2375. මහණබමුණන් හට ආරාධනය කරන්නා වූ දූතයෝ සිවු දිගට යවත්වා, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආහාරයෙන් හා ගිලන්පසින් ද වස්ත්‍රයෙන් හා සෙනසුනින් ද සෙසු පසයෙන් ද උවැටැන් කෙරෙත්වා.
2376. පහන් සිත් ඇත්තේ ආහාරයෙන් ද ගිලන්පසින් ද මහණ බමුණන් සතපවු, හැකි පරිදි දීමත් කොට බුදීමත් කොට නින්‍දා නොලබන ලද්දේ ස්වර්‍ග ලෝකයට එළඹෙවු.
2377. මහරජ, ඉදින් ස්ත්‍රී සමූහයා සමග පරිචරණය කරන තොප රාජමදය තෙමේ යටපත් කෙරේ නම් මේ ගාථාව ම මෙනෙහි කරවු. තවද මේ ගාථාව පිරිස් මැද කියවු.
2378. පෙර මම තෘණ කුටියක් පමණ සෙවණකුත් නො වූයෙන් අභ්‍යවකාශයෙහි ශයනය කරන සැඩොලෙක් වීමි. එකල මව කිරි පොවා වලට ගිය කල්හි බැල්ලක විසින් කිරි පොවන ලද්දෙම්, බලු පැටවුන් විසින් පිරිවරන ලදුව වාසය කෙළෙමි. ඒ මම අද රජ යයි කියනු ලබමි.
චිත්තසම්භූත ජාතක යි.
3. සිවි ජාතකය
2379. මහරජ, ඇසින් කිසිවක් නො දක්නෙම්, මහල්ලෙක් වැ දුර සිට ඇසක් ඉල්ලා ගැනීම පිණිස ආවෙමි. (මාවිසින්) ඉල්ලන ලද (ඔබතුමා) මට ඇසක් දෙනු මැනැවි. (එවිට) අපි දෙදෙන ම එකැස් ඇත්තමෝ වන්නෙමු.
2380. දුගී පුරුෂය, කවරකු විසින් අනුශාසනා කරන ලද්දේ ඇස් ඉල්ලීමට මෙහි ආවෙහි ද? මිනිසකු විසින් දෙන්නට අපහසුයි යමක් උදෙසා කියත් ද, ශරීරය පිළිබඳ උත්තමාංගයක් වූ ඒ ඇස් ඉල්ලන්නේහිය.
2381. දෙවියන් අතර සුජම්පති යයි යමකු උදෙසා කියද්ද, මිනිස් ලොවැ ඔහුට මඝවත් යයි කියත්. ඔහු විසින් අනුශාසනා කරනු ලැබූ දුගී මම ඇස් ඉල්ලීමට මෙහි පැමිණියෙමි.
2382. ඉල්ලීම් අතර මාගේ මේ ඉල්ලීම ප්‍රධානය. ඉල්ලන ලද තෙපි මට ඇස් දෙවු. මිනිසා විසින් දීමට දුෂ්කර යයි යමක් කියද්ද ඒ ඇස් මට දෙනුමැනැවි.
2383. යම් බලාපොරොත්තුවකින් යමක් පතමින් මෙහි ආයෙහි ද තොපගේ ඒ අදහස් සමෘද්ධ වේවා, බමුණු ඇස් ලබව.
2384. එක ඇසක් ඉල්ලන්නා වූ තොපට මම ඇස් දෙක ම දෙමි. ඇස් ඇත්තෙක්වැ ජනයා බලාසිටියදී ම නුඹ මගෙන් යමක් බලාපොරොත්තු වෙහි ද, එය තට සමෘද්ධ වේවා, යි සිවිරජ තෙමේ කීවේය.
2385. දේවයන්වහන්ස, ඇස් නොදෙනු මැනැවි. ඇස් දී අප සියල්ලන් හැරැ නොදමනු මැනැවි. මහරජ (මොහුට) ධනය දෙනු මැනවි. බොහෝ මුතු ද වෙරළුමිණි ද යන වස්තුව දුන මැනැවි.
2386. දේවයන්වහන්ස, අසුන් යොදන ලද රථ ද, අලංකෘත ආජානේය අශ්වයන් ද, දෙනු මැනැවි. රන් අබරණින් සැරසූ ඇතුන් දෙනු මැනැවි.
2387. රජ්ජුරුවන් වහන්ස, සේනා සහිත වූ රථ සහිත වූ මුළු සිවිරට වාසීහු හැම කල්හි නුඹ වහන්සේගේ හාත්පසැ යම්සේ පිරිවරා සිටිද්ද, මෙසේ ම ඇස් නොදී සෙසු වස්තූන් දුන මැනැවැ යි කීහ.
2388. යමෙක් යමක් දෙන්නෙමි යි කියා පසුව නො දීමට සිත් පහළ කෙරේ ද, හේ තෙමේ ඒකාන්තයෙන් ම බිමැ හුණු මළ පුඬුවක් ගෙන බෙල්ලෙහි බහාගනී.
2389. යමෙක් යමක් දෙන්නෙමැ යි කියා පසුව නොදෙන්නට සිතයි ද, හේ තෙමේ පවිටකුටත් වඩා පවිටු වූයේ යමයාගේ අණ පවත්නා තැනට පැමිණියේ වෙයි.
2390. යමක් ඉල්ලන්නේ නම් එය ම දෙන්නේ ය. යමක් නො ඉල්ලන්නේ නම් එය නො දෙන්නේ ය. බමුණු තෙම යමක් මගෙන් ඉල්ලා ද, ඒ මම එය ම දෙන්නෙමි යි රජ තෙම කීය.
2391. ජනාධිපති මහරජතුමනි, ආයුෂ පතා ඇස් දෙන්නෙහි ද? එසේ නැත. වර්‍ණය පතා ද? එසේත් නැත. සැපය පතා ද? එසේත් නැත. බලය පතා ද? මෙයින් කවරක් පතමින් දෙන්නෙහි ද? සිවිරට වාසීන්ට උතුම් වූ රජ පරලෝ සැප පිණිස කෙසේ නම් ඇස් දෙන්නෙහි ද?
2392. මම යශස හේතු කොට ගෙන මේ ඇස් නො දෙමි. පුත්‍ර සම්පත්තිය නො කැමැත්තෙමි. ධනය ද නො කැමැත්තෙමි. රටෙහි අධිපති බව ද නො කැමැත්තෙමි. එසේ ද වුවත් මෙය සත්පුරුෂයන් විසින් පුරුදු කරන ලද ධර්‍මයෙකි. මාගේ සිත එසේ හෙයින් දානයෙහි ම ඇලෙයි.
2393. මට දෙඇස් අප්‍රිය නැත. මාගේ ආත්මය (ජීවිතය) ද අප්‍රිය නැත. මට සර්‍වඥතාඥානය ප්‍රිය ය. ඒ නිසා මම ඇස් දිනිමි යි.
2394. යහළු සීවකය, තෙපි මාගේ යහළුවා ද මිත්‍රයා ද වව. වෛද්‍ය ශිල්පයෙහි මනාව හික්මුණෙහිය. මාගේ වචනය කරව. මා බලා සිටිය දී ම ඇස් උදුරා දුගියාගේ අතෙහි තබව.
2395. සිවිරජ විසින් මෙහෙයවන ලද සීවක තෙමේ රජුගේ වචනය කෙළේ ය. රජුගේ ඇස් උදුරා බ්‍රාහ්මණයාට දුන්නේ ය. බ්‍රාහ්මණ තෙමේ ඇස් සහිත විය. අන්‍ධ වූ රජ තෙමේ හිඳගත්තේ ය.
2396. ඉන්පසු සිවිරැටියන්ගේ රට දියුණු කරන්නා වූ ඒ රජ තෙම ඇස් පිහිටි තන්හි මස් ලියලූ විට රියැදුරා ඇමතුවේ ය.
2397. එම්බා සාරථිය, යානයක් යොදව. යොදන ලද්ද ද දන්වව. උයන් බිමට ද, පොකුණුවලට ද, වනයට ද යමි යි රජ තෙමේ කීවේ ය.
2398. ඒ රජ තෙමේ ද පොකුණුතෙර පර්‍ය්‍යවංකයෙන් හිඳගත්තේ ය. ඔහුගේ ඉදිරියෙහි සුජම්පති නම් වූ සක්දෙව්රජ තෙම පහළ විය.
2399. මම දේවේන්‍ද්‍ර වූ ශක්‍ර වෙමි. නුඹ වහන්සේගේ සමීපයට ආයෙම් වෙමි. රාජර්ෂිය, නුඹ වහන්සේ සිත්හි යමක් කැමැතිවන සේක් නම් වරයක් ඉල්ලව.
2400. ශක්‍රය, මාගේ ධන බොහෝ ය. බලය බෙහෙවි. කෝෂ්ඨාගාරය ද අනල්ප ය. දැන් අන්‍ධ වූ මට මරණය ම රුචිවේ යයි රාජර්ෂි තෙම කීවේ ය.
2401. දෙපා ඇතියන්ට ප්‍රධාන වූ රජතුමනි, යම් සත්‍ය කාරණයෝ වෙද්ද, ඒ සත්‍යයෙන් ම කියනු මැනව සත්‍යයකියන්නා වූ නුඹ වහන්සේට නැවැත ඇසක් ඇතිවන්නේ ය.
2402. නා නා ගෝත්‍ර ඇති යම් යාචක කෙනෙක් මගෙන් ඉල්ලන්නට පැමිණෙද්ද, ඔවුන් අතුරෙහි යමෙක් මගෙන් ඉල්ලා ද හෙ තෙමේ ද මගේ සිතට ප්‍රිය වේ. මේ සත්‍යවචනය කරණ කොට ගෙන මට ඇසක් පහළ වේවා.
2403. ඒ බ්‍රාහ්මණ තෙමේ යම් හෙයකින් ඇසක් දෙවයි ඉල්ලීමට මා කරා පැමිණියේ ද, දුගී ඒ බමුණාට ඇස් දුනිමි.
2404. මට බොහෝ ප්‍රීතිය ඇති විය. නො අඩු සොම්නසක් ද විය. මේ සත්‍යවචනයෙන් දෙවැනි ඇස උපදීවා.
2405. සිවීන්ගේ රටට වැඩ සිදු කරන උතුමාණෙනි, නුඹ වහන්සේ විසින් දැහැමි ස්වභායෙන් ම ගාථා කියන ලද. නුඹ වහන්සේ දිව්‍යානුභාවයෙන් යුත් මේ ඇස් දක්නට ලැබෙත්.
2406. මහරජ, නුඹ වහන්සේගේ මේ ඇස් බිත්තියෙන් සරස ද ශෛලයෙන් සරස ද පර්‍වතයෙන් සරස දැ යි මෙසේ හාත්පස යොදුන් සියයක් තුළ රූප දර්‍ශනය සිද්ධ කෙරේවා’ යි ශක්‍ර තෙම ආශීර්‍වාද කෙළේ ය.
2407. මෙලොව ඉල්ලන ලද්දේ උතුම් වූ ද තමනට ඉතා ප්‍රිය වූ ද කුමන වස්තුවක් වුවත් කවරෙක් නම් නො දෙන්නේ ද, එසේ දීමෙන් පහළ වූ දිව්‍යමය වූ මාගේ ඇස් අද මෙහි රැස් වූ සිවිරට වැසි සියල්ලෝ ම බලත්වා.
2408. මාගේ මේ දිව්‍ය නේත්‍රයෝ භික්තියෙන් සරස ද ගලින් සරස ද පර්‍වතය ඉක්මවා ද, හාත්පස යොදුන් සියයක් රූප දැක්ම සිද්ධ කෙරෙත්.
2409. ජීවලෝකයෙහි මිනිසුනට ත්‍යාගයට වඩා උතුම් වූ අන් කිසිවක් නම් නැත. මිනිස් ඇසක් දී මා විසින් දිව්‍ය නේත්‍රයක් ලබන ලදි.
2410. මේ කාරණය ද දැක සිවිරට වැසියෙනි, දැන් දෙවු. අනුභවය ද කරවු. ශක්ති පමණින් දීමත් කොට අනුභවයත් කොට නින්‍දා නොලබන ලද්දාහු ස්වර්‍ගලෝකයට පැමිණෙවු යයි.
සිවි ජාතක යි.
4. සිරිමන්‍ද ජාතකය
2411. එම්බා සේනකය, ප්‍රඥාවෙන් යුතු වූ සම්පතින් තොර තැනැත්තා ද යශසින් යුතු වූ ප්‍රඥාවෙන් තොර තැනැත්තා ද යන මේ දෙදෙනා අතුරෙන් කවරෙක් උතුමැ යි පණ්ඩිතයෝ කියද්ද? යන මේ කරුණ මෙහි දී නුඹගෙන් අසමි යි රජ තෙම කීවේ ය.
2412. මහරජ, පණ්ඩිතයෝ ද මෝඩයෝ ද ශිල්ප දන්නෝද ශිල්ප නො දන්නෝ ද උසස් ජාති ඇත්තෝ ද යන සියල්ලෝ ද පහත් ජාතික සම්පත් ඇත්තහුගේ මෙහෙකරුවෝ වෙත්. මේ කරුණ ද දැක ප්‍රඥා ඇත්තා නිහීන ය. සම්පත් ඇත්තා ම ශ්‍රේෂ්ඨ ය යි කියමි යි සේනක තෙමේ කීවේ ය.
2413. අලාමක ප්‍රඥා ඇති සියලු ධර්‍මයන් දක්නාසුලු මහෞෂධය, ඔබ ද විචාරමි. අඥාන වූ සම්පත් ඇත්තහු ද පණ්ඩිත වූ සම්පත් නැත්තහු ද යන මේ දෙදෙනා අතුරෙන් කවෙරෙක් ශ්‍රේෂ්ඨ යයි පණ්ඩිතයෝ කියද්දැ යි මෙහි දී අසමි යි රජ තෙම කීයේ ය.
2414. මේ ලෝකයෙහි ඓශ්වර්‍ය්‍යය ම ශ්‍රේෂ්ඨ යි හඟිමින් අඥාන තෙමේ පව්කම් කරයි. මෙලොව ගැන පමණක් පෙනෙන පරලොව ගැන නො පෙනෙන අඥාන තෙමේ දෙලොවෙහි ම පරාජය ම ගනියි. (ලබයි.) මේ කරුණ ද දැක නුවණැත්තේ ම ශ්‍රේෂ්ඨ ය. සම්පත් ඇත්තා වූ අඥානයා උතුම් නො වේ ය යි මම කියමි යි. මහෞෂධ තෙමේ කීවේ ය.
2415. මහරජ, මේ ශිල්පය සම්පත් නො දරයි. ශිල්ප දන්නා පමණක් මුත් නෑයන් ඇත්තේ නො වෙයි. ශරිරාවකාශ ඇත්තේත් නො වෙයි. කෙළ වැගිරෙන මුව ඇතිවැ සැප විඳින්නා වූ මේ ගොමරින්‍ද සිටුහු බැලුව මැනවි. ශ්‍රී තොමෝ ඒ ගොමරින්‍දයා භජනය කෙරෙයි. මේ කාරණය ද දැක නුවණැත්තා නිහීනය. සම්පත් ඇත්තා ම ශ්‍රේෂ්ඨය යයි මම කියමි යි සේනක තෙම කීයේ ය.
2416. මහරජ, මඳ නුවණැත්තේ සැප ලබා මත්වේ. දුකින් ස්පර්‍ශ කරන ලද්දේ මුළාවට යෙයි. ආගන්තුක වූ සුවදුක් දෙකින් ස්පර්‍ශ කරන ලද්දේ අව්වෙහි තබන ලද මත්ස්‍යයකු මෙන් සැලෙයි. මෙයත් දැක නුවණැත්තේ ම ශ්‍රේෂ්ඨ ය. සම්පත් ඇති බාලයා එසේ ශ්‍රේෂ්ඨ නො වේ ය යි මම කියමි යි මහෞෂධ තෙම කීය.
2417. මහරජ, වනයෙහි මිහිරිපල ඇති රුක් සිසාරා පක්‍ෂීහු යම්සේ හැසිරෙද්ද, එසේ ම ආඪ්‍ය වූ ධන සහිත වූ සම්පත් ඇති පුද්ගලයා ඇසුරු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය තකා බොහෝ දෙන ආශ්‍රය කරත්. මේ කාරණය දැක නුවණැත්තා උතුම් නො වේ. සම්පත් ඇත්තේ ම උතුම් වේ යයි මම කියමි යි සේනක තෙම කීය.
2418. මහරජ, අඥාන වූ බලවතා යහපත් නොවේ. හේ සාහසික ලෙස ධනය ලබයි. පසුව නිරයපාලකයෝ අඬන්නා වූ ම ඔහු රුදුරු නිරයට ඇද ගනිති, මේ කාරණය ද දැක නුවණැත්තා උතුම් වෙයි. සම්පත් ඇති බාලයා එසේ උතුම් නො වේය යි මම කියමි යි මහෞෂධ තෙම කීයේ ය.
2419. යම්කිසි ඇළ දොළවල් ගඟකරා ගළා බසිද්දී ඒ සියල්ලෝ ම පෙරැ පැවති නාමගෝත්‍ර හැරදමද්ද, මුහුදට ගලාබස්නා ගංගාව ද මුහුදට වැටුණු පසු ප්‍රකට නොවන්නී ද? එපරිද්දෙන් ම ලෝවැසි තෙම ඉසුරුමත් තැනැත්තා ප්‍රධාන කොට ඇත්තේය. මේ කරුණ ද දැක නුවණැත්තා නිහීන යැ, සම්පත් ඇත්තා ම උතුම්ය යි කියමි යි සේනක තෙම කීයේ ය.
2420. යම් ඒ මහාසාගරයක් නුඹ කීයෙහි ද? එයට හැම කල්හි ම නොගිණිය හැකි සංඛ්‍යාවක් ඇළ දොළ ගළා බසිත්. ඒ සාගරය නිතර මහාරළවේග ඇත්තේ වෙරළ නො ඉක්මවා ද?
2421. මෙපරිද්දෙන් ම අඥානයාගේ කථාවෙන් නුවණැත්තහු ඉක්මවා නොයත් (නුවණැත්තහු කරා පැමිණ බිඳෙත්.) සම්පත් තොමෝ ද කිසිකලෙකත් ප්‍රඥාවන්තයා නො ඉක්මවයි. මේ කරුණ ද දැන නුවණැත්තා ම ශ්‍රේෂ්ඨය. සම්පත් ඇති බාලයා එසේ ශ්‍රේෂ්ඨ නැතැයි කියමියි කීයේ ය.
2422. කායාදිසංයම නැත්තා වූ ද යස පිරිවර ඇති තැනැත්තේ විනිශ්චය ස්ථානයෙහි සිට අනුනට වැඩ පිණිස කරුණක් ප්‍රකාශ කෙරේද, නෑ සමූහයා මැද ඔහුගේ කීම ම පිළිගැනේ. එය සම්පත් තොමෝ ම සිදු කරවයි. මෙය ද දැක නුවණැත්තේ නිහීනය. සම්පත් ඇත්තේ ම ශ්‍රේෂ්ඨය යි මම කියමි යි සේනක තෙම කීයේ ය.
2423. මඳ නුවණැති බාලතෙම අනුන් හෝ තමන් හේතු කොට ගෙන හෝ මුසා බෙණේ නම්, හෙතෙමේ සභා මධ්‍යයෙහි නින්‍දිතයෙක් වේ. හෙතෙමේ පරලෙව්හි ද දුගතිගාමි වෙයි. මෙය ද දැක නුවණැත්තේ ම ශ්‍රේෂ්ඨය. සම්පත් ඇති බාලයා එසේ ශ්‍රේෂ්ඨ නැතැයි මම කියමියි මහෞෂධ තෙම කීයේ ය.
2424. සහල් නැළියක් පමණකුදු නැති නිර්ධන දිළිඳු මහ නුවණැත්තෙක් සත්‍ය කාරණයක් කියන්නේ නමුත් ඔහුගේ ඒ වචන ඤාති සමූහයා මැද ගණනට නොයේ. සම්පත් තොමෝ ද නුවණැත්තහුට නොවේ. මේ කාරණය ද දැක නුවණැත්තා හීනය. සම්පත් ඇත්තා ම උසස් යයි මම කියමි යි සේනක තෙම කීවේ ය.
2425. මහනුවණැතිතෙම අනුන් හෝ තමන් හෝ හේතු කොට ගෙන බොරු නො කියයි ද, හෙතෙමේ සභා මධ්‍යයෙහි පූජිත වෙයි, පරලෙව්හි ද හෙතෙමේ සුගතිගාමී වන්නේය. මේ කරුණ ද දැන ප්‍රඥාවන්තයා ම ශ්‍රේෂ්ඨය. සම්පත් ඇති බාලයා එසේ ශ්‍රේෂ්ඨ නොවේ යයි මම කියමියි කීයේ ය.
2426. ඇත්තු ද ගවයෝ ද අශ්වයෝ ද මාණික්‍යකුණ්ඩලාභාරණයෝ ද සමෘද්ධ කුලයන්හි උපන් ස්ත්‍රීහු ද නිර්ධනයෝ ද යන ඒ සියලු වස්තූහු ධනවතාගේ උපභෝග වස්තූහු වෙති. මේ කාරණය ද දැක නුවණැත්තා නිහීනය. සම්පත් ඇත්තා ම උතුම් යයි කියමි යි සේනක තෙම කීයේ ය.
2427. හොඳින් විධාන නො කළ කර්‍මාන්ත ඇති නපුරු කතා ඇති මන්ත්‍රීන්ගෙන් යුත් අනුවණ බාලයා දිරාගිය සැව හැරපියා යන සර්‍පයෙකු සෙයින් ශ්‍රී තොමෝ හැරපියා යන්නීය. මෙය ද දැක නුවණැත්තේ ම ශ්‍රේෂ්ඨය. සම්පත් ඇති බාල තෙමේ එසේ ශ්‍රේෂ්ඨ නොවේ යයි මම මහෞෂධ තෙම කීය.
2428. ස්වාමීනි, අපි පණ්ඩිතයෝ පස්දෙන සියල්ලෝ ම ඇඳිලි බැඳගත්තෝ එළඹ සිටියෙමු. නුඹවහන්සේ භූතයනට අධිපති සක් දෙව් රජහු මෙන් අප සියල්ලන් මැඩගෙන අධිපති වන්නහුය. මෙය ද දැක නුවණැත්තා නිහීනය. සම්පත් ඇත්තා ම ශ්‍රේෂ්ඨය යි කියමි යි සේනක තෙම කීයේ ය.
2429. එබඳු කටයුතු ඇති වූ කල්හි යශස් ඇත්තා වූ බාල තෙම නුවණැත්තාට දාසයකු මෙන් වේ. නුවණැත්තේ යම් කරුණක් දක්‍ෂ ලෙස සංවිධානය කෙරේද, එහිදී අඥාන තෙමේ මුළාවට පැමිණෙන්නේය. මෙය ද දැක නුවණැත්තේම උතුමැ සම්පත් ඇති අනුවණයා එසේ උසස් නොවේ යයි මම කියමියි මහෞෂධ තෙම කීයේ ය.
2430. මහරජ, ප්‍රඥාතොමෝ බුද්ධාදි සත්පුරුෂයන් විසින් ඒකාන්තයෙන් ම පසස්නා ලද්දීය. මිනිස්සු සම්පත්හි අලුණාහු ම වෙත්. එහෙයින් ශ්‍රීතොමෝ ඔවුන් කැමැත්තීය. ඥානවෘද්ධයන්ගේ නුවණ ද අසමාන ස්වභාව ඇත්තේය. ශ්‍රී තොමෝ කිසිකලෙකත් නුවණැත්තාහු නො ඉක්මවා යයි මහෞෂධ තෙම කීයේ ය.
2431. සියලු ධර්‍මයන් දක්නා ස්වභාවය ඇති මහෞෂධ පණ්ඩිතයන් වහන්ස, අපි යමක් විචාළෙමු නම් එය අපට කීයෙහිය. ප්‍රශ්න විසඳීමෙන් තුටු වූ සිත් ඇති මම ගවයන් දහසක් ද ශ්‍රේෂ්ඨ හස්තියකු ද ආජානේය අසුන් යෙදූ මේ රථ දශයක් ද ගම්වර සොළසක් ද තොපට දෙමි යි රජ තෙම කීයේ ය.
සිරිමන්‍ද ජාතක යි.
5. රෝහන්තමිග ජාතකය
2432. චින්තකය, මේ රැළෙහි වූ මුවෝ මරණයට බියවූවෝ පැනදුවති. තොපි ද යව, බලාපොරොත්තු නොවව. තොප සමග ඒ මුවෝ ජීවත් වන්නාහ. මෙසේ රෝහන්ත මෘග තෙම කීයේ ය.
2433. රෝහන්තය, මම නොයමි. මගේ හෘදය ශෝකයෙන් අදිනු ලැබේ. මම තොප නො හරිමි. මෙහි ම ජීවිතය හරනෙමි.
2434. ඇස් අන්‍ධ වූ පිළිදැගුම් කරන්නකු නැති ඒ අපගේ මවුපියෝ ඒකාන්තයෙන් මැරෙන්නාහ. එහෙයින් සහෝදරය, තෙපි එහි යව, බලාපොරොත්තු නො වව. තොප සමග ඒ මවුපියෝ ජීවත් වන්නාහු ය.
2435. රෝහන්තය, මම නො යමි. මාගේ හෘදය ශෝකයෙන් ඇදගනී. මළපුඩුවෙහි බැඳුණු තොප හැර නො යමි. ජීවිතය මෙහි ම හරනෙමි.
2436. බියවනසුලු තැනැත්තිය, වහා යව. පැනදුවව. මම අයෝමය කණුවක ඇට වූ මළ පුඩුවෙක්හි බැඳුණෙමි. තෙපි ද යව. බලාපොරොත්තු නො වව. තොප සමග ඒ මුවෝ ජීවත් වන්නාහු යයි බෝසත් තෙම සුනන්‍දා නම් නැගණියන්ට කීයේ ය.
2437. පින්වත් රෝහන්තය, මම නො යමි. මාගේ හෘදය ශෝකයෙන් ඇදගනී. මළ පුඩුවෙහි බැඳුණු තොප මම නො හරිමි. මෙහි ම ජීවිතය හරනෙමි යි සුනන්‍දා මුවදෙන කීවා ය.
2438. අන්‍ධ වූ පිළිදැගුම් කරන්නකු නැති ඒ අපගේ මවුපියෝ ඒකාන්තයෙන් මැරෙන්නාහ. එහෙයින් සහෝදරිය, තෙපි ද මෙතැනින් යව. බලාපොරොත්තු නො වව. තොප සමග ඒ මවුපියෝ ජීවත්වන්නාහ යි රෝහන්ත තෙම කීයේ ය.
2439. පින්වත් රෝහන්තය, මම නො යමි. මාගේ හෘදය ශෝකයෙන් ඇදගනී. මළ පුඩුවෙහි බැඳුණු තෙපි මම නො හරිමි. මෙහි ම ජීවිතය හරනෙමි. සුනන්‍දා නම් මුවදෙන කීවාය.
2440. රෞද්‍ර ස්වභාව ඇත්තේ ආවුධ සහිත වැ ඒ මේ වැදිතෙම එයි. හේ අද අපට හීයෙන් ද අඩයටියෙන් ද හිංසා කරන්නේ ය. (එහෙයින්) වහා පැනයව යි මුවරජ තෙම කීයේ ය.
2441. බියෙන් පෙළුණා වූ බියෙන් තැතිගත්තා වූ බියවනසුලු වූ ඒ මුවැත්තිය මොහොතක් කල් පැන ගොස් ඉතා දුෂ්කර වූවක් කළා. මරණය සඳහා නැවැත පෙරළා ආවා ය.
2442. බන්‍ධනයෙන් මිදුණාහු මළ පුඩුවෙහි බැඳුණු තොප සමීපයෙහි හිඳිති. ජීවිතය හේතුකොට ගෙන ද තොප හැරයන්නට නො කැමැති වෙති. මේ මුවෝ තොපගේ කවරහු වෙද්දැ යි වැදි තෙම ඇසුවේ ය.
2443. එම්බා වැදි පුත්‍රය, මොහු සමානකුස ඇත්තා වූ එක මව වෙත වැඩුණා වූ මාගේ සහෝදරයෝ වෙති. මොහු ජීවිතය හේතු කොටගෙන හෝ මා හැර යන්නට නො කැමැති වෙති යි මුවරජ තෙම කීයේ ය.
2444. එම්බා වැදි පුත්‍රය, පිළිදැගුම් කරන්නකු නැති අන්‍ධ වූ ඒ මවුපියෝ ඒකාන්තයෙන් ම මැරෙන්නාහ. එහෙයින් ඔවුන් දෙදෙනාගේ ද අප තිදෙනාගේ ද යන අප පස් දෙනකුගේ ජීවිත දෙනු මැනැවි. මාගේ සහෝදරයා මුදාහරිනු මැනැවැ යි චින්තක නම් මෘග තෙම කීයේ ය.
2445. එම්බා මුවරජ, ඒ මම මවුපියන් පෝෂණය කරන්නා වූ මුවරජහු මුදා හරනෙමි. මරණයෙන් මිදුණා වූ මුවරජ දැක මවුපියෝ සතුටු වෙත්වා යි වැදි තෙම කීයේ ය.
2446. එම්බා වැදිපුත්‍රය, මම අද මරණයෙන් මිදුණා වූ මුවරජ දැක යම්සේ සතුටුවන්නෙම් ද, එසේ ම නුඹ ද සියලු නෑයන් සමග සතුටුවෙහිවා යි චිත්‍රක තෙම අනුමෙවෙනි වශයෙන් ප්‍රකාශ කෙළේ ය.
2447. පුත්‍රය, ජීවිතය මරණයට ළං කොට පැමිණ වූ කල්හි (මරණාසන්නයේ දී) කෙසේ මිදුණෙහි ද? පුත්‍රය, වැදි තෙම නුඹ මළ පුඩුවෙන් කෙසේ මුදා හැරියේ ද?
2448. පින්වත් මවුපියවරුනි, මාගේ චිත්‍රක නම් සහෝදර තෙම හෘදයාංගම වූ හෘදයනිඃශ්‍රිත වූ කනට සුව ගෙනදෙන්නා වූ වචන කියන්නේ ඒ සුභාෂිත වචන බලයෙන් මා මළපුඩුවෙන් මිදැවී.
2449. පින්වත් මවුපියවරුනි, සුතනා තොමෝ ද සිත් ඇදගන්නා වූ හෘදයනිඃශ්‍රිත කර්‍ණරසායන වචන කියන්නී ඒ සුභාෂිත වචන බලයෙන් මා මළපුඩුවෙන් මිදැවූ ය.
2450. සිත් ඇදගන්නාසුලු හෘදයනිඃශ්‍රිත වූ කනට සුවදෙන වචන අසා තුටු පහටු වූ වැදිතෙමේ මනා කොට කියූ ඒ වචන ඇසීම හේතු කොටගෙන මා බන්‍ධනයෙන් මිදුවේ ය.
2451. මරණයෙන් මිදී ආ රෝහන්ත නම් මුවරජ දැක අද අපි යම්සේ ප්‍රීති වෙමු ද, වැදි තෙමේත් එසේ ම සිය අඹුදරුවන් සමග ප්‍රීති වේවා යි මවුපියෝ අනුමෙවෙනි කළහ.
2452. එම්බා වැදිපුත්‍රය, මුවකු හෝ මුවසම් හෝ ගෙනෙන්නෙමි යි නුඹ කීවෙහි නොවේ ද? එසේ කියා තිබිය දී කවර කාරණයකින් මුවකු හෝ මුවසම් හෝ නො ගෙනාවෙහි ද? යි රජ තෙම ඇසී ය.
2453. මහරජ, ඒ මුව තෙම මා ඇට වූ මළපුඩුවෙහි බැඳුණේ මාගේ අත්පසට ම පැමිණියේ ම ය. ඒ මුවරජ පුඩුවෙහි බැඳුණේ ය. පුඩුවෙහි බැඳුණු ඒ මුවා ඇසුරු කැරැගෙන නො බැඳුණු මුවෝ දෙදෙනෙක් සිටියහ.
2454. ඒ මට ලොමුදහ ගන්නා වූ නො වූ විරූ සංවේගයක් පහළ විය. මම් මේ මුවා නසන්නෙම් නම් අද මෙහි ම ජීවිතය හරනෙමි යි කියා යි.
2455. වැදිපුත්‍රය, ඒ මුවෝ කෙබඳු ද? කෙබඳු ධර්‍මයෙහි පිහිටියාහු ද? කෙබඳු වර්‍ණ ඇත්තෝ ද? කෙබඳු ස්වභාව ඇත්තෝ ද? නුඹ දැඩි කොට ප්‍රසංසා කරන්නෙහි යයි රජ ඇසුවේ ය.
2456. මහරජ, ඒ මුවන්ගේ රිදී දම් වැනි අං ඇත්තාහ. සෙමර වල්ග වැනි පිරිසුදු වල්ග ඇත්තේය. සම රන්වන් ය. ලේවන් පා ඇත්තාහ. අඳුන්ගාන ලද ඇස් වැනි සිත්කලු ඇස් ඇත්තේ ය.
2457. දේවයන් වහන්ස, ඒ මුවෝ මෙබඳුයහ. ඒ මුවෝ මෙබඳු ධර්‍ම ඇත්තෝ ය. දේවයන් වහන්ස, ඒ මම මවුපියන් පෝෂණය කරන්නා වූ ඒ මුවන් නො ගෙනාවෙමි යි වැදි තෙම කීවේ ය.
2458. එම්බා වැදිපුත්‍රය, තට රනින් නිෂ්ක සියයක් දෙමි. බොහෝ අගනා මිණි කොඬොලක් ද දෙමි. දිය බෙරළිය මල් බඳු පසතුරුණු ඇතුරූ උස් වූ සිව්රැස් අසුනක් ද දෙමි.
2459. රූපයෙන් හා භෝගයෙන් ඔවුනොවුනට සමාන භාර්‍ය්‍යාවරුන් දෙදෙනකුන් ද දෙමි. වෘෂභයකු ඇතුළු ගවයන් සියයක් ද දෙමි. වැදිපුත්‍රය, මම දැහැමින් රජය ද කරවන්නෙමි. තෝ මට බොහෝ උපකාර ඇතියෙක් වෙහි ය.
2460. වැදිපුත්‍රය, තෝ සී සෑම ය, වෙළඳාම ය, ණයදීම ය, සිඟා හැසිරීම ය යන මෙයින් අඹුදරුවන් පෝෂණය කරව. නැවැත පාපයක් නො කරව යි රජ තෙම කීවේ ය.
රෝහන්තමිග ජාතකයි.
6. චූලහංස ජාතකය
2461. රන්වන් සිවි ඇති රන්වන් පැහැති සුමුඛ නම් හංසය, වක් වූ අවයව ඇති භයින් කම්පා වූ මේ හංසයෝ ඉවත්ව යෙති. තෙපි ද ඒකාන්තයෙන් ඉවත්වව.
2462. මාගේ නෑ සමූහයා මා ගැන බලාපොරොත්තුවක් නැත්තාහු හුදකලා ව මළ පුඩුවෙහි බැඳුණු මා අත්හැරැ යෙත්. එකලාවූ තෝ කවර හෙයින් වෙන් වැ නවතින්නෙහි ද?
2463. අහස පියාසර කරන්නවුන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ හංසය, පාශයෙහි බැඳුණුහු කෙරෙහි යහළුබවෙක් නැත. සිය නිදුක්බව සඳහා කළයුතු වීර්‍ය්‍යය නො පිරිහෙළව. සුමුඛය, ඒකාන්තයෙන් ම මෙතැනින් යව.
2464. ධතරට්ඨ නම් හංසරාජය, නුඹ වහන්සේ මරණ දුකින් පෙළෙතැ යි එපමණෙකින් මම නුඹ වහන්සේ අත් නො හරිමි. මාගේ ජීවත්වීම හෝ මරණය නුඹ වහන්සේ සමග වන්නේ යයි සුමුඛ තෙම කීවේ ය.
2465. එම්බා සුමුඛය, “මම නුඹ වහන්සේ අත් නො හරිමි” යි නුඹ යමක් කීයෙහි ද, මෙය ආචාරයෙන් යුත් ආර්‍ය්‍යයාගේ යහපත් වචනය වේ. මම වනාහි නුඹ විමසන්නෙම් ‘පැන යව’ යි යන මේ වචනය කීවෙමි’ යි හංසරජ තෙම කීවේ ය.
2466. අහසෙහි හැසිරෙන්නා වූ පක්‍ෂි තෙම පියවර නො තැබී මෙන් අහසෙහි පියවර කොට ගමන් කරයි. හංසයන් අතුරෙන් ඉතා උතුම් වූ නුඹ වහන්සේ දුර දී ම මළ පුඩුව නො දුටුහු දැ යි වැදි තෙම ඇසීය.