ලදී. මට එයින් මිදීමෙක් නැත. දැන් කායවාග්ද්වාරයන් අවුරාගෙන එය ආරක්‍ෂා කරන්නෙමි. මාගේ මේ ආත්මය නැවත සැහැසිකම් නො කෙරේවා කියාය.
2674. මහරජ, යම්සේ පුරුෂයෙක් තෙම නැති වූ ගවයකු නො දක්නේ සොයා ද ඒසුකාරී නම් රජුනි, මෙපරිද්දෙන් ම මගේ ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාත අර්‍ත්‍ථය තෙම නැතිවූයේ වෙයි. මහරජ, ඒ මම කෙසේ නම් එය නො සොයම්දැයි කීයේය.
2675. මහරජ, අද කටයුතු දේ හෙටයයි ද හෙට කටයුතු දේ අනිද්දායයි ද කල් දමන පුරුෂ තෙම පිරිහේ. යමෙක් නොපැමිණියේ ද මෙය නැත්තේය යි දැන උපන්නා වූ කුසල් අදහස කවර නම් පණ්ඩිතයෙක් දුරු කරන්නේ දැයි ගොපලු කුමාරතෙම කීයේය.
2676. හාවභාව විලාසයෙන් මත් වූවක මෙන් හැසිරෙන වැටකෙයියා මල්පෙති බඳු ඇස් ඇත්තා වූ තරුණ කුමරියක දකිමි. කාමසම්පත් අනුභව නො කළා වූ පළමු වයස්හි සිටියා වූ ඒ කුමරිය මෘත්‍යුමාරයා හැරගෙන යේ.
2677. තරුණ වූ මනාව හටගත් ශෝභන මුඛයක් ඇති දැකුම් කලු රන්වන් පැහැති තරුණ කොමඩු කෙසරු මෙන් ගැවසී ගත් රවුළු ඇති කුමාරයෙක් වේද, මෙබඳු කුමාරයෙක් ද මරුවසඟයට යන්නේය. එහෙයින් ඉන් පළමුව කාමයන් හා ගිහිගේ අත්හැර පැවිදිවන්නෙමි. දේවයන් වහන්ස, මට පැවිද්දට අවසර දෙනු මැනැවි යි අජපල් කුමාරතෙම කීයේ ය.
2678. අතුවලින් ගසයයි නම ලබයි. පහව ගිය අතු ඇත්ත කණුවය යි කියත්. පින්වත් වාසෙට්ඨි ගෝත්‍ර ඇති බැමිණිය, පහව ගියා වූ පුත්‍රයන් ඇති මට දැන් පැවිදිවීමට කාලය පැමිණ තිබෙයි. පුරෝහිත බ්‍රාහ්මණතෙම කීයේ ය.
2679. අහසෙහි නො ගැටෙමින් ගමන් කරන කොස් ලිහිණියන් මෙන් ද, වැසි කල් අවසන්හි අදින ලද දැල පලාගෙන යන හංසයන් මෙන් ද මගේ පුත්‍රයෝත් සැමියාත් කාම සම්පත් නමැති දැල බිඳගෙන යති. ඒ මම දරුවන් ගියමඟ අනුව කිම නොයන්නෙම් ද?
2680. මේ ලිහිණි පක්‍ෂීහු මස් අනුභව කොට වමාරා බැහැර යෙති. යම් කෙනෙකුන් අනුභව කොට නො වැමෑරුවාහු ද ඔවුහු මගේ අතට පැමිණියාහුය.
2681. බ්‍රාහ්මණතෙම කාම සම්පත් වැමෑරුවේය. ඒ සම්පත් නුඹ පසුව අනුභව කරන්නෙහිය. මහරජ, වැමෑරූ දෙය අනුභව කරන්නා වූ යම් පුරුෂයෙක් වේද හෙතෙම බුද්ධාදි පණ්ඩිතයන් විසින් පැසසිය යුතු නො වේයයි (අගමෙහෙසිය) කිවු ය.
2682. පංකයෙහි (ලැගෙන මඩෙහි) පලිපයෙහි (ගැලෙන මඩෙහි) හෝ ගිලුණු දුබල පුරුෂයෙකු යම්සේ නම් බලවතෙක් ගොඩගන්නේ ද, මෙපරිද්දෙන් ම පින්වත් පංචාල රාජ දුහිතෘව මනාව කියන ලද ගාථා වලින් නුඹ මා කාම පංකයෙන් ගොඩලූයෙහි ය.
2683. දිශාධිපති වූ ඒසුකාරී රජතෙම මෙසේ කියා බැඳුම් සිඳ ලූ හංසයකු මෙන් රට හැර පැවිදි වූයේය.
2684. නරවීරශ්‍රේෂ්ඨ වූ රජතෙමේ ද රට හැර දමා පැවිදි වීමට කැමති විය. රජ තෙමේ යම් සේ වේ නම් තෙපි ද අපට එසේ වෙව. අප විසින් රක්නා ලද රාජ්‍යය අනුශාසනා කරව යි මහජනයා දේවියට කීය.
2685. නරවීරශ්‍රේෂ්ඨ වූ රජ තෙමේ ද රට හැරදමා පැවිද්ද කැමති විය. මම ද සිත්කලු වූ කාමයන් හැරදමා තනියම හැසිරෙන්නෙමි යි.
2686. පෙරවරු ආදි කාලයෝ ඉක්මයති. රාත්‍රීහු ආයුසංස්කාර ක්‍ෂයකරමින් තරණය කරති. ප්‍රථම වයසාදි වයස් කොටස් පිළිවෙළින් පුද්ගලයන් හැර දමත්. මම ද මනරම් කාමයන් හැරදමා තනියම හැසිරෙන්නෙමි.
2687. පෙරවරු ආදි කාලයෝ ඉක්මයති. රාත්‍රීහු ආයුසංස්කාර ක්‍ෂය කරමින් තරණය කරති. ප්‍රථමවයසාදි වයස් කොටස් පිළිවෙළින් පුද්ගලයා හැර දමත්. මම ද තුබූ තුබූ පරිදි කාම කොටස් හැර දමා හුදෙකලාව හැසිරෙන්නෙමි.
2688. පෙරවරු ආදි කාලයෝ ඉක්මයති. රාත්‍රීහු ආයුසංස්කාර ක්‍ෂයකරමින් තරණය කරති. ප්‍රථමවයසාදි වයස් කොටස් පිළිවෙළින් පුද්ගලයා හැර දමත්. මම ද සිහිල් වූවා සියලු රාගාදි සංගයන් ඉක්මවා ලෝකයෙහි හුදෙකලාව හැසිරෙන්නෙමි යි දේවිය කීවාය.
හත්‍ථිපාල ජාතක යි.
14. අයොඝර ජාතකය
2689. සත්‍වතෙම යම් එක රැයක ප්‍රථමයෙන් මවුකුසැ වාසය කෙරේ ද? හෙතෙම වලාකුළක් මෙන් ඉදිරියට යයි. යමින් හේ ආපස්සට ගමන් නො කෙරෙයි.
2690. යුද්ධකරන්නා වූ ද, බලයෙන් යුක්ත වූ ද මනුෂ්‍යයෝ නොදිරන්නෝ නො වෙත්. නොමියන්නෝ නො වෙත්. ඒ සියල්ලෝ ම ජාති ජරාවන්ගෙන් උපද්‍රැතයහ. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
2691. ඉතා බිහිසුණු ස්වභාව ඇති සිවුරඟ සෙනග ගෙන රාෂ්ට්‍රාධිපති රජවරු බලාත්කාරයෙන් ජය ගනිති. මරහුගේ සෙනග ජය ගන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
2692. ඇත් - අස් - රිය - පාබළ යන සිවුරඟ සෙනගින් පිරිවරන ලද ඇතැමෙක් සතුරන්ගෙන් මිදෙති. ඔවුහු මරසෙනගින් මිදෙන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
2693. ඇත් - අස් - රිය - පාබළ යන සිවුරඟ සෙනගින් පිරිවරන ලද ශූර රජවරු පසමිතුරන්ගේ නුවරවල් බිඳිති. පසමිතුරන් නසති. ඔවුහු මරහුගේ බල බිඳින්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට පහළ වෙයි.
2694. ත්‍රිමද ගලිත හස්තීහු නුවරවල් මඩිති. ජනයා නසති. ඔවුහු මරහු මඩින්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
2695. නුවණැති ඉලක්කය නො වරදවා දුරවිදීමෙහි දක්‍ෂ වූ කෘතහස්ත ධනුර්ධරයෝ ඇත්තාහ. ඔවුහු මරහු විදින්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් මම “ධර්‍මයෙහි හැසිරෙමියි” යන මේ සිත මට ඇති විය.
2696. අනවතප්තාදී මහවිල් සත ද පර්‍වතයන් සහිත මහා වනයෝ ද ක්‍ෂය වෙත්. දිගු කලක් ඇවෑමෙන් ඒ සියල්ල ම ක්‍ෂය වෙයි. ඒ සියල්ල ම නස්නා කාලයට පැමිණ බිඳෙයි. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
2697. මෙසේ ම මෙලොව නර නාරීන්ගේ ද සියලු ප්‍රාණීන්ගේ ද ජීවිතය චංචල වේ. සුරාධූර්‍තයකුගේ වස්ත්‍රය මෙන් ද ගං ඉවුරෙහි හටගත් ගසක් මෙන් ද සත්‍වයන්ගේ ජීවිතය ස්ථිර නොවේ. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට පහළ වෙයි.
2698. ළදරුවෝ ද වෘද්ධයෝ ද තරුණයෝ ද සිත්‍රීහු ද පුරුෂයෝ ද උඝතොබ්‍යඤ්ජනකයෝ ද යන සියල්ලෝ ම ගස්වල ගෙඩි මෙන් ශරීරභේදයෙන් වැටෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.
2699. මේ සත්‍වයන්ගේ වයස කෘෂ්ණ පක්‍ෂයෙහි පිරිහී ශුක්ල පක්‍ෂයෙහි වැඩෙන්නා වූ සඳ මෙන් නොවේ. යමක් ඉක්මැ ගියේද දැන් එය ගියේ මැ යි. ජරාජීර්‍ණයාහට කාමගුණයන්හි ඇල්මෙක් නැති. සැපතක් නම් කොයින් ද? එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට පහළ වෙයි.
2700. යක්‍ෂයෝ ද පාංශුපිශාචයෝ ද ප්‍රේතයෝ ද කිපුණාහු මිනිසුන්හට ආවේශ වෙති. ඔවුහු මරුහට ආවේශ වන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.
2701. යක්‍ෂයන් ද පාංශුපිශාචයන් ද ප්‍රේතයන් ද කිපුණු කල්හි බලිකර්‍මාදිය කිරීමෙන් ඔවුන් පහදවති, මරුවා නො පහදවත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට පහළ වෙයි.
2702. රාජාපරාධ කරන්නාවූ ද රාජ්‍යදූෂකවූ ද ජනයා පෙළන්නාවූ ද මිනිසුන්ගේ අපරාධ දැන රජවරු දඬුවම් කරත්. ඔවුහු මරහුට දඬුවම් කරන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.
2703. රාජාපරාධකරුවෝ ද රාජ්‍ය දූෂකයෝ ද ජනයා පෙළන්නෝ ද (සාක්‍ෂිවලින් තමන්ගේ නිරපරාධී බව ප්‍රකාශ කරවා) අස් වැසීමක් ලබති. මරහු (එසේ සාක්‍ෂිවලින්) නිරපරාධ බව ප්‍රකාශ නො කරවත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.
2704. ක්‍ෂත්‍රියයෙකැ බ්‍රාහ්මණයෙකැ ආඪ්‍යයෙකැ බලැත්තෙකැ තෙදැත්තෙකැයි මාරයාගේ අපේක්‍ෂාවක් නැත්තේය. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙන්නෙමි” යන අදහස මට පහළ වෙයි.
2705. සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද දිවියෝ ද මිනිසුන් බලාත්කාරයෙන් අල්ලාගෙන බෙහෙවින් කම්පාවන ඔවුන් කති. ඔවුහු ද මරහු අල්ලා කන්නට උත්සාහ නොකෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන අදහස මට ඇති වෙයි.
2706. නෘත්‍යස්ථාන මධ්‍යයෙහි මායා කරන්නාවූ මායා කාරයෝ එකෙණෙහි ජනයාගේ ඇස් මුළාකෙරෙති. ඔවුහු මරහු මුළාකරන්නට උත්සාහ නොකෙරෙත්. එහෙයින් මම් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට පහළ වෙයි.
2707. කිපියා වූ උග්‍රතේජස් ඇති සර්‍පයෝ මිනිසුන් දෂ්ට කෙරෙති. එයින් ම මරණයට පවා පත් කරති. ඔවුහු මරහු ඩසින්නට උත්සාහ නොකෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙන්නෙමි” යන මේ අදහස මට පහළ වෙයි.
2708. කිපියා වූ සර්‍පයෝ යම් පුද්ගලයකු ඩසිත් නම්, විෂ වෛද්‍යවරු ඔහුගේ විෂ නැති කරති. ඔවුහු ද මරහු දෂ්ට කළ විෂ නො නසත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙන්නෙමි” යන මේ සිත මට පහළ වෙයි.
2709. ධම්මන්තරී, වේතරණී, භෝජ නම් වූ වෛද්‍යයෝ සර්‍පයන්ගේ විෂ නසා, තුමූ ද කාලක්‍රියා කළහයි අසනු ලැබේ. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙන්නෙමි” යන අදහස මට ඇති වෙයි.
2710. ඝෝර නම් විද්‍යාව හදාරන විද්‍යාධාරයෝ ඖෂධ බලයෙන් සතුරන්ගේ නො දැක්මට යෙති. ඔවුහු ද මරහුගේ නො දැක්මට නොයෙත්. එහෙයින් ධර්‍මයෙහි හැසිරෙන්නෙමි යන මේ හැඟීම මට ඇති වෙයි.
2711. ධර්‍මය තෙමේ ධර්‍මයට අනුව හැසිරෙන්නහු ඒකාන්තයෙන් ම රකී. මනාව පුරුදු කරන ලද ධර්‍මය සුව ගෙන දෙයි. ධර්‍මය හොඳින් පුරුදු කළ කල්හි මේ අනුසසි. ධර්‍මයට අනුව හැසිරෙන්නා දුගතියට නොයයි.
2712. ධර්‍මයත් අධර්‍මයත් දෙක සම විපාක ඇත්තේ නොවේ. අධර්‍මය නරකයට පමුණුවයි. ධර්‍මය සුගතියට පමුණුවයි.
14. අයොඝර ජාතක යි.
විසිවැනි නිපාතය නිමියේ ය.
(උද්දානය සුගම යි.)
16. තිංසති නිපාතය
1. කිංඡන්‍ද ජාතකය
2713. බ්‍රාහ්මණය, කවර අදහස් ඇත්තේ කුමක් සිතමින් කුමක් පතමින් කුමක් සොයමින් කවර කරුණක් නිසා ග්‍රීෂ්ම ඇත්තා වූ මේ ගං ඉවුරෙහි එකලාව හිඳිනෙහි දැ? යි දෙව්දුව ඇසු ය.
2714. විශාල වූ මහත් වූ දියකළයක් යම්සේ ද එබඳු වූ වර්‍ණයෙන් ද සුවඳින් ද රසයෙන් ද උතුම් වූ අඹගෙඩියක් විය.
2715. නිර්‍මල වූ මධ්‍ය ප්‍රදේශ ඇති දෙව්දූනි, ගඟ දියෙන් ගසාගෙන යන්නා වූ එය දැක අතින් රැගෙන ගිනිහල්ගෙට ගෙන ගියෙමි.
2716. ඉන්පසු කෙසෙල් කොළවල එය තබා මම තෙමේ ම පිහියෙන් එය කපා මගේ සාපිපාසා දුරුකර ගත්තෙමි.
2717. ඒ මම පහව ගියා වූ කාය චිත්ත පීඩා ඇත්තෙමි. ඒ අඹඵලය අවසන් වූයේ දුක ඉවසන්නේ අන්කිසිම ඵලයෙක්හි ආස්වාදයක් නො ලබමි.
2718. යම් අඹ ඵලයක් මිහිරි වූ රසයෙන් අග්‍ර වූ සිත්කලු වූවක් වී ද. මහාජලයෙහි පාවෙන්නා වූ යම්බඳු අඹයක් මම දියෙන් ගොඩ ගනිම් ද එය මා වියළවා මට ඒකාන්තයෙන් මරණය එළවන්නේ ය.
2719. යම් හෙයෙකින් මම උපවාසය කෙරෙම් ද, මසුන්ගෙන් යුක්ත වූ දිගු පුළුලැති සිත්කලු වූ ගඟ බලා හුන්නෙම් ද? මා විසින් ඒ සියල්ල නුඹට කියන ලදී.
2720. අපලායිනිය හෙවත් පැන නොයන්නිය, තෙපි ද තමා ගැන මට කියව. කල්‍යාණිය තෙපි කවරක් හෝ වවු ද, යහපත් වූ මධ්‍ය ප්‍රදේශ ඇත්තිය, කුමකට හෝ තෙපි මෙහි අවු ද?
2721. තෙපි මනාව මට කරන ලද රන් පටක් බඳු වූවහු. පර්‍වතයෙක්හි උපන් තරුණ ව්‍යාඝ්‍ර ධේනුවක මෙන් වූවහුය. දෙවියන් අතුරෙහි දෙවියන්ගේ පරිචාරිකා ස්ත්‍රීහු වෙද්ද?
2722. මිනිස්ලෙව්හි ද රුවින් අගතැන්පත් යම් ස්ත්‍රීහු වෙද්ද, දෙව් - ගඳෙව් - මිනිස් යන ලෙව්හි රූපයෙන් තොප හා සම කළ හැකි තැනැත්තියක් නැත. මනෝඥ වූ උතුම් ලක්‍ෂණයෙන් යුත් තැනැත්තිය, මා විසින් විචාරණ ලද්දී එය කියව. මට තොපගේ නම ද නෑයන් ද කියව.
2723. බ්‍රාහ්මණය, තෙපි සිත්කලු වූ යම් කෝසිකී නම් ගංගාවක් බලා හුන්නහු ද? උතුම් ජලය බැසයන සැඬපහරින් යුත් ගඟෙහි පිහිටි විමානයෙහි අධිගෘහිත වූ දේවතා දූ නම් මමය.
2724. නොයෙක් වෘක්‍ෂසමූහයෙන් ගැවැසීගත් බොහෝ වූ කඳු රැලි මා මැ ප්‍රමුඛ කොට ඇත්තාහු වෙත්. බොහෝ වූ වර්‍ෂා ජලය මේ ගඟට ම පිවිසෙයි.
2725. තවද බොහෝ වූ ඒ ඒ වනයෙන් වෑහෙන්නා වූ ජලයෝ ද ප්‍රවිෂ්ට වෙත්. නීලවර්‍ණ ජලයෙන් යුත් දියකඳ දරන්නා වූ බොහෝ නාගයන් තුටු කරන ජලයෙන් යුත් නොයෙක් ගංගාවෝ මේ ගඟට ගලා බසිත්.
2726. ඒ නදීහු අඹ දඹ හා දෙල් ද බක්මී තල් ද දිඹුල් ද යන බොහෝ ඵලජාතීන් නිතර ඇදැ ගනිත්.
2727. ඒ ගඟ උභයතීරයෙහි යම් කිසි ඵලයක් දියෙහි වැටේ ද ඒ ඵලය නිසැක වැ මාගේ ස්‍රොතස අනුව යන්නේ වේ.
2728. මහත් වූ ප්‍රඥා ඇත්තාණෙනි, මෙය දැන මාගේ වචනය අසව. මහරජ, තෘෂ්ණා වශයෙන් ඇලීම නො කොට එය දුරු කරව.
2729. රට වර්ධනය කරන්නා වූ මහරජ, රාජර්ෂිය, මස් ලෙහෙයින් වැඩෙමින් තරුණ ව සිටි නුඹ වහන්සේ යම් හෙයෙකින් නිරාහාර ව වැස මරණයට කැමැත්තහු ද එහෙයින් මම මෙය නුඹගේ නුවණින් වැඩිහිටි බවකැ යි නො හඟිමි.
2730. ඔහුගේ තෘෂ්ණා වසඟවීම බ්‍රහ්මයෝ ද දෙවියන් සහිත වූ ගන්‍ධර්‍වයෝ ද යශසින් යුත් සංයත වූ ආත්ම ඇති යම් බඳු ඍෂීහු හෝ ලොව්හි වෙද්ද, නුවණින් වැඩුණු යශස් ඇති ඔවුහු නිසැක වැ දැනගනිත් යයි දෙව්දුව කීය.
2731. නුවණැත්තේ සියලු සුචරිත ධර්‍ම මෙසේ දැන ජීවිතයාගේ නැසීම ද චුතවීම ද දැන සිටී ද, හෙතෙමේ අන්‍යයාගේ වධය පිණිස නො සිතා ද, ඒ මිනිසාට පව් රැස් නො වේ.
2732. මෙසේ ලෝකයාහට හිත ඇත්තේ යයි ඍෂි සමූහයා විසින් දක්නා ලද කල්හි මා කෙරෙහි නින්‍දා කිරීම රිසි තැනැත්තිය, තී පාපකර්‍මයන් රැස් කැරැ ගැනුමට කැමැත්තෙහි ය.
2733. පුළුල් වූ යහපත් කටිප්‍රදේශ ඇත්තිය, ඉදින් මම තීගේ ගං ඉවුරෙහි මැරෙම් ද මා පරලොව ගිය කල්හි සැක නැති ව තිට අපකීර්තියක් පැමිණෙන්නේ ය.
2734. යහපත් මධ්‍ය ප්‍රදේශ ඇත්තිය, එහෙයින් පාපකර්‍මයෙන් ආරක්‍ෂා වෙව. මා මළකල්හි තිට ජන තෙමේ නින්‍දා නො කෙරේවා.
2735. නො ඉවසිය හැකි දෑ ඉවසනසුලු මහරජ, මේ කරුණ මා විසින් දන්නා ලදි. යමෙක් තෙම හැර දැමීමට දුෂ්කර කාමගුණයන් හැර දමා සංයම සීලයෙහි ද සුචරිත ධර්‍මයෙහි ද පිහිටියේ නම්, ඒ නුඹට තමා ද ඒ අඹ ද දෙමි.
2736. යමෙක් තෙම පෙරබන්‍ධනය හැරදමා පසුව තෘෂ්ණා බන්‍ධනයෙහි පිහිටියේ වේ ද, හෙතෙම අධර්‍මයෙහි ද හැසිරෙයි. ඔහුට පාපය ද වැඩේ.
2737. එව, ඒ අඹ උයනට පමුණුවන්නෙමි. ඒකාන්තයෙන් අඹ ඵල කෙරෙහි මන්‍දෝත්සාහ වව. සිහිල් වූ අඹ උයනෙහි නො කලකිරී වසව.
2738. මහරජ, මල් රසයෙන් මත් වූ වක් වූ ග්‍රීවා ඇති පක්‍ෂීන් විසින් නාද කරන ලද ඒ අඹ උයන බලව. ඒ අඹ උයන්හි දිව්‍ය වූ කොස්ලිහිණියෝ ද මොනරු ද ස්වර්‍ණශාරිකා පක්‍ෂීහු ද මධුශාරිකා පක්‍ෂීහු ද වාසය කරත්.
2739. හංස සමූහයා විසින් නාද කරන ලද මේ අඹ උයනෙහි කොවුලෝ නාද කරන්නාහු තමන් ප්‍රබෝධ කෙරෙත්. පලබරින් නැමුණු ශාඛා ඇති අඹ වෘක්‍ෂයෝ මල් හටගැනුමෙන් හැල් පිදුරු ඇති කලවිටි සමාන ය. වනුක් ද හොරගස් ද බක්මී ද පැසුණු පල බරින් යුත් තල්ගස් ද ඇත්තේ යයි කීවා ය.
2740. දිවමල් දරන දිව්‍යමය හිස් වෙළුම් වෙළන, දිව්‍යාභරණයෙන් සැරසුණු අංගදාභාරණයෙන් යුක්ත වූ රත්හඳුන් ගැල් වූ තෙපි රාත්‍රියෙහි දිව්‍ය සම්පත් අනුභව කරන්නහු ය. දහවල් දුක් වේදනා විඳින්නහු ය.
2741. යම් මේ සොළොස් දහසක් පිරිවර දිව්‍යස්ත්‍රීහු වෙද්ද ඒ සියලු දිව්‍යස්ත්‍රීහු නුඹට පරිචරණය කරන්නාහ. මෙසේ අද්භූත වූ දුටුවන් ලොමුදහගන්වන්නා වූ මහත්අනුභාව ඇත්තේ වෙහි ය.
2742. මිනිස් ලොව්හි යම් බඳු කර්‍මයක් කොට පිටමස් කඩා කන්නෙහි ද? පෙර තමහට ම දුක් එළවන්නා වු කවර නම් පාප කර්‍මයක් කෙළෙහි ද?
2743. පෙර ජාතීන්හි මම් වේද හදාරා කාමයන්හි ඇලුණෙම් වීමි. බොහෝ කලක් අනුන්ට අහිත පිණිස හැසිරුණෙමි.
2744. යමෙක් තෙම අනුන්ගේ පිටමස් කන්නා වූ කේලාම් කියන්නෙක් වේ ද, යම්සේ මම අද තමන්ගේ පිටමස් කන්නෙම් ද මෙසේ හෙ තෙම තමාගේ පිටමස් කඩ කඩා කන්නේ යයි විමාන ප්‍රේතයා කීයේ යයි වදාළසේක.
කිංඡන්‍ද ජාතක යි.
2. කුම්භ ජාතකය