Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 3101-3200 න් 7679

2467. වැදිපුත්‍රය, යම් කලෙක පිරිහීමෙක් වේ ද, ජීවිතාවසානයට පමුණුවන එබඳු පිරිහීමේ දී පුරුෂ තෙම දැලට හෝ මළපුඩුවට හෝ ඉතා ළං වුව ද නො දනියි හංස තෙම කීවේ ය.
2468. රන්වන් වූ සිවිය ඇති රන්වන් වූ පැහැති පක්‍ෂිය, වක් වූ අවයව ඇති කම්පා වූ මේ පක්‍ෂීහු මොබින් ඉවත් වෙති. නුඹ පමණක් මෙහි රඳනෙහි ය.
2469. වක් වූ අවයව ඇති, අහස්හි හැසිරෙන මේ පක්‍ෂීහු අනුභව කොට පැන් බී බලාපොරොත්තු නැත්තාහු බැහැර යෙති, නුඹ පමණක් හුදෙකලා ව මොහු ඇසුරු කරන්නෙහි ය.
2470. මිදුණා වූ නුඹ පාසයෙහි බැඳුණහු ඇසුරු කරන්නෙහි ය. මේ පක්‍ෂි තෙම තට නෑකමින් කවරෙක් වන්නේ ද? අනිත් පක්‍ෂීහු මේ පක්‍ෂියා හැරදමා යෙති නුඹ පමණක් කුමක් නිසා මෙහි රැඳෙන්නෙහි දැ? යි වැදි තෙම ඇසී ය.
2471. මේ පක්‍ෂි තෙම මාගේ රජ වෙයි. මිත්‍ර වෙයි. මගේ ප්‍රාණය හා සම යහළුවාත් වෙයි. එහෙයින් ජීවිතාන්තය දක්වා මම මොහු නො හරිමි යි සුමුඛ තෙම කීවේ ය.
2472. පින්වත් හංසය, යම්බඳු නුඹ යහළුවා නිසා ප්‍රාණය පුදන්නට කැමැත්තෙහි ද, එහෙයින් නුඹගේ ඒ යහළුවා මුදමි. නුඹගේ රජ නුඹ අනුව යන්නෙක් වේවා, යි වැදි තෙම කීවේ ය.
2473. මලපුඩුවෙන් මිදුණු පක්‍ෂිරාජයා දැක අද මම යම්සේ සන්තෝෂ වෙම් ද, එපරිද්දෙන් ම වැදිපුත්‍රය, නුඹ හැම නෑයන් සමග තුටුවෙහිවා යි සුමුඛ තෙම අනුමෝදනා කෙළේ ය.
2474. කිමෙක් ද පින්වත් මහරජ, ඔබතුමන්හට සුව ද? කිමෙක් ද පින්වත්හට ආරෝග්‍යය ඇත්තේ ද? කිමෙක් ද මේ රට සමෘද්ධ ද? ධර්‍මයෙන් අනුශාසනා කරන්නෙහි ද? කියා හංසරාජයා ඇසුවේ ය.
2475. හංසරාජය, මට සුව ය. තව ද හංසය නීරෝගය. මේ රට ද සමෘද්ධ ය. මම දැහැමින් අනුශාසනා කරමි.
2476. කිමෙක් ද පින්වත්හුගේ ඇමතියන් කෙරෙහි කිසියම් දොසෙක් නැද් ද? කිම? නුඹගේ අමිත්‍රයෝ (සතුරෝ) දක්‍ෂිණදිශාභිමුඛ සෙවණැල්ල මෙන් නො වැඩෙද් ද?
2477. තවද, මාගේ ඇමතියන් කෙරෙහි කිසි දොසක් නැත. වැලි මාගේ අමිත්‍රයෝ (සතුරෝ) දක්‍ෂිණදිශාභිමුඛ සෙවණැල්ල මෙන් නො වැඩෙත්.
2478. කිම නුඹගේ භාර්‍ය්‍යාවෝ සමාන ගුණැත්තියෝ ද? කීකරු ද? ප්‍රිය තෙපුල් බෙණේද් ද? රූප සම්පත් යශස් යන මේ සම්පතින් යුක්ත වූවාහු ද? නුඹගේ කැමැත්ත අනුව පවතිද් ද?
2479. තවද, මාගේ භාර්‍ය්‍යාවෝ සමාන ගුණැත්තියෝ ය. කීකරු ය. ප්‍රිය තෙපුල් බෙණෙති. දරු සම්පත් රූප සම්පත් යශස් යන මේ සම්පතින් යුක්ත වූවා මාගේ කැමැත්ත අනුව පවතිත්.
2480. මහරජ, නුඹගේ රට දියුණු කිරීමෙහි සමත් මවුපිය දෙපසින් පිරිසුදු උප්පත්තියක් ඇති බොහෝ පුත්‍රයෝ ප්‍රඥාවේගයෙන් යුක්ත වූවාහු ඒ ඒ තන්හි අවිරුද්ධව සන්තෝෂ වෙද්දැ? යි හංස තෙමේ ඇසුවේ ය.
2481. ධෘතරාෂ්ට්‍ර නම් හංසරාජය, මා හා ප්‍රකට වූ මාගේ පුත්‍රයෝ එක්සිය එක්දෙනෙක් වෙත්. ඔවුන්ට කළමනා දේ නුඹ වහන්සේ ප්‍රකාශ කරන සේක්වා, නුඹ වහන්සේගේ වචනය ඔවුහු නො වරදවති යි රජ තෙම කීය.
2482. ඉදින් යමෙක් ජාතියෙන් හෝ ආචාරයෙන් හෝ යුක්ත වූයේ ද, උගතයුතු කාලයෙහි නොඉගෙන පසුව උත්සාහ කෙරේ ද, ඒ තැනැත්තා කාර්‍ය්‍යයක් පැමිණි කල්හි හෝ විපතෙහි දී හෝ ගිලෙයි.
2483. නූගත් හෙයින් අනිශ්චල ප්‍රඥා ඇති ඔහුට භෝගදිය සම්බන්‍ධ සිදුරක් (පිරිහීම් දොරටුවක්) හටගනී. හෙතෙම රාත්‍රියෙහි මහත් රූප ම දක්නා රාත්‍රි අන්‍ධයකුමෙන් ඖදාරික කාරණා මිස සියුම් කරුණු නො දකී.
2484. නිස්සාර වූ ආගම ධර්‍ම කෙරෙහි මේ ධර්‍මය සාරත්වයෙන් යුක්තයි සිතන තැනැත්තා බොහෝ ඉගෙන ද නුවණ නො ලබයි. ගිරිදුර්‍ගයෙහි වේගයෙන් නිවෙසකරා දුව එන සරභමෘගයෙක් සමස්ථානයකැයි සිතා විසමස්ථානයෙන් පැන අතරමග දීම මහාප්‍රපාතයෙහි ගිලෙන්නේ යම්සේ ද එමෙනි.
2485. ඉදින් පහත් ජාති ඇත්තේ ද උත්‍ථාන වීර්‍ය්‍යයෙන් යුක්ත ද ප්‍රඥා ද, ආචාරයෙන් හා ශීලයෙන් සමන්‍විත ද ඒ මනුෂ්‍යතෙම රාත්‍රිකාලයෙහි ගින්නක් මෙන් බබළයි.
2486. මා විසින් කියන ලද මේ කරුණු උපමා කොටගෙන නුඹ වහන්සේගේ පුත්‍රයන් හට විද්‍යාවන් උගන්වව. එසේ උගන්වන ලද්දාවූ නුවණැත්තේ මනා කෙතෙහි වපුළ බිජුවට වැසි දියෙන් සශ්‍රිකව වැඩෙන්නාක් මෙන් මනාව දියුණුවන්නේ යයි හංසරාජ තෙම ප්‍රකාශ කෙළේ ය.
චූලහංස ජාතක යි.
7. සත්තිගුම්බ ජාතකය
2487. පඤ්චාල දේශ වාසීන්ගේ රථශ්‍රේෂ්ඨ වූ මුව දඩයම් කරන්නාවූ මහරජ තෙම සෙනග සමග නික්මුණේ සමූහයාගෙන් වෙන්ව වනයට පිවිසියේ ය.
2488. ඒ වනයෙහි සොරුන් විසින් කරන ලද කුටියක් ඒ රජතෙම දුටුවේ ය. ගිරවෙක් ඒ කුටියෙන් නික්ම අවුත් රෞද්‍ර වචන කියයි.
2489. අශ්වවාහනයෙන් යුක්ත වූ රතු පැහැති නළල්පටක් ඇති තරුණ වූ පුරුෂ තෙම දිවා සූර්‍ය්‍යයා මෙන් බබළයි.
2490. දැන් මේ මධ්‍යාහ්නයෙහි රියැදුරු සහිත රජ තෙම නිදයි. අපි ඒකාන්තයෙන් ම මොහුගේ සියලු අබරණ බලාත්කාරයෙන් ගනිමු.
2491. රියැදුරු සහිත රජතෙම මධ්‍යම රාත්‍රියෙහි මෙන් දැනු දු නිදියි. මොහුගේ වස්ත්‍ර ද මිණිකොන්ඬොල් ද ගෙන මරා කොළ අතුවලින් වසාදමමුයි සත්තිගුම්බ නම් ගිරවා පතිකොළම්බ නම් සොරාට කීවේ ය.
2492. එම්බා සත්තිගුම්බය, කිම තෝ උමතුවූවකු මෙන් දොඩවන්නෙහි ද? රජවරු වනාහි දිලිසෙන ගින්නක් සේ ළංවියැ නො හැක්කාහු වෙත්.
2493. එම්බා පතිකොළම්බය, තෝ මත් වූයෙහි මහත් වූ ගර්‍ජනා කරන්නෙහි ද? මාගේ මව (ද) නග්නව සිටි කල්හි කවරහෙයින් නුඹ සොරකම පිළිකුල් කරන්නෙහිදැ යි සත්තිගුම්බතෙම ඇසීය.
2494. යහළු රියැදුර, වහා නැගීසිටුව. රිය යොදව. මේ පක්‍ෂීහු මට රුචි නො වෙත්. අන් අසපුවකට යමුයි රජ තෙම කීය.
2495. මහරජ, බලැති අසුන් බැඳී රිය යොදන ලදී. මහරජ එහි නගිනු මැනව. අන් අසපුවකට යමුයි රියැදුරා කීවේ ය.
2496. මේ අසපුවෙහි වාසය කරන්නා වූ යම් සොර කෙනෙක් වෙද්ද? මේ සියල්ලෝ ම කොහි ගියාහු ද? ඒ සොරුන්ගේ නො දැක්ම හේතු කොටගෙන මිදුණා වූ මේ පඤ්චාල රජතෙම යෙයි.
2497. දුනු ගනිවු, අඩයටි ද තෝමර ද ගනිවු. මේ පඤ්චාල තෙමේ යයි. තෙපි ජීවත්වන පඤ්චාලයා නො මුදව.
2498. ඉක්බිති ලේවන් තුඩක් ඇති වෙන ගිරවෙක් මහරජ, නුඹ වහන්සේගේ යහපත් පැමිණීමක් වේවා. තවද, අප සමීපයට නුඹ වහන්සේගේ පැමිණීම ඉතා යහපති. මෙහි පැමිණියා වූ නුඹ වහන්සේ මෙහි අධිපතිවන්නහුය. මෙහි කැමති යමක් වේ නම් දන්වනු මැනවි.
2499. තිඹිරිගෙඩි ද මොරගෙඩි ද මීගෙඩි ද එරමිණිය ද යන මේ ඵල ඇත්තාහ. මහරජ, හොඳ හොඳ මේ කුඩාගෙඩි අනුභව කරනු මැනවි.
2500. මහරජ, මේ සිහිල් පැන් ද කඳුරැළියෙන් ගෙනෙන ලදය. මහරජ, ඒ නිසා නුඹවහන්සේ කැමැත්තාහු නම් එය පානය කරනු මැනවි.
2501. ‘මහරජ, මේ අසපුවෙහි වාසය කරන්නාවූ යම් ඍෂි කෙනෙක් වෙද්ද, උන්වහන්සේලා පලවැළ පිණිස වනයට ගියහ. එහෙයින් තෙමේ නැගිට ගොස් ගනුමැනවි. දීමට මට අත් නැතැ’ යි පුප්ඵක නම් ගිරාතෙම කීයේ ය.
2502. යම්හෙයකින් ද්විජ නම් වූ මේ පක්‍ෂිතෙම උතුම් ධර්‍මයෙහි පිහිටියේ ද එබැවින් හෙ යහපත්ය. තවද, මේ අනිත් ගිරා පක්‍ෂි තෙම රෞද්‍ර වචන කියයි.
2503. මොහු මරවු, බඳිවු. මොහුගේ ජීවිතය තිබෙනතුරු අත්නොහරිවු. මෙසේ කියද්දී ම සුවසේ ආශ්‍රමයට පැමිණියෙම් වෙමියි රජතෙම කීවේ ය.
2504. මහරජ, අපි දෙදෙනා එක ම මවක විසින් පෝෂණය කරන ලද්දා වූ එක ගසෙක්හි වැඩුණා වූ නොයෙක් තැන්වලට ගියා වූ එක ම මවුකුසැ උපන් සහෝදරයෝ වෙමු.
2505. ඒ සත්තිගුම්බතෙම සොරුන් වෙතට ගියේය. මම් වනාහි මෙහි තවුසන් වෙතට පැමිණියෙමි. හේ අසත්පුරුෂයන්ගේ සමීපයට ගියේය. මම සත්පුරුෂයන් ළඟට පැමිණියෙමි. ඒ කරුණින් අපගේ වෙනස් බව ඇතිවීය යි පුෂ්පක තෙම කීයේ ය.
2506. මහරජ, ඒ සොරුන්ගේ සමීපයෙහි හිංසාව ද බැඳීම ද රැවටීම ද වංචාව ද දවල් ගම්පැහැරීම ද බලාත්කාරකම් ද ඇත්තාහ. හෙතෙමේ එහි දී ඒවා ඉගෙන ගනී.
2507. මහරජ, මම වනාහි මෙහි දී සත්‍යය ද සුචරිත ධර්‍මය ද අවිහිංසාව ද සංවරශීලය ද ඉන්‍ද්‍රියදමනය ද යන මේ ගුණ දහම් පුරුදු කරන්නාවූ ආගන්තුකයනට අසුන් පැනවීම පැන් එළවා තැබීම ආදී වතාවත් පුරන තව්සන්ගේ ඇකයෙහි වැඩුණෙම් වෙමියි, පුෂ්පක තෙම කීයේ ය.
2508. මහරජ, යමෙක් සත්පුරුෂ හෝ අසත්පුරුෂ හෝ සිල්වත් හෝ දුසිල් හෝ යම්බඳු කෙනෙකුන් ඇසුරු කෙරේ ද හේ ඔහුගේ ම වසයට යන්නේ ය.
2509. යමෙක් යම්බඳු කෙනෙක් මිත්‍රයෙකු වශයෙන් තබාහනී ද යම්බඳු කෙනකුන් ඇසුරු කෙරේ ද හෙතෙමේත් එබඳු ම වෙයි. එක්ව විසීම ඒ ස්වභාවය ඇත්තකි.
2510. සෙවුනා ලබන්නේ සෙවුනා අනිකා ද පහස්නා ලද්දේ පහස්නා අනෙකා ද විෂපොවන ලද ඊය ඊකලබ (විෂ ගල්වන්නාක්) මෙන් පාපධර්‍මයෙහි නො තැවැරුණහු තවරයි. පාපධර්‍මයෙහි තැවරීම් බියෙන් නුවණැත්තේ පවිටු යහළුවන් ඇත්තෙක් නො වන්නේ ය.
2511. යම් මිනිසෙක් කුණු මසුන් කුසතණ අගින් බඳියි (දවටා) ද ඒ කුසතණ ද ගඳ වහනය වන්නේ ය. බාලයන් ඇසුරු කිරීමත් මෙසේ ම ය.
2512. යම් මිනිසෙක් පත්‍රයකින් තුවරලා දවටා ද, ඒ පත්‍රයෝ ද සුවඳ හමත්. පණ්ඩිතයන් අසුරුකිරීමත් මෙබඳු ය.
2513. එබැවින් සුවඳ එතූ කොළයෙහි ඇති වූ සුවඳවත් බව මෙන් තමහට වන විපාකය දැන නුවණැත්තේ අසත්පුරුෂයන් සේවනය නො කරන්නේ ය. සත්පුරුෂයන් ම සේවනය කරන්නේ ය. අසත්පුරුෂයෝ තමන් ඇසුරු කරන අන්‍යයා නිරයට පමුණුවත්. සත්පුරුෂයෝ තමන් ඇසුරු කරන අන්‍යයන් සුගතියට පමුණුවත්.
සත්තිගුම්බජාතක යි.
8. හල්ලාටිය ජාතකය
2514. පෙරැ හල්ලාටිය නම් රජෙක් විය. හේ රට හැර මුව දඩයමට ගියේ ය. මනාව පිපුණා වූ කිඳුරන්ගෙන් ගැවසීගත් ගන්‍ධමාදන නම් උතුම් පර්‍වතයට ගියේ ය.
2515. හෙතෙම සුනඛ සමූහයා වළකා දුනු හියවුරු බහාතබා වචනයක් කියනු (බණනු) කැමැත්තේ කිඳුරෝ යම් තැනෙක්හි සිටියාහු ද එහි එළැඹියේ ය.
2516. හේමන්ත ඍතුවගේ අවසන්හි හේමවත නම් ගං ඉවුරෙහි සිටියා වූ තෙපි මෙහි කුමක් ගැන නිතර කතා කරන්නහු ද? මිනිස් සිරුරබඳු සිරුරු ඇති තොප අතින් මෙ කරුණ අසමි. තෙපි මිනිස් ලෙව්හි කෙසේ නම් හඳුන්වන්නහු ද? කියා යි.
2517. සබඳ වැද්දාණෙනි, අපි මේ මල්ලපණ්ඩරක - ත්‍රිකූට යන පර්‍වත ද සිහිල් දිය ඇති ගංගාවන් ද අනුව හැසිරෙමු. මිනිසුන් හා සමාන මෘගයෝ වන අපි කිම්පුරිසයෝ යයි හඳුන්වනු ලබමු.
2518. තෙපි ඉතා දුකට පැමිණියාක් මෙන් වැලපෙන්නහු ය. ප්‍රියාව විසින් ප්‍රියයා වැළඳගන්නා ලද්දේ ය. මිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොප අතින් මේ කරුණ විචාරමි. නොසතුටු සිත් ඇත්තාහු කුමක් නිසා මේ වනයෙහි හඬවු ද?
2519. තෙපි ඉතා දුකට පැමිණියාක් මෙන් වැලපෙන්නහු ය. ප්‍රියාව විසින් ප්‍රියයා වැළඳගන්නා ලද්දේ ය. මිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොප අතින් මේ කරුණ විචාරමි. නොසතුටු සිත් ඇත්තාහු කුමක් නිසා මේ වනයෙහි විලාප කියන්නහු ද?
2520. තෙපි ඉතා දුකට පැමිණියාක් මෙන් වැලපෙන්නහු ය. ප්‍රියාව විසින් ප්‍රියයා වැළඳගන්නා ලද්දේ ය. මිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොප අතින් මේ කරුණ විචාරමි. නොසතුටු සිත් ඇත්තාහු කුමක් නිසා මේ වනයෙහි ශෝක කරවු ද?
2521. සබඳ වැද්දාණෙනි, අපි නො කැමැත්තමෝ ඔවුනොවුන් සිහි කරමින් එක රැයක් වියෝවැ වුසුම්හ. ඒ එක් රැය ගැන තැවෙමින් ඒ රැය නැවත නො එන්නී යයි ඒ එක රැය අනුව තැවෙන්නමෝ ශෝක කරමු.
2522. තෙපි යම්බඳු එක්රැයක් ගැන තැවෙන්නහු ද, එය නැසුණු ධනය හෝ පරලෝ ගිය පියා හෝ සිතා ඒ අනුව තැවෙන්නහු ද? මිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොපගෙන් මෙය විචාරමි. කෙසේ නම් වෙන්ව විසූහු ද කියා යි.
2523. වහා බස්නා දිය පහර ඇති නොයෙක් ගසින් වැසීගියා වූ පර්‍වත දෙකක් අතරින් බැස යන යම් මේ ගංගාවක් දක්නෙහි ද? මගේ ප්‍රිය තෙම මා ද පසුපසැ එනවා යයි හඟිමින් වර්‍ෂා කාලයෙහි ඒ ගඟ තරණය කෙළේ ය.
2524. මම වනාහි පිපීගිය අඟුනමල් ද කෝඩු මල් ද සත්පෙති දෑ සමන් ද නෙළීමි. මාගේ ප්‍රිය තෙමේ ද මල්මාලාබර ඇත්තෙක් වන්නේය. මම ද මල් මාලා ඇති ව ඔහු වෙත එළැඹෙන්නෙමැ යි සිතීමි.
2525. මම වනාහි පිපුණ රත්කරවුමල් ද ඇසළ ද පළොල් ද නිකමල් ද කඩා රැස් කෙළෙමි. මාගේ ප්‍රිය තෙමේ ද මල්මාලාබර ඇත්තෙක් වන්නේය. මම ද මල්මාලා ඇත්තී ඔහු වෙත එළැඹෙන්නෙමි යි කියා යි.
2526. තවද, මම වනාහි මනාව පිපීගිය සල්ගසක මල් නෙළා මාලාවක් කෙළෙමි. මාගේ ප්‍රිය තෙමේ මල්බර ඇත්තෙක් වන්නේය. මම ද මාලා ඇත්තී ඔහු වෙත එළඹෙන්නෙමි.
2527. මම වනාහි මනාව පිපීගිය සල්ගසක මල්නෙළා බරක් කෙළෙමි. යම් තැනක අද මේ රැය වසන්නෙමු ද මේ මල්රැස ද එහි ඇතිරීම පිණිස වන්නේ ය.
2528. මම වනාහි ප්‍රමාද වූවා අගිල් ද සඳුන් ද ගලෙහි ලා ඇඹරීමි. මගේ ප්‍රිය තෙමේ ද සඳුන් ගල්වන ලද ශරීර ඇත්තෙක් වන්නේ ය. මම ද සුවඳ ගැල්වූවා ඔහු වෙත එළැඹෙන්නෙමි.
2529. ඉක්බිති වහා බස්නා වූ ගඟදිය රැස් කරන ලද සල්මල් ද සළලමල් ද කිණිහිරිමල් ද ගසාගෙන යමින් පැමිණියේ ය. ඒ මොහොතකින් ගඟ පිරී ගියා ය. මේ ගඟ මා විසින් එතෙර කළ නොහැකි වූවා ය.
2530. එදා අපි දෙතෙර සිටියමෝ ඔවුනොවුන් දක්නමෝ වරක් හැඬීමු. වරක් සිනාසුණෙමු. මෙසේ අපට ඒ රාත්‍රිතොමෝ දුකින් ගතවූවා ය.
2531. එම්බා වැදිපුත්‍රය, උදෑසන හිරු උදා වූ කල්හි දිය හිස් වූ නදිය තරණය කොට අපි දෙදෙනා ඔවුනොවුන් වැළඳගෙන වරකුත් හැඬීමු. වරකුත් සිනාසුණෙමු.
2532. වැදිපුත්‍රය, යම් කලෙක්හි අපි වෙන්ව විසුවෙමු ද, ඒ කාලය මෙයින් පෙර තුනකින් අඩු වූ සත්සිය වසකට පෙර ය. භූමිපාලය, වාසය කිරීම මේ එක්සිය වසක් පමණ වූ ජීවිත කාලය තුළ ය. මේ සුළු ජීවිත කාලයෙහි කවරෙක් නම් ප්‍රිය භාර්‍ය්‍යාවන් ගෙන් වෙන් ව වාසය කෙරේ දැ යි ඇසී ය.
2533. යහළු කිඳුරෙනි, තොපගේ ආයුෂ කොතෙක් වේදැ යි. ඉදින් දන්නහු නම් කියව. කිසිවකු කියන කල්හි ඇසීමෙන් හෝ මව්පියාදි වැඩිහිටියන් අතින් ඉගෙනීමෙන් හෝ දැනීමක් ඇත් නම් කම්පා නොවී එය මට කියනු මැනැවි.
2534. සබඳ වැද්දාණෙනි, අපගේ ආයුෂ කාලය වර්‍ෂ දහසෙකි. මේ ආයුෂ කාලය තුළ පවිටු රෝගයක් ද නැත්තේ ය. දුක ස්වල්ප ය. සැප ම අධික ය. ඔවුනොවුන් කෙරෙහි පහ නොවූ ප්‍රේම ඇති ව ජීවිතය හරිමු යි කිඳුරිය කීවා ය.
2535. හල්ලාටිය රජතෙම නොමිනිස් වූ කිඳුරන්ගේ මේ අනුශාසනය අසා ජීවිත කාලය ස්වල්ප යයි දැන ආපසු හැරී ගියේ ය. මුව දඩයම සඳහා නො ගියේ ය. දන් දුන්නේ ය. සම්පත් අනුභවය ද කෙළේ ය.
2536. නොමිනිස් වූ කිඳුරන්ගේ මේ වචනය ද අසා සතුටු වවු. කලහ නො කරවු. ඒ කිඳුරෝ එක් රැයක් වෙන්ව විසීමෙන් යම්සේ තැවුණුහු ද එබඳු ආත්මකර්‍මාපරාධයෙන් තොප නො තවාවා.
2537. නොමිනිස් වූ කිඳුරන්ගේ මේ වචනය ද අසා සතුටු වවු. විවාද නො කරවු. ඒ කිඳුරෝ එක්රැයක් වෙන්ව විසීමෙන් යම්සේ තැවුණුහු ද එබඳු ආත්මකර්‍මාපරාධයෙක් තොප නො තවාවා.
2538. ස්වාමීනි බුදුරජාණන් වහන්ස, නොයෙක් ලෙසින් අලංකාර කොට දේශනා කරන ලද නුඹ වහන්සේගේ වැඩදායක වූ වචනය පහන් සිතති වැ ඇසුවෙමි. කර්‍ණරසායන මිහිරි වචන මුදා මාගේ ශෝකය දුරු කළ සේක. දෙව් මිනිස් සුව හා ලොවීලොව්තුරා සුවත් ගෙන දෙන්නා වූ ධර්‍මරාජන් වූ බුදුරජාණන් වහන්ස, බොහෝ කාලයක් ජීවත් වනුමැනැව යි මල්ලිකාදේවිය කීවා ය.
හල්ලාටිය ජාතක යි.
9. සෝමනස්ස ජාතකය
2539. ස්වාමීනි, කවරෙක් නුඹ වහන්සේට පහරදේ ද? කවරෙක් ආක්‍රෝශ කරයි ද? දොම්නසින් යුතුව නො සතුටු සිතැත්තේ කුමක් හෙයින් ශෝක කෙරෙහි ද? අද කවරකුගේ මවුපියෝ හඬද් ද? අද කවරෙක් නසන ලද්දේ පොළොවෙහි ශයනය කෙරේ දැ රේණු රජ තෙම ඇසීය.
2540. දේවයන් වහන්ස, නුඹ වහන්සේ දැක්මෙන් තුටුවෙමි. භූමිපාලය, නුඹ වහන්සේ බොහෝ කාලයෙකින් දකිමි. රේණු නම් රජතුමනි, නුඹ වහන්සේගේ පුත්‍රයා විසින් අසපුවට පිවිස අහිංසක වූ මම වෙහෙසට පමුණුවන ලද්දෙමි යි කූට ජටිලයා කීවේ ය.
2541. කඩුබඳනාලද දොරටුපාලයෝ යෙත්වා, චෞර ඝාතකයෝ අන්තඃපුරයට යෙත්වා. ගොස් ඒ සෝමනස්ස කුමාරයා නසා උතුම් හිස ගෙනෙත්වා. (රජ අණ කෙළේ ය.)
2542. යවන ලද රජුගේ දූතයෝ කුමරහුට මෙය කීහ. එම්බා රාජ කුමාරය, නුඹ වහන්සේ රජහු විසින් හැර දමන ලද්දහු ය. එහෙයින් වධයට පැමිණියහු ය.
2543. ඒ රාජපුත්‍ර තෙම අඬමින් දසැඟිලි එක් කොට ඇඳිලි බැඳ මම ද රජහු දක්නට කැමැත්තෙමි. ජීවත්වන්නා වූ මා ගෙන ගොස් රජුට දක්ව යි කීවේ ය.
2544. දූතයෝ කුමාරයාගේ වචනය අසා රජුට පෙන්වූහ. පුත්‍ර තෙමේ ද පිය දැක දුර දී ම මෙසේ කීවේ ය.
2545. මහරජාණන් වහන්ස, කඩු බඳනා ලද දොරටු පාලයෝ ආවාහු ය. මා නසන්නට චෞරඝාතකයෝ ආවාහ. මෙහි මගේ කවර නම් අපරාධයෙක් ඇද්දැයි විචාරනලද මට අද ඒ කරුණ ප්‍රකාශ කරනු මැනැවි.
2546. සවස ද උදය ද දියට බැසීම කරයි. නො පමා වූයේ හැමකල්හි ගිනි පුදයි. එබඳු සංයම වූ ඒ බ්‍රහ්මචාරී තාපසයාට නුඹ කුමක් හෙයින් ගෘහපතියායි කීයෙහි ද? (කියා රජ ඇසීය.)
2547. දේවයන්වහන්ස, තල් ද අලමුල් ද ඵලවර්‍ග ද යන විවිධ වස්තූහු මොහුට ඇත්තාහ. මෙතෙම ඒවා රකී. නො පමාවූයේ ඒ වස්තූන් ආරක්‍ෂා කෙරෙයි. එහෙයින් මේ බ්‍රාහ්මණතෙම ගෘහපති නම් වේ’ යි කුමාරයා කීය.
2548. කුමාරය, මොහුට නොයෙක් වස්තූහු ඇත්තාහ. ඒවා රකී. නො පමාවූයේ ආරක්‍ෂා කරයි. එහෙයින් (මේ) බ්‍රාහ්මණතෙම ගෘහපතියෙක යන මේ සත්‍යයක් ම නුඹ කීයෙහිය.
2549. නියම්ගම්වැසියන් සහිත මෙහි රැස්වූ සියලු දනව්වැසි පිරිස ම මාගේ වචනය අසත්වා. මේ අඥාන වූ රජතෙම අඥාන වූ තවුසාගේ වචනය අසා නිකරුණේ මා මරවා යී (කුමරා) කීය.
2550. දැඩි වූ මුල ඇතිව මහත්ව වැඩුණු කල්හි අතුපතර හටගත් උණ පඳුර වෙන් කොට අදින්නට නොපිළිවන. මහරජාණන් වහන්ස, නුඹ වහන්සේගේ පා වඳිමි. දේවයන්වහන්ස, මම පැවිදි වෙමි. අනුදැන වදාළ මැනවි.
2551. කුමාරය, මහත් ප්‍රයෝජන ඇත්තා වූ සම්පත් අනුභව කරව. තොපට හැම ඉසුරු ම දෙමි. තෙපි අද ම කුරුරට වැසියන්හට රජවවූ. පැවිදි නොවවු. පැවිද්ද වනාහි දුක් වන්නේය.
2552. දේවයන්වහන්ස, මෙහි නුඹ වහන්සේගේ කවර සම්පතක් ඇත්තේ ද? පෙර මම දෙව්ලොව සිත්කලු රූපවලින් ද ශබ්දවලින් ද රසවලින් ද සුවඳින් ද ස්පර්‍ශයෙන් ද සිත් අලවා විසීමි.
2553. දේවයන්වහන්ස, අප්සරා සමූහයා විසින් පිරිවරන ලද මා විසින් දෙව්ලොව සම්පත් අනුභව කරන ලදී. අනුන් විසින් පැමිණවියැයුතු වූ නුඹ බාලයෙකැයි දැන එබඳු රජ කුලයෙහි නොවසන්නෙමි.
2554. ඉදින් මම අනුන් විසින් පැමිණවියැයුතු (මගපෙන්වියැයුත්තෙක්) බාලයෙක් වන්නේ නම් පුත්‍රය, මගේ ඒ එක ම අපරාධය ගැන කමා කරව. සෝමනස්ස කුමාරය, ඉදින් නැවතත් මෙබඳු වරදෙක් වේ නම් තෙපි කැමැත්තක් කරව.
2555. නො විමසා කළ ක්‍රියාව ද, නො සසඳා සිතන ලද්ද ද වැරදුණු බෙහෙතක්හුගේ විපත්තිය මෙන් ලාමක විපාක ඇත්තේ වෙයි.
2556. විමසා කරන ලද ක්‍රියාව ද මනා කොට සිතන ලද්දද බෙහෙතක්හුගේ සම්පත මෙන් යහපත් විපාක ඇත්තේ වෙයි.
2557. අලස වූ කාමභෝගී ගිහියා නො මැනැවි. සංයම නොවූ පැවිද්දා නො මැනැවි. පරීක්‍ෂා නො කොට කටයුතු කරන රජතෙමේ නො මැනැවි. යම් පණ්ඩිතයෙක් කිපෙනසුලු වේද, එය නො මැනැවි.
2558. ක්‍ෂත්‍රිය තෙමේ විමසා කටයුතු කරන්නේය. රජතෙම නො විමසා කටයුතු නො කරන්නේය. මහරජ, විමසා කටයුතු කරන්නාහුගේ යශසත් කීර්තියත් වැඩේ.
2559. මහරජ, අධිපතිතෙම පරීක්‍ෂා කොට දඬුවම් පණවන්නේ ය. නො විමසා වහා කරන ලද්ද තැවීම් ඇති කරන්නේය. නුවණින් මෙනෙහි කොට කරන ලද අර්‍ත්‍ථයෝ (යහපත් ක්‍රියාවෝ) වෙද්ද, ඔවුහු පසුව තැවීම් ගෙනදෙන්නෝ නො වෙති.
2560. ලෙව්හි යම් කෙනෙක් කටයුතු නො කටයුතු දෑ විමසා බලා වැඩ කෙරෙද්ද නුවණැත්තන් විසින් පසස්නා ලද සැප විපාක ගෙන දෙන්නා වූ ඒ වැඩ වෘද්ධයන් (පණ්ඩිතයන්) අනුමත කරනු ලබන්නා වූ ද, තැවීම් ගෙන නොදෙන්නා වූ ද කර්‍මයෝ වෙති.